අස්සද්ධො අකතඤ්ඤූ ච සන්‍ධිච්ඡෙදො ච යො නරො
හතාවකාසො වන්තාසො ස වෙ උත්තමපොරිසො.
යම් පුඟුලෙක් (ලොවී ලොවුතුරු දහම් තමා ම පසක් කොට දත් හෙයින්) අනුන්ගේ බසින් නො අදහා ද (නොහොත් බුදුරජුන් විනා අන්‍ය ශාස්තෘවක්හු කෙරේ ඇදහිලි නැත්තේ ද), (දිව්‍යාදි කිසිවක්හු විසින් නො කරන ලද හෙයින් ආකෘත නම් වූ) නිර්‍වාණය (අරමුණු කිරීම් වශයෙන්) ප්‍රත්‍යක්‍ෂ කොට දත්තේ ද, වෘත්තසන්‍ධියත් සංස්කාරසන්‍ධියත් සිඳැපී ද, (කර්‍මසංඛ්‍යාත ප්‍රතිසන්‍ධිබීජය ක්‍ෂීණ හෙයින්) නසන ලද ප්‍රතිසන්‍ධ්‍යවකාශ ඇත්තේ ද, (චතුර්විධ ආර්‍ය්‍යමාර්‍ගඥාන මුඛයෙන්) වමනය කරන ලද (කාම තෘෂ්ණාදි) සියලු ආශා ඇත්තේ ද, ඒ පුඟුල් තෙම ඒකාන්තයෙන් (පිළි-විදි නව ලොවුතුරා දහම් ඇති හෙයින් සියලු ලොවට අග්‍ර දක්‍ෂිණේය නු යි) උත්තම පුරුෂ නම් වේ.
දිනෙක තිස් නමක් පමණ වෙනෙහි වසන භික්‍ෂූන් වහන්සේලා බුදුරජුන් වෙත පැමිණ වැඳ, එකත් පසෙක හුන්හ. තමන්වහන්සේ වෙත පැමිණි ඒ හැම භික්‍ෂූහට ම රහත් වීමේ වාසනාව ඇතිබව දුටු බුදුරජානන් වහන්සේ සැරියුත් තෙරුන් අමතා “සැරියුත්! වැඩූ, පුන පුනා වැඩූ ශ්‍රද්ධේන්‍ද්‍රියය නිවනට ඇතුළත් ව පවතී, නිවන කෙළවර කොට සිටියේ ය, මා කියන මේ කතාව තමුසේ පිළිගන්නහු දැ” යි අසා වදාළ සේක. එවිට ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ “ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! ශ්‍රද්ධේන්‍ද්‍රියය නිවනට ඇතුළත් ය, එය නිවන කෙළවර කොට සිටියේ ය, යනු මම පිළිගණිමි, මා එසේ පිළිගන්නේ බුදුරජානන් වහන්සේගේ කතාව අදහා ගැණීමෙන් නො වේ, මම අනුන් කීවක් නො පිළි ගණිමි, තමන්ට නො වැටහෙන තමන්ගේ නුවණට ගොදුරු නො වන යමක් අනුන් කියූ පළියට පිළිගැණීම නො සුදුසු ය, යනු මාගේ වැටහීම ය, ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! යම් කෙනෙක් ඒ කාරණය එකා විසින් නො දත්තෝ නම්, නො දැක්කෝ නම්, ප්‍රත්‍යක්‍ෂ විසින් නො දත්තෝ නම්, නුවණින් ස්පර්‍ශ නො කොළේ නම්, එබඳු අය මේ කරුණහි ලා අනුන් කීවක් අසා ශ්‍රද්ධේන්‍ද්‍රියය නිවනට ඇතුළත් ය, නිවන කෙළවර කොට සිටියේ ය, යනු අදහා ගන්නෝ ය, මම අනුන් කී තරමින් යමක් පිළිගන්නෙක් නො වෙමි” යි පිළිතුරු දුන්හ.
