අනික්කසාවො කාසාවං යො වත්‍ථං පරිදහෙස්සති
අපෙතො දමසච්චෙන න සො කාසාවමරහති.
රාගාදි කෙලෙස්කසට සහිත වූ ඉන්‍ද්‍රියදමනයෙන් ද වාක් සත්‍යයෙන් ද තොර වූ යමෙක් කසාවත් හඳනේ පොරෝනේ වේ ද, ඒ පුද්ගලයා කසාවත් දැරීමට සුදුසු නො වෙයි.
යො ච වන්තකසාවස්ස සීලෙසු සුසමාහිතො
උපෙතො දමසච්චෙන ස වෙ කාසාවමරහති.
යම් ආර්‍ය පුද්ගලයෙක් වමාරා ලු කෙලෙස් කසට ඇත්තේ වන්නේ ද. සිවු පිරිසිදු සිල්හි මොනොවට පිහිටියේ වේ ද, ඉන්ද්රියදමනයෙන් හා වාක්සත්‍යයෙන් හා යුක්ත ද, හෙ තෙම කසාවත් දැරීමට ඒකාන්තයෙන් සුදුසු වෙයි.
එක් කලෙක අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම තමන් වහන්සේලාගේ පන්සියය පන්සියය තරම් වූ ශිෂ්‍ය සමූහයාත් කැටු ව බුදුරජානන් වහන්සේගෙන් අවසර ලබා දෙව්රම් මහ වෙහරින් නික්ම රජගහානුවරට වැඩියෝ ය. රජගහානුවර වැස්සෝ උන්වහන්සේලාට දෙතුන් දෙනාත් හතර පස් දෙනාත් බොහෝ දෙනාත් එකතු ව ආගන්තුක දන් පිළිගැන් වූහ. මහ රහත් සැරියුත් මහතෙරුන් වහන්සේ දිනෙක දන් වලඳා අනුමෙවෙනි බණ වදාරණ සේක්, “උපාසකයෙනි! යමෙක් අනුන් සමාදන් නො කරවා තෙමේ ම තනි ව දන් දේ ද, හෙ තෙමේ උපනුපන් අත්බැව්වල දී භෝගසම්පත්තිය ලබයි, පරිවාරසම්පත්තිය නො ලබයි, යමෙක් අනුන් සමාදන් කරවා අනුන් ලවා දන් දෙවා තෙමේ දන් නො දේ ද, ඔහු උපනුපන් අත්බැව්වල දී පරිවාරසම්පත්තිය ලබයි, භෝගසම්පත්තිය නො ලබයි, යමෙක් තෙමේත් දන් නො දේ ද, අන්‍යයාත් සමාදන් නො කරවා ද ඔහු උපනුපන් අත්බැව්වල දී බඩ පුරා කැඳිත්තකුත් නො ලබයි, උපනුපන් හැම තන්හි ම අසරණයෙක්, අනාථයෙක් වෙයි, යමෙක් තෙමේත් දන් දේ ද, අනුන් ලවාත් දන් දෙවා ද, ඔහු උපනුපන් අත් බැව්වල දී සිය ගණන් දහස් ගණන් ලක්‍ෂ ගණන් අත්බැව්වල දී භෝගසම්පත්තිය හා පරිවාර සම්පත්තිය ලබා” යි වදාළ සේක.
ඒ බණ ඇසූ එක් නුවණැති මිනිසෙක් “මහතුනි! හාමුදුරුවන් වහන්සේ වදාළ බණ නම් ඉතා යහපත් ය, එහෙයින් මම මේ දෙ වැදෑරුම් සම්පත් ලබා දෙන පින් කමක් කරන්නට අදහස් කෙළෙමි” යි එහි සිටියවුන්ට දන්වා, “ස්වාමීනි! හෙටට මාගේ දානය පිළිගණු මැනැවැ” යි මහතෙරුන්ට ආරාධනා කෙළේ ය. උන්වහන්සේලා “උපාසකය! ඒ පිණිස තමුසේට උන්නාන්සේලා කෙතෙක් වුවමනා දැ” යි ඇසූ විට, “ඔබවහන්සේලා දෙනමගේ භික්‍ෂු පිරිස කොපමණ දැ?” යි ඇසී ය. “අප දෙනමගේ පිරිස දහසක් පමණ ය” යි දැන් වූ විට “මට ඒ හැම දෙනා වහන්සේ ම වුවමනා ය, හැම දෙනා වහන්සේ සමග වඩින්නැ” යි උපාසක තෙමේ කී ය. උන්වහන්සේලා එය ඉවසූහ. ඉන්පසු උපාසක තෙමේ ගෙයක් ගානේ කඩපිළක් ගානේ යමින්, අම්මේ! තාත්තේ ! අය්යේ! මල්ලී! අක්කේ! නංගී! යන ඈලෙසින් ඒ ඒ අයගේ තරාතිරමින් කතා කොට, තමන්, හෙට දනට දහසක් දෙනා වහන්සේ ට ආරාධනා කළ බව කියා, “මේ හැම දෙනා මාගේ දානයට තම තමන්ට හැකි පමණින් උපකාර කරන්ට ඕනෑ ය. මේ උදවිය කෙතෙක් දෙනා වහසේට දන් පිළියෙල කරන්නෝ ද? කියන්න, තමුසේලා කෙතෙක් දෙනා වහන්සේ ට දන් පිළියෙල කරන්නහු දැ?” යි හැම දෙනාගෙන් ඇසී ය. පළාත් වැසි හැම ගෑණු පිරිමි කෙනෙක් ම “අපි දස නමකට, අපි විසි නමකට, අපි සියක් නමකට දන් පිළියෙල කරන්නෙමු” යි තම තමන්ගේ ඇති වත් පොහොසත්කම් අනු ව කියා සිටියහ. “එසේ නම් දනට වුවමනා උපකරණ එක් තැනක රැස් කොට තබා, කවුරුත් එකතු ව දන් උයමු” යි කියා “තමුසේ තල, තමුසේ සහල්, අය්යා ගිතෙල්, අක්කා මී පැණි, නංගී කිරි, මල්ලී උක්හකුරු ගෙණ එන්නැ” යි මේ ලෙසින් ඒ ඒ අයට නියම කොට, උපාසක තෙමේ දානය පිණිස සූදානම් විය. උපාසකයා නියම කළ ලෙසට හැම කෙනෙක් ම තල - සහල් - ගිතෙල් - මීපැණි - කිරි - උක්හකුරු - එලවුළු - කැවිලි - පෙවිලි - පලතුරු ආදිය ගෙණ ආහ. උපාසක තෙමේ ඒ සියල්ල එක් තැනක තැබ්බ වී ය.
එක් පවුල්කාරයෙක් තමන් ලඟ තුබූ ලක්‍ෂයක් තරම් වටිනා සුවඳ කැවූ සියුම් කසටවතක් ගෙනැවිත් දී “මේ වස්ත්‍රය විකොට ඉන් ලැබෙන මුදලින් මහත්මයාගේ දනට යමක් අඩු නම්, ඒවා ගෙන්වා ගන්න, දානෝපකරණ සම්පූර්‍ණ නම් මහත්මයා කැමැති හාමුදුරුනමකට පූජාකරන්නැ යි කීයේ ය. දානයට වුවමනා සියලු බඩුමුට්ටු සම්පුර්‍ණව තුබූ බැවින්, උපාසක තෙමේ දානයට සම්බන්ධ ව සිටි හැම කෙනකුන් රැස් කරවා, “පින්වත්නි! එක් දනවත් මහත්මයෙක් මේ වටිනා රෙද්ද ගෙණැවිත් දී දානයට යමක් අඩු නම්, මෙය විකුණා ලැබෙන මුදලින් ඒ අඩු පාඩු පිරිමසා ගන්නැ යි මට කියා ගියේ ය, එහෙත් දනට වුවමනා හැම දෙයක් තිබේ, එයට කිසිවක් අඩු නෑ නො වේ ද, ඒ නිසා මෙය අපි හාමුදුරු නමකට දෙමු, දෙන්නමෝ කවරකුට දැ?” යි රැස් ව සිටි මිනිසුන්ගෙන් ඇසී ය. ඒ පිරිසෙහි සමහර කෙනෙක් “එය සැරියුත් හාමුදුරුවන්ට දෙමු” යි කීහ. සමහර කෙනෙක් නැගිට “එහෙ ම දෙන්නට බැහැ, සැරියුත් හාමුදුරුවන්ට අප මතක් වන්නේ ගොයම් පැසෙන අවදියට ය, ගොයම් පැසෙනු බලා හිඳ ඒ කාලයට මෙහි ඇවිත් යති, අපට ඒ හාමුදුරුවන්ගෙන් වැඩි වැඩක් නැත, දේවදත්ත හාමුදුරුවෝ එසේ නො වෙති, ඒ ස්වාමීන් වහන්සේ අපගේ මගුල් අවමගුල් තොවිල් පවිල් ආදී වූ හැම එකේදී ම අපට උපකාර වෙති, එසේ ම ලෙඩට දුකට පිහිට වන්නෝත් ඒ ස්වාමීන් වහන්සේ ය, ඒ ස්වාමීන් වහන්සේ අපට බොහෝ උපකාර ය, දියපිරූ මහහැළියක් සේ නිතර පිහිට ය, ඒ නිසා මේ රෙද්ද ඒ හාමුදුරුවන්ට දෙමු” යි කිහ.
මෙසේ පිරිස ද පසට බෙදුනු විට උපාසක තෙමේ වැඩි දෙනාගේ කැමැත්ත විමසී ය. එහි දී “දේවදත්ත හාමුදුරුවන්ට දිය යුතු ය” යි කියන්නෝ ම බොහෝ වූහ. එ හෙයින් වැඩි දෙනාගේ කැමැත්ත ලෙසින් ඒ රෙද්ද දේවදත්ත ස්ථවිරයන් වහන්සේට දුන්නේ ය. දේවදත්ත ස්ථවිර තෙමේ එය ගෙණ ගොස් සිවුරක් කොට හොඳට මසා හැඳ පොරවා ගෙණ රෑ දාවල් දෙක්හි මිනිසුන්ට පෙනෙන සේ ඒ ඒ තැනැ ඇවිදින්නට පටන්ගත්තේ ය. ඒ දුටු ගෑණු පිරිමි “මොක ද මේ සෙල්ලම, මෙහෙ ම වැඩෙක් තිබේ ද, මහණ උන්නාන්සේලා රෑ දාවල නො තකා නො සිතා හිතුමනාපයට කඩපිළක් ගානේ හන්දියක් ගානේ මිනිසුන් හැසිරෙන තැන්වල ගමන් කෙරෙත් ද, අය්යෝ! මේ සිවුර මේ තැනට නුසුදුසු ය, මෙය මොහුට දුන්නේ උමතුවෙන් ද, මෙය සුදුසු මහාගුණවත් අගසවු සැරියුත් හාමුදුරුවන්ට ය, මෙ තරම් වටිනා සිවුරක් පෙරවිය යුත්තෝ සැරියුත් හාමුදුරුවන් වහන්සේ වැනි මහාගුණවත්හු ය, දෙව්දත් හාමුදුරුවෝ පස්සට කොහො ම වූවත්, දැන් නම් එතරම් උසස් ගුණවතෙක් නො වෙති, මෙය දෙව්දත් හාමුදුරුවන්ට ගැළපෙන්නේ නැත, ඒ හාමුදුරුවන්ට නො තේරුනාට නුවණැතියන්ට නම්, දෙව්දත් තෙරුන්ගේ මේ සිවුර පෙරවීම මහාවිහිලුවක් ය, හොඳ එකක් හොඳ තැනක තැබිය යුතු නො වේ ද, හොද එකක් නරක තැනක තැබූ විට එහි ඇති අගය කුමක් ද, ආනිසංසය කුමක් දැ” යි තැනැ තැනැ රැස් ව කතා කරන්නට වූහ. මේ නිසා මිනිසුන් අතර මහත් නො සංසුන්කමෙක් හටගැණුනේ ය.
මෙ දවස දිසාවැසි එක් භික්‍ෂු නමක් රජගහානුවරින් පැවැත් නුවරට ගොස් බුදුරජුන් දැක වඳින්නට දෙව්රම් මහවෙහෙරට ගියේ ය. එහි ගොස් වැඳ සිටි කල බුදුරජානන් වහන්සේ ඔහුගෙන් පළමු කොට සුව දුක් විචාරා නැවැත අග්‍රශ්‍රාවකයන් වහන්සේලාගේ සැප දුක් කෙසේ දැ? යි ඇසූහ. එවිට මේ භික්‍ෂු තෙමේ දෙව්දත් තෙරුන් තමන්ට නුසුදුසු සිවුරක් හැඳ පොරවා ගෙණ තැනැ තැනැ ගමන් බිමන් කරණ බවත්, මහජනයාට එය අප්‍රියබවත්, එහෙයින් මිනිසුන් අතර නො සංසුන්බවක් හටගෙණ ඇති බවත් දන්වා සිටියේ ය. එ කල්හි බුදුරජානන් වහන්සේ “මහණෙනි! දේවදත්ත තෙමේ තමහට නුසුදුසු සිවුරු දරණුයේ අද විතරක් නො වේ, පෙරත් තමාට නුසුදුසු වස්ත්‍ර හැඳ පොරවා සිටියෙකැ” යි වදාරා භික්‍ෂුන් වහන්සේලාගේ ඉල්ලීම පරිදි ඒ පුවත, මෙසේ හෙලි කළ සේක :-
පෙර බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජකු රජය කරණ කල්හි එ නුවර ඇතුන් මරන්නෙක් වාසය කළේ ය, ඔහු ඇතුන් මරමින් උන්ගේ දත් නියපොතු කටු අතුනු මස් සම් ගෙණවුත් විකුණා ජීවිකාව කරයි, එදා එහි එක් වනයෙක් දහස් ගණන් ඇතුන්ගෙන් පිරී පැවැත්තේ ය, එහි ගොදුරු සොයා ඔබමොබ හැසිරෙන ඇත්තු එහි ම විවේකයෙන් වැඩ හිඳිනා පසේ බුදු කෙනකු දැක එතැනින් යනෙනාකල දනින් වැටී වැඳ යති, දිනක් මේ ඇතුන් මරන්නා ඇතුන්ගේ දනින් වැටී කරණ ඒ ක්‍රියාව දැක “මම මෙතෙක් දවස් ඇතුන් මරන්නේ ඉතා අමාරුවෙන් අපහසුයෙන් මරා ගතිමි, එහාමෙහා යන එන මොවුහු පසේබුදු කෙනෙකුන් දැක වඳිති, එසේ කරන්නෝ කුමක් නිසා දැ” යි සිතන්නේ ‘පසේබුදුන් පෙරැවූ සිවුර දැක වඳිත් ය’ යි සලකා ‘මම ද සිවුරක් සොයා ගෙණ පොරවා ගණිමි’ යි සිතා විලක් ලඟට ගියේ ය, ඒ විලෙහි පසේබුදු කෙනකුන් වහන්සේ සිවුරු ගලවා ඉවුරෙහි තබා දියනානු දැක විල්ඉවුරෙහි තිබුනු උන්වහන්සේ ඒ සිවුරු දැක ඉන් එකක් සොරා ඇරගෙණ ගොස් ඇතුන් යන එන මග සැතක් ගෙණ හිසෙහි පටන් සිවුර ලාගෙණ හිඳින්නට වන, ඇත්තු වෙනදා මෙන් එතැනින් යන්නෝ ඔලුවේ සිට සිවුර ලාගෙණ හුන් හතිඝාතකයා දැක. ‘පසේබුදු කෙනකැ’ යි යන අදහසින් දනින් බිම වැටී වැඳ යත්, හසතිඝාතකයා ද ඇත් රැළෙහි පසුව යන ඇතු සැතින් ඇණ මරා දත් නියපොතු ආදිය ගෙණ ඉතුරු හරිය වළැ දමා යයි.
