ඔවදෙය්‍යානුසාසෙය්‍ය අසබ්භා ච නිවාරයෙ
සතං හි සො පියො හොති අසතං හොති අප්පියො.
යම් කලණ මිතුරෙක් කිසිවකුට අවවාද කෙරේ ද, අනුශාසන කෙරේ ද, අකුශලධර්‍මයෙන් වළකා ද, මෙබඳු කලණ මිතුරා බුද්ධාදී සත්පුරුෂයන්හට ප්‍රිය වෙයි. අසත්පුරුෂයන්හට අප්‍රිය වේ.
අස්සජි පුනබ්බසුකයෝ, කීටාගිරි ජනපදයෙහි විසූ සවග මහණුන් අතුරෙන් දෙදෙනෙකි. අග්‍රශ්‍රාවක දෙදෙනා වහන්සේගේ ශිෂ්‍යයෝ ය. ඔවුහු ජාති සම්පන්නයහ. එහෙත් ලජ්ජා නැත්තෝ ය. නිතර පව්කම් කරන්නෝ ය. මොවුහු තමන්ගේ පන්සියයක් පමණ වූ පිරිවර භික්‍ෂූන් හා කීටාගිරියෙහි වෙසෙමින් මල්පැලසිටුවීම, පොහොර දැමීම, දියඉසීම, මල්නෙලීම, මල්වඩම් ගෙතීම, මඩම් ගෙවල වැසි ගැහැණුන්ට දීම, උන් හා එක බඳුනෙහි කෑම, එක තලියෙහි බීම, එක ඇඳෙහි නිදීම, තුරුල් ව ඉඳීම, නො කල්හි කෑම, රා අරක්කු බීම, මල්ගඳ විලවුන් ඈ දැරීම, උන් හා එක් ව පලසෙහි නැටීම, ගී කීම, කොටිපැනීම, කල්ලි ගැසීම, කුන්තුගැසීම, කොළනලා පිඹීම යනාදී වූ නන්වැදෑරුම් අනාචාරයෙහි යෙදී කුල දූෂණයෙන් ලත් ආහාරපානයෙන් ජීවිකාව කරමින් කීටාගිරි ආවාසය ප්‍රියශීලි ශික්‍ෂාගරුක භික්‍ෂූන්ට අනාවාස කළහ. නො සුදුසු තැනක් කළහ. අද ද එබඳු පාප භික්‍ෂූහු බොහෝ ය. ඔවුන්ගේ ගණන තදින් දියුණු වී යයි. බලය ද ප්‍රබල වේ. ඔවුහු සඟසතු ඉඩ කඩම් හා විහාරාරාමාදිය මවුපිය පරපුරෙන් ලත් දායාදයන් සේ ප්‍රයෝජන ගණිති. සියල්ල හැර දමා ගෙයින් නික්ම ආවෝ ද, සඟසතු ඉඩ කඩම් හා විහාරාරාමාදිය තමන් සතු කර ගැණීමෙහි ලා විනිශ්වය ශාලා කරා, යන්නෝ ය. එයට පටහැනි වන්නවුනට තළන්නට පෙළන්නට සැරසෙති. ඇතැම්හු සංඝයාගෙන් ලත් නෙවාසිකබලය තමන් මියන්නට ලංවත් ම තම සිත් ගත් අතැවැස්සකුට හෝ තළන්නට මරන්නට එන අතවැස්සකුට හෝ ලියා තබා මියෙති. ඔහු වනාහි අලජ්ජියෙක් කුලදූෂකයෙක් අව්‍යක්තයෙක් මුග්ධයෙක් කලහකාරයෙක් වූයේ ද, ඒ නො සලකති. මොවුන්ගේ මේ පාපක්‍රියා අද ශාසනවිනාශයෙහි ප්‍රධානස්ථානයක් ගනී යි. මෙහිලා රජය විසින් සම්මත නීතිය ධාර්මික නො වේ. ශාසනික නො වේ. ඒ නීතිය ශාසනවිනාශයෙහි ප්‍රධාන හේතුවෙකි. එයින් ශාසනික නීතිය යටපත් වේ. සංඝබලය මුළුගැන් වේ. සඟසතු වෙහෙර අරම් ඈ කිසි තැනෙක අද සඞ්ඝබලය ඇතැ යි කියන්නට කරුණු නැත්තේ ය. ඒ හැම තැනෙක ම ඇත් පුද්ගලබලාදී අසද්බලයෝ ය. එ හෙයින් ලජ්ජි ප්‍රියශීලි භික්‍ෂූන් වහන්සේ පසු බා වැඩ වෙසෙති. ශ්‍රද්ධාවත් ගෘහස්ථකුලයෝ ද ලජ්ජීන් අලජ්ජීන් නො දැන ලජ්ජීන් අලජජීන් කෙරෙහි සමව පිටු පාති. හෙලා දකිති. සම ව වැටෙති. එද ශාසන විනාශයට හේතු වේ.
