යස්සාසවා පරික්ඛීණා ආහාරෙ ච අනිස්සිතො
සුඤ්ඤතො අනිමිත්තො ච විමොක්ඛො යස්ස ගොචරො
ආකාසෙ’ව සකුන්තානං පදං තස්ස දුරන්නයං.
යමක්හුගේ කාමාදි ආස්‍රවයෝ මුළුල්ල ක්‍ෂීණ වූවාහු ද, ආහාරයෙහිත් යමෙක් නො ඇලුනේ ද, (රාගාදියෙන් ශුන්‍ය හෙයිනුත් ඔවුන්හෙන් මිදුණු හෙයිනුත්) සුඤ්ඤත විමොක්ඛ නම්වූ ද, (රාගාදි නිමිති රහිත හෙයිනුත් ඔවුන්ගෙන් මිදුණු හෙයිනුත්) අනිමිත්තවිමෝක්‍ෂ නම් වූ ද නිවන යමකුහට අරමුණු වේ ද, ඒ රහත්හුගේ පිය සටහනක්, අහසැ පක්‍ෂීන්ගේ පිය සටහනක් මෙන්, නො දත හැක්කේ ය.
තැන තැන ඉරී ගොස් දිරුම්කඩට පත් සිවුරක් පොරොවා ගත් අනුරුද්ධ මහාස්ථවිරයන් වහන්සේ, දවසෙක සිවුරක් කර ගණු පිණිස රෙදි කැබලි එකතු කරමින් කුණුගොඩක් පාසා හැසුරුනු සේක. මේ වේලෙහි මේ අත්බවෙන් පෙර තුන්වන අත්බවේ දී උන්වහන්සේට භාර්‍ය්‍යා වූ ස්ත්‍රිය, ජාලිනී, යන නමින් තව්තිසා දෙව්ලොව ඉපද සිටියා ය. ඕ තොමෝ, සිවුරකට රෙදි කැබලි සොයමින් කුණුගොඩක් ගානේ මෙසේ ඇවිදින උන්වහන්සේ දැක තෙළෙස් රියනක් පමණ දික් වූ සතර රියනක් පමණ පළල් වූ දිව්‍යවස්ත්‍ර දෙකක් අතට ගෙණ “මම මේ රෙදිකඩ දෙක මෙලෙසින් ම දෙන්නෙම් නම්, උන්වහන්සේ නො පිළිගණු ඇතැ” යි සිතා, රෙදිකැබලි සොයා, ඇවිදින තෙරුන්ගේ ඉදිරියෙහි වූ කසළ ගොඩෙක රෙදිකොන් පෙණෙන ලෙසට කසළ අස්සේ සඟවා තැබූ ය. උන්වහන්සේ ඒ කුණු ගොඩ අසලින් වඩින සේක්, කුණුගොඩ තුබූ රෙදි කොන් දැක එයට ලං ව කසළ ගොඩින් ඒ ගෙණ බලා “ඒකාන්තයෙන් මෙය උසස් පංසුකූලයෙකැ” යි සලකා වෙහෙරට වැඩි සේක. තෙරුන් වහන්සේ එයින් සිවුරක් කරන්නට පටන් ගත් දවසෙහි බුදුරජානන් වහන්සේ පන් සියයක් දෙනා වහන්සේත් පිරිවරා ගෙණ සිවුර මැසීමට වෙහෙරට වැඩම කොට හුන් සේක.
