6-11 ආගන්තුකභික්‍ෂූන් වහන්සේලා

කණ්හං ධම්මං විප්පහාය සුක්කං භාවෙථ පණ්ඩිතො

ඔකා අනොකං ආගම්ම විවෙකෙ යත්‍ථ දූරමං.

නුවණැත්තේ කළු දහම් (හෙවත් අකුසල්) දුරැ ලා, ආලයයෙන් (ගිහිගෙන්) නික්මැ පැවිදි බිමට පැමිණ (නොහොත් නිරාලය සංඛ්‍යාත නිවන පිණිස) සුදු දහම් (කුසල්) වඩන්නේ ය. යම් උපධිවිවේකයෙක්හි (නිවනෙක්හි) මේ සත්ත්‍වයන් විසින් ඇලෙන්නට නො හැකි ද,

තත්‍රාභිරතිමිච්ඡෙය්‍ය හිත්‍වා කාමෙ අකිඤ්චනො

පරියොදපෙය්‍ය අත්තානං චිත්තක්ලෙසෙහි පණ්ඩිතො.

ඒ නිවනෙහි ඇල්ම කැමැති වන්නේ ය. නුවණැත්තේ වස්තුකාම ක්ලේශකාමයන් දුරු කොට (සිතින් පහ කොට) ක්ලේශපරිබෝධ රහිත වූයේ (නොහොත් පුත්‍ර දාර ගොමභිෂාදි පළිබෝධයක් නැත්තේ) චිත්තක්ලේශයන් (පංච නීවරණයන්) කෙරෙන් තමා (තම සිත) පිරිසිදු කරන්නේ ය.

යෙසං සම්බොධිඅඞ්ගෙසු සම්මා චිත්තං සුභාවිතං

ආදානපටිනිස්සග්ගෙ අනුපාදාය යෙ රතා

ඛීණාසවා ජුතිමන්තො තෙ ලොකෙ පරිනිබ්බුතා.

යම් කෙනකුගේ සිත බෝධ්‍යඞ්ගධර්‍ම විෂයයෙහි මනා කොට වඩන ලද ද, උපාදාන රහිත වැ (මම ය මගේ යැ යි නො ගෙන), උපාදාන ග්‍රහණ රහිත නිවනෙහි යම් කෙනෙක් ඇලුනාහු ද, ඥනානුභාව ඇති, දුරැලූ ආස්‍රව ඇති ඒ ආර්‍ය්‍යයෝ ලොවෙහි පිරිනිවියෝ නම් වෙති.

කොසොල් රට වැසි පන්සියයක් භික්‍ෂූන් වහන්සේලා වස් වැස පවරා, බුදුරජුන් දක්නට දෙව්රමට ගොස් බුදුරජුන් වැඳ පසෙක හුන්නාහු ය. බුදුරජානන් වහන්සේ ඔවුන්ගේ චරිතය බලා මේ ධර්‍මදේශනාව කළ සේක:-

කණ්හං ධම්මං විප්පහාය සුක්කං හාවෙථ පණ්ඩිතො,

ඔකා අනොකං ආගම්ම විවෙකෙ යත්ථ දූරමං.

.

තත්‍රාභිරතිමිච්ඡෙය්‍ය හිත්‍වා කාමෙ අකිඤචනො,

පරියොදපෙය්‍ය අත්තානං චිත්තක්ලෙසෙහි පණ්ඩිතො.

.

යෙසං සම්බොධි අඞ්ගෙසු සම්මා චිත්තතං සුභාවිතං,

ආදාන පටිනිස්සග්ගො අනුපාදාය යො රතා,

ඛීණාසවා ජුතීමත්තො තෙ ලොකෙ පරිනිබ්බුතාති.

නුවණැති තැනැත්තෝ අකුසල් දහම් වෙසෙසින් දුරු කොට, ගෙන් (නික්ම) ගේ නැතී පැවිද්දට නොහොත් නිවන් පිණිස කුසල් දහම් වඩන්නෝ ය. යම් උපධිවිවේකයෙක්හි සිත් අලවන්නට දුෂ්කර ද (ඒ නිවන් පිණිස ය).

ඒ නිවනෙහි ඇල්ම කැමැති වන්නේ ය. කාමයන් හැර දමා පළිබෝධ නැත්තේ සිත, සිත පිළිබඳ කෙලෙසුන්ගෙන් පිරිසිදු කරන්නේ ය.

යම් මහරහත් කෙනෙකුගේ සිත බොධ්‍යඞ්ගධර්‍මයන් කෙරෙහි නොහොත් සත්තිස් බෝ පැකි දහම් කෙරෙහි මනාකොට, මනා සේ වඩන ලද ද (කිසිවක් සිතින්) දැඩිව නො ගෙණ, ගැණීමට පටහැනි වූ නිවනෙහි යම් රහත් කෙනෙක් ඇලුනාහු ද, ද්‍යුතිමත් වූ ක්‍ෂීණාශ්‍රව වූ ඒ ආර්‍ය්‍යපුද්ගලයෝ ලෝකයෙහි පිරිනිවියෝ ය.

කණ්හං ධම්මං විප්පහාය = අකුසල් දහම් වෙසෙසින් දුරු කොට.

‘කණ්හං ධම්මන්ති කායදුච්චරිතාදිභෙදං අකුසලධම්මං’ යි අටුවා හෙයින් අකුසල් දහම්, කෘෂණධර්‍ම - කණ්හධම්ම යි කියනු ලැබේ. කායදුශ්චරිතාදිය යි. විස්තර යට කියනලද ය.

සුක්කං භාවෙථ පණ්ඩිතො = නුවණැත්තේ කුසල් දහම් වඩන්නෝ ය.

‘සුක්කන්ති කාය සුචරිතාදිභෙදං කුසලධම්මං’ යනු අටුවා බැවින් ශුක්ලධර්‍ම නම්, කායසුචරිතාදිය යි ගැණේ.

ඔකා අනොකං ආගම්ම = ගෙන් (නික්ම) ගේ නැති පැවිද්දට නොහොත් නිවනට පැමිණ. නිවන් පිණිස.

‘ඔකං වුච්චති ආලයො, අනොකං වුච්චති අනාලයො, ආලයතො නික්ඛමිත්වා අනාලයසඞ්ඛාතං නිබ්බානං පටිච්ව ආරබ්භාති ‘ යනු ඔක - අනොක දෙක පැහැදිලි කළ සැටි යි. ඔක, යි කීයේ වසන තැන ය. අනොක, යි කීයේ විසීමක් නැති තැන ය. ඒ වනාහි පැවිදිබව හෝ නිවන යි. ඔක යි කියූ ගිහිගෙන් මුළුමනින් නික්ම ගෙයක් නැති බැවින් නිරාලය යි කියන පැවිද්දට පැමිණ, නොහොත් නිවන් පිණිස, යනු ඒ පාළියෙහි කෙටි තේරුම ය.

නුවණැත්තේ අකුසල් දහම් හැර, ගිහිගෙන් නික්ම, පැවිද්දට පැමිණ, නොහොත් නිවන් පිණිස, පැවිද්ද පටන් නිවන් ලැබීම තෙක් කුසල් දහම් වඩන්නේ ය, යනු මේ කොටසෙහි ඉතා කෙටි අදහස ය.

විවෙක යත්‍ථ දූරමං = යම් විවේකයෙක්හි ඇලීම දුෂකර ද (ඒ නිවන සඳහා ය.

විවෙක, යි කීයේ ත්‍රිවිධ විවේකයන් අතුරෙහි උපධිවිවේක ය යි. උපධිවිවේක නම් නිවන ය. ඒ යට කියන ලද ය.

තත්‍ර අභිරතිං ඉච්ඡෙය්‍ය = ඒ නිවනෙහි ඇල්ම කැමැති වන්නේ ය.

හිත්‍වා කාමෙ අකිඤ්චනො = කාමයන් හැර කිසිවක් නැත්තේ.

වස්තුකාම ක්ලේශකාම දෙක කාමෙ, යන ද්විතීයා විභක්ත්‍යන්තයෙන් ගැණේ [1] අකිඤ්චනො, යනු පණ්ඩිතො, යන්නෙහි එල්බ සිටි යි.

පළිබෝධ නැති නුවණැත්තේ යි හෝ, නුවණැත්තේ පළිබෝධ නැත්තේ යි අරුත් ගත හැකි ය. එහි ‘නත්ථි කිංචනං එතස්සාති = අකිංචනො’ යනු අර්‍ත්‍ථසමර්‍ත්‍ථනය යි. එහි ‘රාගො කිංචනං, දොසො කිංචනං, මොහො කිංචනං’ යි මේ ඈ ලෙසින් ආ බැවින් රාග ද්වේෂ මෝහාදිය හා දූ පුත් දැසි දස් ගො මහිස වතුපිටි ධනධාන්‍යදිය කිංචනැ යි, කිංචන නම්, සත්වයා බැඳ වෙළා තබන ඒ රාගද්වේෂාදී වූ කෙලෙස් හා උපභෝග පරිභෝග වස්තු සමූහය යි. රාගය උපදනේ සත්වයා බැඳ තබ යි. ඇතැම් මහණ කෙනෙක් වෙහෙර අරම් අතැවැසි ආදීන් හැර, අන් තැනෙක නො යන්නෝ ද මේ කිංචනයන්ගෙන් ඒ ඒ තැන්හි බැඳී සිටින බැවිනි. ගිහියෝ ගේ දොර ඉඩකඩම් අඹු දරුවන් හරින්නට නො කැමැත්තාහු නිරාහාරව වුව ද එහි ම ඇලී ගැලී ඉන්නට කැමැත්තාහු නිතර ගේ සිහි කරන්නාහු වූවෝ මේ කිංචන ධර්‍මයන්ගේ ශක්තිය නිසා ය. ‘රාගො උප්පජ්ජමානො සත්තෙ බන්ධති පළිබන්ධති තස්මා කිංචන්ති වුච්චති, යනු අටුවා ය. සෙස්ස ද මෙසේ ය. පළිබෝධ - කරදර යනු කිංචන යන්නෙහි ඉතා පැහැදිලි තේරුම යි. නිවනෙහි ඇලුනේ අකිංචන, නම් වේ. එසේ නිවන බලාපොරොත්තුවෙමින් සියල්ල හැර දමා ලාභාපේක්‍ෂාවෙන් තොර ව හරිහැටි මහණදම් කරණුයේත් අකිංචන නමි. පැවිදි ව සිවුපසය රැස් කරණුයේ මිල මුදල් උපයනුයේ අකිංචන නො වේ.

පරියොදපෙය්‍ය අත්තානං චිත්තක්ලෙසෙහි පණ්ඩිතො = නුවණැත්තේ සිත, සිත පිළිබඳ කෙලෙසුන්ගෙන් පිරිසිදු කරන්නේ ය.

මෙහි සිත අත්තානං, යන්නෙන් කියන ලදැ යි දන්නේ ය. පංචනීවරණයෝ චිත්තක්ලෙසෙහි, යන්නෙන් ගැණෙති. කාමච්ඡන්ද, ව්‍යපාද, ථීනමිද්ධ, උද්ධච්චකුක්කුච්ච, විචිකිච්ඡා යන මොවුහු ය නීවරණයෝ. ‘නීවරන්ති චිත්තං හිතපටිපත්තිං ච නිවාරෙන්තී ති = නීවරණා, යම්කිසි ධර්‍මකෙනෙක් කුසල් සිත් වළකත් ද, ලෞකිකලෝකෝත්තරගුණයට නැමුනු හිත වූ පිළිවෙත වළකත් ද ඔවුන් නීවරණැ යි මින් කීහ. සිතෙහි උපදවා ගතයුතු ධ්‍යාන විමෝක්‍ෂ මාර්‍ගඵලාදී වූ සියලු ගුණ දහම් වළකාලන්නෝ නීවරණ යෝ’ යි කී සේ ය. නීවරණ, යම් සිතෙක උපදී නම්, ඒ සිතෙහි නො උපන් ලෞකිකලෝකෝත්තරප්‍රඥාවට ඉපදීමට ඉඩ නො දෙන්නේ ය. ඉපද සිටියා වූ අෂ්ටසමාපත්තිපඤ්චාභිඥාදිගුණයන් සිඳ බිඳ හෙල යි. එහෙයින් මේ ධර්‍මපස ප්‍රඥාව දුර්‍වල කරයි. ඒ කීහ මෙසේ:-

“ඉමෙ පංචනීවරණා උප්පජ්ජමානා අනුප්පන්නාය ලොකිය ලොකුත්තරාය පඤ්ඤාය උප්පජ්ජිතුං න දෙන්ති, උප්පන්නාපි අට්ඨසමාපත්තියො පඤ්ච වා අභිඤ්ඤා උච්ඡින්දිත්වා පාතෙන්ති තස්මා පඤ්ඤාය දුබ්බලීකරණාති වුච්චන්තීති”

වස්තුකාමයන්හි ඇලීම කාමච්ඡන්ද නමි. වස්තුකාමයන් කරුණු කොට සිතේ උපදින ක්ලේශකාමය යි. කාමවස්තු මේය යි යට කියන ලදී. ඒ මේ කාමවස්තුහු ගොදුරු වන්නෝ ඇස, කණ, නැහැය, දිව, කය, සිත යන මේ සදෙනාට ය. ඇසට රූපයක් අරමුණු ගොදුරු වූ විට සිතෙහි උපදින රූපකාමය රූපය කෙරෙහි වූ ආශාව කාමච්ඡන්දය යි. කන් ආදීනට ද ශබ්දාදී වූ අරමුණු ලැබුනු විට ඒ ඇසුරෙන් සිතෙහි උපදින ශබ්ද කාමාදිය ශබ්දාදිය කෙරෙහි වූ ආශාව කාමච්ඡන්දයයි.

යමෙක් යමකු වෙතින් ණය ගෙණ කා බී අවසන් කොට ණයෙන් බැඳී සිටියේ ද, ඔහු ණය හිමියන් විසින් ‘ ණය දෙව’ යි ඉල්ලනු ලබන්නේ කුණු කතා කියමින් බණිනු ලබන්නේ බඳිනු ලබන්නේ කිසිවක් කියා ගත නො හී සියලු ඇණුම් බැණුම් ඉවසා සිටි යි. එසේ ඇණුම් බැණුම් ඉවසා සිටීමට කරුණු වුයේ ඔහු ගත් ණය යි. එ පරිද්දෙන් යමෙක් යම් කිසිවකු කෙරෙහි කාමච්ඡන්දයෙන් ඇලේ ද, බැඳේ ද ඔහු, ඔහු විසින් බණිනු ලබන කල්හි, ගසනු ලබන කල්හි සියල්ල ඉවසා සිටි යි. කාමච්ඡන්දය එයට හේතු යි. පුරුෂයා ස්ත්‍රියගේ ඇණුම් බැණුම් ඉවසන්නේ, ස්ත්‍රිය පුරුෂයාගේ ඇණුම් බැණුම් ඉවසන්නී කාමච්ඡන්දය නිසා ය. සත්වයා එ ලොව මෙ ලොව දෙක්හි මහත් විපතට නපුරට වැටෙනු යේ ද මේ නිසා ය. සසර දුක මහත් වනුයේ ද මේ නිසා ය. කාමච්ඡන්දය ණයක් වැනිය යි බුදුරජහු වදාළෝ ය . සිගාල-චුල්ලපලොභන-මුදුලක්ඛණ-තෙලපත්ත ජාතකාදිය බැලිය යුතු ය.

ව්‍යාපාද නම්, නස්නා සිතිවිල්ල යි. ‘අන්හු නැසෙත්වා’ ඈ විසින් මෛත්‍රියට පටහැනි ව සිතේ පවත්නා යහපත් ගති නසන්නා වූ සිතිවිල්ල යි. එහි කෝපයට වැඩිතරම් වූයේ ව්‍යපාදය යි. ‘අත්තනො ච පරස්ස ච හිතසුඛං ව්‍යපාදෙතීති = ව්‍යාපාදො, තමන්ගේ හා අනුන්ගේ හිත සුව නසන්නේ ද ව්‍යාපාදයයි, මෙයින් කීහ. කුණු වීමෙන් මුලින් පැවැති ගති ගුණ නැතුව ගිය කොමු පිඬු බත් ආදිය මෙන් ද්වේෂය කරණ කොට මුලින් පැවැති ගති ගුණ නැතුව යයි. එහි ‘බ්‍යාපජ්ජති ඉමිනා චිත්තං පූතිකුම්මාසාදයො ව පුරිමපකතිං ජහතීති බ්‍යාපාදො, යනු අර්‍ත්‍ථසමර්‍ත්‍ථනය යි.

පිත කිපීමෙන් හටගත් ලෙඩ ඇත්තෝ මී හකුරු ආදි මිහිරක් අනුභව කළේද, ඔහුට ඒ මිහිර තිත්ත රසයක් සේ වැටහේ. මිහිර තිත්තැ යි කියා වමනය කර යි. එමෙන් ව්‍යාපාදයෙන් මැඩුනේ ගුරුවර මවුපියාදීන් විසින් කරණලද ස්වල්පවූත් අවවාදය නො පිළිගනියි. ‘තෙපි මට වඩ වඩාත් උවදුරු කරන්නහු’ යි වඩා ලාත් කිපෙ යි. එහෙයින් මෙය පිත්ත රෝගියකු වැනි ය.

මිනීමැරුම් ආදි මහත් වූ ව්‍යසනයන්ට කරුණු වන්නේ ව්‍යාපාදය යි. මේ ද එ ලොව මෙ ලොව දෙක්හි සත්වයාගේ මහත් විපතට හේතු වේ. සසර දුක මහත් කෙරේ. එකපණණ-තිලමුට්ඨි-සේරිවාණිජ ජාතකාදිය බැලිය යුතු ය.

ථීනමීද්ධ නම්, සිතේ හා වේදනාදි ස්කන්ධ තුනේ ගිලන් බවයි. සිතේ ගිලන්බව, අරමුණු ගැණීමේ අපොහොසත් බව ථීන, නමි. වේදනාදී වූ ස්කන්ධ තුනේ ගිලන්බව, මැලිබව මිද්ධ, නමි. චිත්ත චෛතසිකයෝ අරමුණු ගැණීමෙහි මැලි වන්නෝ ථීනමිද්ධය සිතෙහි උපන්විට ය.

වඳුරා නිදන්නේ බිම වැටේය යන බියෙනි. එහෙයින් උගේ නින්ද ඉතාටික ය. ඉතාකෙටි ය. නිදීම නො නිදීම වැනි ය. නිතර බියෙන් සිටින බැවිනි. එහෙයින් නාම ධර්‍ම පිළිබඳ වඳුරු නින්ද වැනි ගතිය ථිනමිද්ධ යි කියත්. යට කියූ විස්තරය ද බැලිය යුතු ය.

උත්සවදිනෙක සිර ගෙයි වැටී සිටි මිනිසෙක් උත්සවය පිළිබඳ කිසිත් නො දන්නේ ය. සිරගෙන් නිදහස් ව පිටත ආ පසු ඔහු උත්සවය ගැන කථා කරන්නවුන් දැක අසාත් උත්සවය නො දුටු බැවින් ඒ ගැන කිසිවක් නො කියන්නා සේ ථීනමිද්ධයෙන් මැඩුනු තැනැත්තේ බණ දෙසුම් විසිතුරු ව ඇති කල්හි ද, එහි කිසිත් කරුණක් ගැණ නො දනියි. ථීනමිද්ධයෙන් මැඩී සිටි බැවිනි. ථීනමිද්ධය සිරගෙයක් වැනි ය. මෙ ද සත්වයාගේ විපතට හේතු ය. සසර දුක මහත් කරයි. වරණ-ගජකුම්භ ජාතකාදිය බැලිය යුතු ය.

උද්ධච්චකුක්කුච්ච නම්, සිතේ නො සන්සුන්බව හා තමන් කළ නො කළ හොඳ නො හොඳ ගෑණ උපදනා සිතිවිල්ල යි. සිතේ වන නො සන්සුබව උද්ධච්චය යි. අලුගොඩට ගලකින් ගැසූ කල්හි අලුගොඩ විසිර යන්නා සේ සිත නන් අරමුණෙහි විසිර පවත්නේ මේ නො සන්සුන් ගතිය පැවැත්ම නිසා ය. පසුතැවීම කුක්කුච්චය යි. තැවෙන්නේ ද ‘අයියෝ! මම අකුසල් කෙළෙමි, කුසල් නො කෙළෙමි, කරණ ලද්දේ අකුසල්ම ය, නො කරන ලද්දේ කුසල්ම ය’ යි. තැවෙන්නේ ය. මේ තැවීම, කටයුතු පමාවට කරුණු ය. සිතෙහි විපිළිසරයට හේතු ය. මෙයින් සිත දූෂිත වේ. යට කියූ විස්තරය ද බලනු.

සෙල්ලම් කරමින් සිටියා වූ දාස තෙමේ ‘ඕ! මා අතින් වහා ඉටු වියයුතු කටයුත්තෙක් තිබේ. මෙසේ සෙල්ලම් කරමින් දවස ගෙවීම් නම් එය කරණු බැරි වෙයි, මම මාගේ හිමියා විසින් ‘මෙය, වහා කරව’ යි අණවන ලද්දේ වෙමි, එය වහා නො කොළොත් දඬුවම් කරණ බවත් කී ය, ඒ නිසා මා යා යුතු ය’ යි සෙල්ලම් නවතා එ තැනින් නික්ම යයි. ඒ මගුල් සෙල්ලමෙහි කිසිවක් විඳ දරා ගන්නට ඔහුට නො ලැබේ. අනුන් යටතෙහි සිටින බැවිනි. එ පරිද්දෙන් විනයයෙහි දැනුම් නැති විවේකය පිණිස වනයට ගියහු විසින් ඉතා සුලු කරුණෙහි පවා සැක දුරු කරගන්නට නිතර නිතර උගතකු කරා යා යුතු ය. කැපමසෙහි පවා නො කැපමසකැ යි අදහසක් පහළ වූ විට ද විවේකය හැර දමා සිල් පිරිසිදු කරන්නට විනයධරයකු වෙතට යා යුතු ම ය. එහෙයින් මොහුට විවේක සැපය වළඳන්නට ඉඩෙක් නො ලැබේ. උද්ධච්චකුක්කුච්චයෙන් මැඩී සිටීම එහි හේතුව යි. එහෙයින් මෙය දාසකම වැනි ය. මෙ ද එ ලොව මෙ ලොව දෙක්හි දියුණුව නසාල යි. සසරදුක මහත් කර යි.

විචිකිච්ඡා නම්, සැකය යි. බුද්ධාදී වූ අට තැනෙක පවත්නා බැවින් අට වැදෑරුම් කොටත් අතීත, වර්‍තමාන, අනාගත යන කාල තුනේ පවත්නා ස්කන්ධයන් කෙරෙහි සත්ව පුද්ගල ආත්ම භාවයන් නගා ගෙණ ‘මම වූයෙම් ද, මම නො වූයෙම් ද, මම වන්නෙම් ද, මම නො වන්නෙම්’ ද යනාදි ලෙසින් සොළොස් වැදෑරුම් කොට ද දක්වන ලද්දේ ය.

කාන්තාරමාර්‍ගයට බට පුරුෂයා, සොරුන් මිනිසුන්ගෙන් ධන පැහැර ගත් තැන් හා ගිය තැන් දැක තැන තැනින් නගින ලීදඬුහඬ හෝ කුරුලුහඬ හෝ අසා ‘සොරු ආහ’ යි සිත සිතා යේ ද, සිටී ද, නවතී ද, එහෙයින් හටගත් උපන් සැක ඇත්තේ වේ ද, ගිය තැනට වඩා ආ තැන් ම ඔහුට ඉතා බොහෝ වේ ද, දුකෙන්, බියෙන් බියරහිත තැනට යන්නේ පැමිණෙන්නේ හෝ නො යන්නේ නො පැමිණෙන්නේ හෝ යම්සේ ද එසේ යමකුට බුද්ධාදී වූ අට තැන්හි විචිකිච්ඡාව උපන්නීද, ඔහු ‘බුදු වුයේ දෝ නො බුදු වූයේ දෝ හෝ’ යි යනාදී ලෙසින් සැක උපදවන්නේ ගුණ සලකා ගන්නට අපොහොසත් වේ. එසේ අපොහොසත් වූයේ මාර්‍ගයට හෝ ඵලයට හෝ නො පැමිණේ. කතරමග සොරු ඇද්ද, නැද්ද’ යි නැවැත නැවැත සිතෙහි ඉදිරියට යෑම තැතිගැණීම උපදවමින් නිර්‍භය භූමියට පැමිණීමට අන්තරාය කරන්නා සේ විචිකිච්ඡාව ද බුදුහු ද, නො බුදුහු ද යනාදි ලෙසින් නැවැත නැවැත සිතේ ඉදිරියට යෑම තැති ගැණීම උපදවන්නී ආර්‍ය්‍යභූමියට පැමිණීමට අන්තරාය කෙරේ නු යි කාන්තාරමාර්‍ගයක් වැනි ය යි කීහ. මෙ ද මහත් විපතට කරුණු ය. සසර දුක මහත් කර යි.

ඉතා සැකෙවින් කියූ නීවරණධර්‍මයගෙන් සිය සිත පිරිසිදුකිරීම ධ්‍යාන විමෝක්‍ෂ මාර්‍ගඵලාදිය පිණිස හේතු වන බැවින් නුවණැත්තේ නීවරණධර්‍මයන්ගෙන් සිත පිරිසිදු කරන්නේ ය; යනු පරියොදපෙය්‍ය, යන ක්‍රියා පදයෙන් දක්වා වදාළ සේක. නුවණැත්තේ නො උපන් කාමච්ඡන්දයට ඉපදීමට ඉඩ නො දීමෙන් හා උපන්නා වූ කාමච්ඡන්දය දුරු කිරීමෙන් සිත පිරිසිදු කරන්නේ ය.

අනිත්‍යය, අනිත්‍යය සේත් දුක, දුක සේත් අනාත්මය, අනාත්මය සේත් මෙනෙහි කිරීම වූ යෝනිසෝමනසිකාරය අසුබ අරමුණුවල බහුල කොට පවත්වන්නහුට කාමච්ඡන්දය පහව යයි. “අත්ථි භික්ඛවෙ! අසුභ නිමිත්තං තත්ථ යොනිසො මනසිකාර බහුලීකාරො, අයමාහාරො අනුප්පන්නස්ස වා කාමච්ඡන්දස්ස අනුප්පාදාය උප්පන්නස්ස වා කාමච්ඡන්දස්ස පහානාය” යනු එහෙයින් වදාළ සේක.

තව ද අසුබ අරමුණු ඉගෙණීම, අසුබමැවුම්හි යෙදීම, සයිඳුරන්හි වැසූ දොර ඇතිබව, බොජුන්හි පමණ දැනීම, කලණ මිතුරන් සෙවීම, හිතවත් සැප කතාව යන මේ සය, කාමච්ඡන්දය දුර ගසා යෑමට, කාමච්ඡන්දයාගේ විනාශයට කරුණු වේ. “අපි ච ඡ ධම්මා කාමච්ඡන්දස්ස පහානාය සංවත්තන්ති අසුභනිමිත්තස්ස උග්ගෙහා, අසුභභාවනානුයොගො, ඉන්ද්‍රියෙසු ගුත්තද්වාරතා භොජනෙ මත්තඤ්ඤුතා, කල්‍යාණ මිත්තතා සප්පායකථා” යනු එහි දේශනා ය, මේ ධම් සය හේතුකොට රහත් මගින් පහව ගිය කාමච්ඡන්දයාගේ මත්තෙහි නො ඉපදී ම වේ ය යි දතයුතු ය.

