ඉධ සොචති පෙච්ච සොචති පාපකාරී උභයත්‍ථ සොචති
සො සොචති සො විහඤ්ඤති දිස්වා කම්ම කිලිට්ඨමත්තනො.
පව් කරන සුලු පුද්ගල තෙම (මැරෙන කාලයෙහි කර්‍මානුස්මරණ වශයෙන්) මෙ ලොව දී ශෝක කරයි. විපාකානුභව වශයෙන් පරලොව දී ශෝක කරයි. (මෙසේ) දෙලොවදී ම ශෝක කරයි. තමාගේ කිලිටි කර්‍ම දැක හෙ තෙම (මෙ ලොව දී) ශෝක කරයි. (නොයෙක් සැටියෙන් වැලැපෙන්නේ) වෙසෙසින් පෙළෙයි.
පණස් පස් වසක් ඌරන් මරා කමින්, කා ඉතිරි කොටස විකුණමින්, ජීවිතය ගෙණ ගිය චුන්දසූකරික තෙමේ දුර්භික්‍ෂකාලයෙහි වී සහල් ගැලෙක පටවා ගෙණ, ජනපදයට ගොස්, නැළිය දෙ නැළිය පමණ දීලා ගම් ඌරු පැටවුන් ගෙණ, වී සහල් ගෙණ ගිය ගැලෙහිම ලා ගෙණැවිත්, ගේ පිටිපස ගාලක් පිළියෙල කොට එහි රඳවා, කෑම් බීම් දී පොෂණය කරයි. උන් කාබී වැඩුනු පසු, ඌරකු මරණ දිනයෙහි ඌරා අල්ලා, ඔබනොබ පැන යන්නට නො හැකි පරිදි කණුවක තද කොට බැඳ, මස් තර කරන්නට සිවු රැස් මුගුරකින් තළයි. ඌරා මරහඬ දෙයි. පැය කිහිපයක් තළා සිරුරු මස් ඝන වූ පසු කට හරවා දඬුකඩක් දමා කකියන උණුදිය, හැන්දකින් ගෙණ, උරාගේ කටෙහි වත් කරයි. ඒ උණුදිය බඩ තුළට ගොස්, සියලු මල මූ කසළ ගෙණ මලමගින් නික්මෙයි. කිසිත් කසළෙක් බඩතුළ ඉතිරි නො වේ. අනතුරුව උණුදිය ඇඟපත වත් කොට, ලොම් හා කලු හම ගලවා දමයි. ගිනිහුලකින් ද ලොම් දවා හරියි. නැවැත බෙල්ල කපා හිස සිරුරෙන් වෙන් කොට ඉන් වැගිරෙන ලේ වළඳකට ගෙණ, සිරුරු මස් කුඩා කැබලිවලට කපා, වළඳෙහි වූ ලේ සමග අනා, උයා අඹුදරුවන් පිරිවරා හිඳ කයි. කා ඉතිරි කොටස විකුණයි. මොහු මෙලෙසින් පණස්පස් වසක් කල් ගෙවී ය. මොහු විසූ ගෙය පිහිටියේ වේළුවනාරාමය අසල ය. මෙ දවස බුදුරජානන් වහන්සේ වෙළුවනාරාමයෙහි වැඩ වාසය කෙරෙති. එහෙත් එක දවසකුදු චුන්දසූකරිකයා බුදුරජුන් වෙත නො ගියේ ය. බුදුරජුන් උදෙසා මල් මිටක් පූජා නො කෙළේ ය. බත් කටක් නො දුන්න්නේ ය. ඔහු කළ අන් පින්කමෙක් ද නැත්තේ ය.
මඳ කලක් ගිය පසු චුන්දසූකරිකයාගේ සිරුරෙහි ඉවසිය නො හැකි වූ බලගතු රෝගයෙක් හට ගැණින. මැරෙන්නට කල් තිබියදී ම, ඔහුට තෙමේ අවීවිමහානරකයෙහි වැටී එහි මහ ගිනි කඳින් දැවී ගියකු සේ වැටහින. අවීචිමහානිරයගින්න යොදුන් සියයකින් ඈත සිට බලන්නහුගේ ඇස් පුපුරුවා හරියි. ‘සමන්තා යොජන සතං ඵරිත්‍වා තිට්ඨති සබ්බදා’ යන මෙයින් ඒ බව බුදුරජානන් වහන්සේ වදාළ සේක. අවීචිමහානිරයගින්නෙහි බහාලූ මහාකුළුගෙයක් පමණැති මහගලක් බහාලූ ඇසිල්ලකින් පැසී යයි. ඒ නිරයගින්න එ තරම් බලගතු ය. දළ ය. එහෙත් එහි උපන් සත්වයෝ මවුකුසැ උපන්නවුන් සේ කර්‍මබලයෙන් නො නැසී සිටිති. තමන් නිරා ගින්නෙන් දැවුනෙකැයි වැටහුනු පසු වැදි තෙමේ තමන් කළ කර්‍මයට අනුරූප ව, වරක් දෙදණින් පෙර දොරටත්, වරක් පැසුළු දොරටත්, ඌරු හඬ තල තලා ගෙයතුළ ඔබිනොබ හැසිරෙන්නට වන. එවිට ගෙයි වැස්සෝ ඔහු තද කොට අල්වා කට වසති. කර්‍ම විපාකය වනාහි කිසිවකුටත් වළකාලන්නට නො හැකි ය. එ හෙයින් ඌරු වැද්දාගේ ඌරු හඬ නැඟීම වළකාලන්නට ඔවුහු අසමර්‍ත්‍ථ වූහ. ඔහු රෑ දාවල එකසේ ඌරු හඬ තල තලා ගෙය තුළ දෙදණින් හැසිරෙයි. අවට ගෙවල වැස්සෝ ද, එ හෙයින් නිදි නො ලැබ පෙළුනෝ ය. ඔවුහු චුන්දසූරිකයාගේ නෑදෑයන්ට ද ඇණුම් බැණුම් කළහ. එවිට නෑයෝ ඌ අල්ලා ගෙය තුළ ම ලා හිර කොට, ඒ මරහඬ ගෙයින් පිටතට නො ඇසෙන සේ. දොර ජනෙල් වසා, රෑ දාවල දෙක්හි ගෙයින් බැහැර ව සිටිති. ඌරු වැදි තෙමේ සත් දිනක් ගෙය තුළ ම නිරාගින්නෙන් දැවි දැවී මොර දෙමින් සිට, සත්වන දා මැරී ගොස්, අවීචිමහානරකයෙහි උපන. එහි තොරතුරු මඳක් දෙවදූත සුත්‍රයෙන් දත හැකි ය.
දිනක් චුන්දසූකරිකයාගේ ගේ අසලින් යන භික්‍ෂූන් වහන්සේලා ඒ මරහඬ අසා, ඌරකුගේ මොර ගෑමකැ’ යි සිතා වෙහෙරට ගොස් බුදුරජුන් කරා එළැඹ වැඳ ‘ස්වාමීනි! අර ගෙදර වසන චුන්දසූකරිකයා දැන් දින ගණනක සිට ඒ ගේ දොර වසා ඌරන් මරණබව පෙනේ, එකත් එකට ම ඔහුගේ ගෙදරැ මඟුලක් විය යුතු ය, එසේ වුව ද, මෙතෙක් ඌරන් මරන්නා වූ ඌට කරුණාවක්, මෛත්‍රියක් නූපන්බවය මහාපුදුමය, මෙබඳු දරුණු නපුරු මිනිහෙක් මෙයට කලින් අප දැක නැතැ’ යි කීහ. බුදුරජානන් වහන්සේ ‘මේ දවස්වල එහි ඌරන් මැරීමෙක් නැත, චුන්දසූකරිකයා මැරෙන්නට ලඟ ය, මැරෙන්නට කලදී ම තමන් කළ කර්‍මයට, පාපයට අනුරූප වූ විපාක ඔහු විඳියි, පණ තිබියදී ම, ඔහු අවීචිමහානරක දුක විඳියි, මේ ඒ ය, අවීචිමහානරකයෙහි උපදී’ යි වදාළවිට ‘ස්වාමීනි! මේ ඌරුවැද්දා මෙලොවදීත් ශෝකයෙන් පෙළී සිට මරණින් පසුත් ශෝක කරණ තැනෙක ම උපදින්නේ නො වේ දැ’ යි ඒ භික්‍ෂූන් වහන්සේලා නැවැතත් කීහ. ‘ඔව්! ගිහියෙක් හෝ වේවා, පැවිද්දෙක් හෝ වේවා, යමෙක් පව්කම් කෙළේ නම්, ඔහු දෙලොවම ශෝක කෙරේ ය’ යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක:-
ඉධ සොචති පෙච්ච සොචති
පාපකාරී උභයත්‍ථ සොචති,
සො සොචති සො විහඤ්ඤති
දිස්වා කම්මකිලිට්ඨමත්තනො ති.
පව් කරණ සුලු පුද්ගල තෙමේ මෙලොවැ ශෝක කරයි. පරලොවැ ශෝක කරයි. එලොවැ මෙලොවැ යන දෙලොවැ ම ශෝක කරයි. ඔහු තමන්ගේ කිලිටි කර්‍මය දැක ශෝක කරයි. හෙතෙමේ විශේෂයෙන් නැසෙයි.
ඉධ සොචති = මෙලොවැ ශෝක කරයි.
