පුඤ්ඤං චෙ පුරිසො කයිරා කයිරාථෙතං පුනප්පුනං
තම්හි ඡන්‍දං කයිරාථ සුඛො පුඤ්ඤස්ස උච්චයො.
පුරුෂ තෙම ඉදින් දානාදි එක්තරා කුශල කර්‍මයක් එක් වරෙක ද කෙළේ වී නම් එය නැවත නැවැත ද කරන්නේ ය. ඒ කුශලයෙහි ආලය රුචිය කරන්නේ යි. කුමක් හෙයින් ද? යත්: දානාදි කුශලයාගේ රැස් කිරීම (යම් හෙයෙකින් සඟමොක් සැපතට කාරණ ද එහෙයින්) සුව යි.
රජගහානුවර පිප්ඵලිගුහාවෙහි වැඩ වසන ආයුෂ්මත් මහා කාශ්‍යප මහා ස්ථවිරයන් වහන්සේ එක් අවස්ථාවෙක ධ්‍යානයට සමවැද සත්වන දිනයෙහි ඉන් නැගී සිටි සේක. එදා පිඬු සිඟා යන්නට තැනක් දිවැසින් බැලු උන්වහන්සේ ඒ වේලෙහි හැල් කෙතක් රැක ඇල් වී කරල් කඩා ගෙණ අවුත් විලඳ බදින ගැහැණියක දැක, නැවැත “මෝ මට යමක් දෙන්නට පොහොසත් දැ?” යි බැලුහ. පොහොසත් බව හා මහත් සැපත් ලබන බව දුටු ස්ථවිරයන් වහන්සේ සිවුරු ගැටවටු ගන්වා පාත්‍රය ගෙණ ඇල් කුඹුර සමීපයට ගොස් පසෙක වැඩ සිටියහ. ඕ තොමෝ උන්වහන්සේ දැක පහන් සිත් ඇත්තී මහත් සතුටට පැමිණ “ස්වාමීනි! වැඩ සිටිනු මැනැවැ” යි විලඳ ගෙණ උන්වහන්සේ වෙත ගොස් විලඳ පුදා පසග පිහිටුවා වැඳ “ස්වාමීනි! මමත් ඔබ වහන්සේ දුටු ධර්‍මයට හිමි තැනැත්තියක් වන්නෙම්වා” යි පැතූ ය. උන්වහන්සේ “එසේ වේවා” යි අනුමෝදනා කළ සේක. ඕ ද තෙරුන් වැඳ තමන් කළ ඒ පින්කම් ගැණ සිතමින් එහි හුන්නු ය.
ඒ කෙත, අසලමග, එක් පසෙක මහත් බිලයක් වි ය. එහි දරුණු විස ඇති සර්‍පයෙක් විසී ය. ඌ, තමන් කළ පින්කම ගැණ සිතමින් එමග ගිය ඒ ගැහැණියට දෂ්ට කෙළේ ය. විෂ පැතිර ගැණීමෙන් මුසපත් වූ ඕ තොමෝ එහි බිම ඇද වැටුනි, පහන් සිතින් කලුරිය කොට තව්තිසා දෙව්ලොව රන් විමනෙක උපන. අත්බව තුන් ගවු පමණ ය. සර්‍වාකාරයෙන් අලඞ්කෘත මේ දෙව්දූ, දොළොස් යොදුන් පමණ දිගැති හැකුළු කල තුඹ මලක් පමණ වන දිවසළුවක් හැඳ, එබඳු ම එකක් පොරොවා දෙවඟනන් දහසක් පිරිවර කොට ගෙණ තමන් පෙර කළ කම් කියා පාන්නට සේ රන් විලඳින් පිරුණු රන් තැටිවලින් හොබින විමන් දොරකඩ සිට, තම සම්පත් බලා “මේ සැපත ලද්දී මා හිමි වූ මහසුප් තෙරුන්ට පිදූ විලඳ දානයේ විපාක වශයෙනැ” යි දැන, “මෙබඳු කුඩා කමකින් මෙවැනි මහත් සැපතක් ලැබූ මා පමාවීම නො සුදුසු ය, මා මුන්වහන්සේ පිළිබඳ වත් පිළිවෙත් කොට මේ සැපත ස්ථිර කරමි” යි උදෑසන ම රන් ඉදලක් හා කූඩයක් ගෙණ අවුත් තෙරුන් වසන පිරිවෙණ හැමද, කුණු කසළ බැහැර දමා පැන් හා නානදිය එළවා තැබූ ය.
