පඨවිසමො නො විරුජ්ඣති ඉන්‍දඛීලූපමො තාදි සුබ්බතො
රහදො’ව අපෙතකද්දමො සංසාරා න භවන්ති තාදිනො.
පොළොව හා සම වූ, ඒෂිකාස්තම්භයක් බඳු වූ, අටලෝ දහමින් නො සැලෙන, සුන්‍දර වූ ධුතාඞ්ගාදි ව්‍රත ඇති යම් රහතෙක් (තමාට ආක්‍රෝශ කරන්නහුට ද තළන්නහුට ද පෙළන්නහුට ද) විරුඬ නො වේ ද (හෙවත් නො කිපේ ද), පහ වූ මඩ ඇති විලක් මෙන් ප්‍රසන්න වේ ද, අටලෝ දහමින් නොපෙරැළෙන ඒ රහත්හට (සුගති දුගති දෙක්හි ච්‍යුති ප්‍රතිසන්‍ධි වශයෙන්) සංසරණයෝ නො වන්නාහ.
එක් දවසෙක සැරියුත් මහතෙරනුවෝ, වස් වැස අවසන් කොට ගම් නියම්ගම් දනවු සැරිසරා වඩිනු කැමැත්තෝ බුදුරජුන් වැඳ අවසර ගෙණ සිය පිරිවරත් කැටුව නික්ම ගියහ. තවත් නොයෙක් දෙනා වහන්සේද උන්වහන්සේ පසුපස ගියෝ ය. ඔවුන් දුටු තෙරනුවෝ, නම් ගොත් දන්නවුන්, නම් ගොත් කියා අඬගා ඔවුන්ගේ ගමන් වළකාලූහ. ඔවුන් අතර සිටි වඩා ප්‍රසිද්ධ නො වූ එක් මහණෙක්, “නම් ගොත් කියා අඬගා මාත් නවතා ලන්නෝ නම් යහපත් ය, එසේ මාත් දැන් දැන් නවතාලනු ඇතැ”යි සිත සිතා පස්සේ ගියේ ය. එහෙත් සැරියුත් තෙරුන් වහන්සේ උන් ගැණ සඳහන් නො කොට ඉදිරිය බලා වැඩි සේක. එවේලෙහි මේ මහණ, තෙරුන් කෙරෙහි වරදවා සිතා නො සතුටක් උපදවා ගත්තේ ය.
මේ අතර දවසෙක සැරියුත් තෙරුන් පොරවා තුබු සිවුරෙහි කොණක් ඒ මහණහුගේ සිරුරෙහි ගැටුනේ ය. එයින් තෙරුන් කෙරෙහි ඔහු තුළ හට ගෙණ තුබූ නො සතුට වඩාත් දැඩි විය. ඒ මහණ, සැරියුත් තෙරුන් විහාරසීමාව මඳක් ඉක්මවා ඉදිරියට යත් ම, බුදුරජුන් වෙත ගොස් “ස්වාමීනි! සැරියුත් තෙරුන්නාන්සේ බුදුරජානන් වහන්සේගේ අග්‍රශ්‍රාවක යි උදම්ව එයින් හැඩි දැඩි ව කණ කැඩී යන්නට තරම් සේ මට පහර දී මා කමා නො කරවා ම ඇවිදින්නට ගියහ” යි දන්වා සිටියේ ය. එකෙණෙහි බුදුරජානන් වහන්සේ සැරියුත් තෙරුන් ආපසු ගෙන් වුහ. මෞද්ගල්‍යායන - ආනන්ද ස්ථවිරයන් වහන්සේලා “බුදුරජානන් වහන්සේ අප වැඩි මහල් සොහොයුරු සැරියුත් තෙරුන් මේ මහණහුට පහර නො දුන්බව නො දැන තෙරුන් කැඳවූවෝ නො වෙති, ගෙන් වුවෝ සිංහනාද දෙවනු කැමැත්තෙනැ” යි සිතා භික්‍ෂූන් හුන් කාමර වෙතට ගොස් දොරකවුළු හැර, “එන්න! ඉක්මනට එන්න, සැරියුත් තෙරනුවෝ අද බුදුරජුන් ඉදිරියෙහි සිංහනාද කරන්නාහ” යි භික්‍ෂූන් රැස් කළහ.
ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ බුදුරජුන් වෙත ගියහ. ගොස් වැඳ එකත්පසෙක හුන්හ. බුදුරජානන් වහන්සේ “ශාරීපුත්‍ර! තමුසේ මේ නමට කණ කැඩෙන්නට පහර දුන්නහු දැ?” යි අසා වදාළ කල්හි ඒ ගැණ කිසිත් නො කියා “ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! යමක්හට සිරුරෙහි, සිරුර පිළිබඳ සිහිය (කායගතාසතිය) නො ද එළඹ සිටියා නම්, ඔහු සෙසු සබ්රම්සරුන් ඇඟින් ඇඟ හපා පහරා කමා නො කරවා ම තැන තැන යනු ඇත, මම එසේ නො වෙමි, මේ මහපොළොව තමන් මතුයෙහි හෙලන පිරිසිදු දේත් අපිරිසිදු දේත් එක සේ උසුලන්නී ය, පිරිසිදු දේ හෙලන්නහු කෙරෙහි ස්නේහයත් අපිරිසිදු දේ හෙලන්නහු කෙරෙහි කෝපයත් නො ද දක්වන්නී ය, හැම එකකු කෙරෙහි ම එක හැටිය, මමත් හැම එකකු කෙරෙහි එක හැටි වෙමි, මාගේ සිත ක්‍රෝධාග්නිය නිවීමෙහි දියක් වැන්න, කෙලෙස් කුණු දැවීමෙහි ගින්නක් වැන්න, කෙලෙස් රොඩු දුර ගසා හැරීමෙහි සුළඟක් වැන්න, නිහතමානයෙහි පාපිස්නක් වැන්න, නො උඩඟු බවෙහි සැඩොල් කොලු වැන්න, උඩඟු නො වීමෙහි අං වැටුනු ජරමාලු ගොන් වැන්න, නයි කුණුවලින් මෙන් සිය සිරුරෙන් හට ගත් පිළිකුල ඇත්තේ වෙමි, සිය සිරුර අසුචි පිරූ කළබෙට්ටක් සේ පරිහරණය කරමි” යි කිහ.
සැරියුත් තෙරුන් මෙසේ උපමා ගෙණ හැර පාමින්, තමන් පිළිබඳ තතු පහදන කල්හි, මහපොළොව දිය කෙළවර කොට නව වරක් දෙදරා සැලී ගියා ය. රජෝහරණ - චණ්ඩාලකුමාරක - මෙදකථාලිකා උපමාවන් මෙසේ කියා පාන කල්හි, එහි රැස්ව හුන් පෘථග්ජන භික්‍ෂූන් වහන්සේලා අඬන්නට වූහ. ඇස්වලින් නැගී ආ කඳුලු නවතා ගන්නට ඔවුහු අපොහොසත් වූහ. රහතුන් වහන්සේලාට ධර්‍මසංවේගය උපන. දොස් නැගු මහණහුගේ සිරුර ගිනි ඇවිළ ගත්තේ ය. එකෙණහි ඔහු බුදුරජුන් පාමුල බිම වැටී තමන් කළ දොස් නැඟුම මුළුමනින් බොරුබව කියා කමාව ඉල්ලා සිටියේ ය. එවිට බුදුරජානන් වහන්සේ “ශාරීපුත්‍ර! මේ නින්දිත මිනිහාගේ හිස සත් කඩකට පැළෙන්නට කලින් මූට කමාව දෙන්නැ”යි වදාළ විට, ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ උක්කුටිකයෙන් හිඳ දොහොත් මුදුන් දී “ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! මම ඒ මහණහුට කමාව දෙමි, එහිලා පසුබට වීමෙක් කිසිසේත් නැත, මම සැරියුත්, මම බුදුපුත්, මම දෙටුපුත්, මම දම්සෙනෙවි, මා අතින් වරදෙක් මේ ආයුෂ්මතුන් වහන්සේට වී නම්, එයට මේ ආයුෂ්මතුන් වහන්සේ මට කමත්වා” යි කියා සිටියාහ.
රැස් ව හුන් භික්‍ෂූන් වහන්සේලා “අය්යෝ; බලන්න! තෙරුන්ගේ මහත් ගුණයෙක හැටි, නිර්‍මල ගුණයෙක හැටි, තමන්ට බොරුවට දොස් නගා ගැරහූ මේ මහණහු කෙරෙහි අබැටක් පමණත් කෝපයක් නො කොට දොසක් නො කියා තෙමේම උක්කුටිකයෙන් හිඳ ඇඳිලි බැඳ කමා කරන්නැ යි කියති” යි කතා කරන්නට වූහ. එ වේලෙහි බුදුරජානන් වහන්සේ භික්‍ෂූන් හුන් තැනට ගොස් “තමුසේලා කියන්නහු කිමැ” යි අසා “මහණෙනි! ශාරීපුත්‍රයන් වැන්නවුනට කෝපයක් දෝසයක් උපදවන්නට නො හැකි ය, ශාරීපුත්‍රයන් වැන්නෝ තමන් මරන්නට ආවුන් කෙරෙහි වත් කෝපයක් නො කරති, ඔවුහු එබන්දෙහි අපොහොසත් ය, මහණෙනි! මාපුත් සැරියුත් තැනගේ සිත මහපොළොව වැන්න, මහපොළොවටත් වඩා ස්ථිර ය, මහපොළොව සැලුන ද සැරියුත් තැනගේ සිත මොන ලෙසකිනුත් නො සැලෙන්නේ ය. ඒ ඉන්‍ද්‍රකීලයක් වැන්න, පහන් දිය ඇති විලක් වැන්නැ” යි වදාරා අනුසන්‍ධි ගළපා මේ ධර්‍මදේශනාව කළ සේක:
පඨවිසමො නො විරුජ්ඣති ඉන්දඛීලූපමො තාදී සුබ්බතො
රහදොව අපෙතකද්දමො සංසාරා න භවන්ති තාදිනොති.
යමෙක් තෙමේ පොළොව හා සම වූයේ ඉන්‍ද්‍රකීලයක් බඳු වූයේ නො සැලෙන ගති ඇත්තේ මනා ව්‍රත ඇත් කිසිවකුට නො කිපේ ද, පහ වූ මඩ ඇති විලක් සේ පහන් වේ ද, නො වෙනස් ගුණ ඇති රහතුන් වහන්සේට සසර සැරිසැරුම් නො වේ.
පඨවිසමො = පොළොව හා සම වූයේ.
‘පඨවිං බණෙය්‍ය වා ඛණාපෙය්‍ය’ යනාදි තැන්හි සේ සසම්භාර පෘථිවියෙහි මේ ආයේ ය. සත්ත්‍වයන් පිළිබඳ පටන් ගැණුමක්, සත්ත්‍වයන්ගේ මුලක් නැත්තා සේ මහාපොළොවෙහි ද පටන් ගැණුමෙක් නැත්තේ ය. මුලක් නැත්තේ ය. එහෙයින් සාසනයෙන් බැහැර සිටියෝ මිනිසුන් මුළා කරන්නට තමන් ගත් ලබ්ධිය තහවුරු කරන්නට, පොළොව මහේශ්වරාදි දෙවියන් විසින් මවන ලදැ යි කියති. එහි සත්‍යයෙක් නැත්තේ ය. පිළිගත යුත්තෙක් නැත්තේ ය. මිසදිටු ගත්තෝ ම එසේ කියති. හේතු ඵලධර්‍මනියාමය නො දත් බැවින් එසේ කියන්නෝ ය. මහා පෘථිවියෙහි හටගැන්ම - නැසුම ස්වභාව සිද්ධ ය. පෘථිවිය කරන්නෙක් මවන්නෙක් නැත්තේ ය.
නැසෙන්නා වූ ලෝකය ගින්නෙන් හෝ නැසෙන්නේ ය. ජලයෙන් හෝ නැසෙන්නේ ය. සුළඟින් හෝ නැසෙන්නේ ය. මේ කොයි එකකින් වුව ද ලෝකය නැසී ගිය කල්හි පොළොවෙන් යට සිටි අහසත්, පොළොවෙන් උඩ සිටි අහසත් එක්ව එක් අහසෙක් වන්නේ ය. ඒ මේ අහස්කුහරය මහඳුරෙන් අඳුරු වන්නේ ය. එකල මුළු ලොව කිසිවෙක් නැත්තේ ය. ලෝකය තෙමේ අසඞ්ඛ්‍යයක් කල් මෙසේ සිටින්නේ ය, එක් මිදුලෙක් ව.
මේ කියූ කල් ගෙවී ගිය තැන, නැවැත අහසෙහි වළාකුල් නැග වැසි වන්නේ ය. නවම් මැදින් දෙමස අතර අටදිනෙහි මෙන් පළමු කොට වැටෙන්නේ හිම ය. ඉන්පසු ඉතා සියුම් ව වැසි වසී. ඒ වැසි පිළිවෙළින් නෙළුම්දඬු - මොහොල් - තල්කඳ පමණට වැස කෙළ ලක්‍ෂයක් සක්වළ තුළ දැවී ගිය නැසී ගිය සුණු වී ගිය තැන් ජලයෙන් පුරා උතුරවා හරින්නේ ය. මෙසේ වට මේ දිය කඳ, යටින් උඩින් නැගි සුළගින් ටිකින් ටික ඝන බවට පැමිණේ. එය නෙළුම් කොළයෙහි රැදී සිටි දිය බිඳක් සේ වට ව ඝන වේ. හොඳට ම ඝන වූ විට ‘පෘථිවි’ යි කියනු ලැබේ. මෙසේ ජලයෙහි වූ පරමාණු කැටි වීමෙන් දිය මතු පිට හට ගන්නා ස්ථබ්ධ අවස්ථාවට, පෘථිවි අවස්ථාවට එන්නට ගත වූ කාලය මෙ පමණැ යි මොන ලෙසකිනුත් නො කියැකි ය. අනන්තාපරිමිතකාලයෙක් ඒ සඳහා ගෙවී යන්නේ ය.
මිනිසුන්ගේ වයස දස අවුරුද්දෙන් පටන් ගෙණ ක්‍රමයෙන් නැගී අසඞ්ඛ්‍යයට පැමිණේ. නැවැත අසඞ්ඛ්‍යයේ සිට ක්‍රමයෙන් පිරිහී ගොස් දස අවුරුද්දට වැටේ. මෙසේ මිනිසුන් පිළිබඳ වයස දස අවුරුද්දේ සිට අසඞ්ඛ්‍යයටත් අසඞ්ඛ්‍යයේ සිට දස අවුරුද්දටත් නැගීමට හා බැසීමට ගත වූ කාලය තරම් කාලයෙක් ජලීය පරමාණු කැටි වී පොළොව හට ගැන්මට ගත වේ, යි භූගර්‍භවිද්‍යාඥයන් විසින් සලකනු ලැබේ. ක්‍රමයෙන් පොළොව මෙසේ එක් යොදුන් තුන් ගවු පමණ වැඩේ.
මෙහි, අතින් හෙලා ගත යුතු වූ ‘ යො’ යන ප්‍රථමා විභක්ත්‍යන්ත පදයක් බලා ‘ පඨවිසමො’යනු සිටියේ ය.
නො විරුජ්ඣති - විරුද්ධ නො වේ. නො කිපේ.
‘නො’ යනු නිපාත ය. ‘සුභාසිතං යෙව භාසෙය්‍ය නො ච දුබ්භාසිතං’ යන මෙහි ඒ යෙදුනේ නිෂෙධයෙහි ය. ‘අභිජානාසි නා ත්‍වං මහාරාජ! ඉමං පඤ්හං අඤ්ඤෙ සමණබ්‍රාහමණෙ පුච්ජිතා’ යන මෙහි ප්‍රශ්නයෙහි ආයේ ය. ‘න නො සමං අත්‍ථි තථාගතෙන’ යන මෙහි අවධාරණයෙහි වැටුනේ ය. ‘නො’ යන්න අර්‍ත්‍ථොද්ධාර වශයෙන් අම්හ ශබ්දයට ආදේශ රූපයක් ව පැමිණ පච්චත්ත - උපයොග- සම්පදාන - සාමි වචනයන්හි පවති. එකල්හි නිපාත නො වේ. සර්‍වනාමයක් සේ ගැණේ. ‘ගාමං නො ගච්ඡෙය්‍යාම’ යනු පච්චත්තවචන යි. පච්චත්ත නම් ප්‍රථමා විභක්ති යි. උපයොග නම් ද්විතියා විභක්ති යි. ‘මා නො අජ්ජ විකන්‍දිංසු’ යනු එයට නිදසුන් ය. ‘සංවිභජෙය්‍ය නො රජ්ජේන’ යනු සම්ප්‍රදානයෙහි වැටුනේ ය. ‘සත්‍ථා නො භගවා අනුප්පත්තො’ යනු සාමිවචනයෙහි ආයේ ය. සාමි නම් සම්බන්‍ධය යි. මෙය ශුද්ධනාම පදයක් සේ ද භාෂායෙහි එයි. ‘නො තරිතො නදීපාරාං පත්තො’ යනු නිදසුනි.
ඉන්‍දඛීලුපමො - ඉන්‍ද්‍රඛීලයක් බඳු වූයේ.
නුවර දොර සතුරන්ගෙන් රකින්නට එළි පත්තෙන් ඇතුළත රියන් අටක් හෝ දසයක් ගැඹුරට පොළොව සාරා හිඳු වන හර දැවයෙන් කළ කණුව ‘ඉන්‍දඛීල’ යි ගැණේ. ‘නගරද්වාරවිනිවාරණත්‍ථං උම්මාරබ්භන්තරෙ අට්ඨ වා දස වා හත්‍ථෙ පඨවිං ඛණිත්‍වා ආකොටිතස්ස සාරදාරුමයස්සෙතං අධිවචනං’ යනු අටුවාය.
මේ සඳහා ගල් ගඩොලින් කළ කණු ද මේ නමින් හඳුන්වති. නුවර දොර රැකුමට, නුවර දොර සවිකිරීමට මෙය දොර උළුවස්සෙහි දෙපස සිටුවා උළුවහු කණු, ඒ හා සම්බන්‍ධ කරණු ලැබේ. මෙහි යම් පමණක් පොළොවෙන් මතු පිට සිටියේ ද, එ පමණක් ම වන්නේ ය පොළොව යටත්. සමහර ඉන්‍ද්‍රඛීලයෝ පොළොවෙන් මතු පිට සොළොස් රියන් විසි රියන් පමණිනුත් සිටුවනු ලබති. පොළොව මතු පිට ඇති පමණ ම පොළොව යටද ලන බැවින් සිවු දිගින් හමන කිසිත් සැඩපවනකින් ඒ නො සැලෙන්නේ ය. තිර ව සිටින්නේ ය.
