අසාරෙ සාරමතිනො සාරෙ චාසාරදස්සිනො
තෙ සාරං නාධිගච්ඡන්ති මිච්ඡාසංකප්පගොචරා.
අසාරයෙහි සාරය යන දෘෂ්ටි ඇති, ශීලාදි සාරයෙහි අසාරය යන දෘෂ්ටි ඇති, මිථ්‍යාසඞ්කල්පය ගොදුරු කොට ඇති ඒ අඥාන ජනයෝ ශීලාදි සාරයට නො පැමිණෙත්.
සාරඤ්ච සාරතො ඤත්‍වා අසාරඤ්ච අසාරතො
තෙ සාරං අධිගච්ඡන්ති සම්මාසඞ්කප්පගොචරා.
(ශීලසාරාදි) සාර දැය සාර වශයෙන් ද, අසාර දැය අසාර වශයෙන් ද දැන (වසන) නොවැරැදි අදහස් ගොදුරු කොට ඇති ඒ ප්‍රාඥයෝ ශීලාදි සාරයට පැමිණෙත්.
මේ මහාභද්‍රකල්පයට සාරාසඞ්ඛ්‍යකල්පලක්‍ෂයකින් මත්තෙහි දඹදිව අමරවතී නම් නුවරෙක් විය. එහි සුමෙධ නම් බමුණු කුමරෙක්; උගත යුතු සියලු ශිල්ප උගෙන කෙළ පැමිණියේ, මවුපියන් ඇවෑමෙන් කෙළගණන් ධනය දාන විෂයයෙහි පරිත්‍යාග කොට සියල්ල හැර ඉසිපැවිද්දෙන් පැවිදි ව හිමවතට ගොස් භාවනා කරන්නේ ධ්‍යානාභිඥාවන් ලබා අහසින් යන්නේ ය. දිනක් ඔහු අහසැ යන අතර, දීපඞ්කර බුදුරජානන් වහන්සේ සුදර්‍ශන මහාවිහාරයෙහි සිට රඹගම්නුවරට වැඩම වනු පිණිස මහමග සරසන මිනිසුන් දැක, උන්ගෙන් තමනුත් එහි එක් මගැ කොටසක් ඉල්ලා ගෙණ, සරසන්නට පටන් ගත්තේ ය. මෙසේ මේ තවුසානන් ඉල්ලා ගත් ඒ බිම් කොටස සරසා පිළියෙල කිරීමට පිළ මුව ම බුදුරජානන් වහන්සේ ශ්‍රාවක සඞ්ඝයාත් සමග එ මගෑ වැඩි සේක. එවිට තවුස් තෙමේ “ශ්‍රාවක සඞ්ඝයා සහිත වූ බුදුරජානන් වහන්සේ මඩ නො පාගා මා පිටින් වඩින සේක්වා” යි එහි මඩ උඩ හෙයක් මෙන් දිග ඇදී වැතිර ගත්තේ ය. බුදුරජානන් වහන්සේ මෙසේ වැතිර ගත් තවුසා දැක “මහණෙනි! මෙ තෙමේ සාමාන්‍ය මනුෂ්‍යයෙක් නො වේ, මහාසත්වයෙකි, නිතර හමුවන ජාතියේ මිනිසෙක් නො වේ, මොහු, බුදුවන්නට පෙරුම් පුරන්නෙ කි, අනාගතයෙහි මෙයින් සාරාසංඛ්‍යකල්පලක්‍ෂයක් ගිය තැනේදී ගොතම නමිත් බුදුවන්නේ මොහු ය” යි. වදාළ සේක.
මේ තවුස් තෙමේ දීපඞ්කර බුදුරජානන් වහන්සේ පසු ව කොණ්ඩඤ්ඤ, මඞ්ගල, සුමන, රෙවත, සොභිත, අනොමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුමෙධ, සුජාත, පියදස්සී, අත්‍ථදස්සී, ධම්මදස්සී, සිද්ධත්‍ථ, තිස්ස, ඵුස්ස, විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසන්‍ධ, කොණාගමන, කස්සප යන බුදුරජුන් දවස පිළිවෙළින් විජීතාවී සක්විති ව, සුරුචි බමුණු ව, අතුල නා රජ ව, අතිදෙව බමුණු ව, සුජාත බමුණු ව, යක් සෙනෙවි ව, සිංහරාජ ව, එක්තරා තවුසෙක් ව, ජටිලමහරැටි ව, උත්තර මාණවක ව, සක්විතිරජ ව, කසුප් බමුණු ව, සුජාත නරදෙවි ව, පඤ්චානන විජිතාවීරජ ව, අතුල නාරජ ව, අරින්දම රජ ව, සුදස්සන රජ ව, ඛෙම රජ ව, පබ්බත රජ ව, ජොතිපාල මාණවක ව ලැබූ විවරණ ඇත්තේ දස පෙරුම්-දස උපපෙරුම්-දස පරමත් පෙරුම් පුරා වෙසතුරු අත්බවෙහි සිට පොළොව වෙවුල්වා මහදන් දී අඹුදරුවනුත් දන් කොට ආයු කෙළවර කලුරිය කොට තුසිත දෙව්ලොව උපන්නේ ය. එකල දස දහසක් සක්වළැ වැසි දෙවියෝ එක් රැස් ව බෝසතුන් කරා ගොස්,
“මහබලැති හිමියෙනි! - කලැයි ඔබහට මේ දැන්,
පිළිසඳ ගන්න මවු කුසැ - ලෝ සත සසර සයුරෙන්,
එතෙර කරවා ලනු - හිමියෙනි! මහාකුළුණැති,
අවබුදු කරණු මැනැවි - ලොවුතුරු අමාපද තුම්”
යි මෙසේ අයැද සිටියහ. එකල බොධිසත්ව තෙමේ පස් මහබැලුම් බලා තුසිතදෙව්ලොවින් චුත ව දඹදිව කිඹුල්වත් පුරයෙහි සුදොවුන් මහරජු නිසා මහාමායා දේවීන් කුසැ පිළිසිඳ ගෙණ දස මස් ඇවෑමෙන් වෙසක් මස පුරපසළොස්වක් පොහොය දා ලුම්බිනී සල්වන උයන්හි මවුකුසින් බිහි විය.
මෙසේ බිහිවී වදාළ මහාසත්ව තෙමේ, කෙමෙන් වැඩි විය පැමිණ, හේමන්ත-ගිම්හ-වස්සාන යන ඒ ඒ ඍතුවලට සුදුසු මාලිගා තුණෙක දෙව්සිරි වැනි රජසිරි විඳිමින් දෙව් කුමරකු සේ වැඩෙන්නට වන. මේ අතර එක් දිනෙක උයන් කෙළියට ගිය මහසත් තෙමේ, ජීර්‍ණ-රොගී-මෘත යන තුන් දෙවදූතයන් දැක හටගත් සසර කලකිරීම් ඇත්තේ, සිවුවනවර දුටු පැවිදි රුවෙහි ආශා උපදවා ‘පැවිද්ද ඉතා යහපතැ’ යි සලකා ගෙණම උයන් ගියේ එහි දාවල් දවස ගෙවාලන්නට සිතා මඟුල්පොකුණු ඉවුරෙහි හුන්නේ ය. එහි දී රාහුල කුමරුන් උපන් බව අසා පුත්‍රස්නේහය බලවත් බව දැන ‘යම්තාක් මේ බන්ධනය නො වැඩේ ද, එතාක් එය සිද හරින්නෙමි’ යි සවස නුවරට පිවිසෙන්නේ,
“මෙබඳු හිමියෙක් යම් - බිරියකට වේ නම් ඇය,
නිවියාය යනු එකතින් - හඟිම් සැකයක් නැත කිසි,
මෙබඳු පුත් රුවනෙක් - මවකට ඇත ද යම්කිසි,
නිවියාය ඒ අම්මා - හඟිම් සැකයෙක් නැත එහි,
මෙබදු පුත් රුවනෙක් - පියකුට ඇත ද යම්කිසි,
නිවියේය ඒ අප්පා - හඟිම් සැකයෙක් නැත එහි”
යන නැන්දනියන්ගේ දූ වූ කිසාගෝතමිය කියූ නිබ්බුතපදය අසා ‘මෑ විසින් නිබ්බුත පදය අස්වන ලද්දේ වෙමි’ යි කර තුබූ මුතුපට ගලවා ඈට යවා මාලිගාවට පිවිස සිරියහන්හි වැතිර ගත්තේය. එහි නිදි ගත් නළඟනන්ගේ වියරු වෙස් දැක කලකිරුණු සිතැත්තේ ඡන්න අමාත්‍යයා නින්දෙන් නැගිට්ටවා කන්ථක අසු සරසවා ගෙන්වා ගෙණ ඌ පිටට නැග ඡන්නයාත් සමග දස දහසක් සක්වළැ වැසි දෙවියන් විසින් පිරිවරණ ලදු ව මහබිනික්මන් කොට අනොමා ගංතෙරදී පැවිදි වූයේ ය. මෙසේ පැවිදි වූ මහසත් තෙමේ රජගහා නුවරට ගොස්, එහි පිඩු සිඟා ‘පාණ්ඩව’ නම් කඳුපාමුලැ හුන්නේ, මගධ රජු කළ ආරාධනාව නො පිළිගෙණ, බුදු බව ලබා ඔහුගේ නුවරට එන්නට පොරොන්දු දී, ආලාරයා හා උද්දකයා වෙතට ගොස් ටික දිනක් ඔවුන් ඇසුරු කෙළේය. එහිදී උන් ලැබු විශේෂගුණයක් නො දැක, එතැනින් නික්ම එකලා ව උරුවේලාවට ගොස් එහි ද සාවුරුද්දක් මුළුල්ලෙහි අන්කෙනෙක්හට නො කළ හැකි වූ දුෂ්කර ක්‍රියා කොට වෙසක් පුණු පොහෝ දා උදෑසන සුජාතාවන් පිළිගැන් වූ කිරිබත් වලඳා, රන්තලිය ‘නෙරඤ්ජරා’ නම් ගඟෙහි පා කොට හැර, ගං ඉවුරෙහි වූ මහාවන ලැහැබෙහි නානාවිධ සමාපත්තීන්ගෙන් දාවල දවස ගෙවා, සවස ‘සොත්ථිය’ නම් බමුණා දුන් තණ ගෙණ, ‘කාල’ නම් මහා නාරජු විසින් කළ ගුණස්තුති ඇති ව, බෝමැඩ කරා ගියේය. ගොස්, එහි තණ අතුරා “යම්තාක් මාගේ සිත උපාදාන රහිත ව ආශ්‍රවයන්ගෙන් මිදේ ද, ඒ තාක් මේ පළඟ නො හරමි” යි ඉටා පෙරදිගට මූණ ලා වැඩ හිඳ, ඉර බැසීමට කලින් මර සෙනඟ නසා, පළමු යමැ පෙර විසූ කඳපිළිවෙළ දන්නා නුවණ ද, මැදුම්යමැ චුතිඋත්පත්ති දන්නා නුවණ ද ලබා, පැසුළුයමැ පටිච්ච සමුප්පාදයෙහි නුවණ මෙහෙයා, දශබල චතුර්වෛශාරද්‍යාදීසකලගුණයන්ගෙන් පිරිපුන් සර්‍වඥතාඥානය ලැබී ය.
මෙසේ සර්‍වඥතාඥානය ලබා තුන් ලොවට ගුරු වූ සම්මා සම්බුදුරජානන් වහන්සේ, බෝමැඩ ම සත් සතියක් ගෙවා, අටවන සතියෙහි අජපාලනිග්‍රෝධ මූලයෙහි වැඩ හිඳ තමන් අවබෝධ කළ ධර්‍මයෙහි ගැඹුරුබව සලකා, අනුනට දහම් දෙසීමෙහි මන්දෝත්සාහී වූ සේක. ඉක්බිති සහම්පති මහාබ්‍රහ්ම තෙමේ ඒ දැන, බඹුන් පිරිවරා බුදුරජුන් කරා පැමිණ, ‘ස්වාමීනි! ධර්‍මාවබෝධයෙහි සමර්‍ත්‍ථවූවෝ ඇත්තාහ, එහෙයින් දහම් දෙසනු මැනැවැ’ යි දන්වා සිටියේ ය. ඉක්බිති උන්වහන්සේ ‘මම පළමු කොට කවරක්හට දහම් දෙසන්නෙම් දැ’ යි සිතූහ. එවිට උන්වහන්සේට ආලාර-උද්දක දෙදෙනාට පළමු කොට දහම් දෙසිය යුතු ය යි සිත් උපන. ‘ඔවුහු දැන් කොතැනක දැ’ යි බලත් කලුරිය කොට සිටිබව දැක, නැවැත පස්වග මහණුන් තමන්ට ඉතා උපකාර ව සිටිබව සලකා, හුනස්නෙන් නැගිට, කාශි නගරයට වැඩම වන්නට මගට පිළිපන් සේක. අතරමග දී උපක ආජීවකයා හමු විය. ඔහු හා මඳ වේලාවක් සාකච්ඡා කොට ඔහු හැර ගිය බුදුරජානන් වහන්සේ ඇසළ මස පුණු පොහෝදා බරණැස ඉසිපතනාරාමයෙහි පස්වග මහණුන්ගේ වාසස්ථානයට වැඩි සේක. ඔවුන් තමන් වහන්සේ හා නුසුදුසු පරිදි කතා කරණ විට ‘තථාගතයන් හා මෙසේ කතා නො කළ යුතු ය’ යි දන්වා අඤ්ඤාකොණ්ඩඤ්ඤ’ තෙරුන් මුල් කොට සිටි අටළොස් කෙළක් මහබඹුන්ට අමාපැන් පොවමින් දම්සක් පැවැත් වූ සේක.
