6-1 රාධ ස්ථවිරයන් වහන්සේ

නිධීනං’ව පවත්තාරං යං පස්සෙ වජ්ජදස්සිනං

නිග්ගය්හවාදිං මෙධාවිං තාදිසං පණ්ඩිතං භජෙ

තාදිසං භජමානස්ස සෙය්‍යො හොති න පාපියො.

වරද දක්නා සුලු, නිගා කොට බණන සුලු, යම් කලණ මිතුරකු නිදන් සැල තුබූ තැන කියන්නකු වැනි කොට දක්නේ ද, එබඳු පණ්ඩිතයා සෙවුනේ ය. එබන්දකු සෙවුනහුට යහපතෙක් ම වන්නේ ය. අවැඩෙක් නො වන්නේ ය.

අප බුදුරජුන් දවස රාධ නම් දිළිඳු බමුණෙක් විය. දිවි පැවතුම් ගෙණ යෑමෙහි අපොහොසත් වූ ඔහු ‘දිවි පවත්වමි’ යි සිතා ගෙණ විහාරයට ගොස් තණ කසළ හැර දමමින් පන්සල් පිරිවෙන් ගේමලු හැමදිමින් දැහැටි පැන් එළවමින් මෙසේ භික්‍ෂූන් පිළිබඳ කුදු මහත් හැම වත් සපයමින් එහි ම විසී ය. භික්‍ෂූන් වහන්සේලා ද කෑම් බීම් බත් බුලත් ඇඳුම් කැඩුම් දෙමින් ඔහුට සංග්‍රහ කළහ. කල් යත් බමුණු තෙමේ මහණවීමෙහි රුචි උපදවා ඒ බව භික්‍ෂූන්ට දන්වා සිටියේ ය. එහෙත් භික්‍ෂූන් වහන්සේලා එයට සතුටු නො වූහ. මහණවීමෙහි ම තද ආසාවෙන් මිරිකුනු බමුණා වැඩි කල් නො යාදී ම දිරුම් කඩට ගියේ ය. දිනෙක බුදුරජානන් වහන්සේ අලුයම ලොව බලා වදාරන සේක් ඔහු දැක, ‘බමුණාට වන්නේ කිමැ’ යි බලනුවෝ රහත් වන බව දැක සවස විහාරචාරිකාවෙහි හැසිරෙන්නකු සේ ඔහු වෙත ගොස් තොරතුරු විචාළ සේක. එවිට ඔහු ‘ස්වාමීනි! මම පන්සලේ ඇති වත් පිළිවෙත් කරමින් ලැබුනු දෙයක් කමින් මෙහි නැවතී ඉඳිමි’ යි, කී ය. එසේ නම් ‘කොහොම ද උඹට, ඔය නමලා ගෙන් බත් බුලතින් උපකාර ලැබේ දැ’ යි ඇසූ කල්හි ‘එහෙයි, බත්ටික වතුර ටික නො වරදවා ම ලැබෙනවා, බුලත් පුවක් හුණු දුම්කොළත් ලැබෙනවා, ඒවායින් කිසි අඩුවක් නෑ, එහෙත්, හාමුදුරුවරු මා මහණ කර ගන්නට කැමැති නැතැ’ යි කීයේ ය.