නුවණැත්තේ නො උපන් ව්‍යාපාදයට ඉපදීමට ඉඩ නො දීමෙන් හා උපන් ව්‍යාපාදය දුරු කිරීමෙන් සිය සිත පිරිසිදු කරන්නේ ය.

මෛත්‍රීචිත්තසමාධියෙහි යෝනිසෝ මනසිකාරය බහුල කොට, පවත්වන්නහුට ව්‍යාපාදය පහව යයි. මේ ඒ වදාළ සැටි:- “ අත්ථි භික්ඛවෙ! මෙත්තාචෙතොවිමුත්ති තත්‍ථ යොනිසො මනසිකාර බහුලීකාරො, අයමාහාරො අනුප්පන්නස්ස වා ව්‍යාපාදස්ස අනුප්පාදාය උප්පන්නස්ස වා ව්‍යාපාදස්ස පහානාය” යි. මෙහි මෙත්තා, යන්නෙන් අර්‍පණා උපචාර සමාධි දෙක ම ගැණේ. චෙතොවිමුත්ති, යනු පමණක් කියනලද්දේ නම් ගැණෙන්නේ අර්‍පණාසමාධිය පමණක් වේ.

තව ද මෙත් නිමිති ඉගෙණීම, මෙත්බවුම්හි යෙදී ම, කර්‍මය තමන් පිළිබඳ කොට ඇතිබව සිහිකිරීම, නුවණින් විමසීම බහුල කොට ඇතිබව, කලණ මිතුරන් සෙවීම, හිතවත් සැපකතාව යන මේ ද ව්‍යාපාදයාගේ දුර ගසා යෑමට කරුණුවන බව, “අපී ච ඡ ධම්මා ව්‍යාපාදස්ස පහානාය සංවත්තන්ති මෙත්තානිමිත්තස්ස උග්ගහො, මෙත්තාභාවනානුයොගො කම්මස්සකතාපච්චවෙක්ඛණා පටිසඞ්ඛානබහුලතා, කල්‍යාණමිත්තතා, සප්පාය කථා” යන මෙයින් පැහැදිලි කළහ.

නුවණැත්තේ නො උපන් ථීනමිද්ධයට ඉපදීමට ඉඩ නො දීමෙන් හා උපන් ථීනමිද්ධය දුරු කිරීමෙන් සිය සිත පිරිසිදු. කරන්නේ ය.

ත්‍රිවීධවීර්‍ය්‍යයෙහි යෝනිසෝමනසිකාරය බහුල කොට පවත්වන්නහුට ථීනමිද්ධය පහව යයි. “අත්ථි භික්ඛවෙ! ආරම්භධාතු නික්කමධාතු පරක්කමධාතු, තත්ථ යොනිසොමනසිකාර බහුලීකාරො, අයමාහාරො අනුප්පන්නස්ස වා ථීනමිද්ධස්ස අනුප්පාදාය උප්පන්නස්ස වා ථීනමිද්ධස්ස පහානාය” යන මෙයින් ඒ වදාළ සේක.

මෙහි ප්‍රථමාරම්භවීර්‍ය්‍යය ආරම්භධාතු නමි. කුසීතභාවයෙන් නික්මුණු බැවින් ඊට වඩා ඉතා බලවත් වීර්‍ය්‍යය නික්කමධාතු නමි. ඒ නික්කමධාතුවට ද වඩා අතිශයබලප්‍රාප්තවීර්‍ය්‍යය පරත්කමධාතු’ නමි.

තව ද අධිකභෝජනයෙහි නිමිති ගැණීම, ඉරියවු පෙරළීම, ආලෝකසංඥාව මෙනෙහි කිරීම, අභ්‍යවකාශයෙහි විසීම, කලණ මිතුරන් සෙවීම, හිතවත් සැපකතාව යන මෙ ද ථිනමිද්ධය පහ කොට යැවීමට කරුණු වේ. ඒ වදාළ සැටිය මේ:- ‘අපි ච ඡ ධම්මා ථීනමිද්ධස්ස පහානාය සංවත්තන්ති අතිභොජනෙ නිමිත්තග්ගාහො, ඉරියාපථසම්පරිවත්තනා, ආලොකසඤ්ඤා මනසිකාරො, අබ්භොකාසවාසො, කල්‍යාණමිත්තතා, සප්පාය කථා’ යි.

නුවණැත්තේ නො උපන් උද්ධච්චකුක්කුච්චයට ඉපදීමට ඉඩ නො තැබීමෙන් හා උපන් උද්ධච්චකුක්කුච්චය දුරු කිරීමෙන් සිය සිත පිරිසිදු කරන්නේ ය.

උද්ධච්චකුක්කුච්චයෙහි යෝනිසෝමනසිකාරය බහුල කොට පවත්වන්නහුට උද්ධච්චකුක්කුචය දුර ගසා යයි. ඒ වදාළේ මෙසේ ය:- “අත්ථි භික්ඛවෙ! චෙතසො අවුපසමො, තත්‍ථ යොනිසොමනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප්පන්නස්ස වා උද්ධච්චකුක්කුච්චස්ස අනුප්පාදාය උප්පන්නස්ස වා උද්ධච්චකුක්කුච්චස්ස පහානාය” යි.

තව ද බොහෝ ඇසූ පිරූ තැන් ඇතිබව, පිළිවිස්නාබව, විනයයෙහි ප්‍රගුණබව, වැඩිහිටියන් සෙවුම, කලණමිතුරන් සෙවුම, හිතවත් සැපකතාව යන මෙ ද උද්ධච්චකුක්කුච්චය පහ කොට යැවුමට කරුණු වේ. මේ ඒ වදාළ සැටි යි:-‍ “අපි ච ඡ ධම්මා උද්ධච්චකුක්කුච්චස්ස පහානාය සංවත්තන්ති, බහුස්සුතතා පරිපුච්ඡකතා, විනයෙ පකතඤ්ඤුතා, වුද්ධසෙවිතා, කල්‍යාණමිත්තතා, සප්පායකථා” යි.

නුවණැත්තේ නො උපන් විචිකිච්ඡාවට ඉපදීමට ඉඩ නො දීමෙන් හා උපන් විචිකිච්ඡාව දුරු කිරීමෙන් සිය සිත පිරිසිදු කරන්නේ ය.

විචිකිච්ඡාව දුර ගසා යන්නී, කුශලාකුශලධර්‍ම සාවද්‍ය නිරවද්‍යධර්‍ම, සෙවිතව්‍යඅසෙවිතව්‍යධර්‍ම, හීනප්‍රණීතධර්‍ම, කෘෂ්ණ ශුක්ලධර්‍ම නුවණින් මෙනෙහි කිරීමෙන් ය. “අත්ථි භික්ඛවෙ! කුසලාකුසලා ධම්මා සාවජ්ජානවජ්ජා ධම්මා සෙවිතබ්බාසෙවිතබ්බා ධම්මා හිනප්පණීතා ධම්මා කණ්හසුක්කසප්පටිභාගාධම්මා, තත්ථ යොනිසො මනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප්පනාය වා විචිකිච්ඡාය අනුප්පාදාය උප්පන්නාය වා විචිකිච්ඡාය පහානාය” යි ඒ වදාළ සේක.

තව ද බොහෝ ඇසූ පිරූ තැන් ඇතිබව, පිළිවිස්නාබව, විනයයෙහි ප්‍රගුණබව, අරමුණු නිශ්චයයාගේ බොහෝ බව, කලණ මිතුරන් සෙවුම, හිතවත් සැපකතාව යන මෙ ද විචිකිච්ඡාවගේ ප්‍රහාණයට උපකාර වේ. මේ එහි දේශනා ය:- “ අපි ච ඡ ධමමා විචිකිච්ඡාය පහානාය සංවත්තන්ති, බහුස්සුතතා, පරිපුච්ඡකතා, විනයෙ පකතඤ්ඤුතා, අධිමොක්ඛබහුලතා, කල්‍යාණ මිත්තතා, සප්පායකථා” යි.

නීවරණයන්ගේ ඉපැත්මේ හේතූන් හා විනාශයේ හේතූන් පිරිසිඳ දැනුම දුඃඛසත්‍යය යි. එහිලා ‘කෙවලං හි ඉධ නීවරණ පරිග්ගාහිකා සති දුක්ඛසච්චං’ යනු කියාලයි.

ණය ගෙණ කටයුතුවල යොදා සමෘද්ධ වූ වැඩීගිය කර්‍මාන්ත ඇති පුරුෂ තෙමේ ‘ණය මහත් කරදරයෙකැ’ යි පොලිය සහිත ණය ගෙවා නිදහස් වේ. එහෙයින් ඔහු වෙත නැවැත ණය ඉල්ලා නැවැත කිසිවෙක් නො එයි. පණිවිඩ පණත් ද නො එව යි. ණය හිමියන් දැක නැගී නො සිටියි. භයෙක් ද නො වේ. එපරිද්දෙන් මහණ තෙමේ කාමච්ඡන්දය පළිබෝධයට මුලැ යි සතිපට්ඨානයෙහි කී ලෙසින් අසුබ නිමිති ඈ දහම් වඩා කාමච්ඡන්දය දුර ගසා හරි යි. පහව ගිය කාමච්ඡන්දය ඇති ඔහුට, ණයෙන් මිදුනු පුරුෂයාහට ණය හිමියන් දැකීමෙන් බියක් තැති ගැන්මක් නො වන්නා සේ අනුන් අයත් වස්තුවෙහි ඇල්මෙක් බැඳීමෙක් නො වේ. දිව්‍යරූප දක්නා ලද ද කෙලෙස් නො උපදි යි. එහෙයින් කාමච්ඡන්දයාගේ ප්‍රහාණය ණය නැති බව සේ ය.

පිත්තරෝගී පුරුෂ තෙමේ බෙහෙත් කා බී ඉන් මිදී, මී සකුරු ආදීන්ගේ රසය ඇතිලෙසින් විඳ ගන්නේ යම්සේ ද, එසේ ව්‍යාපාදය අනර්‍ත්‍ථ කරය යි ගත් මහණ තෙමේ මෙත් නිමිති ඈ වඩා ව්‍යාපාදය දුරුකර යි. දුරුකළ ව්‍යපාදනීවරණය ඇත්තේ පිත්ත රෝගයෙන් මිදුනු පුරුෂයා මී සකුරු ආදීන්ගේ රසය විඳින සේ ආචාරප්‍රඥප්ති ආදියෙහි හික්මවනු ලබන්නේ සතුටින් හික්මෙයි. ව්‍යපාදනීවරණප්‍රහාණය ආරෝග්‍ය මෙනැ යි වදාළේ එහෙයිනි.

පෙර මගුල්දිනෙක සිරගෙයි ලු පුරුෂයා, පසු මගුලෙක ‘ප්‍රමාද දොෂයෙන් බැඳුනු මට පෙර මගුලෙහි කිසිවක් විඳ ගන්නට නො ලැබින, මෙ වක නො පමා වියයුතු ය’ යි සතුරන්ට ඉඩ නො තබා මගුල් කෙළි විඳ, එයින් උදම් ව උදම් අනන්නේ යම්සේ ද එසේ මහණ තෙමේ ‘ථිනමිද්ධය මහානර්‍ත්‍ථකර ය’ යි ආහාරයෙහි පමණ දැනීම් ආදි ධර්‍ම වඩා ථීනමිද්ධනීවරණය දුරු කර යි. මෙසේ පහකළ ථීනමිද්ධය ඇත්තේ, යම්සේ බැඳුමෙන් මිදුනු පුරුෂයා සතියක් පමණකුත් මගුල් කෙළි කෙළිනේ, මුල මැද කෙළවර මගුල් කෙළි විඳී ද, එසේ දහම් නමැති මගුල් කෙළි, කෙළ කළ මුල මැද කෙළවර ඒ විඳ සිවු පිළිසැඹියාවන් සමග රහත්බවට පැමිණේ. එහෙයින් ථීනමිද්ධනීවරණප්‍රහාණය බැඳුමෙන් මිදීම සේ ය.

දාසයෙක් තෙමේ මිතුරකු මගින් හිමියන්ට ධනය දී දාසභාවයෙන් මිදී කැමැති සේ හැසිරෙන්නේ යම්සේ ද, එසේ මහණ තෙමේ ‘උද්ධච්චකුක්කුච්චය විපත්තිකර ය’ යි බහුශ්‍රැතභාවාදි ධර්‍මයන් වඩා උද්ධච්චකුක්කුච්චය දුරුකර යි. මෙසේ පහ වූ උද්ධච්චකුක්කුච්චය ඇත්තේ, දාසකමින් මිදුනු පුරුෂයා තමන් කැමැති සේ කරා ද, කිසිවෙක් බලාත්කාරයෙන් ඔහු නො වළකා ද, එ පරිද්දෙන් තමන් කැමැති න්සේ නෙක්ඛම්මපටිපදාවට පැමිණේ. උද්ධච්චකුක්කුච්චය ඔහු එයින් නො ද වළක යි. එහෙයින් උද්ධචකුක්කුච්චනීවරණප්‍රහාණය දාසකමින් මිදීම සේ ය.

හස්තසාරය ගෙණ ආයුධ ඇති ව පිරිවර සහිත ව කතරට පිළිපන් බලවත් පුරුෂයකු දුටු සොරු, දුරදී ම දැක බියෙන් පලා යන්නාහ. ඔහු සුවසේ ඒ කතර තරණය කොට අභයභූමියට පැමිණ සතුටු වෙයි. එ පරිද්දෙන් මහණ තෙමේ ‘මේ විචිකිච්ඡාව භයානකැ’ යි බහුශ්‍රැතභාවාදී වූ ධර්‍ම වඩා ඒ දුරු කරයි. මෙසේ පහ වූ විචිකිච්ඡා ඇත්තේ දුසිරිත්කතර එතෙර කොට පරමක්‍ෂේමභූමිය වූ නිර්‍වාණයට පැමිණේ. විචිකිච්ඡානීවරණප්‍රහාණය ක්‍ෂේම භූමියක් සේ වූයේ එහෙයිනි. මේ මතු දැක්වෙන්නී ඒ දේශනා ය.

“සෙය්‍යථාපි භික්ඛවෙ! පුරිසො ඉණං ආදාය කම්මන්තෙ පයොජෙය්‍ය, තස්ස තෙ කම්මන්තා සමිජ්ඣෙය්‍යුං, සො යානි ච පොරාණානි ඉණමූලානි, තානි ච බ්‍යන්තී කරෙය්‍ය, සියා චස්ස උත්තරිං අවසිට්ඨං දාරාභරණාය, තස්ස එවමස්ස, අහං ඛො පුබ්බෙ ඉණං ආදාය කම්මන්තෙ පයොජෙසීං, තස්ස මෙ කම්මන්තා සමිජ්ඣිංසු, සො අහං යානි ච පොරාණානි ඉණමූලානි තානි ච බ්‍යන්තී අකාසිං, අත්‍ථි ච මෙ උත්තරිං අවසිට්ඨං දාරාභරණායාති, සො තතො නිදානං ලභෙථ පාමුජ්ජං අධි ගච්ඡෙ සොමනස්සං.

ස්‍යෙථාපි භික්ඛවෙ! පුරිසො ආබාධිකො අස්ස දුක්ඛිතො බාළ්හගිලානො භත්තමස්ස නච්ඡාදෙය්‍ය, න චස්ස කායෙ බලමත්තා, සො අපරෙන සමයෙන තම්හා ආබාධා මුච්චෙය්‍ය, භත්තමස්ස ඡාදෙය්‍ය, සියා චස්ස කායෙ බලමත්තා, තස්ස එවමස්ස, අහං ඛො පුබ්බෙ ආබාධිකො අහොසිං දුක්ඛිතො බාළ්හගිලානො, භත්තං ච මෙ නච්ඡාදෙසි, න ච මෙ ආසි කායෙ බලමත්තා, සොම්හි එතරහි තම්හා ආබාධා මුත්තො භත්තඤ්ච මෙ ඡාදෙති, අත්‍ථි ච මෙ කායෙ බලමත්තා, සො තතො නිදානං ලභෙථ පාමුජ්ජං අධිගච්ඡෙ සොමනස්සං.

සෙය්‍යථාපි භික්ඛවෙ! පුරිසො බන්ධනාගරෙ බද්ධො අස්ස, සො අපරෙන සමයෙන තම්හා බන්ධනා මුච්චෙය්‍ය සොත්ථිනා අබ්‍යයෙන, න චස්ස කොචී භොගානං වයො, තස්ස එවමස්ස, අහං ඛො පුබ්බෙ බන්ධනාගාරෙ බද්ධො අහොසිං, සොම්භි එතරහි තම්හා බන්ධනා මුත්තො සොත්ථිනා අබ්‍යයෙන, නත්ථි ච මෙ කො චි භොගානං වයොති, සො තතො නිදානං ලභෙථ පාමුජ්ජං අධිගච්ඡෙ සොමනස්සං.

සෙය්‍යථාපි භික්ඛවෙ! පුරිසො දාසො අස්ස අනත්තාධීනො පරාධීනො න යන කාමඞ්ගමො, සො අපරෙන සමයෙන තම්හා දාසව්‍යා මුච්චෙය්‍ය අත්තාධීනො අපරාධීනො භුජිස්සො යෙන කාමඞ්ගමො, තස්ස එවමස්ස අහං ඛො පුබ්බෙ දාසො අහොසිං අනත්තාධීනො පරාධීනො න යෙන කාමඞ්ගමො, සොම්හි එතරහි තම්හා දාසව්‍යා මුත්තො අත්තාධීනො අපරාධීනො භුජිස්සො යෙන කාමඞ්ගමොති, සො තතො නිදානං ලභෙථ පාමුජ්ජං අධිගච්ඡෙ සොමනස්සං,

සෙය්‍යථාපි භික්ඛවෙ! පුරිසො සධනො සභොගො කන්තාරද්ධානමග්ගං පටිපජ්ජෙය්‍ය, සො අපරෙන සමයෙන තම්හා කන්තාරා නිත්‍ථරෙය්‍ය සොත්ථිනා අබ්‍යයෙන, න චස්ස කො චි භොගානං වයො, තස්ස එවමස්ස, අහං ඛො පුබ්බෙ සධනො සභොගො කන්තාරද්ධානමග්ගං පටිපජ්ජිං, සොම්හි එතරහි කන්තාරා නිත්තිණ්ණො සොත්ථිනා අබ්‍යයෙන නත්ථි ව මෙ කො චි භොගානං වයොති, සො තතො නිදානං ලභෙථ පාමුජ්ජං අධිගච්ඡෙ සොමනස්සං.

එවමෙව ඛො භික්ඛවෙ! භික්ඛු යථාඉණං යථාරොගං යථාබන්ධානාගාරං යථාදාසව්‍යං යථාකන්තාරද්ධානමග්ගං, ඉමෙ පංචනීවරණෙ අප්පහීණෙ අත්තනි සමනුපස්සති, සෙය්‍යථාපි භික්ඛවෙ! ආනණ්‍යං යථාආරොගං යථාබන්‍ධනා මොක්ඛං යථාභුජිස්සං යථාඛෙමන්තභූමිං එවමෙව භික්ඛු ඉමෙ පංචනීවරණෙ පහීණෙ අත්තනි සමනුපස්සති” යනු.

නුවණැත්තේ පංචනීවරණයන්ගේ ඉපැත් ම හා නැවැත්ම සවිස්තරව දැන ඉපැත්මේ හේතූන් නසා නැවැත්මේ හේතූත් වඩා සිත පිරිසිදු කරන්නේ ය. ‘පරියොදපෙය්‍ය අත්තානං චිත්තක්ලෙසෙහි පණ්ඩිතො’ යනු වදාළේ ඒ බව දක්වන්නට ය.

යෙසං = යම්බඳු රහතුන්ගේ.

සම්බොධි අඞ්ගෙසු = බොධ්‍යඞ්ගධර්‍ම කෙරෙහි (නොහොත්) බොධිපාක්‍ෂික ධර්‍ම කෙරෙහි.

නිවන් අරමුණ එල්බ ලෝකෝත්තර සිත්වල එකක්‍ෂණිකව ද නන් අරමුණ එල්බ ලෞකික සිත්වල නානාක්‍ෂණිකව ද උපදින සති, පඤ්ඤා, විරිය, පීති, පස්සද්ධි, එකග්ගතා, උපෙක්ඛා යන සත බොජ්ඣංග නමැ, යි කියත්. බුදුරජානන් වහන්සේ ඒ බොජ්ඣංග සත මෙසේ වදාළ සේක:- “ සත්තිමෙ භික්ඛවෙ! බොජ්ඣංගා, කතමෙ සත්ත? සතිසම්බොජ්ඣංගො ධම්මවිචයසම්බොජඣඞ්ගො විරියසම්බොජ්ඣංගො පීතිසම්බොජ්ඣඞ්ගො පස්සද්ධිසම්බොජ්ඣංගො සමාධිසම්බොජඣඞ්ගො උපෙක්ඛාසම්බොජඣඞ්ගො, ඉමෙ ඛො භික්ඛවෙ සත්තබොජ්ඣංගා” යි.

‘බොධියා බොධිස්ස වා අඞ්ගා බොජ්ඣඞ්ගා’ සිවුසස් දහම් දැනුමට කරුණුවන සති පඤ්ඤා ආදී වූ ධර්‍ම සමූහය පිළිබඳ අවයව, සිව්සස් දහම් අවබෝධ කරණ ආර්‍ය්‍යශ්‍රාවකයාගේ අවයව, බොජ්ඣංග නම් වේ.

‘බුජඣති එතායාති = බොධි’ කියාත් ‘බුජ්ඣතීති = බොධි’ කියාත් බොධි, යන්න ව්‍යාඛ්‍යාත හෙයින් ආර්‍ය්‍ය ශ්‍රාවකයාහට සිවුසස්දහම් දැනුමට සති පඤ්ඤා ආදී වූ ධර්‍ම සත උපකාර වන බව හා බොධි නම් වූ ආර්‍ය්‍යශ්‍රාවකයාගේ අවයවත් මෙකී ධර්‍ම සප්තකය බව හා පැහැදිලි ය.

“යා එසා ධම්මසාමග්ගි යාය ලොකුත්තරමග්ගක්ඛණෙ උප්පජ්ජමානාය ලීනුද්ධච්චපතිට්ඨානායූහනකාමසුඛත්තකිලමථානුයොගඋච්ඡෙදසස්සතාභිනිවසාදීනං අනෙකෙසං උපද්දවානං පටිපක්ඛභූතාය සති ධම්මවිචය විරිය පීති පස්සද්ධි සමාධි උපෙක්ඛාසංඛාතාය ධම්මසාමග්ගියා අරියසාවකො බුජ්ඣතී ති කත්වා බොධීති වුච්චති”

ලෞකිකලෝකෝත්තරමාර්‍ගක්‍ෂණයෙහි හෙවත් විදසුන් වඩනා වේලෙහි සිවුසස් දහම් දැන ගන්නා වේලෙහි සිතෙහි පහළවන, ලීන, ඖද්ධත්‍යපතිට්ඨාන, ආයූහන, කාමසුඛල්ලිකානුයෝග, අත්තකිලමථානුයෝග, උච්ඡේද, සස්සත යන මොවුන් තුළට කා වැදීම් ආදී වූ නොයෙක් උවදුරුවලට ප්‍රතිවිරුද්ධ භාවයෙන් සිටි සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපෙක්ඛා යන ධර්‍ම සාමග්‍රිය කරණ කොට ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ අවබෝධ කෙරේනු යි බොධි, නම් වේ. ආර්‍ය්‍යශ්‍රාවකයාගේ චතුස්සත්‍යාවබෝධයට කරුණු වන්නේ මෙ කී ධර්‍ම සතැ යි මෙයින් කීහ.

ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ක්ලේශයන්ගේ පරම්පරා වශයෙන් පැවැත්මැ යි කියූ කෙලෙස් නින්දෙන් මුළුමනින් නැගී සිටින්නේ මේ ධර්‍මවර්‍ගය හේතු කොට ය. සිවුසස් දහම් ලක්‍ෂණ, රස, ප්‍රත්‍යුපස්ථාන, පදස්ථාන වශයෙන් ප්‍රතිවේධ කරන්නේත් මේ හේතු කොට ය. නිබ්බානසච්ඡිකරණය ද වන්නේ මේ නිසා ය. බලන්න ඒ කියු සැටිය:- “බුජඣති කිලසසන්තානනිද්දාය උට්ඨහති චත්තාරි වා අරියසච්චානි පටීවිජ්ඣති නිබ්බානමෙව වා සච්ඡිකරොති. තස්සා ධම්මසාමග්ගියා සඞ්ඛාතායා බොධියා අඞ්ගාති = බොජඣංගා” යි.

මේ ධර්‍මසමූහයෙහි අවයව වූ සති ආදී වූ ධර්‍මයෝ එකක් එකෙක් ම බොජ්ඣංග වෙති. මෙහි වූ අඞ්ග, ශබ්දය ඣානඞ්ග-මග්ගඞ්ග යනාදි තන්හි සේ අවයවයෙහි ආයේ ය. අර්‍ත්‍ථසමර්‍ත්‍ථනය, කරණ සාධනයෙනි. “බුජඣති එතාය, බුජ්ඣති කිලෙසසන්තාන නිද්දා ය, උට්ඨහති එතාය, බුජ්ඣති චත්තාරි අරියසච්චානි එතාය, බුජ්ඣති සච්ඡිකරොති නිබ්බානං එතාය” යි මෙසේ ගන්නේ ය.

මෙහි බුජ්ඣති, යන්නෙන් ප්‍රධාන විසින් කියවෙනුයේ නිවන් අරමුණු කොට සිටි මාර්‍ගඥානය මුල් කොට ඇති චිත්තොත්පාදය යි. එතාය, යන්න, විදසුන් ජවන් සිත් හා යෙදුනු සතිධම්මවිචය ආදී වූ බොජ්ඣංගයන්ගේ ප්‍රකෘත්‍යුපනිඃශ්‍රයප්‍රත්‍යයශක්තිය හා මගසිත් හා යෙදුනු බොජ්ඣංගයන්ගේ සහජාතප්‍රත්‍යයශක්තිය ඵලොපචාර විසින් කියයි. බොධි යන තන්හි වූ ප්‍රත්‍යය තෙමේ විදසුන් කුසල් ජවන්සිත් හා යෙදුනු ලෞකික වූ බොජ්ඣංග හා ලෝකෝත්තර බොජ්ඣංග දක්වාල යි. එ පමණක් නො වේ. බුධ, ධාතුව හා එක්ව ගිය ඒ මේ ඉ, ප්‍රත්‍යය විසින් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේත් (බොධි යි) කියනු ලැබේ. ‘යො පනෙස වුත්තප්පකාරාය එතාය ධම්මසාමග්ගියා බුජ්ඣතීති කත්වා අරියසාවකො බොධී ති වුච්චති, යනු බැලිය යුතු ය.

“බොජ්ඣඞ්ගාති කෙනට්ඨෙන බොජ්ඣංගා? බොධාය සංවත්තන්තීති = බොජඣංගා, බුජ්ඣන්තීති = බොජ්ඣංගා, අනුබුජ්ඣන්තීති = බොජඣංගා, පටිබුජ්ඣන්තීති = බොජ්ඣඞ්ගා, සම්බුජ්ඣන්තීති = බොජ්ඣංගා” යනු පටිසම්භිදා පාළියෙහි ආයේ ය.

