5-15 පුණ්‍ය මහිමය

අඤ්ඤා හි ලාභූපනිසා අඤ්ඤා නිබ්බානගාමිනී

එවමෙතං අභිඤ්ඤාය භික්ඛු බුද්ධස්ස සාවකො

සක්කාරං නාභිනන්‍දෙය්‍ය විවෙකමනුබ්‍රූහයෙ.

ලාභ උපදවන පිළිවෙත අනෙකෙක් ම ය. නිවනට පමුණුවන පිළිවෙත අනෙකෙක් ම ය. බුද්ධාශ්‍රාවක මහණ තෙම මේ කාරණය විශේෂයෙන් දැන නොදැහැමින් උපන් සත්කාරය නො ඉවසන්නේ ය. කායාදී ත්‍රිවිධ විවේකය වඩන්නේ ය.

රජගහා නුවර මහාසෙන නම් බමුණෙක් විය. ඔහු සැරියුත් මහතෙරුන්ගේ පිය වූ වඞ්ගන‍‍්ත බ්‍රාහ්මණයාගේ මිත්‍රයෙකි. සැරියුත් මහතෙරණුවෝ, දවසක් පිඬු සිඟා යනුවෝ, මහසෙන් බමුණා කෙරෙහි කරුණාව උපදවා ‘උදව්වක් කරමි’ යි ඔහුගේ ගෙට වැඩියාහ. වත් පොහොසත් කම් කිසිත් නැති දිළිඳු බමුණා ‘මාගේ පුතා මෙහි සිඟා ආයේ, මා දුප්පතකු බව නො දැන විය හැකි ය, මම දුප්පතෙක්මි, පිළිගන්වන්නට දෙයක් මට නැතැ’ යි සිත සිතා තොල් මතුරමින් තෙරුන්ට මූණ නොදී සැඟවී ගියේ ය. තෙරණුවෝ, එසේ ම අන් දවසකුත් එහි වැඩියහ. එදාත් බමුණා එසේ සැඟවුනේ ය. ‘මොකවත් ටිකක් ලැබුනොත් දෙමි’ යි සිතා සිටිය ද කිසිත් නො ලැබින.

දිනෙක හෝමයක් කරණු සඳහා බැහැරට ගිය මොහුට එහිදී දළ රෙදි කඩක් හා කිරිබත් තලියක් ලැබුනේ ය. ‘එය ගෙණැවිත් සැරියුත් හාමුදුරුවන්ට දිය යුතු ය’ යි ඔහු සිතී ය. උන්වහන්සේ ද, ධ්‍යානයට සමවැද නැගිට සිටි සේක්, බමුණා දැක ‘බමුණා කිරිබතක් ලැබ මා එනතුරු බලාපොරොත්තුවෙන් සිටි යි, දැන් මා එහි යා යුතු ය’ යි සිවුර ගැටවටු කොට පොරවා පාත්‍රය ගෙණ බමුණාගේ ගෙදොරට වැඩ තමන් එහි සිටින බව හැඟවූහ. මහතෙරුන් දුටු ඔහුගේ සිත ප්‍රසන්න විය. එවිට තෙරුන් වැඳ පිළිසඳර කතා කොට ගෙයතුළට වැඩම කරවා, වඩාහිඳුවා කිරිබත් තලිය උන්වහන්සේගේ පාත්‍රයට බෙදී ය. බාගයක් පමණ බෙදූ කල්හි උන්වහන්සේ අතින් පාත්‍රය වැසූහ. බමුණා ‘ස්වාමීනි! ඇයි, මේ කිරිබත එකකුට මුත් දෙදෙනකුට සෑහෙන්නේ නො වේ, මේ ටිකත් පිළිගෙන වදාරා මට පරලොවින් සංග්‍රහ කරණු මැනැවි, මෙලොව සංග්‍රහයට වඩා මා බලාපොරොත්තු වන්නේ පරලොව සංග්‍රහය යි, මේ බත් සේරම ඔබවහන්සේට පුදනු කැමැත්තෙමි, පිළිගණු මැනැවැ’ යි පිළිගැන්වී ය. තෙරනුවෝ, ඔහුගේ ප්‍රසාදය පිණිස එහි ම වැඩහිඳ වැළඳු සේක. අවසන්හි රෙදිකඩත් පිළිගන්වා වැඳ ‘ස්වාමීනි! මමත් ඔබවහන්සේ මෙන් නිවනට පැමිණෙන්නෙමි’ යි කී ය. ‘බමුණ! එසේ වේවා’ යි අනුමෙවෙනි බණ වදාරා තෙරුන් හුනස්නෙන් නැගී දෙව්රමට වැඩියාහ.

දුගී ව දුප්පත් ව සිට දෙන දානය සිත සතුටු කිරීමෙහි පොහොසත් බැවින් බමුණු තෙමේ පහන් සිත් ඇත්තේ හටගත් සොම්නස් ඇති ව තෙරුන් කෙරෙහි වඩාත් ස්නේහ කරන්නේ විය. ඔහු තෙරුන් කෙරෙහි කළ ස්නේහයෙන්ම කලුරිය කොට සැවැත් නුවර තෙරුන්ගේ උපස්ථායකකුලයෙක පිළිසිඳ ගත්තේ ය. එකෙණහි මවු තොමෝ ‘මා කුස දරු ගබෙක් පිහිටියේ ය’ යි ස්වාමියාහට දැන් වූ ය. ඔහු ඈට ගර්‍භාරක්‍ෂාව දුන්නේ ය. ඉතා උණුසුම් ඉතා සිහිල් ඉතා ඇඹුල් දේ නො කා නො බී සුවසේ ගැබ පරිහරණය කරණ ඇයට සැරියුත් තෙරුන් ප්‍රධාන කොට ඇති පන්සියයක් දෙනා වහන්සේ ගෙයි වඩා හිඳුවා ඔවුනට දිය නො මුසු කිරිබත් පිළිගන්වන්නටත් තමනුත් කසාවත් හැඳ පොරවා රන් තලියක් ගෙණ අසුන් කෙළවර හිඳ මෙ තෙක් දෙනා වහන්සේගේ ඉඳුල් කිරිබත් කන්නටත් දොළදුකෙක් උපන. කසාවත් හැඳීමේ දොළදුක වනාහි ඇය කුස උපන්නහු බුදුසස්නෙහි ලබන පැවිද්දට පෙර නිමිති ය. එවිට ඇයගේ නෑයෝ ‘අප දුවගේ දොළදුක දැහැමි එකෙකැ’ යි සැරියුත් මහතෙරුන්, සංඝස්ථවිර කොට පන්සියයක් භික්‍ෂූන් ගෙන්වා ඒ හැම දෙනා වහන්සේට දිය නො මුසු කිරිබත් පිළිගැන්වූහ. ඕ ද, එදා කසාවත් හැඳ එකක් පොරොවා රන්තලියක් ගෙණ අසුන් කෙළවර හිඳ ඉඳුල් කිරිබත් අනුභව කළා ය. දොළදුක සංසිඳින. ගැබ්බරින් සැහැල්ලු වනතුරු අතරින් අතර කළ මංගලයන්හි ද ගැබ්බරින් සැහැල්ලු වූ පසු කළ මංගලයෙහි ද සැරියුත් මහ තෙරුන් ප්‍රධාන කොට ඇති පන්සියයක් දෙනා වහන්සේට දිය නො මුසු කිරිබත් ම පිළිගැන්නූහ. මේ වනාහි බමුණු කල, කළ කිරිබත් දානයාගේ විපාකය යි.

