8-4 බමුණකු ඇසූ ප්‍රශ්නයෙක්

අත්තා හවෙ ජිතං සෙය්‍යො යා චායං ඉතරා පජා

අත්තදන්තස්ස පොසස්ස නිච්චං සඤ්ඤතචාරිනො.

ආත්මය තෙම දිනන ලද්දේ (හෙවත් සිත් සතන්හි උපන් කෙලෙසුන් දිනීම් වශයෙන් තමා දිනන ලද්දේ) ඒකාන්තයෙන් උතුමි. යම් මේ සෙසු සත්ත්‍ව සමූහයෙක් (දු කෙළෙම් ආදියෙන්) යමක්හු විසින් දිනන ලද ද, (ඒ දිනීම් උතුම් නො වේ). කවර හෙයින යත්: තමා දමනය කළ, සතතයෙන් කයින් වචසින් සංයත වූ පැවැතුම් ඇති පුරුෂයාගේ දිනීම නො දිනුවා නො කට හැකි ද, එහෙයිනි.

නෙව දෙවො න ගන්‍ධබ්බො න මාරො සහ බ්‍රහ්මුනා

ජිතං අපජිතං කයිරා තථාරූපස්ස ජන්තුනො.

එ බඳු පුද්ගලයාගේ කෙලෙස් දිනීම දෙවියෙක් ද නොදිනුවා කට හැකි නො වන්නේ ය. (තිම්බරූ නරදාදී) ගන්‍ධර්‍වයෙක් ද නොදිනුවා කට හැකි නො වන්නේ ය. මහබඹුහු හා මර තෙමේ ද නොදිනුවා කට හැකි නො වන්නේ ය.

නමින් අප්‍රකට එක්තරා බමුණෙක් “බුදුරජ තෙමේ අර්‍ත්‍ථය ම පමණක් දනී ද, නැත, අනර්‍ත්‍ථයත් දනී දැ” යි සිතා, එය විචාරන්නට දිනක් බුදුරජුන් වෙතට ගියේ ය. ගොස් පසෙකට වී හිඳ “ස්වාමීනි! ඔබ වහන්සේ අර්‍ත්‍ථය ම දන්නහු ය, අනර්‍ත්‍ථය නොදන්නහුය, යනු මාගේ කල්පනා ය, ඒ ගැණ ඔබ වහන්සේ කුමක් කියහු?” යි ඇසී ය. “බමුණ! මම අර්‍ත්‍ථයත් දනිමි, එසේ ම අනර්‍ත්‍ථයත් දනිමි” යි වදාළ කල්හි “එහෙනම්, ස්වාමීනි! මට අනර්‍ත්‍ථයක් පහදා දෙන්නැ” යි ඉල්ලා සිටියේ ය. “බමුණ! ඉර උදාවනතුරු නිදීම - අලසබව - චණ්ඩිකම - කටයුතුදිග්ගැසීම - තනි ව තැන තැන ඇවිදීම - අන් අඹුවන් ගැණුම යන මේ ජඩකම් කරන්නාහට අනර්‍ත්‍ථයෙක් ම වන්නේ ය, අවැඩෙක් ම වන්නේ ය, හෙතෙමේ එලොව මෙලොව දෙක්හි ම කාලකණ්ණියෙක් වන්නේ ය” යි වදාළ විට, බමුණු මහත් සන්තෝෂයට පැමිණ සාධුකාර දී “ගණාචාර්‍ය්‍යයන් වහන්ස! ගණශ්‍රේෂ්ඨයන් වහන්ස! බොහොම ස්තුති යි, ඔබ වහන්සේ අර්‍ත්‍ථානර්‍ත්‍ථ දෙක ම දන්නහුයි කීය. “බමුණ! ඔව්, මා තරම් හොඳ නො හොඳ දන්නෙක්, යුතු අයුතු දන්නෙක්, වැඩ අවැඩ දන්නෙක් මෙලොව නැතැ” යි වදාරා නැවැත බමුණාගේ අදහස් විමසා බලා “බමුණ! තමුසේ දිවි ගෙවන්නට කිනම් වැඩක් කරහු දැ” යි බුදුරජානන් වහන්සේ ඇසූහ. බමුණු තෙමේ “ගෞතමය! මා ඔබ වහන්සේට බොරු කියන්නේ නැත, රක්‍ෂාවට මම සූදු කෙළිමි” යි කී ය. බුදුරජානන් වහන්සේ “කොහොම ද එයින් වාසි දැ?” යි ඇසූ විට “පින්වතුන් වහන්ස! වාසි අවාසි දෙක ම තිබේ, සමහර දවසෙක වාසි, සමහර දවසෙක අවාසි” යි කී ය. එවිට උන්වහන්සේ “බමුණ! අන්හු පරදවා ලබන වාසිය ලොකු වාසියක් නො වේ, එය ඉතා කුඩා ය, එය මහත් වාසියක් හැටියට නො පිළිගත හැකි ය, යමෙක්, කෙලෙසුන් පරදවා දිනා නම්, ඒ දිනීම ලොකු දිනීමෙකි, ලොකු වාසියෙකි, ඒ දිනීම, නැවැත නො දිනුමක් කරන්නට යකකුට වත් බැරි ය, ඊට සමතෙක් කො තැනකත් නැතැ” යි වදාරා අනුසන්‍ධි ගළපා මේ ධර්‍මදේශනාව කළ සේක:

