යස්සින්‍ද්‍රියානි සමථං ගතානි
අස්සා යථා සාරථිනා සුදන්තා
පහීණමානස්ස අනාසවස්ස
දෙවා’පි තස්ස පිහයන්ති තාදිනො.
යමක්හුගේ (චක්‍ෂුරාදි) සයිඳුරෝ දක්‍ෂ රියදුරක්හු විසින් මොනොවට දමනය කරන ලද අජානේය අශ්වයන් මෙන් ශමථයට ගියෝ ද (නිපොපි බවට පැමිණියෝ ද), ප්‍රහීණ වූ මන් ඇති, ආස්‍රව රහිත වූ, අට ලෝදහමින් නො සැලෙන, ඒ රහත්හුගේ දැක්ම දෙවියෝ ද (මිනිස්සු ද) කැමැති වන්නාහ.
ස්වාමිදරු වූ සම්බුදුරජානන් වහන්සේ එක් අවස්ථාවෙක මහාපවාරණ දිනයෙහි මිගාරමාතෘ ප්‍රාසාදයෙහි යට මාලයෙහි මහාශ්‍රාවක ගණයා පිරිවරා වැඩ හුන් සේක. ඒ කාලයෙහි මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ අවන්තී නගරයෙහි වැඩ විසූහ. උන්වහන්සේ දහම් දෙසන දවස්හි මිනිස්සු ඉතා දුර සිට ද අවුත් බණ අසති. එහෙයින් සෙසු තෙරවරු මහාකාත්‍යායන යන ස්ථවිරයන් වහන්සේට අසුනක් තබා ම වැඩ හිඳින සේක. දිනෙක සක්දෙව් තෙමේ දෙදෙව්ලොව දෙවියන් පිරිවරා අවුත් දිවගඳ මලින් බුදුරජුන් පුදා සිටියේ මහාකාත්‍යායන තෙරුන් නො දැක “කුමක් නිසා මාගේ පින්වතුන් වහන්සේ මෙහි නො වෙත් ද, වඩින සේක් ද, වඩින සේක් නම් යහපතැ” යි සිතී ය. එසේ සිතත් ම උන්වහන්සේ එහි වැඩ තම අසුන්හි වැඩ හිඳ තමන් හිඳිනු දැක් වූහ. සක්දෙව් තෙමේ තෙරුන් දැක ඉදිරියට ගොස්, තෙරුන්ගේ ගොප් ඇට බදා ගෙණ, “අනේ! මාගේ පින්වතුන් වහන්සේ වැඩි සේක, මම ඔබතුමන් වහන්සේ මෙහි වඩිති යි බලාපොරොත්තු වීමි” යි ගඳින් මලින් පුදා පසෙකට වී සිටියේ ය.
එවිට සෙසු භික්‍ෂූන් වහන්සේලා “සක්දෙව් රජ, වැඩ කරන්නේ දෙන්නේ පුදන්නේ මුණ බලා ය, යහළුකමට ය, මේ මහාගිනිකඳු සේ බබලන මහාශ්‍රාවකයන්ට මෙබඳු ගරු සැලකිලි නො කොට මහාකාත්‍යායන තෙරුන් දැක වහා ගොස් ගොස් ඇට ගෙණ අනේ! යහපත! පින්වතුන් වහන්සේ වැඩිය එක, මම පින්වතුන් වහන්සේ වඩින තුරු මග බලා සිටියෙමි, යි ඉදිරියට ගොස් දෙ අතින් පා මිරිකා පුදා වැඳ සිටියේ ය, සක්දෙව්රජුගේ මේ ක්‍රියාව කොතරම් අයුතු දැ” යි කියන්නට වූහ. බුදුරජානන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාගේ මේ කතාව අසා “මහණෙනි! තමුසේලාගේ අදහසත් කතාවත් වැරදි සහිත ය, මහාකාත්‍යායන තැන වැනි හික්ම වූ ඉඳුරන් ඇති වැසූ ඇස් කන් නාස් ඈ දොරටු ඇති මහණහු දෙවියන්ට, යකුන්ට, රකුසන්ට, මිනිසුන්ට, යන හැම කෙනකුන්ට ප්‍රිය වෙති” යි වදාරා අනුසන්‍ධි ගළපා මේ ධර්‍මදේශනාව කළ සේක:
යස්සින්‍ද්‍රියානි සමථං ගතානි
අස්සා යථා සාරථිනා සුදන්තා,
පහීණමානස්ස අනාසවස්ස
දෙවාපි තස්ස පිහයන්ති තාදිනොති.
රියැදුරු විසින් හික්ම වූ අසුන් සේ යමකුගේ ඉන්‍ද්‍රියයෝ දැමුනු බවට ගියෝ ද, ප්‍රහීණ වූ මානය ඇති ආස්‍රව රහිත වූ තාදී වූ උන්වහන්සේ ගේ (දැක්ම) දෙවියෝ ද පතන්නාහ.
යස්සඉන්‍ද්‍රියානි සමථංගතානි = යමක්හුගේ ඉන්‍ද්‍රියයෝ හික්මීමට ගියාහු (ද)
‘යස්ස’ යනු රහතුන් වහන්සේ සඳහා ය. ඉන්‍ද්‍රිය නම් ඇස් - කන් - නාස් ආදි තැන්ය. [1] ‘ සමථං ගතානි’ යන මෙයින් ඒ ඉන්‍ද්‍රියයන්ගේ සන්සිඳීම, හික්මීම කියවේ. රූප-ශබ්දාදී අරමුණු වල, ඉෂ්ටානිෂ්ටභාවයෙන් සිතෙහි පහළ වන රාගද්වේෂාදීනට ඉපදීමට ඉඩ නො ලැබෙන පරිදි චක්‍ෂුරාදි ඉන්‍ද්‍රියයන්ගේ සංවරය ‘ ඉන්‍ද්‍රියසමථ’ නමි. හික්ම වූ ඉඳුරන් ඇති රහතුන් වහන්සේ ඉෂ්ට වූත් අනිෂ්ට වූත් කිසි අරමුණෙක රාගය වත් ද්වේෂය වත් නො උපදවන සේක. හැම තැන එක හැටියෙන් පවත්නා සේක. නො හික්මුනු ඉඳුරන් ඇත්තහුටමය ඉටු අනිටු අරමුණු වල රාග ද්වේෂ පහළ වනුයේ.