මතු එන දවස බුදුවන්නට පෙරුම් පුරණ අප මහාබෝධිසත්වයන් වහන්සේ ඇතුන් කෙරෙහි ඉපිද වැඩිවිය පැමිණ මේ ඇත් රැළට එකතු ව එහි නායක ඇතා විය, ඇතුන් මරන්නා ද මෙසේ සිවුරක් කරැ ලාගෙණ ඇතුන් මරන්නට වූයේ ද මේ කාලයෙහි ය, කල් යත් යත් සිය පිරිසෙහි පිරිහීම දුටු ඇත්රජ තෙමේ ‘මේ පිරිහීමට යම් කිසි හේතුවක් තිබිය යුතු ය’ යි සිතන්නට වන, එසේ සිතත්, සිවුරු කරැ ලා හුන් ඒ හස්තිඝාතකයා වහා සිහියට නැංගේ ය, ඉක්බිති ඇත්රජ තෙමේ ඔහු ගැණ සිතා සැක කොට සියලු ඇතුන් ඉදිරියෙහි යවා, තෙමේ උන් පසු පස ගියේ ය, එදින ද ඔහු වෙන දා මෙන් ඇතුන් තමන්ට වැඳ ඉදිරියට ගිය කල්හි සිවුර හකුළා පැත්තක තබා එක් රියන් හමාරක් තරම් දිග ඇති සැතින් පසුව ගිය ඇත්රජුට දමා ගැසී ය, ඇත් තෙමේ පස්සට පැන සැත් පහර වළකා මෙතෙක් ඇතුන් මැරූයේ මූ ය’ යි දැන අල්වා ගන්නට නැවැත ඉදිරියට පැන්නේ ය, ඇතුන් මරන්නා ගසකට මුවා විය, එවිට මූ ගසත් සමග අල්ලාගෙණ බිම් ගසන්නෙමි’ යි සිතූ ඇත් තෙමේ එ වෙලෙහි ඌ දික් කළ සිවුර දැක සැලුනේ ‘මූට මම කිපුනෙම් නම්, දහස් ගණන් බුදු පසේබුදු මහරහතුන් ගැණ නො සලකා හැරියෙක් වෙමි’ යි උපන් ක්‍රෝධ වේගය ඉවසා ‘තට නො සුදුසු, පහව ගිය කෙලෙස් ඇත්තවුනට සුදුසු සිවුරක් හැඳ පොරොවා තා විසින් මෙ කරණ ලද්දේ බලගතු පාපයෙකැ’ යි කියා “අනික්කසාවො කාසාවං -පෙ- ස වෙ කාසාවමරහති” යනු ද දක්වා නැවැතත් නිග්‍රහ කොට අත්හැර ගියේ ය’ යි.
ඉක්බිති බුදුරජානන් වහන්සේ මේ නිසා මේ දවස ද මේ දේශනාව ගෙණ හැර දක්වා, “එ දවස හතිඝාතකයා වූයේ මේ දේවදත්ත තෙමේ ය, ඇත්රජ වූයේ මම මැ” යි ජාතකය ගළපා “මහණෙනි! මේ දේවදත්ත තෙමේ තමහට නො සුදුසු වස්ත්‍ර දරණු යේ මෙ දවස පමණක් නො වේ, පෙරත් මෙසේ ඔහු තමන්ට නො සුදුසු වස්ත්‍ර දැරූයේ ය” යි මේ ගාථාවන් දේශනා කළ සේක:-
අනික්කසාවො කාසාවං යො වත්‍ථං පරිදහෙස්සති,
අපෙතො දමසච්චෙන න සො කාසාවමරහති.
.
යො ච වන්තකසාවස්ස සීලෙසු සුසමාහිතො,
උපෙතො දමසච්චෙන ස වෙ කාසාවමරහතීති.
කෙලෙස් කසට සහිත වූ ඉන්ද්‍රියදමනයෙන් හා වාක්සත්‍යයෙන් පහ වූ යමෙක් තෙමේ කසාවතක් දරන්නේ වේ ද, ඔහු කසාවත් දැරීමට සුදුසු නො වේ.
යමෙක් වනාහි වැමෑරූ කෙලෙස් කසට ඇත්තේ වේ ද, සීලයන්හි මොනවට පිහිටියේ වේ ද, ඉන්ද්රියදමනයෙන් හා වාක් සත්‍යයෙන් යුක්තවූයේ වේ ද, ඔහු ඒකාන්තයෙන් කසාවත් දැරීමට සුදුසු වේ.
අනික්කසාවො = කෙලෙස් කසට සහිත වූ. පහ නො කළ කෙලෙස් කසට ඇති.
යො, යන්න වෙසෙසා සිටියේ ය. සත්‍වසන්තානය යම්කිසි ධර්‍මයකින් කිලිටි වේ ද, ඒ ක්ලේශ නමි. “චිත්තං කිලිස්සති උපතප්පති බාධීයති වා එතෙහීති = කිලෙසා” යි කීයේ එහෙයිනි. සූත්‍රාභිධර්‍මපිටක වශයෙන් ක්ලේශයෝ දස දෙනෙකි. ඒ ප්‍රධාන විසිනි. සිත කෙලසන හැම ධර්‍මයක් ම, හැම ගතියක් ම ක්ලේශ නමැ යි ගත යුතු ය. එහෙයින් සිත කෙලසන ධර්‍මයන්ගෙන් නො තොර වූයේ, කෙලෙස් පහ නො කෙළේ ‘අනික්කසාව’ නම.
ලොභ - දොස - මොහ - මාන - දිට්ඨි - විචිකිච්ඡා - ථීන - මිද්ධ - අහිරික - අනොත්තප්ප යන මොවුහු ය දස කිලෙස්.
එහි ලොභ නම්, රූප - ශබ්ද - ගන්ධ - රස - ස්ප්‍රෂ්ටව්‍ය යන අරමුණුවල ඇලීමට කරුණු වන ධර්‍මය යි. සිතෙහි ලොහය නො යෙදුනේ නම්, සිත අරමුණුවල නො ඇලෙන්නේ ය. සිත අරමුණු වල ඇලෙනුයේ ලෝභය ඇතිවිට ම ය. එය අරමුණෙහි සිත ඇලවීම ලකුණු කොට සිටියේ ය. “සො ආරම්මණෙ අභිස්සඞ්ග ලක්ඛණො” යි කීයේ එබැවිනි.
වඳුරන් මරන්නකු වඳුරන් මරන්නට ලෑල්ලක ලාටු ගා, වඳුරන් යන එන තැනක තැබූ විට, එහි පැමිණියා වූ වඳුරෙක් ‘ඒ කිමැ’ යි පිරික්සන්නට එහි අත තබන්නේ ය. එවිට ඌගේ ඒ අත එහි ඇලෙන්නේ ය. එය බේරා ගන්නට සිතා අනික් අත තබන්නේය. එ ද ඇලුනු විට, ඌ දෑත බේරා ගන්නට එක් පයක් එහි තබන්නේ ය. එ ද ඇලී ගිය විට, දැත හා පය හා ගලවා ගන්නට සිතා, දෙවන පාදය ද තබන්නේ ය. එ ද එහි ඇලී ගියේ ය. මෙසේ දැතත් දෙපයත් ඇලී ගිය පසු වඳුරා, අත් පා සතර ගලවා ගන්නට එහි මුහුණ ද තබා උත්සාහ කරන්නේ ය. දැන් වදුරා පස් තැනකින් එහි ඇලී සිටියේ ය. එවිට වඳුරුවැද්දා පැමිණ එහි ලෑලිකඩෙහි ලූ ලාටුවෙහි ඇලී හුන් වඳුරා මරා ගෙණ යන්නේ ය. එ පරිද්දෙන් සත්වයා ලෝභය කරණ කොට රූප-ශබ්ද-ගන්ධ-රස-ස්ප්‍රෂ්ටව්‍ය යන කාමවස්තුන්හි ඇස-කණ-නාසය-දිව-ශරීරය යන පස් තැනින් ඇලී බැඳී තද බද ව ගොස් මාරයාගේ අතට හසු ව සිවු අපායයෙහි වැටී නැසී යන්නේ ය. මෙසේ හෙයින් ලෝභය වඳුරු ලාටුවක් බඳු ය. ප්‍රාණඝාතාදී වූ හැම පාපකර්‍මයක් කිරීමට සත්වයනට ලෝභය අනුබල දෙන්නේ ය. මෙය කාමාවචරාදි ධර්‍මයන් කරුණු කොට නැගී සිටි කල්හි ‘කාමරාග’ යි ද, රූපාවචර ධර්‍මයන් කරුණු කොට පවත්නා විට ‘රූපරාග’ යි ද, අරූපාවචර ධර්‍මයන් කරුණු කොට පවත්නා විට ‘අරූපරාග’ යි ද, යි කියනු ලැබේ. තෘෂ්ණා-ආශ්‍රව- ඔඝ-යෝග-ග්‍රන්ථ-උපාදාන-නීවරණ-අනුසය-සංයෝජන යන නම්වලින් ද ඒ ඒ අවස්ථානුරූප ව මේ හඳුන්වනු ලැබේ.
දොස නම්, රූපාදී වූ අරමුණු නිසා සිතෙහි පහළ වන චණ්ඩ ස්වභාවය යි. අරමුණු නිසා සිතෙහි ඇති වන දූෂිතභාවය යි. එය අරමුණෙහි සැඬබව ලකුණු කොට සිටියේ ය. “සො ආරම්මණෙ චණ්ඩික්කලක්ඛණො” යි කීයේ එබැවිනි. ගස් සිදුරක වසන නයකු වැනි ය මේ සැඬබව. ගස් සිදුරක් තුළට වැද වසන නයකුට දඬු මුගුරු කැට කැබලිති ආදී වූ යමකින් පහර දුන් විට, එයින් බැහැරට ආ සර්‍ප තෙමේ ක්‍රෝධයෙන් තද ව ගියේ එහි සිටියවුන්ට පහර දෙන්නේ ය. එයින් ඔවුහු ජීවිත විනාශයට පවා පැමිණෙති. එ මෙන් මේ සැඬගතිය, දේවෂය යමකු තුළ පිහිටියේ නම්, ඔහුගේ ජීවිතය පවා එයින් විනාශ වී යන්නේ ය. එසේ ම යකඩයෙහි උපන් යකඩයෙහි නැගි මලය, එම යකඩය විනාශ කරන්නා සේ, දූෂිත සිත් ඇති තැනැත්තේ, සිතේ ඒ දූෂිතභාවය නිසා විනාශයට පැමිණෙන්නේ ය. ප්‍රාණඝාතාදි අකුශලකර්‍මයනට මුල් වේ මේ ද්වේෂය. මේ නිසා සත්ව තෙමේ සිවු අපායයෙහි හෙන්නේ ය.
මොහ නම්, සත්වයන් ඒ ඒ අරමුණුවල මුළාබවට පත් කරන්නේ ය. අරමුණුතතු වසා ලන්නා ය මෝහය. එය අරමුණුවල ඇති නියම තත්වය ඇති සැටිය වසාලීම ලකුණු කොට සිටියේ ය. “සො ආරම්මණසභාවච්ඡාදනලක්ඛණො” යන මෙයින් එහි ලක්‍ෂණ කියා පෑයේ ය. සිවුරඟින් යුත් මහ අඳුරෙක සිටින්නකුට කිසි දෙයක් ඇසට නො පෙණෙන්නේ යම්සේ ද, එ මෙන් ‘මේ යුතු ය, මේ අයුතු ය, මේ වරද ය, මේ නිවරද ය, මේ කුසල ය, මේ අකුසල ය’ යි මෝහයෙන් මුළාවූවහුට නො පෙණෙන්නේ ය. යුක්තායුක්ති විචාරණයෙහි මෝහය නිසා සත්ව තෙමේ අසමර්‍ත්‍ථ වේ. මෙය චතුරඞ්ගයෙන් යුත් අන්ධකාරයක් වැනි ය. එය සම්බුදුරජානන් වහන්සේ ඉතා කොටින් වදාළ සැටි මෙන්න:-
“දුක්ඛෙ අඤ්ඤාණං” දුකෙහි තතු නො දැනීම, “දුක්ඛ සමුදයෙ අඤ්ඤාණං” දුක් හටගැනීමේ හේතුව නො දැනීම, “දුක්ඛනිරොධෙ අඤ්ඤාණං” දුක් නිරුද්ධ කිරීමය යි කියන නිවන නො දැනීම, “දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අඤ්ඤාණං” දුක් නිරුද්ධ කිරීම පිණිස පිළිපැදිය යුතු වත පිළිවෙත නො දැනීම, “පුබ්බන්තෙ අඤ්ඤාණං” පෙර විසූ කඳපිළිවෙළ නො දැනීම, “අපරන්තෙ අඤ්ඤාණං” අනාගතයෙහි වැළඳිය යුතු කඳ පිළිවෙළ ගැණ නො දැනීම, “පුබ්බන්තාපරන්තෙ අඤ්ඤාණං” පෙර-මතු වැළඳිය යුතු කඳපිළිවෙළ නො දැනීම, “ඉදපච්චයතා පටිච්චසමුප්පන්නෙසු අඤ්ඤාණං” පටිච්චසමුප්පාදය නො දැනීම. මෙය ඉදිරියෙහි විස්තර විසින් එන්නේ ය.
මෝහය තෙමේ අකුශලපක්‍ෂයට පැමිණ ප්‍රඥාව මෙන් ක්‍රියා කරයි. මෝහය මිත්‍ථ්‍යාඥානය යි කියනු ලබන්නේ එහෙයිනි. මේ හේතු කොට සත්ව තෙමේ මරණින් මතු සිවු අපායයෙහි වැටී පමණ නො කොට හැකි කලක් බලගතු දුක් විඳින්නේ ය.
මාන නම්, ‘මම ම මෙ ලොව ශ්‍රේෂඨ වෙමි, මට වඩා, ශ්‍රේෂ්ඨයෙක් ලොව නැත’ යනාදී වූ ලෙසින් තමා උසස් කොට සැලකීම ය. එය උඩඟුබව ලකුණු කොට සිටියේ ය. “සො උන්නතිලක්ඛණො” යි කීයේ එහෙයිනි. එය විස්තර විසින් ආයේ මෙසේ ය:-
තමන් පිළිබඳ සිතෙහි උපදනා සිතෙහි නගිනා යම් උඩඟු බවෙක් වේ නම්, ඒ වශයෙන් මානය එක් වැදෑරුම් වේ. “එක විධෙන මානො යා චිත්තස්ස උන්තති” යි.
අනුනට වඩා මෙහි තමන් හැම අතකින් උසස් ය යි උපදනා හැඟීම, අන්‍යයා තමනට වඩා හැම අතකින් පහත් ය යි උපදනා හැඟීම, යන අත්තුක්කංසන-පරවම්භන විසින් මානය දෙ වැදෑරුම් වේ. “දුවිධෙන මානො, අත්තුක්කංසන මානො, පරවම්භන මානො” යි.
‘මම ශ්‍රේෂඨ වෙමි’ යි ශ්‍රේෂ්ඨයාගේ සැලකීම, ‘මම සමානයෙක්මියි අන්‍යයා හා සමානයාගේ සැලකීම, ‘මම හීනයෙක් මි’ යි හීනයාගේ සැලකීම යන සෙය්‍යමාන-සදිසමාන-හීනමාන විසින් තෙ වැදෑරුම් වේ. “තිවිධෙන මානො, සෙය්‍යො හමස්මීති මානො, සදිසො හමස්මීති මානො, හීනො හමස්මීති මානො” යි. මේ ම යථාවමාන-අයථාවමාන විසින් ද දෙ පරිදි වේ.
ලාභය නිසා, යසස නිසා, ප්‍රශංසාව නිසා, සැපය නිසා සිත්හි උපදනා මාන විසින් සිවු වැදෑරුම් වේ. “ චතුබ්බිධෙන මානො, ලාභෙන මානං ජනෙති, යසෙන මානං ජනෙති, පසංසාය මානං ජනෙති, සුඛෙන මානං ජනෙති” යි.
‘මම මන වඩන රූප, මන වඩන ශබ්ද, මන වඩන ගඳ, මන වඩන රස, මන වඩන ස්ප්‍රෂ්ටව්‍යයන් ලබන සුලු වෙමි’ යි යන මේ විසින් පස් වැදෑරුම් වේ. “පඤ්චවිධෙන මානො ලාභීම්හි මනාපිකානං රූපානන්ති මානං ජනෙති, ලාභීම්හි මනාපිකානං රූපානන්ති මානං ජනෙති, ලාභීම්හි මනාපිකානං සද්දානන්ති මානං ජනෙති, ලාභීම්හි මනාපිකානං ගන්‍ධානන්ති මානං ජනෙති, ලාභීම්හි මනාපිකානං රසානන්ති මානං ජනෙති, ලාභීම්හි මනාපිකානං ඵොට්ඨබ්බානන්ති මානං ජනෙති” යි.
චක්ඛුසම්පත්තිය නිසා, සෝතසම්පත්තිය නිසා, ඝාණසම්පත්තිය නිසා, ජීහ්වාසම්පත්තිය නිසා, කායසම්පත්තිය නිසා, මනෝසම්පත්තිය නිසා උපදනා මාන විසින් ස වැදෑරුම් ය. “ඡබ්බිධෙන මානො, චක්ඛුසම්පදාය, සොතසම්පදාය, ඝාණසම්පදාය, ජිහ්වාසම්පදාය, කායසම්පදාය, මනොසම්පදාය, මානං ජනෙති” යි.
