යො චෙ ගාථාසතං භාසෙ අනත්‍ථපදසංහිතං
එකං ධම්මපදං සෙය්‍යො යං සුත්‍වා උපසම්මති.
යමෙක් ඉදින් අනර්‍ත්‍ථපදයෙන් යුක්ත වූ ගාථා සීයක් කීයේ නමුදු ඔහු උතුම් නොවෙති. යමක් අසා පුගුල් තෙම කෙලෙස් සංහිඳීමෙන් සන්හිඳේ ද, එසේ වූ එක් ධර්‍මපදය ම උතුමි.
යො සහස්සං සහස්සෙන සඞ්ගාමෙ මානුසෙ ජිනෙ
එකඤ්ච ජෙය්‍ය අත්තානං ස වෙ සඞ්ගාමජුත්තමො.
යමෙක් දහසෙකින් ගණන ලද දහසක් මිනිසුන් (දශලක්‍ෂයක් මිනිසුන්) එක ම යුද්ධයෙහි දිනුයේ නමුදු (උත්තම යෝධ නම් නො වේ.) වැලි යමෙක් එක ම තමා කෙලෙස් දිනීමෙන් දිනුයේ ද, හේ ඒකාන්තයෙන් යුද්ධයෙහි දිනුවවුන්හට උත්තම යෝධ නම් වේ.
රජගහානුවර සොළොසැවිරිදි වයස් වූ සිටුදුවක් වූ ය. ඕ තොමෝ රූසපුවෙන් දැකුම්කලු ය. දුටු දුටුවන් නෙත් සිත් පැහැර ගත්තා ය. තරුණ වයසෙහි සිටින ස්ත්‍රීහු තරුණ මදයෙන් මත් ව නිතර පුරුෂයන් පතන්නාහු ය. ඔවුන් කෙරෙහි ලොල් ව වසන්නාහු ය. ඔවුන් හා කොයිවේලේ එක්වෙමු දැයි සිතන්නාහු ය. තරුණයන් දුටු තැන ඇඟමැලි කඩන්නාහ. ඉඟි මරන්නාහ. අඳුනන නො අඳුනන බව නො සිතා, සිනාසෙන්නාහ. ගැහැණුන්ගේ හැටි, මෙසේ බව දන්නා සිටුදුවගේ මවුපියන් තම දුව සත් මහල් ගෙයි උඩ මාලෙහි නිදන කාමරයෙහි රැකවල් සහිත කොට වාසය කර වුහ. කටයුතු සඳහා දාසියක පවරා දුන්හ. මෙකල්හි රාජභටයෝ මිනීමැරුම් සොරකම් ඈ කළ සාහසිකපුරුෂයකු පිටිතල හයා බැඳ, සතර මංහන්දි, තුන් මංහන්දි, දෙ මංහන්දි ගානේ ඇවිද්දවමින් මරන්නට ගෙන ගියහ. උඩු මහලෙහි හුන් සිටු දූ මිනිසුන්ගේ කෑ කෝ ගැසීම් අසා, මේ කිමැ, යි උඩමහලෙහි සිට බලන්නී, බැඳ ගෙණ යන ඒ සාහසිකයා දැක, ඌ කෙරෙහි ඇලුනී ඌ පතා, කෑමත් නො කා ඇඳ වැතිර යටිකුරු ව නිදන්නට වූ ය.
එහි පැමිණි ඇගේ මවු තොමෝ “දුව මොක ද නිදන්නී? අපහසුවෙක් ද? කියන්නැ” යි කිවූ ය. “අම්මේ! මට කිය යුතු අපහසුවෙක් නැත, දැන් රාජභටයන් විසින් සොරෙකැ, යි කියා පිටිතල හයා බැඳ ගෙණ ගිය මිනිහා අම්මා දුටුවා ද, මම ඔහු දෙස බැලීමි, එ කෙණෙහි මාගේ සිත ඔහු කෙරෙහි ඇදී ගියේ ය. බැඳී ගියේ ය, ඒ පුරුෂයා ගන්නැ, යි මා සිත මට කිය යි, ඒ මිනිහා නො ලැබේ නම්, මා මැරෙණු ඒකාන්ත ය, මම මෙහි ම මැරෙමි” යි ඕ තොමෝ නො සඟවා කිවූ ය. “හා! ඒ මොන බොළඳ කතාවක් ද, ඔයට වඩා තරුණ, හැඩ වැඩ ඇති හොඳ මිනිස්සු කොතරම් සිටිත් ද, ඔය අදහස කොතරම් නරක ද, ඔය අදහස අත් හරින්න, අපි උඹට අපේ ජාතියට කුලයට පරපුරට ධනයට රූපයට වයසට සුදුසු ගැළපෙන පිරිමියකු සොයා දෙන්නෙමු, ඉක්මන් වන්නට එපා, අපට කැපෙන මිනිහකු සොයා ගත හැකි ය, ටිකක් ඉවසන්නැ” යි මවු තොමෝ කිවූ ය. “අම්මා මොනවා කියනවා ද, මට වෙන මිනිහකු වුවමනා නැත, මට වුවමනා ඒ ගෙණ ගිය මිනිහා ම ය, අම්මාලා මට ඒ මිනිහා ලබා නො දෙන්නෝ නම්, වෙන මිනිහකු ලබා දෙන්නට වෙහෙසෙන්නට එපා, ඒ දීග හරියන්නේ නැත, මා ගැණ ඉදිරියට බලාපොරොත්තු වහු නම්, මේ මිනිහා ම ලබා දෙන්න, එසේ නො කොට මා ගැන බලාපොරොත්තු වන්නට එපා, මම දිවි නසා ගන්නවා, වරදින්නේ නැතැ” යි ඈ තදින් කියා සිටියා ය.