විනයට පැමිණ ඉන්‍ද්‍රඛීලයක් පිහිටු වීමට ඇදුරන් නියම කළ තැන, ඉන්‍දඛීලයක් නො පිහිටු වන ලද ද, ඉන්‍දඛීල යි ගැණේ. යම් නුවරෙක දොරකොටුවෙහි දොරබා ආදී යමක් නැත්තේ ද, එහි ප්‍රාකාරයාගේ මද්ධ්‍යය, ඉන්‍දඛීලය යි සලකත්. මෙහි ගන්නා ලද්දේ දොර උළුවහු කණු, ශක්තිමත් කරණු පිණිස උළුවහු දෙපස සිටුවන කණු ය. මෙහිලා පාළියෙන් කළ නිරුක්ති මෙසේ ය:- ‘ඛිලති ජනානං ගමනං පටිඝාතෙතීති = බීලො ඉන්‍දස්ස ඛීලො = ඉන්‍ද්‍රඛීලො, ඉන්‍දො එව පදං ඛිපති එත්‍ථාති ඉන්‍ද්‍රඛීලො’ මෙහි ‘ඉන්‍ද්‍රයාගේ කණුව’ යනු කීමෙහි තේරුමක් නැති බැවින් ඉන්‍ද ශබ්දයෙන් ගත යුතු සේ පෙනෙනුයේ ප්‍රධාන යන අරුත ය. එය තුල්‍යාධිකරණත්වයෙන් ඛීල ශබ්දය හා ඝටිත වූ, කල ප්‍රධාන කණුව’ යන අරුත ලැබේ. ඉන්‍ද ශබ්දය ප්‍රධාන යන අරුතෙහි ද වැටේ. උස් බැවින් ඉන්‍ද්‍රයාගේ කීලය වැනි නු යි ගත් කල ද වරදක් නො කියැකිය.
ඉන්‍ද්‍ර පා තබන කණුව ඉන්‍දඛීලය, යනු දෙවැන්නෙහි කෙටි තේරුම ය. පා තැබීම, අරක් ගැණීමැ යි ගත යුතු සේ පෙනේ. උළුවහු දෙපස සිටු වන මේ කණු දෙකෙහි දෙවියන් අරක් ගන්නා ලදැ යි පැරණියන්ගේ සැලකීම, පිළිගැණිම, මේ නිරුක්තියට පදනම වූ සේ පෙනේ. පිරිත් මඩුවෙහි බඳින ඉන්‍ද්‍රඛීලය ද දෙවියන් සඳහා ම බඳින්නක් සේ ය අප දන්නේ. මේ කරුණු අනුව සලකන විට සතුරු ගමන් වළකනුයේ ‘ ඛීල’ නමැ යි කළ අර්‍ත්‍ථසමර්‍ත්‍ථනය වරදය යි නො කියැකි ය. නුවරදොර පිහිටි උළුවහු කණු ඉන්‍දඛීල පිහිටුවා ශක්තිමත් කරණු, සතුරන් වළකනු පිණිස ය.
සංස්කෘතයෙහි ඉන්‍ද්‍රකීල ශබ්දයෙක් ඇත්තේ ය. එහි මන්‍දිර - පර්‍වත - ඉන්‍ද්‍රධ්වජ යන තෙයරුතෙක් කෝෂග්‍රන්‍ථයන්හි දක්නා ලැබේ. පාළියෙහි ඉන්‍ද්‍රඛීල ශබ්දයෙක් ඇත්තේ ය. එය වැටෙනුයේ එසිකාස්තම්භයෙහි ය. එසිකා නම් එළිපත ය. ස්තම්භ නම් කණු ය. උළුවහු සවිකරණු පිණිස සිටු වන කණු ය.
උළුවහු කණු ශක්තිමත් කරන්නට එදා මෙසේ පොළොව සාරා දෙපස කණු සිටු වන ලද නමුත් අද ඒ පිණිස උළුවහු කණු දෙකෙහි පිටිපස අළු දෙක තුනක් සවි කොට නැවැත ඒ අළු දෙක බිත්තියට සවි කරණු ලැබේ. මේ යට කියන කරුණු ද මෙහිලා සැලකිය යුතු ය. පුරාණජම්බුද්වීපයෙහි ඉන්‍ද්‍රපූජාව අති ශ්‍රේෂ්ඨ ස්ථානයක් ගත්තේ ය. ඉන්‍ද්‍රපූජාවෙන් වැස්ස ද එයින් ධනධාන්‍යපශුසම්පත්තිය ද ආරෝග්‍ය හා බුද්ධිය ද දීර්‍ඝායුෂ ද යුද්ධයන්හි ජය ද ලැබෙතැ යි වෛදිකයෝ සැලකූහ. මෑත දී ඉන්‍ද්‍ර, වෛදිකදෙවගණයෙහි ද්විතීයස්ථානයට පත් වූ නමුත් පෙර පටන් පැවැත එන ඉන්‍ද්‍රපූජාව දඹදිව්වැස්සන්ට අමතක නො වී ය. එහෙයින් ඔවුහු අවුරුදු පතා ඉන්‍ද්‍රපූජාව සඳහා මහෝත්සව කළහ. ඒ උත්සවයන්හි ප්‍රධාන ස්ථානය ගත්තේ ඉන්‍ද්‍රයා උදෙසා ධ්වජයක් තැබීම ය. ඒ ධ්වජය ඉන්‍ද්‍රධ්වජ, ශක්‍රධ්‍වජද යන නම්වලින් ප්‍රසිද්ධ ව ගියේ ය. ඒ ධ්වජය බැඳි කණුව ද පුරාතනයෙහි දී ක්‍රමවත් ව සිටු වන ලද්දේ ය. ඉන්‍ද්‍රකීල යන නම් වුයේ ඒ කණුවටය යි ද සිතිය හැකි ය. මුල් අවදියේ ඒ සඳහා ගැණුනේ ඊට නියමිත රුක් වර්‍ගවලින් එකෙකි. පසු පසු අවුරුදු පතා ඒ පිණිස ගන්නට සම්මත කොට තුබූ රුක් සොයා ගැණීමෙහි අපහසුව නිසා දෝ ඉන්‍ද්‍රකීලය චිරස්ථායී වන ලෙස ගල් හා ගඩොල් යොදා සාදන ලද්දේ ය.
කල් යත් යත් ඉන්‍ද්‍රමහෝත්සවය හා ඉන්‍ද්‍රධ්වජයත් දඹදිව් වැස්සන්ට අමතක ව ගිය බැවින් ධ්වජය බැඳි කණුවට නම් වූ ‘ඉන්‍ද්‍රකීල’ යන්න ධ්වජයට ද ව්‍යවහාර කරන්නට වූහ. බුද්ධ කාලයෙහි ‘ඉන්‍ද්‍රකීල’ ශබ්දයේ මුල් අදහස බෙහෙවින් වෙනස්ව තුබුනු බව පාචිත්තියපාළියෙහි පෙනෙන ‘ඉන්‍දඛීලො නාම සයනීඝරස්ස උම්මාරො’ ඉන්‍දකීලය නම් නිදනගෙයි එළිපතය යන මෙයින් පෙනේ. මෙය පිහිටු වන ලද්දේ නගරයෙහි ප්‍රකට ස්ථානයක ය. පුරාණ අනුරාධපුරයෙහි ඇතුළත හා පිටත ද ඉන්‍ද්‍රකීල දෙකක් තුබූ බව විනය අටුවාවෙන් පැහැදිලි වේ.
කීල, ඛීල ශබ්දකෝෂ ග්‍රන්‍ථයන්හි එකකට එකක් වෙනස් අරුත් ඇති ශබ්ද දෙකක් සේ දක්වන ලද ද, කරුණු සලකන විට මේ දෙක සමානාර්‍ත්‍ථවත්ය යි ගත හැකිය. ‘කීල’ ශබ්දයම ‘ඛීල’ යි වෙනස් විය. සංස්කෘතයෙහි ඇතැම් අල්පප්‍රාණාක්‍ෂරවත් ශබ්ද ප්‍රාකෘතයෙහි මහාප්‍රාණාක්‍ෂරවද්භාවයට පෙරළුනු බව පෙනේ. ‘කීල’ ශබ්දය ගිනිසිළුව, උල, කණුව, ලේශය, වැලමිට යන අරුත්හි එන අතර ‘ඛීල’ ශබ්දය උල යන අරුතෙහි ඒය යි කෝෂකාරයෝ කීහ.
තාදී = ස්ථිර ගුණ ඇත්තේ. නො සැලෙන නො වෙනස් වන ගුණ ඇත්තේ [1]
සුබ්බතො = මනා ව්‍රත ඇත්තේ.
මෙහි ‘සුබ්බත’ යන්නෙන් කියනුවෝ නිර්‍වාණාවබෝධයට අනුලොම් වූ විදර්‍ශනාභාවනා සඞ්ඛ්‍යාතප්‍රතිපත්තියෙහි හැසිරෙන්නෝ ය. එ පිළිවෙත ඇත්තෝ ය. දුහඟ සමාදන් ව රකින්නෝ ය. දුහඟ තෙළෙසෙකි. යට කියන ලදී. [2] එහෙයින් එහි නො කියන ලද්ද පමණක් මෙහි කිය වේ.
පංසුකූලික+අඞ්ග යන දෙ සද එක් ව පංසුකූලිකඞ්ග යි සිටියේ ය. පංසුකූලික නම්, සොසානිකාදි තෙවිසි සිවුරු අතුරෙහි යම්කිසි එකක් දැරීම ස්වභාවය කොට ඇත්තේ ය. අඞ්ග නම් කාරණය. සමාදානචේතනා ය. යම් සමාදන් වීමක් හේතු කොට පංසුකූලික යි කියනු ලැබේ ද, එයට කරුණු වූ චේතනාය අඞ්ග.
මේ ඒ තේවිසි සිවුරු සොසානික - පාපණික - රථියචොළ - සඞ්කාරචොළ - සොත්‍ථිය - නහානචොළ - තිත්‍ථියවොළ - ගත පච්චාගත - අග්ගිදඩ්ඪ - ගොඛායිත - උපචිඛායිත - උන්‍දුරඛායිත අන්තච්ඡින්න - දසාච්ඡින්න - ධජාහට - ථුපචීවර - සමණචීවර - ආභිසෙකික - ඉද්ධිමය - පථික - වාතාහට - දෙවදත්තිය - සාමුද්දිය යි.
එහි සොසානික නම්, කිසිවකු විසින් සොහොනෙහි හැර දැමූ රෙද්දෙන් කළ සිවුර.
පාපණික නම්, කඩපළෙහි හැර දැමූ රෙද්දෙන් කළ සිවුර.
රථියචොළ නම්, පින් කැමැත්තන් විසින් ගන්නෙක් ගණීවා යි ජනෙල් කවුළුවෙන් වීථියට දැමූ රෙද්දෙන් කළ සිවුර.
සඞ්කාරචොළ නම්, ආශාව හැර නො වටිනා කම නිසා කසළ ගොඩෙහි දැමූ රෙද්දෙන් කළ සිවුර.
සොත්‍ථිය නම්, වැදු ගෑණියගේ ගැබ්මල පිසදමා බැහැර ලූ රෙද්දෙන් කළ සිවුර.
නහානචොළ නම්, යකැදුරන් විසින් යක්‍ෂාවේශවූවනට හන්දවා මැතුරූ දියෙන් ඔවුන් හිස පටන් නාවා කාලකණ්ණිවස්ත්‍රය යි බැහැර ලූ රෙද්දෙන් කළ සිවුර.
තිත්‍ථියචොළ නම්, දිය නාන තොටුපලෙහි හැරදමා ගිය රෙද්දෙන් කළ සිවුර.
ගතපච්චාගත නම්, සොහොනට ගොස් පෙරළා ගෙට ආ මිනිසුන් විසින් ඉස් සෝදා නා කිලිටිය යි බැහැර කළ රෙද්දෙන් කළ සිවුර.
අගගිදඩ්ඪ නම්, ගින්නෙන් එක් දෙසක් දැවී ගිය කල ඒ අශුභ යෙකැ යි හැරදැමූ රෙද්දෙන් කළ සිවුර.
ගොඛායිත නම්, ගෙරින් මීමුන් විසින් එක්දෙසක් කෑ කල පරිභෝගයට නො සුදුසුය යි හැරදැමූ රෙද්දෙන් කළ සිවුර.
උපචිඛායිත නම්, වේයන් විසින් එක් දෙසක් කෑ කල පරිභොගයට නො සුදුසුය යි හැරදැමූ රෙද්දෙන් කළ සිවුර.
උන්‍දුරඛායිත නම්, මියන් කෑ රෙද්දෙන් කළ සිවුර.
අන්තච්ඡින්න නම්, කෙළවරක් සිඳීගිය පසු හැරදැමු රෙද්දෙන් කළ සිවුර.
දසාච්ඡින්න නම්, දාවලු කැඩීගිය රෙද්දෙන් කළ සිවුර.
ධජාහට නම්, නැවු නගිනා වේලෙහි වෙළඳුන් විසින් ඉවුරෙහි යමෙක එල්ලා තබා ගිය රෙදිකඩින් හෝ යුදබිම ගැට ගසා ගිය රෙද්දෙන් කළ සිවුර.
ථූපවීවර නම්, තුඹස් සිසාරා බලිතොවිල් කිරීමට ගැට ගැසූ රෙද්දෙන් කළ සිවුර.
සමණචීවර නම්, මහණුන් දුන් රෙද්දෙන් කළ සිවුර. මහණුන් අයත් මේ වස්ත්‍රය හැම අතකින් දැහැමි එකක් විය යුතුය.
ආභිසෙකික නම්, රජුගේ අභිෂේකමණ්ඩපයෙහි හැරදමා ගිය රෙද්දෙන් කළ සිවුර.
ඉද්ධිමය නම්, කළ පින් ඇති භික්‍ෂූන් රහත්බව ලැබීමෙහි දී සෘද්ධියෙන් ඇඟ දැවටෙන සිවුර. ඒහිභික්‍ෂුභාවයෙන් පැවිදි වන්නහුට ලැබෙන සිවුර.
පථික නම්, මිනිසුන් අතරමග දමාගිය රෙද්දෙන් කළ සිවුර.
වාතාහට නම්, සුළඟින් ගෙණ ගොස් දුර ලූ, කිසිවකු අයත් නො වූ රෙද්දෙන් කළ සිවුර.
දෙවදත්තිය නම්, දෙවියන් පිදූ රෙද්දෙන් කළ සිවුර.
සාමුද්දිය නම්, මුහුදුරැළයෙන් ගොඩ දැමූ රෙද්දෙන් කළ සිවුර.
මේ, මෙහි කොටින් කියූ වස්ත්‍ර තෙවිස්ස. වීථි - සොහොන් - කසළගොඩ යනාදී තැනෙක පස් මතුයෙහි වැටී සිටින කල එහි ඉවුර සේ ඉස්මතු ව පෙනෙන්නේ නු යි හෝ පස් මෙන් පිළිකුල් බවට යන්නේ නු යි හෝ පංසුකූල නම් වේ. මේ තෙවිස්සක් වස්ත්‍ර අතුරෙහි යම්කිසි එකකින් කළ සිවුරක් දැරීම ද පංසුකුල ශබ්දයෙන් කිය වේ. මෙන්න පොත:- “රථිකසුසාන සඞ්කාරකූටාදීනං යත්‍ථ කත්‍ථ ච පංසූනං උපරි ඨිතත්තා අබ්භූග්ගතට්ඨෙන තෙසු පංසුසු කූලමිවාති = පංසුකූලං, අථ වා පංසු විය කුච්ඡිතභාවං උලතීති = පංසුකූලං” යනු.
යම් වස්ත්‍රයක් සංඝයාට දෙමු යි සඟසතු කොට දේ ද, වස්ත්‍ර සිඟා ගියවුන් විසින් හෝ ලද්දේ ද, ඒ වස්ත්‍ර පංසුකූලගණයට නො වැටේ. සංඝයාට හෝ ගණයාට හෝ දෙන්නවුන් විසින් වස් අගින් පමුණුවා දෙන වස්ත්‍රය ද, සෙනසුන් කර වූ දායකයන් විසින් ඒ සෙනසුන වසන භික්‍ෂූන් උදෙසා දෙන වස්ත්‍රය ද, යන දෙක ද පංසුකූල නො වේ. භික්‍ෂූදත්තිචීවරයෙහි ද දායකයා විසින් යම් සිවුරක් භික්‍ෂූන්ගේ පාමුල තබන ලද ද, ඒ සිවුර ඒ මහණහු විසින් පංසුකූලිකභික්‍ෂූහුගේ අත තබන ලද නමුත් දායකයකු විසින් පාමුල තබා දුන් බැවින් එය පිරිසිදු වූයේ එක් පසෙකින් ය. භික්‍ෂූහුගේ පාමුල තබා දුන් වස්ත්‍රය, ඒ භික්‍ෂූහු විසින් පංසුකූලිකභික්‍ෂුහුගේ පාමුල තබා දෙන ලද්දේ නම්, එය දෙපසින් ම පිරිසිදු වූයේ වේ. එය ලැබූ කාලයෙහි ද, දුන් කාලයෙහි ද පාමුල තැබූ බැවිනි. යම් සිවුරක් ලත් කල්හි ද, දුන් කල්හි ද අත්හි ම තබා දෙන ලද්දේ නම්, එය අනුක්කට්ඨචීවර නම් වේ.
මේ වස්ත්‍ර අතුරෙහි එක්තරා එකක් දිරාගිය තැන් කපා හැර සෝදා සිදුරු කොට, එය කප් බින්දු තබා ඉටා සියලු පූර්‍වකෘත්‍යය නිමවා ගහපතිචීවරය මුදාහැර දැරිය යුතු ය. ‘ගහපති දානචීවරං පටික්ඛිපාමි, පංසුකූලිකඞ්ගං සමාදියාමි’ යි. මේ වාක්‍ය දෙකෙන් එකෙකින් හෝ දෙකින් මෙය සමාදන් විය හැකි ය.
පංසුකූලිකයෝ උක්කට්ඨ - මජ්ඣිම - මුදුක යි තිදෙනෙකි. එහි සොහොනෙහි ම හැරදැමූ කඩරෙදි සොයාගෙණ සිවුරු කොට දරන්නේ උක්කට්ඨ නම්. ‘පැවිදෝ ගණිත්වා’ යි තැබූ වස්ත්‍රයක් ගෙණ සිවුරක් කොට දරන්නේ මජ්ඣිම නම්. පාමුල තබා දෙන ලද්දක් ගෙණ දරන්නේ මුදුක නම්. මොවුනතුරෙහි යම් කිසි ධුතඞ්ගධරයකු සිය කැමැත්තෙන් තමා පිණිස ම ගිහින් විසින් දෙන ලද වස්ත්‍රයක් ඉවසූ ඇසිල්ලෙහි ධුතඞ්ගය බිඳෙන්නේ ය.
‘පංසුකූලචීවරං නිස්සාය පබ්බජ්ජා’ යනු වදාළෝ මෙහි අනුසස් දක්වන්නට ය. ‘පැවිද්ද පංසුකූලවීවරධාරණය නිසා වන්නී ය’ යනු එහි සිංහල තේරුම ය.
නිස්සයානුරූපපටිපත්තිසබ්භාවො = උපසම්පදාමාලකයෙහි සංඝයා වහන්සේ මැද ‘පංසුකූලචීවරං නිස්සාය පබ්බජ්ජා තත්‍ථ තෙ යාවජීවං උස්සාහො කරණීයො’ ආචාර්‍ය්‍යොපාධ්‍යායන් විසින් කියන ලද්දෙහි ‘එසේය, ස්වාමීනි!, යි තමන් පිළින කළ නිඃශ්‍රයට සුදුසු පිළිවෙත් ඇති බව.