එකල්හි බුදුරජානන් වහන්සේ භික්‍ෂූන් රැස් කරවා කාරණය. අසා ‘මහණෙනි! මේ බමුණාගෙන් උපකාර ලත් එක් නමක් වත් මේ පිරිසෙහි නැද්ද, ලැබුනු උපකාරයක් ගැන කාටවත් මතක තිබේ දැ’ යි ඇසූහ. එවිට සැරියුත් මහ තෙරණුවෝ ‘ස්වාමීනි! දිනෙක මා රජගහානුවර සිඟා යද්දී, මොහුට දෙන්නට ගෙණා බත් සැන්දක් මා සිටිනු දැක මට දෙවූ බව මතක තිබේ ය’ යි කීහ. ‘ඇයි, ශාරීපුත්‍ර! එසේ නම් තමුසේට උපකාරයක් කළෙ මේ දිළින්දා දුකින් මුදාලන්නට නරක දැ’ යි ඇසූ කල්හි ‘ස්වාමීන! මම එසේ කරන්නෙමියි සැරියුත් මහ තෙරණුවෝ බමුණා පැවිදි කළහ. එතැන් සිට දන් වැළඳීමට දානශාලාවට යන ඒ බ්‍රාහ්මණ භික්‍ෂුනමට හැමදා කෙළවර තුබූ ආසනය ම ලැබේ. එහි පිළිවෙළින් කැඳ බත් බෙදා යන කල්හි, බොහෝ දවස ඒ කැඳබත් කෙළවර ආසනයට පැමිණෙන්නට පෙරාතුව ම අවසන් වී යයි. එහෙයින් ඒ අලුත් මහණ, හැමදා කැඳ බතින් වෙහෙසට පත් විය. සැරියුත් තෙරණුවෝ ඒ බව හොඳින් දැන ඔහුත් කැටුව චාරිකාවෙහි ගියහ. එහි දී උන්වහන්සේ ‘මේ දෙය කළ යුතු ය, මේ දෙය නො කළ යුතු ය. මෙසේ පිළිපැදිය යුතු ය’, යන ඈ ලෙසින් අවවාද දෙමින් සිරිත් විරිත්හි ඔහු හික්ම වූහ. ඔහු ද එතැන් සිට යටත් පහත් පැවතුම් ඇති ව, අවවාද ලෙසින් පිළිපැද කිහිප දිනකින් ම රහත් බවට පැමිණියේ ය. එවිට සැරියුත් මහතෙරුන් ඒ නවක භික්‍ෂු නමත් ගෙණ බුදුරජුන් වෙත ගොස් වැඳ එකත් පසෙක හුන් කල්හි, උන්වහන්සේ සැපදුක් විචාරා සතුටු ව ‘ශාරීපුත්‍ර! කොහොම ද ගෝලයා සුවච ද, කීකරු දැ’ යි ඇසූහ. ‘එසේ ය, ස්වාමීනි! බොහො ම කීකරු යි, වැරද කියනවාට අවවාදයට ඒ නම බොහො ම කැමතියි, වැරද්දක් කීවාට කිපෙන්නේ නැත, කිපුනුබවෙක් කිසිත් දවසෙක හැඟුනේ නැතැ’ යි කී කල්හි ‘ශාරීපුත්‍ර! හොඳයි, තමුසේ ඔය අන්දමේ ගෝලයන් ලැබුනොත් කී දෙනෙකුන් බාර ගන්නහු දූ’ යි ඇසූහ. ‘ස්වාමීනි! මේ අන්දමේ කීකරු, අවවාදයට නො කිපෙන කියන්න එසේ කරණ ගෝලයන් කොපමණ ලැබුනත් ඒ හැමදෙනෙකුන් ම බාර ගණිමි’ යි සැරියුත් තෙරුන් වහන්සේ කීහ.

දවසෙක ධර්‍ම ශාලාවෙහි රැස් වූ භික්‍ෂූන් වහන්සේලා ‘ඒක ද ශාරීපුත්‍ර මහාස්ථවිරයෝ ලොකුවට කළගුණ සලකන්නෙක, ඉතා ටික වූ උපකාරය මහත් වූ උපකාරයක් සේ පිළිගණිති, ප්‍රකටව ම එය කියා පාති, හැන්දක් පමණ බත් ටිකක් දුන් අර නාකි දුප්පත් ජර බමුණා තමන්ගේ ගෝලයකු කොට පැවිදි කළහ, එය කවුරුන් කරන වැඩෙක් ද, ඒ නවක භික්‍ෂුනමට දාන ශාලාවේ දී ලැබුනේ කෙළවර ආසනය යි, එහෙත් එයට ඔහු නො ද කිපුන් ය, ශාරීපුත්‍ර මහාස්ථවිරයෝ ද අවවාදක්‍ෂමයහ, ගෝලයාත් ඒවාගේ ම ය, අවවාදක්‍ෂමයාට අවවාදක්‍ෂමයෙක් ම ලැබුනේ ය’ යි කතා කරන්නට වූහ. බුදුරජානන් වහන්සේ ඒ අසා ‘මහණෙනි! සැරියුත් තෙමේ කළගුණ සලකනුයේ එය ප්‍රකට කොට කියනුයේ අද ඊයේ නො වේ, පෙරත් කළගුණ සැලකී ය, කළගුණ ප්‍රකට වශයෙනුත් දැන සිටියේ ය’ යි වදාරා එය ප්‍රකට කරණු පිණිස දුකනිපාතයෙහි එන මේ අලීනචිත්ත ජාතකය විස්තර වශයෙන් වදාළ සේක.

