සන්තං තස්ස මනං හොති සන්තා වාචා ච කම්ම ච
සම්මදඤ්ඤා විමුත්තස්ස උපසන්තස්ස තාදිනො.
මනා කොට (නය හෙයින් කාරණ හෙයින්) චතුස්සත්‍යයන් දැන, (තදඞ්ගවිමුක්ත්‍යාදි පංචවිධ විමුක්තියෙන්) වෙසෙසින් මිදුනු, අටලෝ දහමින් නො සැලෙන, ඒ රහත්හුගේ සිත (තුන් මනෝදුශ්චරිතයෙන් දුරු හෙයින්) ශාන්ත ම (සන්හුන්නේ ම, නිවී ගියේ ම) වන්නේ ය. (වාග්දුශ්චරිත රහිත හෙයින්) වචනය ද ශාන්ත (නිවී ගියේ) වේ. (කාය-දුශ්චරිතයෙන් දුරු වූ හෙයින්) කායකර්‍මය ද ශාන්ත ම (නිවී ගියේ ම) වේ.
කොසඹෑනුවර එක් කුලගෙයක නුවණැති භාග්‍යවත් එක් කුලපුත්‍රයෙක් වි ය. බුදු සසුනෙහි පැහැදී සිටි ඔහු, ගිහිගෙය හැර පැවිදිව උපසම්පත්තිය ද ලබා තිස්ස ස්ථවිර යි ප්‍රසිද්ධියට පැමිණියේ ය. එ නුවර වැසි එක් දායකයකු විසින් ආරාධනා කරණු ලැබූ උන්වහන්සේ එහි වස් වැස පවාරණය කළහ. එවිට ඒ දායක තෙමේ තුන් සිවුරු හා ගිතෙල් උක්හකුරු ආදි බෙහෙත් බඩු ගෙණැවිත් උන්වහන්සේගේ පාමුල තැබී ය.
ස්ථවිර තෙමේ |
:- |
මොනවාද මේ? |
දායක |
:- |
තුන් සිවුරු හා ගිතෙල් උක් හකුරු ඈ බෙහෙත් බඩු. |
ස්ථවිර තෙමේ |
:- |
මොකට ද ඒ? |
දායක |
:- |
ඇයි, ඔබවහන්සේ මාගේ ආරාධනාවෙන් මෙහි වස් වැසූවෝ නො වහු ද? |
ස්ථවිර තෙමේ |
:- |
ඉතින්, මොකට ද මේවා? |
දායක |
මාගේ විහාරයෙහි මාගේ ආරාධනාවෙන් වස් වැස පවාරණය කොට සිටි ස්වාමීන් වහන්සේලාට මා මෙසේ පිරිකර පුදනු මාගේ සිරිත ය. ඒ සිරිත අනුව මම මේවා ඔබ වහන්සේට පුදන්නට ගෙන ආවෙමි. එහෙයින් මේවා මට අනුකම්පා පිණිස පිළිගෙණ වදාරන්න. |
|
ස්ථවිර තෙමේ |
:- |
හොඳ යි, එය වරද නැත. මට මෙයින් වැඩෙක් නැත. |
දායක |
:- |
ඇයි ද ස්වාමීනි! එසේ කියන්නහු? |
ස්ථවිර තෙමේ |
:- |
මේවා රකින්නට මා ලඟ කුඩා නමක් නැත. සිටිය ද, මට ඕවායින් වැඩෙක් නැත. |
දායක |
:- |
හොඳයි, ස්වාමීනි! පිළිගන්න, මාගේ පුතා ඔබ වහන්සේ ලඟ පැවිදි කරවමි. |
ස්ථවිර තෙමේ |
:- |
එසේ නම් ඕවා පැත්තක තබන්න. |
