ගාමෙ වා යදි වා රඤ්ඤෙ නින්නෙ වා යදි වා ථලෙ
යත්‍ථාරහන්තො විහරන්ති තං භූමිං රාමණෙය්‍යකං.
ගමෙක අරණෙක වළ තැනෙක නොහොත් ගොඩ තැනෙක හෝ යම් කවර තැනෙක රහත්හු වෙසෙත් ද, ඒ බිම රමණීය යි (සිත් කලු යි).
ශාරීපුත්‍ර මහාස්ථවිරයන් වහන්සේට මවු පිය දෙපසින් අයත් වූ ධනය අසූහත් කෝටියකි. උන්වහන්සේ පැවිදිවීමේ දී ඒ සියලු ධනය හැරදමා පැවිදි වූහ. චාලා - උපචාලා - සීසූපචාලා යි සහෝදරියෝ තිදෙනෙක් හා චන්‍ද - උපසේන - රේවත යි සහෝදරයෝ තිදෙනක් ද වූහ. උන්වහන්සේ රේවත කුමාරයා හැර අන් පස්දෙනා ම පැවිදි කර ගත්හ. ගෙදර නැවතුනේ එක් ම රේවත කුමාරයා පමණෙකි. මෑනියෝ සැලී ගියහ. ඕතොමෝ “මා පුත් උපතිස්ස පැවිදි විය, ඒ මදිවාට සහොදරියන් තිදෙනාත් සහෝදරයන් දෙදෙනකුත් පැවිදි කරගත්තේ ය. යම් ලෙසකින් අනිකාත් පැවිදි කර ගත්තේ නම්, අපට වන්නේ මහත් වරදෙකි, මේ මහත් ධනය නැසෙන්නේ ය, කුලවංශය සිඳෙන්නේ ය, උන්හිටිතැන් නැතුව යන්නේ ය, එහෙයින් අද හෙට ම මූට මගුලක් පිළියෙල කොට දිය යුතු ය” යි සිතූ ය.
ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ද කල් තබා ම භික්‍ෂූන් අමතා “ඇවැත්නි! රේවත කුමරු පැවිදිවීමෙහි කැමැත්තෙන් මෙහි ආවොත් ආසැටියේ ම උන් පැවිදි කරන්න, මාගේ අම්මා තාත්තා දෙදෙන ම මිසදිටුවෝ ය, ඒ නිසා මුන් පැවිදි කරන්නට ඔවුන්ගෙන් අසනු වුවමනා නැත, රේවතගේ මවුත් මම ය, පියාත් මම ය, ඔහුගේ ජීවිතයට වගකියන්නේ මම ය, එහෙයින් ඔවුන් විචාරීමෙහි වැඩෙක් නැත, මම ඒ බලා ගන්නෙමි, රේවත ආ සැටියේ කල් නො ගෙවා ම පැවිදි කරවු” යි නියෝග කළහ.
යම්තම් සත් හැවිරිදි වයසට පැමිණි රේවත කුමරුට කසාදයක් බැඳ දෙන්නට උත්සාහවත් වූ මවු තොමෝ ඒ ගැණ සොයා බලා තමකුලයට කැපෙන කුලයකින් දැරියක නියම කොට ගෙණ සුබදවසකුත් බලා කුමරුත් සරසා ගෙණ නෑ මිතුරනුත් සමග දැරියගේ නිවසට ගියා ය. එහි දී දෙපස නෑ හිතමිතුරෝ කුලසිරිත් අනු ව රේවත කුමරුත් ඒ දැරියත් අඹුසැමියන් වශයෙන් බැඳ, දිය බඳුනක් ගෙන්වා ඔවුන් ඉදිරියෙහි තබා “මේ රන්බඳුනෙහි දිය යම් සේ නො වෙන් ව පවත්නේ ද, එමෙන් ම නුඹලා දෙදෙන නො වෙන් ව නො බිඳී දිවි තිබෙන තුරු මතු ඇති වන දු දරුවනට ආදර්‍ශ දෙමින් ගුණවත් ව විසිය යුතු ය” යි ඒ කුමර කුමරියන්ගේ දකුණත් එකට තබා අත පැන් වත් කොට මඟුල් කළහ. ඒ වේලෙහි දැරියගේ නෑයෝ “දූ නුඹගේ මිත්තනිය දුටුදම් ඇත්තී ය, ඈ සේ නුඹත් බොහෝ කල් ජීවත් වවු” යි මඞ්ගලාශීර්‍වාද ද කළහ.
එවිට රේවත තෙමේ මිත්තනිය දුටු ධර්‍මය කුමක් දැ යි සිතා “මිත්තනියෝ කොහිදැ” යි ඇසී ය. “කිම පුත! නො දන්නහු ද, අර දත් වැටී ඇති පැසුනු හිසකෙසින් යුත් ඇඟ රැලි නැගුනු තලකැලලින් ගැවසුනු සිරුරු ඇති ගොනැස්සක් සේ කුදුගැසුනු මැහැල්ලි ය, ඇය ගේ වයස අවුරුදු එක් සිය විස්සෙකි” යි ඔවුහු කීහ. එවිට ඔහු “මාබිරියත් එසේ වන්නී දැ” යි ඇසී ය. “ඔව්, අතරක දී නො මැරී සිටියොත් එසේ වන්නීය” යි කිහ. “අයියෝ, මේ සිරුරත් ජරාවෙන් දැදුරු වී මෙ බඳු වෙනස් කමකට පැමිණි යේ නම්, මෙය මට නො වන්නට හේතුවක් නැත, මෙය මාගේ සොහොයුරු වූ උපතිස්ස ස්ථවිරයන් වහන්සේ දන්නා සේකැ” යි සිතූ රේවත තෙමේ “අදම මම මෙයින් පැන යමි” යි සනිටුහන් කර ගත් ය.
මඟුලෙන් පසු සියගෙට එනු පිණිස ඔවුහු රේවත කුමරු හා ඔහු බිරිඳත් දෝලාවකට නංවා ගෙණ මග බැස ආහ. මඳක් දුර ගිය කල්හි රේවත තෙමේ “සිරුරු කිස කරන්නට වුවමනා ය” යි කියා දෝලාව බිම තබ්බවා ඉන් බැස වනරොදකට ඇතුළු ව එහි ටික වේලාවක් හිඳ පෙරළා ආයේ ය. ටිකදුරක් ගොස් තවත් වරක් එසේ කෙළේ ය. තෙවන වරකුත් එසේ කෙළේ ය. එවිට නෑයෝ “රේවතට අසනීපයකැ” යි සිතා වැඩියෙන් රැකවල නො කළහ. රේවත තෙමේ නැවැතත් මදක් දුර ගොස් පළමු හැටියට ම කියා දෝලාවෙන් බැස “නුඹලා දෝලාව ගෙණ ඉදිරියෙන් යවූ, අපි හිමින් හිමින් එන්නෙමු” යි වනරොදතුළට ගියේ ය. නෑහිතමිතුරෝ “කුමරු පස්සෙන් එනු ඇතැ” යි සිතා දෝලාව ගෙණ ගියහ.
එවර රේවත තෙමේ වනරොදට ගිය ගමනේ ම පැන ගියේ වනයෙහි එක් පෙදෙසක හුන් තිසක් පමණ භික්‍ෂූන් දැක ඔවුන් වෙත ගොස් වැඳ “ස්වාමීනි! මා පැවිදි කරණු මැනැවැ” යි ඉල්ලා සිටියේ ය. භික්‍ෂූන් වහන්සේලා ද හොඳට ඇඳ පැලඳ සිටි ඔහු දැක “ලමයා, ඔයා රජකුමරෙක් ද, නැත, අමාත්‍යපුත්‍රයෙක් ද, එසේ ත් නො වේ නම්, මුදලි මුහන්දිරම් කෙනකුගේ පුතෙක් ද, යනු අපි නො දනුම්හ, එහෙයින් ඔය ලමයා අපි කෙසේ පැවිදි කරමු දැ” යි ඇසූහ. “ස්වාමීනි! ඇයි, ඔබ වහන්සේලා මා නො හඳුනන්නහු ද, මම අනෙකෙක් නො වෙමි, මම උපතිස්ස ස්වාමීන් වහන්සේගේ මලනු වෙමි” යි කී කල්හි “කවු ද ඔය කියන උපතිස්ස ස්වාමි” යි ඇසූහ. “ඇයි නො දන්න හු ද, ඔබ වහන්සේලා නිතර යමකු සඳහා ශාරීපුත්‍ර, ශාරීපුත්‍ර, යි කියන්නහු ද, ඒ ස්වාමීන් වහන්සේ මාගේ සහෝදරයා” යි කී විට, “හැබෑ ද ඔය ලමයා සැරියුත් තෙරුන් වහන්සේගේ සොහොයුරෙක් දැ” යි කීහ. “ඔව්, ස්වාමීනි!” යි රේවත කීයේ ය. “එහෙනම් මෙහි එන්න, ඔය ලමයා ආවොත් පැවිදි කරන්නැයි උන්වහන්සේ අපට නියම කොට තිබේ, මෙහි එන්නැ” යි ලමයා ලඟට ගෙණ ඇඳුම් අබරණ ගලවා පසෙක තබා පැවිදි කොට, පැවිදි කළ බව සැරියුත් මහ තෙරුන් වහන්සේට දන්වා යැවූහ.
ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ බුදුරජුන් වෙත ගොස් “ස්වාමීනී! වනවැසි උන්නාන්සේලා රේවත කුමරු පැවිදි කළ බව මට දන්වා එවා තිබේ, එහෙයින් මම එහි ගොස් තොරතුරු දැන එමි” යි එහි යෑමට අවසර ඉල්ලූහ.
ඉක්බිති බුදුරජානන් වහන්සේ “පොඩ්ඩක් ඉන්නැ” යි ගමනට අවසර නො දුන්හ. කිහිප දවසක් ගත කොට නැවතත් අවසර ඉල්ලූහ. එවර ද අවසර නො දී “ශාරීපුත්‍ර! තවත් ටිකක් ඉන්න, මමත් එමි” යි ඒ ගමනත් වැළකූ සේක. ඒ අතර කුඩා හෙරණ තෙමේ “මා මෙහි තව දුරට නැවතී සිටියොත් නෑයෝ මා ලුහු බැඳ අවුත් කැඳවා ගෙණ යන්නෝ ය” යි සිතා රහත් බව දක්වා කමටහන් උගෙණ පා සිවුරු ගෙණ එ තැනින් තිස් යොදුනක් ඈත්හි වූ කිහිරි වනයට ගොස් වස් වසා ඒ වස් තුන් මස තුළ දී ම සිවු පිළිසැඹියාවන් ලබා රහත් වූයේ ය.
ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වස් පවරා බුදුරජුන් කරා ගොස් නැවැතත් මලනුවන් දක්නට යන්නට අවසර ඉල්ලූහ. “හොඳයි, ශාරීපුත්‍ර! යමු, මමත් එමි” යි බුදුරජානන් වහන්සේ තවත් පන්සියයක් භික්‍ෂූන් කැටුව නික්මුනු සේක. ඒ පිරිසෙහි වූ ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ දෙ මංහන්දියෙක සිට “ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! රේවත හෙරණුන් වසන තැනට මේ දෙ මගින් කොයි මගකින් නමුත් යා හැකි ය, එහෙත් මේ මග සැට යොදුනක් පමණ දිග ඇත්තේ ය, ඇදය, මග දිගට දෙපස ගම් පිහිටා ඇති බැවින් මිනිසුන්ගෙන් ගහනය, අනික් මග තිස් යොදුන් පමණ දිග ය, නො ඇද ය, ඉද්ද ගැසුවා සේ කෙලින් පිහිටා තිබේ, එහෙත් අමනුෂ්‍ය උපද්‍රව බොහෝ ය, එහෙයින් අප යා යුත්තේ කිනම් මගකින් දැ” යි බුදුරජුන් විචාළාහු ය. බුදුරජානන් වහන්සේ “සීවලී තැන ආයේ දැ” යි අසා “එසේය” කී කල්හි “එසේ නම් අපි කෙලින් පිහිටි පාරෙන් යමු” යි වදාළ සේක. “මම් තමුසේලාට මේ ගමනේ දී කැඳ බත් ආදිය පිළියෙල කර දෙන්නෙමි, එහෙයින් කෙලින් පාරෙන් යමු” යි නො වදාරා “මෙතැන උනුන්ගේ පුණ්‍යවිපාක දෙන තැනැ” යි සිතා උන්වහන්සේ “සීවලී ආයේ නම්, කලින් පාරෙන් යමු” යි වදාළ සේක.
බුදුරජානන් වහන්සේ මෙසේ වදාරා කෙලින් මගට බට කල්හි දෙවියෝ “සීවලී තෙරුන්ට සත්කාර කරන්නටැ” යි යොදුනක් පාසා විහාර කර වූහ. දවසකට යොදුනකට වඩා ඉදිරිය බලා වඩින්නට ඉඩ නො තබා එක් එක් රෑ ඒ කරවූ විහාරයන්හි වාසය කරවා භික්‍ෂූන් උදෑසන නැගී සිටි කල්හි තමන් අයත් කැඳ කැවිලි ආදිය ගෙණ අවුත් “සිවලී තෙරුන් වහන්සේ කොහි දැ” යි සොයා ඇවිදිති. උන්වහන්සේ සොයා ඒවා උන්වහන්සේට පිළිගන්වති. සීවලි තෙරනුවෝ ඒ කැඳ කැවිලි බුද්ධ ප්‍රමුඛසඞ්ඝයා වහන්සේට වළඳවත්. බුදුරජානන් වහන්සේ සිය පිරිස සමග ඒ තිස් යොදුන් දිග ගමනේ දී සීවලි තෙරුන්ගේ පින් වළඳමින් ඉදිරිය බලා වැඩි සේක. රේවත තෙරනුවෝ ද බුදුරජුන් වඩිනබව දැන බුදුරජුන් ප්‍රධාන භික්‍ෂූන් වහන්සේට රෑ දාවල පහසුවෙන් වැඩ හිඳිනට වුවමනා හැම එකක් පිළියෙල කළහ. බුදුරජානන් වහන්සේ භික්‍ෂූන් සමග රේවත තෙරුන් හුන් තැනට වැඩ එහි මසක් පමණ කල් නැවතී සිටි සේක.
එහි වසන කල්හි ද උන්වහන්සේ සීවලී තෙරුන්ගේ පින් තෙදින් උපන් දෙය ම වැළඳු සේක. බුදුරජුන් කිහිරිවනයට ඇතුල් වන වේලෙහි බුදුරජුන් සමග ගිය භික්‍ෂු පිරිසෙහි සිටි මහලු භික්‍ෂූන් වහන්සේලා දෙනමක් නොයෙක් කටයුතුවල යෙදී සිටි කාර්‍ය්‍යයක්‍ෂම ඒ හෙරණහු දැක “මේ මහණ මෙතෙක් අළුත් අළුත් වැඩ කරණ ගමනේ මහණකම් කරන්නට කෙසේ නම් සමර්‍ත්‍ථ වේ ද, බුදුරජානන් වහන්සේත් මේ හෙරණ සැරියුත් තෙරුන්ගේ මලනුවන් බැවින් මේ නො පනත් කම් ඉවසමින් ඒවා බලමින් පිඬු සිඟා වළඳමින් මෙබඳු අළුත් වැඩ කරන්නකුන්ගේ ලඟට ආ සේකැ” යි පහත් කොට සිතූහ.
බුදුරජානන් වහන්සේ පසුදා උදෑසන ලොව බලන සේක් ඒ භික්‍ෂූන් දැක ඔවුන්ගේ සිතුවිලි දැන ගත්හ. එහි මසක් පමණ නැවැතී සිට පෙරළා වඩින ගමනේ දී උන්වහන්සේ ඒ මහලු දෙනමට තමන්ගේ තෙල්කුලාව, පෙරහන, වහන් අමතක වන සේ ඉටා එතැනින් නික්මුනු සේක්, විහාරසීමාවෙන් පිටතට පැමිණ ඒ ඉටීම හළ සේක. මහලු වහන්සේලා දෙනම “මට තෙල්බටය අමතක විය, මට ඩබරාව අමතක විය, මට සෙරෙප්පු අමතක විය” යි එහි නැවැති, තුබූ තැන් සොයමින් ඒ කිහිරිවනයෙහි කිහිරිකටු මඩිමින් බොහෝ වේලාවක් තැන තැන සොයා බැලුහ. ඒ අතර එහි එක් කිහිරිගසෙක එල්ලා තුබූ ඒ බඩු දැක රැගෙණ ගියහ.
බුදුරජානන් වහන්සේ ඒ පන් සියයක් භික්‍ෂූන් වහන්සේත් ගෙණ එතැනින් පිටත් ව අතරමග සීවලී තෙරුන්ගේ පින්තෙදින් ලත් දේ ම වළඳමින් මසක් පමණ ගෙවා සැවැත් නුවර පූර්‍වාරාමයට වැඩි සේක. පසුදා උදෑසන මේ මහලු දෙනම අනික් දෙනාත් සමග උදෑසනින් නැගිට මූණ කට සෝදා විශාඛාවන්ගේ ගෙට කැඳ වළඳන්නට ගියහ. එහි දී හැම දෙනා වහන්සේ කැඳ කැවිලි වළඳා අවසන් කොට එහි මදක් රැඳී හුන්හ. ඒ වේලෙහි විශාඛා තොමෝ “ස්වාමීනි! ඔබ වහන්සේලාත් බුදුරජුන් සමග රේවත තෙරුන් බලන්නට ගියහු දැ” යි ඇසූ ය. “ඔව්, උපාසිකාව! ගියෙමු” යි ඔවුන් කී කල්හි “කොහොම ද, ස්වාමීනි! එතැන සිත් කලු දැ” යි ඇසූ ය. එවිට මහලු දෙදෙනා වහන්සේ “නැත, එ තැන ප්‍රේතයන් ඉන්නා තැනක්, කිහිරිගස් පිරී තිබේ, ඒ හැම ගසක් ම කටු සහිත ය, එ තැන මොන සිත්කලු බවෙක් දැ” යි කීහ. ඔවුහු එ තැනින් පිටත් ව ගියහ.