“අලීනචිත්තං නිස්සාය පහට්ඨා මහතී චමු,

කොසලං සෙනා සන්තුට්ඨො ජීවගාහං අගාහසි.

.

එවං නිස්සයසම්පන්නො භික්ඛු ආරද්ධවීරියො,

භාවයං කුසලං ධම්මං යොගක්ඛෙමස්ස පත්තියා,

පාපුණෙය්‍යානුපුබ්බෙන සබ්බසංයොජනක්ඛයං” යි.

අලීනචිත්ත රජකුමරු ඇසුරු කොට සතුටු වූ මහාසෙනා තොමෝ, ස්වකීය සේනාරාජ්‍යයට නො සතුටු වූ කොසොල් රජු ජීවග්‍රාහයෙන් ගැන් වීය.

මෙසේ අලීනචිත්ත කුමරුන් ඇසුරු කළ සෙනාව මෙන් කළණ මිතුරන් ඇසුරු කළ, පටන් ගත් වීර්‍ය්‍යය ඇති යෝගාවචර මහණ තෙමේ, නිවනට පැමිණීම පිණිස බෝ පැකි දම් වඩමින් පිළිවෙළින් සර්‍වසංයෝජනක්‍ෂය යි කියූ නිවනට පැමිණෙන්නේ ය.

‘තමන් සසර ඇත් ව උපන් අවදියෙහි වඩුවන් පය ඇණුනු උල්කඩ ඇද දමා සුවපත් කිරීමෙන් කළ මහත් උපකාරය සලකා වඩුවන්ට සුදු ඇත් පැටවකු ගෙණ දුන්, එකලා ව හැසුරුනු ඇත් තෙමේ මේ සැරියුත් තැනැ’ යි වදාරා නැවැත ‘මහණෙනි! හැමදෙනකු මේ රාධ මහණහු මෙන් කීකරු වියයුතු ය, සුවචයකු වියයුතු ය, දොස් දක්වා ගුරුන් කියන දොඩන කර්‍ණකටුක වචනයට නො කිපිය යුතු ය, අන්‍යයන්ගේ රළුබසට ද නො කිපිය යුතු ය, තමාට වඩා බාල කෙනෙක් වුව ද, අවවාද වසයෙන් යමක් කියත් නම්, අවවාදය බාල නො වන බැවින් සතුටින් එය පිළිගත යුතුය, අවවාද කරන්නා වනාහි ධනයෙන් පිරී සිටි නිධන් කියන්නකු සේ උසස් කොට සැලකිය යුතු ය’ යි අනුසන්ධි ගළපා මේ ධර්‍මදේශනාව කළ සේක:-

නිධිනං ව පවත්තාරං යං පස්සෙ වජ්ජදස්සිනං,

නිග්ගය්හවාදිං මෙධාවිං තාදිසං පණ්ඩිතං භජෙ,

තාදිසං භජමානස්ස සෙය්‍යො හොති න පාපියොති.

වරද වරද සේ දන්නා සුලු, නිග්‍රහ කොට කියන, නුවණැති යමකු නිධානයක් දක්වා කියන්නෙකු වැනි කොට දක්නේ වේ ද, එබඳු පණ්ඩිතයකු සේවනය කරන්නේ ය. එබන්දකු සේවනය කරන්නහුට යහපත වේ. නපුරෙක් නො වේ.

නිධිනං ඉව පවත්තාරං = නිධන් කියන්නකු වැනි කොට.

