ගතද්ධිනො විසොකස්ස විප්පමුත්තස්ස සබ්බධි
සබ්බගන්‍ථප්පහීණස්ස පරිළාහො න විජ්ජති.
සසර කතරමග ඉක්ම, පහ වූ ශෝක ඇති, (ස්කන්‍ධාදී) සියලු දහම්හි නො ඇලී එයින් මිදුනු, (අභිජ්ඣාකායගන්‍ථාදී) සියලු ග්‍රන්‍ථ ප්‍රහීණ කළ රහත්හට චෛතසික පරිදාහයෙක් නැත්තේ ය.
දෙව්දත් තෙරණුවෝ එක් කලෙක අජාසත් රජුගේ සහාය ලැබ බුදුරජුන් මරන්නට ගිජුකුළු පව්‍වට නැග, බුදුරජුන් මුදුනට ගලක් පෙරළූහ. ගල පහත හෙන විට අනික් ගල් කුළු දෙකක් ඉදිරියට නෙරා එය නවතා ලී ය. ගලින් ගල වැදීමෙන් නැගි ගල් පතුරෙක් වීසි වී ගොස් බුදුරජුන් පය හැපින. ගල හැපීමෙන් තැළුනු එතැන ලේ එකතු වීමෙන් බලවත් වේදනාවක් උපන. එකල්හි භික්‍ෂූන් වහන්සේලා උන්වහන්සේ මද්දකුච්ඡියට වැඩමවා ගෙණ ගියහ. එ තැනින් ජීවකයාගේ අඹවනයට වඩිනු කැමැති වූ උන්වහන්සේ “මා ජීවකයාගේ අඹවනයට ගෙණ යන්නැ” යි කිහ. භික්‍ෂූන් වහන්සේලා උන්වහන්සේ ඔසොවා ගෙණ එහි ගියහ. ජීවක තෙමේ බුදුරජුන් වෙත පැමිණ තුවාලය පරීක්‍ෂා කොට බලා එහි කාරම් බෙහෙත් බැඳ “ස්වාමීන් වහන්ස! මම දැන් ලෙඩකු බලන්නට නුවරට යන්නෙමි, මා පෙරළා එනතුරු මේ බැන්ද බේත නො ලිහා තිබෙන්නට හරිනු මැනැවැ” යි වැඳ, අවසර ගෙණ නුවර ලෙඩා බලන්නට ගියේ ය. එහි දී ඔහුට රෑ බෝ විය. ලෙඩාට කළ යුතු පිළියම් කොට, නුවර දොර වසන්නට කලින් නුවරින් බැහැර වන්නට සිතා එ තැනින් ආයේ ද, කල් තබා දොර වසා තුබූ බැවින් නුවරින් බැහැර වන්නට නො හැකි විය. එහි ලඟාවත් ම දොර වසා තුබුනේ ය.
එයින් අමාරුවට වැටුනු ජීවක තෙමේ “අයියෝ! මා කළේ ලොකු වරදෙකි, සාමාන්‍ය මිනිසකු සිරුරෙහි තුවාලයක සේ බුදුරජුන්ගේ පාදයෙහි බෙහෙත් බැඳ ආමි, දැන් එය ලිහා හැරිය යුතු වේලාව ය, එසේ නො කළොත් මුළු සිරුරෙහි දැවිල්ල පැතිර යයි, එය ලොකු ම වරදෙකි, මාගේ උගත් කමින් ඇති පලය කුමක් දැ” යි සිතන්නට වන. එ වේලෙහි බුදුරජානන් වහන්සේ අනඳ තෙරුන් කැඳවා “ආනන්ද ය! ජිවකයාට නුවරින් බැහැර වන්නට නො හැකි ව නුවර තුළ ම සිට තුවාලයෙහි හි බැඳි බේත ලිහා දමන්නට දැන් වේලාය යි සිතයි, එහෙයින් මේ බේත ලිහා අස් කරන්නැ” යි වදාළ සේක. අනඳ තෙරුන් වහන්සේ එසේ කළහ. තුවාලයෙන් බේත අස් කළ හැටියේ ම ගසකින් මැලියමක් ගැලවී වැටෙන්නා සේ ලේ කැටි ව තුබූ මුළු වණය ගැල වී වැටුනේ ය. ජීවකයෝ පාන් වත් ම වහා පැමිණ “ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! බුදුරජානන් වහන්සේගේ සිරුරෙහි දැවිල්ලක් හට ගතු දැ” යි ඇසූහ. එවිට උන්වහන්සේ “ජීවක ය! කුමක් අසහු ද, මම සියලු දැවිලි තැවිලි බෝ මැඩ දී ම හැරපීමි, බෝ මැඩ දී ම තථාගතයන්ගේ හැම දාහයෝ නිවී ගියහ” යි අනුසන්‍ධි ගළපා මේ ධර්‍මදේශනාව කළ සේක:
ගතද්ධිනො විසොකස්ස, විප්පමුත්තස්ස සබ්බධි,
සබ්බගන්‍ථප්පහීණස්ස, පරිළාහො න විජ්ජතී ති.
ගොස් නිම වූ සසර මග ඇති ශෝක රහිත වූ සියලු තන්හි වෙසෙසින් (නො ඇලී එයින්) මිදුනු, සියලු ග්‍රන්‍ථයන් ප්‍රහීණ කළහුට සිත් දැවිල්ලෙක් නැත්තේ ය.
ගතද්ධිනො = ගිය මග ඇති. ගොස් අවසන් කළ මග ඇති.
යම් තරම් මග යා යුතු නම්, යා යුතු ඒ සියලු මග ගොස් අවසන් කළ, ඉදිරියෙහි යා යුතු මගක් නැති රහතුන් වහන්සේ ගතද්ධි, නම් වෙත්. “කන්තාරද්ධානවට්ටද්ධානා’ති ද්වේ අද්ධානා නාම” යනු අටුවා හෙයින් ලෝකවාසී සත්ත්‍වයන් විසින් යා යුතු මාර්‍ග දෙකක් ඇති බව පෙනේ. ඒ නම් කතරමග සසර මඟ යන දෙමග ය.
