8-2 දාරුචීරිය ස්ථවිරයන් වහන්සේ

සහස්සමපි චෙ ගාථා අනත්‍ථපදසංහිතා

එකං ගාථාපදං සෙය්‍යො යං සුත්‍වා උපසම්මති.

අනර්‍ත්‍ථපදයෙන් යුත් ගාථා දහසක් වූ නමුදු ඔහු උතුම් නො වෙති. යම් එක් ගාථාපදයකුදු අසා පුගුල් තෙම (කෙලෙස් සංහිඳී-මෙන්) සංහිඳේ ද, එසේ වූ එක් ගාථාපදය ම උතුමි.

එක් කලෙක මිනිසුන් කණ්ඩායමක් මුහුදින් එතෙර වන්නට නැවු නැගී ගියේය. උන් ගිය නැව මුහුද මැද දී බිඳී ගොස් එහි ගිලුනී ය. නැවෙහි හුන්නෝ මස් කැසුබ් ආදීන්ට බත් වූහ. උන් අතරෙහි හුන් එක් මිනිහෙක් ලෑලි කඩෙක එල්ලී පීනා ගොස් සුප්පාරක පටුනට ගොඩ බැස්සේ ය. ඔහුට හැඳීමට පෙරවීමට කිසිත් රෙදිකඩක් ඔහු අත නො වී ය. එහෙයින් ඔහු කිසිවක් කර ගත නො හැකි ව වේලුනු දරකෝටු ගොඩක් එකතු කොට වැල්වලින් වෙළා බැඳ හැඳ පොරොවා ගෙණ දෙවාලයකට ගොස් වලන් කබලක් අතට ගෙණ පටුන්ගමට වැදුනේ ය. ගම්වැසි මිනිස්සු ඔහු දැක, කැඳබත් දී එක් රහත් නමෙකැ යි සිතා සැලකිලි කළහ. මිනිසුන් රෙදි ගෙණැවිත් දුන් විට ද “මම මේ රෙදි පිළිගෙණ හැන්දේ නම් පෙරව්වේ නම් දැන් ලබන මේ ලාභසත්කාරයන් ගෙන් පිරිහෙන්නෙමි” යි සිතා ඒ කිසිත් නො පිළිගෙණ දරවැහරිම හැඳ පොරොවා හැසුරුනේය. බොහෝ දෙනකුන් “රහතුන් වහන්සේ, රහතුන් වහන්සේ” යි කියන්නට පටන්ගත් විට ‘ලෝකයෙහි යම් රහත් කෙනෙක් වෙත් ද, රහත්මගට පිළිපන්නෝ හෝ වෙත් ද, මමත් ඔවුන් අතර එක්තරා එකෙකැ’ යි ඔහුට අදහස් වි ය.

ඔහු මෙසේ සිතා දවස් යවන කල්හි ඔහුගේ පෙර අත් බවෙක සහලේ නෑ වු එක්තරා දෙවියෙක් “මේ තෙමේ පෙර මා හා එක් ව ඉණි මගක් බැඳ, කන්දක් මුදුනට නැගී මහණදම් කෙළේ ය, දැන් රහත්මි යි සිතා හැසිරෙයි, එයින් විනාශයට පැමිණෙන්නේ ය, එහෙයින් මා සංවේගයට පත් කළ යුතු ය” යි සිතී ය.

