සුභානුපස්සිං විහරන්තං ඉන්‍ද්‍රියෙසු අසංවුතං
භොජනම්හි චාමත්තඤ්ඤුං කුසීතං හීනවීරියං
තං වෙ පසහති මාරො වාතො රුක්ඛං’ව දුබ්බලං.
(අරමුණු) ශුභ වශයෙන් බලමින් වසන, ඉන්‍ද්‍රියයන් කෙරෙහි සංවරය නැති, භෝජනයෙහි පමණ නො දන්නා වූ, කාමවිතර්‍කාදී මිථ්‍යාවිතර්‍කයනට වසඟ බැවින් කුසීත වූ, වීර්‍ය්‍යය නැති ඒ පුද්ගලයා ඒකාන්තයෙන් (ක්ලේශ) මාර තෙමේ මැඩ ලයි. වාතය දුබල රුකක් මැඩ ලන්නක් මෙනි.
අසුභානුපස්සිං විහරන්තං ඉන්‍ද්‍රියෙසු සුසංවුතං
භොජනම්හි ච මත්තඤ්ඤුං සද්ධං ආරද්ධවීරියං
තං වෙ නප්පසහති මාරො වාතො සෙලං’ව පබ්බතං.
උඬුමාතකාදී දශ අශුභයන් අතුරෙන් එක්තරා අශුභයක් අනුව බලමින් වසන, ඉඳුරන් කෙරෙහි මනා සංවරය ඇති, භෝජනයෙහි පමණ දන්නා වූ, ශ්‍රද්ධා ඇති, සතර ඉරියව්හි වඩන ලද වීර්‍ය්‍ය ඇති, මෙබඳු පුද්ගලයා ක්ලේශමාර තෙමේ ඒකාන්තයෙන් මැඩ නො පවත්වයි. වාතය ඒකඝන ගල් පර්‍වතයක් මැඩ ලිය නො හෙන්නාක් මෙනි.
සේතව්‍යනුවරැ, චූලකාල - මජ්ඣිමකාල - මහාකාල යි සහෝදරයෝ තිදෙනෙක් වූහ. තිදෙනා ම ධනපතියෝ ය. උන් අතුරන් චූලකාල - මහාකාල දෙදෙනා නොයෙක් ඈත පළාත්හි ගොස් ඇවිද, බරකරත්තවලින් බඩු ගෙනැවිත් විකිණීමට මජ්ඣිම කාලයාහට භාර දෙන්නෝ ය. ඔහු ඒ සියලු බඩු නියමිත ගණනට විකුණා, මුදල් රැස් කරයි. එක් කලෙක මහාකාල-චූලකාලයෝ, බර කරත්ත පන් සියයකට බොහෝ බඩු පටවා ගෙණ සැවැත්නුවරට පැමිණ, නුවරටත් දෙව්රම් මහවෙහෙරටත් අතර තැනක කරත්ත ලිහා විඩා සංසිඳුවමින් උන්හ. එදා සවස මහාකාල තෙමේ සුවඳ මල් සුවඳකූරු සුවඳසුණු සුවඳ තෙල් පහන් අත් පුරා රැගෙණ බණ අසන්නට විහාරයට යන ආර්‍ය්‍යශ්‍රාවකයන් දැක ඔවුන් විචාරා “මමත් බණ අසන්නට යමි” යි ඔවුන් හා එක් ව විහාරයට ගොස් බුදුරජුන් වැඳ ධර්‍මශාලාවේ කෙළවරක වාඩිගෙණ බණ අසමින් හුන්නේ ය.
බුදුරජානන් වහන්සේ එහි ධර්‍මශාලායෙහි කොණකට වී හුන් මහාකාලයා දැක ඔහුගේ අදහස් බලා ඒ අදහසට අනු ව දුක්ඛඛන්ධ සූත්‍රාදීන්ගේ වශයෙන් කාමයෙහි දොස් කාමයෙහි ලාමකකම් කාමයෙහි කිලිටි බැව් හා පැවිද්දෙහි අනුසස් දැක්වෙන පිළිවෙළ කතාව වදාළ සේක. මහාකාල තෙමේ මිහිරිහඬින් දෙසූ ඒ බණ කතාව අසා “අය්යෝ! අප කරණු කුමක් ද, පරලොව යන්නහු තමන් වෙහෙස විඳ දුකින් පෙළෙමින් මිරිකෙමින් සැපයූ සියලු දේපල හැර යා යුතු නො වේ ද, මේ මොක ද, භෝගයෝ නෑදෑයෝ කිසි කෙනෙක් පරලොව යන්නහු පසු පස්සේ නො යති, ඉතින් ගිහිකම් කිරීමෙන් ඇති ඵලය කුමක් ද, මම පැවිදි වෙමි, මට මේ කිසිවක් වුවමනා නැතැ” යි සිතට ගෙණ බණ අවසන්හි රැස් ව හුන් මිනිසුන් විහාරයෙන් පිට වී ගිය කල්හි බුදුරජුන් වෙතට ගොස් “ස්වාමීනි! මා පැවිදි කරන්නැ” යි කියා සිටියේ ය. බුදුරජුන් “මහාකාලය! පැවිදිවන්නට නම් මවු පියන්ගෙන් අවසර වුවමනා ය, මවු පියෝ ජීවතුන් අතර නැද්ද? එසේ නම් එයට සුදුසු නෑයකුගෙන් අවසර ලබාගත යුතු ය” යි වදාළ විට “ස්වාමීනි! මට බාල සහෝදර යෙක් සිටී” යි කී ය. “ඒ ඇති, එසේ නම් පැවිදිවන බව ඔහුට දන්වා අවසර ගෙණ මෙහි එන්නැ” යි කී විට ඔහු ඉතා යුහු ව මලනුවන් කරා ගොස්, “මල්ලී! අපට අයත් මේ සියලු මිල මුදල් බඩු මුට්ටු උඹට භාර යි, නුඹ මේ සියල්ල හොඳින් බලා සොයා ගෙණ කටයුතු කරන්නැ” යි මලයාට පැවැරී ය. එකල චුලකාල තෙමේ “අය්යා! ඇයි! එහෙම කියහි?” යි ඇසී ය. “මම බුදුහාමුදුරුවන් ලඟ පැවිදි වෙමි, මට මේ කිසිවකින් වැඩෙක් නැත, මෙයින් ප්‍රයෝජන නුඹටැ” යි කී ය. චූලකාල තෙමේ මෙය වෙනස් කරන්නට නොයෙක් ලෙසින් මහන්සි දැරී ය. කරුණු කී ය. එහෙත් නො හැකි විය. අන්තිමේදී “අය්යා! මා කියන්න නො පිළිගණීහු නම් කැමැත්තක් කරන්නැ” යි කීයේ ය. එවිට මහාකාලයා බුදුරජුන් වෙත ගොස් පැවිදි ව මහණ පිළිවෙතෙහි යෙදී වසන්නේ යහතින් කල් දවස ගත කෙළේ ය. මේ අතර කාලයෙහි චූලකාල තෙමේ සහෝදරයාගේ වෙන්වීමෙන් හටගත් සිත් තැවුල් ඇත්තේ සහෝදරයාත් සිවුරු හරවා ගෙණ එමි” යි සිතා තෙමේත් ගොස් පැවිදි වී ය.
පැවිද්දෙන් ටික දිනකට පසු මහාකාල තෙමේ උපසම්පදාව ලබා බුදුරජුන් වෙතට ගොස් වැඳ “සසුනෙහි පැවිදිවූවන් විසින් පිළිපැදිය යුතු වූ ධුරයෝ කොතෙක් දැ?” යි ඇසී ය. උන්වහන්සේ ඒ පිළිබඳ තොරතුරු වදාළවිට, “ ස්වාමීනි! මාගේ වයස දැන් ගෙවී ගොස් ය, එහෙයින් මට ග්‍රන්ථධුරය පුරණු නො හැකි ය, විදර්‍ශනා ධුරය පිරිය හැකි ය, මට එයට කමටහන් වදාරණු මැනැවැ” යි උන්වහන්සේ වෙතින් රහත්බව දක්වා කමටහන් කියවා උගෙණ, සෝසානිකධුතඞ්ගය සමාදන් ව ගෙණ, මහරෑ ගෙවල සියලු දෙනා නින්දට ගිය පසු, සොහොනට ගොස්, භාවනායෙහි යෙදී හිඳ, එලිවැටෙන්නට කලින් මිනිසුන් නින්දෙන් නැගිටින්නට පෙර විහාරයට එයි.
එදා, කාලී නම් සොහොන් ගොවු දුවක් එම සොහොන භාරව සිටියා ය. ඕ තොමෝ තමන් නො දත් කිසිවකු එහි උන් සිටි තැන් දැක, “කවරෙක් මෙහි ඒ දැ” යි විපරම් කරමින් හුන්නි ද ඒ දැනගන්නට නො හැකි වූ ය. දිනක් ඕ තොමෝ සොහොන් පැලෙහි පහන් දල්වා, දූ පුතුනුත් සමග ගොස්, එහි පසෙකට වී නො නිදා බලා සිටියා ය. එදා මහ රෑ මහාකාල ස්ථවිරයන් වහන්සේ පෙරසේ භාවනා කරන්නට සොහොනට පැමිණියහ. කාලිය තෙරුන් දැක “ස්වාමීනි! මේ තැනැ වසන්නහු ඔබ වහන්සේ දැ?” යි ඇසු ය. ස්ථවිර තෙමේ “එසේ ය, උපාසිකාවෙනි” යි පිළිතුරු දින. ඕ තොමෝ “ස්වාමීනි! සොහොනැ වසන්නන් විසින් පිළිපැදිය යුතු ක්‍රම කිහිපයෙක් තිබේ, ඔවුන් ඒ සියල්ල මැනැවින් දැන ගෙණ ඒ හැටියට සොහොනෙහි විසිය යුතු ය” යි කිවු ය. “කිම, අපි ඔය සොහොන්ගොවුදුව කියන හැටියට වසන්නමෝ දැ?” යි නො කියා, උන්වහන්සේ “අප විසින් පිළිපැදිය යුතු සැටි කියන්නැ” යි කීහ.
“ස්වාමීනි! සොහොනැ වසන්නන් තමන් සොහොනෙහි වසන බව, සොහොන් පල්ලන්ට, විහාරයෙහි මහතෙරුන්ට, ගම්මුලාදෑනියාට දැන්විය යුතු ය, හොරු මිනිසුන් ලුහු බඳනා විට හොරකම් කළ බඩුත් රැගෙණ සොහොනට දුවැවිත් තමන්ගේ නිදහස පිණිස ඒ සොර බඩු සොහොනෙහි දමා පලා යන්නෝ ය, සොරුන්ගේ පස්සේ දුව එන මිනිස්සු සොහොනැ වසන්නන් අල්ලා, සොරු මොවුහු, යි බැඳගෙණ තැළීම් පෙළීම් කරන්නෝ ය, තමන් සොහොනෙහි වසනබව, සුසානපාලකාදීන්ට කලින් කියා සිටි කල එබඳු අතෝරයන්ට අසු නො වෙති, ඔවුහු ඒ හැම උවදුරක් ම වළකාලති, තව ද සොහොනැ වසන්නන් විසින් මත්ස්‍යමාංස හා පිටියෙන් කළ තෙලින් බැදි කැවිලි නො කෑ යුතු ය, දාවල නො නිදිය යුතු ය, අලසයකු නො විය යුතු ය, වීර්‍ය්‍යය ඇත්තකු විය යුතු ය, කපටිකම් රැවටිලිවලින් හා කුහක අදහස්වලින් වෙන් විය යුතු ය, ඉතා හොඳ පිවිතුරු අදහස් ඇත්තන් විය යුතු ය, සියල්ලන් නිදි ගත් පසු විහාරයෙන් ආ යුතු ය, උදෑසන කිසිවකු නින්දෙන් නැගී සිටින්නට පෙරාතු ව වෙහෙරට යා යුතු ය, මේ කී ලෙසට ඔබ වහන්සේ මෙහි වසන්නහු නම්, ඔබ වහන්සේගේ අදහස් පරිදි පැවිදිබව මුදුන් පමුණුවා ගත හැකි ය, මිනිසුන් මළසිරුරු මෙහි ගෙණා කල්හි, මම ඒ මළ සිරුරු කම්බිලිවලින් කුළුගෙවල් සාදා, එහි නංවා සුවඳ මල් ආදියෙනුත් සත්කාර කොට දවන්නෙමි, එසේ කරන්නට නො හැකි වූ විට, කුඩාදරසෑයක් සාදා එය දල්වා, උලෙන් එලියට ඇද පොරවෙන් කොටා, කුඩා කුඩා කෑලි කොට ගින්නෙහි ලා දවන්නෙමි’ යි කිවු ය. එවිට මහාකාල ස්ථවිර තෙමේ “හොඳ යි, උපාසිකාවෙනි! මම ඒ සියල්ල, උපාසිකාව කී ලෙසට කරමි, යම් දිනෙක මළ සිරුරක් මෙහි ගෙණාවොත්, එය මට දන්වන්නැ” යි කියා විහාරයට ගියේ ය. ඕ තොමෝ එය “එසේ ය” යි පිළිගත්තා ය. මහාකාල ස්ථවිර තෙමේ ඉතා සතුටින් දැන් මහණදම් කරයි. ඔවුන් සහෝදර වූ චූලකාල තෙමේ මහණකම් පසෙක තබා, භාවනාවක නො යෙදී නිතර ගේ දොර ගැණ සිතමින් දවස් යවයි. අඹුදරුවන් ගැණ සිහි කරයි. “මාගේ අයියා කරන්නේ ඉතා බැරෑරුම් වැඩෙකැ” යි ද සිතයි.