ජාතමඞ්ගලදිනයෙහි උදෑසන ම කුමරුන් හොඳට නාවා සරසා ලක්‍ෂයක් අගින පලසක් එළූ ඇඳක හෙවූහ. කුමරු එහි හෙව, තෙරුන් බලා ‘මෙතෙමේ මාගේ පෙර ඇදුරු ය, මුන්වහන්සේ නිසා ම මා මේ සම්පත් ලද්දී ය, එහෙයින් මොවුනට මොකවත් පූජා කළ යුතු ය’ යි සිතමින් හුන්නේ සිකපද ගැන්වීමට ගෙන එනු ලබන්නේ ඇඳෙහි එළා තුබූ පලස කුඩා ඇඟිල්ලෙක රඳවා ගත්තේ ය. එවිට මවුපියෝ ‘ලමයාගේ ඇඟිල්ලෙහි පලස ඇලුනේ ය’ යි සිතා එය ගලවන්නට උත්සාහ කළහ. ලමයා හැඬී ය. එවිට පලසත් සමග ම ලමයා වඩා ගෙණ මහතෙරුන් ඉදිරියට ආහ. මහතෙරුන් වඳින කාලයෙහි පලස ඇඟිල්ලෙන් ගලවා තෙරුන් පාමුල හෙලී ය. එවිට මවුපියෝ ‘ස්වාමීනි! මේ දරු සිඟිත්තා ඔබවහන්සේට මෙය පුදන ලද්දේය, එහෙයින් එය පිළිගෙණ මේ දාසයා සිකපද ගන්වන්නැ’ යි කීහ. සැරියුත් මහ තෙරණුවෝ ‘ලමයාගේ නම කුමක් දැ’ යි ඇසූහ. ‘ස්වාමීනි! මෙතෙමේ ඔබවහන්සේට ගිහිකල තුබූ නමට සමාන නම් ඇත්තෙක් වන්නේ නම් යහපතැ’ යි කීහ. තෙරනුවෝ තමන් ගිහිකල උපතිස්ස නම් වූ බැවින් ලමයාට ‘තිස්ස’ යි නම් කළහ. ඔහුගේ මව් තොමෝ, තම පුත්‍රයාගේ අදහස නො බිඳින්නට ඉටා ගත්තා ය.

මෙසේ නම් කරණ මගුල් නිමවා නැවැත බත් කැවිලි මගුලෙහි කන් විදින මගුලෙහි පිළි හන්දවන මගුලෙහි සිළු තබන මගුලෙහි සැරියුත් මහතෙරුන් ප්‍රධාන පන්සියයක් දෙනා වහන්සේට දිය නො මුසු කිරිබත් පිදූහ. සත් අවුරුදු වයසට පත් ඒ කුමාර තෙමේ දිනක් මෑනියන් අමතා ‘මෑනියෙනි! සැරියුත් හාමුදුරුවන් ගුරුවරයා කොට උන්වහන්සේ වෙත මා පැවිදි කරවන්නැ’ යි කී ය. ඕ ද ‘හොඳයි පුතා! මම කල් සිට ම ඔබගේ අදහස්වලට විරුද්ධ නො වෙමි’ යි කියා තෙරුන් ගෙට වැඩමවා දන් දී ‘ස්වාමීනි! මේ දාසයා ඔබ වහන්සේ වෙත පැවිදි වන්නට ඕනෑ ය’ යි කිය යි, සවස ලමයාත් රැගෙණ විහාරයට එන්නෙමි’ යි තෙරුන් යවා සවස් වේලෙහි මහත් සත්කාර සම්මාන ඇති ව ලමයාත් ගෙණ විහාරයට ගොස් ඔහු මහතෙරුන්ට පාවා දුන්නු ය.