පඨමේ අරියවංසෙ පතිට්ඨානං = ලැබූ පසයෙන් ලැබූ සැටියෙන් සෑහීමට පත්වීමැ යි කියූ ප්‍රථම ආර්‍ය්‍යවංශයෙහි පිහිටීම.
ආරක්ඛදුක්ඛාභාවො = එහිලා වස්ත්‍ර විසින් ආලය නො කට යුතු බැවින් සිවුරු රැක්මෙහි ගැහැටක් නැති බව.
අපරායත්තවුත්තිතා = අනුන් අයත් පැවතුම් නැති බව.
චොරභයෙන අභයතා = සොරබියෙන් බිය නොවන බව.
පරිභොගතණ්හාය අභාවො = මුළුමනින් රළු බැවින් පරිභොගයෙහි තෘෂ්ණා නැති බව.
සමණසාරුප්පපරික්ඛාරතා = මහණුන්ට සුදුසු පිරිකර බව.
අප්පග්ඝාති චෙව සුලභානි ච තානි අනවජ්ජානීති භගවතා සංවණ්ණිතප්පච්චයතා = වටිනාකමෙහි අඩු බව, එහෙයින් සුලබය නිවරදැ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වර්‍ණනා කළ ප්‍රත්‍යයයක් බව.
පාසාදිකතා = දුටුවන් පහදින බව.
අප්පිච්ඡතාදීනං ඵලනිප්ඵත්ති = අප්පිච්ඡාභාවාදීගේ පල නිපද වන බව.
සම්මා පටිපත්ති අනුබ්‍රූහණං = ඉදිරියෙහි උපදින මනාපිළිවෙත් වඩනා බව.
පච්ඡිමාය ජනතාය දිට්ඨානුගතිආපාදනං = පශ්චිම ජනසමුහය තමාගේ ඒ දෂ්ටිය අනුව යන බව යන මේ එහි අනුසස් ය.
මාරසෙනවිඝාතාය පංසුකූලධරො යති,
සන්නද්ධකච්චො යුද්ධඛත්තියො විය සොභති.
.
පහාය කාසිකාදීනි වරවත්‍ථානි ධාරිතං,
යං ලොකගරුනා කො තං පංසුකුලං න ධාරයෙ.
.
තස්මා හි අත්තනො භිකඛු පටිඤ්ඤං සමනුස්සරං,
යොගාචාරානුකූලම්හි පංසුකූලෙ රතො සියා.
මරු හා මරසෙන් නැසීමෙහි පංසුකූලචීවරය දරන මහණ තෙමේ යුදබිම සන්නාහ බැඳි රජකු සේ හොබනේ ය.
තුන්ලෝ ගුරු බුදුරජුන් විසින් උතුම් කසීසළු ඈ හැරදමා යම් පංසුකූල සිවුරක් දරන ලද ද, ඒ පංසුකූලසිවුර කවරෙක් නම් නො ද දරන්නේ ද.
එහෙයින් සසුන්වත් මහණ තෙමේ උපසම්පදාමාලකයෙහි තමන් දුන් ප්‍රතිඥාව සිහි කරමින් යෝගාවචරයන්ට අනුලොම් වූ පංසුකූලචීවරධාරණයෙහි ඇලෙන්නේ ය.
‘තිචීවරධාරණං තිචීවරං, තං සීලො = තෙචීවරිකො, තස්ස අඞ්ගං = තෙචීවරිකඞ්ගං’ සඟළ සිවුර, තනිපට සිවුර, අඳනා සිවුර දැරීම ‘තිචීවර’ නම්. එය ස්වභාවය වූයේ මෝහට නු යි ‘තෙචීවරික’ නම්. ඒ තෙචීවරිකයාගේ අඞ්ගය ‘තෙචීවරිකඞ්ග ’ නම්.
යම් සමාදානචේතනාවක් කරණ කොට මහණ තෙමේ තෙචීවරික නම් වේ ද, ඒ සමාදානචේතනාව මොහුගේ තෙචීවරිකත්‍වයට කරුණු වන බැවින් තෙචීවරිකඞ්ග නම් වේ.
තෙචීවරිකඞ්ගය සමාදන් වන මහණහු විසින් ‘චතුත්‍ථක චීවරං පටික්ඛිපාමි, තෙචීවරිකඞ්ගං සමාදියාමි’ යන මේ වැකි දෙකින් එක්තරා එකකින් ඒ සමාදන් විය යුතු ය. වැකි දෙකින් ම සමාදන් වන ලද්දේ ද වරද නො වේ. සමාදන් වූ තෙචීවරිකඞ්ගය ඇති මහණ තෙමේ සිවුරු පිළියක් ලැබ තමන්ට අපහසු බැවින් හෝ, සිවුරු කරන්නට කෙනකු නො ලැබුනු බැවින් හෝ, ඉදිකටු නුල් ආදිය අසම්පූර්‍ණ බැවින් හෝ, යම් තාක් සිවුරු නො කොට තබා ද, එයින් දෝෂයෙක් නො වේ. ධුතඞ්ගභේදයෙක් නො වන්නේ ය, ඒ තැබීමෙන්. සිවුරු කොට නිමවා රැඳූ කල්හි පරිභෝග නො කොට තබන්නට නම් නො වටනේ ය. යම් ලෙසකින් පැරණි සිවුර මුදාහැර ‘මේ සිවුර නැවැත පරිභෝග කරන්නෙමි’ යි බහා තබන්නේ නම්, ඔහු ධුතාඞ්ගචෞරයෙක් වන්නේ ය. එහෙත් ධුතඞ්ගය නො බිඳෙන්නේ ය.
තෙචීවරිකයෝ උක්කට්ඨ - මජ්ඣිම - මුදුක යි තිදෙනෙකි. එහි යම් තෙචීවරිකයෙක් සිවුරු රඳන කල පළමු කොට අඳනය හෝ තනිපට සිවුර පඬු ගන්වා ඒ රැඳූ සිවුර හැඳ නැවැත අනික් සිවුරත් රඳා එය පොරවා ගෙණ සඟළ සිවුර රඳන්නේ ද, ඔහු උක්කට්ඨ නම්. සඟළ සිවුර, අඳනය සේ අඳින්නට නො වටනේ ය. ග්‍රාමාන්තසේනාසනයෙහි වසන්නහු විසින් කළ යුතු සේ ය මේ කීයේ. වෙනෙහි වසන්නහු විසින් කළ යුත්තේ තනිපට සිවුර හා සඟළ සිවුර එකවිට සෝදා පඬු ගැන්වීම ය. ඒ සිවුර පඬු ගන්වා රැහණෙහි ලා තෙත සිඳෙන තුරු එයට ලං ව නුදුරු තැනෙක සිටිය යුතු ය. එසේ සිටිය යුත්තේ සිවුරු තෙත සිඳෙන්නට පෙර යම් කිසිවකු එහි එනු දුටු කල ඒ සිවුරු වහා ගෙණ තම සිරුර මත්තෙහි ලා ගැණීමට, සිවුර ගෙණ ඇඟපත වසා ගැණීමට පහසු වනු පිණිස ය. යම් තෙචීවරිකයෙක් සිවුර රඳන්ගන්වන සාලාවෙහි තුබූ පඬු ගැන් වූ අඳනා පොරෝණා සිවුරු ගෙණ ඇඳ පොරොවා තම සිවුරු පඬු ගන් වන්නේ ද, ඔහු මජ්ඣිම නම්. යම් තෙචීවරිකයෙක් රඳන් ගන් වන වේලෙහි යහළු මහණුගේ සිවුරු ඉල්ලා ඇඳ හෝ පොරොවා ගෙණ රඳන් ගන් වන්නේ ද, ඔහු මුදුක නම්. ඔහුට වනාහි තමා අයත් වූ හෝ නො වූ අඳනා පොරෝණා පිණිස නො ඉටු සෙනසුන්හි පසතුරුණු වශයෙන් ඉටු සිවුරු ඇඳීම පෙරවීම නො සුදුසු නො වේ. ඒ ඇඳීම හෝ පෙරවීම සුදුසු වන්නේ සිවුරු පඬු ගන් වන වේලෙහි ය. සෙසු තැන ගෙණ යෑම් ආදියෙන් පරිභෝගය නො සුදුසු ය. යහළු මහණුන්ගේ සිවුරු වුවද පරිභෝග කළ යුත්තේ අතරතුරෙහි කරුණක් ඇතිවිටකම ය. මේ තෙචීවරිකභික්‍ෂුහට තුන් සිවුරෙන් වැඩි, සිවුවන සිවුරක් වශයෙන් අංශකඩය හැර අන් සිවුරෙක් නො ද වටන්නේ ය. ඒ අංශකඩය ද පළලින් වියතක් හා දිගින් තෙරියනක් ද විය යුතු ය. තුන් සිවුරෙන් වැඩි, සිවුවන සිවුරක් තමා පිණිස ඉවසූ කල මේ තිදෙනාගේ ම ධුතඞ්ගය බිඳී යන්නේ ය.
තෙචීවරිකො භික්බූ සන්තුට්ඨො හොති කායපරිහාරිකෙන චීවරෙන = තුන් සිවුරු දරන මහණ තෙමේ කයින් වැළඳ ගත් තුන් සිවුරෙන් ම සතුටු වේ.
තෙනස්ස පක්ඛිනො විය සමාදායෙව ගමනං = එහෙයින් පක්‍ෂියකු පියා හඹා යන කල්හි තම පියාපත් සිරුරෙහි ම ලා ගෙන යන්නා සේ මේ මහණ ද තුන් සිවුරු ගෙණ ම යන්නේ ය.
අප්පසමාරම්භතා = මඳ කටයුතු ඇති බව.
අතිරෙකචීවරලොලුප්පහානං = තුන් සිවුරෙන් වැඩි සිරුරෙහි ලොල් බව දුරු කිරීම,
කපපියෙපි මත්තකාරිතා = කැප වස්තුවෙහි පවා අපිස් ගුණ සපයනු පිණිස පමණ දැන පරිභෝග කිරීම.
සල්ලෙඛවුත්තිතා = කෙලෙස් තුනී කිරීමෙහි පැවතුම් ඇති බව.
අප්පිච්ඡතාදීනංඵලනිප්ඵත්ති = අප්පිච්ඡභාවාදීන්ගේ ඵලනිෂ්පත්තිය යන මේ එහි අනුසස් ය.
අතිරෙකවන්‍ථතණ්හං පහාය සන්නිධිවිවජ්ජිතො ධීරො,
සන්තොසසුඛරසඤ්ඤූ තිචීවරධරො භවති යොගී.
.
තස්මා සපත්තචරණො පක්ඛීව සචීවරොව යොගීවරො,
සුඛමනුවිචරිතුකාමො චීවරනියමෙ රතිං කයිරා.
තුන් සිවුරෙන් වැඩි සිවුරෙහි තෘෂ්ණාව දුරු කොට වස්ත්‍ර සන්නිධියෙන් තොර වූ ධෛර්‍ය්‍යවත් වූ සන්තෝෂසුඛයෙහි රස දන්නා වූ යෝගීවර මහණ තෙමේ තුන් සිවුරු දරන්නේ වේ.
එහෙයින් පියාපත් පමණකින් හැසිරෙන පක්‍ෂියකු සේ තුන් සිවුරු සහිත ව ම යෝගී මහණ තෙමේ සැප සේ හැසිරෙනු කැමැත්තේ තුන් සිවුරෙහි ඇලුම් කරන්නේ ය.
“භික්ඛාසඞ්ඛාතානං පන ආමිසපිණ්ඩානං පාතො = පිණ්ඩ පාතො, පරෙහි දින්නානං පිණ්ඩානං පත්තෙ නිපතනන්ති වුත්තං හොති, තං පිණ්ඩපාතං උඤ්ඡති තං තං කුලං උපසඞ්කමන්තො ගවෙසතීති = පිණ්ඩපාතිකො, පිණ්ඩාය වා පතිතුං වතමෙතස්සාති = පිණ්ඩපාතී, පිණ්ඩපාතී එව පිණ්ඩපාතිකො, පිණ්ඩපාතිකස්ස අඞ්ගං පිණ්ඩපාතිකඞ්ගං” භික්‍ෂා සඞ්ඛ්‍යාතආමිසපිණ්ඩයන්ගේ හීම පිණ්ඩපාත නම්. අන්හු විසින් දුන් බත් පිඬු, පාත්‍රයෙහි බැහීම පිණ්ඩපාත යි කියන ලද්දේ ය අන්හු විසින් දෙන ලදු ව පාත්‍රයෙහි හෙන ඒ අහර පිඬු, යමෙක් අවුලා ගණී ද, ඒ ඒ ගෙට යමින් අහර පිඬු සොයා ද, ඔහු පිණ්ඩපාතික නම්. පිඩු සොයා යෑම ව්‍රතයක් කොට ගත් මහණ ද පිණ්ඩපාතී නම්. ඔහු ම පිණ්ඩපාතිකත් වේ. ඒ පිණ්ඩපාතිකයාගේ අඞ්ගය පිණ්ඩපාතිකඞ්ග නම්. යම් සමාදානචේතනාවක් කරණ කොට මහණ තෙමේ පිණ්ඩපාතික නම් වේ ද, ඒ සාමදාන චේතනා ව ම ඔහුගේ පිණ්ඩපාතිකත්‍වයට කරණු වන බැවින් පිණ්ඩපාතිකඞ්ග නම් වේ.
පිණ්ඩපාතිකඞ්ගය සමාදන් වන මහණහු විසින් ‘අතිරෙක ලාහං පටික්ඛිපාමි, පිණ්ඩපාතිකඞ්ගං සමාදියාමි’ යි මේ එකෙකින් හෝ දෙකින් ම හෝ සමාදන් විය යුතුය. පිණ්ඩපාතිකඞ්ගධර මහණහු විසින් සඞ්ඝභත්ත - උද්දේසභත්ත නිමන්තන - සලාකභත්ත - පක්ඛික - උපෝසථික - පාටිපදික ආගන්තුකභත්ත - ගමිකභත්ත - ගිලානභත්ත - ගිලානුපට්ඨාකභත්ත - විහාරභත්ත - ධුරභත්ත - වාරභත්ත යන මේ බත් තුදුස නො ඉවසිය යුතු ය. හළ යුතුය.
සඞ්ගභත්ත නම්, සඟ සතු කොට සියලු සඟුන් උදෙසා දෙන බත.
උද්දෙසභත්ත නම්, මහණුන් කිහිප නමක් උදෙසා දෙන බත.
නිමන්තන නම්, සඟනට හෝ මහණුන් කිහිප නමකට ආරාධනා කොට දෙන බත.
සලාකභත්ත නම්, කුසපත් හෙලා නියම කොට දෙන බත.
පක්ඛික නම්, මසක් පිළිබඳ දෙ පක්‍ෂයෙන් එක් පක්‍ෂයෙක එක් දිනෙක දෙන බත.
උපෝසථික නම්, පොහොය පොහොයෙහි, පොහොයක් පාසා දෙන බත.
පාටිපදික නම්, පෑළවිය දිනයෙහි දෙන බත.
ආගන්තුකභත්ත නම්, ඇවිත් යන්නවුනට දෙන බත.
ගමිකභත්ත නම්, ගමන් යන්නවුනට දෙන බත.
ගිලානභත්ත නම්, ගිලනුන්ට දෙන බත.
ගිලානුපට්ඨාකභත්ත නම්, ගිලනුනට උවටැන් කරන්නවුනට දෙන බත.
විහාරභත්ත නම්, තමන් කර වු සඟ සතු වෙහෙර වසන්නන් උදෙසා දෙන බත.
ද්වාරභත්ත නම්, ගම් වැස්සන් විසින් වාරයෙන් වාරය දෙන බත.
යම් ලෙසකින් දායකයන් විසින් ‘සඟසතු බත් පිළිගණු මැනැවැ’ යි ඈ ලෙසින් නො කියා ‘අපගේ ගෙයි සඞ්ඝ තෙමේ භික්‍ෂාව ගන්නේ ය, ඔබ වහන්සේ ද අවුත් භික්‍ෂාව පිළිගණිවු’ යි දෙන බත භික්‍ෂා නාමයෙන් කී බැවින් පිළිගන්නට වටනේ ය. සඞ්ඝයා කෙරෙන් ලත් බෙහෙත් බඩු ආදියෙන් යුත් යාමකාලික - සත්තාහකාලික - යාවජීවිකසලාක ද දායකයන් අවුත් විහාරයෙහි දී ම පිස දුන් බත ද පිළිගත හැක්කේ ය මොහුට.
පිණ්ඩපාතිකඞ්ගධරයෝ උක්කට්ඨ - මජ්ඣිම - මුදුක යි තිදෙනෙකි. එහි උක්කට්ඨ තෙමේ පෙර පසින් හෝ පසු පසින් හෝ ගෙණන ලද භික්‍ෂාව පිළිගන්නේ ය. ඉදිරියට හමු වූ දොරටුවෙහි සිට පාත්‍රය ගන්නවුනට ද පාත්‍රය දෙන්නේ ය. මොහුට පාත්‍රය බොජුන්හලට ගෙණ ගොස් නැවැත ගෙණවුත් දෙන භික්‍ෂාව ද පිළිගත වරද නැත. ‘ස්වාමීනි! අද පිඬු පිණිස නො වැඩිය යුතු ය, වෙහෙරට ම භික්‍ෂාව ගෙණ එම්හ’ යි දායකයන් කියූ වචනය ඉවසා එ දවස විහාරයෙහි ඉඳ භික්‍ෂාව නො පිළිගන්නේ ය, මේ තෙමේ.
මජ්ඣිම තෙමේ දායකයන් විසින් කළ එබඳු ආරාධනාවක් ඉවසා එ දවස පමණක් ම විහාරයෙහි ඉඳ භික්‍ෂාව පිළිගන්නේ ය. ‘සෙට දවසටත් එසේ පිළිගණුව’ යි කළ ආරාධනා නො ද ඉවසන්නේ ය. මුදුක තෙමේ දායකයන් විසින් සෙට දවස පිණිස කළ ආරාධනාත් ඉන් පසුදාට කළ ආරාධනාත් ඉවසන්නේ ය. එ දවසට පමණක් ආරාධනා ඉවසන මජ්ඣිමයා ද, හෙට අනිද්දා දෙදවසට ම ආරාධනා ඉවසන මුදුකයා ද යන දෙදෙන ම අනුන් අයත් නො වූ පැවැත්මෙන් ලැබිය යුතු සැපය නො ලබන්නෝ ය. උක්කට්ඨ තෙමේ ම ඒ සෙරිවිහාරසුඛය ලබා. එක් ගමෙක එක් දවසෙක ආර්‍ය්‍යවංශ සූත්‍ර දේශනාවක් වූ ය. එ දවස මේ උක්කට්ඨ තෙමේ මජ්ඣිම-මුදුක දෙදෙනාට ‘ඇවැත්නි! බණ අසන්නට යමු’ යි කී ය. ඒ දෙදෙනා අතුරෙන් මජ්ඣිම තෙමේ ‘ස්වාමීනි’ එක් මිනිසකු විසින් අද වෙහෙර නවතින්නට මට ආරාධනා කොට තිබේ, එහෙයින් යනු නො හැකි’ යි කීයේ ය. මුදුක තෙමේ ද ‘ස්වාමීනි! සෙට දවස පිණිස මට ද ආරාධනාවක් තිබේ’ යි කී ය. මෙසේ මේ දෙදෙන දහම් රස විඳුමෙන් පිරිහී ගියහ. උක්කට්ඨ තෙමේ උදෑසන ම පිඬු සිඟා ගොස් අහරකිස නිමවා බණ අසන්නට ගොස් දහම් රස වින්දේ ය. යට කියූ බත් තුදුස, අතිරේක ලාභ අතුරෙහි යම් කිසි ලාභයක් ඉවසූ ඇසිල්ලෙහි ම ධුතඞ්ග බිඳෙන්නේ ය.
