සහස්සමපි චෙ වාචා අනත්‍ථපදසංහිතා
එකං අත්‍ථපදං සෙය්‍යො යං සුත්‍වා උපසම්මති.
(ආකාශවර්‍ණනාදි) අනර්‍ත්‍ථපදයෙන් යුත් (අවැඩ කොටසින් යුත්) තෙපුල්හු දහසක් නුමුදු උතුම් නො වෙති. යම් (පංචස්කන්‍ධාදි වූ) එක් අර්‍ත්‍ථපදයකුදු අසා පුගුල් තෙම (කෙලෙස් සංහිඳීමෙන්) සන්හිඳේ ද, එසේ වූ (නිර්‍වාණ ප්‍රතිසංයුක්ත වූ, ස්කන්‍ධාදිය ප්‍රකාශ කරන) අර්‍ත්‍ථසාධක එක් පදය පවා උතුමි.
මාගේ ස්වාමිදරු වූ සම්මා සම්බුදුරජානන් වහන්සේ එක් අවදියෙක වේළුවනාරාමයෙහි වැඩ වාසය කරණ සේක. එකල්හි එහි නුවර විසූ හොරු හාරසිය අනූ නව දෙනෙක් ගම් නියම්ගම් පැහැර ගණිමින් හොර කමින් ජීවත් වෙති. පිඟුවන් ඇස් ඇති, තඹවන් දැළිරැවුල් ඇති එක් මිනිහෙක් ඒ හොරුන් වෙත ගොස්, “මමත් තමුසේලා හා එක් ව තමුසේලාගේ කණ්ඩායමට බැඳී දිවි ගෙවන්නට කැමැත්තෙමි, තමුසේලා ඒ ගැන සතුටු දැ” යි ඇසී ය. එවිට ඔවුහු, ඒ මිනිහා සොරදෙටු ළඟට ගෙණ ගොස්, “මේ මිනිහාත් අප ලඟ නැවැතී අප හා එක් ව අප කරණ වැඩ කරමින් ජීවත් වන්නට ඇවිත් සිටී” යි දැන් වූහ. සොරදෙටු තෙමේ ඔහු දෙස බලා, “හැබෑ යකෙක්, අම්මගේ තනය කඩා කෑමටත් තාත්තාගේ බෙල්ල කඩා ලේ බීමටත් හපනෙක්, මූ ඉතා දරුණු” යි සිතා “මූට අප හා එකතු වීමෙන් වැඩෙක් නැතැ” යි කීයේ ය.
එහෙත් ඒ මිනිහා එතැනින් නො ගොස් එතැන ම නැවැතී සොරදෙටුගේ මෙහෙකරුවකු සතුටු කර ගත්තේ ය. මූ කෙරෙහි සතුටු වූ සොරදෙටු මෙහෙකරු තෙමේ තඹදැළිරැවුල් ඇති මිනිහාත් කැටුව සොර දෙටුගේ ලඟට ගොස්, “මහත්මයානෙනි! මේ මිනිහා වැඩට හොඳ ය, කම්මැලියෙක් නො වේ, අපට හිතවත් ය, ඒ නිසා මූ නතර කර ගෙණ සැලකිල්ලක් කරණු මැනැවැ” යි කියා සොරදෙටු සතුටු කොට ඔහුට භාර කෙළේ ය.
හොරුන්ගේ ගම් පැහැරීමෙන් වෙහෙසට පත් ගම්වැස්සෝ රජයේ ආරක්‍ෂක නිලධරයන් හා කැටුව ගොස් මේ හොරුන් අල්ලා මාච්චු ලා උසාවියට ගෙණ ආහ. නඩු විභාග කළ විනිශ්වය කාරයෝ, උන්, වරද කරුවන් කොට හිස ගසා දමා මරන්නට තීන්දු කළහ. එහෙත් උන් හිස සිඳ මරනට කෙනෙක් එහි නො වූහ. එවිට නිලධරයෙක් සොරදෙටු වෙතට ලං ව, “තට මුන් හිස සිඳ මරන්නට හැකි නම්, රජයෙන් නිදහස තට ලබා දීමට අපි පොරොන්දු වෙමු” යි දැන් වී ය. සොරදෙටු තෙමේ එයට සතුටු නො වී ය. ඉන් පසු නිලධරයෝ එක් එක් හොරා වෙත ගොස් රහසේ කණට කොඳුරා මේ වග කියූහ. එහෙත් හොරුන් අතර වූ එකෙකුත් මෙයට සතුටු නො වී ය. නැවත තඹ දැළියාට ද මෙය රහසේ කීහ. ඔහු එය පිළිගෙණ රජයේ නියමය පරිදි ඒ සියල්ලන් මරා රජයෙන් ලත් නිදහස ඇති ව ඒ පිණිස තෑගි ද ලබා ගත්තේ ය.