උන් වහන්සේ ‘තිස්ස! පැවිද්ද නම් පහසු එකෙක් නො වේ, ඒ පැවිද්ද ඉතා බැරෑරුම් ය, උණුසුම් දේ වුවමනා විට සිහිල් දේ ලැබෙන්නේ ය, සිහිල් දේ වුවමනා විට උණුසුම් දේ ලැබෙන්නේ ය, පැවිද්දෝ ඉතාම දුකසේ ජීවත් වෙති, වළඳන්නෝ එක් වේලක් ය, ලත් දෙයකින් සතුටු විය යුතු ය, ගුරුන්ට වැඩි මහල්ලන්ට සුවච ව යටත් ව විසිය යුතු ය, ගුරුන් වැඩිමහල්ලන් ඉදිරියෙහි වහන් දැරීම ඔවුන් දැක දැක උසසුන්වල හිඳීම හිස වසා හිඳීම දෙවුර වසා අත දිගුකරමින් කතා කිරීම කාරා කෙල ගැසීම සිටිනවිට තනි පයින් සිටීම හේත්තුවී සිටීම අත්පාවල ඇට කැඩීම ආදිය නො සුදුසු බැවින් නො කළ යුතු ය, ගෙදර කොතරම් පොහොසත් වුවත් අහංකාර නො විය යුතු ය, පා පිස්නා බිස්සක් සේ මන් නැති ව විසිය යුතු ය, දුටුවන්ගේ නෙත් සිත් පිණායන සේ ඉරියවු පැවැත් විය යුතු ය, කාමභොගීන් සේ මල් ගඳ විලවුන් දැරීම නො හොබනේ ය, හිසෙ තිබියදී රැවුළත් රැවුළ තිබිය දී හිසත් බෑම නො සුදුසු ය, මුදල් ඉපැයීම මුදල් අතපතගෑම මුදල් ගණුදෙනු කිරීම වෙළඳාම් කිරීම වෙදකම් කිරීම ඉඩකඩම් වගා කිරීම කඩපිල් යෑම නො කල්හි ගම්වැදීම ගිහියන් හා එක් ව විසීම ඔවුන්ගේ පණිවිඩ පණත් ගෙණ යෑම බලි තොවිල් කිරීම ගුණ නුවණ නැත්තන් ඇසුරු කිරීම යනාදී වූ මේවා බුදුරජුන් විසින් තහනම් කරණ ලද ය, එහෙයින් ගිහියන් අයත් දේ මුළුමනින් අත් හැරිය යුතු ය, නො කටයුතුත් බොහෝ ය, කටයුතුත් බොහෝ ය, තෝ ඉතා සියුමැලිය, සැපයෙන් හොඳට වැඩුනෙහි ය, පැවිදි කම් කරණු තට පහසු නො වේ ය’ යි කීහ. ‘හාමුදුරුවන් වහන්ස! කටයුතු දේ කරන්නටත් නො කටයුතු දේ නො කරන්ටත් මට හැකි ය, හාමුදුරුවන් වහන්සේගෙන් අවසර ලැබෙන ලෙසට සියල්ල කරන්නෙමි, එයට පොඩ්ඩක් වත් වෙනස් ව නො කරන්නෙමි. ‘මා පැවිදි කරන්නැ’ යි කී විට උන්වහන්සේ තව පංචක කර්‍මස්ථානය කියවා ඔහු පැවිදි කළාහු ය. පැවිද්ද මහණකම ලැබීමේදී ද්වත්තිංසාකාරය ම කිය යුතු ය, එහෙත් එහිලා අපොහොසත්වේ නම්, තචපංචකය වත් කිය යුතු ය. මේ කර්‍මස්ථානය වනාහි කිසි ම බුදුවරයකු විසින් කිසිසේත් අත් නො හරන ලද ය, කෙස් ඈ දෙතිස් කොටසින් එකි එකී කොටසක් ම අරමුණු කොට විදසුන් වඩා රහත්වූවන්ගේ ගණනෙක් නැත. කිසි හසරක් නො දත් ඇතැම් මහණෝ කුලදරුවන් පැවිදි කරන්නෝ රහත්වීමෙහි උන් තුළ ඇති වාසනා ගුණය නසන්නෝ ය. ගුණනුවණින් පිරිහුනු මහණුන් පැවිදි කම් කිරීම සසුන් නැසුමට හේතු වේ. එබන්දන් ගුරුන් කොට ගෙණ පැවිදි වන්නෝ ද දෙලොවින් ම පිරිහෙති. තෙරණුවෝ ඔහු පැවිදි කොට දසසිල්හි පිහිටුවා ලූහ. සාමණේරයන්ගේ මවුපියෝ තම පුතුට සත්කාර කරන්නෝ සත් දවසක් එහි ම නැවතී සිට ගෙණ බුදුපාමොක් මහසඟන දිය නො මුසු කිරිබතින් ම සැතැප්පූහ. එකල්හි භික්‍ෂූහු එහි ‘නිතර බත්කිරි වළඳන්නට නො හැකි ය’ යි අරගල කරන්නට වූහ. තිස්සයන්ගේ මවුපියෝ සත්වනදා සවස ගේ දොර බලා ගියහ.

හෙරණ තෙමේ පසුදා අනික් වහන්දෑත් සමග පිඬු සිඟා ගියේ ය. එදා සැවැත් නුවර වැස්සෝ ‘තිස්ස හෙරණ තෙමේ අද පිඬු සිඟා එන්නේ ල, සත්කාර කළ යුතු ය’ යි රෙදිපිළි දරණු ගසා හොඳට බත් බඳුන් පන්සියයක් සාදා ගැල් පන්සියයකුත් ගෙණ ගොස් පෙරමග බල බලා සිට එහි දී හෙරණුන්ට පිළිගැන්නුහ. හෙරණ තෙමේ දවස් දෙකට සළු දහසක් හා බත් බඳුන් දහසක් ලැබ භික්‍ෂු සංඝයාට පිළිගැන්වී ය. බමුණු ව උපන් දවස දළ රෙදි කඩ දුන් දානයෙහි එක්තරා විපාකයක් වසයෙන් මේ ලද්දේ ය. භික්‍ෂූහු එතැන් සිට හෙරණුන්ට ‘පිණ්ඩපාතදායකතිස්ස’ යි නම් කළහ. ශීත කාලයෙහි දවසෙක වෙහෙර හැසිරෙන හෙරණ තෙමේ ඒ ඒ තැන ගිනිගොඩ ගසා ගෙණ ගිනි තපින්නා වූ භික්‍ෂූන් දැක ‘ස්වාමීනි! කුමහෙයින් ගිනි තපින්නහු දැ’ යි ඇසී ය. ‘ශීත ඉවසනු නො හැකි නිසා ය’ යි භික්‍ෂූහු කීහ. ‘ස්වාමීනි! ශීතට කම්බිලි පොරවන්නට හැක්කෝ නො වහු ද, කම්බිලි පෙරවීමෙන් ශීත වළකන්නට හැකි ය, කම්බිලි පෙරවීම එයට සෑහේය’ යි හෙරණුන් කී කල්හි ‘තමුසේ මහාපිණැත්තෙක, එහෙයින් තමුසේට කම්බිලි ලැබේ, අපට මොන කම්බිලි ද, ඒ කවුරු දෙත් ද, එබඳු පින් නො කොට කම්බිලි ගැණ කුමට බලාපොරොත්තු වෙමු දැ’ යි කීහ. ‘එහෙම ද, එසේ නම් කම්බිලි වුවමනා තෙරුන්නාන්සේලා මා සමග එත්වා’ යි වෙහෙර වැසි සියලු භික්‍ෂූන්ට දැන්වී ය. එවිට වෙහෙර වැසි සියලු දෙනා වහන්සේ ‘කම්බිලි ගෙන එන්නෙමු’ යි කුඩා හෙරණුන් හා නික්ම ගියහ. හෙරණ තෙමේ ද ‘දහසක් පමණ වූ මුන්වහන්සේලාට කො තැනෙකින් ගෙණ මම කම්බිලි දෙම් දැ’ යි නො සිතා ම භික්‍ෂූන් කැටුව නුවර බලා ගියේ ය. කම්පල අදහා පිරිසිදු සිතින් කරණ ද පින්කම්හි අනුභාවය, නො සිතිය හැකි ය. පළමු කොට හෙරණ තෙමේ නුවරින් පිට ගෙපිළිවෙළින් පිඬු සිඟා ගියේ ය. එහිදී හෙරණහුට කම්බිලි පන්සියයක් ලැබින. නැවැත ඇතුළු නුවර පිඬු සිඟා ගිය ඔහුට එහිදී ද පන්සියයක් ලැබින. ඒ හැර මිනිස්සු නොයෙක් තැනින් කම්බිලි ගෙණ ආහ. එකල එක් මිනිසෙක් කඩපිළක් ලඟින් යන්නේ කම්බිලි වෙළඳකු දැක ‘ඕයි! මුදලාලි! කුඩානමක් කම්බිලි එකතු කරමින් මෙ නුවර හැසිරෙන්නේ ය, ඔහු මෙහි ද ආ හැකි ය, ඒ නිසා ඔය තිබෙන කම්බිලි සඟවා තබන්නැ’ යි කී ය. ‘මොකද ඒ, ඔහු ගන්නේ දුන්නොත් නේ ද, නො දුන් දේත් ගණීදැ’ යි ඔහු ඇසී ය. ‘ගන්නේ දුන් දේ තමා’ යි කී විට ‘හා! හොඳ යි! ඔහේට ස්තුති යි, කැමැති නම් දෙන්නෙමි, නො කැමැති නම් නො දෙන්නෙමි, ඒ මාගේ වැඩෙකි, තමුසේ යන්නැ’ යි කී ය. මසුරු මෝඩ මිනිස්සු අනුන් දන්දෙනු දැක ඔවුන් කෙරෙහි මසුරුකම් කොට අසදෘශමහාදානය දැක සිත පහදා ගත නුහුනු කාල නම් සෙනෙවියා මෙන් අපායයෙහි උපදින්නෝ ය.