මවු තොමෝ දුව සනසන්නට පැය ගණනක් කරුණු කියා බැරි තැන මේ වග, පියාට ද දැන්වූ ය. පියා ද දුවට මේ ගැණ නොයෙක් ලෙසින් කීයේ; දුව එයින් වළකා ලන්නට එය වෙනස් කරන්නට අපොහොසත් වී ය. අන්තිමේ දී මවු පිය දෙදෙන, සොරා බැඳ ගෙණ ගිය රාජභටයන් වෙතට රහසින් මුදල් දී මෙහෙකරුවන් යැවූහ. රාජභටයෝ ඔහු රහසින් නිදහස් කොට, සිටානන් වෙත යවා, ඒ වෙනුවට අනික් දුප්පත් මිනිසකු මරවා, සොරා මැරූහ, යි රජයට දන්වා සිටියාහ. සිටු තෙමේ ඔහුට කවා පොවා හොඳට සතපා කිහිපදිනකට පසු දුව පාවා දුන්නේ ය.
සිටු දු තොමෝ එතැන් සිට සිය සැමියාගේ සිත් සතුටු කරන්නට සිතා, නිතර නිතර නන්වැදෑරුම් ඇඳුම් කැඩුම් සුවඳ විලවුන් ආදියෙන් හා රන් අබරණවලින් ඇඟ සරසන්නී ය. තොමෝ ම කෑම් බීම් පිළියෙල කරන්නී ය. කවන්නී ය. පොවන්නී ය. නාවන්නී ය. සගන්නී ය. පැයට සතර පස් වරක් ඇඳුම් වෙනස් කරමින්, සබන් ගා මූණ සෝදමින්, සුවඳ විලවුන් ගල්වමින් පියොරසුණු දමමින්, තොල් නිය සායම් ගා රතු කරමින්, ඇඟ සැරසීම පිරිමින් තමන් වෙත ඇද ගන්නට මායම් කරණ කාමයෙන් නො තිත් වූ පුරුෂ ලොල් වූ වල්ගෑණුන් ගේ සිරිතෙකි.
සිටුදුවගෙන් මෙසේ නිතර සැලකුම් ලබන ඒ සාහසික පුරුෂ තෙමේ සියඹුව ඇඳ ගත් ඇඳුම් කැඩුම්වල වටිනාකම දැක “මෑ මරා මේ ඇඳුම් කැඩුම් අබරණ ගෙණ විකොට, මුදල් ටිකක් අතට ගෙණ ආප්ප පිට්ටු ඈ යමක් කා, කවදා සතුටු වන්නෙම් දැ” යි සිතා, එයට උපායක් සලකා ගෙණ, කිසිත් නො කා, ඇඳ වැතිර නිදි ගත්තේ ය.
