ධම්මපීති සුඛං සෙති විප්පසන්නෙන චෙජසා
අරියප්පවෙදිතෙ ධම්මෙ සදා රමති පණ්ඩිතො.
ලොවුතුරු දහම් රසය විඳින මහණ තෙම සුවසේ වෙසෙයි. නුවණැති මහණ තෙමේ වෙසෙසින් පහන් සිතින් බුද්ධාදි ආර්‍ය්‍යයන් විසින් දක්නා ලද ධර්‍මයෙහි හැම කල්හි ම ඇලෙන්නේ ය.
යටගිය දවස ආයුෂ්මත් මහාකප්පින ස්ථවිරයන් වහන්සේ, පියුමතුරා බුදුරජානන් වහන්සේගේ සිරිපා මුල්හි කරණලද පැතුම් ඇති ව, පින් කරමින් සසර සැරිසරා එන්නෝ, බරණැසට මඳක් ඈත්හි පිහිටි එක්තරා සාලිගමෙක දෙටු සාලියෙක් ව උපන්හ. එදවස දහසක් පමණ පසේ බුදුරජානන් වහන්සේලා අට මසක් හිමාලයයෙහි වැස, වැසි සාරමස ගම්මානයට අවුත් වාසය කෙරෙති. මේ උන්වහන්සේලාගේ චාරිත්‍රධර්‍මයෙකි. ඒ මේ සිරිතට අනුව, උන්වහන්සේලා එක් වස් කාලයෙක බරණැසට පැමිණ වස් වසනු පිණිස කුටි සාදා ගැණීමට උපකාර ඉල්ලා අට නමක් රජු වෙත යැවූහ. එ දවස රජුගේ සී සෑම් මගුලෙක් විය. රජ තෙමේ, පසේ බුදුවරුන් මාලිගාවට ආ බව අසා, එලි බැස තොරතුරු අසා ‘ස්වාමීනි! අද කිසිදෙයකට ඉඩ නැත, හෙට මෙහි සී සෑම් මගුලෙක, ඒ වැඩ අවසන් වූවායින් පසු ඕනෑ දෙයක් කර දෙන්න මි’ යි කියා පෙරළා මාලිගාවට වන. උන්වහන්සේලා ද අන් ගමකට යනු පිණිස එතැනින් පිටත් වූහ.
ඒ වේලෙහි දෙටු සාලියාගේ බිරින්ද කිසියම් කටයුත්තක් සඳහා බරණැස් නුවරට යන ගමනේ, මග යන උන්වහන්සේලා දැක වැඳ ‘ස්වාමීන් වහන්සේලා මේ අවේලාවෙහි කො තැනක වඩිත් දැ’ යි ඇසූ ය. එවිට උන්වහන්සේලා ඇයට තම අදහස කියූහ. ඕ තොමෝ ඒ අසා ‘ස්වාමීනි! හෙට දානයට, අප ගෙට වඩින්නැ’ යි ආරාධනා කළා ය. උන්වහන්සේලා ‘උපාසිකාවෙනි! අපි බොහෝ දෙනෙක් වම්හ’ යි කී කල්හි ‘ඔබවහන්සේලා කො පමණ දැ’ යි ඇසුවා ය. ‘දහසක් පමණ ය’ යි පසේ බුදුවරු කීහ. ‘හොඳයි! ස්වාමීනි! එහි අමාරුවෙක් නැත, මේ ගමෙහි රෙදි වියන ගෙවල් දහසක් තිබේ, එක එක නමට එක එක ගෙයින් දන් පිළියෙල කළ හැකි ය, අපට එය මහ වැඩෙක් නො වේ, මම ම වස් විසීමට කුටිත් පිළියෙල කරන්නම්, ඒ නිසා දුප්පත් මාගේ ආරාධනාව පිළිගන්නැ’ යි ඉල්ලා සිටියා ය. උන්වහන්සේලා ආරාධනාව පිළිගත්හ. පෙහෙරඹු තොමෝ ගමට ගොස් තැන තැන යමින් ‘මම දහසක් පමණ පසේ බුදුවරුන්ට හෙට දානයට මේ ගමට වඩින්නැ යි ආරාධනා කළා, ඒ නිසා උන්වහන්සේලාට වැඩ හිඳින තැන් සුදානම් කරන්ට ඕනෑ, කැඳ බත් ආදිය පිළියෙල කරන්ට ඕනෑ’ යි හඬ නගා කියමින් ගම් වැද මඩුවක් තනවා අසුන් පණවා පසු දා වැඩි පසේ බුදුවරුන් එහි වඩා හිඳුවා ඉතා රසැති ආහාරපානාදියෙන් වළඳවා අවසන්හි එ ගම සිටි තරම් ගෑණුන් එකතු කර ගෙණ ගොස් පසේ බුදුවරුන් වැඳ ‘ස්වාමීනි! අද පටන් මෙහි තෙ මසක් ම වැඩ හිඳින බවට පොරොන්දුවක් දුන මැනැවැ’ යි කියා උන්වහන්සේලා පොරොන්දු කරවා ගත්තා ය. එසේ කොට ගමට ගොස් ‘පින්වත්නි! පසේ බුදුවරු වස් තෙමස මෙහි නැවැත්මට පොරොන්දු වුනා, ඒ නිසා අප කවුරුත් කැලයට ගොස් කුටි සෑදීමට වුවමනා ලී දඬු පත් වැල් ආදිය කපා ගෙණ ආ යුතු ය, බුදුවරුන්ට වැඩ හිඳිනට පමණ වන සේ කුටි සෑදිය යුතු ය’ යි කියමින් ගෙයක් නො හැර ගියාය.