අසූ මහාශ්‍රාවකයන් වහන්සේලාද ඒ පිණිස ම එහි වැඩියහ. මහසුප් තෙරනුවෝ මුල ද, සැරියුත් තෙරනුවෝ මැද ද, අනඳ තෙරනුවෝ කෙළවර ද වැඩ හුන්හ. සෙසු භික්‍ෂූන් වහන්සේලා නූල් අඹරා දුන්හ. බුදුරජානන් වහන්සේ ඉදිකටුවල නූල් දමා දුන් සේක. මහා මුගලන් තෙරනුවෝ සිවුර මැසීමට උවමනා අනික් හැම දෙයක් සපයා දුන්හ. මේ අතර ඒ දෙව්දු තොමෝ ගමතුළට වැද “බුදුරජානන් වහන්සේ විහාරයෙහි වැඩ හිඳ අසූ මහා ශ්‍රාවකයන් හා ඉන් අන්‍ය ශ්‍රාවකයනුත් පිරිවරා ගෙණ අනුරුද්ධ හාමුදුරුවන්ගේ සිවුර මහන්නාහ, උන්වහන්සේලාට දන් පිළියෙල විය යුතු ය, එහෙයින් කැඳ බත් මාලු පිණි සියල්ලක් උයා පිහා ගෙණ විහාරයට ගෙණ යවු” යි නියම කළා ය. මහමුගලන් තෙරනුවෝ ද දන් වළඳන වේලෙහි ලොකු දඹ ඉරුවක් ගෙනැවිත් භික්‍ෂූන්ට දුන්හ. උන්වහන්සේලා පන්සියයක් පමණ දෙන ඒ වළඳා අවසන් කිරීමෙහි අපොහොසත් වූහ.
සක්දෙව්රජ තෙමේ සිවුර මහන බිම පිරිබඩ කෙළේ ය. එ තැන ලතුදියෙන් රඳන ලද්දක් වැනි විය. භික්‍ෂූන් වළඳා ඉතිරි වූ කැඳ අවුළුපත් බත් මහත් රාශියක් විය. ඒ දුටු භික්‍ෂූන් වහන්සේලා “මෙතෙක් දෙනාහට මෙතරම් කැඳබත් කුමට ය, ප්‍රමාණයක් සලකා, ගෙණ ආ යුතු ය යි නෑයන්ට දායකයන්ට කිය යුතු නො වේ ද, අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ තම නෑයන්ගේ හා දායකයන්ගේ ලොකුකම පෙන්වන්නට මෙසේ කළෝ වනැ” යි හඬ නගා කතා කරන්නට වූහ. එවිට බුදුරජානන් වහන්සේ, “මහණෙනි! කිම; තමුසේලා මේ කැඳබත් ආදිය අනුරුද්ධ තැන විසින් ගෙන්වන ලදැ යි සිතහු දැ” යි අසා වදාළ සේක. “එසේය, ස්වාමීනි!” යි කී කල්හි බුදුරජානන් වහන්සේ “මහණෙනි! එසේ නො සිතවු! එසේ නො කියවු! අනුරුද්ධ තෙමේ එසේ කියන්නෙක් නො වේ, ඒ නම එසේ නො කියයි, නො කරයි, රහත්හු සිවුපසය ගැණ කතා නො කරති, මේ පිණ්ඩපාතය ලැබුනේ දෙවියන්ගේ නියමයට” යි වදාරා අනුසන්‍ධි ගළපා මේ ධර්‍මදේශනාව කළ සේක:
යස්සාසවා පරික්ඛීණා ආහාරෙ ච අනිස්සිතො,
සුඤ්ඤතො අනිමිත්තො ච විමොක්ඛො යස්ස ගොචරො,
ආකාසෙව සකුන්තානං පදන්තස්ස දුරන්තයන්ති.
යමකුගේ ආස්‍රවයෝ ගෙවී ගියෝ ද, ආහාරයේත් නො ඇලුන් වේ ද, යමක්හට සුඤ්ඤත -අනිමිත්ත - අප්පණිහිත නිවන අරමුණු වේ ද, ඔහුගේ පියවර නො දතැකි ය.
යස්ස ආසවා පරික්ඛීණා = යමක්හුගේ ආස්‍රවයෝ ගෙවී ගියෝ ද.
ආස්‍රවයෝ සිවු දෙනෙකි. ‘චත්තාරො ආසවා’ යි ඒ වදාළ සේක. ඔවුහු කවුරුද යත්:- කාමාසව - භවාසව - දිට්ඨාසව - අවිජ්ජාසව යන මොවුහු ය. “කතමෙ තෙ? කාමාසවො භවාසවො දිට්ඨාසවො අවිජ්ජාසවො” යනු පාළිය ය.