එවිට දායක තෙමේ සත් හැවිරිදි තම පුතු කැඳවාගෙණ අවුත් පැවිදි කරන්නට තෙරුන්නාන්සේට භාර කළේය. උන්වහන්සේ ලමයා භාර ගෙණ හික්මවා කෙස් බූගා තචපඤ්චකකර්‍මස්ථානය කියවා පැවිදි කළහ. කෙස් කපා අවසන් වත් ම ලදරු තෙමේ සිවු පිළිසැඹියාවනුත් ලබා රහත් වූයේ ය. ඉක්බිති ස්ථවිරයන් වහන්සේ එහි අඩමසක් ගෙවා “බුදුරජුන් දකිමි” යි හෙරණුන් ලවා බඩු පොට්ටනියකුත් ගන්වා ගෙණ මග බැස යන්නෝ අතර මහ තුබූ වෙහෙරකට ගියහ. හෙරණ තෙමේ එහිදී ද “තමන් ආගන්තුකැ” යි සලකා නො සිට තම ගුරුවරයාට හිඳින්නට සෙනසුනක් පිළියෙල කෙළේ ය. එය පිළියෙල කරත් ම රෑ බෝ වූ බැවින් තමාට සෙනසුනක් පිළියෙල කර ගත නො හැකි විය. එහෙත් හෙරණ තෙමේ සවස, වත් සපයන්නට ගුරුන් වෙත ගියේ ය. එවිට උන්වහන්සේ “ඕය් උන්නැහේ! තමුසේට නිදන්නට තැනක් පිළියෙල කර ගත්තෙහි දැ” යි ඇසූ විට “එයට ඉඩ ලැබුනේ නැතැ” යි ඔහු කී ය. “එසේ නම් දැන් තැනක් පිළියෙල කිරීම අපහසු ය, කරදර සහිත ය, මා ඉන්නා කාමරයේ ම තමුසේ ටත් නිදා ගන්නට හැකි ය, එන්නැ” යි ස්ථවිරයන් වහන්සේ සාමණේරයනුත් කැටුව නිදන්නට කාමරයට ගියහ. ස්ථවිරයන් වහන්සේ නිදන්නට ඇඳ වැතිර ගත්ත. පුහුදුන් බැවින් ඇඳ වැතිර ගත් සැටියේ ම පිරිත් කියූ ව ද නො කියූ ව ද නිදි ගත්හ.
ඉක්බිති හෙරණ තෙමේ “ගුරු හාමුදුරුවන් හා එක කාමරයෙහි ඉන්නා තුන්වන දවස අද ය, යම් ලෙසකින් හාමුදුරුවන් වාගේ මාත් වැතිර නිදා ගත්තොත් මාගේ ගුරු හාමුදුරුවෝ සහසෙය්‍යාපත්තියට පැමිණෙන්නාහ” යි සිතා ගුරුවරයාගේ ඇඳ ලඟ ම අහරමිණිය ගොතා එලිවන තුරු ම පැදුරු කබලක් එලා ගෙණ වාඩි වී හුන්නේ ය. ස්ථවිරයන් වහන්සේ උදෑසන නින්දෙන් නැගිට “හෙරණුන් කාමරයෙන් බැහැර කරමි” යි පසෙක තුබූ වටාපත ගෙණ වටාපත් අගින් හෙරණුන් හුන් පැදුරට ගසා “ඕය්! උන්නැහේ! කුඩානම, තමුසේ දැන් දොරට බසිවු” යි කීහ. වටාපත් අග හෙරණුන්ගේ ඇසෙහි වැදුනේ ය. ඇස හිල් විය. ලේ ගලන්නට වන. හෙරණ තෙමේ එසේ තිබිය දීත් ගුරුගේ බසට “ස්වාමීනි! කුමක් කියන්නහු දැ” යි අසා නැවැතත් “දොරට යවු” යි කී කල්හි ඇස තුවාල වූ බව නො කියා ම එක් අතකින් ඇස වසා ගෙණ දොරට බැස්සේ ය.
