යථාගාරං දුච්ඡන්නං වුට්ඨී සමතිවිජ්ඣති
එවං අභාවිතං චිත්තං රාගො සමතිවිජ්ඣති.
නොමනා සේ සෙවිලි කළ කිසි ගෙයක් වැසි දහර යම් සේ විනිවිද යේ ද, එසේ ම කාමරාග තෙමේ භාවනා වශයෙන් නො වැඩු සිත අතිශයින් විනිවිද යෙයි.
යථාගාරං සුච්ඡන්නං වුට්ඨී න සමතිවිජ්ඣති
එවං සුභාවිතං චිත්තං රාගො න සමතිවිජ්ඣති.
වැසි දහර සකස් කොට සෙවිලි කරන ලද ගෙයක් යම් සේ විනිවිද නො යන්නේ ද, එ පරිදි ම කාමරාග තෙමේ භාවනා වශයෙන් මොනවට වැඩු සිත විනිවිද නො යයි.
මාගේ ස්වාමිදරු වූ සම්මා සම්බුදුරජානන් වහන්සේ, පවත්වන ලද උතුම් දම්සක් ඇති සේක්, රජගහානුවරට වැඩම කොට, වෙළුවනමහවෙහෙරැ වැඩ වසන සේක. එ කල්හි සුද්ධෝදන මහ රජුන් විසින් ‘මාගේ පුත්‍රයා කැඳවා ගෙණ අවුත් මට දක්වවු’ යි ඇමැතියන් දස දෙනකු වරින් වර, බුදුරජුන් වෙත යැවී ය. ඔවුනතුරෙන් හැමට පසු බුදුරජුන් වෙත ගිය කාලුදායි තෙමේ එහි දී රහත්බවට පැමිණියේ කල් දැන, මගවැණුම් වණා, විසි දහසක් රහත් භික්‍ෂූන් සමග, සම්බුදුරජානන් වහන්සේ කිඹුල්වතට පැමිණ වී ය. එහි දී උන්වහන්සේ නෑයන් ඉදිරියෙහි පොකුරු වැස්සක් කරුණු කොට වෙස්සන්තර ජාතකය වදාළ සේක. ‘උත්තිට්ඨෙ නප්පමජ්ජෙය්‍ය’ යනාදි ගාථාව දෙසා, පියානන් සෝවන් පලයෙහි පිහිටුවාලූ සේක. අනතුරු ව ‘ධම්මං චරෙ’ යනාදි ගාථාව දේශනාකිරීමෙන් මහාපජාපතිගෝතමිය සෝතාපත්තිඵලයට ද, සුද්ධෝදන මහරජු සකදාගාමීඵලයට ද පමුණුවා, නැවැත දන් වලඳා අවසන් කොට, එහි දී රාහුලමාතාවන්ගේ ගුණ කථාව ඇසීමෙන් චන්දකිනනරජාතකය දෙසූහ. එයින් පසු දා නන්ද කුමරුන්ගේ අභිෂේකය - ගෘහප්‍රවෙශය - විවාහය යන මංගල උත්සවයන් පවත්නා අතර, පිඬු සිගා එහි වැඩි සේක. එහි දී නන්ද කුමරුගේ අතට තමන් වහන්සේගේ පාත්‍රය දී මඞ්ගල සූත්‍රය දේශනා කොට, හුනස්නෙන් නැගිට, පාත්‍රය නො ගෙණ වැඩි සේක. නන්ද කුමරු, බුදුරජුන් කෙරෙහි වූ බලවන් ගෞරවය නිසා, ‘ස්වාමීනි! පාත්‍රය ගෙණ වඩින්නැ’ යි කියන්නට අපොහොසත් ව, ‘පඩිපෙල අග දී පාත්‍රය ගණු ඇතැ’ යි සිතා බුදුරජුන් පසු පස ගියේ ය. උන්වහන්සේ එහි දී පාත්‍රය නො ගත්හ. එවිට නන්‍දකුමරු ‘පඩිපෙළ මුල දී පාත්‍රය ගණු ඇතැ’ යි සිතා ගියේ ද, එහිදීත් නො ගත්හ. නැවැත ‘ගෙමිදුලෙහි දී ගණු ඇතැ’ යි සිතා ගියේ ද, එහි දීත් නො ගත්හ. මෙසේ ‘අතැන දී ගණු ඇත, මෙතැන දී ගණු ඇතැ’ යි සිත සිතා, බුදුරජුන් පසුපස ගිය කුමරුන්ගේ සිත්හි, ගමන් නවතාලීමෙහි අදහස උපන්නේ ද, බුදුරජුන් කෙරෙහි වූ ගෞරවය නිසා පාත්‍රය ගන්නැයි කියන්නට, ඔහු අපොහොසත් වි ය. බුදුරජුන් පසු පස්සේ ම ගියේ ය. බුදුරජුන් පසු පස්සේ යන නන්ද කුමරු, දුටු ගෑණු පිරිමි, ජනපදකල්‍යාණිය වෙත ගොස් ‘දනිවු ද, ආර්‍ය්‍යාවෙනි! නන්ද කුමරුන් ඔබගෙන් වෙන් කරන්නට සිතා, බුදුරජානන් වහන්සේ ඔහු විහාරයට කැඳවා ගෙන ගියහ’ යි දැන්වූහ. එය අසා කලබලයට පත් ජනපදකල්‍යාණී තොමෝ, කඳුලු හෙලමින් හිස පිරිමදිමින් වහා ගොස් ‘ආර්‍ය්‍යපුත්‍රය! මේ කොතැන යහු ද? පාත්‍රය බුදුරජුන්ට දී වහා එන්නැ’ යි කිවු ය. ඒ වචනය කුමරුගේ ලෙහි තදින් ඇණී සිටියේ ය. බුදුරජානන් වහන්සේ පාත්‍රය නො ගෙණ කුමරුන් විහාරයට ගෙණ ගොස් නන්‍දය! පැවිදි වන්නැ’ යි කී ය. ඔහු ද බුදුරජුන් කෙරෙහි ඇති ගෞරවය නිසා බුදුරජුන්ගේ කීම බැහැර නො කොට, ‘හොඳ යි. පැවිදි වෙමි’ යි කී ය. එවිට බුදුරජානන් වහන්සේ ‘එසේ නන්‍දයා පැවිදි කරවු’ යි භික්‍ෂූන්ට නියම කළහ. බුදුරජුන් කිඹුල්වතට වැඩම කොට තුන්වන දිනයෙහි නන්ද කුමරු පැවිදි කළ සේක.