භාර්‍ය්‍යා |
:- |
අය්යෝ! මොක ද මේ අවේලාවේ නිදන්නහු? අපහසුවෙක් ද? හිසරදය ද? බඩරුදාවක් ද? කියන්න ඉක්මනට. |
පුරුෂ තෙමේ |
:- |
නෑ, සොඳුර! අපහසුවෙක්. |
භාර්‍ය්‍යා |
:- |
එහෙනම්, අම්මා තාත්තා සිත් රිදෙනන්ට යමක් කීවෝ ද? කළෝ ද? |
පුරුෂ තෙමේ |
:- |
නෑ නෑ එහෙම එකක් නෑ. |
භාර්‍ය්‍යා |
:- |
එහෙ නම් නිදන්නහු? ඇත්ත කියන්න! මා හැර කාට කියන්නට ද බලාපොරොත්තුව? |
පුරුෂ තෙමේ |
:- |
සොඳුර! මම, දෙවියන්ට භාරයක් ඔප්පු කිරීමට බැඳී සිටිමි. ඒ සඳහා මා විසින් කළ යුත්තේ බිලිපූජාවක්. මාගේ දිවි ඉතිරි වූයේ, දෙවියන්ගේ අනුකම්පාව නිසා ය. සොඳුර; මාගේ බිරිය වශයෙන් ලැබීම ද දෙවියන් නිසා ම වී ය. දෙවියන්ට බැන්ද පඬුර නිසා ම නො වේ නම්, ඔයා මට කවදාවත් ලැබේ ය, යි මම නො සිතමි. මේ භාරය ඔප්පු කරන්නේ කෙසේ දැ යි මම නිතර සිතමින් තැවෙමින් ඉඳිමි. |
භාර්‍ය්‍යා |
:- |
හා! එය ද කාරණ ය, එය ලොකු වැඩෙක් ද? කියන්න එයට වුවමනා දේ, මම සියල්ල පිළියෙල කරමි, මාගේ පණ වුවත් දෙනවා කියන්න. |
පුරුෂ තෙමේ |
:- |
වතුර නො දමා පිසූ කිරිබත් ටිකක්, විලඳ පස්මල් ටිකක්, කපුරු, සාම්බ්‍රානි, තෙල් පහන් වැටි පිනිදිය, පලතුරු, විලක්කු, බුලත්. |
භාර්‍ය්‍යා |
:- |
හා! හොඳයි, අද ම මම මේවා පිළියෙල කරණවා. |
මෙසේ කියා ඕ තොමෝ ඒ සියල්ල පිළියෙල කොට හිමියා වෙතට ගොස්, “සියල්ල පිළියෙල කළා, යන්නට සූදානම් වන්නැ” යි කිවූ ය. “සොඳුර! එසේ නම් යමු, අන් කිසිවකු ගෙන යෑම හොඳ නැත, යා යුත්තේ අපි දෙදෙනම ය, නෑයකු වත් ගෙණ යා යුතු නැත, හොඳට පිරිසිදුව හොඳට ඇඳ පැලඳ යා යුතු ය, සතුටින් සැපසේ යා යුතු ය” යි සොරා කී කල්හි, ඕ තොමෝ ඔහු කී ලෙසට සියල්ල සපයා ගෙණ හොඳට ඇඳ පැලඳ, කිරිබත් විලඳ ඈ පූජෝපකරණයන් ගෙන්වා ගෙණ, සොරුත් මෙහෙකරුවනුත් සමග රියකට නැගී කඳුපාමුල දක්වා ගියා ය. කඳුපාමුලට ගොස් ඒ සියලු දෙනා ම රියෙන් බැස්සාහ.
ඉක්බිති ඒ සොර පුරුෂ තෙමේ “සොඳුර! මෙතැනින් ඔබ්බට මුන් සමග යා යුතු නො වේ, රියත් සමග මුන් හැම නවතා පූජා බඩු පමණක් ගෙන යා යුතු ය, මේ පිදේනිය ගන්නැ” යි බිරියට කී ය. ඕ තොමෝ ද ඌ කී ලෙසට පිදේනි උස්සා ගත්තා ය. හොරාත් ඇය සමග කඳුමුදුනට නැංගේ ය. මිනිස්සු කඳු මුදුනට නගින්නෝ එක් පැත්තකින් ය. එක් පැත්තක් මුදුනේ සිට පාමුල දක්වා ම බිඳ වැටී ගොස් ය. මිනිස්සු සොරුන් ගණ කඳුමුදුනට නැගී බිඳ වැටී ගිය පැත්තෙන් සොරුන් හෙලත්. හෙලනු ලබන හොරු කෑලි කෑලි වලට කැඩී බිම වැටෙත්. එහෙයින් මේ කන්ද චෝරපපාත යි ප්‍රසිද්ධ ය.
සිටු තොමෝ කඳුමුදුනෙහි සිට “ස්වාමීනි! පිදේනිය පුදන්නැ” යි කිවූ ය. ඌ එයට කිසිත් නො කීයේ ය. නැවැතත් ඕ “හිමියෙනි! පිදේනිය පුදන්නැ” යි කිවූ ය. එවිට සොරා “පිදේනි පිදීමෙන් මට වැඩෙක් නැත, තා මෙහි ගෙණ ආයේ පිදේනි දෙන්නට නො වෙමි, තා මරා දමන්නටැ” යි කී ය. ඈ තැති ගත්තී “ඇයි හිමියෙනි! එසේ කියහු, මම ඔබවහන්සේ ගේ ය, මේ ඇඳුම් කැඩුම් අබරණත් ඔබ වහන්සේගේ ය, ඔබවහන්සේ මාගේ ය, ඇයි මා මරන්නහු?” යි ඇසූ ය. “තා ඇඟ ලා ඇති ඇඳුම් කැඩුම් අබරණ ගන්නට” යි කී විට, “ඇයි! හිමියෙනි! මේ ආභරණ ගන්නට මම මැරිය යුතු වෙම් ද, මාත් ආභරණත් ඔබ වහන්සේගේ බව නැවැත නැවැතත් කිය යුතු ද, ඒ එසේ ය, මෙන්න ආභරණැ” යි ඈ කිවූ ය. එහෙත් සොරා ඇය මැරීමට සැරසුනේ ය. ඒ දුටු සිටුදුව “ස්වාමීනි! මා මැරීමෙන් ඔබවහන්සේට ඇති පලය කිම? මේ සියලු ආභරණ ගෙණ මාගේ පණ රැක දෙන්න, මෙ තැන් සිට මා මව මෙන් සලකා ගන්න, එසේ නො කැමැති නම්, දාසියක කොට ගන්න, හිමියෙනි! රනින් කළ මේ සියලු අඟුපලඳනාත් වෙරළුමිණියෙන් කළ ආභරණත්, ඇඟලා ඇති කසිසළු ඈ වස්ත්‍රත් ගෙණ කැමැත්තක් කරන්න, මට දිවි පමණක් දෙන්නැ” යි කිවු ය.