සියලු ගම් වැස්සෝද ඒ පිළිගෙණ එක එකා රෑ තැන් දිවා තැන්වලින් යුත් පන්සල් දහසක් ගොඩ නැගූහ. තම තමන් ගොඩ නැගූ පන්සලෙහි වස් එළැඹැ වැඩහුන් පසේ බුදුනට තම තමා ම උපස්ථාන කළහ. උපාසිකා තොමෝ වස් කෙළවර ‘තම තමන් උපස්ථාන කළ පසේ බුදුන්ට තුන් සිවුරු පිළියෙල කරවු’ යි ගම්වැස්සන්ට දැන්වූ ය. ඔවුහු එසේ කොට පසේ බුදුනට සිවුරු පිළිගැන්වූහ. උන්වහන්සේලා වස් නිමවා අනුමෙවෙනි බණ වදාරා එ ගමින් නික්ම වැඩියෝ ය. ගම්වැස්සෝ මෙසේ පින්කම් කොට ආයු ඇති තාක් සිට එයින් චුත ව තව්තිසා දෙව්ලොව ඉපද සමූහ ව උපන් බැවින් ‘ගණ දේවපුත්ත’ නමින් ප්‍රසිද්ධ වූහ. එහි දෙව් සැප විඳින ඔවුහු, එයින් චුත ව කසුප් සම්බුදු රජුන්ගේ කාලයෙහි බරණැස්නුවර කෙළෙඹි ගෙවල උපන්හ. වැඩිමහල් පෙහෙර තෙමේ, දෙටු කෙළෙඹියාගේ පුත් ව උපන. ඔහුගේ බිරිඳ ද අන් දෙටු කෙළෙඹියකුට දූව උපන්නු ය. ඈලා සියල්ලෝ වැඩිවිය පැමිණ දීග යන්නෝ පෙර සාලිජාතියෙහි උපන් අවදියෙහි යම් යම් කෙනකුන් හා දීග ගියෝ ද උන් උන් හාම දීග ගියෝ ය.
දවසෙක ඔවුහු ‘බුදුරජානන් වහන්සේ ධර්‍මදේශනා කරණ සේකැ’ යි අසා බණ අසන්නට අඹුවනුත් සමග විහාරයට ගියහ. ඔවුන් වෙහෙරට ඇතුල්වත් ම වැසි වසින්නට වන. එකල යම් කෙනෙකුට එහි කුලුපග වූ හෝ නෑ මිතුරු වූ හෝ සාමණේරයෝ වූවාහු ද, ඔවුහු ඔවුන්ගේ කාමර තුළට දුව ගත්හ. කෙළෙඹියනට එහි එබන්දකු නො වූ බැවින්, දන්නා හඳුනන්නකු නො සිටි බැවින්, ඔවුහු ඇතුල් වන්නට තැන් නො ලැබ වෙහෙර මැද ම තෙමි තෙමී සිට ගත්හ. මෙයින් සිත් තැවිල්ලට පත් දෙටු කෙළෙඹි තෙමේ, කතා කොට ‘බලන්න! අපට වූ ටික, දුටු ද අපට වූ කරදර ය, ලජ්ජිතවන්නට මේ ටික මදි ද, අපට මේ ටික වුයේ මෙහි හඳුනන්නකු නො සිටිය බැවින් ය, ඒ නිසා අපිත් මෙහි පිරිවෙණක් කරවමු’ යි කීයේ ය. සියල්ලෝ එයට සතුටු වූහ. එවිගස ම මුදල් එකතු කළහ. එහි දී දෙටු කෙළෙඹියා දහසක් දුන්නේ ය. අන් සියල්ලෝ පන්සියය, පන්සියය බැගින් ද, කෙළෙඹි ගෑණු දෙසිය පණස දෙසිය පණස බැගින් ද දුන්හ. මෙසේ ඔවුහු, මුදල් එකතු කොට බුදුරජුන් පිණිස කුළු ගෙවල් දහසකින් යුත් මහපිරිවෙණක් ගොඩ නගන්නට පටන් ගත්හ. කර්‍මාන්තය ඉතා මහත් ව ගියෙන් මුල්වර එකතු කළ මුදල් නො පොහොනේ විය. එවිට නැවැත නැවැතත් හැම කෙනෙක් ම මුලින් දුන් මුදලින් අඩ අඩ දුන්හ. එයින් කර්‍මාන්තය නිමවාට පත්කොට එය පූජා කිරීමෙහි දී බුද්ධප්‍රමුඛ මහාසඞ්ඝයා වහන්සේට සත් දවසක් මහදන් පවත්වා විසි දහසක් භික්‍ෂූන් පිණිස තුන් සිවුරු පිළියෙල කළහ. එහි දෙටු කෙළෙඹියාගේ බිරිඳ තමන් කළ පින්කම් හැම එකක් ම හැම දෙනා හා සමාන ව ම කළා ය. නුවණැති බැවින් වැඩියෙන් පින් දහම් කරනු කැමැති ඕ තොමෝ බුදුරජුන් පුදනට අනොජාමල් සමූහයක් සේ රන්වන් වූ දහසක් වටිනා සළුවක් හා අනොජාමල් පැසකුත් ගෙණ බුදුරජුන් අනුමෙවෙනි බණ වදාරන වේලෙහි මලින් පුදා සළුව පා මුල තබා. ‘ස්වාමීනි! උපනුපන් හැම තැනක ම මාගේ සිරුර, අනොජාමල්වඩමක් සේ රන්වන් වේවා, නමුත් අනොජා නම් වේවා’ යි ප්‍රාර්‍ත්‍ථනා කළා ය. උන්වහන්සේ ‘එසේ වනු ඇතැ’ යි අනුමෙවෙනි කළහ.