මේ අතර, හදිසි ලෙඩකින් කලුරිය කළ සත්‍රියකගේ නො මැලවුනු මළසිරුරක් නෑදෑහිතමිතුරෝ දර පොල්කටු තෙල් රෙදි ආදියත් රැගෙණ, සවස සොහොනට ගෙණවුත් සොහොන් ගොවූ දුවට “මේ මළසිරුරු දවන්නැ” යි කියා භාර කොට ඒ පිණිස කුලිය ද දීලා ගියහ. කාලිය ඒ මළසිරුර ඔතා තුබූ රෙද්ද ඉවත් කොට, එ වේලෙහි මළ බැවින් වෙනස් ව නො ගිය සිරුරු බලා, “මෙය හාමුදුරුවන්ට දැක්වීමට සුදුසු අරමුණකැ” යි තෙරුන් වෙත ගොස් වැඳ, “හොඳ අරමුණෙක් ලැබී තිබේ, බලන්නට වඩින්නැ” යි කිවු ය. උන්වහන්සේ වහා ගොස් ඔතා තුබූ රෙද්ද ඉවත් කරවා, පතුල පටන් කෙස් අග දක්වා මළසිරුර ගැණ සලකා “මේ රූපය තදින් පිණාගිය එකෙක, එසේ ම රන්වන් ය” යි සිතට ගෙණ “ගින්නෙහි බහා ගිනිදැලින් ඇවිළ ගත් විට කියන්නැ” යි කියා තමන් වසන ආවාසයට ගියහ. කාලිය එසේ මළසිරුර ගින්නෙහි බහා තෙරුන්ට දැන් වූ ය. උන්වහන්සේ එහි ගොස් එය බැලූහ. මළසිරුරෙහි ගිනිදැල් වැදුනු තැන් කබර දෙනකගේ සිරුරු පැහැය ගෙණ තුබුනේ ය. පා තුන හතරට නැවී ගියේ ය. අත් වකුටු විය. නළලෙහි හම ගැලවී තුබුනේ ය. මේ මළසිරුර බලා තමන් වසන තැනට ගිය ස්ථවිර තෙමේ “දැන් මේ සිරුර කිසිවකුන්ගේ ද සිත් ගන්නේ නො වේ, ඒ තබා බලන්නටද සිත් නො දේ” යි සිතමින් “එකාන්තයෙන් සංස්කාරධර්‍මයෝ සදාකල්හි නො ද පවතින්නෝය, ඉපිද නැසෙන ස්වභාවය ඇත්තෝ ය, සංස්කාරයෝ ඉපිද නැසෙති, මෙසේ ඉපිද නැසෙන සංස්කාරධර්‍මයන්ගේ සංසිඳීම සැප වේ” යන දේශනාවට අනු ව විදසුන් වඩා භාවනා කොට සිවුපිළිසිඹියාවන් ද ලබමින් රහත් වූයේ ය.
මෙ දවස, සම්මා සම්බුදුරජානන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයාත් සමග දනවු සැරි සරන සේක්, සේතව්‍යනුවර ඇට්ටේරිය වනයට වැඩම කළ සේක. බුදුරජුන් සේතව්‍යනුවරට වැඩම කළ බව දත් චූලකාල තෙරුන්ගේ භාර්‍ය්‍යාවෝ “අපගේ ස්වාමියා සිවුරු හරවා ගණිමු” යි කතා බස් කොට, පසු දා දානයට භික්‍ෂුසඞ්ඝයාත් සමග ගෙදරට වඩින්නට බුදුරජුන්ට ආරාධනා කර වූහ. දන් පිණිස ආරාධනා කළ ගෙදර නුපුරුදු ගෙදරක් නම්, එහි බුදුරජුන්ට අසුන් පැණවීමට භික්‍ෂු නමක් කලින් එ තැනට යා යුතු වේ. එය සිරිති. අසුන් පණවන තැන බුදුරජානන් වහන්සේට මැද අසුන් පණවා, එහි දකුණුපසත් වම්පසත් සැරියුත්-මුගලන් දෙනමට අසුන් පැණවිය යුතු ය. එතැන් පටන් දෙපසෙහි අනික් දෙනාවහන්සේට අසුන් පැණවෙන්නේ ය. එ හෙයින් එදා මහාකාල ස්ථවිරයන් වහන්සේ අසුන් පණවන්නට චූලකාල ස්ථවිරයන් කලින් එහි යැවූහ. ගෙදර අය උන්වහන්සේ එහි ගිය වේලේ පටන් කෙළි කවටකම් කරන්නට පටන් ගත්හ. ඔවුන්, කුඩා මිටි අසුන් සඞ්ඝ ස්ථවිරයන් වැඩ හිඳිනා කෙළවරත් උස් අසුන් සඞ්ඝනවකයා හිඳිනා කෙළවරත් තබා පිළියෙල කරණ විට “මේ අසවු, කුඩා මිටි අසුන් සඞ්ඝස්ථවිරයන් වහන්සේ වැඩ හිඳිනා කෙළවර නො තබවු, උස් අසුන් සඞ්ඝනවකයා හිඳිනා කෙළවර නො තබවූ, උස් අසුන් සංඝස්ථවිරයන් වහන්සේටත් කුඩා මිටි අසුන් සඞ්ඝ නවකයන් පිණිසත් පණවන්නැ” යි චූලකාල තෙරණුවෝ කීහ.
ගෙයි හුන් ගෑණු තෙරුන්ගේ මේ නියමය නො ඇසෙනවුන් සේ “හා! ඔයා මොක ද දැන් කරන්නේ ? ඔයාට නරක ද අසුන් පණවන්නට?, ඔයා කාගෙන් අසා බලා ද මහණ වුයේ?, ඔයා මහණ කළේ කවු ද?, කොයි ද යසට තුබුනු කොණ්ඩය, කෝ රැවුල?, අපට කන්නට අඳින්නට දෙන්නේ කවු ද? අපි කවුරුන් ගැන බලාපොරොත්තු වෙමු ද?, මේ දරුවෝ?, මොක ද මෙහි ආයේ” යි බැණ වදිමින් හැඳ පොරොවා තුබූ සිවුරු ගලවා, පැත්තක දමා, මල්වඩමක් හිසෙහි තබා, “යන්න බුදුන් වැඩමවා ගෙණ එන්න, අපි අසුන් පණවන්නෙමු” යි කියා පිටත් කොට යැවූහ. “පැවිදි වූ අලුත ම සිවුරු හැර යන්නන්ට එයින් ලජ්ජාවක් නුපදි” යි. එහෙයින් චූලකාලයා ද තම අඹුවන් විසින් ගැන් වූ වෙසයෙන් ම අමුත්තක් නො මැති ව, විහාරයට ගොස්, බුදුරජුන් ප්‍රධාන මහා සඞ්ඝයා වහන්සේ වැඩමවා ගෙණ, ගෙට පැමිණියේ ය. හැම දෙනා එකතුව උන්වහන්සේලා අසුන්වල වඩා හිඳුවා, මැනැවින් පිළියෙල කොට තුබූ දානය වැලඳෙව්වාහු ය. උන්වහන්සේලා වලඳා අවසන් කොට දහම් දෙසා විහාරයට වැඩියහ. එ වේලෙහි මහාකාල තෙරුන්ගේ අඹුවෝ “චුලකාලයන්ගේ අඹුවන් කළ වැඩේ ඉතා කදිම යි, තැනැ තැනැ හුන් ගෑණුන් මෙහි ගෙණැවිත් උන් අතරමං කොට අතහැර යෑම මොන මිනිස් කමෙක් ද, ඈලා කළ වැඩේ කිසි වරදෙක් නැත, අපිත් අපේ එක්කෙනා ගලවා ගණිමු” යි කතා කොට, කවුරුත් එකමතික ව පසු දා දානයටත් එහිදී ම ආරාධනා කළහ.
එදා අසුන් පැණවිමට මහාකාල තෙරණුවෝ එහි නො ගියහ. අන් භික්‍ෂු නමක් ඒ පිණිස එහි ගියේ ය. මහාකාල තෙරුන්ගේ අඹුවන්ගේ අදහස ඒ නිසා ඉටු නො වී ය. ඈලා එයින් කණස්සල්ලට පත් වූහ. ඈලා ම අසුන් පැණවූහ. පසු දා බුද්ධප්‍රමුඛමහා සඞ්ඝයා වහන්සේ එහි වැඩ, පණවා තුබූ අසුන්හි වැඩ හුන්හ. ඔවුහු දන් පිළිගැන් වූහ. සමහර දෙනා වහන්සේ එහි පණවා තුබූ අසුන්වල ම වැඩ හිඳ දන් වැලඳු අතර, සමහර දෙනා වහන්සේ පිටතට වැඩියහ. බුදුරජානන් වහන්සේ එහි ම වැඩ හිඳ දන් වලඳා අවසන් කළ ඉක්බිති මහාකාල තෙරුන්ගේ අඹුවෝ “ස්වාමීනි! දානානෘශංස ධර්‍මදේශනාවට මහාකාල තෙරුන් මෙහි නවතා වඩිනු මැනැවි, අපි උන්වහන්සේගෙන් බණ අසනු කැමැත්තම්හ” යි කීහ. බුදුරජානන් වහන්සේ ද “යහපතැ” යි මහාකාල තෙරුන් එහි නවතා, අනික් හැම දෙනා වහන්සේත් ගෙණ, විහාරයට වැඩිය සේක. එවිට භික්‍ෂූන් වහන්සේලා ගම්දොර සිට, “බුදුහාමුදුරුවන් මේ කළේ කුමක් ද, දැන කරණ ලද්දේ ද, නො දැන කරණ ලද්දේ ද, ඊයේ චූලකාලයා අසුන් පනවන්නට ගිය විට අල්වා සිවුරු ගලවා දැමූහ, එයින් ඔහුට මහණකම නැති විය, අද ඒ පිණිස වෙනෙකකු ගිය බැවින්, එබඳු විපතෙක් එබදු නපුරෙක් අද නො වී ය, බුදු හාමුදුරුවෝ මහාකාල තෙරුන් එහි නවතා ආහ, මහාකාල තෙරුන්නාන්සේ නම් සිල්වත්හ, ආචාර සම්පන්නයහ, ඒ නිසා මහණකම රැකේ ද, චූලකාලයාහට අඹුවෝ දෙ දෙනෙකි, මහාකාල තෙරුන්ට අඹුවෝ අටදෙනෙකි, චූලකාලයාගේ මහණකම මෙසේ නැති ව ගියේ නම්, මේ මහාකාල තෙරුන්ගේ මහණකම කෙසේ නම් රැකේ දැයි අපි නො දනුම්හ” යි විරුද්ධව කතා කළහ.
බුදුරජානන් වහන්සේ මේ කතාව අසා, “මහණෙනි! තමුසේලා මහාකාලයා චූලකාලයා වැනි කොට ගත්තහු ද, එසේ නො ගණිවු, චූලකාලයා වාසය කළේ නිතර නිතර සුබ අරමුණු අනු ව සිත යොදවමින් ය. ඔහු අනිටු අරමුණු නිතර සිතමින් විසී ය, මහණකම ගැණ සිතක් ඔහුට නො තුබුනේ ය, මාගේ පුතා මහාකාල තෙමේ එසේ නො වේ, ඔහු වාසය කළේ අසුබඅරමුණුවල සිත යෙදීමෙන් ය, ඒ තැන මහාගල්කන්දක් සේ නිසල ය, එහෙයින් චූලකාලයාට සේ මහාකාලයාට කිසිත් විපතෙක් නපුරෙක් අතෝරයෙක් නො වේ ය” යි වදාරා ඒ කරණු කොට මේ ධර්‍ම දේශනාව ද කළ සේක:-
සුභානුපස්සිං විහරන්තං ඉන්‍ද්‍රියෙසු අසංවුතං,
භොජනම්හි අමත්තඤ්ඤුං කුසීතං හීනවීරියං,
තං වෙ පසහති මාරො වාතො රුක්ඛංව දුබ්බලං.
.
අසුභානුපස්සිං විහරන්තං ඉන්‍ද්‍රියෙසු සුසංවුතං,
භොජනම්හි ච මත්තඤ්ඤුං සද්ධං ආරද්ධවීරියං,
තං වෙ නප්පසහති මාරො වාතො සෙලංව පබ්බතං ති.