යම් යම් අවස්ථාවන්හි ප්‍රයෝජන ගැණිම පිණිස රැකවල තබන වස්තුව නිධානැ’ යි කියනු ලැබේ. ‘ නිධීයතීති = නිධි, ඨපීයති රක්ඛීයති ගොපීයතීති අත්‍ථො’ යනු විවෘත්ති යි. ‘මිනිසුන් විසින් මත්තෙහි ඉදිරියෙහි වැඩ ගැණුමට තැන්පත් කරණ නිධාන සතරෙක් ඇතැ’ යි ආගමෙහි ආයේ ය. ථාවර, ජඞ්ගම, අඞ්ගසම, අනුගාමික යන මේ ය ඒ. පොළොව කැණ පොළොවෙහි හෝ යම්කිසි උඩක හෝ තැන්පත් කළ රන් රිදී මුතු මැණික් හෝ කෙත්වත් ඉඩ කඩම් ඈ ඉරියවුවලින් තොර වස්තු ජාතයෙක් හෝ වේ නම්, ඒ ථාවරනිධාන නම් වේ. ‘ථාවරො නාම භූමිගතං වෙහාසට්ඨං හිරඤ්ඤං වා සුවණ්ණං වා ඛෙත්තං වා වත්ථු වා යං වා පනඤ්ඤං ඉරියාපථවිරහිතං’ යනු අටුවාය. දැසි දස් ඇත් අස් ගව මහිස වෙළඹ එළු තීරළු කුකුළු හූරු යනාදී වූ ඉරියව් පැවැත්වීමෙන් යුත් සත්වගණය, ජඞ්ගමනිධාන, නම් වේ. ‘ජඞ්ගෙමා නාම දාසිදාසහත්ථිගවාස්සවළවඅජෙළකකුක්කුටසූකරා, යං වා පනඤ්ඤම්පි එවරූපං ඉරියාපථපටිසංයුත්තං’ යනු අටුවා ය. මිනිසුන් විසින් තමන්ගේ ප්‍රයෝජනය පිණිස උගත් ශිල්ප කර්‍මාන්ත විද්‍යායතනාදිය හා තමන්ට හිත වූ ඒ අන්දමේ. තවත් දේත් අඞ්ගසම නිධාන, නම් වේ. ‘අඞ්ගසමො නාම කම්මායතනං සිප්පායතනං විජ්ජාට්ඨානං බාහුසච්චං, යං වා පනඤ්ඤම්පි එවරූපං සික්ඛිත්වා ගහිතං අඞ්ගපච්චඞ්ගං ඉව අත්තභාව පටිබද්ධං’ යනු අටුවා ය. මේ නිධානය අඟපසඟ මෙන් සිරුර පිළිබඳ හෙයින් අඞ්ගසම, යි කියනු ලැබේ. දාන සීල භාවනා ධම්මසවණ ධම්මදේසනාදීන්ගේ වසයෙන් ඒ ඒ අවස්ථාවෙහි සිදුකරණ කුශල කර්‍මූහය, අනුගාමිකනිධාන, නම් වේ. ඒ කීහ. ‘අනුගාමිකො නාම දානමයං පුඤ්ඤං සීලමයං භාවනාමයං ධම්මසවණමයං ධම්මදෙසනාමයං, යං වා පනඤ්ඤම්පි එවරූපං පුඤ්ඤං තත්ථ තත්‍ථ අනුගන්ත්වා විය ඉට්ඨඵලං අනුපාදෙති’ යි.

බුදුරජානන් වහන්සේ මිනිසුන් වස්තුව නිදන් කරන සැටි සැකවින් මෙසේ වදාළ සේක:-

“නිධිං නිධෙති පුරිසො ගම්භීරෙ ඔදකන්තිකෙ,

අත්‍ථෙ කිච්චෙ සමුප්පන්නෙ අත්ථාය මෙ භවිස්සති.

.

රාජතො වා දුරුත්තස්ස චොරතො පීළිතස්ස වා,

ඉණස්ස වා පමොක්ඛාය දුබ්භික්ඛෙ ආපදාසු වා,

එතදත්ථාය ලොකසමිං නිධි නාම නිධීයති” යි.

මට වැඩැති කටයුත්තක් පැමිණි කල්හි වැඩ පිණිස වන්නේ ය’ යි පුරුෂ තෙමේ දිය කෙළවර කොට ඇති ගැඹුරු තැන නිදන් පිහිටුවයි.

එසේ ම රජුන්ගෙන් සොරුන්ගෙන් ණය හිමියන්ගෙන් මිදීමට හා දුර්භික්‍ෂයෙහි හා විපතෙහි වැඩ ගැණීමටැ යි ලෝකයෙහි නිදන් පිහිටුවනු ලැබේ. මේ කී නිදන් සතරින් මෙහි ගැණුනේ ථාවරනිධානය යි. ‘තත්ථ තත්‍ථ නිදහිත්‍වා ඨපිතානං හිරඤ්ඤසුවණ්ණපූරානං නිධිකුමභීනං’ යන අටුවාව ඒ හෙලි කරයි.