අත්‌තා හවෙ ජිතං සෙය්‍යො යා චායං ඉතරා පජා,

අත්‌තදන්‌තස්‌ස පොසස්‌ස, නිච්‌චං සඤ්‌ඤතචාරිනො.

.

නෙව දෙවො න ගන්‍ධබ්‌බො න මාරො සහ බ්‍රහ්‌මුනා,

ජිතං අපජිතං කයිරා තථාරූපස්‌ස ජන්‌තුනොති.

ආත්මය දිනන ලද්දේ එකාන්තයෙන් උතුම් වේ. යම් ඒ අන්‍ය වූ ප්‍රජාවක් (දිනන ලද්දී උතුම් නො වේ) ආත්ම දමනය කළ, සතතයෙන් සංයත වූ හැසිරීම් පැවතුම් ඇති, එබඳු පුරුෂයාගේ කෙලෙස් දිනීම, දෙවියෙක්, නො දිනන ලද්දක් නො කරන්නේ ය. ගන්‍ධර්‍වයෙක් ද නො ද කරන්නේ ය. බ්‍රහ්මයෙක් ද නො ද කරන්නේ ය. වශවර්‍තති මාර තෙමේ ද නො ද කරන්නේය.

අන්තො හවෙ ජිතං සෙය්‍යො = ආත්මය දිනන ලද්දේ එකාන්තයෙන් උතුම් වේ.

අත්තා යනු, කෙලෙස් සහ ගිය සිත ය. ලෝභාදික්ලේශයන් ගෙන් යුත් සිත, ‘අත්තා’ යන මෙයින් කිය වේ.

හවෙ යනු, නිපාත යි. එකංසාර්‍ත්‍ථ යි. පදපූරණයෙහි ද එයි. එයට ‘හවෙ තෙ හොන්තො සමණබ්‍රාහමණා’ යනු නිදසුන් ය.

දිනීම, ජිත නම්. යමෙක් තම සන්තානගත සියලු කෙලෙස් පරදවා ජය ගෙණ සිටී නම්, ඔහු විසින් ආත්මය දිනන ලද ය. ඒ එකාන්බව ‘හවෙ’ යන්නෙන් වදාරත්. කෙලෙසුන් දිනීමට මාර්‍ග භාවනා කළ යුතු ය. වැඩී ගිය මාර්‍ගඥානයන්ගෙන් ඒ ඒ කෙලෙසුන්ගේ මුල් සිඳීම වන්නේ ය. එවිට ආත්මය දිනන ලද්දේ වේ.

යා ච අයං ඉතරා පජා = යම් මේ අන්‍ය වූ ප්‍රජාවක්.

යම් මේ සත්ත්‍ව සමූහයෙක් දූකෙළිමෙන්, වස්තු ව පැහැර ගැණීමෙන්, යුද්ධ කිරීමෙන්, බලයෙන් දිනන ලද්දේ ද, යටපත් කරණ ලද්දේ ද ඒ දිනීම, යටපත් කිරීම උතුම් නො වේ.