ශෝක කරණුයේ පව්කම් කරණ තැනැත්තේ ය. ඔහු ජීවත් වන්නේ ම තමන් කළ අකුශලකර්‍මයන්ගේ වශයෙන් ‘මා විසින් මෙතෙක් කුසල් නො කොට අකුසල් ම කරණ ලදැ’ යි ශෝක කරයි. මෙ ලෙසින් හෙතෙමේ සෙසු දවසැ ශෝක නො කෙළේ ද, මරණය ළං වූ විට නම්, මොන ලෙසකින් හෝ ශෝක කරන්නේ ම ය. ඒ එකාන්ත ම ය. කමම-කම්ම නිමිත්ත-ගතිනිමිත්ත වශයෙනි ඒ ශෝක කිරීම. මේ තුනෙන් එකක් සවස් වේලෙහි කඳු සෙවනැල්ල පෙර දිගට නතු ව වැටෙන්නා සේ, මරඇඳෙහි හෝනා සත්වයා කරා පැමිණ සිටියි, මේ වනාහි මවු පියාදී වූ කිසිවකු විසින් කරණු ලබන්නේ නො වේ. කර්‍මාදීහු කර්‍මානුභාවයෙන් ම එළැඹැ සිටිති. සත්වයකු අතැ ඇති කර්‍මයන්ගේ ගණන කියන්නට කිසිවක්හටත් නො පිළිවන. එය ගණන් මග ඉක්ම සිටියේ ය. අනතුරු භවයෙහි පිළිසඳ දීමට නියත වූ ප්‍රතිසන්ධිජනකකර්‍මය, කර්‍මනිමිත්තාදිය සත්වයා කරා එළවයි. සත්ව තෙමේ උපදවනු ලබන්නේ කර්‍මය විසිනැ යි දතයුතු ය. සත්වයකු මැරෙණවිට ඔහු ඉදිරියට බොහෝ සෙයින් එන්නේ ඔහු වැඩිවශයෙන් පුරුදු කළ කර්‍මය යි. යමෙක් ප්‍රාණ වධය ම වැඩිවශයෙන් පුරුදු කෙළේ නම්, ඒ ප්‍රාණවධ අකුශල කර්‍මය ඔහු මැරෙණවිට ඔහුට පෙණී යයි. ඒ අකුශලකර්‍මය කිරීමට ඔහුට යමක් උපකරණ වී නම්, දඬු මුගුරු කඩු තෝමර ආදී වූ ඒ ය කර්‍මනිමිත්ත. යමකු විසින් මෙයින් යමක් උපකරණ කොට ගන්නා ලද ද, ඔහු මැරෙණවිට උපකරණ කොට ගත් එය ඔහුට පෙණී යයි. සත්වයකු විසින් කළ අකුශලකර්‍මයන්ගේ වශයෙන්, කර්‍මය විසින් ම ගතිය ද නියම කොට, මරණාසන්නකාලයෙහි ඔහුට ගතිය ද දක්වනු ලබන්නී ය. නිරාගිනි-නිරයපාල-කාලසුනඛ-වන-ගඞ්ගාදිය ගතිය නියම කිරීම් වශයෙන්, මැරෙණ සත්වයාට පෙණී යන නිමිති ය. මේ නිමිති අකුශලකර්‍ම කළ සත්වයාගේ ඉදිරියට එන්නේ ය.
මෙසේ සත්ව තෙමේ මරණාසන්නකාලයෙහි ලං වූ මරණය ඇති කල්හි කර්‍මයත්, කර්‍මනිමිත්තත්, ගතිනිමිත්තත් දැක, මෙලොවැදී ම ශෝක කරයි.
පෙච්ච සොචති = පරලොවැ ශෝක කරයි.
පෙච්ච’ යනු, භවාන්තරවාචකනිපාතයෙකි. එය සප්තමී විභක්ත්‍යර්‍ත්‍ථ යි. ‘පෙච්චාමුත්‍ර භවන්තරෙ’ යනු කෝෂ යි. ප්‍රාණ වධාදී වූ අකුශලකර්‍ම කළ සත්ව තෙමේ දිවි හැර මැරී ගොස්, දුගතියක ඉපිද, එහි විඳින කර්‍කශ දුඃඛවිපාකයන්ගේ වශයෙන් ශෝක කරයි.
පාපකාරී = පව්කරණ සුලු පුද්ගල තෙමේ.
යමකුගේ ස්වභාවය පව්කම් කිරීම නම්, ඒ පාපකාරී’ ය. යමක් නො කොට හැරීමෙන් සත්පුරුෂයෝ තමන් රැක ගණිත් නම්, තමන් රැකුමට සත්පුරුෂයන් අත්හළ ඒ ක්‍රියා පාප’ නම් වේ. අපායයට පමුණුවන ක්‍රියා සියල්ල පාප නමින් ගණිත්.
“පාන්තී රක්ඛන්ති සුජනා අත්තානං අස්මාති = පාපං, අපායං පාති රක්ඛතීති වා, දුග්ගතිං පාපෙතීති වා = පාපං, පං අපායං පෙති ගච්ඡති එතෙනාති = පාපං” යනු නිරුක්ති කළ සැටියි.
කායකර්‍ම-වාක්කර්‍ම-මනස්කර්‍ම යි පාපකර්‍මය තෙ වැදෑරුම් ය. එහි ද කායකර්‍ම-මනස්කර්‍ම තුන් තුන් වැදෑරුම් වූයේ, වාක්කර්‍මය සිවුවැදෑරුම් වේ. මුළුල්ල දසයෙකි. මෙ කර්‍මද්වාරවශයෙනි. ප්‍රාණඝාත-අදින්නාදාන-කාමමිත්‍ථ්‍යාචාර යන මෙ තුන කායද්වාරයෙන් සිදුවන කායකර්‍ම යි.
එහි ජීවිතේන්ද්‍රියප්‍රතිබද්ධ වූ ස්කන්ධ - ධාතු - ආයතනයන්ගේ එක්වීම ගැළපීම කැටිවීම, සත්ව යි කියනු ලැබේ. ඒ සත්වයාගේ පරමාර්‍ත්‍ථ විසින් ජීවිතෙන්ද්‍රියයාන්ගේ විනාශය කර්‍මානුරූප ව හිමින් සිදුවන්නට ඉඩ නො දී යම්කිසි උපක්‍රමයකින් වහා විනාශ කිරීම ය ‘ ප්‍රාණඝාත’ නම්. මෙන්න එය අටුවාව කී සැටි : “පාණාතිපාතොති සනිකං පතිතුං අදත්‍වා පාණස්ස අතීවපාතොති” යි.
කායද්වාර-වාග්ද්වාර යන ද්වාර දෙකින් ප්‍රධාන වශයෙන් කායද්වාරයෙහි පැවැති වධකචේතනාව ප්‍රාණඝාත නම් වේ. කයින් අදහස් හැඟවීම වචනයෙන් අදහස් හැඟවීම සිතින් අදහස් හැඟවීම යන මෙතුන කායකර්‍මාදීන්ගේ නිකුත් වීමට දොරටු වන බැවින් ද්වාර නම් වේ.
ප්‍රාණඝාත අකුශලයට අඞ්ග පසක් ලැබිය යුතු ය. ප්‍රාණියකු බව-ප්‍රාණියකු බව දැනීම-පණ නැසීමෙහි සිත-එහිලා යොදන උපක්‍රම-ඉන් මැරීම යන මේ ය ඒ පස. මොවුන් අතරෙහි යම්කිසි අඞ්ගයෙක් නො ලැබ ගියේ නම්, ප්‍රාණඝාතය, අකුශලකර්‍මභාවයට නො පැමිණේ.
ප්‍රාණියකුබව නම්, ජීවිතෙන්ද්‍රිය ප්‍රතිබද්ධ වූ දිවි ඇති යම්කිසි සතකු වීම ය. සතකු මැරීමට ඉදිරිපත් වූවහු විසින් මොහු දිවි ඇති එකෙකැ යි හොඳින් දැනීම ප්‍රාණියකු බව දැනීම නම්, ඌ මොනලෙසකින් හෝ මැරීමට සිතීමය පණනැසීමෙහි සිත නම්. උපක්‍රම නම්, මැරීම පිණිස කරනු ලබන ප්‍රයෝගය යි. ප්‍රයෝගය සවැදෑරුම් ය. සාහත්‍ථික- ආණත්තික-නිස්සග්ගික-ථාවර-විජ්ජාමය-ඉද්ධිමය යි. අත් පා ආදී වූ සිරුර පිළිබඳ අවයවයකින් නැත, දඬු මුගුරු ඈ යමකින් පහරදීම සාහත්‍ථික’ නම්. මෙසේ ඇණ කොටා මරන්නැ යි අනුනට කරණ නියෝගය ආණත්තික’ නම්. ඈත්හි සිටියකු මරන්නට දඬුමුගුරු ඈ යමකින් කරණ ප්‍රයෝගය නිස්සග්ගික’ නම්. මරන්නට උගුල්ඇටවීම්, බොරු වළ කැණීම්, උල් සිටුවීම්, වැව්පොකුණුවල විස යෙදීම්, ඈ විසින් කරණ ප්‍රයෝගය ථාවර’ නම්. මන්ත්‍ර ජප කිරීම් ඈ විසින් කරන ප්‍රයෝගය විජ්ජාමය’ නම්. ඍද්ධිබලයෙන් කරණ ප්‍රයෝගය ඉද්ධිමය’ නම්.