සත්වන දිනයෙහි යශෝධරා තොමෝ, තම සුරතල් පුත් කුමරුන් නන්වැදෑරුම් විසිතුරු වූ වසත්‍රාභරණයන්ගෙන් හොඳට සරසා, ‘මා පියපුත! විසි දහසක් මහණුන්ගෙන් පිරිවැරුණු බඹකයට බඳු රන්වන් සිරුරක් ඇතිව අර මගැ යන මහණහු දෙස බලන්න, ඒ නුඹගේ පියා, ඔහුට අයත් ඉතාලොකු නිදන් කීපයක් ඇත, ඔහු ගෙයින් නික්ම ගිය දා සිට, ඒ නිදන් අපට දකින්නට නො ලැබින, යන්න! පුතේ! ගොස් කියන්න! පියේ! මම අභිෂේක ලැබ සක්විතිරජ වන්නෙමි, මිලමුදිලින් මුතු මැණිකෙන් කළයුතු වැඩ බොහෝ රාශියක් මා ඉදිරියෙහි තිබේ, එය පියාට ද පෙණෙන්නේ ය, පියා සතු නිදන් ගත වූ ඒ වස්තු මට දෙන්න! ඔබ සතු සියල්ලට ම හිමියා ඔබ පුත් වූ මම ය’ යි කියා දායාද ඉල්ලන්නැ’ යි කියා, බුදුරජුන් ඉදිරියට යැවූ ය. රාහුල කුමාර තෙමේ, බුදුරජුන් වෙතට ගොස්, පියපෙම් උපදවා ගෙණ තුටු සිත් ඇතියේ, ‘පියේ! ඔබගේ සෙවන මට මහත් සැපයෙකි, මට එතරම් සැපයෙක් මුළු ලොව ම නැත, ඔබ මා හැර ගියහු කුමක් නිසා ද, අම්මාගේ ගැහැටෙක් ඔබට වී ද, නැත, සීයාගේ තර්‍ජනයෙක් වී ද, ගෙදර දොරේ වැඩ කටයුතු සිත් නො ගත්තේ ද, කියන්න! පියේ! මා හැර ඔබට ජීවත් විය හැකි ද, මට ඔබ හැර අන් පිහිටෙක් නැත, එන්න, පියේ ගෙදර යන්නට, මට ඔබසතු සියලු නිදන් දෙන්නැ’ යි කියමින්, බුදුරජුන් වෙත සිටියේ ය. බුදුරජානන් වහන්සේ දන් වලඳා අනුමෙවෙනි කොට, කිසිත් නො බැණ හුනස්නෙන් නැගී වැඩි සේක. එවිට කුමාර තෙමේ ‘දායාද දෙන්නැ’ යි කියමින් බුදු රජුන් ලුහුබැඳ ගියේ ය. උන්වහන්සේ ද ඔහු නො නැවත්තූ සේක. පිරිවරජනයා ද කුමරු නවතාලන්ට අපොහොසත් විය. කුමරු දායාද ඉල්ලමින් විහාරයට ම ගියේ ය. එවිට බුදුරජානන් වහන්සේ මේ දරුවා ඉල්ලන ධනය මොහුට හිත පිණිස නො වේ. එය නිතර දුක් දෙන්නෙකි, දුක් දෙන ඒ ධනය ද මොහුට දිය යුතු නො වේ, දෙතොත් දියයුත්තේ මා බෝමැඩ දී ලැබූ උත්තම වූ ආර්‍ය්‍ය ධනය යි, ලෝකෝත්තරධනයට හිමියෙක් කළ යුතුය මොහු’ යි සිතා, ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ එහි කැදවා, ‘ශාරීපුත්‍රය! මෙය බලන්න, රාහුල මාගෙන් දායාද ඉල්ලන සැටි, ඒ නිසා මොහුට දියයුත්තේ බෝමැඩ දි මා ලැබූ ඒ ආර්‍ය්‍යධනය යි, එය ය මොහුට හිත පිණිස වන්නේ, සසරක දිග්ගැසෙන ධනයෙක් මොහුට දියයුතු නො වේ, එ හෙයින් රාහුල පැවිදි කරන්නැ’ යි වදාළ සේක. බුදුරජුන්ගේ නියමය පරිදි ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ කුමරු පැවිදි කළහ. ඒ බව දත් සුද්ධොදන මහරජුන්ගේ සිත තදින් දැවෙන්නට විය. බලවත් දුකෙක් හට ගැණින. රජ තෙමේ ‘මවුපියන් විසින් නො අණුදන්නා ලද පුත්‍රයෙක් පැවිදි නො කළයුතු කොට ව්‍යවස්ථා පණවන්නටැ” යි, බුදුරජුන්ට දන්වා සිටියේ ය. උන්වහන්සේ පියරජු ගේ ඒ ඉල්ලීම පරිදි, එසේ ව්‍යවස්ථා පැණවූ සේක. නැවැත දවසෙක රජගෙදර උදෑසනැ දන් වලඳා අවසන් කොට එහි වැඩ හුන් බුදුරජුන්ට රජ තෙමේ ‘ස්වාමීනි! ඔබවහන්සේ දුෂ්කර ක්‍රියා කරණ දවසෙහි එක් දෙවියෙක් මෙහි මා ඉදිරියට අවුත්, ‘ඔබගේ පුතු කලුරිය කෙළේ ය’ යි මට කීය, එහෙත් මම එය නො පිළිගතිමි, මාගේ පුතා බුදුබවට නො පැමිණ කලුරිය නො කරන බව මම ඔහුට කිමි, එයට පෙර ද මිනී ඇට කිහිපයක් ගෙණවුත් පෙන්වා ඔබ පුතු මළේ ය’ යි කීවිට ද, මම එය නො ඇදහීමි’ යි කීයේ ය. බුදුරජානන් වහන්සේ එහි දී මේ කාරණයෙහිලා මහාධම්මපාල ජාතකය වදාළ සේක. එය අසා සිටි රජ තෙමේ අනාගාමිඵලයට පැමිණියේ ය.