(රූපාදි අරමුණු) ශුභය යි එක්වන් දක්නා සුලු ව වාසය කරණ ඇස් කන් නාස් ආදී වූ ඉඳුරන්හි සංවර නැති අහරෙහි ද පමණ නො දත් අලස වූ වීර්‍ය්‍ය රහිත ඒ පුද්ගලයා මාර තෙමේ ඒකාන්තයෙන් මැඩ ගණියි. (කුමක් මෙන්ද යත්?) දුර්‍වලවෘක්‍ෂයක් (මුලින් උපුටාලන) වාතයක් මෙනි.
(එක්තරා අශුභයක් හෝ කෙශාදිය) අශුභය යි එක්වන් දක්නා සුලු ව වාසය කරණ ඇස් කන් නාස් ආදී වූ ඉඳුරන්හි මනා හික්මීමක් ඇති අහරෙහි පමණ දන්නා වූ සැදැහැති වැඩූ වීර්‍ය්‍යය ඇති ඒ පුද්ගලයා මාර තෙමේ ඒකාන්තයෙන් නො මැඩ ලයි. (කුමක් මෙන්ද යත්?) ගල්පව්වක් (සලන්නට අපොහොසත්) වාතයක් මෙනි.
සුභානුපස්සිං විහරන්තං = (රූපාදි අරමුණු) ශුභය යි, එක්වන් දක්නා සුලු ව වසන.
නූගත් මිනිසුන් විසින් දිවා රෑ දෙක්හි ශුභවශයෙන් සිතන කියන අරමුණු සයෙක් ආගමෙහි දක්වන ලද්දේ ය. රූප-සද්ද-ගන්ධ-රස-පොට්ඨබ්බ-ධම්ම යන මේ ය ඒ. මේ රූපාදිය ය අරමුණු. චිත්ත-චෛතසික ධර්‍මයන් එල්බගන්නා තැන් ය. දුර්‍වල පුරුෂයකු විසින් සැරයටි ආදිය එල්බ ගණු ලබන්නා සේ චීත්ත-චෛතසික ධර්‍මයන් එල්බ ගන්නේ මේ රූපාදිය ය. එහෙයිනි ඒවාට අරමුණුය කියන්නේ. “දුබ්බලපුරිසෙන දණ්ඩාදි විය චිත්තචෙතසිකෙහි ආලම්බීයතීති = ආලම්බනං” යනු ඒ කී පරිදි යි. චිත්තචෛතසිකධම් යම් තැනෙක ඇලේ නම් ඒ ඇලෙන්නේ රූප - සද්දාදීන් කෙරෙහි ය. එහෙයින් ඒ රූපශබ්දාදිය අරමුණු ය යි කියත්. “චිත්තචෙතසිකා ධම්මා ආගන්ත්වා එත්ථ රමන්‍තීති = ආරම්මණං” යනු ඒ අරුත දැක් වූ සැටි යි. එහෙයින් රූපය, ආලම්බනය යි දෙකක් නැත. රූපය ම ය රූපරම්මණ නම් වනුයේ. ශබ්දය ම ය සද්දාම්මණ වනුයේ. සෙස්සද මේ ලෙසින් ගන්න.
එහි රූප නම්, ඇසින් දැක්ක යුතු ඇසින් දකින පැහැය යි. “වණ්ණවිකාරං ආපජ්ජමානං රූපයති හදයඞ්ගතභාවං පකාසෙතීති = රූපං” වර්‍ණවිකාරයට පැමිණීමෙන් හෘදගතභාවය පවසනුයේ රූපැ යි එයින් කියන ලද ය. (විස්තරය පිණිස මෙහි පුෂපවර්‍ගයෙහි “කො ඉමං පඨවිං විජෙස්සති” යන්නට කළ පරිකථාව බලන්න.) මේ සැකෙවිනි.
ශබ්ද නම්, කණින් ඇසිය යුතු වූ හඬ ය. එය මහාභූත රූපයන් නිසා නැගෙන්නෙකි. ඔවුන්ගේ ගැටීමෙන් හා බිඳීමෙන් ඒ නගින්නේ ය. “සප්පති සොතවිඤ්ඤෙය්‍යභාවං ගච්ඡතීති = සද්දො” කණින් දැනගත යුතු බවට පැමිණෙන්නේ ශබ්ද යනු එහි තේරුම යි.
ගන්‍ධ නම්, නැහැයට ගොදුරු වන දුගඳ සුවඳ ය. නැහැයේ උපකාරයෙන් වහළින් එහි උපදනා විඥානයට දැනෙන්නේ ය. ඝ්‍රාණ විඥානයට දැනෙන්නා වූ රූපධර්‍මය යි. “ගන්‍ධයති අත්තනො වත්ථුං සුචයතීති=ගන්‍ධො” තමා පිළිබඳ නිඃශ්‍රයවස්තුව ප්‍රකාශ කරන්නේ ගන්ධ නම් යනු එහි තේරුම යි.
රස නම්, දිවෙන් විඳ ගත යුතු වූ මධුරාදිය යි. දිව නිසා උපදනා විඥානයට දැනෙන්නේ ය. “රසීයති අස්සාදීයතීති = රසො” විඳ ගනු ලබන්නේ රසය යනු එහි තේරුම යි. “රසන්ති තං සත්තා අස්සාදෙන්තීති=රසො’ සත්වයෝ යමක් විඳ ගණිත් ද, ඒ රසය යනු එහි තේරුම යි.
ඵොට්ඨබ්බ නම්, කයින් දතයුතු රූපය යි. කායවිඥානයට දැනෙන්නේ ය. “ඵුසියතීති = ඵස්සො” සත්වයන් විසින් කාය ප්‍රසාදයේ උපකාරයෙන් වහළින් ස්පර්‍ශ කරණු ලබන්නේ ය, යනු එහි තේරුම යි.
ධම්ම නම්, ප්‍රසාදරූප - සූක්‍ෂමරූප - චිත්ත - චෛතසික - නිර්‍වාණ - ප්‍රඥප්ති යන මේ ය.
එ හෙයින් ඇසින් දැක්ක යුතු නීල-පීතාදී වූ පැහැය හා දිග් - නො දිග් - සිවුරැස් - අටැස් ආදී වූ සටහන් රූපාරම්මණ යි ද, සත්වයන් පිළිබඳ දෙඩුම් - බැණුම් - කියුම් - සිනාසීම් ආදිය හා මිහිඟුබෙර - ගැටබෙර - පණාපෙර ආදී වූ ශබ්ද සද්දාරම්මණ යි ද, කපුරු - කස්තුරි - තුරුවලා ආදී වූ සියලු දුගඳ සුවඳ, ගන්ධාරම්මණ යි ද, මිහිරි - කටුක - තික්තාදී වූ සියලු රස වෙසෙස්, රසාරම්මණ යි ද, උපාදින්නඅනුපාදින්නස්පර්‍ශය, ඵොට්ඨබ්බාරම්මණ යි ද, ප්‍රසාද රූප - සූක්‍ෂමරූප - චිත්ත - චෛතසික - නිර්‍වාණ - ප්‍රඥප්ති යන සය, ධම්මාරම්මණ යි ද දත යුතු ය.
මේ සියලු අරමුණු දිට්ඨ-සිත-මුත යි තෙ පරිදි වන්නේ ය. එහි දිට්ඨ නම්, ඇසින් දක්නා ලද රූපය යි. සුත නම්, කණින් අසන ලද ශබ්දය යි. මුත නම්, නැහයෙන්, දිවෙන්, කයින් ගනා ලද ගඳ - රස - පහස යි.
ඔහුගේ - මොහුගේ - ඇගේ - මැගේ රූපය කදිම ය, ශබ්දය කදිම ය, ගන්ධය කදිම ය, පරිභෝගරසය කදිම ය, පහස කදිම ය යි ඒ රූපාදිය පිළිබඳ සත්‍රී-පුරුෂ නිමිති ගෙණ, අල්ල, පත්ල, ඉඟටිය, බඩ, කන්, මුහුණ, දත්, ඇස්, කන්, පැහැය, නහය, කෙස්, පිහිටීම් යහපත් ය, සිරුරැ ගෑ කොකුම්, කස්තුරි, සඳුන් සුවඳ යහපත් ය, කීකරුකම, දෙතොල වැකුණු කෙළවල රසය, දෙනලද කැඳබත්වල රසය යහපත් ය, ඇඳි රෙදිපිළිවල පහස පැලඳි මල්දම් පහස, අතේ, කටේ, මුහුණේ පහස යහපත් ය, යැම ඊම, වටපිට බැලීම, ගතිගුණ යහපත් ය, සිත් ගන්නේ ය, යනාදි ලෙසින් අනුව්‍යඤ්ජනත් ගෙණ ප්‍රිය වූ අරමුණට සිත මෙහෙයා පියරූපාදී වූ අරමුණු කැත හිතින් වල්හිතින් ශුහ වශයෙන් නිතර බලන්නේ, සිතන්නේ, සිහි කරන්නේ කෙලශ ධර්‍මයන්ට යටත් වූයේ “සුභානුපස්සී” නම.
මෙන්න එය අටුවාව කී සැටි:- “ යො හි පුග්ගලො නිමිත්තග්ගාහං අනුබ්‍යඤ්ජනග්ගාහං ගණ්හන්තො නඛා සොභනාති, ගණ්හාති, අඞ්ගුලියො සොභනාති ගණ්හාති, හත්‍ථපාදා ජඞ්ගා ඌරු කටි උදරං ථනා ගීවා ඔට්ඨා දන්‍තා මුඛං නාසා අක්‍ඛීති කණ්ණභමුකා නලාටං කෙසා සොභනාති ගණ්හාති, කෙසා ලොමා නබා දන්තා තචො සොභනාති ගණ්හාති, වණ්ණො සුභො සණ්ඨානං සුභන්ති ගණ්හාති, අයං සුභානුපස්සී නාම” යනු.
ඉන්ද්‍රියෙසු අසංවුතං = ඉඳුරන්හි හික්මීම් නැති.
ඉන්ද්‍රියසංවරසීලයෙන් තොරවූයේ ය මේ තෙමේ, ඇස්-කන්-නාස් ආදිය නො රක්නා තැනැත්තේ ය. ඇස් කන් නාස් ආදිය නිසා, සිතතුළට වැද ගන්නා ප්‍රියරූපාදී වූ සියලු අරමුණෙහි රාගාදී වූ කෙලෙසුන් උපදවන්නා ය. ඉඳුරන් නිසා උපදනා කෙලෙසුන්ට යටත් වූයේ ය.
චක්ඛු-සොත-ඝාණ-ජිහ්වා-කාය-මන යි, ඉන්ද්‍රිය සයෙකි. විස්තර විසින් දෙවිස්සෙකි. මෙහි කියන්නේ මේ දැක් වූ සය ය.
මෙහි චක්ඛු නම්, රූප දකින තැන යි. නැත, රූප දැකීමේ ශක්තිය යි. එය සසම්භාර - පසාද යි දෙ වැදෑරුම් ය. ලෝකයා විසින් (අප විසින්) ඇසැ යි හඳුන්වන ඇස් (මස්) ගඩුව උපකරණ සහිත බැවින් සසම්භාර චක්ඛු යි කියනු ලැබේ. හිස්මොළයෙන් පැමිණි නහරවැලින් එල්බ පවතී මෙය. මෙහි සෙම් වැඩි තැන් සුදු ය. පිත වැඩි තැන් නිල ය. ලේ වැඩි තැන් රතු ය. පඨවීධාතු වැඩි තැන් තද ය. ආපෝධාතු වැඩි තැන් තෙත් ය. තේජෝධාතුව නිසා උණුසුම් ය. වායෝධාතුව නිසා සැලෙ යි. මේ මෙසේ පිළියෙල වුව ද, රූපදැකීමේ ශක්තියක්, පුළුවන් කමෙක් මෙයට නැත. රූප දකින්නේ පසාදචක්ඛුව යි. එය පිහිටියේ මේ ඇස්ගඩුවෙහි කලු ඉංගිරියාව මැද ය. එයට, ඉදිරියෙහි සිටියවුන්ගේ රූප ඇද ගැණීමෙහි ශක්තියක් තිබේ. මේ ඇස්ගඩු ව පටලසතකින් යුක්ත ය. හොඳට පොළාලු කපුපුලුන් තට්ටු සතක් එක පිට එක පිහිටියා සේ, මේ පටල සත එක පිට එක පිහිටා සිටියේ ය. මතුපිට සිටි කපු පුලුන් තට්ටුවෙහි, පහන් තලතෙල්බින්දුවක් වත්කළ විට, ඒ තෙල් බින්දුව යටට ගලා ගොස්, තට්ටු සතෙහි ම පැතිරී සිටින්නා සේ, පෙර අත් බැව්හි රූපදැකීමේ ආසාව මුල් කොට ඇති කර්‍මයෙන් හටගත් ප්‍රසන්නතාව (රූපදැකීමේ ශක්තිය) ඇස් පටල සතෙහි ම පැතිර පවතී. මේ ය පසාද චක්ඛු. සමහර ආචාර්‍ය්‍ය කෙනෙක් පමණින් මෙය මහමුංපියල්ලක් පමණය යි ද, සමහර කෙනෙක් උකුණු හිසක් පමණය යි ද කියත්. මේ කීම් දෙක ම වරද නැත.