මේ ප්‍රශ්නව්‍යාකරණය අසාහුන් භික්‍ෂූන් වහන්සේලා “ශාරීපුත්‍ර ස්ථවිර තෙමේ තමන්ගේ මිසදිටු ගැණුම තාම නො ම හැර සිටීයේ ය, අද දක්වාත් සම්මා සම්බුදුරජුන්ගේ වචන නො අදහා” යි. කතාවක් ඉපද වූහ. බුදුරජානන් වහන්සේ මේ කතාව අසා “මහණෙනි! ඇයි ඔහොම කියහු? මහණෙනි! මම, පඤචෙන්‍ද්‍රියයන් නො වඩා ශමථ - විදර්‍ශනාවන්හි නො යෙදී මගපල ලබන්නට සමතෙක් ඇත්තේ ය, යනු තමුසේ අදහන්නහු දැ යි සැරියුත් තැනගෙන් ඇසීමි, එයට ඒ තැන කීයේ, එසේ මගපල ලබන්නෙක් ඇතැ යි නො අදහන බව ය, නො පිළිගන්නා බව ය, ඒ මිසක් දුන් දෙයක, කළ දෙයක, විපාකයත් බුද්ධාදීගේ ගුණත් නො අදහන්නෝ නො වෙති, මේ තැන තමන් දැන ගත් උපදවා ගත් ධ්‍යාන විදර්‍ශනා මාර්‍ගඵල ධර්‍මයන්හි අනුන්ගේ කීම් පිළිගෙණ ඇදහීම් කරන්නෙක් නො වේ, එහෙයින් ඒ තැන උපවාදරහිත ය” යි වදාරා අනුසන්‍ධි ගළපා මේ ධර්‍මදේශනාව කළ සේක:
අස්සද්ධො අකතඤ්ඤු ච සන්‍ධිච්ඡෙදො ච යො නරො,
හතාවකාසො වන්තාසො සවෙ උත්තමපොරිසොති.
ඇදහීම් නැත්තා වූ නිවන් දක්නා වූ සන්‍ධි සිඳ හැර සිටි නැසූ අවකාශ ඇති වැමෑරූ ආශා ඇති යම් පුද්ගලයෙක් වේ ද හේ එකාන්තයෙන් උත්තමපුරුෂයෙකි.
අස්සද්ධො = ඇදහීම් නැත්තා වූ.
තමන් විසින් ම දැන ගත් ධ්‍යාන - විදර්‍ශනා - මාර්‍ග - ඵල - නිර්‍වාණ යන ලෞකික - ලෝකෝත්තර ගුණධර්‍මයන් අනුන්ගේ බසින් අනුන් කීවාට අනුන්ගේ කීමෙන් ඉල්ලීමෙන් නො අදහන බැවින්, බුදුරජුන් විනා අන්‍යශාස්තෘවරයකු කෙරෙහි ඇදහීමක් නැති බැවින් රහතුන් වහන්සේ ශ්‍රද්ධා නැත්තාහ, යි බුදුරජානන් වහන්සේ වදාළ සේක. රහතුන් වහන්සේ තමන් විසින් ප්‍රත්‍යක්‍ෂ විසින් දත් ධර්‍මය, ශ්‍රමණ - බ්‍රාහ්මණ - දිව්‍ය - මාර - බ්‍රහ්ම යන කිසිවක්හුගේ කීමක් උඩ, කිසිවක්හුගේ කීමක් නිසා දැන ගත්තෝ නො වෙති. ඒ තමන් දත් ධර්‍මය අනුන්ගේ කීමක් ඇදහීමෙන්, දන්නා ලද්දකුත් නො වේ.
“සාමං සයං අභිඤ්ඤාතං අත්තපච්චක්ඛං ධම්මං න කස්සචි සද්දහති අඤ්ඤස්ස සමණස්ස වා බ්‍රාහ්මණස්ස වා දෙවස්ස වා මාරස්ස වා බ්‍රහ්මුනො වා” යනු දේශනා කළේ එ බැවිනි.
වසවත් මරුන් ඈ විසින් බුදු වෙස් ගෙණ අවුත් අහස්හි සිට ‘ආත්මයෙක් ඇත, එය නිත්‍ය ය, ඒකාන්ත ය, ශුභ ය, සුඛ ය, ස්ථිරය’ යි කියූ ව ද, එය නො ද පිළිගන්නෝය. නො ද අදහන්නෝ ය. එසේ ම උසස් දිව්‍යබ්‍රහ්මාදි සම්පත් පෙන්වා ‘අන්‍යශාස්තෘවරයකු අදහා ගණිවූ’ යි කියූ ව ද, නො ද අදහන්නෝ ය. රහතුන් වහන්සේ තබා දිට්ඨිසම්පන්න යි කියන සෝතාපන්න තෙමේත් සංස්කාරයක් නිත්‍ය, යි කා කී වත් නො අදහන්නේ ය. අන්‍ය ශාස්තෘවරයකු අදහව, යි කී ව ද නො අදහන්නේ ය.