මෙසේ උන්වහන්සේ දම්සක් පවත්වා ඒ පක්‍ෂයෙහි පස් වන දා ඒ භික්‍ෂූන් රහත්බවට පමුණුවා, එදින ම ගිහිගෙයි කලකිරී ගෙය හැර නික්මුණු යසකුලපුත්‍රයාගේ වාසනාව දැක, ඔහු ගෙන්වා, එදින රෑ ම සෝවන් කොට පසුව දා රහත්බවට පමුණුවා ලූහ. යසකුලපුත්‍රයාගේ යහළුවන් සිවුපණස් දෙනකු ද එහිභික්‍ෂුභාවයෙන් රහත් බවට පමුණුවා ලූ සේක.
මෙසේ ලෝකයෙහි එක් සැටක් රහතුන් ඇති වූ කල්හි, වස් පවරා, රහතුන් අමතා “මහණෙනි! දෙවියන් සහිත ලෝකයාට සෙත් සලසනු පිණිස දනවු සැරිසරවු, දහම් දෙසවු” යි වදාරා, ඒ භික්‍ෂූන් සැට නම දිසාවන්හි යවා, තමන් වහන්සේ උරුවෙල් දනව්වට යන්නට මගට පිළිපන් සේක. අතර මගදී කප්පාසික වනලැහැබෙහි හුන් භද්දවග්ගිය කුමරුන් තිස් දෙනකු හික්ම වූ සේක. ඔවුනතුරෙහි ඉතා බාලතැනැත්තේ සෝවන් විය. වැඩි මහල්ලා අනාගාමී විය. එතැනදී ම ඒ තිස් දෙනා ද එහිභික්‍ෂු භාවයෙන් පැවිදි කොට, ලෝවැඩ පිණිස ගම් දනවුවලට පිටත්කොට තමන් වහන්සේ උරුවේලාවට වැඩියහ. එහි දී තුන් දහස් පන්සියයක් පෙළහර දක්වා, දහසක් ජටිලයින් පිරිවර කොට සිටි, උරුවෙලකස්සප-නදීකස්සප-ගයාකස්සප යන තුන් බෑ ජටිලයන් හික්මවා එහිභික්‍ෂුභාවයෙන් පැවිදි කොට ඔවුන් ගයාශීර්‍ෂයෙහි දී ‘ආදිත්තපරියාය’ සූත්‍රය දෙසා රහත් බවෙහි පිහිටුවා ලූ සේක. මේ දහසක් දෙනා විසින් පිරිවැරුණු බුදුරජානන් වහන්සේ බිම්සර රජුට දුන් පොරොන්දුව මුදන්නට රජගහානුවර සමීපයෙහි වූ වැල්මී වනයට වැඩියාහ. එබව දත් බිම්සර රජ තෙමේ දොළොස් නහුතයක් බමුණු-ගැහැවියන් හා බුදුරජුන් වෙත ගියේ, එහි දී බණ අසා එකොළොස් නහුතයක් දෙනා සමග සෝවන් පලයට පැමිණියේ ය. එක් නහුතයක් සරණ සීලයෙහි පිහිටියේ ය. පසුදා මාණවකයකු සේ පෙණී සිටි සක් දෙව්රජු විසින් කළ ස්තුති ඇති බුදුරජානන් වහන්සේ රජගහා නුවරට වැඩ එහි විසූහ. ශාරීපුත්‍ර-මෞද්ගල්‍යායන දෙදෙනා වහන්සේ බුදුරජුන්ට හමුවූවෝ එහිදී ය. මේ එහි පිළිවෙළ කතාව:-
බුදුරජානන් වහන්සේ ලෝ පහළ වීමට පෙර උපතිස්ස-කෝලිත යි ගම් එහි දෙකක් විය. එදෙක ම බමුණුගම් ය. එ දවස උපතිස්සගමෙහි ‘රූපසාරී’ නම් බැමිණියක් වූ ය. ‘මොග්ගලී’ නම් බැමිණියක් කෝලිතගමෙහි විසූ ය. මෑලා දෙ දෙනා ම, එක් දවස හටගත් දරුගැබ් ඇත්තෝ වූහ. දෙ කුලයෝ ද පිළිවෙළින් පරම්පරා සතක් ම දැඩි ව බැඳුනු යහළුකම් ඇත්තෝ ය. මේ දෙ දෙනාට දරුගැබ් රැකුම් කටයුතු කළෝ ද එක දවසේ ම ය. ඔවුහු දසමසක් ගිය තැනේ දී මහත් පිණැති පුතුන් දෙ දෙනකු වැදූහ. නම් තබන දිනයෙහි සාරියගේ පුතුට උපතිස්ස ගමෙහි ප්‍රධාන කුලයෙහි පුතු බැවින් ‘ උපතිස්ස’ යි ද, මොග්ගලියගේ පුතුට කෝලිතගමෙහි ප්‍රධාන කුලයෙහි පුතු බැවින් ‘ කෝලිත’ යි ද නම් තැබුහ. කෙමෙන් වැඩෙන මේ බ්‍රාහ්මණ කුමාරයෝ දෙ දෙනා කල් නො හැර ම සකල ශිල්පයන්හි කෙළවරට ගියහ. උපතිස්සකුමරු සෙල්ලම් කරන්නට ගඟට, උයනට යන විට රන්සිවිගෙවල් පන්සියයක් පිරිවර ව යයි. කෝලිත කුමාර තෙමේ අසුන් යෙදූ රිය පන් සියයක් පිරිවර පිණිස ගෙණ යයි. දෙ දෙනා ට ම පන්සියයක් පන්සියයක් මාණවකයෝ ද පිරිවර වූහ.
එ දවස රජගහා නුවර අවුරුද්දක් පාසා පවත්වන ‘ගිරග්ග’ නම් නාට්‍යයෙක් විය. මේ දෙ දෙනා ද නැටුම් බැලීමට එහි යති. එහි ගිය ඔවුහු ගැලරියෙහි එක තැනක ම හිඳ නැටුම් බලති. නැටුම් බලනාතර සිනාසීමට තැනක් ආ විට සිනාසෙති. කණගාටුවන්නට තැනක් ආ විට කණගාටු වෙති. මිල මුදල් දෙන්නට ආ තැන මිලමුදල් දෙති. මෙසේ කල් යත් නුවණ මෝරා ගිය බැවින් පසු කාලයෙහි ඔවුහු නැටුම් බැලීමෙහි ආශා නැත්තෝ වූහ. නැටුම් ගැයුම්හි ආශා රහිත වූ මේ දෙ දෙනා සසර දුකින් මිදිමේ උපායයක් ගැන සිතන්නට වූහ. දිනක් කෝලිත තෙමේ උපතිස්සට අඬගා ‘උපතිස්ස! තමුසේ වෙන දා ඉතා සතුටින් කල් දවස යැවූවහු, දැන් එසේ නො වන්නහු කුමක් නිසා දැ?’ යි ඇසී ය. ‘මිත්‍රය! නැටුම් ගැයුම්හි කිසිත් වැඩෙක් නැතැ යි මට වැටහී තිබේ, එය දෙලොවින් පිරිහීමට කරුණු වනබව ද පෙණේ, දැන් මා සිත යන්නේ සසරින් මිදීමට උපායමාර්‍ගයක් සෙවීමට ය’ යි එයට පිළිතුරු වශයෙන් උපතිස්සයන් කී විට කෝලිත තෙමේ ද ‘ඇත්ත යි, මටත් ඔය ලෙසට ම වැටහී තිබේ ය’ යි කී ය. ඉක්බිති උපතිස්ස තෙමේ කෝලිතයා ද තමන් හා සමාන අදහස් ඇත්තකු බව දැන, ‘හරි! අප දෙ දෙනාගේ ම අදහස එක හැටි ය, මෝක්‍ෂය සොයන්නට නම් පැවිදි විය යුතු ය, පැවිද්දෙන් තොර ව ඒ නො සෙවිය හැකි ය, ඒ නිසා පැවිදි විය යුතු ය, එහෙයින් කා වෙත අපි පැවිදි වන්නෙමු දැ’ යි කීයේ ය.
මේ කාලයෙහි රජගහානුවර සඤ්ජය නම් පරිව්‍රාජකයෙක් වාසය කෙළේ ය. ඔහුගේ පිරිස ඉමහත් ය. මේ බව දත් බ්‍රාහ්මණ තරුණයෝ දෙදෙන සඤ්ජය වෙත පැවිදි වන්නට සිතා, තමන් අනු ව ආ දහසක් තරුණයන්ගෙන් පන් සියයක් හා සිවිකාරථ සියල්ල ද ගම්වලට යවා ඉතිරි පන්සියයත් ගෙණ සඤ්ජය වෙත ගොස් පැවිදි වූහ. මොවුන්ගේ පැවිද්දෙන් සඤ්ජය තෙමේ පෙරට වඩා මහත් ලාහසත්කාර ඇත්තේ විය.
මේ අලුත් පැවිද්දෝ සඤ්ජය කෙරෙහි වූ සියලු ධර්‍මය කල් නො යවා ම උගෙණ ඔහු කරා ගොස් ‘ඔබවහන්සේ දන්නා ධර්‍මය මෙ පමණ දැ?’ යි ඇසූහ. ඔහු ‘මාගේ ධර්‍මය ඔපමණ ය, ඒ සියල්ල තොප විසින් උගන්නා ලදැ’ යි කී ය. එවිට ඔව්හු ‘මොහු වෙත කරණ බ්‍රහ්මචර්‍ය්‍යවාසයෙන් අපට වැඩෙක් නො වේ, අපි ගෙවල් හැර දමා මෝක්‍ෂයක් සොයනු පිණිස පැවිදි වූවෝ වෙමු ද, එය මොහු වෙත නැත, මොහු වෙතින් ඒ ලබන්නට නො හැකි ය, ප්‍රමත්ත විය යුතු නො වේ, දැන් දැන් ම මෙතැනින් නික්ම යා යුතු ය, දඹදිව ඉතා මහත් ය, ගම් නියම්ගම් රජදනවුහි සොයා බැලීමු නම්, මෝක්‍ෂධර්‍මදෙශකආචාර්‍ය්‍යවරයකු සොයා ගත හැකි ය’ යි සිතා එ තැනින් නික්ම ගියෝ, යම් යම් තැනෙක උගත් මහණ බමුණෝ ඇතැ’ යි කියත් ද, ඒ හැම තැන් ගොස් ඔවුන් හා සාකච්ඡා කරති. මෙසේ මුළු දඹදිව ඇවිද සොයා බලා ද මෝක්‍ෂදේශකයකු නො ලැබ, පෙරළා තමන් වසනා තැනට පැමිණියාහ. දිනක් උපතිස්ස තෙමේ කෝලිතට කතා කොට ‘ කෝලිතය! අපි දෙ දෙනාගෙන් යමෙක් පළමු කොට නිවන් සොයා ගණී ද ඔහු එය අනිකාට කිය යුතු ය’ යි කීයේ ය. කෝලිත ද එය පිළිගත්තේ ය.
මෙ දවස අපගේ ස්වාමි දරු වූ සම්මා සම්බුදුරජානන් වහන්සේ රජගහානුවරැ වේළුවනාරාමයෙහි වැඩ වාසය කරණ සේක. තැනැ තැනැ දහම් දෙසන්නට පිටත් කොට යැවූ සැට දෙනා වහන්සේ අතුරෙහි පස්වග භික්‍ෂූන් වහන්සේලාට ඇතුළත් අස්සජි මහාස්ථවිරයන් වහන්සේ එහි රජගහා නුවරට වැඩියෝ, පසු දා උදෑසන පා සිවුරු ගෙණ පිඬු සිඟා ගියහ.
