යෙසං සන්නිචයො නත්‍ථි යෙ පරිඤ්ඤාතභොජනා
සුඤ්ඤතො අනිමිත්තො ච විමොක්ඛො යෙස ගොචරො
ආකාසෙ’ව සකුන්තානං ගති තෙසං දුරන්නයා.
යම් රහත් කෙනකුන්ගේ (කර්‍ම හෝ චීවරාදිය) රැස් කිරීමෙක් නැත් ද, යම් රහත් කෙනෙක් පිරිසිඳැ දත් ආහාර ඇත්තාහු ද, යම් රහත් කෙනෙක්හට සුඤ්ඤත නම් වූ ද අනිමිත්ත නම් වූ ද නිවන අරමුණු වේ ද, ඔවුන් ගේ උත්පත්තිගතිය, අහසෙහි පක්‍ෂීන් ගිය මඟ මෙන්, නො දත හැකි ය.
බෙලට්ඨිසීස තෙරණුවෝ ඇතුල් ගම්හි කඩපලක පිඬු සිඟා ගොස් ලත් බත් වළඳා නැවැත අන් කඩපලකට පිඬු සිඟා ගියහ. එවර උන්වහන්සේට රළු බතක් ලැබින. දින පතා පිඬු සිඟා යෑම දුකකැ, යි එය වසා බැඳ තබා කිහිප දවසක් ධ්‍යාන කොට ධ්‍යාන සුවයෙන් දවස් යවා වළඳනු කැමැති කල්හි බැඳ තැබු ඒ බත ගෙණ වළඳති. “බෙලට්ඨිසීස ස්ථවිරයන් පෙරදා වසා බැඳ තැබූ බත ගෙණ පසුදා වළඳති” යි භික්‍ෂූන් වහන්සේ ලා ගොස් බුදුරජානන් වහන්සේට දැන් වූහ. උන් වහන්සේ මේ කරුණෙහිලා පිළිගෙන තැන් පත් කොට තබා දවස් ගෙවා වැළඳීම අත්හරිනු පිණිස ශික්‍ෂාපද පැනවූ සේක. ශික්‍ෂාපද පැනවීමට කලින් තමන්ගේ අප්පිච්ඡතාගුණය නිසා බෙලට්ඨිසීස ස්ථවිරයන් වහන්සේගේ මේ වැළඳීම වරදක් නො වන බව වදාරා අනුසන්‍ධි ගළපා මේ ධර්‍මදේශනාව කළ සේක:
යෙසං සන්නිචයො නත්‍ථි යෙ පරිඤ්ඤාතභොජනා,
සුඤ්ඤතො අනිමිත්තො ච විමොක්ඛො යෙස ගොචරො,
ආකාසෙව සකුන්තානං ගති තෙසං දුරන්තයා’ති.
යම්බඳු රහතුන්ට (කර්‍ම හෝ චීවරාදි ප්‍රත්‍යය) රැස් කිරීමෙක් නැත්තේ ද, යම් කෙනෙක් තුමු පිරිසිඳ දන්නා ලද අහර ඇත්තාහු ද, යම්බඳු රහතුන්ට සුඤ්ඤත නම් වූ ද අනිමිත්ත නම් වූ ද (අප්පණිහිත නම් වූ ද) නිර්‍වාණය අරමුණ වේ ද, ඒ රහතුන්ගේ උත්පත්තිය අහසෙහි පක්‍ෂීන් ගිය මග මෙන් නො දත හැකිය.
යෙසං සන්නිචයො නත්‍ථි = යම් කෙනකුන්ට රැස් කිරීමෙක් නැත්තේ (ද).