පෙර කසුප් බුදුරජුන්ගේ සාසනය පිරිහී යත්, සාමණෙරාදීන් ගේ නො පනත්කම් දුටු සත් නමක් භික්‍ෂූන් වහන්සේලා සංවේගයට පැමිණ “සාසනය අතුරුදහන් වන්නට පෙර පිහිටක් කර ගණිමු” යි සිතා වනගත වූහ. එහි වනයෙහි තැන තැන ඇවිදින උන්වහන්සේලා කන්දක් දැක “ජීවිතාලය ඇත්තන් නැවැතිය යුතු ය, අන්‍යයන් මේ කඳු මුදුනට නැගිය යුතු ය” යි ඉණිමගක් බැඳ කඳු මුදුනට නැග ඉණිමග බිම හෙලා, මහණදම් කරන්නට පටන් ගත්හ. ඔවුන් අතුරෙහි සඞ්ඝ ස්ථවිර තෙමේ එක් රැයක් ගතවත් ම රහත් විය. උන්වහන්සේ අනවතප්තවිලෙහි මූණ කට සෝදා උතුරුකුරු දිවයිනෙන් පිණ්ඩපාතය ගෙණවුත් “ඇවැත්නි! දැහැටි වළඳා මුව සෝදා මේ පිණ්ඩපාතය වළඳවු” යි අනික් සදෙනාට දැන් වූහ. උන්වහන්සේලා “ස්වාමීනි! ඔබ වහන්සේ කුමක් කියහු? යමෙක් පළමු ව රහත් වේ නම්, ඔහු විසින් ගෙනෙන පිණ්ඩපාතය වැළඳිය යුතු ය යි අප විසින් නියම කර ගන්නා ලද ද, අපිත් ඔබ වහන්සේ මෙන් විශේෂ ගුණයක් උපදවා ගෙණ තුමූ ම පිණ්ඩ පාතය ගෙණවුත් වළඳන්නෙමු” යි කියා සංඝ ස්ථවිරයන් එළ වූ පිණ්ඩපාතය නො පිළිගත්හ.

ඊට පසු දා දෙවන තෙරුන් වහන්සේ අනාගාමී වූහ. උන්වහන්සේත් පළමු තෙරුන් සේ පිණ්ඩපාතය ගෙණවුත් වළඳන්නට කී කල්හි “ඇවැත්නි! මහතෙරුන් දුන් පිණ්ඩපාතය නො පිළිගත් අප, ඔබ වහන්සේ ගෙණා පිණ්ඩපාතය පිළිගැණිම යුතු ද, එය කළ හැකි වැඩෙක් දැ” යි සෙසු තෙරවරු ඇසූහ. එවිට පිණ්ඩපාතය ගෙණා දෙවන තෙරුන් “ඔව්, තමුන්නාන්සේලාගේ කීම හරි යි, මාගේ පිණ්ඩපාතය පිළිගැණීම වර දැ” යි කී විට “අපිත් ඔබ වහන්සේලා දෙනම මෙන් යම් කිසි විශේෂ ගුණයකට පැමිණ තමන්ගේ ශක්තියෙන් යමක් ලබා ගෙණ වළඳන්නට ලැබුනොත් වළඳන්නෙමු” යි ඒ පිණ්ඩපාතය ද ඔවුහු නො පිළිගත්හ. ඒ අතර සංඝ සථවිරයන් වහන්සේ පිරිනිවි සේක. අනාගාමී ව සිටි ස්ථවිරයන් වහන්සේ ද පිරිනිවන් පා බ්‍රහ්මලෝක යෙහි උපන්හ. සෙසු පස් දෙනා වහන්සේ විශේෂ ගුණයක් උපදවා ගැණිමෙහි අපොහොසත් වූවෝ, ඒ කඳු මුදුනෙහි ම සා පිපාසා දෙකින් හා අව්වෙන් වියලී, සත්වනදා කලුරිය කොට දෙව්ලොව උපන්හ. මේ බුද්ධෝත්පාදයෙහි ඒ පස් දෙන දෙව්ලොවින් චුත ව මිනිස්ලොව ඒ ඒ කුලගෙවල උපන්හ. උන් එකෙක් පුක්කුසාති නම් රජ වි ය. එකෙක් කුමාරකාශ්‍යප වූයේ ය. එකෙක්, දාරුචීරිය නම් විය. එකෙක්, දබ්බමල්ලපුත්ත ය. එකෙක්, සභිය පරිබ්බාජක ය. උන් අතුරෙහි බ්‍රහ්ම ලෝකයෙහි උපන්නේ ය, මෙහි පුරාණ සහලේ නෑ වූ දෙවියෙකැ, යි කියන ලද්දේ.