මුදලාලි ද ‘මේ මිනිහා යන තැනෙක නො ගොස් කම්බිලි සඟවන්නට කිය යි, කම්බිලි සොයා එන්නා ගන්නේ දුන් දෙයක් පමණකි, මා සතු මට අයත් දෙය මට ඕනෑ හැටියට ය, දීම හෝ නොදී ම මා අතේ ය. එහෙත් ඉල්ලුවොත් නො දීම මදිකමෙකි, එහෙයින් මා සතුදෙය සැඟෙව්වාට වරද නැතැ’ යි කම්බිලි අතරෙහි තුබූ වටිනා කම්බිලි දෙකක් ගෙණ දාවලුවලින් එකට ගැට ගසා කම්බිලි ගොඩේ ම සගවා තැබී ය.

සාමණේර තෙමේ දහසක් දෙනාත් සමග එහි ගියේ ය. මුදලාලිට උන් දුටු සැටියේ ම දරුපෙම් උපන. මුළු සිරුරෙහි ඒ පැතිර ගියේ ය. ඇට මිදුළු, කා වැදී සිටියේ ය. ‘මේ ලදරුවා දුටු කල කම්බිලි නො ව පපුමස් දෙන්නටත් සිතේ, එ තරම් මහත් පින් ගුණයෙක් මේ ලදරුවා කෙරෙහි පිහිටා තිබේ ය’ කියමින් මුදලාලි කම්බිලි ගොඩේ ගැන්නූ කම්බිලි දෙක ඇදලා ගෙණ සාමණේරයන් පාමුල තබා වැඳ ‘ස්වාමීනි! ඔබ දත් නිවන මටත් ලැබේවා’ යි කියා සිටියේ ය. එහිදී ‘එසේ වේවා’ යි සාමණේර තෙමේ අනුමෙවෙනි කෙළේ ය. එදා ඔහුට මෙසේ ඇතුළු නුවරින් ද කම්බිලි පන්සියයක් ලැබින. මෙසේ එක් දවසක් තුළදී ලත් කම්බිලි දහස, දහසක් දෙනා වහන්සේට එක් එක් කම්බිලිය බැගින් පිදී ය. එ තැන් සිට ඒ සාමණේර තෙමේ ‘කම්බලදායකතිස්ස’ යි හඳුන්වන ලද්දේ ය. ඔහුට නම් තබන දිනයෙහි සැරියුත් මහතෙරුන්ට පිදූ කම්බිලිය, සත්හැවිරිදි කල දහසක් බවට පැමිණ මේ අත්බවේදී ම විපාක දුන්නේ ය. ටිකක් දී හුඟක් ලබන්නට දිය යුතු එක ම තැන මේ බුදුසසුනය. බුදුසසුන හැර අන් තැනකට දීමෙන් එබඳු මහත් වූ විපාකයක් නො ලැබිය හැකි ය. උතුම් බුදුසසුනට ටිකක් දුන්නේ හුඟක් ලබන්නේ ය. හුඟක් දුන්නේ වඩ වඩා ලබන්නේ ය. එහෙයින් බුදුරජානන් වහන්සේ එහිලා ‘ තථා රූපොයං භික්ඛවෙ! භික්ඛු සඞ්ඝො යථාරූපෙ භික්ඛූසඞ්ඝෙ අප්පං දින්නං බහුං හොති, බහුං දින්නං බහුතරං’ යි වදාළ සේක.

දෙව්රම් වෙහෙර වසන හෙරණුන්ගේ නෑ ගෙවල කුඩා ලමෝ පැමිණ හෙරණුන් හා නිතර නිතර කතාවෙහි යෙදෙති. එය ඔහුට මහත් ගැහැටෙක් විය. එ හෙයින් හෙරණ තෙමේ. ‘මාගේ නෑ ලමෝ මා හා කතාවට නිතර මෙහි එතී, මා මෙහි ඉන්නා බැවින් ය ඔවුහු එන්නෝ, මොවුන් හා කරණ කතාවෙන් මට කිසිත් වැඩෙක් නො වන්නේ ය, මා මේ කරණ මහණකම කුමක් ද, මෙයින් ලබන ලොවී ලොවුතුරා සැපය කුමක් ද, මේ කතාව දෙලොව ම පිරිහීමට කරුණු වේ, එහෙයින් බුදුරජුන් වෙතින් කමටහන් ගෙණ වනයට යා යුතු ය’ යි තීරණය කර ගත්තේ ය.

එදා කුඩා හෙරණුන්ගේ පවා අදහස මෙසේ විය. ඔවුහු වැඩක් නැති කතා කිරීමෙහි දොස් දුටහ. අද නවක මධ්‍යම ස්ථවිර බොහෝ දෙනා වහන්සේ උනුන් හා කෙරෙන අනර්‍ත්‍ථ කථායෙන් ම කල් දවස් යවති. අනර්‍ත්‍ථකථා ම බොහෝසේ රුචි කෙරෙති. මහජන රැස්වීම් ම ඔවුහු බලාපොරොත්තු වෙති. නිතර ගිහියන් හා ආශ්‍රය ම පතති. ඔවුන් හා ම ගැටෙන්නට සිතති. එයට උපාය මාර්‍ග සොයති. නාගරිකවාසයෙහි බැඳනු තද ආශා ඇත්තෝ ය. ආත්මවිමුක්තිය කිමැ යි නො සිතන්නෝ ය. වර්‍තමානික භික්‍ෂූන්ගේ මේ පැවතුම් ඔවුනට හිත නො වේ. ශාසනයට හිත නො වේ. ලෝකයට හිත නො වේ.