මෙසේ බුදුරජානන් වහන්සේ පියරජු එල තුනෙක පිහිටුවා භික්‍ෂුසඞ්ඝයාත් කැඳවා ගෙණ, පෙරළා රජගහානුවරට වැඩි සේක. උන්වහන්සේ එහි වැඩ වසන කල්හි අනේපිඬු මහාසිටුහු විසින් සැවැත්නුවරට වැඩමවීමට ආරාධනා කරණ ලද්දෝ. දෙව්රම් මහවෙහෙරැ කළ යුතු කටයුතු නිමි කල්හි එහි වැඩමවා එහි වැඩ වාසය කළහ. ඒ අතර නන්ද ස්ථවිරයන් වහන්සේ ශාසනයෙහි නො ඇලුනෝ, භික්‍ෂූන් ඉදිරියෙහි ‘ඇවැත්නි! ශාසනයෙහි ඇලීමෙක් මට නැත, මාගේ සිත ශාසනයෙහි නො ඇලේ, ගිහි වන්නට ම ය සිත, මේ දැන් ශාසන බ්‍රහමවර්‍ය්‍යයෙහි හැසිරෙන්නෙම් ද, එහි ඇලුමක් බැඳුමක් ඇතුව නො වෙමි, මහණකම කරන්නට නො හැක්කෙමි, ශික්‍ෂාව ප්‍රතික්‍ෂේපකොට ගිහි වන්නෙමි’ යි කීහ. බුදුරජානන් වහන්සේ මේ බව දැන, නන්‍දතෙරුන් තමන් වහන්සේගේ ඉදිරියට කැඳවා, ‘ඒ සත්‍ය දැ?’ යි ඇසූහ. නන්ද ස්ථවිරයන් වහන්සේ ‘එසේ ය’ යි කී කල්හි ‘තමුසේ කුමක් නිසා ශාසනයෙහි නො ඇලුනහු ද, බඹසර රකින්නට ඇති අමාරුව අපහසුව කුමක් ද, කුමක් නිසා ගිහිවන්නට සිතුවහු ද, කියවු’ යි වදාළ සේක. ‘ස්වාමීනි! ශාක්‍ය දුහිතෘ වූ ජනපදකල්‍යාණී තොමෝ එදා අප ගෙදරින් එද්දී, මා දැක අඬ අඬා දුව ඇවිත් ‘ආර්‍ය්‍යපුත්‍රය! වහා එන්නැ’ යි කී වචනය, මට නිතර සිහි වේ, ඒ සිහි වන විට මාගේ ගත සිත පෑරී යයි, සසුනෙහි ඇලුම නැති වේ, නිතර සිහියට නගින්නී ජනපද කල්‍යාණිය යි, එහෙයින් මහණකමට සිත නො නගියි, සිවුරු හැර යෑමට අදහසැ’ යි නන්ද තෙරුන් කී විට, බුදුරජානන් වහන්සේ තෙරුන් අත ගෙණ, ඍද්ධිබලයෙන් තව්තිසාදෙව්ලොවට ගෙණ යන්නෝ, අතර මගැ මිනිසුන් දැවූ හේනක දැවී ගිය කණුවක් මත හුන් කපා හළ කන් නාසා වලිගා ඇති එක් පුලුටු වැඳිරියක පෙන්වා, දෙව්ලොවට නැග, එහි සක්දෙව්රජුට උපස්ථානයට ආ පරවියන්ගේ පා වැනි පා ඇති දැකුම්කලු දෙවඟනන් පන් සියයක් දැක්වූහ. අනතුරු ව තෙරුන් අමතා, ‘නන්‍දය! තමුසේගේ අදහස කෙසේ ද, ජනපදකල්‍යාණිය තමුසේ ගේ සිත් ගන්නී ද, මේ දෙවඟනෝ සිත් ගන්නෝ ද, වඩා හැඩ වඩා දැකුම්කලු කවුරු ද, ජනපදකල්‍යාණිය ද හැඩ, මේ දෙවඟනෝ ද, කියන්න, නන්ද! තමුන්ගේ සිත ඇලුනේ, කවුරුන් කෙරෙහි දැ, යි කියවු’ යි වදාළ සේක. එවිට නන්ද ස්ථවිරයන් වහන්සේ ‘ස්වාමිනි! ජනපදකල්‍යාණිය අප එද්දී අතර මග දී දුටු කපා හළ කන් නාස් වලිගා ඇති පුලුටු වැඳිරිය වැනි ය. ඈ මේ දෙවඟනන්ට මොනලෙසකින්වත් සම