හොරා “තා නො මරා ඇඳුම් කැඩුම් ගත්තෙම් නම්, තෝ ඒ බව තාගේ මවුපියන්ට කියහි ය, එහෙයින් තා මරමි, මෝඩ ගෑණි! බොරුවට නො හඬව, නො වැලපෙව, ආභරණ එක්තැන් කොට පොදි බඳුව, තා නො මරා හරින්නට නො හැකි ය” යි කීයේ ය. “අය්යෝ! මෙය ඉතා බැරෑරුම් ය, සුලු නො වේ, නුවණ ලැබී ඇත්තේ නිකමට නො වේ, ඒ ඒ දේ සොයා බලා පරික්‍ෂා කොට කිරීමට ය, මමත් මේ වේලෙහි මූට කළ යුත්තේ දනිමි” යි, “හිමියෙනි! පොඩ්ඩක් ඉඩ දෙන්න, ඔබ වහන්සේ සොරකු කොට බැඳ ගෙණ යද්දී මාගේ බලවත් ඉල්ලීම පිට මාගේ මවු පියෝ රාජභටයන් වෙත බර ගණනක් මුදල් යවා ඔබ නිදහස් කොට ගෙණ මට හිමියා කොට දුන්හ. එදා සිට මෙතෙක් මම ඔබ වහන්සේගේ මෙහෙ කරන්නියක් වෙමි, මේ කාලය තුළ මා අතින් යම් යම් ප්‍රමාද දෝෂ ඔබට සිදු වන්නට ඇත, මේ මැරෙණ වේලේ ඔබ වහන්සේ කමා කර ගන්නට මට ඉඩ දුන මැනැවැ” යි සිටුදූ ඉල්ලා සිටියා ය. “හා හොඳ යි! එයට ඉඩ දිය හැකියි, කමා කර ගණුව” යි හොරා කඳුමුදුනෙහි කෙළවරට වී සිටියේ ය.
එවිට සිටුදුව ඔහු තෙවරක් පැදකුණු කොට සතර තැනෙක සිට වැඳ, “හිමියනි! අනේ! මේ ඔබගේ අවසන් දැකුම ය, අද සිට ඔබටත් මාගේ දැකීමෙක් නො ලැබේ, මටත් ඔබගේ දැකීමෙක් නැතැ” යි කිය කියා ඉදිරියෙන් ඇඟ එල්ලී සිඹිමින් අඬමින් පසුපසින් ඇඟ එල්ලී සිඹිමින් අඬමින් කඳුමුදුන සිටි සොරා එකවරට උස්සා කන්දෙන් පහතට දැමූ ය. ඌ කන්දෙහි ඒ ඒ තැන ගැටෙමින් හැපෙමින් බිම හෙන්නේ, කඩ කඩ වී බිම වැටුනේ ය. කඳුමුදුනෙහි අරක් ගත් දෙවි තෙමේ උන්ගේ ඒ ක්‍රියාදැක සාධුකාර දෙන්නේ-
“හැම කරුණෙහිම ඒ - පුරිස් නො වේ පඬි ලෙව්හි,
ඉතිරිය ද පඬි වේ - ඒ ඒ තැනෙහි විසකුන්”
යන මෙය හඬ නගා කීයේ ය.