මේ දෙවි තෙමේ දාරුචීරිය කරා පැමිණ “ඕය්! බාහිය! තමුසේ රහත් නො වහු, ඒ තබා රහත්මගට වත් නො පැමිණියහු ඒ පිණිස ප්‍රතිපදාවකුත් තට නැත, ශීලයකුත් නැතැ” යි කී ය. බාහිය තෙමේ අහසෙහි සිටි බ්‍රහ්මයා බලා සංවේගයට පැමිණ “අයියෝ මම රහත්මි, යි සිතූයෙම් ද, එය මා කළ බලගතු වරදෙක, මෙතෙමේ, ඔබ රහත් නො වහු, රහත්මගට නො පිළිපන්හු යි කියයි, එහෙයින් ලෝකයෙහි රහත් වූ අනෙකෙක් ඇත්තේ දැ” යි සිතා “දෙව්ලොව රහත්හු හෝ රහත්මගට පිළිපන්නෝ වෙත් ද?” යි ඇසී ය. එවිට දෙවි තෙමේ “බාහිය! උතුරු දනව්වෙහි සාවත්‍ථි නම්, නුවරෙක් ඇත, එහි දෙව්රම් වෙහෙර, තිලෝගුරු සම්බුදුරජානන් වහන්සේ වැඩ වසන සේක, බාහිය! දනුව, උන්වහන්සේ රහත් සේක, රහත්වීමට අන්හට මග කියන සේක, උපදෙස් දෙන සේක, පිළිවෙත වදාරන සේක, එහි යව” යි කී ය. බාහිය තෙමේ දෙවියන් කියු කතාව අදහා සංවේගයට පැමිණ ඒ වේලෙහි ම සුප්පාරක පටුනෙන් පිටත් ව එක් රැයකින් ම සැවැත් නුවරට ගියේ ය. එසේ ගියේ දෙවියන්ගේ හා බුදුරජුන්ගේ ආනුභාවයෙන්ම ය.

ඒ වේලෙහි බුදුරජානන් වහන්සේ පිඬු පිණිස නුවරට වැඩම කොට සිටියහ. බාහිය තෙමේ උදය දන් වළඳා කාමර තුළින් එළියට බැස අලසකම දුරලන්නට සක්මන් කරණ භික්‍ෂූන් දැක “බුදුරජානන් වහන්සේ කොහි දැ?” යි ඇසී ය. භික්‍ෂූන් වහන්සේලා “උන්වහන්සේ පිඬු සිඟා වැඩි සේක, තමුසේ කොහි සිට ආවහු දැ” යි ඇසූ විට “ස්වාමීනි! මම සුප්පාරකපටුනෙහි සිට ආමි” යි කී ය. එවිට භික්‍ෂූන් වහන්සේලා “සුප්පාරකයෙන් පිටත් වූවහු කවදා දැ” යි ඇසූහ. “ඊයේ සවසැ” යි පිළිතුරු දින. “ඕ! බොහෝ දුර සිට ආවහු, දෙපය සෝදා ගෙණ ඔහෙන් වාඩි වී තෙල් ටිකක් ගා ගෙණ පොඩ්ඩක් විඩා සන්සිඳුවා ගන්න, බුදුහාමුදුරුවන් වැඩියාම දකිනු හැකි ය” යි කී විට, බාහිය තෙමේ “අනේ! ස්වාමීනි! එසේ කරනු බැරිය, බුදුරජුන්ගේ හෝ මාගේ ජීවිතයට අනතුරක් කොයි මොහොතක වේ දැ යි නො දනිමි, මම කො තැනකත් නො හිඳ එක්රැයකින් ම විසි යොදුන් මග ගෙවා ආමි, ඒ නිසා බුදුරජුන් දැක ම විඩා හරිමි” යි සැවැත් නුවර තුළට වැද අලාමක වූ බුද්ධශ්‍රීයෙන් පිඬු සිඟා වඩින බුදුරජුන් දැක, “අහෝ! බොහෝ කලකින් ගෞතම බුදුරජානන් වහන්සේ මා විසින් දන්නා ලදහ” යි දුටුතැන සිට නැමි නැමී අවුත් ඇතුල් වීථියෙහි දී ම පසඟ පිහිටුවා වැඳ බුදුරජුන්ගේ පාදයෙහි ගොප්මස දැඩි ව අල්වා ගෙණ “භාග්‍යවතුන් වහන්ස! මට බණ ටිකක් වදාරනු මැනැව, සුගතයන් වහන්සේ මට බණක් වදාරන සේක්වා, එය මට බොහෝ කලක් හිත පිණිස සැප පිණිස පවත්නේ ය” යි කියා සිටියේ ය.