‘පිණ්ඩියාලොපභොජනං නිස්සාය පබබජ්ජා’ යි වදාළ බැවින්
නිස්සයානුරූපපටිපත්තිසබ්භාවො = නිඃශ්‍රයට සුදුසු පිළිවෙත් ඇති බව.
දුතියෙ අරියවංසෙ පතිට්ඨානං = දෙවන පිණ්ඩපාතාර්‍ය්‍යවංශයෙහි පිහිටීම.
අපරායත්තවුත්තීතා = අනුන් අයත් නො වූ පැවතුම් ඇති බව.
අප්පානි චෙව සුලභානි ච අනවජ්ජානීති භගවතා සංවණ්ණිත පච්චයතා = සුලු ය, සුලබ ය, නිවරද ය, යි බුදු රජුන් විසින් වර්‍ණනා කළ ප්‍රත්‍යය ඇති බව.
කොසජ්ජනිම්මථනා = කුසීතබව මැඩීම.
පරිසුද්ධාජීවතා = පිරිසිදු දිවි පැවතුම් ඇති බව.
සෙඛියපටිපත්තිපූරණං = සෙබිය පිළිවෙත් පිරීම.
අපරපොසිතා = පමණ දැන පිළිගැනීමෙන් හා අනුන් හා හැනී නො වසන බැවින් පරපොෂණයක් නැති බව.
පරානුනුග්ගහකිරියා = ගෙයක් පාසා ගොස් මද මද පිළිගන්නා බැවින් අනුනට අනුග්‍රහ කරණ බව.
මානප්පහානං = අන්තිමජීවිකාවෙහි පිහිටි බැවින් මානයාගේ පෑහීම.
රසතණ්හා නිවාරණං = මිශ්‍රාහාරයෙන් දිවි ගෙවන බැවින් රස තෘෂ්ණාව දුරු කිරීම.
ගණභොජනපරම්පරභොජනවාරිත්ත සික්ඛාපදෙහි අනාපත්තිතා = ගණභෝජනපරම්පරභෝජනවාරිත්ත සික්ඛාපදයගෙන් ඇවැත් නො වන බව.
අප්පිච්ඡතාදීනං අනුලොමවුත්තිතා = අප්පිච්ඡභාවාදීන්ට අනුලොම් පැවතුම් ඇති බව.
සම්මා පටිපත්තිබ්‍රෑහණං = මනා පිළිවෙත් වැඩීම.
පච්ඡිමජනතානුකමපනං = පශ්චිම ජනසමුහයට අනුකම්පා කිරීම යන මේ එහි අනුසස් ය.
පිණ්ඩියාලොපසන්තුට්ඨො අපරායතන ජිවිකො,
පහීනාහාරලොලුප්පො හොති චාතුද්දිසො යති.
.
විනොදයති කොසජ්ජං ආජීවස්ස විසුජ්ඣති,
තස්මා හි නාතිමඤ්ඤෙය්‍ය භික්ඛාචරියං සුමෙධසො.
.
පිණ්ඩපාතිකස්ස භික්ඛුනො අත්තභරස්ස අනඤ්ඤපොසිනො,
දෙවා පිහයන්ති තාදිනො නො චෙ ලාභසිලොකනිස්සිතො.
පිඬුසිඟීමෙන් ලත් අහරින් සතුටු වූ අනුන් අයත් නො වූ දිවි පැතුම් ඇති අහරෙහි පහ කළ ලොල් බව ඇති මහණ තෙමේ සියලු තැන නො පැකිළෙන බැවින් සිවු දිගට ම සුදුසු වන්නේ ය.
කුසීත බව දුරු කරයි. මොහුගේ දිවි පැවැත්ම පිරිසිදු වේ. එහෙයින් නුවණැත්තේ බික්සිඟීම නො ඉක්ම වන්නේ ය.
මෙබඳු ගුණ ඇති තමා ම පෝෂණය කරණ එහෙයින් ම අනුන් පෝෂණය නො කරණ තාදී භාවයෙන් යුත් පිණ්ඩපාතික භික්‍ෂුහට ලාභයසස් ඇසුරු නො කෙළේ නම්, දෙවියෝ ද කැමැති වෙත් ශීලාදී ගුණයෙහි බුහුමන් කෙරෙති.
“දානං වුච්චති අවඛණ්ඩනං, අපෙතං දානතො = අපදානං, අවඛණ්ඩනන්ති අත්‍ථො, සහ අපදානෙන = සපදානං, අවඛණ්ඩ විරහිතං අනුඝරන්ති වුත්තං හොති, සපදානං චරති ඉදමස්ස සීලන්ති = සපදානචාරී, සපදානචාරී එව = සපදානචාරිකො, තස්ස අඞ්ගං = සපදානචාරිකඞ්ගං” දානය අවඛණ්ඩනැයි කියනු ලැබේ. විච්ඡේදය යි. කඩ කිරීම ය. ඒ (විච්ඡෙද) කඩ කිරීමැ යි කියන දානයෙන් පහ වූයේ ‘අපදාන’ නම්. අචිච්ඡේද ය, නො කඩ කිරීම ය, යන අරුති. නො කඩ කිරීම සමග පවතින්නේ ‘සපදාන’ නම් කඩ කඩ කිරීමෙන් තොර අතරින් අතර හැර නො පැවැති ගෙපිළිවෙළ ය. ගෙපිළිවෙළින් හැසිරෙනු යි මේ ගෙපිළිවළින් හැසිරීම මොහුගේ ස්වභාවය නු යි ‘සපදානචාරී’ නම්. ඒ සපදානචාරී තෙමේ ම සපදානචාරික නම් ද වේ. සපදානචාරී හුගේ අඞ්ගය සපදානචාරිකඞ්ග නම්. යම් සමාදානචේතනාවක් කරණ කොට මහණ තෙමේ සපදානචාරික වේ ද, ඒ සමාදාන චේතනාව ම ඔහුගේ සපදානචාරිකභාවයට කරුණු වන බැවින් සපදානචාරිකඞ්ගැ, යි දත යුතු ය.
සපදානචාරිකඞ්ගය සමාදන් වන මහණහු විසින් ‘ලොලුප්පචාරං පටික්ඛිපාමි, සපදානචාරිකඞ්ගං සමාදියාමි’ යි මේ එකෙකින් හෝ දෙකෙන් ම හෝ ඒ සමාදන් විය යුතු ය. සපදාන චාරිකඞ්ගය සමාදන් වූවහු විසින් ගම්දොර සිට උවදුරු ගැණ සලකා යම් කිසි වීථියක හෝ ගමෙක උවදුරු වේ නම්, ඒ හැර අන් තැනෙක සිඟා යා යුතුය. ගම්දොරක හෝ වීථියෙක හෝ ගමෙක හෝ පිළිවෙළින් තුන් දවසකුත් සිඟා කිසිවක් නො ලැබුනේ නම්, එබඳු තැන ගම නො වේ ය යි ග්‍රාමසංඥාව හැර දමා යා යුතු ය. එහෙත් යම් තැනෙකින් ටිකක් වත් ලැබේ නම්, එබඳු තැන හැර නො යා යුතු ය. මේ මහණ උදෑසන ම පිඬු සිඟීමට ගම් වැදිය යුතු ය. එසේ පිඬු සිඟා ගිය කල්හි නො වැද්ද යුතු තැන් සලකා එ තැන් හැර අන් තැනකට යා හැකි වන්නේ ය. විහාරයෙහි දැන් දෙන්නන් විසින් හෝ අතර මග එන්නන් විසින් හෝ මොහුගේ පාත්‍රය ගෙණ පිණ්ඩපාතය දෙනු ලැබේ නම්, ඒ පිළිගැණිම වරද නො වේ. මඟ බැස යන මේ මහණහු විසින් පිඬු සිඟා යන වේලෙහි ඉදිරියට හමු වූ ගම නොයික්මවා පිඬු සිඟිය යුතු ම ය. එ ගමෙහි දී පිණ්ඩපාතය නො ලැබුනේ නම්, එකල ගම් පිළිවෙළින් යැපෙන පමණ සිඟිය යුතු ය.
සපදානචාරිකඞ්ගධරයෝ උක්කට්ඨ - මජ්ඣිම - මුදුක යි තිදෙනෙකි. එහි යම් සපදානචාරිකයෙක් ඉදිරි පසින් හෝ පසු පසින් ගෙණෙන ලද ආහාර ද, බොජුන්හලට ගෙණවුත් දෙන ආහාර ද නො පිළිගෙණ ඉදිරියට හමු වූ දොරකඩ දී පාත්‍රය දෙන්නේ ද, ඔහු ය උක්කට්ඨ. මොහු, භික්‍ෂාව ගෙණෙන්නෝ දැ යි බලමින් බොහෝ වේලා නො ඉඳියි. යමෙක් වනාහි ඉදිරි පසින් හෝ පසු පසින් ගෙණන ලද ආහාර හා බොජුන්හලට ගෙණන ලද ආහාර පිළිගන්නේ ද, ඉදිරියට හමු වූ දොරකඩ දී පාත්‍රය දේ ද භික්‍ෂාව ගෙණෙන්නෝ දැ, යි බලා නො ඉඳී ද, ඒ ය මජ්ඣිම. මෙතෙමේ උක්කට්ඨ පිණ්ඩපාතිකයාහට අනුලොම් ව සිටින්නේ ය. මුදුක තෙමේ, එ දවස් ම භික්‍ෂාව ගෙණෙන්නෝ දෝ යි බලා හිඳියි. ගෙ පිළිවෙළ හැර පිඬු සිඟීමේ දී මේ තිදෙනාගේ ම ධුතඞ්ග බිඳෙන්නේ ය.
කුලෙසු නිච්චනවකතා = සපදානචාරික භික්‍ෂු කිසි කුලයක් කරා නිතර නො එළඹෙන බැවින් කුලයෙහි අළුත් බව.
චන්‍දූපමතා = කිසි කුලයෙක නො ඇලෙන බැවින් හා සොමිගුණ ඇති බැවින් සඳ බඳු බව.
කුලමච්ඡෙරප්පහානං = අන්හු තම දායකකුලය කරා නො එළඹෙත්වා, යි කුල මසුරුබව දුරු වීම.
සමානුකම්පිතා = සියල්ලන් කෙරෙහි සම අනුකම්පා ඇති බව.
කුලූපකාදීනවාභාවො = කුල සඞ්ග්‍රහ කිරීම, කුලය හා එක්වීම යනාදී දොස් නැති බව.
අහවානානභිනන්දනා = කැඳවීම් ඇරයුම් ඉවසීමෙන් සතුටු නො වන බව.
අභිහාරෙන අනත්‍ථකතා = අහර එළවා දීමෙන් ප්‍රයෝජන නැති බව.
අප්පිච්ඡතාදීනං අනුලොමවුත්තිතා = අපිස් සතොස් ඈ ගුණයනට අනුලොම් පැවතුම් ඇති බව යන මේ එහි අනුසස් ය.
චන්‍දූපමො නිච්චනවො කුලෙසු අමච්ඡරී සබ්බසමානුකම්පො,
කුලූපකාදීනවවිප්පමුත්තො හොතීධ භිකඛු සපදානචාරී.
.
ලොලුප්පචාරං ච පහාය තස්මා ඔක්ඛිත්තචක්බූ යුගමත්තදස්සී,
ආකඞ්ඛමානො භුවී සෙරිචාරිං චරෙය්‍ය ධීරො සපදානචාරං.
මේ සස්නෙහි සපදානචාරිකභික්‍ෂු තෙමේ කුලයට සඳ වැනි ය. නිති අළුත් ය. මසුරු බව නැත්තේ ය. සියලු දෙනා කෙරෙහි සම අනුකම්පා ඇත්තේ ය. කුලයට එළඹීමෙන් වන වරදින් වෙන් ව සිටියේ ය.
එහෙයින් ලොල් බැවින් ගෙ පිළිවෙළ ඉක්ම සිඟීම හැර යට හෙලු ඇස් ඇත්තේ වියදඬු පමණ දුර බලනුයේ පොළොවෙහි ස්වෛරීවිහාරය කැමැත්තේ ධෘතිමත් වූයේ ගෙ පිළිවෙළින් පිඬු සිඟිමෙහි ව්‍රතය පුරන්නේ ය.
‘එකාසනෙ භොජනං = එකාසනං, තං සීලමස්සාති = එකාසනිකො, තස්ස අඞ්ගං = එකාසනිකඞ්ගං’ ඒ ඒ ඉරියවු වලින් නො වෙනස් වූ එක් ම අසුනෙහි හිඳ වැළඳීම ‘එකාසන’ නම්. ඒ එකාසනභෝජනය ස්වභාව කොට ගත්තේ ‘එකාසනික’ නම් වේ. ඒ එකාසනිකයාගේ එකාසනික වීමෙහි කාරණය ‘එකාසනිකඞ්ග’ යි ගැණේ. යම් සමාදානචේතනාවක් කරණ කොට මහණ තෙමේ එකාසනික වේ ද, ඒ සමාදානචේතනාව ම ඔහුගේ එකාසනිකභාවයට කරුණු වන බැවින් එකාසනිකඞ්ග නම්.
එකාසනිකඞ්ගය සමාදන්වන මහණහුට ‘නානාසනභොජනං පටික්ඛිපාමි, එකාසනිකඞ්ගං සමාදියාමි, යි මේ දෙකෙන් එකෙකින් හෝ දෙකෙන් සමාදන් විය හැකි ය. එකාසනිකඞ්ගය සමාදන් වූවහු විසින් ආසන ශාලාවෙහි හිඳින්නහු ථෙරාසනයෙහි නො ඉඳ ‘මේ අසුන මට පැමිණෙන්නේ ය’ යි සලකා සුදුසු අසුනෙක හිඳිය යුතු ය. එසේ හුන් කල්හි අතර තුර එයින් නැඟී සිටින්නට සිදු නො වේ. එහෙත් වළඳා අවසන් වන්නට පෙර ආචාර්‍ය්‍යයන්’ වහන්සේ හෝ උපාධ්‍යායයන් වහන්සේ හෝ එහි පැමිණියෝ නම් අසුනෙන් නැගිට වත් කළ යුතු ය. මෙහි ලා ත්‍රිපිටක චුලාභය මහාස්ථවිරයන් වහන්සේ , එකාසනිකඞ්ගධර භික්‍ෂු වළඳන වේලෙහි ආචාර්යෝපාධ්‍යායයන් වහන්සේ එහි ආවාහුනම්, ධුත භේදයට බියෙන් වළඳා අවසන් වනතුරු නො නැඟී සිටිය යුතු ය යි ද, වළඳමින් හුන් අසුනෙන් නැගිට ගොස් නැවැත වැළඳුයේ නම්, ධුත බිඳෙන බැවින් නැගිට ගොස් අවුත් නැවැත නො වැළඳිය යුතු යයි ද කීහ. අඩාල කළ බොජුන් ඇති මේ මහණ -වළඳමින් හුන් අසුනෙන් නැගිට වතාවත් කෙරේ නම්, නැවැත නො වැළඳිය යුතු ය යනු, මෙහි පිළිපදින ආකාරය යි.
එකාසනිකඞ්ගධරයෝ උක්කට්ඨ - මජ්ඣිම - මුදුක යි තිදෙනෙකි. එහි යමෙක් මඳ වූ හෝ බොහෝ වූ යම් කිසි බතෙක අත බැහුයේ, ඉන් පිටත් බතක් නො ගන්නේ ද, ඔහු උක්කට්ඨ නම්. යම් ලෙසකින් මිනිස්සු තෙරුන් කිසිවක් නො වළඳන ලදැ යි ගිතෙල් ආදිය එළවත් නම්, මේ තෙමේ ඒ පිළිගන්නේ බෙහෙත් පිණිස ම ය. බත් පිණිස නම් නො ද පිළිගන්නේ ය. යමෙක් වළඳන අතර ම පාත්‍රයෙහි බත් නො නිමෙන්නට පෙරාතුව ම පුන පුනා පිළිගන්වන ලද බත් පිළිගන්නේ ද, ඔහු මජ්ඣිම නම්. මොහු භෝජනපරියන්තිකැ යි හඳුන්වනු ලැබේ. බොජුන් කෙළවර කොට ඇත්තේ ය යනු අදහස ය. ඒ ආසනයෙන් නො නැගී සිට ලැබෙන තාක් බත් පිළිගන්නේ මුදුක නම්. මොහු උදපරියන්තික නම් වේ. වැළඳු පාත්‍රය සේදීමට දිය ගන්නා තුරු වළඳන්නේ ය, යනු අදහයි. යම් තාක් හුන් ආසනයෙන් නො නැගේ ද, ඒ තාක් වළඳන හෙයින් මේ තෙමේ ආසනපරියන්තික යි ද කියනු ලැබේ. මේ තිදෙන නන් අසුන්හි හිඳ යාවකාලිකභෝජනයක් වැළඳු කෙණෙහි ම ධුතඞ්ගයෙන් පිරිහෙත්.
අප්පාබාධතා = ආබාධ රහිත බව.
අප්පාතඞ්කතා = සිරුරු දුක් නැති බව.
ලහුට්ඨානං = සැහැල්ලු පැවැත්ම.
බලං = කාය ශක්තිය.
ඵාසුවිහාරො = පහසු විහරණය.
අනතිරිත්තප්පචච්චයා අනාපත්ති = නො කැප බොජුන් වැළදීම් හේතු කොට පැමිණිය යුතු ඇවැතින් ඇවැත් නො වීම.
රසතණ්හාවිනොදනං - රසතෘෂ්ණාව දුරු කිරීම.
අප්පිච්ඡතාදිනං අනුලොමවුත්තිතා = අප්පිච්ඡභාවාදීන්ට අනුලොම් පැවැත්ම යන මේ එහි අනුසස් ය.
එකාසනභොජනෙ රතං න යති භොජනප්පච්චයා රුජා,
විසහන්ති රස අලොලුපො පරිහාපෙති න කම්මමත්තනො.
.
ඉති ඵාසුවිහාරකාරණො සුවිසල්ලේඛරතුපසෙවිතෙ,
ජනයෙථ විසුද්ධමානසො රතිමෙකාසනභොජනෙ රතා.
