6-5 පණ්ඩිත සාමණේරයෝ

උදකං හි නයන්ති නෙත්තිකා උසුකාරා නමයන්ති තෙජනං

දාරුං නමයන්ති තච්ඡකා අත්තානං දමයන්ති පණ්ඩිතා.

දියාලුවෝ තමන් කැමැති තැනකට දිය ගෙන යති. හී වඩුවෝ හී දඬු නමති. ලී වඩුවෝ දැව නමති. නුවණැත්තෝ සිත දමනය කරත්.

කසුප් සම්බුදුරජානන් වහන්සේ විසි දහසක් රහතුන් පිරිවරා බරණැසට වැඩි සේක. එහිදී නුවර වැස්සෝ උන්වහන්සේලා දැක හැකි පමණින් අටදෙනා, දසදෙනා බැගින් එකතු ව ආගන්තුක දානය දුන්හ. දිනෙක අනුමෙවෙනි බණ වදාරන බුදුරජානන් වහන්සේ ‘උපාසකවරුනි! මෙලොව ඇතැම් එකෙක් ‘තමන් සතු දෙය ම දිය යුතුය, අනුන් හා එක්ව දීමෙන් වැඩෙක් නැතැ’ යි තෙමේ ම දෙයි, මේ නිසා උපනුපන් තැනදී ඔහුට ලැබෙන්නී භෝගසම්පත්තිය පමණකි, පිරිවර සැපතක් ඔහුට නො ලැබේ, අනෙක් අනුන් ලවා දෙව යි, තෙමේ නො දෙයි, ඔහුට පිරිවර සැපත මුත් භෝග සැපතක් නො ලද හැකි ය, තවෙකෙක් තෙමේ ද නො දෙයි, අනුන් ලවා ද නො දෙව යි, ඔහුට භෝග සැපතත් පිරිවර සැපතත් දෙක ම නො ලැබේ, ඔහු උපනුපන් තැන සිඟන්නෙක් ච උපදියි, එකෙක් තෙමේ ද දෙයි, අනුන් ලවා ද දෙව යි, ඔහුට ගිය ගිය තැන භෝගසම්පත්තිය හා පරිවාර සම්පත්තිය නො අඩුව ලැබිය හැකි ය’ යි අනුමෙවෙනි කළ සේක. එහි එබණ අසා සිටි නුවණැති මිනිසෙක් ‘මම මෙකී හැම සැපතක් ම ලබන්නෙමි’ යි සිතා බුදුරජුන් වෙත ගොස් වැඳ ‘ස්වාමීනි! හෙට දානයට මාගේ ගෙට වඩිනු මැනැවැ’ යි ආරාධනා කෙළේ ය. උන්වහන්සේ එය ඉවසා ‘කෙතෙක් භික්‍ෂූන් ආ යුතු දැ’ යි විචාළ කල්හි ‘හැමදෙනා වහන්සේ වැඩිය යුතු ය’ යි දන්වා සිටියේ ය. එහි භික්‍ෂූන් වහන්සේලා විසි දහසක් පමණ වූහ.

එකල උපාසක තෙමේ ගම් බලා ගොස් ‘පින්වත්නි! මම හෙට දානයට බුදුරජානන් වහන්සේට ආරාධනා කළා, තමුසේලා කවුරුත් හැකි පමණින් දන් පිළියෙල කර ගෙණ එන්නැයි කියමින් ගෙන් ගෙට ඇවිද්දේ ය. ගම්වැස්සෝ අපි දස නමකට අපි විසි නමකට, අපි තිස් නමකට දන් පිළියෙල කර ගෙන එන්නෙමු’ යි, තම තමන්ට හැකි පමණින් දන් පිළියෙල කරන්නට බාර ගත්හ. ඒ ගම් වැස්සෝ ඉතා දිළිඳු ය. මහාජනයා විසින් මහදිළින්දා ය යි හඳුන්වන එක්තරා මිනිසෙක් එ දවස එ ගම විසී ය. උපාසක තෙමේ ඔහු හමු ව ‘මිත්‍රය! මම බුදුපාමොක් මහසඟනට හෙට දානය පිණිස අපේ ගමට වඩින්නට ආරාධනා කළා, ගම්වැස්සෝ හෙට දන් දෙන්නට සූදානම් ව සිටිත්, තමුසේත් එයට එක් වන්නට හැකි නම් ඔහාට එය දියුණුව පිණිස වන්නේ ය’ යි කී ය. ‘මොකද ඕය්! කියන්නේ, මම දිළින්දෙක්, තමුසේ ඒ වග නො දන්නහු ද? මහණුන්ගෙන් වැඩ තිබෙන්නේ සල්ලි ඇති මිනිසුන්ට ය, හෙට කැඳ ටිකක් බොන්නට හාල් ඇටයක් පමණ වත් ගෙයි නැත, එබඳු මම ඔය කියන දනට කෙසේ එක් වෙම් දැ’ යි දිළින්දා කී විට ‘බලන්න! මෙ ගම් වැසි බොහෝ දෙනෙක් ගේ දොර කදිමට ගොඩ නගා ගෙණ හොඳට කා බී හොඳට ඇඳ පැළඳ ගෙණ රන් රිදී මුතු මැණික් අබරණ ලා සුව පහස් දෙන ඇඳ පුටුවල නිදමින් හිඳිමින් සැප විඳිති, දවස මුළුල්ලෙහි කුලී වැඩ කළත් ඔබට කට බඩ පුරා කන්නට යමක් නො ලැබේ, වෙනස බලන්න! මේ වෙනස පෙර ජාතිවලදී පින් නො කළ නිසා වූවකැ, යි ඔබට නො සිතේ දැ’ යි ඇසී ය. මඳක් නිහඬ ව සිට ‘මටත් ඒ වග නම් සිතෙනවා’ යි ඔහු කී ය. ‘එසේ නම් දැන් වත් යන තැනට පිණක් දහමක් කර ගන්න, ඔබ තරුණයෙක්, ඇඟ පතත් හොඳට වැඩී තිබේ, දිනපතා ම කුලී වැඩත් කරණවා, එබන්දකින් ලැබෙන යමකින් වත් දන් පින් කර ගත යුතු නො වේ දැ’ යි කී විට, ඔහුට සංවේග උපන. ‘එසේ නම් මටත් එක නමක් ලියන්න, කුලී වැඩක් කරලා වත් මමත් එක නමකට දන් දෙන්නෙමි’ යි කියා ගෙට ගොස් මේ සියලු තොරතුරු බිරින්ඳට කී ය.