ප්‍රසාදරුපය ඉතා සියුම් ය. ඇස් පියාපත් දෙකක් ඇත්තේ එය රකින්නට ය. එ දෙක, ඇසට යමක් ලං වූ විට ඇස වසයි. මෙයට, තනි ව රූප දකින්නට නො හැකි ය. අචිත්තක බැවිනි. එසේ ම, සිතට ද, තනි ව රූප දකිනු බැරි ය. තමා ඇස නො වන බැවිනි. රූප දකින්නේ, ප්‍රසාදචක්‍ෂුස වස්තු කොට ඇති සිත ය. එය මෙන්න කී සැටි:- “ චක්ඛු රූපං න පස්සති අචිත්තකත්තා, චිත්තං න පස්සති අචක්ඛුකත්‍තා, ද්වාරාම්මණ සඞ්ඝට්ටෙ පන පසාදවත්‍ථුකෙන චිත්තෙන පස්සති” යි. ප්‍රසාද චක්‍ෂුස වස්තු කොට ඇති සිත, රූප දකින්නේ ද, එය නො බිඳී සිටීම, එහි ඉදිරියට රූපයක් ලැබීම, ආලෝකයක් ලැබීම, සිහි කිරීම යන මේවාත් ඇති විට ය. “තත්‍ථ අසම්භින්නත්තා චක්‍ඛුස්ස ආපථගතත්තා රූපානං ආලොකසන්නිස්සිතං මනසිකාරහෙතුකං චතූහි පච්චයෙහි උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං සද්ධිං සම්පයුත්තධම්මෙහි” යි ඒ කීහ.
සොත නම්, කන් සිදුරෙහි, රෝමකූපයක් නිසා පවත්නා ශබ්ද ඇසීමෙහි ශක්තිය යි. සසම්හාර - පසාද යි ඒ දෙපරිදි ය. අප විසින් කණැ යි හඳුන්වනු ලබන්නේ ඇසට පෙණෙන කන් පෙත්ත සහිත වූ කන්බිලය යි. එය උපකරණ සහිත බැවින් සසම්භාරසෝත යි කියනු ලැබේ. ඒ මේ සසම්භාරසෝතබිලය තුළ සිහින් තඹවන් ලොමින් ගැවසී ගත් ඇඟිලිමුදුවක සටහන් ඇති ස්ථානයෙක් ඇත්තේ ය. ඒ ය සෝතප්පසාදය. ඒ ය නියම කණ. ඒ ය ශබ්ද අසන්නේ. පෙර අත්බැව්හි ශබ්ද ඇසීමේ ආසාව මුල් කොට ඇති කර්‍මබලයෙන් හටගත්තේ ය. සසම්භාරසෝතයට ශබ්ද අසන්නට නො හැකි ය. ඒ පිණිස එයට ශක්තියක් නැත. සෝතප්පසාදය ද සෝතවිඤ්ඤාණය වස්තු කොට ඇත්තේ ම ශබ්දශ්‍රවණය කරයි. තව ද නො බිහිරිබව, ශබ්ද ඉදිරියට ඊම, අවකාශය ඇසුරු කිරීම, සිහි කිරීම යන මේ ද ලැබිය යුතු ය. එවිට ය ශබ්ද ඇසිය හැක්කේ.
ඝාණ නම්, ගඳ සුවඳ ඇද ගැණීමට සුදුසු වූ නාසය තුළ පිහිටි ප්‍රසන්නභාවය යි. ගඳ සුවඳ ගැණීමේ ශක්තිය යි. සසම්භාර - පසාද යි මෙහි ද භේද දෙකෙකි. අප විසින් නැහැය යි හඳුන්වනු ලබන්නේ ඇසට පෙණෙන සිදුරු දෙකකින් යුක්ත වූ නාසිකා දණ්ඩය යි. එය ය සසම්භාරඝාණ. එසේ කියන්නේ උපකරණ සහිත බැවිනි. එයට ගඳ සුවඳ දැන ගන්නට බැරි ය. එහි තුළ, එළුකුරයක සටහන් ඇති තැන, ඝ්‍රාණවිඥානාදියට වසතුද්වාරභාවය සිද්ධ කරමින් පිහිටි යේ ඝාණප්පසාදය යි. ඒ ය නැහැ ය. මෙය පෙර අත්බැව්හි ගන්ධතෘෂ්ණාව මුල් කොට ඇති කර්‍මබලයෙන් හට ගත්තේ ය. යම් කිසි ගඳ සුවඳක් ගැටුනු විට ඒ ඝ්‍රාණප්‍රසාදය නිඃශ්‍රය කොට උපදනා ඝ්‍රාණවිඥාන චිත්තයෙන් ගඳ සුවඳ විඳ ගණියි. විකල නො වූ ප්‍රසාදය, ගන්ධාලම්බනය, වාතය, මෙනෙහි කිරීම යනු මේ ද ගන්ධාඝ්‍රාණය පිණිස ලැබිය යුතු ය. එවිට ය ගඳ සුවඳ ඇද ගත හැක්කේ.
ජිහ්වා නම්, රස විඳින තැන ය. දිව ඇසුරු කොට පවත්නා රස විඳ ගැණීමේ ශක්තිය ය. එ ද සසම්හාර-පසාද යි, දෙ පරිදි ය. අප විසින් දිවැ යි හඳුන්වනු ලබන්නී මුව තුළ පිහිටි කෑමට බීමට කතා කිරීමට රුකුල් දෙන දිව ය. ඒ ය, සසම්භාරජිහ්වා. උපකරණ සහිත බැවින් එසේ කියත්. එයට රස විඳින්නට බැරි ය. දිවමුල මැද, මැදින් සිඳ ගත් උපුල්පෙති අගක සටහන් ඇති තැනැ පැතිර ගත්තා වූ ප්‍රසන්නභාවය ජිහ්වාපසාද ය යි කියනු ලැබේ. යටගිය ජාතියේ රස තෘෂ්ණාව මුල් කොට කරන ලද කර්‍මයන්ගේ බලයෙන් හට ගත්තේ ය. ජිහ්වාවිඥානාදියට සුදුසු පරිදි වස්තුද්වාරභාවය සිදු කරමින් පවතී. යම් කිසි මධුරාදී වූ රසයක් එහි වැදුනු විට, ඒ නිඃශ්‍රය කොට උපදනා ජීහවාවිඥානයෙන් රස විඳ ගැණීම කෙරේ. විකල නො වූ ජීහ්වා ප්‍රසාදය, රසාලම්බනය, කෙළය, මනසිකාරය යන මොවුන් එක් වූ විට ය රස විඳ ගැණීම වන්නේ.
කාය නම්, පහස විඳින්නේ ය. සසම්භාර - පසාද විසින් දෙ වැදෑරුම් ය. බඹයක් පමණ වූ මේ ශරීරය සසම්භාරකාය නම් ඇට, සම්, මස්, නහර ආදියෙන් කැටි ව සිටියේ ය. මෙහි කෙස් ලොම් නිය අග, වියලිසම්, ජඨරාග්නි යන මේ හැර අන් සියලු සිරුරෙහි කපුපුලුන් පටලයක් මතුපිට වත්කළ තල තෙලක් සේ පැතිර ගත්තේ කායප්පසාදය වේ. යට ගිය ජාතියේ ඵොට්ඨබ්බ තණ්හාව මුල් කොට කරණලද කර්‍මයන්ගේ බලයෙන් හටගත්තේ ය. කායවිඥානාදියට සුදුසු පරිදි වස්තුද්වාරභාවය සිදු කරමින් පවතී. යම් පහසක් එහි ගැටුනු විට, ඒ ඇසුරු කොට උපදනා කායවිඥානයෙන් පහස විඳ ගණි යි. නො නට නො වියලි කායප්පසාදය, ඵොට්ඨබ්බාරම්මණය, කායප්‍රසාදයට නිඃශ්‍රය වූ පඨවීධාතු ය, මනසිකාරය යන මොවුන් එක් වූ තැන පහස විඳ ගැනීම කෙරේ.
චක්ඛු - සෝත - ඝාණ - ජීහ්වා - කාය යන මේ පස වෙන වෙන ම පඨවී - ආපෝ - තේජෝ - වායෝ, වණ්ණ - ගන්ධ - රස - ඔජා - ජීවිතින්ද්‍රිය යන මොවුන් හා එක් ව ම සිටියි. නො හැර සිටියි.
මන නම්, මෙහි භවාඞ්ගචිත්තය යි. මන යන්නෙන් භවාඞ්ග චිත්තය ගනු ලැබේ, “සාවජ්ජනං භවඞ්ගන්තු මනොද්වාරන්‍ති වුච්චති” යි කී බැවින් එහි ආවර්‍ජනයට නැමී සිටි භවාඞ්ගය ම ගණු ලැබේ. ආචර්‍ජනයට නැමී සිටියේ ම ගත යුතු ය.
මෙසේ සැකෙවින් කියූ මේ ස දෙන, ඇස දැකීමෙහි, කණ ඇසීමෙහි, නැහැය ගඳ සුවඳ ගැණීමෙහි, දිව රසවිඳුමෙහි, කය පහස ගැන්මෙහි, මන අරමුණු මැන බැලීමෙහි අධිපතිභාවය කරණ හෙයින් චක්ඛුන්‍ද්‍රිය-සොතින්‍ද්‍රිණිය-ඝාණින්‍ද්‍රිය-ජිහ්වින්‍ද්‍රිය-කායින්‍ද්‍රිය-මනින්‍ද්‍රිය යි කියනු ලැබේ. “ඉන්‍දට්ඨං කරොති චක්ඛුද්වාරභාවෙන ත ද්වාරකෙහි අත්තනො ඉන්‍දභාවං පරමිස්සරියභාව කරොතීති = චක්ඛුන්‍ද්‍රියං” යන මෙයින් එබව දත හැකි ය. ඒ ඒ ද්වාරයෝ හැම දෙනෙක්, ඒ ඒ ද්වාරයන්හි හටගන්නා වූ චිත්ත- චෛතසිකයන් තමාට අනුකූල කර ගණිත්. ඒ ඒ ද්වාරයෙහි හටගන්නා චිත්ත-චෛතසිකයෝ ඒ ඒ ඉන්ද්‍රියයන්ට අනුව පවතිත්. “චක්ඛු එව ඉන්‍ද්‍රියං=චක්ඛුන්‍ද්‍රියං” යි කී බැවින් චක්‍ෂුස ම ය චක්ඛුන්‍ද්‍රිය වනුයේ. දර්‍ශනකෘත්‍යයෙහි අධිපති වූයේ චක්‍ෂුස ම ය. සෙස්ස ද මෙසේ ය.
ඇස්-කන්-නාස් ආදී වූ සදොරින් සිතට වැද ගන්නා ප්‍රියරූපා දී වූ ස වැදෑරුම් අරමුණෙහි රාග-ද්වේෂ-මෝහාදි ක්ලේශධර්‍මයන්ට ඉපදීමට හැම අතින් ඉඩ කඩ පහසුකම් ඇති වන පරිදි සිහි නුවණින් තොර ව වසන්නේ ‘ඉන්ද්‍රියෙසු අසංවුත’ නමි. ඉන්ද්‍රියයන් කෙරෙහි සංවරයක්, හික්මීමක් නැති ව වසන්නහු රාගද්වේෂමෝහාදික්ලේශධර්‍මයෝ නිතර ලුහු බඳිත්. තමන් යටතට ගණිත්.
භොජනම්හි ච අමත්තඤ්ඤුං = ආහාරයෙහි ද පමණ නො දත්.
මෙහි ආහාරය යි කීයේ, ප්‍රධාන විසින් කබලීකාරාහාරය යි පිඩු පිඩු කොට ගණු ලබන, කඩ කඩ කොට කනු ලබන දේ ය. ඒ මේ අහරසෙවීමෙහි, පිළිගැන්මෙහි, වැලඳීමෙහි, අනුනට දීමෙහි තරම පමණ නො දැන්මෙන්, සිවුපසය ප්‍රත්‍යවේක්‍ෂා නො කොට වැලඳීමෙන්, කුලසංග්‍රහපිණිස දීම නිසා කුලදූෂණයට පැමිණීමෙන්, සිල්වතුන් සඳහා දෙන ලද දෙය නො එසේ වූවනට දීමෙන්, “මේ භෝජනය එක්විසි අන්‍වෙෂණයෙන් ඉපිද වූ හෙයින් ධාර්මික නො වේ, පිණ්ඩපාතචර්‍ය්‍යාදියෙන් ලැබූ මේ භෝජනය ධාර්මික ය” යි භෝජනයෙහි කැප-නො කැපබව නො දැනීමෙන් බොජුනෙහි පමණ නො දන්නේ වේ. මෙතෙමේ එලොව මෙලොව දෙකින් පිරිහේ. භෝජනයෙහි පමණ නො දැන්ම කාමච්ඡන්දාදී පාපධර්‍මයන්ගේ ඉපදීමට හේතු ය.