ස්වාමිදරු වූ සම්මා සම්බුදුරජානන් වහන්සේ සවග මහණුන් ගේ මේ තොරතුරු අසා අස්සජී පුනබ්බසුකයන් වෙහෙරින් බැහැර කරන්නට පිරිවර සහිත වූ සැරියුත් මුගලන් දෙනම කැඳවා ‘ශාරීපුත්‍ර ය! තමුසේලා කීටාගිරියට ගොස් අනාචාරයෙහි යෙදී බැඳී සසුන් නසන මහණුන් දෙනමට එසේ නො කරන්නට, අවවාද දෙන්න; ඒ අවවාද යමෙක් නො පිළිගණී නම්, ඔහු වෙහෙරින් බැහැර කරන්න; යමෙක් පිළිගණී නම්, නැවත නැවැතත් ඔහුට අවවාද කරන්න; අවවාදය අප්‍රිය කරන්නෝ මෝඩයෝ ම පමණෙකි, නුවණැත්තෝ අවවාදයට කැමැති ය, එසේ ම එය ඔවුන්ගේ මන වඩන්නේ ය, තමුසේලා එහි ගොස් මේ මා කී ලෙසින් කරන්නැ’ යි වදාරා අනුසන්ධි ගළපා මේ ධර්‍මදේශනාව කළ සේක:-
ඔවදෙය්‍යනුසාසෙය්‍ය අසබ්භා ච නිවාරයෙ,
සතං හි සො පියො හොති අසතං හොති අප්පියොති.
(යමෙක්) අවවාද කරන්නේ ද, අනුශාසනා කරන්නේ ද, අකුසලිනුත් වළකන්නේ ද, හෙතෙමේ වනාහි සත්පුරුෂයන්ට ප්‍රිය වේ. අසත්පුරුෂයන්ට අප්‍රිය වේ.
ඔවදෙය්‍ය = අවවාද කරන්නේ ය.
ඔවදෙය්‍ය, යන්නට මෙසේ අරුත් පවසනු, කර-කරණෙ යන ධාතුවේ අර්‍ත්‍ථය හැම ධාතුවක ම ඇති බැවිනි. ‘භූ කරා සබ්බධාත්‍වත්‍වෙව සන්ති’ යනු අනුශාසනා ය.
අනුසාසෙය්‍ය = අනුශාසනා කරන්නේ ය.
