අභිත්‍ථරෙථ කල්‍යාණෙ පාපා චිත්තං නිවාරයෙ
දන්‍ධං හි කරොතො පුඤ්ඤං පාපස්මිං රමතී මනො.
(දාන ශීලාදි) සුචරිතධම්මවිෂයයෙහි යුහු වන්නේ ය (වහවහා කට යුත්තේ ය). කායදුශ්චරිතාදි අකුශල කර්‍මයෙන් (හෙවත් අකුශල චිත්තෝත්පාදයෙන්) සිත (හෙවත් නොයෙක් තැනින් වැද ගොයම් කන කුළු ගොනකු මෙන් නොරැක්ක හැකි විසභාග අරමුණට දිවෙන හෙයින් තුන් දුසිරිතෙන් නොවැළකිය හැකි වූ මේ කුළු සිත) වළකන්නේ ය. කුමක් හෙයින යත්: දානාදී කුශල කර්‍ම (යම් හෙයෙකින්) දන්‍ධ වැ (හෙවත් ‘දෙම් දෝහෝ,’ ‘නොදෙම් දෝහෝ,’ ‘කෙරෙම් දෝහෝ,’ ‘නො කෙරෙම් දෝහෝ,’ ‘කොට පියා හෙම් දෝහෝ,’ ‘නො කොට පියා හෙම් දො හෝ’ යී මෙ ලෙස ලැසි ගෙණ) කරන්නහුගේ සිත (මසුරුමල ආදි) අකුශලයෙහි ඇලේ. එ හෙයිනි.
විපස්සී බුදුරජුන් දවස, මහාඒකසාටක නමින් ප්‍රසිද්ධ වූ බමුණෙක් වි ය. ඔහු අප බුදුරජුන් දවස, චුලේකසාටක නම්. එක් සළුවක් තිබූ බැවින්, එනම් වූයේ ය. බැමිණියට තුබුනේ ද එක් සළුවක් ම ය. මෙසේ දෙ දෙනාට ම අඳින්නට තුබුනේ එක් එක් රෙදිකඩ වුව ද, පොරොවන්නට තුබුනේ එක් ම රෙදි කඩෙකි. මේ දෙදෙන, ගෙන් පිටත යන කල්හි මාරුවෙන් මාරුවට මේ පොරෝණය ඇඟලා යන්නෝ ය.
දිනෙක, අසල වෙහෙරෙහි බණ අසන්නට කල් දැන් වූ කල්හි බ්‍රාහ්මණ තෙමේ “සොඳුර! බණ අසන්නට පන්සල් යෑමට කල් දන්වන ලද්දේ නො වේ ද, කොහොම ද, ඔයා, දැන් යනවා ද? නැත්නම් රෑ යනවා ද? අප දෙන්නාට තිබෙන්නේ එක් ම පොරෝණය බැවින්, එක් විට දෙන්නාට ම යනු බැරි ය, එහෙයින් කියන්නක් කියව” යි කී ය. බැමිණි, “හිමිය! රෑ යෑම මට අපහසු ය, මම දවල් යමි” යි සළුව ගණ පොරොවා වෙහෙරට ගියා ය. බමුණා, දවල් දවස ගෙයි ගත කොට, රෑ ගොස් බුදු රජුන් ඉදිරියෙහි හිඳ, බණ අසත් ම ඔහු සිරුර පැතිර ගෙණ පස්වණක් ප්‍රීතිය උපන.
ඒ වේලෙහි ඔහු බුදුරජුන් පුදනු කැමැත්තේ ද, “මම මේ සළුව බුදුරජුන්ට පූජා කෙළෙම් නම්, මටත් සොඳුරටත් පොරොවන්නට රෙදිකඩෙක් නැති ව යන්නේ ය” යි ද සිත් වී ය. මෙසේ ඒ වේලෙහි ඔහුට මසුරු සිත් දහසක් උපන්නේ ද, ඒ සිත් මැඩ සළුව පිදීමට නැවැතත් සිත් උපන. ඒ වරත් මසුරු සිත් උපන. වරින් වර මෙසේ සැදැහැ සිත් හා මසුරු සිත් ඉපද නැසී යත් ම පළමු යම ඉක්ම ගියේ ය. මැදියමෙහි ද සළුව පුදන්නට නො හැකි වී ය. පැසුළුයම පැමිණියේ ය.