එහි ඇස්-කන්-නාස් ආදී සදොරට හමු වන මන වඩන සිත් වඩන රූපාදි අරමුණු නිසා සිතෙහි උපදින ඇල්ම කාමාසව නම් වේ. මේ ඒ දේශනාව:- “තත්‍ථ කතමො කාමාසවො? යො කාමෙසු කාමච්ඡන්දො කාමරාගො කාමනන්‍දි කාමතණ්හා කාමසිනෙහො කාමපරිළාහො කාමමුච්ඡා කාමජ්ඣොසානං අයං වුච්චති කාමාසවො” යනු. රූප ශබ්දාදි පඤ්චවිධ කාම ගුණයන්හි කැමැත්තෙක්, පැතීම් රැඳීම් වසයෙන් කාමරාගයෙක්, කැමැතිවීම් සතුටුවීම් වසයෙන් කාම නන්‍දියක්, කැමැතිවීම් පිණායෑම් වසයෙන් කාමතෘෂ්ණාවක්, කැමැතිවීම් සෙනහකිරීම් වසයෙන් කාම ස්නේහයෙක්, කැමැතිවිම් දැවීම් වසයෙන් කාමපරිළාහයෙක්, කැමැතිවීම් මුසපත්වීම් වසයෙන් කාමමුර්ච්ඡාවක්, කැමැතිවීම් එහි බැස ගැනීම් වසයෙන් කාමජ්ඣෝසානයෙක් වේ ද, එය කාමාසව, යනු ඒ පාළියේ ඉතා කෙටි තේරුම ය. ඉතා කොටින් කිය යුත්තේ, රූප - ශබ්ද - ගන්‍ධ - රස -ස්ප්‍රෂ්ටව්‍ය යන කාමවස්තුන් කෙරෙහි ඇලීම් ගැලීම් බැඳීම් විසින් පැවති ක්ලේශකාමය කාමාසවැ යි කාමවස්තූන් කෙරෙහි පවත්නා ආශාව කාමාසවැ යි.
රූපාරූපභවයන්හි පැවැති ඡන්‍දරාගය හා ධ්‍යානසුඛය පිළිබඳ ඉතා සියුම් තෘෂ්ණාව සේ ගැණෙන ධ්‍යානනිකාන්තිය ද, ශාස්වත දෘෂ්ටිය හා එක් ව හට ගත් රාගය ද භව වශයෙන් පැතීම භවාසව නම්. “රූපාරූපභවෙසු ඡන්‍දරාගො ඣානනිකන්ති සස්සතදිට්ඨිසහජාතො රාගො භවවසෙන පත්‍ථනා භවාසවො නාම” යි එය අටුවාව පැහැදිලි කෙළේ ය. මෙන්න එහි දේසනා පාළිය:- “ තත්‍ථ කතමො භවාසවො? යො භවෙසු භවඡන්‍දො භවරාගො භවනන්‍දි භවතණ්හා භවසිනෙහො භවපරිළාහො භවමුච්ඡා භවජ්ඣොසානං අයං වුච්චති භවාසවො” යනු. රූපාරූපභවයන්හි පැතීම් වසයෙන් යම් ඡන්‍දයෙක්, යම් රාගයෙක්, යම් සතුටෙක්, යම් තෘෂ්ණාවෙක්, යම් ස්නෙහයෙක්, යම් දැවීමෙක්, යම් මුසපත් වීමෙක්, යම් බැස ගැණීමෙක් වේ ද, එය භවාසව නම් වේ යනු එහි යන්තම් සිංහල තේරුම ය.
