9-2 සෙය්‍යසකස්ථවිරයන්ගේ අනභිරතිය

පාපං චෙ පුරිසො කයිරා න තං කයිරා පුනප්පුනං

න තම්හි ඡන්‍දං කයිරාථ දුක්ඛො පාපස්ස උච්චයො.

පුරුෂ තෙම ඉදින් ප්‍රාණවධාදි අකුශල කර්‍මයක් (ප්‍රමාද දෝෂයෙකින් වත් අසත්සමවායයෙකින් වත් එක් වරෙක) කොට පූයේ වී නමුත් ඒ අකුශල කර්‍මය නැවැත නැවැත නො කරන්නේ ය. (නොදැන සාලඟුරු මැඩ ගත් එකක්හු වහා පය හයා ගන්නා සේ එකෙණෙහි ම ප්‍රත්‍යවේක්‍ෂා කොට මෙවැනි ලාමකක්‍රියා කිරීම තාගේ ජාත්‍යාදියට නොසුදුසු ය යි සලකා ඒ පාපය නො කරන්නේ ය). ඒ අකුශලයෙහි ආලයක්, රුචියක් නො කරන්නේ ය. කුමක් හෙයින් ද? යත්: (ප්‍රාණවධාදී අකුශල) කර්‍මයාගේ රැස් කිරීම (මෙ ලොව ද පර ලොව ද කායචිත්තදුඃඛය එළවන හෙයින්) දුකි. (අකුසල් රැස් කිරීම නම් යම් හෙයකින් මෙ ලොව ද පරලොව ද දුකට කාරණ ද එහෙයින් දුකැ යි සේ යී).

සෙය්‍යසක සථවිර තෙමේ, ලාලුදායි තෙරුන් වහන්සේගේ ශිෂ්‍යයෙකි. ලාලුදායී ස්ථවිර, භ්‍රාන්තමෘගයකු වැනි ය. පිරිහිමට කරුණු වු නිදීම් බිණීම් ආදී ක්‍රියාවන්හි නිතර යෙදී සිටියේ ය. දිනෙක සෙය්‍යසක, තමන්ට උපන් බ්‍රහ්මචර්‍ය්‍යවාසයෙහි නො ඇලීම තම ආචාර්‍ය්‍ය වූ ලාලුදායි තෙරුන්ට දන්වා සිටි විට ලාලුදායි ස්ථවිර, සෙය්‍යසකයන් විනයයෙහි එන ප්‍රථම සංඝාදිශේෂයට කරුණු වූ ශුක්‍ර මෝචනයෙහි යෙදවී ය. එතැන් සිට, සෙය්‍යසක තෙමේ තමන්ට නො ඇල්මක් උපන් හැම විටක, අතින් උපක්‍රම කොට ශුක්ල මුදවා හරි යි. බුදුරජානන් වහන්සේ සෙය්‍යසකයන්ගේ මේ ශුක්ල මුදාහැරීම අසා ඔහු ගෙන්වා “සෙය්‍යසක! තෝ අතින් උපක්‍රම කොට ශුක්ල මුදා හරින්නෙහි සැබෑ දැ” යි අසා වදාළ සේක. “ස්වාමීනි! එසේ ය” යි හේ කී ය. “කුමක් නිසා මෙබඳු පහත් වැඩක්, නින්දා කළ යුතු වැඩක් කෙළෙහි ද? කෙළෙහි ඉතා පහත් නො කියැකි නො සුදුසු පිළිකුල් වැඩෙකි, විළිබිය නැසී යන වැඩ, වනචරයන්ගේ වැඩ” යි නොයෙක් ලෙසින් ගරහා ශික්‍ෂාපදයක් ද පනවා “මෙබඳු අශික්‍ෂිත ක්‍රියාවෝ මෙලොව පරලොව දෙක්හි ම දුක් පිණිස වන්නාහ” යි වදාරා අනුසන්‍ධි ගළපා මේ ධර්‍ම දේශනාව කළ සේක:

පාපං චෙ පුරිසො කයිරා න නං කයිරා පුනප්පුනං, [1]

න තම්හි ඡන්‍දං කයිරාථ දුක්ඛො පාපස්ස උච්චයොති.

පුරුෂයෙක් පාපයක් කෙළේ නමුත්, එය නැවැත නැවැත නො කරන්නේ ය. එහි ආලය නො කරන්නේ ය. පව් රැස් කිරීම දුක් ය.

නො දැනීමෙන්, ගිනිඅඟුරු මැඩගත් එකෙක්, එහි ම පය තබා නො රැඳ, වහා එයින් පය ඇද ගන්නා සේ, පුරුෂ තෙමේ ප්‍රමාද දෝෂයකින් හෝ අසත්පුරුෂයන් හා එක් ව විසීමකින් හෝ යම් කිසි පාපකර්‍මයක් කළේ නමුත්, එකෙණෙහි ම නුවණින් මෙනෙහි කොට “මෙවැනි ලාමක ක්‍රියා මාගේ ජාති ගෝත්‍ර වයස් ආදියට නො සුදුසු ය” යි සලකා, පව්කම් නො කරන්නේ ය. පව්රැස් කිරීම එලොව මෙලොව දෙක්හි ම කායික - චෛතසික දුඃඛයාගේ දිග් ගැසීමට කරුණු වන්නේ ද එහෙයිනි.

පාපං චෙ පුරිසො කයිරා = පුරුෂ තෙමේ පවක් කෙළේ නමුත්

නුවණැති මිනිස්සු තම සිත, යමකින් ඈත් කොට රැක ගණිත් ද, ඒ ඈත් කර ගැණිමට ඉම වූ කර්‍මය, පාප නම් වේ. මේ ඇදුරුවදන්:- ‘පාන්ති රක්ඛන්ති සුජනා අත්තානං අස්මාති පාපං’ යනු.

නනං කයිරා පුනප්පුනං = එය නැවැත නැවැත නො කරන්නේය.

න තම්හි ඡන්දං කයිරාථ = එහි ආලය නො කරන්නේ ය.

පාපය, අපායයට මග වන බැවින්, මෙලොවදීත් නපුරක් ම කරණ බැවින් නුවණැත්තේ එහි ඇලුම් නො කරන්නේ ය. කරනු කැමැත්ත ජන්‍ද නම්.

දුක්‍ඛො පාපස්ස උච්චයො = පව් රැස් කිරීම දුක් ය.

සසර, ජාතියෙන් ජාතියට ඉපිද මැරී යන සත්ත්‍වයා යම් දුකක් විඳින්නේ නම්, ඒ දුකට හේතුව පව්රැස් කිරීම ය. රැස් කරගත් පව සත්ත්‍වයාට දුක් දෙන්නේ ය.

ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියාහු ය.

සෙය්‍යසකස්ථවිර වස්තුව නිමි.

  1. ‘ත තං කයිරා’ යනු බොහෝ පොත්හි.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.