උය්‍යුඤ්ජන්ති සතිමන්තො න නිකෙතෙ රමන්ති තෙ
හංසා’ව පල්ලලං හිත්‍වා ඔකමොකං ජහන්ති තෙ.
සිහි ඇතියෝ (රහත්හු) තමන් පිළිවිදි ධ්‍යානාදි ගුණයන්හි ආවර්‍ජනාදී වශයෙන් යෙදෙන්නාහ. ඔහු ආලයයෙහි (පංචකාමයෙහි ද ගිහි ගෙහි ද) නො ඇලෙන්නාහ. (ගොදුරු ගත්) විල හැරැ පියා යන හංසයන් මෙන් ආලයයක් ආලයයක් පාසා (හෙවත් සියලු ආලයයන්) හරනාහ. (විහාරාදියෙහි ඇලුම් හැර පක්‍ෂීන් මෙන් නිරපේක්‍ෂක ව ම යන්නාහ.)
එක් කලෙක තිලෝගුරු සම්මා සම්බුදු රජානන් වහන්සේ රජගහා නුවර වස් වැස පවරා, අඩ මසක් ගෙවා, දනව් සැරිසරන්නට සිතා එබව භික්‍ෂූන්ට දැන් වූහ. මේ වනාහි භික්‍ෂූන් සමග චාරිකාවෙහි වඩිනු කැමැති බුදුවරුන්ගේ සිරිතෙකි. එසේ අඩ මසකගේ ඇවෑමෙන් චාරිකාවෙහි වඩින බව දන්වන සේක්, චාරිකාවෙහි යන භික්‍ෂූන්ගේ ගමන් පහසුව පිණිස පාත්‍ර පිසීම් සිවුරු රැඳීම් ආදී වූ කටයුතු සපයා ගණු පිණිස ය. භික්‍ෂූන් වහන්සේලා චාරිකාව පිණිස පා පිසීම් සිවුරු පඬු පෙවීම් ආදිය කරණ කල්හි මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ද තමන් වහන්සේගේ සිවුරු සෝදා ගත්හ. ඒ දුටු භික්‍ෂූන් වහන්සේලා “මේ මොන පුදුමයෙක් ද, මුන් වහන්සේ කුමක් හෙයින් මෙසේ සිවුරු සෝදත් ද, මෙ නුවර ඇතුළත පිටත දෙක්හි අටළොස් කෙළක් මිනිස්සු වාසය කරති, ඔවුනතුරෙහි යම් කෙනෙක් නො නෑයෝ නම්, ඔවුහු මුන්වහන්සේගේ උපස්ථායකයෝ ය, උපස්ථායක නො වන්නෝ නෑයෝ ය, ඔවුහු හැම කෙනෙක් ම මුන්වහන්සේට උවටැන් කරති, මේ හැම එකක් හැර දමා ඒ ගැන නො සලකා මුන් වහන්සේ කොහි වඩින සේක් ද, ඉදින් මේ කිසිත් නො සලකා වඩින සේක් නම්, නො පමා කඳුරැලියෙන් ඔබ්බට නො වඩින සේකැ” යි කීහ. බුදුරජානන් වහන්සේ යම් කඳුරැලියකට පැමිණ නැවැත් විය යුතු භික්‍ෂූන් “තෙපි මෙයින් ඔබ්බට නො යවු, පමා නො වවු” යි නවතාලන සේක් ද, එ තැන නො පමා කදුරැළිය, යි කියනු ලැබේ.