ආරක්‍ෂක භටයෝ, නුවර දකුණු දෙසෙහි ද මෙලෙසින් ම ගම් පැහැරූ හොරු කණ්ඩායමක් අල්ලා නඩු අසා වරදකරුවන් කොට ඔවුන් ද මූ ලවා ම මරවා තෑගි දුන්හ. ඉක්බිති රාජ පුරුෂයෝ මූ කළ දස්කම් බලා “රජයෙහි චෝරඝාතක තනතුර මූට දිය යුතු ය” යි තීරණය කොට ඒ තනතුර හා තනතුරට අයත් තාන්න මාන්න ද දුන්න. ඉන් පසු ඔහු පැසුළු උතුරු දෙ දිසාවෙන් අල්ලා ගෙණ ආ හොරුන් ද බර ගණනක් පළමු ලෙසින් මරා දැමී ය. ගම් පහරමින් රටවැසියන් පෙළූ හොරුන් දහස් ගණන් මරා දැමූ ඔහු වරින් වර දවසට එකක් දෙන්නකු බැගින් ගෙණෙන හොරුන් ද මරමින් අවුරුදු පනස් වසක් ම ඒ තනතුර උසුලා සිටියේ ය. කල් යත් ම මහලු බවට පත් වූයේ තරුණ කාලයෙහි මෙන් එක පහරින් ම එකකු මැරීමෙහි අපොහොසත් විය. මිනිසුන් මැරීමෙහි දී එකාට දෙතුන් වර පහර දීමෙන් මිනිසුන් වෙහෙසට පත් කරන්නේ ය.
නුවර වැස්සෝ “දැන් මෙතෙමේ මේ තනතුරෙහි වැඩ කිරීමෙහි අපොහොසත් ය, මොහුගේ ශරීරයෙහි දුර්‍වලකම තදින් පෙනේ, මිනිසකු මැරීමට දෙතුන් වර පහර දීමෙන් මිනිසුන් වෙහෙසට පත් කරයි, එහෙයින් මේ තනතුරට අන් එකකු පත් කරන්නැ” යි කියා සිටියාහ. එයින් ඔහු ඒ තනතුරින් පහ කළහ. හොරුන් මරණකාලයෙහි මොහුට අළුත් රෙදිකඩක් ඉණ ලන්නට, කිරි පැණි ටිකක් කන්නට, කැඳ ටිකක් බොන්නට, විනෝද ගමනක් යන්නට, නෑයන් හා සතුටු වන්නට, ඉඩකඩක් නො ලැබින. එහෙයින් ඔහු තනතුරින් අස් වූ දවසෙහි ම “කිරිකැඳ ටිකක් උයන්නැ” යි ගෙදර අයට නියම කළේ ය. ගෙදර අය ඔහුගේ නියමය ලෙසට කිරිකැඳ පිසූහ. ඔහු කඩපිලට ගොස් අළුත් රෙදිකඩක් ගෙණ හැඳ, මල්පොකුරක් අතට ගෙණ, සුවඳ දිය ඇඟ ඉස ගෙණ අවුත්, ගෙට වැදී හුන්නේ ය. එවිට ගෙයි වැස්සෝ කැඳ, බඳුනෙක වත් කොට ගෙණැවිත්, ඔහු ඉදිරියෙහි තබා, අතකට සේදීමට දිය ද ගෙණැවිත් තැබූහ.