ඒ වේලේ ම කුඩා භික්‍ෂූන් වහන්සේලා දෙනමක් කැඳ වළඳන්නට එහි පැමිණියහ. උපාසිකා තොමෝ ඔවුන්ට ද කැඳ. කැවිලි පිළිගැන්වූ ය. අවසන්හි උපාසිකා තොමෝ ඔවුන්ගෙන් ද “රේවත තෙරුන් හුන් තැන සිත්කලු දැ” යි ඇසූ ය. ඒ දෙනම “උපාසිකාව! එහි සිත්කලුකම වචනයෙන් කියනු බැරි තරම් ය, තෙරුන් වසන තැන, අප අසා තිබෙන සැටියට සුධර්‍මාදිව්‍යසභාව තරමට සිත්කලු ය, ඍද්ධියෙන් කළ තැනක් වැනි ය” යි කී කල්හි “මේ දෙදෙනා වහන්සේ එක් ලෙසකින් කියත්, මෙයට කලින් මෙහි වැඩි දෙදෙනා වහන්සේ අන්ලෙසකින් කීහ, මේ කාරණය බුදුරජුන් වෙතින් අසා දත යුතු ය” යි උපාසිකා තොමෝ සිතට ගත්තා ය. භික්‍ෂූන් වහන්සේලාත් කැටුව නොබෝ වේලාවකින් බුදුරජානන් වහන්සේ එහි වැඩිසේක. උපාසිකා තොමෝ බුද්ධ ප්‍රමුඛසංඝයා වහන්සේ සකසා වළඳවා, අවසන්හි බුදුරජුන් වෙත පැමිණ වැඳ “ස්වාමීනි! බුදුරජානන් වහන්සේ සමග, රේවත තෙරුන් වැඩ හිඳින තැනට ගිය සමහර දෙනා වහන්සේ එතැන කිහිරිකටු කැලයෙක් ය, ප්‍රේතයන් ඉන්නා තැනෙක් ය යි කියත්, සමහර කෙනෙක් දෙවිමනක් බඳුය යි කියත්, කොහොම ද ස්වාමීනි! ඒ තැනැ” යි ඇසූ ය. “උපාසිකාවෙනි, ගමෙක වූවත් කැලයක වුවත් යම් තැනෙක රහත්හු වෙසෙත් නම්, එ තැන සිත්කලුම” යි වදාරා උන්වහන්සේ අනුසන්‍ධි ගළපා මේ ධර්‍මදේශනාව කළ සේක.
ගාමෙ වා යදි වාරඤ්ඤෙ නින්නෙ වා යදි වා ථලෙ,
යත්‍ථාරහන්තො විහරහන්ති තංභූමි රාමණෙය්‍යකාති [1]
ගමෙක හෝ වනයෙක හෝ වළ තැනෙක හෝ ගොඩ තැනෙක හෝ යන, යම් තැනෙක රහත්හු වෙසෙත් නම්, ඒ බිම සිත් කලු ය.
ගාමෙ වා = ගමෙක හෝ.
“ගාමො නාම එකකුටිකො’පි ගාමො, ද්වීකුටිකො’පි ගාමො, තිකුටිකො’පි ගාමො, චතුකුටිකො’පි ගාමො, සමනුස්සො’පි ගාමො, අමනුස්සො’පි ගාමො, පරික්ඛිත්තො’පි ගාමො, අපරික්ඛිත්තො’පි ගාමො, ගොනිසාදිනිවිට්ඨො’පි ගාමො, යො’පි සත්‍ථො, අතිරෙකචාතුමාසනිවිට්ඨො සො’පි වුච්චති ගාමො” ගල් ගඩොලින් බැඳි තාප්පයකින් හෝ කටු අතුවැටකින් වට කළා වූ හෝ වට නො කළා වූ මිනිසුන්ගේ විසීමට තැන් වූ හෝ නො වූ එක් පැල්පතක් ඇති බිම්පෙදෙසත් ගම ය. පැල්පත් දෙකක් ඇති බිම්පෙදෙසත් ගම ය. පැල්පත් තුනක් ඇති බිම් පෙදෙසත් ගම ය. පැල්පත් සතරක් ඇති බිම්පෙදෙසත් ගම ය. වීථි නො පිහිටුවා ගොනුන් දෙදෙන තිදෙනා බැගින් කැටි කැටි ව, එක් එක් ව ලැගි තැනක් සේ ගෙවල් දෙක තුන බැගින් පිහිටි, දෙක තුන බැගින් ගෙවල් පිහිටුවන ලද බිම්පෙදෙසත් ගම ය. යටත් පිරිසයින් සිවු මසකට වැඩිතරම් කලක් වෙළඳ සමූහයක් නවාතැන් ගෙණ සිටි තැනත් ගම ය.
“ගාමො නාම යො කො චි එකකුටිකො වා අනෙකුකටිකො වා සපරික්ඛිත්තො වා අපරික්ඛිත්තොවා සමනුස්සො වා අමනුස්සො වා අතිරෙකචාතුමාසනිවිට්ඨො යො කො චි සත්‍ථො’පි” යන මෙයින් මුලින් කියන ලද්ද වඩාත් තහවුරු වේ. මෙහිලා ගෙවල් සමූහයක් ඇති බිම්පෙදෙස ගමැ යි අමුතුවෙන් කිය යුතු නො වේ.
“ගාමූපචාරො නාම පරික්ඛිත්තස්ස ගාමස්ස සචෙ අනුරාධ පුරස්සෙව දෙව ඉන්‍දඛීලා හොන්ති, අබ්භන්තරිමෙ ඉන්‍දඛීලෙ ඨිතස්ස ථාමමජඣිමස්ස පුරිසස්ස ලෙඩ්ඩුපාතො” පවුරු වැට කටු ආදියකින් වට කළ ගමෙක අනුරාධපුරයෙහි මෙන් ඉන්‍දඛීල දෙකක් වේ නම්, ඇතුල් ඉන්‍දඛීලයෙහි සිට ශක්තියෙන් මද්ධ්‍යම ප්‍රමාණ වූ පුරුෂයකු විසින් වීසි කළ ගල වැටුනු තැන ගාමූපචාරැයි ගණිත්. බාහිර ඉන්‍දඛීලය අභිධර්‍මනයින් අරණ්‍යසඞ්ඛ්‍යාවට යන්නේ ය. තරුණයෙක් තමශක්තිය පෙන්වීම පිණිස වීසි කළ ගල, වැටුනු තැනින් ඇතුළත ගාමූපචාරැ යි විනයධරයෝ කියත්. සෞත්‍රාන්තිකයෝ කියනුවෝ කවුඩන් පන්නා හැරීමට ගැසූ ගල, වැටුනු තැනින් ඇතුළත, ගාමූපචාරය කොට ය.
“අපරික්ඛිත්තගාමෙ යං සබ්බපච්චන්තිමස්ස ඝරස්ස ද්වාරෙ ඨිතො මාතුගාමො භාජනෙන උදකං ඡඩ්ඪෙති, තස්ස පතන ඨානං ඝරූපචාරො, තතො වුත්තනයෙනෙව එකො ලෙඩ්ඩුපාතො ගාමො, දුතියො ගාමූපචාරො” පවුරු වැටකටුවලින් වට නො කළ ගමෙහි කෙළවර පිහිටි ගෙයි දොරකඩ සිට මාගමක විසින් බඳුනකින් ගෙණ වීසි කළ දිය වැටුනු තැන සිට ඇතුළත ඝරූපචාරැයි ද, එතැන සිට වීසි කළ ගල වැටුනු තැනින් මෙපිට ගාම යි ද, නැවැත එතැන සිට වීසි කළ ගල වැටුනු තැනින් මෙපිට ගාමූපචාරැ යි ද කියත්. මෙහිලා මෙ ද දන්න:- ‘නිම්බකොසස්ස උදකපතනට්ඨානබ්භන්තරං ඝරං නාම’ වහළ කෙළවරින් දිය වැටෙන තැනින් ඇතුළත ඝර නම්. ගෙයි සතර පැත්තෙහි ම වහල්පලේ කෙළවරින් වතුර වැටෙන තැනින් ඇතුල් කොටස ඝර යි ගැණේ.