සිතෙහි උපදනා සිතෙහි නගිනා උඩඟු හැඟීම්, ‘ජාති කුල ගෝත්‍ර වශයෙන් මා තරම් උසස් කෙනෙක් නැතැ’ යි අන්‍යයා පහත් කොට අභිභවනය කොට සැලකීම, ‘මෙ තෙමේ පෙර මා වැනි ය, මම දැන් ශ්‍රේෂඨ වෙමි, මොහු වනාහි ඉතා පහත් ය’ යි සැලකීම, ‘තෝ වනාහි ජාති ඇත්තෙහි ය, ඒ ජාතිය කාක ජාතිය වැනි ය, තෝ වනාහි ගෝත්‍ර ඇත්තෙහි ය, ඒ ගෝත්‍රය චණ්ඩාලගෝත්‍රය වැනි ය. තට කටහඬෙක් ඇත්තේ ය, එය කවුඩු හඬක් වැනි ය’ යි මෙසේ තමන්ට කියා ගන්නා, තමන් යට කොට පවත්නා සැලකීම, සිවුසස්දහම් නො දැන ‘දැන ගතිමි’ යි අදහස් ඇත්තන්ගේ, සිවුසස්දහම් අවබෝධ නො කොට අවබෝධ කළ අදහස් ඇත්තන්ගේ, සිවුමගින් කළයුතු කටයුතු නො කොට සිවුමගින් කළයුතු කටයුතු කළ අදහස් ඇත්තන්ගේ, රහත්බව ප්‍රත්‍යක්‍ෂ නො කොට ප්‍රත්‍යක්‍ෂ කළ අදහස් ඇත්තන්ගේ, සිත්හි උපදනා සැලකීම, ‘රූපය මම වෙමි’ යි මේ ඈ ලෙසින් පංචස්කන්ධය නිසා උපදනා හැඟීම, ලාමක වූ කර්‍මායතන - ශිල්පායතන - විද්‍යායතන - ශ්‍රැත - ප්‍රතිභා - ශීලව්‍රත යන මොවුන් නිසා ලාමක දෘෂ්ටිය නිසා උපදනා හැඟීම, යන මොවුන්ගේ වශයෙන් සත්වැදෑරුම් වේ. “සත්තවිධෙන මානො, මානො-අතිමානො-මානාතිමානො-ඔමානො-අධිමානො-අස්මිමානො-මිච්ඡාමානො” යි. මාන, අතිමාන, මානාතිමාන, ඔමාන, අධිමාන, අස්මිමාන, මිච්ඡාමාන යනු ය ඒ සත් වැදෑරුම් මාන.
එහි කෙවුල් වැදි ආදීන් විසින් සත්වඝාතනය පිණිස, සතුන් නැසීම පිණිස කරණ කර්‍ම, ලාමකකර්‍මායතන නම්. දැල් දැමීම්, කුමිණ බැහීම්, මළපුඩු ඇටවීම්, උල් සිටුවීම් ආදියෙහි දක්‍ෂභාවය, ලාමකශිල්පායතන නම්. අනුන් නැසීම පිණිස කරණ විද්‍යා ය. ලාමක විද්‍යායතන නම්. භාරතයුද්ධ, සීතාහරණාදිය ගැබ් කොට ගත් කතා ඇසීම ය, ලාමකශ්‍රැත නම්. දුර්‍භාෂිත යුක්තකාව්‍ය නාටකාදිය පිළිබඳ වැටහීම ය, ලාමකප්‍රතිභා නම්. ගොසීල, අජසීල, ගොව්‍රත, අජව්‍රත ආදි ය, ලාමකශීලව්‍රත නම්. දෙ සැටක් මිසදිටු අතුරෙහි යම් කිසි මිස දිටුවක් ය, ලාමක දෘෂ්ටි නම්,
ලාභය නිසා උපදනා මානය, අලාභය නිසා උපදනා ඔමානය, යසස නිසා උපදනා මානය, අයස නිසා උපදනා ඔමානය, ප්‍රශංසාව නිසා උපදනා මානය, නින්දාව නිසා උපදනා ඔමානය, සැපය නිසා උපදනා මානය, දුක නිසා උපදනා ඔමාන ය යි මේ විසින් අට වැදෑරුම් වේ. “අට්ඨවිධෙන මානො, ලාභෙන මානං, අලාභෙන ඔමානං, යසෙන මානං, අයසෙන ඔමානං, පසංසාය මානං, නින්දාය ඔමානං, සුඛෙන මානං, දුක්ඛෙන ඔමානං ජනෙති “යි.
‘ශ්‍රේෂ්ඨයාහට ශ්‍රේෂ්ඨ වෙමි, ශ්‍රේෂ්ඨයාහට සමාන වෙමි, ශ්‍රේෂ්ටයාහට හීන වෙමි’ යි උපදනා තෙ වැදෑරුම් මානය, සමානයාහට ශ්‍රේෂ්ඨ වෙමි, සමානයාහට සමාන වෙමි, සමානයාහට හීන වෙමි” යි උපදනා තෙ වැදෑරුම් මානය, හීනයාහට ශ්‍රේෂ්ඨ වෙමි, හීනයාහට සමාන වෙමි, හීනයාහට හීන වෙමි’ යි උපදනා තෙ වැදෑරුම් මානය, යි මේ විසින් නව වැදෑරුම් වේ. “නවවිධෙන මානො, සෙය්‍යස්ස සෙය්‍යො හමස්මීති, සෙය්‍යස්ස සදිසො හමස්මීති, සෙය්‍යස්ස හීනො හමස්මීති, සදිසස්ස සෙය්‍යා හමස්මීති, සදිසස්ස සදිසො හමස්මීති, සදිසස්ස හීනො හමස්මීති, හිනස්ස සෙය්‍යො හමස්මීති, හිනස්ස සදිසො හමස්මීති, හීනස්ස හීනො හමස්මීති මානො” යි.
එහි ‘ශ්‍රේෂ්ඨයාහට ශ්‍රේෂඨ වෙමි’ යි මානය උපදනේ රජුන්ට හා පැවිද්දන්ට ය. රජු, රාෂ්ට්‍රයෙන් ධනයෙන් වාහනයෙන් ‘මට වඩා ශ්‍රේෂ්ඨයෙක් කොතැන වේ දැ’ යි මානය උපදවන අතර, පැවිද්දා සීලධුතඞ්ගාගාදිගුණයෙන් ‘මට වඩා ශ්‍රේෂ්ඨයෙක් කොතැන වේ දැ’ යි මානය උපදවයි. ‘ශ්‍රේෂ්ඨයාහට සමාන වෙමි’ යි උපදනා මානය ද උපදිනුයේ මේ දෙ දෙනාහට ම ය. රජු, රටින් ධනයෙන් වාහනයෙන් අන් රජුන් හා මාගේ වෙනස්කම කුමක් ද’ යි මානය කරණ අතර, පැවිද්දා ‘සිලධුතඞ්ගාදියෙන් අන්‍ය භික්‍ෂූන් හා මාගේ වෙනස් කම කුමක් දැ’ යි මානය කරයි. ‘ශ්‍රේෂ්ඨයාහට හීන වෙමි’ යි උපදනා මානයත් මේ දෙදෙනාහට ම උපදී. යම්කිසි රජකුගේ රට හෝ ධනවාහනාදිය වැඩියක් සමෘද්ධිමත් නො වූව ද ‘මම රජ වෙමි’ යි මානය උපදවයි. පැවිද්දා ස්වල්ප වූ ලාභ සත්කාර ඇත්තේ නමුත්, ‘මම ධර්‍මකථිකයෙක්මි, මම බහුශ්‍රැතයෙක්මි, මම මහාසථවිර වෙමි’ යි මානය කරයි.
‘සමානයාහට ශ්‍රේෂ්ඨ වෙමි, සමානයාහට සමාන වෙමි, සමානයාහට හීන වෙමි ‘ යි උපදනා මානය උපදනේ ඇමැති ආදීන්ට ය. ‘රටවැස්සන්ගෙන් හෝ භෝග යාන වාහන ආදියෙන් හෝ මා සමාන අන් රජ ඇමැතියෙක් නැත්තේයැ’ යි සිතීමෙන්, ‘අන් ඇමැතියන් හා මාගේ වෙනස කිමැ” යි. සිතීමෙන්, මට ඉඳුල් පමණකුත් නැත්තේ ය, එහෙත් මම රජ ඇමැති වෙමි’ යි සිතීමෙන් මේ උපදනේ ය.
‘හීනයාහට ශ්‍රේෂ්ඨ වෙමි, හීනයාහට සමාන වෙමි, හීනයාහට හීන වෙමි’ යි උපදනා මාන තුණ දාසාදීන්ට උපදී. ‘මවු පසින් හෝ පියපසින් මා හා සම අන් දාසයෙක් කොතැන වේ ද?, අන්හු ජීවත්වන්නට මගක් නොමැති ව උදරහේතුවෙන් දාස වූවෝ ය, මම ප්‍රවෙණියෙන් ආ බැවින් ශ්‍රේෂ්ඨ වෙමි’ යි සිතීමෙන්, ප්‍රවෙණියෙන් ආ මවු පිය දෙපසින් පිරිසිදු වූ අසුවල් දාසයා හා මාගේ වෙනස කිමැ’ යි සිතීමෙන්, ‘ උදරහේතුයෙන් මම දාසයෙක් වීමි, මාගේ මවු පියන් පිළිබඳ දාසභාවයෙක් නැත, කිම, මම දාසයෙක් වෙම් දැ’ යි සිතීමෙන් මේ උපදනේ ය.
මෙහි ‘ශ්‍රේෂ්ඨයාහට, ශ්‍රේෂ්ඨ වෙමි’ යි උපදනා මානය යථාවමාන නමි. ශ්‍රේෂ්ඨයාහට උපදනා සදිසමානය හා හීනමානය අයථාවමාන නමි. සමානයාහට උපදනා සදිසමානය හා හීනයාහට උපදනා හීනමානය ද යථාවමාන නමි. අන් මානයෝ අයථාවමාන නම් වෙත්. එහි යථාවමානයෝ. අර්‍හන්මාර්‍ගඥානයෙන් නැසිය යුතු ය. අයථාවමානයෝ ස්‍රෝතාපත්තිමාර්‍ගඥානයෙන් නැසිය යුතු ය.
ජාති ගෝත්‍ර කුලපුත්‍රභාවය නිසා, වර්‍ණසෞන්දර්‍ය්‍යය නිසා, ධනය නිසා. ඉගෙණීම නිසා, කර්‍මායතන නිසා, ශිල්පායතන නිසා, විද්‍යාවන් නිසා, බහුශ්‍රැතභාවය නිසා, ප්‍රතිභානය නිසා අන්‍යතර අන්‍යතරවස්තූන් නිසා උපදනේ මානය දස වැදෑරුම් වේ. “දස විධෙන මානො, ඉධෙකච්චො මානං ජනෙති ජාතියා වා ගොත්තෙන වා කොලපුත්තියෙන වා වණ්ණපොක්ඛරතාය වා ධනෙන වා අජ්ඣයනෙන වා කම්මායතනෙන වා සිප්පායතනෙන වා විජ්ජාඨානෙන වා සුතෙන වා පටිභානෙන වා අඤ්ඤතරඤ්ඤතරෙන වා වත්‍ථූනා” යි.
දිට්ඨි නම් ඒ ඒ දොරටු මගින් සිතට වදනා අරමුණු වරදවා දක්වන ශක්තිමාත්‍රය යි. ඕ වැරදිදැකීම ලකුණු කොට සිටියා ය. “සා මිච්ඡාපි ලක්ඛණා” යි කීයේ එබැවිනි. යම් ධර්‍මශක්තියකින් සත්ව තෙමේ ලෝකයෙහි නියම තත්වය පසෙක දමා විරුද්ධාර්‍ත්‍ථයක් ගණී ද, ‘ලෝකය දෙවියකු විසින් මවන ලද ය’ යන ඈ විසින් හේතු රහිත අදහස් ප්‍රකාශ කෙරේ ද, එයට අනුබල දුන් ඒ ස්වභාවය ය දිට්ඨි. කැටකැබලිති රන් රුවන් කොට දක්වන්නා සේ මේ දෘෂ්ටිය ඒ ඒ අරමුණුවල නියම තතු වසා දක්වයි. මෝ වනාහි සත්වයන්ට බලගතු වූ තද දුක් දෙන්නී ය. සසර දුකට මුල් වු ය. මෝ ප්‍රධාන විසින් නත්‍ථික-අහෙතුක-අකිරිය දිටඨි යි තුන් වැදෑරුම් වේ.
එහි නත්‍ථිකදිට්ඨි නම්, දුන් දනෙහි විපාක නැත, යාග වශයෙන් සත්කාර වශයෙන් කරණ ලද්දෙහි විපාක නැත, කුසල් අකුසල්හි විපාක නැත, මෙලොවෙක් නැත, පරලොවෙක් නැත, මවක් නැත, පියෙක් නැත, ඕපපාතික සත්වයෝ නැත. මෙලොව පරලොව දැන මොනවට පිළිපන් මහණ බමූණෝ නැතැ’ යි ගන්නා දිට්ඨිය ය. මෙන්න ඒ දිට්ඨිය පෙන් වූ සැටි: “නත්‍ථි දින්නං, නත්‍ථි යිට්ඨං, නත්‍ථි හුතං, නත්‍ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, නත්‍ථි අයං ලොකො, නත්‍ථි පරො ලොකො, නත්‍ථි මාතා, නත්‍ථි පිතා, නත්‍ථි සත්තා ඔපපාතිකා, නත්‍ථි ලොකෙ සමණබ්‍රාහමණා සම්මග්ගතා සම්මා පටිපන්නා, යෙ ඉමං ච ලොකං පරං ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්‍තා පවෙදෙන්තී” යි. මේ තොමෝ මෙසේ දශවස්තුවෙක පවත්නා බැවින් ‘දශවස්තුකමිත්‍ථ්‍යාදෘෂ්‍ටි’ යි කියනු ලැබේ.
අහෙතුකදිට්ඨි නම්, කාම-රූප-අරූප යන තුන් භවයන්හි වසන සත්වයන්ගේ සිත කෙලෙසීමට හේතුයෙක් නැත, හේතු ප්‍රත්‍යය රහිත ව සත්වයෝ කෙලෙසෙත්. සත්වයන්ගේ පිරිසිදු වීමට හේතුයෙක් නැත, හේතුප්‍රත්‍යය රහිත ව සත්වයෝ පිරිසිදු වෙත්. තමන් කළ කර්‍මයෙහි විපාක නැත, අනුන්ගේ අවවාදයෙහි පිහිටා කළ කර්‍මයෙහි විපාක නැත, තමන්ගේ පුරුෂවීර්‍ය්‍යයෙහි ඵලයෙක් නැත, බලයෙක් නැත, වීර්‍ය්‍යයයෙක් නැත, පුරුෂ පරාක්‍රමයෙක් නැත, සියලු සත්වයෝ, සියලු ප්‍රාණීහු, සියලු භූතයෝ සියලු ජීවයෝ අවසඟයෝ ය, බල නැත්තෝ ය, වීර්‍ය්‍යය නැත්තෝ ය, නියම පැවැතුම් ඇති බැවින් ස වැදෑරුම් අභිජාතීන් අතුරෙහි ඒ ඒ ගතිවලට පැමිණ සුව දුක් විඳිති’ යි ගන්නා දිට්ඨිය ය. මෙන්න එය දැක්වූ වූ සැටි:- “නත්‍ථි හෙතු නත්‍ථි පච්චයො සත්තානං සඞ්කිලෙසාය, අහෙතු අප්පච්චයා සත්තා සඞ්කිලිස්සති, නත්‍ථි හෙතු, නත්‍ථි පච්චයො සත්තානං විසුද්ධියා, අහෙතු අප්පච්චයා සත්තා විසුජ්ඣන්ති, නත්‍ථි අත්තකාරෙ නත්‍ථි පර කාරෙ නත්‍ථි පුරිසකාරෙ නත්‍ථි බලං නත්‍ථි විරියං නත්‍ථි පුරිසථාමො නත්‍ථි පුරිසපරක්කමො, සබ්බෙ සත්තා සබ්බෙ පාණා සබ්බෙ භූතා සබ්බෙ ජීවා අවසා අබලා අවිරියා නියතිසඞ්ගතිභාවපරිණතා, ඡස්සෙවාභිජාතිසු සුඛදුක්ඛං පටිසංවෙදෙන්ති” යි.