එහිදී ඈ එය සතුටින් පිළිගෙණ ‘අපි පෙර දන් පින් නො කළ නිසා දැන් දිළින්දෝ ව සිටිමු, එහෙයින් අපි හෙට කුලී වැඩට ගොස් මුදල් ටිකක් වැඩියෙන් සොයා ගෙණ ඒ බාර ගත් දානය හොඳට පිළියෙල කර ගෙණ යමු’ යි කිවු ය. පසුදා දෙදෙන ම උදෑසනින් හිස් බඩින් ගෙන් නික්ම කුලී වැඩ කරන තැනට ගියහ. එහි සිටි සිටු තෙමේ ඔහු දැක ‘අද වැඩ කරණවා දැ’ යි ඇසී ය. ‘එසේ ය’ යි ඔහු පිළිතුරු දින. ‘එහෙනම් මෙහෙ වරෙන්, හෙට තුන් දහස් නමකට දන් දීමට මා බාරගෙණ තිබෙනවා, දන් පිළියෙල කිරීමට දර ගොඩක් වුවමනා ය, මේ වෑ පොරෝ රැගෙණ ගොස් අර පෙනෙන ලී කොටන් පළා දර කරව’ යි නියම කෙළේ ය. දිළින්දා හොඳට අමුඩ ගසා පැළිය යුත්ත පළමින් සැසිය යුත්තේ සසිමින් කපමින් ඉතා මහත් ඕනෑකමින් දර පළ යි. සිටානෝ ඒ දැක ‘වෙනදාට වඩා අද බොහෝ ඕනෑකමින් වැඩ කරනවා, මොක ද වෙනදා නැති ඕනෑ කමක්’ යි ඔහුගෙන් ඇසූහ. ‘සිටු තුමනි! මමත් එක නමකට දන් දීමට බාර ගත්තා’ යි කී විට, සිටානෝ සතුටු සිත් ඇති ව ‘මේ මිනිහා පුදුම මිනිහෙකි, මූ කරණුයේ පහසු වැඩෙක් නො වේ, මම දිළින්දෙක්මි යි නිකම් නො සිට එක් නමක් වැළඳවීමට සූදානම් වේ ය’ සිතූහ. සිටු බිරින්ඳ ද දිළින්දාගේ අඹුව දැක තොරතුරු විචාරා කියන යමක් කරන්නට කැමැති යි කී විට, වංගෙඩි මෝල් තුබූ තැනට ඇය කැඳවා වංගෙඩි මෝල් කුලු ආදිය දෙවා ‘මේ වී කොටා පොළා පිළියෙල කරව’ යි නියම කළා ය. ඕ තොමෝ නිළියක මෙන් තුටු පහටු ව වණෙහි ලා වී කොට කොටා පොළ යි. සිටුබිරිය එහි පැමිණ උපාසකම්මා අද බොහෝ සතුටින් වී කොටන පොළන බව පෙණේ, මොක ද ඒ වෙනදා නැති සතුටෙක්, උනන්දුවෙකැ’ යි ඇසූ ය. ‘හාමිනේ! අපේ එක්කෙනාත් හෙට එක් නමක් වළඳවන්නට බාරගෙණ සිටි යි, එයට වුවමනා දුරු මිරිස් උම්බලකඩ හාල් මුං උඳු පරිප්පු ආදි කිසිවක් ගෙයි නැත, තිබෙන තැනකින් ගන්නට මුදලුත් නැත, වැඩියෙන් මුදල් ටිකක් හාමිනේලාගෙන් ඉල්ලා ගන්නට සිතා අමාරුකම් නො බලා මෙසේ වැඩ කරන වා ය’ යි කී විට, සිටු බිරිය ඈ කෙරෙහි ප්‍රසන්න වූ ය.

සිටු තෙමේ, දර පළා අවසන් කළ දුගියාට කුලිය පිණිස ඇල් හාල් නැළි සතරක් දෙවා ‘මේ නුඹට තුටුපුඬුරු’ කියා තවත් නැළි සතරක් දෙවී ය. ඔහු ගෙට ගොස් බිරින්දට කතා කොට ‘මට අද මා කළ කුලී වැඩට හොඳ ඇල් හාල් ටිකක් ලැබුනා, මේ හාල් බතට සෑහේ, හාලත් බතට හොඳ ය, ඔයාට ලැබෙන කුලියෙන් දී ගිතෙල් කඩ සරක්කු ආදිය ගෙන්වා ගන්නැ’ යි කීයේ ය. වී කොටා පොළ තැන්පත් කළ කල්හි ඇයට ද කුලිය පිණිස, දී ගිතෙල් කුළුබඩු භා පිරිසිදු ඇල් හාල් නැළියක් ලැබුනේ ය. එයින් සතුටට පැමිණි ඔවුහු පසුදා උදෑසන ම නැගී සිටියාහ, අඹුව හිමියාට කතා කොට ‘එලවළු වෙළඳපොළට ගොස් පලා මිටියක් දෙකක් ගෙණෙන්නැ’ යි කි වූ ය. ඔහු එහි ගියේ වෙළඳපොළෙහි කෑමට සුදුසු පලා නො දැක අසල වූ ගං ඉවුරට ගොස් ‘දන් දීමට මටත් ඉඩ ලැබුණේ ය’ යි මහහඬ නගා කියමින් පලා නෙලන්නට වන. ඒ ගඟ දැල් දමමින් සිටි මිනිසෙක් ‘මේ මහාදිළින්දාගේ හඬැ’ යි දැන ඔහු වෙතට ලං ව ‘වෙනදා නැති සතුටෙක් අද මොක දැ’ යි ඇසී ය. ‘දනක් දීමට මා බාරගෙණ තිබේ, එය සිහිවන විට මා සිත් තුළ නගිනුයේ පමණ නො කට හැකි මහත් සතුටෙකි, මේ පලා නෙලනුයේ ද ඒ පිණිස මැ’ යි. කී ය. ‘තමුසේ හරි මිනිහෙක්, දනට පලා තම්බා දිය හැකි ද, නිතර රසමසයෙන් වළඳන භික්‍ෂූන් වහන්සේලා පලා වළඳත් දැ’ යි කී විට, ‘මට තිබෙන සැටියෙන් මිසක් අත් ලෙසකින් දන් දෙන්නට මට පිළිවන් කමක් නැත, හාමුදුරුවන් වහන්සේලා රසමස ගුණ බලාපොරොත්තු නො වෙති, උන්වහන්සේලා ලැබුනු සැටියෙන් වළඳන්නෝ ය’ යි කීයේ ය. මස් මරන්නා ඒ කතාව අසා ‘මෙහි එන්නැ යි අඬ ගා ලඟට කැඳවා ගෙණ ‘මේ මසුන් අකක් දෙ අකක් කහවණුවක් වටින ලෙසට වැල් කිහිපයකට අවුණන්නැ’ යි මසුන් දුගියාට ලං කළේ ය. ඔහු එසේ කී ලෙසට ඇවුණුයේ ය. ඇවුණු ඇවුණු මාලු වැල් නුවර වැස්සෝ අවුත් දානයට ගෙණ ගියහ. දුගියා මාලු වැල් අවුණ අවුණා හින්ද දී ම භික්‍ෂූන් පිඩු සිඟා යන කාලය ලං විය. එවිට ඔහු වේලාව සලකා ‘මිත්‍රය! මම යනවා, මට නැවතී ඉන්නට දැන් කාලයෙක් නැත, දැන් භික්‍ෂූන් පිඬු සිඟා යන වේලාවය’ යි, හුන් තැනින් නැගී සිටි කල්හි අනිකා ‘ඔහේටත් මාලු වැලක් ඉතිරිව තිබේ දැ’ යි ඇසී ය. ‘නැතැ යි කී විට ‘පොඩ්ඩක් ඉන්නැ’ යි කියා ගෙට ගෙණ යනු පිණිස වළලා තුබූ රේ මසුන් සිවු දෙනකු දී මේ ‘මාලුත් උයා හොඳට වළඳවන්නැ’ යි කීයේ ය.

මෙ දවස බුදුරජානන් වහන්සේ ලොව බලා වදාළ සේක. එවිට මේ දුගියා උන්වහන්සේ ගේ නුවණැසට පෙණී ගියේ ය. නැවැත ‘වන්නේ කිමැ’ යි බලා වදාළ කල්හි දුගියා මහණකු වළඳවන්නට ඊයේ මුළු දවස භාර්‍ය්‍යාවත් සමග කුලී වැඩ කළබව හා අන් මිනිසුන් තමන් ලඟ ඇති සැටියෙන් භික්‍ෂූන් ගෙවලට කැඳවා ගෙණ ගිය විට, එහි නැවතී සිටින තමන්වහන්සේ දුගියාට ලැබෙන බව දුටු සේක. බුදුවරු වඩාලාත් අනුකම්පා කරන්නෝ දුප්පතුන්ට ය. බුදුරජානන් වහන්සේ උදෑසන ම සිරුරු කිස කොට ‘දුගියාට සංග්‍රහ කරමි’ යි ගඳකිළියට පිවිස වැඩ හුන්හ.