මාර්‍ගචිත්තවීථියෙහි විදර්‍ශනාපාදකපූර්‍වභාගපරිකර්‍ම උපචාර අනුලෝම ගෝත්‍රභූ චිත්තයන්හි නානාරම්මණික වශයෙන් නානාක්‍ෂණික ව ද, අපරභාගයෙහි නිබ්බානාරම්මණික වශයෙන් එකක්‍ෂණික ව ද උපදින සති පඤ්ඤා ආදී වූ චෛතසික, නිර්‍වාණාවබෝධය පිණිස පවත්නා බැවින්, ස්‍රෝතාපත්තිමාර්‍ගක්‍ෂණයෙහි නිවන් අවබෝධ කරණ බැවින්, සකෘදාගාමීමාර්‍ගක්‍ෂණයෙහි, අනාගාමීමාර්‍ගක්‍ෂණයෙහි, අර්‍හන්මාර්‍ගක්‍ෂණයෙහි නිවන් අවබෝධ කරණ බැවින් බොජඣංග, නම් වේ යනු කෙටි සිංහල ය යි. ‘බුජ්ඣන්ති, අනුබුජ්ඣන්ති, පටිබුජ්ඣන්ති, සම්බුජ්ඣන්ති’ යන ක්‍රියාපද සතරකින් බොජ්ඣඞ්ග, යන්නෙහි අර්‍ත්‍ථ වර්‍ණනා කළේ, ස්‍රෝතාපත්ත්‍යාදිමාර්‍ගක්‍ෂණ සතරෙහි දී ම බොධ්‍යඞ්ගයන් නිවන් අවබෝධ කරණ බැවිනි. “සොතාපතතීමග්ගබොජ්ඣඞ්ගානං බුජ්ඣනට්ඨො, සකදාගාමීමග්ගබොජ්ඣඞ්ගානං අනුබුජ්ඣනට්ඨො, අනාගාමීමග්ගබොජ්ඣඞ්ගානං පටිබුජ්ඣනට්ඨො, අරහත්තමගග බොජ්ඣඞ්ගානං සම්බුජ්ඣනට්ඨො” යනු ඒ පැහැදිලි කෙරේ.

බොධ්‍යඞ්ගයන් පිළිබඳ බොධන-අනුබොධන-පටිබොධන-සම්බොධන යන අර්‍ත්‍ථ සතර, ක්‍රමයෙන් සොතාපත්ති-සකදාගාමි-අනාගාමී-අරහත්ත යන මාර්‍ග සිත් සතර පිළිබඳ වේ. මාර්‍ග චිත්තයෙහි පහළවන මේ බොධ්‍යඞ්ගධර්‍ම පිළිවෙළින් බලගතු වේ. සෝතාපත්තිමග්ගචිත්තයෙහි පහළ වන බොධ්‍යඞ්ගයනට වඩා, සකදාගාමීමග්ගචිත්තයෙහි පහළ වන බොධ්‍යඞ්ග බලවත් ය. සෙසු මාර්‍ගයන්හිදී පහළ වන්නෝ ද මෙ ක්‍රමයෙන් බලවත් වෙත්. අතිශයබලප්‍රාප්තයෝ අරහත්තමග්ගචිත්තයෙහි පහළවන්නෝ ය. ඔවුහු ම සත්වසන්තානගත සකලක්ලේශයන් ඉතිරි නො කොට නසති. ඉතා පැහැදිලි ලෙස නිවන් අවබෝධ කරවන්නෝ ඔවුහු ය. අනු, පටි, සං යන උපසර්‍ගයෝ ය ක්‍රමයෙන් ඔවුන්ගේ බලවත්බව කීවෝ. තව ද බොජ්ඣඞ්ග ශබ්දය හා යෙදී සිටි සං, යන්න ප්‍රශස්ත සුන්දරාර්‍ත්‍ථ ඇත්තේ ය. ‘පසත්‍ථො සුන්දරො වා බොජ්ඣඞ්ගො = සම්බොජඣඞ්ගො’ යි. කියේ එහෙයිනි.

සති නම්, පෙර කළ කියූ දේ අමතක වන්නට නො දී දරා ගැණීමේ ශක්තිය ය. එහි විස්තර යට කියන ලදී. එහෙත් මෝ සාමාන්‍ය නො වේ. භාවනා බලයෙන් භාවිත වූ එයින් ම පොෂිත වූ ප්‍රබල වූ ස්මෘතිය මෙහිලා ගණිත්. විදර්‍ශනා, මාර්‍ග, ඵල වශයෙන් ඒ තෙ පරිදි ය. මග පල ලැබීම පිණිස සංස්කාර ධර්‍මයන් අනිත්‍ය, දුඃඛ, අනාත්ම වශයෙන් සිතා බලන්නහුගේ විදර්‍ශනාකුශලචිත්තයන්හි විදසුන් වඩන කාලයෙහි පහළ වන සමෘතිය, විදර්‍ශනාසමෘතිය යි කියනු ලැබේ. මෝ ම ය පූර්‍වභාග බොධ්‍යඞ්ග නම්.

එසේ වැඩූ විදර්‍ශනා ඇති යෝගාවචරයාහට සෝතාපත්ති ආදී වූ මගසිත් සතරෙහි ඒ ඒ මගින් හළ යුතු නැසිය යුතු කෙලෙස් මුළුමනින් නසා පහළ වන්නී මාර්‍ගසමෘතිය යි. මගසිත්වලට අනතුරු ව ඒ හා පහළ වන පල සිත්හි පහළ වන්නී ඵලස්මෘතිය යි. විදර්‍ශනා මාර්‍ගඵල චිත්තයන්හි මෙසේ පහළ වන සමෘතිය ම මෙහිලා අභිමත ය. සිවුසස් දහම් අවබෝධ කරන්නහුගේ හෝ ඒ පිණිස උපකාර වූ ධර්‍ම සමූහයාගේ හෝ අවයව බැවිනි. සිහියෙන් තොරව සිවුසස් දහම්හි අවබෝධයෙක් නො ලැබේ. එහෙයින් සම්බොධිඅඞ්ගයෙකැ යි කීහ. ‘සති එව සංබොජඣඞ්ගො = සතිසම්බොජ්ඣංගො’ යන මෙයින් සම්බොධියට අවයව වූයේ සතිය ම නුයි සතිසම්බොජ්ඣංග නම් වා යි කියූ.

“ඉධ භික්ඛු සතිමා හොති පරමෙන සතිනෙපක්කෙන සමන්නාගතො චිරකතම්පි චිරභාසිතම්පි සරිතා හොති අනුස්සරිතා අයං වුච්චති සතිසම්බොජඣඞ්ගො” යනු බොජ්ඣංග පාලියෙහි ආයේ ය. මේ සසුනෙහි වූ මහණ තෙමේ සිහි ඇත්තේ උතුම් සිහි නුවණින් යුක්ත වූයේ පෙර කළ පෙර කියූ දේ සිහිකරන්නේ වෙයි. මේ වනාහි සතිසම්බොජ්ඣංග යි, කියනු ලැබේ යනු එහි ඉතා කෙටි තේරුම ය. මෙහි වූ සිහිය බලවත් එකක් බව දක්වන්නට ප්‍රඥාවාචක වූ නෙපක්ක ශබ්දය සති ශබ්දය හා එක් කොට තවත් පරමෙන යනුත් විශේෂණ කොට යෙදූහ. මෙයින් වදාළෝ විදර්‍ශනාඥානසම්ප්‍රයුක්තස්මෘතිය යි. එය ම සතිසම්බොජ්ඣඞ්ග නමැයි ද කීහු. ‘අයං එවං උපන්තා සෙසබොජ්ඣංගසමුට්ඨාපිකා විපස්සනාසම්පයුත්තා සති, සති සම්බොජ්ඣඞ්ගොති කථියති’ යනු ද දන්නේ ය.

තව ද බුදුරජානන් වහන්සේ ‘තත්‍ථ කතමො සතිසම්බොජ්ඣඞ්ගො?’ යි කථෙතුකම්‍යතාපුච්ඡා කොට එයට පිළිතුරු විසින් “අත්‍ථි අජඣත්තං ධම්මේසු සති, අත්‍ථි බහිද්ධා ධම්මෙසු සති, යදපි අජ්ඣත්තං ධම්මෙසු සති, තදපි සති සම්බොජඣඞ්ගො අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති, යදපි බහිද්ධා ධම්මෙසු සති, තදපි සතිසම්බොජ්ඣංගො අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති” යි වදාළ සේක. සිය සතන්හි වූ සංස්කාර ධර්‍මයන් සම්මර්‍ශනය කරන්නහුට පහළ වන සිහියක් ඇත. පර සතන්හි වූ සංස්කාර ධර්‍මයන් හැම අතින් ගෙන බලන්නහුට පහළ වන සිහියක් ඇත. මෙසේ දෙයයුරු වූ සිහිය සතිසම්බොජ්ඣංග වුයේ, සිවුසස් දහම් මනා නුවණින් දැන ගැණීමට මනා අවබෝධයට නිර්‍වාණය පිණිස පවතී, යන අරුත් මෙයින් වදාළෝ ලෞකිකලෝකෝත්තර වශයෙන් දෙ පරිදි වූ සතිසම්බොජ්ඣංගය යි.

සතිසම්බොජ්ඣඞ්ගය නිවැරදි, අරමුණු සිහිකිරීම ලක්‍ෂණ කොට ඇත්තේ ය. නො මුළා බව කෘත්‍යය කොට සිටියේ ය. අරමුණු ඉදිරිපත් කිරීම පලය කොට ගත්තේ ය. සතර සතිපට්ඨානය ආසන්න කාරණය කොට පැවැත්තේ ය. ‘උපට්ඨානලක්ඛණො සතිසම්බොජ්ඣංගො, අසම්මොහරසො, ගොචරාභිමුඛභාව පච්චුපට්ඨානො සතිපට්ඨානපදට්ඨානො’ යනු පාළිය යි. සක්විති රජුගේ චක්‍රරත්නය සියලු රත්නයන්ගෙන් පෙරටු ව යන්නා සේ මෙ ද සියලු ධර්‍මයන්ගේ ඉදිරියෙහි යන්නේ ය. එහෙයින් චක්‍රරත්නය වැනිය මෙය.

දුඃඛ, සමුදය, නිරෝධ, මාර්‍ග යන සිවුසස් දහම් රැස් කරානු යි හෝ විමසානු යි ධම්මවිචය, නම් වේ. ‘චතුසච්චධම්මෙ විචිනාතීති = ධම්මවිචයො’ යි ඒ කීහ. ඒ චතුස්සත්‍යධර්‍ම විචිනනය, බොධි නම් වූ ධර්‍මසමූහයාගේ අවයව බැවින් හෝ චතුස්සත්‍ය ධර්‍ම අවබෝධ කරණ ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ අවයව බැවින් හෝ ධම්මචිවයසම්බොජ්ඣඞ්ග, නම් ලබා. තව ද ඒ ම සම්බොධියට අවයව වූයේ නු යි ධම්මවිචයසම්බොජ්ඣංගයි කියනු ලැබේ. ‘ධම්ම විචයො එව සම්බොජඣඞ්ගො = ධම්මවිචය සම්බොජ්ඣංගො’ යනු ඒ අර්‍ත්‍ථය කියා පෑම ය.

වඩාලා ද කිය යුත්තේ උපාදානස්කන්ධ පස, නාම රූප වශයෙන් වෙන් කොට හැම නාම රූප ධර්‍මයක් කෙරෙහි අනිත්‍ය දුඃඛ අනාත්ම යන තිලකුණු යොදා බලන්නා වූ ප්‍රඥා චෛතසිකය, ධර්‍මවිචයසම්බොජ්ඣඞ්ග බව ය. මේ ද විදර්‍ශනා-මාර්‍ග-ඵල වශයෙන් තෙවැදැරුම් ය. සෙස්ස සතිසම්බොජ්ඣංගයෙහි කී සේ ය.

සතිසම්බොජ්ඣංගයෙහි වැඩී ගිය, එහෙයින් ම සමෘතිමත් වූ මහණ තෙමේ කියූ ලෙසින් උපන් සිහියෙන් යුක්තව වසන්නේ ඒ ධර්‍මයන් අනිත්‍ය - දුඃඛ - අනාත්ම වශයෙන් විදර්‍ශනා ප්‍රඥාවෙන් මනා කොට සොයා බලා ද, මනා කොට එහි හැසිරේ ද, සොයා බැලීමට පැමිණේ ද එබඳු වූ විදර්‍ශනාප්‍රඥාව, ධම්මවිචයසම්බොජ්ඣංග යි. ‘සො තථා සතො විහරන්තො තං ධම්මං පඤ්ඤාය පවිචිනාති පවිචරති පරිවීමංසං ආපජ්ජති, අයං වුච්චති ධම්මවිචයසම්බොජ්ඣංගො’ යි බොජ්ඣඞ්ග පාළියෙහි ඒ වදාළ සේක. විදර්‍ශනා සම්ප්‍රයුක්තප්‍රඥාව මෙයින් ගැණේ. ‘ඉදං වුත්තප්පකාරං බොජ්ඣඞ්ගසමුට්ඨාපිකං ඤාණං ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො නාම’ යනු එහි මෙලෙසින් කීහ.

තවත් ක්‍රමයකින් ධර්‍මවිචයසම්බොධ්‍යඞ්ගය මෙසේ විස්තර වන්නේය ය. “තත්‍ථ කතමො ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො? අත්‍ථි අජඣත්තං ධම්මෙසු පවිචයො, අත්ථි බහිද්ධා ධම්මෙසු පවිචයො යදපි අජඣත්තං ධම්මෙසු පවිචයො, තදපි ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති, යදපි බහිද්ධා ධම්මෙසු පවිචයො, තදපි ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති” යි. ඇතුළත පිටත දෙක්හි වූ සංස්කාරධර්‍මයන් සොයා බලන්නහුට ඒ පිළිබඳව උපදින ප්‍රඥාව, ධම්මවිචයසම්බොජ්ඣංග නම් වන බව හා එය ම විශිෂ්ටඥානය පිණිස මනා අවබෝධය පිණිස නිර්‍වාණය පිණිස පවත්නා බවත්ය, මෙයින් කියවෙනුයේ. ලෞකික ලෝකෝත්තර වශයෙන් එය දෙ පරිදි වන බව ද කිය වේ.

ධම්මවිචයසම්බොජ්ඣංගය ධර්‍මතත්ත්වය විමසීම ලකුණු කොට සිටියේ ය. දහම් තතු එලිදරව් කිරීම කෘත්‍යය කොට ඇත්තේ ය. නො මුළා බව එහි පලය වේ. ආසනකාරණය සමාධිය ය. ‘පවිචයලක්ඛණො ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො, ඔහාසන රසො, අසම්මොහපච්චුපට්ඨානො, යනු පාළිය යි.

මේ වනාහි මහත් ධර්‍මසමූහයක් ගෙන සිටි බැවින් සක්විති රජුගේ හස්තිරත්නය සේ ය යි කීහ.

‘වීරස්ස භාවො = විරියං, වීරාන වා කම්මං = විරියං, විධිනා ඊරයිතබ්බං වා = විරියං’ යන විවරණයෙන් වීරයාගේ ගතිය වීරයන්ගේ ක්‍රියාව ක්‍රමානුකූලව පැවැත්විය යුත්තේ විර්‍ය්‍ය, යි, කියන ලදී. එය කායික, මානසික යි දෙපරිදි ය. එහි සක්මණ ඉටනුහට උපන් වීර්‍ය්‍යය, කායික නම. ‘යම්තාක් කලකින් මාගේ සිත, උපාදාන රහිත ව ආශ්‍රවධර්‍මයන් කෙරෙන් මිදෙන්නේ ද, ඒ තාක් මම මේ පළඟ නො බිඳින්නෙමි’ යි මෙපරිද්දෙන් කාය ප්‍රයෝග රහිත ව උපන් වීර්‍ය්‍යය, මානසික නම, “කායිකනති චඞ්කමං අධිට්ඨහන්තස්ස උප්පන්නවිරියං, චෙතසිකන්ති න තා වාහං ඉමං පල්ලඞ්කං භින්‍දිස්සාමි යාව මෙ න අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චිස්සතීති. එවං කායප්පයොගං විනා උප්පන්නවිරියං” යන්න එහි පාළිය යි.

මෙහිලා ප්‍රධාන වනුයේ මානසික වීර්‍ය්‍යය ය. ඒ මේ මානසික වීර්‍ය්‍යය සිවුසස් දහම් අවබෝධ කරන්නහුගේ ධර්‍මසමූහයෙහි එක් අවයවයක් බැවින් බොධ්‍යඞ්ග, නම් වේ. නො උපන් අකුසල් නො උපදින ලෙසට, උපන් අකුසල් දුරුවන ලෙසට, නො උපන් කුසල් උපදින ලෙසට, උපන් කුසල් වැඩෙන ලෙසට රුකුල් දෙන ඒ මේ වීර්‍ය්‍යය ම සම්බොජ්ඣංග නු යි විරියසම්බොජඣංග, නම් වේ. ‘විරියමෙව සම්බොජඣගො = විරියසම්බොජ්ඣංගො’ යනු ඒ පැහැදිලි කිරීම ය.

පූර්‍වොක්තධර්‍මයන් නුවණින් විචිනනය කරණ නුවණ හසුරුවන පිරික්සුමට පැමිණි මහණහුගේ වීර්‍ය්‍යය සිවුසස් දහම් දැනුමට පටන් ගැණුනේ නො හැකුළුනේ වීර්‍ය්‍යසම්බොධ්‍යග යි. ‘තස්ස තං ධම්මං පඤ්ඤාය විචිනතො පවිචරතො පරිවීමංසං ආපජ්ජතො ආරද්ධං හොති විරියං අසල්ලීනං අයං වුච්චති විරියසම්බොජඣඞ්ගො’ යන මේ බොජ්ඣංග පාළියෙන් එලි පෙහෙලි වේ. විදර්‍ශනා සම්ප්‍රයුක්තවීර්‍ය්‍යය මෙයින් ගැණේ. “තස්ස භික්ඛුනො තං හෙට්ඨා වුත්තප්පකාරං ධම්මං පරිපුණ්ණං හොති පග්ගහිතං අසල්ලීනං ඉදං බොජ්ඣංගසමුට්ඨාපකං විපස්සනාසම්පයුත්තං විරියං විරියසම්බොජ්ඣගො නාම” යනු අටුවා ය.

තත්ථ කතමො විරියසම්බොජ්ඣඞ්ගො? අත්‍ථි කායිකං විරියං, අත්ථි චෙතසිකං, විරියං, යදපි කායිකං විරියං, තදපි විරියසම්බොජ්ඣඞ්ගො අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති, යදපි චෙතසිකං විරියං, තදයි විරියසම්බොජ්ඣඞ්ගො අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති” යන බොජ්ඣඞ්ග පාළියෙන් කායික මානසික වශයෙන් දෙපරිදි වූ වීර්‍ය්‍යය, විරියසම්බොජ්ඣංග බව හා එම විශිෂ්ටඥානය පිණිස මනා අවබෝධය පිණිස නිර්‍වාණය පිණිස පවත්නා බවත් පැහැදිලි වේ.

වීර්‍ය්‍යසම්බොධ්‍යඞ්ගය දැඩි කොට ගැණුම ලකුණු කොට සිටියේ ය. රුකුල් දීම කෘත්‍යය කොට ඇත්තේ ය. නො පසු බැස්ම පලය වේ. ආසන්න කාරණය වීර්‍ය්‍යාරම්භවස්තුව යි. ‘පග්ගහ ලක්ඛණො විරියසම්බොජ්ඣඞ්ගො උපත්ථම්භනරසො, යනු එහි පාළිය යි.

මේ වනාහි සම්ප්‍රයුක්තධර්‍ම වැටෙනු නො දී දැඩි ව ගන්නා වේග ඇති බැවින් සක්විතිරජුගේ අශ්වරත්නය සේ ය යි කීහ.

‘පීණයතීති = පීති’ තමන් හා යෙදුනු ධර්‍මයන් පිණවානු යි පීති, නම. ඒ නම් අරමුණු ලැබීමේ දී තමන් හා යෙදුනු චිත්තචෛතසිකධර්‍මයන් පිණවන කාමමිස - ලොකාමිස - වට්ටාමිසයන් ගේ අභාවයෙන් නිරාමිස වූ ප්‍රීතිචෛතසිකය යි. එහි විතර වැණුම් යට කියන ලදී. සිවුසස් දහම් අවබෝධයට උපකාර ව පවත්නා ධර්‍මසමූහයෙහි එක්තරා ප්‍රශස්ත අවයවයක් බැවින් වතුස්සත්‍යාවබෝධය කරන්නහුගේ සුන්දර අවයවයක් බැවින් ප්‍රීතිචෛතසිකය ප්‍රීතිසම්බොධ්‍යඞ්ග’ යි කියනු ලැබේ. ප්‍රීතිය ම ප්‍රීතිසම්බොධ්‍යඞ්ග යි දතයුතු. ‘පීති එව සම්බොජ්ඣඞ්ගො = පීතිසම්බොජ්ඣඞ්ගො’ ආරද්ධවිරියස්ස උප්පජ්ජති පීති නිරාමිසා, අයං වුච්චති පීතිසම්බොජ්ඣඞ්ගො’ යනු බොජ්ඣංග පාළියෙහි ආයේ ය. මෙයින් විදර්‍ශනාසම්ප්‍රයුක්තප්‍රීතිය කිය වේ. “කාමාමිසලොකාමිසවට්ටාමිසානං අභාවෙන නිරාමිසා පරිසුද්ධා අයං බොජ්ඣංගසමුට්ඨාපිකා විපස්සනාසම්පයුත්තාපීති, පීතිසම්බොජ්ඣංගො නාම” යන මෙයිනු දු පැහැදිලි වන්නේ ඒ ය. කාමලෝකවට්ටාමිසයෝ නම් තෘෂ්ණාවත් එයට අරමුණු වූ ස්කන්ධත්ය. තරමක විස්තර විසින් කිය යුත්තේ පඤ්චකාමය පිළිබඳ වූ රාගයත් එයට අරමුණු වන දේත් කාමාමිස යි ද, ‘සස්සතො අත්තා ච ලොකො’ යනාදි ලෝකග්‍රහණ වශයෙන් පැවැති ශාස්වතොච්ඡෙදදෘෂ්ටි සහගත වූ රාගයත් එයට අරමුණු වන දේත් ලොකාමිස යි ද, සසර ඇලුම් කිරීම් වශයෙන් උපදින, සත්වයා සසර උපදවන රාගයත් එයට අරමුණු වන දේත් වට්ටාමිස යි ද කියා ය. ‘කාමලෝකවට්ටාමිසාති තණ්හා, තදාරම්මණක්ඛන්ධාති වදන්ති, පංචකාමගුණිකරාගො තදාරම්මණඤ්ච කාමාමිසං, සස්සතො අත්තා ච ලොකො චෙති ආදිනා ලොකග්ගහණවසෙන පවත්තො සස්සතුච්ඡෙදසහගතො රාගො තදාරම්මණඤ්ච ලොකාමිසං, ලොකධම්මං වා වට්ටස්සාදවසෙන උප්පන්නො සංසාරජනකො රාගො තදාරම්මණඤ්ච වට්ටාමිසං’ යනු එහි ටීකා ය.

කාමය ම කාමාමිස නම. ක්ලේශකාමය මෙයින් අදහස් කරණ ලදී. ක්ලේශයන් විසින් කැමැතිවනු ලබන්නේ වස්තු කාමය යි. වස්තුකාමය ආමර්‍ශනය කරන්නේ ක්ලේශකාමය යි. සෙසු දෙ තැන ද මෙසේ ගන්න. ‘කාමෙතීති = කාමො, අස්සාදවසෙන ආමසතීති = ආමිසං, කාමො ව ආමිසන්ති කාමමිසං, කිලෙසකාමො, වත්ථුකාමො පන ආමසීයතීති = ආමිසං, එවං සෙසද්වයම්පි’ යනු අටුවා ය.

අනික් ලෙසකින් මේ වදාරන බුදුරජානන් වහන්සේ ‘තත්ථ කතමො පීතිසම්බොජ්ඣගො? අත්ථි සවිතක්කසවිචාරා පීති අත්ථි අවිතක්කඅවිචාරා පීති, යදපි සවිතක්කසවිචාරා පීති තදපි පීතිසම්බොජ්ඣංගො, අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති, යදපි අවිතක්කඅවිචාරා පීති, තදපි පීතිසම්බොජ්ඣඞ්ගො අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති’ යනු වදාළ සේක. විතර්‍ක විචාර සහිත වූ ද විතර්‍ක විචාර රහිත වූ ද ප්‍රීතිය, පීතිසම්බොජ්ඣංග යි ද, ඒ ම විශිෂ්ටඥානය පිණිස මනා අවබෝධය පිණිස නිර්‍වාණය පිණිස වන බව ද මෙයින් පැහැදිලි වේ. ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙ පරිදි බව ද මෙයින් පැවසේ.

පීතිසම්බොජ්ඣංගය පැතිරීම ලකුණු කොට සිටියේ ය. කය සිත දෙක්හි පිණවීම මෙහි කෘත්‍යය වේ. ඔවුන්ගේ ම ඔද වැඩි බව පලය කොට ඇත්තේ ය. ආසන්නකාරණය ප්‍රමොද්‍යය යි. ‘ඵරණලක්ඛණො පීතිසම්බොජ්ඣංගො, කායචිත්තපීණනරසො, ඔදග්ගපච්චුපට්ඨානො, පාමොජ්ජපදට්ඨානො’ යනු පාළියි.

මේ වනාහි කෙලෙස් අඳුරු නසා ආලෝකය පතුරුවන බැවින් සක්විතිරජු ගේ මණීරත්නය සේ ය.

‘පස්සම්භනං = පස්සද්ධි ‘ සංසිඳීම ය, පස්සද්ධි. ඒ වනාහි වේදනා - සංඥා - සංස්කාර - විඥාන යන නාම කාය පිළිබඳ වේ. කායපස්සද්ධි, චිත්තපස්සද්ධි යි දෙකක් වශයෙන් මේ එතුදු මෙහිලා එකක් වශයෙන් ගැනේ. චතුස්සත්‍යාවබෝධයට උපකාර වූ ධර්‍ම සමූහයෙහිලා ගැනෙන එක්තරා ප්‍රශස්ත අවයවයක් බැවින් චතුස්සත්‍යාවබෝධයාගේ සුන්දර අවයවයක් බැවින් බොධ්‍යඞ්ග නම් වී ය මෙ ය. ‘පස්සද්ධි එව සම්බොජ්ඣංගො = පස්සද්ධි සම්බොජ්ඣඞ්ගො’ යි යූ බැවින් පස්සද්ධිය ම පස්සද්ධිසම්බොජ්ඣංග යි දත යුතුය.