ඒ වේලෙහි ශාරීපුත්‍ර මහාස්ථවිරයන් වහන්සේ සමාධියෙන් නැගී “අද මා කොතැනක යා යුතු දැ” යි තමන් වහන්සේ පිඬු සිඟා යන මගතොට බලා වදාළ සේක. මෙසේ බලා තඹදැළි ගෙදර පිසු කැඳ දැක, “ඒ පුරුෂ තෙමේ එයින් මට සඞ්ග්‍රහයක් කරන්නේ දැ” යි බැලූහ. එවිට උන්වහන්සේට “මා දැක මේ තෙමේ මට සංග්‍රහ කරන්නේ ය, එයින් ඔහු මහත් සැපතක් ලබන්නේ ය” යි පෙනී ගියේ ය. එකල්හි උන්වහන්සේ සිවුර ගැටවටු කොට පොරොවා පාත්‍රය ගෙණ තඹ දැළිගෙය බලා වැඩි සේක. ගෙයි වැස්සන්ට නො පෙනෙන සේ ගෙය ඉදිරියෙහි වැඩ සිටි සේක. තඹදැළි තෙමේ තෙරුන් දැක පහන් සිත් ඇති ව, “මම බොහෝ කලක් ම චොර ඝාතක කර්‍මය කෙළෙමි, මිනිසුන් බර ගණනක් මැරීමි, අද මෙහි ගිතෙල් බහා පිසූ කැඳක් තිබේ, සැරියුත් හාමුදුරුවෝත් පිඬු සිඟා ඇවිත් සිටිති, අද වත් උන්වහන්සේට කැඳ ටිකක් පිළිගන්වමි” යි තමන් ඉදිරියෙහි තුබු කැඳ බඳුන පැත්තක තබ්බවා තෙරුන් වෙත ගොස් වැඳ, ගෙට වැඩමවා ගෙණ වඩා හිඳුවා, පාත්‍රයට කැඳ හා ගිතෙල් පිළිගන්වා පවන් සලමින් සිටියේ ය. එහෙත් මෙයට කලින් කවදා වත් මෙබඳු කැඳක් බොන්නට නො ලැබුනු මොහුට කැඳ බීමෙහි ඕනෑකම ඒ වේලෙ හිද තදින් තුබුනේ ය. ස්ථවිරයන් වහන්සේ ඔහුගේ ඒ ඕනෑකම දැන, “උපාසක උන්නැහේ! තමුසේත් ගොස් කැඳ ටිකක් බීලා එවු” යි කීහ. එවිට ඔහු තමන් අත තුබූ තල්වැට අනෙකකුට දී ගොස්, කැඳ බීවේ ය. ස්ථවිරයන් වහන්සේත් “උපාසක තැනට ම පවන් සලව” යි පවන් සලන්නා ද එ තැනින් පිටත් කළහ. ඔහු ගොස් තඹ දැළියාට පවන් සැලී ය. තඹිදැලි බඩ පුරා කැඳ බී අවුත් නැවැතත් වටාපත ගෙණ තෙරුන්ට පවන් සලන්නට පටන් ගත්තේ ය. ස්ථවිරයන් වහන්සේ ද කැඳ වළඳා අවසන් කළහ. එවිට ඔහු ස්ථවිරයන් වහන්සේගේ පාත්‍රය ගත්තේ ය. ස්ථවිරයන් වහන්සේ අනුමෙවෙනි බණ වදාළ සේක. එහෙත් ඔහුට තම සිත, එයට නතු කරන්නට නො හැකි වි ය.
ස්ථවිරයන් වහන්සේ, “උපාසක! මා කියන බණ සිතට නො ගන්නහු කුමක් නිසා දැ” යි ඇසූ විට, “අනේ! ස්වාමීනි! මා බොහෝ කලක් ම කරන ලද්දේ රෞද්‍ර කර්‍මයෙකි, මිනිසුන් බොහෝ ගණනක් මැරීමි, ඒවා සිහිවන විට බිය උපදී, පසු තැවිල්ල බලවත් ය, ඒ නිසා බණ සිතට ගන්නට නො හැක්කෙමි” යි කීයේ ය. එවිට ස්ථවිරයන් වහන්සේ “උපායයක් කරමි” යි සිතා “මොක ද ඒවා උපාසක තැනට ඕනෑ නිසා කරණ ලද්දේ ද, නැත, අනුන් කී නිසා කරණ ලද දැ” යි ඇසූ විට, “ස්වාමීනි! ඒවා කරණ ලද්දේ මාගේ ඕනෑකමට නො වේ, රාජ නියෝගය නිසා මම ඒවා කෙළෙමි” යි කී ය. එකල ස්ථවිරයන් වහන්සේ “උපාසක! එය තමුසේට අකුශලයෙක් වේ දැ” යි ඇසූහ. මෝඩ උපාසක තෙමේ තෙරුන් වහන්සේ මේ විචාරීමෙන් තමන්ට පවෙක් නැතැ යි සිතා “ස්වාමීනි! එසේ නම් බණ වදාරනු මැනැවැ” යි කීයේ ය. ස්ථවිරයන් වහන්සේ බණ වදාළ සේක. එයින් උපාසකයාගේ සිත එකඟ වි ය. බණ අසන්නේ ම සෝතාපත්තිමග්ගඤාණයට පෙරටු ව ලැබෙන අනුලෝමඥානය ලබා ගත්තේ ය. එයට පසුත් බණ වදාරා ස්ථවිරයන් වහන්සේ විහාරයට වැඩි සේක. උපාසක තෙමේ තෙරුන් පස්සේ ගොස් පෙරළා එන්නේ ගවදෙනක වෙස් ගත් යකින්නක විසින් ඇණ මරණ ලද්දේ තුසී පුරයෙහි උපන්නේ ය.