යෙසං, යනු අනියාමිත වචන ය. එයින් රහතුන් වහන්සේ ගැණෙති. එහෙත් අසවල් ආර්‍ය්‍යයන් වහන්සේ ය යි නියමයෙක් නැත. සන්නිචය, නම් රැස් කිරීම ය. කර්‍මසන්නිචය, ප්‍රත්‍යයසන්නිචය, යි ඒ දෙපරිදි ය. කුශලාකුශලකර්‍ම රැස්කිරීම කර්‍ම සන්නිචය නම්. චීවරාදී වූ සිවුපසය රැස් කිරීම ප්‍රත්‍යයසන්නිචය නම්. රහතුන් වහන්සේ පිළිබඳ මේ දෙක ම නැත. උන්වහන්සේ කරණ පින්කම්හි ප්‍රතිසන්‍ධිය දීමෙහි ශක්තියක් නැත්තී ය. දන් ඈ පින්කම් කරණ කල්හි රහතුන්ට පහළ වන සිත්, කුසල් සිත් නො වේ. ඒ අවස්ථාවෙහි ඔවුනට උපදනේ ක්‍රියා සිත් ය. පින්කම් වලදී කුසල් සිත් පහළ වන්නේ පෘථග්ජන සත්ත්‍වයන්ට ය. අවිද්‍යාතෘෂ්ණාදික්ලේශයන් ප්‍රහීණ කොට සිටි බැවින් රහතුන්, කොතෙක් පින්කම් කළත්, ඒ පිළිබඳව උපදින සිත්වල ප්‍රතිසන්‍ධිය දීමෙහි ශක්තියක් නො ලැබේ. අකුශලකර්‍ම රැස් නො කරති, යනු කුමට ය.
යෙ පරිඤ්ඤාතභොජනා = යම් කෙනෙක් පිරිසිඳ දන්නා ලද අහර ඇත්තාහු (ද)
යෙ, යන්නෙන් කියන ලද්දෝ රහතුන් වහන්සේ ම ය. පරිඤ්ඤා තුනෙකි. ඒ තුන ම මෙහි ලැබේ. ආහාර සතරෙකි. එයින් මෙහි ලැබෙන්නේ කබලීකාරාහාරය පමණෙකි. ඒ මේ කබලීකාරාහාරය ත්‍රිවිධපරිඥාවෙන් පිරිසිඳ දැන සිටි උත්තමයෝ පරිඤ්ඤාතභොජන, නම් වෙත්. ඤාතපරිඤ්ඤා - තීරණපරිඤ්ඤා - පහාණපරිඤ්ඤා යනු, ඒ පරිඤ්ඤා තුනය.
“තත්‍ථ කතමා ඤාතපරිඤ්ඤා? සබ්බධම්මං ජානාති ඉමෙ අජ්ඣත්තිකා ඉමෙ බාහිරා ඉදමස්ස ලක්ඛණං ඉමානි රසපචචුපට්ඨානපදට්ඨානානීති අයං ඤාතපරිඤ්ඤා” මොවුහු ඇතුළත්හි වූවෝ ය, මොවුහු පිටත්හි වූවෝ ය, මේ මොහුගේ ලක්‍ෂණය, මේ කෘත්‍යය, මේ එළඹසිටි කරුණය, මේ ලංව සිටි කරුණය, යි සියලු ධර්‍මයන් පිරිසිඳ දනී ද, ඒ ඤාතපරිඤ්ඤා ය. ඉන්‍ද්‍රියබද්ධසන්තානය, අතින්‍ද්‍රිය බද්ධසන්තානය යන දෙකට අසුවන සියලු ධර්‍මයන් ලක්‍ෂණ රස ප්‍රත්‍යුපස්ථාන පදස්ථානවශයෙන් ලැබෙන හැටියෙන් දැනීම ය ඤාතපරිඤ්ඤා.