සිටු දූ තොමෝ සොරු කඳුමුදුනෙන් බිමට දමා “මා දැන් ගෙදර ගියොත් හිමියා කොහි ද? කෙළෙහි කිමැ? යි නොයෙක් දෙන නොයෙක් දේ අසති, ඇත්ත කියූ විට මට ගරහති, ඇණුම් බැණුම් කරති, මා මරා මාගේ ඇඳුම් කැඩුම් අබරණ ගන්නට සූදානම් වූ බව දැන ඌ මරා දැමීමි යි කියූව ද නො අදහති, ඒ නිසා ගෙදර නො යමි” යි තීරණය කොට ගෙණ, ඒ කඳුමුදුනෙහි ම ඇදුම් කැඩුම් ගලවා දමා, වනයට වැද, තැන තැන ඇවිදින්නී, පරිව්‍රාජකයන් විසූ පන්සලකට ගොස් උන් වැඳ, “ස්වමීනි! මා පැවිදි කරණු මැනැවැ” යි ඉල්ලා සිටියා ය. එවිට ඔවුහු ඇය පැවිදි කළහ. එසේ පැවිදි ව ටික දවසක් ගෙවා “ස්වාමීනි! ඔබ වහන්සේලාගේ පැවිද්දෙහි ඉතා උසස් තැන කො තැන ද? උසස් පලය කුමක් දැ?” යි විචාළා ය. “පිණැත්තිය! දසකසිණ පිරියම් කොට ධ්‍යාන උපදවා ගැණීම, අප සතු වාදදහසක් ඉගෙණිම යන මේ ය, අපගේ පැවිද්දෙහි උසස් ඵල ය” යි පිරිවැජියෝ කීහ. “ස්වාමීනි! ධ්‍යාන උපදවාලීම මට අසීරුය, මම එහි අපොහොසත් වෙමි, එබැවින් ඔබ වහන්සේලා සතු වාදදහස පමණක් උගන්නෙමි” යි ඕ කිවූ ය.
පිරිවැජියෝ ඇයට වාදදහස උගන්වා, “යව; තෝ දැන් අපගේ වාදයෙහි දක්‍ෂ ය, මේ මුළු දඹදිව සෑම තැන ගොස්, තා හා වාදයෙහි සමතෙක් සිටී දැ යි සොයා බලව, යම් කිසි ගිහියෙක් වාදයෙහි දක්‍ෂ වූයේ නම්, කරට කර ගැළපී සිටියේ නම්, ඔහුට අඹු වෙව, එහි පැවිද්දෙක් දක්‍ෂ වූයේ නම්, ඔහු වෙත පැවිදි වෙව” යි, ජම්බු අත්තක් ඇය අතට දී පිටත් කොට යැවුහ. ඕ එතැන් සිට ජම්බුපරිව්‍රාජිකා යි ප්‍රසිද්ධ වූ ය. තැන තැන ගොස් උනුන් විචාරන්නට වූ ය. මෙසේ කිහිප දවසක් ගෙවි ගියේ ද, ඇය අසන ප්‍රශ්නයන්ට පිළිතුරු දීමෙහි පොහොසතෙක් ඇයට හමු නො වී ය. ජම්බුපරිබ්‍රාජිකාව එනු අසා බොහෝ දෙන පැන ගියහ. ඇය පිඬු සොයා යන විට වැලි ගොඩක් ගසා ජම්බු අන්ත එහි සිටුවා “මා සමග වාදයට කැමැත්තෙක් වේ නම්, ඔහු මේ ජම්බු අත්ත උගුළා දමාවා” යි දන්වා යන්නී ය. වාද කරණු තබා එයට ලං විය හැක්කෙක් තව ම එහි නොවී ය. එක් ජම්බු අත්තක් මැලවී ගිය විට තව එකක් ගන්නී ය. මෙසේ දවස් යවන ඕ තොමෝ සැවැත් නුවරට ගොස් ගම් දොර වැලිගොඩක් ගසා, කොළ අත්ත එහි සිටුවා, “මා හා වාද කරණු කැමැත්තෙක් මේ අත්ත උගුළා දමාවා” යි දන්වා පිඬු සිඟා ගියා ය. ගම් දරුවෝ එය වට කොට ගත්හ.
ශාරීපුත්‍ර මහා ස්ථවිරයන් වහන්සේ බත්කිස අවසන් කොට, බැහැර වඩින සේක්, වැලිගොඩ වටේ සිටි ලමයින් දැක “මේ කිමැ” යි උන් අතින් ඇසූහ. ගම්දරුවෝ උන්වහන්සේට තොරතුරු කීහ. “ලමයිනි! ඔය කොළ අත්ත උගුළා පැත්තක තබන්නැ” යි උන්වහන්සේ වදාළ විට “අනේ! අපට බැහැ” යි කීහ. “ඇයි! එසේ කියහු? බිය ද? බිය වන්නට එපා, ඔය ලමයින්ට විරුද්ධ ව කාවත් ආවොත් මම බලා ගන්නම්, කොළ අත්ත වැලිගොඩින් අස් කරන්නැ” යි උන්වහන්සේ කීහ. එවර ලමයි කොළ අත්ත උගුළා දැමූහ. එතැනින් දූවිලි නැගින. පරිව්‍රාජිකා තොමෝ අවුත් බැණ දොඩා තරවටු කොට “ඔය දරුවෝ මේ කොළ අත්ත උගුළා දැමුවෝ මොක ද? ඔය දරුවන්ට මා හා වාද කළ හැකි ද? කවු ද කීයේ කොළ අත්ත අස් කරන්ටැ?” යි ඇසූ ය. “මේ හාමුදුරුවන් අපට කීවා, කොළ අත්ත උගුළා දමන්නට, ඒ නිසා අපි එය අස් කෙළෙමු” යි ලමයි කීහ.