එයින් දවස් කිහිපයකට පසු ධර්‍මශාලාවට රැස් වූ භික්‍ෂූන් වහන්සේලා “චෝරඝාතකයා පණස් පස් අවුරුද්දක් මිනී මරා එයින් අස් වූ දා ම සැරියුත් හාමුදුරුවන්ට පිණ්ඩපාතය දී, පිණ්ඩපාතය දුන් දා ම කලුරිය කළේ ය, එහෙයින් මොහු කොයිබ උපන්නේ දැ” යි කතා කළහ. බුදුරජානන් වහන්සේ ධර්‍මශාලාවට වැඩ භික්‍ෂූන් විචාරා කතා කළ කරුණ අසා, “මහණෙනි! තම්බ දාඨිකයා තුසීපුර උපනැ” යි වදාළ සේක. එවිට භික්ෂූහු “ස්වාමීනි අවසර, කුමක් වදාරන සේක්? මෙතෙක් කල්, අවුරුදු පනස් පහක් ම මිනිසුන් මරමින් ජීවත් වූ මේ මිනිහා දෙව්ලොව උපන්නේ දැ” යි නැවැත ඇසූහ. “ඔව්! මැරෙණ වේලෙහි ඔහුට බලගතු කලණ මිතුරෙක් මුණ ගැසුනේ ය, සැරියුත්, ඔහු සැරියුත් තැනගේ බණ අසා අනුලෝමඥානය ලබා මැරී ගොස් තුසිත දෙව්ලොව උපනැ” යි වදාරා,
“සුභාසිතං සුණිත්‍වාන නගරෙ චොරඝාතකො,
අනුලොමඛන්තිං ලද්ධාන මොදතී තිදිවං ගතො”
මේ ගාථාව වදාළ සේක. චෝරඝාතක තෙමේ බුදුදහම අසා අනුලෝමක්‍ෂාන්තිය ලබා දෙව්ලොවට ගියේ සතුටු වේ, යනු එහි තේරුම ය.
බුදුරජානන් වහන්සේ මෙසේ වදාළ කල්හි භික්‍ෂූන් වහන්සේලා “ස්වාමීනි! අනුමෙවෙනි බණ එතරම් ලොකු එකක් නො වේ, ඔහු කළ පව් එයට වඩා ඉතා ම බලගතු ය, ලොකු ය, එබඳු බලගතු පවක් කළ මෙතෙමේ එබඳු විශේෂයක් කෙසේ ඉපද වූයේ දැ” යි ඇසූහ. “මහණෙනි! තමුසේලා කුමක් කියන්නහු? මා දෙසා ඇති බණෙහි ලොකු ය, කුඩා ය, ටික ය, හුඟය, යි වෙනසක් නො කරවු, ප්‍රමාණයක් නො දක්වවු, එක් වචනයක් නමුත් මහත් අර්‍ත්‍ථයෙන් යුක්ත නම්, එම ශ්‍රේෂ්ඨ ය” යි වදාරා අනුසන්‍ධි ගළපා මේ ධර්‍මදේශනාව කළ සේක:
සහස්සම්පි චෙ වාචා අනත්‍ථපදසංහිතා,
එකං අත්‍ථපදං සෙය්‍යො යං සුත්‍වා උපසම්මතීති.
