1. 14. 6. 1-10.
මහණෙනි, යම් මේ තපස්සුය භල්ලිකය යන වෙළෙඳ දෙබෑ කෙනෙක් වෙත්ද, පළමු සරණගියාවූ මාගේ ශ්‍රාවක උපාසකයන් අතුරෙන් මොහු තුමූ අග්‍රයි. මහණෙනි, මේ (අසරණයන්ට අහර දෙන බැවින්) අනාථ පිණ්ඩික නම් ඇති සුදත්ත නම් ගෘහපති තෙම දානයෙහි ඇලුනාවූ උපාසකයන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ මච්ඡිකා සණ්ඩ නුවරවාසී චිත්ත නම් ගෘහපති තෙම ධර්මකථිකවූ උපාසකයන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ හත්ථක නම් ඇති ආලවක නම්වූ කුමාර තෙම සිවූ සඟරාවකින් පිරිසට සංග්‍රහ කරණ උපාසකයන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ මහානාම නම් ශාක්‍ය තෙම ප්‍රණීත දේ දෙන්නාවූ උපාසකයන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ විශාලා මහනුවර වාසීවූ ඒ උග්ග නම් ගෘහපතියා මනාප දේ දෙන්නාවූ උපාසකයන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ උග්ගත නම් ගෘහපතියා සංඝයාට උපස්ථාන කරන්නාවූ උපාසකයන් අතුරෙන් අග්‍රයි. මහණෙනි මේ සූර අම්බට්ඨ උපාසක තෙම අචල ප්‍රසාදයෙන් යුක්තවූ උපාසකයන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, කොමාරභච්ච නම් ඇති මේ ජීවක උපාසක තෙම පුද්ගලයන්ගේ ප්‍රසාදය දිනාගත් මාගේ ශ්‍රාවකවූ උපාසකයන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ නකුල පිතා නම් ගෘහපතියා විශ්වාස කටයුතු දේ කියන්නාවූ උපාසකයන් අතුරෙන් අග්‍රයි.
සයවෙනි වර්ගයයි.
1. 14. 7. 1-10.
මහණෙනි, මේ සෙනානී කෙළෙඹියාගේ දියණියවූ සුජාතා නම් උපාසිකාවක් වේද, ඕතොමෝ පළමුකොට සරණගියාවූ මාගේ ශ්‍රාවිකා උපාසිකාවන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, (මිගාර සිටුහු විසින් මවූ තනතුරෙහි පිහිටවූ හෙයින්) මිගාරමාතා නම් ඇති මේ විසාඛා උපාසිකාව දානයෙහි ඇලුනාවූ උපාසිකාවන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ ඛුජ්ජුත්තරා උපාසිකාව බහුශ්‍රැතවූ උපාසිකාවන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ සාමාවතී උපාසිකාව මෙත් සිත් පතුරුවා වසන උපාසිකාවන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ නන්ද ගේ මව්වූ උත්තරා නම් උපාසිකා තොමෝ ධ්‍යානයෙහි ඇලුනාවූ උපාසිකාවන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ කෝලිය රාජගේ දුවවූ සුප්පවාසා උපාසිකා තොමෝ ප්‍රණීත දේ දෙන්නාවූ උපාසිකාවන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ සුප්පියා උපාසිකාව ගිලනුන්ට උපස්ථාන කරන්නාවූ උපාසිකාවන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ කාතියානී නම් උපාසිකාව නොසෙල්වෙන සැදැහැති උපාසිකාවන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ නකුලමාතාවූ ගෘහිණිය විශ්වාසකටයුතු කථා කියන්නාවූ උපාසිකාවන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, කුරරඝර නගරවාසීවූ මේ කාළී නම් උපාසිකාව බුදුගුණ අනුන් වෙතින් ඇසීමෙන්ම උපන් ප්‍රසාදයෙන් යුක්තවූ මාගේ ශ්‍රාවිකා උපාසිකාවන් අතුරෙන් අග්‍රයි.
සත්වෙනි වර්ගයයි.