න භජෙ පාපකෙ මිත්තෙ න භජෙ පුරිසාධමෙ.
භජෙථ මිත්තෙ කල්‍යාණෙ භජෙථ පුරිසුත්තමෙ.
පාපමිත්‍රයන් සේවනය නො කරන්නේ ය. අධම පුරුෂයන් සේවනය නො කරන්නේ ය. කලණ මිතුරන් භජනය කරන්නේ ය. උත්තම පුරුෂයන් භජනය කරන්නේ ය.
මම මාගේ ස්වාමිපුත්‍රයා සමග මහබිනික්මන් කෙළෙමි, එදා දැන් ඉන්නා මේ එකෙක් වත් නො සිටියේ ය, එකෙක්වත් පසු පස්සෙහි නො ආයේ ය, එදා උන්වහන්සේ සමග සිටියේ හුන්නේ මම පමණක් ය, දැන් නම්, මම සැරියුත් වෙමි, මම මුගලන් වෙමි, අපි අග්‍රශ්‍රාවකයෝ ය යි ලොකුවට මහත්කම ම කියා ගන්නෝ බොහෝ ය, දැන් පසුපස යන්නෝත් සිටිති’ යි කියමින් ඡන්නස්ථවිරයන් වහන්සේ අග්‍රශ්‍රාවක දෙදෙනා වහන්සේට නින්දා පරිභව කළහ. බුදුරජානන් වහන්සේ ඒ අසා ඡන්න ස්ථවිරයන් කැඳවා අවවාද කරණ සේක. අවවාද දෙන විට නිශ්ශබ්දව සිට නැවැතත් නින්දා කරති. මෙසේ තුන්වන වර දක්වාත් ආක්‍රෝශ කළහු කැඳවා ‘ඡන්න! අග්‍රශ්‍රාවකයෝ තමුසේගේ කල්‍යාණමිත්‍රයෝ ය, මෙබඳු කල්‍යාණමිත්‍රයන් සේවනය කරව, භජනය කරව, තට එයින් මහත් ම වැඩෙක් වන්නේ ය, මෙබඳු උතුම් කල්‍යාණමිත්‍රයෝ ලෝකයෙහි ඉතා දුර්‍ලභයහ, ඒ නිසා අග්‍රශ්‍රාවක දෙනම නිතර සේවනය කරව’ යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක:-
න භජෙ පාපකෙ මිත්තෙ න භජෙ පුරිසාධමෙ,
භජෙථ මිත්තෙ කල්‍යාණෙ භජෙථ පුරිසුත්තමෙති.
පාපමිත්‍රයන් නො සෙවුනේ ය. අධමපුරුෂයන් නො සෙවුනේ ය. කල්‍යාණමිත්‍රයන් සෙවුනේ ය. උත්තම පුරුෂයන් සෙවුනේ ය.
න භජෙ පාපකෙ මිත්තෙ = පාපමිත්‍රයන් නො සෙවුනේ ය.