සියල්ලෝ ආයු ඇති තාක් සිට මරණින් මතු දෙව්ලොව ඉපිද දෙව්සැප විඳින්නෝ අප සම්මා සම්බුදුරජානන් වහන්සේ දවස දෙව්ලොවින් චුත වූහ. උන් අතුරෙහි දෙටු කෙළෙඹි තෙමේ කුක්කුටවතී, නගරයෙහි රජකුලයෙහි ඉපිද වැඩිවිය පැමිණ මහාකප්පින, නමින් රජ වූයේ ය. සෙස්සෝ එහි ඇමැති ගෙවල උපන්හ. දෙටු කෙළෙඹි බිරිඳ තොමෝ මදුරට සාගල, නුවර රජගෙයි උපන. සිරුර අනොජාමල්වඩමක් සේ රන්වන් විය. එහෙයින් නමින් අනොජා නම් වූ ය. වැඩිවිය පැමිණියා කප්පින රජ හා දීග ගොස් අනොජාදේවී යි ප්‍රසිද්ධ වූ ය. එහි සෙසු ගෑණු ද ඇමැති ගෙවල ම ඉපද වැඩිවිය පැමිණියෝ ඒ ඒ අමාත්‍යපුත්‍රයන් හා දීග ගියහ. සියල්ලෝ රජසැපත් වැනි සැපත් අනුභව කළහ. ලත් සැපත රජුගේ සැපතට අඩු නො වූ ය. රජ සව් අබරණින් සැරසී ඇතු පිට නැගී ගමන් කරනවිට ඔවුහු ද ඔටුන්න හැර අන් හැම අබරණින් සැරසී ඇතුන් පිට නැගී ගමන් ගන්නාහ. රජ අසකු පිට හෝ රියක නැගී ගමන් ගන්නා විට, ඔවුහු ද අසුන් පිට හෝ රියක නැගී යන්නාහ. සසර එක්ව පින් කළ බැවින් මෙසේ එක්ව ම සම සම්පත් අනුභව කළහ.
රජුට වනාහි වාල, වාලවාහන, පුප්ඵ, පුප්ඵවාහන, සුපත්ත යි අසු පස් දෙනෙක් වූහ. උන්ගෙන් රජ නැගෙනුයේ සුපත්ත නම් අසු පිට ය. සෙසු සිවුදෙන ලියුම් පණිවිඩ ගෙණ යන අසරුවන් සිවු දෙනකුන් භාරයේ සිටියහ. එහිදී රජ තෙමේ ඒ අසරුවන් හැම උදැසනක ම හොඳට කවා පොවා ‘යවු! දෙතුන් යොදුනක් නමුදු ඇවිද සොයා බලා තෙරුවන් ලෝ පහළ වී දැ යි දැන එවුයි පිටත් කොට යව යි. ඔවුහු නුවර සිවු දොරින් නික්ම දෙතුන් යොදුන් තැන් ඇවිද බලා තෙරුවන් ගැණ දැනගත නොහී පෙරළා එති. දිනක් රජ තෙමේ අසු නැඟී දහසක් ඇමැත්තන් පිරිවරා උයන් යනුයේ විඩා පත් වෙළඳුන් සමූහයක් දුටුයේ ය. දැක, මොවුහු ගමනින් වෙහෙසට පත්වූවෝ ය, මොවුන් වෙතින් යම් කිසිවක් දැනගත හැකි ය’ යි සිතා උන් ගෙන්වා ‘කොහි සිට එන්නහු දැ’ යි ඇසී ය. ‘දේවයන් වහන්ස! මින් විසි යොත්නක් ඈත්හි වූ සැවැත් නුවර සිට එන්නමෝ ය’ යි උන් කී කල්හි ඒ පළාතේ දතයුතු කිසිත් ඇත් දැ’ යි ඇසී ය. ‘දේවයන් වහන්ස! දත යුතු අන් තොරතුරක් නැත, බුදුරජානන් වහන්සේ නම් ලෝ පහළ ව වැඩ සිටිති’ යි ඔවුහු කීහ.