බත් නිසා හට ගන්නා රෝගයෝ එක් අසුනේ හිඳවැළඳීමෙහි ඇලුනු මහණහු නො මඩිති. නො පෙළති. රසයෙහි ලොල් නො වූ ඒ මහණ තෙමේ තමාගේ ශමථවිදර්‍ශනා කර්‍මය නො පිරිහෙලයි.
මෙසේ පිරිසිදු සිත් ඇති මහණ තෙමේ සැප විහරණයට කරුණු වූ පවිත්‍ර වූ සල්ලේඛගුණයෙහි ඇලුනවුන් විසින් සෙවුනා ලද එකාසනහොජනයෙහි ඇලීම උපද වන්නේ ය.
“දුතියභාජනස්ස පටික්ඛිතත්තා කෙවලං එකස්මිංයෙව පත්තෙ පිණ්ඩො පත්තපිණ්ඩො, ඉදානි පත්තපිණ්ඩගහනෙ පත්තපිණ්ඩසඤ්ඤං කත්‍වා පත්තපිණ්ඩො සීලමස්සාති = පත්ත පිණ්ඩිකො, තස්ස අඞ්ගං = පත්තපිණ්ඩිකඞ්ගං” දෙවන බඳුනක් පිළිකෙව් කොට හුදෙක් එක් ම බඳුනෙක පිඬු ගැණීම පත්තපිණ්ඩ නම්. ඒ බඳුනෙහි පිඬු ගැණීමෙහි පත්තපිණ්ඩසංඥාව කොට එක් ම බඳුනෙක පිඬු ගැණිම ස්වභාවය කොට ගත්තේ පත්තපිණ්ඩික නම් වේ. යම් සමාදාන චේතනාවක් කරණ කොට මහණ තෙමේ පත්තපිණ්ඩික වේ ද, ඔහුගේ පත්තපිණ්ඩිකභාවයට ඒ සමාදාන චේතනාව ම කරුණු වන බැවින් පත්තපිණ්ඩිකඞ්ග නම්.
පත්තපිණ්ඩිකඞ්ගය සමාදන් වන මහණහුට, ‘දුතියභාජනං පටික්ඛිපාමි, පත්තපිණ්ඩිකඞ්ගං සමාදියාමි’ යි මේ එකෙකින් හෝ දෙකෙන් ඒ සමාදන් විය හැකි ය. පත්තපිණ්ඩිකඞ්ගය සමාදන් වූවහු විසින් කැඳ වළඳන කල්හි බඳුනෙහි තබා අවුළු ලද්දේ නම්, කැඳ නො වළඳා පළමු කොට අවුළු වැළඳිය යුතු ය. නැත, කැඳ හෝ පාත්‍රයෙන් පිළිගෙණ පළමු ව වැළඳිය යුතුය. මෙසේ කියන ලද්දේ අවුළු, කැඳෙහි බහාලූයේ නම්, කුණු මස් ආදී ව්‍යඤ්ජන කැඳෙහි බහාලීමෙන් කැඳ පිළිකුල් වේ. පිළිකුල් වූ කැඳ අවුළු වැළඳීමෙන් වමනය වන්නේ ය. එහෙයින් එබඳු පිළිකුල් උපද වන මීශ්‍රාහාර වැළඳීම වළකනු සඳහා ය. මී සකුරු ආදී නො පිළිකුල් යමක් ලැබුනු විට ඒ හැම, පාත්‍රයෙහි ම බැහිය යුතු ය. දෙවන බඳුනක් පිළිකෙව් කළ බැවින් අන් කොළපත් ආදිය ගැණිම ද නො සුදුසු ය. මේ මෙහි පිළිපදින සැටි ය.
පත්තපිණ්ඩිකඞ්ගධරයෝ උක්කට්ඨ - මජ්ඣිම - මුදුක යි තිදෙනෙකි. එහි උක්කට්ඨ තෙමේ උක් ගස් වළඳන කාලයෙහි එහි හපය හැර දමනු මිසක්, අන් අහරක් වළඳන විට ඒ අහරෙහි වූ, කැලි කසළ වත් බැහැර නො කරන්නේ ය. උක්කට්ඨයාහට තමන් වළඳන බතෙහි ඇති කුණු රොඩු වත් බැහැර කරන්නට නො වටනේ ය. බත් කැටි මත්ස්‍ය මාංස කැවුම් ඈ අතින් කඩා කැබිලි කොට වැළඳීමට ද උක්කට්ඨයාහට අවසර නැත්තේ ය. මජ්ඣිමයා හට එක් අතකින් කඩා කන්නට පිළිවන. එහෙයින් ඔහුට ‘හත්‍ථ යොගී’ යන නමෙක් ද වේ. මුදුකයා හට පාත්‍රයෙහි ලන හැම දෙයක් ම අතින් හෝ දතින් කඩා වළඳන්නට හැක්කේ ය. එහෙයින් මොහුට ‘පත්තයොගී’ යන නමෙක් ද වේ. දෙවන බඳුනක් ඉවසූ ඇසිල්ලෙහි තිදෙනාගේ ම ධුතඞ්ග බිඳෙන්නේ ය.
නානාරසතණ්හාවිනොදනං = නන් රස වැළඳීමෙහි බලාපොත්තුව දුරු කිරීම.
අත්‍රිච්ඡතාය පහානං = නන් බඳුන්හි වූ නොයෙක් රස වෙසෙස්හි උපදින ආසාව දුරු කිරීම්.
ආහාරෙ පයොජනමත්තදස්සිතා = ආහාරයෙහි ප්‍රයෝජන පමණක් ම දැකීම.
ථාලකාදිපරිහරණඛෙදාභාවො = තලු තැටි ආදිය පරිහරණයෙහි විඩා නැති බව.
අවික්ඛිත්තභොජිතා = නො විසුරුණු බොජුන් ඇති බව.
අප්පිච්ඡතාදිනං අනුලොමවුත්තිතා = අප්ච්ඡපිභාවාදීන්ට අනුලොම් පැවතුම් ඇති බව යන මේ එහි අනුසස් ය.
නානා භාජනවික්ඛෙපං හිත්‍වා ඔක්බිත්තලොචනො,
ඛණන්තො විය මූලානි රසතණ්හාය සුබ්බතො.
.
සරූපං විය සත්තුට්ඨිං ධාරයන්තො සුමානසො,
පරිභුඤ්ජෙය්‍ය ආහාරං කො අඤ්ඤො පත්තපිණ්ඩිකො.
නන් බඳුන්හි පැවැති චිත්තවික්ෂේපය හැර පාත්‍රසංඥාවෙන් යට හෙලු ඇස් ඇති ව රසතෘෂ්ණාවෙහි මුල් උදුරන්නකු සේ මහාව්‍රත ඇත්තා වූ මූර්තිමත් සන්තෝෂය දරන්නකු සේ මනා සිත් ඇත්තා වූ පත්තපිණ්ඩිකයා හැර අන් කවරෙක් ආහාර වළඳන්නට සමර්‍ත්‍ථ වන්නේ ද.
“ඛලුති පටිසෙධත්‍ථෙ නිපාතො, පවාරිතෙන සතා පච්ඡාලද්ධං භත්තං පච්ඡාභත්තං නාම, තස්ස පච්ඡාභත්තස්ස භොජනං = පච්ඡාභත්තභොජනං, තස්මිං පච්ඡාභත්තභොජනෙ පච්ඡාභත්තසඤ්ඤං කත්‍වා පච්ඡාභත්තසීලමස්සාති = පච්ඡාභත්තිකො, න පච්ඡාභත්තිකො = ඛලුපච්ඡාභත්තිකො, සමාදාන වසෙන පටික්ඛිත්තාතිරිත්තභොජනස්සෙතං අධිවචනං, තස්ස අඞ්ගං = ඛලුපච්ඡාභත්තිකඞ්ගං” ඛලු, යනු ප්‍රතිෂේධාර්‍ත්‍ථයෙහි නිපාතයෙකි. ආහාර පැවරූවහු විසින් පසු ව ලත් බත පච්ඡාභත්ත නම්. පසු ව ලත් බත වැළඳීම පච්ඡාභත්තභොජන නම් වේ. ඒ පච්ඡාභත්තභෝජනයෙහි පච්ඡාභත්තසඤ්ඤාව උපදවා පසු ව ලත් බත වැළදීම ස්වභාවය කොට ගත්තේ පච්ඡාභත්තික නම්. ඒ මේ පසු ව ලත් බත් බුදීම නො කරණ සුලු වූයේ, ඛලුපච්ඡාභත්තික යි කියනු ලැබේ. සමාදාන වසයෙන් වැළකූ අතිරිත්ත භෝජනය ඇත්තහුට ඛලුපච්ඡංභත්තික යනු නමෙකි. ඛලු යන්නෙන් පක්‍ෂියෙක් ද කිය වේ. ඌ කටින් ගත් ගෙඩිය බිම වැටුනු කල අනිකක් නො කන්නේ ය. මේ ව්‍රතධරයා ද එබඳු යි අටුවාවෙහි කියන ලද්දේ ය. යම් සමාදානචේතනාවක් කරණ කොට මහණ තෙමේ ඛලුපච්ඡාභත්තික වේ ද, ඒ සමාදාන චේතනාව ම, මොහුන්ගේ ඛලුපච්ඡාභත්තිකභාවයට කරුණු වන බැවින් ඛලුපච්ඡාභත්තිකඞ්ග නම් වේ.
ඛලුපච්ඡාභත්තිකඞ්ගය සමාදන් වන මහණහුට ‘අතිරිත්තං භොජනං පටික්ඛිපාමි, ඛලුපච්ඡාභත්තිකඞ්ගං සමාදියාමි’ යි මේ දෙකින් එකකින් හෝ දෙකෙන් සමාදන් විය හැකි ය. මෙය සමාදන් වූවහු විසින් පැවරූ බත කැප කරවා ගෙණ නැවැත නො වැළඳිය යුතු ය.
ප්‍රභේද විසින් මොහු ද උක්කට්ඨ - මජ්ඣිම - මුදුක යි තෙ වැදෑරුම් ය. තමන් වළඳන පළමු වන බත් පිඬෙහි පවාරණයක් නො වන බැවින් ඒ පළමු වන බත් පිඬ වළඳන්නේ ය. එහි උත්කෘෂ්ටව්‍රතධර තෙමේ ඒ වළඳන වේලෙහි අත් පසට ගෙණ ආ අන් බොජුනක් පිළිකෙව් කිරීමෙන් පවාරණය වන බැවින් ඒ පළමු වන බත් පිඬ වැළඳීමෙන් පසු, දෙවන බත් පිඬ නො වළඳන්නේ ය. මද්ධ්‍යම තෙමේ යම් බතක් පවාරණය කෙළේ ද, එම බත කැප කරවා වළඳයි. අන් බතක් නො වළඳන්නේ ය. මුදුක තෙමේ ආසනයෙන් නැගී සිටින තුරු ම වළඳන්නේ ය. පවාරණය කළ බතක් කැප කරවා වැළඳූ කෙණෙහි ම මේ තිදෙනාගේ ම ධුතඞ්ග බිඳෙන්නේ ය.
අනතිරිත්තභොජනාපත්තියා දූරීභාවො = කැප නො කළ බත් වැළඳීමෙන් වන ඇවැතින් දුරු වීම.
ඔදරිකත්තාභවො = එක් පිඩෙකිනුත් යැපෙන බැවින් කුස පිරීමක් නැති බව.
නිරාමිසසන්නිධිතා = කැප කරවා වළඳිමි, යි තැන්පත් කොට තබන ආමිස නැති බව.
පුනපරියෙසනාය අභාවො = නැවැත ආහාර සෙවුමක් නැති බව.
අප්පිච්ඡතාදීනං අනුලොමවුත්තිතා = අප්පිච්ඡභාවාදීන්ට අනුලොම් වූ පැවතුම් ඇති බව. යන මේ එහි අනුසස් ය.
පරියෙසනාය ඛෙදං න යාති න කරොති සන්නිධිං ධීරො,
ඔදරිකත්තං පජහති ඛලුපච්ඡාභත්තිකො යොගී.
.
තස්මා සුගතප්පසත්‍ථං සන්තොසගුණදිවුද්ධිසංජනනං,
දොසෙ විධුනිතුකාමො භජෙය්‍ය යොගී ධුතඞ්ගමිදං.
ධෛර්‍ය්‍යවත් ඛලුපච්ඡාභත්තික තෙමේ පවරා නැවැත නො වළඳන බැවින් අහර සෙවීමෙන් පීඩාවට නො පැමිණෙයි. කැප කරවා වළඳිමි, යි අහර තැන්පත් කොට නො තබයි. බඩපුරා කන බව දුරු කරයි.
එහෙයින් රාගාදී දෝස නසනු කැමති යෝගී තෙමේ බුදු රජුන් විසින් පසස්නා ලද දෙයින් සතුටුවීම් ආදී වූ ගුණ වඩන්නා වූ මේ ඛලුපච්ඡාභත්තිකඞ්ගය සේවනය කරන්නේ ය.
‘අරඤේඤ නිවාසො සීලමස්සාති = ආරඤ්ඤිකො, තස්ස අඞ්ගං = ආරඤ්ඤිකඞ්ගං’ වනයෙහි විසුම, ස්වභාවය කොට ගත්තේ ආරඤ්ඤික නම්. වනයෙහි විසුමට කරුණු වූ සමාදාන චේතනාව ආරඤ්ඤිකඞ්ග නම් වේ.
ආරඤ්ඤිකඞ්ගය සමාදන් වන මහණහු විසින් ‘ගාමන්ත සෙනාසනං පටික්ඛිපාමි, ආරඤ්ඤිකඞ්ගං සමාදියාමි’ යන මේ එකෙන් හෝ දෙකෙන් හෝ සමාදන් විය යුතු ය. මෙය සමාදන් වූවහු විසින් ගාමන්තසේනාසනය හැර වනසෙනසුනෙහි අරුණු නැංවිය යුතු ය. උපචාර සහිත වූ මුළුගම ම ගාමන්තසේනාසන නම්. එක් ගෙයක් ඇත්තේ, බොහෝ ගෙවල් ඇතේ, වැට පවුරු ආදියෙන් වට කරණ ලද්දේ, වැට පවුරු ආදියෙන් වට නො කරණ ලද්දේ, මිනිසුන්ගේ වාසිය ඇත්තේ, නැවැත එම්හ යි හැර දමා ගිය බැවින් මිනිසුන්ගේ වාසය නැත්තේ, යටත් පිරිසයින් සිවු මසකට වැඩි කලක් යම් කිසි ගැල් සාත්තුනායකයකු විසින් වසන ලද්දේ ගමැ යි ගණු ලැබේ. යම් ගමක් එලිපත් දෙකකින් යුක්ත වේ නම්, ඒ එලිපත් දෙකක් ඇතුළු එලිපත සිට මැදියම් බලැති පිරිමියකු විසින් ගැසූ ගල වැටුනු තැන, ගාමූපචාරැ යි ගණිත්. මෙහිලා විනයධරයෝ ගන්නෝ තුරුණු වියෙහි පිහිටි පිරිමියකු තමන්ගේ හයිබල පෙන්වා අත දිගු කොට ගැසූ ගල වැටුනු තැනින් ඇතුළත ය. සූත්‍රාන්තිකයෝ කවුඩන් පන්නා හැරීමට ගල් ගසන ලෙසට ගැසූ ගල වැටුනු තැනින් ඇතුළත ගාමුපවාරැ යි ගණිත්.
වැට පවූරු ඈ යමකින් වට නො කළ ගමෙහි සියල්ලට කෙළවර වූ ගෙයි දොරකඩ සිටි ගැහැණියක බඳුනකින් වීසි කළ වතුර වැටුනු තැන, ඝරූපචාර නම්. ඒ ඝරූපචාරයෙහි සිට. වීසි කළ ගල වැටුනු තැන, ගාම නම්. එතැන් සිට වීසි කළ දෙවන ගල වැටුනු තැන ගාමූපචාර නම්. ගමත් ගාමූපචාරයත් හැර, සෙසු සියලු තැන ‘අරණ්‍ය’ යි අදත්තාදානපාරාජිකා විභාගයෙහි කියන ලද්දේ ය. අභිධර්‍මයෙහි කියන ලද්දේ නුවර ඉන්‍ද්‍රඛීලය පටන් පිටත සියලු තැන අරණ්‍යය බව ය. මේ ධුතඞ්ගයෙහි ලා ගත යුත්තේ සූත්‍ර පිටකයේ කියූ ලෙසට ය. එහෙයින් ගම් කෙළවර සිට දුනු පන්සියයක් දුර වූ ස්ථානය පශිචිම අරණ්‍ය සේනාසනය යි ගත යුතු ය. මෙ ද ඊ නගා තැබු නව වියත් පමණින් යුත් ආචාර්‍ය්‍යයදුන්නෙන්, වැට පවුරු සහිත ගමෙහි දොර එලිපත පටන් ද, වට නො කළ ගමෙහි පළමු ගැසූ ගල වැටුනු තැන පටන් ද, වෙහෙර පවුර දක්වා දුනු පන්සියය මැන ගත යුතු ය. ඉදින් වෙහෙර වට නො කරණ ලද්දේ නම්, එහි ආදියෙහි ම තුබූ සෙනස්නක් හෝ බත්හලක් හෝ නිතර රැස් වන තැනක් හෝ බෝධිය හෝ සෑය හෝ සෙනසුනට දුරින් පිහිටා සිටියේ නම්, එතැන් සිට ඒ දුරස්ථානය සීමා කොට මැන ගත යුතු ය. මේ විනයයෙහි කියූ සැටි ය. මැදුම්සඟි අටුවාවෙහි කියන ලද්දේ ද වෙහෙරෙහි ද ගමෙහි මෙන් උපචාරය එළවා, ඒ විහාරොපචාර ග්‍රාමොපචාර දෙක නියම කළ ගල් දෙක වැටුනු දෙ තැනැ අතරතුර මනින්නට ය. ඒ දෙක අතර ද දුනු පන්සියයක් තිබිය යුතුය යි ද කියන ලදී.
වන සෙනසුන අසල ගමක් වී ද එ ගම් වැසි මිනිසුන් කරණ බස්බිණුම් වෙහෙර වැස්සන්ට ඇසේ ද, එහෙත් වනසෙනසුන හා ගම කඳු ගඞ්ගාදියෙන් වෙන් කරණ ලද්දේ කෙලින්, විහාරයට නො යා හැකි වේ ද, විහාරයට යන ඒ පියවි මග නැවූ ආදි යමකින් යා යුතු වේ ද, ඒ මාර්‍ගයෙන් දුනු පන්සියය මැන, විහාරය සීමාවෙන් වෙන් කට යුතු ය.