දුගියා මාලුත් ගෙණ ගෙට ගියේ ය. එ කෙණෙහි සක්දෙව් රජුගේ ගල් අසුන රත්වන්නට විය. ‘එහි කරුණු කිමැ’ යි බලනුයේ දුගියා අඹුවත් සමග කුලී වැඩ කොට භික්‍ෂු නමකට දන් දෙන්නට සූදානම් වන බව හා ඒ දානයට බුදුරජුන් වැඩමවන බව ද, එහිදී දුගියා බුදුරජුන්ට එහි පිළියෙළ කළ කැඳ බත් හා පලාමැල්ලුම් පිළිගන්වන බව ද දුටුයේ ය. ඉක්බිති සක්දෙව් තෙමේ ‘මම එහි අරක්කැමි ව කැඳ බත් ටික හොඳට පිළියෙල කරමි’ යි සිතා රහස් වේසයකින් දුගී පැල අසලට ගොස් ‘කුලී වැඩ තිබේ දැ’ යි එහා මෙහා යන එන මිනිසුන්ගෙන් ඇසී ය. ඔහු දුටු දුගියා ‘උඹට කළ හැකි කුමක් දැ’ යි විචාළ විට ‘තමුසේලාට වුවමනා හැම දෙයක් ම මට කළ හැකිය, වඩු වැඩ, පෙදරේරු වැඩ, යකඩ වැඩ හා කැඳ බත් මස් මාලු පලාමැල්ලුම් ඇඹුල් සුප් කැවිලි පෙවිලි ඈ පිළියෙල කිරීම යන කොයි දෙයත් මම දනිමි’ යි පිළිතුරු දින, ‘තමුසේ මේ වේලෙහි මෙහි ඊම අපට මහත් උපකාරයෙකි, ඒ උනත් වැඩ කරවා ගෙණ ඔහාට දෙන්නට දෙයක් අපලඟ නැතැ’ යි දුගියා කී ය. ‘තමුසේලාට මගෙන් කෙරෙන්නට ඕනෑ කුමක් දැ’ යි ඇසූ කල්හි ‘එතරම් ලොකු වැඩෙක් නො වේ, අපට කර ගන්නට තිබෙනුයේ, භික්‍ෂු නමකට දන් ටිකක් දීමට අප නියම කරගෙණ තිබෙනවා. එයට හොඳට කැඳ බත් ටික උයා පිහා ගැණිමය කරගත යුතු ව තිබෙන්නේ, වෙන වැඩෙක් නැතැ’ යි කීයේ ය. ‘එහෙම ද, එසේ නම් එයට මට කුලියක් වුවමනා නැත, මටත් හොඳයි පින්, මම ඒ සියල්ල හොඳට පිළියෙල කරන්නම්’ යි දුගියාගේ ගෙට ගොඩ වී හාල් දුරු මිරිස් ආදිය ඉල්ලා ගෙණ ‘උපාසක උන්නැහේ! යන්න, ඔහාට නියම කෙරෙණ හාමුදුරුවන් වැඩමවා ගෙණ එන්නැ’ යි දුගියා පන්සලට පිටත් කොට යැවූයේ ය

ප්‍රධාන දායක තෙමේ ලියා තිබූ ලෙසට ඒ ඒ අයගේ ගෙවලට දස නම, තිස් නම බැගින් භික්‍ෂූන් පිටත් කෙළේ ය. දුගියාත් ඔහු වෙත ගොස් ‘මට දෙන හාමුදුරුවන් පෙන්වන්නැ’ යි ඉල්ලා සිටියේ ය. එ කල්හි දුගියාට ද එක් නමක් දෙන්නට වූ පොරොන්දුව මතක් වී ‘ආහ්! තමුසේට වූ පොරොන්දුව මට අමතක වී ය’ යි කී ය. දුගියා ඔහුගේ බසින් තියුණු සැතකින් පහර ලද්දකු සේ ‘මහත්තයා මෙසේ කියන්නේ ඇයි, ලොකු වරදක් කෙළේ, මටත් එක් නමක් දීමට පොරොන්දු වුනා, මම එය බාර ගත්තේ තමුසේගේ ඇවටිල්ල නිසා ය, මම අපේ ගෙදර එක්කෙනාත් සමග කුලී වැඩ කොට දනට වුවමනා දේ මට හැකි පමණින් සපයා ගන්තා. අද පාන්දර ම පලා නෙලන්නට ගං ඉවුරේ හැම තැන ඇවිද්දා, කොහොම හරි මටත් එක් නමක් ලැබෙන්නට ම ඕනෑ ය’ යි ඔලුවේ දෙ අත බැඳ හඬන්නට වන්නේ ය. එහි රැස් ව සිටි මිනිසුන් ඒ දැක ‘කුමක් නිසා හඬන්නෙහිදැ’ යි ඇසූ කල්හි ඔහු සියලු තොරතුරු ඔවුනට දැන්වී ය. ‘කුලී වැඩ කොටවත් එක් නමකට දන් ටිකක් දෙන්නැ’ යි කියන ලද දැ’ යි ඒ මිනිස්සු දායකයාගෙන් ඇසූහ. ‘ඔව්! මම කීමි’ යි දායකයා කී විට ‘තමුසේ කරලා තිබෙන්නේ ලොකු වරදෙක් ‘එක් නමක් වත් දෙනවාය යි කියා එසේ නො දීම බලගතු වරදෙකැ’ යි කීහ.

මිනිසුන්ගේ කතාබහෙන් කිසිවක් කියා ගත නුහුනු ඔහු දුගියා පැත්තකට ගෙණ ‘ඕය් මම ඔහේගේ මේ වැඩෙන් මහත් කරදරයට පැමිණියා, ලැයිස්තුවේ ලියා තිබූ ලෙසට දන් දීමට බාර ගෙන සිටි අය හාමුදුරුවරු වැඩමවා ගෙන ගියහ, දැන් එක් නමක් වත් ඒ තැන්වලින් ලබා ගැණීම නො කොට හැකි ය, ගෙට, දානය පිණිස වැඩිය හාමුදුරු නමක් දන් නො වළඳවා පිටත් කොට යවන්නට කිසිවෙක් කැමති නො වේ, මම දැන් කුමක් කරම් ද, බුදුහාමුරුවෝ මුව සෝදා ගෙණ ගඳකිළියෙහි වැඩ හිඳිති, මේ රජ යුවරජ ඇමතියෝ උන්වහන්සේ ගඳකිළියෙන් දොරට වඩිනතුරු බලා සිටින්නෝ උන්වහන්සේගේ පාත්‍රය ගෙණ යෑමට ය, එහෙත් බුදුවරු වැඩියක් අනුකම්පා කරන්නෝ දිළින්දන්ට ය, එබැවින් ඔහේ බුදුරජුන් ලඟට ගොස් ‘මම දිළිඳුය, මට සංග්‍රහ කරණු මැනැවැ’ යි වැඳ වැටෙන්න, පිණෙක් තිබේ නම්, බුදුරජානන් වහන්සේ ඔහේගේ දානයට වැඩමවනවා ඇත’ යි කී ය.