ඒ වේලෙහි බමුණා, “මා පිළිබඳ සැදැහැ සිතත් මසුරු සිතත් එක සේ බලගතු ව නැගෙත්, නැගෙත්, යාම දෙකක් ම ඉක්ම ගියේ ය, මේ මසුරු සිත මෙසේ වැඩී ගියේ නම්, මට සතර අපායයෙන් ඔලුව උස්සනු බැරි ය, එහෙයින් සළුව පිදිය යුතුම ය” යි මසුරු සිත මැඩ සැදැහැ සිත පෙරටු කොට සළුව ගෙණ බුදුරජුන් පා මුල්හි තබා “දිනන ලද්දේ ය, දිනන ලද්දේ ය” යි. තෙ විටක් ම මහ හඬින් කෑ ගැසුයේ ය.
බණපිරිසෙහි හුන් කොසොල් රජ ඒ අසා, “මූ කුමක් දිනී දැ යි දනිවු” යි රාජපුරුෂයන්ට නියම කෙළේ ය. රාජපුරුෂයන් ඔහු වෙත ගොස් ඇසූ කල්හි බමුණු එය කී ය. ඔවුහු ඒවග රජුට දැන් වූහ. රජ තෙමේ පැහැද “මූ කළේ අමාරු වැඩෙකැ” යි ඒ වේලෙ හි ම සළු දෙකක් ගෙවා ඔහුට දුන්නේ ය. බමුණු ඒ සළුදෙකත් බුදුරජුන්ට ම පිදී ය. රජ තෙම්, ඒ ද දැක, නැවැතත් දක සතර, අට, සොළොස බැගින් කිහිපවරක් සළු ගෙන්වා ඔහුට දුන්නේ ය. ඒ හැම වර ම බමුණු, ඒ සළු බුදුරජුන්ට ම පිදී ය. නැවැතත් රජ තෙමේ රෙදි ජෝඩු දෙ තිසක් ගෙන්වා දුන්නේ ය. “බමුණු තමන් පිණිස එකකුත් නො ගෙණ ලැබෙන හැම එකක් දෙන්නේ ය” යි පැතිර යන කතාවෙන් නිදහස් වනු පිණිස ඒ දුන් රෙදිජෝඩු දෙ තිසෙන් ජෝඩු දෙකක් තමන්ටත්, අඹුවටත් තබා ගෙණ අනික් හැම බුදුරජුන්ට පිදී ය. බමුණා, තමන් ලත් සළු, සියක් වරක් පිදුව ද, රජ තෙමේ ඔහුට තව තවත් දෙනු කැමැති ව සිටියේ ය.
පෙර දවස, මහාඒකසාටක බ්‍රාහ්මණ තෙමේ, සිවු සැටක් වස්ත්‍ර යුග අතරින් යුග දෙකක් ම ගත්තේ ය. දැන් මේ බමුණා, තමන් ලත් වස්ත්‍රයුග දෙ තිසෙන් යුග දෙකක් ගත්තේ ය. රජ තෙමේ රාජපුරුෂයන් අමතා “කොලෙනි! බමුණා කළේ අමාරු වැඩෙකි, එහෙයින් මූ රජගෙට ගෙණ යවු” යි අණ කළේ ය. ඔවුහු එසේ කළහ. එවිට රජ තෙමේ ඔහුට එහි දී ලක්‍ෂය ලක්‍ෂය වටිනා පලස් දෙකක් දුන්නේ ය. “අනේ, මේ වටිනා පලස් මාගේ මේ කුණු සිරුරෙහි දවටා ලන්නට නො සුදුසු ය, මේ සුදුසු බුදුසසුනට ම ය” යි බමුණු තෙමේ, එක් පලසක් ගඳකිළිය තුළ බුදුරජුන් සැතපෙන යහන මතුයෙහි වියනක් කොට බැඳ අනෙක තම ගෙයි භික්‍ෂූන් නිතර දන් වළඳන තැන වියනක් කොට බැන්දේ ය.