නො වේ, මේ දෙවඟනෝ ම හැඩ ය, දැකුම්කලු ය, මා සිත් ගණිති’ යි කීහ. බුදුරජානන් වහන්සේ ‘එසේ නම් තමුසේ සසුන්හි සිත් අලවා බඹසර රකින්න, මම තමුසේට මේ දෙවඟනන්ගෙන් පන් සියයක් ලබාදීමට ඇප වෙමි’ යි වදාළ විට ‘ස්වාමීනී! බුදුරජානන් වහන්සේ මට දෙවඟනන් පන් සියයක් ලබා දෙන්නට ඇපවන සේක් නම්, මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර හැසිරෙමි’ යි තෙරුන් වහන්සේ කීහ. නැවැත බුදුරජානන් වහන්සේ, නන්ද තෙරුන් දෙව්රම් වෙහෙරට ගෙන ආහ. එ වේලෙහි එහි විසූ භික්‍ෂූන් වහන්සේලා ‘භාග්‍යවතුන් වහන්සේ කුඩා මෑනියන්ගේ පුත් නන්ද තෙරණුවෝ දෙවඟනන් ලබාගැණීමට බ්‍රහ්මචර්‍ය්‍ය රකිති’ යි ද, උන් ලබා දෙන්නට බුදුරජානන් වහන්සේ ඇප වූහ’ යි ද, දැන ‘ඒක ද, නන්ද ස්ථවිරයෝ කුලියට වැඩ කරන්නෙක, විකුණා ගන්නා ලද්දෙක, දෙවඟනන් ලබාගැනීමට බඹසර හැසිරෙන්නෙක, බුදුරජානන් වහන්සේ ඔහුට දෙවඟනන් පන්සියයක් ලබා දෙන්නට පොරොන්දු වූහ’ යි නන්ද තෙරුන්ට අපහාස ලෙසින් කතා කරන්නට වූහ. එවිට ස්ථවිර තෙමේ යහළුවගේ ඒ කතායෙන් හටගත් ලජ්ජායෙන් මිරිකුනේ, පෙළුනේ, එයින් ම භික්‍ෂුපිරිසෙන් වෙන් ව ගියේ, තනි වූයේ, අප්‍රමත්ත වූයේ, කෙලෙස් තවන වැර ඇත්තේ, හළ ආත්මාලය ඇත්තේ වැඩි දවස් නො යවා ම රහත් පලයට පැමිණියේ ය.
ඉක්බිති එක් දෙවියෙක් රාත්‍රියෙහි මුළු දෙව්රමහවෙහෙර බබුලුවා, බුදුරජුන් වෙත පැමිණ, වැඳ ‘ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! නන්ද ස්ථවිරයෝ ආශ්‍රවයන් නැති කොට ලැබිය යුතු ඵලසමාධිය හා ඵලප්‍රඥාව ලබා වෙසෙත්’ යි දැන්වී ය. බුදුරජානන් වහන්සේ ද නන්ද තෙරුන් රහත් වූ බව නුවණින් දැන සිටියහ. එදා රෑ ඉක්මගිය පසු ස්ථවිර තෙමේ බුදුරජුන් වෙත ගොස් ‘එදා භාග්‍යවතුන් වහන්සේ මට දෙවඟනන් ලබාදීමට ඇපවුහ, එහෙත් මම අද භාග්‍යවතුන් වහන්සේ ඒ මට වූ ඇපයෙන් මුදා හරිමි’ යි කියා සිටියේ ය. එවිට බුදුරජානන් වහන්සේ, ‘නන්ද! තමුසේ රහත්බවට පැමිණ වසනබව, මම දැන සිටියෙමි, මට දෙවියෙක් ද, ඒ බව දැන්වී ය, නන්ද! තමුසේගේ සිත යම් දිනෙක ආශ්‍රවයන් ගෙන් මිදුනේ ද, එදා ම මම තමුසේට වූ ඒ ඇපයෙන් මිදුනෙමි’ යි වදාළහ. බුදුරජානන් වහන්සේ,
“කෙලෙස්මඩ තරුයේ - යමෙක් කම්කටු මැඩුයේ,
නිවනට පැමිණියේ ඔහු - සුවදුක් දෙක්හි නො සැලේ”
යන ප්‍රීතිවාක්‍යය පහළ කළ සේක.