අස්සා යථා සාරථිනා සුදන්තා = රියැදුරු විසින් මනා කොට දැමූ අසුන් සේ.
මැනැවින් දැමූ භික්ම වූ අශ්වයෝ ම වැඩෙහි යෙදීමට සුදුසු වෙති. එහෙයින් රියැදුරන් විසින් වැඩෙහි යොදන්නට කලින් අශ්වයෝ තළා පෙළා නිසි සේ හික්මවනු ලබති. එය කළයුත්තේ දක්‍ෂ රථාචාර්‍ය්‍යයන් විසින් ය. නො හික්මුනු අසකු රියෙහි යෙදුයේ නම්, එයින් වනුයේ මරණය හෝ එතරම් දුකෙක. එමෙන් නො හික්මුනු ඉඳුරන් ඇත්තේ, නො හික්මුනු ඉඳුරන් නිසා එයට වැඩිතරම් වූ බලගතු දුක්වලට පැමිණෙන්නේ ය. ඒ දුකට පත්වීම එක් අත්බවෙක පමණක් වන්නේ නො වේ. සසර උපදින හැම අත්බවෙක ඒ වන්නේ ය. ඉඳුරන් හික්මවන තුරු ම වන්නේ ය. එහෙයින් මේ වග දත් නුවණැත්තෝ සිය ඉඳුරන්, තමන් පිළිබඳ ඇස්-කන්-නාස් ආදිය, ධර්‍මය ලෙසින් හික්මවති. දමනය කරති. එසේ ධර්‍මය ලෙසින් හොදට හික්මුනු ඉඳුරන් ඇත්තෝ ම ය, දෙව් මිනිස් බඹ යක් රකුස් ආදී හැම කෙනෙකුන්ගේ ම වැඳුම් පිදුම් පැහැදුම් වලට පාත්‍ර වන්නෝ. ඔවුන්ගේ සිත් ගන්නෝ.
පහීණමානස්ස = පැහූ මන් ඇති [2]
අනාසවස්ස = ආස්‍රව රහිත වූ [3]
දෙවා අපි = දෙවියෝ ද [4]
මෙහි අපි’ ශබ්දය විසින් බ්‍රහ්ම මනුෂ්‍ය යක්‍ෂ රාක්‍ෂසාදී අන්‍ය සත්ත්‍වයෝ ද සංග්‍රහ කරණු ලැබෙති. එහෙයින් දෙවියන්ට පමණක් නොව හැම සත්ත්‍වයනට ම ප්‍රියහ රහතුන් වහන්සේ.
තස්ස = ඒ රහතුන් වහන්සේගේ
‘පහීණමානස්ස අනාසවස්ස’ යන දෙපදය හා පහත පෙණෙන ‘ තාදිනො’ යනුත් මෙයට විශේෂණ ව සිටියේ ය. එහෙයින් ඒ පද සියල්ල එකතු වූ විට, ‘පැහූ මන් ඇති ආස්‍රව රහිත වූ තාදී වූ රහතුන් වහන්සේගේ’ යන අර්‍ත්‍ථය මතුව එන්නේ ය. එහිලා ‘දැක්ම’ යන්න අතින් හෙලා අරුත් ගත යුතු ය.
පිහයන්ති = පතත්. කැමති වෙත්. බලාපොරොත්තු වෙත්.
තාදිනො = තාදී වූ. එක හැටි වූ. නො වෙනස් වූ.
තාදී ගුණය කියා පාන බණපොත පැණ විසඳුම් විසින් එය මෙසේ කියා පාන්නේ ය.
‘පංචහි ආකාරෙහි තාදී’ පස් අයුරකින් තාදී සේක රහතුන් වහන්සේ.
‘කථං ඉට්ඨානිට්ඨෙ තාදී?’ ඉටු අනිටු ලැබුම් වල කෙසේ තාදී සේක් ද, රහතුන් වහන්සේ?
‘ලාභෙපි තාදී’ ඉටු ලැබුම්හි, සිත් ගන්නා ලැබුම්හි, ඇස් කන් නාස් ඈ ඇද ගන්නා ලැබුුම්හි, සිවුපසය ලැබුම්හි තාදී සේක. එක හැටි සේක. නො වෙනස් සේක රහතුන් වහන්සේ.
‘අලාභෙපි තාදී’ ඉටු ලැබුම් නො ලැබුමෙහි, සිත් ගන්නා ලැබුම් නො ලැබුමෙහි, ඇස් කන් නාස් ඈ ඇද ගන්නා ලැබුම් නො ලැබුමෙහි, සිවුපසය නො ලැබුමෙහි තාදී සේක. එක හැටි සේක. නො වෙනස් සේක රහතුන් වහන්සේ.
‘යසෙපි තාදී’ හිතමිතුරු නෑ සියන් ලැබුමෙහි, හිත මිතුරු නෑසියන් පිරිවරා ගැණුමෙහි තාදී සේක. එක සැටි සේක. නො වෙනස් සේක රහතුන් වහන්සේ.