එවිට දුගියා විහාරයට ගියේ ය. එහි සිටි රජ යුවරජ ඇමතියෝ ‘මේ කවු ද, මොක ද මේ හිඟන්නා, තවම ස්වාමීන් වහන්සේලා දන් වළඳා අවසන් නැත, ඒ තබා දන් වළඳන්නට වත් සූදානමෙක් නැත, යන්නේ කොහි දැ’ යි ඔහුගෙන් ඇසූහ. ‘ස්වාමිවරුනි! මම ආවේ බුදුරජුන් වඳින්නට ය, දන් වළඳන කාලය තව ම ලං නො වූ බව මට ද පෙණෙනවා, බුදු රජුන් වඳින්නට මට පොඩ්ඩක් ඉඩ දෙනු මැනැවැ’ යි යටහත් ව කියා ඉඩකඩ ලබා ගත් දුගියා ගඳකිළිය ලඟට ගොස් එහි එලිපත මත්තෙහි හිස තබා පසඟ පිහිටුවා වැඳ ‘ස්වාමීනි! මෙ නුවර මා තරම් දුප්පතෙක් තවත් ඇත්තේ නැත, මා කෙරෙහි අනුකම්පා කරන්න! මට පිහිට වන්න! අනේ! මට අනුග්‍රහ කරන්නැ’ යි කියා සිටියේ ය. බුදුරජානන් වහන්සේ ගඳකිළියෙහි දොර ඇර පාත්‍රය ගෙණවුත් ඔහුගේ අත තැබුහ. ඒ වේලෙහි ඔහු තමා සක්විති රජ කමට පැමිණියකු කොට සිතී ය. රජ යුවරජ ඇමතියෝ උනුන්ගේ මූණු බැලුහ. බුදුරජුන් විසින් දුන් පාත්‍රය තම බලය පා පැහැර ගැන්මෙහි පොහොසතෙක් මෙ ලොව නැත. එහෙයින් ඔවුහු ‘පින්වත! ඔය පාත්‍රය අපට දෙන්න! නුඹට සල්ලි දෙන්නෙමු! උඹට ඔයින් වැඩෙක් නැතැ’ යි කියා පාත්‍රය ඉල්ලූහ. ‘අනේ! මේ පාත්‍රය නම් සක්විති රජකම දුන්නත් දෙන්නේ නැත, සල්ලිවලින් මට වැඩෙක් නො වේ, අද නම් බුදුරජුන් වළඳවන්නට ඕනෑ ය’ යි කී විට ඔවුහු නිහඬ වූහ. ඉක්බිති රජතෙමේ ‘මේ මිනිහා මුදලින් පොළඹවනු හැක්කෙක් නො වේ, කොතරම් මුදල් දුන්න ද පාත්‍රය නම් ලැබෙන්නේ නැත, බුදුරජුන් දුන් පාත්‍රය ගන්නට පිළිවන් කමෙක් ද නැත, මූ බුදුරජුන්ට පිළිගන්වන දානවස්තුව කෙබඳු වේ ද, කොතරම් වටිනාකම ඇත්තෙක් වේ ද, මූ දන් පිළිගැන්නුවාට පසු බුදුරජුන් රජගෙට වැඩමවා ගෙණ මම දන් පිළිගන්වන්නෙමි’ යි සිතා බුදුරජුන් පසුපසු ගියේය.

සක්දෙව්රජ තෙමේ දුගියාගේ ගෙයි කැඳ බත් මාලුපිණි පිළියෙල කොට බුදුරජුන්ට වැඩ හිඳිනට නිසි අස්නකුත් පණවා බලා හුන්නේ ය. දුගියා බුදුරජුන් වැඩමවා ගෙණ ගොස් ‘ස්වාමීනි! ගෙට වඩිනු මැනැවැ’ යි ඉල්ලී ය. දුගීගෙය ඉතා මිටි පැල්පතෙක් විය.

බුදුවරු ගෙවලට පිවිසෙන්නෝ නො නැමී පිවිසෙති. මිටි ගෙයකට වදින කාලයෙහි මහපොළොව යටට ගිලා බසි යි. ගෙය හෝ උස්ව සිටි යි. මෙසේ වන්නේ උන්වහන්සේලා පෙර දුන් දානයන්ගේ විපාක වශයෙනි. ගෙයින් බැහැරට වැඩිය කල්හි ගෙය පෙර සේ සිටි යි.

බුදුරජානන් වහන්සේ සිටි සේක් ම ගෙතුළට වැද පැණවුනු අසුනෙහි වැඩ හුන්න. රජ තෙමේ ‘අප ඉල්ලා සිටිය ද තා බුදුරජුන්ගේ පාත්‍රය අපට නො දෙන ලද ය, තා බුදුරජුන්ට කරණ සත්කාරය කෙබඳු දැ යි අපිත් බලමු’ යි කී ය. සක්දෙව් තෙමේ එහිදී කැඳ බත් මාලු පිණි පිළියෙල කොට තුබූ හට්ටි වළන් ඇර දැක්වී ය. එ කෙණෙහි ඒ කැඳ බත් මාලු පිණිවල ගන්වා තුබූ සුගන්ධය මුළු නුවර වසා පැතිර ගියේ ය. රජ, කැඳ බත් මාලූ පිණි ඈ බලා ‘ස්වාමීනි! දුගියාගේ දානය කෙසේ පිළියෙල කරණ ලද දැ’ යි බලා ඉන් පසු බුදුරජානන් වහන්සේ මාගේ මාලිගාවට වැඩමවා එහි පිළියෙල කළ ආහාර පාන පිළිගන්වන්නට සිතාය මම මෙහි ආයෙම්, එහෙත් මෙබඳු ප්‍රණීත ආහාර පාන මෙයට කලින් මා දැක නැත, මා මෙහි තව සිටියොත් මොහු වෙහෙසට පත්වන්නේ ය, එහෙයින් මට යන්නට අවසර දෙනු මැනැවැ’ යි අවසර ගෙණ වැඳ එතැනින් නික් ම ගියේ ය. සක්දෙව් තෙමේ බුදුරජුන්ට කැඳ බත් පිළිගන්වා සත්කාර කෙළේ ය. වළඳා අවසන්හි අනුමෙවෙනි බණ වදාරා බුදුරජුන් හුනස්නෙන් නැගී වඩින කල්හි දුගියා ද පාත්‍රය ගෙණ බුදුරජුන් පසු පස ගියේ ය. සක්දෙව් තෙමේ ගෙයි සිටියේ උඩ බැලී ය. එ කෙණහි වට සත් රුවන් වැස්සෙන් දුගීගෙය මුළුමනින් පිරී ගියේ ය. ගෙයි තුබූ සියලු හට්ටි මුට්ටි එයින් පිරින. ගෙයි හැම තැන ඉඩ කඩ නැති විය. දුගී භාර්‍ය්‍යාව කුඩා දරුවන් අත එල්ලා ගෙණ ගෙයින් බැහැර වූ ය.

බුදුරජුන් පසු පස ගිය දුගියා ටික දුරක් ගොස් පෙරළා ආයේ බැහැර සිටි දරුවන් දැක ‘කුමක් නිසා බැහැර සිටින්නෙහි දැ’ යි අඹුවගෙන් ඇසී ය. ‘හිමියෙනි! මුළු ගෙය ම හැමතැන ම සත් රුවනින් පිරිලා ය, ඇඟිල්ලක් ගහන්න ට තැනක් එහි නැතැ’ යි ඕ තොමෝ කිවු ය. ‘දානයෙහි විපාක අද ම හොඳට ලැබුනා ය’ යි සිතමින් රජු කරා ගොස් වැඳ සිටි දුගියාගෙන් ‘මෙහි ආයෙහි කුමක් නිසා දැ’ යි රජ තෙමේ ඇසී ය. ‘දේවයන් වහන්ස! මාගේ ගෙය සත් රුවනින් පිරී ගොස් ය, ඉන්නට හිටින්නට තැනක් එහි නැත, ඒ ධනය අද ම මෙහි ගෙන්වා ගත මැනැවැ’ යි කී ය. පුදුමයට පැමිණි රජ තෙමේ ‘බුදුරජුන්ට පිළිගැන්නු දානය අද ම මුදුන් පැමිණියේ ය’ යි සිතා තම මාගෙන් වුවමනා කුමක් දැ’ යි ඇසී ය. ‘දේවයන් වහන්ස! වුවමනා කරන්නේ ඒ ධනය මෙහි ගෙණ ඊමට ලොකු ගොන් බැඳි කරත්ත දහසකැ’ යි කී විට රජ තෙමේ බර කරත්ත දහසක් යවා ධනය ගෙන්වා රජගෙය මිදුලෙහි ගොඩ ගැස්සී ය. සත්රුවන් ගොඩ මහත් තල් ගසක් පමණ උස් ව සිටියේ ය. නුවර වැස්සන් ගෙන්වා ‘මෙ නුවර අන් කාටවත් මෙතරම් විශාල ධනයෙක් ඇත් දැ, යි විචාළ විට ඔවුහු ‘නැතැ’ යි පිළිතුරු දුන්හ. එසේ නම් මේ ධනහිමියාට කළ යුත්තේ කුමක් දැ’ යි ඇසූ කල්හි ‘දේවයන් වහන්ස! සිටු තනතුරක් දීම වටීය’ යි කීහ. රජ තෙමේ ඔහුට සිටු තනතුරක් දෙවා පෙර සිටුවරයකු විසූ ගෙයක් තුබුනු තැන් පෙන්වා ‘මෙහි ඇති ගස් කොළන් වල් පැලෑටි උදුරා දමා ගෙයක් ගොඩ නගා ගෙණ වාසය කරන්නැ’ යි නියම කෙළේ ය.