“අට්ඨානමෙතං භික්ඛවෙ, අනවකාසො යං දිට්ඨිසම්පන්නො පුග්ගලො කඤ්චි සඞ්ඛාරං නිච්චතො උපගච්ඡෙය්‍ය නෙතං ඨානං විජ්ජති, අට්ඨානමෙතං භික්ඛවෙ, අනවකාසො යං දිට්ඨිසමපන්නො අඤ්ඤං සත්‍ථාරං උද්දිසෙය්‍ය නෙතං ඨානං විජ්ජති” යනු අට්ඨානපාළි යි.
කේසපුත්ත නියම්ගම් වැසි ක්‍ෂත්‍රියයෝ බුදුරජුන් වෙත ගොස් “ස්වාමීනි! විටින් විට අප නියම්ගමට එන නොයෙක් අන්දමේ අදහස් ඇති මහණ බමුණෝ තමතමන් ගත් ලබ්ධීන් හුවා දැක්වීම පිණිස අන්‍යයන් ගත් ලබ්ධීන් පහත් කොට අනෛර්‍ය්‍යාණික කොට දක්වති, මේ නිසාම ඒ හැම ලබ්ධියක් කෙරෙහි ම අප සිත්තුළ කවුරුන් කියන ලද්ද සත්‍ය ද කවුරුන් කියන ලද්ද පිළිගත යුතු දැ, යි මහත් විමතියක් හටගෙණ තිබේ. ඒ පිළිබඳ ව අප සිත්තුළ මහත් විචිකිච්ඡාවක් පවතී” යි කීහ.
එවිට බුදුරජානන් වහන්සේ “කාලාමයෙනි! තමුසේලාගේ ඒ විමතිය වරද නැත, තමුසේලාගේ සිත්තුළ නැගී ඇති සැකය, සැක කළ යුතු තැනෙක ම නැගී තිබේ, ඒ නිසා එය වරදය යි නො කියැකිය, කාලාමයෙනි! තමුසේලා කිසිවක්හුගේ කතාවක්, දහමක් ආරඤ්චියෙන්, පරම්පරා කථාවෙන්, මේ මෙසේ යි අනුන් කියන හෙයින්, අපගේ පිටකපාළිය හා සම වේ යි සිතීමෙන් නො පිළිගත යුතු ය, තර්‍කානුකූල ය, න්‍යායානුකුලය, මේ කාරණය යහපත් ය, අප ගත් ලබ්ධිය හා සමය යි සැලකීමෙන් නො පිළිගත යුතු ය, මේ මහණ සුදුස්සෙක, එහෙයින් මොහුගේ කතාව පිළිගත යුතු ය යි සුදුසු බව සැලකීමෙන් නො පිළිගත යුතු ය, මේ මාගේ ගුරුවරයා ය, එහෙයින් ගුරුවරයා කියන කතාව පිළිගත යුතු ය යි ගුරුකම සැලකීමෙන් නො පිළිගත යුතු ය. යම් දහමක් ලබ්ධියක් තමුසේලාගේ බුද්ධියට අනුරූප වේ නම්, නුවණින් සලකා බලා විමසා ම පිළිගත යුතු ය, පරබුද්ධියට යටත් නො වී ස්වබුද්ධියෙන් විමසා බුද්ධියට ගොදුරු වූ කල්හි ම පිළිගත යුතු ය” යි වදාළ සේක. “එථ තුම්හෙ කාලාමා! මා අනුස්සවෙන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිටකසම්පදානෙන, මා තක්කහෙතු, මා නයහෙතු, මා ආකාරපරිවිතක්කෙන, මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා, මා භබ්බරූපතාය, මා සමණො නො ගරූති, යදා තුම්හෙ කාලාමා, අත්තනාව ජානෙය්‍යාථ, ඉමෙ ධම්මා අකුසලා, ඉමෙ ධම්මා සාවජ්ජා ඉමෙ ධම්මා විඤ්ඤූගරහිතා සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්තීති, අථ තුම්හෙ කාලාමා, පජහෙය්‍යාත -පෙ- ඉමෙ ධම්මා කුසලා ඉමෙ ධම්මා අනවජ්ජා, ඉමෙ ධම්මා විඤ්ඤුප්පසත්‍ථා, ඉමෙ ධම්මා සමත්තා සමාදින්නා හිතාය සුඛාය සංවත්තන්තීති, අථ තුම්හෙ කාලාමා, උපසම්පජ්ජ විහරෙය්‍යාථ” යනු දේශනා ය.