කතරමග වනාහි චොරකන්තාර - වාළකන්තාර - නිරුදකකන්තාර - අමනුස්සකන්තාර - අප්පබ්භක්ඛකන්තාර යි පස් වැදෑරුම් ය. හොරුන් බහුල ව වසන හොරුන් අරක් ගත් මාර්‍ගය චොරකන්තාර නම්. සිංහ වග කොටි වළස් ආදී චණ්ඩ සත්ත්‍වයන් ගණ සැරේට වසන ඔවුන් අරක් ගත් මාර්‍ගය වාළකන්තාර නම්. යම් මගක නාන බොන දිය නැත් ද ඒ මාර්‍ගය නිරුදකකන්තාර නම්. යක් රකුස් ඈ නො මිනිසුන් අරක් ගත් මාර්‍ගය අමනුස්සකන්තාර නම්. යම් මගක කඳ මුල් පලතුරු ඈ කෑ යුතු දේ නැත් ද ඒ මාර්‍ගය අප්පබ්භක්ඛකන්තාර නම්. මේ කී එක් මගෙක් වත් මෙහි අහිමත නො වේ. සසරමගය මෙහි අභිමත. ඒ නම් සන්තති වශයෙන් නො කැඩී යන එකකට එකක් තුඩු දී පවත්නා ස්කන්‍ධ ධාතු ආයතනයන් පිළිබඳ පටිපාටිය යි. ‘දීඝො බාලානං සංසාරො’ යන්නට කළ පරිකථාව බලනු.
කතරමගට පිළිපන්නේ, තමන් බලාපොරොත්තු තැනට යම් තාක් නො පැමිණියේ ද, ඒතාක් අද්ධික, නම් වේ. බලා පොරොත්තු තැනට පැමිණියේ ගතද්ධි, නම්. සසර, ජාතියෙන් ජාතියෙහි ඉපිද යන හැම කෙනෙක් ම එසේ ඉපිද යන තුරුම අද්ධික නම් වෙති. සසර මග අවසන් නො කළ බැවිනි. ඒ සෝවන් මග ආදියට පැමිණි සප්තවිධ ආර්‍ය්‍යයෝද මුළුමනින් සසර ගමන අවසන් නො කළ බැවින් අද්ධිකයෝ ය. සසර ගමන මුළුමනින් අවසන් කොට සිටි රහතුන් වහන්සේය ගතද්ධි. මෙහි අදහස් කරණ ලද්දෝ ද උන්වහන්සේ ම ය. ගතදධිනො, යනු, ඛීණාසවස්ස, යනු අපේක්ෂා කොට සම්බන්‍ධාර්‍ත්‍ථය ගෙණ සිටියි.
විසොකස්සක = ශෝක නැත්තා වූ. පහවූ ශෝක ඇති.
විස්තරය චතුස්සත්‍ය කථාවෙහි එන්නේ ය. ශෝකයාගේ ප්‍රහාණය අනගැමි මගින් වේ. අනාගාමී මාර්‍ගයෙන් වෘත්තමූලක ශෝකය ප්‍රහීණ කළ බැවින් රහතුන් වහන්සේ පහ වූ ශෝක ඇති සේක. නිශ්ශෝකී සේක.
විප්පමුත්තස්ස = විශේෂයෙන් මිදුනු.
රහතුන් වහන්සේ ස්කන්‍ධ ධාතු ආයතනාදී වූ හැම එකකින් ම මිදුනු බැවින් මොකකුත් නො ගෙණ කො තැනකත් නො ඇලී ඉතා හොඳින් මිදුනු සේක. කො තැනකත් නො ගැටෙන සේක. ‘ කො ඉමං පඨවිං විජෙස්සති’ යන්නෙහි පරිකථාව බලනු.
සබ්බධි = සියලු තන්හි.
ස්කන්‍ධ ධාතු ආයතනාදී වූ සියලු තන්හි යි සේ ය.
සබ්බගන්‍ථප්පහීණස්ස = සියලු ග්‍රන්‍ථයන් පහ කළ රහතුන් වහන්සේට.
රහතුන් වහන්සේ ය මෙයින් ගණු ලබන්නෝ. මේ පදයන් ගෙන් කිය වෙන තේරුම රහතුන් වහන්සේ කෙරෙහි ම යෙදෙන බැවිනි.
ප්‍රහීණ කළ යුතු කාය ග්‍රන්ථීහු සතර දෙනෙකි. අභිද්ධ්‍යාව්‍යාපාද - ශීලව්‍රතපරාමාර්‍ශ - ඉදංසත්‍යාභිනිවෙශ යි. “ චත්තාරො ගන්‍ථා අභිජ්ඣා කායගන්‍ථො, ව්‍යපාදො කායගන්‍ථො සීලබ්බතපරාමාසො කායගන්‍ථො, ඉදංසච්චාභිනිවෙසො කායගන්‍ථො” යනු දේශනා ය.
අභිජ්ඣාකායග්‍රන්‍ථය සවිස්තර විසින් වදාරන බුදුරජානන් වහන්සේ මෙසේ වදාළ සේක: “තත්‍ථ කතමො අභිජ්ඣාකාය ගන්‍ථො? යො රාගො සාරාගො අනුනයො අනුරොධො නන්‍දි නන්‍දිරාගො චිත්තස්ස සාරාගො ඉච්ඡා මුච්ඡා අජ්ඣොසානං ගෙධො පළිගෙධො සංගො පසඞ්ගො එජා මායා ජනිකා සංජනනී සිබ්බනී ජාලිනී සරිතා විසත්තිකා සුත්තං විසටා ආයූහනී දුතියා පණිධි භවනෙත්ති වනං වනථො සන්‍ථවො සිනෙහො අපෙක්ඛා පටිබන්‍ධු ආසා ආසිංසනා ආසිංසිතත්තං රූපාසා සද්දාසා ගන්‍ධාසා රසාසා ඵොට්ඨබ්බාසා ලාභාසා ධනාසා පුත්තාසා ජිවිතාසා ජප්පා පජප්පා අභිජප්පා ජප්පනා ජප්පිතත්තං ලොලුප්පායනා ලොලුපායිතත්තං පුච්ඡිඤ්ජිකතා සාධුකම්‍යතා අධම්මරාගො විසමලොභො නිකන්ති නිකාමනා පත්‍ථනා පිහායනා සම්පත්‍ථනා කාම තණ්හා භවතණ්හා විභවතණ්හා රූපතණ්හා අරූපතණ්හා නිරොධතණ්හා රූපතණ්හා සද්දතණ්හා ගන්‍ධතණ්හා රසතණ්හා ඵොට්ඨබ්බතණ්හා ධම්මතණ්හා ඔඝො යොගො ගන්‍ථො උපාදානං ආවරණං නීවරණං ඡදනං බන්‍ධනං උපක්කිලෙසො අනුසයො පරියුට්ඨානං ලතා වෙවිච්ඡං දුක්ඛමුලං දුක්ඛනිදානං දුක්ඛප්පභවො මාරපාසො මාර බලිසං මාරවිසයො තණ්හානදී තණ්හාජාලං තණ්හාගද්දුලං තණ්හාසමුද්දො අභිජ්ඣා ලොභො අකුසලමුලං අයං වුච්චති අභිජ්ඣාකායගන්‍ථො” යි.