රූපාදිය, නිත්‍ය-ශුභ-සුඛ-ආත්මාදීන්ගේ වසයෙන් දැක්ම, දිට්ඨාසව නම්. දෙසැට මිසදිටු දිඨාසවැ යි කොටින් දන්නේ ය. මේ එහි දේසනා පාළිය:- “තත්‍ථ කතමො දිට්ඨාසවො? සස්සතො ලොකොති වා, අසස්සතො ලොකොති වා, අන්තවා ලොකොති වා, අනන්තවා ලොකොති වා, තං ජීවං තං සරීරන්ති වා, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති වා, හොති තථාගතො පරම්මරණාති වා, න හොති තථාගතො පරම්මරණාති වා, හොති ච න ච හොති තථාගතො පරම්මරණාති වා, නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වා, යා එවරූපා දිට්ඨි -පෙ- විපරියෙසග්ගාහො අයං වුච්චති දිට්ඨාසවො” යනු. ඉදං සත්‍යාභිනිවේශයට කියූ සේ දන්න.
දුඃඛාදී වූ අට තැන්හි නො දැන්ම අවිජ්ජාසව නම්, ‘අට්ඨසු ඨානෙසු අඤ්ඤාණං අවිජ්ජාසවො නාම’ යන්නෙත් ඒ පැහැදිලිය. සිවු සස්දම් වසාලන අනාත්මස්වභාවාදී වූ ඇති සැටිය වසාලන නො පෙනෙන මෝහයය අවිජ්ජාසව. මේ එහි දේසනා පාළිය:- “තත්‍ථ කතමො අවිජ්ජාසවො? දුක්ඛෙ අඤ්ඤාණං, දුක්ඛසමුදයෙ අඤ්ඤාණං, දුක්ඛනිරොධෙ අඤ්ඤාණං, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අඤ්ඤාණං, පුබ්බන්තෙ අඤ්ඤාණං, අපරන්තෙ අඤ්ඤාණං, පුබ්බන්තාපරන්තෙ අඤ්ඤාණං, ඉදපච්චයතා පටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු අඤ්ඤාණං, යං එවරූපං අදස්සනං අනභිසමයො අනනුබොධො අසම්බොධො අසම්බොධො අප්පටිවෙධො අස ගාහනා අපරියොගාහනා අසමපෙක්ඛණා අපච්වවෙක්ඛණා අපච්චක්ඛකම්මං දුම්මෙජ්ඣං බාල්‍යං අසම්පජඤ්ඤං මොහො පමොහො සම්මොහො අවිජ්ජා අවිජ්ජොඝො අවිජ්ජායොහො අවිජ්ජානුසයො අවිජ්ජාපරියුට්ඨානං අවිජ්ජාලඞ් ගී මොහො අකුසලමූලං අයං වුච්චති අවිජ්ජාසවො” යනු.
දුඃඛාදී වූ අට තැන්හි යම් නො දැක්මෙක්, අභිමුඛ ව අවබෝධ නො කිරීමෙක්, අනුරූප වසයෙන් අවබෝධ නො කිරීමෙක්, අනිත්‍යාදීන් හා යොදා අවබෝධ නො කිරීමෙක්, විද්‍යාමාන තත්ත්‍වය අවබෝධ නො කිරීමෙක්, චතුස්සත්‍යධර්‍මයන් අවබෝධ නො කිරීමෙක්, රූපාදී වූ එක දහමකුත් අනිත්‍යාදී සාමාන්‍ය හෙයින් සංග්‍රහ නො කිරීමෙක්, එහි නුවණින් බැස නො ගැන්මෙක්, සමලෙසින් නො බැලීමෙක්, ධර්‍මස්වභාවය නො සැලකීමෙක්, එක් කර්‍මයකුත් නො දැක්මෙක්, සිතෙහි අපිරිසිදු බවෙක්, බාල බවෙක්, මුළාබවෙක්, බලවත්තරමූඪභාවයෙක් හාත්පසින් මුළාවෙක්, අවිද්‍යාවෙක්, ඕඝයෙක්, යෝගයෙක්, අනුසයෙක්, සිතමැඩීමෙක්, අවිදුකණයමෙක්, අකුසලමුලයෙක් වේ ද, එය අවිජ්ජාසව, යනු එහි පදරුත් පමණින් අවිජ්ජාසවය කියා පෑම ය.