යම් මහණෙක් අසල පිහිටි ගමෙහි ආරණ්‍යාඞ්ග සම්පාදනය කොට දුනු පන්සියයක් සපයන්නට සිතා ඒ ඒ තැන්හි වූ කුඩා මං අහුරා ද, ඔහු ධුතඞ්ගචොර නම් වේ. ආරණ්‍යකභික්‍ෂූහුගේ ලෙඩින් පෙළෙන ආචාර්‍ය්‍යොපාධ්‍යායයන්ට වනසෙනසුන හිත නො වේ නම්, ආරණ්‍යකභික්‍ෂුහු විසින් ඔවුහු ග්‍රාමාන්තසේනාසනයට ගෙණ ගොස් උපස්ථාන කළ යුතු වෙති. එහිලා ආරණ්‍යකයා විසින් කළ යුත්තේ අරුණ නගින්නට පෙරාතුව ග්‍රාමාන්තය හැර ආරණ්‍යකාඞ්ගයට කී ලක්‍ෂණයුක්තවනයට ගොස් එහි දී අරුණ නැඟීම ය. ලෙඩින් පෙළෙන්නන්ගේ රෝගය අරුණ නගින වේලෙහි ම බලවත් ව නැගී ගියේ නම්, ව්‍රතධරයා විසින් එහිදීත් කළ යුත්තේ ධුතාඞ්ගපාරිශුද්ධිය පිණිස රෝගියා අතහැර නො ගොස් ඔහුට උපස්ථාන කිරීම ය.
ප්‍රභේද විසින් මොවුහු උක්කට්ඨ - මජ්ඣිම - මුදුක යි තිදෙනෙකි එහි උත්කෘෂ්ට තෙමේ කොතරම් අපහසුකම් තුබුන ද, සියලු කල්හි අඞ්ගලක්‍ෂණයුකත අරණ්‍යයෙහි ම අරුණු නගන්නේ ය. මද්ධ්‍යම තෙමේ වැසිසාරමස්හි ග්‍රාමාන්ත සේනාසනයෙහි විසීම ලබයි. මෘදුක තෙමේ හිමසාරමස්හි ද ග්‍රාමාන්තසේනාසනයෙහි වසන්නේ ය. මේ තිදෙන තමතමන්ට නියමිත වූ කාලය තුළ වනයෙන් අවුත් ග්‍රාමාන්තසේනාසනයෙහි හිඳ බණ අසන්නෝ දැන දැන අරුණ නගත් ද, එහෙත් ඔවුන්ගේ ධුතඞ්ගය නො බිඳෙන්නේ ය. බණ අසා අවසන් කොට වනයට යන අතරමග දී අරුණ නැගුනේ ද, ධුතඞ්ගයාගේ බිදීමෙක් නො වේ. එහෙත් බණ දෙසා අවසන් කොට ධර්‍මදේශකයා ධර්‍මාසනයෙන් බැස ගිය පසු මොහොතක් සැතපී හිඳ යන්නෙමු, යි සිතා නිදන කල්හි අරුණ නැගුනේ ද තමන්ගේ කැමැත්තෙන් ග්‍රාමාන්තසේනාසනයෙහි දී අරුණ නංවත් ද, යන දෙ තැන්හි ම ධුතඞ්ගය බිඳේ.
ආරඤ්ඤකො භික්ඛු අරඤ්ඤසඤ්ඤං මනසිකරොන්තො ගබ්බො අලද්ධං වා සමාධිං පටිලද්ධුං, ලද්ධං වා රක්ඛිතුං = ආරණ්‍යකාඞ්ගධර භික්‍ෂු තෙමේ අරණ්‍යසංඥාව මෙනෙහි කරන්නේ නො ලත් සමාධිය බලන්නට ලැබූ සමාධිය රකින්නට සුදුසු වේ.
සත්‍ථාපිස්ස අත්තමනො හොති = ශාස්තෘන් වහන්සේ ද මොහුට තුටු වෙති. මෙන්න බුදුරජුන් ඒ වදාළ සැටි:- ‘තෙනාහං නාගි තස්ස භික්ඛුනො අත්තමනො හොමි අරඤ්ඤවිහාරෙන’ යනු. ‘මම ඒ වනවාසය හේතු කොට නාගිත භික්‍ෂුවට සතුටු වෙමි’ යනු එහි සිංහල ය.
පන්තසෙනාසනවාසිනො චස්ස අසප්පායරූපාදයො චිත්තං න වික්ඛිපන්ති = වනසෙනසුන්හි වසන මේ මහණහුගේ සිත නො සැප වූ රූපාදී අරමුණු වික්‍ෂේපයට නො පමුණුවති.
විගතසන්තාසො හොති = පහ වූ තැතිගැණිම් ඇත්තේ වේ.
ජීවිතනිකන්තිං ඡහාති = ජීවිතාශාව දුරු කරයි.
විවෙකසුඛරසං අස්සාදෙති = විවේකසුඛරසය වළඳයි.
පංසුකූලාදිභාවො චස්ස පතිරූපො හොති = මේ මහණහුට පංසුකූලිකාදී සෙසු ධුතඞ්ගපූරණය ද සුදුසු වේ යනු, එහි අනුසස් ය.
පවිවිත්තො අසංසට්ඨො පන්තසෙනාසනෙ රතො,
ආරාධයන්තො නාථස්ස වනවාසෙන මානසං.
.
එකො අරඤ්ඤේ නිවසං යං සුඛං ලභතෙ යති,
රසං තස න වින්‍දන්ති අපි දේවා සඉන්‍දකා.
.
පංසුකූලං ච එසොව කවචං විය ධාරයං,
අරඤ්ඤසඞ්ගාමගතො අවසෙසධූතායුධො.
.
සමත්‍ථො න චිරස්සෙව ඡෙතුං මාරං සවාහිනිං,
තස්මා අරඤ්ඤාවාසම්හි රතිං කයිරාථ පණ්ඩිතො.
කාය විවේකයෙන් විවේකී වූ, කිසිවකු හා හැනීමක් නැති, වනසෙනසුන්හි ඇලුනා වූ වනයෙහි විසීමෙන් බුදුරජුන්ගේ සිත සතුටු කරන්නා වූ -
එකලා වූ යති තෙමේ වනයෙහි වසන්නේ යම් සැපයක් ලබා ද ඒ සුඛරසය ශක්‍රදේවේන්‍ද්‍රයා සහිත වූ දෙවියෝත් නො ලබති.
මෙතෙමේ පංසුකූලචීවරය කවචයක් මෙන් දරන්නේ අවශිෂ්ට ධුතාඞ්ගධර්‍ම නැමැති ආයුධ ඇත්තේ වනයෙහි කෙලෙස් යුදට ගියේ -
නො බෝ කලකින් ම සේනාසහිත වූ මරු දිනන්නට සමර්‍ත්‍ථ වේ. එහෙයින් නුවණැත්තේ වනවාසයෙහි ඇලුම් කරන්නේ ය.
‘රුක්ඛමූලෙ නිවාසො රුක්ඛමූලං, තං සීලමස්සාති = රුක්ඛමූලිකො, රුක්ඛමූලිකස්ස අඞ්ගං = රුක්ඛමූලිකඞ්ගං’ රුක්මුල විසීම රුක්ඛමූල නම්. ඒ රුක්මුල විසීම ස්වභාවය කොට ගත්තේ රුක්ඛමූලික නම්. රුක්ඛමූලික වීමට හේතු වූ සමාදාන චේතනාව රුක්ඛමූලිකඞ්ග නම්.
රුක්ඛමූලිකඞ්ගය සමාදන් වන මහණහුට ‘ඡන්නං පටික්ඛිපාමි රුක්ඛමූලිකඞ්ගං සමාදියාමි’ යන මේ වචන දෙකින් එකකින් සමාදන්වීම ප්‍රමාණවත් වේ. මේ සමාදන් වුවහු විසින් රාජ්‍ය සීමාවෙහි සිටි රුක, දෙවියන් වෙසෙති යි මිනිසුන් පුද දෙන රුක, ලහටු ගන්නා රුක, පල ගන්නා රුක, වවුලන් ලගින රුක, සිදුරු ඇති රුක, වෙහෙර මැද සිටි රුක, යන මේ රුක් හැර වෙහෙර කෙළවර සිටි රුකෙක් ගත යුතු ය.
ප්‍රභේද විසින් මොවුහු උක්කට්ඨ - මජ්ඣිම - මුදුක යි තිදෙනෙකි. එහි උත්කෘෂ්ටයාහට තමන් කැමැති රුකක් ගෙණ පිළිදැගුම් කරන්නට ඉඩ නැත්තේ ය. ඔහු විසින් එකෙණෙහි ම පැමිණි රුක්මුල ඇති වියලී වැටුනු පරඬල් ආදිය පයින් ඈත් මෑත් කොට එහි විසිය යුතු ය. මෙහි ලා මද්ධ්‍යමයාහට එහි පැමිණියවුන් ලවා රුක්මුල පිළිලැගුම් කර වන්නට ඉඩ ඇත්තේ ය. මෘදුකයාහට තමන් කැමැති සේ ආරාමික සාමණේරාදීන් ගෙණ ගොස් උන් ලවා සැස පිරිසිදු කරවා වැලි විසුරුවා සම කරවා පවුරු පිරිකෙව් කරවා දොරකුත් යොදා වසන්නට හැකි ය. පැමිණි මිනිසුන් එහි පුද පෙරහර කරතොත් එහි නො රැඳී ධුතඞ්ගධරභාවය නො හඟවා පිළිසන් තැනකට ගොස් හිඳිය යුතු ය. බුද්ධෝපස්ථාන - ආචාර්‍ය්‍යොපස්ථාන - ධර්‍මදේශනා - ධර්‍මශ්‍රවණාදිය පිණිස මුත් අන් කරුණක් නිසා මේ තිදෙන අන් සෙවණැති ගෘහාදියෙක විසූ කෙණෙහි ම ධුතඞ්ග බිඳෙන්නේ ය. මෙහි ලා අඞ්ගුත්තරභාණකයෝ බණ අසන්නට සෙවෙණතුළට වන් ධුතඞ්ගධරයා බණ අවසන් වූ පසු මෙහි මඳක් වසමි, යි සිතා සිටි කල්හි අරුණ නැගී ගියේ නම්, ධුතඞ්ග බිඳී යේ යි කියත්.
රුක්ඛමූලසෙනාසනං නිස්සාය පබ්බජ්ජාති වචනතො නිස්සයානුරූපපටිපතති සබ්භාවො = තාගේ පැවිද්ද රුක්මුලසෙනසුන නිසා පවතින්නේ ය, යි වදාළ බැවින් නිසට සුදුසු පිළිවෙත් ඇතිබව.
අප්‍පානි චෙව සුලභානි ච තානි ච අනවජ්ජානීති භගවතා සංවණ්ණිතපච්චයතා = මදය, සුලබය, නිවරදය යි බුදුරජුන් විසින් වැණූ සිවුපසය ඇතිබව.
අභිණ්හං තරුපණ්ණවිකාරදස්සනෙන අනිච්චසඤ්ඤා සමුට්ඨා පනතා = නිතර රුක් කොළ වෙනස්වීම දැක්මෙන් අනිත්‍ය සංඥාව උපදවන බව.
සෙනාසනමච්ඡෙර කම්මාරාමතානං අභාවො = ආවාසයෙහි මසුරු බව හා නවකම්හි ඇලුම් නැති බව යන මේ එහි අනුසස් ය.
වණ්ණිතො බුද්ධසෙට්ඨෙන නිස්සයොති ච භාසිතො,
නිවාසො පවිචිත්තස්ස රුක්ඛමූලසමො කුතො.
.
ආවාසමච්ඡෙරහරෙ දෙවතාපරිපාලිතෙ,
පටිවිත්තො වසන්තො හි රුක්ඛමූලමහි සුබ්බතො.
.
අභිරත්තිනි නීලානි පණ්ඩුනි පතිතානි ච,
පස්සන්තෝ තරුපණ්ණානි නිච්චසඤ්ඤං පනූදති.
.
තස්මා හි බුද්ධදායජ්ජං භාවනාහිරතාලයං,
විවිත්තං නාතිමඤෙඤ්ය්‍ය රුක්ඛමූලං විචක්ඛණො.
බුදුරජුන් විසින් යම් රුක්මුසෙනසුනෙක් නිඃශ්‍රයට සුදුසු, යි වැණුයේ ද, එහෙයින් විවේකය කැමැත්තහුට රුක්මුල සමාන වූ සෙනසුනක් කොයින් වේ ද.
ආවාස මසුරුකම දුරු කරන්නා වූ දෙවියන් විසින් රක්නාලද විවේකයෙන් යුත් රුක්මුසෙනසුනෙහි වසන මනා ව්‍රත ඇති මහණ තෙමේ -
ගස්වලින් වැටුනු ඉතා රතු වූ ද මදනිල් වූ ද පඬුවන් වූ ද කොළ දකිමින් සංස්කාර ධර්‍මයන් පිළිබඳ ව පවත්නා නිත්‍යසංඥාව දුරු කරන්නේ ය.
එහෙයින් විචක්‍ෂණශ්‍රමණ තෙමේ බුදුරජුන්ගේ දායාදය වූ භාවනාවෙහි ඇලුනවුන්ට ගෙයක් බඳු වූ විවේකයෙන් යුත් රුක් මුල් සෙනසුන නො ඉක්ම වන්නේ ය.
‘අබ්භොකාසෙ නිවාසො = අබ්භොකාසො, අබ්භාකාසො සීලමස්සාති = අබ්භාකාසිකො, තස්ස අඞ්ගං = අබ්භාකාසිකඞ්ගං’ එලිමහන් තැන විසීම ස්වභාවය කොට ගත්තේ, අබ්භොකාසික නම්. එලිමහන් තැන විසීමට කරුණු වූ සමාදාන චේතනාව අබ්භොකාසිකඞ්ග නම්.
අබ්භොකාසිකඞ්ගය සමාදන් වන මහණහු විසින් ‘ඡන්නඤ්ච රුක්ඛමූලඤ්ච පටික්ඛිපාමි, අබ්භොකාසිකඞ්ගං සමාදියාමි’ යන මෙදෙකින් එක්තරා එකකින් ඒ සමාදන් විය යුතු ය. මෙ තැන්හි වනාහි වෘක්‍ෂමූලය මුත් වෘක්‍ෂමූලිකාඞ්ගය ප්‍රතික්‍ෂෙප නො කරමි යි, කී බැවින් වෘක්‍ෂමූලිකාඞ්ගය ද නො බිඳෙන්නේ ය. අබ්භොකාසිකඞ්ගය සමාදන් වූවහුට බණ අසනු පිණිස බණ දෙසනු පිණිස, පොහෝ පවුරුණු කරණු පිණිස, උපෝසථාගාරාදියට ඇතුල් විය හැකි ය. එහෙත් ඒ බණ ඇසීම් ආදිය අවසන් වූ පසු අබ්භොකාසයට ම යා යුතු ය. උපෝසථාගාරාදියට ඇතුල් වූ පසු වැසි වසින්නට පටන් ගත්තේ නම්, බැහැර නො ගොස් සිට වැසි නැවතුනු කල්හි නික්ම යා යුතු ය. බොජුන්හලට ගිනිහලට පිවිස වත් පිළිවෙත් කරන්නට බොජුන්හලෙහි ස්ථවිර භික්‍ෂූන් බතින් විචාරන්නට අනුනට වණපොත් කරවන්නට, තමන් වණපොත් කරවා ගන්නට සෙවණින් යුත් ගෙවලට පිවිසිය හැකි ය. ගෙයින් පිටත අතැන මෙතැන දැමූ සඟසතු ඇඳපුටු ආදිය ඇතුළෙහි තබන්නට ගෙට ඇතුල්වීමෙහි ද වරද නැත. මහල්ලන්ගේ හා යහළු මහණුන්ගේ පා සිවුරු ආදී පිරිකර ගෙණ මග යන කල්හි වැසි වැස්සේ නම්, ඒ නො තෙමෙනු පිණිස, මාවත පිහිටි ශාලාවකට ඇතුල්වීමට ද ඉඩ ඇත්තේ ය. එහෙත් කිසිත් පිරිකරක් නො ගෙණ ශාලාවෙභි සිටිමි, යි සිතා වේගයෙන් යෑම නො සුදුසු ය. ස්වභාව ගමනින් ගොස් වැසි නවතින තුරු ශාලාවෙහි නැවතී සිට යනු හැකි ය. මේ මෙහි පිළිපදින සැටි යි.
ප්‍රභේද විසින් උක්කට්ඨ - මජ්ඣිම - මුදුක යි මොවුහු තිදෙනෙකි. එහි උත්කෘෂ්ටයාහට ගසක් වත් කන්දක් වත් ගෙයක් වත් ඇසුරු කොට සිටිය නො හැකි ය. ඔහු එලිමහනෙහි ම සිවුරුවලින් කිළියක් කොට විසිය යුතු ය. මද්ධ්‍යමයාහට ගසක් කන්දක් ගෙයක් ඇසුරු කොට ඇතුළට නො වැද ඉරමුදුන් වේලෙහි ගස් කඳුවල සෙවණැල්ල වැටෙන පමණ තැනට ද, ගෙයි පරාල කොන්වල දිය වැටෙන පමණ තැනට ද ඇතුල් නො වී විසිය හැකි ය. මෘදුකයාහට වැසිදිය ඇතිවිට මතුපිට සෙවෙණි නො කළ ගල්ලෙනට කොළ අතු තුනී කොට සෙවෙණි කළ කොළමඩුවට ඉටිරෙදි කූඩාරමට කුඹුරු රකින්නන් විසින් හැර දැමූ එහි පිහිටි පැලට ඇතුල්වීමට අවසර ඇත්තේ ය. විසීම පිණිස සෙවණකට, රුක් මුලකට, පිවිසි කල්හි මේ තිදෙනාගේ ම ධුතඞ්ග බිඳෙන්නේ ය. දැන දැන එහි හුන්නහු අරුණ නැගූ කල්හි ධුතඞ්ග බිදෙන්නේ, යි අගුඞ්ගුත්තරභාණකයෝ කියත්.
ආවාසපළිබොධූපච්ඡෙදො = ආවාසපළිබෝධ සිඳලන බව.
ථිනමිද්ධපනූදනං = ථිනමිද්ධ දෙදෙනා දුරු කිරීම.
මගකා විය අසඞ්ගචාරිනො අනිකෙතා විහරන්ති භික්ඛවොති = ගේ නැති මහණෝ මෘගයන් සේ ඇල්මක් නැති ව හැසිරෙන්නාහු වෙසෙත් ය යන ලෝකයාගේ පැසසීමට සුදුසු බව.
නිස්සඞ්ගතා = ආවාස පිළිගැන්මක් නැති බැවින් එහි ඇලුම් රහිත බව.
චාතුද්දිසතා = සතර දිගට සුදුසු බව.
අප්පිච්ඡතාදීනං අනුලොමවුත්තිතා = අපිස්බව් ආදීන්ට අනුලොම් පැවැතුම් ඇතිබව යන මේ එහි අනුසස් ය.
අනගාරියභාවස්ස අනුරූපෙ අදුල්ලභෙ,
තාරාමණිවිතානම්භී චන්‍දදීපප්පභාසිතෙ.
.
අබ්භොකාසෙ වසං භික්ඛු මිගභූතෙන චෙතසා,
ථිනමිද්ධං විනොදෙත්‍වා භාවනාරාමතං සිතො.
.
පවිවෙකරසස්සාදං න චිරස්සව වින්‍දති,
යස්මා තස්මා හි සප්පඤ්ඤො අබ්භොකාසෙ රතො සියා.