යම් සිතිවිල්ලෙකින් අනුන් අයත් වස්තුව, සම්පත්තිය මට වේවා යි අභිමුඛ කොට සිතා ද ඒ සිතිවිල්ල අභිජ්ඣා නම්. ‘අභිජ්ඣායතී ති = අභිජ්ඣා’ යි යන මෙයින් ඒ පෙනේ. එහි අර්‍ත්‍ථය තවත් පැහැදිලි කරන්නට ‘පරභණ්ඩාභිමුඛී හුත්‍වා තන්තින්නතාය පවත්තතී’ති අත්‍ථො’ යනු කීහ. පරභාණ්ඩයනට අභිමුඛ ව එයට නතු ව පවත්නා බැවින් ඒ සිතිවිල්ල අභිජ්ඣා නම් ය, යනු එහි අර්‍ත්‍ථයි. මෙහිලා කොටින් කිය යුත්තේ ‘මෙය මට ලැබුනේ නම් යහපතැ යි අනුන් අයත් වස්තුවට තුඩු දී එයට නැමී ලෝභ වසයෙන් සිතීම පැතීම අභිද්ධ්‍යාය යන බව ය. ‘ පරභණ්ඩාභිජ්ඣායනලක්ඛණා’ යි කියූ බැවින් අභිද්ධ්‍යාව අනුන් අයත් වස්තුව අහිමුඛ කොට සිතීම ලක්‍ෂණ කොට සිටී යයි කිව යුතු ය.
මේ වනාහි සිත මුළුමනින් කෙලසන ධර්‍මයකැ යි ආගම ධර්‍මයෙහි එයි. තමන් සතු වස්තුවෙහි පැතීම් වශයෙන් පැවැති දුර්‍වල ලෝභය ඡන්‍දකාමය කොටත්, පැතු වස්තුවෙහි ඇලීම් වසයෙන් පැවැති එයට වඩා බලවත් ලෝභය රාගකාමය කොටත් දක්වා ඒ දෙකට ම වඩා බලගතු ලෝභය අභිද්ධ්‍යා යි ද දැක් වූහ. තවද අන්සතු වස්තුවෙහි පැවැති ඡන්‍දරාගය විසමලෝභ ය යි ද කියත්. තමන් සතු වස්තුවෙහි වේවා, අනුන් සතු වස්තුවෙහි වේවා, යුතු තැන සිටි ඡන්‍දරාගය අභිද්ධ්‍යා යි ද අයුතු තැන සිටි ඡන්‍දරාගය විසමලෝහ යි ද දක්වන ලද්දේ ය. යුතු තැන හෝ වේවා, අයුතු තැන හෝ වේවා, ‘රාගො විසමං දොසො විසමං මොහො විසමං’ යි වදාළ බැවින් කිසිත් ලෝභයෙක් අවිසම වූයේ නැත. ඉදිරියට එළවා සිතීම් අර්‍ත්‍ථයෙන් අභිද්ධ්‍යා ය. විසම අර්‍ත්‍ථයෙන් විසම ය. මෙහි අකුරු වසයෙන් වෙනස් වූව ද අර්‍ත්‍ථ වශයෙන් වෙනසක් නැත, ඒ මේ අභිද්ධ්‍යා විෂමලෝභය සිතෙහි ම ඉපිද සිත දූෂිත කරයි. සිතට පිරිසිදු වන්නට සිතට බැබලෙන්නට ඉඩ නො දෙයි. එ හෙයිනි චිත්තෝපක්ලේශැ යි කීයේ.
අභිද්ධ්‍යාව හේතු කොට අන් සතු වස්තුව තමා නතු කර ගත් කල්හි ම කර්‍මපථය වේ. නැත, කර්‍මමාත්‍රයෙක් වේ. මෙය අල්ප සාවද්‍යත් මහාසාවද්‍යත් වේ. අන් සතු නො අගිනා දෙයක් තමා නතු කොට ගැන්ම ගුණ හීන වූවකු අයත් දෙයක් තමා නතු කොට ගැන්ම අල්පසාවද්‍ය වේ. වටිනා දෙයක් ගැණුම, ගුණාධිකයකු අයත් දෙයක් ගැණුම මහාසාවද්‍ය වේ. පරායත්තවස්තුවක් වීම තමාට එය නතු කරගැන්ම, යි අභිජ්ඣාවෙහි අඞ්ග දෙකෙකි.