එදා උදෑසන ම උපතිස්ස පිරිවැජි තෙමේ ආහාර අනුභව කොට පිරිවැජියන්ගේ අරමට යනුයේ, පිඬු පිණිස යන අස්සජි තෙරුන් දුටුයේ ය. ‘මා විසින් මෙබඳු පැවිද්දෙක් මාගේ මේ ජීවිතයේ දී නම්, තව ම නො දක්නාලද ය, ලෝකයෙහි රහත් වූ හෝ රහත් මගට පිළිපන්නාවූ හෝ පැවිද්දෝ වෙත් නම්, ඔවුනතර මොහු එක්තරා එකකු විය යුතු ය, මම මොවුන් කරා ගොස් ලං ව, ඔබ කවරකු උදෙසා පැවිදි වූයෙහි ද? ඔබගේ ශාස්තෘවරයා කවරෙක් ද? ඔබ කවරක්හුන්ගේ දහමක් පිළිගත්තෙහි දැ? යි ඇසූයෙම් නම්, එය මට හිත පිණිස වන්නේ ය’ යි සිතා ‘එයට දැන් කල් නො වේ, පිඬු සිඟන්නහුගෙන් මග දී ප්‍රශ්න ඇසීම සුදුසු නැතැ’ යි උන්වහන්සේ ලුහුබැඳ ගියේ ය. අස්සජි තෙරුන් යැපෙන පමණට පිඬු සිඟා ගෙණ එක්තරා විවේකස්ථානයකට ගොස් වැඩ හිදින්නට කැමැති බවක් දැක් වූ කල්හි පිරිවැජි තෙමේ පිරිවැජිපුටුව පිළියෙල කොට දුන්නේ ය. එහි වැඩ හිඳ උන්වහන්සේ සිඟා ගත් ආහාර වැළඳුහ. පිරිවැජ්ජා තම කෙණ්ඩියෙන් පැන් පිළිගැන් වී ය. වතාවත ද කෙළේ ය. වලඳා අවසන්හි තෙරුන් හා පිළිසඳර කතාවට වැටුනු, පිරිවැජි තෙමේ ‘තමුන්නාන්සේගේ චක්‍ෂුරාදි ඉන්ද්‍රියයෝ අතිප්‍රසන්නයහ, සිරුරු පැහැය ඉතා පිරිසිදු ය, කදිම ය, කාන්තිමත් ය, තමුන්නාන්සේ පැවිදි වූවහු කවුරුන් වෙත ද? ශාස්තෘවරයා කවු ද? පිළිපදනා ධර්‍මය කුමක් ද?’ යි ඇසී ය. එවිට සථවිරයන් වහන්සේ ‘මූලා සසුනට විරුද්ධයෝ ය, එබැවින් මූට අපගේ සසුනෙහි ගැඹුරු බව දක්වමි’ යි සිතා ‘මම සසුනට බැස ගත්තේ අලුත යි, මහණවෙලා කල් නො ගියේ ය, ඒ නිසා විස්තර බණක් කියන්නට මම අපොහොසත් වෙමි’ යි කීහ. ‘හා හොඳයි! මාගේ නම නො දන්නහු ද?, උපතිස්ස කියන්නේ මට යි, මම පිරිවැජියෙක්මි, ඔබ දන්නා පමණින් බණ කියන්න, මම, ඔබ කියන ඒ බණ ක්‍රම සියයකින් දහසකින් දැන ගැණීමෙහි පොහොසත් වෙමි, බණ කියන්නැ’ යි කියා නැවත,
“මඳ හෝ නො මඳ හෝ - බණක් හිමියෙනි! දෙසනූ,
මට ‘රුත හිතය කිය’ රුත - බොහෝ කුරු කුම් කරති”
යි මෙසේ ද කී ය. එකල ස්ථවිරයන් ව්‍යහන්සේ “යෙ ධමමා හෙතුප්පභවා” යනාදී වූ ගාථාව දෙසූහ. පිරිවැජි තෙමේ ගාථායෙහි පළමු පද දෙක තම කණ වැටෙත් ම දහසක් නයින් යුත් සෝවන් පලයෙහි පිහිටියේ ය. අනික් දෙපදය ඇසූයේ සෝවන් පලයෙහි පිහිටා සිට ය. ඉක්බිති පිරිවැජි තෙමේ ‘මට මෙයට වඩා උසස් ගුණයක් නො ලැබුනේ, යම් කිසිවක් නිසා ය’ යි සලකා, “ස්වාමීනි! බණ මට සෑහුනේ ය, දැන් කියූ බණ ඇත, බණ නවතා ලන්න, මේ බණ සොයා ගත් ශාස්තෘවරයා දැන් කොහි ද?, කියන්නැ” යි කී ය. උන්වහන්සේ වෙළුවනාරාමයෙහි වැඩ වසන බව තෙරුන් කීවිට, “ස්වාමීනි! ඔබවහන්සේ වඩින්න! මට හිතවතෙක් සිටී, ‘යමෙක් පළමු ව නිවන ලබා ද, ඔහු අනිකා ට එය දැන් විය යුතු ය’ යි මා හා උන් හා නියම කර ගෙන තිබේ, ඒ නිසා මම මේ කාරණය ඌට දන්වා, ඌත් කැටුව ඔබ වඩිනා මගින් ම ශාස්තෘන් වහන්සේ වෙත එන්නෙමි” යි පසඟ පිහිටුවා, තෙරුන් පාමුල වැටී නැගිට නැවැත තෙ වරක් පැදකුණු කොට වැඳ, පිරිවැජියන්ගේ අරමට මූණ ලා එන උපතිස්ස පරිව්‍රාජකයා දුරදී ම දුටු කෝලිත පරිව්‍රාජක තෙමේ “හා! වැඩේ හරි ගියා සේ ය, උපතිස්සගේ මූණ වෙන දා වගේ නො වේ, අද බොහොම එලිය යි, මූණ බබලයි, නො වරදින්නට මූට නිවන ලැබී ඇතැ” යි සිතා වෙත පැමිණියා වූ මිතුරාගෙන් “කොහොම ද; නිවන ලබා ගත් තෙහි දැ?” යි ඇසී ය. “ඔව්, ඒ හරි; නිවන ලැබුනේ ය” යි කියා අස්සජී තෙරුන් අතින් ඇසූ “යෙ ධම්මා හේතුප්පභවා” යනාදී වූ ගාථාව ඔහු කියා පෑය. ගාථාව කියා අවසන්වත් ම කෝලිත තෙමේ ද සෝවන් පලයෙහි පිහිටා, “මිත්‍රය! අපගේ මේ ශාස්තෘන් වහන්සේ දැන් කොහි වෙසෙත් දැ?” යි ඇසී ය. “උන්වහන්සේ වෙළුවනාරාමයෙහි වැඩ වසන බව අපගේ ගුරු වූ අස්සජි ස්ථවිරයන් වහන්සේ වදාළාහ” යි උපතිස්ස කී විට, “එසේ නම් අපි එහි යමු” යි කෝලිත කී ය.
ශාරීපුත්‍ර මහාස්ථවිරයන් වහන්සේ වනාහි හැම දා ගුරුන් පුදන්නෝ ය. ගුරුන් ඉදිරියෙහි කිසිදාකත් උස්හඬින් මහහඬින් කතා නො කරන්නෝ ය. හිස වසා ගෙණ නො හිඳින්නෝ ය. පය වහන් නො ලන්නෝ ය. ඉදිරියෙහි නො සිටින්නෝ ය. ඉදිරියෙහි ඍජුව ගමන් නො කරන්නෝ ය. ඉදිරියෙහි සිටිනා විට, දොර උළුවහු ආදී වූ කිසිවකට හේත්තු වී නො සිටින්නෝ ය. ඉදිරියෙහි නො සිනාසෙන්නෝ ය. ගුරුන්ට ඇසෙන පරිදි අන්‍යයන් හා කතා නො කරන්නෝ ය. කෑරීම් කෑගැසීම් නො කරන්නෝ ය. ඉදිරියෙහි කෙල නො හෙලන්නෝ ය. දැක දැක අසුන්හි නො හිඳින්නෝ ය. ගුරුන් වසන දිසාවට පය ලා නො නිදන්නෝ ය. ගුරුන් කෙරෙහි අහිතයක් නො කරන්නෝ ය. ගුරුන් කෙරෙහි හිතයක් ම හිතන්නෝ ය. ගුරු සිත නො රිදවන්නෝ ය. ගුරුන්ගේ සිත්හසර දැන එයට අනු ව දවසරින්නෝ ය. ගුරුන් පිළිබඳ කළයුතු වතාවත, උපස්ථානය කොයි වේලක පැමිණේ දැ’ යි ඉතා කැමැත්තෙන් බලාපොරොත්තු වන්නෝය. ගුරුන් පිළිබඳ කළයුතු වතාවත නො පිරිහෙලා කරන්නෝ ය. ගුරු පූජාව කොයි මොහොතක කරම් දැ යි රෑ දෙවේලේ බලාපොරොත්තු වන්නෝ ය. මෙසේ ශාරීපුත්‍ර මහාස්ථවිරයන් වහන්සේ මහත් ගුණයෙන් පිරී ගත් බැවින් “අප විසින් නිවන් අයත් කරන ලද්දේ ය, එය අපගේ ගුරු වූ සඤ්ජයතුමාටත් කිය යුතු ය, ඔහු ද එය අපෙන් අසා අවබෝධ කෙරේ නම්, අවබෝධ කෙරේවා, එසේ අවබෝධ නො කෙරේ නම්, ශාස්තෘන් වෙත ගොස් බණ අසා මග පල අවබෝධ කරණු ඇතැ” යි කීහ. මෙසේ කියා දෙ දෙන ම සඤ්ජය වෙත ගියහ.
“කිම දරුවෙනි! අමාමග දෙසන උතුමෙක් සොයා ගන්නා ලද දැ” යි සඤ්ජය ඔවුන් විචාළ විට “එසේ ය, සොයා ගතිමු, ඒ දෙසන්නෝ ගෞතම බුදුරජානන් වහන්සේ ය, උන් වහන්සේ ලොව පහළ ව සිටිති, අමාදහම ද ලොව පහළ ව තිබේ, සඞ්ඝ තෙමේ ද උපන, දැන් රත්නත්‍රය ම ඇත්තේ ය, එහෙයින් දැන් නො මග නො යා යුතු ය, නිවරද මග යෑමට ඉඩ කඩ තිබේ, තමුන්නාන්සේ යන මග, නිවන් ලැබීමට කරුණු නො වේ, අප සමග එනු මැනැවැ” යි ඔවුහු දන්වා සිටියහ. “තෙපි යවූ; මට යනු නො හැකි ය, මා ගෞතමයන් කරා යැම නො සුදුසු ය” යි කීවිට “ඇයි; තමුන්නාන්සේ එසේ කියනු?” යි උපතිස්ස-කෝලිතයෝ ඇසූහ. “මම මහාචාර්‍ය්‍යවරයෙක්මි, ඒ මම අනෙකක්හුගේ අතවැස්සකු වීම ලෝකයාගේ සිනහවට කරුණු ය, තෙපි ඒ නො දනිහු ද? මට අනෙකක්හුගේ අතැවැස්සකු වන්නට නො හැකි ය” යි ඔහු කීවිට “එසේ නො සිතන්න, අප හා යන්නට එනු මැනැව, එයින් ඔබ වහන්සේට මහත් වැඩෙකැ” යි ඔවුහු කීහ. “දරුවෙනි! නුඹලාගේ කතාව ඇත්ත යි, එහෙත් මට නම් එහි යන්නට නො හැකි ය, තෙපි යවු” යි කී විට ද පරිව්‍රාජකයෝ දෙ දෙනා “ගුරුතුමනි! බුදුරජුන් ලොව උපන් දා සිට මහාජන තෙමේ සුවඳ මල් ඈ ගෙණ උන් වහන්සේ කරා ගොස් උන්වහන්සේ ම පුදයි, හැම පිදිවිල්ලක් ම පුද දෙන්නේ උන්වහන්සේට ය, මේ අපිත් එහි යන්නෙමු, අප ගිය විට ඔබවහන්සේ කරන්නහු කුමක් දැ?” යි ඇසූහ. “හා මොක ද, එසේ කියහු, ලෝකයෙහි වැඩි මෝඩයෝ ය, පණඩිතයෝ ටික දෙනෙක් ම වෙති, එහෙයින් පණ්ඩිතයෝ, පණ්ඩිත වූ ශ්‍රමණ භවත් ගෞතමයන් කරා යති, මෝඩයන් මෝඩ වූ මා කරා එනු ඇත. කැමති සේ කරවු; මට නම් යා නො හැකි ය” යි සඤ්ජය තෙමේ කීයේ ය.