ඔහු එහි ගොස් එ තැන පිරිසිදු කොට ගෙපල ඇද අඩිතාලම් සාරවන විට එකට එක හැපී තුබූ නිදන් සැලි සතෙක් මතුවී සිටියේ ය. එ බව රජුට දැන් වූ කල්හි ඔබ පිණින් ලැබෙන වස්තුව ඔබට ම අයත් ය, එබැවින් ඒ ධනයත් ඔබ ම ගන්නැ යි රජ තෙමේ කී ය. ඔහු යුහු ව ගෙය ගොඩ නගා බුදුපාමොක් මහ සඟනට සත් දිනක් මහදන් දුන්නේ ය. ඉන් පසු පසුත් දිවි ඇති තාක් ම නන් වැදෑරුම් පින්කම් කොට ආයු කෙළවර මැරී ගොස් දෙව්ලොව උපන. එක් බුද්ධාන්තරයක් ම දෙව්සැප විඳිනුයේ අප බුදුරජුන් දවස දෙව්ලොවින් චුත ව සැවැත් නුවර සැරියුත් මහතෙරුන්ට හිතවත් වූ සිටු ගෙයක පිළිසිඳ ගත්තේ ය. මවුපියෝ දුවකුස දරුගැබක් පිහිටි බව දැන එයට සරිලන සියලු රැකවල යෙදූහ. ගැබ මුහුකුරායත් ම ඇයට දම්සෙනෙවි සැරියුත් මහ තෙරුන් ප්‍රධාන කොට පන්සියයක් දෙනා වහන්සේට රේමසින් සුප් සාදා දන් දෙන්නටත් කසට වත් හැඳ භික්‍ෂූන් වැඩ හිඳින අසුන් කෙළවර හිඳ උන්වහන්සේලාගේ ඉඳුල් බත් කන්නටත් දොළදුකෙක් උපන. ඕ තොමෝ ඒ දන්වා එසේ කළා ය. දොළ දුක සංසිඳුනේ ය. මවුපියෝ එයින් පසු ද ඈ පිළිබඳ සත් මගුලෙක රේමස් සුප් සැරියුත් මහතෙරුන් මුල් කොට භික්‍ෂුන් පන්සියය පන්සියය වැළඳ වූහ. මේ වනාහි සිඟමනින් දිවි යවන කාලයෙහි මොහු දුන් රේමස් සුප් දානයෙහි විපාකය යි. නම් ගන්නා දවසෙහි ඔවුහු ‘සවාමීනි! ඔබ වහන්සේගේ මෙහෙකරුට සිකපද ගන්වන්නැ’ යි දන්වා සිටියහ.

ඉක්බිති මහතෙරණුවෝ ‘මේ ලදරුවාගේ නම් කිමැ’ යි ඇසූහ. ‘සවාමීනි! මේ ලදරුවා පිළිසිඳ ගත් දා සිට මේ ගෙයි වැසි මෝඩයෝ ද කෙලතොල්ලෝ ද පණ්ඩිතයෝ වූහ, එහෙයින් අප පුතුට පණ්ඩිත යන නම සුදුසු ය’ යි කී කල්හි උන්වහන්සේ ඒ පිළිගෙණ සික පද ගැන්වූහ. මොහු උපන්දා ම මෑනියන්ට ‘මම මා පුතුගේ අදහස් කිසි කලෙකත් නො බිඳිමි’ යි සිතෙක් උපන. සත් හැවිරිදි වූ ලදරු තෙමේ ‘අම්මා! මා සැරියුත් මහතෙරුන්වහන්සේගේ අතවැස්සකු කොට පැවිදි කරවන්නැ’ යි කී ය. ‘හොඳයි’ පුතා! මම නුඹගේ අදහස ඉටු කරන්නෙමි’ යි කියා මවු තොමෝ මහතෙරුන් වහන්සේ ගෙට වැඩමවා ගෙණ වළඳවා ‘ස්වාමීනි! ඔබවහන්සේගේ මෙහෙකරු වූ මේ කොලු පැංචා මහණවීමෙහි ආශා ඇත්තේ ය, මම සවස ලදරුවා ගෙණ එන්නෙමි’ යි මහතෙරුන් පිටත් කොට නෑයන් ගෙන්වා ‘මා පුතු ගිහියකු කොට සලකා කරණ සත්කාර අද කරන්නැ’ යි කිවු ය. නෑයන් එසේ සත්කාර කළ පසු ඕ තොමෝ ලදරුවා වෙහෙරට කැඳවා ගෙන ගොස් පැවිදි කරන්නට සැරියුත් මහ තෙරුන්ට බාර කළා ය. උන්වහන්සේ පැවිද්දෙහි බරපතල කමත් එය නිසි ලෙස රැකීමෙහි අපහසුවත් වදාළ කල්හි ‘මම මහණකම හොදින් රකිමි, හාමුදුරුවන් වහන්සේගේ අවවාදයෙහි පිහිටා ගැණීම මාගේ ජිවිතයට වන එක ම ආශීර්‍වාදය යි, මම හැමවිට ම අවවාදයට අනුව කරමි’ යි ඒ සත් හැවිරිදි ලමයා කියා සිටියේ ය. ‘එසේ නම් මෙහි එන්නැ’ යි කියා තචපඤ්චකකර්‍මස්ථානය කියවා උන්වහන්සේ ඔහු පැවිදි කළහ. මවුපියෝ බුදුපාමොක් මහ සඟනට සත් දවසක් රේමස් සුප් ඇතිව ම දන් දී සත්වනදා සවස ගෙවල බලා ගියහ.