අභිද්ධ්‍යාව රැඳීම් වසයෙන් පවත්නා කල රාග නම්. ඒ ම බලවත් ව පවත්නා කල සාරාග නම්. සත්ත්‍වයන් පස්කම් සැපතෙහි ලා පමුණුවන කල අනුනය නම්. කැමැති වීම් වසයෙන් පවත්නා කල අනුරොධ නම්. එක් අරමුණෙක එක් වරක් ඇලෙන කල සත්ත්‍වයන් ඒ ඒ භවයෙහි අලවන කල නන්‍දි නම්. නැවැත නැවැත උපදින කල නන්‍දිරාග නම්. අරමුණු කැමැති වීම වසයෙන් පවත්නා කල ඉච්ඡා නම්. සත්ත්‍වයන්ගේ මුර්‍ජාවට කරුණුවන කල මුච්ඡා නම්. ගිල අවසනට පමුණුවා ගැණීම් වශයෙන් පවත්නා කල අජ්ඣොසාන නම්. සත්ත්‍වයන් ගිජු බවට පමුණුවන කල ගෙධ නම්. ඒ ඒ අරමුණෙහි සත්ත්‍වයන් අලවන කල, එසේ ම නම්. ඒ ඒ අරමුණහි ලැගෙන කල සඞ්ග නම්. කිඳා බස්වන කල පසඞ්ග නම්.
සසරට අදින කල එජා නම්. ඒ ඒ භවයෙහි උපතට සත්ත්‍වයන් ඇද යන්නී මෝය. වංචා කිරීම් වසයෙන් පවත්නා කල මායා නම්. සත්ත්‍වයා සසර උපදවන කල ජනිකා නම්. සත්ත්‍වයා සසර දුක හා යොදන කල සඤ්ජනනී නම්. සත්ත්‍වයා චුතිපටිසන්‍ධි වසයෙන් සසර හා එක් කොට මසන ගළපන කල සිබ්බනී නම්. සසරින් බැහැර යන්නට නො දීමෙන් දැලක් වැනි ව පවත්නා කල ජාලීනි නම්. ඉක්මන් ගමන් ඇති සැඩ පහරක් සේ පවත්නා කල සරිතා නම්.
රූප, ශබ්ද, ගන්‍ධ, රස, ස්ප්‍රෂ්ටව්‍ය, ධර්‍ම, කුල, ගණ යන මේ තන්හි ඇලීම් පැතිරීම් වසයෙන් පවත්නා කල විසත්තිකා නම්. විපත් ලංකර දෙන අරුතින් සුත්ත නම්. රූපාදීන් කෙරෙහි පැතිර යන අරුතින් විසටා නම්. ඒ ඒ වස්තූන් ලබා ගැණුමෙහි සත්ත්‍වයන් උත්සාහවත් කරණ අරුතින් ආයුහනී නම්. කළකිරෙන්ට නො දී සහායකු සේ පවතින අරුතින් දුතියා නම්. සසර කළකිරෙන්නට නො දී ගිය ගිය තැන ප්‍රිය සහායකු සේ සත්ත්‍වයන් සසරෙහිලා අලවනී මෝය. පැතිම් අරුතින් පණීධි නම්. රැහැණින් ගෙල බැඳි ගොනුන් සේ කැමැති කැමැති තැනට සත්ත්‍වයන් පමුණුවන අරුතින් භවනෙත්ති නම්.
ඒ ඒ අරමුණු භජනය කරණ අරුතින් වන නම්. ඒ ඒ අරමුණහි සත්ත්‍වයන් බලවත්තරව අලවන අරුතින් වනථ නම්. එකතුවීම් අරුතින් සන්‍ථව නම්. සෙනේ කිරීම් අරුතින් සිනෙහ නම්. ආලය කිරීම් වසයෙන් බලාපොරොත්තු වන අරුතින් අපෙක්ඛා නම්. වෙන වෙන අරමුණෙහි බැඳීම් අරුතින් හෝ නෑ අරුතින් හෝ පටිබන්‍ධු නම්, අරමුණ බුදින අරුතින් ආසා නම්. පැතීම් අරුතින් ආසිංසනා නම්. පැතූබව ආසිංසිතත්ත නම්. රූප ශබ්ද ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍ය ලාභ ධන පුත්‍ර ජීවිත යන මේ තැන්හි වූ ආසා රූපාසා සද්දාසා ගන්‍ධාසා රසාසා ඵොට්ඨබ්බාසා ලාභාසා ධනාසා පුත්තාසා ජිවිතාසා නම්. මෙකි පද නවය ආසා පවත්නා තැන් විසින් වදාරන ලද්දේ ය. එහි රූපාසාදි පස පංචකාම වසයෙන්, පැවිද්දන්ට විශේෂ බැවින් සවැන්න පරික්ඛාරලෝභ වසයෙන්, සෙසු තුන ගිහින් පිළිබඳ අතෘප්තිකරවස්තු වශයෙන් වදාරන ලදැ යි ද දත යුතු ය.
ගිහියන්ට ධන පුත්‍ර ජීවිත යන මෙ තුනට වඩා ප්‍රියතර වස්තුවෙක් නැත. ‘මෙය මාගේ, තෙල මාගේ’ යි හෝ මෙය මට අසුවලා විසින් දෙන ලද ය, මෙය අසුවලා විසින් දෙන ලදැ යි හෝ සත්ත්‍වයන් ලවා කියවන අරුතින් ජප්පා නම්. පජප්පා අභිජප්පා යනු එහි ම උපසර්‍ග විසින් වැඩුනේ ය. කියවන අයුරින් පවත්නා අරුතින් ජප්පනා නම්. කියූවහුගේ භාවය ජප්පිතත්ත නම්, පස්කම්හි පුන පුනා ලොල් වන අරුතින් ලොලුප නම්. ලොල්වූවහුගේ භාවය ලොලුප්ප නම්. ලොල් වන ආකාරය ලොලුප්පායනා නම්. ලොලුප්පායිතත්ත යනු ලොලුප්ප යන අරුත්හි ම ය. ලාභ ලත් තැන නගුට සලන බල්ලකු සේ සත්ත්‍වයන්ගේ සැලීමට කරුණුය යන අරුතින් පුච්ඡඤ්ජිකතා නම්. මන වඩන පස් කම් සැප කැමැති වන අරුතින් සාධුකම්‍යතා නම්. අම්මා, මහම්මා ආදි අයුක්ත ස්ථානයන්හි ඇලෙන අරුතින් අධම්මරාග නම්. යුක්තස්ථානයෙහි ද බලවත් ව උපදනා අරුතින් විසමලොභ නම්. අරමුණු කැමැතිවීම් වසයෙන් පවත්නා අරුතින් නිකන්ති නම්. කැමැතිවීම් අයුරෙන් පවත්නා අරුතින් නිකාමනා නම්. පැතීම අරුතින් පත්‍ථනා නම්. පැමිණෙනු කැමැති අරුතෙන් පිහායනා නම්. මනා කොට පැතීම් විසින් සම්පත්‍ථනා නම්. පස්කම් කොටස්හි පවත්නා කල කාමතණ්හා නම්.