මේ විස්තර විසින් වදාරණ බුදු රජානන් වහන්සේ “තත්ථ කතමා භොජනෙ අමත්තඤ්ඤුතා? ඉධෙ’කච්චො අප්පටිසඞ්ඛා අයොනිසො ආහාරං ආහාරෙති, දවාය මදාය මණ්ඩනාය විභූසනාය, යා තත්‍ථ අසන්තුට්ඨිතා අමුත්තඤ්ඤුතා අප්පටිසඞ්ඛා භෝජනෙ” යනු වදාළ සේක.
යමෙක් බොජුන්හි, සිවුපසයෙහි මහත් ආශාවෙන් මැඩුනේ, එහි ගැටුනේ, එහි ඇලුනේ, මුසපත් වූයේ පිළිගැණීම් ආදියෙහි පමණ නො දනී ද, ඔහු, දෙනු ලබන හැම දෙයක් ම පිළිගණියි. පමණ ඉක්මවා පිළිගණි යි. සිල්වතෙක, ධූතාඞ්ගධාරියෙක, වන වැසියෙකැ යි මහාජනයාහට හඟව හඟවා ද සිවුපසය ම සොය යි, “මට මේ පමණැ” යි කිසිවිටෙකත් නො කිය යි. දරින් ගින්න, දියෙන් මුහුද, පුරවාලන්නට සතුටු කරන්නට බැරිවා සේ, මහත් ආශා ඇත්තහු සිවු පසය කොතරම් දුන්නේ ද සතුටු කරන්නට නො හැකි ය. තව තවත් පතන්නේය. සොයන්නේය.
කුසීතං = අලස වූ.
ගාථාවෙහි එන තං” යන්නට වෙසෙසුන් ව සිටියේ ය. කාම-ව්‍යාපාද-විහිංසා යන පාපවිතර්‍කයන්ට යටත් ව එ ලොව මෙ ලොව වැඩ සදාලන ක්‍රියාවන්ගෙන් තොර වූයේ එයින් ඈත්හි වූයේ ‘කුසිත’ නම. වස්තුකාම-ක්ලේශකාම විසින් කාමය දෙ පරිදි වේ. ඒ දෙ වැදෑරුම් වූ කාමයන් පිළිබඳ තැකීම, සිහිකිරීම, එහි සිත යෙදීම කාම විතර්‍ක යි. මෙත්සිතට පටහැනි ව සිටි විරුද්ධ ව සිටි වනස්සිතිවිල්ල ව්‍යාපාදය යි. එය “අන්‍යයෝ නැසෙත්වා, වැනසෙත්වා” යනාදී ලෙසින් සිතේ පවතින්නේ ය. මේ සිතිවිල්ල නිසා, සිතෙහි ප්‍රකෘතිගතිය නැසී යෑමෙන්, සිත පිණුල් බතක් මෙන් කුණුවීමට දූෂිතභාවයට පැමිණේ. මනා හැසිරීම, හිත සුව, මේ සිතිවිල්ලේ හේතුවෙන් නැසී යයි. සිත, ඒ සිතිවිල්ලෙන් යුක්ත ව සිතන සිතුම් පැතුම් ව්‍යාපාද විතර්‍ක යි. අතින් පයින්-දණ්ඩෙන්-මුගුරෙන්-සැතින්-කැට කැබලිත්තෙන්-අවියෙන්-රැහනින් යන යම් කිසිවකින් අනුන් තැළීම, පෙළීම විහිංසා නම. ඒ හිංසා සිතින් කරන තැකුම්, බැලුම්, සිහිකිරීම්, විහිංසාවිතර්‍ක යි.
කාමවිතර්‍කය ප්‍රිය වූ මන වඩන්නා වූ සත්වයන් හා සංස්කාරයන් ගැන සිතන බලන තැනැත්තාහට උපදී. ව්‍යපාද විතර්‍කය අප්‍රිය වූ මන නො වඩන්නා වූ සත්වයන් හා සංස්කාරයන් ගැණ කිපී බලන්නහුට උපදී. විහිංසාවිතර්‍කය උපදනේ සත්වයන් ගැණ බලන්නහුට ය. සංස්කාරයන් කෙරෙහි එය නූපදී.
මේ විතර්‍කයනට වශී වූයේ යටත් වූයේ විතර්‍කයන් නිසා මැඩුනේ ග්‍රන්ථධුරයෙහි, විදර්‍ශනාධුරයෙහි, වත්පිළිවෙත් පිරීමෙහි මැලි වේ. එයින් ඔහු එ ලොව මෙ ලොව දෙකින් පිරිහේ. කුසීතවස්තු අටෙකි. පහත දැක්වෙන්නේ ඒ ය.
සසුන් වන් පැවිද්දන් විසින්, තමන් සමාදන් ව ගත් සිල් පිරිසිදු කරන්නට, තහවුරු කරන්නට බුදුරජුන් විසින් දක්වා වදාළ වත්පිළිවෙත් නො පිරිහෙලා කළයුතු ය. දාගැබ්-මහබෝ ආදියෙහි වත්, ආචාර්‍ය්‍ය-උපාධ්‍යායයන් පිළිබඳ වත්, ගිලන් මහලු ආදීන් පිළිබඳ වත්, ගමික ආගන්තුකාදීන් පිළිබඳ වත් යන මේ ආදී වූ කුදු මහත් සියලු වත්පිළිවෙත්, පැවිද්දන් විසින් සිල් පිරෙන්නට සිල් පිරිසිදු වන්නට කළයුතු වත් ය. වත්පිළිවෙත් නො කළ-නො කරණ පැවිද්දාගේ සිල් පිරිසිදු නො වේ. නිවන් පිණිස ඒ පවත්නේ නො වේ. මෙන්න ආගම:-
“වත්තං න පරිපූරෙන්තො න සීල පරිපූරතී,
අසුද්ධසීලො දුප්පඤ්ඤො දුක්ඛා න පරිමුච්චති”
එහෙත් වත්පිළිවෙත් කළ යුතු තැනැ ඇතැම් මහණෝ, “මා විසින් දැන් වත්පිළිවෙත් කර්‍මාන්ත කළ යුතු වුව ද, ඒ කළොත් මාගේ සිරුර වෙහෙසට පත් වන්නේ ය, එහෙයින් දැන් නිදමි” යි. අදහස් කොට නිදත්. නො පැමිණි ගුණයට පැමිණීමට, නො දත් දෙය දැන ගැණීමට, ප්‍රත්‍යක්‍ෂ නො කළ ධර්‍මය ප්‍රත්‍යක්‍ෂ කිරීමට වීර්‍ය්‍ය නො කරති. මේ මුල් කුසීතවස්තුව යි.
“ඉධාවුසො භික්ඛුනා කම්මං කාතබ්බං හොති, තස්ස එවං හොති, කම්මං ඛො මෙ කාතබ්බං භවිස්සති, කම්මං ඛො පන මෙ කරොන්තස්ස කායො කිලමිස්සති, හන්දාහං නිපජ්ජාමීති, සො නිපජ්ජති, න විරියං ආරභති, අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය, ඉදං පඨමං කුසිනවත්‍ථු” යනු එහි පාළිය යි.
යම් කිසි පැවිද්දකු විසින් යම් කිසි වතක් පිළිවෙතක් කර්‍මාන්තයක් කරණ ලද්දේ වේ ද, එකල ඔහුට, “මම වත් පිළිවෙත් කර්‍මාන්ත කෙළෙමි, එයින් මාගේ සිරුර වෙහෙසට වැටින, බුදියෙමි” යි ඔහු නිද යි. තමන් කෙරෙහි නැති ගුණදහම් ඇති කර ගැණීමට විර්‍ය්‍ය නො කරයි. මේ දෙවන කුසීතවස්තුව යි. මෙන්න ඒ පාළි ය:-
“පුනචපරං, ආවුසො භික්ඛුනා කම්මං කතං හොති, තස්ස එවං හොති, අහං ඛො කම්මං අකාසිං, කම්මං ඛො පන මෙ කරොන්තස්ස කායො කිලන්තො, හන්දාහං නිපජ්ජාමීති සො නිපජ්ජති, න විරියං ආරභති, අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය, ඉදං දුතියං කුසීතවත්‍ථූ” යනු.
යම් කිසි පැවිද්දකුට යා යුතු ගමනක් එළඹ සිටි කල්හි “මට දැන් යා යුතු ගමනක් තිබේ, මග යන විට මාගේ සිරුර විඩාවට පත් වේ, එ හෙයින් ගමන නවතා බුදියමි” යි ඔහු බුදිය යි. නො පැමිණි, නො ලත්, නො දත් ගුණදහම් ලං කර ගැණීමට දියුණුකර ගැණීමට වීර්‍ය්‍ය නො කරයි. මේ තෙවන කුසීත වස්තුව යි. එහි පාළිය මේ:-
“ පුනචපරං ආවුසො භික්ඛුනා මග්ගො ගන්තබ්බො හොති, තස්ස එවං හොති, මග්ගො ඛො මෙ ගන්තබ්බො භවිස්සති, මග්ගං ඛො පන මෙ ගච්ඡන්තස්ස කායො කිලමිස්සති, හන්දාහං නිපජ්ජාමීති සො නිපජ්ජති, න විරියං ආරභති, අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය, ඉදං තතියං කුසීතවත්‍ථු” යනු.
යම් කිසි පැවිද්දෙක් ගමනක් ගොස් අවුත්, වෙහෙසට පත් ව, “මම මේ ගමනින් තදින් වෙහෙසට පත් වීමි’ යි නිදා ද, ඔහු නො පැමිණි, නො ලැබූ නො දත් ගුණදහම් වඩන්නට වීර්‍ය්‍ය නො කර යි. මේ සිවුවන කුසීතවස්තුව යි. මේ ඒ පාළිය:-
“ පුනචපරං ආවුසො භික්ඛුනා මග්ගො ගතො හොති, තස්ස එවං හොති, අහං ඛො මග්ගං අගමාසිං, මග්ගං ඛො මෙ ගච්ඡන්තස්ස කායො කිලන්තො හන්දාහං නිපජ්ජාමීති සො නිපජ්ජති, න විරියං ආරභති, අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය, ඉදං චතුත්‍ථං කුසීතවත්‍ථු” යනු.
ගමක හෝ නියම්ගමක, ගෙ පිළිවලින් පිඬු සිඟා යන පැවිද්දකුට, කටුක වූ හෝ ප්‍රණීත වූ හෝ ආහාරයක් සෑහෙන පමණින් නො ලැබුනු විට “පිඩු සිඟා ගිය මට කටුක වූ හෝ ප්‍රණීත වූ ආහාරයක් මට සෑහෙන තරමට නො ලැබුනේ ය, එ හෙයින් සිරුර විඩාවට පත් විය, කිසිවක් කරන්නට දැන් නො හැකි ය, නිදමි” යි ඔහු නිද යි. ගුණධර්‍ම වැඩීමට වීර්‍ය්‍යය නො කර යි. මේ පස්වන කුසීතවස්තුව යි. මෙන්න පාළිය:-
“පුනචපරං ආවුසො භික්ඛු ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තො න ලභති ලූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්‍ථං පාරිපූරිං, තස්ස එවං හොති, අහං ඛො ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තො නාලත්‍ථං ලූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්‍ථං පාරිපූරිං, තස්ස මෙ කායො කිලන්තො අකම්මඤ්ඤො හන්දාහං නිපජ්ජාමීති සා නිපජ්ජති, න විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය, ඉදං පඤ්චමං කුසීත වත්ථු” යනු.
ගම් නියම්ගම්හි ගෙ පිළිවෙලින් පිඬු සිඟා ගිය භික්‍ෂු නම කටුක වූ හෝ ප්‍රණීත වූ ආහාරයක් සෑහෙන පමණ ලැබුනු විට “මම පිඬු සිඟා ලත් ආහාරය සෑහෙන පමණ අනුභව කෙළෙමි, එයින් සිරුර බර විය, කටයුතු කරණු බැරිය, නිදමි” යි ඔහු නිද යි. ගුණදහම් පිණිස වීර්‍ය්‍ය නො කරයි. මේ සවන කුසීතවස්කුව යි. එහි පාළිය මේ:-
පුනචපරං ආවුසො භික්ඛු ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තො ලභති ලූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්‍ථං පාරිපූරිං තස්ස එවං හොති, අහං ඛො ගාමං වා පිණ්ඩාය චරන්තො අලත්‍ථං ලූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාව දත්‍ථං පාරිපූරිං, තස්ස මෙ කායො ගරුකො අකම්මඤ්ඥො මාසාචිතං මඤ්ඤො, හන්දාහං නිපජ්ජාමීති සො නිපජ්ජති, න විරියං ආරභති, අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසුච්ඡිකතස්ස සච්ඡිකිරියාය, ඉදං ඡට්ඨං කුසීත වත්ථු” යනු.