එකල්හි ඕ තොමෝ සැරියුත් තෙරුන්ට ලං ව “හැබෑ ද, ස්වාමීනි! මේ කොළ අත්ත අස් කරන්නට ඔබ වහන්සේ මේ දරුවන්ට කී හු? එසේ නම් දැන් මා හා වාද කළ යුතු ය, වඩින්න ඒ පිණිස මේ තැනට” යි කිවූ ය. “ඔව්! මම එය අස් කරවීමි, එසේ කරවූයේ වාද කරනු සඳහා ම ය, වාද කරමු’ යි ස්ථවිරයන් වහන්සේ කීහ. පරිව්‍රාජිකා තොමෝ “හොඳයි ස්වාමීනි!” යි වාද කරන්නට සවස් වේලේ තෙරුන් වසන තැනට ගියා ය. නුවර ඇළලුන්නේ ය. “පඬිවරු වාද කරති” යි නුවරවැස්සෝ පරිව්‍රාජිකාව හා තෙරුන් වෙත ගොස් වැඳ හුන්හ. පරිබ්‍රාජිකාව ද හොඳට වාඩි වී ස්වාමීනි! මම ඔබ වහන්සේගෙන් ප්‍රශ්නයක් අසමි” යි කිවූ ය. “ඔව්! හරි, අහන්න! සහෝදරිය!” යි ප්‍රශ්න අසන්නට ස්ථවිරයන් වහන්සේ අවසර දුන්හ. ඕ තොමෝ ඔවුන් සතු හැම වාදයක් ම දක්වා ප්‍රශ්න ඇසූ ය. ස්ථවිරයන් වහන්සේ ඒ හැම වාදයක් ම කරුණු දක්වමින් ඛණ්ඩනය කළහ. නැවැත “තට තවත් ඇසිය යුතු ප්‍රශ්න තිබේ දැ” යි ඇසූ විට “නැතැ” යි කිවූ ය
ඉක්බිති ස්ථවිරයන් වහන්සේ “තෝ මාගෙන් ප්‍රශ්න බොහෝ ගණනක් ඇසීහි, එහෙයින් මා විසිනුත් තාගෙන් එක් ප්‍රශ්නයෙක් වත් ඇසිය යුතු ය, තා එයට පිළිතුරු දිය යුතු ය” යි කී විට “ස්වාමීනී! අසනු මැනැවැ” යි කිවූ ය. එකල්හි උන්වහන්සේ “එක නම් කිමැ?” යි ඇසූහ. ඕ තොමෝ එයට පිළිතුරු දෙන්නට අපොහොසත් වූවා, “ස්වාමීනි! මේ කිනම් මන්ත්‍රයෙක් දැ?” යි ඇසූ ය. “මේ බුද්ධ මන්ත්‍රයෙකැ” යි කීහ. “මටත් මෙය උගන්වනු මැනැවැ” යි කිවූ ය. “උගන්වන්නට නම් අප සේ විය යුතු ය” යි ස්ථවිරයන් කී කල්හි “ස්වාමීනී! මා පැවිදි කරගන්නැ” යි කියා සිටියා ය. ස්ථවිරයන් වහන්සේ ඇය මෙහෙණ වරට යවා පැවිදි කරවූහ. ඉන්පසු ලත් උපසම්පදාව ඇති ඕ තොමෝ කුණ්ඩලකෙසී ස්ථවිරා, යි ප්‍රසිද්ධ වූ ය. වැඩි දවස් නො යවා ම පිළිසැඹියාවන් ලබා රහත් වූ ය.