ඒ වචනය ඇසූ රජුගේ සිරුර ප්‍රීතියෙන් පිරී ඉතිරී ගියේ ය. කිසිත් සලකා ගත නො හී මොහොතක් නිශ්ශබ්දව සිට ‘තමුසේලා කීයේ කුමක් දැ’ යි නැවැතත් ඇසී ය. ‘දේවයන් වහන්ස! අප කීයේ බුදුරජුන් ලෝ පහළව වැඩ වසන බවැ’ යි කී විට දෙවනු තෙවනුත් එසේ ම මොහොතක් ගෙවා සිවුවන වරත් ‘කීයේ කිමැ’ යි විචාළේ ය. එවරත් බුදුරජුන් උපන් බව ම කීහ. රජ තෙමේ ‘මම තොපට රන් මිල දහසක් දෙනවා, දැනගත යුතු තවත් කිසිත් තිබේ නම් දැන කියවු’ යි කීහ. එවිට ඔවුහු ධර්‍මය ලෝ පහළව ඇතිබව කීහ. එහිදී ද රජ තෙමේ පළමු සේ නිහඬ වීය. සිවුවන වරත් ‘ධර්‍මය’ යි කී කල්හි ‘මම තොපට තව දහසක් දෙමි, තවත් කිසිත් වේ නම් එ ද කියවු’ යි රජ කියා සිටියේ ය. වෙළෙඳුන් සංඝයාත් ලෝ පහළව ඇති බව කී කල්හි රජ තෙමේ කතා නැත්තේ විය. සිවුවන වර ‘සංඝයා’ යි කී විට ඔවුනට තවත් ලක්‍ෂයක් දී ඇමැතියන් මුහුණ බලා ‘තොපි කුමක් කරන්නහු දැ’ යි ඇසී ය. ‘ඔබවහන්සේ කරන්නක් අපිත් කරමු’ යි ඇමැත්තන් කී කල්හි බුදුන් දහම් සඟුන් උපන් බව දැන ආයෙත් මාගේ මෙහි නැවැත්මෙක් නැත, බුදුරජුන් සොයා ගොස් මම පැවිදි වන්නෙමි’ යි රජ තෙමේ කී ය. ‘දේවයන් වහන්ස! එසේ නම් අපිත් ගෙය හැර පැවිදි වන්නෙමු, ගෙය පව් උපදින උල්පතෙකි, ගිහියෙක් සදාචාරසම්පන්න වනුයේ කලාතුරකින් ය, ගෙය හැම ජඩකමකට ම ඉඩ ඇති තැනෙක් ය, එහෙයින් ඔබ වහන්සේ සමග ම පැවිදි වන්නෙමු’ යි ඔවුහු කීහ. රජ තෙමේ එහිදී ම රන් නලල්පට ගලවා ලියුමක් ලියා වෙළඳුන් අතට දී ‘මම තොපට දීමට පොරොන්දු වූ රන්මිල අනොජාදේවිය දෙනවා ඇත, රජකම බිසවට පැවැරූ බවත් කැමැති ලෙසකින් එහි පිළිපැදිය යුතු බවත් මා කියූව, යි ඇයට කිය වු, රජ කොහි දැ, යි ඇසුවොත් බුදුරජුන් වෙත මහණ වන්නට ගිය බවත් කියවු’ යි කීයේ ය. ඇමතියෝ ද තම අඹුවනට එසේ කියා ලියුම් යැවූහ. රජ තෙමේ මෙසේ වෙළඳුන් යවා ඇමැත්තන් දහසක් ගෙණ එ වේලෙහි ම බුදුරජුන් වෙත ගියේ ය.