අත්තදන්තස්ස = ආත්මදමනය කළා වූ.

ආත්මදමනය, යි වදාළෝ කමටහන් වඩා සිතෙහි වූ කෙලෙසුන් නැසීම ය.

පොසස්ස = පුරුෂයාගේ.

පොස යනු, මිනිසාට නමෙකි. ‘කම්මචිත්තඋතුආහාරෙහි පොසීයතීති = පොසො’ කර්‍මය - චිත්තය - ඍතුය - ආහාරය යන සතරින් පෝෂණය වන්නේ රැකෙන්නේ දිවිපවත් වන්නේ පොස නම් වේ, යනු එහි ඉතා කෙටි අදහස ය. ‘උපකරණෙන සයං පොසීයතීති = පොසො’ යනුත් ඒ සඳහා ම කළ අරුත් පැවසීමෙකි. එහි උපකරණැ, යි කීයේ කර්‍ම චිත්ත ඍතු ආහාර ම ය.

නිච්වං සඤ්ඤතචාරිනො = සතතයෙන් සංයත වූ පැවතුම් ඇති.

කයින් කෙරෙන පව් හා වචනයෙන් කෙරෙණ පව් හැර සිටියේ සඤ්ඤතචාරී නම්. කය වචන දෙකෙන් මුළුමනින් හික්මුනේය සඤ්ඤතචාරී.

න එව දෙවො = දෙවියෙක් නො ම කරන්නේ ය.

සම්මුතිදේව - උප්පත්තිදේව - විසුද්ධිදේව, යි දෙවියෝ තුන් පරිදි ය. මහාසම්මත රජුගේ කාලයෙහි සිට ලෝකයා විසින් දේව, යි සම්මත රාජ-රාජකුමාරාදීහු ය සම්මුතිදේව. වෘක්‍ෂ - පර්‍වත - ගෘහ - වනාදි භූමිනිශ්‍රිතදෙවියෝත් දෙව්ලොව උපන් දෙවියෝත් උප්පත්ති දෙවියෝ ය. ඛිඩ්ඩාපදෝසික - මනෝපදෝසික - සීතවලාහක - උණ්හවලාහක - චන්‍ද- සූරියාදීහු ද මොවුන් කෙරෙහි ම ඇතුළත් ය. රහතුන් වහන්සේ විසුද්ධි දෙවියෝ ය. පොතෙහි ඒ මෙසේ කියන ලදී:

සම්මුතිදෙවා නාම යො දෙවියො කුමාරා, උප්පත්ති දෙවා නාම භූම්මදෙවෙ උපාදාය තදුත්තරිදෙවා, විසුද්ධිදෙවා නාම බුද්ධපච්චෙකබුද්ධඛීණසවා” යි.

“පස්කම්සැපයෙන් කෙළිත්, ප්‍රතිපාක්‍ෂිකයන් දිනන්නට කැමැති වෙත්, ලොවට යුතු අයුතුකම් පහදා දෙත්, උතුම් වූ සිරුරු පැහැයෙන් බබලත්, ස්තුති කරණු ලබත්, ශෝභාවිශේෂය නිසා දකින්නට අසනට කැමැති වනු ලබත්, පටිසෝත ගමනින් කැමැති තැනට යෙත්, සිය සමත් බව කරණ කොට ඒ ඒ කටයුතු කිරීමෙහි පොහොසත් වෙත්, යන මේ තේරුම් උඩ උප්පත්ති දෙවියෝ, දෙවියෝ වෙති” යි පොතපතෙහි කියත්. මෙන එහි ආ සැටි:

“දිබ්බන්ති කීළන්ති පංචහි කාමගුණෙහි, පටිපක්ඛෙ වා විජෙතුං ඉච්ඡන්ති, වොහරන්ති ච ලොකස්ස යුත්තායුත්තිං, ජොතන්ති පරමාය සරීරජුතියා, ථොමීයන්ති තබ්භාවත්‍ථිකෙහි, කාමියන්ති දට්ඨුං සොතුං ච සොභාවිසෙසයොගෙන, ගච්ඡන්ති ච යථිච්ඡිතට්ඨානං පටිසොතගමනෙන සක්කොන්ති ව අනුභාවසම්පත්තියා තං තං කිච්චං නිප්ඵාදෙතුන්ති-දෙවා” යනු.