රූපාරූපභවයෙහි පවත්නා කල භවතණ්හා නම්. උච්ඡේදයෙහි පවත්නා කල විභවතණ්හා නම්. එකලා රූපභවයෙහි පවත්නා කල රූපතණ්හා නම්. අරූපභවයෙහි පවත්නා කල අරූපතණ්හා නම්. නිරෝධයෙහි පවත්නා කල නිරොධතණ්හා නම්. රූප ශබ්ද ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍යයන්හි පවත්නා කල රූපතණ්හා සද්දතණ්හා ගන්‍ධතණ්හා රසතණ්හා පොට්ඨබ්බතණ්හා නම්. සත්ත්‍වයන් සසර කිඳා බස්වන කල ඔඝ නම්. සසර යොදන කල යොග නම්. චුතිපටිසන්‍ධි වසයෙන් ගැටලන කල ගන්‍ථ නම්. දැඩි ව ගන්නා කල උපාදාන නම්. කුසල් අදහස් අවුරන කල ආවරණ නම්. සසර වෙළන කල නීවරණ නම්. කුසල් දහම් වසන කල ඡදන නම්. සසර බඳින කල බන්‍ධන නම්. සිත කිලිටි කරණ කල උපක්කිලෙස නම්. සිතක් පාසා එක්වන් නිදන කල අනුසය නම්. කුසල් වසයෙන් උපදින සිතට එසේ උපදින්නට නො දී සිටින කල පරියුට්ඨාන නම්. වෙළීම් අරුතින් වැලක් සේ සිටින කල ලතා නම්. නන්වැදෑරුම් දේ කැමැති වන කල වෙවිච්ඡ නම්.
සසරදුකට මුල් බැවින් දුක්ඛමූල නම්. සසරදුකට කරුණු බැවින් දුක්ඛනිදාන නම්. සසරදුක මෙයින් හටගන්නා බැවින් දුක්ඛප්පභව නම්, බැඳීම් අරුතින් පාසයක් වැනි බැවින් පාස නම්. මාරයාගේ පාස බැවින් මාරපාස නම්. බිලියක් වැනි බැවින් බලීස නම්. මාරයාගේ බිලිය මාරබලිස නම්. මාරයාගේ විසය බැවින් මාරවිසය නම්. තෘෂ්ණාවෙන් වැඩුනු සත්ත්‍වයෝ මාරවිසය නො ඉක්මවති. තෘෂ්ණාව ගලා යෑම් අරුතින් නදියක් වැනි බැවින් තණ්හානදී නම්. තෘෂ්ණාව දැලක් වැනි බැවින් තණ්හාජාල නම්. දැඩිව බැඳීම් අරුතින් බලුදමක් වැනි බැවින් තණ්හාගද්දුල නම්. පුරනු නො හැකි බැවින් තණ්හාසමුද්ද නම්. අරමුණෙහි ගිජු ව පවත්නා බැවින් ලොභ නම්.
“තත්‍ථ කතමො ව්‍යාපාදො කායගන්‍ථො? අනත්‍ථං මෙ අචරීති ආඝාතො ජායති, අනත්‍ථං මෙ චරතීති -පෙ- අනත්‍ථං මෙ චරිස්සතීති -පෙ- පියස්ස මෙ මනාපස්ස අනත්‍ථං අචරි -පෙ- චරිස්සතීති -පෙ- අප්පියස්ස මෙ අමනාපස්ස අත්‍ථං අචරි -පෙ- චරිස්සතීති -පෙ- අට්ඨානෙ වා පන ආඝාතො ජායති, යො එවරූපො චිත්තස්ස ආඝාතො පටිඝාතො පටිඝං පටිවිරොධො කොපො පකොපො සම්පකොපො දොසො පදොසො සම්පදොසො චිත්තස්ස ව්‍යාපත්ති මනොපදොසො කොධො කුජ්ඣනා කුජ්ඣිතත්තං දොසො දුස්සනා දුස්සිතත්තං ව්‍යාපත්ති ව්‍යාපජ්ජනා ව්‍යාපජ්ජිතත්තං විරොධො පටිවිරොධො චණ්ඩික්කං අසුරොපො අනත්තමනතා චිත්තස්ස, අයං වුච්චති ව්‍යාපාදො කායගන්‍ථො” යනු ව්‍යාපාද කායග්‍රන්‍ථය වදාළ සැටියි.
යම් සිතිවිල්ලකින් සිත්සතන් කුණුවී යේ ද නැසී යේ ද සිත කුණු කළ, සිත නැසූ ඒ සිතිවිල්ල ව්‍යාපාදය, යි කියති. එලොව මෙලොව දෙක්හි ම අවැඩ සිදුකරණ පව් සිතිවිල්ලෙකි මේ. “ව්‍යාපජ්ජති තෙන චිත්තං පූතිහාවං උපගච්ඡති ව්‍යාපාදයති විනාසයති වා විනයාචාරරූපසම්පත්තිහිතසුඛාදිනීති ව්‍යාපාදො” යනු එහි නිරුක්තියි. සත්ත්‍වයන් පිළිබඳ පියවිගතිය මුළුමනින් වෙනස් කොට ඔවුන් වියරුගතියට පමුණු වන්නේ මේ ය. සිත පිළිබඳ නො සතුට ලකුණු කොට ගත් මෙය අල්පසාවද්‍ය, මහාසාවද්‍ය වශයෙන් දෙපරිදි වේ. එහි විස්තර පරුෂවචනයට කී ලෙසින් දත යුතු ය. අන් සතකු වීම, ඔහු නසන්නට සිතීම යනු එහි අඞ්ගයි. අනුන් කෙරෙහි ක්‍රෝධය උපන් පමණකින් ම කර්‍මපථය නො වන්නේ ය. ‘මූ නැසේවා වැනසේවා’ යි සිතු කල්හි ම ය ඒ වන්නේ. විස්තර පෙර කියු සේ දත යුතු ය.