‘අයසෙපි තාදී’ හිතමිතුරු නෑ සියන් විපතෙහි, හිත මිතුරු නෑ සියන් වැටුමෙහි තාදී සේක. එක සැටි සේක. නො වෙනස් සේක රහතුන් වහන්සේ.
‘පසංසායපි තාදී’ හිතමිතුරු නෑ සියන් ගුණ වැණුමෙහි, හිතමිතුරු නෑ සියන් ගුණ කියුමෙහි, තමන් ගුණ වැණුමෙහි, කියුමෙහි තාදී සේක. එක සැටි සේක. නො වෙනස් සේක රහතුන් වහන්සේ.
‘නින්දායපි තාදී’ හිතමිතුරු නෑසියන් හා තමන් ගැරහුමෙහි, බැණුමෙහි තාදී සේක. එක හැටි සේක. නො වෙනස් සේක රහතුන් වහන්සේ.
‘සුඛෙපි තාදී’ කය පිළිබඳ සැපයෙහි, කය පිළිබඳ සැනසුමෙහි, කය පිළිබඳ මහත්ත්‍වයෙහි, තාදී සේක. එක සැටි සේක. නො වෙනස් සේක රහතුන් වහන්සේ.
‘දුක්ඛෙපි තාදී’ කය පිළිබඳ දුකෙහි, කය පිළිබඳ ගැටුමෙහි, කය පිළිබඳ පිරිහුමෙහි තාදී සේක. එක හැටි සේක. නො වෙනස් සේක රහතුන් වහන්සේ.
මෙසේ මාගේ බුදුරජානන් වහන්සේ මේ ලාභාලාභදියෙහි තාදී වන බැවින් එක හැටි වන බැවින් නො වෙනස් වන බැවින් නො කැපෙන බැවින් නො සැලෙන බැවින් නා වෙවුලන බැවින් කෙනෙක් එක් බාහුවක් එක් අතක් සිවු දෑගඳින් ආලේප කරත් ද, කෙනෙක් එක් බාහුවක් එක් අතක් වෑයෙන් සැස තුනී කෙරෙත් ද, සිවු දෑගඳ අලෙව් දුන්නහු කෙරෙහි ස්නේහයත්, වෑයෙන් සැස තුනී කළහු කෙරෙහි කෝපයත් නො උපදවන්නෝ ය. ස්නේහයත් නො උපදනේ ය. කෝපයත් නො උපදනේ ය. ඒ දෙතැන් හි ම උන්වහන්සේ ස්නේහයත් දුරු කළෝ ය. කෝපයත් දුරු කළෝ ය. ස්නේහවශයෙන් අනුග්‍රහයත් ප්‍රතිඝවශයෙන් නිග්‍රහයත් ඉක්මවා සිටියෝ ය. හැම සංස්කාරයන් කෙරෙහි ම රහතුන් වහන්සේ සමව සිටින සේක. නො වෙනස් සේක. නො සැලෙන
සේක. ඒ මේ දේශනාව:- “එකච්චෙ බාහං ගන්‍ධෙන ලිමෙපය්‍යුං, එකච්චෙ බාහං වාසියා තච්ඡෙය්‍යුං අමුකස්මිං නත්‍ථි රාගො අමුකස්මිං නත්‍ථි පටිඝං, අනුනයපටිඝවිප්පහීණො උග්ඝාති නිගඝාති වීතිවත්තො අනුරොධවිරොධං සමතික්කන්තො එවං ඉට්ඨානිට්ඨෙ තාදී” යනු.
‘කථං චත්තාවීති තාදී?’ කෙසේ කෙලෙස් බැහැර කළ සේක් තාදී සේක් ද, රහතුන් වහන්සේ?
“භගවතා රාගො චත්තො වන්තො මුත්තො පහීණො පටිනිස්සට්ඨො, දොසො මොහො කොධො උපනාහො මක්ඛො පලාසො ඉස්සා මච්ඡරියං මායා සාඨෙය්‍යං ථම්භො සාරම්භො මානො අතිමානො මදො පමාදො, සබ්බෙ කිලෙසා සබ්බෙ දුච්චරිතා සබ්බෙ පරිළාහා සබ්බෙ සන්තාපා සබ්බෙ අකුසලාභි සඞ් ඛාරා චත්තා වන්තා මුත්තා පහීණා පටිනිස්සට්ඨා, එවං චත්තාවීති භගවා තාදී” රාග - දෝස - මෝහ - ක්‍රෝධ - උපනාහ - මක්ඛ - පලාස - ඉස්සා - මච්ඡරිය - මායා - සාඨෙය්‍ය -ථම්භ - සාරම්භ - මාන - අතිමාන - මද - පමාද - සියලු කෙලෙස් - සියලු දුසිරිත් - සියලු දැවිලි - සියලු තැවිලි - සියලු අකුසලසංස්කාර, භාග්‍යවතුන් වහන්සේ විසින් හරන ලදහ. වමාරන ලදහ. ප්‍රහීණ කරණ ලදහ. දුරු කරණ ලදහ. මෙසේ කෙලෙස් බැහැර කළ සේක් තාදී සේක. එක සැටි සේක. නො වෙනස් ක රහතුන් වහන්සේ.
‘කථං තිණ්ණාවීති තාදී?’ කෙසේ සසර ඉක්මවා සිටි සේක් තාදී සේක් ද රහතුන් වහන්සේ?
‘භගවා කාමොඝං තිණ්ණො’ භාග්‍යවතුන් වහන්සේ පංචකාමගුණික රාගය මුළුමනින් තරණය කළ සේක.