පාපකෙ, යන්න මිත්තෙ, යන්නට විශේෂණ ව සිටියේ ය. ‘මිජ්ජති සිනෙහතීති = මිත්තො’ ස්නේහ කරන්නේ මිත්‍ර නම් වේ. ස්නේහය නම්, හිතවත් ලෙසින් පැවැත්ම යි. යමෙක් යමකු කෙරෙහි හිතවත් ව මෙලොව වැඩ අවැඩ දක්වමින් අවැඩින් වෙන් කොට වැඩෙහි යොදන්නේ වේ ද, ඔහු මිත්‍රයා යි මෙයින් කිය වේ. ‘මිනොති අන්තො පක්ඛිපතීති = මිත්තො, යන මෙයින් හැඟෙනුයේ යමෙක් යමකු සිත්හිලා ම පිළිගෙණ හිත වැඩ දක්වන්නේ වේ ද, ඔහු මිත්‍රයා වන බවය. ‘සබ්බගුය්හෙ මීයති පක්ඛිපීයතීති = මිත්තො සැඟවිය යුතු, රහසේ තබාගත යුතු තමන් පිළිබඳ සියලු දේ නො සඟවා කියන්නහු මිත්‍රයා බව මින් කිය වේ. ‘මිදති බන්ධති අත්තනි පරන්ති = මිත්තො’ යන මෙයින් තමන් කෙරෙහි අන්‍යයා බැඳ ගන්නේ නතු කරගන්නේ මිත්‍රයා යී කීහ මේ හැම කථාවෙක ම ආසය එකෙක් ම ය. එහෙයින් හිතාකාර ප්‍රවෘත්ති, හිත පැවැතුම් ඇත්තේ මිත්‍රයා යි දත යුතු ය. මෙය අර්‍ත්‍ථානුගත කීමෙකි. ‘මිත්තො හවෙ සත්තපදෙන හොති’ යි කීයේ ලෝකව්‍යවහාරය සලකා ය. යමෙක් යමකු සමග සත් පියවරක් පමණ ගියේ ද හෙතෙමේ මිත්‍රයා ය යනු එහි තේරුම යි. ගිය පමණකින් මිත්‍රයෙක් නො වේ. එහෙයින් මෙසේ නො ගත යුතු ය. ‘සත්තපදවීතිහාරමත්තෙනපි සහ ගච්ඡන්තො සහ ගච්ඡන්තස්ස පියවාචානිච්ඡාරණෙන අඤ්ඤමඤ්ඤං අල්ලාපසල්ලාපකරණමත්තෙනපි මිත්තො නාම හොති’ යි මෙයින් කීයේ විශ්වාසයෙන් දැඩිව සිටි මිත්‍රයා ය. මේ ම සාර්‍ත්‍ථක වේ. හිතවත් පැවැත්මක් නො මැති තැන එසේ නො වන හෙයිනි.
සිගාලෝවාද සූත්‍රදේශනාවෙහි පානසඛමිත්‍ර, සම්මියසම්මියමිත්‍ර, වැඩෙහි යහළුබව හඟවන මිත්‍ර, උපකාරක මිත්‍ර, සාමානසුඛදුක්ඛමිත්‍ර, අත්ථක්ඛායිමිත්‍ර, අනුකම්පකමිත්‍ර යි මිතුරන් සත් දෙනකු දැක්වූහ.
එහි සුරාපානය කරන තැන පමණක් මිතුරුබව කියනුයේ පානසඛමිත්‍ර, නම් වේ. එහි ‘පානසඛාති පානට්ඨානෙ සුරාගෙහෙයෙව සහායො හොති’ යනු අටුවා ය. මෙබඳු මිත්‍රයෝ අද රට ගම පුරා සිටිති. විසකදුරු මෙන් මොවුහු දුරු කටයුතු ය, යහළුව! යහළුව! කියා ඉදිරියෙහි පමණක් මිතුරුබව හඟවනුයේ සම්මිය සම්මියමිත්‍ර, නම් වේ. ‘සම්ම සම්මාති වදන්තො සමමුඛෙ යෙව සහායො හොති පරම්මුඛෙ වෙරීසදිසො සො සම්මිය සම්මියො නාම’ යි අටුවාවෙහි ආයේ ය. මෙතෙමේ අනභිමුඛයෙහි සතුරකු මෙන් ක්‍රියා කර යි. එහෙයින් මෙතෙමේ ද දුරු කටයුතු ය. තමන්ට වැඩක් ඇතිවිටක, ඒ පිරිමසා ගණු පිණිස යහළුබව අඟවන්නේ ද, මිත්‍රයෙකි. ඔහු අමුතුවෙන් හැඳින්වියයුතු නො වේ. ප්‍රකට බැවිනි. ඔහු ද හළ යුතු ය. මේ තිදෙන එක් තැන් කොට මෙසේ දැක්වූහ:-
“හොති පානසඛා නාම හොති සම්මියසම්මියො,
යො ච අත්ථෙසු ජාතෙසු සහායො හොති සො සඛා” යි.
සුරාපානයෙන් මත්වූවහු රකී ද ඔහු අයත් දේ රකී ද බියට පැමිණියහුට පිහිට වේ ද, කටයුත්තක් වූ තැන වුවමනා දෙය දෙගුණයක් කොට දේ ද ඔහුය, උපකාරකමිත්‍ර. ‘පමත්තං රක්ඛති, සාපතෙය්‍යං රක්ඛති, භිතස්ස සරණං හොති, උප්පන්නෙසු කිච්චෙසු තද්දිගුණං භොගං අනුප්පදෙති, ඉමෙහි ඛො ගහපති පුත්ත! චතූහි ඨානෙහි උපකාරයෙකා මිත්තො සුහදො වෙදිතබ්බො’ යනු දේශනා ය.
