1. 14. 7. 1-10.
මහණෙනි, මේ සෙනානී කෙළෙඹියාගේ දියණියවූ සුජාතා නම් උපාසිකාවක් වේද, ඕතොමෝ පළමුකොට සරණගියාවූ මාගේ ශ්‍රාවිකා උපාසිකාවන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, (මිගාර සිටුහු විසින් මවූ තනතුරෙහි පිහිටවූ හෙයින්) මිගාරමාතා නම් ඇති මේ විසාඛා උපාසිකාව දානයෙහි ඇලුනාවූ උපාසිකාවන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ ඛුජ්ජුත්තරා උපාසිකාව බහුශ්‍රැතවූ උපාසිකාවන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ සාමාවතී උපාසිකාව මෙත් සිත් පතුරුවා වසන උපාසිකාවන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ නන්ද ගේ මව්වූ උත්තරා නම් උපාසිකා තොමෝ ධ්‍යානයෙහි ඇලුනාවූ උපාසිකාවන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ කෝලිය රාජගේ දුවවූ සුප්පවාසා උපාසිකා තොමෝ ප්‍රණීත දේ දෙන්නාවූ උපාසිකාවන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ සුප්පියා උපාසිකාව ගිලනුන්ට උපස්ථාන කරන්නාවූ උපාසිකාවන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ කාතියානී නම් උපාසිකාව නොසෙල්වෙන සැදැහැති උපාසිකාවන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ නකුලමාතාවූ ගෘහිණිය විශ්වාසකටයුතු කථා කියන්නාවූ උපාසිකාවන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, කුරරඝර නගරවාසීවූ මේ කාළී නම් උපාසිකාව බුදුගුණ අනුන් වෙතින් ඇසීමෙන්ම උපන් ප්‍රසාදයෙන් යුක්තවූ මාගේ ශ්‍රාවිකා උපාසිකාවන් අතුරෙන් අග්‍රයි.
සත්වෙනි වර්ගයයි.
15. අට්ඨාන වර්ගය
268. නිච්චතූපගමන සූත්‍රය
[සැවැත් නිදානයයි]
“මහණෙනි, මාර්ග දෘෂ්ටියෙන් යුක්තවූ, (සෝවාන්වූ) පුද්ගලයෙක් යම් හේතුවක් නිසා කිසි සංස්කාරයක් නිත්‍ය වශයෙන් ගන්නේය යන මේ කාරණය හේතු රහිතයි. ප්‍රත්‍ය රහිතයි. මේ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, මේ කාරණය නම් විද්‍යමාන වේ (එනම්) පෘථග්ජන පුද්ගලයෙක් යම් හේතුවක් නිසා කිසි සංස්කාරයක් නිත්‍ය වශයෙන් ගන්නේය. මේ කාරණය විද්‍යමාන වේ”
269. සුඛතූපගමන සූත්‍රය
“මහණෙනි, මාර්ගදෘෂ්ටියෙන් යුක්තවූ (සෝවාන්වූ) පුද්ගලයෙක් යම් හේතුවක් නිසා කිසි සංස්කාරයක් සැප වශයෙන් ගන්නේය, යන මේ කාරණය හේතු රහිතයි. ප්‍රත්‍යය රහිතයි එවැනි දෙයක් විද්‍යමාන නොවේ. මහණෙනි, මෙබඳු දෙයක් නම් විද්‍යමාන වේ. (එනම්) යම් හෙයකින් පෘථග්ජන පුද්ගලයෙක් කිසි සංස්කාරයක් සැප වශයෙන් ගන්නේය, යන මේ කාරණය නම් විද්‍යමාන වේ.”
270. අත්තතූපගමන සූත්‍රය
“මහණෙනි, මාර්ගදෘෂ්ටියෙන් යුක්තවූ (සෝවාන්වූ) පුද්ගලයෙක් තෙම කිසි ධර්මයක් ආත්ම වශයෙන් ගන්නේය. යන මේ කාරණය හේතු රහිතයි. ප්‍රත්‍ය රහිතයි. එවැනි දෙයක් විද්‍යමාන නොවේ “මහණෙනි, මේ කාරණය නම් විද්‍යමාන වේ. (එනම්) යම් හෙයකින් පෘථග්ජනයෙක් කිසි ධර්මයක් ආත්ම වශයෙන් ගන්නේය, යන මේ කාරණය නම් විද්‍යමාන වේ”
271. මාතුජීවිත සූත්‍රය
“මහණෙනි, මාර්ගදෘෂ්ටියෙන් යුක්තවූ (සෝවාන්වූ) පුද්ගලයෙක් යම් හේතුවක් නිසා වැදූ මව ජීවිතයෙන් තොර කරන්නේය. යන මේ කාරණය හේතු රහිත වේ, ඒ ප්‍රත්‍යය රහිතයි. එබඳු දෙයක් දක්නට නැත. මහණෙනි, මෙබඳු දෙයක් නම් විද්‍යමානවේ. (එනම්) පෘථග්ජන තෙම යම් හෙයකින් මව ජීවිතයෙන් තොර කරන්නේය, යන මේ කාරණය නම් විද්‍යමාන වේ.”
272. පිතුජීවිත සූත්‍රය
“මහණෙනි, මාර්ගදෘෂ්ටියෙන් යුක්තවූ (සෝවාන්වූ) පුද්ගලයෙක් යම් හේතුවක් නිසා ස්වකීය පියා ජීවිතයෙන් තොර කරන්නේය, යන මේ කාරණය හේතු රහිතයි. ප්‍රත්‍යය රහිතයි. මෙබඳු දෙයක් දක්නට නොලැබේ. මහණෙනි, මෙවැනි දෙයක් නම් දක්නට ලැබේ. (එනම්) යම් හේතුවක් නිසා පෘථග්ජනයෙක් ස්වකීය පියා ජීවිතයෙන් තොර කරන්නේය, යන මේ කාරණය නම් විද්‍යමාන වේ.”
273. අරහත්තජීවිත සූත්‍රය
“මහණෙනි, මාර්ගදෘෂ්ටියෙන් සම්පූර්ණවූ (සෝවාන්වූ) පුද්ගලයෙක් තෙම යම් හේතුවක් නිසා රහත් කෙනෙකුන් ජීවිතයෙන් තොර කරන්නේය, යන මෙය හේතු රහිතයි. ප්‍රත්‍යය රහිතයි. එවැනි කාරණයක් විද්‍යමාන නොවේ. මහණෙනි, මෙබඳු දෙයක් නම් දක්නට ලැබේ. (එනම්) යම් හේතුවක් නිසා පෘථග්ජනයෙක් රහත් කෙනෙකුන් ජීවිතයෙන් තොර කරන්නේය, යන මේ දේ නම් විද්‍යමාන වේ.”