‘භගවා භවොඝං තිණ්ණෝ’ භාග්‍යවතුන් වහන්සේ රූපාරූප භවයන්හි ඡන්‍දරාගය හා ධ්‍යනනිකාන්තිය තරණය කළ සේක.
‘භගවා දිට්ඨොඝං තිණ්ණො’ භාග්‍යවතුන් වහන්සේ ශාස්වත දෘෂ්ටි ආදිය හා එක්ව ගිය භවප්‍රාර්‍ත්‍ථනාව තරණය කළ සේක.
‘භගවා අවිජ්ජෝඝං තිණ්ණො’ භාග්‍යවතුන් වහන්සේ සිවුසස් දහම්හි නො දැන්මය යි කියූ අවිජ්ජෝඝය තරණය කළසේක.
‘භගවා සබ්බං සංසාරපථං තිණ්ණො උත්තිණ්ණො නිත්තිණ්ණො අතික්කන්තො සමතික්කන්තො වීතිවත්තො’ භාග්‍යවතුන් වහන්සේ සියලු සසරමග ප්‍රථම මාර්‍ග වශයෙන් තරණය කළ සේක. ද්වීතීයමාර්‍ග වශයෙන් උත්තරණය කළ සේක. තෘතීය මාර්‍ග වශයෙන් අතික්‍රමණය කළ සේක. චතුර්‍ත්‍ථමාර්‍ග වශයෙන් සමතික්‍රමණය කළ සේක. ඵල වශයෙන් ව්‍යතික්‍රමණය කළසේක.
‘සො වුත්‍ථවාසො’ ඒ භාග්‍යවතුන් වහන්සේ දශවිධ ආර්‍ය්‍යය වාසයෙහි විසූ වස් ඇති සේක.
‘විණ්ණචරණො’ ඒ භාග්‍යවතුන් වහන්සේ සීලය හා අෂ්ටවිධ සමාපත්තියෙහි පුරුදු කළ වස් ඇති සේක.
‘ගතද්ධො’ ඒ භාග්‍යවතුන් වහන්සේ සසරමග ඉක්ම වූ සේක.
‘ගතදිසො’ ඒ භාග්‍යවතුන් වහන්සේ සිහිනෙනුදු නො ගිය විරූ නිවන් දෙසට වැඩිය සේක.
‘ගතකොටි’ ඒ භාග්‍යවතුන් වහන්සේ අනුපාදිශේෂනිර්‍වාණ කොටියට ගොස් සිටි සේක.
‘පාලිතබ්‍රහ්මචරියො’ ඒ භාග්‍යවතුන් වහන්සේ රැකි බඹසර ඇති සේක.
‘උත්තමදිට්ඨිප්පත්තො’ ඒ භාග්‍යවතුන් වහන්සේ උත්තම සම්‍යක්දෘෂ්ටියට පැමිණි සේක.
‘භාවිතමග්ගො’ ඒ භාග්‍යවතුන් වහන්සේ වැඩූ මග ඇති සේක.
‘පහීණකිලෙසා’ ඒ භාග්‍යවතුන් වහන්සේ පැහූ කෙලෙස් ඇති සේක.
‘පටිවිද්ධාකුප්පො’ ඒ භාග්‍යවතුන් වහන්සේ නො සැලෙන රහත් පලය පිළිවිද දැන සිටි සේක.
‘සච්ඡිකතනිරොධො’ ඒ භාග්‍යවතුන් වහන්සේ සංස්කාර නිරෝධය වූ නිවන ප්‍රත්‍යක්‍ෂ කොට සිටි සේක.
‘දුක්ඛං තස්ස පරිඤ්ඤාතං’ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් තෙ වැදෑරුම් දුක මොනවට ඉක්මවා පිරිසිඳ දන්නා ලද්දේ ය.
‘සමුදයො පහීණො’ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දුක්ඛ සමුදය ප්‍රහීණ කරණ ලද්දේ ය.
‘මග්ගො භාවිතො’ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දුක් ගෙවීමේ මග වඩන ලද්දේ ය.
‘නිරොධො සච්ඡිකතො’ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් නිරෝධසඞ්ඛ්‍යාතනිර්‍වාණය සාක්‍ෂාත් කරණ ලද්දේ ය.
‘අභිඤ්ඤෙය්‍යං අභිඤ්ඤාතං’ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ස්වභාවලක්‍ෂණාවබෝධ වශයෙන් මැනැවින් දතයුතු දෙය අධික වූ ප්‍රඥාවෙන් දක්නා ලද්දේ ය.
‘පරිඤ්ඤෙය්‍යං පරිඤ්ඤාතං’ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් සාමාන්‍ය ලක්‍ෂණාවබෝධ වශයෙන් කෘත්‍යසමාපන්න වශයෙන් ඉතිරි නො කොට දත යුත්ත හාත්පසින් දන්නා ලද්දේ ය.
‘පහාතබ්බං පහීණං’ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් සමුදය පාක්‍ෂික වූ කෙලෙස්, පහාණපරිඤ්ඤාවෙන් දැන ප්‍රහීණ කරන්න ලද්දේ ය.
‘භාවෙතබ්බං භාවිතං’ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් වැඩිය යුතු මග වඩන ලද්දේ ය.
‘සච්ඡිකාතබ්බං සච්ඡිකතං’ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් සාක්‍ෂාත් කළ යුතු දහම් සාක්‍ෂාත් කරණ ලද්දේ ය.
‘සො උක්ඛිත්තපලිඝො’ ඒ භාග්‍යවතුන් වහන්සේ හරන ලද අවිදුකණයම ඇති සේක.
‘සඞ්කිණ්ණපරිඛො’ ඒ භාග්‍යවතුන් වහන්සේ සුණු විසුණු කළ කර්‍මාභිසංස්කාර නැමැති පරිඛා ඇති සේක.