ඉක්බිති පරිව්‍රාජකයෝ දෙ දෙන “තමුන්නාන්සේ ප්‍රකට වහු” යි කියා ඔහු හැර ගියහ. එහි සඤ්ජයගේ පිරිස කැඩී බිඳී ගියේ ය. ආරාමය හිස් විය. සඤජය තැති ගත්තේ ය. ඇඟපත දෙදරා ගියේ ය. අතපය සැලෙන්නට වන. කටින් ලේ ගලන්නට වන. ඒ අතර උපතිස්ස පරිව්‍රාජකයාගේ පන්සියයක් පමණ වූ පිරිවැජි පිරිසෙන් සඤ්ජයට හිතවත් වූ දෙසිය පණසක් පරිව්‍රාජකයෝ එහි නතර වූහ. උපතිස්ස-කෝලිත දෙ දෙන තම අතැවැසි අනික් දෙසිය පණසක් පිරිවැජ්ජනුත් ගෙණ, වේළුවනාරාමයට ගියහ. ඒ වේලෙහි ස්වාමිදරු වූ සම්මා සම්බුදුරජානන් වහන්සේ සිවු පිරිස මැද දහම් දෙසමින් වැඩහුන් සේක්, දුර මගැ එන ඔවුන් දැක, “මහණෙනි! අර ලඟ එන්නෝ උපතිස්ස - කෝලිත පරිව්‍රාජකයෝ දෙ දෙනා ය, ඔවුහු දැන් මා සමීපයට එති, මාගේ අග්‍රශ්‍රාවක වන්නෝ ද මේ දෙ දෙනා ය, මේ වනාහි භද්‍රයුග්මයෙක් වන්නේ ය” යි වදාළ සේක. බුදුරජුන් වෙත පැමිණි ඔවුහු බුදුරජුන් වැඳ පැත්තක හිඳ “ස්වාමීනි! අප පැවිදි කරන්න! අපි බුදුරජුන් වෙත පැවිදිවන්නට කැමැත්තෙමු, උපසම්පදාවත් අපට දෙනු මැනැවැ” යි අයැද සිටියහ. “මහණෙනි! මෙහි මා වෙතට එවු, මා සොයා ගත් ධර්‍මය සසර දුක් නැති කිරීමේ එක් ම මාර්‍ගය යි, දුක් නැසීමට මේ හැර අන් මගෙක් නැත, එහෙයින් ඒ පිණිස බඹසර රකිවු” යි වදාරණු හා ම ඒ පිරිසෙහි වූ සියලු දෙනා ඍද්ධියෙන් ලත් පා සිවුරු දරා සියක් අවුරුදු වයස් ඇති මහතෙරුන් සේ බුදුරජුන් ඉදිරියෙහි පෙණී සිටියෝ ය.
අනතුරු ව බුදුරජානන් වහන්සේ එ පිරිසෙහි චරිත බලා දහම් දෙසූහ. උපතිස්ස - කෝලිත දෙ දෙනා හැර, සෙස්සෝ එහි දී රහත් වූහ. ශ්‍රාවකපාරමීඥානයාගේ මහත්බව නිසා, මේ දෙදෙනාහට මත්තෙහි ලැබිය යුතු තුන් මග පිළිබඳ කටයුතු නො නිමියේ ය. මෞද්ගල්‍යාන ස්ථවිරයන් වහන්සේ පැවිද්දෙන් සත්වන දිනයෙහි, මගධරටට අයත් ‘කල්ලවාල’ නම් ගමැ විසීමට ගියහ. එහි දී උන්වහන්සේගේ සිතෙහි ථීනමිද්ධය බලවත් වන්නට විය. ඒ දැක වදාළ බුදුරජානන් වහන්සේ මුගලන් තෙරුන් සංවේගයට පමුණුවා ථීනමිද්ධය දුරු කොට, ධාතුකර්‍මස්ථානය දී ඒ දියුණු කිරීමෙහි උත්සාහවත් කළහ. මුගලන් තෙරණුවෝ ඒ වඩා මත්තෙහි වූ තුන් මග පිළිබඳ කටයුතු අවසන් කොට ශ්‍රාවකපාරමීඥානයෙහි මුදුනට පැමිණියහ.
ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පැවිද්දෙන් අට මසක් ගෙවා, බුදුරජන් සමග සූකරඛත, නම් ලෙනෙහි වසන්නෝ, බෑනනු වූ ‘දීඝනඛ’ පරිව්‍රාජකයාහට දෙසූ ‘වෙදනාපරිග්‍රහ’ සූත්‍ර දේශනායෙහි නුවණ යොදා අනෙකක්හට එළ වූ බතක් අනුභව කරන්නකු සේ එකෙණෙහි ශ්‍රාවකපාරමීඥානයෙහි මුදුනට ගියහ. පරිකර්‍ම මහත් බව නිසා මුන්වහන්සේ මුගලන් තෙරුන්ට පසු ව ශ්‍රාවකපාරමී ඥානය ලැබූහ. යමක් කමක් නැති දුප්පත් මිනිස්සු ගමන් බිමන් කිරීමේ දී ඒ පිණිස අමුතුවෙන් පිළියෙල නො වෙති. එහෙයින් සිතූ සැටියේ ම ගමන් බිමන් කෙරෙති. එබඳු ගමන් බිමන්හිදී රජවරුන්ට හා රජදරුවන්ට යාන වාහන පිළියෙල කිරීම් ආදී වූ පරිකර්‍ම ඉතා බොහෝ ය. ඒ නිසා සිතූ සැටියේ ම ගමන්බිමන් කිරීමෙහි අපොහොසත් හ, රජවරු හා රජදරු සෙනෙවි ආදීහු. එ පරිද්දෙන් සැරියුත් තෙරුන්ට ශ්‍රාවකපාරමී ඥානය පිණිස පරිකර්‍ම බොහෝ විය.
එ දින ම සවස බුදුරජානන් වහන්සේ ශ්‍රාවකයන් වෙළුවනාරාමයට රැස් කොට, සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේට අගසවු තනතුරු දී පාමොක් උදෙසූහ. එවිට එහි රැස් වූ භික්‍ෂූන් වහන්සේලා “බුදුරජානන් වහන්සේ මූණ බලා තනතුරු දෙති, පළමු පැවිදි වූ පස්වග භික්‍ෂූන් වහන්සේලාට දියයුතු, අගසව් තනතුරු, ඊට පසු පැවිදි වූ සැරියුත් - මුගලන් දෙ දෙනා වහන්සේට දුන්හ, මෙය කො තරම් අයුත්තෙක් ද, පස්වග භික්‍ෂූන් වහන්සේට මේ නො දෙන සේක් නම්, යස ස්ථවිරයන් එසේ ප්‍රධාන පිරිසට මේ දියයුතු ව තුබුනේ ය, ඔවුනටත් නො දෙන සේක් නම් භද්දවග්ගිය භික්‍ෂූන් වහන්සේට දිය යුතු ය. එහෙත් මේ හැම යුතුකමක් ම නො බලා, මේ කිසිවකුත් ගැණ නො සලකා හැමට පසු පැවිදි වූ සැරියුත් තෙරුන් වහන්සේලාට දුන්හ, මේ මූණ බලා ම දෙන ලද්දෙකැ” යි අවමන් කළහ. “තමුසේලා කුමක් කියහු දැ’ යි විචාරා, දැන බුදුරජානන් වහන්සේ “මහණෙනි! ඔහො ම නො කියවු, තමුසේලා ඔය ගැණ කිසිවක් නො දනිහු. මම මූණ බලා තනතුරු දෙන්නෙක් නො වෙමි, ඇයි ඔහො ම කියහු, මේ නමලා දෙ නම මේ තනතුරු ලබා ගන්නට බොහෝ කලක සිට බලාපොරොත්තු වූවෝ ය, ඒ පිණිස නොයෙක් තැන නොයෙක් පින්කම් කළහ, මහන්සි ගත්හ, අඤ්ඤාකොණ්ඩඤ්ඤ තැන හැමට පළමු නිවන් අවබෝධ කර ගන්නට සිතමින් පතමින් එක් ගොයම් මුරයක දී නව වරක් අගසස් දන් දුන්හ, ඒ තැන මේ අගසවු තනතුරු බලාපොරොත්තු නො වූහ, ඒ නො පැතූහ, ඒ තැන හැම පින්කමක් ම කළෝ, හැමට පළමු රහත් වන්නට ය. ඒ තැනගේ අදහස ලෙසින් පැතීම ලෙසින් ඒ ඉටු විය, සැරියුත් මුගලන් දෙ දෙන පින්කම් කළෝ, අගසවු තනතුරු ලබන්නට ය, එ හෙයින් ඒ තැනලාට ඒ තනතුරු ලැබුනේ ය” යි වදාළවිට භික්‍ෂූන් වහන්සේලා “ස්වාමීනි! ඔය තොරතුරු අපි නො දනුම්හ. අපි ඒ දැන ගණු කැමැත්තම්හ, අපට එය වදාරැන්නැ” යි ඉල්ලා සිටියහ.
ඉක්බිති බුදුරජානන් වහන්සේ; මහණෙනි! මෙයින් පෙර අනූඑක්වන කපෙහි විපස්සී බුදුරජානන් වහන්සේ ලොව පහළ වූහ, එකල මහාකාල-චුලකාල නම් වූ ධනවත් සහෝදරයෝ දෙ දෙනෙක් වූහ, ඒ දෙ දෙන හවුලට හැල් කෙතක් වැපුරූහ, දිනක් චුලකාල තෙමේ වෙලට ගියේ, වැඩී තිබූ හැල් කරලක් කඩා ගෙණ එය පළා කෑයේ ය, එහිදී එය ඉතා රසවත්බව ඔහුට වැටහින, එ හෙයින් ඔහු බුදුපාමොක් මහසඟනට හැල්ගැබ් දනක් දෙන්නට සිතා, අය්යා ලගට ගොස්, “අය්යේ! අද මම වෙලට ගියා, ඒ ගිය මට බුදුපාමොක් මහ සඟනට හැල්ගැබ් පළා උයවා දනක් දෙන්නට සිත් වී ය” යි කී ය, “ඇයි, මල්ලී! කුමක් කියහි, හැල්ගැබ් පළා දන් දීමක් කොහි තිබේ ද?, ගොයම නො නසව” යි මහාකාලයා කියූව ද, චූලකාල තෙමේ ඒ කළයුතු ම බව තරයේ කියා සිටියේ ය, එහි දී මහාකාල තෙමේ “එසේ නම් කුඹුර දෙකට බෙදා, නුඹගේ කොටසෙහි ගොයමට නුඹට කැමැත්තක් කරන්න, මාගේ කොටසෙහි ගොයමට කිසිවක් කරන්නට එපා ය” යි කී ය, “හා හොඳයි, එසේ කරමු” යි කුඹුර බෙදා ගෙණ මිනිසුන් හා කුඹුරට ගොස් හැල්ගැබ් පළා ගෙට ගෙණ අවුත් දිය නොමුසු කිරෙන් පිසවා, ගිතෙල්, මී, හකුරු, හා එක් කොට බුදුපාමොක් මහසඟනට පුදා, අවසන්හි “මාගේ මේ අග්‍රදානය හැමට පළමු නිවන් අවබෝධ කිරීමට හේතු වේවා” යි පැතී ය, බුදුරජානන් වහන්සේ “ඒ එසේ වේවා” යි අනුමෙවෙනි බණ දෙසූහ, ඉන් පසු චූලකාලයා එදාම කුඹුරට ගොස් බැලූ විට, මුළු කුඹුර එකට මිටි බැන්දා සේ හැල්ගස්වලින් තදින් ගැවසී ගෙණ තිබෙනු දැක, ප්‍රීතියෙන් ඔදවැඩි ව “මට වූයේ මහත් ලාභයෙකැ” යි සිතා ගොයම පැසී ගිය තැනේ දී ‘පුථුකග්ග’ නම් දනක් ද, කැපීමේදී ‘දායග්ග’ නම් දනක් ද, එකතු කිරීමේදී ‘වෙණගග’ නම් දනක් ද, මිටි කොට බැඳීමේදී ‘කලාපග්ග’ නම් දනක් ද, කලවිටෙහි කොළ නැගීමේ දී ‘ඛලග්ග’ නම් දනක් ද ගොයම් පාගා වී එකතු කිරීමේ දී ‘ඛලභණ්ඩග්ග’ නම් දනක් ද, කොටුවෙහි වී පිරවීමේ දී ‘කොට්ඨග්ග’ නම් දනක් ද, යි නව වරක් අගසස් දන් දුන්නේ ය, ඒ දන් දුන් හැම වර ම, දන් දීමට ඒ ඒ දේ ගත් තැන් මුළුමනින් පිරී ගියේ ය, ගොයම වැඩියෙන් දියුණු වී ය, “ධර්‍මය තෙමේ තමන් රකින්නහු රකියි, මොනවට පුරුදු පුහුණු කළ ධර්‍මය තෙමේ සැප එළවයි. මොනවට පුරුදු පුහුණු කළ ධර්‍මයෙහි මේ ආනිසංසය යි ධර්‍මයෙහි හැසිරෙන සුලු පුද්ගල තෙමේ දුගතියට නොය” යි බුදුරජානන් වහන්සේ වදාළ සේක.
මෙ තෙමේ මෙසේ විපස්සී බුදුරජුන් දවස හැමට පළමු නිවන් ලබන්නට සිතා නව වරක් අග දන් දුන්නේ ය, මෙයින් කප් සිය දහසකින් මත්තෙහි හංසවතී නගරයෙහි දී පියුමුතුරා බුදුරජුන් දවස ද, සත් දිනක් බුදුපාමොක් මහ සඟනට මහදන් දී ඒ බුදුරජුන් පාමුල වැටී “මම හැමට පළමු නිවන් අවබෝධ කරන්නෙමි” යි පැතී ය, මෙසේ මුන් විසින් පතන ලද්ද ම ය, මා විසින් දෙන ලද්දේ, මම මූණ බලා තනතුරු නො දෙමි යි වදාළ සේක.