මේ අතර එක් දිනෙක භික්‍ෂූන් වහන්සේලා නන්ද තෙරුන් කරා ගොස් ‘ස්ථවිරතුමනි! දැන් කෙසේ ද පසු ගිය දා සසුන කෙරෙහි කලකිරී සිටියෝ නො වහු ද, අදත් එසේ දැ’ යි ඇසූහ. ‘ස්ථවිරවරුනි! එදා ගිහිගෙය ගැණ මාසිතැ පැවැති කැමැත්ත දැන් නැත, එය මුළුමනින් නැති ව ගොස් තිබේ, දැන් පොඩ්ඩක් වත් ගිහිකමෙහි ආලයෙක් නැතැ’ යි තෙරුන් කීවිට ඒ භික්‍ෂූහු ටනන්දයා බොරු කියයි, රහත්බවට පැමිණියෙමි යි කියයි, පසු ගිය දා කීයේ සසුනෙහි කලකිරී සිටුනා බව ය, අද රහත්බවට පැමිණි බවක් හඟවා, නඥයා බොරු කියයි, මෙය බුදුරජුන්ට දැන්විය යුත්තෙකැ’ යි බුදුරජුන් වෙත ගොස් එය දන්වා සිටියහ. බුදුරජානන් වහන්සේ ‘මහණෙනි! නන්දගේ ඒ කීම ඇත්ත යි, නන්ද කියේ බොරු නො වේ, පසුගිය දවසෙහි නන්දගේ අත් බව සකස් කොට මැනැවින් නො සෙවිලි කළ ගෙයක් වැනි ව තුබුනේ ය, දැන් එසේ නො වේ, ඒ එදා ය, දැන් සකස් කොට මැනැවින් සෙවිලි කළ ගෙයක් වැනි ය, නන්‍ද, දෙවඟනන් දුටු දා, සිට මහණදම් පලසහිත කරන්නට මහන්සි ගත්තා, වැර දැරුවා ඒ මහන්සිය ඒ වැරදැරීම දැන් මුදුන් පැමිණ තිබේ, නන්‍දගේ මහන්සිය වැරදරීම පලසහිත වී ය’ යි මේ ධර්‍මෙද්ශනාව කළ සේක:-
යථාගාරං දුච්ඡන්නං වුට්ඨි සමතිවිජ්ඣති,
එවං අභාවිතං චිත්තං රාගො සමතිවිජ්ඣති.
.
යථාගාරං සුච්ඡන්නං වුට්ඨි න සමතිවිජ්ඣති,
එවං සුභාවිතං චිත්තං රාගො න සමති විජ්ඣතීති.
නො සකස් කොට සෙවිලි කළ ගෙය වැස්සෙන් තදින් තෙමී යන්නේ යම් සේ ද, එසේ නො වැඩු සිත, රාගය තෙමේ තදින් විනිවිද යයි.
සකස් කොට සෙවිලි කළ ගෙය, වැස්සෙන් තදින් නො තෙමෙන්නා සේ, මනා කොට වැඩු සිත රාගය තෙමේ තදින් විනිවිද නො යයි.
යථා අගාරං දුච්ඡන්නං = නො සකස් කොට සෙවිලි කළ ගෙය.
යථා, යනු නිපාත යි. එය යෙදුනේ, නො සකස් කොට සෙවිලි කළ ගෙයත්, ශමථ - විදර්‍ශනා භාවනා වශයෙන් නො වැඩු සිතත් එක් ලෙසකින් සමාන බව දක්වනු සඳහා ය.
අගාර නම්, ගෙය යි. දුච්ඡන්න යන, කුදු මහත් සිදුරු ඇති කොට සෙවිලිකරණ ලද, යන අරුත් ඇත්තේ ය. ගෙවල් සෙවිලි කිරීම නො දත් ඒ ගැණ පළපුරුදුකම් නැතියවුන් විසින් තණ, පිදුරු, රුක් පොතු, උළු ආදී වූ ඒ ඒ උපකරණයන්ගෙන්, සිදුරු තබා, නො සකස් කොට සෙවිලි කරන ලද ගෙය ‘දුච්ඡන්නං, අගාරං’ යන මෙයින් කිය වේ. මිනිසුන් තම තමන්ගේ විසීමට. ගොඩ නගන තණගෙවල්, කොළ ගෙවල්, පිදුරු ගෙවල්, උළු ගෙවල් ආදී වූ හැම ගෙයක් අගාර’ යන්නෙන් ගැණේ.
වුට්ඨි සමතිවිජ්ඣති - වැසි දහර (යම් සේ) තදින් විනිවිදිනී වේ ද.
‘වස්සනං = වුට්ඨි’ ‘වස්ස-සෙචනෙ’ යන ධාතුවෙන් ති ප්‍රත්‍යය ව සිද්ධ ය.
එවං අභාවිතං චිත්තං = එසේ නො වැඩූ සිත.
නො සකස් කොට සෙවිලි කළ ගෙය යම්බඳු ද, නො වැඩූ සිතත් එබඳුය යනු, මෙයින් පැහැදිලි කරති. සිතේ වැඩීම ක්‍රම දෙකකින් සිදු කළ හැකි ය. ඒ ක්‍රමදෙක, ශමථ-විදර්‍ශනා නාමයෙන් ආගමෙහි එයි. කාමච්ඡන්ද - ව්‍යපාද - ථිනමිද්ධ - උද්ධච්ච කුක්කුච්ච - විචිකිච්ඡා යනාදී වූ කෙලෙසුන් සංසිඳ වන්නට ශමථ යානිකයාගේ වශයෙන් නියමිත වූ අටතිස් අරමුණු අතුරෙන්, එක්තරා අරමුණක සිත එල්වා තබා, එහි ම සිත දියුණු කිරීම ශමථ නම. කෙලෙස් සංසිඳුවන අරුතින් ශමථ නම් වේ. ශුද්ධ වූ ශමථභාවනා තොමෝ තදංග-විෂ්කම්භණවිමුක්තීන්ගේ වශයෙන් කෙලෙස් සංසිඳුවා ලයි. පඨවී-ආපො-තෙජො-වායො-නීල-පීත-ලොහිත-ඔදාත-ආකාස-ආලෝකකසිණ, යන දස කසිණය ද, උද්ධුමාතක-විනීලක-විපුබ්බක-විච්ඡිද්දක-වික්ඛායිතක-වික්ඛිත්තක-හතවික්ඛිත්තක-ලොහිතක-පුළවක-අට්ඨික යන දස අසුභය ද, බුද්ධ-ධම්ම-සඞ්ඝ-සීල-චාග-දෙවතා-උපසම-මරණ-කායගතා-ආනාපානසති, යන දස අනුස්සතිය ද, මෙත්තා-කරුණා-මුදිතා-උපෙක්ඛා, යන සතර බ්‍රහ්මවිහාරය ද, ආකාසානඤ්චායතන-විඤ්ඤාණඤ්චායතන-ආකිඤ්චඤ්ඤායතන-නෙවසඤ්ඤානාසඤ්ඤායතන, යන සතර අරූපද්ධ්‍යානය ද, යන මේ අටතිසෙන් එකෙකි, ශමථභාවනා වඩන්නට අරමුණු වන්නේ. එ ද චරිතානුකූලව ම වේ. ඒ ඒ චරිත ඇත්තන් දෙස බලා ය ආගමෙහි මේ අරමුණු අටතිසක් කොට බෙදුවෝ. ආහාරෙපටික්කූලසඤ්ඤා-චතුධාතුවවත්‍ථාන දෙක, කායගතාසතියෙහි ඇතුළත් වන බැවින් මේ අරමුණු, අටතිසෙක් වේ.