බුදුරජානන් වහන්සේ පෙර දා අලුයම ලොව බලා වදාරනුවෝ පිරිවර සහිත වූ මහාකප්පින රජු දුටහ. දැක ‘මෙතෙමේ වෙළඳුන් අතින් තුනුරුවන් ගැන අසා ඔවුන්ට රන් තුන් ලක්‍ෂයක් දී රජකමත් හැරපියා ඇමැත්තන් හා කැටුව මා වෙත පැවිදිවීමේ රිසින් හෙට මෙහි එන්නේ ය, පිරිවර සහිත වූ ඔහු සිවුපිළිසැඹියා සමග රහත් බවට පැමිණෙන්නේ ය, ඔහු ඉදිරියට මා යා යුතු ය’ යි පසුදා ගම්මුලාදැනියකු වෙත යන සක්විති රජකු සේ තමන් වහන්සේ ම පා සිවුරු ගෙණ එකසිය විසි යොදුන් මග ගෙවා ඉදිරියට ගොස් චන්දභාග, නම් ගංතෙර නුගගසක් මුල සවණක් රැස් විහිදුවමින් බබලමින් වැඩහුන් සේක. රජ තෙමේ මග බැස එනුයේ අතරමග ගඟක් වෙත පැමිණ ‘මේ ගඟෙහි නම කිමැ’ යි ඇසී ය. ‘දේවයන් වහන්ස! මෝ අරවච්ඡා, නමැ යි එහි සිටියෝ කීහ. එවිට රජ තෙමේ එහි පළල හා ගැඹුර කො පමණ දැ, යි ඇසී ය. ‘ගවුවක් පමණ ගැඹුරුය, දිග ගව්වෙකැ’ යි කීහ. ‘මෙහි ඔරු පාරු පිලා නැත් දැ’ යි ඇසී ය. ‘නැත, දේවයන් වහන්සැ, යි කී විට ‘මෙහි ඔරු පාරු පිලා අඟුල් සොය සොයා කල් යැව්වොත් ජාතිය අප ජරාවට පමුණුවයි, ජරාව මරණයට පමුණුවයි, එක් සිතින් ම රජසැප හැර දමා තුනුරුවන් උදෙසා නික්ම ආවේ නිකමට නො වෙමි, එහෙයින් තුනුරුවනේ අනුහසින් මේ මහත් දිය කඳ මට දියකඳෙක් නො වේවා’ යි බුදුගුණ සිහි කොට ඇමැත්තන් හා ඇතුනුත් සමග දියට පැන්නේ ය. අශ්වයෝ ගල් තලාවක මෙන් පැන ගියහ. උන්ගේ කුර අග පමණක් තෙමින. රජ තෙමේ ගඟින් එතර ව යනුයේ තවත් ගඟක් හමුවූයෙන් ඒ ගඟේ ද නම හා දිග පළල අසා දැන එහිදීත් දහම් ගුණ සිහි කොට ගඟට පැන්නේ ය. මෙසේ ඒ ගඟින් එතෙර ව යන රජහට තවත් ගඟක් හමු වූ ය. එ ගඟේ ද නම අසා ගැඹුරත් පළලත් යොදුන යොදුන බව දැන පළමු සේ ම සිතා සඟගුණ සිහි කොට ගඟට පැන එතර ව යන්නේ බුදු රජුන්ගේ සිරුරින් නිකුත් සවණක් රැස් දුටුයේ ය. නුගගසේ අතු වෙළෙප් කොළ දලු රනින් කරන ලද්දා සේ බැබලුනේ ය. ඒ දුටු රජතෙමේ ‘මේ ආලෝකය වනාහි සඳ හිරුන්ගේ වත් බඹ නා ගුරුළු ආදීන් ගේ වත් නො විය හැකි ය, බුදුරජුන් තකා එන මම බුදු රජු විසින් දක්නා ලද්දේ වෙමි’ යි සිතා එ කෙණෙහි ම අසු පිටින් බැස නැමුනු සිරුරු ඇති ව රැස් පාරේ ගොස් බුදුරජුන් වෙත එළැඹැ සිරියල් කල්කයෙක ගැලුනකු සේ බුදුරැස් තුළ වැද, වැඳ ඇමතියන් හා එක් ව පසෙකට වී හුන්නේ ය. එකල බුදුරජානන් වහන්සේ ඔවුනට අනුපිළිවෙළ කතාව වදාළ සේක. බණ කෙළවර පිරිවර සහිත වූ රජ තෙමේ සෝවන් පලයෙහි පිහිටා ගත්තේ ය. සියල්ලෝ හුන් තැනින් නැගී සිට පැවිදිකම් ඉල්ලා සිටියහ. බුදුරජානන් වහන්සේ ‘මොවුනට ඍද්ධියෙන් සිවුරු ලැබෙන්නේ දැ’ යි බලා වදාරන සේක් ලැබෙන බව දැක දකුණත දිගු කොට ‘මහණෙනි! මෙහි එන්න! යහතින් දුක් කෙළවර කරණු පිණිස බඹසර හැසිරෙන්නැ’ යි වදාළ සේක. එසේ වදාරත් ම සියලු දෙන සිවුරු පිරිකර දැරූ සැට වස් පිරුනු මහතෙරුන් සේ අහසට පැන නැගී නැවැත බිමට බැස බුදුරජුන් වැඳ එකත් පසෙක වැඩ හුන්හ. මොවුහු පෙර දහසක් පසේබුදුරජුනට සිවුරු දහසක් හා පසේ බුදුරජුන් දවස විසි දහසක් භික්‍ෂූන්ට විසි දහසක් සිවුරු දුන්හ. එපිණ මෙ තැන මුදුන් පැමිණියේ ය.