ටික දවසකට පසු ධර්‍මශාලාවට, රැස් වු භික්‍ෂූන් වහන්සේලා “කුණ්ඩලකේසී ස්ථවිරා තොමෝ වැඩි බණක් දහමක් නො අසා ම පැවිද්දෙහි ඵල ලැබූ ය, සොරකු හා යුද්ධයක් කොට දිනා අවුත් සසුන්ගත වූ ය” යි කතා කරන්නට වූහ. බුදුරජානන් වහන්සේ එහි වැඩි සේක්, ඒ කතාව අසා “මහණෙනි! මා දේශනා කොට ඇති බණ, ටිකය, හුඟ ය, දිග ය, කොට ය, යි නො මැනිය යුතු ය, නො කිය යුතු ය, මා දෙසූ හැම බණ පදයෙක ම නිවන් රසය කැවී ඇත්තේ ය, එහෙයින් එහි අඩු වැඩිබවෙක් උස් පහත් බවෙක් නැත, වැඩක් නැති අනර්‍ත්‍ථප්‍රතිසංයුක්තපද සිය දහස් ගණනකට වඩා ඉතා කුඩා වු ද, අර්‍ත්‍ථවත්පදය ශ්‍රේෂ්ඨ ය, උතුම් ය, එසේ ම දිනීමෙක් වන්නේ ද, තමන් තුළ ඉතා දිගු කලක සිට පැල පදියන් වූ කෙලෙස් සොරුන් පරදවා ජය ගත්තහුට ය, අන් බැහැර සොරුන් පරදවා ජය ගෙණ සිටියහුට, ජයෙක් දිනීමෙක් නො වන්නේ ය” යි වදාරා අනුසන්‍ධි ගළපා මේ ධර්‍මදේශනාව කළ සේක.
යො ච ගාථාසතං භාසෙ අනත්‍ථපදසංහිතා,
එකං ගාථාපදං සෙය්‍යො යං සුත්‍වා උපසම්මති.
.
යො සහස්සං සහස්සෙන සඞ්ගාමෙ මානුසෙ ජිනෙ,
එකංච ජෙය්‍යමත්තානං ස වෙ සඞ්ගාමජුත්තමො’ති.
ඉදින් යමෙක් අර්‍ත්‍ථරහිත පදයෙන් යුත් ගාථා සියයක් කියන්නේ නමුත්, (ඒ උතුම් නො වේ) යමක් අසා සන්සිඳේ ද (එසේ වූ) එක් ගාථාපදය උතුම් වේ.
යමෙක් දහසින් ගිණූ මිනිසුන් දහසක් (එක්ම) යුද්ධ භූමියක දී දිනන්නේ වේ ද, එහෙත් හෙතෙමේ දිනුයේ නම් නො වේ. යමෙක් වනාහි එකකු වූ ම තමන් දිනන්නේ වේ ද, හෙතෙමේ එකාන්තයෙන් යුද්ධය දිනූවන්ට උතුම් වේ.
යො ච ගාථාසතං භාසෙ = ඉදින් යමෙක් ගාථා සියයක් කියන්නේ නමුත් (උතුම් නො වේ)
අනත්‍ථපදසංහිතා = අර්‍ත්‍ථ රහිතපදයෙන් යුත්.
එකං ගාථාපදං සෙය්‍යො = එක්ගාථාපදය උතුම් වේ.
යං සුත්‍වා උපසම්මති = යමක් අසා සන්සිඳේ ද. [1]
යමෙක් ආකාශවර්‍ණනාදිඅර්‍ත්‍ථරහිතපදවලින් යුත් සිය දහස් ගණන් ගාථාවන් කියන්නේ නමුත්, එයින් වැඩෙක් නො වන්නේ ය. එහෙයින් ඒ ගාථා කීම උතුම් නො වේ. යම් කිසිවක් අසා, අසන්නේ, ඇතුළත සිටි සියලු කෙලෙසුන් සන්සිඳවාලීමෙන් සන්සිඳේ ද, එයට ඉවහල් වූ යම් එක් ම ධර්‍මපදයෙක් වේ නම්, ඒම ය ශ්‍රේෂ්ඨ. ඒම ය උතුම්.
“පිරිවැජියෙනි! අලෝභය - මෛත්‍රිය - මනාසිහිය - එකඟබව යන මේ ධර්‍මපද අතුරෙහි එක් ම ධර්‍මපදයෙක් වුව ද ඉතා උතුම් ය, මින් එකකින් වුවත් නිවන් සිදු කර ගත හැකි ය” යි බුදුරජානන් වහන්සේ වදාළ සේක. රාගාදී වූ කෙලෙසුන් මැඩීමට බලය මේ හැම ධර්‍මපදයෙක ඇති බැවින්, මින් එක් පදයෙක් වුවත් ඒ පිණිස ප්‍රමාණවත් ය, යනු වදාළ සේ ය. ස්කන්‍ධකථාදිය ඇසුරු කළ ධර්‍මපදයෝ නිවන් ලබා දෙත් ය, යි කියනු කුමට ය.
යා සහස්සං සහස්සෙන = යමෙක් දහසින් ගිණූ දහසක්. දහස් වරක් ගිණූ දහස. දශලක්‍ෂයක්.