අරුත් රහිත පදයෙන් යුත් වචන දහසක් නමුත් (උතුම් නො වේ.) යම් වචනයක් ඇසීමෙන් සන්සිඳීමෙක් වේ ද, අර්‍ත්‍ථවත් (ඒ) එක් පදය උතුම් වේ.
සහස්සම්පි චෙ වාචා = වචන දහසක් නමුත් (උතුම් නො වේ.)
සහස්සං යනු, පරිච්ඡේදවචන යි. ‘දස දසකං = සතං, දස සතං = සහස්සං’ දස, දසකයක් සියයෙකි. සියය දසයක් දහසෙකි.
අපි යනු, නිපාත යි. එයින් කියනුයේ දහසින් අඩු වුවත් දහසින් වැඩි වුවත් වැඩෙක් නැත යනු යි.
‘අපි දිබ්බේසු කාමේසු රතිං සො නාධිගච්ඡති තණහක්ඛය රතො හොති සම්මාසම්බුද්ධසාවකො’ යන මෙහි අපි ශබ්දය සම්භාවනාවෙහි වැටේ. ‘අම්හාකම්පි පණ්ඩිතකා’ යන මෙහි ගර්‍භාවෙහි එයි. ‘අයම්පි ධම්මො අනියතො’ යන මෙහි අපේක්‍ෂා වෙහි ය. ‘ඉතිපි අරහං’ යන මෙහි සමුච්චෙයෙහි ය. ‘අපි භන්තෙ භික්ඛං ලභෙථ’ යන මෙහි ප්‍රශ්නයෙහි ය. ‘අපිධානං’ යන මෙහි සංවරණයෙහි ය. මෙහි සමුච්චයෙහි ආයේ ය. එහෙයින් දහසින් අඩුගණන් ද, දහසින් වැඩි ගණන් ද ගැණේ.
චෙ යනු, නිපාත යි. ‘මං චෙ ත්‍වං නිඛණං වනෙ’ යන මෙහි සිටි චෙ යන්න, යදි යන නිපාතයාගේ අර්‍ත්‍ථය කියයි. ‘නිට්ඨිත චීවරස්මිං පන භික්ඛුනා උබ්භතස්මිං කඨිනෙ එකරත්තම්පි චෙ භික්ඛු තිචීවරෙන විප්පවසෙය්‍ය අඤ්ඤත්‍ර භික්ඛුසම්මුතියා නිස්සගගියං පාචිත්තියං’ යන මෙහි සංශයෙහි වැටේ. මෙහි යදි යන නිපාතයාගේ අර්‍ත්‍ථය කිය යි. ‘වුච්චතෙති = වාචා’ කියනු ලබන්න වාචා නම්.
අනත්‍ථපදසංහිතා = අරුත් නැති පදයෙන් යුත් වැඩක් නැති.
වාචා යන්නට විශේෂණ යි. ‘අනත්‍ථපදසංහිතා ආකාසවණ්ණනා පබ්බතවණ්ණනා වනවණ්ණනාදීනි පකාසකෙහි අනීය්‍යානදීපකෙහි අනත්‍ථකෙහි පදෙහි සංහිතා’ යනු අටුවා ය. ආකාශ - පර්‍වත - වන - ග්‍රාම - නගර - ජනපද - සාගර- චන්‍ද්‍රෝදය - සුර්‍ය්‍යෝදය - උද්‍යාන - සලිලක්‍රීඩා - මධුපාන - සම්භෝගාදී වූ අර්‍ත්‍ථශුන්‍ය, විමුක්තියට හිත නො වූ අරුත් පවසන, එලොව මෙලොව දෙකට වැඩ නැති පදයන්ගෙන් යුක්ත වචනයෝ. ‘අනත්‍ථසංහිතාති රාජකථාදි තිරච්ඡානකථා නිස්සිතා’ රාජ -කථාදි තිරශ්චීන කථාවන් ඇසුරු කළ වචන; අනත්‍ථපදසංහිත නම්. රාජ - චෝර - මහාමත්ත - සෙනා - භය - යුද්ධ - අන්න - පාන - වත්‍ථ - සයන - මාලා - ගන්‍ධ - ඤාති - යාන - ගාම - නිගම - නගර - ජනපද - ඉත්‍ථි - සූර - විසිඛා - කුම්භට්ඨාන - පුබ්බපේත - නානත්ත - ලෝක - සමුද්ද - ඉතිභවාභව කථා දෙතිස මෙලොව පරලොව හිතයට සරස් වන බැවින් අකුල් වන බැවින් අනත්‍ථපදසංහිත නම් වේ.