පැවිද්දට සුදුසු වූ සියලු තැන දීම ලැබිය හැකි බැවින් දුර්‍ලභ නො වූ තාරකා නැමැති මැණික් බුබුලු වලින් සැරසුනු අහස් නැමැති වියන්, ඇති චන්ද්‍රාලෝක නැමැති පහන් එලියෙන් හෙබියා වූ -
එලිමහන් තැන, කිසි තැනෙක ඇලුම් නැති බැවින් මුවන්ට බඳු සිතින් යුක්ත ව වසන්නා වූ මහණ තෙමේ ථිනමිද්ධය දුරු කොට භාවනාවන්හි ඇලීම් ඇසුරු කෙළේ ය.
යම් හෙයකින් විවේක රසාස්වාදය නො බෝ කලකින් ම විඳ ගණී ද, එහෙයින් නුවණැත්තේ ඵලිමහන් තැන ඇලුනේ වන්නේ ය.
සොසානිකඞ්ගය ද ‘න සුසානං පටික්ඛිපාමි, සොසානිකඞ්ගං සමාදියාමි’ යන මෙයින් එක්තරා එකකින් සමාදන් විය යුතු ය. සොසානිකඞ්ගය සමාදන් වූවහු විසින් මිනිස්සු ගමක් පිහිටුවා ‘මෙතැන සොහොනැ’ යි සම්මත කොට ගණිත් ද, එහි නො විසිය යුතු ය. යම් තැනෙක මළසිරුරු නො දවන ලද්දේ නම් එ තැන සොහොනැ යි නො ගැණේ. මළසිරුරු දැවූ තැන සිට නැවැත අවුරුදු දොළසක් තරම් කල්, එහි මළසිරුරු නො දවා හරින ලද නමුත් එ තැන සොහොනැ යි ගණිත්. එහි වසන්නහු විසින් සක්මන් මඩු ආදිය කරවා ඇඳපුටු පනවා පැන් හා පරිභොග ජලය එළවා බණ කියන්නෙකු ව නො විසිය යුතු ය. මේ ධුතඞ්ගය ඉතාබර ය. ඒ නිසා අතරමග දී උපන් උවදුරු නසනු පිණිස සංඝස්ථවිරයන්ට හෝ රාජ්‍ය නිලධරයකුට හෝ දන්වා සිහිනුවණින් යෙදී විසිය යුතු ය. සක්මන් කරණ විට ඇස්කෙළවරින් සොහොන දෙස බල බලා සක්මන් කළ යුතු ය. සොහොනට යන විටත් මහ මගින් නො ගොස් කුඩාමගකින් යා යුතු ය. තමන් යන සොහොනෙහි ඇති තුඹස් ගල් මුල් රුක් ආදී අරමුණු දවාලෙහි ගොස්, තිබෙන තැන් හොඳට දැන ගත යුතු ය. එසේ දැන ගත් කල්හි ඒ අරමුණු රාත්‍රියෙහි භයට කරුණු නො වේ. සොහොනෙහි අමනුෂ්‍යයන් කෑ ගසන විටද ඔවුන්ට කිසිවකින් නො ගැසිය යුතුය. එක් දවසකුත් සොහොනට නො ගොස් නො සිටිය යුතුය. මැදුම්යම සොහොනෙහි ගෙවා පැසුළුයම හැරී ඒම වරද නැතැයි අඞ්ගුත්තර භාණකයන්ගේ පිළිගැණීම ය. සොහොනට යන්නහු විසින් අමනුෂ්‍යයන්ට ප්‍රිය වූ තලපිටි තලමුරුවට උඳුබත් මස් කිරි තෙල් සකුරු ආදී කන බොන දේ නො කෑ යුතුය. සොහොන් දුමින් සිරුර දුගඳ ව අපිරිසිදු ව ඇති බැවින් කුලගෙට නොවැදිය යුතුය. මේ මෙහි පිළිපදින සැටියි.
ප්‍රභේද විසින් මොවුහු උක්කට්ඨ - මජ්ඣිම - මුදුක යි තිදෙනෙකි. එහි යමෙක් යම් තැනෙක නිතර මිනී දැවීම් මීනීකුණු ඇද බැහීම් හැඬීම් පවත්නේ නම්, එ තැන වසන්නේ උත්කෘෂ්ට තෙමේ ය. උත්කෘෂ්ටයා විසින් එබඳු තැනෙක ම විසිය යුතු ය. මේ කියූ මිනීකුණු දැවීම් ආදී තුනෙන් යටත් පිරිසෙයින් එකකුත් ඇති තැන වසන්නේ මද්ධ්‍යම තෙමේ ය. කියූ ලෙසින් සොහොනය යි සම්මත කළ, සොහොන් ලකුණු පමණක් ඇති තැන වසන්නේ මෘදුක තෙමේ ය. සොහොන් ලකුණුවලින් තොර වූ තැන වීසීමෙන් මේ තිදෙනාගේ ම ධුතඞ්ග බිඳෙන්නේ ය. අඞ්ගුත්තරභාණකයෝ කියන්නෝ දහවල් නමුත් සොහොනට නො ගිය දවසෙහි ධුතඞ්ග බිඳෙන බව ය.
මරණසතිපටිලාභො = මරණානුස්මෘතිය ලැබීම.
අප්පමාදවිහාරිතා = මරණසතිය ලැබීමෙන් මහණදහම්හි නො පමා බව.
අසුභනිමිතිත්තාධිගමො = මළ සිරුරු දැකීමෙන් අසුභ නිමිති ලැබීම.
කාමරාගවිනොදනං = අශූභලක්‍ෂණ වැටහීමෙන් කාමරාගය දුරු වීම.
අභිණ්හං කායසභාවදස්සනං = නිරුතුරු සිරුරෙහි පිළිකුල් බව හා දුගඳ බව සැලකීමෙන් ශරීර ස්වභාවය දැක්ම.
සංවෙගබහුලතා = කායස්වභාව දැක්මෙන් හා මරණසතිය ලැබීමෙන් සංවේගබහුලබව.
ආරොග්‍යමදාදිප්පහාණං = ආරොග්‍යමද - යෞවනමද - ජීවිතමද දුරුවීම.
භයභෙරවසහනතා = කුදු මහත් බිය හා බිය එළවන අරමුණු ඉවසන බව.
අමනුස්සානං ගරුභාවනීයතා = අමනුෂ්‍යයන්ගේ ගෞරවයට තැන්බව.
අප්පිච්ඡතාදීනං අනුලොමවුත්තිතා = අපිස්බව් ආදීන්ට අනුලොම් වූ පැවැතුම් ඇතිබව යන මේ එහි අනුසස්ය.
සොසානිකඤ්හි මරණානුස්සතිප්පභාවා
නිද්දාගතම්පි න ඵුසන්ති පමාදදොසා
සමපස්සතො ව කුණපානි බහූනි තස්ස
කාමානුරාගවසගම්පි න හොති චිත්තං.
.
සංවෙගමෙති විපුලං න මද උපෙති
සම්මා අථො ඝටති නිබ්බුතිසමානො
සොසානිකඞ්ගමිති නෙකගුණාවහන්තා
නිබබාණනින්නහදයෙන නිසෙවිතබ්බන්ති.
මරණසති භාවනානුභාවයෙන් සිහිනෙනුත් ප්‍රමාදදෝෂයෝ සොසානිකඞ්ගධර භික්‍ෂු ස්පර්‍ශ නො කෙරෙත්. බොහෝ කුණපයන් දක්නා වූ ඔහුගේ සිත ද කාමරාගයට වසඟ නො වන්නේ ය.
මහත් වූ සංවේගයට පැමිණේ. ආරෝග්‍යමදාදී මදයට ද නො පැමිණේ. එසේ නො පැමිණ නිර්‍වාණ ධර්‍මය සොයමින් ව්‍යායාම කෙරේ. මෙසේ නොයෙක් ගුණ එළවන බැවින් සොසානිකඞ්ගය නිවන් කෙරෙහි නැමුනු සිතැති යෝගාවචරයා විසින් සෙවිය යුතු ය.
යථාසන්‍ථතිකඞ්ගය ද ‘සොනසනලොලුප්පං පටික්ඛපාමි, යථාසන්‍ථතිකඞ්ගං සමාදියාමි’ යන මේ දෙකෙන් හෝ එකකින් හෝ සමාදන් විය යුතු ය. මෙය සමාදන් වූ මහණහු විසින් යම් සෙනසුනක් මේ ඔබට වන්නේ යැ යි සෙනසුන්ගන්වන්නහු විසින් භාර කරණු ලැබේ ද, ඒ සෙනසුනෙන් ම සතුටු විය යුතු ය. මේක හොඳය, මේක නරකය, යි කියමින් අනෙකෙක් සෙනසුනෙන් නො නැගිට විය යුතු ය. මේ මෙහි පිළිපදින සැටි යි.
ප්‍රභේද විසින් මොවුහු උක්කට්ඨ - මජ්ඣිම - මුදුක යි තිදෙනෙකි. එහි උත්කෘෂ්ඨ තෙමේ තමන්ට ලැබුනු පැවැරුනු සෙනසුන දුර පිහිටි වෙහෙරෙක්හි ද, අසල සිටි වෙහෙරෙක්හි ද, අමනුෂ්‍ය සර්‍පාදීන් නිසා උවදුරු සහිත ද, උෂ්ණ ද, සීත දැ යි නො විචාරන්නේය. මද්ධ්‍යාමයා හට ඒ ගැන විචාරනු හැකි ය. එහෙත් එහි ගොස් ඒ බලනු නො හැකිය. මෘදුකයා හට එහි ගොස් බලා ඒ සෙනසුන සිත් නො ගන්නේ නම්, අනිකක් ගත හැකි ය. මේ තිදෙනා අතුරෙහි කාහට වුවත් සෙනසුන් පිළිබඳ ලොල්බව උපන් ඇසිල්ලෙහි ධුතඞ්ග බිඳෙන්නේ ය.
යං ලද්ධං තෙන තුට්ඨබබං වුත්තොවාදකරණං = යමක් ලද්දේ නම් එයින් සතුටු විය යුතු ය යි බුදුරජුන් විසින් වදාළ අවවාදය පිළිපදින බව.
සබ්‍රහ්මචාරීනං හිතෙසිතා = නැගිට විය යුතු බාල භික්‍ෂූන් පවා නො නැගිටු වන බැවින් සබ්රම්සරුන්ට හිත පසස්නා බව.
හීනප්පණිතවිකප්පපරිච්චාගො = හීනප්‍රණිතභේදය නො සලකා හැරීම. තාදී ගුණයට අනුකූල වීම.
අනුරාධ විරොධප්පහාරං = රාග ද්වේෂ දුරු කිරීම.
අත්‍රිච්ඡතාය ද්වාරපිදහනං = අත්‍රිච්ඡතා නම් ආශාවට වැද්ද නො දීම.
අප්පිච්ඡතාදීනං අනුලොමවුත්තිතා = අපිස්බව් ආදීන්ට අනුලොම් පැවතුම් ඇති බව යන මේ එහි අනුසස් ය.
යං ලද්ධං තෙන සන්තුට්ඨො යථාසන්‍ථතිකො යති,
නිබිබිකප්පො සුඛං සෙති තිණසන්‍ථෙරකෙසුපි.
.
න සො රජ්ජති සෙට්ඨම්හි හීනං ලද්ධා න කුප්පති,
සබ්‍රහ්මචාරීනවකෙ හිතෙන අනුකම්පති.
.
තස්මා අරියසතාචිණණං මුනිපුඞ්ගවවණ්ණිතං,
අනුයුඤ්ජථ මෙධාවී යථාසන්‍ථතරාමතන්ති.
යම් සෙනසුනක් ලද්දේ නම්, එයින් සතුටු වූ යථාසන්‍ථතිකඞ්ගරයති තෙමේ, යහපත් ය, අයහපත් ය, යන විතර්‍ක රහිත ව තණකොළ ඇතිරියෙහි ද සුවසේ හෝනේ ය.
මේ මහණ තෙමේ යහපත් සෙනසුනෙහි ද නො ඇලේ. අයහපත් සෙනසුන් ලද ද නො කිපේ. බාලභික්‍ෂූන් පවා සෙනසුනෙන් නො නැගිටු වන බැවින් සබ්රම්රසරුන්ට හිත වැඩ එළවන්නේ ය.
නුවණැති මහණ තෙමේ එහෙයින් නොයෙක් සිය ගණන් ආර්‍ය්‍යයන් විසින් පුරුදු කරණ ලද බුදුරජුන් විසින් වැණු යථාසන්‍ථතිකඞ්ගයෙහි යෙදෙන්නේ ය.
නෙසජ්ජිකඞ්ගය ද ‘සෙය්‍යං පටික්ඛිපාමි, නෙසජ්ජිකඞ්ගං සමාදියාමි’ යන මෙ දෙකින් එකකින් වත් සමාදන් විය යුතු ය. නෙසජ්ජිකඞ්ගධරයා විසින් රැයෙහි තුන් යමින් එක් යමක් නැගිට සක්මන් කටයුතු ය. ඉඳීම - සිටීම - සක්මන - නිදීම, යන ඉරියවු සතරින් නිදීම ම මොහුට නො සුදුසු ය. මේ මෙහි පිළිපදින සැටිය.
ප්‍රභේද විසින් උක්කට්ඨ - මජ්ඣිම - මුදුක යි මොවුහු තිදෙනෙකි. එහි උත්කෘෂ්ටයාහට හේත්තුවන ලෑලිකඩ, සිවුරු අකවටුව, එල්ලී සිටින ලෑලිකඩ යන මේ පරිභෝගය ද නො වටනේ ය. මද්ධ්‍යමයාහට මෙ තුනෙන් එකක් පරිභෝග කළ හැකි ය. මෘදුකයාහට හේත්තුවන ලෑලිකඩ, සිවුරු අකවටුව, එල්ලී සිටින ලෑලිකඩ, කොට්ටය, පඤ්චඞ්ගය, සත්තඞ්ගය යන පස පරිභෝග කිරීම නො සුදුසු නො වේ. එහි පඤ්චඞ්ග නම්, පිටාටුව පා සතර යන මේ පස් අතින් යුත් දඬුමැසි පුටුව ය. සත්තඞ්ග නම්, පිටාටුව දෙපස හේත්තුපුවරුකඩ හා පා සතර යන සත් අඟින් යුත් දඬුමැසි පුටුව ය. ඒ සත්තඞ්ග නම් දඬුමැසි පුටුව පීළාභය ස්ථවිරයන් වහන්සේ පරිභෝග කළහ. උන්වහන්සේ එහි හිඳ නෙසජ්ජිකඞ්ගය පුරා කල් නො යවා ම අනාගාමීඵලයට පැමිණ, පිරිනිවන් පෑ සේක. සයනයට වැටුනු විට මේ තිදෙනාගේ ම ධුතඞ්ග බිඳෙන්නේ ය.
‘සෙය්‍යසුඛං පස්සසුඛං මිද්ධසුඛං අනුයුත්තො විහරතීති වුත්තස්ස චෙතසො විනිබන්‍ධස්ස උපච්ඡෙදනං’ නිදීමෙන් ලැබෙන සුවය, ඇලයෙන් ඇලයට පෙරැළි පෙරැළී නිදීමෙන් ලැබෙන සුවය, පසිඳුරන් හැකිළීමෙන් ලැබෙන නිදිසුවය, යන මෙහි යෙදී වසන්නේ ය, යි කියන ලද චිත්තවිනිබන්‍ධය සිඳ හැරීම.
සබ්බකම්මට්ඨානානුයොගසප්පායතා = සියලු කමටහන්හි යෙදීමෙහි සැප බව.
පාසාදිකඉරියාපථතා = පැහැදීම එළවන ඉරියවු ඇති බව.
විරියාරම්භානුකූලතා = වීර්‍ය්‍යයාරම්භයට අනුකූල බව.
සම්මාපටිපත්තියා අනුබ්‍රෑහණං = යහපත් පිළිවෙත් වඩනා බව යන මේ එහි අනුසස් ය.
ආභුජිත්‍වාන පල්‌ලඞ්‌කං පණිධාය උජුං තනුං,
නිසීදන්‌තො විකම්‌පෙති, මාරස්‌ස හදයං යති.
.
සෙය්‍යසුඛං මිද්‌ධසුඛං හිත්‍වා ආරද්‌ධවීරියො,
නිසජ්‌ජාභිරතො භික්‌ඛු සොභයන්‌තො තපොවනං.
.
නිරාමිසං පීතිසුඛං යස්‌මා සමධිගච්‌ඡති,
තස්‌මා සමනුයුඤ්‌ජෙය්‍ය ධීරො නෙසජ්‌ජිකං වතන්‌ති.
පළක් බැඳ සිරුර කෙලින් තබා හිඳින්නා වූ මහණ තෙමේ මාරයාගේ හෘදය කම්පිත කෙරේ.
නිදීමෙහි ඇලුනු මහණ තෙමේ සයනසුඛ, නිද්‍රා සුඛයන් හැර වැඩූ වීර්‍ය්‍යය ඇති ව තපෝවනය හොබවමින් -
යම් හෙයකින් පස්කම් සැපයෙන් වෙන් වූ ප්‍රීති සැපයට පැමිණේ ද, එහෙයින් නුවණැති මහණ තෙමේ නෙසජ්ජිකඞ්ගයෙහි මනා කොට යෙදෙන්නේ ය.
සියලු ම ධුතාඞ්ග ශෛක්‍ෂ්‍ය - පෘථග්ජන - ක්‍ෂීණාස්‍රවයන්ගේ වසයෙන් කුසල් ද අව්‍යාකෘත ද වේ. අකුශල ධුතාඞ්ගයෙක් නැත්තේ ය. මේ ශාසනයෙහි ලාමක අදහස් ඇති තෘෂ්ණාවෙන් මැඩුනු ඇතැම් මහණෙක් ආරණ්‍යක වේ, යි වදාළ බැවින් ඒ පාප භික්‍ෂූන්ගේ අකුශල චේතනාවෙන් ද ධුතඞ්ග සේවනය වන බැවින් අකුශලධුතාඞ්ගයෙක් ද ඇතැ යි යමෙක් කියන්නේ නම්, ඔහුට කිය යුත්තේ අරණ්‍යගත වූ ඒ පාපභික්‍ෂුවට වනයෙහි විසීම මුත් ආරණ්‍යකධුතාඞ්ගයක් නැති බව ය.
මොවුහු ඒ ඒ අඞ්ගසමාදානයෙන් කම්පාකරණ ලද කෙලෙස් ඇති බැවින් ධුත යි නම් ලැබූ මහණහුගේ අඞ්ගනු යි හෝ, කෙලෙස් කම්පා කළ අරුතෙන් ධුත යි කියන ප්‍රඥාව මෝ හට අඞ්ග වූයේ නු යි හෝ ධුතඞ්ග නම් වෙති. තම තමන්ට විරුද්ධ වූ ධර්‍ම නසන අරුතෙන් ධුත නම් වූ ද ප්‍රතිපත්තියට කාරණ බැවින් අඞ්ග නම් වූ ද ධර්‍මයෝ ධුතඞ්ග නම් වෙති යි ද කියත්. අකුශලයෙන් කෙලෙස් කම්පිත නො වන බැවින්, පවිටු මහණහු ගේ චේතනාදීහු ධුත නම් නො වෙති.