යම් කිසි පැවිද්දෙක් යම්තම් ආබාධයක් ඇති විට, “මම ලෙඩෙක්මි, මට වැඩ කරණු බැරි ය, වහ බැඳ ගෙණ හිඳිමි” යි නිදා ද, ඔහු ගුණදහම් වඩන්නෙක් නො වේ. ඒ පිණිස වීර්‍ය්‍ය කරන්නෙක් නො වේ. මේ සත්වන කුසීතවස්තුව යි. පාළිය මේ:-
“පුනචපරං ආවුසො භික්ඛුනො උප්පන්නො හොති අප්පමත්තකො ආබාධො, තස්ස එවං හොති, උප්පන්නො ඛො මෙ අප්පමත්තකො ආබාධො, අත්‍ථි කප්පො නිපජ්ජිතුං හන්දාහං නිපජ්ජාමීති සො නිපජ්ජති, න විරියං ආරභති, අප්පත්තස්ස පතතියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය, ඉදං සත්තමං කුසීතවත්ථූ” යනු.
භික්‍ෂු තෙමේ ලෙඩින් නැගී සිටියේ, “මම ලෙඩින් නැගිට වැඩි දවසෙක් ගත නො වී ය, මාගේ ශරීරය දුර්‍වල ය, කටයුතුවලට නුසුදුසු ය, එ හෙයින් නිදමි” යි නිද යි. ඔහු නො පැමිණි ගුණයන්ට පැමිණෙන්නට වීර්‍ය්‍ය නො කරයි, මේ අටවන කුසීත වස්තුව යි.
“පුනචපරං ආවුසො භික්ඛු ගිලානා වුට්ඨිතො හොති, අචිරවුට්ඨිතො ගෙලඤ්ඤා, තස්ස එවං හොති, අහං ඛො ගිලානා වුට්ඨිතො අචිරවුට්ඨිතො ගෙලඤ්ඤා, තස්ස මෙ කායො දුබ්බලො අකම්මඤ්ඤො අත්‍ථි කප්පො නිපජ්ජීතුං, හන්දාහං නිපජ්ජාමීති සො නිපජ්ජති, න විරියං ආරභති, අප්පත්තස්ස පතතියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය, ඉදං අට්ඨමං කුසීතවත්ථු” යනු එහි පාළිය.
කුඩා පසුරකට නැග මුහුද එතෙර යනු කැමැත්තේ, ඉවුරට නො පැමිණ මුහුද මැදදී ම දියෙහි කිඳා බස්නේ, මස් කැසුබ් ආදීන්ට යම් සේ ආහාර වේ ද, එ මෙන් වීර්‍ය්‍යාරම්භරහිත වූ අකමර්‍ණ්‍ය වූ ක්ලේශධර්‍මයන්ට යටත් වූ පුද්ගලයාගේ ආශ්‍රය හේතුයෙන්, යහපත් සිල් ඇත්තේ නමුත්, හටගත් කාම විතර්‍කාදීන් විසින් මැඩ ගණු ලබන්නේ සසර පරතෙරැ යි කියූ නිවණට යා නො හැකි ව සසර සයුරෙහි ගැලී නැසී යන්නේ ය. මෙන්න එබව වදාළ හැටි:- “එවං කුසීතං ආගම්ම සාධු ජිවිපි සීදති” යි
හීනවීරියං = වීර්‍ය්‍ය රහිත වූ වීර්‍ය්‍යයයෙන් තොර වූ.
‘තං’ යන්නට විශේෂණ යි හිඳීම - සිටීම - නිදීම - සක්මන් කිරීම යන ඉරියවු සතරෙහි ද, කුදු මහත් වත්පිළිවෙතෙහි ද, සිය දිවිපෙවෙත පිරිසිදු කිරීමෙහි ද පැවැත්විය යුතු කායිකවීර්‍ය්‍යයෙන් හා රාගද්වේෂමෝහාදික්ලේශධර්‍මයන් තැවීමට වැඩිය යුතු වූ චෛතසිකවීර්‍ය්‍යයෙන් පිරිහුනු තැනැත්තේ ය ‘හීනවීරිය’ නම්.
තං වෙ පසහති මාරො = ඒ (මෙබඳු) පුද්ගලයා මාර තෙමේ ඒකාන්තයෙන් මැඩලයි.
රූපාදිඅරමුණු ශුභවශයෙන් බලමින් වසන, ඇස්-කන්-නාස් ආදී වූ ඉඳුරන් කෙරෙහි හික්මීමක් නැති, (ඉඳුරන් නො හික්ම වූ) කෑම්, පීම්, ඇඳුම්, පැලඳුම් ආදියෙහි පමණ නො දත් (පමණ ඉක්මවා කෑම් පීම් ඇඳුම් පැලඳුම් කරණ) කාම විතර්‍කාදීන්ට යටත්වීමෙන් දියුණුවට හිත වූ කටයුතුවල මැලි වූ කායික-චෛතසික වීර්‍ය්‍යයෙන් තොර වූ පුද්ගලයා, සිය සිත්හි උපන් බලගතු කෙලෙස් මරු තෙමේ ඒකාන්තයෙන් යටපත් කොට ඔබා ගණි යි.
‘තං’ යනු සර්‍වනාම යි. ‘ වෙ’ යනු නිපාත යි. “න වෙ අනත්‍ථ කුසලෙන අත්‍ථචරියා සුඛාවහා” යනාදි තන්හි සේ එකාන්තාර්‍ත්‍ථයෙහි ය ඒ. ‘පසහති’ යනු ක්‍රියාපද යි. ‘මාරො’ යනු එහි කර්‍තෘපද යි. එයට කර්‍මය වූයේ තං, යන්න ය.
මාර නම්, මෙහි ක්ලේශමාර තෙමේ ය. සත්වසන්තානයෙහි උපදනා රාගද්වේෂමෝහාදී වූ ක්ලේශසමූහය තෙමේ, සත්ව සන්තානයෙහි ම උපදනා ගුණධර්‍මයන් මරණ බැවින්, විනාශ කරණ බැවින්, සත්වයන් අවැඩෙහි යොදන බැවින් මාර නම් වේ. ඛන්ධ-කිලේස-අභිසංඛාර-මච්චු-දේවපුත්ත යි මරහු පස් දෙනෙක් ආගමෙහි දක්වන ලදහ. (චිත්තවර්‍ගයෙහි “යොධෙථ මාරං පඤ්ඤායුධෙන” යන්නට කළ පරිකථාව බලනු.)
“කුසලධම්මෙ මාරෙතීති - මාරො”යනු නිරුක්ති යි. අර්‍ත්‍ථ කථාවන්හි මාර - නමුචි - තණ්හා - පමත්තබන්‍ධු, යි මාරයාට නම් සතරෙක් ආයේ ය. කෝෂග්‍රන්ථයන්හි තවත් නම් දැක්ක හැකි ය.
වාතො රුක්ඛං ඉව දුබ්බලං = වාතය දුර්‍වල වෘක්‍ෂයක් (මුලින් උදුරා දමන්නාක්) මෙනි.
මහත් වේගයෙන් හමා යන වාතය තෙමේ කැඩී බිඳී ගිය ඉවුරක හටගත් මුල් ශක්තිමත් නො වූ ගසක, මල් කොළ ගෙඩි ආදිය කඩා විසුරුවා හැර, ලොකු කුඩා අතු සිඳ බිඳ දමා, ගස උදුරා උඩුකුරු කොට හෙලා ලන්නේ යම්සේ ද, එසේ ක්ලේශධර්‍මයන්ට යටත් වූ ක්ලේශධර්‍මයන් දියුණු තියුණු කරණ පුද්ගල තෙමේ, ඔහු සිතට නැගී සිටි කෙලෙස් මරු විසින් යටපත් කරණු ලබන්නේ ය. මැඩලනු ලබන්නේ ය. බලන්න මේ කී සැටි:-
“යථා හි සො වාතො තස්ස රුක්ඛස්ස පුප්ඵපලාසාදිම්පි සාදෙති විනාසෙති ඛුද්දකසාඛාපි භඤ්ජති මහාසාඛාපි භඤ්ජති සමූලකම්පි තං රුක්ඛං උබ්බත්තෙත්‍වා පාතෙත්‍වා උද්ධමූලං අධොසාඛං කත්‍වා ගච්ඡති, එවමෙවං එවරූපං පුග්ගලං අන්තො උප්පන්තො කිලෙසමාරො පසහති” යි.
තව ද, බලගතු වාතයෙන් දුබල ගසෙහි මල් කොළ ගෙඩි ආදිය කැඩී විසිරී යන්නා සේ, ක්ලේශයන්ට යටත් වූ ක්ලේශයන් විසින් ඔබා ගත් පුද්ගල තෙමේ (ශ්‍රමණ තෙමේ) අපායට නො බිය ව ක්‍ෂුද්‍රානුක්‍ෂුද්‍රකාපත්තීන්ට පැමිණේ. ලොකු කුඩා අතු කැඩී බිම හෙන්නා සේ, නිසගිපචිති ආපත්ති ආදියට හා සඞ්ඝාදිසේසාපත්තීන්ට පැමිණේ. මුළුමනින් ගස ඉදිරී බිම ඇද වැටෙන්නා සේ, පාරාජිකාපත්තීන්ට පැමිණේ. මෙසේ ඔහු ස්වාක්ඛාතසාසනයෙන් බැහැර ගොස් ගිහිබවට පැමිණේ ය, යි වදාළ සේක බුදුරජාණන් වහන්සේ.
මේ වදාළ සැටි:-
“බලවවාතො දුබ්බලරුක්ඛස්ස පුප්ඵපලාසාදිසාදනං විය එවරූපො පුග්ගලො ඛුද්දානුඛුද්දකාපත්තිආපජ්ජනම්පි කරොති. ඛුද්දකසාඛාභඤ්ජනං විය නිස්සග්ගියාදීආපත්තී ආපජ්ජනම්පි කරොති. මහාසාඛා භඤ්ජනං විය තෙරස සඞ්ඝාදිසෙසාපත්තිආපජ්ජනම්පි කරොති. උබ්බත්තෙත්‍වා උද්ධමූලකං හෙට්ඨාසාඛං කත්‍වා පාතනං විය පාරාජිකා පජ්ජනම්පි කරොති” යි.
අසුභානුපස්සිං විහරන්තං = අශුභය යි නැවැත නැවැත දක්නා සුලු ව වසන.
උද්ධුමාතකාදී වූ යම්කිසි අශුභයක්, කෙශාදී වූ යම්කිසි කුණපයක් අශුභ ය, යි ඇති සැටියෙන් ගෙණ රෑ දෙවේලේ බලනුයේ සිතනුයේ මෙනෙහි කරනුයේ ‘අසුභානුපස්සී’ නම්.
උද්ධුමාතක - විනීලක - විපුබ්බක - චිච්ඡිද්දක - වික්ඛායිතක - වික්ඛිත්තක - හතවික්ඛිත්තක - ලොහිතක - පුළවක - අට්ඨික යි: අසුහ දසයෙකි.
එහි සුලඟින් පිම්බුනු සම්පසුම්බියක් සේ ඉදිමී ගිය මළ සිරුර ‘උද්ධුමාත’ නමි. එය ම පිළිකුල් බැවින් නින්දිත වූයේ, කයන්නකින් වැඩි කොට, ‘උද්ධුමාතක’ යි කියනු ලැබේ. සුදු රතු ඈ විසින් මුසු පැහැ ඇති, පෙර පැවැති පැහැයෙන් අන් පැහැයකට පෙරළුනු මළසිරුර පිළිකුල් බැවින් නින්දිත වූයේ ‘විනීලක’ නමි. ඇඟමස් උස් ව සිටි තැන රත් පැහැය ද, සැරව රැස් ව සිටි තැන සුදු පැහැය ද, තැන තැන නිල්පිළියක් පෙරවියා සේ නිල් පැහැය ද ඇති මළසිරුරටත් මේ නම යෙදේ. කැඩී බිදී ගිය තැනින් වැගිරෙන සැරව ඇති සිරුර නින්දිත වූයේ ‘විපුබ්බක’ නමි. දෙ කඩට කැපුනු මැදින් දෙකට සිඳුනු සිරුර නින්දිත වූයේ ‘විච්ඡිද්දක’ නමි. බලු සිවල් ගිජුලිහිණි කවුඩු උකුසු ආදීන් විසින් නොයෙක් ලෙසින් ඇඟ මස් ඇද කඩා කෑයේ, එහෙයින් නින්දිත වූයේ ‘වික්ඛායිතක’ නමි, බලු සිවල් ආදීන් විසින් මස් කඩා කෑමෙන් වෙන් වෙන් ව ගොස් තැන තැන විසුරුණු අවයව ඇත්තේ, එ හෙයින් නින්දිත වූයේ ‘වික්ඛිත්තක’ නමි. තැනක අත්, තැනක පා ඈලෙසින් විසුරුණු අත් පා ඇති මළසිරුරය මේ. සතුරන් විසින් කඩු තෝමර ආදියෙන් ඇණ කඩා හෙලීමෙන් විසුරුණු අවයව ඇත්තේ, එහෙයින් නින්දිත වූයේ ‘හතවික්ඛිත්තක’ නමි. කවුඩු අඩිලෙසින් ආයුදවලින් අඟ පසඟ, ඇණ කොටා තැනැ තැනැ විසුරුණු අවයව ඇති මළසිරුරට ය මේ නමි, තැනින් තැනින් ලේ ගලන, වැගිරෙන ලෙයින් වැකුණු සිරුර ය නින්දිත බැවින් ‘ලොහිතක’ නමි. පණුවන් වගුරු වන්නේ, පණුවන්ගෙන් අතුරු සිදුරු නැති ව සිටියේ, එහෙයින් නින්දිත වූයේ ‘පුළවක’ නමි. ලේ මස් නහර දිය වී ගොස් ඉතිරි වූ ඇටසැකිල්ල නින්දිත බැවින් ‘අට්ඨික’ නමි. මෙහි එක එක ඇටය ද ඇට සැකිල්ලය, යි කිය හැකි ය.