සැරියුත් මහතෙරනුයෝ අටවනදා ඒ කුඩා හෙරණුන් හා ඇතුළුගමට වැඩි සේක. අන් මහණ කෙනෙකුන් හා නො ගියහ. කුඩා හෙරණුන්ගේ සිවුරු ගැටවටු කිරීම, පාත්‍රය දැරී ම, ඉරියව් පැවැත්වීම ආදී වූ මේ ක්‍රියාවෝ තව ම දුටුවන් නො පිණ වන්නෝ ය. තව ද විහාරයෙහි තෙරුන් පිළිබඳ කළයුතු වතෙක් ඇත්තේ ය. භික්‍ෂුසංඝයා ගමට පිවිසි කල්හි ස්ථවිරයන් වහන්සේ මුළු වෙහෙර ඇවිද නො හැමදි තැන් හැම ද, හිස් බඳුන්, පැන් ඇද පුරවා, තැන තැන තබා ඇති ඇඳ පුටු ආදිය තැන්පත් කොට සියල්ලන්ට පසුව ගමට වඩින සේක. තීර්‍ත්‍ථකයෝ හිස් වෙහෙරට වැද ශ්‍රමණ ගෞතමයාගේ ශ්‍රාවකයන් හිඳින තැනක සැටි බල වු’ යි කියන්නට ඉඩ නො ලැබෙන සේ සියලු විහාරය පිළියෙල කොට තබා ගමට වඩින සේක. මෙය උන්වහන්සේගේ පියවි සිරිත බැවින් එදා ද හෙරණුන් ලවා පා සිවුරු ගන්වා ගෙණ දවල් කොට ගමට වැඩි සේක. හෙරණ ද උපාද්ධ්‍යායයන් සමග යන්නේ අතර මග එක් ඇලක් දැක ‘මේ කිමැ’ යි ඇසී ය. ‘ඇලකැ’ යි පිළිතුරු දුන්හ. ‘ඇලෙන් ඇති ප්‍රයෝජනය කුමක් දැ’ යි නැවැත ඇසූවිට ‘තැන තැන රැස්ව සිටි දිය ගෙණවුත් දෙපස පිහිටි කුඹුරුවලට යවා ගොයම් කරති’ යි වදාළ සේක. ‘දියට සිත් පිත් ඇති දැ’ යි ඇසූ කල්හි ‘නැතැ’ යි වදාළ සේක. ‘එසේ නම් ස්වාමීනි! සිත් පිත් නැති දිය තමන් කැමැති තැනට ගෙණ යන්නෝ ද?’, ‘එසේය ඇවැතැ’ යි එයට පිළිතුරු දුන්හ. ඉක්බිති හෙරණ තෙමේ ‘මේ හැටියෙන් සිත් පිත් නැති මේ දියත් තමන් කැමැති තැනට පමුණුවා වුවමනා කටයුතු කරත් නම් සිත් පිත් ඇති සත්වයෝ සිත තම වශයෙහි පවත්වා කුමක් හෙයින් මහණදම් කිරීමෙහි අපොහොසත් වන්නෝ දැ’ යි සිතන්නට විය.

තව ටිකක් ඉදිරියෙහි ගිය ඔහු හී වඩුවකු ඊ දණ්ඩක් ගින්නෙහි ලා තව තවා ඇස් කොණින් බල බලා ඇද හරිනු දැක ‘මොවුහු කවුරු දැ’ යි ඇසී ය. ‘ඊ වඩුවෝ ය’ යි වදාළ කල්හි හෙරණ ‘මොවුන් මේ කරන්නේ කුමක් දැ’ යි ඇසී ය. ඊ දඬු ගින්නෙහි ලා ඇද හරිත් ය’ යි වදාළ සේක. එවිට ‘ඊ දඬුවලට සිත් පිත් තිබේ දැ’ යි ඔහු ඇසී ය. ‘නැතැ’ යි වදාළ විට ‘මෙලෙසින් සිත් පිත් නැති ඊ දඬුත් ගින්නෙහි ලා තව ඇද හරිත් නම්, සිත් පිත් ඇති සත්වයෝ තම සිත තමාට නතු කොට ගෙණ මහණදම් කරන්නට කුමක් හෙයින් අසමර්‍ත්‍ථ දැ’ යි සිතමින් තව ටිකක් ඉදිරියට යත් ම දැවි නිම්වළලු බොස් ගෙඩි සඳහා දැව සසින්නන් දැක ‘මොවුන් මේ කරන්නේ කුමක් දැ’ යි විචාළේ ය. ‘මොවුහු දැව දඬු සසින්නෝ ය, වනයෙන් දැව දඬු ගෙණවුත් තිරික්කල, කරත්ත, බරබාග, බරකරත්ත ආදියට රෝද, දැති, බොස්ගෙඩි, පට්ටම් සාදති’ යි වදාළ කල්හි ‘ඒවාට පණ තිබේ දැ’ යි ඇසී ය. ‘නැතැ’ යි වදාළ විට ‘මොවුහු මෙලෙසින් සිත් පිත් නැති දැව දඬු සැස කරත්ත රෝද ආදිය සාදත් නම් සිත් පිත් ඇති සත්වයන්ට තම සිත් නතු කොට ගෙණ මහණදම් කරන්නට බැරි කුමක් නිසා දැ’ යි සිතා ‘හාමුදුරුවන් වහන්ස! පා සිවුරු ඇර ගන්නා සේක් නම් මට නවතිනු හැකි ය’ යි කී ය.

‘ඊයේ පෙරේදා මහණ වූ මේ ලදරු හෙරණ අනුබුද්ධ ව සිටින මට, මාගේ තරම් නො දැන මෙසේ කියා’ යි නො සිතා ම ‘ගෙණව’ යි ගෙන්වා ගෙණ උන්වහන්සේ තම පා සිවුරු තම අතට ගත්හ. හෙරණ තෙමේ තෙරුන් වැඳ නැවතී ‘හාමුදුරුවන් වහන්ස! මට කෑම ගෙණෙනවිට රේමසුත් සමග බත් ගෙණ එන්නට ඕනෑ ය යි කී ය. එවිට තෙරණුවෝ ‘උන්නැහේ! තමුසේ කියන රේමස් මම කො තැනකින් ලබම් දැ’ යි ඇසූහ. ‘හාමුදුරුවන් වහන්ස! හාමුදුරුවන් වහන්සේගේ පිණට නො ලැබුන ද, මාගේ පිණට ලැබෙන්නේ ය’ යි කී කල්හි ස්ථවිරයන් වහන්සේ ‘මා පිටතට ගිය විට කුඩා නම ඉතා ළදරු බැවින් උවදුරු විය හැකි ය’ යි සිතා තමන් වහන්සේ වසන කාමරයෙහි යතුරු දී ‘ඕයි! තමුසේ මා එනතුරු මා වසන කාමරය තුළට වී පිටත නො ගොස් ඉන්නැ’ යි නියම කොට වැඩියාහ. හෙරණ තෙමේ ගුරුවරයා කී ලෙසට කාමරය තුළට වී සිය සිරුරෙහි නුවණ බහා තිලකුණු සිහි කරන්නට විය. එකල හෙරණුන්ගේ ගුණ තෙදින් තැති ගත් සක්දෙව්රජ තෙමේ ‘කරුණු කිමැ’ යි සොයා බලනුයේ, පණ්ඩිත සාමණේරයන් මහණදම් කරන්නට සූදානම් බව දැක සිවුවරම් රජුන් ගෙන්වා ‘පණ්ඩිත සාමණේරයන් වසන විහාරය අවට සිටි ගස්කොළන්වල ඉන්නා කොවුල් ගිරවු මයින සැළලිහිණි කොබෙයි පරෙවි කහකුරුලු නීල කොබෙයි ආදී පක්‍ෂීන් පන්නා හැර අවට පෙදෙස් නිහඬ කොට අරක් ගණිවු’ යි අණ කෙළේ ය. සඳ හිරු දෙව්පුතුන්හට ‘විමානයන්ගේ ගමන් නවතාලවු’ යි අණ කොට තෙමේ ගොස් එලිපත අගුල් කණුව ලඟ අරක් ගෙණ සිටියේ ය. විහාරයෙහි පරඬලාවක් වැටෙන හඬකුදු නො වී ය. ‘හෙරණහුගේ සිත එකඟ විය. අත්බව ගැන සිහි කරණුයේ පෙරවරුයෙහි ම තුන්පලයට පැමිණියේ ය.