මෙහි, සාහත්ථිකය, උද්දිස්ස - අනොද්දිස්ස විසින් දෙවැදෑ රුම් ය. ‘අසුවලා මරව’ යි කරණ ලද නියමයෙහි සිට අත් පා දඬු මුගුරු ඈ යමකින්, ඒ නියම කරණ ලද සත්වයා නැසීමට මැරීමට කරණ ලද ප්‍රයෝගය ‘උදිස්සසාහත්ථික’ නම්. අත්පා දඬුමුගුරු ආදී වූ යමකින්, නියම කරණලද සත්වයා ගැණ නො සලකා නියම නො කරණලද අන් සතකු දිවි ගලවන්නට කරණ ප්‍රයෝගය අනොදිස්සසාහත්ථික’ නම්. මරන්නට කරන ලද ප්‍රයෝගයකින්, එකෙණෙහි මළ ද, කලක් ගොස් මළ ද ප්‍රයෝග කළාවූ ඇසිල්ලෙහි ම ප්‍රාණඝාත අකුශලය සිදු වේ.
ආණත්තිකය, වස්තු - කාල - දෙශ - ශස්ත්‍ර - ඊර්‍ය්‍යාපථ - ක්‍රියා - විශේෂ විසින් ස වැදෑරුම් ය. අණකිරීමෙන් මරන්නට ලක් කරණ සත්වයා වස්තු. ‘අසුවල් වේලෙහි මරව’ යි නියමිත පෙරවරු-පස්වරු කාලාදියය කාල. අසුවල් නුවර දී, ගම දී තැනේ දී මරව යි නියම කරණ ලද නුවර ගම් පෙදෙස් ඈ ය දෙශ, අසුවල් ආයුධයෙන් ගසා ඇණ මරව යි දැක් වූ ආයුධාදිය ය ශසත්‍ර. ඒ පිණිස ම දැක් වූ ඉඳුම් හිටුම් ආදී වූ ඉරියවු ය ඊර්‍ය්‍යාපථ. මේ එකකුත් වරදවා කළ ප්‍රාණඝාතයට, අණකළ තැනැත්තේ නො බැඳෙන්නේය.
මඳ වූ වෑයමකින්, සිරුර පමණින් කුඩා වූ සත්වයකු නැසීමෙන් වන අකුශලය අල්පසාවද්‍ය ය. මහත් වූ වෑයමකින්, සිරුර පමණින් මහත් වූ සත්වයකු නැසීම මහාසාවද්‍ය ය. සත්වයාගේ ප්‍රමාණය අනුව මැරීමට කරණ උපක්‍රමය උස් පහත් වේ. මහත් වූ උපක්‍රමයකින්, මහත් වූ තිරිසන් සතකු මැරීමෙන් වන අකුශලයට වඩා, පව්කම් කරණ සුලු පව්කම්හි යෙදුනු මිනිසකු මැරීම මහාසාවද්‍ය ය. ගුණහීන මිනිසකු මැරීමෙන් වන අකුශලයට වඩා ගුණවත් වූ මිනිසකු මැරීම මහාසාවද්‍ය ය. මැනැවින් පන්සිල් රකින්නකු මැරීමට වඩා, අටසිල් රකින්නකු මැරීම මහාසාවද්‍ය ය. අටසිල් රකින්නකු මැරීමට වඩා දසසිල් රකින්නකු මැරීම මහාසාවද්‍ය ය. මෙසේ මිනිසුන් අතර ගුණයන්ගේ උස්මිටිකම් අනු ව, මේ අකුශලකර්‍මයාගේ අල්පසාවද්‍ය - මහාසාවද්‍යභාවය දතයුතු ය.
ප්‍රාණඝාත අකුශලය සතර අපායයෙහි දුක්විඳීමට හේතු වේ. ප්‍රාණඝාත අකුශලය ප්‍රාණඝාතය කළහු අපායයෙහි උපදවා දුක් දෙයි. සතර අපායයෙහි වැටුනු ඔහු, පෙර දවසැ කොට තුබූ යම්කිසි පිණකින්, ඉන් ගැල වී ගොස් මිනිස්බවට ආයේ, මඳ වූ ආයු ඇත්තෙක්, විරූපයෙක්, වෑරුණු සිරුරු ඇත්තෙක්, බෙල හීනයෙක්, සිත් නො ගත් දැකුම් ඇත්තෙක්, බිම නො වදනා වක් වූ පාතල ඇත්තෙක් වන්නේ ය. මේ හැමට වඩා ප්‍රාණඝාතී පුද්ගලයා සතර අපායයෙහි ඉපිද විඳුනා දුක ම ඉතා බිහිසුණු ය. ඉතා දැඩි ය. ඉතාමහත් ය. මෙන්න බුදුරජානන් වහන්සේ වදාළ සැටි ඒ සියල්ල පිඬු කොට:-
“පාණාතිපාතො භික්ඛවෙ! ආසෙවිතො භාවිතො බහුලීකතො නිරයසංවත්තනිකො හොති, තිරච්ඡානයොනිසංවත්තනිකො හොති, පෙත්තිවිසයසංවත්තනිකො හොති, යො සබ්බලහු, සො පාණාතිපාතස්ස විපාකො, මනුස්සභූතස්ස අප්පායුකසංවත්තනිකා හොතීති” යි.
ලෝභ-දෝස-මෝහ යන මොවුන් මුල්වීමෙන් මේ අකුශල කර්‍මය සිදු වේ. මස් කන්නට, මස් විකොට මිලමුදල් උපයන්නටැ යි සතුන් මරන්නාහට ලෝභය මුල් කොට ද, මූ මට විපතක් කළැ යි සතුන් මරන්නාහට දෝසය මුල් කොට ද, ‘සතුන් මරා දන් දීමෙහි, යාග කිරීමෙහි වරද නැතැ’ යි සතුන් මරන්නාහට මෝහය මුල් කොට ද මෙය සිදුවන්නේ ය. “තෙසු පාණාතිපාතො දොසමූලෙන ජායති” යන ආචාර්‍ය්‍ය වචනයෙන් පෙණනුයේ මේ අකුශලකර්‍මය දේවෂය මුල් කොට සිදුවන බවය. ප්‍රධාන ඒ ය. එහෙයිනි එසේ කීයේ. ලෝභය හා මෝහය ද මෙයට මුල් ය. මතකභත්ත - ධොනසාබජාතක බැලිය යුතුය.
‘දිවි ඇත්තෙක් නො වේ’ යි සිතැත්තාහට, දිවි ඇත්තකු බව නො දන්නාහට, ‘මරමි’ යි සිත් නැත්තාහට, උම්මත්තකාදීන්ට මේ සිදු නො වේ.
වස්තු හිමියා විසින් කයින් හෝ වචනයෙන් නො දුන්, වස්තු හිමියා විසින් රක්නාලද දෙය අදින්න නම්. “ අදින්නං නාම යං අනිස්සට්ඨං අපරිච්‍චත්තං රක්ඛිතං ගොපිතං මමායිතං පරපරිග්ගහිතං එතං අදින්නං නාම” යන ආප්ත වචනයෙන් එය පැහැදිලි වේ. ඒ අනුන් සතු දෙය ගැණීම අදින්නාදාන ‘නැමැයි කොටින් දැන ගතයුතු ය. යම් වස්තුවක් අනුන් අයත් ය යි දැන දැන ඒ ගන්නා පිණිස යෙදූ උපක්‍රමයන්ගෙන් හටගැණුනු කායවාග්ද්වාර දෙකින් එක්තරා ද්වාරයක පැවැති සොරසිත අදින්නාදානැ’ යි කියනලද ය.
අදින්නාදානඅකුශලකර්‍මය වනාහි අඞ්ග පසක් එකතු වූ තැනය සිදු වන්නේ. මෙන්න ඒ පස. අනුන් අයත්බව - එබවදැනීම - නො කියා, නො විචාරා ගණිමි යන සිත - ගන්නට කරණ උපක්‍රම - එයින් ගැණීම. මෙයින් එකක් වත් නො ලැබ ගියේ නම්, අදින්නාදාන අකුශලකර්‍මයෙක් එහි නැත. අදින්නාදානඅකුශලකර්‍මයට මේ පසඟ ම ලැබිය යුතු ය. අදින්නාදානය වන්නේ, ථෙය්‍යාවහාර - පසය්හාවහාර - පටිච්ඡන්නාවහාර - පරිකප්පාවහාර - කුසාවහාර යන මේ පස් ලෙසින් එක් ලෙසකින් ගැණීමෙනි. එහි ථෙය්‍යාවහාර නම්, නුදුන් දෙය වංචාවෙන් ගැණීම ය. පසය්හාවහාර නම්, බලාත්කාරයෙන් ගැනීම ය. පටිච්ඡන්නාවහාර නම්, සඟවා ගැණීම ය. පරිකප්පාවහාර නම්, කල්පනාවශයෙන් නියම කොට ගැනීම ය. කුසාවහාර නම්, කුසපත් සලකුණු පමුණුවා ගැණීම ය.
පවිටු මිනිසකු අයත් වූ වස්තුවක් සොරකම් කිරීමෙන් වන අකුශලය අල්පසාවද්‍ය, වේ. ගුණවත් මිනිසකුට අයත් වූ වස්තුවක් සොරකම් කිරීමේ දී මහාසාවද්‍ය වේ. ගුණයන්ගේ උස්මිටිකම් අනු ව අල්පසාවද්‍ය මහාසාවද්‍යභාවය වන්නේ ය.