නැවැත භික්‍ෂූහු “ස්වාමිනි! අපට යසකුලපුත්‍රයා ප්‍රධාන පිරිසෙහි තොරතුරුත්, ඔවුන් කළ දේත් කියා දෙනු මැනැවැ” යි ඉල්ලා සිටියාහ.
“මහණෙනි! මේ අයද එක් බුදු කෙනකු වෙත රහත්බව පතා බොහෝ පින්කම් කළහ, පසු කාලයෙහි බුදුරජුන් ලොව පහළ වීමට පෙර, හැමදෙනාම එකමුතුව යහළු ව පින් කරන්නේ, මළ සිරුරු දැවීම් ආදිය කරමින්, ඒ ඒ තැන හැසුරුනාහ, දිනක් ඔවුහු කලුරිය කළ දරුගැබ් සහිත ස්ත්‍රියක දැක දවමු, යි සොහොනට ගෙණ ගියහ, ඔවුනතුරෙන් පස් දෙනකු මළ සිරුර දවන්නට සොහොනෙහි නවතා සෙස්සෝ ගමට ගියහ, යසදාරක තෙමේ මළ සිරුර යහුලින් විද විද පෙරළ පෙරළා දවනේ, අශුභ සංඥාව ලැබී ය, අනික් සිවුදෙනාට ද, කබරදෙනක සේ තැන තැන නැසුනු ගැලවී ගිය හම ඇති දුගඳ හමන පිළිකුල් වූ ඒ සිරුර දැක්වී ය, ඔවුහු ද ඒ බලා අශුභ සංඥාව ලැබූහ, අනතුරුව පස් දෙනා ම ගමට ගොස් තම පිරිසෙහි වූ අනික් යහළුවන්ට ඒ කීහ, යස තෙමේ ගෙදර ගොස් මවුපියන්ට හා භාර්‍ය්‍යාවට ද දැන් වී ය, ඒ සියල්ලෝ ද එහි අශුභසංඥාව වැඩූහ, මේ ඔවුන්ගේ පුර්‍වකර්‍මය යි, ඒ නිසාම ය යසට අන්තඃපුරය සොහොනක් සේ වැටහුනේ, සියල්ලන්ට විශේෂාවබෝධය වූයේ ද ඒ නිසා ය, මෙසේ මොවුන් විසින් ලද්දේ ද, මොවුන් පතන ලද්ද ම ය, ඒ මිසක් මම මූණ බලා තනතුරු නො දෙමි” යි වදාළ සේක.
අනතුරු ව භද්දවග්ගීය භික්‍ෂූන්ගේ තොරතුරු ඇසූ භික්‍ෂූන්ට බුදුරජානන් වහන්සේ “මහණෙනි! භද්දවග්ගීයයෝ ද පෙර බුදු රජුන් දවස උන්වහන්සේලා වෙත රහත්බව පතා පින් කළහ, පසු දවස, බුදුරජුන් ලෝ පහළ වන්නට පෙර, ධූර්‍තයෝ ව තුණ්ඩිලොවාදය අසා සැට දහසක් අවුරුදු පන්සිල් රැක්කාහ, මෙසේ මොවුහු ද ලැබුවෝ, මොවුන් පතන ලද්ද ම ය, මම මූණ බලා තනතුරු නො දෙමි” යි වදාළ සේක.
“උරුවෙල් කසුප් ආදිහු කුමක් කළෝ දැ” යි නැවැත භික්‍ෂූහු ඇසූහ. “මහණෙනි! ඔවුහු ද රහත්බව ම පතා පින් කළෝ ය, මෙයට අනූදෙවන කපෙහි තිස්ස-ඵුස්ස නමින් බුදුවරු දෙනමක් ලොව පහළ වූහ, ඵුස්ස බුදුරජුන්ගේ පියා මහින්ද නම් වී ය, ඔහු එ දවස එහි රජකම් කෙළේ ය, මේ රජුගේ බාලපුත්‍රයා බුදුරජුන්ගේ අගසවූ විය, පෙරෙවි බමුණාගේ පුත්‍රයා ය දෙවන අගසවු වූයේ, මහින්ද රජ තෙමේ ‘මාගේ වැඩිමහල් පුතා බුදු වෙයි, බාල පුතා අගසවු වෙයි, පෙරෙවි බමුණු පුතා දෙවන අගසවු වෙයි, ඔවුන් ගැණ සිතා ‘බුදුරජානන් වහන්සේ මාගේ ම ය, ධර්‍මයත් මාගේ ම ය, සංඝයාත් මාගේ ම ය, ඒ මාගේ තෙරුවනට නමස්කාර වේවා’ යි. තෙවරක් උදන් අනා, බුදුරජුන්පාමුල වැටී වැඳ ‘ස්වාමීනි! මාගේ අනූදහසක් පමණ වූ ආයුසයෙහි මේ කෙළවර ය, එහෙයින් අනුන් වෙත නො ගොස් යම්තාක් මම ජීවත් වෙම් ද, ඒ තාක් මා දෙන සිවුපසය ඉවසනු මැනැවැ’ යි ආරාධනා කොට, නිතර දෙ වේලේ බුදුපාමොක් මහසඟනට උපස්ථාන කරයි, රජහට තවත් පුත්‍රයෝ තිදෙනෙක් වූහ, ඒ තිදෙනාගෙන් වැඩි මහල්ලාට පන්සියයක් යුද්ධභටයෝ වුහ, දෙවැන්නාට යුද්ධභටයෝ තුන් සියයෙකි, බාලයාට දෙසිය පණසෙකි, ඔවුහු ද ‘අපත් අපේ සොහොයුරාට සිවු පසයෙන් උපස්ථාන කළයුතු ය’ යි නියම කොට ගෙණ, පියා කරා ගොස් ඒ පිණිස පියාගෙන් අවසර ඉල්ලූහ, එහෙත් රජ තෙමේ එයට, ඔවුනට අවසර නො දුන්නේ ය, ඔවුහු නැවැත නැවැත් අවසර ඉල්ලූහ, ඒ කිසිවරක රජ තෙමේ අවසර නො දුන්නේ ය, එ දවස ම රජුට අයත් රටෙහි ප්‍රත්‍යන්ත දෙශවාසීහු රජුට විරුද්ධව නැගී සිටියහ, රජ තෙමේ එය සංසිඳවන්නට පුතුන් තිදෙනා හා ඔවුන්ගේ භටසේනා එහි යැවී ය, ඔවුහු එහි ගොස් රට සංසිඳුවා පෙරළා පියා වෙත ආහ, එවිට රජ තෙමේ පුතුන් වැළඳ ගෙණ, හිස සිඹ ‘පුතුනි! මේ තැන් සිට මම තොප කියන්නක් කරමි’ යි කියා පුතුන් සැනසී ය, ඔවුහු ද ‘යහපතැ’ යි එය පිළිගත්හ, කිහිප දිනක් ගිය තැන, රජ පුතුන් අමතා වුවමනා යමක් කියවු යි කී ය, ‘පියතුමනි! අපට අන් කිසිවකින් වැඩෙක් නැත, අපට අපේ සහෝදරයාට සිවු පසයෙන් සංග්‍රහ කරන්නට අවසර දුන මැනැවැ’ යි ඔවුහු අවසර ඉල්ලූහ, රජ තෙමේ එයට එකඟ නො වී ය, එවිට ඔවුහු අවුරුදු සතකට අවසර ඉල්ලූහ, රජ එය ද ප්‍රතික්‍ෂේප කෙළේ ය, නැවැත අවුරුදු සයකට. පසකට, සතරකට, තුණකට, දෙකකට, එක් අවුරුද්දකට, සත් මසකට, ස මසකට, සාර මසකටැ යි පිළිවෙළින් අවුරුදු - මාස අඩු කොට තෙ මසකටවත් අවසර දෙනු මැනවැ’ යි ඉල්ලා සිටියහ, රජ ‘එවිට ද ඉඩ දිය නො හැකි ය’ යි කී විට ඔවුහු ‘දේවයන් වහන්ස! හොඳයි, එසේ වේවා, අප එකෙකාට එකෙක මස බැගින්, මේ තෙ මස වත් ඉඩ දෙනු මැනවැ’ යි නැවැතත් ඇයැද සිටියහ, රජ තෙමේ ‘හොඳයි, එසේ නම්, තුන් මසක් වලඳවවු’ යි තෙමසකට අවසර දුන්නේ ය,
ඉක්බිති ඔවුහු තිදෙන, තම භාණ්ඩාගාරිකයා හා අයකැමියා ගෙන්වා ‘අපි මේ තෙ මස දසසිල් සමාදන් ව, කහවත් හැඳ බුදුන් වෙත වසන්නෙමු, නුඹලා සෑහෙන පමණ දානොපකරණ සපයා දින පතා අනූදහසක් භික්‍ෂූන් වහන්සේට හා දහසක් යුද්ධභටයන්ට කෑම් බීම් පිළියෙල කොට දෙවු, අපි මෙතැන් සිට කිසිවක් නො කියමු’ යි කියා පිරිවර පුරුෂයන් දහසක් ද සමග ගොස්, දසසිල් සමාදන් ව කහවත් හැඳ විහාරයෙහි ම විසූහ, භාණ්ඩාගාරිකයා හා අයකැමියා ඒ නියම පරිදි, ඔවුන්ගේ කොටුගෙවලින් වරින් වර දානොපකරණ ගෙණ, දන් පිළියෙල කොට දෙයි, ඒ අතර දන් පිළියෙල කරන දරුවෝ කැඳබත් ඉල්ලා නිතර හඬා වැලපෙත්, එවිට ඔවුහු භික්‍ෂූන් වහන්සේ වලඳවන්නට පළමු ව හඬා වැලපෙන ඒ දරුවනට කැඳ බත් ආදියෙන් සංග්‍රහ කෙරෙති, භික්‍ෂූන් වලඳා, අවසානයෙහි කිසිවක් එහි ඉතිරි නො වේ, පසු, කල් යත් යත් දරුවන්ට දෙමු’ යි දන්බත් ගෙණ, දන් පිළියෙල කරන්නෝ ද කති, රසැති අහරක් දුටුවිට ඔවුන්ගේ කටට තදින් කෙල උනා එන්නේ ය, එහිලා ඔවුන්ගේ කෑදර සිත එතරම් මහත් ය, ඔවුහු සුවාසූදහස් දෙනෙකි, මේ සියල්ලෝ සඟුන් පිණිස පිළියෙල කළ දන්බත් කා මැරී ගොස් ප්‍රේතලෝකයෙහි උපන්හ,
පන්සලට වැද දසසිල් රැකි සොහොයුරෝ තිදෙන, ඒ දහසක් දෙනා සමග මිය ගොස් දෙව්ලොව ඉපිද, දෙව්ලොවින් දෙව්ලොව සැරි සරන්නෝ, දෙයානූකපක් ගෙවූහ, මෙසේ මොවුහු සසර එන්නෝ රහත්බව පතා පින් කළෝ ය, ඔවුන් පැතූ සේ ඔවුනට එය ලැබින, ඒ මුත් මම මූණ බලා තනතුරු නො දෙමි, එ දවස ඔවුන්ගේ අයකැමියා මේ බිම්සර රජ තෙමේ ය, විසාඛඋපාසක තෙමේ ය භාණ්ඩාගාරිකයා, මේ ජටිලයෝ තිදෙන ඒ රජදරුවෝ ය, ඔවුන්ගේ කම්කරුවෝ සුගති දුගති වශයෙන් සසර එන්නෝ, මේ කල්පයෙහි බුද්ධාන්තර සතරක් දෙව්ලොව ම උපන්හ, ඔවුහු එහි හැමට ම පළමු උපන් සතළිස් දහසක් අවුරුදු ආයු ඇති කකුසඳ බුදුරජුන් කරා පැමිණ, ‘අපට අහර ලැබෙන දවසක් කියනු මැනැවැ’ යි ඉල්ලා සිටියෝ ය, උන්වහන්සේ ද ‘මා ජීවත් ව ඉන්ද දී තොපට කෑම් බීම් කිසිවක් නො ලැබේ, මගෙන් පසු මේ මහපොළොව යොදුනක් පමණ උසට නැගී සිටි කල්හි කොණාගමන’ නමින් බුදුවරයෙක් ලොව පහළ වන්නේ ය, එකල උන්වහන්සේ හමු ව මේ විචාරවු’ යි වදාළ සේක, ඔවුහු එතෙක් කල් ගෙවා කොණාගමන බුදුරජුන් උපන් කල්හි උන්වහන්සේ කරා පැමිණ, ‘ස්වාමීනි! අපට කන්නට දෙයක් ලැබෙන දවස වදාරණු මැනැවැ’ යි ඉල්ලා සිටියහ, උන්වහන්සේ ද ‘මා දවස තොපට කිසිවක් නො ලැබේ, මගෙන් පසු මේ පොළොව යො දුනක් පමණ උස් ව යන්නේ ය, පොළොව එ පමණ උස් ව සිටි තැනේ දී කාශ්‍යප’ නමින් බුදුවරයෙක්, අද මෙන් ලොව පහළ වන්නේ ය, උන්වහන්සේ වෙතින් එය දැන ගනිවු’ යි වදාළ සේක, එතෙක් ගෙවා කාශ්‍යප බුදුරජානන් වහන්සේ ලොව පහළ වූහ, එ කල්හි මොවුහු උන්වහන්සේ වෙත පැමිණ පෙර සේ කන්නට දෙයක් ලැබෙන දවස ඇසූහ, එවිට උන්වහන්සේ ද මගෙන් පසු පොළොව යොදුනක් උස් ව සිටි තැනේ දී ගෞතම නමින් බුදුවරයකු ලොව පහළ වනු ඇත, එ දවස තොපගේ නෑ රජෙක් වන්නේ ය, නම බිම්සර ය, ඔහු ඒ බුදුරජුන්ට දන් දී තොපට පින් පමුණු වන්නේ ය, ඒ පින් තොපට ලැබෙනු ඇතැ’ යි. වදාළ සේක.