චාරිකාවෙහි වඩනට කල් තබා බුදුරජානන් වහන්සේ “මෙනුවර අටළොස් කෙළක් මිනිස්සු වෙසෙති, ඔවුනට කටයුතු බොහෝ ය, මඟුල් අවමඟුල්හි භික්‍ෂූන් ද බලාපොරොත්තු වෙති, එහෙයින් විහාරය සිස් කොට තබා යෑම නො සුදුසු ය, කවරකු නවතා යම් ද, මෙනුවර හැම කෙනෙක් ම වාගේ කාශ්‍යප තැනගේ නෑයෝ ය, දායකයෝ” යි සිතා මහසුප් තෙරුන්ට කතාකොට “කාශ්‍යප! විහාරය සිස් කොට යෑම නො සුදුසු ය, නුවර වැසි මිනිස්සු මඟුලටත් අවමඟුලටත් භික්‍ෂූන් බලාපොරොත්තු වෙති, ඒ නිසා තමුසේ තම පිරිසත් සමග වෙහෙර නවතිහු” යි වදාළ සේක. උන්වහන්සේ ද කිසිත් නො බැණ “එසේය ස්වාමීනි!” යි කියා සිය පිරිසත් සමග නැවතුනාහ. “ඇවැත්නි! අප විසින් කියන ලද්ද තොප විසින් දැන් දන්නා ලද්දේ නො වේ ද, කුමක් හෙයින් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ සිවුරු සෝදත් ද, මෙතෙමේ බුදුරජුන් සමග නො යන්නේ ය, යි අප විසින් කියන ලද්ද එසේ ම වී ය” යි එහි සිටි අනික් භික්‍ෂූන් වහන්සේලා පරිභව මුඛයෙන් කතා කරන්නට වූහ. බුදුරජානන් වහන්සේ මේ කතාව අසා නැවතී සිට “මහණෙනි! තෙපි කුමක් කියහු දැ” යි ඇසූහ. “ස්වාමීනි! මහසුප් තෙරුන් වහන්සේ ගැන කතා කරමු” යි තම තමන් කතා කළ සැටියෙන් ම සියල්ල දැන් වූහ.
එවිට බුදුරජානන් වහන්සේ “මහණෙනි! තෙපි කාශ්‍යපයන් කුලයන්හි හා සිවුපසයෙහි ඇලුනකුය යි නො කියවු, ඒ තැන මාගේ වචනය පිළිගෙණ නැවතුනේ ය, ඒ තැනගේ පෙර පැතීම වූයේ ද සිවුපසයෙහි, නො ලැගී සඳ බඳු ව කුලයන් කරා එළඹෙන්නට සමර්‍ත්‍ථයෙක් ව උපදිනු සඳහා ය, ඒ එසේ වි ය, උන්නැහේ කුලයෙහි වත් සිවුපසයෙහිවත් නො ඇලෙති, මම චන්‍ද්‍රෝපමප්‍රතිපදාවත් ආර්‍ය්‍යවංශ ප්‍රතිපදාවත් දේශනා කෙළෙම්, කාශ්‍යපයන් මුල් කොට ගෙණ ය' යි වදාළ සේක. “මහසුප් තෙරුන් වහන්සේ කවදා එසේ පැතුවෝ දැ?” යි භික්‍ෂූන් විචාළ විට “මහණෙනි! මෙයට කප් සියදහසකට ඔබ්බෙහි පියුමතුරා නම් බුදුකෙනෙක් ලොව උපන්හ, ඒ බුදුන් දවස මේ තැන ඒ පැතීම කෙළේ” යි තෙරුන් පිළිබඳ සියලු පෙර සිරිත වදාරා “මහණෙනි! මාගේ පුත්‍ර වූ කාශ්‍යපයන්ගේ සිවුපසය, කුලය, විහාරය, පන්සලය පිරිවෙණය යන කිසි තැනෙක ඇලීමෙක් ගැලීමෙක් නැත, කුඩා විලකට බැස එහි එහා මෙහා හැසිර නැගී යන රජහසකු සේ මහාකාශ්‍යප තැනත් කිසි තැනක කිසි දෙයක නො ඇලුනෙකැ” යි අනුසන්‍ධි ගළපා දහම් දෙසන සේක් මේ ගාථාව වදාළ සේක:
උය්‍යුඤ්ජන්ති සතීමන්තො න නිකෙතෙ රමන්ති තෙ,
හංසාව පල්ලලං හිත්‍වා ඔකමොකං ජහන්ති තෙ’ති.
ස්මෘතිමත් ක්‍ෂීණාස්‍රවයන් වහන්සේලා ධ්‍යාන විදර්‍ශනාදියෙහි යෙදෙති. උන්වහන්සේලා ආලයෙහි නො ඇලෙති. විල හැර යන හංසයන් මෙන් උන්වහන්සේලා ආලයක් ආලයක් (හැම ආලයන්) හැර දමත්.
උය්‍යුඤ්ජන්ති සතීමන්තො - ස්මෘතිමත්හු යෙදෙත්.