සංස්කාරධර්‍මයන් කෙරෙහි නිසර්‍ගසිද්ධ වූ ප්‍රකෘතියෙන් කැවී ඇති අනිත්‍ය - දුඃඛ - අනාත්ම යන ලකුණු තුන, ගතිගුන සිතට ගෙණ, නොයෙක් වර සිත එහි වැඩීම්, විදර්‍ශනා නම, සංස්කාරයන්ගේ ඇති තතු ඒ හැටියෙන් නො වෙනස් ව හොඳින් දැනගන්නා අරුතෙන් විදර්‍ශනා නම් වේ. සංස්කාරයන් කෙරෙහි වූ අනිත්‍යාදි ලක්‍ෂණ සිතට නගා සිත එහි පුරුදු කිරීමෙන් භවත්‍රයයෙහි වූ කිසිවක සිත නො ඇලෙ යි. කිසිවිටෙකත් සංස්කාර ධර්‍ම නිත්‍ය-ශුභ-සුඛාදිවශයෙන් නො ද පිළිගණි යි. සාසකාරයන් පිළිබද අනිත්‍යාදී වූ ලකුණුවල පුන පුනා වැඩීමෙන් බලවත් ව ගිය විදර්‍ශනාව ‘උත්‍ථානගාමිනී විදර්‍ශනා’ යි කියනු ලැබේ. මේ ය එකාන්තයෙන් නිවන ලබා දෙන්නී.
ශමථ-විදර්‍ශනා වශයෙන් නො වැඩු සිත, සත්වයනට අහිතකර බව ‘චිත්තං භික්ඛවෙ! අභාවිතං මහතා අනත්‍ථාය සංවත්තති” යනාදී වූ දේශනාවන්ගෙන් ද පැහැදිලි වේ. [1]
‘එවං’ යනු, නිපාත යි. ඒ වනාහි පටිභාග-සම්පටිච්ඡන-නිදස්සන-ආකාර-උපමා-සංපහංසන-උපදෙස-වචනපටිග්ගහන-අවධාරණ-ගරහ යනාදී වූ නොයෙක් අරුත්හි ආයේ ය. ‘එවං විජිතසඞ්ගාමං සත්‍ථවාහං අනුත්තරං’ යන තන්හි පටිභාගයෙහි, ‘එවං භන්තෙති බො තෙ භික්ඛු භගවතො පටිස්සුත්‍වා’ යන මෙහි සම්පටිච්ඡනයෙහි, ‘එවම්පි තෙ මනො’ යන මෙහි නිදස්සනයෙහි, ‘එවං බ්‍යා ඛො අහං භන්තෙ භගවතා ධම්මං දෙසිතං ආජානාමි’ යන මෙහි ආකාරයෙහි ‘එවං ජාතෙන මච්චෙන කත්තබ්බං කුසලං බහුං’ යන මෙහි උපමායෙහි, ‘එවං තෙ අභික්කමිතබ්බං එවං තෙ පටික්කමිතබ්බං’ යන මෙහි උපදෙසයෙහි ‘එවං භන්තෙති ඛො තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං’ යන මෙහි වචනපටිග්ගහනයෙහි, ‘තං කිං මඤ්ඤථ කාලාමා -පෙ- එවං නො එත්‍ථ හොති’ යන මෙහි අවධාරණයෙහි ‘එවමෙවං පනායං වසලි යස්මිං වා තස්ස මුණ්ඩකස්ස සමණස්ස වණ්ණං භාසති’ යන මෙහි ගරහායෙහි ආයේ ය. මෙහි පෙණී සිටියේ ප්‍රතිභාගාර්‍ත්‍ථයෙහි ය.
රාගො සමිතිවිජ්ඣති = රාගය තෙමේ තදින් විනිවිදියි.
නො සකස් කොට සෙවිලි කළ ගෙය, වැසිදියෙන් නිතර තෙමී යන්නා යන්නා සේ, භාවනා වශයෙන් දියුණු නො කළ සිත, රාගය තෙමේ විනිවිද, පසාකොට යයි. “තං අගාරං වුට්ඨි විය භාවනාරහිතත්තා අභාවිතං චිත්තම්පි රාගො සමිතිවිජ්ඣති” යනු අටුවා ය. රාගය පමණක් ම නො වැඩු සිත විනිවිද යන්නේ නො වේ. අනෙක් දෝස - මෝහ - මානාදි සකලක්ලේශයෝ ම, එබදු සිත නො වැඩු සිත තදින් විනිවිද යති. “න කෙවලා රාගො ව, දොසමොහ මානාදයො සබ්බකිලෙසා තථාරූපං චිත්තං අතිවියවිජ්ඣන්ති යෙව” මේ ඒ අටුවා ය.