සැරියුත් මහතෙරුන් වහන්සේ ‘කුඩා නම විහාරයේ ය, ඒ නමට සෑහෙන අහරක් අසවල් ගෙයින් ලබා ගත හැකි ය’ යි එක් දායක ගෙයකට වැඩි සේක. ඒ ගෙය උන්වහන්සේ කෙරෙහි අතිශය භක්තිමත් ය. ගෙයි වැස්සෝ එ දවස රේමස් පිළියෙල කොට තෙරුන් වඩිනු බලා හුන්හ. තෙරුන් වඩිනු දැක ඔවුහු ඉදිරියට ගොස් ‘හාමුදුරුවන් වහන්සේ මෙහි ඊමෙන්, කොට වදාළෝ ඉතා යහපතකැ’ යි ගෙට වැඩමවා කැඳ හා කැවිලි පෙවිලි පිළිගන්වා රේමස් හා පිණ්ඩපාතය ද පිළිගැන්නූහ. එය පිළිගෙණ උන්වහන්සේ බැහැරට වඩින්නට සූදානම් වූහ. ‘ස්වාමීනි! නො වැඩිය මැනැව, මෙහි ම හිඳ වළඳනු මැනැව, ගෙණ යන්නට පිණ්ඩපාතය අපි දෙන්නෙමු’ යි කී විට උන්වහන්සේ එහි ම හිඳ වැළඳූහ. අවසානයෙහි පාත්‍රය සෝදා පිසදමා එහි රේමස් සහිත බත් පුරවා පිළිගැන්නූහ. එය පිළිගත් ස්ථවිරයන් වහන්සේ ‘කුඩා නම බඩ ගින්නේ ය’ යි වහ වහා වෙහෙරට වැඩි සේක. එදා කලින් වළඳා හුන් ස්වාමිදරු වූ බුදුරජානන් වහන්සේ වෙහෙරට වැඩ පණ්ඩිත සාමණේරයන් ගුරුවරයාට පාත්‍රය දී මහණදම් කරන්නට වෙහෙර නැවතී ගත් බැවින් මහණදම් සඵල වන්නේ දැ’ යි බැලූහ. එ කෙණෙහි සෝවන් ඈ තුන් පලයට පැමිණි බව දැක ‘රහත්වන්නටත් පින් ඇත්තේ දැ’ යි බැලූහ. ‘ඇතැ’ යි දැක ‘කොයි වේලෙහි රහත් වේ දැ’ යි බැලූහ. පෙරවරුයෙහි ම රහත් වන බව දුටහ. නැවැත උන්වහන්සේ සැරියුත් තෙරුන් ගෙණෙන බත සාමණේරයගේ රහත්බව වළකාලන්නක් බව දැක, මම දොරකොටුවෙහි සිට සැරියුත් තැනගෙන් ප්‍රශ්න සතරක් අසන්නෙමි, ඒ තැන එයට පිළිතුරු දෙත් ම කුඩා නම සිවුපිළිසැඹියාවන් ඇති ව රහත් වන්නේ ය’ යි ද දැක දොරකොටුවෙහි නැවතී ගත් සේක. එකල සැරියුත් මහ තෙරණුවෝ එහි ආහ. බුදුරජානන් වහන්සේ ප්‍රශ්න සතරක් අසා වදාළහ. උන්වහන්සේ ඒ හැම ප්‍රශ්නයන් ම විසඳූහ. මේ මතු කියන්නේ ඒ ප්‍රශ්න විසදීම ය.

බුදුරජානන් වහන්සේ

:-

තමුසේට ලැබුණේ මොනවා ද?

ස්ථවිරයන් වහන්සේ

:-

අහරෙක් ලැබුනේ ය.

බුදුරජානන් වහන්සේ

:-

අහර කුමක් එළවා ද?

ස්ථවිරයන් වහන්සේ

:-

අහර වේදනාව එළවයි.

බුදුරජානන් වහන්සේ

:-

වේදනාව කුමක් එළවා ද?

ස්ථවිරයන් වහන්සේ

:-

වේදනාව රූපය එළවා.

බුදුරජානන් වහන්සේ

:-

රූපය කුමක් එළවා ද?

ස්ථවිරයන් වහන්සේ

:-

රූපය ස්පර්‍ශය එළවා.

මේ මතු පහළ වන්නේ මෙහි අදහස ය. බඩගිනි ඇත්තහු විසින් අනුභව කළ ආහාරය බඩගින්න දුරු කොට සැප වේදනාවක් ගෙණ දෙයි. ආහාර වැළඳීමෙන් උපදනා සැපවේදනාවෙන් සුඛිත වූවහු ගේ සිරුරෙහි පැහැසපුව වැඩෙයි. වේදනාව රූපය එළවන්නේ මෙසේ ය. සුඛිත වූයේ අහරින් උපන් රූපයන්ගේ වශයෙන් සැප සොම්නස් ඇත්තේ ‘දැන් මට රසවිඳුමෙක් උපනැ’ යි නිදන්නේ හෝ හිඳින්නේ සුවපහස් ලබයි.

හෙරණ තෙමේ මේ පැණවිසඳුම් අසා රහත් වූයේ ය. ඒ සමග සිවුපිළිසැඹියා ද ලැබින. ඉක්බිති බුදුරජානන් වහන්සේ ‘සාමණේරයාහට වළඳන්නට මොකවත් දෙන්නැ’ යි සැරියුත් තෙරුන්ට වදාළ සේක. තෙරණුවෝ දොරට තට්ටු කළහ. හෙරණ තෙමේ දොර හැර දොරට බැස තෙරුන් අතින් පාත්‍රය ගෙණ පසෙක තබා තල් අත්තක් ගෙණ පවන් සැලූයේ ය. ‘තමුසේ ගොස් දන් වළඳන්නැ’ යි කී විට ‘මම දන් වැළඳීමි’ යි ඔහු කී ය. නැවැතත් ‘දන් වළඳන්නැ’ යි තෙරුන් කියූ හෙරණ තෙමේ ප්‍රත්‍යවේක්‍ෂාස්ථානය ප්‍රත්‍යවේක්‍ෂා කරමින් දන් වැළඳුයේ ය. වළඳා අවසන්හි පා සෝදා තැන්පත් කෙළේ ය. එ කෙණෙහි චන්ද්‍රදිව්‍යපුත්‍ර තෙමේ රඳවා තුබූ සඳමඬල හැරියේය. සූර්‍ය්‍යදිව්‍යපුත්‍ර තෙමේ හිරුමඬල හැරියේ ය. සිවු මහවරම් රජහු අරක් ගෙණ සිටි තැන් හැර ගියහ. අගුලු කණුවෙහි රැක සිටි සක්දෙව්රජ තෙමේ ඒ හැර ගියේ ය. ඉර මුදුනෙන් ගිලිහින. භික්‍ෂූහු ‘සෙවණැල්ල වැසී තිබේ, ඉර මුදුනෙන් ඉවත් ව සිටියි, හෙරණුන් වළඳා අවසන් කළේ ද දැන් ය, මේ සුදුසු දැ’ යි පරිභව මුඛයෙන් කතා කරන්නට වූහ. බුදුරජානන් වහන්සේ ඒ දැන වදාරා භික්‍ෂූන් හුන් තැනට වැඩ ‘තමුසේලා කුමක් කියන්නහු දැ’ යි අසා වදාළ සේක. පණ්ඩිත සාමණේරයන්ගේ දන් වැළඳීම ගැන කතා කරමින් හුන්නෙමු’ යි ඔවුහු කීහ. ‘ඔව්, මහණෙනි! එහෙම තමා, පින් ඇත්තහු මහණදම් කරණ විට සඳ හිරු දෙව් පුත්හු තම විමානයන් රඳවා තැබූහ, සිවු මහවරම් රජහු විහාරොපවනයෙහි අරක් ගෙණ සිටියෝ ය, අගුලු කණුවෙහි අරක් ගෙන සිටියේ සක්දෙව්රජ තෙමේ ය, මටත් බුදුමි, යි කියා උත්සාහ හැර ඉන්නට ඉඩ නො ලැබින, මමත් එහි ගොස් දොර කොටුවෙහි මපුත්හට රැකවල් ගතිමි, ඇලවල ඇති දිය ගෙණ යන දියාලුවන් ද ඊ ඇද හරින හී වඩුවන් ද දැව දඬු සසින්නන් ද දැක මෙතෙක් අරමුණු ගෙණ පණ්ඩිතයෝ ආත්ම දමනය කොට රහත්බවට පැමිණෙන්නාහු ම ය’ යි වදාරා. අනුසන්ධි ගළපා මේ ධර්‍මදේශනාව කළ සේක:-

උදකං නයනති නෙත්තිකා උසුකාරා නමයන්ති තෙජනං

දාරුං නමයන්ති තච්ඡකා අත්තානං දමයන්ති පණ්ඩිතාති.