මෙහි ස්මෘතිමත්හු නම්, රහතුන් වහන්සේලා ය. උන්වහන්සේලා තමන් ප්‍රතිවේධ කළ ධ්‍යාන විදර්‍ශනාදියෙහි, ආවජ්ජන - සමාපජ්ජන - අධිට්ඨාන - වුට්ඨාන - පච්චවෙක්ඛණ යන පංචවශීතාවන්ගේ වසයෙන් යෙදී ගැටී වසති. සතීමනො, යන්නට කළ පරිකථාව බලනු. තමන් ප්‍රතිවේධ කළ ගුණය සිහි කිරීම ආවජ්ජන නම්. ඒ ගුණයට සමවැදීම සමාපජ්ජන නම්. ‘මෙතෙක් මේ ගුණයට පැමිණ ඉඳිමි’ යි ඉටුම අධිට්ඨාන නම්. එයින් නැගී සිටීම වුට්ඨාන නම්. නැවැත නැවැත නුවණින් සලකා බැලීම පච්චවෙක්ඛණ නම්.
න නිකෙතෙ රමන්ති තෙ = ඔවුහු ආලයෙහි නො ඇලෙති.
ස්මෘතිමත් ව ධ්‍යාන විදර්‍ශනාදියෙහි යෙදී ගැටී වසන රහතුන් වහන්සේ නිකෙත නම් වූ පංචකාමගුණාලයයෙහි හෝ ගිහිගෙයි ආලය නො කරති.
මෙහි නිකෙත, නම්, පංචකාමය හෝ ගිහිගෙය ය. නිකෙතැ යි වාසස්ථානයට නමෙකි. රූපාදිපංචකාමය තෙමේ සිතට වාසස්ථාන බැවින් නිකෙතැයි හඳුන්වනු ලැබේ.
හංසාව ඉව පල්ලලං හිත්‍වා ඔක ඔකං ජහන්ති තෙ = ඔවුහු විල හැර යන හංසයන් මෙන් සියලු ආලයන් හැර දමිත්.
හංසාදීපක්‍ෂීහු, ගොදුරු ඇති පියුම් විලකට බැස ගොදුරු ගෙණ ඒ ඒ අත බලා යන කල්හි ‘මේ මාගේ දිය, මේ මාගේ පියුම, මේ මාගේ උපුල, මේ මාගේ තණ, මේ මාගේ මඩැ’ යි එහි වූ කිසිවෙක නො ඇලී බලාපොරොත්තු රහිත ව විල හැර නැඟී යති. එමෙන් රහතුන් වහන්සේලා කොතැනක විසුවෝ ද, ඒ හැම තැන කුලෙහි ගෙණෙහි සිවුපසයෙහි නො ඇලී ම වෙසෙති. නො ඇලී ම ඉඳිති. එයින් අන් තැන් බලා යන්නෝ ද, මේ මාගේ වෙහෙර, මේ මාගේ පිරිවෙණ, මේ මාගේ දායක කුලය, මේ මාගේ ශිෂ්‍යගණය ඈ විසින් කිසි තැනක ආලය නො කොට ම යති.
ප්‍රියජනක පක්‍ෂිවිශේෂයෙක් හංස, නමින් කිය වේ.
ශ්වේතහංස - රාජහංස - කාලහංස - මලිනහංස යි එහි භේද කිහිපයෙකි. සුදු පියාපත් ඇති හංසයෝ ය, ශ්වෙත හංස නම්. රතු පා හා තුඩු ඇත්තෝ රාජහංස නම්. කාලහංසයෝ කලු පා තුඩු ඇත්තේ ය. කිලිටි පා තුඩු ඇති හංසයෝ මලිනහංස නම්. මෙහිලා පලව කාරණ්ඩව බක බලාකාදීහුත් ගන්නා ලද්දෝ වරද නැත.
පල්ලල, නම් වැසි කාලයෙහි දිය අධික වන ග්‍රීෂ්ම කාලයෙහි දිය සිඳී යන විල ය. එකල එහි දණක් පමණ දිය වෙයි. ඔකං ඔකතො, යන්නට කළ පරිකථාව බලනු.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියෝ ය.
මහාකාශ්‍යපවස්තුව නිමි.