‘චක්ඛු ආදිතො සන්‍දන්ති පවත්තන්තීති = ආසවා’ ඇස් - කන් - නාස් - දිව් - සිරුර - සිත යන සදොරින් වැගිරෙත් නු යි ආසව නම්. ඇස් - කන් - ආදි සදොරෙහි කුසලාදීන්ගේ ද පැවැත්ම ඇතත්, කාමාසවාදීහු ම වණයකින් ගලන දියර මෙන් අසූචීභාවයෙන් ම වැගිරෙති මොවුහු. ඒ හෙයින් කාමාදීහු ම ආසව නම් වෙත්. මෙහි ආසව ශබ්දය වැගිරෙන අසූචියෙහි හෝ නැගී සිටියි.
‘ධම්මතො යාව ගොත්‍රභූ ඔකාසතො යාව භවග්ගං සවන්ති ගච්ඡන්ති ආරම්මණකරණවසෙන පවත්තන්තීති = ආසවා’ ධර්‍මවශයෙන් ගොත්‍රභූචිත්තක්‍ෂණය දක්වාත්, අවකාශවශයෙන් භවාග්‍රය දක්වාත් වැගිරෙත් නුයි ද, යෙත් නුයි ද, අරමුණු කිරීම් වසයෙන් පවතිත් නුයි ද ආසව නම්. ධ්‍යානචිත්තවීථින්හි අර්‍පණාචිත්තයට මුලින් කමාවචරගෝත්‍රය මැඩ, රූපාවචර අරූපාවචර ගෝත්‍රයන් උපදවමින් පහළ වන චිත්තක්‍ෂණයත්, සෝතාපත්තිමග්ගවීථියෙහි පෘථග්ජන ගෝත්‍රය නිසා ආර්‍ය්‍යගෝත්‍රය, උපදවමින් පහළ වන චිත්තක්‍ෂණයත් ගෝත්‍රභූ, නම් වේ. නෙවසඤ්ඤානාසඤ්ඤායතන බ්‍රහ්ම ලෝකය භවග්ග නමි.
මෙහි වූ ආ, කාරය අවදි අරුත් ඇත්තේ ය. මර්‍ය්‍යාදා අභිවිධි විසින් අවදිඅරුත දෙ පරිදි වේ. මර්‍ය්‍යාදා නම් ක්‍රියාව පිටත් කොට පැවැති සීමා ය. ‘ආ පාටලීපුත්තං වුට්ඨො දෙවො’ යනු නිදසුන් ය. අභිවිධි නම්, ක්‍රියාව පැතිරී සිටි සීමාය. ‘ආ භවග්ගං භගවතො යසො පවත්තති’ යනු නිදසුන් ය. මෙහි ගන්නා ලද්දේ අභිවිධ්‍යර්‍ත්‍ථ ය. එ හෙයින් මොවුහු මේ ධර්‍මයන් හා ඒ අවකාශයත් ඇතුළත් කොට අරමුණු කීරීම් වසයෙන් පවතිත්.
‘චිරපරිවාසියට්ඨෙන මදිරාදයො ආසවා වියාතිපි = ආසවා’ බොහෝ කලක් පැසවා පල් කොට ගන්නා බැවින් මදිරාදීහු ආසව, නම් වෙති. එවැනි හෙයින් මොවුහු ද ආසව, නම්. ලෝ වැස්සන් විසින් බොහෝ කල් පැසවා පල් කොට ගන්නා මදිරාදීහු ආසවැ, යි කියනු ලැබෙත් නම්, මේ කාමාදීහු ම එසේ කිය යුතු වෙති. කිමැය එසේ කිය යුතු? “පුරිමා භික්ඛවෙ! කොටි න පඤ්ඤායති අවිජ්ජාය ඉතො පුබ්බෙ අවිජ්ජා නාහොසි” යනු බුදුවදන් බැවිනි.