“උත්තම වූ ධ්‍යාන ක්‍රීඩාවෙන් කෙළිත්, ප්‍රතිපාක්‍ෂික්ලේශයන් දිනන්නට කැමැති වෙත්, ඉතා සියුම් නුවණට ගොදුරු වූ අරුත් පහදා දෙත්, සියලු කෙලෙස්මලින් බැහැර වූ ඉතා පිරිසිදු වූ නුවණින් බබලත්, අතිශය නිර්‍මල වූ ගුණයෝගයෙන් ස්තුති කරණු ලබත්, නිරුත්තර වූ පුණ්‍යක්ෂේත්‍රභාවයෙන් දකින්නට අසන්නට පුදන්නට කැමැති වනු ලබත්, පෙරළා නො එන ගමනින් අමා මහනිවනට යෙත්, උනුන්ගේ සිත් හසර දැන ඒ ඒ සත්ත්‍වයන් හිතයෙහි යොදන්නට පොහොසත් වෙත්, නිවනෙහි පිහිටු වන්නට පොහොසත් වෙත්, යන යුතුකම් උඩ රහතුන් වහන්සේ විසුද්ධිදෙවියෝ ය” යි කියත්. මෙන්න මෙහි ඇදුරු වදන්:

දිබ්බන්ති කීළන්ති පරමාය ඣානකීළාය, විජෙතුං ඉච්ඡන්ති පටිපක්ඛෙ, පරමසුඛුමඤාණවිසයං අත්‍ථං ච වොහරන්ති ජොතන්ති සබ්බකිලෙසදොසකලුසාපක්කම්ම පරමවිසුද්ධාය ඤාණගතියා, ථොමීයන්ති ච විඤ්ඤාතසභාවෙහි, පරමනිම්මල ගුණවිසෙයොගතො, කාමීයන්ති ච අනුත්තරපුඤ්ඤක්ඛෙත්තාය දට්ඨුං සොතුං පුච්ඡිතුං ච, ගච්ඡන්ති ච අමතමහානිබ්බාණං අපච්ඡාගමනීයාය ගතියා, සක්කොන්ති ච චිත්තාචාරං ඤත්‍වා තෙ තෙ සත්තෙ හිතෙ නියොජෙතුං අමතමහානිබ්බාණ සුඛෙ ච පතිට්ඨපෙතුන්ති = දෙවා” යනු.

දෙව ශබ්දය තෙමේ ‘දෙවාතිදෙවං නරධම්මසාරථිං’ යනාදී තැන විසුද්ධි දෙවියන් කෙරෙහි , ‘අයං හි දෙවකුමාරො’ යනාදි තැන සම්මුතිදෙවියන් කෙරෙහි, ‘පංච කාමගුණෙහි සමප්පිතො සමඞ්ඟීභූතො පරිචාරෙති දෙවො මඤ්ඤෙ’ යනාදී තැන උප්පත්ති දෙවියන් කෙරෙහි, ‘අහං දෙව සකලජම්බුදීපෙ අඤ්ඤස්ස රඤ්ඤො සන්තිකෙ කිංචි භයං න පස්සාමි’ යනාදී තැන ඊශ්වර පුද්ගලයන් කෙරෙහි, ‘දෙවො ච ථොකථොකං ඵූසායති’ යනාදි තැන මෙඝයෙහි, ‘විද්ධෙ විගතවලාහකෙ දෙවෙ’ යනාදි තැන අහසෙහි ආයේ ය. මෙහි උප්පත්ති දෙවියන් කියයි දෙව ශබ්දය තෙමේ.

න ගන්‍ධබ්බො - ගන්‍ධර්‍වයෙක් නො (කරන්නේය).