හෙරණ තෙමේ, බුදුරජුන් වෙත ගොස් රහත් වන්නට කමටහන් කියවා ගත්තේ ය. උපාධ්‍යායයන් වැඳ අවසර ලබා පා සිවුරු ගෙණ දොරට බැස ‘මා ලඟ තැනෙක නැවතුනොත්, නෑයන් නොයෙක් දෙයට මා කරා එතී’ යි සිතා එයින් යොදුන් සියයකින් එ පිට ඈත තැනකට ගියේ ය. එහි එක් ගම්දොරකින් යන්නේ මහල්ලකු දැක ‘මහණුන්ට විසීමට සෑහෙන කැලෑබද වෙහෙරෙක් මෙහි කො තැනෙක වත් තිබේ දැ’ යි ඇසී ය. ඔහු ‘ එසේ ය’ යි කී ය. ‘උපාසක! එහි යන්නට පාර මට කියන්නැ’ යි කී ය. හෙරණුන් දුටු සැටියේ ඒ මහල්ලාට ද දරුපෙම් උපන. ඔහු එක්වර ම වෙහෙරට යන්නට පාර නො කියා ‘මෙහි වඩින්න! පාර මම කියන්නම්, වඩින්නැ’ යි කැඳවා ගෙන ගියේ ය. යන අතර හෙරණ තෙමේ අතරමග, මලාමැල්ලෙන් හා කුදු මහත් පලයෙන් බර වූ ගස් කොළන්වලින් සිත්කලු සතර පස් තැනක් දැක ‘මේ පළාතට කියන නම කුමක් දැ’ යි ඇසී ය. මහල්ලා ද ඒ ඒ තැන ගම් නම් කියමින් යන්නේ එක් වනසෙනසුනකට පමුණුවා ‘ස්වාමීනි! මෙ තැන හොඳ යි! කිසි ගැහැටෙක් මෙ තැන නැත, එ හෙයින් මෙහි නවතිනු මැනැවැ’ යි කියා හෙරණුන්ගෙන් නම ඇසී ය. හෙරණ තෙමේ ඔහුට තම නම කී ය. ‘ස්වාමීනි! හෙට අපේ ගමට පිඬු සිඟා වඩින්නැ’ යි ආරාධනා කොට තම ගමට ගිය ඔහු ගෙයක් පාසා ගොසින් ‘වනවාසික තිස්ස හාමුදුරුවෝ හෙට මෙහි පිඬු සිඟා එන්නෝ ය, ඒ නිසා කැඳබත් කැවිලි පෙවිලි කිරිපැණි ඈ තම තමන්ට හැකි දෙයක් පිළියෙල කරන්නැ’ යි ගම්වැස්සන්ට දැන්වී ය.

මේ හෙරණ තෙමේ පළමුව තිස්ස, යන නම ද, දෙවනු ව පිණ්ඩපාතදායකතිස්ස, යන නම ද, තෙවනුව කම්බලදායකතිස්ස, යන නම ද සතරවනුව වනවාසිකතිස්ස, යන නම දැ යි සත් ඇවිරිදි කල ම නම් සතරක් ලැබී ය. හෙරණ තෙමේ පසුදා උදෑසන එහි, පිඬු සිඟා ගියේ ය. එහි රැස් වූ මිනිස්සු දන් පිළිගන්වා වැන්දාහ, හෙරණ තෙමේ ‘සුව ඇත්තෝ වෙත්වා, දුකින් මිදෙත්වා’ යන වචන සතර මුත් අන් එක් වචනයකුදු නො කී ය. කිසිවක් කිසිවකුගෙන් නො ද ඇසී ය. එහි එක් මිනිසෙක් වත් දන් පිළිගන්වා පිටිපා යෑමට පොහොසත් නො වී ය. සියල්ලෝ ම හෙරණුන් දිසාවම බලා සිටියෝ ය. හෙරණ ද යැපෙන පමණක් ම පිළිගත්තේ ය. ගම්වැස්සෝ එකමුතු ව පා මුල ඇදවැටී වැඳ ‘ ස්වාමිනි! මේ තෙමස මෙහි වැඩවසන්නහු නම්, අපි තෙරුවන් සරණ පිහිටා පන් සිල් ගෙණ පෙහෙවස් ද ගෙණ වසන්නෙමු, එහෙයින් මෙහි වැඩ වසන බවට පොරොන්දුවක් දෙනු මැනැව, අප සසරින් මුදාලනු මැනැවැ’ යි කීහ. ඉක්බිති හෙරණ. තෙමේ තමන් අතින් ඔවුන්ට වන වැඩ සලකා නවතින බවට පොරොන්දු දී හැමදා ඒගමට පිඬු සිඟා යයි. මිනිසුන් දන් පිළිගන්වා හෝ නො පිළිගන්වා වැන්ද කල්හි ‘සුව ඇත්තෝ වෙත්වා, දුකින් මිදෙත්වා’ යනු පමණක් ම කියා පෙරළා යයි. පළමු මසත් දෙවන මසත් ඉක්ම තෙවන මසට පැමිණි කල්හි සිවුවන මසට නො පැමිණ ම හෙරණ තෙමේ සිවුපිළිසැඹියා යුත් රහත් බව ලැබී ය.

හෙරණුන්ගේ උපාධ්‍යාය වූ සැරියුත් මහතෙරණුවෝ වස් පවරා බුදුරජුන් වෙත ගොස් හෙරණුන් බලන්නට යෑමට අවසර ඉල්ලූහ. බුදුරජානන් වහන්සේ අවසර දුන් සේක. එවිට උන්වහන්සේ සිය පිරිවර වූ පන්සියයක් මහණුන් ද කැටුව මුගලන් මහතෙරුන් හමුවන්නට ගොස් ‘ස්ථවිරතුමනි! මම අපේ කුඩා නම, තිස්ස හෙරණුන් දකින්නට යමි’ යි කී කල්හි මුගලන් මහතෙරණුවෝ ද ‘මමත් යමි’ යි පන්සියයක් පමණ වූ සිය පිරිසත් ගෙණ සැරියුත් මහ තෙරුන්ගේ පිරිසට එකතු වූහ. මේ දහසක් පමණ වූ පිරිස හා එක් ව මහාකාශ්‍යප, අනුරුද්ධ, උපාලි, පුණ්ණ යනාදී මහාශ්‍රාවකයන් වහන්සේලා ද පන්සියය පන්සියය පමණ වූ සිය පිරිස් ගෙණ නික්ම ගත්හ, මේ මහාශ්‍රාවක ගණය තෙමේ හතළිස් දහසෙක් විය. එහි වූ හැම දෙනා වහන්සේ එකසිය විසි යොදුන් පමණ වූ මග ගෙවා හෙරණුන්ගේ ගොදුරු ගමට වැඩියාහ. හෙරණුන්ට උපස්ථාන කරණ මහලු උපාසක තෙමේ ගම්දොරදී මේ මහපිරිස දැක ඉදිරියට ගොස් වැඳ සිටියේ ය. එවිට සැරියුත් මහ තෙරණුවෝ ‘උපාසකය! මේ පළාතේ කැලෑබද කිසියම් වෙහෙරක් තිබේ දැ’ යි ඇසූහ. ‘එසේ ය ස්වාමීනි!’ යි ඔහු පිළිතුරු දින. එසේ නම් ‘එහි භික්‍ෂූහු වසත් දැ’ යි ඇසූවිට ‘එසේ ය’ යි කී ය. නැවැත උන්වහන්සේ එහි වසන්නෝ කවුරු දැ’ යි ඇසූහ. ‘වනවාසිකතිස්ස හාමුදුරුවෝය’ යි කී ය. එහි යන්නට පාර කියන්නැ’ යි කී කල්හි ඔහු ‘තමුන්නාන්සේලා කවුරු දැ’ යි ඇසී ය. ‘අපි හෙරණුන් හමුවන්නට ආවෝ වෙමු’ යි කීහ. එහිදී සැරියුත් මහතෙරුන් ඈ මහසව්වන් හැඳින ගත් උපාසක තෙමේ ප්‍රීතියෙන් පිණා ගියේ ‘ස්වාමීනි! පොඩ්ඩක් වැඩ සිටිනු මැනැවැ’ යි කියා වහා ගමට දුව ගොස් ‘සැරියුත් මහතෙරණුවෝ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේ සමග පරිවාර භික්‍ෂූන් ද කැටුව අපේ හාමුදුරුවන් හමුවීමට ඇවිත් සිටිති, එ හෙයින් කවුරුත් ඇඳ පුටු ඇතිරිලි කොට්ට මෙට්ට කළාල පැදුරු, තෙල් පහන් දැහත් ගිලන් පස පැන් වළන් ගෙණ ආයුතු’ යි කියා නියම කොට ගියේ ය. ගම්වැස්සෝ ද ඔහු කී ලෙසට ඇඳ පුටු ආදී සියල්ල සපයා අතින් කරින් ගෙණ තෙරුන් පසුපස ගොසින් විහාරයට වන්හ.