පීතිමනස්ස කායො පි පස්සම්භති, චිත්තම්පි පස්සම්භති. අයං වුච්චති පස්සද්ධිසම්බොජඣංගො’ යනු බොජ්ඣංග පාළියෙහි ආයේ ය. මෙයින් කියනුයේ ප්‍රීතියෙන් යුත් සිතැතහුගේ වේදනාදි නාමකායයෙහි කෙලෙස් දැවුම් නිවී යෑමෙන් ලැබෙන සංසිඳීම, පස්සද්ධිසම්බොජ්ඣංගය බව ය. සෙසු බොද්ධ්‍යඞ්ගයන් උපදවන විදර්‍ශනාඥානසම්ප්‍රයුක්ත වූ පස්සද්ධිය යනු එහි අදහස ය. ‘පීතිසම්පයුත්තස්ස ඛන්ධත්තයසඞ්ඛාතො නාමකායො කිලෙස දරථ පටිප්පස්සද්ධියා පස්සම්භති, විඤ්ඤාණක්ඛන්ධො පි තථෙව පස්සම්භති, අයං බොජ්ඣංගසමුට්ඨාපිකා විපස්සනාසම්පයුත්තා පස්සද්ධි, පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො නාම’ යන අටුවාව එය පැහැදිලි කරයි.

“තත්ථ කතමො පස්සද්ධිසම්බොජඣඞ්ගො? අත්‍ථි කාය පස්සද්ධි, අත්ථි චිත්තපස්සද්ධි, යදපි කායපස්සද්ධි, තදපි පස්සද්ධි සම්බොජඣඞ්ගො අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති යදපි චිත්තපස්සද්ධි, තදපි පස්සද්ධිසම්බොජ්ඣංගො අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති” යනු වදාළෝ පස්සද්ධිසම්බොජ්ඣංගය අන් ලෙසකින් පහදා දෙන්නට ය. වේදනාදි නාමකායයෙහි හා විඥානය යි කියූ චිත්තයෙහි සංසිඳීම පස්සද්ධිසම්බොජ්ඣංගය බවත් එය විශිෂ්ටඥානය පිණිස සම්‍යක් අවබෝධය පිණිස නිර්‍වාණය පිණිස පවත්නා බවත්ය මෙයින් වදාළෝ. මෙයින් ම මෙය ලෞකිකලොකොන්තර වශයෙන් දෙපරිදි බව ද පැහැදිලි ය.

පස්සද්ධිසම්බොජ්ඣංගය සංසිඳීම ලකුණු කොට සිටියේ ය. කායචිත්තදරථයන් මැඩීම කෘත්‍යය කොට ඇත්තේ ය, කාය චිත්තයන්ගේ නො සැලීම වූ සිහිල් බව පලය කොට ගත්තේ ය. සිටියේ කායචිත්ත දෙක ආසන්න කාරණය කොට ය. “උපසම ලක්ඛෙණා පස්සද්ධිසම්බොජඣංගො, කායචින්තදරථමද්දනරසො, කායචිත්තානං අපරිප්ඵන්දභූතසීතිභාවපච්චුපට්ඨානො, කායචිත්තපදට්ඨානො” යනු පාළියි.

මේ වනාහි සක්විති රජුගේ ස්ත්‍රීරත්නය සේ ය. සක්විතිරජු ස්ත්‍රිරත්නය වැළඳ ගැණීමෙන් කායචිත්තදාහයන් සංසිඳුවා ගන්නා සේ ආර්‍ය්‍යශ්‍රාවකයා පස්සද්ධිසම්බොජ්ඣංගය උපදවා ගැණීමෙන් කායචිත්ත දෙක්හි කෙලෙස් දැවුම් සංසිඳුවා ගන්නේ ය.

‘එකලම්බනෙ සුට්ඨු ආධානං = සමාධි’ සමාධි නම් තමන් හා සම්ප්‍රයුක්තධර්‍මයන් අරමුණෙහි මැනැවින් පිහිටුවීම ය. චිත්තචෛතසික ධර්‍මයන්ට ඒ ඒ අරමුණු කරා යන්නට නො දී එක් අරමුණෙක රඳවන චිත්තගතිය යි. වියලී සිටි සුණුවලට දිය එකතු කළ කල්හි එය එකට බැඳී සිටින සේ මේ චිත්තගතිය සිත එක් අරමුණෙක බැඳ තබයි. කුසල් සිත් පිළිබඳමය මේ චිත්තගතිය. ‘ කුසලචිත්තෙකග්ගතා සමාධි’ යනු ආප්ත වචනයි. මෙය සිවු මග නැණ ලැබුමට උපකාර වූ ධර්‍මසමූහයෙහි ප්‍රශස්ත අවයවයක් බැවින් මග නැණ ලැබුමට තැත් කරන්නහුගේ සුන්දර අවයවයක් බැවින් බොධ්‍යඞ්ග නම වී ය. ‘ සමාධි එව සම්බොජ්ඣඞ්ගො = සමාධිසම්බොජඣංගො’ යි යූ බැවින් සමාධිය ම සමාධිසම්බොජ්ඣංග යි දත යුතු ය.

‘පස්සද්ධකායස්ස සුඛිනො චිත්ත සමාධීයති, අයං වුච්චති සමාධිසම්බොජ්ඣංගො’ යනු බොජ්ඣඞ්ග පාළියෙහි ආයේ ය.

මෙයින් කියනුයේ සංසිඳුනු නාමකාය ඇති, එයින් ම සුවපත් වූවහුගේ සිතෙහි වූ එකඟ බව මැනැවින් පිහිටා ගැණීම, සමාධි සම්බොජ්ඣංගය බව ය. විදර්‍ශනාසම්ප්‍රයුක්තසමාධිය යනු එහි තේරුම ය. “පස්සද්ධිකායතාය උප්පන්නසුඛෙන සුඛිතස්ස සම්මා ආධීයති, නිච්චලං හුත්වා ආරම්මණෙ ඨපීයති, අප්පණාප්පත්තං විය හොති, අයං බොජ්ඣඞ්ගසමුට්ඨාපිකා විපස්සනාසම්පයුත්තා චිත්තෙකග්ගතා සමාධිසම්බොජ්ඣඞ්ගා නාම” යන අටුවාව. එය පැහැදිලි කරයි.

අනික් නය මෙසේ ය:- “තත්ථ කතමො සමාධිසම්බොජ්ඣඞ්ගො? අත්ථි සවිතක්කො සවිචාරො සමාධි, අත්ථි අවිතත්කො අවිචාරො සමාධි, යදපි සවිතක්කො සවිචාරො සමාධි තදයි සමාධිසම්බොජ්ඣඞ්ගො අහිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති, යදපි අවිතක්කො අවිචාරො සමාධි, තදපි සමාධිසම්බොජඣඞ්ගො අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති” යනු බොජ්ඣංග පාළි යි. විතර්‍කවිචාර සහිත වූත් විතර්‍ක විචාර රහිත වූත් සමාධිය, සමාධිසම්බොජ්ඣංගය බව හා එ දෙක ම විශිෂ්ටඥානය පිණිස සම්‍යක් අවබෝධය පිණිස නිර්‍වාණය පිණිස පවත්නා බවත් ලෞකිකලෝකෝත්තර වශයෙන් දෙපරිදි බවත් බුදුරජානන් වහන්සේ පැහැදිලි කළහ.

සමාධිසම්බොජ්ඣංගය, චිත්තචෛතසිකධර්‍මයන් නො විසිරීම ලකුණු කොට සිටියේ ය. චිත්තචෛතසිකධර්‍මයන් නන් අරමුණු කරා යෑම නැවැත්ම කෘත්‍යය කොට ඇත්තේ ය. චිත්තචෛතසිකයන්ගේ නො සැලීම මෙහි පලය වේ. පංචකාමයෙන් තොර වූ නිරාමිස සුඛය ආසන්නකාරණය යි. “අවික්ඛෙපලක්ඛණො සමාධිසම්බොජඣඞ්ගො, චිතචෙතසිකානං සම්පිණ්ඩනරසො, චිත්තට්ඨිති පච්චුපට්ඨානො, සුඛිනො චිත්තං සමාධියතීති වචන තො පන සුඛමස්සපදට්ඨානං” යනු පාළියි.

මේ වනාහි චිත්තවික්‍ෂේපය නසා සිත එක අරමුණෙක තැන්පත් කරන බැවින් සක්විතිරජුගේ ගෘහපතිරත්නය සේ ය. ඒ මේ ගෘහපතිරත්නය ධනධාන්‍යාදිය මොනවට පිළියෙල කොට තබා සක්විතිරජුගේ සිත එකඟ කරයි.

‘උප්පත්තිතො යුත්තිතො ඉක්ඛතීති = උපෙක්ඛා’ උපේක්‍ෂා නම් පක්‍ෂයක් නො ගෙණ සතුරු මිතුරු කා කෙරෙහිත් යුක්තියට අනුව බැලීම ය. සිතෙහි පහළ වන උසස් ගතියකි මේ. මානාවමාන දෙක්හි සම ව සිටින්නේ මේ චිත්තගතිය හේතු කොට ය. යමෙක් ඡන්දාදීන්ගේ වශයෙන් යුක්තිය ඉක්මවා නො යා නම්, එ ද, මේ ශක්තියෙන් ම වේ. මේ වනාහි යට සැකෙවින් කියූ තත්‍රමධ්‍යස්ථතාචෛතසිකය යි. මගනැණ ලැබුමට උපකාර වූ ධර්‍මසමූහයෙහි ප්‍රශත්ත අවයවයක් බැවින් මගනැණ ලැබුමට තැත් කරන්නහුගේ සුන්දර අවයවයක් බැවින් මේ චෛතසික ධර්‍මය තෙමේ ‘බොධ්‍යඞ්ග, නම් වී. ‘උපෙක්ඛා එව සම්බොජ්ඣංගො = උපෙක්ඛාසම්බොජ්ඣංගො’ යි යූ බැවින් උපේක්‍ෂාව ම උපෙක්ඛාසම්බොජ්ඣංග යි දතයුතු ය. දශවිධ උපේක්‍ෂාවන් අතුරෙහි බොධ්‍යඞ්ගොපේක්‍ෂාව මෙහිලා ගැණේ.

‘සො තථා සමාහිතං චිත්තං සාධුකං අජ්ඣුපෙක්ඛිතා හොති, අයං වුච්චති උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො’ යනු බොජ්ඣංග පාළියෙහි ආයේ ය. මහණ තෙමේ එසේ සංසිඳුනු අරමුණෙහි මොනවට පිහිටි සිත මැදහත් ව යුක්තියට අනුව බලනුයේ වෙයි. මේ වනාහි උපෙක්ඛාසම්බොජ්ඣංග යි කියනු ලැබේ, යනු එහි සිංහල යි. විදර්‍ශනාසම්ප්‍රයුක්ත උපේක්‍ෂාව මෙයින් කිය වේ. “අප්පණාප්පත්තෙන විය සමාධිනා සමාහිතං (චිත්තං) සුට්ඨු අජ්ඣුපෙක්ඛිතා හොති, තෙසං ධම්මානං අනොසක්කන අනතිවත්තනභාවසාධකො මජඣත්තාකාරො උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගො නාම” යනු අටුවා ය.

මෙය අනික් ලෙසින් වදාළෝ මෙසේ ය:- “තත්ථ කතමො උපෙක්ඛාසම්බොජඣඞ්ගො? අත්ථි අජ්ඣත්තං ධම්මෙසු උපෙක්ඛා අත්ථි බහිද්ධා ධම්මෙසු උපෙක්ඛා, යදපි අජ්ඣත්තං ධම්මෙසු උපෙක්ඛා, තදපි උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො, අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති, යදපි බහිද්ධා ධම්මෙසු උපෙක්ඛා තදපි උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො අභිඤ්ඤා ය සම්බොධාය නිබ්බානාය සංවත්තති” යි. ආධ්‍යත්මිකබාහිර සංස්කාරයන් කෙරෙහි වූ උපේක්‍ෂාව, උපෙක්ඛාසම්බොජ්ඣංගය බව හා එය විශිෂ්ටඥානය පිණිස සම්‍යක් අවබෝධය පිණිස නිර්‍වාණය පිණිස පවත්නා බවත් ලෞකිකලෝකෝත්තර වශයෙන් දෙපරිදි බවත් මෙයින් පැහැදිලි කළහ.

උපේක්‍ෂාසම්බොධ්‍යඞ්ගය සිටියේ මැදහත් ව දැක්ම ලකුණු කොට ගෙනය. කෘත්‍යය වූයේ අඩු වැඩි නො කොට සමව දැකීම ය. මැදහත් බව එහි පලය යි. කර්‍මය ස්වකීය කෘත්‍යාදී වශයෙන් දැක්ම ආසන්න කාරණය කොට සිටියේ ය. “පටිසඞ්ඛාන ලක්ඛණො උපඛාසමෙබාජජ්ඣඞ්ගො, ඌනාධිකනිවාරණරසො මජ්ඣත්තභාවපච්චුපට්ඨානො, කම්මස්සකතාදිදස්සනපදට්ඨානො” යනු එහි පාළිය යි.

මේ වනාහි සිත හැකිළීමෙන් හා උඩඟු බවෙන් වෙන් කොට මැදහත් කරණ බැවින් සිය පියරජු සියලු කටයුතුවලින් මුදා සියල්ලෙහි මැදහත් කරණ සක්විති රජුන්ගේ පරිනායකරත්නය සේ ය.

මේ හැම බොධ්‍යගඞ්ගයෝ යෝනිසෝමනසිකාරය ආහාරය කොට සිටියෝ ය. මොවුන්ගේ ආහාරය යෝනිසෝමනසිකාරය යි.

“සෙය්‍යථාපි භික්ඛවෙ! අයං කායො ආහාරට්ඨිතිකො ආහාරං පටිච්ච තිට්ඨති, අනාහාරො නො තිට්ඨති, එවමෙව ඛො භික්ඛවෙ! ඉමෙ සත්තබොජඣඞ්ගා ආහාරට්ඨිතිකා ආහාරං පටිච්ච තිට්ඨන්ති, අනාහාරා නො තිට්ඨන්ති” යන මෙයින් වදාළෝ මේ සිරුර ආහාරය නිසා පවත්නා සේ සප්තබොධ්‍යඞ්ගයන් යෝනිසෝමනසිකාරය නිසා පවත්නා බව හා යෝනිසෝමනසිකාරයෙන් තොර ව නො සිටින බවත් ය. “සුරියස්ස භික්ඛවෙ! උදයතො එතං පුබ්බඞ්ගමං, එතං පුබ්බනිමිත්තං, යදිදං අරුණුග්ගමනං, එවමෙව ඛො භික්ඛවෙ! භික්ඛුනො සත්තන්නං බොජඣඞ්ගානං උප්පාදාය එතං පුබ්බඞ්ගමං, එතං පුබ්බනිමිත්තං, යදිදං යොනිසොමනසිකාරො යොනිසොමනසිකාර සම්පන්නස්සෙතං භික්ඛවෙ! භික්ඛුනො පාටිකඞ්ඛං සත්තබොජඣංගෙ භාවෙස්සති සම්බොජ්ඣංගෙ බහු‍ලී කරිස්සති” යන මෙයින් පැහැදිලි වනුයේ සූර්‍ය්‍යයාගේ උදාවීමට අරුණු නැගීම පෙරනිමිති වන්නා සේ බොධ්‍යඞ්ගයන්ගේ පහළවීමෙහි යෝනිසෝමනසිකාරය පෙර නිමිති වන බව හා බොධ්‍යඞ්ගයන් වැඩිය හැක්කේ බහුලීකෘත කළ හැක්කේ යෝනිසෝමනසිකාරයෙන් යුක්ත භික්‍ෂුනමට බවත් ය.

බොධ්‍යඞ්ගයෝ, ලෞකික - ලෝකෝත්තර වශයෙන් දෙපරිදි වෙති. එහි යම් බොද්ධ්‍යඞ්ග කෙනෙක් සසරින් නිදහස්වීමට හේතු වන්නෝ ද, ඔවුහු ලෞකිකයහ. මේ ලෞකිකයෝ ම ය. විවටටුපනිස්සය නම් වූ පූර්‍වභාගබොධ්‍යඞ්ගයෝ වන්නෝත්. මාර්‍ගයට පූර්‍වභාග වන බැවින් පුර්‍වභාග නම්හු. සීලයෙන් පිරිසිදු ව නාමරූපධර්‍ම අනිත්‍ය වශයෙන් තිලකුණට නගා විදසුන් වඩන්නහුට ඒ වේලෙහි උපදින විදර්‍ශනාකුශලචිත්තයන්හි හට ගැණෙන සති ආදී වූ චෛතසිකධර්‍ම සත, මෙසේ බැවින් ලෞකිකය යි ගැණේ. විදර්‍ශනාචිත්තයන් හා සම්ප්‍රයෝගයට ගියෝ ය ඔවුහු.

ලෝකෝත්තරකුශලචිත්තයන් හා යෙදුනු බොධ්‍යඞ්ගයෝ ලෝකෝත්තරයහ. මාර්‍ගබොද්ධ්‍යඞ්ග-ඵල බොද්ධ්‍යඞ්ග, යි ඔවුහු දෙ පරිදි ය. ස්‍රෝතාපත්ති සකෘදාගාමී අනාගාමී අර්‍හත් යන මග සිත් සතරෙහි පහළ වන්නෝ මාර්‍ගබොධ්‍යඞ්ගයෝ ය. එහි ම පල සිත් සතරෙහි වූවෝ ඵලබොද්ධ්‍යඞ්ගයෝ ය.

මෙ කී හැම බොද්ධ්‍යඞ්ගයෝ විවේකය, විරාගය, නිරෝධය ඇසුරු කළෝ නිවනට නැමී සිටියෝ ය. ‘ඉධ භික්ඛු සති සම්බොජ්ඣංගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරෝධ නිස්සසිතං වොස්සග්ගපරිණාමිං ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං -පෙ- විරියසම්බොජ්ඣඞ්ගං -පෙ- පීතිසම්බොජ්ඣංගං -පෙ- පස්සද්ධිසම්බොජ්ඣංගං -පෙ- සමාධිසම්බොජ්ඣංගං -පෙ- උපෙක්ඛාසම්බොජ්ඣංගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සසිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං’ යනු එහි දේශනා ය.

එහි විවේකය, කාය - චිත්ත - උපධි යි තුනකටත් තදඩ්ග - වික්ඛම්භන - සමුච්ඡෙද - පටිප්පස්සද්ධි - නිස්සරණ යි පසකටත් බෙදී යයි. විස්තරය යට කියන ලදී. බොද්ධ්‍යඞ්ගයන් සිය සිත්හි ඉපදවීමෙහි යෙදුනු යෝගීහු පිළිබඳ මෙ කියූ බොද්ධ්‍යඞ්ගයෝ විදර්‍ශනාක්‍ෂණයෙහි කෘත්‍යය වශයෙන් තදඞ්ගවිවේකය ද අදහස් වසයෙන් නිස්සරණවිවේකය ද ඇසුරු කෙරෙති. විදර්‍ශනාපාදක කසිණ-ආනාපාන-අසුභ-බ්‍රහමවිහාරධ්‍යානයන් ගේ ප්‍රවෘත්තික්‍ෂණයෙහි කෘත්‍යය වශයෙන් වික්ඛම්භනවිවේකය ඇසුරු කෙරෙති. මාර්‍ගක්‍ෂණයෙහි කෘත්‍යය වශයෙන් සමුච්ඡෙදවිවේකය ද, අරමුණුකිරීම් වසයෙන් නිස්සරණවිවේකය ද ඇසුරු කරති. ඵලක්‍ෂණයෙහි කෘත්‍යය වශයෙන් පටිප්පස්සද්ධි විවේකය ද අදහස් වසයෙන් නිස්සරණවිවේකය ද ඇසුරු කරති. බොධ්‍යඞ්ගයන් ගේ පංචවිධ විවෙකාශ්‍රය මෙසේ දතයුතු ය.

‘විරජ්ජනං = විරාගො’ නො ඇලීම විරාග, නම් වේ. කෙලෙසුන් හා කිසිත් ඇලීමක් නැතිබව මින් කිය වේ.

‘නිරුරජ්ඣනං - නිරොධො’ නැවැත නො උපදින පරිදි කෙලෙසුන් නිරුද්ධ කිරීම නිරොධ, නම් වේ. මේ දෙපදින් ම කියන ලද්දේ විවෙකාර්‍ත්‍ථයම ය. විරාගාදීහු විවෙකාර්‍ත්‍ථ ඇත්තාහ. ‘විවෙකත්ථා එව හි විරාගාදයො’ යන්නෙන් ඒ පැහැදිලි ය.

‘වොස්සජ්ජනං පහාණං = වොස්සග්ගො, ක්ලේශත්‍යාගය කෙලෙස් පැහීම වොස්සග්ග, නම් වේ. ඒ වනාහි පරිච්චාගපක්ඛන්දන වශයෙන් දෙවැදෑරුම් ය. ‘පරිච්චාගවොස්සග්ගොති කිලෙසප්පහාණං’ කෙලෙස්පැහීම පරිච්චාගවොස්සග්ග යි ද, ‘පක්ඛන්‍දනවොස්සග්ගොති නිබ්බානපක්ඛන්දනං’ නිවනට පිවිසීම පක්ඛන්දනවොස්සග්ග යි ද කියන ලදී. මෙලෙසින් වොස්සග්ග ශබ්දයෙහි අර්‍ත්‍ථ දෙකක් ඇත්තේ ය.

විදර්‍ශනාක්‍ෂණයෙහි දී බොද්ධ්‍යඞ්ගයෝ තදඞ්ගවික්ඛම්භන වශෙයන් ක්ලේශප්‍රහාණයෙන් පරිච්චාගවොසග්ගයට නැමී සිටිති. අරමුණු කිරීම් වශයෙන් පක්ඛන්දනවොස්සග්ගයට (නිවනට) නැමී සිටිති.

මාර්‍ගක්‍ෂණයෙහි දී සමුච්ඡෙද වශයෙන් ක්ලේශප්‍රහාණය කොට පරිච්චාගවොස්සග්ගයට ද අරමුණු කිරීම් වසයෙන් පක්ඛන්දන වොසග්ගයට ද නැමී ගනිති. පක්ඛන්දනවොස්සග්ගයට නැමී සිටියෝ ම ය ඵලබොද්ධ්‍යඞ්ගයෝ.

මෙසේ, විවේක, විරාග, නිරෝධයන් ඇසුරු කොට සිටි බොද්ධ්‍යඞ්ගයන් වඩන්නහු විසින් ඒ වැඩිය යුත්තේ පරිච්චාග පක්ඛන්දනවොස්සග්ග පිණිස ය. එය ඔහුගේ පරමාර්‍ත්‍ථය. බොද්ධ්‍යඞ්ග වැඩීමෙහි නිරත වූ යෝගාවචරයා මේ පිණිසම ය, ඒ වඩන්නේ. මුහුකුර වන්නේ.

දැන් මෙහිලා අඩු වැඩි නො කොට බොද්ධ්‍යඞ්ග සතක් ම දැක්වීමෙහි හේතු කිමැ යි දතයුතු ය. ඒ පිණිස මේ දේශනා ය.

“කස්මා පන භගවතා සත්තෙව බොජ්ඣඞ්ගා වුත්තා අනුනාධිකාති? ලිහුද්ධච්චපටිපක්ඛතො සබ්බත්තිකතො ච, එත්ථ හි තයොව බොජ්ඣඞ්ගා ලීනස්ස පටිපක්ඛා, යථාහ, යස්මිං ච ඛො භික්ඛවෙ! සමයෙ ‍ලීනං චිත්තං හොති, කාලො තස්මිං සමයෙ ධම්මවිචයසම්බොජ්ඣංගස්ස භාවනාය, කාලො විරියසම්බොජ්ඣංගස්ස භාවනාය, කාලො පීතිසම්බොජඣඞ්ගස්ස භාවනායාති, තයො උද්ධච්චස්ස, යථාභ, යස්මිං ච ඛො භික්ඛවෙ! සමයෙ උද්ධතං චිත්තං හොති, කාලො තස්මිං සමයෙ පස්සද්ධිසම්බොජඣඞ්ගස්ස භාවනාය, කාලො සමාධිසම්බොජ්ඣංගස්ස භාවනාය, කාලො උපෙක්ඛාසම්බොජඣංගස්ස භාවනායාති”

බුදු රජුන් විසින් බොධ්‍යඞ්ගධර්‍ම සතක් ම අඩු වැඩි නො කොට වදාරණ ලද්දේ හැකුළුනු බවටත් උඩඟුබවටත් ප්‍රතිපක්‍ෂ භාවයෙන් හා සියලු අරුත් සිදු කරණ බැවිනුත් ය. මේ සප්ත බොධ්‍යඞ්ගයන් අතුරෙහි තිදෙනෙක් ථීනමිද්ධයහට පටහැනි වෙති. ධම්මවිචය - විරිය - පීති සම්බොද්ධ්‍යගයෝය ඔවුහු තිදෙන. සිත හැකුළුනු විට, අලසබවට පැමිණි විට මේ බොද්ධ්‍යඞ්ග තුන වැඩිය යුතු ය. එයින් සිත අලස බැවින් මිදී භාවනාකර්‍මයට සුදුසු වේ. අභිමතාර්‍ත්‍ථලාභයට යෝග්‍ය වේ. පස්සද්ධි-සමාධි-උපෙක්ඛා සම්බොධ්‍යඞ්ගයෝ උඩඟු බවට විරුද්ධ වෙති. සිත උඩඟු වූ විට ඇවුසුනු විට මේ බොද්ධ්‍යඞ්ග තුන වැඩිය යුතු ය. එයින් සිත උඩඟුබවෙන් මිදේ. භාවනාවට සුදුසු වේ. එකලා වූ සතිසම්බොජ්ඣංගය සියලු බොධ්‍යඞ්ගයන් විෂයෙහි බල පවත්වයි. ලුණු, හැම මස් මාලුවෙහි බල පවත්වන්නා සේ ය. ලුණෙන් තොරවූ මස් මාලු අනුභව නො කළ හැක්කා සේ සිහියෙන් තොර වූ බොද්ධ්‍යඞ්ගයෝ තමන් අයත් කටයුත්තෙහි අපොහොසත් වෙති. ‘එකො පනෙත්‍ථ ලොණධුපනං විය සබ්බබ්‍යඤ්ජනෙසු ඉචඡිතබ්බො’ යනු මෙහිලා සිහියට ගත යුතු ය. රජු පිළිබඳ සියලු කටයුතු විමසා බලන මහඇමැතියකු සේ සිහිය සියලු හිතාහිතධර්‍මයන් විමසා බලයි. හිතධර්‍මයන් ලංකොට අහිතධර්‍මයන් පහ කොට හරියි. එහෙයින් සියලු බොධ්‍යඞ්ගයන් කෙරෙහි සිහිය ක්‍රියා කරන්නී ය. ‘සබ්බකම්මිකමහාමච්චො විය ච සබ්බෙසු රාජකිච්චෙසු සබ්බ බොජ්ඣඞ්ගෙසු ඉචඡිතබ්බො’ යනු කීයේ එහෙයිනි. මෙයින් පෙණෙනුයේ සතිසම්බොජ්ඣංගය ථීනමිද්ධයට පටහැනි ව ගිය බොද්ධ්‍යඞ්ගතුනෙහි ද උද්ධච්චයට පටහැනි ව ගිය බොද්ධ්‍යඞ්ග තුනෙහි ද යන ත්‍රික දෙකෙහි යෙදිය යුතු බව ය. ‘සතිඤ්චඛ්වාහං භික්ඛවෙ! සබ්බත්ථිකං වදාමි, යනු බුද්ධ වචනයි.

සප්තබොද්ධ්‍යඞ්ගයන් අතුරෙහි තුනක් ථීනමිද්ධයට ප්‍රතිපක්‍ෂ වශයෙන් ද තුනක් උද්ධච්චයට ප්‍රතිපක්‍ෂ වශයෙන් ද, එකක් සර්‍වසාධාරණ වශයෙන් දැ යි මෙසේ බොද්ධ්‍යඞ්ග සතක් ම වදාළ සේකැ, යි දතයුතු ය.