පවත්තාරං, යන්න ප පූර්‍ව වද-වචනෙ යන්නෙන් නිපන්නේය. ‘පවදතීති = පවත්තා’ යනු වාක්‍ය යි. වච - වියත්තිතියං වාචායං’ යන්නෙන් ද නිපදවිය හැකි ය.

යං පස්සෙ වජ්ජදස්සිනං = වරද දක්නා සුලු යමකු දක්නේ වේ ද.

යං, යන්නට ගාථාවෙහි එන පවත්තාරං, වජ්ජදස්සිනං, නිග්ගය්හවාදං, මෙධාවිං යන පද සතර විශේෂණ ව සිටියේ ය. එහෙයින් ‘වරද දක්නා සුලු නිග්‍රහ කොට කියන සුලු නුවණැති යමකු නිදන් කියන්නකු වැනි කොට’ යන අරුත් ගතයුතු ය.

වරද දක්නා සුල්ලෝ දෙදෙනෙකි. එහි ‘මේ නො සරුප් බවෙන් මේ වරදෙන් සඟ මැද දී මොහුට නිග්‍රහ කරන්නෙමි’ යි නිතර උනුන් පිළිබඳ සිදුරු සොයන එකෙක, නො දත් දෙය දන්වන්නට දත් දෙය දැඩි ව ගන්වන්නට සිල් ඈ ගුණ දහමින් දියුණු කරන්නට වරදින් නගා සිටුවන්නට බලාපොරොත්තු වන එකෙකැ’ යි. පසු කීයේ මෙහි එන්නේ ය.

මෙ ලොව විපාක දෙන වරද ය, ඉදිරියෙහි එන අත්බවෙහි විපාක දෙන වරද ය, යි වරද දෙකෙකි. ‘ඉධ භික්ඛවෙ! එකච්චො පස්සති චොරං ආගුචාරිං රාජානො ගහෙත්වා විවිධා කම්ම කාරණා කාරෙන්තෙ’ යනාදීන් වදාළෝ මෙ ලොව විපාක දෙන වරද ය. ‘ඉධ භික්ඛවෙ! එකච්චො ඉති පටිසංචික්ඛති කාය දුච්චරිතස්ස ඛො පාපකො විපාකො’ යනාදීන් වදාළෝ එන අත්බවෙහි විපාක දෙන වරද ය. මෙහි ප්‍රධාන වන්නේත් ඒ ය.

බණපොත ‘සබ්බෙ කිලෙසා වජ්ජා, සබ්බෙ දුච්චරිතා වජ්ජා, සබ්බෙ අභිසංඛාරා වජ්ජා, සබ්බං භවගාමීකම්මං වජ්ජං’ යි මෙසේ වරද කියා පෑ ය. සියලු කෙලෙස්, සියලු දුසිරිත්, සියලු පින් පව් සසර උපත දෙන සියලු කම් වරද ය. කෙලෙස් යන්නෙන් රාගාදීහු ගැණෙති. දුසිරිත් යනෙන් ප්‍රාණඝාතාදීහු ගැණෙති. පින් පව් යන්නෙන් පුණ්‍යාපුණ්‍යානෙඤ්ජාභිසංකාරයෝ ගැණෙති. කම් යන්නෙන් විපාකජනක කර්‍මයෝ ගැණෙති. ඒ මෙසේ ආයේ ය. ‘කිලෙසාති රාගාදයො, දුච්චරිතානි පාණාතිපාතාදයො, අභිසංඛාරාති පුඤ්ඤාභිසංඛාරාදයො, භවගාමිකම්මංති විපාකජනකානි කමමානි’ යි.

පරමාණු මාත්‍ර වූ වරද යොදුන් එක් ලක්‍ෂ අටසැට දහසක් පමණ උස් වූ මහමෙර වැනි කොට දක්නේ වජ්ජදස්සී, නම් වේ ‘පරමාණුමත්තං වජ්ජං අට්ඨසට්ඨිසහස්සාධිකයොජනසතසහස්සුබ්බෙධ නෙරුපබ්බතසදිසං කත්වා දස්සනසභාවො’ යනු ආගම යි.