‘ආයතං වා සංසාර දුක්ඛං සවන්ති පසවන්තීතී = ආසවා’ සසරදුක් දිග් ගස ගසා ප්‍රසවය කෙරෙත් නුයි ආසව, නම්. ආස්‍රවයන්ගෙන් තොර ව සසර කිසි දුකෙක් දිග් ගැසී නො යන්නේ ය. නො ද පවතින්නේ ය. සසර දිග් කරන්නෝ ආස්‍රවයෝ ය.
කාමාසවය තෙමේ, උපදිනුයේ ඇස් - කන් - නාස් ආදී වූ සදොරෙහි ඉදිරියට ආ ආ ඉටු අරමුණු, රස විසින් ගෙණ රස විඳ ගැණුම් වසයෙන් පිළිගන්නහුට ය. විඳින්නහුට ය. සතුටු වන්නහුට ය.
භවාසවය තෙමේ, එබඳු වු ම ඉටු අරමුණු ඉදිරියෙහි අන් සුගති බවයන්හි ද ලබන්නෙමි, යි භවය ප්‍රාර්‍ත්‍ථනා කොට රස විඳින්නහුට උපදනේ ය.
දිට්ඨාසවය තෙමේ, සත්ත්‍ව කියා හෝ, සත්ත්‍වයාගේ ය කියා හෝ ගන්නහුට ය උපදනේ.
මුළුමනින් සංයෝජන ධර්‍ම නසා නො සිටියහුට අවිජ්ජාසවය උපදනේ ය. අවිද්‍යාවගේ මුලසිඳීම නැසීම වනුයේ අර්‍හන්මාර්‍ගයෙනි.
තව ද චිත්තෝත්පාද විසින් කාමාසවය තෙමේ අට වැදෑරුම් ලෝභසහගත සිත්හි උපදියි. මිථ්‍යාදෘෂ්ටියෙන් තොර වූ සිවු වැදෑරුම් වූ ලෝභසහගත වූ සිත්හි භවාසවය උපදියි. දිට්ඨිගත සම්පයුත්තසිත්හි දිට්ඨාසවය උපදියි. සියලු අකුසලසිත්හි උපදනේ ය අවිජ්ජාසවය තෙමේ.
මොවුහු හැම, අර්‍ත්‍ථ විසින් එක් වැදෑරුම් ය. “දිට්ඨධම්මිකානං ආසවානං සංවරාය, සම්පරායිකානං ආසවානං පටිඝාතාය” යන ඈ ලෙසින් විනයයෙහි දෙ පරිදි ව, “තයො මෙ ආවුසො ආසවා කාමාසවො භවාසවො අවිජ්ජාසවො” යි සූත්‍ර පිටකයෙහි සළායතනයෙහි තෙ පරිදි ව, “අත්‍ථි, භික්ඛවෙ, ආසවා නිරයගමනීයා අත්‍ථි ආසවා තිරච්ඡානයොනිගමනීයා අත්‍ථි ආසවා පෙත්තිවිසයගමනීයා අත්‍ථි ආසවා මනුස්සලොකගමනීයා අත්‍ථි ආසවා දෙවලොකගමනීයා” යි නිබ්බෙධිකපරියායෙහි පස් පරිදි ව, “අත්‍ථි භික්ඛවෙ ආසවා සංවරා පහාතබ්බා අත්‍ථි ආසවා පටිසෙවනා පහාතබ්බා අත්ථී ආසවා අධිවාසනා පහාතබ්බා අත්‍ථි ආසවා පරිවජ්ජනා පහාතබ්බා අත්‍ථි ආසවා විනොදනා පහාතබ්බා” යි ඡක්ක නිපාතයෙහි ආහුණෙය්‍ය සූත්‍රයෙහි ස පරිදි ව ආහ මොවුහු. තව ද, සබ්බාසවපරියාය සූත්‍රයෙහි ‘දස්සනා පහාතබ්බා’ යන මේ හා සත්පරිදි කොට දක්වන ලදහ. මෙහි කාමාසවාදිභේදයෙන් සිවු පරිදි වෙති. ආස්‍රවන්යගේ අසම්මෝහය පිණිස මේ එකවිධාදිභේදය මෙහි දැක්වුනැ යි දත යුතු ය.