“යං පන ද්වාරෙ ඨිතො මාතුගාමො භාජනධොවන උදකං ඡඩ්ඪෙති, තස්ස පතනට්ඨානඤ්ච, මාතුගාමෙනෙව අන්තො ගෙහෙ ඨිතෙන පකතියා බහි ඨිතස්ස සුප්පස්ස වා සම්මුඤ්ජනියා වා පතනට්ඨානඤ්ච, ඝරස්සෙව පුරතො ද්වීසු කණ්ණෙසු සම්බන්‍ධිත්‍වා මජ්ඣෙ රුක්ඛසූචිද්වාරං ඨපෙත්‍වා ගොරූපානං පවෙසනනිවාරණත්‍ථං කතපරික්ඛෙපො ච අයං සබ්බො’පි ඝරූපචාරො නාම” ගෙයි දොරකඩ සිටි මාගමක විසින් වීසි කළ බඳුන් දෙවූ දිය වැටුනු තැන ද, මාගමක් විසින් ඇතුල් ගෙයි සිට උත්සාහවත් නො ව පියවි ගතියෙන් පිටතට වීසි කළ කුල්ල හෝ ඉදල වැටුනු තැන ද, ගෙයි ඉදිරිපිට සිට දෙපසින් ගෙණ කොන් දෙක එකතු කොට මැද දොරකඩ තබා ගොන් සරක් ආදීන්ගේ ඇතුළට වැදීම වළක්වනු පිණිස බඳින ලද වැට ද, ඝරූපවාර නම්. ගෙයි දොරකඩටත් දොරකඩ සිට වීසි කළ දිය වැටුනු තැනටත් අතර පෙදෙස ද, ගෙයි ඇතුළටත් ගෙයි ඇතුළේ සිට ගෑණියක උත්සාහරහිත ව පියවි ගතියෙන් වීසි කළ කුල්ල හෝ ඉදල වැටුනු තැනටත් අතර පෙදෙස ද, ගේ ඉදිරියෙහි මිදුලට ගෙරි සරකුන්ට වැද්ද නො දෙනු සඳහා බඳින ලද තාප්පයෙන් හෝ වැටෙන් ඇතුල් පෙදෙස ද, ඝරූපචාරය සේ ගත යුතු ය යි කීහ. මේ කියු ක්‍රමතුනෙන් කොයි ක්‍රමයකින් වුව ද ඝරූපචාරය පිරිසිඳුනු හැකි ය.
“තස්මිං ඝරූපචාරෙ ඨිතස්ස මජ්ඣිමස්ස පුරිසස්ස ලෙඩ්ඩුපාතබ්භන්තරං ගාමො නාම” ගෙවල් සමුහයක් ඇති ගමෙක නම් ඒ ගමෙහි කෙළවර තුබූ ගේ පිළිබඳ උපචාරයෙහි සිටි මද්ධ්‍යම වයසක පුරුෂයකු විසින් අධික ශක්තියෙන් වීසි කළ ගල වැටුනු තැනින් මේ පිට ගාම නම් වේ. ගල පළමු වැටුනු තැන මුත් එතැනින් පෙරළී ගොස් නැවතුනු තැන නො ගැණේ.
“තතො අඤ්ඤස්ස ලෙඩ්ඩුපාතස්ස අබ්භන්තරං ගාමූපචාරො නාම” පළමු ලෙඩ්ඩුපාතයෙන් ගමැයි පිරිසිඳ ගත් තැන් සිට එබඳු පුරුෂයකු විසින් එලෙසින් ම නැවැත දමා ගැසූ ගල වැටුනු තැනින් මොබ ගාමූපචාර නමැ යි කිය යුතු ය. ඒ ගලපෙරළී ගොස් නැවතුනු තැන නො ගැණේ. මෙන්න ඒ කී සැටි:- “පතිතො පන ලුඨිත්‍වා යත්‍ථ ගච්ඡති, තං න ගහෙතබ්බං” යනු.
පාළිය ලෙසින් පරික්ඛිත්තගාම - අපරික්ඛිත්තගාම යි ගම දෙවදෑරුම් ය. පරික්ඛිත්තගාම නම්, පවුරු වැටකටු ආදී යමකින් වටකරණ ලද ය. එසේ වට නො කළ ගම අපරික්ඛිත්ත නම් වට කළ ගමෙහි වට කිරීමෙන් ඇතුළත ය ගම. අනුරාධපුරය සේ ය. වට කළ ගමෙහි ඉන්‍ද්‍රඛීලයෙහි සිටි මද්ධ්‍යම වයසක පුරුෂයකු විසින් විසි කළ ගල වැටුනු තැන ගාමූපචාරය යි. “ගාමූපචාරො නාම පරික්ඛිත්තස්ස ගාමස්ස ඉන්‍දඛීලෙ ඨිතස්ස මජ්ඣිමස්ස පුරිසස්ස ලෙඩ්ඩුපාතො” යනු පාළියෙහි ආයේ ය එය.
වට නො කළ ගමෙහි කෙළවර පිහිටි ගෙයි උපචාරයෙහි සිට, මද්ධ්‍යම වසකයකු විසින් ගැසූ ගල වැටුනු තැනින් මෙ පිටය ගම. “අපරික්ඛිත්තස්ස ගාමස්ස ඝරූපචාරෙ ඨිතස්ස මජ්ඣිමස්ස පුරිසස්ස ලෙඩ්ඩුපාතො” යනු එහි ලා පාළිය යි. ග්‍රාම පරිච්ඡේදය දත් විට ග්‍රාමෝපචාරලක්‍ෂණය පළමු කියූ ලෙයින් දත හැකි බැවින් නැවැත “තත්‍ථ ඨිතස්ස මජ්ඣිමස්ස පුරිසස්ස ලෙඩ්ඩුපාතො” යි පාළියෙහි නො කියවුනේ ය. එහෙයින් ග්‍රාමෝපචාරය කියූ සේ දන්න.
යමෙක් වනාහි ගෘහෝපචාරයෙහි සිටියහුගේ ගල වැටුනු තැන ම (ලෙඩ්ඩුපාතය ම) ග්‍රාමෝපචාරැ යි කියා නම්, එවිට ගෘහෝපචාරය, ග්‍රාමැ යි ගත යුතු වේ. ගෘහ - ගෘහෝපචාර - ග්‍රාම - ග්‍රාමෝපචාර යන මේ විභාගය, එ කල්හි අවුල් වන්නේ ය. අසඞ්කර වශයෙන් ග්‍රාම - ග්‍රාමෝපචාර දෙක, පාළියත් අර්‍ත්‍ථකථාවත් සංසන්‍දනය කොට යට කියූ ලෙසින් දතයුතු ය. යම් ගමක් පෙර මහත් ව තිබී පසු කාලයෙහි ගෙවල් විනාශ වී යෑමෙන් කුඩා බවට ගියේ නම්, එකල එහි ගෘහෝපචාරයහි සිට, ලෙඩ්ඩුපාතයෙන් ම ග්‍රාම - ග්‍රාමෝපචාර දෙක පිරිසිඳ දත යුතු ය.
වා යනු, නිපාත ය. ‘පාටලිපුත්තස්ස ඛො ආනන්‍ද, තයො අන්තරායා භවිස්සන්ති අග්ගිතො වා උදකතො වා මිථුභෙදතො වා’ යන මෙහි ආයේ සමුච්චයෙහි ය. ‘මධුවා මඤ්ඤති බාලො යාව පාපං න පච්චති’ මෙහි ආයේ උපමායෙහි ය. ‘කො වා ත්‍වං කස්ස වා පුත්තො’ මෙහි සන්‍දෙයෙහි ය. ‘ඉමස්ස වචනං සච්චං වා යදි වා මුසා’ මෙහි පද පූරණයෙහි වේ. ‘අමාපතො ස්මිං සමානං වා’ යන මෙහි ව්‍යවස්ථිත විභාෂා ය. ‘වා වස්සග්ගෙ නිපාතො’ යන මෙහි නිශ්චයෙහි ය. ‘වග්ගන්තං වා වග්ගෙ’ මෙහි විකල්ප යි. මෙහි වූයේ සමුච්චයෙහි ය. සමුච්චය - විකල්පාර්‍ත්‍ථයන්හි හෙන ‘වා’ යන නිපාතය පදාවසානයෙහි ද සමානාධිකරණපද දෙකක මද්ධ්‍යයෙහි ද වැටේ. පදාදියෙහි නො වැටේ.
අරඤ්ඤෙ වා = වනයෙක හෝ.
‘ඨපෙත්‍වා ගාමං ච ගාමූපචාරං ච සබ්බමෙතං අරඤ්ඤං’ යනු විනයපාළියෙහි අරණ්‍යය දැක් වූ සැටි යි. ගාමූපචාරයත් හැර ඉන් බැහැර හැම තැන අරණ්‍යය යනු එහි තේරුම ය.