මහාසම්මත - මන්‍ධාතු - ධම්මාසෝකාදි රජවරු මෙසේ මෙසේ ආනුභාව ඇත්තාහ, යනාදීන් රජුන් ගැන කරණ කතා ය රාජ කථා. සොරුන් පිළිබඳ කතා ය චෝරකථා. සෙස්ස ද මෙසේ ය. අසුවල් රජ තෙමේ මනා රූ ඇත්තේ ය, දැකුම්කලු ය, ඈ ලෙසින් කෙරෙණ ගෙහසිතකථාව ම තිරච්ඡානකථා නම් වේ. කර්‍මස්ථාන භාවනාවෙහි සිට, අසුවල් රජ තෙමේ මහානුභාව ඇත්තේ ද, විනාශයට ගියේ ය, යි ඈ ලෙසින් කෙරෙණ කතාව තිරච්ඡානකථා නො වේ. ‘අනත්‍ථසංහිතාති න ඉධ ලොකත්‍ථ වා පරලොකත්‍ථං ව නිස්සිතා’ මෙලොව දියුණුව හා පරලොව දියුණුව ඇසුරු නො කළ වචන, අනත්‍ථපදසංහිත, යි මෙයින් කියන ලද ය. ආකාශවර්‍ණනාදිය හා රාජකථාදිය ඇසුරු කළ වචන මෙලොව පරලොව දෙක්හි දියුණු ව නසා ලන්නේ ය.
එකං අත්‍ථපදං සෙය්‍යො = අර්‍ත්‍ථවත් එක්පදය උතුම් වේ. වැඩ ඇති එක්පදය උතුම් ය.
අර්‍ත්‍ථයෙන් යුක්තපදය, අර්‍ත්‍ථවත් පදය අර්‍ත්‍ථපද නම්. අර්‍ත්‍ථයට තැන් වූ අර්‍ත්‍ථනිශ්ශ්‍රිත වූ පද අර්‍ත්‍ථපද නමැ යි ගත වරද නැත.
‘අත්‍ථසාධකං නිබ්බානපටිසඤ්ඤූත්තං, ඛන්‍ධධාතුආයතනඉන්‍ද්‍රියබලබොජඣංගසතිපට්ඨාන පරිදීපකං’ යන මෙයින් නිවන හා හැනී සිටි ස්කන්‍ධ - ධාතු - ආයතන - ඉන්‍ද්‍රිය - බල - බොද්ධ්‍යඞ්ග - සතිපට්ඨානයන් පිළිබඳ අරුත් පවසන පද, අර්‍ත්‍ථපද නම් වේ යයි පැවසේ. මෙහි අර්‍ත්‍ථ යි ගැණෙන්නේ මේ කියූ අර්‍ත්‍ථසමූහය යි. ශබ්දයන්ගේ නැගීම වන්නේ අරුත් ඇසුරු කරගෙණ ය. ශබ්ද ඇසුරු කර ගෙණ අරුත් පවසනුයේ පද නම්. ‘අත්‍ථජ්ජොතකාවණ්ණා පදං’ යනු ශාබ්දිකවචන යි. ශබ්දයන්ගේ පැවැත්මට ස්ථාන වූ අර්‍ත්‍ථයෝ නන් වැදෑරුම් වෙති. එහෙත් මෙහි ලා ගැණෙන්නෝ සත්ත්‍වසන්තානයෙහි පහළවන රාග - ද්වේෂ - මෝහාදී වූ ක්ලේශධර්‍මයන් සන්සිඳුවා සත්ත්‍වයන් නො මැරෙණ බවට පත් කරණ සදාකාලික සුඛයට පමුණු වන අර්‍ත්‍ථයෝ ය. ඔවුහු නම්, නිවන හා හැනී සිටි ස්කන්‍ධාදී අර්‍ත්‍ථයෝ ය. රාගාදි ක්ලේශයන් ගේ සන්සිඳීම ස්කන්‍ධාදීන්ගේ අරුත් දැනීමෙන් ම මුත් අන් ලෙසකින් නො වන බැවින් මේ කියූ අර්‍ත්‍ථවත්පදය ම ශ්‍රේෂ්ඨ ය. උත්තම ය. එය වදාළෝ සෙය්‍යො, යනු යෙදීමෙනි.