රාග නම්, රූපාදී වූ අරමුණුවල ඇලීම ය. සත්ව තෙමේ යම් ශක්තියකින් රූපාදී වූ අරමුණුවල ඇලේ නම්, ඒ ඇලීමට උපකාර වූයේ ද රාග ය යි. “රඤ්ජනං, රඤ්ජන්ති වා යෙන සො රාගො” යනු අරුත්කීම ය.
යථා අගාරං සුච්ඡන්තං = සකස් කොට සෙවිලි කළ ගෙය.
යථාගාරං’ යනු කී සේ ය. සුච්ඡන්න, යන්න ‘නො තෙමෙන සේ මැනැවින් සෙවිලි කරණ ලද’ යන අරුත් ඇත්තේ ය.
වුට්ඨි න සමිතිවිජ්ඣති = වැසි දහර ( යම්සේ) තදින් විනිවිදිනි නො වේ ද.
එවං සුභාවිතං චිත්තං = එසේ මැනැවින් වැඩු සිත.
රාගො න සමතිවිජ්ඣති = රාගය තෙමේ තදින් විනිවිදිනේ නො වේ.
ශමථ-විදර්‍ශනා භාවනාවශයෙන් මැනැවින් දියුණුවට පත් කළ සිත, මැනැවින් සෙවිලි කළ ගෙය වැනි ය. ඒ ගෙය මහත් වූ වැසිදියකිනුදු විනිවිදැ නො තෙමෙන්නා සේ, භාවනා බලයෙන් ඔද වැඩුනු තෙදගැණුනු සිත රාගයට විනිවිද, පසා කොට නො යා හැකි ය. භාවනායෙන් වැඩුනු දැමුනු රැකුනු සිත, රූපාදී ව අරමුණු, නිත්‍ය - ශුභ - සුඛාදි වශයෙන් නො පිළිගණි යි. සත්වයාහට අහිත වූ රූපරාගාදීහු ඒ සිතෙහි නූපදනා හ. ඒ බව මෙයින් වදාළෝ.
දේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියෝ ය. දේශනාව මහාජනයාට වැඩ සහිත වූ ය.
ඉන් පසු භික්‍ෂූන් වහන්සේලා ‘බුදුවරයෝ ආශ්චර්‍ය්‍යවත්හ, නො සිතිය හැකි වූ මහාතෙදගුණ ඇත්තෝ ය, ජනපදකල්‍යණිය නිසා කලකිරී සිටි නන්ද ස්ථවිර තෙමේ බුදුරජුන් විසින් දෙවඟනන් ලබා දෙන්නට ඇප වී මුළුමනින් හික් මවන ලදැ’ යි ධර්‍මශාලාවට රැස් ව බුදුගුණ කිය කියා උන්හ. ඒ අතරතුර බුදුරජානන් වහන්සේ එහි වැඩි සේක. ‘මොක ද, මහණෙනි! තමුසේලා කියන්නහු’ යි අසා වදාළ කල්හි ‘භාග්‍යවත් බුදු රජානන් වහන්ස! බුදුරජානන් වහන්සේ නන්ද තෙරුන් දමනය කළ සැටි කතා කරමින් හුන්නමෝ ය’ යි භික්‍ෂූහු දන්වා සිටියහ. ‘එහෙම ද, තමුසේලා දන්නහු, අද ඊයේ නන්ද දැමු සැටි යි, පෙරත් මම නන්දයා දැමීමි, ඒ දැමුයේ ද මාගමක් පෙන්වා ය’ යි බුදුරජුන් වදාළ විට ‘ස්වාමීනි! අපටත් දැන ගන්නට ඒ වදාරණු මැනැවැ’ යි ද ඔවුහු ඇයද සිටියාහ.
“මහණෙනි! අසවු! පෙර දවස බරණැස්නුවර බඹදත් නම් රජෙක් රජය කෙළේ ය, එ දවස ම එහි ‘කප්පට’ නම් වෙළෙඳෙක් විසී ය, දස අමුණක් බර ගණ යා හැකි කොටලුවෙක් ඔහුට සිටියේ ය, ඌ එක දවසට සත් යොත්නක් පමණ දුර ගමන් කර යි, වෙළෙන්දා දිනෙක කොටලුවාගේ පිට බඩු පටවා ගෙණ තක්සලාවට ගොස්, ගෙණ ගිය බඩු වෙළඳපල තබා බඩු විකිණෙන තුරු ඌ බැම්මෙන් මුදා හැරියේ ය, කොටලුවා ද කැමැති සේ වැව් බැම්මක් මතු පිට හැසිරෙන්නේ, එහි සිටි කොටලු දෙනක දැක, ඈට ලං විය, එවිට;
කොටලු දෙන |
:- |
හා! කොතැනක සිට ආයෙහි ද? |
කොටලුවා |
:- |
බරණැස සිට. |
කොටලු දෙන |
:- |
මොක ද ආයෙහි? |
කොටලුවා |
:- |
වෙළඳාමට. |
කොටලු දෙන |
:- |
කෙතෙක් බර ඉසිලිය හැකි ද? |
කොටලුවා |
:- |
දස අමුණක්. |
කොටලු දෙන |
:- |
මෙතෙක් බර උසුලා කෙතෙක් දුර යා හැකි ද? |
කොටලුවා |
:- |
සත් යොත්තක්. |
කොටලු දෙන |
:- |
අත් පා මඩිනියක්? |
කොටලුවා |
:- |
නෑ. |
කොටලු දෙන |
:- |
එසේ නම් මහ දුකක්. |
යි උන් දෙන්නා අතර කථා ප්‍රතිකථාවක් උපන.