‘අබ්බූළ්හෙසිකො’ ඒ භාග්‍යවතුන් වහන්සේ උදුරා දැමූ සසරට මුල් වූ තෘෂ්ණා නැමැති එසිකාස්තම්භ ඇති සේක.
‘නිරග්ගලො’ ඒ භාග්‍යවතුන් වහන්සේ බිඳ හළ කාමභවයෙහි උපතට කරුණු වූ ඕරම්භාගීය සංයෝජන නැමැති අගුල් කණු ඇති සේක.
‘අරියො’ ඒ භාග්‍යවතුන් වහන්සේ පහ වූ කෙලෙස් ඇති බැවින් පිරිසිදු සේක.
‘පන්තද්ධජො’ ඒ භාග්‍යවතුන් වහන්සේ බහා තැබු ඛන්‍ධ කිලේස අභිසඞ්කාරභාර හා කාමගුණභාර ඇති සේක. බහා තැබූ මානභාර ද ඇති සේක.
‘විසඤ්ඤුත්තො’ ඒ භාග්‍යවතුන් වහන්සේ චතුර්විධයෝගයෙන් හා සියලු කෙලෙසුන්ගෙන් වෙන්ව සිටි සේක.
‘පඤ්චඞ්ගවිප්පහීණො’ ඒ භාග්‍යවතුන් වහන්සේ පහ කළ කාමච්ඡන්දාදීපඤ්චඞ්ග ඇති සේක.
‘ඡළඞ්ගමසමන්නාගතො’ ඒ භාග්‍යවතුන් වහන්සේ සදොරට හමු වන රූපාදි අරමුණු කෙරෙහි නගින ප්‍රතිඝානුනය දුරු කොට උපේක්‍ෂා වශයෙන් සමෘතිමත් ව සම්පජාන ව විසීම් විසින් ෂඩඞ්ග පුරා සිටි බැවින් ඡළඞ්ගසමන්නාගත සේක.
‘එකාරක්ඛො’ ඒ භාග්‍යවතුන් වහන්සේ සිහි රැකුම් විසින් එක් උතුම් රැකුමක් ඇති සේක.
‘චතුරපස්සෙනො’ ඒ භාග්‍යවතුන්වහන්සේ ප්‍රඥාවෙන්, පටිසේවන - පරිවජ්ජන - විනෝදන - පජහන යන මොවුන්ගේ වසයෙන් ඔබිනොබ නො පෙරළෙන චතුර්විධාපාශ්‍රය ඇති සේක.
‘පනුන්නපච්චෙකසච්චො’ ඒ භාග්‍යවතුන් වහන්සේ බැහැර කරණ ලද ‘මේ ම සැබව, මේ ම සැබව’ යි ගත් ප්‍රත්‍යෙකසඞ්ඛ්‍යාත දෘෂ්ටිසත්‍යය ඇති සේක.
‘සමවයසට්ඨෙසනො’ ඒ භාග්‍යවතුන් වහන්සේ මොනවට හැර දැමු සියලු සොයා බැලුම් ඇති සේක.
‘අනාවිලසඞ්කප්පො’ ඒ භාග්‍යවතුන් වහන්සේ නො කැළඹුනු සම්‍යක් කල්පනා ඇති සේක.
‘පස්සද්ධකායසඞ්ඛාරො’ ඒ භාග්‍යවතුන් වහන්සේ සන්සිඳ වූ කායසංස්කාර ඇති සේක.
‘සුවිමුත්තචිත්තො’ ඒ භාග්‍යවතුන් වහන්සේ මොනවට මිදුනු සිත් ඇති සේක.
‘සුවිමුත්තපඤඤෝ’ ඒ භාග්‍යවතුන් වහන්සේ මොහඳුරෙන් මොනවට මිදුනු නුවණැති සේක.
‘කෙවලී’ ඒ භාග්‍යවතුන් වහන්සේ ශීලසමාද්ධ්‍යාදි මහත් ගුණයෙන් පිරිපුන් සේක.
‘චුසිතවා’ ඒ භාග්‍යවතුන් වහන්සේ වැසූ බඹසර ඇති සේක් ආර්‍ය්‍යමාර්‍ගයෙහි හා දශවිධ ආර්‍ය්‍යවාසයෙහි විසීම් ඇති සේක.
‘උත්තමපුරිසො’ ඒ භාග්‍යවතුන් වහන්සේ ක්‍ෂය කළ කෙලෙස් ඇති බැවින් ආජන්‍යපුරුෂ සේක.
‘පරමපුරිසො’ ඒ භාග්‍යවතුන් වහන්සේ අත්බව්හි දොස් දැන විදසුනට පිවිසීම් වසයෙන් පරමපුරුෂ සේක.
‘පරමප්පත්තිපපත්තො’ ඒ භාග්‍යවතුන් වහන්සේ අමෘතප්‍රතිලාභයට පැමිණි බැවින් පරමප්පත්තිපත්ත සේක.
‘සො නෙවාචිනාති න අපචිනාති අපචිනිත්‍වා ඨිතො’ ඒ භාග්‍යවතුන් වහන්සේ කුසල් අකුසල් ප්‍රහීණ කොට සිටි බැවින්, ඔවුන්ගේ විපාකයන් නො ද රැස් කරණ සේක. ඵලයෙහි පිහිටි බැවින්, නො ද නසන සේක. ප්‍රතිප්‍රශ්‍රබ්ධිප්‍රහාණයෙහි සිටි බැවින් කෙලෙස් නසා සිටි සේක.