අදින්නාදානඅකුශලය, සතර අපායයෙහි දුක් විඳීමට හේතු වේ. අදින්නාදාන අකුශලය අදින්නාදානය කළහු, (සොරකම් කළහු) සතර අපායයෙහි උපදවා දුක් දෙයි. සතර අපායයෙහි වැටුනු ඔහු, යම්කිසි පිණකින්, ඉන් ගැල වී ගොස් මිනිස්බවට ආයේ දීනයෙක්, දිළින්දෙක්, නො මනා දැකුම් ඇත්තෙක් වන්නේ ය. මේ හැමට වඩා අදින්නාදායී පුද්ගලයා සතර අපායයෙහි විඳුනා දුක ම ඉතා බිහිසුණු ය. ඉතා දැඩි ය. ඉතාමහත් ය. මේ එය බුදුරජානන් වහන්සේ සියල්ල පිඩු කොට වදාළ සැටි:-
“අදින්නාදානං භික්‍ඛවෙ! ආසෙවිතං භාවිතං බහුලීකතං නිරයසංවත්තනිකං හොති, තිරච්ඡානයොනිසංවත්තනිකං හොති, පෙත්තිවිසයසංවත්තනිකං හොති, යො සබ්බ ලහු, සො අදින්නාදානස්ස විපාකො, මනුස්සභූතස්ස මනුස්සදොභග්ගියසංවත්තනිකං හොතීති” යි.
ලෝහ-දෝස-මෝහ යන මෙ තුන, මෙයට මුල් වේ. ‘තමන් හා අඹුදරුවන් රකිමි’ යි සිතා, අනුන් අයත් නො දුන් දෙය, සොරසිතින් පැහැර ගන්නහුට, ලොහය මුල් කොට ද, නවාඝාත වස්තුන්ගේ වශයෙන් ක්‍රෝධය උපදවා, අන්සතු දෙය පැහැර ගන්නහුට, දෝසය මුල් කොට ද, ‘දුෂ්ට නිග්‍රහ කරමි” යි ගෙණ, අන්සතුදෙය පැහැර ගන්නහුට, මෝහය මුල් කොට ද සිදුවන්නේ ය. තුන්වන, පස්වන සීලවිමංසනජාතක බැලිය යුතුය.
ක්ලේශකාම විසින් කායද්වාරයාගේ ලාමක වූ නින්දිත වූ හැසිරීමෙන් සිදුවන අකුශලකර්‍මය කාමමිත්‍ථ්‍යාචාර’ නම්. මෙවුන්දම් සෙවුමේ අදහසින්, කායද්වාරයෙහි හට ගැණුනු නො යා යුතු වූ ස්ථාන ව්‍යතික්‍රමණචේතනාව කාමමිත්‍ථ්‍යාචාරැ’ යි කියන ලදි.
“කාමෙසු මිච්ඡාචාරොති එත්‍ථ පන කාමෙසූති මෙථුනසමාචාරෙසු මිච්ඡාචාරොති එකන්තනින්‍දිතො ලාමකාචාරො, ලක්ඛණතො පන අසද්ධම්මාධිප්පායෙන කායද්වාරප්පවත්තා අගමනීයට්ඨානවීතික්කමචෙතනා කාමෙසු මිච්ඡාචාරො” යන මෙයින් කීයේ ඒ ය. ලෝකසම්මතනීතියෙන් අඹුසැමි බවට නො ගිය සත්‍රී-පුරුෂයන්ගේ මගින් මග සෙවුමෙන් කරණ කාමසේවනය මේ. එය තිරිසනුන්ගේ කාමසේවනයට ද වඩා නින්දිත ය. ලාමක ය. වැරදි සහිත ය. සතර අපායදුකට හිත ය. කාලකණ්ණි කමට හේතු ය. දරුපවුල්දිවිය බිඳවැටීමට හේතු ය.
කාමමිත්‍ථ්‍යාචාරඅකුශලකර්‍මය, සිවූ අඟක් එකතු වූ තැනය සිදු වන්නේ. නො සෙවිය යුතු ස්ත්‍රී - පුරුෂයන් අතුරෙන් එකතු වීම-මෙවුන්දම්සෙවුමෙහි පැවැති සිත-ඒ පිණිස කරණ උපක්‍රම-මගින් මගසෙවුම ඉවසීම යන මේ ය ඒ සිව් අඟ. මින් එකකුත් නො ලැබුනු කල්හි අකුශලකර්‍මයෙක් සිදු නො වේ.
මොවුහු ය නො පැමිණිය යුතු ගෑණු. අන් සතු ගෑණු. ඈලා විසිදෙනෙකි. මාතුරක්ඛිතා - පිතුරක්ඛිතා - මාතුපිතුරක්ඛිතා - භාතුරක්ඛිතා - භගිනිරක්ඛිතා - ඤාතිරක්ඛිතා - ගොත්තරක්ඛිතා - ධම්මරක්ඛිතා - සාරක්ඛා - සපරිදණ්ඩා - ධනක්කීතා - ජන්‍දවාසිනි - භොගවාසිනී - පටවාසිනී - ඔදපත්තිනී - ඔහතවුම්බටා - දාසිචභරියා - කම්මකරීචභරියා - ධජාහටා - මුහුත්තිකා.
මෑලා අතර, මුල සිට පිළිවෙළින් මාතුරක්ඛිතාදී වූ අට දෙනා සමග, ආරක්‍ෂකයන්ගේ නියමයෙන්, කැමැත්තෙන් වූ කම්සෙවුමෙහි යෙදුනහුට කාමමිත්‍ථ්‍යාචාර අකුශලය සිදු නො වේ. නියමයක්, ඉල්ලීමක් කැමැත්තක් නො ලබා කම්සෙවුම් කළෝ වරදෙහි බැදෙති. අන් දොළොස් ගෑණුන් හා මෙවුන්දම්සෙවුමෙහි යෙදුනවුන්ට යටැ කියූ අඞ්ගයන්ගේ ලැබීමක් ඇති කල්හි අකුශලකර්‍මය සිදු වේ.
ගුණහීනයන් හා මෙවුන්දම්සෙවුමෙහි ලා නැගෙන පාපය අල්පසාවද්‍ය ය. ගුණසම්පන්නයන් හා මෙවුන්දම්සෙවුමෙහි නැගෙන පාපය මහාසාවද්‍ය ය. ඒ ඒ ගෑණු පිරිමින්ගේ ගුණ පිළිබඳ උස් මිටිකම් අනු ව අල්පසාවද්‍ය - මහාසාවද්‍යභාවය වන්නේ ය.
කාමමිත්‍ථ්‍යාචාර අකුශලය, සතර අපායයෙහි දුකට හේතු ය. කාමමිත්‍ථ්‍යාචාර අකුශලය, ඒ කළ තැනැත්තහු, සතර අපායයෙහි ගල්වා, දුක් දෙයි. සතර අපායයෙහි ගැලුනු ඔහු, යම්කිසි පිණකින් මිනිස්බවට ආයේ නම්, සතුරන් ඇත්තෙක්, නො මනා අප්‍රිය වූ දැකුම් ඇත්තෙක්, නපුංසකයෙක්, පණ්ඩකයෙක් වන්නේ ය. මේ හැමට වඩා, ඔහු විඳුනා අපාය දුක ම ඉතා බිහිසුණු ය. ඉතා දැඩි ය. ඉතා මහත් ය. ඉතා නපුරු ය. වදාළෝ ය, බුදුරජානන් වහන්සේ එය කොටින් මෙසේ:-
“කාමෙසු මිච්ඡාචාරො භික්ඛවෙ! ආසෙවිතො භාවිතො බහුලීකතො නිරයසංවත්තනිකො හොති, තිරච්ඡානයොනිසංවත්තනිකො හොති, පෙත්තිවිසයසංවත්තතිකො හොති, යො සබ්බ ලහු, සො කාමෙසු මිච්ඡාචාරස්ස විපාකො, මනුස්ස භූතස්ස සපත්තවෙරසංවත්තනිකො හොතීති” යි.
මේ අකුසලයට මුල් වන්නේ ලෝභ-දෝස-මෝහ යන මෙ තුන ය. සිරුරුපැහැයෙහි ආලය බැඳීම උපදවා, රූප-ශබ්ද-ගන්ධ-රස-ස්ප්‍රෂ්ට්‍ය යන පස්කම්හි ආශාව උපදවා, ‘මොවුන් හා මෙවුන්දම් සෙවුමෙන් ලාභ - කීර්ති - ප්‍රශංසා ලැබේ ය’ යි සිතා මෙවුන්දම් සෙවුම්හි යෙදෙන්නහුට, ලෝභය මුල් කොට ද, යටැ කියූ මාතුරක්ඛිතාදී වූ ගෑණුන් කෙරෙහි, ඔවුන් රක්නා මවුපිය සවාමිපුරුෂයන් කෙරෙහි වෛර උපදවා, ‘උන්ගේ මානය නසමි’ යි ගෙණ යෙදෙන්නහුට, දෝසය මුල් කොට ද, ‘මේ ගෑණුන් අතර, මේ ගෑණිය හා මෙවුන්දම්සෙවුමෙන් වරදෙක් නො වේ ය’ යි ගෙණ එහි යෙදෙන්නහුට මෝහය මුල් කොට ද සිදු වන්නේ ය. ලොහකුම්භි -මහානාරදජාතක බැලිය යුතු ය.
සුරාපානඅකුශලය, දශ අකුශලකර්‍මපථයට අතිශය උපකාර නු යි සභාග විසින් කාමමිත්‍ථ්‍යාචාරයෙහිලා ගැණේ. පිට්ඨ - පූව - ඔදනීය - කිණ්ණපක්ඛිත්ත - සම්භාරසංයුත්තසුරා යි සුරාවර්‍ග පසෙකි. පුප්ඵ - ඵල - ගුළ - මධු - සම්භාරසංයුත්තාසව, යි මෙරය වර්‍ග පසෙකි. මේ හැම එකක් ම සත්වයාගේ මත්වීමට හා ප්‍රමාදයට කරුණු බැවින් මජ්ජපමාදට්ඨාන යි කියනු ලැබේ. මිනිසුන්ගේ මත්වීමට හා ප්‍රමාදයට කරුණු වූ ඒ මේ සුරාවක් හෝ මෙරයක් බොනු කැමැති සිතින් ගෙණ බීම සුරාමෙරයපාන නම් වේ.