මොවුනට වනාහි එක් බුද්ධාන්තරයෙක් සෙට දවස වැනි විය. ඔවුහු අප බුදුරජුන් දවස බිම්සර රජු විසින් දන් දී පින් පැමුණුවාලූ, මුල් දවසේ පින් නො ලැබීමෙන්, රෑ බිහිසුණු හඬ කොට තමන් දැක්වූහ. රජ තෙමේ පසු දා වෙළුවනයට ගොස් බුදුරජානන් වහන්සේට එ පුවත දැන්වී ය. ‘මහරජ! මෙයට දෙයානු කපකින් පෙර, ඵුස්ස බුදුරජුන් දවස මේ ප්‍රේතයෝ ඔබට නෑයෝ ව සිටියෝ ය, ඵුස්ස බුදුරජුන්ට පිළියෙල කළ දන් බත් කා ප්‍රේත ලෝකයෙහි ඉපිද එන්නා වූ මොවුහු ඉන් මිදෙන්නට මෙ දවස ඔබ දෙනු ලබන පින් බලාපොරොත්තුවෙන් ආහ, එහෙත් ඔබ ඊයේ දුන් පින් නො ලබා මේ ගැහැට කළෝ ය’ යි වදාළවිට ‘ස්වාමීනි! දැන් පින් දුන්නොත් ඒ නො ලබත් දැ?’ යි රජ තෙමේ බුදුරජුන් විචාළේ ය. ‘මහරජ! පින් දුන්නොත් පින් ලබන්නාහ’ යි උන්වහන්සේ වදාළ සේක. එවිට රජ තෙමේ පසු දා බුදුපාමොක් මහ සඟනට මහදන් පවත්වා, ‘මේ පිනෙන් මාගේ ඥාති ප්‍රේතයෝ ආහාරපාන ලබා සුඛිත වෙත්වා’ යි පින් දුන්නේ ය. එවිට ඔවුහු දිව්‍යහාරපාන ලැබූහ. පසු දා ප්‍රේතයෝ නිර්‍වස්ත්‍ර ව තමන් දැක්වූහ. එවිට රජ තෙමේ පෙර සේ බුදුරජුන් කරා ගොස් කරුණු විචාරා, බුදුපාමොක් මහ සඟනට සිවුරු මසා පූජා කොට ‘මේ පිණෙන් මොවුහු වස්ත්‍රාභරණ ලබත්වා’ යි පින් දුන්නේ ය. එ කෙණෙහි ඔවුනට වස්ත්‍රාභරණ ලැබින. ප්‍රේතාත්මභාවය හැර දමා ඔවුහු දිව්‍යාත්මභාවය ලැබූහ. එහි අනුමෙවෙනි බණ වදාරණ බුදුරජානන් වහන්සේ “තිරොකුඩ්ඩෙසු තිට්ඨන්ති” යනාදී තිරොකුඩ්ඩානුමෝදනාව කළ සේක. ඒ අවසන්හි අසූසාර දහසක් ප්‍රාණීන්ට ධර්‍මාවබෝධය විය. මෙසේ බුදුරජානන් වහන්සේ තුන්බෑ ජටිලයන්ගේ තොරතුරු වදාරා, පුර්‍වොක්ත ධර්‍මදේශනාව ද ගෙණහැර දැක් වූහ.
අනතුරුව භික්‍ෂූන් වහන්සේලා අගසව් දෙනමගේ තොරු-තුරු විචාළාහු ය. එවිට බුදුරජානන් වහන්සේ ‘මහණෙනි! ඒ නමලා අග්‍රශ්‍රාවකභාවය පිණිස පැතුම් තබා පින් කළෝ ය, මෙයින් කප් සිය දහසක් අධික කොට ඇති කල්ප අසංඛ්‍යයකින් පෙර ශාරීපුත්‍ර තෙමේ බමුණු මහසල්කුලයෙක ඉපිද සරද’ නමින් ප්‍රසිද්ධ විය, මුගලන් තැන ගැහැවිමහසල්කුලයෙක උපන්නෝ ය, නම සිරිවඩ්ඪ’ ය, මේ දෙදෙනා ම වැලිකෙළියේ සිට යහළුවෝ ය, සරද තෙමේ තම පියා මළ පසු කුලසතු වූ මහත් ධනය රක්නේ, දවසක විවේකී ව ‘මම දන්නේ මෙලොව ගැණ ය, පරලොව ගැණ දැනුමෙක් මට නැත, උපන්නහුට මරණය නම් නියත ය, ජීවිතයෙහි සාරයක් නැත, නිවන් ලබන්නට මහණ වියයුතු ය’ යි සිතා සිරිවඩ්ඪයා කරා ගොස්, ‘මිත්‍රය! දවසෙක, විවෙකි ව හුන් මට නිවන් ලබන්නට මහණ විය යුතු ය යි සිතෙක් උපන, ඒ සිත එසේ ම දැනුත් බල පවත්ව යි, උඹත් මා හා මහණ වන්නට කැමැත්තෙහි නම් එන්නැ’ යි කීයේ ය, සිරිවඩ්ඪයා ‘මහණ වන්නට නො හැක්කෙමි” යි කී විට සරද තෙමේ ‘පරලොව යන්නෝ, යහළුවන් හෝ නෑ මිතුරන් හෝ ගෙණ නො යති, එසේ ගියෝ කොතැනකත් නැත, තමන් කළ හොඳ නො හොද දෙක, තමන් කැටුව යයි, මේ නිසරු ජිවිතයෙන් වැඩෙක් නැතැ’ යි රුවන්කොටුගෙවල දොරවල් හරවා දුගී මගී යාචකාදීන්ට මහ දන් දී කඳුපාමුලකට ගොස් ඉසි පැවිද්දෙන් පැවිදි විය, ඔහු හා හැත්තෑ හතරදාහක් දෙනා පැවිදි වූහ, සරද තෙමේ පඤ්චාභිඥා අෂ්ටසමාපත්ති උපදවා සිය අතවැසි පැවිද්දන්ට ද කිසිණුපිරියම් ඉගැන්වී ය, ඔවුහු ද කල් නො යවා පඤ්චාභිඥා, අෂ්ටසමාපත්ති ඉපද වූහ, අනෝමදස්සි බුදු රජානන් වහන්සේ ලොව පහළ වූවෝ මෙ දවස ය, උන්වහන්සේ උපන් නගරය බන්ධුමතී ය, පියා යසවන්තරජ තෙමේ ය, මවු යශෝධරා දේවී ය, බොධිය වූයේ කුඹුක්ගසෙක් ය, අග්‍රශ්‍රාවකයෝ, නිසභ - අනොම දෙනම ය, උපස්ථායක වරුණ තෙමේ ය, සුන්දරා - සුමනාවෝ අග්‍රශ්‍රාවිකාවෝ ය, උන්වහන්සේගේ ආයුෂය අවුරුදු ලක්‍ෂයෙකි, උස පමණ, පණස් අට රියනෙකි, ශරීරාලෝකය දොළොස් යොදුන් තැන පැතිර ගත්තේ ය, දහසක් දෙන, පිරිවරවූහ,
දිනෙක උන්වහන්සේ ඉතා අලුයම, මහකුළුණුසමවතින් නැගිට ලොව බැලූහ, එහි දී සරද තාපසයා දුටහ, ‘අද මම සරද තාපසයා වෙත ගියෙම් නම්, මාගේ බණ දෙසුම මහත් ඵල සහිත වන්නේ ය, ඔහු ද බුදුකෙනකුන් වෙත අගසවූ තනතුර පතන්නේ ය, සිරිවඩ්ඪයාත් එහි දී මුණ ගැසෙන්නේ ය, ඔහු ඒ බුදුරජුන් වෙත ම දෙවන අගසවු තනතුර පතනු ඇත, බණදෙසුම් අවසන්හි සරදයාගේ පිරිවර වූ හැත්තෑහතරදාහක් ජටිලයෝ රහන් වන්නෝ ය’ යි දැන වදාළ බුදුරජානන් වහන්සේ පා සිවුරු ගෙණ එකලා ව හැසිරෙන සිංහරාජයකු සේ එකලා ව ම සරද තවුසාගේ අතැවැස්සෙන් ගඩාගෙඩි කඩාගෙන එන්නට වනයට ගිය වෙලේ ‘මාගේ බුද්ධභාවය දනීවා’ යි ඉටා අහසින් ගොස් සරද තවුසා බලා සිටිද්දී ම අහසින් බැස පොළොව සිට ගත්හ.
සරද තවුස් තෙමේ බුද්ධානුභාවය හා සිරුරුලකුණු බලා, ‘මෙ තෙමේ එකාන්තයෙන් බුදුවරයෙකැ’ යි දැන, පෙර ගමන් කොට, පසඟ පිහිටුවා වැඳ අසුනක් පණවා බුදුරජුන් එහි වඩා හිඳුවා, තෙමේ තමන්ට සුදුසු අසුනක් ගෙණ පසෙකට වී හුන්නේ ය, ඒ අතර ගඩාගෙඩි පිණිස වනයට ගිය අතැවැස්සෝ ඉතා රසැති ඔජොගුණ යුත් ගඩාගෙඩි කඩා ගෙණවුත් ගුරුන් ඉදිරියට පැමිණියෝ, බුදුරජුන් වැඩ හුන් අසුන හා ගුරුන් හුන් අසුනත් බලා ‘ඇදුරුතුමනි! අපි ඔබවහන්සේ අනුව ආවමෝ, මේ ලෝකයෙහි ඔබවහන්සේට වඩා ඉමහත් කෙනෙක් තවත් නැත, යන අදහසින් ය, එහෙත් මේ ඉන්නා පුරුෂ තෙමේ ඔබට වඩා ඉමහත් එකකු සේ පෙණේ ය’ යි කීහ, එවිට සරද තෙමේ ‘දරුවෙනි! තෙපි කුමක් කියහු, හැට දහසක් යොදුන් උස් වූ මහමෙර, අබැටක් හා සමකරන්නට කැමැත්තහු ද, මේ සියල්ල දත් බුදු කෙනෙකි, උන්වහන්සේ හා මා සම නො කරවු’ යි කීයේ ය, එකල්හි ඔවූහු ‘මොහු ලාමක සත්වයකු නො විය යුතු ය, ඒ නිසාම ය අපගේ ආචාර්‍ය්‍යවරයා මෙබඳු උපමාවක් ඇර දැක් වූයේ, මොහු ඒකාන්තයෙන් මහාසත්වයකු විය යුතු ම ය’ යි බුදුරජුන් පා මුල්හි ඇද වැටී නමස්කාර කළහ, සරද තවුස් තෙමේ ‘දරුවෙනි! බුදුරජන්ට පිදිය යුතු දෙයක් දැන් අප ලඟ නැත, උන්වහන්සේ මෙහි වැඩියෝ, පිඬු සිඟා යන වේලේ ය, එ හෙයින් දැන් අප තරමට මොකවත් උන්වහන්සේට පිළිගැන්විය යුතු ය, තොප ගෙණ ආ ගඩාගෙඩි අතර ඇති හොඳ රසැති ගඩාගෙඩි මෙහි ගෙණ එවු’ යි ගෙන්වා දෑත සෝදා ඒ ගඩාගෙඩි බුදුරජුන්ගේ පාත්‍රයෙහි බැහී ය, බුදුරජුන් පිළිගත් ඒ ගඩාගෙඩිවල දෙවියෝ එකෙණෙහි ම දිව්‍ය ඕජස් කැවූහ, තාපස තෙමේ පැන් පෙරා පිළිගැන් වී ය, බුදුරජානන් වහන්සේ ඒ වැලඳූහ, වලඳා අවසන් කළ ඉක්බිති, තාපසයා බුදුරජුන් සමීපයෙහි අතැවැස්සනුත් කැටුව හිඳ කතාවට පටන් ගත් විට උන්වහන්සේ ‘මාගේ අගසව්වෝ අනෙක් භික්‍ෂූන් ද ගෙණ මෙහි එත්වා’ යි සිතූහ, එකෙණෙහි ම ඔවුහු, බුදුරජුන් සිතූ ලෙසට ලක්‍ෂයක් රහතුන් ද ගෙණ එහි පැමිණ වැඳ එකත්පස් ව සිටියාහ, තාපස තෙමේ අතැවැස්සන් අමතා ‘බුදුරජුන් වැඩ ඉන්නා අසුන ඉතා කුඩා ය, ලක්‍ෂයක් තරම් වූ මේ භික්‍ෂූන් වහන්සේලාට දීමට වෙන අසුනෙක් ද නැත. එහෙත් අද තව තවත් මෙයට වැඩිතරම් සත්කාර කළයුතු ය, එ හෙයින් වනයට ගොස් කඳුපාමුලින් පැහැයෙන් හා සුවඳින් යුත් මල් කඩා ගෙණ එවු’ යි කී ය, ඒ කී වහාම තවුසෝ මොහොතකින් ම මල්ගෙණවුත් බුදුරජුන්ට සතරගවු පමණ වූ සිත්ගත් මල් අසුනක් පැණ වූ හ, ඍද්ධ්‍යානුභාවය නො සිතිය හැකි ය, නො කිය හැකි ය, එ හෙයින් ‘මල් ගෙණවු’ කියත් ම මල් ගෙණ ආහ, තවුසෝ, දෑගසව්වන්ට තුන්තවු පමණ වූ ද සෙස්සන්ට දෙගවු පමණ වූ දැ යි මෙසේ උනුන්ගේ තරාතිරම් තරමට මල් අසුන් පැණ වූ හ, එහි හැමට කුඩානමට පැණ වූ අසුන සතළිස්රියන් උස ය, එවිටි සරද තෙමේ බුදුරජුන් ඉදිරියෙහි දොහොත් මුදුන් දී සිට. ‘ස්වාමීනි! මට බොහෝ කලක් හිත සැප පිණිස මේ මල්අසුනෙහි වැඩ හිඳුනු මැනැවැ’ යි ආරාධනා කෙළේ ය,
මේ ඒ කියූ සැටි පොතේ:-
“වෙරැති ලෝ හිමියෙනි! - ඔබට නිසිලෙස පැණ වූ,
මලසුන මත හිඳිනු මැන- මාසිත පහන් කරමින්.