යමෙක් තමන් පිළිබඳ සැඟවියයුතු රහස පවා මිත්‍රයාට කියා පා ද, මිත්‍රයාගේ රහස සඟවා ගනී ද, විපත් පැමිණි කල නො හැර සිටී ද, මිත්‍රයා පිණිස ජීවිත පරිත්‍යාගය කෙරේ ද, හේ තෙමේ ය සමාන සුඛදුඃඛමිත්‍ර. ‘ගුය්හමස්ස ආචික්ඛති, ගුය්හමස්ස පරිගුය්හති, ආපදාසු න විජහති, ජීවිතම්පිස්ස අත්ථාය පරිච්චත්තං හොති, ඉමෙහි ඛො ගහපතිපුත්ත! චතූහි ඨානෙහි සමාන සුඛදුක්ඛො මිත්තො සුහදො වෙදිතබ්බො’ යනු පාළියි.
යමෙක් මිත්‍රයා පව්කමින් වළකා ද, කුසල්හි යොදවා ද, නො ඇසූවිරූ ධර්‍මශාස්ත්‍රය අස්වා ද, දෙව්ලොවට මග කියා ද, හෙතෙමේ ය අත්ථක්ඛායී මිත්‍ර. ‘පාපා නිවාරෙති, කල්‍යාණෙ නිවාසෙති අස්සුතං සාවෙති, සග්ගස්ස මග්ගං ආචික්ඛති, ඉමෙහි, ඛො ගහපතිපුත්ත! චතූහි ඨානෙහි අත්‍ථක්‍ඛායීමිත්තො සුහදො වෙදිතබ්බො’ යනු පාළියි.
යමෙක් මිත්‍රයාගේ පිරිහීම දැක නො සතුටු වේ ද, දියුණුව දැක සතුටු වේ ද, දොස් කීම් වළකා ද, ගුණ කියන්නහුට පසසා ද, ඔහුය අනුකම්පකමිත්‍ර. ‘අභවෙනස්ස න නන්‍දති, භවෙනස්ස නන්‍දති, අවණ්ණං භණමානං නිවාරෙති, වණ්ණං භණමානං පසංසති’ ඉමෙහි ඛො ගහපතිපුත්ත! චතූහි ඨානෙහි අනුකම්පකො මිත්තො සුහදො වෙදිතබ්බො’ යනු දේශනා ය. මේ සිවුදෙන එක් ගයකින් මෙසේ දැක්වූහ:
“උපකාරො ච යො මිත්තො යො ච මිත්තො සුඛෙ දුඛෙ,
අත්ථක්ඛායී ව යො මිත්තො යො ච මිත්තොනුකම්පකො” යි.
සන්දිට්ඨ - සම්භත්ත වශයෙන් මොවුහු, දෙපරිදි දෙපරිදි වෙති. එවිට අට දෙනෙකි. ඒඒ තැන්හි රැස්ව දැකීම් පමණින් විශ්වාසයට පැමිණියෝ සන්‍දිට්ඨ, යි ද, මොනවට ඇලී සිටියෝ සම්භත්ත, යි ද ගැණෙති. නො දැඩි මිතුරෝ සන්‍දිට්ඨයහ. දැඩි මිතුරෝ සම්භත්තයහ. ‘තත්‍ථ තත්ථ සඞ්ගම්ම දිට්ඨත්තා සන්දිට්ඨා නාතිදළ්හමිත්තා, සුට්ඨුභත්තා සිනෙහවන්තො සම්භත්තා දළ්හමිත්තා’ යනු අටුවා ය. මඳ කලක් දැක්ක යුතුනුයි හෝ, සන්දිට්ඨ යන්නෙහි සකාරය නෑයන් කෙරෙහි වැටෙන බැවින් නෑයන් මෙන් ඔවුනොවුන් දැක්කේ හෝ සන්දිට්ඨ නමැ යි ද, හැම කල්හි ම භජනය කරන්නේ හෝ බන්‍ධූන් මෙන් උනුන් විශ්වාස වශයෙන් භජනය කරන්නේ හෝ සම්භත්ත නමැ යි ද කීහ. “කිංචි කාලං පස්සිතබ්බොති සන්දිට්ඨො, අථවා සන්‍දිට්ඨොති එත්ථ සකාරො බන්ධවෙ වත්තති, තස්මා සො විය බන්ධවො විය අඤ්ඤමඤ්ඤං විස්සායවසෙන දිට්ඨො දිට්ඨපුබ්බොති සන්දිට්ඨො, සබ්බකාලං භජතීති සම්භත්තො, බන්ධවො විය අඤ්ඤමඤ්ඤං විස්සාසවසෙන භජතීති සම්භත්තො” යනු ටීකා ය.