සුරාපාන අකුශලය සිදු වන්නේ, සිවු අඟක් එකතු වූ තැන ය. මේ ය ඒ සිවු අඟ. රහමෙරක්ඛව - බොනුකැමැති සිත - බීමෙහි උත්සාහය - උගුරෙන් යටැ හුනුබව. මොවුන්ගෙන් එකෙකුදු නො ලැබුනේ ද, එකල මේ අකුශල කර්‍මය සම්පූර්‍ණබවට නො යයි.
කායවිකාරයකට නො පැමිණෙන පරිදි රහමෙර පානය කිරීම අල්පසාවද්‍ය ය. කායවිකාරයකට පැමිණෙන්නට තරම් වන සේ බීම මහාසාවද්‍ය ය.
සුරාපානඅකුශලය සතර අපායයෙහි දුකට හේතු ය. සුරාපානඅකුශල ය, සුරාපානය කළහු, සතර අපායයෙහි ගල්වා දුක් දෙයි. එහි ගැලී දුක් විඳින ඔහු, යම් පිණකින් මිනිස්බවට ආයේ නම්, ඉතිරි ව තුබූ ස්වල්ප වූ ද සුරාපාන අකුශලයෙන් සිහි විකලවූවෙක්, නුවණ නැත්තෙක් තැති ගත්තෙක්, ගොළුවෙක්, බිහිරෙක්, කිපෙන්නෙක්, ලජ්ජාභය නැත්තෙක්, කටයුතු නො කටයුතු නො දත්තෙක්, දීනයෙක්, දිළින්දෙක්, නිතර දොඩවන්නෙක්, නො මනා දැකුම් ඇත්තෙක් සිත් නො ගත්තෙක් වන්නේ ය. මේ හැමට වඩා ඔහු අපායයෙහි විඳුනා දුක ම ඉතා බිහිසුණු ය. ඉතා දැඩි ය. ඉතා මහත් ය. මෙය වදාළෝ බුදුරජානන් වහන්සේ එදුක් කෙටි කොට මෙසේ:-
“සුරාමෙරයපානං භික්ඛවෙ! ආසෙවිතං භාවිතං බහුලීකතං නිරයසංවත්තනිකං හොති, පෙත්තිවිසයසංවත්තනිකං හොති, යො සබ්බලහු, සො සුරාමෙරයපානස්ස විපාකො, මනුස්සභූතස්ස උම්මාදසංවත්තනිකො හොතී ති” යි.
ලෝභ-දෝස-මෝහ යන මෙ තුන, මෙයට මුල් වේ. රසයෙහි බැඳී බොන්නහුට, ලෝභය මුල් කොට ද, අනුනට පහර දෙන්නට සිතා බොන්නහුට, දෝසය මුල් කොට ද, ‘රා බීමෙහි වරද නැතැ’ යි සිතා බොන්නහුට මෝහය මුල් කොට ද, මේ අකුශල කර්‍මය සිදු වේ. කුම්භ - භද්‍රඝට ජාතක බැලිය යුතුය.
මුසාවාදය - පිසුණවචනය - ඵරුසවචනය - සම්ඵප්පලාපය යන සතර, වාග්ද්වාරයෙන් සිදුවන වාක්කර්‍ම යි. එහි අසත්‍ය ය, සත්‍ය ය ලෙසින් අනුනට කියා පෑම මුසාවාද’ නම්. අසත්‍ය ය, සත්‍යය ලෙසින් කියනු කැමැත්තහුගේ කාය වාග්ද්වාර දෙක්හි විඥප්ති පහළ කරන්නා වූ චේතනාව ය, මුසාවාද. “මුසාවාදොති විසංවාදනපුරෙක්ඛාරස්ස අත්‍ථභඤ්ජනකො වචීපයොගො කායප්පයොගො වා විසංවාදනාධිප්පායෙන පන පරවිසංවාදක කායවචීපයොගසමුට්ඨාපිකා චෙතනා මුසාවාදො” යන මෙය එය පැහැදිලි කරයි. කළ දෙය නො කෙළෙමි, නො කළ දෙය කෙළෙමි, දුටු දෙය නො දුටිමි, නො දුටු දෙය දුටිමි, යන ආදී ලෙසින් ඇත්ත නැත්ත දැන දැන කීමෙහි, අඞ්ගයන්ගේ ද ලැබීමෙන්, මුසාවාද අකුසලය සිදු වේ.
බොරුබව-ඇතිතතු වසා සඟවා කියමි යන සිත- ඒ පිණිස වූ උපක්‍රම-එයින් දැනීම යන මේ ය එහි අඞ්ග. මොවුනතුරෙන් එකකුත් පිරිහුනු කල්හි මෙය අකුශලකර්‍මහාවයට නො යන්නේ ය. බොරුවෙන් වන අවැඩ, නපුර, ලෝකය හා විපාකය අතින් ස්වල්ප වූ කල්හි මුසාවාද අකුසලය අල්පසාවද්‍ය ය. මහත් වූ කල්හි මහාසාවද්‍ය ය.
මුසාවාද අකුසලය සතර අපායයෙහි දුකට හේතු ය. මුසාවාද අකුසලය, එයින් බැඳුනහු, සතර අපායයෙහි ගල්වා දුක් දෙයි. ඔහු යම්කිසි පිණකින් මිනිස්බවට ආයේ නම්, ඉතිරි ව තුබූ කුඩා අකුශලයෙන් නොයෙක් ඇණුම් බැණුම්වලට ලක් වන්නෙක්, නුවණ නැත්තෙක්, නො මනා දැකුම් ඇත්තෙක්, දිව නැත්තෙක්, කට දුඟඳ හමන්නෙක් වන්නේ ය. මේ හැමට ම වඩා අපාය දුක ම ඉතා බිහිසුණු ය. ඉතා දැඩි ය. ඉතා මහත් ය. මෙය වදාළෝ බුදුරජානන් වහන්සේ මෙසේ කොටින්:
“මුසාවාදො භික්ඛවෙ! ආසෙවිතො භාවිතො බහුලීකතො නිරයසංවත්තනිකො හොති, තිරච්ඡානයොනිසංවත්තනිකො හොති, පෙත්තිවිසයසංවත්තනිකො හොති, යො සබ්බලහු, සො මුසාවාදස්ස විපාකො’ මනුස්සභූතස්ස. අභූතබ්හක්ඛාන සංවත්තනිකො හොතීති” යි.
ලෝභ - දෝස - මෝහ යන මෙ තුන මෙයට මුල් වේ. ජීවත් වීමට, අල්ලස්ගැණිම් ආදිය සඳහා බොරු කියන්නහුට ලෝභය මුල් කොට ද, ‘ අනුන් නසමි’ යි සිතා බොරු කියන්නහුට දෝසය මුල් කොට ද, දහමට එක් කොට, මෙවුන්දම් සෙවුමට බොරුකීම වරද නැතැයි සිතා බොරු කියන්නහුට මෝහය මුල් කොට ද මෙය සිදු වේ. චෙතිය-තක්කාරජාතක බලනු.
යමක්හුගේ යම් කිසි බසක් ඇසීමෙන්, ඇසූවහුගේ සිත්හි, අන්හු කෙරෙහි පැවැති ප්‍රියමනාපභාවය පිස දැමීයේ ද, නැසීයේ ද, ඒ ප්‍රියමනාපභාවය නැසී යෑමට හේතු වූ වචනය පිසුණවාචා නම. තතු විසින් උනුන් අතර වූ සමගිය බිඳ හරින්නට කැමැත්තෙන් හෝ, තමන්ට ප්‍රියයකු කරවා ගණු කැමැත්තෙන් හෝ, උනුන් බිඳුවන වාග්විඥප්තිය උපදවන චේතනාව ය, පිසුණවවන නම්. “යාය වාචාය යස්ස තං වාචං භාසති තස්ස හදයෙ අත්තනො පියභාවං පරස්ස ච සුඤ්ඤභාවං කරොති සා පිසුණ වාචා” යන මෙය එය පැහැදිලි කරයි.
පිසුණබස් කියා පෑමෙන් බිඳියයුතු යම්කිසි කෙනකු ලැබීම - ‘මා කියන වචනය අසා, බිඳෙත්වා’ යි සිතීම - එයට සුදුසු වෑයම - එයරුත් දැනීම යන මේ ය එහි අඞ්ග. මේ සිවු අඟින් එකෙකුත් නො ලැබ ගියේ නම්, අකුශලකර්‍මය සම්පූර්‍ණ නො වේ. විනය පාළියෙහි මේ පිණිස අඞ්ග තුනක් ලැබිය යුතු ය යි කීහ. භික්‍ෂු නමක්හුගේ පිසුණබසක් අන්‍ය භික්‍ෂුනමක් වෙත ගෙණ යෑම - ප්‍රියකම්‍යතාදීන් අතුරෙන්, එක්තරා අදහසක් ඉදිරිපත්වීම - කියන වචනය ඒ සැටියෙන් පිළිගැණුම යන මේ ය ඒ.
කේලාම්බස් අසා, භේද වන්නෝ ගුණහීනයෝ නම්, මොවුන්ගේ භේදයෙන් වන කර්‍මය අල්පසාවද්‍ය ය. ගුණ සම්පන්නයෝ නම් මහාසාවද්‍ය ය. භේද වන්නන්ගේ උස්කම් මිටිකම් අනු ව ද එහිලා යොදන උපක්‍රමයන්ගේ උස්කම් මිටිකම් අනු ව ද මේ වන්නේ ය.