නිදහස් ලෙසින් තම තම නුවණින් හැම එකක් ම තීරණය කොට ගැණිමට අවකාශ ඇත්තේ බුදුරජුන් දෙවි කොට ගත්තහුට ම පමණක් බව මෙයින් පැහැදිලි ය. අන් එක ද ධර්‍මයකින් එක ද ලබ්ධියකින් මෙබඳු නිදහසෙක් ලෝකයට ලැබී නැත. එයට හේතුව බුදුදහමින් අන්‍ය වූ හැම ධර්‍මයක් හැම ලබ්ධියක් ස්ථිර වූ පදනමක් උඩ නො වෙනස් වන තත්ත්‍වයක් උඩ රඳා නො පැවැත්ම ය. ඒ ඒ දහම් ඒ ඒ ලබ්ධීන් උරගා බැලීමට විවේචනය කීරීමට බුදුදහමින් දුන් නිදහස වැනි නිදහසෙක් ඒ ඒ ධර්‍මොත්පාදක ශාස්තෘන් විසින් දෙන ලද්දේ නම්, ඔවුන්ගේ ධර්‍ම ඔවුන්ගේ ලබ්ධීහු ප්‍රතිෂ්ඨාරහිත වන්නෝ ය. බිඳ වැටෙන්නෝ ය.
සාමාන්‍යපදාර්‍ත්‍ථ විෂයයෙහි මෙසේ නම්, ධ්‍යාන - විදර්‍ශනා - මාර්‍ග - ඵල - නිර්‍වාණ යන ලෞකිකලෝකෝත්තරධර්‍ම විෂයයෙහි අනුන් කියුවක් ඇදහීමෙන්, පිහිටක් නො වන බව කිය යුතු නො වේ.
තම තමන් විසින් ම සිය සිතින් ඇදහිය යුතු ය. තම තමන් විසින් ම ප්‍රත්‍යක්‍ෂ කර ගත යුතුය. අනුන් බසින් නො ඇදහිය යුතු ය. එසේ නො ද අදහන බැවින් රහතුන් වහන්සේ අශ්‍රද්ධාවත් ය. ‘අත්තනා පටිවිද්ධගුණං පරෙසං කථාය න සද්දහතීති අස්සද්ධො’ යනු අටුවා ය.
අකතඤ්ඤු = නිවන දන්නා වූ.
අකත, යි නිවනට නමෙකි. හේතුප්‍රත්‍යය ධර්‍මයන් විසින් දිව්‍ය බ්‍රහ්මාදීන් විසින් නො කළ බැවින් ඒ අකත, යි හඳුන්වනු ලැබේ. ‘පච්චයෙහි න කතන්ති = අකතං’ යනු නිරුක්ති යි. ‘අත්‍ථි භික්ඛවෙ, අජාතං අභූතං අකතං’ යනාදි තන්හි දන්නා ලැබේ.
නිවන වනාහි කුශලාකුශලකර්‍මාදි හේතුධර්‍මයකින් නිපන්නෙක් නො වේ. එසේ ම දිව්‍යබ්‍රහ්මාදී කෙනකුන් විසින් නිපදවන ලද්දේ ද නො වේ. ඍතු ශක්තියකින් උපදින්නේත් නො වේ. එහෙයින් කර්‍මජ නො වේ. හේතුජ නො වේ. ඍතුජ නො වේ. අතීත නො වේ. අනාගත නො වේ. වර්‍තමාන නො වේ. ඇසින් දත හැක්කේ නො වේ. කණින් දත හැක්කේ නො වේ. නාසයෙන් දත හැක්කේ නො වේ. දිවෙන් දත හැක්කේ නො වේ. සිරුරෙන් දත හැක්කේ නො වේ. මෙසේ අකත හෙයින් ආර්‍ය්‍යශ්‍රාවකයා විසින් සිතින් දත යුත්තේ ය. එහෙයින් උන්වහන්සේ මේ නිවන මගපල සිත්වලට අරමුණු කිරීම් වශයෙන් ප්‍රත්‍යක්‍ෂ කොට දත් බැවින් ‘ අකතඤ්ඤු’ යි කියත්.