“තත්‍ථ කතමා තීරණපරිඤ්ඤා? එවං ඤාතං කත්‍වා ලබ්භමානවසෙන සබ්බධම්මං තීරෙති අනිච්චතො දුක්ඛතො අනන්තතොති ආදිනා අයං තීරණපරිඤ්ඤා” ආද්ධ්‍යාත්මික බාහිර සර්‍වධර්‍මයන් ලැබෙන ලෙසින් ලක්‍ෂණරසප්‍රත්‍යුපස්ථාන පදස්ථාන වශයෙන් දැන එකී ධර්‍ම අනිත්‍ය, දුඃඛ, අනාත්ම, රෝග, ගණ්ඩ, සල්ල, අඝ, ආබාධ, පර, පලෝක, ඊති, උපද්දව, භය, උපස්සග්ග, චල, පභඞ්ගු, අඬුව, ආදීනව, විපරිණාමධම්ම, අසාරතා, අඝමූල, වධක, විභව, සාසව, සඞ්ඛත, මාරාමිස, ජාතිධම්ම, ජරාධම්ම, ව්‍යාධිධම්ම, මරණධම්ම, සොකධම්ම, පරිදේවධර්‍ම, උපායාසධම්ම, සඞ්කිලෙස, අසරණීභූත යනාදී ආකාරයකින් තීරණය කෙරේ ද, ඒ තීරණපරිඤ්ඤාය.
“තත්‍ථ කතමා පහාණපරිඤ්ඤා? එවං තීරයිත්‍වා අග්ගමග්ගේන සබ්බධම්මේසු ඡන්‍දරාගං පජහතීති අයං පහාණපරිඤ්ඤා” තීරණපරිඤ්ඤාවෙන් තීරණය කොට අග්‍රමාර්‍ගයෙන් සියලු ධර්‍මයන් කෙරෙහි පැවැති ඡන්‍දරාගය හෙවත් දැඩි ආශාව දුරැලීම පහාණපරිඤ්ඤාය.
බුදිනු ලබන දෙය භෝජන නමි. ‘භුඤ්ජියතීති - භොජනං’ යනු අර්‍ත්‍ථ සමර්‍ත්‍ථනය යි. ආහාර යනු ද මෙයට නමෙකි. ‘ආහරතීති=ආහාරො’ යනු නිරුක්තියි. තම ඵලය එළවන බැවින් එසේ කියනු ලැබේ. කබලීකාරය, ඵස්සය, මනො සඤ්චේතනාය, විඤ්ඤාණය යන මේ සතර ම ආහාරයෝ ය. එසේ කියනු ලබන්නේ කබලීකාරය ඔජාෂ්ටමකරූපය එළවන බැවිනි. ඵස්සය ත්‍රිවිධවේදනාවන් එළවන බැවිනි. මනෝසඤේචේතනාව තුන් භවයෙහි ප්‍රතිසන්‍ධිය එළවන බැවිනි. විඤ්ඤාණය ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි නාමරූපය එළවන බැවිනි.
මේ සිවු ආහාරය අතුරෙහි මෙහි ලා කබලීකාරාහාරය ගැණේ. පිඩු පිඩු කොට කනු ලබන ඔජා සහිත වූ බත් මාලු ව්‍යඤ්ජනාදිය ය කබලීකාරාහාර නම්, ඔජා යන්නට රසධාතු යි නමෙකි. බුදිය යුතු බත් පිය යුතු පැන් කෑ යුතු පල මුල් කැවුම් හා ලෙවිය යුතු මී හකුරු ආදිය මෙහි ලා දත යුතු ය. මෙ කී ආහාර පානයන්ගේ දැහැමි නො දැහැමී බව ඈ දැනුම මෙහි ඤාතපරිඤ්ඤා නම.
ගමන, පරියෙසන, පරිභොග, ආසය, නිධාන, අපරිපක්ක, පරිපක්ක, ඵල, නිස්සන්‍ද, සම්මක්ඛන, යන මොවුන්ගේ වසයෙන් ආහාරයෙහි ප්‍රතිකකූලසංඥාව වඩා ආහාරයෙහි ඒ මගින් ලත් දැනුම මෙහි තීරණපරිඤ්ඤා නම.
මෙසේ තීරණය කොට කබලීකාරාහාරයෙහි දැඩි ආසාව දුරු කරණ නුවණ මෙහි පහාණපරිඤ්ඤා නම. ඒ මේ කබලිංකාරාහාරය මෙ කියු ත්‍රිවිධ පරිඤ්ඤාවන්ගෙන් දැන සිටියෝ පරිඤ්ඤාතභොජන නම් වෙති.