‘නික්ඛමිත්‍වා බහි ඉන්‍ද්‍රඛීලා සබ්බමෙතං අරඤ්ඤං’ ඉන්ද ඛීලයෙන් පිටත හැම තැන අරණ්‍යය යනු අභිධර්‍මකථා ය.
‘ආරඤ්ඤකං පන සෙනාසනං පඤ්ච ධනුසතිකං පච්ඡිමං’ පවුරු ආදියෙන් වට කළ ගමෙහි ඉන්‍දඛීලයෙහි පටන් ද, වට නො කළ ගමෙහි ප්‍රථම ලෙඩ්ඩුපාතයෙහි පටන් ද, සතර රියන් බාගයක් පමණ දික් වූ දුන්නෙන් දුනු පන් සියයක් ඉක්ම ගිය තැන අරණ්‍යය යනු සෞත්‍රාන්තිකකථා ය.
විනයයෙහි කී අරණ්‍යලක්‍ෂණ නිරවශේෂ වශයෙන් අවහාරට්ඨාන ගැන්මෙහි ග්‍රාම - ආරණ්‍ය දෙක අවුල් නො කොට ගැන්ම සඳහා කියන ලද්දේ ය.
අභිධර්‍මයෙහි කී අරණ්‍යලක්‍ෂණ, අප්‍රධාන වශයෙන් ග්‍රාමෝපචාරයත් ග්‍රාමසඞ්ඛ්‍යාවට ම යන බැවින්, ප්‍රධාන වශයෙන් ගම නො වන පෙදෙස ම අරණ්‍ය ය යි දක්වන්නට කියන ලද්දේ ය.
සූත්‍රාන්තයෙහි කී අරණ්‍යලක්‍ෂණය ආරණ්‍යකභික්‍ෂූන් සඳහා ම කියන ලද්දේ ය. සූත්‍රයෙහි කී අරණ්‍යය මෙහි ද ගත යුත්තේ ය. විනය - අභිධර්‍ම දෙක්හි කී ලෙසින් අරණ්‍යය ගැණුම ද වරද ය යි නො කියැකි ය.
නින්නෙ වා = වළතැනෙක හෝ.
දියෙන් සෑරුනු තැන්, වනසිවුපාවුන් සෑරු තැන් නිම්න ස්ථාන යි ගණිත්. ස්වභාවයෙන් පිහිටි ප්‍රපාතස්ථාන ද මෙහි ම ඇතුළත් ය.
ථලෙ වා = ගොඩ තැනෙක හෝ.
පොළොවෙහි වඩා උස් ව සිටි තැන් ස්ථලස්ථාන හැටියට ගණන් ගැණේ. දියෙන් යට නො වන තැන්, යට නො වන පෙදෙස් ය ඒ. ‘ථලොති නිරූදකපදෙසා’ යනු බැලිය යුතු ය.
ථල ශබ්දයෙන්, පැවිද්ද හා නිවන ද කිය වේ. ලෝකය තෙමේ දියෙන් යට නො වන තැන් ම ථල යි කියයි. එමෙන් කෙලෙස්වතුරෙන් යට නො වන බැවින් පැවිද්ද හා නිවන ථල යි කියනු ලැබේ. ‘තිණ්ණො පාරගතො ථලෙ තිට්ඨති බ්‍රාහ්මණො’ යනු එයට නිදසුන්. මෙහි ගැණෙන්නේ ලෝකයා විසින් හඳුන්වන ගොඩබිම ය. ‘තිට්ඨන්ති එත්‍ථාති = ථලං’ යනු නිරුක්ති යි.
යත්‍ථ අරහන්තො විහරන්ති = යම් තැනෙක රහත්හු වෙසෙත් ද.
අර්‍හද්ඵලයෙහි සිටි ආර්‍ය්‍යයෝ ය රහත්හු. උන්වහන්සේලා කෙබඳු ගුණවත්හු ද යනු ඉතා කොටින් කියූ ගාථාවකි පහත දැක්වෙන්නී.
“ආරකත්තා හතත්තො ච කිලෙසාරීන සො මුනි,
හතසංසාරවක්කාරො පච්චයාදීන චාරහො,
න රහො කරොති පාපානි අරහන්තෙන වුච්චති” යනු.
‘කිලෙසාරීනං ආරකත්තා = අරහං’ කෙලෙසුන් කෙරෙන් දුරු වූ හෙයින් රහත් ය යනු එහි තේරුම යි. මේ රහත් යන සිංහලනාමය, සමහර තැනෙක ප්‍රඥප්තිවාචක ව ද, සමහර තැනෙක ගුණවාචක ව ද, එන්නේ ය. ගුණවාචක තැන, බුදුවරයකු, ප්‍රඥප්තිවාවක තැන සෙසු රහතුන් ද ගණිත්. බුදු - පසේබුදු - මහරහතුන්ට මේ නාමය යෙදේ.
කෙලෙසුන් කෙරෙන් දුරුවීම වන්නේ, මාර්‍ගඥානයෙන් කෙලෙස් නැසීමෙන් ය. අවකාශ වශයෙන් ඒ නො වන්නේ ය. කුණුමස් බැඳ තැබූ යමෙක, කුණුමස් ඉවත් කළ පසුත් දුගඳ පවත්නා සේ, නැසු කෙලෙස් ඇත්තහුගේ චිත්ත සන්තානයෙහි පැවැති නො නැසූ කෙලෙස් ඇත්තහුගේ කායවාක් ප්‍රයෝග වැනි කායවාක් ප්‍රයෝගයට හේතු වූ නැසී ගිය කෙලෙසුන්ගෙන් ඉතිරි වූ ක්ලේශපරිභාවිතාකාරය, කෙලෙස් පුරුද්ද ක්ලේශවාසනා යි කියනු ලැබේ. මේ නිසා ඇතැම් රහතුන් වහන්සේගේ කායවාක් ප්‍රයෝගයෝ අතැම් මිනිසුන්ගේ සිත් නො ගණිති. පිලින්‍දිවච්ඡ රහතුන් වහන්සේ මිනිසුන්ට වසලැ යි ඇමැතුවෝ මේ ක්ලේශ වාසනාව නිසා ය. බුදුරජානන් වහන්සේ ආර්‍ය්‍යමාර්‍ගඥානයෙන් මේ වාසනාදෝෂය සහිත වූ ම සියලු කෙලෙස් නසා දැමුහ. වාසනා සහිත ව කෙලෙස් නසන්නෝ බුදුවරයෝ ම ය. එය බුදුවරයන්ට මුත් සෙසු රහතුනට නැත්තේ ය. ආර්‍ය්‍යශ්‍රාවකයන්ගේ සිත් හි තරම් මේ කෙලෙස් පුරුද්ද පසේබුදුවරයන්ගේ සිත්හි ප්‍රකට ව නැත්තේ ය. එහෙයින් ප්‍රධාන විසින් බුදුරජානන් වහන්සේ ම රහතුන් වහන්සේ වෙති. එහි ලා මේ ද දන්නේ ය:
“සො තතො ආරකා නාම යස්ස යෙනාසමඞ්ගිතා,
අසමඞ්ගී ච දොසෙහි නාථො තෙනාරහං මතො” යනු.
යමෙක් යමක් හා නො යෙදේ ද, එයින් හේ දුරු වූයේ නම. බුදුරජානන් වහන්සේ ඒ කිසිත් ක්ලේශයක් හා නො යෙදුනෝ ය. එහෙයින් උන්වහන්සේ රහතුන් වහන්සේ ය.
‘කිලෙසාරීනං හතත්තා = අරහං’ බුදුරජානන් වහන්සේ අර්‍හන්මාර්‍ගඥානය කරණ කොට කෙලෙස් සතුරන් නැසූ බැවින් රහත් ය. මෙලොව පරලොව දෙක්හි ම සියලු අවැඩ, සියලු නපුරු, කරවන්නෝ ක්ලේශයෝය. එහෙයින් කෙලෙස්, සතුරන් වැනිය. බුදුරජානන් වහන්සේ රාගාදි කෙලෙස්සතුරන්, මාර්‍ගඥාන නැමැති ශාස්ත්‍රයෙන් මුල් සහිත ව නැසූ සේක. එහෙයින් උන්වහන්සේ රහතුන් වහන්සේ ය. එහි ලා මේ ද දන්නේ ය:
“යස්මා රාගාදිසඞ්ඛාතා සබ්බෙපි අරයො හතා,
පඤ්ඤාසත්‍ථෙන නාථෙන තස්මාපි අරහං මතො” යනු.
බුදුරජුන් විසින් යම් හෙයකින් සියලු රාගද්වේෂාදී වූ සතුරෝ මාර්‍ගඥාන නැමැති ආවුධයෙන් නසන ලද්දෝ ද, එහෙයින් උන්වහන්සේ රහතුන් වහන්සේ ය.