මේ දස අසුභයන් නිසා උපන් නිමිති ද, ඒ නිමිතිවල ලැබූ ධ්‍යානය ද මේ නම්වලින් ම හඳුන් වත්. මින් එක්තරා අසුභයක් ඉදිරියට ගෙණ, සිතා මතා බලන්නහුගේ සිත, කිසිලෙසකින් “රූපය සුභය, කදිමය, හඬ කදිමය” යනාදී ලෙසින් පහත් අරමුණුවල නො ඇලෙයි. විස්තරය මතු එන්නේ ය.
කෙස් - ලොම් - නිය - දත් - සම් - මස්පිඩු - නහර - ඇට - ඇටමිදුලු - වකුගඩු - හදමස් - අක්මා - දලබූ - බඩදිව - පපුමස් - අතුනු - අතුණුබහන් - නොදිරූ අහර - මල - හිස්මොළ - පිත - සෙම - සැරව - ලේ - දහ - මේද - කඳුලු - වුරුණු - කෙල - සොටු - සඳමිදුලු - මූත්‍ර යන මොවුහු මේ දෙතිස් කුණපයෝ ය.
“කෙස් පැහැයෙන් අමු පෙණල ඇට සේ කලු ය, සටහන් විසින් දික් වූ වට වූ තරාදිදණ්ඩක් වැනි ය, දිසා විසින් උඩ දිසායෙහි හට ගත්තේ ය, දෙපස කන් සිළුවෙන්, ඉදිරියෙහි නළල් කෙළවරින්, පිටිපසින් ගලවලුයෙන් සීමා කරණ ලද්දේ ය, හිස්කබල වෙළා සිටි අලුත් හම, අවකාශය කොට සිටියේ ය, හිස වෙළා සිටි සමෙහි වී අගක් පමණ ඇතුළට වැද ගත්තේ ය, යටින් තම මුලින්, උඩින් අහසින්, සරස උනුන්ගෙන් වෙන් කරන ලද ය” යන වණ්ණ - සණ්ඨාන - දිසා - ඕකාස - පරිච්ඡෙද වශයෙන් මේ දෙ තිස් කුණපයන් සිතා මතා බලන්නහුගේ සිත කිසි ලෙසකින් රූපාදි අරමුණුවල නො ඇලෙයි, (විස්තර විශුද්ධි මාර්‍ගයෙන් දතයුතුය)
ඉන්‍ද්‍රියෙසු සුසංවුතං = ඉඳුරන්ගි මොනවට හික්මුනු. ඉඳුරන් මැනැවින් හික්ම වූ.
ඇස්-කන්-නාස් ආදී වූ ඉඳුරන්ගේ ඉදිරියට එන ගෑණු පිරිමි ඈ නිමිති හා අත් පා මදසිනා ආදී වූ කුඩා නිමිති, “එසා සුභා, සුසණ්ඨානා, එතිස්සා හත්‍ථා සොභනා, පාදා සොභනා, මුඛං සොභනං” යි නො ගෙණ නො සලකා නො සිතා දුටු පමණෙහි ම පිහිටා සිහියෙන් රැකගත් ඉඳුරන් ඇත්තේ ‘ ඉන්ද්‍රියෙසු සුසංවුත’ නම. ඉන්ද්‍රියසංවරසීලයෙන් සිල්වත් වූයේ ය මේ. මේ වදාළ සැටි. බලන්න:-
“සො චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති නානුබ්‍යඤ්ජනග්ගාහී, යත්‍වාධිකරණ මෙතං චක්ඛුන්‍ද්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්‍වාස්සවෙය්‍යුං, තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති චක්ඛුන්ද්රියං, චක්ඛුන්‍ද්‍රියෙ සංවරං ආපජ්ජති, සොතෙන සද්දං සුත්‍වා -පෙ- ඝානෙන ගන්‍ධං ඝායිත්‍වා -පෙ- ජිහ්වාය රසං සායිත්‍වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්‍වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හොති නානුබ්‍යඤ්ජනග්ගාහී, යත්‍වාධිකරණමෙතං මනින්‍ද්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්‍වාස්සවෙය්‍යුං, තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති මනින්‍ද්‍රියං, මනින්‍ද්‍රියෙ සංවරං ආපජ්ජති” යි.
පාතිමොක්ඛසංවරසීලයෙහි පිහිටි මහණ තෙමේ ඇසින් රූපයක් දැක්කේ එහි නිමිති නො ගණි යි. අනුව්‍යඤ්ජන නො ගණි යි. යමක් හේතු කොට සංවර නො කළ නො හික්ම වූ චක්‍ෂුරින්‍ද්‍රිය (ඇස) ඇත්තහු, අභිද්ධ්‍යාදෞර්‍මනස්‍ය යන ලාමක අකුශල ධර්‍මයෝ ලුහු බඳිත් ද, (වසා ගන්නෝ ද, (එහෙයින්) චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරය පිණිස පිළිපදී. චක්‍ෂුරින්ද්‍රිය රැක ගණි යි. කණින් ශබ්දය අසා, නැහයෙන් ගඳ සුවඳ ඇදගෙණ, දිවින් රස බලා, කයින් පැහැසිය යුත්ත පහසා, සිතින් ධර්‍මය දැන නිමිති නො ගණි යි. අනුව්‍යඤ්ජන නො ගණි යි. මෙකී ඇස් කන් නාස් ඈ ඉඳුරන් නො හික්ම වූ කල්හි ලාමක අකුශල ධර්‍මයෝ ඒ ඉඳුරන් නො රැකී මහණහු ලුහු බැඳ එන්නාහ. ඔහු පසු පස්සේ එලවා එන්නෝ ය. එහෙයින් මෙකී ඉඳුරන්හි සංවරය පිණිස පිළිපැදිය යුතු ය. මෙකී ඉඳුරන් රකියි. එහි සංවරයට පැමිණේ යනු, එහි කෙටි තේරුම යි.
මෙසේ සත්‍රී-පුරුෂයන්ගේ කුදු මහත් නිමිති, හැඩහුරුකම්, අඩයාලම් ආදිය කදිම ය, සිත්කලු ය, මනරම් ය, සිත් ගන්නේ ය, ඇසට රසඳුනෙක, කණට මිහිරක, නැහැයට සුවඳෙක, දිවට රසයෙක, ඇඟට සැනසුමෙක යනාදී ලෙසින් නො පිළිගෙණ ඇති තතුයෙහි පිහිටා සිටි පුද්ගල තෙමේ ය චක්‍ෂුරින්ද්‍රියයෙහි සංවරයට පැමිණෙන්නේ. චක්‍ෂුරින්ද්‍රිය රකින්නේ.
චක්‍ෂුරින්ද්‍රියයෙහි සංවරයෙක් හෝ අසංවරයෙක් නැත. ප්‍රසාද චක්‍ෂුස නිසා සිහිය හෝ සිහිමුළාව නූපදී. යම් කලෙක්හි රූපාලම්බනයෙක් ඇසට හමු වේ ද, එකල හවාඞ්ගචිත්තය දෙවරක් ඉපිද නිරුද්ධ වේ. ඉන් පසු ක්‍රියාමනෝධාතුච්ත්තය ආවර්‍ජන කෘත්‍යය සිද්ධ කරමින් එක් වරක් ඉපිද නිරුද්ධියට යයි. අනතුරු ව පිළිවෙළින් චක්‍ෂුර්විඥානචිත්තය දර්‍ශන කෘත්‍යය සිද්ධ කරමින් එක් වරක් ද, විපාකමනෝධාතුචිත්තය අරමුණු පිළිගැණීම කරමින් එක් වරක් ද, විපාකඅහේතුකමනෝවිඥානධාතුචිත්තය අරමුණු තීරණය කරමින් එක් වරක් ද, ක්‍රියාහේතුකමනෝවිඥානධාතු චිත්තය අරමුණු නියම කරමින් එක් වරක් ද ඉපිද නිරුද්ධ වෙති. අනතුරුව සිත ජවන් වසයෙන් සත් වරක් ඉපිද නිරුද්ධ වේ. මෙතෙක් සිත් අතුරෙහි භවාඞ්ග සිත් උපදනා කාලයෙහි ද, ආවර්‍ජනාදී වූ එක්තරා සිතක් උපදනා කාලයෙහි ද සංවරයෙක් හෝ අසංවරයෙක් නො වේ. ඉදින් ජවන් සිත් උපදනා කාලයෙහි අමනසිකාර හේතුවෙන් ලෝභ-දෝස-මෝහ-අහිරික-අනොත්තප්පාදී වූ පාපචෛතසික ධර්‍මයෝ ඒ ජවන් සිත් හා එක් ව යෙදෙත් ද ඒ හේතු කොට ය දුසිල් බවෙක් හෝ සිහිමුළා බවෙක් හෝ නො දැනීමෙක් හෝ උපදනේ. ඒ ය අසංවර නම්. මෙසේ ජවන් කාලයෙහි වන්නා වූ අසංවරය ම චක්‍ෂුරින්ද්‍රියයෙහි අසංවර ය යි කියනු ලැබේ, ජවන් කාලයෙහි යෝනිසෝමනසිකාරයෙන් යෙදී සංවරය නො කෙළේ නම්, චක්‍ෂුර්ද්වාරයත් භවාඞ්ගචිත්තයත් ආවර්‍ජනාදිවීථිචිත්තයනුත් නො රැකියවුන් ම වන බැවිනි ඒ.
නුවර සතර වාසල් දොර නො වසා, නුවර ඇතුළෙහි වූ ගේ දොර කොටු ගැබ් ආදිය වැසූයේ නමුත්, එයින් නුවර තුළ වූ සියලු බඩු නො රැකුනේ වේ. නුවරදොරින් නුවරට වැද සොරහු යමක් කරනු කැමැති නම්, ඒ හැම එකක් ම කෙරෙති. එපරිද්දෙන් ජවන් කාලයෙහි දුසිල් බැව් ආදිය උපන් කල්හි ජවන් සිත්වල සංවරයෙක් නො ලැබේ. එයින් ම චක්‍ෂුරාදිද්වාරයෝ ද ආවර්‍ජනාදිවීථිචිත්තයෝ ද නො රැකෙති. මේ ජවන් සිත්හු යෝනිසෝමනසිකාරහේතුයෙන් කුශල පක්‍ෂයෙහි වූ කුශල පක්‍ෂයට අයත් සමෘති-ප්‍රඥා-ක්‍ෂාන්ති-වීර්‍ය්‍යසඞ්ඛ්‍යාතචෛතසිකධර්‍මයන් හා යෙදී උපන්නාහු ද, එකල්හි චක්‍ෂුර්ද්වාරාදියත් භවාඞ්ගයෝත් ආවර්‍ජනාදිවීථිචිත්තයෝත් රැකුනෝ ම වෙති. නුවරදොර වැසූ විට ඇතුල් නුවර ගේ දොර නො වැසුව ද, එහි වූ සියලු බඩු රැකේ ද, සොරුන්ගේ ඇතුල් වීමෙක් නො වේ ද, එසේ ජවන් කාලයෙහි සීලසංවරය-සතිසංවරය-ඤාණසංවරය-ඛන්තිසංවරය-විරියසංවරය යන මොවුන් උපන් විට චක්‍ෂුර්ද්වාරාදියත් භවාඞ්ගචිත්තත් චිත්තවීථිත් රැකෙති. එබැවින් ජවන් කෙණෙහි උපදනා සීලසංවරාදිය ම චක්‍ෂුරින්ද්‍රියයාගේ සංවරය යි කියනු ලැබේ.