“හා! හා! බාහිය! මේ කඩපල මැද, මම පිඬු සිඟා, මෙහි ආයෙමි, දැන් බණ කීමට සුදුසු නැත, මෙ තැනත් එයට නො සුදුසු ය” යි බුදුරජානන් වහන්සේ වදාළ විට, බාහිය තෙමේ “ස්වාමීනි! සසර සැරිසරන්නහු විසින් පෙර, බත් නො ලද්දේ නො වේ, කොතරම් වත් බත් ලද්දේ ය, බුදුහාමුදුරුවන්ගේ හෝ මාගේ ජීවිතය කොයි වේලේ බිඳී යන්නේ දැ යි මට කියනු නො හැකි ය, ඒ නිසා මෙ තැන දී ම බණ ටිකක් වදාරනු මැනැවැ” යි දෙවනුත් ඉල්ලී ය. බුදුරජානන් වහන්සේ ඒ දෙවන වර ඉල්ලීමත් නො පිළිගත්හ. “මා දුටු තැන් සිට මොහුගේ සිරුර සතුටින් පිරී පවති, ප්‍රීතිවේගය බලවත්ය, දැන් බණ ඇසූවත් එය ප්‍රතිවේධ කිරීමෙහි මෙතෙමේ සමර්‍ත්‍ථ නො වේ, එහෙයින් මෙතෙමේ මැදහත් බවෙන් යුක්ත වේවා, එක් රැයකින් ම එක් සිය විසි යොදුන් දිග් මග ගෙවා ආ බැවින් මොහුගේ වෙහෙස ද බලගතු ය, එයත් සන්සිඳී යේවා” යි අදහස් කළ බුදුරජානන් වහන්සේ ඔහුගේ ඉල්ලීම දෙවරක් ම ප්‍රතික්‍ෂේප කොට තෙවනවර ඇවිටිල්ල බලවත් බැවින් එ තැන ම සිට “එසේ නම්, බාහිය! දුටුදැයෙහි දැකුම් පමණක් වන්නේ ය යි තා හික්මිය යුතු ය” යි දහම් දෙසූහ. බාහිය, බණ අසා සිටියේ ම සියලු ආස්‍රවධර්‍මයන් නැසීමෙන් සිවු පිළිසැඹියාවන් ලබා රහත් වුයේ ය. ඒ ඇසිල්ලෙහි ම ඔහු බුදුරජුන් වෙතින් මහණකම ඉල්ලී ය. එවිට බුදුරජානන් වහන්සේ “බාහිය! සිවුරු පිරිකර තිබේ දැ” යි ඇසූහ. ඔහු “නැතැ” යි කී විට “එසේ නම් පා සිවුරු සොයා ගෙණ එව” යි වදාළ සේක.

බාහිය තෙමේ වනාහි පෙර සසර විසි දහසක් අවුරුදු මහණ කම් කෙළේ ද, තමන් ලත් සිවුපසය තමන් විසින් ම වැළඳිය යුතු ය යි සිතා අන් එක් ම භික්‍ෂු නමකටත් තමන් ලත් සිවුරක් පාත්‍රයක් කිසි දවසකත් නො දුන්නේය, යටත් පිරිසෙයින් ඉඳුල් කඩ පිණිස ලේන්සු කෑල්ලකුදු නො දුන්නේ ය. බුලත්විඩක් පවාත් නො දුන්නේය. මේ නිසා මොහුට පින්බලෙන් පා සිවුරු නො ලැබෙන බව දුටු බුදුරජානන් වහන්සේ ‘එහිභික්‍ෂුප්‍රව්‍රජ්‍යාව’ නො දුන් සේක.