නිර්‍වාණධර්‍මය, ආර්‍ය්‍ය පුද්ගලයන් විසින් චතුර්විධමාර්‍ගඥානයන් කරණ කොට ගෙන ප්‍රත්‍යක්‍ෂ විසින් ද, කල්‍යාණ පෘථග්ජනයන් දේශනා මාර්‍ගය කරණ කොට ගෙණ අනුමාන විසින් ද දතයුතු ය. එයින් මෙහි අදහස් කරණ ලද්දෝ නම් ප්‍රත්‍යක්‍ෂ විසින් නිවන දත් ආර්‍ය්‍යයන් වහන්සේ ය. ඔවුනතුරෙහි ද ප්‍රධාන විසින් රහතුන් වහන්සේ ය.
සෝතාපත්තිමග්ගචිත්තවීථියෙහි මුල සිට පිළිවෙළින් භවඞ්ග - භවඞ්ගචලන - භවඞ්ගුපච්ඡෙද යන චිත්තක්‍ෂණයන්ට, කර්‍ම - කර්‍මනිමිත්ත - ගතිනිමිත්ත යන තුනෙන් එකෙක් අරමුණු වේ. එතැන් සිට ඒ චිත්තවීථියෙහි ලැබෙන මනොද්වාරාවර්‍ජන - පරිකර්‍ම - උපචාර - අනුලොම යන චිත්තක්‍ෂණයන්ට, අරමුණු වන්නේ සංස්කාර ධර්‍ම යි. එතැන් සිට එහි ගොත්‍රභූ - මග්ග - එලචිත්ත යන්ට නිවන අරමුණු වන්නේ ය.
සකදාගාමීමග්ගචිත්තවීථියෙහි පරිකර්‍ම - උපචාර - අනුලොම චිත්තයන්ට, සංස්කාර හා වොදාන - මගග - ඵල චිත්තයන්ට නිවන අරමුණු වන්නේ ය. සෝතාපත්ති මග්ගචිත්තවීථියෙහි ගෝත්‍රභූ නමින් ආ සිත මෙහි වෝදාන නමින් ආයේ ය. සෝවන් වීමෙන් පසු පෘථග්ජනගෝත්‍රය සිඳ හැරිය බැවින්, එය මෙහි වෝදාන නම් විය. වෝදාන නම් පිරිසිදු යන අරුති.
අනාගාමී - අරහත්තමග්ගචිත්තවීථින්හි ද සංස්කාර - නිර්‍වාණයන්ගේ ආරම්මණභාවය මෙසේ දත යුතු යි. මේ චිත්තවීථින්හි අවසානයෙහි ලැබෙන භවාඞ්ගචිත්තයන්ට අරමුණු වන්නේ කර්‍මාදිය ය.
චිත්තක්‍ෂණ දසසතකින් යුත් මේ චිත්ත වීථියෙක ප්‍රථමචිත්තක්‍ෂණය භවාඞ්ග නමින් කිය වේ. එතැන් සිට පිළිවෙළින් චිත්තක්‍ෂණ අටක්, භවඞ්ගචලන- භවඞ්ගුපච්ඡෙද - මනොද්වාරාවජ්ජන - පරිකම්ම - උපචාර - අනුලොම - ගොත්‍රභූ - මග්ග යි හැඳින් වේ. එතැන් සිට චිත්තක්‍ෂණ දෙකක්, ඵලචිත්තක්‍ෂණ නමින් ගන්නා අතර ඉතිරි චිත්තක්‍ෂණ සය, භවාඞ්ග වශයෙන් ගණිත්. සෝතාපත්තිමග්ගචිත්ත වීථියෙහි ලැබුනු ගෝත්‍රභූ චිත්තක්‍ෂණය, සකදාගාමීමග්ග - අනාගාමීමග්ග - අරහත්තමග්ග චිත්තවීථිතුනේ දී වෝදාන නමින් හඳුන්වත්.