‘හතසංසාරචක්කාරො = අරහං’ නසන ලද සංසාරචක්‍රයාගේ, අර ඇත්තේ රහත් නම්. භවයෙන් භවය හේතුඵල වශයෙන් නො සිඳ පවත්නා රූප - වේදනා - සංඥා - සංස්කාරය - විඥාන යන පංචස්කන්‍ධයන්ගේ පටිපාටිය, චක්ඛුධාතු - රූපධාතු - චක්ඛුවිඤ්ඤාණධාතු ආදීන්ගේ පටිපාටිය, චක්ඛායතන - රූපායතනාදීන්ගේ පටිපාටිය, සංසාරැ යි කියන ලදී. යට කියූ විස්තරය. බැලිය යුතු ය. එම, සත්ත්‍වයන් නොයෙක් ගති - යෝනි ආදියෙහි නන්වෙසින් භ්‍රමණය කරවන බැවින් චක්‍ර නම් වේ.
අවිද්‍යා - භවතෘෂ්ණා නැමැති බොස්ගෙඩි ඇති, පුණ්‍යාභිසංස්කාරාදිය නැමැති දැවි ඇති, ජරා - මරණ නැමැති නිම් වළලු ඇති ආසව සමුදය නැමැති අලවංගුවෙන් විද, ත්‍රිභව නැමැති රියෙහි යෙදු අනාදිමත් කාලයක සිට පැවැත එන සංසාරචක්‍රය, බුදුරජානන් වහන්සේ මාර්‍ගඥාන නැමැති පොරවෙන් නසාලූ සේක.
තව ද, මේ සංසාරචක්‍රයෙහි අවිද්‍යාව මුල බැවින් එහි නාභිය වේ. ජරා - මරණ කෙළවර බැවින් නිම්වළලු වේ. නාභිය වූ අවිද්‍යාව හා ද නිම්වළලු වූ ජරා - මරණ හා ද ගැළපී සිටි බැවින් මද්ධ්‍යයෙහි වූ සංස්කාර - විඥාන - නාමරූප - ෂඩායතන - ස්පර්‍ශ - වේදනා - තෘෂ්ණා - උපාදාන - භව - ජාති යන මේ දසය දැඩි වේ. එහි ලා මෙ ද දන්නේ ය:
“අරා සංසාරචක්කස්ස හතා ඤාණසිනා යතො,
ලොකනාථෙන තෙනෙස අරහන්ති පවුච්චති” යනු.
බුදුරජුන් විසින් නුවණ නැමැති කඩුවෙන් සංසාරචක්‍රයාගේ අර සඞ්ඛ්‍යාත සංස්කාරයෝ නසන ලද්දාහු ද, එහෙයින් උන් වහන්සේ රහතුන් වහන්සේ ය.
‘පච්චයාදීනං අරහො අරහං’ සිවුපසයට සුදුසු වූයේ රහත් නම්.
කර්‍මඵල අදහා පරිත්‍යාගයෙහි යෙදෙන්නන්ගේ ඒ පරිත්‍යාගයන්ට විපත් සිදු කරන සියලු කෙලෙස් මුළුමනින් නසා සිටි බැවින් හා පරිත්‍යාගයන් සමෘද්ධියට පත් කරණ ශීලසමාධ්‍යාදි ගුණයෙන් මුළුමනින් වැඩී සිටි බැවින් හා එබඳු පරිත්‍යාගයන්ට සුදුස්සන් අතුරෙහි ප්‍රධාන ව සිටි බැවින් බුදුරජානන් වහන්සේ ශ්‍රද්ධාවත් ලෝකයා ගේ සිවුපසයට හා සෙසු පුදවෙසෙසුන්ට ද සුදුසු ව සිටි සේක. එහෙයින් ම ය බුදුරජුන් ලොව දිනූ පසු ඉන් පෙර, පිදිවිලි ලත් සෙස්සෝ ඒ ලත් පිදිවිලිවලින් ගිලිහුනෝ. බුද්ධප්‍රමුඛ ආර්‍ය්‍යමහාසඞ්ඝයා වහන්සේ ම පූජාසත්කාරයනට සෙසු හැම කෙනකුට ම වඩා සුදුසු බැවින් සහම්පති මහාබ්‍රහ්මයා විසින් මහමෙර තරම් රුවන් දමකින් පුදන ලද්දාහ. සෙසු ශක්‍ර - බ්‍රහ්මාදීහු ද නොයෙක් පූජා සත්කාරයගෙන් උන්වහන්සේ පිදූහ.
කොසල, බිම්බිසාර, ධර්‍මාශෝකාදී රජහු නොයෙක් ලෙසින් උන්වහන්සේ පිදූහ. එහෙයින් උන්වහන්සේ රහතුන් වහන්සේ ය. එහි ලා මෙ ද දන්නේ ය:
“පුජා විසෙසං සහපච්චයෙහි
යසමා අයං අරහති ලොකනාථො,
අත්‍ථානුරූපං අරහන්ති ලොකෙ
තස්මා ජිනො අරහති නාමමෙතං” යනු.
බුදුරජානන් වහන්සේ චීවරාදී වූ සිවුපසය සමග සියලු පූජා විශේෂයට යම් හෙයකින් සුදුසු වන සේක් ද, එහෙයින් උන්වහන්සේ ලෝකයෙහි අර්‍ත්‍ථවත් වූ ම රහතුන් වහන්සේ ය.
‘න රහො කරොති පාපානි තෙන අරහං’ රහසින් වත් පව් නො කරණ බැවින් රහත් නම්. බුදුරජානන් වහන්සේ ලෝභ - ද්වේෂ - මෝහාදි සකල පාපහේතුන් මුළුමනින් නැසූ සේක. කීර්තිකාමයෙන් මැඩුනු බොහෝ දෙන, අපකීර්තියට බියෙන් රහසින් පව් කරති. එ පරිද්දෙන් බුදුරජානන් වහන්සේ රහසත් පව් නො කරණ බැවින් රහතුන් වහන්සේ ය. එහි ලා මෙ ද දන්නේ ය:
“යස්මා නත්‍ථි රහො නාම පාපකම්මෙසු තාදිනො,
රහාභාවෙන තෙනෙස අරහං ඉති විස්සුතො” යනු.
පව්කම්හි බුදුරජානන් වහන්සේගේ රහසෙක් නැත. එසේ පව් කිරීමෙහි රහසක් නැති බැවින් උන්වහන්සේ රහතුන් වහන්සේ ය.
තව ද උන්වහන්සේ නුවණ නැත්තන්ගෙන් ඈත්ව සිටි බැවින් නුවණැත්තන්ට සමීප බැවින් පාප ධර්‍මයන් පහ කළ බැවින් නුවණැත්තන් විසින් පිදිය යුතු බැවින් සසරගමන් නැති බැවින් දෙව්බඹුන් ඈ විසින් පැසසිය යුතු බැවින් රහතුන් වහන්සේ ය.
“ආරකා මන්‍දබුද්ධීනං ආරකා ච විජානතං,
රහානං සුප්පහීණත්තා විදූනමරහෙය්‍යතො,
භවෙසු ව රහාභාවා පාසංසා අරහං ජිනො” යනු.
යනු ඒ අර්‍ත්‍ථෂට්කය පිළිබඳ පාළිය ය.
ලාමක අදහස් ඇති යම් මිනිස් කෙනෙක් මනා කොට නො පිළිපදිත් නම්, බුදුරජානන් වහන්සේ ඔවුන් කෙරෙහි ඉතා ඈත්හි සිටියාහ. එහෙයින් රහතුන් වහන්සේ ය. එහි ලා මෙසේ දන්නේය:
“සම්මාන පටිප්පජ්ජන්ති යෙ නිහීනාසයා නරා,
ආරකා තෙහි භගවා දූරෙ තෙනාරහං මතො” යනු.
අතිශය ප්‍රණිත අධ්‍යාසයෙන් යුත් යම් කෙනෙක් මනා කොට පිළිපදිත් ද, බුදුරජානන් වහන්සේ ඔවුන්ට ඉතා ලං ව සිටි සේක. එහෙයින් උන්වහන්සේ රහතුන් වහන්සේ ය. එහි ලා මෙසේ දන්නේය:
“යෙ සම්මා පටිපජ්ජන්ති සුප්පණිතාධිමුත්තකා,
ආරකා තෙහි ආසනෙන තෙනාපි අරහං ජිනො” යනු.
සත්පුරුෂයන් විසින් හැරිය යුතු බැවින් අකුශලයෝ රහ නම් වෙත්. ඔවුන් මුළුමනින් ප්‍රහීණ කළ බැවින් බුදුරජානන් වහන්සේ රහතුන් වහන්සේ ය. එහෙයින් කීහ:
“පාපධම්මා රහා නාම සාධූහි රහිතබ්බතො,
තෙසං සුට්ඨු පහීණත්තා භගවා අරහං මතො” යනු.