දේශනාක්‍රමයෙහි සිහිය මුල් කොට වදාළෝ සිහියෙන් තොරව ධම්මවිචයාදීන්ගේ පිළිලැබීම නො වන බැවිනි. සමෘතිමත් යෝගාවචර තෙමේ ම බොද්ධ්‍යඞ්ගධර්‍මප්‍රතිලාභයෙහි පොහොසත් වේ. සියලු බොද්ධ්‍යඞ්ගයන්ගේ ඉදිරියෙහි යන්නී සිහිය ය. සතිසම්බොජ්ඣංගය මුල් කොට වදාළෝ එබැවිනි.

තත්ත්‍වවිමර්‍ශකයාහට ම ය වීර්‍ය්‍යකරණයෙහි උද්‍යෝගය වන්නේ. දහම් තතු විමසීමෙන් පසු තදවබෝධයෙහි සිත උනන්දු වේ. සමෘතිමත්යෝගීහට සමෘතිබලයෙන් එයට අනතුරු ව තත්ත්‍ව ඥානය වන බැවින් දෙවන කොට ධම්මවිචයසම්බොජ්ඣංගයත් තෙවන කොට විරියසම්බොජ්ඣංගයත්, උද්‍යෝගී යෝගාවචරයා හට ම නිරාමිෂප්‍රීතිය පිළිලැබෙන බැවින් සිවුවැනි කොට පීතිසම්බොජ්ඣංගයත්, ප්‍රීතිමත් වූවහු ගේ ම කායචිත්තදරථයන් සංසිඳෙන බැවින් පස්වැනි කොට පස්සද්ධිසම්බොජ්ඣංගයත්, කායචිත්තදාහයන් සංසිඳුනහු ගේ ම සිත එකඟ වන බැවින් සවැනි කොට සමාධිසම්බොජ්ඣංගයත්, එකඟ වූ සිතැත්තහු ම මැදහත් ව බලන බැවින් සත් වැනි කොට උපෙක්ඛාසම්බොජ්ඣංගයත් වදාළ සේක.

“එවං භාවිතෙසු ඛො භික්ඛවෙ! සත්තසු බොජ්ඣඞ්ගෙසු එවං බහුලීකතෙසූ සත්තඵලා සත්තානිසංසා පාටිකඞ්ඛා, කතමෙ සත්තඵලා? සත්තානිසංසා? දිට්ඨෙව ධම්මෙ පටිගච්ච අඤ්ඤං ආරාධෙති. අථ මරණකාලෙ අඤ්ඤං ආරාධෙති, අථ පංචන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා අන්තරාපරිනිබ්බායි හොති, අථ උපහච්චපරිනිබ්බායී හොති, අථ අසංඛාරපරිනිබ්බායී හොති, අථ සසඞ්ඛාරපරිනිබ්බායී හොති අථ උද්ධංසොතො අකනිට්ඨගාමී හොති, එවං භාවිතෙසු බො භික්ඛවෙ! බොජඣඞ්ගෙසු එවං බහුලීකතෙසු ඉමෙ සත්තඵලා සත්තානිසංසා පාටිකඞ්ඛා” යන මෙයින් විධිමත් ලෙසින් වැඩු විධිමත් ලෙසින් බහුල කළ බොද්ධ්‍යඞ්ගයන්ගෙන් ලැබෙන ඵලය, ලැබෙන ආනිසංසය දක්වා වදාළ සේක. මරණයට බොහෝ කල් තබා අර්‍හත්වය ලබනුයේ, මරණාසන්න කාලයෙහි හෝ අර්‍හත්වය ලබනුයේ, අන්තරාපරිනිබ්බායී හෝ. වනුයේ, උපහච්චපරිනිබ්බායී හෝ වනුයේ, අසඞ්ඛාරපරිනිබ්බායී හෝ වනුයේ, සසංඛාරපරිනිබ්බායී හෝ වනුයේ, උද්ධංසෝත අකනිට්ඨගාමී හෝ වනුයේ, ක්‍රම නො වරදවා වැඩූ බොද්ධ්‍යඞ්ගයන්ගේ ශක්තියෙන් බව මෙයින් පැහැදිලි වේ. මේ ආර්‍ය්‍යයන් ගැණ යට කියන ලදී. වැඩු බහුල කළ බොද්ධ්‍යඞ්ගබලයෙන් ලැබෙන අනුසස් සතකි, මෙහි කියවුනේ.

අසුරගැසීම් පමණ කලකුදු සතී ආදී බොද්ධ්‍යගයන් වඩන සිය සිත්හි උපදවන මහණහු, නො සිස් වූ ධ්‍යාන ඇත්තකු බුදුවදන් කරන්නකු, අවවාදයෙහි පිළිපදින්නකු, රට වැසි භක්තිමතුන් සැදැහයෙන් දෙන ණය නැති නො සිස් බත් පිඩ රහතකු සේ වළඳන්නකු වනබව හා බොද්ධ්‍යඞ්ගයන් බහුල වශයෙන් වඩන්නහුට ඉන් ලැබෙන අනුසස් පමණ නො කළැකි බවත් “අච්ඡරාසඞ්ඝාතමත්තම්පි චෙ භික්ඛවෙ! භික්ඛු සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- උපෙක්ඛාසම්බොජ්ඣංගං භාවෙති, අයං වුච්චති භික්ඛවෙ! භික්ඛු අරිත්තජ්ඣානො විහරති, සත්‍ථුසාසනකරො ඔවාදපතිකරො අමොඝං රට්ඨපිණ්ඩං පරිභුඤ්ජති, කො පන වාදො? යෙ නං බහුලීකරොන්ති” යන මෙයින් වදාළ සේක.

සසර දුක් නසා නිවන් ලබන්නහු ඒ පිණිස, සම්මාසම්බොධි-පච්චෙකබොධි-සාවකබොධි යන තුනෙන් එකකට පැමිණිය යුතු ය. මෙ කියූ බොධීන්ට අඞ්ගවූවෝ සති ආදීහු ය. එහෙයින් වැඩූ දියුණු කළ සති ආදී වූ බොද්ධ්‍යඞ්ගයන්ගේ අනුභාවයෙන් මය සම්මාසම්බොධි ආදීනට නැගිය හැක්කේ. එහෙයින් සසර දුක් නසන්නට නිවන් ලබන්නට ඒ ඒ පමණින් තමහට අභිමත බොධියට පැමිණෙන්නට සෑහෙන පමණින් බොද්ධ්‍යඞ්ග වැඩිය යුතු ය.

ස්වාමිදරු වූ බුදුරජානන් වහන්සේ සම්මාසම්බොධිය අවබෝධ කළෝ තමන් වහන්සේ වැඩූ බොද්ධ්‍යඞ්ගයන්ගේ ආනුභාවයෙනැ යි ‘සතා බොජ්ඣඞ්ගෙ භාවෙත්‍වා අනුත්තරං සම්මාසම්බෝධිං අභිසම්බුද්ධො’ යන මෙයින් වදාළ සේක.

දිනෙක බුදු රජානන් වහන්සේ භික්‍ෂූන් අමතා තෘෂ්ණාව නසනු පිණිස මාර්‍ගය වූ, ප්‍රතිපදාව වූ සප්ත බොද්ධ්‍යඞ්ගයන් වඩන්නැ, යි වදාළ කල්හි උදායී ස්ථවිරයන් වහන්සේ බුදු රජුන් වැඳ ‘කෙසේ වඩන ලද බොද්ධඞ්ගයෝ තෘෂ්ණාව නසන්නට උපකාර වෙත් දැ’ යි ඇසූහ. එවිට බුදු රජානන් වහන්සේ ‘උදායි! විවෙකාදිය ඇසුරු කළ බොද්ධ්‍යඞ්ග, තෘෂ්ණාව නසන්නට වහල් වේ ය, විවෙකාදිය ඇසුරු කළ බොද්ධ්‍යඞ්ග වඩන්නහුගේ තෘෂ්ණාව ක්‍ෂය වන්නේ ය, තෘෂ්ණාව ක්‍ෂය වීමෙන් කර්‍මක්‍ෂයවන්නේ ය. කර්‍මක්‍ෂය වීමෙන් සියලු දුක් පහව යන්නේ ය’ යි වදාළ සේක.

‘මාරසෙනප්පමද්දනං වො භික්ඛවෙ! මග්ගං දෙසිස්සාමි තං සුණාථ, කතමො ච භික්ඛවෙ! මාරසෙනප්පමද්දනො මග්ගො, යදිදං සත්තබොජ්ඣංගා’ යන මෙයින් වදාළෝ මර සෙනග බිඳ පලවා හැරීමෙහි මාර්‍ගය, මැනැවින් වැඩූ සප්ත බොද්ධ්‍යඞ්ගයන් බවය. ‘මහණෙනි! මම තමුසේලාට මර සෙනග එඩි මඩින මග කියන්නෙමි, එය අසවු! මහණෙනි! මර සෙනග එඩි මඩින මඟ නම්, සප්තබොද්ධ්‍යඞ්ගය’ යනු එහි ඉතා කෙටි තේරුමය.

යෙ කෙචි භික්ඛවෙ! අ‍තීතමද්ධානං සමණා වා බ්‍රාහමණා වා තිස්සො විධා පජහිංසු, සබ්බෙ තෙ සත්තන්නං බොජ්ඣඞ්ගානං භාවිතත්තා බහුලීකතත්තා, යෙහි කෙචි භික්ඛවෙ! අනාගතමද්ධානං සමණා වා බ්‍රාහමණා වා තිස්සො විධා පජහිස්සන්ති! සබ්බෙ තෙ සත්තන්නං බොජ්ඣඞ්ගානං භාවිතත්තා බහුලීකතත්තා, යෙහි කෙචි භික්ඛවෙ! එතරහි සමණා වා බ්‍රාහමණා වා තිස්සො විධා පජහන්ති, සබ්බෙ තෙ, සත්තන්නං බොජ්ඣඞ්ගානං භාවිතත්තා බහුලීකතත්තා” යන මේ දේශනාවෙන් පැහැදිලි කළෝ ඉකුත් දවස යම් මහණ බමුණු කෙනෙක් ත්‍රිවිධ මානය නැසුවෝ නම්, එන දවස යම් මහණ බමුණු කෙනෙක් ත්‍රිවිධ මානය නසන්නෝ නම්, මෙදවස යම් මහණ බමුණු කෙනෙක් ත්‍රිවිධ මානය නසත් නම්, ඒ සියල්ලෝ එසේ කළෝත් කරන්නෝත් මොනවට වැඩූ බහුල වශයෙන් දියුණු කළ බොධ්‍යංගබලයෙන් බව ය.

අතීතානාගතවර්‍තමානකාලික වූ බුද්ධ ප්‍රත්‍යකබුද්ධ අග්‍රශ්‍රාවකමහාශ්‍රාවකාදි ආර්‍ය්‍යභාවය බොද්ධ්‍යඞ්ග වැඩීමෙන් ම වන්නේ ය, යනු එහි ආශය වේ.

මහසුප් තෙරනුවන් දැඩි සේ ගිලන් ව රජගහා නුවර පිප්ඵලී නම් ගල් ගුහාවෙක වසනබව දත් බුදුරජානන් වහන්සේ එහි වැඩ අසනීපයෙහි තොරතුරු අසා මහසුප් තෙරුන් කෙරෙහි මහත් දයාවෙන් බොද්ධ්‍යඞ්ගධර්‍ම වදාරා සෙත් වැඩුහ. ඒ ඇසූ මහතෙරනුවෝ එ කෙණහි එම රෝගයෙන් නැගී සිට ගත්හ. මෙසේ මේ බොද්ධ්‍යඞ්ගධර්‍මයන්ගෙන් සෙත් ලැබූ උත්තමයෝ එදා බොහෝ වූහ. අද ද නො ද ඇතැ යි නො කියැකි ය.

බොද්ධ්‍යඞ්ගධර්‍මයෝ සසර දුකින් නිදහස ලබන තෙක් ම සත්‍වලෝකයට හිතකර වෙති. අවසනැ සසර දුකින් සත්වයා මුළුමනින් ගලවා ලන්නෝ ද බොද්ධ්‍යඞ්ගයෝ ය. එහෙයින් බොද්ධ්‍යඞ්ග වැඩීමෙහි කවර නම් නුවණැත්තෙක් පසුබට වන්නේ ද?

බොද්ධ්‍යඞ්ග පහළ වීමෙහි හේතුහු ඇත්තාහ. ඔවුහු අහේතුක ව පහළ නො වෙති. එහෙයින් හේතුහු ද ආගමයෙහි වෙන් වෙන් කොට දක්වන ලදහ. ඒ මෙසේය කොටින්.

‘චත්තාරො ධම්මා සතිසම්බොජ්ඣංගස්ස උප්පාදාය සවන්තන්ති, සතිසම්පජඤඤං. මුට්ඨස්සතිපුග්ගලපරිවජ්ජනතා උපට්ඨිතසතිපුග්ගලසෙවනතා තදධිමුත්තතා’ යි සතිසම්බොජ්ඣංගයාගේ ඉපැත්මට රුකුල් දෙන කරුණු සතරක් මෙයින් දැක් වූහ. සිහිනුවණ ඇතිබව, සිහිමුළා පුගුලන් පලවා හැරීම, එළඹ සිටි සිහි ඇත්තන් සෙවුම, සිහිය උපදවා ගැන්මෙහි නැඹුරු වූ සිත් ඇති බව ඒ සතර ය.

එහි අභික්කන්තාදි සත් තැනෙහි සිහි නුවණින් යෙදී විසීමය, සතිසම්පජඤ්ඤ නම්.

බත් සඟවා තැබූ තැන එ කෙණෙහි අමතක ව යන කවුඩන් වැනි පුගුලන් දුරු කිරීම, ඔවුන්ගේ ආශ්‍රය අත් හැරීම, මුට්ඨස්සතිපුග්ගලපරිවජ්ජනතාය.

තිස්සදත්ත, අභය ස්ථවිරාදීන් වැනි එළඹ සිටි සිහි ඇත්තන් සෙවුමය, උපට්ඨිතසතිපුග්ගලසේවනතා යි කීයේ.

ඉඳීම - සිටීම - නිදීම - සක්මණ යන සිවු ඉරියව්වෙහි සිහිය පිහිටුවීමට නැමී ගත් එයට බර ව සිටි සිත් ඇති බවය; තදධීමුත්තතා නම්. මේ සතර ය, සතිසම්බොජ්ඣංගය ඉපැත්මෙහි හේතු. මෙයින් උපන් සතිසම්බොජ්ඣංගය වැඩුම සම්පූර්‍ණ චනුයේ අර්‍හත්මාර්‍ගයෙනි.

“සත්තධම්මා ධම්මවිචයසම්බොජඣඞ්ගස්ස උප්පාදාය සංවත්තන්ති, පරිපුච්ඡකතා, වත්ථුවිසදකිරියතා, ඉන්ද්‍රියසමත්තපටිපාදනා, දුප්පඤ්ඤපුග්ගලපරිවජ්ජනා, පඤ්ඤාවන්තපුග්ගලසෙවනා, ගම්භීරඤාණාචරියපච්චවෙක්ඛණා, තදධිමුත්තතා” යි. ධම්මවිචයසම්බොජ්ඣංගයාගේ පහළවීමෙහි මෙසේ කරුණු සතක් දැක්වූහ. ඇසුම්බැලුම්බහුලබව, ඇතුළත පිටත පිරිසිදුබව, ශ්‍රද්ධාදී වූ ඉඳුරන්ගේ සමබවකිරීම, නුවණ නැති පුගුලන් පලවාහැරීම, නුවණැති පුඟුලන්සෙවුම, ගැඹුරු නුවණෙහි වෙනස්කම්සැලකීම, ධම්මවිචයසම්බොජ්ඣංගය නිපදවීමට නැමී සිටීම යනු ඒ සතය.

එහි, ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය බල බොද්ධ්‍යඞ්ග මාර්‍ගාඞ්ග ශමථ විදර්‍ශනාවන්හි අරුත් ඇසුරු කළ විචාරීම් බහුලබවය පරිපුච්ඡතා නම්.

කෙස් රැවුල් නිය කපා හැර, උද්ධවිරෙචනාදියෙන් සිරුර සැහැල්ලු කොට, ඩහ මල උළා හැර නා, සිරුර පිරිසිදුකිරීම සිවුරු පිරිකර මසා සෝදා පඬු පොවා ගේ දොර හැමද කුණු කසළ බැහැර කොට ඇඳ පුටු ඇතිරිලි කොට්ට මෙට්ට පාපිසි ඈ අවු ගන්වා පිරිසිදුකිරීමය වත්ථුවිසදකිරියතා නම්. ඇතුළත පිටත අපිරිසිදු කල්හි චිත්තචෛතසිකයන් කෙරෙහි වූ නුවණ අපිරිසිදු ය. අපිරිසිදු පහන්, පහන්වැටි, තෙල් නිසා හටගත් පහන් සිළුවෙහි ආලෝකය අපිරිසිදු වන්නා සේ ය. පිරිසිදු පහන්, පහන් වැටි, තෙල් නිසා දැල්වෙන පහන් සිළ පිරිසිදු වන්නා සේ ඇතුළත පිටත වස්තුන් පිරිසිදු කල්හි උපන් චිත්තචෛතසිකයන් කෙරෙහි වූ නුවණ ද පිරිසිදු වේ.

ශ්‍රද්ධා - වීර්‍ය්‍ය - සමෘති - සමාධි - ප්‍රඥා යන ඉන්ද්‍රියයන් එකකට එකක් අඩු වැඩි වන්නට නො දී ඒ ඒ ඉන්ද්‍රියයන්ට තම තමන් අයත් කෘත්‍යය නිසි සේ කරන්නට ඉඩ ලැබෙන සේ සමබවෙහි තැබුම ය ඉන්ද්‍රියසමත්තපටිපාදනා යි කීයේ. ශ්‍රද්ධෙන්ද්‍රිය බලවත් වූ තැන, අනික් ඉන්ද්‍රියයෝ දුර්‍වල වෙත්. එකල්හි වීර්‍ය්‍යෙන්ද්‍රිය ය තමන් හා එක් ව උපන් අනික් ධර්‍මයන් උත්සාහවත් කිරිමෙහි සමෘතීන්ද්‍රිය ය අරමුණු කරා එළඹීමෙහි, සමාධීන්ද්‍රිය ය තමන් හා එක් ව උපන් ධර්‍මයන්ට විසිර යා නො දී රැක ගැන්මෙහි, ප්‍රඥෙන්‍ද්‍රිය ය අරමුණුතතු දැක්මෙහි අපොහොසත් ය. එහෙයින් දහම් තතු සලකා ශ්‍රද්ධෙන්ද්‍රිය ය වැඩී ගියේ යම් ලෙසකින් ද, ඒ ලෙස හැර ශ්‍රද්ධෙන්ද්‍රියයාගේ වැඩීම පිරිහෙළිය යුතු ය. මෙයට වක්කලී තෙරුන් වත නිදසුන් කළ හැකි ය.

වක්කලී තෙරණුවෝ මහාශ්‍රාවකයෙකි. මහාශ්‍රාවකයකු වන්නට උන්වහන්සේ පළමුකොට ප්‍රර්‍ත්‍ථනා තැබුවෝ පියුමතුරා බුදු රජුන් දවසේ ය. උන්වහන්සේ මෙ කපට කල්පලක්‍ෂයකින් ඔබ්බෙහි ලොව පහළ වූහ. වක්කලී ස්ථවිරයන් වහන්සේ එදා හංසවතී නුවර කුලගෙයක ඉපිද නුවණැති බවට පැමිණ සිටියහ. එ දවස පියුමතුරා බුදුරජානන් වහන්සේ සියලු මර රුපුන් දිනා බුදුබව ලබා දම්සක් පවත්වා ලෝවැඩ වඩමින් එහි මහාවිහාරයක වැඩ වාසය කරති. එනුවර වැසි උපාසක උපාසිකාවෝ සුවඳ මල් ඈ ගෙණ බුදුරජුන් පුදා බණ අසන්නට විහාරයට යති. දිනෙක මෙතෙමේ ද සුවඳ මල් ගෙණ විහාරයට යන ඔවුන් දැක ඔවුන් හා ම විහාරයට ගොස් බණ පිරිසෙහි කෙළවරට වී බණ අසන්නට වන. බණ අවසන්හි බුදුරජානන් වහන්සේ බණ අසමින් එහි හුන් මහපිරිසෙහි එක් නමක් ශ්‍රද්ධාධිමුක්තකභික්‍ෂූන් අතුරෙහි අගතැන්හි තැබූහ. එ වේලෙහි මේ උපාසකයන්ගේ සිත අනාගතයෙහි බුදු කෙනකුන් අතින් මේ තනතුර ලැබීමට නතු වී ගියේ ය. එහෙයින් ඔහු බුදුරජුන් පවරා සත් දිනක් මහදන් පවත්වා සත්වන දිනයෙහි වළඳවා අවසන්හි බුදුරජුන් ඉදිරියෙහි දොහොත් මුදුන් දී සිට ‘ස්වාමීනි! මම මේ කළ පිණෙන් බලාපොරොත්තු වන්නෙම්, අනාගතයෙහි ලොව පහළ වන බුදු කෙනකුන් අතින් ශ්‍රද්ධාධිමුක්තකභික්‍ෂූන්ගේ අගතැන් පත් වීමැ’ යි කියා ඒ පිණිස ප්‍රාර්‍ත්‍ථනා කෙළේ ය. බුදු රජානන් වහන්සේ අනාගතය බලා වදාළෝ, එයට අනතුරක් නැති බව දැක ‘උපාසකය! තමුසේගේ පැතීම සිදු වන්නේ ය, එය අද හෙට නො වේ, අදින් කලපලක්‍ෂයක් ගිය තැන ගෞතම නමින් බුදුවරයෙක් ලොව පහළ වන්නේ ය, ඒ බුදුරජුන්ගේ සාසනයෙහි මහණගණයා අතර තමුසේ ම ශ්‍රද්ධාධිමුක්තිකයන් අතර ශ්‍රේෂ්ඨ වන්නහු ය, අගතැන් ලබන්නහු ය’ යි වදාළ සේක.

බුදුරජානන් වහන්සේගේ මේ ප්‍රකාශයෙන් ඔද වැඩුනු ඔහු එ තැන් සිට නොයෙක් පින් දහම් කොට අප බුදුරජුන් දවස දක්වා, දෙව් මිනිසුන් අතර ම ඉපිද එන්නේ මෙ දවස සැවැත් නුවර බමුණු ගෙදරක උපන්නේ ය. නම වක්කලී නම් ය. නිසිවියට පැමිණ ඔහු ත්‍රිවේදය ඉගෙණ බ්‍රාහ්මණශිල්පයෙහි පරතෙරට ගියේ දිනෙක භික්‍ෂූන් පිරිවරා වඩින බුදු රජුන් දැක උන්වහන්සේගේ ශ්‍රී දෙහදර්‍ශනයෙන් වශීකෘත විය. ඔහු, ඔහුගේ දෙ ඇස බුදු සිරුරින් මුදා ගන්නට අසමර්‍ත්‍ථ වූයේ, බුදුරජුන් හා ම හැසිරෙන්නට වන. හිදින විටත් නගින විටත් සිටින විටත් හෝනා විටත් බුදුරජුන් දෙස ම බලා හිඳියි. නගයි. සිටියි. හොවියි. බණ දෙසන විටත් උන්වහන්සේගේ මුව කැලුම් බලමින් ම සිට බණ අසයි.

දිනෙක මොහුට, ‘බුදුරජුන් නිතර, දක්නට නම්, පැවිදි විය යුතු ය, ගිහිගෙයි වසන්නහුට නිතර බුදුරජුන් දැක්ම නො කළැකි ය, ගිහිගෙයි වැඩ බොහෝ ය, ඒ සඳහා කාලය ගෙවී ගිය කල පිණට දහමට කල් ඉතිරි නො වේ, නෑයන් සඳහා හිතවතුන් සඳහා දන සපයනු සඳහා ලෙඩට දුකට මගුලට අවමගුලට කල් ගෙවී යන්නේ ය. එහෙයින් පැවිදි වන්නෙමි’ යි සිත් උපන. ඔහු බුදුරජුන් වෙත ගොස් පැවිදි විය. එතැන් සිට දන් වළඳන කාලය හැර අන් සියලු වේලෙහි බුදුරජුන් දක්නට යම් තැනෙක යම් ලෙසකින් සිට හැක්කේ නම්, එතැනට ගොස් ඒ ලෙසින් සිටියි. මේ කාලයෙහි ඔහුට යෝනිසෝ මනසිකාරයෙක් නො ද විය. බුදුරජානන් වහන්සේ මේ ගැණ ඔහුට කිසිවක් නො වදාළහ. ඔහුගේ නුවණ මෝරන තුරු උන්වහන්සේ මෙය ඉවසා වදාළ සේක. මෙසේ කල් යත් වක්කලි තෙරුන්ගේ නුවණ ද මෝරා ගියේ ය. එකල බුදු රජානන් වහන්සේ ‘වක්කලි! තමුසේ මා දෙස බලා සිටින්නහු, මේ කුණු සිරුර දැකීමෙන් තමුසේට ඇති ප්‍රයෝජනය කුමක් ද වක්කලි! මා කියන්න අසන්න, යමෙක් ධර්‍මය දකී නම්, ඔහු ය මා දකින්නේ, යමෙක් මා දැකී ද, ඔහු ධර්‍මයත් දකියි, වක්කලි! ධර්‍මය දක්නේ මා දකියි, මා දක්නේ ධර්‍මය දකී’ යි වදාළ සේක, එහෙත් වක්කලී ස්ථවිරයන් වහන්සේ බුදුරජුන් දැක්ම හැර දමා අන් තැනෙක යන්නට අපොහොසත් වූහ. එකල බුදුරජානන් වහන්සේ ‘මේ නම සංවේගයක් නො ලැබ සිවුසස් දහම් නො ද අවබෝධ කරන්නේ ය’ යි දැන වස් වසන්නට රජගහා නුවරට වැඩි සේක. වක්කලී ස්ථවිරයන් වහන්සේ ද එහි ගියහ. බුදු රජානන් වහන්සේ වස්වසන දිනයෙහි ‘වක්කලි! මෙතැනින් පහව යන්නැ’ යි පලවා හැරිය සේක. එවිට වක්කලී තෙරණුවෝ බුදුරජුන් ඉදිරියෙහි සිටින්නට අපොහොසත් ව ‘ මට බුදුරජුන් දැක්ම නො ලැබේ නම්, මාගේ මේ ජීවිතයෙන් වැඩක් නැත. උන් කුමක් කළ හැකි ද, බුදුරජානන් වහන්සේ මා පන්නා හැරි සේක, මේ තැන් සිට උන්වහන්සේ මට නො හමුවන සේක, එහෙයින් බුදුරජුන් දැක්ම නො ලැබේ නම්, මාගේ ජීවිතයෙන් වැඩෙක් නැතැ’ යි පණ නසා ගන්නට ගිජුකුළු පව්වට නැංගාහ. බුදුරජානන් වහන්සේ එවේලෙහි එබව දැන ‘මේ නමට මා වෙතින් අස්වැසුමෙක් නො ලැබුනේ නම්, මග පල ලැබීමට ඇති වාසනාව නැසී යන්නී ය’ යි සිතා තමන් වහන්සේ පෙණි යන සේ ආලෝකයක් පතුරුවා හැරි සේක. එයින් ඔහුට බුදුරජානන් වහන්සේ එතැන සිටියදී ම පෙණී ගියහ. ඔහුගේ සිත නැගී තුබූ ශෝකය එයින් පහව ගියේ ය. ඉක්බිති බුදුරජානන් වහන්සේ වක්කලී තෙරුන්ගේ සිත්හි සතුට උපදවන්නට.