අකිරියදිට්ඨි නම්, කරන්නාහට, කරවන්නාහට, කපන්නාහට, කප්පවන්නාහට, පෙළන්නාහට, පීඩා කරවන්නාහට, ශෝක කරන්නාහට, ශෝක කරවන්නාහට, වෙහෙසෙන්නාහට, වෙහෙසවන්නාහට, කම්පිත වන්නාහට, කම්පිත කරවන්නාහට, ප්‍රාණඝාත කරන්නාහට, කරවන්නාහට, සොරකම් කරන්නාහට, කරවන්නාහට, ගෘහසන්ධි සිඳින්නාහට, කිසිවක් ඉතිරි නො කොට ගන්නාහට, එක් ගෙයක් වට කොට උවදුරු කරන්නාහට, උනුන් මරා බඩු පැහැර ගැණීමට මගැ සැඟවී සිටින්නාහට, පරඹුවන් කරා යන්නාහට, බොරු කියන්නාහට, පව් කරන්නාහට, පව් නැත්තේ ය, තවද යමෙක් ඛුර නම් ආයුධයෙන් සියලු සතුන්ට මරා එක් ම මස්ගොඩක් එක් ම මස්පිඩක් කරන්නේ ද, ඒ හේතුවෙන් පවෙක් නැත්තේ ය, පාපයාගේ පැමිණීමෙක් නැත්තේ ය, සත්වයන් හිංසා කරමින් කරවමින්, සිඳිමින් සින්දවමින්, පීඩා කරමින් කරවමින් ගඞ්ගානදියෙහි දකුණු තෙරට යන්නේ ද, ඒ හේතු කොට ද පාපයෙක් නැත්තේ ය, පාපයාගේ පැමිණීමෙක් නැත්තේ ය, දෙමින් දෙවමින්, යාග කරමින් කරවමින්, ගඞ්ගානදියෙහි උතුරු තෙරට යන්නේ ද නමුත්, ඒ හේතුයෙන් ද පිණෙක් නැත්තේ ය, පිණේ වැඩීමෙක් නැත්තේ ය, දීමෙන්, ඉඳුරන් දැමීමෙන්, උපොසථයෙන්, සීලයෙන්, සත්‍යවචනයෙන් පිණෙක් නැත්තේ ය, පිණේ වැඩීමෙක් නැත්තේ ය’ යි ගන්නා දිට්ඨිය ය. මෙන්න එය පොතෙහි ආ හැටි:- “කරොතො කාරයතො ඡින්‍දතො ඡෙදාපයතො පචතො පාචාපයතො සොච යතො සොචාපයතො කිලමතො කිලමාපයතො ඵන්‍දතො ඵන්දාපයතො පාණමතිපාතයතො අදින්නං ආදියතො සන්‍ධිං ඡින්‍දතො නිල්ලොපං හරතො එකාගාරිකං කරොතො පරිපන්‍ථෙ තිට්ඨතො පරදාරං ගච්ඡතො මුසා භණතො කරොතො න කරීයති පාපං-පෙ-උත්තරං චෙපි ගඞ්ගාය තීරං ගච්ඡෙය්‍ය දදන්තො දාපෙන්තො යජන්තො යජාපෙන්තො නත්‍ථි තතො නිදානං පුඤ්ඤං, නත්‍ථි පුඤ්ඤස්ස ආගමො, දානෙන දමෙන සංයමෙන සච්චවජ්ජෙන නත්‍ථි පුඤ්ඤං, නත්‍ථි. පුඤ්ඤස්ස ආගමො” යි.
මෝ මිථ්‍යාදෘෂ්ටිය, සිවු වැදෑරුම් කේවලශාස්වතදෘෂ්ටිය, සිවුවැදෑරුම් එකත්‍යශාස්වතදෘෂ්ටිය, සිවු වැදෑරුම් අන්තානන්තික දෘෂ්ටිය, සිවු වැදෑරුම් අමරාවික්‍ෂේපදෘෂ්ටිය, දෙ වැදෑරුම් අධීත්‍යසමුත්පන්නිකදෘෂ්ටිය, සොළොස් වැදෑරුම් සංඥීදෘෂ්ටිය, අට වැදෑරුම් නෙවසංඥීනාසඥීදෘෂ්ටිය, සත් වැදෑරුම් උච්ඡෙදදෘෂ්ටිය, පස් වැදෑරුම් දෘෂ්ටධර්‍මනිර්‍වාණවාදදෘෂ්ටිය යි දෙ සැටකට භේද වූ ය.
එහි ධ්‍යනසමාපත්තිබලයෙන් ලත් පෙර විසූ කඳපිළිවෙළ දක්නා නුවණින්, කපකින් මෙපිට, තමහට පෙණෙන පමණින් ජාතීන් සිහි කිරීමෙහි පොහොසත්වූවහුගේ, චිත්තචෛතසිකයන්ගේ ක්‍ෂණභඞ්ගය නො දැක්මෙන් යම්කිසි ස්කන්ධයක් ආත්මය යි සලකා ඒ ආත්මය හා ලෝකය, නිත්‍යය, සදාකාලික ය’ යි ගැණීම.
මේ ප්‍රථමාවස්ථාවට වඩා මෝරා ගිය පෙර විසූ කඳ පිළිවෙළ දක්නා නුවණින් දස කපකින් මෙ පිට මුත්, එ පිට සිහි කිරීමෙහි අපොහොසවූවහුගේ දස කපකින් මෙ පිට විසූ කඳ පිළිවෙළ දැක, ආත්මය හා ලෝකය, නිත්‍ය ය, සනාතන ය යි ගැණීම.
මේ ද්විතීයාවස්ථාවට වඩා තදබද වූ පෙර විසූ කඳපිළිවෙළ දක්නා නුවණින්, ධ්‍යානසමාපත්තියෙහි වැඩියක් ලත් වශීභාවය නිසා, සතළිස් කපකින් මෙ පිට විසූ ආත්මභාවයන් සිහිකොට, ආත්මය හා ලෝකය නො නැසී පවතී ය, යි ගැණිම,
සිවුවන කේවලශාස්වතදෘෂ්ටිය, දෘෂ්ටිගතිකයන්ගේ වශයෙන් සිවු වැදෑරුම් ය. අනුශ්‍රැතික-ජාතිස්මරණික-ලාභී-තාර්කික, යි.
එහි ‘එ දවස වෙසතුරු රජ වූයේ දැන් බුදුරජ තෙමේ නම්, ආත්මය සදාකාලික ය’ යි ගන්නේ අනුශ්‍රැතික ය. ජාතීන් සිහි කිරිමෙහි නුවණින්, අත්බැව් එකක් දෙකක් සිහි කොට ‘මම පෙර මෙ නම් වීමි, එහෙයින් ආත්මය සදාකාලික ය’ යි ගන්න් ජාතිස්මරණික ය. තමන් වෙත ගලා එන අධිකලාභ දැක, මම පෙරත් මෙසේ වීමි, මතුත් මෙසේ වන්නෙමි ‘ යි ආත්මය සදා කාලික කොට ගන්නේ ලාභී ය. ‘මෙසේ ඇතිවිට මෙසේ වේ, මෙසේ නැති විට මෙසේ නො වේ’ යි සිතන්නේ තාර්කික ය.
මේ කීයේ කේවලශාසවතදෘෂ්ටි සතර ය. සියල්ල ම සදාකාලිකය යි ගන්නී මේ දෘෂ්ටිය යි.
කප නැසී හට ගන්නා කල්හි, පහළ වන ශූන්‍ය වූ බ්‍රහ්ම විමානයෙහි, උඩ බඹතලයකින් ගිලි හී උපදනා සත්වයාහට, පසු කාලයෙහි තම පැතීම නිසා, එහි උපන් අනික් සත්වයන් ගැණ, “මම මහාබ්‍රහ්ම වෙමි, මාගේ ප්‍රාර්‍ත්‍ථනාව නිසා මොවුහු මෙහි උපන්නෝ ය, මම සියල්ලන්ට වඩා වෘද්ධ වෙමි, ලෝකය හා පෘථිවී-පර්‍වත-චන්ද්‍රසූර්‍ය්‍යයාදීන් මම මැවීමි, මොවුහු මවන ලද්දෝ මා විසිනැ” යි සිතිවිල්ලෙක් උපදනේ ය. එහි පසු ව උපන් අනික් සත්වයෝ ද “අප මැවූයේ මේ මහාබ්‍රහ්ම තෙමේ ය” යි අදහා ගණිත්. මොවුන් අතුරෙහි යම් සත්වයෙක් ආයු ගෙවී යෑම් ආදී යම් කිසි හේතුවකින්, එයින් ගිලි ගී මිනිස් ලොව ඉපිද, පැවිදි ව, චිත්තසමාධියට පැමිණ, පෙර විසීම පමණක් සිහි කොට “ඒ මහාබ්‍රහ්ම තෙමේ නිත්‍ය ය, සනාතන ය, ඔහු විසින් මැවූ අපි අනිත්‍යයම්හ, මහාබ්‍රහ්ම තෙමේ ය සදාකාලිකත්, නො පෙරළෙන්නේත්, අපි සදාකාලිකත්, නො පෙරළෙන්නෝත් නො වෙමු” යි දෘෂ්ටිග්‍රහණය කරන්නේ ය. ඒ ගැණීමය එකත්‍යශාස්වතදෘෂ්ටියෙහි පළමුවැන්න.
ඛිඩ්ඩාපදෝසිකා නම්, දෙව්ලොව උපන් කිසියම් දෙවියෙක් ක්‍රීඩා පසුත ව ආහාර නො ගැණීමෙන්, එයින් ගිලිහී, මිනිස් ලොවට ආයේ, පැවිදි ව ධ්‍යාන ලබා, ඒ පළමු සිටි අත්බව සිහි කොට “මම ආහාරය අමතක කිරීම නිසා එයින් ගිලිහී ගියෙමි, ඒ මම අනිත්‍ය වෙමි, සනාතන නො වෙමි, එබඳු අමතකවීම් නැත්තෝ ම නිත්‍යයෝ ය, සනාතනයෝ ය” යි ගණියි. ඒ ය එකත්‍යශාස්වතයෙහි දෙ වැන්න.
මනෝපදෝසිකා නම්, දෙව්ලොව උපන් දිව්‍යපුත්‍රයෝ දෙදෙනෙක්, උනුන් කෙරෙහි කිපි, දෙවඟනන් හඬමින් සිටියදී ම, ඒ කෝප හේතුයෙන් එයින් චුත ව යන්නාහ. උන් අතුරෙහි යම් එකෙක් මිනිස්ලොව උපන්නේ නම්, ඔහු පැවිදි ව ධ්‍යාන ලබා පෙර විසූ ආත්මභාවය සිහි කොට “උනුන් කෙරෙහි නො කිපුනු දෙවියෝ ම නිත්‍යයහ, අපි අනිත්‍යයම්හ” යි මේ ආදී ලෙසින් දෘෂ්ටි ගණියි. ඒ ය මෙහි තෙවැන්න.
‘ඇස - කණ - නාසය - දිව - කය - සිත යන ඉඳුරන් ආත්ම ය’ යි වරදවා ගෙණ, පසු ව ‘චක්‍ෂුරාදී වූ පඤ්චෙන්ද්‍රිය අනිත්‍ය ය, සිත නිත්‍ය ය, සදාකාලික ය, පක්‍ෂීහු ගසක් හැර ගසෙක ලගිත් ද, එ පරිද්දෙන් ආත්මභාවය නැසී ගිය කල්හි, සිත අන් බවයකට යන්නේ ය” යි වරදවා ගැණීම ය මෙහි සිවුවැන්න.
කොටසෙක් සදාකාලික ය, කොටසෙක් සදාකාලික නො වේ ය, යි ගන්නී මේ දෘෂ්ටිය ය.
යමෙක් ප්‍රතිභාගනිමිත්ත සක්වළ කෙළවර කොට නො වඩා, කසිණසමාපත්තියෙහි ලත් චිත්තසමාධි ඇති බැවින් එහි වූ රූපාරූපධර්‍ම ලෝක ය, යි සලකා ලෝකය කෙළවර ඇත්තෙකැ, යි ගණී ද, ඒ ගැණීම ය අන්තානන්තිකදෘෂ්ටියෙහි පළමු වැන්න. මෙය ශාස්වතත් වේ. උච්ඡේදත් වේ. ‘ලෝකය කෙළවර ඇත්තෙක් ය, හාත්පස ම පෙණෙයි, සිත එකඟ කිරීමෙන් මම දැන වෙසෙමි’ යි මේ දෘෂ්ටියෙහි බැස සිටියේ කියා පා යි.
සක්වළ කෙළවර කොට වැඩූ කසිණ ඇත්තේ, සමාපත්තිය තුළ පැවැති රූපාරූපධර්‍ම ලෝක ය යි ද, කසිණපරිච්ඡෙදයාගේ අන්තිමය කෙළවර නැත්තෙතෙකැ යි ද ගෙණ ‘මේ ලෝකය කෙළවර නැති එකෙකැ’ යි කියන්නේ ය. ඒ කීමට තුඩු දුන් දෘෂ්ටිය මෙහි දෙ වැන්න ය. මෝ ද ශාස්වත- උච්ඡෙදදෘෂ්ටි දෙකට ම බැස ගණියි.
උඩ යට දෙ දිශායෙහි නො වඩා, සරසට වැඩූ කසිණ සමාපත්තියෙහි, සිත එකඟ කිරීමෙන් ‘උඩ යට දෙ දිශාව කෙළවර ඇත්තේ ය, සරස කෙළවර නැත්තේ ය” යි අන්තානන්තය ගැණී ම, මෙහි තෙ වැන් ය.
මේ වාදයට ප්‍රතිපක්‍ෂ ව ආත්මදෘෂ්ටිය පෙරටු කොට තමහට වැටහෙන පමණක් ගෙණ ‘ලෝකය කෙළවර ඇත්තෙක් විය. ලෝකය කෙළවර නැත්තෙක් නො වූයේ ය’ යි ගැණීම, මෙයි, සිවු වැන්න ය.
“ලෝකය කෙළවර ඇත්තේ ය, ලෝකය කෙළවර නැත්තේ ය, ලෝකය කෙළවර ඇත්තේ ය, නැත්තේ ය. ලෝකය කෙළවර ඇත්තෙක් නො වූයේ, කෙළවර නැත්තෙ ක් නො වූයේ” යි යන කරුණු සතර උඩ පැවැති දෘෂ්ටිය ය අන්තානන්තිකදෘෂ්ටි නම්.
යමෙක් කුසල් අකුසල් ගැණ විචාළවිට කිසිවක් නො කියා ‘මේ කුසල් දැ’ යි අසන ලද්දේ ‘එසේත් නො වේ ය’ යි ද, ‘මේ අකුසල් දැ’ යි අසන ලද්දේ ‘එසේත් නො වේ ය’ යි ද, ‘ආත්මය හා ලෝකය සදාකාලික දැ’ යි අසන ලද්දේ ‘එසේත් නො වේ ය’ යි ද, ‘ශාස්වතයෙන් අන්‍ය වූ එකත්‍යශාස්වත දැ’ යි අසන ලද්දේ ‘එපරිද්දෙනුත් නො වේ ය’ යි දැ යි මෙසේ කුසල් අකුසල් ආදිය පිළිබද ප්‍රශ්නයකට පිළිතුරු දී ගත නො හැකි ව, ඡන්දාදිභය කරණ කොට නො මග ගියේ ද, වචන ගසා දමා ද ඔහුගේ මේ නො මග යෑමට, වචන ගසා දැමීමට තුඩු දුන් දෘෂ්ටිය අමරාවික්‍ෂේපිකදෘෂ්ටියෙහි පළමු වැන්න ය.
‘මම කුසල් අකුසල් තත් වූ පරිදි නො දනිමි, එ බැවීන් මම මේ කුසලය කියා හෝ, මේ අකුසලය කියා හෝ කියම් ද, එහි දී මට රාගයෙක් හෝ ක්‍රෝධයෙක් නො වන්නේ ය, යම් ප්‍රකාශයක් නිසා මට ඡන්දයෙක් හෝ රාගයෙක් හෝ දේවයෙක් හෝ ප්‍රතිඝයෙක් හෝ වන්නේ ද, එය මට දැඩි ගැණීමෙක් වන්නේ ය, යමෙක් මට දැඩි ගැණීමෙක් වේ ද, එය මට දුක් පිණිස වන්නේ ය, යමෙක් මට දුක් පිණිස වේ නම්, එය මට ස්වර්‍ග -මෝක්‍ෂ දෙක වළකන්නේ ය” යි මෙසේ යමෙක් දැඩි ගැණීමට බියෙන් පිළිකුල් කිරීමෙන් කුසල් අකුසල් ගැන ඇසූවිට මොකුත් නො කියා, එසේ ද, එ පරිද්දෙන් ද, අන් පරිද්දෙන් දැ’ යි ඇසූ කල්හි එසේ නො වේ, නැත් දැ’ යි ඇසූ විට, නැත කියාත් නො වේ, නැත්තේත් නො වේ දැ’ යි ඇසූ කල්හි, නැත්තේ නො වන්නේත් නො වේ’ යි මේ පිළිවෙළින් කෙළවරක් නැති පරිදි වචනවික්ෂේපයට පැමිණේ ද, එයට තුඩු දුන් දෘෂ්ටිය එහි දෙ වැන්න ය.
‘අස්ලොම් ආදිය බලා විදින දුනුවායන් සමාන වූ සියුම් නුවණින් මිසදිටු බිඳින්නන් සේ හැසිරෙන මහණ බමුණෝ මා අතින් ලබ්ධිය විචාළෝ නම්, ඔවුන්ට එය සපුරා කියන්නට මම අපොහොසත් වෙමි, එය මට පීඩාවකි, යමෙක් මට පීඩා නම්, එය සග මොක් දෙකට අන්තරායකි’ යි ඔවුන් හා එක් ව යෙදීමේ බියෙන් කුසල් අකුසල් ගැණ ඇසූ ප්‍රශ්නයන් ගැණ මොකුත් නො කියා ‘මෙසේත් මට නැත්තේ ය, එසේත් මට නැත්තේ ය, අන් පරිද්දෙකිනුත් නැත්තේ ය, නැත්තේත් නො වේ ය, නැත්තේ නො වන්නේත් නො වේ’ යි මෙසේ ගන්නහුගේ ඒ ගැණීමට, වචන ගසා දැමීමට තුඩු දුන්නී එහි තෙවන දෘෂ්ටිය යි.