හෙරණ තෙමේ තෙරුන් හැඳින උපාධ්‍යායයන් පටන් මහ තෙරුන් කිහිප නමකගේ පා සිවුරු ගෙණ තැන්පත් කොට වත් කෙළේ ය. අනික් තෙරුන්ටත් හිඳින තැන් පිළියෙල කරත් රෑ බෝ විය. එවිට සැරියුත් මහ තෙරණුවෝ උපාසකයන් අමතා රෑ බෝ වූ බව කියා ‘ගෙවලට යන්නැ’ යි කීහ. උපාසක තෙමේ ‘ස්වාමීනි! අද ගෙවල යන දවසෙක් නො වෙයි, අද බණ අසන දිනය යි, කලකින් බණක් අසා ගන්නට බැරි විය, එහෙයින් අද බණ අසන්නට ඕනෑ ය, එයට අද ඉතා ම හොඳ දවස යි, අපට සැනසෙන්නට බණක් වදාරනු මැනැවැ’ යි කීයේ ය. එවිට මහතෙරණුවෝ ‘ ඕය්! තිස්ස! දායකවරු බණ අසන්නට ඕනෑ, ය යි කියති, එහෙයින් පහන් දල්වා බණ ඇසීමට කල් දන්වා ඔවුනට බණ ටිකක් කියන්නැ’ යි කීහ. එවිට දායකවරු නැගී සිට ‘ස්වාමීනි! පොඩිහාමුදුරුවෝ හැමදාම හැම විටකම සුව ඇත්තෝ වෙත්වා, දුකින් මිදෙත්වා, යනු පමණක් ම කියති, මේ පද සතර හැර අන් බණ පදයක් උන්වහන්සේ දන්නා බවෙක් නො පෙණේ, එහෙයින් අනික් නමකට බණ කියන්නට නියම කරණු මැනැවැ’ යි කීහ. එවිට සැරියුත් මහතෙරනුවෝ තිස්ස, හෙරණුන් අමතා ‘තිස්ස! මොවුන් සුවපත් වන සැටි දුකින් මිදෙන සැටි දතයුතු බැවින් ඒ පදයන්හි විස්තර කියා දෙන්නැ’ යි කීහ. ‘ඒ යහපතැ යි පිළිගෙණ විසිතුරු විජිනිපතක් අතට ගත් හෙරණ තෙමේ ධර්‍මාසනයට නැග පස් මහසඟියෙන් කරුණු ගෙණ මහදිවයින එක් පැහැර වස්නා මහවැස්සක් සේ ස්කන්ධ, ධාතු, ආයතන, බොධිපාක්‍ෂිකධර්‍ම බෙදා දක්වමින් අර්‍හත්වයෙන් දේශනාව මුදුන් පමුණුවා බණ වදාරා අවසානයෙහි මහ තෙරුන් අමතා ‘ස්වාමීනි! රහත්වූවහුට ම ය සැප ලැබෙන්නේ, ඔහුම ය සුවපත් වන්නේ, ඔහු ම සසර දුකින් මිදේ, අන් කෙනෙක් ජාති ඈ දුකින් නරක ඈ දුකින් නො මිදෙත් ය’ යි කීයේ ය. මහතෙරුන් වහන්සේ ‘තාගේ දම් දෙසුම් ඉතා විසිතුරු ය, පද බෙදුම ඉතා කදිම ය, එහෙයින් මිහිරි හඬින් කියව’ යි කී කල්හි මිහිරිහඬ නගාත් කීයේ ය. එදා පාන් වත් ම දායකවරු දෙකට බෙදී සිටියහ. කෙනෙක් ‘මෙයට කලින් අප මෙබඳු කැකුළු බවෙක් නො දක්නා ලද්දේ ය, මෙතෙමේ මෙතරම් සාරවත් ධර්‍මකථා දැනත් මෙතෙක් මවුපිය තනතුරෙහි සිට සැලකූ අපට එක් බණ පදයකුත් නො කීයේ ය’ යි කිපී ගන්න. අන් කෙනෙක් ‘අපට වූයේ මහත් ලාභයෙක, එනම්, මෙබඳු ගුණවතකුට ගුණයක් හෝ අගුණයක් නො දැන උවැටන් කරන්නට ලැබීම ය, දැන් එහි පල ලැබීමු, මෙතෙක් බණ අසන්නට නො ලැබුන ද, අද යහපත් බණක් ම ඇසීමු’ යි සතුටු වූහ.

බුදුරජානන් වහන්සේ එදා අලුයම ලොව බලා වදාරන සේක්, හෙරණුන්ගේ දායකයන් දැක වඩාලාත් විමසනුවෝ, දායකයන් අතර ඇතැම් කෙනකු කිපී සිටි බවත් ඇතැම් කෙනකු පැහැද සිටි බවත් නො පැහැදුනවුන් මරණින් පසු නිරයෙහි උපදින බවත් පැහැදුනවුන් දෙව්ලොව උපදින බවත් තමන් වහන්සේ එහි ගියවිට හැම කෙනකුන් ම හෙරණුන් කෙරෙහි මෙත් සිත් උපදවා දුකින් මිදෙන බවත් දුටහ. ඒ අතර මිනිස්සු බික්සඟුන් පවරා ගමට ගොස් මඩු කූඩාරම් තනවා කැඳ බත් ඈ පිළියෙල කොට අසුන් පණවා සඟුන් වඩින මග බලා හුන්හ. භික්‍ෂූහු සිරුරු පිළිදැඟුම් නිමවා සිඟා යන වේලෙහි සිඟා යන්නෝ හෙරණුන්ට කතා කොට ‘අප සමග යන්නහු ද? නැත, පසුව එන්නහු දැ’ යි ඇසූහ. ‘හාමුදුරුවන් වහන්සේලා වඩින්න! මම එන්නෙමි’ යි හෙරණ තෙමේ කීයේ ය. භික්‍ෂූහු පා සිවුරු ගෙණ සිඟා ගියහ.