ව්‍යාපාදය සිත නසමින් උපදනේ ආඝාත නම්. එය ම එයට වඩා බලවත් ව නැගී ආයේ පටිඝාත නම්. නැසීම පියවිගතිය කොට සිටියේ පටිඝ නම්. ප්‍රතිවිරුද්ධ ව සිටියේ පටිවිරොධ නම්. කිපීම ස්වභාවය කොට සිටියේ කොප නම්. ඒ ම උපසර්‍ග විසින් වැඩුන් පකොප-සම්පකොප නම්. සිත දූෂණය කරණුයේ දෝෂ නමි. ඒ ම උපසර්‍ග විසින් වැඩුනේ පදොස-සම්පදොස නම්. සිත පෙරළනුයේ ව්‍යාපත්ති නම්. සිත අතිශයින් දූෂණය කරණුයේ මනොපදොස නම්. කිපෙනුයේ කොධ නම්. කිපෙන අයුරෙන් සිටියේ කුජ්ඣනා නම්. ක්‍රෝධභාවය කුජ්ඣිතත්ත නම්. දූෂණාකාරයෙන් සිටියේ දුස්සනා නම්. දූෂිතභාවය දුස්සිතත්ත නම්. පියවි ගතිය හැරීම් වසයෙන් පවතින්නේ බ්‍යාපජ්ජනා නම්. පියවි ගතිය හැරීම බ්‍යාපජ්ජිතත්ත නම්. විරුද්ධ වනුයේ විරොධ නම්. සැඩ පුගුලකු පිළිබඳ ස්වභාවය වූයේ චණ්ඩික්ක නම්. මේ සිතුවිල්ල නිසා නැගුනු වචනය නින්‍දිත අසම්පුර්‍ණ වූවක් බැවින් ඒ අසුරොප නම්. සතුටට ප්‍රතිපක්‍ෂ බැවින් සිටියේ අනත්තමනතා නම්.
“තත්‍ථ කතමො සීලබ්බතපරාමාසො කායගන්‍ථො? ඉතො බහිද්ධා සමණබ්‍රාහ්මණානං සීලෙන සුද්ධි, වතෙන සුද්ධි සීලබ්බතෙන සුද්ධී, යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං දිට්ඨිගහණං දිට්ඨිකන්තාරො දිට්ඨිවිසූකායිකං දිට්ඨිවිප්ඵන්‍දිතං දිට්ඨිසඤ්ඤොජනං ගාහො පතිට්ඨාහො අභිනිවෙසො පරාමාසො කුම්මග්ගො මිච්ඡාපථො මිච්ඡත්තං තිත්‍ථායතනං විපරියෙසග්ගාහො අයං වුච්චති සීලබ්බතපරාමාසො” යනු ශීලව්‍රතපරාමර්‍ශ කායග්‍රන්‍ථය වදාළ සැටියි.
සීලයෙන් පිරිසිදු වනු හැකි ය, ව්‍රතයෙන් පිරිසිදු වනු හැකි ය, ශීලව්‍රතයෙන් පිරිසිදු වනු හැකිය යි මෙසස්නෙන් පිටත්හි වූ තීර්‍ත්‍ථායතනයන්හි කරණ ලද ශීලව්‍රතසමාදාන ශිලව්‍රතපරාමර්‍ශ නම්. “සීලෙන සුජ්ඣිතුං සක්කා වතෙන සුජ්ඣිතුං සක්කා සීලබ්බතෙහි සුජිඣිතුං සක්කාති ගහිත සමාදානං සීලබ්බතපරාමාසො නාම” යනු ඒ ඉගැන්වීම ය. ශීලයෙන් ව්‍රතයෙන් ශීලව්‍රතයෙන් පිරිසිදු බව ලැබේනු යි උපදින දෘෂ්ටිය සිලබ්බතපරාමාසැයි කොටින් කිය හැකි ය. එසේ කිය හැක්කේ “සීලෙන වතෙන සුද්ධීති පරතො ආමාසො සීලබ්බතපරාමාසො” යි ආගමෙහි ආ බැවිනි. ‘යමක් නො කරමි’ යි වළකී ද ඒ වැළකීම සීලය යි. “තත්‍ථ යං න කරොමීති ඔරමති තං සීලං” ය නු ඒ කීමය. විෂ කෑම, දුක් හැසුරුම් ආදිය ව්‍රත නම්. “විසභොජනනිච්ඡාචරණාදිකං වතං” යනු කීයේ ය. හැසිරීම් පමණින් වැළකීම් පමණින් දොරවැසීම් පමණින් නොයික්මවීමි පමණින් සංසාරසුද්ධිය විමුක්තිය බලාපොරොත්තු වෙමින් බැහැර සිල්ගන්නෝ වෙති. “සන්තකෙ සමණබ්‍රාහ්මණා සීල සුද්ධිකා තෙ සීලමත්තෙන සංයමමත්තෙන සංවරමත්තෙන අවිතික්කමමත්තෙන සුද්ධිං විසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං පච්චෙන්ති” යනු ඒ වදාළ සැටියි.
මේ සංසාරසුද්ධිය, සංසාරවිමුක්තිය පතමින් ව්‍රතසමාදන් වන්නෝ “සන්තෙකෙ සමණබ්‍රාහ්මණා වතසුද්ධිකා තෙ හත්‍ථිවතිකා වා හොන්ති, අස්සවතිකා වා හොන්ති, ගොවතිකා වා හොන්ති, කුක්කුරවතිකා වා හොන්ති, කාකවතිකා වා හොන්ති, වාසුදෙවවතිකා වා හොන්ති, බලදෙවවතිකා වා හොන්ති, පුණ්ණභද්දවතිකා වා හොන්ති, මණිභද්දවතිකා වා හොන්ති, අග්ගිවතිකා වා හොන්ති, නාගවතිකා වා හොන්ති, සුපණ්ණවතිකා වා හොන්ති, යක්ඛවතිකා වා හොන්ති, අසුරවතිකා වා හොන්ති, ගන්‍ධබ්බවතිකා වා හොන්ති, මහාරාජවතිකා වා හොන්ති, චන්‍දවතිකා වා හොන්ති, සූරියවතිකා වා හොන්ති, ඉන්‍දවතිකා වා හොන්ති, බ්‍රහ්මවතිකා වා හොන්ති, දෙවවතිකා වා හොන්ති, දිසාවතිකා වා හොන්ති. ඉමෙ තෙ සමණබ්‍රාහ්මණා වතසුද්ධිකා” යන මෙයින් දක්වන ලදහ.