සෝතාපත්තිමග්ගචිත්තවීථි - සකදාගාමීමග්ගචිත්තවීථි - අනාගාමිමග්ගචිත්තවීථි - අරහත්තමග්ගචිත්තවීථි යන මේ වීථිසිත් සතර එක් එක් වර ම මුත් දෙවරක් නො උපදනේ ය. මේ වීථිසිත් උපන් විට ඒ ඒ මගින් නැසිය යුතු කෙලෙස් එක්වරින් ම නැසී යන බැවිනි. හෙනපහරින් කඩා වැටෙන ගස් අතු සේ යමක්හුගේ සිත්හි මේ චිත්තවීථියක් උපන් ඇසිල්ලෙහි ඒ සිතේ අතිදීර්‍ඝ කාලයෙක සිට පැවත ආ සියලු කෙලෙස් බිඳ වැටෙන්නේ ය. එතැන් සිට මේ ආර්‍ය්‍යයන්ට පහළ වන්නේ පලසිත් ය. පලසිත් උපන්නේ ද නිවන අරමුණු කොට ය. ආර්‍ය්‍යයන් වහන්සේ නිවන මගපලසිත්වලට අරමුණු කිරීම් විසින් ප්‍රත්‍යක්‍ෂ කොට දන්නාසේකැ යි වදාළෝ එබැවිනි.
සන්‍ධිච්ඡෙදො ච = සන්‍ධි සින්දා වු ද.
සන්‍ධි නම්, ගැළපිම ය. මෙහි වෘත්තසන්‍ධි, සංස්කාර සන්‍ධි යි සන්‍ධි දෙකකි. කර්‍මවෘත්තය වෘත්තසන්‍ධි යි ද, ක්ලේශවෘත්තය සංස්කාරසන්‍ධි යි දැ යි ගැණේ. අතීතභවය හා වර්‍තමාන භවයත්, වර්‍තමාන භවය හා අනාගතභවයත් ගැළපීම මෙහි සන්‍ධි යි කියනු ලැබේ. ගැළපීම වන්නේ කර්‍ම-ක්ලේශයන්ගේ වසයෙනි. එහෙයින් රහතුන් වහන්සේ කර්‍මවෘත්තසඞ්ඛ්‍යාත වෘත්තසන්‍ධියත් ක්ලේශවෘත්තසංඛ්‍යාත සංස්කාරසන්‍ධියත් සිඳ දමා සිටි බැවින් සන්‍ධිච්ඡේද නම් වෙති. විස්තර යට කියන ලද්දේය.
යො නරො = යම් පුද්ගලයෙක් තෙමේ.
නර ශබ්දයට පුරුෂ - සත්ත්‍ව - මනුෂ්‍ය යන අරුත් දිය හැකි ය. ‘බුද්ධො අයං එදිසකො නරුත්තමො’ යන මෙතැන නර ශබ්දය සිටියේ මනුෂ්‍යවාචකව ය. ‘නරා ච අථ නරියො’ මෙහි සිටියේ පුරුෂවාචකනර ශබ්දය ය. සත්ත්‍වවාචකනර ශබ්දය යෙදී සිටියේ ‘යො නරො අනුගිජ්ඣති’ යන මෙතැන ය. මෙහි ද සත්ත්‍වවාචක ව සිටියේ ය, යි ගැනීම වරද නැත. ඒ ඒ තැනට සුදුසු සේ අරුත් ගත යුතු ය.
ප්‍රථමප්‍රකෘතික සත්ත්‍ව තෙමේ පසු කල උසස් තැන සිටී නු යි, ඒ ම පුරුෂ නම් වේ. උසස් තැනට පැමිණිම් අරුතින් ද නර නම්. ස්වකීය කර්‍මයෙන් පමුණුවනු ලබන හෙයිනුත්, සුගති - දුග්ගති දෙකට පැමිණෙන බැවිනුත් නර නමැ, යි කියන ලදී.
“නෙතීති = නරො, යථා පඨමපකතිභූතො සත්තො ඉතරාය පකතියා සෙට්ඨට්ඨෙන පුරි උච්චට්ඨානෙ සෙති පවත්තතීති = පුරිසො, එවං නයනට්ඨෙන නරොති, වුච්චති, නරීයති සකෙන කම්මෙන නරිය්‍යතීති = නරො, සුගති දුගග්ගතිං නයතීති = නරො” යනු අර්‍ත්‍ථසමර්‍ත්‍ථනය යි.
හතාවකාසො = නැසූ අවකාශ ඇති.