උදෑසන ගුරුන්ට වත් සපයන වේලෙහි ද ඇසෙහි ලේ පිස දමා ගෙණ අඳ හෙරණුන් සේ නිකම් නො සිට එක් අතකින් ඇස වසා ගෙණ එක් අතකින් මුසුන් කෙටියක් ගෙණ වැසිකිළියත් මුව දෝනා තැනත් හැමද පිස දමා මුවදෝනා දිය තබා පිරිවෙණත් හැමන්දේ ය. ගුරුවරයාට දැහැටි දෙන වේලේ එක් අතකින් ඇස වසා ගෙණ බිම බලා එක් අතකින් ම දැහැටි දුන්නේ ය. මේ කිසිත් නො දැන සිටි ස්ථවිරයන් වහන්සේ “හෙරණ, නො හික්මුනෙක, ගුරුන්ට එක් අතකින් දැහැටි දීම සුදුසු දැ” යි ඇසූහ.
“හාමුදුරුවන් වහන්ස! ගුරුනට එක් අතකින් කිසිවක් නො දිය යුතු බව මම දනිමි, ගුරුනට යමක් කමක් එසේ දීම වතක් නො වේ, එසේ දෙන ලද්දේ අනික් අත නො සිස් බැවිනැ” යි හෙරණ තෙමේ කී ය. ස්ථවිරයන් වහන්සේ හෙරණුන් එසේ කී කල්හි “මොක ද උන්නැහේ!” යි ඇසූහ. එවිට ඔහු සියලු තොරතුරු දැන්වී ය. ඒ අසා මහත් සංවේගයට පැමිණි ස්ථවිරයන් වහන්සේ “අයියෝ! මා කළේ ලොකු වරදෙක, සත්පුරුෂය! මට කමන්න, මම මෙය නො දැන සිටියෙමි, මට පිහිට වන්නැ” යි දොහොත් මුදුනේ තබා සත් හැවිරිදි හෙරණුන්ගේ පාමුල්හි හිඳ ගත්හ. එවිට හෙරණ තෙමේ “ස්වාමීනි! ගුරුදේවයන් වහන්ස! කමා කරවා ගැනීමට, මට සිදු වූ හදිසිය කීයෙම් නො වෙමි, හාමුදුරුවන් වහන්සේගේ සිත රැක්මට මෙය කීමි, මේ ගැණ හාමුදුරුවන් වහන්සේට වරදක් කියන්නට බැරි ය, මෙය දැන කළේ නො වේ, මෙ දවස මා කළ පවෙක් ද නැත, මෙය මට සිදු වුයේ පෙර සසර දී කළ පවක් නිසා ය, එහෙයින් මේ නිසා පසුතැවිලි නො වනු මැනැවි, මෙය මතක් නො කෙළේ ද, හාමුදුරුවන් වහන්සේ මේ නිසා විපිළිසරක් ඇති කර ගණිත් ය යන අදහසින් ය, අමුත්තක් නො සිතු ව මැනැවැ” යි දන්වා සිටියේ ය.
එහෙත් ස්ථවිරයන් වහන්සේ ඇස්වැසිලි නො ලැබ සංවේගයෙන් හෙරණුන් අත තුබූ බඩුපොට්ටනියත් ගෙණ බුදුරජුන් වෙත ගියහ. බුදුරජානන් වහන්සේ ද ඔවුන්ගේ ඊම බලාපොරොත්තුවෙන් පෙර මඟ බලා වැඩ හුන් සේක. ඔවුහු බුදුරජුන් වෙත ගොස් වැඳ එකත් පසෙක හුන්හ. එවිට බුදුරජානන් වහන්සේ “තමුසේලාගේ සැප සනීප කෙසේ දැ” යි ඇසූහ. “ස්වාමීනි! සුව පහසු වරද නැත, කිය යුතු අමුත්තෙක් ද නැත, මේ කුඩා නම නම් බොහොම කදිම ය, මේ නම තරම් ගුණවත් කෙනකු මා මෙයට කලින් දැක නැතැ” යි තෙරුන් කී කල්හි “මොක ද මේ නමගේ ඇති ගුණ ය?” යි උන්වහන්සේ නැවත ඇසූහ. එවිට සථවිරයන් වහන්සේ මුල සිට සියලු තොරතුරු කියා, “ස්වාමීනි! මම මේ නමට, මා අතින් වූ වරදට කමන්නැයි කීමි, එවිට මේ නම, හාමුදුරුවන් වහන්සේ අත වරදෙක් නැත, මා අතත් වරදෙක් නැත, කමා වන්නට දෙයක් නො කෙරුණි, මෙය සසර දෝෂයෙක, විපිළිසර නො වනු මැනැවැ යි මා අස් වැසූයේ ය, දැනුත් අස්වසන්නේ ය, මා කෙරෙහි නො සතුටක් අගෞරවයක් මේ දක්වාත් නො දැක්වී ය, මට දෝෂාරෝපණයක් නො කෙළේ ය, මේ නමගේ හොඳකම මෙතරම් ය, යි මොන ලෙසකිනුත් නො කියැකිය” යි කීහ.