තෙරුන් වහන්සේ මේ හැමදුම් පැන් එළවා තැබුම් හෙරණකු විසින් කරන ලදැ, යි සිතූහ. දෙවඟන දෙවන දා ද එසේ කළා ය. තෙරුන් වහන්සේ එදාත් ඒ හැටියෙන් ම සැලකූ හ. තෙවන දා හමදින වේලේ යතුරු සිදුරෙන් ඇතුළු ගෙට වැටුනු ශරීරාලෝකය දැක, දොර හැර “මිදුල හමදින්නේ කවරෙක් දැ” යි ඇසූහ. එවිට ඕ තොමෝ “ස්වාමීනි! මම, ඔබ වහන්සේගේ උපස්ථායිකා වූ ලාජදේව දුහිතෘ” යි කි වූ ය. “මට මෙයට පෙර ඒ නම් ඇති උපාසිකාවක් උපස්ථාන කළා දැ” යි උන්වහන්සේ අසා වදාළ කල්හි “ඇයි ස්වාමිනී! එසේ අසනු, මම පෙර ඇල්වී කුඹුරක් රක්නී, පිඬු සිඟා වැඩි ඔබවහන්සේට විලඳ ටිකක් පුදා පහන් සිතින් ආපසු යන්නී, නයකු විසින් ඩසිනු ලැබ කලුරිය කොට තව්තිසා දෙව්ලොව උපන්නෙමි, මා විසින් මෙසේ ඔබ වහන්සේ නිසා මහත් සැපතක් ලද්දී ය. දැනුත් ඔබ වහන්සේගේ වතාවත් කොට මා ලැබූ ඒ සැපත තර කර ගන්නට සිතා මෙහි ආවෙමි” යි ඕ තොමෝ කිවු ය. “ඊයේ පෙරේදාත් මෙහි අතුපතු ගෑවා, පැන් එළවා තැබුවා තී දැ” යි ඇසූ විට “ස්වාමීනී! එසේ ය” යි කිවා ය.
ඉක්බිති මහසුප් තෙරනුවෝ “දැන් ඉතින් වත් පිළිවෙත් කළා ඇති, මින් පසු මෙහි නො ආ යුතු ය, කළ වත් පිළිවෙත් තිට සෑහේ, දැන් මේ තැන හැර යව” යි කී හ. “අනේ ස්වාමීනි! එසේ නො වදාරනු මැනැවි, කුමක් නිසා එසේ වදාරහු, ඔබවහන්සේ නිසා ලත් මේ සැපත තහවුරු කර ගන්නට මට ඉඩ දෙනු මැනැවි, මා නො නසනු මැනැවි, මට ඉඩ දෙනු මැනැවැ” යි දෙව්දූ පුනපුනා කියත්, “මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ වෙත දෙව්දුවක පැමිණ මිදුල් හැමද, පැන් එළවා තබා, උපස්ථාන කළා, යි ධර්‍මකථිකයන් ලවා නො කියව, මෙබඳු කීම්වලට මා ලක් නො කරව, මෙවක් පටන් වත් කරණු තබා මෙහි පැමිණිම ද නො කළ යුතු ය” යි ස්ථවිරයන් වහන්සේ කී හ. එවිට ද ඕ තොමෝ “ස්වාමීනි! මා නො නසනු මැනැවැ” යි ඇවිටිලි කළා ය. ඉක්බිති ස්ථවිරයන් වහන්සේ “මා කියන්න නො අසා” යි සිතා “තී තීගේ පමණ නො දනිහි” යි අසුර ගැසූහ. එවිට දෙව්දු තොමෝ අහසට නැග දොහොත් මුදුනෙහි තබා “ස්වාමීනි! මා ලද සැපත තව තවත් දියුණු කර ගන්නට ඉඩ දෙනු මැනැවැ” යි අහස සිට හඬන්නට වූ ය.