එ දින සවස් වරුවෙහි බුදුරජුන් වෙත ගිය රජ තෙමේ ගඳකිළියෙහි බැඳ තිබූ වියන දැක, වියනට බැඳ තිබෙන්නේ තමන් බමුණාට දුන් පලසකැ, යි දැන “ස්වාමීනි! මේ පූජාව කා විසින් කරණ ලද දැ” යි ඇසී ය. “එකසාටක විසිනැ” යි බුදුරජුන් වදාළ කල්හි “බමුණු ද පැහැද සිටියේ, මා පැහැදි තැනට ම ය” යි වඩාත් පහන් ව ඇතුන් සිවු දෙනක, අසුන් සිවු දෙනක, කහවණු සාර දහසෙක, ගෑණුන් සිවු දෙනක, දාසීන් සිවු දෙනක, පිරිමින් සිවු දෙනක, ගම්වර සතරකැ, යි මෙසේ ප්‍රයෝජන ඇති හැම දෙයකින් සතර සතර බැගින් බමුණාට දෙවී ය.
මේ වේලෙහි ධර්‍ම ශාලාවට රැස් වූ භික්‍ෂූන් වහන්සේලා “අරුමය මේ ලැබීම, පුදුම ය මේ ලැබීම, චුලේකසාටකයාගේ කර්‍මය, ඒ මොහොතෙහි ම විපාක දුන්නේ ය, දැන් කළ කර්‍මය දැන් විපාක දුන්නේ ය, කුශල කර්‍මයේ හැටි ඉතා පුදුම ය” යි කතා කරන්නට වූහ. එකෙණෙහි එහි වැඩි බුදුරජානන් වහන්සේ එහි කළ කතාව අසා “මහණෙනි! දෙන්නට අදහස උපන් පළමු යම ම නො පසු බට ව දුන්නේ නම්, මේ බමුණු ලබන්නේ සියලු දෙයින් සොළොස සොළොස ය, මැදියම වත් දුන්නේ නම්, සියලු දෙයින් අට අට ලබන්නේ ය, සතර සතර ලැබුවේ හොඳට ම පාන් වූවායින් පසු දුන් බැවිනි , පින් කිරීමට අදහස උපන් සැටියේ ම ඒ උපන් අදහස නො පිරිහෙළා ඒ ඇසිල්ලෙහි ම කළ යුතු ය, දෙම් දෝ, නො දෙම් දො, කරම් දෝ, නො කරම් දෝ, යි සිත සිතා පසුබට වෙමින් කරණ පිණ සම්පත් දෙන විටත් අඩුව ම දෙන්නේ ය, කල් යව යවා දෙන්නේ ය, එහෙයින් පින් කළ යුත්තේ පින් කිරීමට අදහස උපන් ඇසිල්ලේ ම ය” යි වදාරා අනුසන්‍ධි ගළපා මේ ධර්‍මදේශනාව කළ සේක:
අභිත්‍වරෙථ කල්‍යාණෙ පාපා චිත්තං නිවාරයෙ,
දන්‍ධං හි කරතො පුඤ්ඤං පාපස්මිං රමතී මනො ති.
සුචරිතතධර්‍ම විෂයයෙහි යුහුසුලු වන්නේ ය. පව්කමින් සිත වළකා ලන්නේ ය. පින්කම් ලැසි ව කරන්නහුගේ සිත පව් කම්හි ඇලේ.
අභිත්‍වරෙථ කල්‍යාණෙ = සුචරිතධර්‍ම විෂයයෙහි යුහුසුලු වන්නේ ය.
මෙහි කල්‍යාණෙ, යන මෙයින් කීයේ දාන - ශීල - භාවනා යන කුශලකර්‍ම තුන ය. මේ හැම කුශල කර්‍මයක් ම නො පසුබට ව වහ වහා කළ යුතු බව අභිත්‍වරෙථ යන ක්‍රියා පදයෙන් වදාළ සේක. කුශලකර්‍ම වහා කළ යුතු, කුමක් නිසා ද, යනු ගාථාවේ දෙවන අඩින් පැහැදිලි වේ.