තිරිසනුන් අතර පා මිරිකීම් ආදියක් නැතත්, තිරිසන් සත්‍රිය කෙරෙහි ද, සත්‍රීමායමෙහි අඩුවක් පාඩුවක් නැති බැවින්, තමන් කෙරෙහි ඇලුම් කරවන්නට සිතා මෙසේ කිවු ය, ඇගේ මේ කතාවෙන් කොටලුවා උකටලී විය, කප්පටයා ද’ වෙළඳාමට ගෙනා බඩු විකොට, කොටලුවා ලඟට ගොස්, ‘ඉතින් යමු’ යි කී විට කොටලුවා ‘ඔබ යන්න! මට නො යා හැකි’ යි කී ය. වෙළඳ තෙමේ ඌ ගෙණ යෑමට උත්සාහ කෙළේ ද, නො හැකි ව බිය ගන්වා ගෙණ යමි යි සිතා,
‘කොටලුව! තට මෙ මම - සොළොසඟුල් දික් කටු ඇති,
කෙවිටක් කොටින් පහරා - තගේ සිරුර සිඳ බිඳ ලමි’
යි කී ය, එවිට කොටලුවා,
‘මට ඔබ කප්පටය! - සොළොසඟුල් දික් කටු ඇති,
කෙවිටක් කරන්නෙහි නම් - පහර දෙනුවස් එදවස,
පිහිටා පෙර පයින් - පසු පස පා නගා මම,
තගෙ කටට ඇණ දත්ටික - බිඳලමි දනුව තෝ එය’
යි කීයේ ය, වෙළෙදා කොටලුවාගේ මේ වේගවත් කියමන අසා, ‘කුමක් නිසා මෙසේ කියා දැ’ යි සිතමින් ඔබිනොබ හැසිරෙන්නට විය, එවිට එහි සිටි කොටලුදෙනක දැක ‘මූ මෑ කෙරෙහි ඇලුනේ වන, මූ මැය විසින් මෙසේ කියන්නැ යි උගන්වන ලද්දේ වන, ඒ නිසා අන් මායමක් පෙන්වා, පොළොඹවා ගෙණ යමි, යි සිතා,
‘සිවුපයැති සක්වන් - මූණැති හැමඟ හොබනා,
කොටලු දෙනක මම් තට - අඹු කොට ගෙනෙමි කොටලූ!’
යි මෙසේ කී ය, එයසා සතුටට පැමිණි කොටලුවා,
‘කප්පට වෙණද! ඔබ - කී ලෙස නො හැර ඒ හැටි,
සිවුපයැති සකයුරවත් - අගපසඟ හැම හොබනා,
කොටලු දෙනක මට - අඹු කොට ගෙණෙන්නෙහි නම්,
තුදුස් යොත්නක් දුර බර - උසුලා රැගෙණ යමි මම’
යි කී ය, ඉක්බිති කප්පට තෙමේ ‘හා! හොඳයි යන්නට එව’ යි කොටලුවා ගෙණ, සිය ගෙට ගියේ ය, ඌ කිහිප දිනකට පසු, ‘ඔබ මට අඹුවක ගෙනැවිත් දෙන බව කියූයේ නො වෙහි ද? එහි පමාවන්නෙහි කුමක් නිසා දැ’ යි ඇසී ය, ‘ඔව්! මම එසේ කීයෙමි, මම එය කරන්නෙමි, තට අඹුවක ගෙනැවිත් දෙන්නෙමි, එහෙත් මා දෙන කුලිය නම් තට පමණක් ම දෙමි. දැන් දෙන කුලිය ම ය එදාට දෙන්නේත්, දැන් නම් මට එයින් ජීවත් විය හැකි ය, අඹුවක ගෙණාවිට, මා දෙන ඒ වැටුප, දෙදෙනාට ජීවත්වීමට සෑහේ දැ’ යි මට නො කියැකි ය, එය සෑහේවා හෝ, නො සෑහේවා මට එයින් වැඩක් නැත, තෝ ම එය දැන ගණුව, තොප දෙදෙනාට දූ පුතුන් ලැබුනොත්, පවුල තවත් බරපතල වන්නේ ය, ඒ හැම කෙනකුම තාගේ වැටුපෙන් දිවි පැවැත්විය යුතු ය, මා මේ ටික කී යේ, තට සිතන්නට යැ’ යි වෙළෙන්ඳා කී කල්හි අඹුව ගැණ කොටලුවාගේ තුබූ බලාපොරොත්තුව මුළුමනින් නැතිව ගියේ ය’ යි බුදුරජානන් වහන්සේ නන්ද තෙරුන් පිළිබඳ ඉකුත් පුවත මෙසේ දක්වා, ‘මහණෙනි! එදා ඒ කොටලු දෙන, මෙදා මේ ජනපද කල්‍යාණිය ය, එදා ඒ කොටලු තෙමේ, මෙදා මේ නන්‍ද තෙමේ ය, කප්පට වෙළඳ තෙමේ මම මැ’ යි වදාරා ‘මම පෙරත් මොහු මාගමක් පෙන්වා, ඒ මගින් පොළොඹවා හික්ම වූ යෙමි’ යි වදාළ සේක. එහි සිටි භික්‍ෂූන් වහන්සේලා, ඒ අසා බුද්ධගුණයෙහි අතිශයින් ප්‍රමුදිත වූහ.
නන්‍දස්ථවිරවස්තුව නිමි.
‘ඵන්‍දනං චපලං චිත්තං’ යන්නට කළ පරිකථාව බලනු. ↑