බුදුරජානන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි දී සිවුරු ගැටවටු කොට පොරවා පාත්‍රය ගෙණ ඇසිල්ලෙකින් එහි වැඩ භික්‍ෂූන් ඉදිරියෙහි සිටියා සේ තමන් වහන්සේ දැක්වූහ. එකෙණෙහි බුදුරජානන් වහන්සේ වැඩි සේකැ’ යි මුළු ගම කැළඹී ගියේ ය. ඔද වැඩී ගිය ගම්වැසෝ බුදුපාමොක් මහසඟන වඩා හිඳුවා කැඳ පිළිගන්වා අවුළුපත් ද පිළිගැන්වූහ. වළඳා අවසන් වන්නට කල් තබා ම හෙරණ තෙමේ ඇතුළු ගමට වැඩියේ ය. ඔවුහු හෙරණුන්ට ද කැඳ අවුළු පිළිගැන්වූහ. ඔහු තමාට සෑහෙන පමණ ගෙණ බුදුරජුන් වෙත ගොස් පාත්‍රය ලං කෙළේ ය. බුදුරජානන් වහන්සේ ‘තිස්ස! පාත්‍රය මෙහි ගෙණෙන්නැ ‘ යි වදාරා අත දිගු කොට පාත්‍රය ගෙණ ‘ශාරීපුත්‍ර! බලන්න! කුඩා නමගේ පාත්‍රය’ යි තෙරුන් වෙතට පාත්‍රය එළවූ සේක. මහතෙරනුවෝ පය ගෙණ හෙරණුන්ට දී ‘යන්න; තමුසේ, ඔය නමට සුදුසු අසුනෙක හිඳ දන් වළඳන්නැ’ යි කීහ. දායකවරු බුදුපාමොක් මහසඟුන් වළඳවා අවසන් කොට ‘අනුමෙවෙනි බණ වදාරනු මැනැවැ’ යි බුදුරජුන්ට ආරාධනා කළහ. උන්වහන්සේ බණ වදාරන සේක් ‘උපාසකයෙනි! තමුසේලාට වූයේ මහත් ලාභයෙක, තමන්ගේ කුලුපග වූ හෙරණුන් නිසා සැරියුත්, මුගලන්, කසුප් ඈ මාගේ මේ අසූ මහසව්වන් දුටුවහු ය, මමත් මෙහි ආයෙම් මේ කුඩා නම නිසා ය, තමුසේලාට මා දකින්නට ලැබුණේත් මේ සුරතලා නිසා ය, එහෙයින් තමුසේලාට වූයේ මහත් ම ලාභයෙකැ’ යි වදාළ සේක.

එකල්හි ඔවුහු ‘අනේ! වාසනාවන්, අපි බුදුරජුන් හා සඟුන් සතුටු කිරීමෙහි සමත් පින්වතකු ලැබුවෙමු, වඳින්නට පුදන්නට සුදුසෙක් ම අපට ලැබුනේ ය’ යි මහත් සතුටින් කතා කරන්නට වූහ. හෙරණුන් කෙරෙහි නො පැහැ ද සිටියෝ පැහැදුනාහ. පහන් ව සිටියෝ වඩාලාත් පහන් වූහ. අනුමෙවෙනි බණ අවසන්හි බොහෝ දෙන සෝවන්ඵලාදියට පැමිණියෝ ය. බුදුරජානන් වහන්සේ හුනස්නෙන් නැගී වැඩියාහ. දායකවරු උන්වහන්සේ පසුපස ගොස් නැවතුනාහ. හෙරණුන් හා සම වේගයෙන් වඩින බුදුරජානන් වහන්සේ ඔහුගෙන් ඒ ඒ පළාත්වල නම් විචාරමින් වැඩි සේක. ඔහු ද හමු හමු වූ ඒ ඒ තැන නම් ගම් කියමින් බුදුරජුන් හා ම ගියේ ය. හෙරණුන් වසන තැනට වැඩි බුදුරජානන් වහන්සේ එහි දී කඳු මුදුනකට නැග ‘තිස්ස! මෙහි සිට ඈත මෑත බලනවිට කුමක් පෙනේ දැ’ යි ඇසූහ. ‘ස්වාමීනි! මූද පෙණේ යයි කීහ. ‘මූද දුටුවිට කුමක් සිතේ දැ’ යි ඇසූ කල්හි ‘ මා දුකට පැමිණි කාලයන්හි ඇඬූ කඳුළු සිවු සයුරේ දියට වැඩි බව සිතේ ය’ යි කීයේය. බුදුරජානන් වහන්සේ ‘තිස්ස! තමුසේගේ සිතීම හරි, එක් එක් සත්වයා දුකට පත් අවදියේ වැගුරූ කඳුළු සිවු සයුරේ දියට වඩා ඉතා බොහෝ ය යි,

“චතුසු සමුද්දෙසු ජලං පරිත්තකං

තතො බහුං අස්සුජලං අනප්පකං,

දුක්ඛෙන ඵුට්ඨස්ස නරස්ස සොචනා

කිං කරණා සම්ම! තුවං පමජ්ජසි”

යි මේ ගාථාව වදාළ සේක.

‘සිවු සයුරෙහි දිය ටික ය, දුකින් පහස්නා ලද මිනිසාගේ ශෝකයෙන් වැගුරුනා වූ කඳුළු දිය, ඒ සිවු සයුරෙහි දියට වඩා ඉතා බොහෝ ය, යහළුව! කුමක් හෙයින් තෝ පමාවෙහි ද?, යනු එහි අදහස ය.

ඉක්බිති බුදුරජුන් ‘තිස්ස! තමුන්සේ කො තැනෙක වසහු දැ’ යි ඇසූ කල්හි ‘අර ගල්තල්ලේය’ යි ගල්තල්ල පෙන්වී ය. ‘එහි වසන තමුසේ කුමක් සිතමින් වසන්නහු දැ’ යි ඇසූවිට ‘ස්වාමීනි! මා මෙ තැන මැරුණු වාරත් මෙහි මළ සිරුරු බැහූ වාරත් ගණන් නැතැ යි සිතමි’ යි කී ය. ‘තිසස! එහෙම තමයි, මෙලොව වැසි සතුන් පොළොවෙහි වැදහෙව නො මළ තැනෙක් නැතැ’ යි වදාරා දුක නිපාතයෙහි මේ උපසාළ්හජාතකයත්, වදාළ සේක:-

“උපසාළ්හකනාමානි සහස්සානි චතුද්දස,

අස්මිං පදෙසෙ දඩ්ඪානි නත්ථි ලොකෙ අනාමතං.