‘යම්කිසි මහණබමුණෙක් මඳනුවණ හා බලවත් ව නැගුනු මුළාව ඇති බැවින් ඒ ඒ තන්හි ප්‍රශ්න විචාළේ නම්, කිමෙක් ද, පරලොවක් ඇත් දැ’ යි විචාළේ නම්, ‘පරලොව ඇතැ’ යි මට වැටහිනි නම්, එය තට කියන්නෙමි, මට, එසේත් නො වේ, එ පරිද්දෙනුත් අන් පරිද්දෙකිනුත් නො වේ, නැත්තේත් නො වේ, නැත්තේ නො වන්නේත් නො වේ’ යි යනාදී ලෙසින් යමෙක් පවසා නම්, එයට තුඩු දුන්නී එහි සිවු වැන්න ය.
මැරීමක් නැති බැවින් ‘අමරා’ නම් වූ දෘෂ්ටිවචනයන්ගේ ඉවත දැමීම ඇති බැවින් අමරාවික්ඛෙපික නම් වූ නොහොත් දියෙහි ගැලීම් මතුවීම් ආදි වශයෙත් හැසිරෙන අල්වා ගත නො හැකි (ආඳුන් වැනි) අමරා නම් මත්ස්‍ය ජාතිය සේ ඔබිනොබ දුව යන මේ වාදය අමරාවික්ඛෙප නම් වේ.
තීර්‍ත්‍ථායතනයක පැවිදි වූ එකෙක් වායෝකසිණභාවනාව වඩා සිවූවන ධ්‍යානය උපදවා ඉන් නැගී සිතෙහි දොස් දකියි. ‘සිත ඇති විට අත් පා සිඳීම් බිඳීම් ආදීවූ දුක් හා බිය ද ඇති වේ, එ හෙයින් සිතින් කම් නැත, වැඩෙක් නැත, සිත නැතිබව ම යහපතැ” යි සිතා නො පිරිහුනු ධ්‍යානයෙන් ම කලුරිය කිරීමෙන් අසංඥතලයෙහි උපදී. සිත මෙහි ම නිරුද්ධ වේ. රූපස්කන්ධමාත්‍රයෙක් ම එහි පහළ වෙයි. යම් සේ දුනුදියෙන් විදිනා ලද, ඊය දුනුදියෙහි වේගය පමණින් අහසැ යේ ද, එසේ ධ්‍යානවේගය තිබෙනතුරු ම එහි සිටියි. ධ්‍යානවේගය නැති වූ විට ම පිරිහී ගිය විට ම රූපස්කන්ධය අතුරුදහන් වේ. ප්‍රතිසන්ධිසංඥාව මෙහි උපදී. මෙහි උපන් ඒ ප්‍රතිසන්ධිසංඥාවෙන් අසංඥසත්වයන්ගේ චුතිය පෙනෙන්නී ය. එහෙයින් සංඥාමාත්‍රය ම උත්පත්ති කොට ඇති අසංඥසත්වයෝ අසංඥතලයෙන් චුත වෙත්. “සඤ්ඤූප්පාදා ච පන තෙ දෙවා තම්හා කායා චවන්ති” යි කියන ලද්දේ එහෙයිනි. ඒ බ්‍රහ්මකායයෙන් චුත ව මිනිස්ලොව ඉපිද පැවිදි ව චිත්තසමාධිය ලැබූ හෙතෙමේ අසංඥතලයෙහි උත්පත්තිය පමණක් සිහි කරයි. ඉන් මතු එයින් ඔබ සිහි නො කොට ‘ආත්මයත් ලෝකයත් කරුණු නැති ව හේතු රහිත ව උපන්නේ ය, එබැවින් පෙර නො වූ මම සත්වභාවයට පැමිණියෙමි” යි ගැණීමට අනුබල දෙන දෘෂ්ටිය දෙ වැදෑරුම් අධීත්‍යසමුත්පන්නිකදෘෂ්ටියෙහි පළමු වැන්න ය.
යමෙක් තර්‍කානුකූල ව තීරණය කොට තමන්ගේ නුවණට වැටහෙන පමණක් ම ගෙණ ‘ලෝකය හා ආත්මය හේතු රහිත ව උපන්නේ ය’ යි ගණී ද, ඔහුගේ ඒ ගැණී ම ය එහි දෙවන දෘෂ්ටිය.
ආත්මය හා ලෝකය අහෙතුක ව උපන්නේ ය යි ගන්නා දෘෂ්ටිය අධීත්‍යසමුත්පන්නික නම්.
රූපධ්‍යානය ලබා ‘කසිණරූපය ආත්මය වේ, එහි පැවැති සංඥා ව සංඥී ය, ආත්මය රූපවත් ය, මරණින් මතු නිත්‍ය වූයේ සංඥී ය යි ගන්නා ගැණුම, සොළොස් වැදැරුම් සංඥීදෘෂ්ටියෙහි පළමු වැන්න ය.
අරූපද්ධ්‍යාන ලබා අරූපසමාපත්තිනිමිත්ත ආත්මවශයෙන් ගෙණ සලකා ‘ආත්මය අරූපී ය, නිත්‍ය ය, මරණින් මතු සමාපත්තිසංඥාව ඇත්තේ ය’ යි ගැණීම, එහි දෙ වැන්න ය.
රූප-අරූපසමාපත්ති දෙක මුසු කොට ගැණීමෙන් ‘ආත්මය රූපවත් ද අරූපවත් ද වේ, මරණින් මතු නිත්‍ය ය’ යි ගැණීම, තෙ වැන්න ය.
‘ආත්මය රූපයෙන් තොර ය, ආත්මය අරූපයෙනුත් තොර ය, එහෙත් ඒකාන්තයෙන් සංඥා ඇත්තේ මරණින් මතු නිත්‍යසංඥා ඇත්තේ ය’ යි ගැණීම, සිවු වැන්න ය.
‘ආත්මය කෙළවර ඇත්තේ ය, මරණින් මතු එය නිත්‍ය වූයේ සංඥා ඇත්තේ ය’ යි ගැණීම, පස් වැන්න ය.
‘ආත්මය කෙළවරක් නැත්තේත්, මරණින් මතු එය නිත්‍ය වූයේත් සංඥා ඇත්තේ ය’ යි ගැණීම, ස වැන්න ය.
‘ආත්මය කෙළවර ඇත්තේත්, කෙළවර නැත්තේ ක් මරණින් මතු එය නිත්‍ය වූයේත් සංඥා ඇත්තේ ය’ යි ගැණීම, සත් වැන්න ය.
‘කෙළවර ඇත්තෙක් වූයේත්, කෙළවර නැත්තෙක් නො වූයේත් ආත්මය වේ, මරණින් මතු නිත්‍ය වූයේ සංඥා ඇත්තේ ය’ යි ගැණීම, අටවැන්න ය.
‘ධ්‍යානයට සමවැදුනහුගේ වශයෙන් එකත්‍වසංඥා ඇත්තේ ආත්මය වේ, මරණින් මතු නිත්‍ය වූයේ සංඥා ඇත්තේ ය’ යි ගැණීම, නවවැන්න ය.
‘ධ්‍යානසමාපත්තියට නො සමවැදුනහුගේ සමවැදීමක් නැත්තහුගේ වශයෙන් හා නානාත්‍වසංඥා ඇත්තේ ආත්මය වේ, මරණින් මතු නිත්‍ය වුයේ සංඥා ඇත්තේ ය’ යි ගැණීම, දසවැන්න ය.
‘හීනකසිණයාගේ වශයෙන් පරිත්තසංඥා ඇත්තේ ආත්මය වේ, මරණින් මතු නිත්‍ය වූයේ සංඥා ඇත්තේ ය’ යි ගැණීම එකොළොස්වැන්න ය.
‘විපුලකසිණයාගේ වශයෙන් අප්‍රමාණ සංඥා ඇත්තේ ආත්මය වේ, ඒ මේ ආත්මය මරණින් මතු නිත්‍ය වූයේ සංඥා ඇත්තේ ය’ යි ගැණීම, දොළොස්වැන්න ය.
‘සිවුවන ධ්‍යානභූමියෙහි ඉපදීම් වශයෙන් ඒකාන්ත සැප ඇත්තේ ආත්මය වේ, ඒ මේ ආත්මය මරණින් මතු නිත්‍ය වූයේ සංඥා ඇත්තේ ය’ යි ගැණීම, තෙළෙස්වැන්න ය.
‘නරකයෙහි ඉපදීම් වශයෙන් එකාන්තයෙන් දුක් ඇත්තේ ආත්මය වේ, ඒ මේ ආත්මය මරණින් මතු නිත්‍ය වූයේ සංඥා ඇත්තේ ය” යි ගැණීම, තුදුස්වැන්න ය.
‘මිනිස්ලොව ඉපදීම් වශයෙන් සැප දුක් දෙක ඇති ආත්මය තෙමේ මරණින් මතු නිත්‍යවූයේ සංඥා ඇත්තේ ය” යි ගැණීම, පසළොස්වැන්න ය.
‘වෙහප්ඵල බඹලොව උපන්නවුන් දැක එහි ඉපදීම් වශයෙන් සැප දුක් දෙක නැති ආත්මය තෙමේ නිත්‍යසංඥා ඇත්තේ ය’ යි ගැණීම, සොළොස්වැන්ත ය.
සිත ඇත්තේ ය යි ගන්නා ගැණුම ය, සංඥීදෘෂ්ටි ය යි කියනු ලබන්නී.
‘රූප ඇත්තේ ආත්මය වේ, මරණින් මතු නිත්‍ය ය, සිත නැත්තේ ය’ යි ගත් දෘෂ්ටිය අටවැදෑරුම් වූ අසඥීදෘෂ්ටියෙහි ප්‍රථමය වේ.
‘රූප නැත්තේ ආත්මය වේ, මරණින් මතු නිත්‍ය ය, සංඥා නැත්තේ ය’ යි ගත්තී දෙවැන්න ය.
‘රූප ඇත්තේ ද නැත්තේ ද ආත්මය වේ, මරණින් මතු නිත්‍ය ය, සංඥා නැත්තේ ය’ යි ගත්තී තෙවැන්න ය.
රූප නැත්තේ ද, අරූප නැත්තේ ද ආත්මය වේ, මරණින් මතු නිත්‍ය ය, සංඥා නැත්තේ ය’ යි ගත්තී සිවුවැන්න ය.
‘කෙළවර ඇත්තේ ආත්මය වේ, මරණින් මතු නිත්‍ය ය, සංඥා නැත්තේ ය’ යි ගත්තී පස්වැන්න ය.
‘කෙළවර නැත්තේ ආත්මය වේ, මරණින් මතු නිත්‍ය ය, සංඥා නැත්තේ ය’ යි ගත්තී සවැන්න ය.
‘කෙළවර ඇත්තේ ද, කෙළවර නැත්තේ ද ආත්මය වේ, මරණින් මතු නිත්‍ය ය, සංඥා නැත්තේ ය’ යි ගත්තී සත් වැන්න ය.
‘කෙළවර නැත්තේ ද, කෙළවර නැත්තේ නො වූයේ ද ආත්මය වේ, මරණින් මතු නිත්‍ය ය, සංඥා නැත්තේ ය’ යි ගත්තී අටවැන්න ය.
මරණින් මතු සිත නැතැයි ගන්නා දෘෂ්ටිය අසංඥී නම්.
‘රූප ඇත්තේ ආත්මය වේ, මරණින් මතු නිත්‍ය ය, නෛවසංඥීනාසංඥී ය’ යි ගත් දෘෂ්ටිය අටවැදෑරුම් වූ නෛවසංඥී නාසංඥීදෘෂ්ටියෙහි ප්‍රථමය වේ.
‘රූප නැත්තේ ද ආත්මය වේ, මරණින් මතු නිත්‍ය ය, නෛවසඥීනාසංඥී ය” යි ගත්තී දෙවැන්න ය.
‘රූප ඇත්තේ ද, නැත්තේ ද ආත්මය වේ, මරණින් මතු නිත්‍ය වූයේ නෛවසංඥීනාසංඥී ය’ යි ගත්තී තෙවැන්න ය.
‘රුප නැත්තේ ද, අරූප නැත්තේ ද ආත්මය වේ, මරණින් මතු නිත්‍ය වූයේ නෛවසංඥීනාසංඥී ය’ යි ගත්තී සිවුවැන්න ය.
‘කෙළවර ඇත්තේ ආත්මය වේ, මරණින් මතු නිත්‍ය වූයේ නෛවසංඥීනාසංඥී ය’ යි ගත්තී පස්වැන්න ය.
‘කෙළවර නැත්තේ ආත්මය වේ, මරණින් මතු නිත්‍ය වූයේ නෛවසංඥීනාසංඥී ය’ යි ගත්තී සවැන්න ය.
‘කෙළවර ඇත්තෙක් වූයේ ද, නැත්තෙක් වූයේ ද, ආත්මය වේ, මරණින් මතු නිත්‍ය වූයේ නෛවසංඥීනාසංඥී ය’ යි ගත්තී සත්වැන්න ය.
‘කෙළවර ඇත්තේ නො වූයේ ද, කෙළවර නැත්තේ නො වූයේ ද ආත්මය වේ, මරණින් මතු නිත්‍ය වූයේ නෛවසංඥීනාසංඥී ය” යි ගත්තේ අටවැන්න ය.
සංඥා ඇත්තේ නො වන්නේ ය, සංඥා නැත්තේ නොවන්නේය’ යි ගත් දෘෂ්ටිය නෛවසංඥීනාසංඥී නම්.
‘සතර මහාභූතයන්ගෙන් හටගත් මවුපියන්ගේ ශුක්‍ර ශ්‍රොණිත දෙකින් උපන් රූපයක් ඇති මේ ආත්මය ශරීර භේදයෙන් සිඳෙන්නේ ය, විනාශ වන්නේ ය, මරණින් මතු නො පවතින්නේ ය, මෙ පමණකින් මේ ආත්මය හොඳින් සිඳී ගියේ වේ ය’ යි මෙසේ වද්‍යෙමාන වූ සත්වයාගේ උච්ඡෙදය, විනාශය, විභවය, ප්‍රකාශ කිරීම සත්වැදෑරුම් වූ උච්ඡෙද දෘෂ්ටියෙහි ප්‍රථමය වේ.
‘රූපයන් ඇති සදෙව්ලොවැ හැසිරෙන කැබලි කොට කන ආහාර අනුභව කරණ අන්‍ය වූ දිව්‍යමය ආත්මයෙක් ඇත්තේ ය, ඒ ආත්මය ශරීරභේදයන් මත්තෙහි සිඳෙන්නේ ය, විනාශ වන්නේ ය, මරණින් මතු නො වන්නේ ය, එ පමණකින් මේ ආත්මය මනාකොට සිඳුනේය’ යි සත්වයාගේ විනාශය ප්‍රකාශ කිරීම එහි දෙවැන්න ය.
‘ඒ ආත්මය ඇත්තේ ය, නැත්තේ නො වේ, ඒ ආත්මය මෙ පමණකින් සිඳුනේ නො වේ, රූපයක් ඇති සිතින් උපදනා ලද සියලු අඟපසඟ අවයව ඇති පරිපූර්‍ණ ඉන්ද්‍රියයන් ඇති අන්‍ය වූ දිව්‍යාත්මයෙක් ඇත්තේ ය, යම් හෙයකින් ඒ ආත්මය ශරීර භේදයෙන් සිඳෙන්නේ ද, විනාශ වන්නේ ද, මරණින් මතු නො වන්නේ ද එ පමණකින් මේ ආත්මය මනාකොට සිඳුනේ ය’ යි සත්වයාගේ විනාශය පැවසීම එහි තෙවැන්න ය.
‘මේ ආත්මය ආකාසානඤ්චායතනයට පැමිණ අන්‍ය වූ ආත්මයක් ව ඇත්තේ ය, යම් කිසි කලෙක ඒ ආත්මය ශරීරභේදයෙන් සිඳෙන්නේ ද, විනාශවන්නේ ද, මරණින් මතු නො වන්නේ ද, මෙ පමණකින් ඒ ආත්මය මනාකොට සිඳුනේ ය’ යි සත්වයාගේ විනාශය පැවසීම එහි සිවුවැන්න ය.
‘ඒ ආත්මය ඇත්තේ ය, මෙ පමණකින් ඒ ආත්මය මොනවට සිඳුනේ නො වේ, සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනයට පැමිණි ආත්මයෙක් ඇත, යම් කිසි කලෙක ඒ ආත්මය, ශරීර භේදයෙන් සිඳෙන්නේ ද, විනාශ වන්නේ ද, මරණින් මතු නො වන්නේ ද, මෙ පමණකින් ඒ ආත්මය මනාකොට සිඳුනේ ය” යි සත්වයාගේ විනාශය පැවසීම එහි පස්වැන්න ය.
‘ඒ ආත්මය නැත්තේ නො වේ, ඒ ආත්මය මෙ පමණකින් මොනවට සිඳුනේ නො වේ, සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤචායතනය ඉක්මවා ආකිඤ්චඤ්ඤායතනයට පැමිණියා වූ අන්‍ය ආත්මයෙක් ඇත්තේ ය, ඒ ආත්මය ශරීරභේදයෙන් සිඳෙන්නේ ද, විනාශ වන්නේ ද, මරණින් මත්තෙහි නො වන්නේ ද මෙ පමණකින් ඒ ආත්මය මනාකොට සිඳුනේ ය’ යි සත්වයාගේ විනාශය කියාපෑම එහි සවැන්න ය.