මේ ක්‍රියාපදය බොහෝ ධම්මපද පිටපත්හි ‘ අභිත්‍වරෙථ’ යි ආයේ ය. එය සමහර කෙනෙක් ‘ අභිත්තරෙථ’ යි ලියති. කියති. සිංහල පුරාණ සන්නයෙහි මෙයට අරුත් දී තිබෙන සැටියෙන් ද පෙනෙනුයේ අභිත්‍වරෙථ’ යනු වඩා සුදුසු සේ ය. අභි පූර්‍ව ත්‍වර ධාතුව වහා ගමන් අරුත් හි වැටේ. සංස්කෘතයෙහි ද, ත්‍වර්ධාතුව ශීඝ්‍රගමනාර්‍ත්‍ථයෙහි ආයේ ය. ‘අභිත්‍ථරෙථා ති තුරිත තුරිතං සීඝ සීඝං කරෙය්‍යා ති’ යන අටුවාවෙන් ද ඒ බව පැහැදිලි ය. සුචරිත ධර්‍මවිෂයයෙහි යුහුසුලුවීම නම්, කුශලධර්‍ම වහා කිරීම ය. අභි යන උපසර්‍ගය ඒ වහා කිරීම, වඩාත් තියුණු කරයි. විමසා ගත යුතුය සුදුසු පදයක්.
අභි යනු, අභිමුඛභාව, විශිෂ්ට, ඌර්ධ්වක්‍රියා, සමානභාව, වෘද්ධි, අධිකභාව, කුල, ලක්‍ෂණ, ඉත්‍ථම්භූත, වීප්සා, වන්‍දන යනාදී අරුත්හි එයි. අභික්කමති, අභිධම්මො, අභිරූහති අභිරූපො, අභිජාතො, අභිවස්සති, අභිජාතො, රුක්ඛමභි විජ්ජොතතෙ විජ්ජු, සාධු දෙවදත්තො මාතරභි, රුක්ඛමභිවිජ්ජොතතෙ චන්‍දො, අභිවාදෙති, යනාදිය එයට නිදසුන් ය. මෙහි වුයේ අධිකභාවයෙහි ය. මේ බලනු:- “ගිහිනා වා සලාකභත්තදානාදි යං කිඤ්චිදෙව කුසලං කරිස්සාමීති චිත්තෙ උප්පන්නෙ යථා අඤ්ඤෙ ඔකාසං න ලභන්ති, එවං අහං පුරෙ අහං පුරෙති තුරිතතුරිතමෙව කාතබ්බං පබ්බජිතෙන වා උපජ්ඣායවත්තා. දීනි කරොන්තෙන අඤ්ඤස්ස ඔකාසං අදත්‍වා අහං පුරෙ අහං පුරෙ ති තුරිතතුරිතමෙව කාතබ්බං” යනු අටුවා ය. ගිහියකු විසින් සලාක බත් දීම් ආදී වූ යම් කිසි කුශලකර්‍මයක් කරන්නෙමි, යි සිත් උපන් ඇසිල්ලෙහි ම අනෙකෙක් හට ඉඩ නො තබා ම “මම පළමු කරන්නෙමි, මම පළමු කරන්නෙමි” යි ඉදිරිපත් ව වහා ඒ කළ යුතු ය. පැවිද්දහු විසින් උපාධ්‍යායවත් ආචාර්‍ය්‍යවත් ආගන්තුකවත් ගිලන්වත් ආදී යමක් කරන්නහු අනෙකක්හට කිරීමට ඉඩ නො තබා ම “මම පළමු කරන්නෙමි, මම පළමු කරන්නෙමි” යි වහා වහා කළ යුත්තේ ය, යි මෙයින් පැහැදිලි කළහ.
පාපා චිත්තං නිවාරයෙ = පව්කමින් සිත වළකා ලන්නේ ය.
පව්කමින් කියා හෝ අකුශලචිත්තොත්පාදයෙන් කියා හෝ අරුත් ගත හැකිය. ‘පාපා චිත්තන්ති කායදුච්චරිතාදිතො වා පන පාපකම්මතො වා අකුසලචිත්තුප්පාදතො වා’ යනු අටුවා බැවිනි. අකුසල් සිතිවිලි, අකුසලචිතුප්පාද නම්.