ප්‍රත්‍යක්‍ෂ කළ සද්ධර්‍මය ඇති, පරිශුද්ධ ගොචර ඇති යම් ආර්‍ය්‍යකෙනෙක් වෙත් ද, ඒ ආර්‍ය්‍යයන් විසින් අත් නො හරින ලද බුදුරජානන් වහන්සේ රහතුන් වහන්සේ ය. කීහ එහෙයින් මෙසේ:
“යෙ සච්ජිකතසද්ධම්මා අරියා සුද්ධගොචරා,
න තෙහි රහිතො හොති නාථො තෙනාරහං මනො” යනු.
යම් උත්තමයකුට රහසෙක් හෝ චුතිපටිසන්‍ධි වසයෙන් සසර ගමනෙක් හෝ නැත්තේ ද, පැහූ මරණ ඇති උන්වහන්සේ රහතුන් වහන්සේ ය. මේ එය කියූ සැටි:
“රහො වා ගමනං යස්ස සංසාරෙ නත්‍ථි සබ්බසො,
පහීණජාතිමරණො අරහං සුගතො මතො” යනු.
දෙවියන් සහිත ලෝකයෙහි යමකු හා ගුණයෙන් සමානයෙක් නැත්තේ ද, එහෙයින් පැසසිය යුතු බැවින් බුදුරජානන් වහන්සේ රහතුන් වහන්සේ ය. මෙය එහිලා දතයුතුයි:
“ගුණෙහි සදිසො නත්‍ථි යසමා ලොකෙ සදෙවකෙ,
තස්මා පාසංසියන්තොපි අරහං දීපදුත්තමෝ” යනු.
තංභූමි රාමණෙය්‍යංකා = ඒ බිම සිත් කලු ය.
‘භවන්ත්‍යසමින් භූතානීති භූමි’ යනු නිරුක්ති යි. ‘ භූ’ ධාතුවෙන් ‘ මික්’ ප්‍රත්‍යය ව සිද්ධ ය. ඉකාරන්තය. ස්ත්‍රීලිංගික ය. විකල්පයෙන් ‘ද්ධීප්’ ප්‍රත්‍යය ව ඊකාරන්තව ද, එයි. තංභූමි යනු සමස්තපදයෙකි. ත ශබ්දය අනික් ශබ්දයක් හා සමාස වූ කල්හි මද්ධ්‍යයහි නිග්ගහීතයෙක් ආගම වේ. මෙම කීහ:
“තසද්දස්ස සමාසම්හි සද්ධිං පරපදෙහි චෙ,
නිග්ගහීතාගමො පුබ්බපදෙ චිත්තන්තු පච්ජිමෙ”
‘භූතයෝ මෙහි වෙත් නු’ යි භූමි නම්. සිත් ඇලීමට සුදුසු වූයේ ‘රාමණෙය්‍යක’ නම්. භූමිශබ්දය බලා රාමණෙය්‍යකා යි විය.
කෙලෙස් නැසූ උතුමන්ගේ පා පහස ලත් සිත් පිත් නැති වස්තූහු ද ලෝකයෙහි මහත් බවට පිදිය යුතු බවට ගියහ. එහෙයින් ඒ වස්තූහු සදේවලෝකයා විසින් පුදනු ලබති. එහෙයින් රහතුන් වහන්සේලා වාසය කළ ගම් පෙදෙස් වන පෙදෙස් ඈ හැම තැනක් ම සිත්කලු ය. මන වඩා, යි වදාළ සේක. ඒ තැන් පිදීම දෙව් මිනිසුන්ට හිත පිණිස සැප පිණිස වන්නේ ය. රහතුන් වහන්සේලා, ගම්පෙදෙස් මිනිසුන්ගේ එකතුවීම් හැසිරීම් ආදිය තදින් පවත්නා තැන් බැවින්, එ තැන්හි කායවිවේකය නො ලබති. කෙලෙසුන් හා එක් වීමක් නැති බැවින් චිත්තවිවේකය නම් ලබත්. දිව්‍යරූප වැනි රූප, දිව්‍යශබ්ද වැනි ශබ්ද, දිව්‍යගන්‍ධ වැනි ගන්‍ධ, දිව්‍යරස වැනි රස, දිව්‍යස්පර්‍ශ වැනි ස්පර්‍ශ උන්වහන්සේලා මැඩීමෙහි උන්වහන්සේලාගේ සිත් සොලවාලීමෙහි අපොහොසත් ය. නො සමත් ය. එහෙයින් උන්වහන්සේලා ගමෙහි වේවා, වෙනෙහි වේවා, අන් තැනෙක වේවා, කොතැනෙක විසුවෝ ද. එතැන නම් ඒකාන්තයෙන් සිත්කලු ය. ලොවට හිත ය.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියාහ.
ඉන් පසු දවසෙක භික්‍ෂූන් වහන්සේලා “ඇවැත්නි! සීවලී ස්ථවිරයෝ සත් අවුරුදු සත් මස් සත් දවසක් මවු කුස දුක් වින්දෝ ය. නිරයෙහි ඉපිද බොහෝ කලක් නිරය දුක් වින්දෝ ය. මෙකල මහත් සත්කාර ලබති” යි කතා කරන්නට වූහ. ඒ අතර එහි වැඩම කළ බුදුරජානන් වහන්සේ මේ කතාව අසා සීවලී තෙරුන් පෙර කළකම් මෙසේ දක්වා වදාළ සේක:-
“මහණෙනි! විපස්සි බුදුරජුන්ගේ ලොව ඉපදීම මෙයට කප් එක්අනූවකට පෙර සිදු විය, උන්වහන්සේ එ දවස ලොවට හිත සැප පිණිස දනවු සැරිසරා ගොස් පෙරළා තම පිය රජු අයත් නුවරට වැඩියාහ, එදා රජ තෙමේ උන්වහන්සේලාට දන් පිළියෙල කොට නුවරවැස්සන්ටත් එයට එක්වන්නට දන්වා යැවී ය, දැන් වූ ලෙසින් ඔවුහු එයට උදව් කළහ, පසු දා ඔවුහු හැම කෙනෙක් එක් ව කතා කොට රජු දුන් දානයට වඩා හැම අතින් ම උසස් ලෙසින් දන් පිළියෙළ කොට බුදුරජුන්ට පවරා, රජුට ද දන්වා යැවුහ, රජ තෙමේ එහි ගොස් දන් බලා, “මම හෙට මෙයට වඩා සරුසාර ලෙසින් දන් දෙමි” යි සිතා පසුදාට බුදුරජුන්ට ආරාධනා කෙළේ ය, උන්වහන්සේ භික්‍ෂු සංඝයාත් සමග එහි වැඩ දන් වැළඳූහ, එහෙත් රජ තෙමේත් දන් දීමෙන් නුවර වැස්සන් පැරදවීමට අපොහොසත් විය, එසේ ම නුවර වැස්සෝත් රජු පැරදවීමට අපොහොසත් වූහ, රජු හා නුවර වැස්සෝ මෙසේ උනුන් තරඟයට බැස දන් දුන්හ, නුවර වැස්සෝ සවන වර “දානයට මේ නම් දෙය නැතැ” යි කිසිවකුටත් නො කියැකි ලෙසින් දන් පිළියෙල කොට නැවැත නැවැතත් අඩු මොනවා දැ යි එකෙනෙක පරීක්‍ෂා කොට බැලූහ, මෙසේ එකිනෙක පරීක්‍ෂා කොට බලන්නෝ, අළුත් මීවද නො දැක, “පැසවා ගත් මී කොතරම් වත් තිබේ, නැත්තේ අළුත් මීවද” යි මිනිසුන් සතර දෙනකු, එකාට කහවණු දහස බැගින් කහවණු සාරදහසක් දී මීවද ගන්නා පිණිස නුවර සතර පැත්තේ දොරටු සතරෙහි නැවැත් වූහ, ඒ වේලෙහි පිටිසර මිනිසෙක් ගම්මුලාදෑනි තැන හමුවන්නට එන්නේ අතර මගදී මීවද වෙළඳකුගෙන් අත පිටින් ම මීවදයක් මිල දී ගෙණ එහි හුන් මැස්සන් හා පිලවුන් බැහැර කොට, “ගම්මුලාදෑනි යාට දෙන්නෙමි” යි ගෙණ නුවරට ඇතුල් විය, මී සොය සොයා එහි සිටි මිනිහෙක් ඒ දැක, “ඕය්! ඔය විකුණන මීයක් දැ” යි ඔහු ගෙන් ඇසී ය, ඔහු එක්වරම “නැතැ” යි කීයේ ය, “මුදල් ටිකක් ගෙණ මීවදය මට දෙන්නැ” යි නැවතත් ඔහු ඉල්ලී ය, එවිට ඒ පුරුෂ තෙමේ, “මේ මීවදය පතාගයකුත් නො වටී, එහෙත් මොහු. මේ මීවදයට කහවණුවක් දෙන බව කිය යි, සල්ලිකාරයකු වගේ ය මොහු පෙනෙන්නේ, ඒ නිසා තව ටිකක් ගණන වැඩි කළ යුතු ය” යි සිතා ඒ ගණනට දිය නො හැකිය යි කී ය,