පෙර නො දක්නා ලද්දේ ද, නම් දැන ලියුම් ගණුදෙනු කිරිම් ආදියෙන් විශ්වාසයට පැමිණියේ ද, ලෝකයා විසින් අදෘෂ්ඨමිත්‍ර, යි කියනු ලැබේ.
මිත්‍රස්වරූපයෙන් හැසිරෙන අමිත්‍රයෝ සතර දෙනෙක් ද ලෝකයා අතර ඇත. ඔවුහු නම්, අඤ්ඤදත්ථුහර, වචීපරම, අනුප්පියභාණී, අපායසහායයෝ ය.
එහි යමෙක් කිසියම් දෙයක් පැහැර ගෙණ යා ද, ටිකක් දී බොහෝ දෙයක් බලාපොරොත්තු වේ ද, බියක් පැමිණිවිට ඉන් මිදීම පිණිස දාසයකු සේ කටයුතු කෙරේ ද, තමන්ගේ ප්‍රයෝජනය පිණිස ඇසුරු කෙරේ ද ඔහු ය, අඤ්ඤදත්ථුහර. ‘අඤ්ඤදත්ථුහරො හොති අප්පෙන බහුමිච්ඡති, භයස්ස කිච්චං කරොති, සෙවති අත්තකාරණා’ යනු දේශනා ය.
ඉකුත් දෙයින් සංග්‍රහ කිරීම, ඉදිරියෙහි වන දෙයින් සංග්‍රහ කිරීම, අවැඩ බසින් සංග්‍රහ කිරීම, කිසියම් කටයුත්තක් එළැඹැ සිටි කල්හි එය මග හරිනු පිණිස නැති බැරිකම් කියා පෑම යන මේ සතර වචීපරමමිත්‍රයාගේ ලක්‍ෂණයෝ ය. එහි ‘අතීතෙන පටිසන්ථරති, අනාගතෙන පටිසන්ථරති, නිරත්ථකෙන සඞ්ගණ්හාති, පච්චුප්පන්නෙසු කිච්චෙසු ව්‍යසනං දස්සෙති, ඉමෙහි ඛො ගහපතිපුත්ත! චතූහි ඨානෙහි වචීපරමො අමිත්තො මිත්තපතිරූපකො වෙදිතබ්බො’ යනු දේශනා ය.
පව්කම් කිරීම යහපතැ යි අනුමත කිරීම, පින්කම් කිරීම යහපතැ යි අනුමත කිරීම, මිත්‍රයා ඉදිරිපිට ගුණ කීම, නො ඉදිරියෙහි දොස් කීම යන මේ සතර අනුප්පියභාණීමිත්‍රයාගේ අඩයාලම් ය. ‘පාපකම්පිස්ස අනුජානාති, කල්‍යාණම්පිස්ස අනුජානාති, සම්මුඛාස්ස වණ්ණං භාසති, පරම්මුඛාස්ස අවණ්ණං භාසති, ඉමෙහි බො ගහපතිපුත්ත! චතූහි ඨානෙහි අනුප්පියභාණී අමිත්තො මිත්තපතිරූපකො වෙදිතබ්බො’ යනු දේශනාය.