‘සො නෙව පජහති න උපාදියති පජහිත්‍වා ඨිතො’ ඒ භාග්‍යවතුන් වහන්සේ හැරිය යුත්තක් නැති බැවින් කෙලෙස් නො ද දුරු කරණ සේක. තෘෂ්ණාමානදෘෂ්ටි විසින් ගත යුත්තක් නො වන බැවින් නො ද ගන්නා සේක. ඒ හැම එකක් දුරු කොට සිටි සේක.
‘සො නෙව සංසිබ්බති න විසිනෙති විසිනෙත්‍වා ඨිතො’ ඒ භාග්‍යවතුන් වහන්සේ තෘෂ්ණා විසින් කිසිත් නො ද අවුණන සේක. මාන විසින් උසස් කොට නො ද දක්වන සේක. තෘෂ්ණාවෙන් ආවුණනය නො කොට සිටි සේක.
‘සො නෙව විධූපෙති න සන්‍ධූපෙති විධූපෙත්‍වා ඨිතො’ ඒ භාග්‍යවතුන් වහන්සේ කෙලෙස් ගිනි නො ද නිවන සේක. කෙලෙස් ගිනි නො ද දල්වන සේක. කෙලෙස් ගිනි මුළුමනින් නිවා සිටි සේක.
‘අසෙක්ඛෙන සීලක්ඛන්‍ධෙන සමන්නාගතත්තා ඨිතො’ ඒ භාග්‍යවතුන් වහන්සේ හික්මිය යුත්තක් නැති බැවින් අශෛක්‍ෂ්‍ය වූ ශීලස්කන්‍ධයෙන් යුක්ත බැවින් සිටි සේක.
‘අසෙක්ඛෙන සමාධික්ඛන්‍ධෙන සමන්නාගතත්තා ඨිතො’ ඒ භාග්‍යවතුන් වහන්සේ අශෛක්‍ෂ්‍ය වූ සමාධිස්කන්‍ධයෙන් යුක්ත බැවින් සිටි සේක.
‘ අසෙක්ඛෙන පඤ්ඤාක්ඛන්‍ධෙන සමන්නාගතත්තා ඨිතො’ ඒ භාග්‍යවතුන් වහන්සේ අශෛක්‍ෂ්‍ය වූ ප්‍රඥාස්කන්‍ධයෙන් යුක්ත බැවින් සිටි සේක.
‘ අසෙක්ඛෙන විමුත්තික්ඛන්‍ධෙන සමන්නාගතත්තා ඨිතො’ ඒ භාග්‍යවතුන් වහන්සේ අශෛක්‍ෂ්‍ය වූ විමුක්තිස්කන්‍ධයෙන් යුක්ත බැවින් සිටි සේක.
‘ අසෙක්ඛෙන විමුක්තිඤාණදස්සනක්ඛන්‍ධෙන සමන්නාගතත්තා ඨිතො’ ඒ භාග්‍යවතුන් වහන්සේ අශෛක්‍ෂ්‍ය වූ විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධයෙන් යුක්ත බැවින් සිටි සේක.
‘සච්චං සම්පටිපාදයිත්‍වා ඨිතො’ ඒ භාග්‍යවතුන් වහන්සේ චතුරාර්‍ය්‍යසත්‍යය ස්වභාව වශයෙන් සිය සතන්හි සපයා පිළිවිදැ සිටි සේක.
‘එජං සමතික්කමිත්‍වා ඨිතො’ ඒ භාග්‍යවතුන් වහන්සේ තෘෂ්ණාව මුළුමනින් ඉක්මවා සිටි සේක.
‘කිලෙසග්ගිං පරියාදියිත්‍වා ඨිතො’ ඒ භාග්‍යවතුන් වහන්සේ රාගාදී කෙලෙස් ගිනි නසා සිටි සේක.
‘අපරිගමනතාය ඨිතො’ ඒ භාග්‍යවතුන් වහන්සේ නැවැත සසර නො ද ඉපැදෙන බැවින් සිටි සේක.
‘නයං සමාදාය ඨිතො’ ඒ භාග්‍යවතුන් වහන්සේ නයක්‍රම ගෙණ සිටි සේක.
‘මුත්ත පටිසෙවනතාය ඨිතො’ ඒ භාග්‍යවතුන් වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් මිදී රූපාදි අරමුණු විසින්, නොහොත් සියලු කෙලෙසුන්ගෙන් මිදුනු පලසමවත් විඳිම් වසයෙන් සිටි සේක.
‘මෙත්තාය පාරිසුද්ධියා ඨිතො’ ඒ භාග්‍යවතුන් වහන්සේ උපක්ලේශයන්ගෙන් මිදුනු පිරිසිදුබව්හි සිටි මෛත්‍රියෙන් යුක්ත ව සිටි සේක.
‘කරුණාය පාරිසුද්ධියා ඨිතො’ ඒ භාග්‍යවතුන් වහන්සේ උපක්ලේශයන්ගෙන් මිදුනු පිරිසිදුබව්හි සිටි කරුණාවෙන් යුක්ත ව සිටි සේක.
‘මුදිතාය පාරිසුද්ධියා ඨිතො’ ඒ භාග්‍යවතුන් වහන්සේ උපක්ලේශයන්ගෙන් මිදුනු පිරිසිදුබව්හි සිටි මුදිතාවෙන් යුක්ත ව සිටි සේක.
‘උපෙක්ඛාය පාරිසුද්ධියා ඨිතො’ ඒ භාග්‍යවතුන් වහන්සේ උපක්ලේශයන්ගෙන් මිදුනු පිරිසිදුබව්හි සිටි උපේක්‍ෂාවෙන් යුක්ත ව සිටි සේක.