වෙළෙන්දෝ රජවාසලට ගොස් රජු තමන් පිටත් කොට එ වූ බව දැන්වූහ. එකල රාජවාසල තුළට කැඳ වූ ඔවුහු පසෙකට වී සිටියෝ ‘තමුසේලා කුමක් නිසා මෙහි ආවහු දැ’ යි බිසව විසින් අසන ලද්දාහු ‘අපි රජු විසින් මෙහි එවන ලද්දෙමු, අපට රජ තෙමේ ඔබතුමියගෙන් රන් තුන් ලක්‍ෂයක් ඉල්ලා ගන්නට නියම කෙළේ ය’ යි කීහ. බිසවු තොමෝ ‘තොප ඉල්ලන්නේ ලොකු ගණනකි, රජුට තොප කළේ කුමක් ද, රජ තෙමේ කුමක් නිසා තොප කෙරෙහි මෙසේ ප්‍රසන්න වී ද, මෙ තරම් ලොකු මුදලක් ඉල්ලා ගන්නට කීයේ කුමක් නිසා දැ’ යි ඇසූ ය. ‘අප කළ ලොකු වැඩෙක් නැත, අපි එක්තරා ආරඤ්වියක් රජුට කීමු’ යි ඔවුන් කී විට ‘ඒ ආරඤ්චිය මටත් කියවු’ යි කිවු ය. ඔවුහු බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රය ලෝ පහළව ඇති බව බිසවට ද කීහ. ඕ තොමෝ ද ඒ අසා ප්‍රීතියෙන් පිණා ගියා, කිසිත් සලකා ගත නො හී මඳක් සිට ‘මේ කියූ ආරඤ්චියට රජ කළ සැටි හොඳ මදි ය, මෙය ඉතා වටිනා ආරංචියෙකි, මම තොපට මාගේ දුප්පත් පඬුරක් වශයෙන් තුන් තුන් ලක්‍ෂය බැගින් නව ලක්‍ෂයක් දෙමි’ යි නව ලක්‍ෂයක් දුන්නී ය. වෙළඳුන් රජු ගෙන් හා බිසවගෙන් ලත් සියලු ධනය දොළොස් ලක්‍ෂයක් විය. නැවැත ‘රජු ගියේ කොහි ද, කීයේ කුමක් දැ’ යි ඇසූ විට ‘රජු පැවිදිවන්නට බුදුරජුන් වෙත ගිය බව, රජකම බිසවට පැවරූ බව, බිසව කැමති සේ සම්පත් වැළඳිය යුතු බව දන්වන්නට අපට නියම කෙළේ ය’ යි කීහ. නැවැත ‘එක් ව ගිය ඇමැත්තෝ කොහි දැ’ යි ඇසූ විට ඔවුන් ද රජු සමග ගිය බව දැන්වූහ.
ඉක්බිති බිසවු තොමෝ ඇමැත්තන්ගේ භාර්‍ය්‍යාවන් ගෙන්වා ඇමැත්තන් පැවිදි වන්නට ගිය බව දන්වා ‘දැන් ඉතින් නුඹලාගේ අදහස කෙසේ දැ’ යි ඇසූ ය. එහිදී ‘රැජින කරන්නක් අපිත් කරන්නෙමු’ යි ඈලා කීහ. ‘අපේ රජතුමා මගදී ම තුන් ලක්‍ෂයකින් තෙරුවන් පුදා සියලු සැපත අලුයම කෙලපිඩක් සේ හැර දමා, පැවිදි වන්නට ගියේ ය, මම ද තෙරුවන් ලෝ පහළ වූ බව අසා නව ලක්‍ෂයකින් තුනුරුවන් පිදීමි, මේ සම්පත්තිය දුක් දෙන්නී, රජුට පමණක් නො වන්නී ය, මෝ මටත් මහත් දුක් දෙන්නී ඒකාන්ත ය, මෝඩයනට ධනය සැප දෙන්නක් සේ පෙණේ, මෝඩයා ධනයෙන් උදම් ව රට පෙළන්නට රට වනසන්නට රට තම යටතට ගන්නට තැත් කරයි, එය ම ඔහුගේ දෙලොව විනාශය පිණිස වේ, ධනවත් මෝඩයා දෙමවුපියන් හා ගුරුන් හා වැඩිහිටියන් හා මහණ බමුණන් හා නො තකයි, පව්පින් නො තකයි, නො කටයුත්ත කටයුතු සේ ද, කටයුත්ත නො කටයුතු සේ ද ගෙණ නිතර නො මග යයි, දනක් පිනක් කරණුයේ ද, තමන්ගේ මිල මුදලෙහි මහත්කම ම පෙන්වීමට ය, මේ නිසා ධනය තෙමේ මෝඩයා විනාශයට විපතට හෙලයි, එහෙත් මෝඩයා සිතනුයේ, ධනයෙන් තමහට මහත් වැඩෙක් සිදු වේය කියා ය, එහෙයින් විපතට හේතු වූ ධනය මම ද හැර දමමි, මට මේ ධනයෙන් සම්පත්තියෙන් කිසිත් වැඩෙක් නැත, මම ද රජු ගත් මග ගෙණ බුදුරජුන් වෙත ගොස් පැවිදි වෙමි’ යි බිසව කිවු ය. එකල්හි ඈලා ද ‘අපි ද ඔබ සමග ම ගොස් පැවිදි වෙමු’ යි කීහ. එවිට ඕ තොමෝ ‘එවු’ යි ඈලාත් ගෙණ රිය නැගී නික්ම ගියා ය.