සහස්ස ශබ්දය, මෙහි යෙදුනේ අනෙක සංඛ්‍යාවක් ලෙස ය. සහස්සරංසි, සතතෙජො, යනාදි තන්හි සේ ය. නොයෙක් දහස් ගණන්, නොයෙක් සිය ගණන් යන අරුත, ඒ දෙතැන යෙදුනු සහස්ස-සත ශබ්දදෙක කියාලයි. නියමයෙන් ම දහසෙක සියයෙක යන අරුත් නො කියයි. මිස්සක - ගුණිත - සම්බන්‍ධ - සංකේත - අනෙක, යි සඞ්ඛ්‍යාශබ්ද පස් කොටසක් කොට ද බෙදා තිබේ. ශබ්දලක්‍ෂණ ග්‍රන්‍ථයන්ගෙන් ඒ දත හැකි ය.
සහස්ස ශබ්දය, ශාබ්දිකයෝ දසශබ්ද සියයක්, ද්වන්‍ද සමාස කොට එකශේෂ කිරීමෙන් පසු ඉතිරි වූ දසශබ්දයට බහුත්‍වය ද සලකා, ‘සහස්ස’ යි ආදේශ කොට නිපදවති. නැවැත, ‘සහස්ස’ යන ප්‍රකෘතියෙන් ප්‍රත්‍යය කොට ‘අං’ ආදේශයෙන් ‘සහස්සං’ යි කොට භාෂාවෙහි යොදති . ‘සතං දසගුණං = සහස්සං’ සියය, දසයෙන් ගිණූයේ සහස්ස නම් වේ, යනු එහි තේරුම ය. මෙය ද මුලින් කියූවට විරුද්ධ නො වේ. අන් ලෙසකින් කියූව ද මේ ද ඒ ම ය. සහස්ස ශබ්දය නියතනපුංසක ය. එකවචන ඇත්තේ ය. එය විශේෂ්‍ය පදයක් බලා තමන් අයත් ලිඞ්ග - වචන වෙනස් නො කරයි. මේ ගාථාවෙහි එන සහස්ස ශබ්දය සිටියේ, එහි ම වූ ‘මානුසෙ’ යන්නට විශේෂණ ව ය. එය පුල්ලිඞ්ගික ය. බහුවචන ඇත්තේ ය. එහෙත් එය බලා සහස්ස ශබ්දය තමන් අයත් ඒ එකවචනභාවය හා නපුංසකත්‍වය නො හැරියේ ය.
සඞ්ගාමෙ මානුසෙ ජිනෙ = මිනිසුන් දිනන්නේ ද, දහසින් ගුණ කළ දහසක් මිනිසුන් දිනන්නේ ද. දශලක්‍ෂයක් මිනිසුන් දිනන්නේ ද.
සඞ්ගාම නම්, යුද්ධය යි. ප්‍රතිවිරුද්ධ වූ දෙපක්‍ෂයක් අතර කෙරෙණ ඈණුම් - කෙටුම් - පැහැරුම් ආදිය යුද්ධය යි. ඇණුම් - කෙටුම් ආදිය කෙරෙණ තැනත් මෙයින් කිය වේ. සම්පහාර - සමර - රණ - ආජි - ආහව - යුද්ධ - ආයොධන - සංයුග යනාදි නාම ද මෙයට පර්‍ය්‍යාය වේ. ‘මනුනො අපච්වං මානුසො’ = යනු මානුසෙ යන්නෙහි අර්‍ත්‍ථ විවරණය යි. [2]
එකං එව ජෙය්‍යං අත්තානං = එකකු ම වූ තමන් දිනන්නේ වේ ද.
යමෙක් එකලා වූ තමන් දිනන්නේ නම්, හෙතෙමේ රෑතැන් දිවාතැන් ඈ හැම තැන්හි සිහි ඇති ව සිය සිරිතට ගැළපෙන කමටහනක් ගෙන තමා තුළ සිටින දහසටත් වැඩි රාගාදිකෙලෙස් සතුරන් මැඬ දිනන්නේ ය. කෙලෙස් සතුරන් පරදවන්නේ ය.
සො වෙ සඞ්ගාමජුත්තමෝ = හෙතෙමේ එකාන්තයෙන් යුද දිනුවන්ට උතුම් වේ.
යුද දිනුයේ ‘ සඞ්ග්‍රාමජිත්’ නම්. ඔවුනතුරෙහි ප්‍රධාන වූයේ සඞ්ගාමජුත්තම ය.
යමෙක් දශලක්‍ෂයක් පමණ වූත් සතුරන් හා යුද වැද, තමන් හයිබල ඇති බැවින් උන් හැම පරදවා තෙමේ ජය ගණී ද, එහෙත් ඒ උතුම් ජයෙක් නො වේ. යමෙක් කමටහන් වඩා කෙලෙස් සතුරන් නසා ජය ගණී ද, ඒ ජය ය උතුම්. මෙතෙමේ ම සටන් බිම ජය ගත්තවුනට වඩා හැම අතින් ශ්‍රේෂ්ඨ ය.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියාහු ය.
කුණ්ඩලකේසී ස්ථවිරා වස්තුව නිමි.