මෙහි චක්ඛුද්වාරයට, රූපාලම්බනයක් හමු වූ විට, සිත භවාඞ්ග වශයෙන් දෙවරක් ඉපිද ඊට අනතුරු ව පංචද්වාරාවජ්ජන - චක්ඛුවිඤ්ඤාණ - සම්පටිච්ඡන - සන්තීරණ - වොත්ථපන යන මොවුන්ගේ වශයෙන් එක් එක් වර පිළිවෙළින් ඉපිද, ඊට පසු ජවන් වශයෙන් නැගී නැවත භවාඞ්ගයට වැටෙන්නේය. මේ ජවන් කාලයෙහි, සිත යෝනිසෝමනසිකාරයෙන් යුක්ත වී නම්, කුසල් වේ. අයෝනිසෝමනසිකාරයෙන් යුක්ත වී නම්, අකුසල් වේ. මෙහි භවාඞ්ගපාතය වේ ය යි කීයේ ඇසට රූපාලම්බනය හමුවන්නට කලින් සිත එල්බ සිටි කර්‍මාදී වූ අරමුණක් ම ගන්නේ ය යනුයි. මෙසේ සිත කිහිපවරක් භවාඞ්ගවශයෙන් ඉපිද අවුත් නැවැත එම අරමුණ එල්බ, භවාඞ්ගවශයෙන් දෙ වරෙක, මනෝද්වාරාවජ්ජනවශයෙන් එක් වරෙක, ජවන් වශයෙන් සත්වරෙකැ, යි මනෝද්වාරයෙහි චිත්තවීථිය උපදී. නැවැතත් සිත කිහිපවරක් භවාඞ්ගයට වැටී, එම අරමුණ ම ගෙණ, එම මනෝද්වාරයෙහි ම දෙවනවර භවාඞ්ගවශයෙන් දෙ වරක්, මනෝද්වාරාවජ්ජනවශයෙන් එක් වරක්, ජවන් වශයෙන් සත් වරක් උපදනේ ය. මෙසේ මේ තුන්වන මනෝද්වාරිකචිත්තවීථියෙහි උපදනා ජවනයෝ ම “මෝ තොමෝ ස්ත්‍රිය, මේ තෙමේ පුරුෂ ය” යි ඇති සැටියෙන් හැඳිනීම හෝ, ඒ ස්ත්‍රී පුරුෂ අරමුණු ශුභවශයෙන් ගෙණ ඇලීම හෝ අශුභවශයෙන් ගෙණ නො ඇලීම හෝ කෙරෙත්. ජවන් කෙරෙහි දුසිල් බව හෝ සිහිමුළාව හෝ වූ කල්හි අසංවරය වේ ය යි තුන් වන චිත්තවීථියෙහි ජවන් සඳහා කීහ. සෝත-ඝාණ-ජිහ්වා-කාය යන දොරටුවල සද්ද-ගන්ධ-රස-ඵොට්ඨබ්බ යන අරමුණු ගැටීමෙන් ඒ ඒ අරමුණු නිසා උපදනා චිත්තවීථීහු ද, සංවර-අසංවරයෝ ද මෙසේ දත යුතු ය.
‘පාතිමොක්ඛ - සති - ඤාණ - ඛන්ති - විරිය’ යි සංවරයෝ පස් දෙනෙකි. එහි “ඉමිනා පාතිමොක්‍ඛසංවරෙණ උපෙතො හොති සමුපෙතො” යි ආයේ පාතිමොක්ඛසංවරය යි. “රක්ඛති චක්ඛුන්ද්රියං-චක්ඛුන්‍ද්‍රියෙ සංවරං ආපජ්ජති” යි ආයේ සතිසංවර යයි. “යානි සොතානි ලොකස්මිං (අජිතාති භගවා) සති තෙසං නිවාරණං සොතානං සංවරං බ්‍රෑමි පඤ්ඤායෙථෙ පිථියරෙ” යි ආයේ ඤාණසංවරය යි. චීවරාදිප්‍රත්‍යයප්‍රතිසේවනය ද මෙහි ම ඇතුළත් ය. “ඛමො හොති සීතස්ස උණ්හස්ස” යි මේ ආදි ක්‍රමයෙන් ආයේ ඛන්තිසංවරය යි. “උප්පන්නං කාමවිතක්කං නාධිවාසෙති පජහති” යි මේ ආදි ලෙසින් ආයේ විරිය සංවර ය යි. ආජීවපාරිශුද්ධිය ද මෙහි ම ඇතුළත් ය. මෙහි ‘ඉන්‍ද්‍රියෙසු සුසංවුතං’ යි වදාළ වචනයෙන් දැක්වුනේ, ඉන්ද්‍රිය සංවරය යි කියූ සතිසංවරය යි. ඉන්ද්‍රියයන් පිළිබඳ සංවරය සිහියෙන් සිද්ධ කටයුතු බැවිනි.
භොජනම්හි ච මත්තඤ්ඤුං = සිවුපසයෙහි ද පමණ දත්.
තං, යන්නට විශේෂණ යි. බොජුන්හි පමණ නො දැන්මට පටහැනි ව සිටි, බොජුන් පැන් සෙවීම, පිළිගැන්ම, වැලඳීම, පස්විකීම, හැරීම යන මේ මාත්‍රාවන් ගැණ දන්නේ ‘භොජන. මත්තඤ්ඤු’ නම. “මේ භෝජනය එක්විසි අනෙස්නෙන් ඉපැයූ බැවින් දැහැමි නො වේ, මේ භෝජනය ගෙපිළිවෙළින් සිඟා යෑමෙන් ඉපැයූ බැවින් දැහැමි ය” යි බොජුනෙහි කැප නො කැපබව දැන අකැප බොජුන් බැහැර කොට දුරු කොට කැපබොජුන් වැලඳීමෙන් බොජුන්හි පමණ දන්නේ වේ. බඩගිනි පමණ නො බලා ආහාර අනුභව කොට හුන් තැනින් නැගී ගත නො හැකි ‘ආහාර හත්ථක’ බමුණා මෙන්, බොහෝ කොට කෑමෙන් පිරී ඉතිරී ගිය බඩ ඇති, නැගී සිටියේ නමුත් රෙද්ද හැඳගත නො හැකි ‘අලංසාටක’ බමුණා මෙන්, බඩ පුරා කා හුන් තැනින් නැගී සිටින්නට බැරි ව එහි ම පෙරළෙන ගැලෙන ‘තත්‍රවට්ටක’ බමුණා මෙන්, කවුඩන් විසින් හොටින් එලියට ඇද කෑහැකි තරමට උගුර තෙක් ආහාර අනුභව කළ ‘කාකමාසක’ බමුණා මෙන්, බොහෝ කොට කා දිරවා ගත නො හැකි ව එහි ම වමනය කළ, ‘භුත්තවමිතක’ බමුණා මෙන්, ආහාර අනුභව නො කොට,
“චත්තාරො පංච ආලොපො අභූත්වා උදකං පිවෙ,
අලං ඵාසුවිහාරාය පහිතත්තස්ස භික්ඛුනො”
යි කී ලෙසට භාවනායෙහි යෙදුනහුගේ සැප විහරණයට පහසුවන පරිදි සතර පස් බත් පිඩකට ඉඩ තබා පැන් බීමෙන් පමණ දැන වලඳන්නේ මෙ තෙමේ ය. මැනැවින් දෙසූ සසුන්හි පිළිගන්නා විසින් ම පමණ දතයුතු ය. නපුරු කොට දෙසූ සසුන්හි පමණ දතයුත්තේ දෙන්නන් විසිනැ’ යි වදාළ වචනය සිහි කළ යුතුය.
මේ ඒ වදාළ සැටි:-
“දුරක්ඛාතෙ භික්‍ඛවෙ! ධම්මවිනයෙ දායකෙන මත්තා ජානිතබ්බා, නො පටිග්ගහකෙන තං කිස්සහෙතු? දුරක්ඛා තත්තා භික්ඛවෙ! ධම්මස්ස, ස්වාක්ඛාතෙ භික්ඛවෙ! ධම්මවිනයෙ පටිග්ගාහකෙන මත්තා ජානිතබ්බා, නො දායකෙන තං කිස්ස හෙතු? ස්වාක්ඛාතත්තා භික්ඛවෙ! ධම්මස්ස” යි.
සද්ධං = සැදැහැති ඇදහීම ඇති.
තං, යන්න වෙසෙස යි. කර්‍ම, කර්‍මඵල, එ ලොව, මෙ ලොව ඇතැ යි යන ඇදහීම ලකුණු කොට ඇති ලෞකික ශ්‍රද්ධායෙන් ද, තුණුරුවන්හි නො සැලෙන පරිදි පිහිටි පැහැදීම ය යි කියූ ලෝකෝත්තර ශ්‍රද්ධායෙන් ද යුක්තවූයේ මෙයින් කියැ වේ.
ආරද්ධවිරියං : සම්පුර්‍ණවීර්‍ය්‍යය ඇති. වැසූ වීර්‍ය්‍යය ඇති.
තං, යන වෙසෙස යි. සතර ඉරියව්වෙහි වැඩූ වීර්‍ය්‍යය ඇති වත් පිළිවෙත් පුරණ ආජීවය පිරිසිදු කරණ කායික වීර්‍ය්‍යයෙන් හා කෙලෙසුන් තවන කුසල් දහම් වඩන චෛතසිකවීර්‍ය්‍යයෙන් ද යුක්තවූයේ, මේ තෙමේ ය. සමූහයෙහි ඇලී ගැලී සිටීම අතහැර සිවු ඉරියව්වෙහි අට වැදෑරුම් ආරම්භවස්තූන්ගේ වශයෙන් එකලාව වසන්නේ වත් පිළිවෙත් පිරීම් ආදියෙහි අනලස් ව යෙදුනේ “කායික ආරද්ධවිරිය” නම් වේ. තවද ගමන් බිමන් කරණ කල්හි උපන් කෙලෙසුන්ට සිටින අවස්ථාවේ දී ඉපැදෙන්නට නො දී, සිටිනා කල්හි උපන් කෙලෙසුන්ට හිඳිනා අවස්ථාවේ දී ඉපැදෙන්නට නො දී, හිඳිනා වේලේ උපන් කෙලෙසුන්ට හිඳිනා අවස්ථාවේ ඉපැදෙන්නට නො දී මන්ත්‍රයෙන් නයකු පෙළන්නකු සේ සිවු ඉරියව්වෙහි ම කෙලෙස් මැඩ සිටියේ ද ‘ආරද්ධවිරිය’ නම.
කෙලෙස් වශයෙන් ඒ ඒ තැන ඇලීම අත හැර අෂ්ටසමාපත්තීන්ගේ වශයෙන් එකලා ව වසනුයේ කෙලෙස් තැවීම් ආදියෙහි යෙදුනේ, ‘චෛතසිකආරද්ධවිරිය’ නම් වේ. තව ද යම් ලෙසකින් කෙලෙසුන්ගේ ඉපදීම වළකනු හැක්කේ ද එලෙසින් විසීම් ඇත්තේ ද ‘ආරද්ධවිරිය’ නම.
තං වෙ නප්පසහති මාරො = ඒ පුද්ගලයා මාර තෙමේ එකින්තයෙන් නො මැඩලයි.
දශ අශුභ අතුරෙන් එක්තරා අශුභයක් එක්වන් බලමින් වසන කෙස් ලොම් නිය දත් ආදිය අශුභ ය යි සිතන සිහි කරණ ඇස්, කන්, නාස් ආදී වූ ඉඳුරන් කෙරෙහි මොනවට හික්මුනු බොජුන්හි පමණ දන්නා වු සැදැහැති වැඩූ වීර්‍ය්‍යය ඇති පුද්ගලයා මරුට කිසිලෙසකින් මැඩ ලන්නට යටපත් කරන්නට නො හැකි ය යි වදාළ සැටිය මේ.
වාතො සලං ඉව පබ්බතං = (දුර්‍වල) වාතය ගල් කන්දක් කම්පිත නො කරන්නා සේ ය.
වේගයෙන් තදින් නො හමන යන්තමකින් හමන වාතය අතිශය ඝන වූ ඉතා තද වූ ගල් කන්දක් සොලවා ලන්නට යම්සේ අපොහොසත් වේ ද, එසේ මේ පුද්ගලයාගේ සිතෙහි උපදනා දුර්‍වල වූ ක්ලේශමාරයාට යට කියූ මහත් ගුණ ඇති මිනිස් සිත මැඩලන්නට නො හැකි ය. ක්ලේශමාර තෙමේ එහිලා අසමර්‍ත්‍ථ වේ.
බුදුරජානන් වහන්සේ එහි දන් වළඳා අවසන් කොට අනුමෙවෙනි බණ වදාරන්නට මහාකාල තෙරුන් නවතා අනික් භික්‍ෂුන් වහන්සේ සමග විහාරයට වැඩි සේක. එ වේලෙහි මහාකාල තෙරුන්ගේ පැවිද්දට කලින් සිටි අඹුවෝ අටදෙනා තෙරුන් වට කොට ගෙණ, “හා! තමුසේ පැවිදි වූවහු කාගෙන් අසා ද?, පැවිදි වන්නට කීවෝ කවුරු ද?, අපි නො කීවෙමු පැවිදි වන්නට, දැන් දැන් වහා සිවුරු හැර දමන්න! එන්න ගෙදරැ’ යි කියා සිවුරු ගලවන්නට සූදානම් වත් ම තෙරුන් වහන්සේ හුනස්නෙන් නැඟී ඍද්ධිබලයෙන් උඩට නැග වහළ බිඳ ගෙණ අහසට පැන නැග අවුත් බුදුරජුන් යට කියූ ගාථාව දේශනා කොට අවසන් කරන්නට කලින් බුදුරජුන්ගේ රන්වන් සිරුරට ස්තුති කරමින් අහසින් බැස සිරිපා වැන්දෝ ය.
මේ ධර්‍ම දේශනාව අවසන්හි පැමිණ සිටි භික්‍ෂුන් වහන්සේලා සෝවන් ඵලාදියට පැමිණියාහු ය.
චූලකාල මහාකාල ස්ථවිර වස්තුව නිමි.