“පාමොජ්ජබහුලො භික්ඛු පසන්නා බුද්ධසාසනෙ,

අධිගච්ඡෙ පදං සන්තං සඞ්ඛාරූපසමං සුඛං”

යන ගාථාව වදාරා, නැවැත ‘වක්කලි! තමුසේ බලාපොරොත්තු වන්නහු කුමක් ද’ යනාදි ලෙසින් අවවාද කරණ ලදුවත් ගිජුකුළු පව්වෙහි ම සිට විදසුන් වඩන්නට පටන් ගත්හ. එහෙත් උන්වහන්සේගේ ශ්‍රද්ධාව පමණ ඉක්මවා වැඩී සිටිය බැවින්, විදර්‍ශනාව සුදුසු තැනට නො පත් වූ ය. බුදුරජානන් වහන්සේ ඒ දැන නැවැතත් කමටහන් කිය වූහ. එ වරද වක්කලී ස්ථවිරයන් වහන්සේ විදසුන් මුදුන් ගන්වන්නට අපොහොසත් වූහ. ඒ අතර ආහාරවිකලත්වයෙන් වාතරෝගයෙක් හට ගැණින. බුදුරජානන් වහන්සේ වක්කලී තෙරුන් වාතරෝගයෙන් පෙළෙන බව දැන එහි වැඩම කොට,

“වාතරොගාභිනීතොත්වං විහරං කානනෙ වනෙ

පවිට්ඨගොචරෙ ළූඛෙ කථං භික්ඛු කරිස්සසි”

යි වදාළ සේක. ‘ වාතරෝගයෙන් පෙළෙන තමුසේ රළුබිම් පෙදෙස් ඇති මේ වනයෙහි ලෙඩට හිත වූ බෙහෙතුත් නො ලැබ ආහාර ගැණුම් ද නො කොට මෙහි කුමක් කරන්නහු ද?’ යනු එහි කෙටි තේරුම ය. වක්කලී ස්ථවිරයන් වහන්සේ;

“පීතිසුඛෙන විපුලෙන එරමානො සමුස්සයං,

ළූඛම්හි අභිසම්භොන්තො විහරිස්සාමි කානනෙ.

.

භාවෙන්තො සතිපට්ඨානෙ ඉන්ද්‍රියානි බලානි ච,

බොජ්ඣඞ්ගානි ච භාවෙන්තො විහරිස්සාමි කානනෙ.

.

ආරද්ධවිරියො පහිතත්තො නීචං දළ්හපරක්කමො,

සමග්ගෙ සහිතෙ දිස්වා විහරිස්සාමි කානනෙ.

.

අනුස්සරන්තො සම්බුද්ධං අග්ගං දන්තං සමාහිතං,

අතන්‍දිතො රත්තින්දිවං විහරිස්සාමි කානනෙ”

යනු කීහ.

‘මම මහත් වූ ප්‍රීතිසුඛයෙන් හා එයින් හටගත් ප්‍රණීත වූ රූපයන්ගෙන් මුළු කය පතුරුවමින් රළු සිවුපසය ඉවසමින් වනයෙහි වසන්නෙමි,

සතරසතිපට්ඨාන-ඉන්ද්‍රිය-බල-බොද්ධ්‍යඞ්ගධර්‍ම වඩමින් ඵලසුඛයෙන් හා නිර්‍වාණසුඛයෙන් යුක්තව වනයෙහි වසන්නෙමි,

පටන් ගත් වීර්‍ය්‍යය ඇති ව නිවන් කරා යැවූ සිත් ඇති ව නිති පැවැති දැඩි පැරකුම් ඇති ව සමග වූ මහණබවෙන් එක් වූ සබ්රම්සරුන් දැක වනයෙහි වසන්නෙමි,

සියලු දහම් දත් සියලු සතුන්ට උතුම් වූ දැමුනු මැනැවින් පිහිටා සිටි බුදුරජුන් ‘ඉතිපි සො භගවා’ යනාදි ලෙසින් අනලස්ව රෑ දාවල් සිහි කරමින් වනයෙහි වසන්නෙමි, යනු එහි සිංහල ය.

මෙසේ කියා වක්කලී තෙරණුවෝ විදසුන් ඔදගන්වා රහත් බවට පැමිණියහ.

බුදුරජානන් වහන්සේ වක්කලී තෙරුන්ගේ ශ්‍රද්ධෙන්ද්‍රිය පමණ ඉක්මවා වැඩී ගිය බැවින්, අදහස් මුදුන් නො පැමිණෙනු දැක ඔහුට සංවේග උපදවා ශ්‍රද්ධෙන්ද්‍රිය ය පිරිහෙළන කමටහන් දී රහත් බවට පමුණුවා ලූ සේක.

වීර්‍ය්‍යෙන්ද්‍රිය ය වැඩී ගිය කල ශ්‍රද්ධෙන්ද්‍රිය අධිමෝක්‍ෂකෘත්‍යය කිරීමෙහි ද, අනික් ඉන්ද්‍රියයෝ ඒ තම තමන් අයත් කෘත්‍යය කිරීමෙහි දී අපොහොසත් වෙති. එහෙයින් වීර්‍ය්‍යෙන්ද්‍රියයාගේ ඒ වැඩී යෑම පිරිහෙළන්නට පස්සද්ධි-සමාධි-උපෙක්ඛාබොජ්ඣංග වැඩිය යුතු ය. මෙයට, සොණ තෙරුන්ගේ වත නිදසුන් කළ හැකි ය.

සෝණ ස්ථවිරයන් වහන්සේ පෙර බුදුරජුන් වෙත කළ අධිකාර ඇත්තෝ, ඒ ඒ භවයන්හි ඉපිද නන්වැදෑරුම් පින් රැස් කළහ. මේ තෙමේ සසර එනුයේ, අනෝමදස්සි බුදුරජුන්ගේ කාලයෙහි මහත් වස්තුව ඇති සිටුවරයෙක් ව ඉපිද වැඩිවිය පැමිණ උපාසකයන් හා එක් ව විහාරයට ගොස් බණ අසා පැහැද බුදුරජුන් සක්මන් කරණ තැන සුණු පිරියම් කරවා නන්පැහැති මල් එහි අතුරා නන්පැහැති රෙදි පිළියෙන් වියනක් බැඳ සකස් කෙළේ ය. සංඝයා වහන්සේ උදෙසා දීර්‍ඝ ශාලාවක් කරවා පිදී ය. ඔහු, ඒ පින්කමින් දෙව්මිනිසුන් අතර ම සැරිසරා එනුයේ, පියුමතුරා බුදුරජුන්ගේ කාලයෙහි හංසවතී නගරයෙහි සිටුගෙදරක උපන්නේ ය. එදා ඔහුගේ නම සිරිවඩ්ඪ ය. කෙමෙන් වැඩිවිය පත් මෙතෙමේ බණ අසන්නට නිතර විහාරයට යයි. දිනෙක ඔහු බණ අසන්නට ගොස් පිරිස් කෙළවර හිඳ බණ අසනුයේ, එදවස බුදුරජානන් වහන්සේ එක් භික්‍ෂුනමක් ආරබ්ධවීර්‍ය්‍යය ඇති භික්‍ෂූන් අතරෙහි ශ්‍රේෂ්ඨ ස්ථානයෙහි තබනු දැක, ඔහු ද ඒ තනතුර ලැබීමේ අදහසින් බුදුරජුන් පවරා සත් දිනක් මුළුල්ලෙහි මහදන් පැවැත් වීය. සත්වන දිනයෙහි ඒ පිණිස ප්‍රාර්‍ත්‍ථනා ද තැබී ය. බුදුරජානන් වහන්සේ මෙසේ ඔහු කළ ප්‍රාර්‍ත්‍ථනාව සමෘද්ධ වන බව දැක ‘උපාසකය! උපාසක තැන කළ පැතීම මෙයින් කල්පලක්‍ෂයක් ගිය තැන ලොව පහළ වන ගෞතම බුදුරජුන්ගේ සාසනයෙහි දී සමෘද්ධ වන්නේ ය’ යි දන්වා සිටියහ. එ තැන් සිට ඔහු නොයෙක් පින්දහම් කරමින් සසර එනුයේ, කසුප් බුදුරජුන් පිරිනිවි කල්හි, අප බුදුරජුන් ලොව පහළවන්නට පෙරාතු ව මනුලොව ඉපිද වැඩිවිය පැමිණියේ, සිය යහළුවන් හා ගඟදියෙහි කෙළින්නට ගියේ ය. එකල එහි ඉරීගිය සිවුරු හැඳ පොරොවා ගත් පසේබුදුවරයෙක් ‘බරණැස ඇසුරු කොට ගඟ අසබඩ පන්සලක් කොට වස් වසන්නෙමි’ යි ඒ පිණිස දියපහරින් ගසා ආ ලී දඬු වැල් එකතු කරමින් සිටියි. මේ කුමාර තෙමේ යහළුවන් හා එක් ව ගොස් බුදුරජුන් වැඳ ‘ස්වාමීනි! ඔබහන්සේ මෙහි කුමක් කරන්නහු දැ’ යි ඇසී ය. ‘කුමාරය! වස් වසන දවස ලං වූ කල පැවිද්දන්ට වස් වසන්නට තැනක් වුවමනා ය, එහෙයින් වස් වසනු පිණිස තැනැක් පිළයෙල කර ගන්නට සිතා මේ ලී දඬු වැල් එකතු කරමි’ යි කීහ. කුමාර තෙමේ ‘ස්වාමීනි! අද ඔය ලෙසින් ඉවසා සිටිනු මැනැවි, හෙට මම ඔබ වහන්සේට විසීමට තැනක් පිළියෙල කර දෙන්නෙමි’ යි කී ය. උන්වහන්සේ එය ඉවසූහ. ඔහු, පසේ බුදුරජුන්ගේ ඒ ඉල්ලීම පිළිගත්බව දැන පසුදා සත්කාරසම්මාන පිළියෙල කොට පසේ බුදුරජුන්ගේ ඊම බලාපොරොත්තු වෙමින් සිටියේ ය. උන් වහන්සේ ද ‘අද කොතැනකට පිඬු පිණිස යා යුතු දැ යි සිතන සේක්, ඔහුගේ ගෙදරට ම වැඩි සේක. කුමාර තෙමේ පසේ බුදුරජුන් දැක සතුටු ව පාත්‍රය ගෙණ දන් පිළිගන්වා ‘මේ තෙමස මාගේ ගෙදරට ම වඩින සේක්වා’ යි ආරාධනා කොට පොරොන්දු ගෙණ පසේබුදුරජුන් වළඳා වැඩිය කල්හි සිය යහළුවන් සමඟ එක් දවසින් ම පසේබුදුරජුන්ට පන්සලක් හා සක්මන් දිවාතැන් රෑ තැන් ඈ හැම එකක් කරවා දුන්නේ ය. පන්සල තුළට පිවිසෙන කල්හි පාදයන්හි දූවිලිමඩ ආදිය නො තැරවේවා’ යි සිතා පසේබුදුරජුන් පන්සලට ඇතුල්වන කල්හි තමාගේ ලක්‍ෂයක් අගනා රතු කම්බිලිය බිම අතුරන්නේ ය. උන්වහන්සේ ඒ මත වඩින කල්හි කම්බිලියේ පැහැය හා උන්වහන්සේගේ සිරුරෙහි පැහැයත් එක හැටිබව දැක ඉතා පහන් වූ කුමාර තෙමේ ‘ස්වාමීනි! ඔබවහන්සේ පෑගුවේලේ සිට මේ කම්බිලියේ පැහැය ඉතා හොබනේ ය, අතිශයකාන්තිමත් ය, එ පරිද්දෙන් මින් පසු මා උපනුපන් හැම අත්බවේදී මේ මාගේ අත්පාවල පැහැය, බඳුවදමල්පැහැය ඇත්තේ වේවා, පහස, සියක් වරක් පෙළූ කපුපුලුනෙහි පැහැය වැනි වා’ යි පතා තෙමසක් පසේබුදුරජුන්ට උපස්ථාන කොට වස් අන්තයෙහි තුන් සිවුරු පිදී ය. බුදුරජානන් වහන්සේ පිරිපුන් තුන් සිවුරු ඇති සේක්, ගන්ධමාදනපර්‍වතය බලා වැඩි සේක.

ඒ කුලපුත්‍ර තෙමේ ද ජාතියක් ජාතියක් පාසා නොයෙක් පින් දහම් කොට දෙව්මිනිසුන් අතර ම ඉපිද එන්නේ, අප බුදුරජුන් දවස කාලචම්පා නුවර උසහ සිටුහුගේ ගෙයි පිළිසිඳ ගත්තේ ය. ඔහු පිළිසිඳ ගත් දා සිට ඒ සිටුගෙට ලැබුනු පඬුරු පාක්කුඩම් ඉතා බොහෝ විය. නම් තබන මගුලේ දී මවුපියෝ ‘අපේ පුතා තම නම ගෙනැවිත් සිටී’ යි සොණ යි ඔහුට නම් කළහ. එසේ නම් කළෝ, ඔහුගේ සිරුරු සිවිය රතුරන්දිය ගාන ලද්දක් සේ බබලන්නට වූ බැවිනි. කිරිමවුවරු සැට දෙනෙක් දෙව් කුමරකු වඩන්නා සේ ඔහු වැඩූහ. ඔහුගේ ජීවිතයෙහිලා සිදු වූ පුණ්‍යර්ධීහු ඉතා බොහෝ ය. හස්තපාදතලයෝ, බඳුවදමල් පැහැ ඇත්තෝ වූහ. එහි පහස, සියක් වර පෙළූ කපුපුලුනක පහස වැනි විය. යටිපතුල්හි හට ගෙණ තුබූ ලෝමයෝ, මිණිකොඬොල් සුළි සටහන් ඇත්තෝ වූහ. ඍතුත්‍රයට සුදුසු වූ ප්‍රාසාදත්‍රයෙක වසමින් දෙව්සිරි බඳු හැම සිරි විඳිමින් දෙව්කුමරකු සේ කල් ගෙවී ය ඔහු.

මේ කාලයෙහි අපගේ සම්බුදු රජානන් වහන්සේ රජගහා නුවර ඇසුරු කොට වැඩ වසන සේක. දිනෙක බිම්සර රජු විසින් කැඳ වූ මොහු අසූදහසක් ගැමියන් හා බුදුරජුන් වෙත ගොස් ලැබූ සැදැහැති ව බුදුරජුන් වැඳ පැවිද්ද ඉල්ලී ය. උන්වහන්සේ ‘මවුපියන්ගෙන් අවසර ලද දැ’ යි ඇසූ කල්හි ‘නැත’ යි කී විට මවුපියන් නො අනුදන්නවුන් පැවිදි නො කරති ‘ යි වදාළ සේක. ඉක්බිති මවුපියන් වෙත ගියේ, කරුණු කියා ඔවුන්ගෙන් අවසර ගෙණ බුදුරජුන් කරා ගොස් එක්තරා ස්ථවිර නමක් වෙත පැවිදි විය. පැවිද්දෙන් ටික දිනකට පසු උපසම්පදාව ලැබූ මොහු වෙතට, පඬුරු පාක්කුඩම් නිතර ගෙණ එන්නේ බොහෝ වූහ. ඔවුහු උන්වහන්සේගේ රූසපුව ගැණ, තැන තැන කියන්නට ද වූහ. එයින් තවත් නොයෙක් දෙන උන්වහන්සේ වෙත ගලා ආහ. ‘ මා ලඟට නිතර එන්නෝ ඉතා බොහෝ ය, මේ නිසා මට මහණකම් කරන්නට ඉඩ නැත්තේ ය, කමටහනෙක, විදසුන් වැඩුමෙක යෙදෙන්නට නො හැකි ය, එහෙයින් බුදුරජුන් ලවා කමටහන් කියවා ගෙණ සීතවන සොහොනට ගොස් මහණදම් කරමි, ඒ සොහොන ඉතා පිළිකුල් තැනක් බැවින් වැඩි දෙනෙක් එහි නො එන්නාහ, එවිට මට මාගේ මහණදම් මුදුන් පමුණුවා ගන්නට හැකි වන්නේ ය’ යි සිතා බුදුරජුන් වෙතින් කමටහන් ගෙණ සීතවනයට ගොස් මහණදම් කරන්නට පටන් ගත්තේ ය. ඒ අතර උන්වහන්සේට ‘මාගේ සිරුර ඉතා සියුමැලි ය, සැපයෙන් සැපයක් නො ලබනු හැකි ය, කය වෙහෙසාය මහණදම් කළ යුත්තේ’ යි සිතෙක් උපන. එහෙයින් සිටීම, සක්මන් කිරීම යන ඉරියවු දෙක ඉටා රහත් වන්නට තදින් වැර වැඩූ උන්වහන්සේගේ යටිපතුල්හි පොළ හටගත්තේ ය. ඒවා පැළී ලේ ගලන්නට වන. සක්මන් බිම මුළුමනින් අයින් වැසී ගියේ ය. එක් ම ලේ බිමක් විය එ තැන. වේදනාව බලගතු වූ ය. පයින් ඇවිදින්නට නො හැකි වූ කල දෙදණින් දෙ අතින් ඇවිදින්නට පටන් ගත්හ. මෙසේ රහත් වන්නට කොතෙක් උත්සාහ කළ ද ඒ අදහස මෙතෙක් ඉටු නො වී ය. එහිලා ලකුණක් වත් දක්නට නො ලැබින. උන්වහන්සේට ‘ඉදින් අනෙකක් පටන්ගත් වීර්‍ය්‍යය ඇත්තේ වන්නේ නම්, මා වැන්නෙක් ම වන්නේ ය ඔහු, මම මෙසේ වෑයම් කරන්නෙම් ද මාර්‍ගයෙක් ඵලයෙක් දක්නට නැත, එකතින් මම උද්ඝටිතඥයෙක්, විපචිතඥයෙක් නො ද වෙමි, ඥෙය්‍යයෙක් ද නො වෙමි, කරුණු ඇතිසැටියෙන් පෙණෙනුයේ මා පදපරමයකු බව ය, මට මේ මහණකමින් වැඩෙක් නො වේ, ගිහි ව හොඳට කා බී පින්දහම් කරන්නෙමි’ යි සිත් විය. එ වේලෙහි බුදුරජානන් වහන්සේ තෙරුන්ගේ අදහස දැන සවස් වේලෙහි භික්‍ෂු සංඝයා විසින් පිරිවරන ලදු ව එහි වැඩම කොට ලෙයින් තෙත් ව ගිය සක්මන් බිම දැක, තෙරුන්ට අවවාද කොට වීර්‍ය්‍යය සමාධිය, සමකොට වඩන්නට අධිකවීර්‍ය්‍යය හැර දමන්නට කමටහන් දී ගිජුකුළුපව්වට වැඩි සේක. ඉක්බිති සොණ ස්ථවිරයන් වහන්සේ ඒ අවවාදයෙහි සිට අත්‍යාරබ්ධවීර්‍ය්‍යය හැරදමා වීර්‍ය්‍ය සමත්වයෙහි තබා කමටහන් වඩනුවෝ නොබෝ දිනකින් ම රහත් වූහ. මේ උන්වහන්සේ කළ ප්‍රකාශය ඉන් පසු:

“යාහු රට්ඨෙ සමුක්කට්ඨො රඤ්ඤො අඞ්ගස්ස පද්ධගූ,

ස්වජ්ජ ධම්මෙසු උක්කට්ට්ඨො සොණො දුක්ඛස්ස පාරගූ.

.

පංච ජින්‍දෙ පංච ජහෙ පංච වුත්තරි භාවයෙ,

පංචසඞ්ගාතිගො භික්ඛු ඔඝතිණ්ණොති වුච්චති.

.

උන්නලස්ස පමත්තස්ස බාහිරාසස්ස හික්ඛුනො,

සීලං සමාධි පඤ්ඤා ච පාරිපුරිං න ගච්ඡති.

.

යං හිං කිච්චං තදපවිද්ධං අකිච්චං පන කයිරති,

උන්නලානං පමත්තානං තෙසං වඩ්ඪන්ති ආසවා.

.

යෙසඤ්ච සුසමාරද්ධා නිච්චං කායගතාසති,

අකිච්චං තෙ න සෙවන්ති කිච්චෙ සාතච්චතාරිනො.

.

සතානං සම්පජානානං අත්ථං ගච්ඡන්ති ආසවා,

උජුමග්ගම්හි අක්ඛාතෙ ගච්ඡථ මා නිවත්තථ.

.

අත්තනා චොදයන්තානං නිබ්බාණම්භිහාරයෙ,

අච්චාරද්ධම්හි විරියම්හි සත්ථා ලොකෙ අනුත්තරො.

.

වීණොපමං කරිත්වා මෙ ධම්මං දෙසෙසි චක්ඛුමා,

තස්සාහං වචනං සුත්වා විහාසිං සාසනෙ රතො.

.

සමතං පටිපාදෙසිං උත්තමත්ථස්ස පත්තියා,

තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.

.

නෙක්ඛම්මෙ අධිමුත්තස්ස පවිවෙකඤ්ච චෙතසො,

දිස්වා ආයතනුප්පාදං සම්මා චිත්තං විමුච්චති.

.

යස්ස සම්මා විමුත්තස්ස සන්තචිත්තස්ස භික්ඛුනො,

කතස්ස පතිවයො නත්ථි කරණීයං න විජ්ජති.

.

සොලො යථා එකඝනො වාතෙන න සමීරති,

එවං රූපා රසා සද්දා ගන්ධා ඵස්සා ච කෙවලා.

.

ඉට්ඨා ධම්මා අනිට්ඨා ච නප්පවෙධන්ති තාදිනො,

ඨිතං චිත්තං විසංයුත්තං වයං චස්සානුපස්සති” යනු.

‘අඟුරට බිම්සර රජුන්ගේ පිරිසෙහි වූ යමෙක් හැම සැපතින් ශ්‍රේෂ්ඨ වූ කෙළඹියෙක් වී ද, ඒ සොණ අද ලෝකෝත්තරධර්‍මයෙහි ද, ශ්‍රෙෂඨ වූයේ සසරදුකෙහි කෙළවරට ගියේ ය.

ඕරම්භාගීයසංයෝජන පස සිඳින්නේ ය. උද්ධම්භාගීය සංයෝජන පස හරින්නේ ය. ශ්‍රද්ධාදී වූ ඉන්ද්‍රිය පස මත්තෙහි වඩන්නේ ය. රාගාදිසඞ්ග පස ඉක්මවා ගිය මහණ, ඔඝ තිණ්ණ, යි කියනු ලැබේ.

උස් වූ මන් ඇති, පමා බවට ගිය, කාමයන්හි ඇලී සිටි මහණහුගේ ශීල සමාධි ප්‍රඥාවෝ පිරිපුබවට නො යත්.

යමක් කළයුතු ද එය කරණ ලද්දේ ය. නො කළයුත්ත වනාහි කරයි. උද්ගත වූ මානය ඇති ප්‍රමත්තවූවන්ගේ ආශ්‍රවයෝ, වැඩෙත්.

නිතර, යමකු විසින් කායගතාසතිය වඩන ලද ද, පැවිදි වූ දා සිට කළයුතු කටයුතු නිතර කරණ සුලු වූ ඔවුහු, නො කළයුතු දෙය නො කරත්.

සිහි නුවණ ඇත්තන්ගේ ආශ්‍රවයෝ විනාශයට යත්. බුදුරජුන් විසින් වදාළ මැදුම් පිළිවෙතෙහි පිළිපදිවු. නො නවතිවු.

තෙමේ තමාත් මෙහෙයන්නේ, තමන් නිවනට පමුණුවන්නේ ය. මා, වීර්‍ය්‍යය පමණ ඉක්මවා තදින්, වැඩූ කල්හි, ලෝකයෙහි නිරුත්තර ශාසතෘ වූ චක්‍ෂුර්‍මත් බුදුරජානන් වහන්සේ විණොපමාව ගෙණ හැර දක්වා මට ධර්‍මදේශනා කළ සේක. මම උන්වහන්සේගේ බණ අසා සසුන්හි ඇලී විසූයෙමි.

රහත්බව ලැබීම පිණිස සමාධි වීර්‍ය්‍ය දෙදෙනාගේ සමබව පිළියෙල කෙළෙමි. එයින් ත්‍රිවිද්‍යාවන් ලැබීමි. බුදුරජුන්ගේ අනුශාසනාව කරණ ලද්දී ය.

පැවිද්දෙහි හා චිත්තවිවේකයෙහි යුක්තප්‍රයුක්ත වූ ද ධ්‍යන සමාපත්තීන් උපදවා සමථයෙහි හා රහත්බවෙහි යෙදුනු නිවනට නැමී සිටි ආර්‍ය්‍යමාර්‍ගයෙහි රැඳුනු භික්‍ෂුනමගේ චක්ඛාදි ආයතනයන්ගේ කෙණහි කෙණෙහි හටගැන්ම හා නිරෝධය, මාර්‍ගඥානයෙන් දැකීම් හේතුවෙන් මාර්‍ගපටිපාටියෙන් සිත, සියලු ආශ්‍රවයන්ගෙන් මිදුනේ ය.

සියලු කෙලෙසුන්ගෙන් මොනවට මිදුනු, එහෙයින් ම සංසිඳුනු සිත් ඇති ඒ භික්‍ෂුනමට පෙර කළ කුශලාකුශලයන්ගේ රැස්ව සිටීමෙක් නැත්තේ ය. ඉදිරියෙහි කළයුත්තෙක් නැත්තේ ය.

එක ඝන වූ ශෛලපර්‍වතය යම් සේ සුළඟින් නො සැලේ ද එසේ රූප - ශබ්ද - ගන්ධ - රස - ස්ප්‍රෂ්ටව්‍ය ආලම්බනධර්‍ම හා ඉෂ්ටානිෂ්ට ධර්‍මයෝ තාදීභාවයට පැමිණි භික්‍ෂුනමගේ ස්ථිර වූ අකම්පිත වූ ප්‍රහීණ වූ සංයෝග ඇති සිත නො ද සොලවත්, යනු සිංහලයි.