“කුසලාකුසලකම්මබීජස්ස ඛීණත්තා නිබ්බත්තනොකාසො හතො අස්සාති = හතාවකාසො” කුශලාකුශලකර්‍මබීජය ක්‍ෂය කළ බැවින්, නැසූ උපදනා තැන් ඇත්තේ මෝහට නු යි හතාවකාස නම්. මත්තෙහි කිසිත් තැනෙක නො උපදින්නේ ය යන අරුත් ය. මෙහි අවකාශ යි කීයේ, සත්ත්‍වයන් උපදින ස්ථාන වන භව - යොනි - ගති ආදිය යි. විස්තර කී සෙයින් දන්න. උත්පත්තිය ගෙණ දෙන කර්‍මශක්තිය කර්‍මක්‍ෂයකර ඥාන යෙන් සුන් කළ හෙයින් රහතුන් වහන්සේ ස්කන්‍ධපරිනිර්‍වාණ යෙන් පසු කිසිත් තැනෙක නො උපදින සේක.
වන්තාසො = වැමෑරූ ආශා ඇති.
“චතූහි මග්ගෙහි කත්තබ්බකිච්චස්ස කතත්තා ආසා ඉමිනා වත්තාති = වන්තාසො” සිවු මඟින් කළ යුතු කටයුතු කළ බැවින් මොහු විසින් ආශාව වමාරන ලදැ යි වන්තාස නම්. සිවු මඟින් කළ යුතු කටයුතු නම් පිළිවෙළින් ඒ ඒ මගින් නැසිය යුතු කෙලෙස් නැසීම ය. සිවු මගින් නැසිය යුතු කෙලෙස් නසත් ම කාමතෘෂ්ණාදීන්ගේ වසයෙන් අෂ්ටෝත්තරශතප්‍රභේද වූ තෘෂ්ණාව ද නැසෙන්නී ය. එහෙයින් පහව ගිය තෘෂ්ණාව ඇත්තේ වන්තාස, යි කියනු ලැබේ. තෘෂ්ණාව ආශා, යි හඳුන්වන ලද්දී අරමුණු යටපත් කිරීමෙන් අරමුණු කරා ගොස් අරමුණු වළඳන බැවින් ය.
“ආරම්මණානං අසනතො = ආසා, අජ්ඣොත්‍ථරණතො ච අනුගන්ත්‍වා පරිභුඤ්ජනතො චාති අත්‍ථො” යනු ඒ කීහ.
සො වෙ උත්තමපොරිසො = හෙතෙමේ එකාන්තයෙන් උත්තම පුරුෂ වේ.
‘සො+වෙ’ යනු සවෙ, යි ගැළපී සිටියේ ය. අනුන්ගේ කතාවෙන් කිසිත් නො අදහන අත්දුටු නිවන ඇති සසර ගැළපීම් සිඳ දැමු නැසූ උපදින තැන් ඇති හෙවත් මත්තෙහි නො උපදින වැමෑරූ ආශා ඇති මහත් ගුණැති පුද්ගල තෙමේය. මෙසේ ලැබූ ලොවුතුරු දහම් ඇති බැවින් සියල්ලන් අතුරෙහි උත්තමපුරුෂ නම් වෙත් රහතුන් වහන්සේ.
වෙ යනු, නිපාත යි. “න වෙ අනන්‍ථකුසලෙනඅත්‍ථචරියා සුඛාවහා නවාහං පණ්ණං භුඤ්ජාමි” යන තැන ඒ වැටුනේ එකාංසාර්‍ත්‍ථයෙහි ය. “සවෙ එතෙන යානෙන නිබ්බාණස්සෙව සන්තිකෙ” යනාදී තැන පදපූරණයෙහි වේ. “දදන්ති වෙ යථා සද්ධං යත්‍ථ පසාදනං ජනො” යනාදී තැන වවසග්ගයෙහි වැටුනේ ය. මෙහි ආයේ එකාංසාර්‍ත්‍ථයෙහි ය.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි තිසක් පමණ වනවැසි භික්‍ෂූන් වහන්සේලා සිවු පිළිසැඹියාවන් ලබා රහත් වූහ. සෙසු මහජනයාහට ද ධර්‍මදේශනාව වැඩ සහිත වූ ය.
ශාරීපුත්‍රප්‍රශ්නවිසර්‍ජන වස්තුව නිමි.