අතර මගදී රජුට සේ ගඟ මුණ ගැසින. සියලු තොරතුරු අසා දැන ‘රජු ගිය මග බලවු’ යි කිවු ය. ඔවුහු රජු ගිය මග සෙවූහ. එහෙත් සොයාගත නො හැකි වූහ. ‘රජු ගිය මග නො පෙණේ යයි කී කල්හි, ‘රජ නික්ම ගියේ තෙරුවන් උදෙසා ය, සත්‍යක්‍රියා බලයෙන් රජු ගඟ එතෙර කරන්නට ඇත, මම ද සියල්ල හැර දමා ආවා තෙරුවන් උදෙසා ම ය, එහෙයින් මටත් තෙරුවන් බෙලෙන් මේ දිය කඳ දිය කඳෙක් නො වේවා’ යි තුනුරුවන් ගුණ සිහි කොට රිය දහස ඉදිරියට ගමන් කරවූ ය. දිය ගල් තලාවක් සේ විය. රියසක්හි නිම්වළලු ම තෙමින. අනික් දෙ ගඟින් ද මෙලෙසින් එතෙර වූ බිසවු තොමෝ පිරිවර සමග ඉදිරියට ගියා ය. තිලෝගුරු බුදුරජානන් වහන්සේ ඇගේ ඊම අසා, තමන් වෙත හිඳින මහණුන් ඈට නො පෙණෙන ලෙසක් කොට වදාළ සේක. බිසවු තොමෝ ඉදිරියට යත්, යත්, බුදුරජුන්ගේ ශ්‍රී ශරීරයෙන් නික්ම යන බුදු රැස් දැක රජු සිතු සේ ම සිතා බුදුරජුන් වෙත එළැඹැ වැඳ පසෙක සිට ‘ස්වාමීනි මහාකප්පින රජතුමා සියලු සැපත් හැර දමා ඔබවහන්සේ බලා නික්ම ආයේ දැන් කොහි ද, ඔහු මට දක්වනු මැනැවැ’ යි කිවු ය. ‘හිඳ ගන්න! මෙහි දී ඔහු දැක්ක හැකි ය, කලබල නො වන්නැ’ යි වදාළ විට, ඈලා සියල්ලෝ තුටු පහටු ව එ තැන ම හිඳ ගත්හ. බුදුරජානන් වහන්සේ අනුපිළිවෙළ කතාව වදාළ සේක. බිසවු තොමෝ බණකෙළවර, තම පිරිවර හා එක්ව ම සෝවාන් පලයට පැමිණියා ය. මහාකප්පින තෙරනුවෝ ඒ දේශනාව අසා සිවුපිළිසැඹියාවන් සහිත ව රහත්බවට පැමිණියහ. ඉක්බිති බුදුරජානන් වහන්සේ ඈලාට ඒ භික්‍ෂූන් දැක්වූහ.
ආ සැටියේ ම කසට වත් දරා හිස මුඬුකොට සිටි තම හිමියන් දුටුවෝ නම්, ඔවුන්ගේ සිත් එකඟ නො වන්නේ ය. ඔවුහු මාර්‍ගඵලාවබෝධයෙහි අසමර්‍ත්‍ථ වෙති. එහෙයින් ශ්‍රද්ධාව නො සැලෙන සේ පිහිටා ගත් පසු ඔවුනට, රහත් බවට පැමිණ එහි සිටි ඒ භික්‍ෂූන් දැක්වූහ. එහිදී ඈලා ඔවුන් දැක පසඟ පිහිටුවා වැඳ ‘ස්වාමීනි! ඔබවහන්සේලා මහණ වූ කාරිය නම් දැන් සම්පුර්‍ණ ය’ යි කියා බුදුරජුන් වැඳ පසෙක සිටියාහු මහණකම ඉල්ලූහ. උන් මෙසේ මහණකම ඉල්ලා සිටි කල්හි (බුදුරජානන් වහන්සේ උත්පලවර්‍ණාවගේ ඊම බලාපොරොත්තු වූහ යි ඇතැම් කෙනෙක් කියති.) ‘සැවැත්නුවර මෙහෙණවරට ගොස් පැවිදි ව වු’ යි උන්වහන්සේ වදාළ සේක. ඈලා පිළිවෙළින් යන්නාහු අතරමග ඒ ඒ තැන මහාජනයා විසින් එළ වූ ආදර සංග්‍රහ ඇති ව පයින් ම එක්සියවිසි යොදුන් මග ගෙවා මෙහෙණවරට ගොස් පැවිදිව රහත් වූහ.
බුදුරජානන් වහන්සේ ද දහසක් භික්‍ෂූන් වහන්සේ ගෙණ අහස් මගින් දෙව්රමට වැඩි සේක. මහාකප්පින තෙරනුවෝ එහි ‘අහො සුඛං අහො සුඛං’ යි උදන් අනමින් නිතර හැසිරෙති. සෙසු භික්‍ෂූන් වහන්සේලා ඒ අසා ‘ස්වාමීනි! මහාකප්පින ස්ථවිර තෙමේ ‘අහො සුඛං, අහො සුඛං’ යි උදන් අනමින් හැසිරේ, එසේ උදම් අනනුයේ පෙර තමන් විඳි රජ සැපත සිහිවීමෙනැ’ යි දැන්වූහ. බුදුරජානන් වහන්සේ මහාකප්පින තෙරුන් කැඳවා ‘කප්පින! තමුසේ කම්සැප රජසැප සිහියට ගෙණ උදම් අනන්නහු සැබෑ දැ’ යි ඇසූහ. ‘ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! ඔය කියන සැපයක් නිමිති කොට මා උදන් අනනු භාග්‍යවතුන් වහන්සේ දක්නා සේකැ’ යි මහා කප්පින තෙරණුවෝ කීහ. එවිට බුදුරජානන් වහන්සේ ‘මහණෙනි! මා පුත් මහාකප්පිනයෝ කම්සැප රජසැප සිහියට ගෙන උදන් නො අනති, මහාකප්පිනයාගේ සිත්හි ධර්‍මරතිය නිතර උපදනී ය, එහෙයින් ඔහු නිවන අරමුණු කොට ම උදන් අනාය, යි අනුසන්ධි ගළපා මේ ධර්‍මදේශනාව කළ සේක:-
ධම්මපීති සුඛං සෙති විප්පසන්නෙන චෙතසා,
අරියප්පවෙදිතෙ ධම්මෙ සදා රමති පණ්ඩිතොති.