පිසුණවාචා නම්, අකුශලකර්‍මය සතර අපායයෙහි දුකට හේතු ය. පිසුණවචනයෙන් බැඳුනේ අපායයෙහි උපදී. කල් ගෙවා නමුත් යම් කිසි පිණකින් ඉන් ගැල වී ගොස් මිනිස් බවට ආයේ, ගෙවා ඉතිරි ව තුබූ ඒ මඳ වූ අකුශලයෙන්, එකලැ, මිත්‍රද්‍රොහියෙක්, නො මනා දැකුම් ඇත්තෙක්, සමාජයට අප්‍රියයෙක් වන්නේ ය. බුදුරජානන් වහන්සේ ඒ සියල්ල කෙටි කොට, මෙසේ වදාළ සේක:-
“පිසුණවාචා භික්‍ඛවෙ! ආසවිතා භාවිතා බහුලීකතා, නිරයසංවත්තනිකා හොති, තිරච්ඡානයොනිසංවත්තනිකා හොති, පෙත්තිවිසයසංවත්තනිකා හොති, යො සබ්බලහු, සො පිසුණාය වාචාය විපාකො, මනුස්සභූතස්ස මිත්තෙහි භෙදන සංවත්තනිකො හොතීති” යි.
ලෝභ-දෝස-මෝහ යන මෙ තුන, මෙයට මුල් වේ. ලාභ උපදවන්නට සිතා, උනුන් භේද කරන්නට පිසුණවචන කියන්නහුට, ලෝභය මුල් කොට ද, උනුන් කෙරෙහි කිපී උනුන් භේද කරන්නට කියන කලැ දෝසය මුල් කොට ද, කේලාම් කීමෙන් වරදෙක් නො වේ ය යි සිතා කියන කලැ මෝහය මුල් කොට ද සිදු වේ . වණ්ණරොහ-සන්‍ධිභෙද ජාතක බලනු.
යම්කිසි බසෙක් තමන්ගේ හා අනුන්ගේ සිත රළු කරන්නට සමත් වේ ද, තමන්ට හා අනුන්ට සැප පිණිස නො වේ ද, එබස් පරුෂවචන නම්. නියම අරුත් විසින් අනුන්ගේ මර්‍ම සිඳින්නා වූ රළුබස් කීමෙහි උත්සාහයෙන් උපන් චේතනාව, ‘පරුෂ වචන’ නම් වේ. “යාය පන අත්තානම්පි පරම්පි ඵරුසං කරොති, යා වාචා සයම්පි එරුසා නෙව කණ්ණසුඛා න හදයසුඛා වා, පරස්ස මම්මච්ඡෙදකකායවචීපයොගසමුට්ඨාපිකා එකන්ත ඵරුසචෙතනා එරුසවාචා” යන මෙය එය පැහැදිලි කරයි.
ආක්‍රෝශ කටයුතු එකකු ලැබීම - ආක්‍රෝශකිරීමෙහි සිත - ආක්‍රෝශ කිරීම යන මේ තුන ය එහි අඞ්ග. මින් එකෙකුත් අඩුව ගියේ නම්, එ කල්හි අකුශලකර්‍මය සම්පුර්‍ණ නො වේ. මෙයට විනයෙහි ‘ ඔමසවාද’ යි ද, අඞ්ග සතරෙක් ලැබිය යුතුය යි ද කීහ. ආක්‍රෝශ කරන්නා උපසපන් එකකුවීම-අනෙකකු නො දක්වා, ඔහුට ම ආක්‍රෝශකිරීම - ආක්‍රෝශය මා පිළිබඳැ යි දැනීම - අරුත් පෙරටු කොට, අනුශාසනා කිරීම යන මේ එහි කියූ අඞ්ග යි.
පරුෂවචනය මදගුණැත්තකු කෙරෙහි වේ නම්, එකලැ එම අකුශලය අල්පසාවද්‍ය ය. මහාගුණැත්තකු කෙරෙහි වේ නම්, එකලැ මහාසාවද්‍ය ය.
පරුෂවවන අකුශලය සතර අපායයෙහි දුකට හේතු ය. පරුෂ වචනඅකුශලය, පරුෂවචන කීවහු සතර අපායයෙහි උපදවයි. ඉන් මිදී මිනිස් බවට ආකල්හි මිහිරි තෙපුල් නො අසන්නෙක් ගිය ගිය තැනැ රළුබස් අසන්නෙක්, නො මිහිරි කටහඬ ඇත්තෙක් වන්නේ ය. මේ හැමට වඩා සතර අපායයෙහි දුක ම ඉතා බිහිසුණු ය. ඉතා දැඩි ය. ඉතා මහත් ය. ඉතා නපුරු ය.
ජාත්‍යාදියෙන් ගටා බිණූ කල්හි යම් කිසිවක් ලැබිය හැකි ය යි සිතා ලාභාශාවෙන් පරුෂවචන කියන්නාහට, ලෝභය මුල් කොට ද, උපන්නා වූ වෛරයක් ඇසුරු කොට හෝ අන්‍යයා පිළිබඳ ලාභසත්කාර නො ඉවසීමෙන් හෝ, කියන්නාහට, දෝසය මුල් කොට ද, තමනට වඩා පහතින් සිටි දාසි-දාසාදීන්ට, තෝ - තා - අරූ - මූ යන ආදී ලෙසින් රළුබස් කීමෙන් අවැඩෙක් නැතැයි සිතා කියන්නහුට, මෝහය මුල් කොට ද මේ අකුශලකර්‍මය සිදු වේ. නන්‍දිවිසාල-සුජාතජාතක, බලනු.
තමන්ගේ හා මෙරමාගේ දෙලොවැ දියුණුව නසන වචන කීම, ‘ සම්ඵප්පලාප’ නම්. නියම අරුත් ලෙසින්, සීතාහරණ - භාරතයුද්ධාදි අර්‍ත්‍ථශුන්‍යකථා කිරීමෙහි කාය-වාග්විඥප්ති උපදවන සකිලිටි චේතනාව ය සම්ඵප්පලා ප . “අනත්‍ථවිඤ්ඤාපිකා කායවචීපයොගසමුට්ඨාපිකා අකුසලචෙතනා සම්ඵප්පලාපො” යන මෙය එය පැහැදිලි කරයි.
සීතාහරණ - භාරතයුද්ධාදිඅර්‍ත්‍ථශුන්‍යකථා පෙරටු කොට ඇති බව-එබඳු කතාකීම යන මේ ය එහි අඞ්ග. මේ දෙයඟින් එකෙකුත් නො ලැබ ගියේ නම්, අකුශලකර්‍මය සම්පූර්‍ණ නො වේ.
සීතාහරණ-භාරතයුද්ධාදිඅර්‍ත්‍ථශූන්‍ය කථාවන්හි මඳ වශයෙන් යෙදෙන්නහුගේ ඒ මේ සම්ඵප්පලාපය අල්පසාවද්‍ය ය. එම කථාවන්හි බොහෝ සෙයින් යෙදෙන්නහුගේ කර්‍මය මහාසාවද්‍ය ය.
සම්ඵප්පලාපඅකුසලය, සතර අපායයෙහි දුකට හේතු ය. සම්ඵප්පලාපඅකුසලය, සම්ඵප්පලාප කීවහු, සතර අපායයෙහි උපදවයි, ඉන් මිදී ගොස් මිනිස්බවට ආකල්හි නො ඇදහිය හැකි වචන ඇත්තෙක්, ජනසමාජයට අප්‍රියවූවෙක්, සිත් නො ගත් අඟපසඟ ඇත්තෙක් වන්නේ ය. මේ හැමට වඩා, සතර අපායයෙහි දුක ම ඉතා බිහිසුණු ය. ඉතා දැඩි ය. ඉතා මහත් ය. ඉතා නපුරු ය.
‘දිවි පැවැත්වීමට යමක් උපදවමි’ යි සිතා, අනුන් සිත් ගෙණ, යමක් උපදවන්නට සිතා, අර්‍ත්‍ථශූන්‍යකථා කරන්නහුට ලෝභය මුල් කොට ද, අනුන් පිරිහෙලන්නට සිතා කියන්නහුට, දෝසය මුල් කොට ද, අර්‍ත්‍ථශූන්‍යකථාකීම හා ඇසීම කුසලැ යි සිතා කියන්නහුට, මෝහය මුල් කොට ද මේ අකුශලකර්‍මය සිදු වේ. තිත්තිර -අකාලරාවිජාතක බලනු.
අභිජ්ඣා-ව්‍යාපාද -මිච්ඡාදිට්ඨි යන තුන මනෝද්වාරයෙන්, සිදුවන මනස්කර්‍ම යි. අභිමුඛකොට සිතීම ‘ අභිජඣා’ නම්. අභිමුඛකොට සිතීම නම්, අනුන් අයත් දැසි දස්-ඇත්-අස්-ගොන්-මීගොන් ආදී වූ දිවි ඇති වස්තූන් හා, රන්-රිදී-මුතු-මැණික්-ගේදොර-ඉඩකඩම් ආදී වූ දිවි නැති වස්තූන් ද, දැක එහි ලෝභ උපදවා, මේ හැම එකෙක් මට ලැබේ නම්, යහපතැ යි ගෙණ, එය තමන් වෙත නතු කරගන්නට සිතීම ය. ‘පරභණ්ඩාභිමුඛී හුත්‍වා තන්නින්නතාය පවත්තතීති අභිජඣා’ යනු එය පැහැදිලි කරයි.