මෙහිලා - ධුත - ධූතවාද - ධුතධම්ම - ධුතඞ්ග - ධුතඞ්ග කවරක් හට හිත ද යන කරුණු ද දත යුතු ය. එහි ධුත නම්, නැසූ කෙලෙස් ඇති පුද්ගල තෙමේ හෝ කෙලෙස් නසන ධර්‍ම යි. ධුතවාද යන්නෙහි ලා ධුත - න ධුතවාද, න ධුත - ධුතවාද, නෙව ධුත - න ධුතවාද, ධුත - ධුතවාද යි මේ කියන සිවු දෙන දත යුතු ය. එහි යමෙක් ධුතඞ්ග කරණ කොට තමන්ගේ සන්තාන යෙහි බොහෝ කලක සිට නොයෙක් ලෙසින් පැවැත ආ කෙලෙස් නසා, අන්හු ධුතඞ්ගයෙන් අවවාද අනුශාසනා නො කෙරේ ද, හේය ධුත - න ධුතවාද වූයේ. බක්කුල ස්ථවිරයන් වහන්සේ වැනි ය හේ. යමෙක් තමන් පිළිබඳ කෙලෙස් නො නසා අනුනට ධුතයෙන් අවවාද අනුශාසනා කෙරේ නම්, හේ න ධුත - ධුතවාද වූයේ. උපනන්‍ද ස්ථවිරයන් වහන්සේ වැනි ය හේ. යමෙක් තමන් කෙලෙස් නො නැසූ බැවින් අනුනටත් කෙලෙස් නසන්නට ධුතඞ්ගයෙන් අවවාද අනුශාසනා නො කෙරේ ද, හේය නෙව ධුත - න ධුතවාද වුයේ. ලාලුදායී ස්ථවිරයන් වහන්සේ වැනි ය හේ. යමෙක් තමන් පිළිබඳ කෙලෙස් නසා අනුනටත් ඒ පිණිස ධුතඞ්ගයෙන් අවවාද අනුශාසනා කෙරේ ද, හේ ය ධුත - ධුතවාද වූයේ. ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වැනි ය හේ.
ධුතධර්‍ම නම්, අපිස්බව - ලද දෙයින් සතුටු වීම - කෙලෙස් ලියන බව - ගණයා කෙරෙහි ඇලීමෙන් සිත වෙන් කිරීම - නුවණ යන මේ පස ය. මේ පස ධුතඞ්ගචේතනාවට පරිවාරක වූයේ ය. එහෙයිනි ධුතධර්‍ම නම්. එහි අපිස්බව හා ලද දෙයින් සතුටුවීම අලෝභයෙහි ද, කෙලෙස් ලියනබව, ගණයා කෙරෙහි ඇලීමෙන් සිත වෙන්කිරීම යන දෙක අලෝභයෙහි හා අමෝහයෙහි ද වැටේ. අලෝභය කරණ කොට ඒ ඒ ධුතඞ්ගයෙන් බැහැර කළ යුතු ගෘහපතිදානචීවරාදීවස්තූන්හි ඇලීම ද, අමෝහය කරණ කොට ඒ වස්තූන්හි දොස් වසාලන මෝහය ද කම්පිත වේ. තව ද අලෝභයෙන් බුදුරජුන් විසින් නො ඇලී පරිභොග කටයුතු ය යි අනුදැන වදාළ සැප පහසුකම් ඇති ඇඳ ඇතිරි ආදිය හෝ චීවරාදි ප්‍රත්‍යය හෝ ප්‍රතිසේවනයෙන් පවත්නා කාමසැපයෙහි නො යෙදෙන්නේ ය. අමෝහයෙන් අතිසල්ලෙඛප්‍රතිපත්තිමුඛයෙන් පවත්නා ආත්මක්ලමථුයෙහි යෙදීම කම්පිත වේ. එහෙයිනි, මේ ධර්‍ම පස, ධුතධර්‍ම යි කියන ලද්දේ. ධුතඞ්ග යට කියන ලද ය.
රාගචරිතයාහට හා මෝහචරිතයාට ධුතඞ්ග සත්ප්‍රාය වේ. ධුතඞ්ග සේවනය දුක් වූ පිළිවෙතකි. කෙලෙස් ලියන ඉරියවු ද වේ. සැප පහස් ඇති දේ ඇසුරු කොට පවත්නා රාගය, දුක් වූ පිළිවෙතෙහි පිහිට නො ලබන බැවින් දුක් වූ පිළිවෙතින් ඒ සන්සිඳී යන්නේ ය. අප්‍රමත්තයාහට සල්ලේඛය නිසා මෝහය පැහී යන්නේ ය. ආරණ්‍යකාඞ්ග - වෘක්‍ෂමූලිකාංග දෙක සේවනය කිරීම ද්වේෂවරිතයාහට ද හිත වන්නේ ය. අරණ්‍ය - වෘක්‍ෂ මූලයන්හි නො ගැටී වසන්නහු ගේ ද්වේෂය සන්සිඳෙන්නේ ය.
මේ ධුතාඞ්ගයෝ ශීර්‍ෂාඞ්ග තුනෙක, අමිශ්‍රාඞ්ග පසෙකැ යි සැකෙවින් අට දෙනෙක් වෙති. එහි සපදානචාරිකඞ්ග - එකාසනිකඞ්ග - අබ්භොකාසිකඞ්ග යන තිදෙන ශීර්‍ෂාඞ්ග නම් වෙත්. සපදානචාරිකඞ්ගය රක්නේ පිණ්ඩපාතිකඞ්ගය ද රක්නේ ය. එකාසනිකඞ්ගය රකින්නහුට පත්තපිණ්ඩිකඞ්ගය හා ඛලුපච්ඡාභත්තිකඞ්ගය ද මැනැවින් රැකිය හැක්කේ ය. අබ්භොකාසිකඞ්ගය රකින්නහුට රුක්ඛමූලිකඞ්ග - යථාසන්‍ථතිකඞ්ගයන්හි රැකිය යුත්තෙක් නැත්තේ ය. මෙසේ මේ අඞ්ගයෝ තිදෙන උත්තමාර්‍ත්‍ථයෙන් ශීර්‍ෂාඞ්ග නම් වූහ. ආරඤ්ඤීකඞ්ග - පංසුකූලිකඞ්ග - තෙචීවරීකඞ්ග - නෙසජ්ජිකඞ්ග - සොසානිකඞ්ග යන පස අමිශ්‍රාඞ්ග නම් වේ.
මේ ධුතාඞ්ග දෙකක්, චීවරප්‍රතිසංයුක්ත ය. පසක්, පිණ්ඩපාත ප්‍රතිසංයුක්ත ය. පසක්, සේනාසන ප්‍රතිසංයුක්ත ය. එකක්, වීර්‍ය්‍ය ප්‍රතිසංයුක්ත යි සතරකට බෙදිය හැකි ය. ප්‍රත්‍යය ඇසුරු කළ ධුතඞ්ග දොළොසෙක, වීර්‍ය්‍යය ඇසුරු කළ එකෙ කැ යි නිඃශ්‍රය වශයෙන් දෙකට බෙදේ.
ධුතඞ්ග සේවනය කරණ යමක්හට කමටහන් වැඩේ නම් ඔහු විසින් ධුතඞ්ග සේවනය කළ යුතු ය. යමක්හුගේ කමටහන් පිරිහේ නම්, ඔහුට ධුතඞ්ග සේවනය නො සුදුසු ය. ධුතඞ්ග සේවනය කරණ විට යමක්හුගේ කමටහන් වැඩේ නම්, අනාගත ජනයා කෙරෙහි අනුකම්පා පෙරදැරිව ඔහු විසින් ඒ සෙවිය යුතු ය. ධුතඞ්ග සෙවුනේත් නොසෙවුනේත් යමක්හුගේ කමටහන් වැඩේ නම්, ඔහු විසින් කළ යුත්තේ ඉදිරිය බලා ධුතඞ්ග සේවනය කිරීම ය.
විස්තර විසින් භික්‍ෂූන්ට තෙළෙසෙකි. භික්‍ෂූනීන්ට අටෙකි. සාමණේරයනට දොළොසකි. සික්ඛමානා - සාමණේරීන්ට සතෙකි. උපාසක - උපාසිකාවනට දෙකෙකැ, යි මෙසේ දෙසාළිසකට බෙදේ.
එලිමහන් තැන්හි ආරණ්‍යකාඞ්ගයෙන් යුත් සොහොනෙක් වේ නම්, එහි දී ශක්තිමත් භික්‍ෂූන්ට එක් වර ම සියලු ධුතඞ්ග සමාදන් ව රැකිය හැකි ය. ආරඤ්ඤිකඞ්ග - ඛලුපච්ඡාභත්තිකඞ්ග දෙක භික්‍ෂුනීන්ට නීතියෙන් ම තහනම් කරණ ලද්දේ ය. අබ්භොකාසිකඞ්ග - රුක්ඛමූලිකඞ්ග - සොසානිකඞ්ග යන තුන දැරීම සේවනය කිරීම ඉතා අපහසු ය. කරදර සහිත ය. ධුතඞ්ගයකින් බලාපොරොත්තු වන ඵලය මෙහෙණකට මෙයින් නො ලැබිය හැකි ය. එහෙයින් පසක් හැර අටක් ඈලාට (මෙහෙණන්ට) රැකිය හැක්කේ ය. තෙචීවරිකඞ්ගය සාමණෙරයන්ට නො රැකිය හැකි ය. සික්ඛමානා - සාමණෙරීන් විසින් රැකිය හැක්කේ සතෙකි. එකාසනිකඞ්ගය හා පත්තපිණ්ඩිකඞ්ගය, උපාසක - උපාසිකාවන්ට සුදුසු වේ.
ධුතගුණ රකින්නහුගේ හැසිරීම පිරිසිදු ය. පැහැදීමට කරුණු ය. ඔහු පිළිබඳ පූර්‍වභාග ප්‍රතිපදාව සම්පූර්‍ණ වන්නී ය. කායික - වාචසික සමාචාරයෝ රැකෙති. වැඩෙති. මනස්සමාචාරය කාන්තිමත් ය. වීර්‍ය්‍යය දැඩි වන්නේ ය. භය සන්සිඳෙන්නේ ය. සත්කායදෘෂ්ටිය ඇද හැලෙන්නී ය. ක්‍රෝධයට තැන් නැති වේ. මෛත්‍රිය වැඩේ. ආහාරය දන්නා ලද්දේය. සියල්ලන් විසින් ගෞරව කරණු ලබන්නේ ය. භෝජනයෙහි පමණ දන්නේ ය. ඔහු නිදී මැරීමෙහි යෙදුනේ ය. අනගාරික වේ. කැමැති තැන විසීමෙහි සමර්‍ත්‍ථ වේ. පවට පිළිකුල් කරන්නේ ය. පවට බිය වෙන්නේ ය. විවේකයෙහි ඇලුනේය. අප්‍රමත්ත වේ.
ශ්‍රද්ධා ඇත්තේ, ලජ්ජා ඇත්තේ, ධෛර්‍ය්‍ය ඇත්තේ, කුහක නො වුයේ , ශාසනයට හිත වුයේ, කෑදර නො වූයේ, ශික්‍ෂා කැමැත්තේ, කිපිසිත් නැත්තේ, මෛත්‍රී විහරණ ඇත්තේ ධුතඞ්ග රැකීමට සුදුස්සේ ය.
“පඨවිසමං මහාරාජ, ධුතගුණං විසුද්ධිකාමානං පතිට්ඨානට්ඨෙන, ආපොසමං මහාරාජ, ධුතගුණං විසුද්ධිකාමානං සබ්බකිලෙසමලධොවනට්ඨෙන, තෙජොසමං මහාරාජ, ධුතගුණං විසුද්ධිකාමානං සබ්බකිලෙසවනජ්ඣාපනට්ඨෙන, වායොසමං මහාරාජ, ධුතගුණං විසුද්ධිකාමානං සබ්බකිලෙසමලරජොපවාහනට්ඨෙන” යනු වදාළෝ නාගසේන මහාස්ථවිරයන් වහන්සේ ය. ධුතගුණ, නිවන් කැමැත්තවුනට පිහිටා සිටීමට කරුණු වන බැවින් පෘථිවිය සමාන ය. කෙලෙස් මල සෝදා හරින බැවින් ජලය වැනි ය. කෙලෙස්වනය දවන බැවින් මහගිනිකඳක් වැනි ය. කෙලෙස් මල, සිත් තුළින් බැහැර කරණ බැවින් චණ්ඩ මාරුතයක් වැනි ය, යනු එහි කෙටි තේරුම ය.
මහා මුහුද, නන් වැදෑරුම් රතනයන් ගේ හට ගැනීමට ස්ථාන වන්නා සේ ධුතඞ්ගයෝ නන් වැදෑරුම් වූ සෝවන් ආදි උත්තම ගුණරතනයනට උත්පත්ති ස්ථාන වන බැවින් අපරිමිත ගුණ ඇත්තාහ.
යමෙක් ‘මම ධුතඞ්ග රකිමි’ යි කියා නැති ගුණ පහළ කරන්නේ ලාමක අදහසින් යුක්ත ව සිවුපසය නො පිළිගන්නකු සේ දායකයනට හඟවා වංචනික ව සිවුපසය උපදවන්නේ කුහක කමින් යුක්ත වූයේ රුදුරු බඩ රැකුම නිසා ශාසනයෙහි රැඳී ලාභ කීර්ති ප්‍රශංසාවනට ගිජු වූයේ ධුතඞ්ග රක්‍ෂා කරන්නේ වේ ද, හේ ධුතාගරක්‍ෂකයෙක් නොවේ. බුද්ධශ්‍රාවකයෙක් නො වේ. නියම මහණෙක් නො වේ. හේ සියලු ගුණ නසන්නේ ය. ලෝකය අපායයට ඇද ලන්නේ ය. අපායට මං සලසා ගන්නේ ය. මරණින් මතු අපායයෙහි හෙන්නේ ය. අවීචිමහානරකයෙහි අවුරුදු කෙළ ගණනක් උඩුකුරු යටිකුරු වෙමින් නිරා ගින්නෙන් දැවි දැවී පැසෙන්නේ ය. එයින් චුත ව ප්‍රේත ලෝකයෙහි උපදින්නේ රළු පරළු සිරුරු ඇති ව, හිස මතුයෙහි පිහිටි ඉදිකටුතුඩ පමණ කට ඇතිව, බිහිසුණු රූ සටහන් ඇතිව, කැඩුනු බිඳුනු කන් සිදුරු ඇතිව පණුවන් ඇතුළට කා වැදී ගිය සිරුරු ඇති ව ඇතුළත ගිනි ගෙණ දිලිසෙන සිරුරු ඇති ව ප්‍රේත දුකින් හඬන වැලපෙන නිජ්ඣාමතණ්හිකාදී ප්‍රේත ලෝකයන්හි මහාශ්‍රමණප්‍රේත ව උපදින්නේ ය. ඉපිද පොළොව සිසාරා හඬ හඬා ඇවිදින්නේ ය.
“යො ඛො මහාරාජ! පුග්ගලො පාපිච්ඡො ඉච්ඡාපකතො කුහකො ලුද්දො ඔදරිකො ලාභකාමො යසකාමො කිත්තිකාමො අයුත්තො අප්පත්තො අනනුච්ඡවිකො අනරහො අප්පතිරූපො ධුතඞ්ගං සමාදියති, සො දිගුණං දණ්ඩමාපජ්ජති සබ්බගුණඝාතමාපජ්ජති. දිට්ඨධම්මිකං හීලනං ඛීලනං ගරහනං උප්පණ්ඩනං ඛිපනං අසම්භොගං නිස්සාරණං නිච්ඡුහනං පවාහනං පබ්බාජනං පටිලභති, සම්පරායෙපි සතයොජනිකෙ අවීචිමහානිරයෙ උණ්හකඨිතත්තසන්තත්තඅච්චිජාලාමාලකෙ අනෙකවස්සකොටිසතසහස්සානි උද්ධමධො තිරියං ඵෙනුද්දෙහකං සම්පරිවත්තකං පච්චති, තතො මුඤ්චිත්‍වා කිසඵරුසකාළඞ්ගපච්චඞ්ගො සූචිමුඛප්පමාණසුසිරුත්තමඞ්ගො ඡාතො පිපාසිතො විසමභීමරූපවණ්ණො භග්ගකණ්ණසොතො උම්මීලිතනිමීලිතනයනො අරුගත්තපක්කගත්තො පුළවාකිණ්ණසබ්බකායො වාතමුඛෙ ජලමානො විය අග්ගික්ඛන්‍ධො අන්තො ජලමානො අතාණො අසරණො අරුණ්ණරුණ්ණකාරුඤ්ඤරවං පරිදෙවමානො නිජ්ඣාමතණ්හිකො සමණමහාපෙතො හුත්‍වා ආහිණ්ඩමානො අට්ටස්සරං කරොති” යනු පාළි යි. මෙසේ හෙයින් ධුතාඞ්ගරක්‍ෂණය නිවන් පිණිස විය යුතුය.
රහදො ඉව අපෙතකද්දමො = පහ වූ මඩ ඇති විලක් සේ
මඩ නැති පහන් සිහිල් දිය පිරුණු ගැඹුරු වූ විලක් සේ කෙලෙස් මඩ නැති බැවින් රහතුන් වහන්සේ හැමතින් පිරිසිදු වෙති.
සංසාරා න භවන්ති තාදිනො = ස්ථිරගුණ ඇත්තහුට සංසාරයෝ නො වෙති.
ස්ථිරගුණ ඇත්තෝ නම්, රහතුන් වහන්සේ ය. කිසි කලෙක කිසි දෙයක් නිසා උන්වහන්සේගේ සිතේ පැවැත්ම වෙනස් නො වන්නේ ය. සුගති-දුග්ගති භවයන්හි චුතිපටිසන්‍ධි වසයෙන් හැසිරීම සංසාර නම්. [3]
තමන් මතු පිට පිරිසිදු සුවඳ මල් ආදිය දැමූ ව ද, අපිරිසිදු මලමූ ඈ දැමූ ව ද මහපොළොව කිසිවකු කෙරෙහි නො ඇලෙයි. නො කිපෙයි. ඉන්‍ද්‍රකීලය ද තමන් මතු පිට මලමූ ඈ කළ ද සුවඳ මලින් පිදු ව ද කිසිවකු කෙරෙහි නො ඇලෙයි. නො කිපෙයි. එමෙන් රහතුන් වහන්සේ ද තමාට සිවුපසය පිදූව යි කියා හෝ, නො පිදුව යි කියා හෝ කිසිවකු කෙරෙහි නො ඇලෙති. නො කිපෙති. රහතුන් වහන්සේ අනුරාධ-විරොධ නැත්තාහ යි වදාළෝ එහෙයිනි.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි නව දහසක් භික්‍ෂූහු සිවු පිළිසැඹියාවන් ලබා රහත් වූහ.
ශාරීපුත්‍රස්ථවිර වස්තුව නිමි.