රහමෙර පානයෙහි යහළුකම් කිරීම, නො කල්හි කඩ පිළ හැසිරීමෙහි යහළුවීම, නැටුම්හල් කරා යෑමෙහි යහළුවීම, දූ කෙළියෙහි යහළුවීම අපායසහායමිත්‍රයාගේ ලක්‍ෂණ යි. ‘සුරාමෙරය මජ්ජපමාදට්ඨානානුයොගෙ සහායො හොති, විකාලවිසිඛාචරියානුයොගෙ සහායො හොති, සමජ්ජාභිචරණෙ සහායො හොති, ජූතප්පමාදට්ඨානුයොගෙ සහායො හොති, ඉමහි ඛො ගහපතිපුත්ත! චතූහි ඨානෙහි අපායසහායො අමිත්තො මිත්තපතිරූපකො වෙදිතබ්බො’ යනු බුද්ධවචන යි. මොවුන් එක් තැන් කොට දැක් වූ දේශනාව මෙසේ ය:
“අඤ්ඤදත්ථුහරො මිත්තො යො ච මිත්තා වචීපරො,
අනුප්පියං ච යො ආහ අපායෙසු ච යො සඛා” යි.
අඤ්ඤදත්ථුහරාදි සිවුදෙනාත් බිය සහිත මගතොට මෙන් හළ යුතුය යි වදාළ ගාථාව මෙසේ ය:-
“එතෙ අමිත්තෙ චත්තාරො ඉති විඤ්ඤාය පණඩිතො,
ආරකා පරිවජ්ජෙය්‍ය මග්ගං පටිභයං යථා” යි.
න භජෙ පාපකෙ මිත්තෙ’ යන මෙයිනුදු වදාළේ කාය දුශ්චරිතාදි අකුශලකර්‍මයන්හි ඇලී වසන මෙ කී මිත්‍රයන් සිංහ ව්‍යාඝ්‍රාදි චණ්ඩ සත්වයන් සේ සලකා දුරුකළ යුතු බව ය. පවිටු මිතුරන් සෙවුම මිනිසා එලොවින් හා මෙ ලොවින් මහත් විපතට හෙලන්නකි. මිනිසා අපායයෙහි ලන අනික් හැම එකකට ම වඩා පවිටු මිතුරන් සෙවුම ඉතා බලගතු ය. ඉතා නපුරු ය. හැම පව්කමෙක් ම මේ නිසා සිදු වන්නේ ය. අජාසත් රජ තෙමේ තම පියා මැරීමට පෙළඹුනේ, පවිටු මිතුරන් සෙවුමෙනි. එ හෙයින් ඔහුට ඒ අත්බවේ දී ම ලැබිය හැකි ව තුබූ සෝවන් මගපල නැති ව ගියේ ය.
ගිහි පැවිදි දෙපක්‍ෂයෙහි ම පවිටු මිතුරෝ ඇත්තාහ. එයින් වඩාලාත් බිහිසුණු වන්නේ පැවිදි පවිටු මිතුරා ය. පව්කම් කරණ පැවිද්දාට, පව්කම් කරණ ගිහියාට වඩා පහසුවෙන් උනුන් අපායයෙහි බැහිය හැකි ය. ඔහුට ඒ පිණිස නොයෙක් මං ඇත්තේ ය. බොහෝසෙයින් ගෙණ බලත්, ලෝකය ජඩය ජඩ ස්වභාවය ඇත්තේය. නිර්‍වස්ත්‍ර ව එක් පයක් ඔසොවා අනික් පයෙහි දණ හිස තබා කට හයා හුළං බිබී ඉඳීමත්, උග්‍ර තපසෙකැයි ගත් මේ ලෝකයෙහි පව්කම් කරණ පැවිද්දාට හැම අසත්ක්‍රියාවක් ම සත්ක්‍රියාවකැ යි ගැන්වීම ඉගැන්වීම ඉතා පහසු ය. අදත් අයහපත යහපතැ යි ගෙණ හිතමග නසා ගන්නා ලෝකය කුඩා නො වේ. පවුටු මිතුරන් ඇති, උන්ට නැමී සිටි, උන් පසුපස යන, උන්ගේ වචන කරණ ගිහි පැවිද්දෝ මෙලොවත් විපතට පැමිණ මරණින් මතු අපායයට යෙති යි වදාළ සේක. එහෙයින් හිතමග කැමැත්තන් විසින් පවිටු මිතුරා දැන හැඳින ඔහු විසයක් සේ සලකා මුළුමනින් දුරු කටයුතු ය. සඤජීවකජාතක, ගොධජාතකාදිය බැලිය යුතුය.