දියාලුවෝ දිය ගෙණ යත්. හිවඩුවෝ ඊදඬු නවත්, සස්නා වඩුවෝ දැව නවත්. පණ්ඩිතයෝ තමන් දමනය කෙරෙත්.

උදකං නයනති නෙත්තිකා = දියාලුවෝ (තමන් කැමැති තැනට) දිය ගෙණ යත්.

ජලය තෙමේ ඝනීභූත වස්තූන් වැගිරෙන බවට පත් කරණ බැවින් උදක, යි කියනු ලැබේ. පොළොවෙහි උස්තැන් කපා සාරා වළතැන් මිටිතැන් පුරවා ඇල බිඳ වේලි නගා හෝ දිය ඇද ගන්නා පීළි තබා හෝ තමන් කැමති තැනට දිය ගෙණ යන්නෝ ය දියාලුවෝ. ‘පඨවියා ඵලට්ඨානං ඛණිත්වා ආවාටට්ඨානං පූරෙත්වා මාතිකං වා කත්වා රුක්ඛදොණිං වා ඨපෙත්වා අත්තනො ඉචඡිතිච්ඡිතට්ඨානං උදකං නෙත්තීති = නෙත්තිකා, යනු අටුවාය.

උසුකාරා නමයන්ති තෙජනං = හී වඩුවෝ ඊදඬු නවත්.

අහසින් යනුයේ උසු, නමි . ‘ඉසති ආකාසතො ගච්ඡතී ති = උසු’ ඉස - ගමනෙ යන ධාතුයි. ‘උසති දාහං කරොති = උසු’ දාහ කරණුයේ ද උසු නමි. උස - දාහෙ යනු ධාතුයි. ‘උසුං කරොතීති = උසුකාරො’ ඊ සාදනුයේ උසුකාර ය. තෙජනං, යනු ඊදණ්ඩ යි. ‘තෙජනන්ති කට්ඨං’ යනු අටුවා ය. වඩුවන් විසින් තවා ඇද මැඩ තියුණු කරණු ලබන හෙයින් කාෂ්ඨය තෙජන නමින් කිය වේ. හීවඩුවෝ දැව දඬු ගෙණ ගින්නෙහි ලා තවා ඇද මැඩ, විද්ද කල්හි දුර යන සේ සියුම් කෙරෙති. ඇද කුද හරිති. එහෙයින් තවා ඇද මැඩ තමන් කැමැති සේ නමන්නාහුය යි කීහ.

දාරුං නමයන්ති තච්ඡකා - සසින්නෝ දැවදඬු නවත්.

පළනු ලබන ලී කොටන් දාරු, යි කියත්. යමක් සඳහා වෙන් නො කළ සාමාන්‍ය දැව දඬු ය. ‘තච්ඡති තනු කරොතීති = තච්ඡකො, දැවදඬු සසින්නේ තුනී කරන්නේ තච්ඡක, නම් වේ. සසින වඩුවෝ නිම්වළලු ආදිය සඳහා දැව දඬු සසින්නෝ තමන් කැමති සේ දැව දඬු සැස ඇද හරිති. වක් හෝ කෙරෙති.

අත්තානං දමයන්ති පණ්ඩිතා - නුවණැත්තෝ සිත දමනය කෙරෙත්.

මෙහි අත්තානං, යන පදයෙන් ප්‍රධාන විසින් සිත ගැණේ. නුවණැත්තෝ තම සිත, තමන් කැමැති තැනට, දිය ගෙණයන දියාලුවන් සේ විදසුන් නැමැති ඇල, අරමුණු නැමැති කෙතට නමා ගෙණ භාවනා නැමැති ගොයම් කොට, ඊදඬුවල ඇද හරින හී වඩුවන් සේ තම සිතෙහි වූ මායා සාඨෙය්‍යාදි වඞ්කභාවයන් හැර, නිම්වළලු ආදියට දැව දඬු සසින වඩුවන් සේ තදඞ්ගාදි වශයෙන් කෙලෙසුන්ගේ හැම අවස්ථාවක් සැස දමා සෝවන් ඈ මගපල උපදවමින් සිත දමනය කෙරෙති.

ආත්මදමනය කරන්නෝ පළමු කොට ශීලයෙහි පිහිටා ගණිති. ඒ ය විය යුතු සැටි. නැවැත ශ්‍රද්ධාවෙන් අශ්‍රද්ධාව, ත්‍යාගයෙන් මාත්සර්‍ය්‍යය යන ඈලෙසින් සිතෙහි උපදින අයහපත් සිතිවිලි දුරුකොට අධිචිත්ත අධිප්‍රඥා ශික්‍ෂාවන්හි හික්මෙන්නෝ ය. මෙසේ හික්මෙන්නෝ මානසික සුඛයෙන් දිව්‍යසුඛයටත් එයින් ධ්‍යාන සුඛයටත් එයින් මාර්‍ගසුඛයටත් එයින් ඵලසුඛයටත් ඵලසුඛයෙන් නිර්‍වාණසුඛයටත් පැමිණ සසර දුක් තරණය කෙරෙති, සසර දුකින් එතර ව සිටියෝම ය ආත්මදමනය කළෝ.

නො දැමුනු සිත රූප, ශබ්ද, ගන්ධ, රස, ස්ප්‍රෂ්ටව්‍ය යන විෂය වස්තූන් කරා දුවයි. වැට කටු නැති කුඹුරට ගොනකු වදින කල එයට යා නො දී වැළකීම කුඹුරෙහි වැට කටු නැති බැවින් ඉතා අපහසු ය. එමෙන් කොණක් නො දැක්විය හැකි ඉතා දිගු කලක් පස්කම් සැපයෙහි ඇලී එන එහි ම නතු ව පවත්නා එයට පුරුදු වූ මේ සිත, එයින් වළකාලීම පහසු නො වේ. පණ්ඩිතභාවය වුවමනා වනුයේ ඒ නිසා ය. අඥයකුට ඒ කළ නො හැකි ය. නුවණැත්තේ තදනුකූල වූ පිළිවෙත සොයා සිත එහි යොද යි. ඒ පිණිස කමටහන් නමින් පිළිවෙත් සතළිසක් ආගම ධර්‍මයෙහි දක්වා ඇත. ඒ සතළිස් කමටහනෙන් තමාගේ චරිතයට ගැළපෙන්නක් ගෙණ එහි සිත බැඳ තබා පිළියෙල කළ යුතු ය. මෙසේ කරණ කල්හි සිත කෙමෙන් දැමෙන්නේ ය. සිත දැමීමේ තරමට සිත දමන්නාහට සැප ලැබේ. හොඳට ම දැමුනු කල නිවන් සැප සිදු වේ. එහෙයින් හැම කෙනකුගේ හැම ක්‍රියාවක් ම චිත්තදමනය පිණිස විය යුතුය.

මේ ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියෝ ය.

පණ්ඩිතසාමණේර වස්තුව නිමි.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.