ආස්‍රවයන්ගේ ප්‍රහාණය, ක්ලේශපරිපාටිය - මාර්‍ගපරිපාටිය යි දෙපරිදි ය. කෙලෙස් පිළිවෙළින් කෙරෙණ පරිපාටිය, ක්ලේශපරිපාටිය ය. මග පිළිවෙළින් කෙරෙණ පරිපාටිය, මාර්‍ගපරිපාටිය ය. කෙලෙස් පිළිවෙළින් ගත් කල කාමාසවය අනාගාමී මාර්‍ගයෙන් පැහෙන්නේ ය. භවාසවය අර්‍හන්මාර්‍ගයෙන් පැහෙන්නේ ය. දිට්ඨාසවය සෝතාපත්ති මාර්‍ගයෙන් පැහෙන්නේ ය. අවිජ්ජාසවය අර්‍හන්මාර්‍ගයෙන් පැහෙන්නේ ය.
මග පිළිවෙළින් ගත් කල සෝතාපත්ති මාර්‍ගයෙන් දිට්ඨාසවය පැහේ. අනාගාමීමාර්‍ගයෙන් කාමාසවය පැහේ. අර්‍හන්මාර්‍ගයෙන් භවාසව අවිජ්ජාසවයෝ පැහෙත්. මේ මොවුන් පැහෙන, නැසෙන සැටිය. විස්තර බණපොතින් දත යුතු ය.
ආහාරෙ ච අනිස්සිතො = ආහාරයෙහි ද නො ඇලුනේ.
ලෝකය තෙමේ, කබලීකාරාහාරයෙහි තණ්හා - දිට්ඨිවසයෙන් ඇලේ. එහෙයින් තණ්හානිස්සය - දිට්ඨිනිස්සය යි නිස්සය දෙකෙකි. තණ්හාව ම තණ්හානිස්සය නම්. දිට්ඨිය ම දිට්ඨිනිස්සය නම්. ‘ද්වෙ නිස්සයා, තණ්හානිස්සයො ච දිට්ඨිනිස්සයො ච කතමො තණ්හා නිස්සයො? යාවතා තණ්හාසඞ්ඛාතෙන සීමකතං ඔධීකතං පරියත්තකතං පරිග්ගහිතං මමායිතං ඉදං මම, එතං මම, එත්තකං මම, එත්තාවතා මම, මම රූපා සද්දා ගන්‍ධා රසා. පොට්ඨබ්බා අත්‍ථරණා පාපුරණා දාසිදාසා අජෙළකා කුක්කුටසූකරා හත්‍ථිගවාස්සවළවා ඛෙත්තං වත්‍ථුං හිරඤ්ඤං සුවණණං ගාමනිගමරාජධානියො රට්ඨං ච ජනපදො ච කොසො ච කොට්ඨාගාරං ච කෙවලම්පි මහාපඨවිං තණ්හාවසෙන මමායති යාවතා අට්ඨසතං තණ්හාවිචරිතං අයං තණ්හානිස්සයො" යි මෙසේ දැක් වූ තණ්හානිස්සය විසිනුත්,
“කතමො දිට්ඨිනිස්සයො? වීසතිවත්‍ථුකා සක්කායදිට්ඨි, දසවත්‍ථුකා මිච්ඡාදිට්ඨි, දසවත්‍ථුකා අන්තග්ගාහිකා දිට්ඨි, යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං දිට්ඨිගහණං දිට්ඨිකන්තාරො දිට්ඨිවිසූකායිකං දිට්ඨිවිප්ඵන්දිතං දිට්ඨිසඤ්ඤොජනං ගාහො පටිග්ගාහො අභිනිවෙසො, පරාමාසො කුම්මග්ගො මිච්ඡාපථො මිච්ඡත්තං තිත්‍ථායතනං විපරියෙසග්ගාහො විපරීතග්ගාහො විපල්ලාසග්ගාහො මිච්ඡාගාහො අයාථාවකස්මිං යාථාවකන්තිගාහො යාවතා ද්වාසට්ඨිදිට්ඨිගතානි අයං දිට්ඨිනිස්සයො” යී මෙසේ දැක් වූ දිට්ඨිනිස්සය විසිනුත්, සත්ත්‍ව තෙමේ ආහාරයෙහි බැඳෙයි. ගිජු වෙයි. කෑදරකම් දක්වයි.