න භජෙ පුරිසාධමෙ = අධම පුරුෂයන් නො සෙවුනේ ය.
‘අධො භාගෙ ජාතො = අධමො’ අධො, යන්නෙහි ඔ කාරයට අකාරයත් ඉම ප්‍රත්‍යයයාගේ ඉකාර ලෝපයත් වීමෙන් අධමො, යනු නිපන්නේ ය. ‘පහත්හි වුයේ’ යන අරුති. පහත් ලාමක තුච්ඡ වූ හැම එකකු කෙරෙහි මේ යෙදිය හැකි ය. මෙහි වූ අධම, ශබ්දය පුරුෂ ශබ්දයට විශේෂණ ව සිටියේ ය. ‘සන්ධිච්ඡෙදාදිකෙ වා එකවීසති අනෙසනප්පභෙදෙ වා අට්ඨානෙ නියොජකා පුරිසාධමා නාම’ යනු, මෙය අටුවාව විවරණය කළ සැටි යි. අත් පා සිඳුම් දඬු මුගුරින් තැළුම් බඩු පැහැරුම් ආදියෙන් සෝක ඉපදවීම්, ආහාර වැළක්වීම් ආදියෙන් වෙහෙස ඉපදවීම, ගෙවල් බිඳුම, මං පැහැරුම මග යන්නන්ගේ ඉණ ඉහ පැහැරුම යනාදී වූ මේ බිහිසුණු ක්‍රියාවෝ මහ සොරුන් විසින් කරණු ලබන්නෝ වෙති. මේ සැහැසි කම්හි උනුන් යොදන්නෝ පුරිසාධමයෝ ය.
දුසිල් මහණුන් විසින් සිවු පසය සොයනු සඳහා ගිහියන්ගේ සිත් ගැණුමෙහි ලා කරණ සදොස් වූ උපායයෝ අනෙසන නාමයෙන් කියවෙති. ඒ උපායය එක් විස්සෙකි. සංඝ ගණ පුද්ගලයන් සතු හුණදඩු ඇ දඬුදීම, තල්පත් බුලත් ඈ පත්දීම, සපු දුනුකේ සමන් සීනිද්ද ඈ මල්දීම, කොස් පොල් තෙල් අඹ දඹ ඈ පලදීම, දැහැටි දඬුදීම, මුව දෝනා පැන්දීම, නහන පැන්දීම, ඇඟ ගානා සබන් පියර කොකුම් ඈ සුණුදීම, ඒ ඒ කටයුතු සඳහා මැටිදීම, දායකයන් ඉදිරියෙහි චාටු බස් කීම, සැබෑ මඳ කොට බොරු බොහෝ කොට කීම, කුඩා දරුවන් රෙදි පිළි අබරණින් සරසා හෝ නො සරසා හෝ උකුලෙහි තබා නැලවීම, ගිහියන් පිළිබඳ ලියුම් කියුම් පණිවිඩ ගෙන යෑම, වෙදකම් කිරීම, දූතකම්කිරීම, ගිහින් සතු කෙත්වත් ආදියට මෙහෙවර යෑම, තමා ලත් දෙය ගිහින්ට දී ඔවුන් දෙන දෙය ගැණීම, ලාභාශාවෙන් අල්ලස් දීම, ගෙබිම් බැලීම, නැකත් කීම, අඟපසඟ බලා ශුභාශුභ කීම යන මේ ය ඒ එක්විස්ස. මේ අනෙසනයන්හි උනුන් යොදන්නෝ පුරිසාධමයෝ ය. ශ්‍රමණාධමයෝ ය. මොවුන්ගේ ඇසුරෙන් ඒ ඇසුරු කරන්නන් දෙ ලොවෙහි ම පිරිහෙන බව බුදුරජානන් වහන්සේ වදාළ සේක.
භජෙථ මිත්තෙ කල්‍යාණෙ = කලණ මිතුරන් සෙවුනේ ය.