හත්‍ථිවත - අස්සවත - ගොවත - කුක්කුරවත -කාකවත - වාසුදෙවවත - බලදෙවවත - පුණ්ණභද්දවත - මණිභද්දවත - අග්ගිවත - නාගවත - සුපණ්ණවත - යක්ඛවත - අසුරවත - ගන්‍ධබ්බවත - මහාරාජවත - චන්‍දවත - සූරියවත - ඉන්‍දවත - බ්‍රහ්මවත - දෙවවත - දිසාවත යන මේ ව්‍රත පැවතුම් බැහැරියන් විසින් සංසාරසුද්ධිය පිණිස රැකිය යුතු කොට උපදවා ගන්නා ලද ය. ‘අද සිට මම ඇතුන් කරන්නා සේ කරමි’ යි සිතා ඇතුන් යන සිටින හිඳින නිදන සැටි මල මූ පහකරණ සැටි හොඬ ඔසවන සැටි යන මේ ඈ සියල්ල බලා ඒ සැටියෙන් පිළිපැදීම හත්‍ථිවත නමැ යි ද, මෙසේ පිළිපැදීමෙන් සුද්ධිය පතන්නේ හත්‍ථිවතික නමැ යි ද කීහ. සෙස්ස මෙසේ ගන්න. අවසනැ පෙනෙන දිසාවත නම් පූර්‍ව පශ්චිමාදි දිශාවනට වැඳුම් පිදුම් කිරීම ය.
මොවුන් මෙසේ ගතු ද මේ ව්‍රත සමාදානය හිත පිණිස නොපවතින්නේ ය. සාධකසූත්‍රයෙක් මේ - “ඉධ පුණ්ණ එකච්චො කුක්කුරවතං භාවෙති, පරිපුණ්ණං අබ්බොකිණ්ණං කුක්කුරසීලං - කුක්කරචිත්තං - කුක්කුරාකප්පං භාවෙති, පරිපුණ්ණං අබ්බොකිණ්ණං සො කුක්කුරවතං - කුක්කුරසීලං - කුක්කුරචිත්තං - කුක්කුරාකප්පං භාවෙත්‍වා පරිපුණ්ණං අබ්බොකිණ්ණං කායස්ස භෙදා පරම්මරණා කුක්කුරානං සහව්‍යතං උප්පති” යනු.
ඒ මේ සීලබ්බතපරාමාසය වෙනස් වූ දැක්මෙනු යි දිට්ඨි නම්. දෙසැට මිසදිටුවට ඇතුළත් නු යි දිට්ඨිගත නම්. ඉක්මවා යෑම නො පහසු නු යි දිට්ඨිගහණ නම්. සැක හා බිය සහිත නු යි දිට්ඨි කන්තාර නම්. නියම දැක්මට විලොම නු යි දිඨිවිසුකායික නම්. කලෙක ශාස්වතය හා කලෙක උච්ඡේදය හා ගෙණ දෘෂ්ටියෙන් සැලේ නු යි දිට්ඨිවිප්ඵන්දිත නම්. දිට්ඨිගතිකයා එක තැන පිහිටා ගැණුමෙහි අපොහොසත් ය. ඔහු සමහර කලෙක ශාස්වතයට සමහර කලෙක උච්ඡේදයට බසි යි. මේ කීසේ ය. සසර යොදා නු යි දිටඨිසංයෝජන නම්. අරමුණු දැඩිව ගණි නු යි ගාහ නම්. බලවත් පැවැත්මෙන් පිහිටානු යි පතිට්ඨාහ නම්. නිත්‍යාදිවශයෙන් පිවිසේ නු යි අභිනිවෙස නම්. දහම් සැටි ඉක්මවා නිත්‍යාදිවශයෙන් බැහැරින් ආමර්‍ශනය කෙරේනු යි පරාමාස නම්. අනර්‍ත්‍ථ ඵළවා නු යි අපායට මග නු යි කුම්මග්ග නම්. වැරදිමග නු යි මිච්ඡාපථ නම්. අනර්‍ත්‍ථයනට තීර්‍ත්‍ථ නු යි තිත්‍ථායතන නම්. වැරදි ලෙසින් ගණීනු යි විපරියෙසගාහ නම්.
“තත්‍ථ කතමො ඉදං සච්චාභිනිවෙසො කායගන්‍ථො? සස්සතො ලොකො, ඉදමෙව සච්චං, මොඝමඤ්ඤන්ති වා අසස්සතො ලොකො, අන්තවා ලොකා, අනන්තවා ලොකො තං ජීවං, තං සරීරං, අඤ්ඤං ජීවං, අඤ්ඤං සරීරං, හොති තථාගතො පරම්මරණා, න හොති තථාගතො පරම්මරණාති වා, හොති ච න ච හොති තථාගතො පරම්මරණාති වා, නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති වා, යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං දිට්ඨිගහණං දිට්ඨිකන්තාරො දිට්ඨිවිසූකායිකං දිට්ඨිවිප්ඵන්දිතං දිට්ඨිසඤේඤාජනං ගාහො පතිට්ඨාහො අභිනිවෙසො පරාමාසො කුම්මග්ගො මිච්ඡාපථො මිච්ඡත්තං තිත්‍ථායතනං විපරියෙසගාහො, අයං වුච්චති ඉදං සච්චාභිනිවෙසො කායගන්‍ථො” යි ඉදං සත්‍යාහිනිවේශ කායග්‍රන්‍ථය දැක්වින.