සත්ත්‍වයන්ගේ සිත්හි පහළ වන හැම ක්ලේශයක්හුගේ සන්සිඳීමට ස්කන්‍ධාදී වූ අර්‍ත්‍ථවත් පදය ම කරුණු බැවින්, ධර්‍මධරදේශක තෙමේ ස්වකීයධර්‍මකථාව ආකාශවර්‍ණනාදී වර්‍ණනාවන්ගෙන් හා රාජකථාදි තිරශ්වීන කථාවන්ගෙන් නො ද සරසන්නේ ය. ආකාශවර්‍ණනාදිය නො කියන්නේ ය. රාජකථාදිය නො කරන්නේ ය. ස්කන්‍ධකථා කියන්නේ ය. ධාතුකථාව කරන්නේ ය. ආයතන බෙදා කියන්නේ ය. දහම් දැනීමෙන් තොර වූ වාචාළ වූ නූගත් දේශකයා ම අසන්නන්ගේ සිත්හි රාගාදි කෙලෙස් උපද වන්නේ ය. රාගාදි කෙලෙස් පහළ වන සැටියෙන්, බණැ යි යමක් කියන්නේ ය. අසන්නන්ට සිනහ උපද වන්නේ ය. නන් දොඩවන්නේ ය. මෙබඳු අව්‍යක්ත දේශක තෙමේ දෙවියන් සහිත ලෝකය අපායයට ඇද ලන්නේය. සසර දුක දිග් ගස්සන්නේ ය. තෙමේත් අපායයෙහි හෙන්නේ ය.
යං සුත්‍වා උපසම්මති = යම් වචනයක් අසා සන්සිඳේ ද.
යං යන, මෙයින් මතු ව එන්නේ පූර්‍වොක්ත අර්‍ත්‍ථපදය යි. ‘යම් වචනයක් අසා සන්සිඳේ ද, එබඳු අර්‍ත්‍ථවත් එක්පදය ද උතුම් වේ’ යි ‘එකං අත්‍ථපදං සෙය්‍යො’ යනු හා සම්බන්‍ධ කොට අරුත් ගත යුතු ය.
සන්සිඳේ යනු සඳහා ‘ සම්මති’ යනු ප්‍රමාණවත් වූයේ ද, ‘ උප’ යන්නකින් එය දැඩි කරණ ලද්දේ ක්ලේශයන්ගේ සන්සිඳීම නැවැත නො උපදින ලෙසින් ම සන්සිඳේ ය, යනු දැක්වීමට ය. තථාගත ධර්‍ම ශ්‍රවණයෙන් එසේ වන්නේ ය යනු දැක්වීමට අමුතු කතා දැක්විය යුතු නො වේ. නිවන් දුටු අපරිමිත සත්ත්‍වගණය ම එයට සාධක ය.
උප යනු, උපසර්‍ගයකි. එය ‘උපනගරං’ යන තැන සමීපයෙහි ය. ‘බුද්ධුපට්ඨාකො’ යන තැන පූජායෙහි ය. ‘උපමානං’ යන තැන සමානභාවයෙහි ය. ‘පරං උපවදති’ යන තැන දොස් කීමෙහි ය. ‘සග්ග ලොකං උප්පජ්ජති’ යන තැන උත්පත්තියෙහි ය. ‘උපසම්මති’ යන තැන භෘශාර්‍ත්‍ථයෙහි ය. ‘ නිසින්නං වා උපනිසීදෙය්‍ය’ යන තැන එළැඹීමෙහි ය. ‘උපඛාරියං දොණො’ යන තැන වැඩිබවෙහි ය. ‘උපකාරො’ යන තැන පෙරකම්හි ය. ‘සොචෙය්‍යපච්චුපට්ඨානං’ යන තැන වැටහෙන ආකාරයෙහි ය. ‘උපසම්පන්නො’ යන තැන උපරිභාවයෙහි ය. ‘උපවාසො’ යන තැන අහර නො ගැනීමෙහි ය. ‘උපධා, උපසග්ගො’ යන තැන සංඥායෙහි ය. ‘උපපත්තිතො ඉක්ඛති’ යන තැන යුක්තියෙහි ය.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියාහු ය.
තම්බදාඨිකචොරඝාතක වස්තුව නිමි.