යෝග්‍යපුරුෂත්වයට හෝ හිතයට පමුණුවන්නේ කල්‍යාණ. නමි. ‘කල්‍යං වා හිතං අණති පාපීයතී ති = කල්‍යාණං’ යනු වාක්‍ය යි. ඇසුරු කරන්නහු යොග්‍යත්වයට හෝ හිතයට පමුණුවන මිත්‍රයෝ කල්‍යාණමිත්‍රයෝ ය. පවිටු මිතුරන්ට වෙනස් ලෙසින් පවන්නේ කල්‍යාණමිත්‍රයෝ යි අටුවාව සැකෙවින් කිය යි.
උපකාරක, සමානසුඛදුක්ඛ, අත්‍ථක්ඛායි, අනුකම්පක යන සිවු දෙන ලෝකයා අතර ජීවත්වන සාමාන්‍ය කල්‍යාණමිත්‍රයෝ ය. විශේෂයෝ නම්, බුද්ධප්‍රත්‍යෙකබුද්ධඅග්‍රශ්‍රාවකමහාශ්‍රාවකාදී ආර්‍ය්‍යයෝ ය. උපකාරකාදී වූ සිවු දෙන වුව ද ශ්‍රද්ධා ශීල ශ්‍රැත ත්‍යාග වීර්‍ය්‍ය සමෘති සමාධි ප්‍රඥා යන ගුණයන්ගෙන් යුක්ත ව ම උපකාරක භාවාදියෙහි සිටින්නෝ නම් කල්‍යාණමිත්‍ර වෙති. ‘තත්‍රිදං කල්‍යාණ මිත්තලක්ඛණං, ඉධ කල්‍යාණමිත්තො සද්ධාසම්පන්නො හොති’ යනාදීන් වදාළ බැවිනි. ශ්‍රද්ධාශීලාදිය කියූ සේ දතයුතු ය.
ශ්‍රද්ධාව කරණ කොට, බුදු නුවණ, කර්‍මය, කර්‍ම ඵලය උසස් කොට අදහති. ශීලය කරණ කොට, සබ්‍රහ්මචාරීන්ට ප්‍රිය මනාප වූ වෝ පාපයට ගරහන සුලු වෙති. ශ්‍රැතය නිසා, දුඃඛාදි ආර්‍ය්‍ය සත්‍යය, ප්‍රතීත්‍යසමුත්පාදය යනාදී වූ ගැඹුරු ධර්‍මකථාවනට බැස ගණිත්. ත්‍යාගය නිසා අප්පිච්ඡාතාදී වූ ගුණ ඇත්තෝ ඉතරෙතරසන්තොෂාදියෙන් සතුටු වෙති. වීර්‍ය්‍යය නිසා, සියලු සත්වයන් පිළිබඳ හිතවිධානයෙහි ඉදිරිපත් වෙති. සමෘතිය නිසා, එළඹ සිටි සිහි ඇත්තෝ වෙති. සමාධිය නිසා, නන් අරමුණුවල නො විසිර සන්හුන් සිතැත්තෝ වෙති. ප්‍රඥාව නිසා, යථාර්‍ත්‍ථය ම දන්නෝ වෙති.
මෙ කී ගුණයන්ගෙන් මුදුන් පැමිණියෝ සම්මා සම්බුදුරජානන් වහන්සේ ම ය. එහෙයින් උන්වහන්සේ ම ප්‍රධාන කල්‍යාණ මිත්‍රයා වෙති. අනික් අනික් ආර්‍ය්‍යයන් වහන්සේලා ද තම තමන් දුටු මාර්‍ගඵලයන්ගේ වශයෙන් වැඩි සිටින්නෝ ය. එහෙයින් උන් වහන්සේලා ද එසේ ම කල්‍යාණ මිත්‍රයෝ ය. මුන්වහන්සේලාගේ කල්‍යාණ මිත්‍රභාවය කිසිලෙසකින් අන් අතකට නම් නො පෙරලෙන්නේ ය. එහෙයින් උන්වහන්සේලාගේ ඇසුරෙන් ගණන් නැති සත්ව කෙනෙක් හිතමග සලසා ගත්හ. නිවන් අවබෝධ කිරීමෙන් දුක් කෙළවර කළහ.