රෑ දාවල සතක් - බුදුරද මල් අසුන් මත,
වැඩහුනි මසිත පාදා - තොස්වා සදෙව් ලෝසත”
බුදුරජානන් වහන්සේ රැදාවල් සතක් ඒ මල් අසුනෙහි වැඩ හුන්හ, දෑගසව්වෝ ද සෙසු භික්‍ෂූන් වහන්සේ ද තම තමන්ට පත් අසුන්හි හුන්හ, ඉක්බිති තවුස් තෙමේ රෑ දාවල් සතෙහි මල් කුඩයක් ගෙණ බුදුරජුන් මත්තෙහි දරමින් සිටියේ ය, බුදු රජානන් චහන්සේ ජටිලයන්ගේ මේ මහත් සත්කාරය මහත්ඵල ඇත්තක් කරන්නට එහි ම නිරෝධසමාපත්තියට සමවැදුනු සේක, දෑගසව්වෝත් අනික් භික්‍ෂූහුත් සමාපත්තියට සමවැදුනාහ, එවිට තවුස් අතැවැස්සෝ අහර ගන්නා වේලෙහි වනමුල් ගඩා ගෙඩි අනුභව කොට දවස දෙවේලේ බුදුරජුන්ට දොහොත් මුදුන් දී වැඳ සිටිත්, සරද තෙමේ ඒ රෑ දාවල් සතෙහි අහර නො ගෙණ ම මල්කුඩය උසුලා ප්‍රීති සැපයෙන් ගත කෙළේ ය, එකල ඒ රෑ දාවල ගෙවා නිරෝධසමාපත්තියෙන් නැගුනු බුදු රජානන් වහන්සේ දකුණුපස හුන් නිසභ තෙරුන් අමතා ‘නිසහය! සත්කාර කරණ උසස් අදහස් ඇති මේ තවුසන්ට මල් අසුන් දීමේ අනුසස් කියා දෙන්නැ’ යි වදාළාහු ය, එවිට ස්ථවිරයන් වහන්සේ ශ්‍රාවකපාරමීඥානයෙහි සිටියෝ, මල් අසුන් පිදීමේ අනුසස් වදාළ සේක, ඒ දෙසුම් අවසන්හි දෙවන අගසවු වූ අනොම තෙරුන් අමතා ‘තමුසේත් මේ තවුස් පිරිසට මොකවත් බණක් කියන්නැ’ යි බුදුරජුන් වදාළ විට උන්වහන්සේ ද එසේ කළහ, එහෙත් උන්වහන්සේලා දෙනමගේ ඒ දේශනාවන්ගෙන් එහි එකකුට වත් මාර්‍ගඵලාවබෝධයෙක් නො වී ය.
ඉක්බිති බුදුරජානන් වහන්සේ පමණ නො කොට හැකි බුද්ධ විෂයයෙහි සිට දහම් දෙසූහ, එහි දී සරද තවුසා හැර සෙසු සියල්ලෝ රහත් වූහ, රහත් වූවන්ට උන්වහන්සේ ‘මහණෙනි! මෙහි එවුයි ශ්‍රීහස්තය දිගු කොට ඇමතූ ඇසිල්ලෙහි ඔවුන්ගේ කෙස්රැවුල් අතුරුදහන් වී ගියේ ය, සියල්ලෝ ම තුන්සිවුරු පාත්‍ර ලදින් මහණ මහලු පැවිද්දෝ වූහ, සරද තෙමේ එහිදී විසිරී ගිය සිතැත්තේ රහත් නො වී ය, ශ්‍රාවකපාරමී ඥානයෙහි සිට නිසභ තෙරුන් දෙසූ ධර්‍මදේශනාව ඔහුගේ කණ වැටෙන්නට වූ තැන් පටන් ‘මට ද අනාගතයෙහි ලොව පහළවන බුදුකෙනකුන්ගේ ශාසනයෙහි, මේ ශ්‍රාවකයන් ලැබූ තනතුර ලැබේ නම් කොතරම් කදිම දැ’ යි සිත් උපන, එහෙයින් මොහුට මාර්‍ගඵලාවබෝධය නො වී ය, ඉක්බිති තවුස් තෙමේ බුදුරජුන් වැඳ ‘ස්වාමීනි! මේ අසුන්හි වැඩහුන් හාමුදුරුවෝ ඔබවහන්සේගේ ශාසනයෙහි කිනම් තනතුරක් දරන්නෝ දැ?’ යි ඇසී ය, ‘ඒ තැන මාගේ ශාසනයෙහි, ශ්‍රාවකපාරමීඥානයෙහි කෙළවරට පැමිණි, සොළොස් වැදෑරුම් වූ ප්‍රඥාවන්ගෙන් ප්‍රඥාවත් වූ මා පැවැත් වූ දම්සක එ ලෙස පවත්වා අග්‍රශ්‍රාවකභාවයට පැමිණියෝ ය’ යි වදාළවිට ‘ස්වාමීනි! රෑ දාවල් සතක් මේ මල් කුඩය දැරීමෙන් මා විසින් යම් සත්කාරයෙක් කරණ ලද ද ඒ සත්කාරයාගේ විපාක වශයෙන් මම ශක්‍රභාවාදී වූ කිසිවක් නො පතමි, මම පතන්නෙම්, මේ නිසභ හාමුදුරුවන් මෙන් අනාගතයෙහි බුදුවරයකුගේ අග්‍රශ්‍රාවකයකු වීම ය’ යි කියා ‘මම අනාගතයෙහි බුදුවරයකුගේ අග්‍රශ්‍රාවක වෙම් වා’ යි පැතී ය, එවිට බුදුරජානන් වහන්සේ ‘මොහුගේ පැතීම ඉටු වේ දැ’ යි බලා වදාරණුවෝ කප් සියදහසක් අධික කොට ඇති එක් අසඞ්ඛ්‍ය කල්පයක් ඉක්මගිය තැනේ දී, ඉටුවනබව දැක, ‘තවුස! තාගේ පැතීම හිස් නො වන්නේ ය, අනාගතයෙහි කප් සියදහසක් අධික කොට ඇති එක් අසඞ්ඛ්‍යයක් ඉක්මගිය තැනේ දී ගෞතම නමින් බුදුකෙනකු මෙලොව ඉපැදෙනු ඇත, උන්වහන්සේගේ මවු මහාමායා නම් වන්නී ය, පියා සුදේධාන නම් රජු ය, පුතා රාහුල නම් ය, උවැටන් කරන්නේ ආනන්ද නැමැත්තේ ය, දෙවන අගසව්වා මුගලන් නම් ය, ඔබ ප්‍රථම අග්‍රශ්‍රාවක වන්නෙහි ය, නාම ය ශාරීපුත්‍ර ය, මහාජනයා ඔබ අඳුන්වනු ලබන්නෙහි ‘ධර්‍මසෙන්පති ශාරීපුත්‍ර’ යන නාමයෙනැ’ යි වදාරා භික්‍ෂු සඞ්ඝයාත් කැටු ව අහසට නැගී ගත් සේක,
සරද තවුස් තෙමේ අතැවැසි තෙරුන් වෙතට ගොස් ‘ස්වාමීනි! ඔබවහන්සේලා වැඩිය විට මාගේ යහළු වූ සිරිවඩුට, ‘තමුසේගේ යහළු වූ සරදයා අනෝමදස්සී බුදුරජුන් පාමුල දී අනාගතයෙහි බුදුවන ගෞතම බුදුරජුන්ගේ දකුණත් සවුබව පතන ලද්දේ ය, එහෙයින් ඔබ වමත් සවුබව පතා ගන්නැ’ යි කියනු මැනැවැ’ යි ඒ තෙරුන් අත කියා යැවී ය, මෙසේ පණිවුඩ යවාත්, තෙමේ අන් මගකින් ගොස්, තෙරුන්ට පළමු ව ම සිරිවඩු කෙළෙඹියාගේ ගෙදරට පැමිණියේ ය, සිරිවඩු තෙමේ ගෙට පැමිණි තවුසා දැක සතුටු ව, ‘මාගේ යහළුවා බොහෝ කලකින් ආයේ ය’ යි අසුනක හිඳුවා, තමන් එයට මිටි අසුනක් ගෙණ හිඳ ‘ස්වාමීනි! ඔබවහන්සේගේ ශිෂ්‍ය පිරිස කොහි දැ’ යි ඇසී ය, ‘මිත්‍රය! පසු ගිය දිනෙක මා වසන පන්සලට අනෝමදස්සී බුදුරජානන් වහන්සේ වැඩි සේක, අපි උන්වහන්සේට අපට පිළිවන් හැටියට බතින් බුලතින් සත්කාර කෙළෙමු, එහි දි උන්වහන්සේ බණ වදාළෝ ය, ඒ බණ අසමින් හුන් සියල්ලෝ බණ අවසන්හි රහත් ව පැවිදි වූහ, මම, බුදුරජානන් වහන්සේගේ අගසවු වූ නිසභ තෙරුන් දැක, තොරතුරු අසා, ඒ තෙරුන් මෙන්, මතු බුදු වන ගෞතම බුදුරජුන්ගේ අගසවු වන්නට පැතීමි, එහෙයින් ඔබත් ඒ බුදු රජුන්ගේ ම දෙවන අගසවු වන්නට පතව’ යි කියේ ය,
එවිට සිරිවඩු තෙමේ ‘තාපසයන් වහන්ස! මට බුදුවරුන් සමග හැසිර කතාබස් කොට කියාත් පළපුරුද්දක් නැතැ’ යි කී ය, බුදු රජුන් හා කතාබස් කිරීම මට කළ හැකි ය, ඔබට එහි අපහසුවෙක් නො වේ, නුඹ විසින් කළයුත්තේ උන්වහන්සේට පිදීමට යමක් පිළියෙල කිරීමැ’ යි සරද තවුසා කී විට, සිරිවඩු තෙමේ ‘හා! හොඳයි, පිදීමට වුවමනා හැම දෙයක් මම පිළියෙල කරමි’ යි කියා තමාගේ ගෙදර බිම රාජමානයෙන් අට කිරියක් පමණ තැන් සමතලා කරවා, වැලි අතුරවා විලඳ මල් ඉස, නිලුපුලින් සෙවෙනි කළ මණ්ඩපයක් කරවා, එහි බුදුරජුන්ට සුදුසු අසුනක් පිළියෙල කොට තබා, සෙසු භික්‍ෂූන් උදෙසාත් අසුන් පණවා, කෑම්බීම් හැම දෙයක් සකස් කොට, බුදුරජුන් වැඩමවා ගෙණෙන් නැ’ යි සරදයාහට දැන් වී ය, ඔහු සඞ්ඝයා සහිත වූ බුදුරජානන් වහන්සේ එහි වැඩමවා ගෙණ ආයේ ය, මගැ දුර වඩින බුදුරජුන් දුටු සිරිවඩු තෙමේ ඉදිරියට ගොස් බුදුරජුන් අතින් පාත්‍රය ගෙණ අවුත්, මණ්ඩපයට ඇතුල් ව බුදුරජුන් උදෙසා පිළියෙල කොට තුබූ අසුනෙහි උන්වහන්සේ වඩා හිඳුවා නැවැත සෙසු භික්‍ෂූන් වහන්සේ ඒ ඒ අසුන්හි වඩා හිඳ වී ය, අනතුරු ව උන්වහන්සේලාට පැන් පිළිගන්වා, දන් පිළිගැන්වී ය, දන් වලඳවා අවසන්හි හැම දෙනා වහන්සේට සිවුරු පිණිස වටිනා වස්ත්‍ර ද පුදා ‘ස්වාමීනි! මාගේ මේ පින්කම, සුලු දෙයක් නිසා, සුලු හැඟීමක් නිසා කරණ පින්කමෙක් නො වේ, මේ පින්කම මෙසේ සත් දවසක් ම නො නවත්වා කිරීමට ය, මා ගේ අදහස, එහෙයින් පිළිවෙළින් සත් දවසක් ම මට අනුකම්පා කරණු මැනැවැ’ යි ඉල්ලා සිටියේ ය, බුදුරජානන් වහන්සේ එය ඉවසා වදාළ සේක.