තණ්හා විසින් මුළුලොව ගුණ පැතීම, මමය, මාගේය යි ගැණුම තණ්හානිස්සය නම්, දෙසැට මිසදිටු දිට්ඨිනිස්සය නම්.
රහතුන් වහන්සේ වනාහි තණ්හා දිට්ඨිවසයෙන් ආහාරයෙහි නො ඇලෙන සේක. චතුමහාභූතකායයාගේ පැවැත්ම පිණිස යැපීම පිණිස ආහාර වළඳන සේක. හුදෙක් භවකන්තාරය තරණය පිණිස වළඳන සේක. ලෝවැඩ පිණිස වළඳන සේක. උන්වහන්සේලාගේ සිවුපසය සෙවුම, වණ ඇත්තකු වණයට පිළියම් කරන්නා සේ ය.
සුඤ්ඤතො අනිමිත්තො ච විමොක්ඛො යස්ස ගොචරො = යමක්හට සුඤ්ඤත අනිමිත්ත අප්පණිහිත විමොක්ඛය අරමුණු වේ ද [1]
ආකාසෙ ඉව සකුන්තානං පදං තස්ස දුරන්නයං = අහසෙහි පක්‍ෂීන්ගේ පිය මෙන්, ඒ රහතුන් වහන්සේගේ පිය නො දත හැකි ය.
යම් සේ අහසෙහි යන පක්‍ෂීන්ගේ පියවරක් නො දැක්ක හැකි ද, “මෙතැන් පයින් ඇක්ම ගියේ ය, මෙතැන ලයින් පැහැර ගියේ ය, මෙතැන හිසින් පැහැර ගියේ ය, මෙතැන පියා පතින් පැහැර ගියේ ය” යන ඈ ලෙසින් තැන් දක්නට නො හැකි ද එමෙන් මෙබඳු රහතුන් වහන්සේගේ පිය ද, උත්පත්තිවශයෙන් ගිය තැන ද, “නරක පියෙන් ගියහ, තිරිසන් පියෙන් ගියහ” යන ඈ ලෙසින් ගිය තැන් දක්නට නොහැකි ය. නො පෙන්විය හැකි ය.
ආස්‍රවධර්‍මයන් මුළුමනින් නැසු පිඬු පිඬු කොට ගන්නා අහරෙහි කිසි ලෙසකිනුත් නා ඇලුනු ශුන්‍යත - අනිමිත්ත - අප්‍රණිහිත වශයෙන් කියන ලද නිවන පලසමවත් සිතට නගා ගෙණ වසන රහතුන් වහන්සේගේ උත්පත්තිය අහසෙහි පක්‍ෂීන්ගේ පිය නො දත හැකි සේ නො පෙන්විය හැකි සේ නො දත හැකි ය, යනු අදහස ය.
ස්ථාන - රක්‍ෂා - නිර්‍වාණ - හේතු - ශබ්ද - වස්තු - කොට්ඨාස - පාද -පාද ලාඤ්ඡන යන අරුත්හි එන පද, ශබ්දය මෙහි හුනුයේ පාද ලාඤ්ඡනයෙහි ය. පාදයෙහි ම හුනුයේ යි ගත වරද නැත.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියෝ ය.
අනුරුද්ධස්ථවිර වස්තුව නිමි.
7-3 ‘සුඤ්ඤතො’ යනු බලනු ↑