‘ඒ ආත්මය ඇත්තේ ය, ඒ ආත්මය මෙ පමණකින් මොනවට සිඳුනේ නො වේ, සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණි අන්‍ය ආත්මයෙක් ඇත්තේ ය, යම් කිසි කලෙක ඒ ආත්මය ශරීරභේදයෙන් සිඳෙන්නේ ද, විනාශ වන්නේ ද, මරණින් මත්තෙහි නො වන්නේ ද මේ පමණකින් ඒ ආත්මය මොනවට සිඳුනේ ය’ යි විද්‍යමාන සත්වයාගේ විනාශය කියා පෑම එහි සත්වැන්න ය.
සත්‍ව තෙමේ මරණින් මතු නූපදනේ ය යි ගත් දෘෂ්ටිය උච්ඡෙද නමි.
‘මේ ආත්මය මන්ධාතු රජු සේ මානුසිකකාමයෙන් ද, පරනිර්මිතවශවර්තිදිව්‍යරාජයා සේ දිව්‍යකාමයෙන් ද, සමන්විත වූයේ ඉඳුරන් පිණවා ද, ඉඳුරන් හසුරුවා ද, මෙ පමණකින් මේ ආත්මය උත්තම වූ දෘෂ්ටධර්‍මනිර්‍වාණයට පැමිණයේ වේ ය’ යි විද්‍යමානසත්වයාගේ උත්තමදෘෂ්ටධර්‍මනිර්‍වාණය පැවසීම, පස්වැදෑරුම් වූ දෘෂ්ටධර්‍මනිර්‍වාණවාදයෙහි ප්‍රථමය වේ.
‘ඒ ආත්මය ඇත්තේ ය, නැත්තේ නො වේ, මේ ආත්මය මෙ පමණකින් උත්තම වූ දෘෂ්ටධර්‍මනිර්‍වාණයට නො පැමිණියේ වේ, හේතු කිම? පංචකාමයෝ වනාහි අනිත්‍යයහ, දුඃඛයහ, පෙරළෙන සුලු ය, ඔවුන්ගේ පෙරලීම් වෙනස්වීම් නිසා, සෝක, වැලපීම්, කායික වූ දුක් දොම්නස් හා උපායාසය ද යන මොවුහු උපදිත්, යම් හෙයකින් මේ ආත්මය කාමයන්ගෙන් වෙන් ව අකුශලධර්‍මයන්ගෙන් වෙන් ව විතර්‍කවිචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීතියෙන් යුත් සැප ඇති ප්‍රථමද්ධ්‍යානයට එළැඹැ වාසය කෙරේ ද, එ පමණකින් මේ ආත්මය උත්තම වූ දෘෂ්ටධර්‍මනිර්‍වාණයට පෑමිණියේ වේ ය’ යි පැවසීම එහි දෙවැන්න ය.
‘ඒ ආත්මය ඇත්තේ ය, ඒ නැත්තේ නො වේ, මෙ පමණකින් එය උත්තම වූ දෘෂ්ටධර්‍මනිර්‍වාණයට පැමිණියේ නො වේ, එහි වූ විතර්‍ක-විචාරයන් කරණ කොට, ඒ ධ්‍යානය ලාමක සේ පෙණෙයි. එ හෙයින් මේ ආත්මය විතර්‍ක-විචාරයන්ගේ සංසිඳීමෙන් සිතෙහි ප්‍රසන්නතායෙන් හා එකඟ බැවින් යුත් විතර්‍ක-විචාර රහිතසමාධියෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති ද්විතීය ධ්‍යානයට එළැඹැ වාසය කෙරේද, මෙ පමණකින් මේ ආත්මය උත්තම වූ දෘෂ්ටධර්‍මනිර්‍වාණයට පැමිණියේ ය’ යි කියා පෑම තෙවැන්න ය.
‘මෙ පමණකින් ඒ ආත්මය උත්තම වූ දෘෂ්ටධර්‍මනිර්‍වාණයට පැමිණියේ නො වේ, එහි ප්‍රීතිය ද, සිතෙහි ඉපිල පවත්නා බව ද හේතු කොට ඒ ධ්‍යානය ලාමක ය යි පෙණේ, මේ ආත්මය ප්‍රීතියෙහි නො ඇලීමෙන් සිහිය හා ප්‍රඥාව ඇත්තේ උපෙක්‍ෂක ව වාසය කෙරේ ද, කයින් සැප විඳී ද, ආර්‍ය්‍යයෝ යමකට පැමිණ උපේක්‍ෂාව ඇත්තෝ ය, සිහි ඇත්තෝ ය, සැප විහරණ ඇත්තෝ ය යි කියද්දී ද, ඒ තෘතීයද්ධ්‍යානයට පැමිණ වාසය කෙරේ ද, මෙ පමණකින් මේ ආත්මය උත්තම වූ දෘෂ්ටධර්‍මනිර්‍වාණයට පැමිණියේ ය’ යි කියාපා ද ඒ ය සිවුවැන්න.
‘මෙ පමණකින් ඒ ආමය දෘෂ්ටධර්‍මනිර්‍වාණයට පැමිණියේ නො වේ, එහි සැපය යි නැවැත නැවැත මෙනෙහි කිරීමෙක් වේ ද, එයින් එය ලාමක ය යි පෙණේ, මේ ආත්මය සැප-දුක පහකිරීමෙන් සොම්නස් - දොම්නස් නැති ව යෑමෙන් දුක්-සැප නැති උපේක්‍ෂා-සමෘති දෙ දෙනාගේ පිරිසිදුබව ඇති චතුර්‍ත්‍ථද්ධ්‍යායානය පැමිණ වාසය කෙරේ ද, මෙ පමණකින් මේ ආත්මය පරමදෘෂ්ටධර්‍මනිර්‍වාණයට පැමිණියේ ය’ යි පැවසීම ය පස් වැන්න.
මේ අත්බවේදී ම දුක්සංසිඳීම වේ ය යි ගත් දෘෂ්ටිය දෘෂ්ටධර්‍මනිර්‍වාණවාද නමි.
මෙහි ශාස්වත, එකත්‍යශාස්වත, අන්තානන්තික, අමරාවික්‍ෂේපික අධීත්‍යසමුත්පන්නිකදෘෂ්ටිහු පූර්‍වභවය ඇසුරු කොට සිටිය බැවින් පූර්‍වාන්තකල්පික නම් වෙත්. සංඥී, නෙවසංඥී, නාසංඥී, උච්ඡෙද, දෘෂ්ටධර්‍මනිර්‍වාණවාදදෘෂ්ටීහු අනාගතභවය ඇසුරු කොට සිටිය බැවින් අපරාන්තකල්පික නම් වෙත්. මොවුනතුරෙන් පස් පණසෙක් ශාස්වතදෘෂ්ටියෙහි ද සතෙක් උච්ඡෙදදෘෂ්ටියෙහිද හැනී සිටියහ.
මේ දෘෂ්ටිජාලය ඉපැදෙන්නේ දශ වස්තුවෙක්හිම ය. ඒ දශ වස්තුව යට කියූ නාස්තිකදෘෂ්ටියෙහි ලා දැක්වූ සේ දතයුතු ය.
පුබ්බෙකතහෙතුවාදය - ඉස්සරනිම්මාණහෙතුවාදය - අහෙතුඅප්පච්චයවාදය, යි මෙහි තවත් භේද තුනෙක් වේ.
එහි සත්වයන් විසින් විඳිනු ලබන සියලු සැප දුක් පෙර කරණ ලද කුශලාකුශලකර්‍මයන්ගේ විපාක බලයෙන් ම විඳිනු ලබන්නේ ය, වා පිත් සෙම් ආදී වූ එකෙකින් හටගත් රෝගව්‍යසනයෝ නැත්තාහු ය, සියලු සැප දුක් කර්‍මානුකූල ව සිද්ධ වේ ය’ යි ගත් දෘෂ්ටිය ‘පුබ්බේකතහේතුවාද’ නම්.
‘ලෝකයත් සත්වයාත් යම්කිසි දෙවියකු විසින් මවන ලද ය, සත්වයන් විසින් විඳිනු ලබන සැප දුක් ඒ මැවුම්කාර දෙවියන්ගේ කැමැත්ත ලෙස ම විඳිනු ලබා ය’ යි ගත් දෘෂ්ටිය “ඉස්සරනිම්මාණහේතුවාද’ නම්.
‘සත්වයන් විසින් විඳිනු ලබන සැප දුක් කිසි යම් හේතුවකින් හේතුවක් නිසා විඳිනු ලබන්නේ නො වේ, හේතුවක් නො මැති ව ම විඳිනු ලබා ය’ යි ගත් දෘෂ්ටිය ‘අහේතුකඅප්පච්චයවාද’ නම්.
මෝ මිථ්‍යාදෘෂ්ටිය සියකය පිළිබඳ කොට පවත්නා කල්හි ‘සත්කායදෘෂ්ටිය’ යි කියනු ලැබේ. එය විසි අයුරකින් උපදී. එ හෙයින් ඒ වීසතිවත්‍ථුකය මෙසේය, වදාළ සැටි:-
“රූපං අත්තතො සමනුපස්සති, රූපවන්තං වා අත්තානං, අත්තනි වා රූපං, රූපස්මිං වා අත්තානං, වෙදනං අත්තතො සමනුපස්සති, වේදනාවන්තං වා අත්තානං, අත්තනි වා වෙදනං, වෙදනාය වා අත්තානං, සඤ්ඤං අත්තතො සමනුපස්සති, සඤ්ඤාවන්තං වා අත්තානං, අත්තනි වා සඤ්ඤං, සඤ්ඤාය වා අත්තානං, සඞ්ඛාරෙ අත්තතො සමනුපස්සති, සඞ්ඛාරවන්තං වා අත්තානං, අත්තනි වා සඞ්ඛාරෙ, සඞ්ඛාරෙසු වා අත්තානං, විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, විඤ්ඤාණවන්තං වා අත්තානං, අත්තනි වා විඤ්ඤාණං, විඤ්ඤාණස්මිං වා අත්තානං” යි.
රූපය ආත්මය’ යි ආත්මය රූපවත් ය’ යි රූපය ආත්මය කෙරෙහි පිහිටියේ ය’ යි ආත්මය රූපය කෙරෙහි පිහිටියේ ය’ යි රූපස්කන්ධය ගැණ මෙසේ සතර අයුරකින් බලයි. එසේ ම වේදනාව ආත්මයයි ආත්මය වේදනා ඇත්තකැයි වේදනාව ආත්මය කෙරෙහි පිහිටියේ ය’ යි ආත්මය වේදනාව කෙරෙහි පිහිටියේ ය’ යි වේදනාස්කන්ධය ගැණ සිවු අයුරකින් බලයි. එසේ ම සංඥාව ආත්මය’ යි ආත්මය සංඥා ඇත්තකැ’ යි සංඥාව ආත්මය කෙරෙහි පිහිටියේ ය’ යි, ආත්මය සංඥාව කෙරෙහි පිහිටියේ ය ‘ යි සංඥා ස්කන්ධය ගැන සිවු අයුරකින් බලයි. එසේ ම සංස්කාර ආත්ම ය” යි ආත්මය සංස්කාර ඇත්තකැ’ යි සංස්කාර ආත්මය කෙරෙහි පිහිටියේ ය’ යි ආත්මය සංස්කාරයන් කෙරෙහි පිහිටියේ ය’ යි සංස්කාරස්කන්‍ධය ගැණ සිවු අයුරකින් බලයි. එසේ ම විඥානය ආත්මය’ යි ආත්මය විඥානය ඇත්තෙකැ’ යි විඥානය ආත්මය කෙරෙහි පිහිටියේ ය’ යි ආත්මය විඥානය කෙරෙහි පිහිටියේ ය’ යි විඥානස්කන්ධය ගැණ සිවූ අයුරකින් බලයි. යනු, එහි කෙටි තේරුමය.
‘යමෙක් ගිනිසිළුව වේ නම්, එය ම වර්‍ණය වේ, යමෙක් වර්‍ණය වේ නම්, එය ම ගිනිසිළුව වේ’ යි ගිනිසිළත් වර්‍ණයත් එකක් කොට ගන්නා සේ, යමෙක් රූපය වේ නම්, එය ම ආත්මය වේ, යමෙක් ආත්මය වේ නම්, එය ම රූපය වේ ය’ යි රූපයත් ආත්මයත්, වේදනාවත් ආත්මයත්, සංඥාවත් ආත්මයත්, සංස්කාරත් ආත්මයත්, විඥානයත් ආත්මයත් එකක් කොට බලන්නේ ය මේ දෘෂ්ටියෙහි පිහිටි යේ. ඒ බලන සැටිය මේ කීයේ.
අහේතුක - අකිරිය - නත්ථිකදිට්ඨීහු ස්වර්‍ගය හා මාර්‍ගය වළකාලන්නෝ ය. දසවත්ථුකඅන්තග්ගාහිකදිට්ඨිය මාර්‍ගය වළකා. ස්වර්‍ගය නො ම වළකා. වීසතිවත්ථුක සක්කායදිට්ඨිය ස්වර්‍ග-මාර්‍ග දෙක ම නො වළකා.
එහෙත් මුං ඇට මෑ ඇට තරම් වූ ද ගල් කැට කැබලිති දියෙහි බහාලන ලද්දේ උඩ මතු නො වේ ද, යටට ම බැස සිටී ද, එ මෙන් සක්කායදිට්ඨි තොමෝ ද, ස්වර්‍ගයට පැමිණවීමෙහි ලා සමර්‍ත්‍ථ නො වේ. අපායයෙහි ම බහා ලන්නීය. මේ කීයේ අටුවාව ය. මෝ උපමා වශයෙන් ඉන්ද්‍රජාලයකට බඳු උපමා ඇත්තී ය. ඉන්ද්‍රජාලික තෙමේ කැට කැබලිති ආදිය රන් රුවන් කොට දක්වන්නේ යම් සේ ද, එ පරිද්දෙන් මේ දෘඒටිය අනාත්මය ආත්මය කොට, කුසලය අකුසලය කොට, අකුසලය කුසලය කොට දක්වන්නී ය. එහෙයිනි වදාළෝ “මිච්ඡාදිට්ඨි භික්ඛවෙ! පරමානි වජ්ජානි” යි. මිත්‍ථ්‍යාදෘෂ්ටිය අතිශය මහාසාවද්‍ය වේ. ආනන්තරීය කර්‍මයන්ගේ වනාහි කෙළවර පෙණුන ද, නියතමිථ්‍යාදෘෂ්ටියගේ නම් කෙළවරෙක් නො පෙණේ. සසරට මුල් වූවා ඕ තොමෝ ය. නියතමිත්‍ථ්‍යාදෘෂ්ටිකයාහට භවයෙන් නැගී සිටීමෙක් නො ලැබේ. ඔහුට ස්වර්‍ගයත් නැත. මාර්‍ගයත් නැත. කප් නැසී යන විට සෙසු මිනිස්සු බඹලොව උපදින්නෝය. එහෙත් නියත මිසදිටු ඇත්තහුට එහි ද ඉපැත්මෙක් නැත. ඔහු උපදනේ සක්වළින් පිටත ය. ඒ පිටසක්වළ දැවෙන විට ඔහු ආකාසයෙහි අවකාශ ඇති තැනෙක ඉපිද පැසෙන්නේ ය.
විචිකිච්ඡා නම්, සිතෙහි නගින සිතෙහි පහළවන බුද්ධාදීන් කෙරෙහි සැකය යි. අරමුණු නිශ්චය කොට ගත නො හැකි බව යම් ධර්‍ම ශක්තියක් නිසා වන්නේ ද ඒ ය විචිකිච්ඡා. ඒ ඒ ධර්‍මයන් පිළිබඳ ඇති තතු සොයන්නා එහි විඩාවට පැමිණෙන්නේ ද මේ නිසා ය. “චිකිචඡිතුං දුක්කරතාය විගතා චිකිච්ඡා ඤාණප්පතී කාරො ඉමිස්සා ති = විවිකිච්ඡා” පිළියම් කිරීමට නො හැකි බැවින් ඥාන ප්‍රතීකාරයෙක් යමකට නැත්තේ ද ඒ විචිකිච්ඡා’ නැමැ යි එයින් කීහ. ඕ සැකය ලකුණු කොට සිටියා ය. “සා සංසයලක්ඛණා” යි කීයේ එබැවිනි. සැකයෙන් පෙළුනු සැකය ලකුණු කොට සිටි සිතට නුවණ නැමැති බෙහෙතින් ප්‍රයෝජනයෙක් නො වේ.