කෙළෙඹි තෙමේ මුල් දවසෙහි කළ පරිද්දෙන් ම ඒ සත් දවස මහදන් පවත්වා, අවසාන දිනයෙහි බුදුරජුන් වැඳ දොහොත් මුදුන් දී සිට ‘ස්වාමීනි! මා මිත්‍ර සරද තෙමේ යම් බුදුවරයකුගේ අගසවුබව පැතී ද, මමත් උන්වහන්සේගේ ම දෙවන අගසවු බව පතමි” යි කී ය, එවිට බුදුරජානන් වහන්සේ අනාගතය බලා එය සඵලවනබව දැක, ඔබ මෙයින් කප් සියදහසක් හා, කල්ප අසඞ්ඛ්‍යයක් ඉක්ම ගිය තැන ලොව පහළ වන ගෞතම බුදු රජුන්ගේ දෙවන අගසවු වන්නෙහි ය’ යි වදාළ සේක, ඒ වදාළ වචනයෙන් සිරිවඩු තෙමේ ඔදවැඩි විය, බුදුරජානන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයාත් සමග විහාරයට වැඩියහ’ යි වදාරා ‘මහණෙනි! මා මේ කීයේ, එදවස, මා පුතුන් පැතූ පැතුම් ය, ඔවුහු තම තමන්, පැතූ තනතුරු එලෙස ම ලැබූහ, මම මේ තනතුරු එකකුදු මූණ බලා නො දීමි, දැනුත් නො දෙමි, ඉදිරියටත් නො දෙන්නෙමි’ යි ද වදාළ සේක.
මෙසේ වදාළ කල්හි අග්‍රශ්‍රාවකයෝ බුදුරජුන් වැද ‘ස්වාමීනි! අපි ගිහි දවස ගිරග්ග නම් නැටුමක් බලන්නට ගියෙමු, ඒ බලා එහි හරයක් නො දැක කලකිරී සිටින අතර, දිනෙක මග දී අස්සජි ස්ථවිරයන් වහන්සේ හමු වූහ, එහි දී උන්වහන්සේ වෙතින් සෝවන්පලය ලැබීමු’ යි තොරතුරු කියා සඤ්ජයපරිබ්‍රාජකයා පිළිබඳ තොරතුරු ද කියා සිටියහ.
ඉක්බිත්තෙන් බුදුරජානන් වහන්සේ ‘මහණෙනි! සඤ්ජය තෙමේ තමගේ දැනීමේ වරද නිසා, සාරය අසාරය දැන ගත නො හී අසාරය, සාරය යි ද, සාරය, අසාරය යි ද, ගෙණ සිටියි, තමුසේලා තමන්ගේ දැනුමේ නිවරදබව නිසා සාරය, සාරය යි ද, අසාරය අසාරය යි ද දැන අසාරය හැර, සාරය ගෙණ ක්‍රියා කළහු ය’ යි වදාළ සේක. වදාළෝ මෙසේ ය:-
අසාරෙ සාරමතිනො සාරෙ චාසාරදස්සිනො,
තෙ සාරං නාධිගච්ඡන්ති මිච්ඡාසඞ්කප්පගොචරා.
.
සාරං ච සාරතො ඤත්‍වා අසාරඤ්ච අසාරතො,
තෙ සාරං අධිගච්ඡන්ති සම්මාසඞ්කප්පගොචරා’ති
අසාරයෙහි සාරය යන දැකුම් ඇත්තා වූ ද, සාරයෙ හි අසාරය යන දැකුම් ඇත්තා වූ ද, මිත්‍ථ්‍යාසඞ්කල්පය ම ගොදුරු කොට ඇත්තා වූ ද ඒ අඥාන පුද්ගලයෝ සාරධර්‍මය නො ලබත්.
සාරය සාර හෙයින් දැන, අසාරය අසාර හෙයින් දැන වසන් නා වූ සම්‍යක්සඞ්කල්පය ම ගොදුරු ම කාට ඇත්තා වූ ඒ ප්‍රාඥපුද්ගලයෝ සාරධර්‍මය ලබත්.
අසාරෙ සාරමතිනො = අසාරයෙහි සාරය යන දැකුම් ඇත්තා වූ.
චීවර-පිණ්ඩපාත-සෙනාසන-ගලානප්‍රත්‍යය යන සිවු පසය ද, මිච්ඡාදිට්ඨි - මිච්ඡාසඞ්කප්ප -මිච්ඡාවාචා - මිචඡාකම්මන්ත - මිච්ඡා ආජීව - මිච්ඡාවායාම - මිච්ඡාසති - මිච්ඡාසමාධි සහ අට හා මිච්ඡාඤාණ - මිච්ඡාවිමුත්ති යි කියූ දසවස්තුකමිථ්‍යාදෘෂ්ටිය ද [1] ඒ මිත්‍ථ්‍යාදෘෂ්ටියගේ උත්පත්තියට කරුණු වූ ධර්‍මදේශනා ද යන මොවුහු අසාරයෝ ය. “චත්තාරො පච්චයා දසවත්‍ථුකා මිචඡාදිට්ඨි තස්සා උපනිස්සයභූතා ධම්මදෙසනා’ති අයං අසාරො නාම” යනු අටුවා ය. මේ අසාරය සාරය යි ගන්නො මෙහි ‘ සාරමති’ නම්. යහපත, අයහපත හිත, අහිත තෝරා බේරා ගැණීමෙහි නුවණ නැත්තෝ ය මොවුහු.
සාරෙ ච = සාරයෙහි ද.
සම්මාදිට්ඨි - සම්මාසඞ්කප්පාදී වූ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගය, දස වස්තුක සම්‍යග්දෘෂ්ටියගේ ඉපැත්මට කරුණු වූ ධර්‍ම දේශනාය, ශීල - සමාධි ප්‍රඥා - විමුක්තිඥානදර්‍ශන - නිර්‍වාණය යන මේය සාර ය. “දස වත්‍ථුකා සම්මාදිට්ඨි උපනිස්සයභූතා ධම්මදෙසනාති අයං සාරො නාම” යනු අටුවා ය. ඒ මේ සාරය සාරය නො වේ ය යි ගන්නෝ ‘ අසාරදස්සී’ නම.
තෙ සාරං අධිගච්ඡන්ති = ඒ අඥාන පුද්ගලයෝ සාරය නො ලබති.
මේ තෙ’ යන්න වෙසෙසන පද තුනක් මේ ගාථායෙහි එයි. ‘සාරමතිනො, අසාරදස්සිනො, මිච්ඡාසඞ්කප්පගොචරා’ යනු ඒ පද තුන ය. අසාරය සාරය කොට, සාරය අසාරය කොට ගත්, වැරදි අදහස් ගොදුරු කොට සිටියෝ ය ‘තෙ’ යන්නෙන් ගැණෙන්නෝ. ඔවුහු අඥයෝ ය. මෙ ලොව පරලොව නො දන්නෝ ය. හිතාහිතය නො දන්නෝ ය. එහෙයින් ඔවුහු ශීල - සමාධි - ප්‍රඥා - විමුක්ති - විමුක්තිඥානදර්‍ශන - නිර්‍වාණ යන ලෞකික - ලෝකෝත්තරධර්‍මසාරය නො ලබත්. මේ ධර්‍මසාරයෙන් ඔවුහු ගිලිහී සිටියෝ ය. මෙයින් ඔවුනට පිහිටෙක් නැත. මේය එහි අටුවා:- “තෙ පන තං මිච්ඡාදිට්ඨිගහණං ගහෙත්‍වා ඨිතා කාමවිතක්කාදීනං වසෙන මිච්ඡාසඞ්කප්පගොචරා හුත්‍වා සීලසාරං සමාධිසාරං පඤ්ඤාසාරං විමුත්තිසාරං විමුත්තිඤාණදස්සනසාරං පරමත්‍ථ සාරං නිබ්බාණඤ්ච නාධිගච්ඡන්ති” යි. [2]
මිච්ඡාසඞ්කප්පගොචරා = වැරදි අදහස් ගොදුරු කොට ඇත්තා වූ.
කාම-ව්‍යාපාද-විහිංසාවිතර්‍කයෝ මිච්ඡාසඞ්කප්ප නම් වෙති. එහි වස්තුකාම-ක්ලේශකාමයන් හා හැනී සිටි කල්පනාව ‘ කාම සඞ්කප්ප’ නම, අන්හු නැසෙත්වා යි පැවති කල්පනාව ‘ ව්‍යාපාද සඞ්කප‍්’ප නම. අනුනට වෙහස කිරීමේ කල්පනාව ‘ විහිංසා සඞ්කප්ප’ නම. මෙකි මිත්‍ථ්‍යාසඞ්කල්පයනට යටත්වූවෝ ය, මොවුන් ගොදුරු කොට ගත්තෝ ය, මෙහි සිත හසුරුවන්නෝ ය, මෙයින් කියන ලද්දාහු.
සාරං ච සාරතො ඤත්‍වා = සාරය, සාරහෙයින් දැන.
අසාරං ච අසාරතො (ඤත්‍වා) = අසාරය අසාරහෙයින් දැන.
තෙ සාරං අධිගච්ඡන්ති = ඒ ප්‍රාඥයෝ සාරය ලබත්.
සම්මාසඞ්කප්පගොචරා = නිවැරදි අදහස් ගොදුරු කොට ඇත්තා වූ.
දසවත්‍ථුකසම්මාදිට්ඨිය, එහි ඉපැත්මට කරුණු වූ ධර්‍ම දේශනා ය, ගිලසාරාදිධර්‍මසාරය, නිර්‍වාණය යන මේ සාරයන් සාර හෙයින් ද, සිවුපස ය, දසවත්ථුකමිච්ඡාදිට්ඨය, එහි ඉපැත්මට කරුණු වූ ධර්‍ම දේශනා ය, යන මේ අසාරයන් අසාර හෙයින් දැන වසන, නිවැරදි සංකල්පයන් ගොදුරු කොට ඇත්තා වූ ඒ ප්‍රාඥයෝ, නුවණැත්තෝ ශීල-සාමාධි ආදි සාරධර්‍මය ලබති. සාරධර්‍මයට පැමිණෙති යනු මේ ගාථායෙහි කෙටි අදහස ය.
නෙක්ඛම්ම - අව්‍යාපාද - අවිහිංසා විතර්‍කයෝ සම්මාසංකප්ප නම් වෙති. එහි වස්තුකාම- ක්ලේශකාමයෙන් වෙන්වීමේ කල්පනාව ‘ නෙක්ඛම්මසඞ්කප්ප’ නම. හැමදෙනා සුවපත් වෙත්වා යි පැවැති කල්පනාව ‘ අව්‍යාපාදසඞ්කප්ප’ නම. අනුනට වෙහෙස නො කිරීමේ කල්පනාව ‘ අවිහිංසා සඞ්කප්ප’ නම. මේ කල්පනා තුන ම නිවරද ය. නිදොස් ය. එහෙයින් සම්මාසංකප්ප යි කියත්. මෙකී සම්‍යක්සඞ්කල්පයන්ට යටත් වූවෝ, මොවුන් ගොදුරු කොට ගත්තෝ ‘ සම්මාසඞ්කප්පගොචර’ නම් වෙති. මෙය මේ ගාථායෙහි එන ‘ තෙ’ යන්න වෙසෙසා සිටියේ ය.
මේ ධර්‍ම දේශනාවගේ අවසානයෙහි බොහෝදෙන සෝවන් ඵලාදියට පැමිණියෝ ය. ධර්‍මදේශනාව පැමිණ සිටියවුන්ට වැඩ සහිත වූ ය.
අග්‍රශ්‍රාවක වස්තුව නිමි.