දෙව්රම් වෙහෙර ගඳකිළියෙහි වැඩ හුන් බුදුරජානන් වහන්සේ ඇගේ හැඬීම අසා, ආලෝකය පතුරුවා ඇය ඉදිරියෙහි හිඳ වදාරන්නහු “දෙව්දුව! මාගේ පුත් මහසුප් තැන තිට අහිත නො වේ, ඒ තැන ඒ තැනගේ ආරක්‍ෂාව සලසා ගත යුතු ය, උන්නැහේ කොතරම් හික්මුනෝ ද, ලෝකාපවාදයෙන් මිදිය නො හැක්කෝ ය, ඉදිරියෙහි ඇති වන ලෝකාපවාදය නිසා තිට ඒ තැන යන්නැ, යි කිය යි, ඒ තැනගේ සංවරය ඒ තැනට ම අයත් ය, පින් කිරීමෙන් මේ මේ සත්විපාක ලැබෙන්නේ ය, යි සිතා පින් දහම් කිරීම පින් කරන්නන් අයත් ය, එහෙයින් ඒ තැන කියන්නට කන් දෙව, පින් කිරීම එලෝ මෙලෝ දෙක්හි ම සැප පිණිස ම වන්නේ ය” යි වදාරා අනුසන්‍ධි ගළපා මේ ධර්‍මදේශනාව කළ සේක:-
පුඤ්ඤං චෙ පුරිසො කයිරා කයිරාථෙතං පුනප්පුනං,
තම්භි ඡන්‍දං කයිරාථ සුඛො පුඤ්ඤස්ස උච්චයොති.
පුරුෂයක් තෙමේ පින්කම් කළේ නමුදු, එය නැවැත නැවැත ද කරන්නේ ය. එහි ආලය කරන්නේ ය. පින් රැස් කිරීම සැපය.
සත්ත්‍වසන්තානය, ඉතා දිගුකලක් ම කෙලෙසුන්ට යටත් වූයේ ය. යටත් ව එන්නේ ය. ඒ කාලය, මෙතරම් ය, යි නො ගිණිය හැකි ය. එහි ඉමෙක් නැත. ඒ හේතුවෙන් සත්ත්‍ව සන්තානය හැම විටක ම පස්කම්හි ඇලී බැඳී සිටියි. පවට බෙහෙවින් නතුව පවති. එය වළකාලීමට පිළියම් නො කළේ නම්, හැම කල්හිම එසේ පවතී. එහෙයින් සිතේ පහළ වන පව්සිතිවිලිවල ප‍්‍රමාණයෙක් නැත. බුදුරජානන් වහන්සේ සිතතුළ පව්සිතිවිලිවලට ඉපදෙන්නට ඉඩ නො දෙනු සඳහා, නිතර නිතර ම පින් කළ යුතු ය, යි වදාළ සේක. යම් සිතෙක කුසල් සිතිවිලි නිතර පහළ වන්නේ නම්, එහි අකුසල් සිතිවිලිවලට ඉඩ නො ලැබෙන්නේ ය.
පුඤ්ඤං චෙ පුරිසො කයිරා = පුරුෂයෙක් තෙමේ ඉදින් පින් කළේ නම්. [1]
කයිරාථ එතං පුනප්පුනං = එය නැවැත නැවැත ද කරන්නේ ය.
තම්භි ඡන්‍දං කයිරාථ = එහි ආලය කරන්නේ ය.
සුඛො පුඤ්ඤස්ස උච්චයො = පින් රැකිරීම සැප වේ.
මෙසේ වදාළෝ පිණ ම මෙලෝ පරලෝ දෙක්හි සැප එළවන බැවිනි.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි දෙව්දූ තොමෝ සතළිස් පස් යොදුනකින් ඈත සිටියා ම සෝවන් පලයට පැමිණියා ය.
ලාජදේවදුහිතෘ වස්තුව නිමි.
9-1 ‘දන්‍ධංහි කරතො පුඤ්ඤං’ යනු බලනු. ↑