සුඤ්ඤතො අනිමිත්තො ච විමොක්ඛො යෙසං ගොචරො = සුඤ්ඤතවිමොක්ඛ, අනිමිත්තවිමොක්ඛ, අප්පණිහිතවිමොක්ඛ යම් කෙනකුන්ට අරමුණු වේ ද.
මෙහි සුඤ්ඤත - අනිමිත්ත විමොක්ඛ දෙදෙනාගේ ගැණිමෙන් අප්පණිහිතවිමොක්ඛය ද ගන්නා ලද්දේ ය. මේ නම් නිවනය. රාග ද්වේෂ මෝහයන් නැති බැවින් උන්ගෙන් මිදුන බැවින් නිවන සුඤ්ඤතවිමොක්ඛ නම්. රාගාදී නිමිති නැති බැවින් ඔවුන් කෙරෙන් මිදුන බැවින් නිවන අනිමිත්තවිමොක්ඛ නම්. රාගාදි ප්‍රාර්‍ත්‍ථනා නැති බැවින් උන්ගෙන් මිදුන බැවින් නිවන අප්පණිහිත විමොක්ඛ නම්. “නිබ්බානං හි රාගදොසමොහානං අභාවෙන සුඤ්ඤතො, තෙහි විමුත්තන්ති සුඤ්ඤතො විමොක්ඛො, තථා රාගාදිනිමිත්තාභාවෙන අනිමිත්තං, තෙහි ච විමුත්තන්ති අනිමිත්තො විමොක්ඛා, රාගාදිපණිධීනං පන අභාවෙන අප්පණිහිතං, තෙහි ච විමුත්තන්ති අප්පණිහිතො විමොක්ඛොති වුච්චති” යනු අටුවා ය. සියලු ප්‍රතිපක්‍ෂධර්‍මයන්ගෙන් මිදී සිටි බැවින් නිවන විමොක්ඛ, නමැයි දත යුතු ය. අග්‍රමාර්‍ගඵල එහි ම ඇතුළත් ය. ‘සබ්බසො පටිපක්ඛෙහි විමුච්චතීති = විමොක්ඛො’ යනු දන්නේය.
‘ගාවො චරන්ති එත්‍ථාති = ගොචරො’ ගෙරිහු මෙහි හැසිරෙත්නු යි ගොචර නම්. ගොනුන් කෑම සොයා කමින් හැසිරන තැන ගොචරැ යි කී සේ ය. ‘ගුත්තං ඝාසෙසට්ඨානං’ යන මෙයින් ඒ පැහැදිලි ය. එවැනි බැවින් මෙ ද ගොචරැ යි කියන ලදී. ත්‍රිවිධවිමෝක්‍ෂ නාමයෙන් කියවෙන නිවන ඵලසමාපත්ති වසයෙන් අරමුණු කොට ගෙණ වසන රහතුන් වහන්සේලාට ගොදුරු වන්නේ ය. උන්වහන්සේලාගේ සිත නිවන් අරමුණෙහි හැසිරෙන්නේ ය යි කී සේ ය මේ. ඵලසමාපත්තිසමාපජ්ජන, දිට්ඨධම්මසුඛවිහාර යනු ද, මේ සඳහා යෙදේ.
ආකාසෙඉව සකුන්තානං = අහසෙහි පක්‍ෂීන්ගේ ගමන්මග මෙන්.
අහසින් යන එන පක්‍ෂීන්ගේ පා සටහන් දකින්නට නො මැති බැවින් ගිය මග නො දත හැකි ය. නො පෙන්විය හැකි ය. ලෞකික වස්තූන්ගේ පැහැදිලි පෙනුමට බැබලීමට කරුණු වන තැන හෝ, ඉරි, ඇඳ දක්වනු බැරි තැන ‘ආකාස’ යන්නෙන් කිය වේ. ‘භූසං කාසන්තෙ දිප්පන්තෙ පදත්‍ථා එතෙනාති = ආකාසො’ යනු අරුත් වියකන ය. ‘න කස්සති න විලෙඛීයතීති වා = ආකාසො’ යනුත් මෙහි යෙදේ.