පරායත්තවස්තුවක්බව-එය තමහට පිරිනැමීම යන මේ ය එහි අඞ්ග. මේ දෙයඟින් එකෙකුත් නො ලැබුනේ නම්, අකුශල කර්‍මය සම්පුර්‍ණ නො වේ.
අභිජ්ඣාව, ගුණහීනයන් පිළිබඳ වස්තූන්හි උපදනා කල්හි අල්පසාවද්‍ය ය. ගුණසම්පන්නයන් පිළිබඳ වස්තූන්හි උපදනා කල්හි, මහාසාවද්‍ය ය. වස්තූන්හි හා වස්තුස්වාමීන්ගේ උස්කම් මිටිකම් අනු ව මේ වන්නේ ය.
අභිජ්ඣාඅකුසලය, සතර අපායයෙහි දුකට හේතු ය. අභිද්ධ්‍යාවෙන් බැඳුනහු, සතර අපායයෙහි උපදවයි. ඉන් මිදී ගොස් මිනිස් බවට ආ කල්හි, කටයුතු සිදුකර ගැණීමෙහි අපොහොසතෙක්, නො මනා දැකුම් ඇත්තෙක්, දිළින්දෙක් වන්නේ ය. මේ හැමට වඩා, සතර අපායයෙහි දුක ම ඉතා බිහිසුණු ය. ඉතා දැඩි ය. ඉතා මහත් ය. ඉතා නපුරු ය.
‘මෙරමා අයත් වූ සැපත මට ලැබේ නම්, යහපතැ’ යි එහි ලෝභ උපදවන්නහුට, ලෝභය මුල් කොට ද, ‘මෙය මොහුට තරම් නො වේ, තරම් වන්නේ මටැ’ යි අනුන් අයත් වූ සැපතෙහි නො සතුටු ව, එහි ලෝභය උපදවන්නහුට, දෝසය මුල් කොට ද, ‘අනුන් අයත් වූ සැපත තමහට පිරිනමා ගැණුම පාපයෙක් නො වේ ය’ යි සිතා අන් සතු වූ සැපතෙහි ලෝභ උපදවන්නහුට මෝහය මුල් කොට ද මේ අකුශලකර්‍මය සිදු වේ. සුවණ්ණහංස - මවාණිජජාතක බලනු.
හිත සුවය නසන්නේ ‘ ව්‍යාපාද’ නම්. අනුන් නැසීම පිණිස සිත කිලිටි කර ගැණීම ලකුණු කොට සිටියේ ය.
අන් සතකුබව - ඔහු නසන්නට සිතීම, යන මේ ය එහි දෙයඟය. මින් එකෙකුත් නො හමු ව ගියේ නම්, අකුශලකර්‍මය සම්පුර්‍ණ නො වේ.
ගුණ නැති සතකු කෙරෙහි ‘මූ නැසේවා’ යි සිතීම අල්පසාවද්‍ය ය. ගුණැති සතකු කෙරෙහි ‘මූ නැසේවා’ යි සිතීම මහාසාවද්‍ය ය.
ව්‍යාපාදඅකුශලය, සතර අපායයෙහි දුකට හේතු ය. ඉන් බැඳුනහු, සතර අපායයෙහි උපදවයි. ඉන් මිදී මිනිස්බවට ආයේ නම් රූ නැත්තේ, රෝග පීඩා ඇත්තේ, නො මනා දැකුම් ඇත්තේ වන්නේ ය. මේ හැමට වඩා, සතර අපායයෙහි දුක ම ඉතා බිහිසුණු ය. ඉතා දැඩි ය. ඉතා මහත් ය. ඉතා නපුරු ය.
අනුන් සතු වූ වස්තුවෙහි ලෝභය නිසා වස්තුස්වාමියාගේ විනාශය පතන්නහුට ලෝභය මුල් කොට ද, අනුන් පිළිබඳ ලාභ සත්කාරාදිය ඉවසනු බැරි ව, ද්වෙෂී ව ‘මොවුහු මැරවා’ යි පතන්නහුට දෝසය මුල් කොට ද, වරද කළහුට වරද කිරීම වරදෙක් නො වේ ය යි අන්‍යයාගේ විනාශය පතන්නහුට, මෝහය මුල් කොට ද මේ අකුශලකර්‍මය සිදු වේ. එකපණ්ණ-තිලමුට්ඨිජාතක බලනු.
‘දන් සිල් ඈ පින්කමින් වැඩෙක් නො වේ, සතුන් මැරීම් ඈ අකුසලින් අපායගත නො වේ, සත්ව තෙමේ මෙයට කලින් නො උපන්නේ ය, මතු උපදින්නේ නො වේ, සියල්ල ම නිත්‍ය ය’ යනාදි ලෙසින් තතු ඉක්මවා ගිය තතු වසා ගත් ලබ්ධිය ‘ මිත්‍ථ්‍යාදෘෂ්ටි’ නම් [1]
ඒ ඒ වස්තුන් පිළිබඳ ගත් අයුරෙහි වෙනස්බව - යම් පරිද්දෙකින් ගණී නම්, එ පරිද්දෙන් ඒ වස්තුන්ගේ වැටහීම යන මේය එහි අඞ්ග. මේ දෙයඟ ලැබීමෙන් ය එය අකුශල වනුයේ, එකකුත් නො ලැබුනු කල්හි අකුශලකර්‍මය සම්පුර්‍ණ නො වේ.
අනියතමිත්‍ථ්‍යාදෘෂථිය, අල්පසාවද්‍ය ය. නියතමිථ්‍යාදෘෂ්ටිය, මහාසාවද්‍ය ය. ආනන්තරීයකර්‍මය කළහුට, සසරින් මිදුමෙක් ඇත්තේ ය. නියත මිසදිටු ගත්තහුට, සසරින් මිදුමෙක් නැත්තේ ය. ස්වර්‍ගයෙහි ඉපදීම් පමණකුත් නැත්තේ ය.
මිත්‍ථ්‍යාදෘෂ්ටිඅකුශලය, සතර අපායයෙහි දුකට හේතු ය. මිසදිටු ගත්තහු, සතර අපායයෙහි උපදවයි. යම් පිනකින් ඉන් ගැල වී මිනිස්බවට ආයේ නම්, මිසදිටු අදහස් ඇත්තේ, නො ඇද පිළිවෙත් නැත්තේ, මැරී ගොස් නැවැතත් අපායයෙහි ම හෙන්නේ ය. මොහු විඳුනා අපායයෙහි දුක ම ඉතා බිහිසුණු ය. ඉතා දැඩි ය. ඉතා මහත් ය. ඉතා නපුරු ය. සසරදුකින් මිදුමෙක් මිසදිටු ගත්තහුට නැත්තේ ය.
යම් යම් අමිහිරි දේ මිහිරැ යි ගෙණ එහි ලෝභයෙන් තදබද වන්නහුට ලෝභය මුල් කොට ද ‘මිසදිටු ගත්තේ අපායයෙහි උපදනේ ය, එහෙයින් මිසදිටු හැරිය යුතු ය’ යි කියන බණ අසා, ඒ කියන්නවුන් කෙරෙහි කෝපයෙන්, ‘නිවන් සදාලන්නේ මේ ය’ යි. විපරීත අදහස් ගත්තහුට, දෝසය මුල් කොට ද, ධර්‍මය අධර්‍මය යි ද, අධර්‍මය ධර්‍මය යි ද, සුභාෂිතය, දුර්‍භාෂිත ය යි ද, දුර්‍භාෂිතය සුභාෂිතය යි ද ගත්තහුට මෝහය මුල් කොට ද මේ අකුශලකර්‍මය සිදු වේ. මාතඞ්ග-මහාබොධිජාතක බලනු.
කය-වචන-සිත යන දොරටු තුනින් සිදුවන සියලු අකුසලයෝ මේ දශවිධ අකුශලකර්‍මපථයෙහි ඇතුළත් වෙති. එහෙයින් කයින්-වචනයෙන්-සිතින් යමෙක් කුඩා වූ හෝ මහත් වූ යම් පව්කමක් කෙරේ නම්, ඔහු ‘ පාපකාරී’ ය.