“සත්‍ථරි කඞ්ඛති විචිකිච්ඡති, ධම්මෙ කඞ්ඛති විචිකිච්ඡති, සඞ්ඝෙ කඞ්ඛති විචිකිච්ඡති, සික්ඛාය කඞ්ඛති විචිකිච්ඡති, පුබ්බන්තෙ කඞ්ඛති විචිකිච්ඡති, අපරන්තෙ කඞ්ඛති විචිකිච්ඡති, පුබ්බන්තාපරන්තෙ කඞ්ඛති විචිකිච්ඡති, ඉදප්පච්චයතා පටිච්ච සමුප්පන්නෙසු ධම්මෙසු කඞ්ඛති විචිකිච්ඡති” යි එය අට වැදෑරුම් බව මෙයින් වදාළ සේක.
බුදුරජුන් කෙරෙහි, ධර්‍මය කෙරෙහි, සංඝයා කෙරෙහි, ශික්‍ෂාව කෙරෙහි, පෙර අත් බැව් කෙරෙහි, අනාගත අත්බැව් කෙරෙහි, පෙර-මතු අත්බැව් කෙරෙහි, ප්‍රතීත්‍යසමුත්පන්නධර්‍ම කෙරෙහි සැකය විචිකිච්ඡාය යනු, එහි කෙටි තේරුම ය.
‘සුප්පතිට්ඨිතපාදතා’ දි මහාපුරුෂලක්‍ෂණ හා අනුව්‍යඤ්ජන, අනන්‍යසාධාරණසර්‍වඥතාඥානය හා අර්‍හත්ත්‍වාදිගුණ, බුදුරජුන් කෙරෙහි වූයේ ද, නො වූයේ දැ, යි බුදුරජුන් කෙරෙහි උපදනා සැකය, සූත්‍ර, අභිධර්‍ම, විනය යන පිටකත්‍රයධර්‍මය සත්‍ය ද, අසත්‍ය ද සොත්‍රාපත්ති මාර්‍ගය-ඵලය, සකෘදාගාමි මාර්‍ගය- ඵලය, අනාගාමී මාර්‍ගය-ඵලය, අර්‍හත්මාර්‍ගය-ඵලය, නිර්‍වාණය යන නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්‍මය සත්වයන්ගේ කෙලෙස් නැසීමෙන් යහපත සලසා ද, නො සලසා දැ’ යි ධර්‍මය කෙරෙහි උපදනා සැකය, අට වැදෑරුම් වූ ආර්‍ය්‍යපුද්ගලසමූහය කෙරෙහි සුප්‍රතිපන්නතාදිගුණ ඇත්තේ ද, නැත්තේ ද, ඔවුන් කෙරෙහි කරන ලද පරිත්‍යාගයෙන් ඵල ලැබේ ද, නො ලැබේ දැ’ යි සංඝයා කෙරෙහි උපදනා සැකය, අධිශීල-අධිචිත්ත-අධිප්‍රඥාශික්‍ෂා යි ශික්‍ෂා තුනෙක් තිබේ ද, එසේ නම් එහි හික්මීමෙන් ඵල ලැබේ ද, නො ලැබේ ද, යි ශික්‍ෂාව කෙරෙහි උපදනා සැකය, පෙර මම ඉපිද සිටියෙම් ද, ඉපිද නො සිටියෙම් දැ, යි ඉකුත් ව ගියා වූ ස්කන්ධ-ධාතු-ආයතනයන් කෙරෙහි උපදනා සැකය, මම මතු උපදින්නෙමි ද, නො උපදින්නෙම් දැ, යි අනාගතයෙහි පහළවන ස්කන්ධ-ධාතු-ආයතනයන් කෙරෙහි උපදනා සැකය, ඉකුත් භවයන්හි ස්කන්ධ-ධාතු-ආයතනයෝ වූවෝ ද, නො වූවෝ ද, අනාගතයෙහි වන්නෝ ද, නො වන්නෝ දැ, යි මෙසේ අතීත-අනාගත-ස්කන්ධ-ධාතු-ආයතනයන් ගැණ උපදනා සැකය, කාලතුනකින්, අඞ්ගදොළොසකින්, ආකාර විස්සකිත්, සන්ධිතුනකින්, සංක්‍ෂේපසතරකින්, වෘත්තතුනකින්, මුලදෙකකින් යුත් අවිද්‍යා - සංස්කාරාදි හේතු-ඵලධර්‍මයන් ගැන උපදනා සැකය, යි ඒ කොටින් මෙසේ දතයුතු ය.
මග ගොස් පළපුරුදුකම් නැති මිනිසෙක් දෙමංහන්දියට පැමිණියේ, මේ මග යා යුතු ද, අනික් මග යා යුතු දැ, යි යා යුතු නො යා යුතු මග තීරණය කොට ගත නො හැක්කා සේ, විචිකිච්ඡාවට ද, අරමුණු තීරණය කර ගන්නට නො පිළිවන. එ හෙයින් දෙ මංහන්දියකට බඳු උපමා ඇත්තේ ය. සොහොනෙක දෙ දණ ඔසවා උඩ බලා නිදන්නා වූ මිනිසා රෑ නින්දෙන් නැගිට බැලූ විට, ඔසවා තුබූ තම දෙ දණ යකුන් දෙ දෙනෙකැ’ යි සිතා බිය වන්නා සේ, විචිකිච්ඡාවෙන් යුත් සිතැත්තේ කුසල ය, අකුසල ය’ යි ගෙණ බියට පත් වේ. එ හෙයින් මෝ සොහොනෙක උඩ බලා නිදන මිනිසකු බඳු ය. විචිකිච්ඡාව එකාන්ත අකුසලයෙකි. විතර මතු එන්නේ ය.
ථීන නම්, සිතේ ඇතිවන පසු බැස්ම ය. මේ නිසා ය සත්‍ව තෙමේ අරමුණු ගැන්මෙහි පසුබැස්ම කරන්නේ. එය උත්සාහ රහිතබව ලකුණු කොට සිටියේ ය. “තං අනුස්සාහලක්ඛණං” යනු කීයේ එහෙයිනි. මෙහි උත්සාහරහිත බව මැලිකම නිසා ම සිත කුශලධර්‍මයන් කෙරෙහි ලා හැකිළෙන්නේය. සිතෙහි කම්මැලි කම ය මේ. “තත්‍ථ කතමං ථීනං, යා චිත්තස්ස අකල්ලතා, අකම්මඤ්ඤතා, ඔලීයනා, සලලීයනා, ලීනං, ථීනං, ථියනා, ථියිතත්තං” යන මේ දේසනායෙන් එය වඩාත් පැහැදිලි වේ. අකල්ලතා, අකම්මඤ්ඤතා’ ආදී වූ මේ හැම පදයෙක් ම එහි හැටි පැහැදිලි කරන්නෝය. සිතෙහි ගිලන්බව, වැඩට නො සුදුසු බව, පසු බැසීම, හැකිළීම, ගණ බැවින් සිටීම, නො පැතුරුම යන මේ කොයි ලෙසකින් කියුව ද, ඒ හැම තැන ථීනය ම ගැණේ. මෙයට සහජාත-උපනිශ්ශ්‍රය වශයෙන් ප්‍රත්‍යය වන්නෝ වනසෙනසුන්හි හා ශමථ-විදර්‍ශනා භාවනාවන්හි නො ඇලීම, (අරති) කුසල් දහම් වැඩුමෙහි කම්මැලිකම, (තන්දි) කටයුතු එළැඹැ සිටි කල්හි ඇඟ මැලි කැඩීම, (විජම්භිකා) බතින් ඇතිවන බත්මත (භත්ත සම්මද) යන මොවුහු ය. ගින්නට ලං කළ කුකුළු පියාට්ට හැකිළෙන්නා සේ, චිත්ත-චෛතසිකධර්‍ම මේ නිසා හැකිළෙන් නේ ය. එහෙයින් මෙය ගින්න බඳු ය.
උද්ධච්ච නම්, සිතෙහි නො සන්සුන් බව ය. සිත සැලෙන්නේ මේ නිසා ය. මෙය නො සන්සුන්බව ලකුණු කොට සිටියේ ය. ‘තං චෙතසො අවුපසමලක්ඛණං’ යනු කීයේ එහෙයිනි. සිතෙහි උඩඟුබවය මේ. අලුගොඩට ගලක් ගැසූවිට අලු විසිරී යන්නා සේ, ගල්ලෑල්ලක් මතුපිට කරකැවෙන බඹරය සේ චින්ත-චෛතසික ධර්‍ම නො සන්සුන් වනුයේ මේ නිසා ය.
අහිරික නම්, පව්කිරීමෙහි ලජ්ජා නැති කම ය. පව්කිරීමට ලජ්ජිත නො වන්නේ මේ නිසා ය. පවට පිළිකුල් නො කිරීම ලකුණු කොට සිටියේ ය. “තං කායදුච්චරිතාදීහි අජිගුච්ඡන ලක්ඛණං” යි කීයේ එහෙයිනි. මල මූ කරන තැනට යන මිනිස්සු නැත. ඔවුහු මුළුමනින් එ තැන පිළිකුල් කෙරෙති. නො දකිනු කැමැති වෙති. එහෙත් ගම්ඌරා මල මූ හැමෙකක් මිහිරක් සේ ගෙණ අනුභව කරයි. එ මෙන් ලජ්ජාව නැත්තේ සතුන් මැරීම් ආදී වූ පව්කම් කරයි. පව්කම් කිරීම උසස් මිනිසුන්ගේ වැඩකැ’ යි සිතයි. අද රා අරක්කු බීම උසස් සමාජ සිරිතැ” යි සිතන්නේ ලජ්ජා නැතිකම නිසා ය. යමකුගේ සිත්හි යන්තමකිනුත් ලජ්ජාව තිබේ නම්, ඔහු කිසිවිටක රා අරක්කු බීම් ආදී වූ පව්කම්වලට නතු නො වේ. ලජ්ජා නැති මිනිසා එයට නතු වේ. ගම්ඌරා මල මල මූ මිහිරක් කොට ගන්නා සේ, ඔහු ද රා අරක්කු බීම මිහිරක් සේ සලකන්නේ ය. ගම් ඌරාගේත් ලජ්ජා නැති මිනිසාගේත් මෙහිලා වෙනසෙක් නැත.
අනොත්තප්ත නම්, පව්කම් කිරීමෙහි බිය රහිත බව ය. පව්කම් කිරීමට බිය නො වන්නේ මේ අනොත්තප්පය නිසා ය. මෙය පව්කම් කිරීමෙහි තැති නො ගැණීම ලකුණු කොට සිටියේ ය. “තං අනුත්තාස ලක්ඛණං” යනු කීයේ එහෙයිනි. දැල් වූ තෙල් පහනෙහි පහන්සිළ දුටු පළඟැටියා එහි එලියෙන් මුළා වී පහන්වැටියෙහි වැටී විනාශයට යන්නා සේ, නැසී යන්නා සේ පව්කම් කිරීමෙහි නො බිය වූ මිනිසා සතුන්මැරීම් ආදී වූ පව්කම් සැපයට, හිතයට හේතු ය’ යි සලකා පව්කම් කිරිමෙහි බියට නො පැමිණ පව්කම් කරයි. එහෙයින් මෙය පලඟැටියකු බඳු ය.
මෙහි මෙසේ ඉතා කොටින් කියූ යේ ප්‍රධාන වශයෙන් ආගම ධර්‍මයෙහි කෙලෙස් නමින් දැක්වෙන ධර්‍ම සමූහය යි. කසට තැවරුණු රෙද්දක් යම් සේ අපිරිසිදු වේ ද, කිලිටි වේ ද එ මෙන් සිත ද කෙලෙස්වලින් යුක්ත වූවිට අපිරිසිදු වේ. මොවුනට කෙලෙස් කසට ය යි කීයේ එහෙයිනි.
කාසාවං = කසටින් රැඳු. පඬු පෙවූ.
වත්‍ථං’ යන්නට විශේෂණ යි. ‘කාසාවං වත්ථං’ යි ඒ දෙක එක් කොට ‘කසටවතැ’ යි අරුත් ගණිත්. කෂාය-තික්තාදි ෂඩ්රසයෙන් එක්තරා රසයෙක් කසාව යන්නෙන් ගැණේ,
“කං පානීයං සෙවතෙති = කසාවං” යනු නිරුක්ති යි. කසාව ශබ්දය පුං නපුංසක දෙක්හි ආයේ ය. මෙහි වත්ථ ශබ්දය බලා සිටි කසාව ශබ්දය නපුංසක ය.
මෙහි මෙයින් ගත යුත්තේ පැවිද්දන් ප්‍රයෝජනයට ගන්නා චීවරනාමයෙන් ආගමෙහි එන වස්ත්‍රවිශේෂය යි. අරහද්ධජ යනු ද මෙයට නමෙකි. පැවිද්දන්ගේ සිවුරු පෙවීමට බුදුරජුන් විසින් කසට සයෙක් නියම කරණ ලද්දේ ය. ඒ නියමය මෙසේ ය:- “අනුජානාමි භික්‍ඛවෙ! ඡ රජනානි, මූල රජනං බන්‍ධරජනං තචරජනං පත්තරජනං පුප්ඵරජනං ඵල රජනත්ති” යි. විනයෙහි නියම කළ ගස් මුල් තම්බා ගත් දිය, දඬු තම්බා ගත් දිය, පොතු තම්බා ගත් දිය, කොළ තම්බා ගත් දිය, මල් තම්බා ගත් දිය, ගෙඩි තම්බා ගත් දිය යන මේ ස වැදෑරුම් කසට (පඬු ) අතුරෙහි එක්තරා එකක් පෙවූ චීවරය කසාව” නමි. ‘කසාවෙන රත්තං කාසාවං” යනු අර්‍ත්‍ථසමර්‍ත්‍ථන ය යි. මෙය ය පැවිද්දන්ට සුදුසු සිවුර.
යො වත්‍ථං පරිදහෙස්සති = යමෙක් (කෂාය) වසත්‍රයක් පරිභෝග කරන්නේ ද.
මෙහි යො’ යන්නෙන් ඇද ගන්නේ පහ නො කළ කෙලෙස් කසට ඇති ඉන්ද්‍රිය දමනයෙන් හා වාක්සත්‍යයෙන් තොර වූයේ ය, ඔහු. එබන්දෙක් හැඳීම් - පෙරවීම් ආදිවශයෙන් නික්ලෙශීන්ට සුදුසු වසත්‍රයක් (සිවුරක් ) දරා නම්.
මෙහි වත්‍ථ’ නම්, පැවිද්දන් අඳනා පොරෝණා සිවුර යි. “වස්‍යතෙ අච්‍ඡාදීයතෙති=වත්‍ථං” යනු නිරුක්ති යි. පැවිද්දන් අඳනා පොරෝණා වස්ත්‍රය බොහෝ සෙයින් ආයේ චීවර නාමයෙනි.
දිනක් බුදුරජානන් වහන්සේ රාජගහා - වෙසාලී දෙ නුවර අතර මගට බැස වඩිනා සේක්, සිවුරු පොදි බැඳ හිස තබා කර තබා ඉණ තබා එන භික්‍ෂූන් දැක “මේ උන්නාන්සේලා ඉතා ඉක්මනට ම බහුල වශයෙන් චිවර පරිභෝගයට වැටී සිටින්නෝ ය, ඒ නිසා මොවුනට සිවුරු පිළිබඳ සඞ්ඛ්‍යානියමක් කළයුතු ය’ යි සිතා භික්‍ෂූන් කැඳවා “අනුජානාමි භික්ඛවෙ! තිචීවරං දිගුණං සඞ්ඝාටිං එකච්චියං උත්තරාසඞ්ගං එකච්චියං අන්තරවාසකන්ති” යි චීවරපරිභෝගයෙහි සඞ්ඛ්‍යානියමය කළහ. මෙයින් සිවුරු තුනක් අනු දැන වදාළ සේක. සඞ්ඝාටි-උත්තරාසඞ්ග-අන්තරවාසක යනු ඒ සිවුරු තුනේ නම් ය. සාමාන්‍ය ලෝකයා සඞ්ඝාටිය දෙපට සිවුර නමින් ද, උත්තරාසඞ්ගය තනිපට සිවුර නමින් ද, අන්තරවාසකය අඳනය නමින් ද හඳුන්වයි. එහි යමකු උදෙසා නම් සිවුර, ඔහුගේ රියනෙන් උසින් සිවුරියන් හමාරක් හා පළලින් පස් රියන් හමාරක් ද ඇති පස් කඩ පටන් වැඩිකඩ ගණනක් කොට දෙ පටක් තබා මැසූ සිවුර සඞ්ඝාටි නමි. සඞ්ඝාටියෙහි කී පරිදි දිග පළල තබා තනි පටින් මැසූ සිවුර උත්තරාසඞ්ග නමි. දිගින් සිවුරියනක් හා මිටිරියනක් ද පළලින් දෙ රියනක් ද තබා තනි පටින් මැසූ සිවුර අන්තරවාසක නමි. වස්ත්‍රය කඩ කඩ කොට කපා මහ මැඩිලි ආදි ඒ ඒ කොටස් එක් කොට මසා ගත් වස්ත්‍රය චීවරය යි. “වත්ථඛණේඩහි චීයතීති = චීවරං” යනු නිරුක්ති යි. ඒ ඒ අවස්ථාවන්හි ප්‍රයෝජනය ගන්නා පිණිස මෙයින් අන්‍ය වූ ද සිවුරු කිහිපයක් අනුදැන වදාළ සේක. ඒවා මහවගචීවරක්ඛන්ධකය බලා දත යුතු ය.