පරමාණු මාත්‍ර වරදැ යි කීයේ භික්‍ෂූන් පිළිබඳ නම් නො දැන, වරදවා, පිරිමඬුලු නො කොට හැඳීම් පෙරවීම් ඈ විසින් සෙඛිය ශික්‍ෂාපදයන් ඉක්මවා සිටීම ය. ගිහි පැවිදි හැම කෙනෙකුගේ ම පරමාණු මාත්‍ර වරද සේ ගැණෙනුයේ අකුසල් සිත් ඉපදවීම ය. යම් භික්‍ෂු කෙනෙක් වනාහි දුර්‍භාෂිතමාත්‍රයත් පාරාජිකාවක් වැනි කොට දකිත් නම් ඔවුහු ම ‘වජ්ජදස්සී, නම් වෙති. ගිහින් අතර යම් කෙනෙක් අකුශලචිත්තමාත්‍රයත් ආනන්තර්‍ය්‍යකර්‍මයක් කොට සිතත් නම් ඔවුහු ම ‘වජ්ජදස්සී, නම් වෙති. තමා පිළිබඳ වරද දක්නේත් මෙරමා පිළිබඳ වරද දක්නේත් වජ්ජදස්සී ය. මෙහිලා ප්‍රධාන විසින් අන්‍යයා පිළිබඳ කුදු මහත් වරද දැක උන් එයින් නගා සිටුවීමෙහි උත්සාහිතයා ගැණේ. වරද දැක වරදින් නගන්නට අවවාද දෙන්නේ ගරු බුහුමන් පෙරටු කොට සෙවිය යුතු ය. දිළිඳු මිනිසෙක්, ‘මේ ගණුව’ යි තර්‍ජනය කොට තළා පෙළා රන් රිදී මුතු මැණික් පිරුනු නිදන් සැළක් දක්වන්නහු කෙරෙහි යම් සේ නො කිපේ ද, සතුටු සිත් ඇත්තේ ම වේ ද, එපරිද්දෙන් නො සුදුසු ක්‍රියාවක් නො මනා හැසිරීමක් දොසක් වරදක් දැක කියන්නහු කෙරෙහි නො කිපිය යුතු ය. ඔහු කෙරෙහි සතුටු සිත් ඇත්තකු ම විය යුතු ය. ‘පින්වත! ඔබ මට කළේ මහත් වැඩෙක, නැවැත නැවැත මාගේ වරද කියාදෙනු මැනැව, මාගේ ගුරුන් සේ මා කෙරෙහි ක්‍රියා කරණු දැක්මෙහි මම ආශා ඇත්තේ වෙමි, මාගේ අනාගතය හැඩ ගස්වනු මැනැවැ’ යි පැවරිය යුතු ය.

නිග්ගය්හවාදිං = නිග්‍රහ කොට කියන සුලු.

ඇතැම් කෙනෙක් ස්වකීය සද්ධිවිහාරිකාදීන්ගේ වරද දුටුවෝ ද ‘මෙතෙමේ මුව දෝනා පැන් දීම් ආදියෙන් මට සකස් ව උවැටැන් කර යි, පිණ්ඩපාතය ගෙණ දෙයි, මොහුගේ නෑයෝ වත්පොහොසත්කම් ඇත්තෝ ය, ඒ අයත් මට සලකති’ යි දැඩි ව ගෙණ වරදෙහි නිග්‍රහ කිරීමට දඬුවම් කිරීමට අවවාද දීමට පසුබට වෙති. ‘එසේ කළොත් පිරිහීමෙක් වන්නේ ය’ යි සිතති. එබන්දෝ නිග්ගය්හවාදී නො වෙති. ඔවුහු මේ සසුනෙහි කුණු කසළ විසුරුවන්නෝ ය. සසුනට කුණු කසළ ඇද දමන්නෝ ය.

යම් කෙනෙක් වනාහි නිග්‍රහයට, දඬුවමට, අවවාදයට සුදුසු වරද දුටු තැන තදනුරූප ව තර්‍ජනය කොට ආවාසයෙන් නෙරපා හැරීමෙන් දඬුවම් කිරීමෙන් වරදකරු වෙහෙරින් බැහැර කිරීමෙන් හික්මවද්ද, ඔවුහු නිග්ගය්හවාදී, වෙති. බුදුරජානන් වහන්සේ නිග්‍රහ කළයුත්තෙහි නිග්‍රහ කළ සේක. බැහැර කළයුත්තෙහි බැහැර කළ සේක. දඬුවම් කළයුත්තෙහි දඬුවම් කළ සේක. අවවාද කළයුත්තෙහි අවවාද කළ සේක. විනයෙහිලා උන්වහන්සේ නො මනාව හැසිරෙන අතවැස්සන්ට අවවාද කරන්නට දඬුවම් කරන්නට නිග්‍රහ කරන්නට ඔවුන් බැහැර කරන්නට