නිවාරයෙ, යනු ක්‍රියා පද යි. එහි වූ ‘ නි’ යනු උපසර්‍ග යි. එයින් වැඩුනු ‘ වාරයෙ’ යනු සිත අකුශලකර්‍මයෙන්, නොහොත් අකුශල චිත්තොත්පාදයෙන් මුළුමනින් වැළැකිය යුතු බව කිය යි. අකුසල් ටිකකුත් සිතෙහි නො තැබිය යුතු ය. අකුසල් සිතිවිලි නො ඉපද විය යුතු ය යනු, කී සේ ය. මේ උපසර්‍ගය, නිරවශේෂ, අභාව ව්‍යපන, අතිශය, මෝක්‍ෂ, සමූහ, ගෘහ, ආදේශ, උපමා, හීන, ප්‍රසාද, නිර්‍ගත, අත්‍යය, දර්‍ශන, අවසාන, නිෂ්ක්‍රාන්ත, අධෝභාග, අවධාරණ, සමීප, බන්‍ධන, දක්‍ෂ, අන්තර්‍හාග, උපරති, ප්‍රාදුර්‍භාව, වියෝග, නිෂේධ, නීහරණ, ආවරණාදී අර්‍ත්‍ථයන්හි හෙයි. නිවරසෙසං, නිම්මක්ඛිකං, නික්කන්තො, නිග්ඝොසො, නිබ්බානං, නිචයො, නිකෙතනං, නිද්දානං නිදස්සනං, නිහීනසෙවී, නිය්‍යසො, නිග්ගතො, නික්කාසාවො, නිද්දිසති, නිට්ඨිතං, නිබ්බානං, නිධනිත්‍වා, නිච්ඡයො, නිස්සයො, නිබ්බන්‍ධො, නිපුණො, නිසාමෙති, නිරාසො, නිම්මිතං, නිරාලයො, නිවාරෙති, නීහරතො, නීවරණං යනු පිළිවෙළින් නිදසුන් ය. මෙහි ආයේ නිෂේධයෙහි ය.
දන්‍ධං හි කරතො පුඤ්ඤං = පසුබට ව පින් කරන්නහුගේ.
යමෙක් දෙම් ද, නො දෙම් ද, කෙරෙම් ද, නො කෙරෙම් ද, පල ලැබේ ද, නො ලැබේ ද, යි ගෝරුමඩ ඇති මගෙක යන්නකු සේ පින් කිරීමෙහි පසුබට වේ ද, හෙතෙමේ පින්කම් ලැසිව කරන්නේ ය. ඔහුට ඒකසාටක බමුණාට සේ බලවත් ව නැගෙන මසුරු මල නිසා කරන්නා වූ ද පින්කමෙන් නියම පල නො ලැබේ. මසුරුකම මිනිසා උසස්බවෙන් පහත හෙලන, මිනිසා ගේ සතුරෙකි. මසුරුකම නැමැති මිනිස් සිත් තුළ නගින මේ සතුරා, මිනිසාට නපුර කරණුයේ මෙලොවින් පමණක් නො වේ. එලොව මෙලොව දෙකින් ම නපුරක් ම කරන්නේය. එහෙයින් මේ මසුරුකම අන් හැම සතුරකුට වඩා නපුරු ය. අහිතකර ය. දන් පින් ආදී යම් පින් කමක් කරන්නට සිතූයේ ද, එයට ඉඩ නො දෙන්නේ මේ මසුරුකම ය. මසුරුකම වඩාත් බලගතු වනුයේ බණ දහම් නො දත්, දූ පුතුන් ගැණ සිත සිතා ඉන්නා මෝඩ මිනිසාට ය. ඔහුට තමා ගැණ සිතනු බැරි ය. පරලොව ගැණ සිතනු බැරි ය. ලැසි ව තතන තතනා පින්කම් කරණු ඒ නිසා ය.