එවිට බුදුරජානන් වහන්සේ “මහණෙනි! රහත්හු මොන ලෙසකිනුත් කිසිවකු කෙරෙහි නො කිපෙති, දොස් නො කියති. රහත් තෙමේ සන්හුන් සිත් ඇත්තේ ය, සන්හුන් ඉඳුරන් ඇත්තේ ය” යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක:
සන්තං තස්ස මනං හොති සන්තවාචා ච කම්ම ච,
සම්මදඤ්ඤා විමුත්තස්ස උපසන්තස්ස තාදිනොති.
මැනැවින් දැන වෙසෙසින් මිදුනු සන්හුන් නො සැලෙන ගුණ ඇති රහත්හුගේ සිත සන්සිදුනේ ය. වචනය ද සන්සුන් ය. කර්‍මය ද ශාන්ත ය.
සන්තං තස්ස මනං හොති = ඔහුගේ සිත සන්සිඳුනේ වේ.
මෙහි ඔහුගේ, යි කීයේ රහතුන් වහන්සේ පිළිබඳ ය. සිත සන්හුන් වන්නේ අභිධ්‍යාදී ත්‍රිවිධමනෝදුශ්චරිතයන්ගේ අභාවය හේතු කොට ය. සිත් සන්සිදුම බලාපොරොත්තු වන්නහු විසින් ඒ අභිද්ධ්‍යාදී පාපධර්‍ම නැසිය යුතු ය.
සන්තවාචා ච කම්ම ච = වචනය ද ශාන්ත ය. කර්‍මය ද ශාන්ත ය.
වචනය සන්හුන් වන්නේ මුසාවාදාදී වු ත්‍රිවිධවාග්දුශ්වරිතයන්ගේ අභාවය හේතු කොට ය. බොරු කියන, කේලාම් කියන, පරොස් බස් කියන, නන් දොඩන මිනිසුන්ගේ වචනය නො සන්හුන් ය. මේ කියූ බස් නො කියන්නහුගේ වචනය සන්සිදුනේ ය.
කර්‍මය සන්හුන් වන්නේ ත්‍රිවිධකායදුශ්රිතයෙන් වැළකී සිටීමෙනි. සතුන් මරණ, හොරකම් කරණ, පරදාරකම් කරණ මිනිසුන්ගේ කය නො සන්හුන් ය. මේ පව්කම් නො කරන්නහුගේ කර්‍මය ම සන්සිඳුනේ ය. “අභිජ්ඣාදීනං අභාවෙන මනං සන්තං එව හොති, උපසන්තං, නිබ්බුතං, තථා මුසාවාදාදීනං අභාවෙන වාචා ච පාණාතිපාතාදීනං අභාවෙන කායකම්මං ච සන්තං එව හොති” යනු අටුවා ය.