‘පරිදහෙස්සති’ යන ‘පරිදහිස්සති’ යි ද එන්නේ ය. “පරිදහෙස්සතීති නිවාසනපාරුපනඅත්‍ථරණවසෙන පරිභුඤ්ජිස්සති” යනු අටුවා ය.
අපෙතො දමසච්චෙන = ඉන්ද්‍රියදමනයෙන් හා වාක්සත්‍යයෙන් පහ වූ.
අපෙතො, යන්න යො’ යන්න බලා සිටියේ ය. යමෙක් ඇස්-කන්-නාස් ආදී වූ ඉඳුරන්දැමීමෙන් හා වාක්සත්‍යයෙන් තොර ව වෙසේ නම්, නො හික්මුනේ නම්, ඔහු ය මෙයින් කීයේ. ඉන්ද්‍රියදමනය නම් ඉන්ද්‍රියසංවරසීලය යි. ඒ යට කියූ සේ දත යුතු ය. මුසවා බිණීමෙන් වළකින අයුරින් සිතෙහි උපදනා සම්මාවාවා චෛතසිකය වාක්සත්‍යය යි ගැනේ. එය පරමාර්‍ත්‍ථසත්‍යපාක්‍ෂික ය. කාමාවචරාදී වූ කුසල්සිත්වල සම්පත්ත-සමාදාන-සමුච්ඡෙද යන තෙ වැදෑරුම් වූ විරතීන්ගේ වශයෙන් උපදනා සම්මාවාචා නම් වාක්කර්‍මය, සත්‍ය නම් වේ. “යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං. උප්පන්නං හොති, සොමනස්සසහගතං ඤාණසම්පයුත්තං, මුසාවාදා විරමන්තස්ස යා තස්මිං සමයෙ ආරති” යනාදී දේශනාවන්ගෙන් ඒ පැහැදිලි ය.
සත්‍යශබ්දය “සච්චං භණෙ න කුජ්ඣෙය්‍ය” යනාදි තන්හි වාක්සත්‍යයෙහි ආයේ ය. “කස්මානු සච්චානි වදනති නානා” යනාදී තන්හි ආයේ දෘෂ්ටිසත්‍යයෙහි ය. ‘එකං හි සච්චං න දුතියං’ යනාදි තන්හි යෙදී සිටියේ පරමාර්‍ත්‍ථ-නිර්‍වාණ-මාර්‍ග සත්‍යයන් සඳහා ය. ‘චත්තාරි අරියසච්චානි’ යනාදි තන්හි යෙදුනේ චතුරාර්‍ය්‍යසත්‍යය කියයි. මෙහි හුනුයේ වාක්සත්‍යයෙහි ය.
බුද්ධාදිමහොත්තමයන් කෙරෙහි වූයේ සත්‍යය යි. ‘සන්තෙසු භවං සච්චං’ යනු එයට සාධක ය. සත්‍යවචනය එකාන්තකුශල චෛතසිකයෙකි. සිහියෙන් හට ගැණේ. ‘සතිතො සම්භූතං සච්චං’ යනු සාධක යි. මෙසේ බුද්ධාදිමහොත්තමයන් කෙරෙහි සමෘතිබලයෙන් හටගැණෙන සත්‍යවචනය සසර දුක් නසා ලන්නේ ය . ‘දුක්ඛං හිංසතීති = සච්චං’ යන්න එය කියයි. සත්‍ය වචනය ලක්‍ෂණ විසින් චතුර්විධවාග්දුශ්චරිතයෙන් වැළකීම ලක්‍ෂණ කොට සිටියේ ය. උපමා විසින් මිනීමැරුම් ආදී වූ දරුණු අපරාධයන්ගෙන් වළක්නා සොරකුට බඳු උපමා ඇත්තේ ය. රජ දඬුවමින් බිය පත් ව මං පැහැරීම් ගෙවල් බිඳීම් ආදියෙන් වළකින්නා වූ සොර තෙමේ අඹු දරුවන් රැකුමට මෙර මා අයත් රන් රිදී මුතු මැණික් ආදී වූ වස්තුව සොරා ගැණුමෙහි දක්‍ෂ වූයේ ද, - ‘මෙකල පලාකොළ මිටක් සොරකම් කළ එකකු පවා දිවස්හුල හිඳුවයි, මම සොරකමෙහි දක්‍ෂ වූයෙම් ද, සොරකම් කෙළෙම් නම් මාගේ දිවි නැසෙන්නේ ය’ යි සලකා රජදඬුවමට බියෙන් සොරකමින් වළකින්නේ ය. එමෙන් සම්මාවාචාචෛතසිකය, අපායභය සැලකීමෙන් මුසාවාදාදිචතුර්විධ වාග්දුවරිතයෙන් වළකියි.
න සො කාසාවං අරහති = ඔහු කසාවත (දැරීමට) සුදුසු නො වේ.
න’ යනු නිපාතයි. යට කියූ යො’ යන්න සම්බන්ධ ව සිටියේ මෙහි පෙණෙන සො’ යන්න සමග ය. යමෙක් රාගාදී වූ කෙලෙස් කසටින් තොර නො වූයේ නම්, ඉන්ද්‍රියදමනයෙන් හා වාක්සත්‍යයෙන් පහවූයේ නම්, ඔහුය ඒ.
යො ච වන්තකාසාවස්ස- යමෙක් වනාහි වැහැරූ (කෙලෙස් ) කසට ඇත්තේ වේ ද.
යො’ යනු සර්‍වනාම යි . ‘ස වෙ කාසාවමරහති’ යන තන්හි සිටි සො’ යන්න බලා සිටියේ ය. ච’ යනු පදපූරණයෙහි නිපාත යි. වන්තකසාවො + අස්ස යනු පදච්ඡෙද යි. ‘වන්තානි කසාවානි යෙන’ යනු ‘වන්තකසාවො’ යන්නෙහි ව්‍යස්ත වෘත්තිය යි. (සො) ‘වන්තකසාවො’ යනු සමස්තවෘත්තිය යි. වන්ත ශබ්දය ‘වමු උග්ගිරණෙ’ යන ධාතුයෙන් කර්‍මාර්‍ත්‍ථයෙහි ත’ ප්‍රත්‍යය වී, එයට න්ත’ ආදෙශය හා ධාත්වලොපය වීමෙන් සිද්ධ ය. අස්ස’ යනු ක්‍රියාපද යි. වන්තකසාව වනුයේ කෙලෙස් කසට වමාරා දැමූ විට ය. ඒ කළ හැක්කේ ආර්‍ය්‍යමාර්‍ගයෙනි. ආර්‍ය්‍යමාර්‍ග නම්, නිවන් අරමුණු කොට උපදනා සෝතාපත්ති .ආදී වූ කුසල්සිත් සතර හා ඵලසිත් සතර ය. සෝතාපත්තිමග්ගචිත්ත - සකදාගාමීමග්ගචිත්ත - අනාගාමීමග්ගචිත්ත - අරහත්තමග්ගචිත්ත - සෝතාපත්තිඵලචිත්ත - සකදාගාමීඵලචිත්ත - අනාගාමීඵලචිත්ත - අරහත්තඵලචිත්ත යන මේ ය ඒ මගපල සිත්. මේ සිත් නිවන් අරමුණු කොට සිටියේ ය.
සෝත’ යනු බැස යන දිය පහරට නමෙ කි. සම්මාදිට්ඨිය මුල් කොට සිටි අට වැදෑරුම් ආර්‍ය්‍යමාර්‍ගය, බැස යන දිය පහරක් වැනි බැවින්, ආගමධර්‍මයෙහි සෝත” යි හඳුන්වනු ලැබේ. ඒ මේ සෝතය නිවන් නැමැති මහමුහුදට ය බැස යන්නේ, ආර්‍ය්‍යමාර්‍ගස්‍රෝතයට හසු වූ යේ ඒ ආර්‍ය්‍යමාර්‍ගස්‍රෝතය විසින් නිවන් නැමැති මහමුහුදට පමුණුවනු ලබන්නේ ය. ස්‍රෝතයට ආර්‍ය්‍යමාර්‍ගයට පළමුකොට පැමිණීම සෝතාපත්ති’ නම්. එසේ පැමිණීමෙන් ලැබූ සිත සෝතාපත්තිමග්ගචිත්තය යි. තවද ආර්‍ය්‍යමාර්‍ගයට මුලින් පැමිණි තැනැත්තේ ද සෝතාපතති නම් වේ. ඔහු පිළිබද මාර්‍ගචිත්තය සෝතාපත්තිමග්ගචිත්තය යි කියනු ලැබේ. “නිබ්බාණං පති සවනතො උපගමනතො නිබ්බාණමහාසමුද්දනින්නතාය සොතසදිසත්තා වා සොතො ති වුච්චති අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සොතස්ස ආපත්ති ආදිතො පජ්ජනං පාපුණනං පඨමසමන්නාගමො සොතාපත්ති” යන මේ පාලි ප්‍රදෙශයෙන් එය පැහැදිලි කරණ ලද්දේ ය.
නිවන් සොයන්නේ නිවන් කැමැත්තන් විසින් සොයනු ලබන්නේ, කෙලෙස් නසා නිවන් යන්නේ මග්ග’ යි කියන ලදී. මේ ඒ කියු සැටි:- “නිබ්බාණං මග්ගති නිබ්බාණත්‍ථිකෙහි වා මග්ගීයති කිලෙසෙ මාරෙන්තො ගච්ඡතීති වා = මග්ගො” යි සෝතාපත්තිය හා එක් ව යෙදුනු සිත ය, නැත, සෝතාපත්තියට පැමිණියහුගේ සිතය නිවන් සොයන්නේ. නිවන් කැමැත්තන් විසින් සොයනු ලබන්නේ. කෙලෙස් නසා නිවන් යන්නේ.
මේ මිනිස්ලොවට උත්පත්ති වශයෙන් එක් වරක් එන්නේ සකදාගාමි නම් වේ. ඔහුගේ සිත නිවන් සොයන්නේ ය. නිවන් කැමැත්තන් විසින් සොයනු ලබන්නේ ය. කෙලෙස් නසා නිවන් යන්නේ ය. එහෙයින් ඒ සිත සකදාගාමිමග්ගචිත්ත නම් වේ. “සකිං එකවාරං පටිසන්‍ධිවසෙන ඉමං මනුස්සලොකං ආගච්ඡතීති = සකදාගාමී, තස්ස මග්ගො සකදාගාමිමග්ගො, සකදාගාමිමගේගන සම්පයුත්තං චිත්තං සකදාගාමිමග්ගචිත්තං” යනු එයට සාධක ය.
කාමලෝකයෙහි උත්පත්තියට නො එන්නේ අනාගාමී නම්, ඔහුගේ සිත නිවන් සොයන්නේ ය. නිවන් කැමැත්තන් විසින් සොයනු ලබන්නේ ය. කෙලෙස් නසා වනසා නිවන් යන්නේ ය. එ හෙයින් ඒ සිත අනාගාමිමග්ගචිත්ත නම් වේ. “පටිසන්‍ධි වසෙන ඉමං කාමධාතුං න ආගච්ඡතීති=අනාගාමී, තස්ස මග්ගො අනාගාමිමග්ගො, තෙන සම්පයුත්තං චිත්තං අනාගාමි මග්ගචිත්තං” යනු පාළියි.
සිවු පසය ලැබීමීට සුදුසු වූයේ, කෙලෙස් නැමැති සතුරන් හෝ සංසාර චක්‍රයෙහි වූ (කෙලෙස්) අර නැසූයේ රහසත් පව් නො කරණුයේ රහත් නම්. නිවන් සොයන්නේ, නිවන් කැමැත්තන් විසින් සොයනු ලබන්නේ, කෙලෙස් නසා නිවන් යන්නේ ඔහුගේ සිත ය. ඒ සිත අරහත්තමමග්ගචිත්ත නම් වේ. “පූජා විසෙසං අරහතීති=අරහා, කිලෙසසඞ්ඛාතා අරයො, සංසාරචක්කස්ස වා අරා කිලෙසා හතා අනෙනාති = අරහා, පාපකරණෙ රහාභාවතො වා අරහා, තස්ස මග්ගො අරහත්ත මග්ගො, තෙන සම්පයුත්තං චිත්තං අරහත්තමග්ගචිත්තං”යනු පාළියි.
ඵල නම්, විපාක යි. සෝතාපත්තිමග්ගචිත්තය ලැබූ පුද්ගලයාහට එයට අනතුරු ව උපදනේ සෝතාපත්තිඵලචිත්තය යි. මග්ගචිත්තය කුසල් ය. ඵලචිත්තය එහි විපාකය යි. කුසල් හේතුයෙන් ලත් විපාකය ඵලය යි. මෙ කියූ ලෝකෝත්තර කුශලයන්ගේ විපාකය එ කෙණෙහි ම ලැබෙන්නේ ය. අනික් මගසිත්වලට අනතුරු ව, ඒ ඒ මගසිත් පිළිබඳ ඵලසිත් උපදනේ ද මෙසේ ය යි දතයුතුය.
ඒ ඒ මගසිත් පිළිබඳ ක්ලේශවාසනා නැසී යන්නේ , ඒ ඒ එල සිත්වලිනි. ක්ලේශවාසනා නැති කොට සිත මුළුමනින් පිරිසිදු කරන්නේ ඵලසිත් ය. ක්ලේශදාහය සංසිඳුවන්නේ එලසිත් ය.
මෙහි යට කියූ කෙලෙස් අතුරෙහි, ලෝභයෙහි තද බද ගතිය අනාගාමීමාර්‍ගයෙන් නැසී යයි. මුළුමනින් ඒ නැසෙන්නේ අර්‍හත්මාර්‍ගයෙනි. ද්වේෂය අනාගාමීමාර්‍ගයෙන් නැසෙයි. මෝහය සෝතාපත්ති ආදී වූ එකෙකි සිතින් නැසෙයි. මානය කිසිත් ඉතිරි නො කොට නසන්නේ අර්‍හත්මාර්‍ගය යි. සෝතාපත්තිමග්ගචිත්තය තෙමේ දිට්ඨිය හා විචිකිච්ඡාව නසා ලන්නේය. ථීනය හා උද්ධච්චය නැසෙන්නේ අරහත්තමග්ගචිත්තයෙනි. අහිරිකය හා අනොත්තප්පය සෝතාපත්ති ආදී වූ මගසිත්වලින් වැනසේ. විස්තර මතුයෙහි එන්නේ ය.
මෙස් ඒ ඒ මගසිත්වලින් නැසිය යුතු හැම කෙලෙස් එසේ නසා, ඒ ඒ ඵලසිත්වලින් සංසිඳවිය යුතු ක්ලේශවාසනා ද සංසිඳුවා, සිය සිත ක්ලේශයන්ගෙන් මුළුමනින් අස් කොට ගෙණ සිටියේ ‘වන්තකසාව’ නම් වේ.
සීලෙසු සුසමාහිතො = සීලයන්හි මොනවට පිහිටියේ.
ප්‍රාතිමෝක්‍ෂ - ඉන්ද්‍රිය - ආජීව - ප්‍රත්‍යයසන්නිශ්ශ්‍රිත යන සිවු වැදෑරුම් සීලයෙහි මනාසේ පිහිටියේය කියූයේ.
උපෙතො දමසච්චෙන = ඉඳුරන් දැමීමෙන් හා ඇත්ත දැකීමෙන් යුක්ත වූයේ.
ස වෙ කාසාවං අරහති = ඔහු එකාන්තයෙන් කසාවතට සුදුසු ය.
‘සො + වෙ’ යනු පදච්ඡෙද යි. මේ ගාථායෙහි මුල සිටි යො’ යන්න සිටියේ මේ සො’ යන්න බලා ය. මේ දෙකෙහි මූල ප්‍රකෘතිය ය, ත’ යනු නිත්‍යසම්බන්ධය ඇත්තේ ය. “යත්තදොර් නිත්‍යසම්බන්ධඃ’ යනු කීයේ එහෙයිනි.
යමෙක් කෙලෙස් වමාරා, සීලයන්හි මොනවට පිහිටා, ඉඳුරන් දමා, සබවස පිහිටා සිටියේ ද, ඔහු ය බුදු පසේබුදු මහරහතුනට හිමි, සිවුර හැඳීමට, පෙරවීමට සුදුසු. කෙලෙස් වැමෑරීමට පිළිවෙත් පුරන්නා ද සුදුසුය සිවුරට.
මේ ධර්‍මදේශනාවගේ අවසානයෙහි ඒ පිටිසර භික්‍ෂු නම සෝවන්පලයට පැමිණියේ ය. එහි හුන් අන්‍යයෝ ද මේ අසා සෝතාපත්තිඵලාදියට පැමිණියෝ ය. ධර්‍මදේශනාව මහාජනයාට වැඩ සහිත වූ ය.
දේවදත්තවස්තුව නිමි.