එකල්හි බාහිය තෙමේ පා සිවුරු සොයා ගියේ ය. අතරමග දී දෙනකගේ වේසයෙන් ආ යකින්නක විසින් ඇණ මරණ ලද්දේ ය. ඒ අතර බුදුරජානන් වහන්සේ ද පිඬු සිඟා ගෙණ විහාරයට වැඩ දන් වළදා නැවැත භික්‍ෂූන් වහන්සේලාත් කැටු ව විහාරයෙන් බැහැරට වැඩි සේක. එහි දී බාහියගේ මළසිරුර කුණුගොඩෙක තිබෙනු දැක “මහණෙනි! මේ බාහියගේ මළකඳැ” යි බුදුරජානන් වහන්සේ ගෙදරකින් ඇඳක් ගෙන්වා “මේ මළකඳ මෙහි තබා ගෙණ ගොස් දවා සෑයක් කරවු” යි වදාළ සේක. භික්‍ෂූන් වහන්සේලා එසේ කළහ. පෙරළා විහාරයට පැමිණි භික්‍ෂූන් වහන්සේලා බුදුරජුන් වෙත ගොස් මළසිරුර දැවූ බව දන්වා “බාහිය කොහි උපන්නේ දැ” යි ඇසූහ.

එ කල්හි බුදුරජානන් වහන්සේ බාහිය පිරිනිවන් පෑ බව වදාරා, “කියූ සැටියේ වහා ම යමක් අවබෝධ කරගැණීමෙහි වාසනා ගුණය ඇති, යමක් කියූ ලෙසින් වටහා ගන්නා වූ මාගේ ශ්‍රාවකයන් අතුරෙහි මේ බාහිය තැන පළමු වන තැනැත්තාය” යි අග්‍රස්ථානාන්තර නාමලේඛනයට බාහියගේ නාමය ඇතුළත් කළ සේක. එවිට භික්‍ෂූන් වහන්සේලා “ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! භාග්‍යවතුන් වහන්සේ බාහිය රහත් වී ය යි වදාරන සේක, ස්වාමීනි! හේ රහත් වූයේ කවදා දැ” යි ඇසූහ. “ඇයි! මහණෙනි! නො දන්නහු ද, මාගෙන් බණ ඇසු දාම බාහිය රහත් වී ය” යි උන්වහන්සේ වදාළ සේක. “ස්වාමීනි! භාග්‍යවතුන් වහන්සේ බාහියට බණ දේශනා කළ බවක් අපි නො දනුම්හ, බණ වදාළෝ කවදා දැ” යි භික්‍ෂූන් ඇසූ කල්හි “මහණෙනි! පසුගිය දා නුවර ඇතුල් වීථියෙහි පිඩු සිඟා ගිය දවසේ” යි වදාළ සේක. “එසේ නම් ස්වාමිනි! පාරේ සිට වදාළ බණ එතරම් දිග බණක් නො විය හැකි ය, එපමණ නො දික් බණකින් බාහිය ඔතරම් උසස් විශේෂ ගුණයක් කෙසේ ලැබී දැ” යි නැවැතත් භික්‍ෂූන් වහන්සේලා ඇසූහ. එවිට උන්වහන්සේ “මොකද මහණෙනි! එසේ කියහු? මාගේ බණ ටික ය, හුඟ ය, දිග ය, කොටය, යි සිතහු ද? තමුසේලා එසේ නො සිතහු, මාගේ බණ ටික වුවත් වැඩ සහිත ය, හිතකරය, හුඟ වුවත් වැඩ සහිත ය, හිතකර ය, එහෙයින් ටික ය, හුඟය යි, බණේ වෙනසක් නැත, දෙලොවින් ම අනර්‍ත්‍ථකර වූ දෙලොවට ම වැඩක් නැති රාජකථාදි ප්‍රබන්‍ධ කථා නවකථා කෙටිකථා සිය දහස් ගණනකටත් වඩා, අර්‍ත්‍ථවත් එක් ගාථාපදය ශ්‍රේෂ්ඨය, උත්තමය” යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක:-

සහස්සම්පි චෙ ගාථා අනත්‍ථප‍දසංහිතා,

එකං ගාථාපදං සෙය්‍යො යං සුත්‍වා උපසම්මතී ති.

අරුත් රහිත පදයෙන් යුත් ගාථා දහසක් නමුත් (උතුම් නොවේ.) යම් ගාථාපදයක් ඇසීමෙන් සන්සිඳීමෙක් වේ ද (ඒ) එක් ගාථාපදය ශ්‍රේෂ්ඨ වේ.