පක්‍ෂීහු උඩ පියා හඹා නැග යෑමෙහි සමර්‍ත්‍ථ බැවින් සකුන්ත නම්. ‘සක්කොන්ති උද්ධං ගන්තුන්ති = සකුන්තා’ යනු එහි අරුත් එලිකිරීම ය.
ගති තෙසං දුරන්තයා = ඔවුන්ගේ ගමන් නො දතැකි ය.
අහසින් යන එන පක්‍ෂීන්ගේ පා සටහන් නො දත හැක්කා සේ යම් කෙනකුන්ට යට කියූ දෙවැදෑරුම් සන්නිචය නැත්තේ ද, ත්‍රිවිධ පරිඥාවෙන් පිරිසිඳ දත් භෝජනය ඇත්තේ ද, ත්‍රිවිධ විමෝක්‍ෂය ගොදුරු වූයේ ද, ඔවුහු ත්‍රිවිධභව - චතුර්විධයෝනි - පංචවිධගති - සප්තවිධවිඥානස්ථිති - නවවිධසත්‍වාවාස යන මේ පස් තැන් අතුරෙහි මෙ තැනින් අතැනට අතැනින් මෙතැනට උත්පත්ති වශයෙන් ගියහ යි, ඔවුන් ගිය තැන, උපන් තැන නො පැනෙන බැවින් ඔවුන්ගේ ගමන නො ද පෙන්වියැකි ය.
ගති ශබ්දය, ගතිගති - නිබ්බත්තගති - විභවගති - අජ්ඣාසයගති - නිබ්බත්තිගති - ඤාණගති - භවභේද - නිට්ඨා - බුද්ධි - වාසට්ඨාන විසමභාව යන මේ තැන්හි එන්නේ ය. ‘කං ගතිං පච්ඡා ගච්ඡාමි’ යනු ගතිගතියෙහි වේ. ‘ඉමෙසං ඛො අහං භික්ඛුනං සීලවන්තානං නෙව ජානාමි ගතිං වා අගතිං වා, යනු නිබ්බත්තගතියෙහි ආයේ ය. විභවගතියෙහි ආයේ ‘ විභවො ගතිධම්මානං නිබ්බානං අරහතො ගති’ යනාදි තන්හි ය. ‘එවං ඛො තෙ අහං බ්‍රහ්මෙ ගතිං ච ජානාමි චුතිං ච ජානාමි’ යනාදි තන්හි ආයේ අජ්ඣාසය ගතියෙහි ය. ‘ද්වේ ගතියො භවන්ති අනඤ්ඤා’ යනාදියෙහි නිබ්බන්තිගතියෙහි වැටුනේය. ‘සුන්‍දරං නිබ්බානං ගතො’ යනාදියෙහි ඤාණ ගතියෙහි ය. ‘පංචෙව ඛො පනිමා සාරිපුත්ත! ගතියෝ’ යනු භවභේදයෙහි ය. ‘යෙහි සමන්නාගතස්ස මහා පුරිසස්ස ද්වෙ ගතියො භවන්ති’ යනු ආයේ නිට්ඨානයෙහි ය. ‘ගති මිගානං පවනං’ යනු වාසස්ථානයෙහි ය. ‘ගතිගතං’ යනු විසමභාවයෙහි වේ. මෙහි හුනුයේ නිබ්බත්ත ගතියෙහි ය. ක්‍ෂීණාස්‍රවයන් වහන්සේලාගේ උත්පත්තිගති යි අරුත් දුන්නේ එහෙයිනි.
ධර්‍මදේශනාව ගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන්ඵලාදියට පැමිණියාහු ය.
බෙලට්ඨිසීසස්ථවිරවස්තුව නිමි.