මෙසේ මේ ඉන්ද්‍රියයන් එකක් අනිකකට වඩා වැඩී ගිය කල්හි එක ද ඉන්ද්‍රියයෙක් තම තමන් අයත් කෘත්‍යයෙහි සමර්‍ත්‍ථ නො වේ. වෙසෙසින් ශ්‍රද්ධා - ප්‍රඥා දෙදෙනාගේ හා සමාධි - වීර්‍ය්‍ය දෙදෙනා ගේ වැඩීම එක් තරම් ම විය යුතු ය. ශ්‍රද්ධාව බලවත් වූවහුගේ ප්‍රඥාව බලවත් නො වූ නම්, ඒ ශ්‍රද්ධාව ඇත්තේ කිසිත් නො විමසා නො පැහැදිය යුතු තැන පහදින්නේ ය. එසේ ම ප්‍රඥාවෙන් වැඩී ගියේ, සැදැහැ නැත්තේ නම්, කෛරාටික වන්නේ ය. බෙහෙතින් හටගත් රෝගයට පිළියම් නො කොට හැක්කා සේ මොහු ද පිළියම් නො කොට හැක්කේ ය. ‘දන් දෙමි, සිල් රකිමි, බවුන් වඩමි’ යි සිතිවිල්ල ම, කුසල් යි ගෙණ කිසිත් පින් දහමක් නො කරයි. අනුන් ද නො මඟට හෙළයි. පින් දහම් ඈ වැඩක් නැතැ’ යි කියයි. මෙසේ මෙහි පමණ ඉක්මවා ගිය මෙතෙමේ පින් දහම් නො කොට මිය ගියේ, නිරයෙහි උපදින්නේ ය. සමාධියෙන් බලවත් වූයේ, වීර්‍ය්‍යයෙන් දුර්‍වල වූයේ නම් සමාධිය, අලසකමට ලං ව සිටින බැවින්, අලසකමෙහි ගැලී යන්නේ ය. සමාධියෙහි වැඩීමෙක් නො වේ. සමාධිය පිරිහී ගිය තැන, වීර්‍ය්‍යයෙන් වැඩී සීටියේ, වීර්‍ය්‍යය බොහෝසෙයින් උද්ධච්චයට සමානවූවක් බැවින්, උද්ධච්චයෙහි වැටී යයි. සමාධිය, වීර්‍ය්‍යය හා ද, වීර්‍ය්‍යය, සමාධිය හා ද යෙදුනේ, අලසබවෙහි හා උඩඟුබවෙහි නො වැටේ. එහෙයින් ශ්‍රද්ධා - ප්‍රඥා දෙදෙනා සේ ම සමාධි-වීර්‍ය්‍ය දෙදෙනා සම ව එක් උසට වැඩිය යුතු ය. මොවුන් සම ව වැඩුනු කල්හි ය, අර්‍පණා සමාධිය උපදනේ. නැත, නො උපදී. තව ද ශමථකර්මිකයාහට බලවත් වූ ශ්‍රද්ධාව අර්‍පණාසමාධිය සිදු කරන්නී ය. ශමථකර්මිකයාහට බලවත් එකාග්‍රතාව අවශ්‍ය ය. එ කල්හි ඔහු අර්‍පණාවට පැමිණේ. විදර්‍ශනා කර්මිකයාහට ප්‍රඥාව බලවත් විය යුතු ය. එ කල්හිය ඔහු ලක්‍ෂණ ප්‍රතිවේධයට පැමිණෙන්නේ. උභය සමතා ව ඇති කල්හි කියනු කිම. සමෘතීන්ද්‍රියය සියලු ඉන්ද්‍රියයන් කෙරෙහි බලවත් වූයේ ම, අභිමතාර්‍ත්‍ථසාධක වේ. සමෘතිය, සිත ඖද්ධත්‍යපක්‍ෂයෙහි වූ ශ්‍රද්ධා, වීර්‍ය්‍ය, ප්‍රඥාවන්ගේ වසයෙන් උඩඟුබවෙහි වැටීමෙන් ද, අලසබවට පක්‍ෂ වූ සමාධිය හේතු කොට අලසබවෙහි වැටීමෙන් ද රැක ගන්නී ය. එහෙයින් සමෘතිය හැම තන්හි කැමැති විය යුතුය. ‘සති ච පන සබ්බත්‍ථිකා වුත්තා භගවතා’ යි අටුවාවෙහි කීයේ එහෙයිනි. සිත, සිහිය පිළිසරණ කොට කුසල් දහම් රැකීම පලය කොට සිටියේ ය. සිහියෙන් තොරව සිත පිළිබඳ ප්‍රග්‍රහ නිග්‍රහ දෙක නො වේ. එහෙයින් මෙසේ විය යුතු.

ස්කන්‍ධධාතුආයතනාදිභේදයෙහි බැසගත් නුවණ නැති මෝඩ මිනිසුන් ඇසුරට නො ගෙණ ඔවුන් මුළුමනින් දුරු කිරීම දුප්පඤ්ඤපුග්ගලපරිවජ්ජනතා නම් වේ. පඤ්ඤාවන්තපුග්ගලෙසවනතා නම්, සම පණස් අයුරකින් පංචස්කන්ධය පිළිබඳ ලක්‍ෂණ, ඉතා මැනැවින් දැන ගන්නා වූ උදයව්‍යයප්‍රඥාවෙන් යුක්තපුද්ගලයන් සේවනය කිරීම ය.

අතිශය ගම්භීර වූ ස්කන්ධධාතුආයතනාදිභේද ඇති දහම් විසයෙහි නො පැකිළ පැවැති ගැඹුරු නුවණෙහි ප්‍රභේද සැලකීම ගම්භීරඤාණචරියපච්චවෙක්ඛණා, යි කියන ලද ය.

තදධිමුත්තතා, යි කීයේ, ඉඳීම් සිටීම් ඈ හැම ඉරියව්වෙහි ම ධම්මවිචයසම්බොජ්ඣංගය උපදවන්නෙමි, යි එහි නැමී සිටීම ය. එයට බරව සිටීම ය. මෙලෙස උපන් මෙ ද කුළුගැන්නෙනුයේ අර්‍හත්මාර්‍ගයෙනි.

“එකාදස ධම්මා විරියසම්බොජ්ඣංගස්ස උපාදාය සංවත්තන්ති, අපායභයපච්චවෙක්ඛණතා, ආනිසංසදස්සාවිතා, ගමනවීථිපච්චවෙක්ඛණතා, පිණ්ඩපාතාපචායනතා, දායජ්ජමහත්තපච්චවෙක්ඛණතා, සත්ථුමහත්තපච්චවෙක්ඛණතා, ජාතිමහත්තපච්චවෙක්ඛණතා, බ්‍රහ්මචාරිමහත්තපච්චවෙක්ඛණතා, කුසීතපුග්ගලපරිවජ්ජනතා, ආරද්ධවිරියපුග්ගලසෙවනතා, තදධිමුත්තතා” යන මෙයින් දැක්වූවෝ විරියසම්බොජ්ඣංගයා ගේ ඉපැත්මට රුකුල් දෙන කරුණු එකොළොසෙක් ය. අවාබිය සැලකීම, වීර්‍ය්‍යයෙහි අනුසස් සැලකීම, යා යුතු මඟ සැලකීම, පිඬුපිදුම සැලකීම, දායාදයෙහි මහත්කම සැලකීම, බුදුරජුන් පිළිබඳ මහත් කම සැලකීම, ජාතිමහත්ත්‍වය සැලකීම, සබ්‍රම්සරුන් පිළිබඳ මහත්කම සැලකීම, අලසපුගුලන් දුරු කිරීම, පටන් ගත් වැර ඇති පුගුලන් සෙවීම, වීර්‍ය්‍ය උපදවන්නට නැමී සිටීම යන මේ ය ඒ එකොළොස.

එහි නිරයැ පස්වැදෑරුම් වද බැඳුම් පටන් විඳින දුක්බිය, තිරිසන් අපායයෙහි දැල් කෙමින් කටු සැමිටි ආදියෙන් විඳින දුක් බිය, ප්‍රේතලෝකයෙහි බුද්ධාන්තර ගණන් සා පිපාසාවෙන් විඳින දුක් බිය, අසුරලෝකයෙහි හැට අසූ රියන් පමණ වූ ඇට සම් පමණින් සෑදුනු සිරුරු දරා අවු සුළං ආදියෙන් විඳින දුක් බිය සැලකීම ය අපායභයපචවෙක්ඛණතා, යි කීයේ ය.

‘කම්මැලියකු විසින් නවලොවුතුරා දහම් ලබනු නො හැකිය, එහි වීර්‍ය්‍යවත් විය යුතු ය, වීර්‍ය්‍ය ඇත්තහු විසින් ම ය ඒ ලැබිය යුතු, යනාදීන් සැලකීම ය ආනිසංසදස්සාවිතා නම්.

‘බුදු පසේබුදු මහරහත්හු ගියෝ, සියලු අරුත් සිදු කරණ මගැය, එහෙයින් මා ද ඒ මග ම යා යුතුය, කම්මැලියාට ඒ මග නො යා හැකි ය, නියම මග යන්නට වීර්‍ය්‍ය ඇත්තකු විය යුතු ය’ යනාදීන් සැලකීම ගමනවීථිපච්චවෙක්ඛණතා නමි.

‘යම් කෙනෙක් තම සිවුපසය දී උවැටන් කෙරෙත්ද, ඔවුහු තාගේ නෑයෝ නො වෙති, දැසි කම්කරුවෝත් නො වෙති, ඔවුහු ‘අපි ජීවත් වන්න මෝ තා නිසා ය’ යි තට සිවු පසය නො දෙති; ඔවුහු එසේ කරන්නෝ, තා පිළිබඳ ගුණනුවණ සලකා ය, තට කරණ සංග්‍රහයන්ගෙන් සසර දුක් ගෙවා ගන්නට ලැබේ ය, යනු සලකා ය, තා කෙරෙහි වූ ගුණධර්‍ම සලකා ම තම සිවුපසය දෙන්නෝ ය, තාගේ අනික් ලොකුකමක් සලකා නො දෙන්නෝ ය, බුදුරජුන් විසින් ද මාගේ මහණ තෙමේ සැදැහැවතුන්ගේ සිවුපසය වළඳා සිරුර තර කොට ගෙණ මොරොම්කම් පාමින් සුවසේ වැඩ වෙසේවා’ යි සිතා තට සිවුපසය නො අනුදන්නා ලද්දේ ය, මාගේ මහණ, සිවුපසය වළඳා මහණදම් පුරා සසර දුක් ගෙවාලන්නේය’ යි සිතා ම උන් වහන්සේ විසින් ඒ අනුදන්නා ලද්දේ ය, ඒ නුඹ දැන් කම්මැලි ව සිවුපසය පිළිගැණීමට නො සුදුසු ය, වීර්‍ය්‍යවත් වූවහුටමය ඒ පිළිගැණුම සුදුසු යන මේ ඈ ලෙසින් සැලකීමය පිණ්ඩපාතාපචායනතා, යි කීයේ.

මහාමිත්‍ර තෙරණුවෝ මෙම ලක්දිව රුහුණු රට කස්සක නම් ගල් ලෙන වාසය කළ ගුණවෘද්ධ කෙනෙක් වූහ. එක් සදැහැති උපාසිකාවක්, උන්වහන්සේ සිය පුතකු සේ සලකා පොෂණය කළා ය. ඒ අතර දවසෙක දර පලා පිණිස කැලයට යන ඕ තොමෝ දුවට කතා කොට හාමුදුරුවන් පිඬු සිඟා මෙහි වැඩිය කල්හි සැළියේ ඇති පැරණි ඇල් හාල් ටික උයා කිරි ගිතෙල් සමග පිළිගන්වන්නට නියම කොට, තමන් කා ඉතිරිව තුබූ හීල් බත් ටිකක් කාලා කැලයට ගියා ය. පිඬු සිඟා යන තෙරුන් වහන්සේ ඒ ගෙට ලං වත් ම, මේ කතාව අසා කම්පිත වූ සිත් ඇති ව ‘මේ උපාසිකාව මෙ ලොව වසයෙන් මගෙන් කිසිවක් බලාපොරොත්තු නො වේ, බලාපොරොත්තු වන්නී පරලොව ලබන ත්‍රිවිධසම්පත්තිය ය, මම හිස මුඩු කොට සිවුරු කරලා නන්දොඩමින් මහණුන් අයත් නො වන වෙදහෙදකම් කිරීම නැකත් කීම වතු පිටි වගා කිරීම කඩ සාප්පු දැමීම කාර් බස් ගෙණ කුලියට තැබීම මුදල් පොලී කිරීම ආදී අයුතු කටයුතුවල යෙදී මුදල් උපයමින් ගිහියන් හා උරෙන් උර ගැටී කමින් බොමින් කල් යවන්නෙම් නම්, ඒ ඉතා බලගතු වරදෙකි, ඇයගේ බලාපොරොත්තුව මා අතින් සිදු නො වේ, එසේ කළොත් මා අපායට යනු නො වැළකිය හැකි ය, අපායට යනු ඒකාන්ත ය, එසේ නො ව සිවු පිරිසිදු සිල්හි පිහිටා බණ දහම් ඉගෙණ, ඒ බණ දහම් ලාභාපේක්‍ෂාවෙන් තොර ව, පරහට කියවමින්, තෙමේ ද එයට අනුව හැසිරෙමින් කමටහන් ගෙණ වීර්‍ය්‍යවත් ව භාවනාවෙහි යෙදෙන්නෙම් නම්, එය මේ උපාසිකාවටත් මටත් පමණක් නොව මුළු ලොවට ම වැඩ පිණිස වන්නේ ය, එ හෙයින් මේ ධාර්මිකපිණ්ඩපාතය රාග ද්වේෂ මෝහයන්ගෙන් කිළිටිව පිළිගැණීම මට තරම් නො වේ’ යි සිතා තදින් සිතට ගෙණ පෙරළා ලෙනට වැඩි සේක. පෙරළා ලෙනට ගිය තෙරුන් වහන්සේ පාත්‍රය ඇඳ යට තබා, සිවුර මුදා එය සිවුරු ලන වැලෙහි දිග හැර ලා ‘රහත් නො වී එලි නො බසිමි’ යි ඉටා ගෙණ වීර්‍ය්‍යවත්ව විදර්‍ශනාභාවනාවට පටන් ගත්හ. බොහෝ කලක් සිවු පිරිසුදු සිල් පුරා අප්‍රමාදයෙහි පිහිටා, පළපුරුදු වූ මෙම තෙරනුවෝ ඒ පෙරවරුයෙහි ම රහත්බවට පැමිණ සිනා පහළ කරමින් ලෙනෙන් බැහැරට වැඩි සේක. එවිට ඒ අසල ගසෙක හුන් දෙවියෙක්:-

“නිදුකාණෙනි! පිණැත් - මුළුලොව ගලා සිටි ඒ,

ආසව නසා සිටියෙන් - ලොවට ඔබ තුම දකිණ රහ වහු,

සෙට පුරිස! ඔබහට - වේවා වැඳුම් මාගේ,

වේවා වැඳුම් ඔබහට - උතුම් පුරිසය! දියබ පුත් වූ”

යි උදන් ඇනී ය. තව ද ඔහු, හිමිය! ඔබවහන්සේට දන් පිළිගන්වා ඒ මැහැල්ලිය දුකින් මිදේය’ යි ද කී ය. තෙරනුවෝ දොර හැර බලා පිඬු සිඟා යෑමට කල් ඇති බව දැන පා සිවුරු ගෙණ පිඩු සිඟා ගියහ. උපාසිකාවගේ දූ ද බත් පිළියෙල කොට තබා මග බලා හුන්නු ය. තෙරණුවෝ එහි වැඩියාහ. එකල ඕ තොමෝ පාත්‍රය ගෙණ ගිතෙල් හකුරු බහා පිසූ කිරිබතින් පුරවා එය තෙරුන් අතට පිළිගැන්නු ය. උන්වහන්සේ ‘සැප වේවා’ යි අනුමෙවෙනි කොට ගියහ. ඕ ද තෙරුන් වඩින මග බලා සිටි යා ය. ඒ වේලෙහි උන්වහන්සේ ඉතා වැඩියක් බැබලුනාහ. කැලේ සිට ආ උපාසිකා තොමෝ සියලු තොරතුරු අසා ‘ මා පුතුගේ මහණකම මුදුන් පැමිණියේ අද වනැ’ යි දැන ‘දුව! තොපගේ සොහොයුරා බුදු සසුනෙහි නො පෙරළෙන ලෙසින් ස්ථිර ව සිට ගත් තේ ය’ යි කිවු ය.

බුදුරජුන් පිළිබඳ දායාදය නම් සප‍‍්තාර්‍ය්‍යධනය යි. මවුපියෝ නො මග ගිය දූ පුතුන් තම දායාදයට අහිමි කෙරෙති. ඔවුහු මවුපියන් අයත් පරම්පරාගත ධනය නො ලබත්. එමෙන් බුදුරජුන් පිළිබඳ ඒ මේ සප්තාර්‍ය්‍යධනසංඛ්‍යාතදායාදය කම්මැලියකු විසින් නො ලද හැකි ය, වීර්‍ය්‍යයෙන් යුක්ත ව ශාසනිකප්‍රතිපත්තියෙහි යෙදුන්නේ ම ඒ ලබාය, යි මෙසේ බුදුරජුන් පිළිබඳ දායාදමහතත්වය සැලකීම දායජ්ජමහත්තපච්චෙවක්ඛණතා නම්. ඒ මේ දායාද මහතත්වය සලකන්නහුට ද වීර්‍ය්‍යසම්බොද්ධ්‍යඞ්ගය උපදී.

‘තාගේ බුදුරජානන් වහන්සේ මහාපුරුෂ සේක, ශීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්තිඥානදර්‍ශනාදී වූ මහත් ගුණයන්ගෙන් අගතැන් පත් සේක, සුප්පතිට්ඨිතපාදතාදි මහා පුරුෂලක්‍ෂණයෙන් විරාජමාන වන සේක, මවුකුස පිළිසිඳ ගැන්ම, ගිහිගෙයින් නික්මීම, බුදුවීම, දම්සක් දෙසීම, යමාමහ පෙළහර දැක්වීම, දෙලොවින් බැසීම, ආයු හැරපීම, පිරිනිවන් පෑම යන මේ හැම තන්හි දසදහස් ලෝදා සැලුනා ය, ඒ මේ පමණ නො කළැකි ගුණ ඇති බුදුරජුන් ගේ සාසනයෙහි පැවිදි බවට පැමිණ කුසීතයකු වන්නට වටනේ දැ’ යි මෙසේ බුදුරජුන් පිළිබඳ මහත්කම සැලකීම සත්ථුමහත්තපච්චවෙක්ඛණතා නම්.

‘තෝ ජාතියෙන් ලාමකයෙක් නො වෙහි, සාමාන්‍ය පුද්ගලයෙක් නො ද වෙහි, අතරතුර නො බිඳුනු මහාසම්මතරාජවංසයෙන් පැවත එන ඔක්කාකරාජවංසයෙහි උපන්නෙහි, සුද්ධෝදන මහරජු ගේ හා මහාමායාබිසවගේ මුණුබුරු වෙහි, රාහුලභද්‍රගේ බාල සොහොයුරු වෙනි. එසේ බුදුපියාණන් වහන්සේගේ පුත් බවට පැමිණි තා මෙබඳු ලාමකයකු අලසයකු වනු නො සුදුසු ය, යි මහාසම්මතවංසයෙහි හා බුද්ධවංසයෙහි මහත්බව සැලකීම ජාතිමහත්තපච්චවෙක්ඛණතා නම්,

‘සැරියුත් මුගලන් මහරහත්හු හා අසූමහසව්වෝ වීර්‍ය්‍යයෙන් ම ලෝකෝත්තර ධර්‍මය ප්‍රතිවේධ කළෝ ය, හෝ මේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා ගිය මග යන්නෙහි ද, පිළිපැදි මග පිළිපදින්නෙහි ද, එසේ නො ද යන්නෙහි ද, නො ද පිළිපදින්නෙහි දැ’ යි සබ්‍රහ්මචාරීන් පිළිබඳ වූ මහත් බව සැලකීම සබ්‍රහ්මචාරීමහත්තපච්චවෙක්ඛණතා නම්. වීර්‍ය්‍යසම්බොධ්‍යඞ්ගය මෙයිනුදු උපදී.

බඩ පුරා කා වැදහොත් පිඹුරන් වැනි, දුරු කළ කායික චෛතසික වීර්‍ය්‍ය ඇති පුද්ගලයන්ගේ සේවනය හැරපීම කුසීතපුග්ගලපරිවජ්ජනතා ය.

කුසීතපුද්ගලයන් හැර, පටන් ගත් වීර්‍ය්‍යය ඇති, ආත්මාලය හැර, අභිමතාර්‍ත්‍ථසංසිද්ධිය තෙක් නො පසුබට ව ඉදිරිය බලා යන පුද්ගලයන් සෙවුම් ආරද්ධවිරියපුගගලසෙවනතා ය.

වීර්‍ය්‍ය උපදවනු පිණිස ඉඳීම් සිටීම් ඈ හැම ඉරියව්වක ම නැමී සිටිනබව, එයට බරව පවතින චිත්තගතිය තදධිමුත්තතා ය. මෙ තුන ද, වීර්‍ය්‍යසම්බොධ්‍යඞ්ගයාගේ ඉපැත්මෙහි හේතු වෙති. මෙසේ උපන් වීර්‍ය්‍යසම්බොධ්‍යඞ්ගයාගේ භාවනාපාරිපුරිය වන්නේ, අර්‍හත්මාර්‍ගයෙනි.

“එකාදස ධම්මා පීතිසම්බොජ්ඣංගස්ස, උප්පාදාය සංවත්තන්ති, බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දෙවානුස්සති, උපසමානුස්සති, ලූඛපුග්ගලපරිවජ්ජනතා, සිනිද්ධපුග්ගලසෙවනතා, පසාදනීයසුත්තන්තපච්චෙවක්ඛණතා, තදධිමුත්තතා” යි ප්‍රිතිසම්බොධ්‍යඞ්ගයාගේ ඉපැත්මට කරුණු වන්නෝ ය, මේ දැක්වුනෝ. ඔවුහු එකොළොසෙකි. බුද්ධ - ධම්ම - සඞ්ඝ - සීල - චාග - දෙවතා - උපසමානුස්සති හා රළු පරළු සිත් ඇත්තන් දුරුකිරීම, මොළොක් ගති ඇත්තන් සේවනය කිරීම, සතුටට හේතුවන සූත්‍රධර්‍ම ප්‍රත්‍යවේක්‍ෂාව, ප්‍රීතිය ඉපදවීමට නැමී සිටිබව ය, ඒ එකොළොස.

එහි බුදුරජානන් වහන්සේගේ කෙළවර නො දැක්විය හැකි ගුණ සමුහය අරබයා පුන පුනා සිහිකිරීම, ඒ ගුණ සිතට නගා. බැලීම බුද්ධානුස්සති නම.

ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙපරිදි වූ ධර්‍මය කෙරෙහි පවත්නා ස්වාක්ඛාතතාදී වූ හැම ගුණයක් පුන පුනා සිහි කිරීම, සිතට නගා බැලීම ධම්මානුස්සති නම.

මාර්‍ගඥානයන්ගෙන් ඒ ඒ කෙලෙස් නසා සිටි ආර්‍ය්‍යසංඝයාවහන්සේ පිළිබඳ සුප්‍රතිපන්නතාදී වූ ගුණයන් පුන පුනා සිහිකිරීම සඝානුස්සති නම.

බුද්ධ – ධම්ම - සංඝ ගුණ පුන පුනා සිහි කරන්නාහට උපචාර සමාධිය තෙක් ප්‍රීතිසම්බොධ්‍යඞ්ගය මුළු සිරුර පැතිර ගෙණ සිටියි.

තමන් බොහෝ කලක් නො කඩ කොට නො සිදුරු කොට නො කබර කොට තෘෂ්ණාවෙන් නො මැඩී පිරිසිදු කොට සමාධිය පිණිස රක්නා ලද සීලය, නැවැත නැවැත සිහි කිරීම සීලානුස්සති නම. ගිහියා විසින් නම්, තමන් රැකි ගිහි සිල් පිළිබඳ පිරිසිදු බව නිතර නිතර සිහි කිරීම ය. පැවිද්දා විසින් නම්, තමන් රැකි ප්‍රාතිමෝක්‍ෂාදී වූ සිවු පිරිසිදු සිල් සිහිකිරීම ය.

දුර්භික්‍ෂයෙහි රසමසවුලෙන් යුත් ප්‍රණිත වූ ආහාර පාන සබ්‍රහ්මචාරින්ට දී මම මෙසේ රසැති උසස් ආහාරපාන සබ්‍රම්සරුන්ට දුනිමි’ යි පැවිද්දාගේ නැවැත නැවත සිහි කිරීමත් ගිහියකු විසින් කෑම්බීම් හිගකල සිල්වත්හට දෙන ලද දානය නැවැත නැවැත සිහිකිරීමත් චාගානුස්සති නම.

‘යම් කෙනෙක් යම් ගුණධර්‍මශක්තියකින් දෙවිබවට ගියෝද ඒ ගුණධර්‍ම මා කෙරෙහි ද පිහිටියේ ය’ යි නැවැත නැවැත සිතා බැලීම දෙවතානුස්සති නම්.

‘සමාපත්තිබලයෙන් යටපත් කළ කෙලෙස්, අවුරුදු හැට හැත්තෑවකිනිදු තම සිත්හි නො උපදිති’ යි නැවැත නැවැත සිහිකිරීම උපසමානුස්සති නම.

වෙහෙර බෝමලු ආදියෙහි පාවහන් ලා කුඩ මොට්ටැක්කිළි හිස ලා දුම් බීම් කෙලගැසීම් කරමින් අගරු ලෙස හැසිරෙන, සඟුන් දැක හුනස්නෙන් නො නැගී සිටින, තුනුරුවන් කෙරෙහි නො පහන් බැවින් සෙනේ නැති රළුපරළු ගති ඇති පුද්ගලයන් බැහැර කිරීම ලූඛපුග්ගලපරිවජ්ජනතා ය.

බුද්ධාදී වූ තුනුරුවන්හි පැහැදීම බහුල කොට ඇති මොළොක් සිත් ඇති සිනිදු පුද්ගලයන් සේවනය කිරීම සිනිද්ධපුද්ගලසෙවනතා ය.

තුනුරුවන්හි ගුණ පැවසෙන, පැහැදීම ඉපදීමට කරුණු වූ සූත්‍රධර්‍මප්‍රත්‍යවේක්‍ෂාකරණය පසාදනීයසුත්තන්තපච්චවෙක්ඛණතා ය.

ඉඳුම් හිටුම් ඈ හැම ඉරියව්වෙහි ම ප්‍රීතිසම්බොධ්‍යඞ්ගය උපදවාගැණීමට කරන උත්සාහය, එයට නැමී සිටිනාබව තදධිමුත්තතා ය. මෙසේ වූ චාගානුස්සති ආදී මොවුහු ද ප්‍රීතිසම්බොධ්‍යඞ්ගගය උපදවාගන්මට කරුණු වෙති.

මෙ කියූ හේතූන් නිසා උපන් ප්‍රීතිසම්බොධ්‍යඞ්ගයාගේ වැඩීම පිළිබඳ සම්පූර්‍ණත්වය වන්නේ අර්‍හත්මාර්‍ගඥානයෙනි.

“සත්ත ධම්මා පස්සද්ධිසම්බොජඣංගස්ස උප්පාදාය සංවත්තති, පණීතභොජනසෙවනතා, උතුසුඛසෙවනතා, ඉරියාපථසුඛසෙවනතා, මජඣත්තපයොගතා, සාරද්ධපුග්ගලපරිවජ්ජනතා, පස්සද්ධකායපුග්ගලසෙවනතා, තදධිමුත්තතා” යි මෙයින් දැක්වූවෝ ප්‍රශ්‍රබ්ධිසම්බොධ්‍යඞ්ගය ඉපැත්මට රුකුල් දෙන්නෝ ය. ඔවුහු සතෙකි. ප්‍රණිතභෝජනසේවනය, ඍතු සුඛසේවනය, ඊර්‍ය්‍යාපථසුඛසේවනය, මද්ධ්‍යස්ථප්‍රයෝගය, සාරද්ධපුද්ගලපරිවර්‍ජනය, සමාහිතපුද්ගලසේවනය, තදධිමුත්තතාය, යන මේ ය ඒ සත.