දහම් රසු බොනුයේ සුවසේ හොවියි. පණ්ඩිත තෙමේ වෙසෙසින් පහන් සිතින් ආර්‍ය්‍යයන් දෙසූ (නොහොත්) දන්නා ලද ධර්‍මයෙහිඇලෙයි.
ධම්මපීති සුඛං සෙති = දහම් රසය බොන්නේ සුවසේ හොවි යි.
නවලොව්තුරා දහම්, සිතින් සලකනුයේ, අරමුණු කිරීම් වසයෙන් ප්‍රතිවේධ කරණුයේ, දුඃඛසත්‍යය පිරිසිඳ දැනීම් වසයෙන්, සමුදයසත්‍යය ප්‍රහාණය කිරීම් වසයෙන්, නිරෝධසත්‍යය ප්‍රත්‍යක්‍ෂ කිරීම් වසයෙන්, මාර්‍ගසත්‍යය වැඩීම් වසයෙන් ප්‍රතිවේධ කරණුයේ ධම්මපීති නම් වේ. එහි ‘ධම්මපීතීති ධම්මපායකො ධමමං පිවන්තො අත්‍ථො’ යනු අටුවාහි ආයේ ය.
ධර්‍මරසය තැටිවල කොළගොටුවල කෝප්පවල කැඳ කිරි පැන් ආදිය වත් කොට ගෙන බොන්නා සේ නො බිය හැකි ය. පෙළ දහම් ඉගෙන අරුත් රසය නැණ තුඩින් බොනුයේ දහම් බොන්නේ ය. එසේ නවලොවුතුරා දහම සිතින් පවසනුයේ දහම් බොන්නේ ය. නිවන අරමුණු කිරීම් වසයෙන් නිවනට හමු කරනුයේ දහම් බොන්නේ ය. දුක් සස් ඈ පිරිසිඳ දැනීම් ඈ විසින් අවබෝධ කරණුයේ දහම් බොන්නේ ය. මේ ඇ ලෙසින් දහම් බොනුයේ සිවු ඉරියව්වෙහි ම සුවසේ හොවියි. ‘ධමෙමා හවෙ රක්ඛති’ යනු වදාළේ ද මේ නිසා ය. ලෞකිකශරණශීලමාත්‍රයෙනුදු සත්ත්වයෝ සියලු උවදුරු විපත් නසා සුවපත් වූහ. පන්සිල් පමණකිනුදු සත්වයෝ සුවපත් වූහ. ශීලසමාදානාදියෙන් තොර ව සිටි සත්වයෝ නිවරද සිත් පමණකිනුදු සුවපත් වුහ. එයට ආගම දෙස් දෙන්නේ ය. ලෝකය සාක්ෂ්‍ය කියන්නේය. අන් ගුණයක් ගැණ කුමන කතා ය.
විප්පසන්නෙන චෙතසා - වෙසෙසින් පහන් සිතින්.
සිත පහන් වනුයේ කෙලෙසුන් නැති විටය. සිත කරා පැමිණ සිත කිලිටි කරණ ධර්‍ම උපක්ලේශ නම, සිත පිරිසිදු ය. එහෙත් අමුතුවෙන් එන අසද්ධර්‍මහේතුවෙන් සිත අපිරිසිදු වේ. එසේ අපිරිසිදු නො වූ වඩාලා ම පිරිසිදු වූ සිත මෙයින් කිය වේ.
අරියප්පවෙදිතෙ ධම්මෙ = ආර්‍ය්‍යයන් දත් දහම්හි.
ආර්‍ය්‍යයෝ නම් බුද්ධාදිමහෝත්තමයෝ ය. උන්වහන්සේලා දත් උන්වහන්සේලා පැවසූ දහම් නම් බෝපැකි දහම් ය. ‘බුද්ධාදීහි අරියෙහි පවෙදිතෙ සතිපට්ඨානාදිභෙදෙ බෝධි පක්ඛියධම්මෙ’ යනු අටුවාය. [1]
සදා රමති පණ්ඩිතො = නුවණැත්තේ හැම කල්හි ඇලේ. [2]
මේ ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියෝ ය.
මහාකප්පිනස්ථවිර වස්තුව නිමි.