මෙහිලා ප්‍රකීර්‍ණකථා විසින් මෙය ද මෙසේ දතයුතු ය:-
මිනිසුන් විසින් ලෝභ-ද්වේෂ-මෝහ යන මොවුන්ගේ හේතුවෙන් මේ දසවැදෑරුම් වූ අකුශල කර්‍ම කරණු ලැබේ. එ හෙයින් ප්‍රාණඝාත අකුශලකර්‍මයක් කරන්නට සිත් උපන් කල්හි ‘මෙය මෙලොවැ පරලොවැ දෙක්හි ම දුකට හේතු ය, මේ නිසා පරලොවැ අපායයෙහි ඉපිද කටුක දුක් විදියැ යුතු ය, මෙලොවැ දී නොයෙක් වධබන්ධනයන්ට මූණ දියැ යුතු ය, යනාදී වූ දුර්විපාක සලකා පරපණ නැසීමෙන් -
අන්හු විසින් නො දුන් දෙයක් සොරසිතින් ගැනීමට සිත් උපන් කල්හි, මේ හේතුවෙන් මරණින් මතු සතර අපායයෙහි ඉපද අවුරුදු කෙළගණන් මහත් කටුක දුක් විඳ මිනිස්බවක් ලත් කල්හි එහි විපාක වශයෙන් එදාවේල සපයාගැණීමෙහි අපොහොසත් වන්නේ ය, ගෙයක් කඩපිළක් ගානේ හිඟමනෙහි යායුතු වන්නේ ය, යනාදී වූ දුර්විපාක සලකා අන්සතු නුල්පටක් පමණකුත් හොරකම් කිරීමෙන් -
‘පරදාර සේවනය-පරපුරුෂ සේවනය යන කාමමිත්‍ථ්‍යාචාරයෙහි මෙවුන්දම්සෙවුම්හිලා සිත් උපන් කල්හි අන් අඹුවන් ගැණීම අන් පිරිමින් ගැණීම සතර අපායයෙහි ඉපද අවුරුදු කෙළගණන් දුක් විඳීමට කරුණු වන්නේ ය, ඉන් මිදී මිනිස්ලොවැ උපන් කල්හි උප නුපන් හැම ජාතිවල සතුරන් ඇතියෙක්, අප්‍රිය වූ දැකුම් ඇතියෙක්, ආහාරපාන වස්ත්‍රාභරණ නො ලබන්නෙක්, රටට ණයගැතියෙක්, නපුංසකයෙක්, කුදුවූවෙක්, කොරවූවෙක්, ඉඳුරන් විකලවූවෙක්, හිතමිතුරන්ගෙන් ඈත්වූවෙක් වන්නේ ය, යනාදී වූ දුර්විපාක සලකා පරඹුවන් ගැණීමෙන් හා පරපුරුෂයන් ගැණීමෙන් -
‘රහමෙරපානය ක්ලේශකාමයාගේ ඉපැත්මට කරුණු ය, යමක්හුගේ සිත් තුළ ක්ලේශකාමයෝ උපදිත් නම්, ඒ ක්ලේශකාමයන් විසින් ඔහු මරණින් මතු සතර අපායයෙහි උපදවනු ලබන්නේ ය, එහිදී යමපලුන් විසින් කරනු ලබන නො ඉවසිය හැකි වධබන්ධනයන්ට යටත් වියැ යුතු ය, දුක් විඳියැ යුතු ය, මේ අපාදුක අවුරුදු කල්පගණනක්ම විඳියැ යුතු ය, එසේ අපායයෙහි දුක් විඳ ඉන් ගැලවී මිනිස්දිවියක් ලත් කල්හි පිස්සෙක් වන්නේ ය. විළිබිය නැත්තෙක් වන්නේ ය, රෙදිපිළි නැති ව නිරුවතින් මහමඟැ යන්නේ ය, යනාදී වූ දුර්විපාක සලකා රහමෙර පානයෙන් -
‘බොරුකීම යම් කෙනකු විසින් පුරුදු කරණලද්දේ නම්, ඔහු ඒ බොරුකීමේ හේතුවෙන් මරණින් මතු සතර අපායයෙහි ඉපද කෙළගණන් කල්පයන්හි මහදුක් විඳැ කවදා හෝ කරණලද පින්කම් හේතුවෙන් ඉන් ගැලවී අවුත් මිනිස්බවක් ලද්දේ නම්, එහිදී ශෙෂව තුබූ මුසාවාද අකුසලයෙන් ඔහු නැතිදොස් ලබන්නේ ය, නො කළ වරදට හසුවන්නේ ය, දුක් ඇත්තේ අඥ වූයේ වන්නේ ය, කපිලමත්ස්‍යයා මෙන් දුඟද හමන මුව ඇත්තෙක් වන්නේ ය, යනාදි වූ දුර්විපාක සලකා බොරුකීමෙන් -
‘පිසුණුබස් කීමේ හේතුවෙන් පිසුණු බස් කීයේ මිය ගොස් ඒ පවින් සතර අපායයෙහි ඉපිද එහි නොයෙක් කල්ප දහස් ගණන් දුක් විඳැ එයින් මිදී කිසිකලෙක මිනිස්බවක් ලැබූයේ නම්, ඔහු උපනුපන් හැම කල්හි කෙළතොල්ලෙක් වෑරුනු සිරුරු ඇත්තෙක් වන්නේ ය, යනාදී වූ දුර්විපාක සලකා පිසුණුබස්කීමෙන් -
‘පරුසබස් කිමේ හේතුවෙන් හා නිසරුබස් කීමේ හේතුවෙන් ඒ පරොස්බස් නිසරු බස් කීයේ මරණින් මතු සතර අපායයෙහි උපදින්නේ ය, එහි මහත් දුක් විඳ මිනිස්දිවි ලදුයේ නම්, එතැනදී විරූප වන්නේ ය, විකල වූ ඉඳුරන් ඇතියේ වන්නේ ය, කැකුළු දුක් විඳියැ යුතු වන්නේය, යි යනාදිය සලකා පරොස්බස් හා නිසරු බස් කීමෙන් -
‘අභිධ්‍යා නම් වූ විෂමලෝභයෙහි අනිෂ්ටවිපාක විසින් මරණින් මතු සතර අපායයෙහි ඉපද දුක් විඳින්නේ ය. එයින් මිදී ගොස් මිනිස්බවක් ලැබූයේ නම්, ඔහු සිතන බලන කිසිවක් සිදු නො වන්නේ ය, මුව දෙ කොණින් කෙළ ගලන්නේ ය, කෑම්බීම් ලැබීමෙහි අපොහොසත් වන්නේ ය, යනාදී වූ දුර්විපාක සලකා විෂමලෝභයෙන් -
‘ව්‍යාපාද අකුශලකර්‍මයෙහි බලයෙන් මරණින් මතු සතර අපායයෙහි ඉපද දුක් විඳැ ඉන් මිදී මිනිස්බවක් ලැබුයේ විරූප වූ දැකුම් ඇත්තේ වන්නේ ය, මවුපියන්හට අප්‍රියයෙක් වන්නේ ය, ඉතා සුලු කරුණෙහි පවා හැපෙන්නේ ය, ගැටෙන්නේ ය, යනාදී වූ දුර්විපාක සලකා ව්‍යාපාදයෙන් -
‘දෙසැටකට බෙදීගිය මිත්‍ථ්‍යාදෘෂ්ටිය තරම් බිහිසුණු පාපයෙක් නැත්තේ ය, එය මහාසාවද්‍යය, මිසදිටු ගත්තේ මරණින් මතු සතර අපායයෙහි ඉපද කල්ප කෙළගණන් එහි දුක් විඳැ ඉන් ගැලවී අවුත් මිනිස්බවක් ලද්දේ නම්, එහිදී ප්‍රතිපත්තියෙන් තොර වූ මිත්‍ථ්‍යාකල්පනා ඇතියෙක් වන්නේ ය, මෙලොවැදීත් තව තවත් පව්කම්හි යෙදෙන්නේ ය, ඒ පව්කම් ද ඔහුට මෙලොවැ දුක් විඳීමට කරුණු වන්නේ ය. මෙසේ මිනිස්දිවිය ගෙවා මැරී ගොස් නැවැතත් සතර අපායයෙහි උපදින්නේ ය, යනාදී වූ දුර්විපාක සලකා මිත්‍ථ්‍යාදෘෂ්ටියෙන්දැ යි මේ දසඅකුසලින් වැළකී සිටිය යුතු ය.
උභයත්‍ථ සොචති = එලොවැ මෙලොවැ දෙක්හි ශෝක කරයි.
මෙලොවැ දී කර්‍මශොචනයෙන් පරලොවැ දී විපාකශොචනයෙන් ශෝක කරණ බව ය, මෙයින් වදාළෝ. තමන් කරණලද අකුශලකර්‍මයන් ගැන සිතමින් කියමින්, එහිලා තැවීම ය, කර්‍මශොචන. මරණින් මතු දුගතියකැ ඉපද, තමන් කරණලද කම් ලෙසින් ලත් බිහිසුණු දුක් ඉවසනු බැරි ව එහිලා ලතැවීම ය, විපාක ශොවන ‘අකතං මෙ කල්‍යාණං කතං පාපන්ති එකං සෙනෙව මරණ සමයෙ ඉධ සොචති, ඉදමස්ස කම්මසොචනං, විපාක අනුභොන්තො පන පෙච්ච සොචති, ඉදමස්ස පරලොකෙ විපාකසොචනං, එවං සො උභයත්‍ථ සොචතියෙව’ යනු අටුවා ය.
සො සොචති සො විහඤ්ඤති දිස්වා කම්මකිලට්ඨං අත්තනො = ඔහු තමාගේ කිලිටි කර්‍මය දැක ශෝක කරයි. ඔහු නැසෙයි.
තමන්ගේ කිලිටි වූ කර්‍මය නම්, තමන් විසින් ප්‍රාණඝාතාදීන්ගේ වශයෙන් ද්වාරත්‍රය වෙහෙසා, කරණලද අකුශල කර්‍ම යි. ඒ අකුශලකර්‍ම දක්නේ, මෙලොවැදී ම ශෝක කරයි. ඔහු පරලොවැ ගියේ, ඒ තමන් කළ අකුශලකර්‍මයන්ගේ වශයෙන් බිහිසුණු දුක් විඳින්නේ, නොයෙක් ලෙසින් වැලපෙන්නේ, විශේෂයෙන් නැසෙන්නේ ය. පෙළෙන්නේ ය.
පාපකාරී පුද්ගලයා තමන්ගේ කිලිටි වූ කර්‍මය දැක මෙලොවැ දී ශෝකවන සැටිත්, පරලොවැ දී ඒ පාපකර්‍මයන්ගේ විපාක විඳිමින් ශෝකවන සැටිත් මෙයින් වදාළ සේක.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝදෙන සෝවන් ඵලාදියට පැමිණියෝ ය, දේශනාව මහාජනයාට වැඩ සහිත වූ ය.
චුන්‍දසූකරිකවස්තුව නිමි.
1-7 ‘අනික්කසාවො’ යන්නට කළ පරිකථාව බලනු. ↑