‘ අච්චන්තපාරිසුද්ධියා ඨිතො’ ඒ භාග්‍යවතුන් වහන්සේ කෙළවර ඉක්මවා සිටි පිරිසිදු බැවින්, පිරිසිදුබව්හි කෙළවරට පැමිණ සිටි සේක.
‘අතම්මයතාය පාරිසුද්ධියා ඨිතො’ ඒ භාග්‍යවතුන් වහන්සේ තෘෂ්ණා - දෘෂ්ටි - මානයන්ගේ අභාවයෙන්, පිරිසිදුබව්හි සිටි, තෘෂ්ණා දෘෂ්ටි මාන විරහිත භාවයෙන් යුක්ත ව සිටි සේක.
‘විමුත්තත්තා ඨිතො’ ඒ භාග්‍යවතුන් වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් මිදුනු බැවින් සිටි සේක.
‘සන්තුස්සිත්තා ඨිතො’ ඒ භාග්‍යවතුන් වහන්සේ යථාලාභ - යථාබල - යථාසාරුප්ප සන්තොස විසින් සතුටුබව්හි සිටි සේක.
‘ඛන්‍ධපරියන්තෙ ඨිතො’ ඒ භාග්‍යවතුන් වහන්සේ ත්‍රිවිධ පරිඥාවන් කරණ කොට එක-චතු-පංචසක්ඛන්‍ධයන්ගේ අවසානයෙහි සිටි සේක.
‘ධාතුපරියන්තෙ ඨිතො’ ඒ භාග්‍යවතුන් වහන්සේ ත්‍රිවිධ පරිඥාවන් කරණ කොට අෂ්ටාරශ ධාතුන්ගේ කෙළවර සිටි සේක.
‘ආයතනපරියන්තෙ ඨිතො’ ඒ භාග්‍යවතුන් වහන්සේ ත්‍රිවිධ පරිඥාවන් කරණ කොට ද්වාදශායතනයන්ගේ කෙළවර සිටි සේක.
‘ගතිපරියන්තෙ ඨිතො’ ඒ භාග්‍යවතුන් වහන්සේ ත්‍රිවිධ පරිඥාවන් කරණ කොට නිරයාදි පංචවිධගතීන්ගේ කෙළවර සිටි සේක.
‘උප්පත්තිපරියන්තෙ ඨිතො’ ඒ භාග්‍යවතුන් වහන්සේ ත්‍රිවිධ පරිඥාවන් කරණ කොට සුගති දුග්ගතීන්හි කෙළවර සිටි සේක.
‘පටිසන්‍ධිපරියන්තෙ ඨිතො’ ඒ භාග්‍යවතුන් වහන්සේ ත්‍රිවිධ පරිඥාවන් කරණ කොට කාම-රූප-අරූපප්‍රතිසන්‍ධීන්හි කෙළවර සිටි සේක.
‘භවපරියන්තෙ ඨිතො’ ඒ භාග්‍යවතුන් වහන්සේ ත්‍රිවිධ පරිඥාවන් කරණ කොට එකවොකාරාදි භවයන්ගේ කෙළවර සිටි සේක.
‘සංසාරපරියන්තෙ ඨිතො’ ඒ භාග්‍යවතුන් වහන්සේ ත්‍රිවිධ පරිඥාවන් කරණ කොට ස්කන්‍ධ ධාතු ආයතනයන්ගේ නො සිඳ පැවැත්මෙහි කෙළවර සිටි සේක.
‘වට්ටපරියන්තෙ ඨිතො’ ඒ භාග්‍යවතුන් වහන්සේ ත්‍රිවිධ පරිඥාවන් කරණ කොට කර්‍ම - ක්ලේශ -විපාක වෘත්තයන්ගේ කෙළවර සිටි සේක.
‘අන්තිම භවෙ ඨිතො’ ඒ භාග්‍යවතුන් වහන්සේ ත්‍රිවිධ පරිඥාවන් කරණ කොට අවසාන උත්පත්ති භවයෙහි සිටි සේක.
‘අන්තිමෙ සමුස්සයෙ ඨිතො’ ඒ භාග්‍යවතුන් වහන්සේ ත්‍රිවිධ පරිඥාවන් කරණ කොට අවසන් සිරුරෙහි සිටි සේක.
‘අන්තිමදෙහධරො භගවා’ ඒ භාග්‍යවතුන් වහන්සේ අවසන් සිරුර දරන බැවින් අන්තිමදේහධර සේක.
“තස්සායං පච්ඡිමකො චරිමායං සමුස්සයො,
ජාතිමරණසංසාරො නත්‍ථි තස්ස පුනබ්භවො”
ඒ රහතුන් වහන්සේගේ මේ ආත්මභාවය අවසාන ආත්මභාවය වේ. උන්වහන්සේ පිළිබඳ ජාතිමරණ සංසාර සඞ්ඛ්‍යාත පුනර්‍භවයෙක් නැත්තේ ය.
‘එවං භගවා තිණ්ණාවීති තාදී’ මෙසේ භාග්‍යවතුන් වහන්සේ සසර තරණය කළෝ තාදී සේක.
‘කථං භගවා මුත්තාවීති තාදී’ භාග්‍යවතුන් වහන්සේ රාගාදීයෙන් මිදීම් ඇත්තෝ කෙසේ තාදී සේක් ද?