සහස්සං අපි චෙ ගාථා = ගාථා දහසක් නමුත් (උතුම් නොවේ.)

ගාථා නම්, ඡන්‍දසින් බැඳි වාක්‍ය ය. අක්‍ෂර නියමය ඡන්‍දස් නම්. එය මාත්‍රාඡන්‍දස් - වර්‍ණඡන්‍දස් යි දෙපරිදි ය. වෛදික - ලෞකික යි ද දෙකට බෙදත්. සමහරු ගණ - මාත්‍රා - අක්‍ෂරඡන්‍දස් විසින් ද තෙපරිදි කොට බෙදති. මෙසේ විවිධ මත ලෙසින් බෙදුනු අක්‍ෂරනියමසඞ්ඛ්‍යාත ගායත්‍රි ආදි ඡන්‍දස, ගාථාවන්ට නිදානය (මූලකාරණය) වේ. ‘ඡන්‍දො නිදානං ගාථානං’ යන බුද්ධවචනයෙන් එය පැහැදිලි ය. අකුරු, පද උපදවයි. පද, ගාථා උපදවයි. ගාථාවෝ අරුත් පවසත්. ‘අක්ඛරං හි පදං ජනෙති, පදං ගාථං ජනෙති, ගාථා අත්‍ථං පකාසෙති’ යනු දන්න. කවිතෙමේ ගාථාවන්ගේ ආශය වේ. මෙහි කවිතෙමේ ගාථා පවත්වන බැවින් ප්‍රතිෂ්ඨා වේ. ‘කවි ගාථානමාසයො’ යනු ආප්තයි.

ගාථා බොහෝ සෙයින් පාදසතරකින් යුක්ත වේ. එයට අඩු වැඩි පාදයන්ගෙන් බැඳුනු ගාථා ද නැත්තේ නො වේ. පාද නම් ගාථාවක සතරින් කොටසකි. සෑම තැන්හි සමචතුර්‍ත්‍ථභාගය ම පාදයකැ, යි නො ගත හැකි යි. සමහර ගාථාවන්ගේ පාද, මාත්‍රා විසින්, අකුරු විසින් වෙනස් ය. මාත්‍රාදිවශයෙන් පාදයන්ගේ වෙනස්ඛව වුව ද, පාද සතරින් හෝ එයට අඩු වැඩි පාදයන් ගෙන් බැඳුනී ගාථා, යි කියන ලදී. එහෙත් ‘චතුශ්චරණ නිබද්ධා ගාථා’ යි සාමාන්‍යයෙන් දක්වන ලද්දේ ය.

“පාදෙ ද්වාදශ විෂමෙ මාත්‍රාශ්චාෂ්ටාදශ ද්විතියෙ හි

පංචදශ චෙත් තුරියෙ කථීතා ගාථා තථෛචාර්‍ය්‍යා”

විෂම (ප්‍රථම - තෘතීය) පාදයෙහි මාත්‍රා දොළොසක් ද, ද්විතීය පාදයෙහි මාත්‍රා අටළොසක් ද, චතුර්‍ත්‍ථ පාදයෙහි මාත්‍රා පසළොසක් ද යොදා කළ බැඳුම ගාථා යි මින් කියන ලදී. ද්විතීය - චතුර්‍ත්‍ථ පාදයෝ සමපාදයෝ ය. මොවුහු මෙසේ කියූවෝ ද ත්‍රිපිටකයෙහි ඡන්‍දසින් බැඳුනු හැම බැඳුම් ම විශේෂයක් නො තබා ගාථා යි හඳුන්වන ලද්දේ ය. ගත යුත්තේ ඒ ය.

අනත්‍ථපදසංහිතා = අරුත් රහිත පදයෙන් යුත්

එකං ගාථාපදං සෙය්‍යො = එක් ගාථාපදය නමුත් ශ්‍රේෂඨ වේ.

යං සුත්‍වා උපසම්මති = යම් ගාථාපදයක් අසා සන්සිඳේ ද [1]

ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියාහු ය.

දාරුචීරියස්ථවිර වස්තුව නිමි.

  1. 7-1 ‘යං සුත්‍වා උපසම්මති’ යනු බලනු.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.