එහි ප්‍රණීත වූ හිතකර වූ ආහාරපාන සේවනය ම සිරුරෙහි හා සිතෙහි ඇති බරබව නසාලයි. කටුකාහාරසේවනයෙන් කයෙහි හා සිතෙහි බරබව නැගී යයි. සනීපයට හිත වූ පිණී සිනිදු ආහාරපානසේවනයෙන් වැඩී ගිය සැහැල්ලු සිරුරු ඇති යෝගාවචරයාගේ භාවනාකර්‍මය ම මුදුන් පැමිණේ. එහෙයින් භාවනාවෙහි යෙදෙන්නහුට ප්‍රණීතආහාරපානසේවනය ආවශ්‍යක ය. පණීතභොජනසෙවනතා යි කීයේ මේ ය.

ශීතොෂ්ණ ඍතු අතුරෙහි යම් ඍතුවක යෝගාවචරයාගේ සිත එකඟ වේ නම්, ඔහුට ඒ ඍතුව සප්පාය වේ. සප්පාය වූ ඍතු සුඛසේවනය, උතුසුඛසෙවනතා, යි කීයේ. ඒ ඒ කාලයන්හි පහළ වන ශීතොෂ්ණාදී වූ කාලගුණය ය උතුසුඛ නම්. භාවනාවෙහි යෙදෙන්නහු විසින් තමාගේ කයට සිතට පහසු ගෙණ දෙන කාලයෙක හෝ දේශයක එහි යෙදිය යුතු ය.

ඉඳීම් සිටීම් ඈ ඉරියවු අතුරෙහි යම් ඉරියව්වක් යමක්හට පහසු කර වේ නම්, ඔහු විසින් ඒ ඉරියව්ව ඇසුරු කළ යුතු ය. විසම වූ උතු ඉරියවු හැර, සම උතු ඉරියවු සේවනයෙන් ම සිත භාවනාවට සුදුසු වේ. එහෙයින් ඉරියාපථසුඛසෙවනතා, යි කීයේ සුව පහස් එළවන ඉරියවු සෙවුම ය.

තමන් හා අනුන් ද කර්‍මය ස්වකීය කොට සිටින බව මෙනෙහි කිරිම, මජ්ඣත්තපයොගතා ය. කර්‍මය ස්වකීය කොට ඇති බව නුවණින් මෙනෙහි කිරිමෙන් කය සිත දෙක්හි දාහය සංසිඳී යයි.

කැට කැබලිති දඬු මුගුරු ඈ ගෙන අනුන් පෙළන්නේ වෙහෙසන්නේ සාරද්ධපුද්ගල තෙමේ ය. එබන්දන් නො සෙවුම, නො බැජුම, සාරද්ධපුග්ගලපරිවජ්ජනතා ය. ඔවුන් නො සෙවුම සංසිඳීමට කරුණු වේ.

දැමුනු හික්මුනු සංසිඳුනු රළු පරළු ගති නැති මිනිසුන් සෙවුම බැජුම, පස්සද්ධකායපුගගලසෙවනතා නම්.

හැම ඉරියව්වෙහි ම ප්‍රශ්‍රබ්ධිසම්බොධ්‍යඞ්ය ඉපදවීමට නැමී ගත් බවය; තදධිමුත්තතා නම්.

මෙකී හේතූන් නිසා උපන් ප්‍රශ්‍රබ්ධිසම්බොධ්‍යඞ්ගය පිළිබඳ භාවනාවගේ මුදුන් පැමිණීම, අර්‍හත්මාර්‍ගඥානයෙන් සිදු වේ.

“එකාදස ධම්මා සමාධිසම්බොජඣඞ්ගස්ස උප්පාදාය සංවත්තන්ති, වත්ථුවිසදකිරියතා, ඉන්ද්‍රියසමත්තපටිපාදනතා, නිමින්තකුසලතා, සමයෙ චිත්තස්ස පග්ගණ්හනතා, සමයෙ චිත්තස්ස නිග්ගණ්හනතා, සමයෙ චිත්තස්ස සංපහංසනතා, සමයෙ අජ්ඣුපෙක්ඛණතා, අසමාහිතපුග්ගලපරිවජ්ජනතා, සමාහිතපුග්ගලසෙවනතා, ඣානවිමොක්ඛපච්චවෙක්ඛණතා තදධිමුත්තතා” යි. සමාධිසම්බොධ්‍යඞ්ගයාගේ ඉපැත්මට රුකුල් දෙන්නෝ මොවුහු යි දැක්වූහ. එකොළොසෙකි ඔවුහු. එහි වත්ථුවිසදකිරියතා, ඉන්ද්‍රියසමත්තපටිපාදනතා දෙක කියූ ලෙසින් දත යුතු ය.

කසිණ නිමිත්ත ඉගණීමෙහි දක්‍ෂභාවය ය, නිමිත්තකුසලතා නම්, එ ද තෙ පරිදිය. කසිණ නිමිත්ත ඉපදවීමෙහි දක්‍ෂභාවය, ඉපද වූ නිමිත්ත වැඩීමෙහි දක්‍ෂභාවය, වැඩූ නිමිත්ත රක්‍ෂා කිරීමෙහි දක්‍ෂභාවය යි.

යම් අවස්ථාවෙක යෝගාවචරයාගේ සිත, ඉතා පහත් වූ හීන ව ගිය වීර්‍ය්‍යාදිය කරණ කොට හැකුළුනේ ද, එ කල්හි පස්සද්ධි-සමාධි-උපෙක්ඛා සම්බොධ්‍යඞ්ගයන් නො වඩා ධම්මවිචය - විරිය - පීති සම්බොධ්‍යඞ්ගයන් වැඩීමෙන් නගාලීම ය, සමයෙ චිත්තස්ස පග්ගණ්හනතා, යි කීයේ. අවස්ථානුකූලව සිත වඩා ගැණීම මෙයින් කිය වේ.

යම්කිසි අවස්ථාවෙක සිත, පටන් ගත් වීර්‍ය්‍යාදිය කරණකොට උඩඟු වූයේ ද, නො සන්සුන් වේ ද, එකල්හි පස්සද්ධි - සමාධි - උපෙක්ඛා සම්බොධ්‍යඞ්ගයන් ඉපදවීමෙන් සිතේ නො සන්සුන්බව පිරිහෙලීම ය, සිතට නිග්‍රහකිරීම ය, සමයෙ චිත්තස්ස නිග්ගණ්හනතා, යි කීයේ

යම් කිසි අවස්ථාවෙක සිත, සිතෙහි යෙදුනු නුවණ මඳ බැවින් හෝ සිත එකඟ කිරීමෙන් ලැබිය යුතු වූ උපසමසුඛය පහවීමෙන් හෝ අස්සාද රහිත වේ ද, එකල්හි ජාති ජරා ව්‍යාධි මරණ අපාදුක, ඉකුත් ව ගිය සසර දුක, ඉදිරියෙහි එන සසර දුක, ආහාරසෙවීම මුල් කොට සිටි දුක යන අට වැදෑරුම් සංවේගවස්තු ප්‍රත්‍යවේක්‍ෂා කිරීමෙන් සිත සංවේගයට පමුණුවා තුනුරුවන් ගුණ සිහි කිරීමෙන් පහන් කිරීම, සිත සතුටු කිරීම සමයෙ සංපහංසනතා නම්.

යම් කලෙක මනා පිළිවෙත් නිසා සිත නො හැකුළුනේ ද නො ද, නො සන්සුන් වූයේ ද, නො ද අස්සාද රහිත වුයේ ද අරමුණෙහි සම ව පවත්නේ ද, සමව වීථියට පැමිණියේ ද, එ කල්හි සිතේ දැඩිව ගැන්ම, නිගාකිරීම, පහන්කිරීම යන පග්ගහ - නිග්ගහ - සංපහංසනයන්හි උත්සාහයට නො පැමිණි මැදහත් බව ය, මැදහත්ව බැලීම ය, සමයෙ අජ්ඣුපෙක්ඛණතා, යි කීයේ. රියෙහි යෙදු අසුන් සම ව දුවන කල්හි අසුන් නො තළා නො පෙළා මැදහත් ව ඉන්නා රියැදුරු සේ ය මෙය.

උපචාරසමාධියට හෝ අර්‍පණාසමාධියට හෝ නො පැමිණීමෙන් නන් අරමුණු කරා විසිර ගිය සිත් ඇත්තන් දුරු කිරීම ය අසමාහිතපුග්ගලපරිවජ්ජනතා නම්.

උපචාරසමාධියට හෝ අර්‍පණාසමාධියට හෝ පැමිණීමෙන් එකඟ වූ සිත් ඇත්තන් සෙවුම ය, සමාහිතපුග්ගලෙසවනනා, යි කීයේ.

‘රූපී රූපානි පස්සති, යනාදීන් දේශනාවෙහි ආවෝය ඣානවිමොක්ඛයෝ. අට දෙනෙකි ඔවුහු. කෙලෙසුන්ගෙන් වික්ඛම්භණ විසින් මිදීම, නීවරණයන්ගෙන් මිදීම, විමොක්ඛ නමි. ප්‍රථමධ්‍යනාදිය, විරුද්ධධර්‍මයන්ගෙන් මොනවට මිදුන බැවින් ධ්‍යානවිමෝක්‍ෂ නමි. ඔවුන් පිළිබඳ වැඩීම, ඔවුනට පැමිණීම, ඉටීම, නැගිටීම, කෙලෙසීම, පිරිසිදුකිරීම, මෙසේ මෙසේය යි නිතර ප්‍රත්‍යවේක්‍ෂා කිරීම, ඣානවිමොක්ඛපච්චවෙක්ඛණතා නම් වී. අර්‍හන්මාර්‍ගය හා නිර්‍වාණය විමෝක්‍ෂනාමයෙන් කිය වේ. ඒ මෙහිලා අභිමත නො වේ.

ඉදීම් සිටීම් ඈ හැම ඉරියව්වෙහි සමාධිසම්බොද්ධ්‍යඞ්ගය ඉපදවීමට නැමී සිටිබව, එයට බර ව සිටිබව, තදබිධිමුත්තතා නම් වේ.

මෙ කියූ හේතූන් නිසා පහළ වූ සමාධිසම්බොද්ධ්‍යඞ්ගය මුදුන් පත් වනුයේ අර්‍හන්මාර්‍ගයෙනි.

“පඤ්ච ධම්මා උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය සංවත්තන්ති, සත්තමජ්ඣත්තතා, සඞ්ඛාරමජ්ඣත්තතා, සත්තසඞ්ඛාරකෙලායනපුග්ගලපරිවජ්ජනතා, සත්තසංඛාරමජ්ඣත්තපුග්ගලසෙවනතා, තදධිමුත්තතා, යන කරුණු පස උපේක්‍ෂාසම්බොද්ධ්‍යඞ්ගයාගේ ඉපැත්මෙහි හේතු යැ, යි කීහු.

එහි තම සිත් ගත් ගිහි පැවිද්දන් කෙරෙහි මැදහත්වීම, සත්තමජ්ඣත්තතා නම් වේ. කර්‍මප්‍රත්‍යවේක්‍ෂා - නිස්සත්වප්‍රත්‍යවේක්‍ෂා යි දෙයයුරෙන් එය හට ගැණේ. එහි ‘ඔබ තමන් කළ කර්‍මයෙන් මෙහි මිනිසකු වශයෙන් ඉපිද කම් වූ පරිදි සැප දුක් විඳ නැවැත නැවැතත් කුශලාකුශලකර්‍ම රැස් කොට මෙයින් ගිලිහී යන්නහු ය, මෙ තෙමේත් ඒ සැටියෙන් ම මෙහි ඉපිද පෙර කළ කම් අනුව දිවි යවමින් නැවැත නැවැතත් කර්‍ම රැස් කොට මෙයින් ගිලිහී යන්නේ ය, ඔබ ගේ හා ඔහු ගේ භවයෙන් භවයට යෑමෙන් ඵලභුක්තිවිඳුම මෙසේ කල්හි, ඔබ මෙහි දැන් කවරකු කෙරෙහි ආලය කරහු දැ’ යි මෙසේ සැලකීම, කර්‍මප්‍රත්‍යවේක්‍ෂා ය, ‘පරමාර්‍ත්‍ථවශයෙන් සත්වයෙක් නැත, පුද්ගලයෙක් නැත, ඇත්තේ එකට කැටි වූ ස්කන්ධධාතුආයතනරාශියකි, එසේ කල්හි කවරක්හට ආලය කරහු ද’ යනාදීන් සැලකීම. නිස්සත්වප්‍රත්‍යවේක්‍ෂා ය.

චීවරපිණ්ඩපාතාදීසංස්කාරයන් කෙරෙහි මැදහත් බව සඞ්ඛාරමජ්ඣත්තතා නම් වේ. අස්වාමිකභාවය සැලකීම්ම, තාවකාලිකභාවය සැලකීමැ, යි එ ද දෙයයුරු වේ. ‘මේ සිවුර දැන් පැහැයෙන් සිත් ගණියි, එහෙත් පිළිවෙළින් පැහැය වෙනස් බවට හා දිරුම් කඩට ගියේ, අවසානයෙහි පා පිස්නා කඩක් ව හැර මිටි කොණින් ගෙන හැර දැමිය යුතු වන්නේ ය, යම් ලෙසකින් මේ සිවුර අයත් එකෙක් වේ නම්, මෙසේ විනාශ වන්නට නො දෙන්නේ ය’ යනාදීන් සලකා මැදහත්වීම අස්වාමිකභාවය සැලකීමෙන් වන සඞ්කාරමජ්ඣත්තතාය ය. සිවුරෙහි කල් නො පැවැත්ම තාවකාලිකභාවය සැලකීමෙන් වන සඞ්කාරමජ්ඣත්තතාය ය. පය ඇඳ පුටු කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි ගේ දොර පොත් පත් ආදි අනික් හැම සංස්කාරයන් කෙරෙහි ද මැදහත්වීම මෙසේ ය.

සත්වයන් කෙරෙහි හා සංස්කාරයන් කෙරෙහි ආලය කරන්නන් දුරුකිරීම, සත්තසඞ්ඛාරකෙලායනපුග්ගලපරිවජ්ජනතා නම්. යම් පැවිද්දෙක් තම අත වැස්සන් කෙරෙහි හා සමානොපාද්ධ්‍යායාදින් කෙරෙහි, දූ දරුවන් කෙරෙහි ප්‍රේමය කරණ ගිහියකු සේ මමායනය කෙරේ ද, තෙමේ ම ඔවුන්ගේ කෙස් කැපීම්, සිවුරු මැසීම්, රැඳවීම්, පා පිසීම්, ආදි වූ කුදු මහත් කටයුතු ගෙහසිත ප්‍රේමයෙන් බැඳී සිට කෙරේ ද, ඇසිල්ලක් පමණකුදු අතැවැසියා හෝ අතැවැස්සන් නො දැක්කේ ‘අසවල් හෙරණ කොයි ගියේ ද, බලන්න කුඩා නම කොයි දැ’ යි සිහි නැතුව බියෙන් වෙව්ලා ගිය මෘගයකු සේ ඔබිමොබ දුව බලා ද, ‘අසවල් හෙරණ අපගේ කෙස් කප්පවා ගැණීමට ටික වේලාවකට මෙහි එවන්නැ’ යි අනිකකු කියන ලද්දේ ද ‘හා! ඒ නමට ඒ කරණු බැරි ය, මම ද ඒ නම ලවා එබඳු වැඩ කරවා නො ගණිමි, ඒ නම වෙහෙසට පත් වන්නේ ය, එබැවින් ඔය ඉල්ලීම ඉටු කරණු නො හැකි ය’ යනාදිය කියමින් සත්වයන් කෙරෙහි මමායනය කරන්නේ සත්තකෙලායන නම් වේ. දූ දරුවන් කෙරෙහි ගෙහසිත ප්‍රේමයෙන් බැඳී මෙසේ මමායනය කරණ ගිහියා ද, සත්තකෙලායන නම් වේ. යම් පැවිද්දෙක් පා සිවුරු තලි හැරමිටි කොට්ට මෙට්ට ආදියෙහි ආලය කරන්නේ අනිකක් හට අතින් අල්ලන්නට බලන්නට පමණකුත් නො දේ ද, ඉල්ලන ලද්දේ ‘අපිත් තව ම මෙතෙක් එය පරිභෝගය නො කෙළෙමු, තොපට එය කෙසේ දෙමු දැ’ යි කියා ද, ඒ පැවිද්දා සංඛාරකෙලායන නම් වේ. ගිහියා ගැණ ද මෙසේ දතයුතු ය. සත්‍වසංස්කාරයන් කෙරෙහි මමත්වය කරණ ඇලෙන ගිහි පැවිද්දන් දැන හැඳින ගැණීමෙන් ඔවුන් දුරුකිරීම සත්‍වසංස්කාරපුද්ගලපරිවර්‍ජනය යි.

සත්‍වසංස්කාරයන් කෙරෙහි මැදහත් පැවතුම් ඇති පුද්ගලයන් සේවනය කිරීම, සත්තසංඛාරමජ්ඣත්තපුග්ගලසෙවනතා නම් වේ. මෙතෙමේ මාගේ අතැවැසි යි, මෙතෙමේ මාගේ නෑයා ය, මෙතෙමේ මට උපකාර කරන්නේ ය’ යනාදීන් කිසිවකු කෙරෙහි හා ‘මාගේ සිවුර මාගේ පාත්‍රය’ යනාදීන් කිසිවක් කෙරෙහි හා නො බැඳී මමායනය නො කොට, එසේ ම ‘මෙතෙමේ මා පිළිබඳ එකෙක් නො වේ, මොහු මාගේ නො වේ. එහෙයින් කුමක් වුවත් මට කම් නැතැ’ යි ද්වේෂ ද නො කොට ඡන්දාදියෙන් අගතියට නො ගොස් ස්වපරකීය හැම කෙනකු කෙරෙහි හා හැම දෙයක් කෙරෙහි හා මැදහත් වන්නේ, සත්වසංස්කාරමද්ධ්‍යස්ථපුද්ගල තෙමේ ය. ඔවුන්ගේ සේවනය මෙයින් කිය වේ.

‘උපේක්‍ෂාසම්බොද්ධ්‍යඞ්ගය උපදවමි’ යි එයට බර ව, එයට නැමී සිටීම, තදධිමුත්තතා නම් වේ. උපේක්‍ෂාසම්බොද්ධ්‍යඞ්ගය ඉපදවීමෙහි උද්‍යොගවත් චිත්තගතිය ය මේ. එය හැම ඉරියව්වෙහි ම කැමැති විය යුතු ය.

මේ කියූ හේතූන් නිසා පහළ වූ උපේක්‍ෂාසම්බොද්ධ්‍යඞ්ගයාගේ සම්පූර්‍ණභාවය අර්‍හන්මාර්‍ගයෙන් වන්නේ ය.

මෙහි මෙසේ සැකෙවින් කියූ බොද්ධ්‍යඞ්ගයෝ වනාහි විදර්‍ශනා පාදකමාර්‍ගචිත්තවීථියෙහි පූර්‍වභාගයෙහි වූ, එහෙයින් ම ලෞකික වූ. පරිකර්‍ම - උපචාර - අනුලෝම - ගෝත්‍රභූ චිත්තයන්හි නන් අරමුණු ගෙණ නානාවස්ථාවන්හි ද මාර්‍ගචිත්තවීථියෙහි නිවන් අරමුණු කොට එක් අවස්ථාවක ද පහළ වෙති.

මගසිත් සතර උපදින්නේ එක් එක් වරට බැවින්, ලෝකෝත්තර බොද්ධ්‍යඞ්ගයෝ ද, චතුර්විධමාර්‍ගචිත්තවාර ගණනින් සතර වරක් උපදිති. එක් සිතෙක එක් වර බැගින්, මාර්‍ග සිත් සතරෙහි සතර වරක් පහළ වූ බොද්ධ්‍යඞ්ගයෝ, එසේ පහළ වෙමින් උපදිමින් ඒ ඒ මගින් නැසිය යුතු වූ වැනසිය යුතු වූ සියලු කෙලෙස් නසාලති. සෝතාපත්තිමගගබොජ්ඣංගයෝ ඒ මගින් නැසිය යුතු වූ ක්ලේශධර්‍මයන් පළමු කොට නසා හරිති. සකදාගාමී අනාගාමී අරහත්ත මග්ගබොජ්ඣංගයෝ ද මෙසේ පිළිවෙළින් දෙවනු තෙවනු සිවුවනු ච කෙලෙස් නසාලති. වනසාලති. විදර්‍ශනා බොද්ධ්‍යඞ්ගයෝ නොයෙක් වර නානාක්‍ෂණික ව පහළ වෙමින් උපදිමින් ලෝකෝත්තරමාර්‍ගය සකස් කරත්.

සම්බොධිඅඞ්ගෙසු, යන්නෙන් අර්‍ත්‍ථාන්තරයක් වශයෙන් කියවෙන සත්තිස් බෝපැකිදම් පිළිබඳ කෙටිකතාවක් යට කියන ලදී.

සම්මා චිත්තං සුභාවිතං = මනාකොට හේතුවශයෙන් හා නය වශයෙන් සිත වඩනා ලද්දේ ද.

බොද්ධ්‍යඞ්ගධර්‍මවිෂයයෙහි නොහොත් බෝධිපාක්‍ෂිකධර්‍මවිෂයයෙහි විධිලෙසින් වැඩු සිත මෙයින් කියන ලදී. ශීලවිශුද්ධියෙහි පිහිටා අනතුරු ව චරිතානුකූල වූ කර්‍මස්ථානයක් ගෙණ එයට පටහැනි වූ සියලු කුදු මහත් උවදුරු නසා සුදුසු සෙනසුනකට එළැඹැ ගත් කමටහන අනුව සිත වැඩිය යුතු ය. එසේ වැඩෙන්නේ, ප්‍රථමධ්‍යානාදීන්ගේ ලැබීමෙන් ඉපදීමෙන් පුෂ්ටිමත් ව ගියේ, තව තවත් වැඩෙන්නේ, උපක්ලේශරහිත වූයේ සුභාවිත යි කියනු ලැබේ.

ආදානපටිනිස්සග්ගෙ = නිර්‍වාණයෙහි.

ගැණීම, ආදානැ, යි කියනු ලැබේ. ‘ආදානං වුච්චති ගහණං’ යනු අටුවා ය. මෙහි කාමූපාදානාදිචතුර්විධඋපාදාන ‘මමය, මගේය’ යනාදීන් සලකා අල්ලා ගන්නා බැවින් ඇලෙන බැවින් ආදාන නම් වේ. නිර්‍වාණය එසේ ගැණීමට ප්‍රතිපක්‍ෂහෙයින් ආදාන පටිනිස්සග්ග නම් වි.

අනුපාදාය - නො ගෙන

කාම-දිට්ඨි-සීලබ්බත-අත්තවාද යන සතර ‘ මම ය, මාගේ ය කියා නො ගෙණ. සිත්හිලා දැඩිව අල්ලා නො ගෙණ.

යෙ රතා - යම් කෙනෙක් ඇලුනෝ (ද).

මෙහි වූ යෙ, යන්න තෙ, යන්න එල්බ සිටියේ ය. රහතුන් වහසේ ඇලෙන එක් ම තැන නිවනයි. උන්වහන්සේගේ ඇලීම ගැලීම රැඳෙන්නේ නිවනෙහි ය. එහෙයින් නිවන කියවෙන ආදානපටිනිස්සග්ග, යන්න ආදානපටිනිස්සග්ගෙ, යි ආධාරාර්‍ත්‍ථයෙන් දැක්විනි.

ඛීණාසවා - ක්‍ෂය කළ ආශ්‍රව ඇති.

ජුතිමන්තො - ප්‍රභාවත් වූ අනුභාවවත් වූ

රහතුන් වහන්සේ ස්කන්ධාදිභේදභින්න ධර්‍මයන් අර්‍හන්මාර්‍ග ඥානාලෝකයෙන් මැනැවින් බබුලුවා සිටියෝ ය, යනු එහි තේරුම යි. ස්කන්ධාදිභේදභින්නධර්‍ම උන්වහන්සේට මැනැවින් තේරී බේරී වැටහෙන්නේ ය, යනු කී සේ ය.

තෙ ලොකෙ පරිනිබබුතා = ඒ ආර්‍ය්‍යයෝ ලෝකයෙහි පිරිනිවියාහු වෙති.

මෙහි ස්කන්ධ ධාතු ආයතනාදිධර්‍මරාශිය ලොක, යි ගැණේ. ස්කන්ධාදිධර්‍මසමූහය නැසෙන වැනසෙන බැවින් ලෝක, යි කිය වේ. එය ඉන්ද්‍රියබද්ධසන්තානය-අනින්ද්‍රියබද්ධසන්තානය යි දෙපරිදි ය. සත්වශරීරය, ඉන්ද්‍රියබද්ධසන්තාන නම. ස්කන්ධලෝකැ යි කීයේ ද මේ ය. වෘක්‍ෂලතා පෘථිවි පර්‍වත ගඞ්ගා සමුද්‍රාදිය, අනින්ද්‍රියබද්ධසන්තාන නම. සසරින් එතෙර විය හැක්කේ ඉන්ද්‍රියබද්ධසන්තානයෙහි පිහිටා ගැණීමෙන් ය. අනින්‍ද්‍රියබද්ධසන්තානය, ඉන්ද්‍රියබද්ධසන්තානයාගේ පිහිටීමට ආධාර බැවින් ඔක්කාසලෝකැ, යි කියති. මේ මෙහි අභිමත නො වේ. අභිමත ස්කන්‍ධලෝකය යි.

ඒ මේ ස්කන්ධලෝකයෙහි රහත් බවට පැමිණි තැන් පටන් ක්ලේශවෘත්තය ක්‍ෂය කළ බැවින් ගෙවූ බැවින් සොපාදිශේෂ නිර්‍වාණධාතුවෙන් ද, චරිමචිත්තනිරෝධයෙන් දවසක් හුස්ම පිටකිරීමෙන් පෙර ජාතිවල කළ කර්‍මයා ගේ විපාක වශයෙන් මෙලොව ලත් ස්කන්ධයන් ද, ක්‍ෂය කළ හෙයින් අනුපාදිශේෂනිර්‍වාණධාතුවෙන් දැ, යි ද්විවිධ වූ ම නිර්‍වාණයෙන් පිරිනිවියාහු තෙල් නැති පහනක් මෙන් අපණ්ණත්තිකභාවයට හෙවත් සත්වපුද්ගලාදි වශයෙන් නො පැණවිය යුතු බවට පැමිණෙන්නාහ. එ හෙයිනි පරිනිබබුතා, යි වදාළේ, ‘අරහත්තප්පත්තිතො පට්ඨාය කිලෙස වට්ටස්ස ඛෙපිතත්තා සොපාදිසෙසෙන චරිමචිත්තනිරොධෙන ඛන්ධවට්ටස්ස ඛෙපිතත්තා අනුපාදිසෙසෙන චාති ද්වීහිපි පරිනිබ්බානෙහි පරිනිබබුතා අනුපාදානො විය පදීපො අපණ්ණතතිකභාවං ගතාති අත්‍ථො’ යනු අටුවා ය.

දේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියාහු ය.

පන්සියයක් ආගන්තුකභික්‍ෂූන්ගේ වස්තුව නිමි.

    1. 4-4 ‘කාමෙසු’ යන්න බලනු.

    ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.