මෙහි ‘ච’ කාරයෝ නිපාතයෝ ය. ඔවුහු සමුච්චය - ව්‍යතිරේක - විකල්ප - අවධාරණ - වාක්‍යාරම්භ - අනුකඩ්ඪන - පදපූරණ යන මෙහි දක්නා ලැබෙති. ‘මිත්තා මච්චා ච භත්තා ච පුත්තදාරා ච බන්‍ධවො’ යනාදී තැන සමුච්චයෙහි ය. ‘යො ච බුද්ධං ච ධම්මං ච සංඝං ච සරණං ගතො’ යනාදී තැන ව්‍යතිරේකයෙහි ය. ‘ආරොහිම්භි ච’ යනාදී තැන විකල්පයෙහි ය. ‘ඝතෙ ච’ යනාදී තැන අවධාරණයෙහි ය. ‘පඨමසඞ්හීති නාමෙසා’ යනාදී තැන වාක්‍යාරම්භයෙහි ය. ‘පුබ්බො ච’ යනාදී තැන අනුකඩ්ඪනයෙහි ය. ‘යථා ච වන්‍දෙ බුද්ධස්ස පාදපඞ්කෙරුහම්පි ච’ යනාදී තැන පදපූරණයෙහි ය. මෙහි ආයේ ද සමුච්චයෙහි ය. සමුච්චය නම්, රැස් කිරීම ය. ස්වභාවයෙන් වෙන් ව සිටියවුන් උනුන් බලාපොරොත්තු වීම යි. ‘සමුච්චයො නාම රාසීකරණ, සභාවභින්නානං අඤ්ඤමඤ්ඤසාපෙක්ඛාකරණං’ යනු විවෘති යි. නිපාත වූ ච කාරයෙහි අර්‍ත්‍ථභේද තවත් ඇත්තේ ය. භාෂාවෙහි නාමයක් සේ ද ච කාරය ගැණේ. චන්‍ද - චොර - නිම්මල - අන්‍ධකාර යන අරුත් පවස යි, ඒ ච කාරය තෙමේ.
සම්මා අඤ්ඤා විමුත්තස්ස = මැනැවින් දැන, වෙසෙසින් මිදුනු
උපසන්තස්ස = සන්සුන් වූ
රාග ද්වේෂ මෝහාදි කිසිත් කිලුටෙක් සිතෙහි නැත්තේ උපසන්ත නම්. “රාගස්ස සංතත්තා සමිතත්තා වුපසමිතත්තා විජ්ඣාපිතත්තා නිබ්බුතත්තා චිහතත්තා පටිප්පස්සද්ධත්තා උපසන්තො දොසස්ස - මොහස්ස - කොධස්ස - උපනාහස්ස - මක්ඛස්ස - පලාසස්ස - ඉස්සාය - මච්ජරියස්ස - මයාය - සාඨෙය්‍යස්ස - ඵම්භස්ස - සාරමභස්ස - මානස්ස - අතිමානස්ස - මදස්ස - පමාදස්ස - සබ්බකිලෙසානං සබදුච්චරිතානං සබ්බදරථානං සබ්බපරිළාහානං සබ්බසන්තාපානං සබ්බකුසලාභිසඞ්ඛාරනං සත්තත්තා -පෙ- පටිප්පස්සද්ධන්තා උපසන්තො” යන දේශනා පාලියෙන් ඒ පැහැදිලි ය. යට කියන ලද්දේ ය.
තාදිනො = එක හැටි වූ, නො වෙනස් වූ. [1]
රහතුන් වහන්සේ පිළිබඳ රහත් වන්නට පෙර පැවැති අභිද්ධ්‍යා - ව්‍යාපාද - මිථ්‍යාදෘෂ්ටි යන ත්‍රිවිධමනෝදුශ්චරිතය ද මුසාවාදාදී වූ චතුර්විධවාග්දුශ්චරිතය ද ප්‍රාණඝාතාදිත්‍රිවිධකායදුශ්වරිතය ද රහත්වන තැනේ දී මුළුමනින් ප්‍රහීණ වූ හෙයින් උන්වහන්සේගේ කය - වචන - සිත යන තිදොර ම සන්සුන් වූයේ ය. එහෙයින් පවිත්‍රය. දීප්තිමත් ය.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි කොසඹෑනුවර වැසි තිස්ස ස්ථවිරයන් වහන්සේ සිවු පිළිසැඹියාවන් ලබා රහත් වූහ. සෙසු මිනිසුනට ද ධර්‍මදේශනාව සාර්‍ත්‍ථක වූ ය.
කොසම්බියවාසීතිෂ්‍යස්ථවිරවස්තුව නිමි.
7-5 ‘තාදිනො’ යනු බලනු. ↑