‘මේ ම සත්‍යය, අන්‍ය වූයේ අසත්‍යය’ යි දැඩි ගැණුම ඉදං සත්‍යාභිනිවෙශ නම්. ආත්මභාවය (පස්කඳ) නිත්‍යය යන මේ ම සත්‍යය, අන්‍ය වුයේ අසත්‍යය, ආත්මභාවය නිත්‍ය නො වේ, යන මේ ම සත්‍යය වේ, අන්‍ය වූයේ සත්‍යය නො වේ, ආත්මභාවය කෙළවර සහිතය යන මේ ම සත්‍යය වේ, අන්‍ය වූයේ සත්‍යය නො වේ, ආත්මභාවය කෙළවර නැත්තේ ය යන මේ ම සත්‍යය වේ, අන්‍ය වූයේ අසත්‍යය වේ, ප්‍රාණය බිඳෙනසුලු සිරුර පිළිබඳය යි ගැණීමෙන් සිරුර බිඳෙන කල්හි ප්‍රාණයත් බිඳී යන්නේය යි සිතා ඒ ආත්මභාවය ඒ ශරීරය යි යන මේ ම සත්‍යය වේ, අන්‍ය වූයේ අසත්‍යය, (යමෙක් ආත්ම භාවය වේ නම් ඒ ම ශරීරය වේ. යමෙක් ශරීරය වේ නම් ඒ ම ආත්මභාවය වේ යි කී සේ ය.) ආත්මහාවය අනෙකෙක්. ශරීරය අනෙකෙක්. යන මේ සත්‍යය, අන්‍ය වූයේ සත්‍යය නො වේ, සත්ත්‍ව තෙමේ මරණින් මතු වන්නේ යනු ම සත්‍යය, අන්‍ය වූයේ අසත්‍යය, සත්ත්‍ව තෙමේ මරණින් මතු නො වන්නේ යනු ම සත්‍යය, අන්‍ය වුයේ අසත්‍ය ය, සත්ත්‍ව තෙමේ මරණින් මතු වන්නේත් වේ, මරණින් මතු නො වන්නේත් වේ, යනු ම සත්‍යය වේ, අන්‍ය වූයේ සත්‍යය නො වේ, සත්ත්‍ව තෙමේ මරණින් මතු නොම වන්නේ ය. සත්ත්‍ව තෙමේ මරණින් මතු නො වන්නේ නො වේ, යනු ම සත්‍යය වේ, අන්‍ය වූයේ සත්‍යය නො වේ, යි මෙසේ බෙදුනු දෘෂ්ටිය ය ඉදං සත්‍යාහිනිවෙශ. සෙස්ස පෙර කීසේ ය.
ඉතා සැකෙවින් කියූ මේ සතරය කායග්‍රන්‍ථ. “යස්ස සංවිජ්ජති තං චුතිපටිසන්‍ධිවසෙන වට්ටස්මිං ගන්‍ථෙති ඝටෙන්ති” යනු ග්‍රන්‍ථ පැහැදිලි කළ සැටි ය. නාමකය හා රූපකය හෝ, වර්‍තමානකය හා අනාගතකය හෝ, නො බිඳෙන සේ එකට ගැට ලත් නු යි බඳිත්නු යි කායග්‍රන්‍ථ නම්. යමක්හුගේ සන්තානයෙහි මොවුහු වෙත් නම්, ඔවුහු ඒ සත්ත්‍වයා. චුතිපටිපන්‍ධිවසයෙන් භවයෙහි ලා ගෙණ යන්නෝ ය.
මොවුනතරෙහි අභිද්ධ්‍යාකායග්‍රන්‍ථය අටවැදෑරුම් ලෝභ සහගිය සිත්හි ද ව්‍යාපාදකායග්‍රන්‍ථය දෙවදෑරුම් දොම්නස් සහගිය සිත්හි ද ශීලව්‍රතපරාමර්‍ශ - ඉදංසත්‍යාභිනිවේශකායග්‍රන්‍ථ දෙක සිවු වැදෑරුම් මිසදිටු සහගිය සිත්හි ද උපදි යි.
අභිද්ධ්‍යාකායග්‍රන්‍ථය අර්‍හන්මාර්‍ගයෙන්, ව්‍යාපාදය අනාගාමී මාර්‍ගයෙන්, ශීලව්‍රතපරාමර්‍ශ - ඉදංසත්‍යාභිනිවේශයෝ ස්‍රෝතාපත්ති මාර්‍ගයෙන් නැසී යති.
පරිළාහො = දැවිල්ලෙක්.
දැවිල්ල දෙවැදෑරුම් ය, කය පිළිබඳය, සිත පිළිබඳය යි. මෙහි අදහස් කරණ ලද්දේ සිතපිළිබඳ දැවිල්ල ය. ශීතෝෂ්ණාදි වශයෙන් උපදින කය පිළිබඳ දැවිල්ල රහතුන් වහන්සේ ද නො නිවූ සේක. එහෙයින් කායිකදාහය උන්වහන්සේට ද ඇත. සිත පිළිබඳ දැවිල්ලැ යි වදාළේ සිතෙහි උපදින කෙලෙස් දැවිල්ල ය. ඒ වනාහි රහතුන් වහන්සේ විසින් සෝපාදිශේෂ නිර්‍වාණයෙන් නිවන ලදය.
න විජ්ජති = නැත්තේ ය.
බුදුරජානන් වහන්සේ ධර්‍මරාජන් බැවින් හා දේශනාවිධියෙහි දක්‍ෂ බැවින් කායිකචෛතසිකපරිදාහ වශයෙන් දේශනාව පෙරළමින්, ජීවක; යම් හෙයකින් රහතුන් වහන්සේ සියලු කෙලෙස් දැවිලි සෝපාදිශේෂ නිර්‍වාණයෙන් නිවූ සේක් ද, එහෙයින් පරමාර්‍ත්‍ථ වශයෙන් නම් රහතුනට කිසිත් පරිදාහයෙක් නැතැ, යි වදාළ සේක.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියෝ ය.
ජීවකයාගේ ප්‍රශ්න වස්තුව නිමි.