“භගවතො චිත්තං රාගා දොසා මොහා කොධා උපනාහා මක්ඛා පලාසා ඉස්සාය මච්ඡරියා මායාය සාඨෙය්‍යා ථම්භා සාරම්භා මානා අතිමානා මදා පමාදා සබ්බකිලෙසෙහි සබ්බදුච්චරිතෙහි සබ්බදරථෙහි සබ්බපරිළාහෙහි සබ්බසන්තාපෙහි සබ්බාකුසලාභිසඞ්ඛාරෙහි මුත්තං, විමුතතං, සුවිමුත්තං” භාග්‍යවතුන් වහන්සේගේ සිත රාගයෙන් දෝසයෙන් මෝහයෙන් ක්‍රෝධයෙන් බද්ධාඝාතයෙන් මක්ඛයෙන් ප්ලාසයන් ඊර්‍ෂ්‍යාවෙන් මාත්සර්‍ය්‍යයෙන් මායාවෙන් සාඨෙය්‍යයෙන් ථම්භයෙන් මානයෙන් අතිමානයෙන් මදයෙන් ප්‍රමාදයෙන් සියලු කෙලෙසුන්ගෙන් සියලු දුසිරිතයෙන් සියලු දරථයෙන් සියලු පරිදාහයෙන් සියලු සන්තාපයෙන් සියලු අකුශලසංස්කාරයෙන් මිදුනේ ය. වෙසෙසින් මිදුනේ ය. මොනවට වෙසෙසින් මිදුනේ ය.
‘එවං භගවා මුත්තාවීති තාදි’ මෙසේ භාග්‍යවතුන් වහන්සේ රාගාදියෙන් මිදුනෝ තාදී සේක.
‘කථං භගවා තන්තිද්දෙසා? භාග්‍යවතුන් වහන්සේ ඒ ඒ ශීලශ්‍රද්ධාදියෙන් නිදෙස නිදෙසා කිය යුතු බැවින් ඒ හා සදෘශ්‍ය වූවෝ කෙසේ තාදී සේක් ද?
‘භගවා සීලෙ සති සීලවාති තන්නිද්දෙසා තාදී’ භාග්‍යවතුන් වහන්සේ සිල් ඇති කල්හි සිල්වත් යි ඒ ශීලයෙන් නිදෙසුම් ලබන සේක් තාදී සේක.
‘සද්ධාය සති සද්ධොති තන්නිද්දෙසා තාදී’ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රද්ධාව ඇති කල්හි ශ්‍රද්ධාවත් යි ඒ ශ්‍රද්ධායෙන් ප්‍රකාශය ලබන සේක් තාදී සේක.
‘විරියෙ සති විරියවාති තන්නිද්දෙසා තාදී’ භාග්‍යවතුන් වහන්සේ වීර්‍ය්‍යය ඇති කල්හි වීර්‍ය්‍යවත් යි ඒ වීර්‍ය්‍යයෙන් ව්‍යවහාරය ලබන සේක් තාදී සේක.
‘සතියා සති සතිමාති තන්නිද්දෙසා තාදී’ සිහිය ඇති කල්හි භාග්‍යවතුන් වහන්සේ සමෘතීමත් යි ඒ සමෘතියෙන් ලෝකයා ඉදිරියේ පෙනී සිටින සේක් තාදී සේක.
‘සමාධිස්මිං සති සමාහිතොති තන්නිද්දෙසා තාදී’ සමාධිය ඇති කල්හි භාග්‍යවතුන් වහන්සේ සමාහිත යි ඒ සමාධියෙන් ප්‍රකාශයට පැමිණි සේක් තාදී සේක.
‘පඤ්ඤාය සති පඤ්ඤවාති තන්නිද්දෙසා තාදී’ ප්‍රඥාව ඇති කල්හි භාග්‍යවතුන් වහන්සේ ප්‍රඥාවත් යි ඒ ප්‍රඥාවෙන් ලෝකයා අතර පෙනී සිටින සේක් තාදී සේක.
‘විජ්ජාය සති තෙවිජ්ජොති තන්නිද්දෙසා තාදී’ විද්‍යාව ඇති කල්හි භාග්‍යවතුන් වහන්සේ ත්‍රිවිද්‍යා යි ඒ විද්‍යාවෙන් ලෝකයා මැද පෙනී සිටින සේක් තාදී සේක.
‘අභිඤ්ඤාය සති ඡළභිඤ්ඤොති තන්නිද්දේසා තාදී’ අභිඥාවන් ඇති කල්හි භාග්‍යවතුන් වහන්සේ ෂඩභිඥ යි ඒ අභිඥාවන් කරණ කොට ලෝකයෙහි ඉස්මතු ව පෙනෙන සේක් තාදී සේක.
‘දසබලෙ සති දසබලොති තන්නිද්දෙසා තාදී’ දසබලය ඇති කල්හි භාග්‍යවතුන් වහන්සේ දසබල යි ඒ දසබලය කරණ කොට ලොව අබිබවා සිටින සේක් තාදී සේක.
‘එවං භගවා තන්නිද්දෙසා තාදී’ මෙසේ භාග්‍යවතුන් වහන්සේ ඒ ඒ ගුණ කරණ කොට විද්‍යාමාන ගුණ කරණ කොට දෙවියන් සහිත ලෝකයෙහි පෙනී සිටින සේක් තාදී සේක.
‘අසුන් හික්මවීමේ ශාස්ත්‍රය දත් රියැදුරකු විසින් මනා සේ දැමූ හික්ම වූ අසුන් සේ, යම් කිසි රහතුන් වහන්සේ කෙනකුගේ ඇස් - කන් - නාස් ආදි ඉඳුරෝ සන්සිඳීමට ගියෝ ද, හොඳට හික්මුනෝ ද, පැහූ මන් ඇති දුරු කළ ආස්‍රවයන් ඇති තාදී ගුණ යුත් උන්වහන්සේ දෙවියන් සහිත මුළු ලොවට ප්‍රිය වෙති’ යනු අදහස ය.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියෝ ය.
මාහාකාත්‍යායනස්ථවිර වස්තුව නිමි.