මෙ කල කල්‍යාණමිත්‍රයන් නො ලද හැකි වුව ද ලෝකය කල්‍යාණ මිත්‍රයන්ගෙන් සිස් නො වේ. මෙ කී ගුණධර්‍මයන්ගේ මුදුන් පෙත්තට පැමිණීමේ අදහස් ඇති ව ආර්‍ය්‍යයන් ගිය මග යන වරදෙහි නො බැඳෙන ආශ්‍රිතයන් හිත වැඩෙහි යොදන එක්විසි අනෙසනයන්හි නො යෙදෙන දැහැමිව දිවි පවත්වන පැවිද්දන් ද කායදුශ්චරිතාදියෙන් මුළුමනින් තොරව සියල්ලන් කෙරෙහි දයානුකම්පා ඇති ව දැහැමි ව දිවි ගෙවන වරදෙහි නො බැඳෙන ගිහියන් ද කාලානුරූපව කලණමිතුරන් සේ ගිණිය හැකි බැවින්, ඔවුන් සෙවුම දෙලොව වැඩ පිණිස වන්නේ ය.
සිවු පිරිසිදු සිල් ඒ ලෙසින් නො රකින ලජ්ජා භය දෙකින් තොර පාපය මී මෙන් සලකා අනෙසනයන්හි යෙදෙන අගෝචර ස්ථානයන්හි වසන කුහකපටිපදාවෙහි යෙදී වසන පැවිද්දෝ පන්සිල් පමණකුදු නැති දයානුකම්පාවෙන් තොර පරහට වෙහෙස දෙන දුසිල් ගිහියෝ කල්‍යාණමිත්‍රයෝ නො වෙති.
භජෙථ පුරිසුත්තමෝ = උත්තම පුරුෂයන් සෙවුන්නේ ය.
ශීල සමාධි ප්‍රඥාවන්ගෙන් උසස් ලෙසින් නැගී සිටියේ උසස් තැනට ගියේ උත්තම නම් වේ. ඒ නම් ආර්‍ය්‍යගණයා ය. ‘උබ්භූතා අත්‍යත්‍ථං උත්තමො, උග්ගතමත්තා වා උත්තමො’ යනු ඒ සඳහා කීහ. සියලු කායදුශ්චරිතාදියෙන් වෙන් ව දැහැමෙන් සෙමෙන් පිඬු සිඟීමාදියෙන් දිවි යවන පැවිද්දෝත් උත්තම පුරුෂයෝ ය. ඔවුන්ගේ සෙවුම හිත පිණිස වේ.
මේ ධර්‍මදේශනාවන්ගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියෝ ය. ඡන්න ස්ථවිර තෙමේ ද මේ බණ අසාත් පෙර සේ භික්‍ෂූන්ට ආක්‍රෝශ පරිභව කෙරෙ යි. බුදුරජානන් වහන්සේ එ ද දැන ‘මහණෙනි! මගේ දිවි තිබෙනතුරු ඡන්නයා හික්ම වන්නට මොන ලෙසකිනුත් බැරිය’ යි වදාළ සේක. එහෙයින් ආනන්ද ස්ථවිරයන් වහන්සේ බුදුරජුන් පිරිනිවීමට ලං වූ කල්හි ‘ස්වාමීනි! ඡන්න ස්ථවිරයන් කෙරෙහි අප කෙසේ පිළිපැදිය යුතු දැ’ යි ඇසූ කල්හි ‘ආනන්ද ය! ඡන්නයාහට බ්‍රහ්මදණ්ඩය පැණවිය යුතුය’ යි වදාළ සේක. බුදුරජුන් පිරිනිවි කල්හි අනඳතෙරුන් දැනුම් දුන් බ්‍රහ්මදණ්ඩය ඇසූ ඡන්න ස්ථවිර තෙමේ ‘ස්වාමීනි! නො නසනු මැනැවැ’ යි කියා මොනවට පිළිපන්නේ වැඩි දවස් නො යවා ම පිළිසැඹියාවන් සමග රහත් බවට පැමිණියේ ය.
ඡන්නස්ථවිර වස්තුව නිමි.