දන්‍ධං, යනු ක්‍රියා විශේෂණ යි. ලැසිබව පසුබට බව එයින් කිය වේ. හි, යනු, නිපාත ය. පදපූරණයෙහි වේ. ‘වුත්තං හි භගවතා එවං බුද්ධං සරන්තානං’ යනාදි තන්හි හේතුවෙහි ය. ‘ ජිනවචනයුත්තං හි’ යනාදී තන්හි අවධාරණයෙහි ය. ‘වුත්තං හි’ යනාදී තන්හි දළ්හීකරණයෙහි ය. ‘ හින්‍ද ගු’ යනාදී තන්හි අබ්භූතකර්‍මයෙහි ය. ‘ හින්තාලං’ යනාදී තන්හි විශේෂයෙහි ය. ‘ හෙලා හිදාලං’ යනාදි තන්හි දුඃඛයෙහි ය. ‘හි පංචවග්ගානං අනුක්කමො ඨානානුක්කමෙන වෙදිතබ්බො. පඨමං කණ්ඨ ඨානං පතිට්ඨිතං. තතො තාලු මුද්ධදන්තොට්ඨට්ඨානානි’ යනාදී තන්හි සත්‍යයෙහි ය. ‘හි සත්‍ථං අධීයතෙ විදු’ යනාදී තන්හි තර්‍ක ශාස්ත්‍ර යෙහි ය.
‘පුනාතීති = පුඤ්ඤං’ පින් කරන්නහු හෝ ඔහු පිළිබඳ සන්තානය (යම් සන්තානයෙක තෙමේ උපන්නේ නම්, ඒ සන්තානය) පවිත්‍ර කෙරේ, නු යි දාන ශීල භාවනා යන චේතනා ත්‍රිකය පුඤ්ඤ නම් වේ. දානාදිචේතනාවෝ, ලෝභාදි අකුශලයන් මැඩ, සිත පවිත්‍ර කරණ බැවින්, පුණ්‍ය නම් වෙති යි කී සේ ය. රාග, දෝස, මෝහ, කෝධ, උපනාහ, මක්ඛ, පලාස, ඉස්සා, මච්ඡරිය, මායා, සාඨෙය්‍ය, ථම්භ, සාරම්භ, මාන, අතිමාන, මද, පමාද යනාදී කෙලෙස් හේතු කොට, සත්ත්‍වසන්තානය නිතර අපවිත්‍ර වන්නේ ය. කෙලෙස් නිසා අපවිත්‍ර වන චිත්ත සන්තානය, දානාදිචේතනාවෙන් තදඞ්ගාදිවසයෙන් ඔවුන් ඔබා මැඩ, පිවිතුරු කෙරෙත්. එහෙයින් ඒ චේතනා පුණ්‍ය නම්.
‘ජුජ්ජභාවං ජනෙතීති = පුඤ්ඤං’ දානාදිචේතනාවෝ දානාදී චේතනාවන්ගෙන් යුක්ත වූවන්ගේ පූජ්‍යත්‍වය ඇති කෙරෙත්. ඔවුන් පිළිබඳ කොට පූජ්‍යත්‍වය උපදවත්, ‘පූජිතං වා නෙතී = ති පුඤඤං දානාදිචේතනාවෝ පින්කම් කරන්නහු පුදන ලද්දකු කොට පිදිය යුත්තකු කොට සමාජයට පමුණුවත්.
පාපස්මිං රමතී මනො = සිත පාපයෙහි ඇලේ.
කුසල්කම් කරණ මොහොතෙහි ම සිත කුසල්හි ඇලෙයි. ඉන් ඉක්බිති පවට නැමී ගණි යි. කුසල්දහම් වහ වහා කළ යුතු ය යි වදාළෝ එහෙයිනි. ඉමක් නො දැක් විය හැකි කාලයක් පවට බොහෝ සෙයින් නැමී සිටි සිත, ඉන් මුදා කුශලකර්‍ම කෙරෙහි නතු කිරීම පහසු නො වේ. එහෙයින් අකුශලකර්‍මයන්ට ඉඩ නො තබනු පිණිස කුශලකර්‍ම වහා කළ යුතු ය, යි වදාළ සේක.
දේශනාවසානයෙහි බොහෝ භික්‍ෂූන් වහන්සේලා සෝවන් ඵලාදියට පැමිණියාහු ය.
චුලේකසාටකබ්‍රාහ්මණ වස්තුව නිමි.