අන්තෙවාසික-සද්ධිවිහාරිකාදීන් අතුරෙහි යම් කිසිවක්හට, උපන් වරදෙහි ලා හොඳ නො හොඳ වැඩ අවැඩ කියාපෑම, අවවාද නමි. අනුත්පන්න වස්තුවෙහි හෙවත් වරදක් කෙරෙන්නට පළමුව හිතවත්ව ‘ඉදිරියෙහි අපට නින්දා පරිභව ලැබෙන්නට බැරි නැතැ’ යි ඉදිරි කාලය දක්වා, වැඩ අවැඩ කියාදීම, අනුශාසනා නමි. හමුවෙහි කීම හෝ අවවාද යි. නො හමුවෙහි දූතයකු හෝ හසුනක් හෝ යවා, වැඩ අවැඩ කියාදීම, අනුශාසනා නමි. එක් වරක් කීම, අවවාද නමි. නැවැත නැවැත කීම, අනුශාසනා නමි. ‘උප්පන්නෙ වත්ථුස්මිං ඔවදන්තො ඔවදති නාම, අනුප්පන්නෙ අයසොපි නො සියාති ආදීනං වසෙන අනාගතං දස්සෙන්තො අනුසාසති නාම, සම්මුඛා වදන්තොපි ඔවදති නාම, පරම්මුඛා දූතං වා සාසනං වා පෙසෙන්තො අනුසාසති නාම, සකිං වදත්තො ඔවදති නාම, පුනප්පුනං වදන්තො අනුසාසති නාම’ යි අටුවා ය.
අසබ්භා ච නිවාරයෙ = අකුසලින් ද වළකරන්නේ ය. කුසල් දහම්හි පිහිටුවන්නේ ය යි සේයි.
සමාජයට අහිත වූ සත්පුරුෂයන්ට අයත් නො වූ කයිකාදි අසත් ක්‍රියා අසබ්භා, යන්නෙන් ගැණේ, කායික වාචසික මානසික අකුශල ක්‍රියා ය.
සතං හි සො පියො හොති = හෙතෙමේ සත්පුරුෂයන්ට ප්‍රිය වේ.
වරද දැක වරදට අවවාද කරණ, අනුශාසනා කරණ, අකුසල් කරන්නහු අකුසලින් නගා කුසල් දම්හි පිහිටුවන කල්‍යාණ මිත්‍ර තෙමේ, බුද්ධාදී වූ සත්පුරුෂයන්ට ප්‍රිය වේ. කැමැති වියයුත්තේ පිය, නමි. පියායිතබ්බො = පියො’ යනු එහිලා කීහ.
අසතං හොති අප්පියො = අසත් පුරුෂයන්ට අප්‍රිය වේ.
පෙර කියූ කළණ මිතුරු තෙමේ, බුද්ධාදිඋත්තමයන්ට ප්‍රියවූයේ ද, කිසිත් දහමක් නො දත් සිවුපසය රැස් කිරීමෙහි බලාපොරොත්තු ඇති බඩ වියත සඳහා පැවිදි වූ අසත්පුරුෂයන්ට ප්‍රිය නො වේ. ඒ එසේම ය. වරද දක්වා වරදට අවවාදානුශාසනා කරණ තැනැත්තේ අඥ වූ අසත්පුරුෂලෝකයට කිසිලෙසකින් ප්‍රිය නො වේ. එබන්දකු දුටු අසත්පුරුෂයෝ ‘තෝ අපගේ උපාධ්‍යාය නො වන්නෙහි ය, ආචාර්‍ය්‍ය ද නො වන්නෙහි ය, එසේ ඇතිකල තෝ අපට කුමක් නිසා අවවාදානුශාසනා කරන්නෙහි දැ’ යි දොඩති. බණිති. නින්දා කෙරෙති. අසත්පුරුෂලෝකයෙහි සැටි මෙසේ ය.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියෝ ය.
සැරියුත් මුගලන් මහතෙරහු, කීටාගිරියට වැඩ, ඔවුනට අවවාද කළහ. අනුශාසනා කළහ. ඇතැම් කෙනෙක් අවවාදානුශාසනා පිළිගෙණ එලෙසින් පිළිපැද්දාහු ය. කෙනෙක් සිවුරු හැර ගියහ. ඇතැම් කෙනකුට පබ්බාජනීය කර්‍මය කළහ.
අස්සජිපුනබ්බසුක වස්තුව නිමි.