‘අනුජානාමි භික්ඛෙව අසම්මාවත්තන්තං පණාමෙතුං’ යි අනුදත් සේක. යම් අතවැස්සෙක් ආචාර්‍ය්‍යොපාධ්‍යයයන් කෙරෙහි නො මනාව පිළිපදනේ නම්, ඔහුට තමන් වෙත පැමිණෙන්නට තමන් වෙත වසන්නට ඉඩ නො දිය යුතු ය. පා සිවුරු බැහරට ගන්නට නියම කළයුතු ය. තමන්ට කරණ උපස්ථාන වළකාලිය යුතු ය. එය කයින් හෝ වචනයෙන් හෝ එදෙකින් ම හෝ කළ හැකි ය. ගුරුවරුන් කෙරෙහි ප්‍රේමයත් ප්‍රසාදයත් ලජ්ජාවත් ගෞරවයත් චිත්තභාවනාවත් නැති අතවැස්සන් පන්නා හැරීමට ගුරුන්ට බලය ඇත්තේ ය. එ හෙයින් එබඳු අතවැස්සන් කෙරෙහි එසේ පිළිපැදිය යුතු ය. ගුරුන්ට ගහන බණින නින්දා කරණ දුෂ්ප්‍රතිපත්තියෙහි හැසිරෙන විනය දහමට පටහැනි ව යන අතවැස්සන් පන්නා හැරීම ගුරුන් විසින් කළ යුතු ය. එසේ නො කොට වරද දැක දැක ඉන්නා ආචාර්‍ය්‍යොපාධ්‍යායයෝ දොස් සහිතයෝ ය. සසුනෙහි කුණු කසළ දමන්නෝ ය. සසුන නසන්නෝ ය.

නිග්‍රහ කරන්නහු නින්දා පරිභව කරණ අදහසින් නො ව අනුග්‍රහබුද්ධියෙන් ම ඒ කළයුතුය. එ ද වරද පමණට ය. නැත ඵලයෙක් නො වන්නේ ය. ඇතැම්විට එය නිග්‍රහ කරන්නහුගේ හා නිග්‍රහ ලබන්නහුගේ පිරිහීමට කරුණු විය හැකි ය.

නිග්‍රහය කායික, වාචසික, මානසික යි තෙපරිදි ය. තැළීම් පෙළීම් බැඳීම් ඈ විසින් කරන්නා වූ නිග්‍රහය කායික නමි. තැති ගැන්වීම් අවවාද දීම් ඈ විසින් කරනු ලබන්නේ වාචසිකය ය. මානසිකය වනුයේ අවවාද අනුශාසනා කිරීම් ඈ නො කොට හැරීමෙනි.

මෙධාවිං = නුවණැති.

තාදිසං පණ්ඩිතං භජෙ = එබඳු පණ්ඩිතයකු සේවනය කරන්නේ ය.

සේවනය කළයුත්තේ කෙබඳු පණ්ඩිතයෙක් ද; යත්:- මුලින් කියූ ගුණැති පණ්ඩිතයෙක් ය සේවනය කළයුතු. [1]

තාදිසං භජමානස්ස සෙය්‍යො හොති = එබන්දකු සේවනය කරන්නාහට යහපත වේ.

න පාපියො = නපුරෙක් නො වේ.

ගුණවතකු සේවනය කරන්නේ ගුණනුවණින් දියුණු වන්නේ ය. එයින් යොග්‍ය පුරුෂයෙක් වන්නේ ය. එයින් ධනවත් බවට යන්නේය. ගුණයත් ධනයත් යොදා වැඩ කිරීමෙන් සදෙවකලෝකයාගේ සම්භාවනයට පාත්‍ර වන්නේ ය. පරලොවෙහි සුගතිය ම වන්නී ය. නපුරෙක් නම් නො වන්නේ ය.

මේ ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියෝ ය.

රාධස්ථවිර වස්තුව නිමි.

  1. 2-1 ‘පණ්ඩිතා’ යන්න බලනු.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.