සිවු මහරජයේ වැසි ගයන නටන වයන දෙව්පිරිස, ගන්‍ධබ්බ නම්. ‘ගොම්හි සග්ගෙ ධූනන්ති කම්පන්ති ගායනනටනාදිව සෙන = ගන්‍ධබ්බා’ යනු විවෘතියි. ‘ගන්‍ධං සඞ්ඟීතවාද්‍යාදිජනිත ප්‍රමොදං අර්‍වති ප්‍රාප්ණොතීති = ගන්‍ධර්වඃ, යනු ද බැලිය යුතු ය. ‘සඞ්ගීතවාද්‍යාදියෙන් හටගත් සතුටට පැමිණේ’ නු යි ගන්‍ධර්‍ව නම්, ඔවුහු නම්, ස්වර්ගීය ගායකයෝ ය. දේවයෝනි විශේෂයෙකි. හාහා - හූහූ - චිත්‍රරථ- හංස - විශ්වාවසු - ගොමායු - තුම්බුරු - නන්‍දි යනාදී නවලින් ඔවුහු දක්නා ලදහ. මෙන්න මේ කියූ සැටි:

“හාහා හූහුශ්චිත්‍රරථො හංසො විශ්වාවසුස්තථා,

ගොමායුස්තුම්බරු නින්‍දිරෙවමාද්‍යාශ්ව තෙ ස්මාතාඃ” යි

වහ්නිපුරාණයෙහි මොවුහු කොටස් එකොළොසක් කොට බෙදා දක්වන ලදහ. මෙන්න ඒ කොටස් එකොළොස:- අභ්‍රාජ - අඞ්ඝාරිවම්හාරි - සූර්‍ය්‍යවර්ච - කෘධු - හස්ත - සුහස්ත - ඛාඤ්සෙව - මුර්ද්ධන්‍වාන - මහාමන – විශ්වාවසු - කෘශානු යි. මේ ගන්‍ධර්‍වයෝ මර්‍ත්‍යගන්‍ධර්‍ව - දෙවගන්‍ධර්‍ව යි දෙ කොටසකට ද බෙදෙත්, පින් බලෙන් මේ කල්පයෙහි මනුෂ්‍ය වුයේ ගන්‍ධර්‍වත්වයට පැමිණියේ ද, හේ මර්‍ත්‍යගන්‍ධර්‍ව නම්. පෙර කල්පයෙහි කළ පිණෙන් මේ කල්පයෙහි මුල ම උපන්නේ ගන්‍ධර්‍වත්වයට පැමිණියේ ද, හේ දෙවගන්‍ධර්‍ව නම්.

න මාරො සහ බ්‍රහ්මුනා = බ්‍රහ්මයා සමග මරු තෙමේ ද නො (කරන්නේය)

මෙහි මාර නම්, වසවත් මරු තෙමේ ය. හේ පරනිර්මිත වශවර්ති දිව්‍යලෝකයෙහි එක් පෙදෙසෙක වසන්නේ ය. එහෙත් එහි රජ නො වේ. හෙතෙමේ, එහි තමන් වසන පෙදෙසෙහි ඊශ්වරව වෙසෙයි. දාමරික රාජපුත්‍රයකුගේ විලාසය ඇත්තේ ය.

බඹලොව උපන්නෝ බ්‍රහ්ම නම්. මහත් සිරුරු ඇති බැවින් බ්‍රහ්ම. ‘මහන්තසරීරතාය = බ්‍රහ්මා’ වැඩීමට යේ නු යි බ්‍රහ්ම. ‘බ්‍රහති වුද්ධිං ගච්ඡතීති = බ්‍රහ්මා’ මතු මතු වැඩේනු යි බ්‍රහ්ම ‘උපරූපරි බ්‍රෑහතීති බ්‍රහ්මා’ ඒ ඒ ගුණවිශේෂ කරණ කොට වැඩුනේ නු යි බ්‍රහ්ම. ‘තෙහි තෙහි ගුණවිසෙසෙහි ති බ්‍රෑහිතො ති බ්‍රහ්මා’ යනු බඹලොව උපන්නහු කෙරෙහි බ්‍රහ්ම යනු නැගීමට ඇති යුතුකම් ය. බ්‍රහ්මපාරිසජ්ජය පටන් අකනිට්ඨය තෙක් ඇති රූපාවචරභූමියට ඇතුළත් වූ ද ආකාසානඤචායතනය පටන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය තෙක් ඇති අරූපාවචර භූමියට ඇතුළත් වූ ද සත්ත්‍වකාය තෙමේ ය මේ.