එවිට “එහෙනම් මෙන්න, කහවණු දෙකක්” යි ඔහු කීයේ ය. මීවදය අයිති තැනැත්තේ එයට ද කැමැත්තේ නො වී ය, ක්‍රමයෙන් මීවදය කහවණු දහසට නැංගේ ය, මීවදය ඉල්ලා සිටි තැනැත්තේ තම අත තුබූ කහවණු දහස ම ඔහු වෙතට දික් කෙළේ ය, එවිට අනික් තැනැත්තේ “ඕය්! තමුසේට පිස්සු ද, මුදල්වලට කරන්නට වැඩක් නැති නිසා ද මෙසේ කරන්නහු, මේ මීවදය පතාගයකුත් නො වටී, එහෙත් තමුසේ දහසකට එය ඉල්ලන්නහුය” යි කීයේ ය, “ඕව්! තමුසේ කියන එක ඇත්ත යි, මමත් එය දනිමි, මෙයින් ලොකු වැඩක් නැත, ලොකු ගණනක් නො වටී, ඒ වුනත් මට මේ වේලේ මෙයින් වැඩක් තිබෙන නිසා නො වටින ගණන්වත් දීලා ගන්නට සිතුයෙමි” යි ඉල්ලුම්කරු කී විට, “මෙයින් ඇති වැඩේ කුමක් දැ” යි නැවැත ඇසී ය, “අටසැට දහසක් භික්‍ෂූන් වහන්සේ පිරිවරා ගත් විපස්සී බුදුරජානන් වහන්සේට හෙට දානයක් පිළිගැන්වීමට කටයුතු සූදානම් කොට තිබේ, කෑ යුතු පියයුතු හැම දෙයක් ම එහි ඇත්තේ ය, නැත්තේ අළුත් මීවද පමණෙකැ” යි ඔහු කීය, “හා! එහෙම ද, දානයකට ද, එහෙනම් මට මෙයට මුදල් වුවමනා නැත, මුදලට නො දෙමි, මටත් දානයේ පින් ලැබේ නම්, මම නොමිලයේ දෙන්නෙමි” යි මීවදය අයිතිකරු කී ය,
මීවදය ඉල්ලුම්කරු මේ වග අනික් නුවර වැස්සන්ට දන්වා සිටියේ ය, ඔවුහු මොහුගේ ශ්‍රද්ධාව මහත් බව දැන, “හා හොඳ යි, අපි එයට කැමැත්තෙමු, පින් දෙන්නෙමු, පින් අනුමෝදන් වෙව” යි කීහ, හේ මීවදය ඔවුන්ට දුන්නේ ය, ඔවුහු එය දානශාලාවට ගෙණ ගියහ, දානය සඳහා බුද්ධ ප්‍රමුඛ මහාසඞ්ඝයා වහන්සේ වැඩි සේක, දායකයෝ උන්වහන්සේලා වඩා හිඳුවා පැන් පිළිගන්වා කැඳ කැවිලි වැළඳෙව්වාහු ය, නැවැත ලොකු රන්තැටියක් ගෙණවුත් මීවදය එහි ලා මිරිකූහ, මීවදය ගෙණා තැනැත්තේ පඬුරු පිණිස, දීසැළියක් ද ගෙණායේ ය, හෙතෙමේ ම ඒ දී රන්තැටියේ ම වත් කොට මී පැණිත් සමග හනා බුද්ධ ප්‍රමුඛ සඞ්ඝයා වහන්සේට මුල සිට පිළිගැන් වීය, ඒ මී හා දී උන්වහන්සේලා තමන්ට සෑහෙන පමණින් වැළඳූහ, එහෙත් තව ඉතිරි විය, මේ මීපැණි ටික මෙතෙක් බොහෝ දෙනාට කෙසේ සෑහීද, යි නො සිතිය යුතු ය, බුදුරජානන් වහන්සේගේ අනුභාවයෙන් ම එය හැම දෙනකුට ම සෑහී ගියේ ය, බුද්ධ විෂය නො සිතිය යුතු ය, නො සිතිය හැකි ය, යි වදාළ කරුණු සතරෙක් ඇත්තේ ය, ඒ කරුණු ගැන යමෙක් සිතන්නේ නම් ඔහු උමතු බවට පැමිණෙන්නේ ය,
මීවද දුන් ඒ පුරුෂ තෙමේ ඒ සුලු පින්කමින් මරණින් පසු, දෙව්ලොව ඉපද, මෙතෙක් සැරිසරා එන්නේ දෙව්ලොවින් චුත ව එක් කලෙක බරණැස් නුවර රජගෙදරක උපන්නේ ය, පිය රජුගේ ඇවෑමෙන් රජබවට පත් ඔහු රටක් වට කොට “රට දෙවු, නැත, යුද්ධ කරමු” යි රටවැසියන්ට දන්වා යැවී ය, රට වැස්සෝ “රටත් නො දෙමු, යුද්ධත් නො කරමු” යි දන්වා යවා සතර වාසල අගුලු ලා ගත්හ, ඔවුහු රහස් දොරින් නික්ම දර පැන් ආදිය නුවරට ඇතුල් කර ගණිති, එ මගින් සියලු කටයුතු කෙරෙති, රජ තෙමේ සතර මහදොර රක්නේ, සත් අවුරුදු සත් මසක් නුවර අවුරා ගෙණ සිටියේ ය, එවිට මවු තොමෝ “මා පුත් කුමක් කරන්නේ දැ” යි අසා එපවත් දැන, “මපුතුට කිසිවක් නො දැනේ, ඔහුට කිසිත් තේරුමක් නැත, යවූ! ඒ නුවර ඇති කුඩා දොරටුත් වසා අවුරන්නට කියවූ” යි දන්වා යැවූ ය, ඔහු ද මෑනියන් කියූ ලෙසට කුඩා දොරටුත් අහුරවා සිටියේ ය, නුවර වැස්සට බැහැරට එන්නට මං නැති වූ බැවින් සත්වන දා තමන්ගේ රජු මරා ඔහුට රජය දුන්හ, ඔහු මේ කර්‍මය කොට මරණින් මතු අවීචි මහා නිරයෙහි ඉපිද පොළොව යොදුනක් වැඩෙන තුරු ම එහි පැසී ඉන් චුත ව මිනිස් ලොව උපන්නේ ය, කුඩා දොරටු සතර අවුරන්නට උපදෙස් දුන් පුරාණ මවගේ ම කුසයෙහි පිළිසිඳ ගත්තේ ය, සත් අවුරුදු සත් මසක් මවු කුස හුන් මෙතෙමේ සත් දවසක් ම යොනිමුඛයෙහි වැටී සරස් ව හොත්තේ ය, මහණෙනි! සීවලි පෙර කළ ඒ අකුශල කර්‍මයෙන් මෙතෙක් නිරයෙහි පැසී ඉන් චුත ව මිනිස් ලොව උපදින තැනේදී එදා ඒ කුඩා දොරටු වැසීමට උපදෙස් දුන් ස්ත්‍රිය කුස ඉපද මෙතෙක් කල් ඒ මවුකුස විසී ය, අළුත් මීව ද දුන් පිණෙන් මෙතැන දී මහත් ලාභයෙන් අගතැන් ගත්තේ ය” යි.
නැවැත දිනෙක භික්‍ෂූන් වහන්සේලා එක් ව, “අයියෝ! පුදුම ය, හෙරණුන්ගේ ලාභය ද පුදුම ය, පිණ ද පුදුම ය, එකලා වූවහු විසින් පන්සියයක් භික්‍ෂූන්ට කුළු ගෙවල් පන්සියයක් කරවන ලද්දේය” යි කතා කරමින් සිටිය දී එහි වැඩි බුදුරජානන් වහන්සේ “මහණෙනි! මාගේ පුතුට පිණකුත් නැත, පවකුත් නැත, පින් පව් දෙක ම මපුතු බැහැර කෙළේය” යි බ්‍රාහ්මණ වර්‍ගයෙහි එන මේ ගාථාව වදාළ සේක:
“යොධ පුඤ්ඤං ච පාපං ච උභො සඞ්ගං උපච්චගා,
අසොකං විරජං සුද්ධං තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං”
ඛදිරවනිය රේවතස්ථවිර වස්තුව නිමි.
‘තංභූමීං රාමණෙය්‍යකං’ සමහර පොතක ↑