බ්‍රහ්ම ශබ්දය තෙමේ, ‘සහස්සො බ්‍රහ්මා, ද්වීසහස්සො බ්‍රහ්මා’ යනාදී තැන මහා බ්‍රහ්මයා කෙරෙහි, ‘බ්‍රහ්මාති භික්ඛවෙ, තථා ගතස්සෙතං අධිවචනං’ යනාදී තැන බුදුරජුන් කෙරෙහි, ‘බ්‍රහ්මචක්කං පවත්තෙති ලොකෙ අප්පතිවතතියං’ යනා දී තැන ශ්‍රෙෂ්ඨාර්‍ත්‍ථයෙහි, ‘තමොනුදො බුද්ධො සමන්තචක්ඛු -පෙ - සච්ච ව්‍යයො බ්‍රහ්ම උපාසිතො මෙ’ යනාදී තැන බමුණා කෙරෙහි ‘බ්‍රහ්මාති මාතා පිතරො පුබ්බාචරියාති වුච්චරෙ’ යනාදී තැන මවුපියන් කෙරෙහි නැගී සිටියේ ය.

සම්මුතිබ්‍රහ්ම - උප්පත්තිබ්‍රහ්ම - විසුද්ධිබ්‍රහ්ම යි බ්‍රහ්මයෝ ද තෙපරිදි වෙති. ‘ සම්පන්තං සාලිකෙදාරං’ යි කියැවුනෝ සම්මුති බ්‍රහ්මයෝ ය. ‘පරමත්‍ථබ්‍රහ්මතාය -පෙ- පාරමිප්පත්තිතො’ යි කියැවුනෝ විසුද්ධිබ්‍රහ්මයෝ ය.

ජිතං අපජිතං කයිරා = දිනන ලද්ද (දිනීම) නො දිනන ලද්දක් (නො දිනීමක් ) නොකරන්නේ ය.

කයිරා යන මේ ය, ගාථාවෙහි තුබූ නකාරය හා බැඳුනේ. ජිතං, යන මෙයින් කියැවෙනුයේ, කෙලෙස් සතුරන් පරදවා දිනීම ය. ජයගැණීම ය. එය අන් කිසිවකු විසින් නො දිනුමක් නො කළ හැක්කේ.

තථාරූපස්ස ජනතුනො = එබඳු පුරුෂයාගේ.

ආත්මදමනය කළ සතතයෙන් සංයත වූ පැවතුම් ඇති පුරුෂ තෙමේ මෙයින් දැක්වුනේ ය.

ජන්තු නම්, සත්ත්‍ව තෙමේ ය. සසර පුන පුනා උපදින බැවින් එසේ කියනු ලැබේ. ‘ජායතීති = ජන්තු’ යනු ඒ කියයි.

‘දු කෙළීම, ධනපැහැරගැණීම, යුදකිරීම, බලය මැඩීම යන මේ කුමකින් නමුත් යමකු විසින් අනෙකෙක් දිනන ලද්දේ ද, ඒ දිනීම උතුම් නො වේ’ යි මෙසේ වදාළෝ, ඒ දිනුම අස්ථිර බැවිනි. දිගට නො පවතින්නක් බැවිනි. දිනුයේ, නැවැත අන්හු විසින් පරදවනු ලබන්නේ ද එහෙයිනි.

‘යමකු විසින් කෙලෙස් සතුරන් නසා ආත්මය දිනන ලද්දේ නම්, ඒ දිනීම උතුම් වේ’ යි වදාළෝ, ආත්මය දිනූ පුරුෂ තෙමේ දෙවියකු විසින් ගන්‍ධර්‍වයකු විසින් මාරයකු විසින් බ්‍රහ්මයකු විසින් යන කිසිවකු විසිනුත් කවර කලෙකත් කො තැනකදීත් නො පරදවනු ලබන්නේ ද, නො පැරදවිය හැක්කේ ද එහෙයිනි. තමන් නැසූ කෙලෙස් නැවත උපදවන්නට මේ ලෝකයෙහි කිසිවකුට නො හැකි ය. ශක්‍ර බ්‍රහ්මාදි කිසි කෙනෙක් එහිලා සමර්‍ත්‍ථ නො වෙත්.

ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියාහු ය.

අනර්‍ත්‍ථපෘච්ඡකබ්‍රාහ්මණ වස්තුව නිමි.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.