යම්හි සච්චං ච ධම්මො ච අහිංසා සඤ්ඤමො දමො,

එතදරියා සෙවන්ති එතං ලොකෙ අනාමතං” යි.

තුදුස් දහසක් උපසාළ්හක නම් ඇත්තෝ මේ පෙදෙස දැවුනෝ ය. ලොව නො මළ විරූ තැනෙක් නැත.

යමකු කෙරෙහි සත්‍යඥානය, ලෝකෝත්තරධර්‍මය, අහිංසාව, ශීලසංයමය, ඉන්ද්‍රියදමනය යන මේ ගුණ සමූහය පිහිටා තිබේ ද? බුද්ධාදී වූ ආර්‍ය්‍යයෝ ඔහු සේවනය කරති. මේ ගුණ සමූහය නො මැරේ. නිවනට කරුණු වේ.

මෙසේ පොළොවෙහි ශරීරනික්ෂේපය කොට මැරෙන්නා වූ සතුන් අතර නො මළ විරූ තැනෙක මැරෙන්නෙක් නම් නැත. අනඳ මහතෙරුන් වැන්නෝ නො මළ විරු පෙදෙස්හි මියෙති. උන්වහන්සේ එක්සිය විසි ඇවිරිදි කල තම ආයුසය බලා ඒ ගෙවී ගොස් ඇති බව දැන මෙයින් සත්වනදා පිරිනිවන් පාන්නෙමි, යි දැන්වූහ. මේ පුවත අසා රොහිණී දෙගංබඩ වැස්සත් අතුරෙන් මෙ ගොඩ වැස්සෝ ‘තෙරුන් වහන්සේට අපි උපකාර ඇත්තම්හ. එහෙයින් උන්වහන්සේ අප සමීපයෙහි පිරිනිවන් පාන්නාහ’ යි කීහ. එ ගොඩ වැස්සෝත් ‘අපිත් තෙරුන්ට උපකාර ඇත්තම්හ, අප සමීපයෙහි පිරිනිවන් පානු ඇතැ’ යි කීහ. එකල්හි අනඳ මහතෙරණුවෝ මෙ බස් අසා ‘දෙ ගොඩ වැස්සෝ ම මාගේ දායකයෝ ය, දෙගොල්ලෝ ම මට එකසේ උපකාරයහ, උපකාර නැතැ, යි කිසිවකු බැහැර කරන්නට නො හැකි ය, එ හෙයින් මා මෙ ගොඩ පිරිනිවියත් එ ගොඩ පිරිනිවියත් ධාතු බෙදීමේ දී වන්නේ කෝලාහලයෙකි, මේ කෝලාහලය මා විසින් ම සංසිඳවිය යුතු ය’ යි සිතා ‘මෙ ගොඩ වැස්සෝ මෙ ගොඩත්, එ ගොඩ වැස්සෝ එ ගොඩත් රැස් වෙත්වා’ යි කියා එයින් සත්වන දා ගඟ මැද සත්තලක් පමණ අහසට නැග පළක් බැඳ වැඩ හිඳ රැස්වූවන්ට බණ වදාරා ‘මාගේ සිරුර දිග අතට හරි මැදින් දෙකට බෙදී එක් කොටසක්, මෙ ගොඩත් එක් කොටසක්, එගොඩත් වැටේවා’ යි ඉටා වැඩහුන් ලෙසින් ම තේජෝධාතුසමාපත්තියට සමවැදුනු සේක. පිරිනිවෙනුහා ම සිරුරෙන් නැගි ගිනිදැලින් සිරුර දැවී, ඉටීම ලෙසින් සිරුර බෙදී දෙ ගොඩ වැටුනේ ය. මහාජන තෙමේ ලතෝනි දෙමින් හඬන්නට විය. එදා එ හඬ පොළොව පැළී යන තරම් විය. බුදුරජුන් පිරිනිවි දා නැගී ගිය ලතෝනියට වඩා බලගතු ලතෝනියෙක් විය. එය අසා සිටියවුන් ගේ ලය නො පැළී ගියේ මහා පුදුමයෙකිනි. හැම පහයෙක හැම ගෙයක හැම පැල්පතෙක ම සිටි මිනිස්සු සාරමසක් ම හඬ හඬා දුක් කඳුළු බිබී හුන්හ. එකල්හි එහි බඩ පුරා කෑම වේලක් ගත්තෙක්, කට තෙමෙන තරම් දිය කටක් ගත්තෙක් නො වී ය. ‘අනේ! අය්යෝ!, යන හඬ ම හැම දෙසින් ඇසුනේ ය. මිනිස්සු ‘බුදුරජුන්ගේ උපස්ථායකයා මෙතෙක් ජීවත්ව සිටි බැවින් බුදුරජුන් පිරිනිවීමෙන් වූ දුක්තැවිලි යන්තමට සංසිඳී තුබුනේ ය, දැන් ඉතින් කෙසේ ඉවසමු ද, අය්යෝ! මුන්වහන්සේ තව කලක් ජීවත් වූ සේක් නම්, අය්යෝ! බුදුරජුන්ගේ පිරිනිවීම වූයේ අද ය, ඉතින් අප සනසන්නෝ කවුරු දැ’ යි විලාප කිය කියා තැන තැන හැසිරෙන්නට වූහ.

නැවැත බුදුරජානන් වහන්සේ ‘තිස්ස! මේ වන ලැහැබෙහි දිවි, කොටි, සිංහාදීන් මොරලන විට තමුසේ බියපත් වහු දැ’ යි ඇසූහ. ‘ස්වාමීනි! බියෙක් නැත, ඔවුන් හඬලන විට වනයෙහි බලවත් ඇලුමෙක් මා සිත් තුළ හටගණි’ යි කියා ගාථා සැටකින් පමණ වන වැණුමක් කෙළේ ය. ඉක්බිති බුදුරජානන් වහන්සේ තිස්ස හෙරණුන් අමතා ‘තිස්ස! ඉතින් අප යා යුතු ය, දිගට මෙහි නවතිනු බැරිය, කොහොම ද? තමුසේ’ යි අසා වදාළ කල්හි ‘ස්වාමීනි! මාගේ ගුරුදෙවයෝ මාත් රැගෙණ යෙත් නම් යන්නෙමි, නවතින්නට වදාරන සේක් නම් නවතින්නෙමි’ යි හෙරණ තෙමේ කී ය. බුදුරජානන් වහන්සේ භික්‍ෂු සංඝයාත් ගෙණ වැඩි සේක. හෙරණුන්ගේ අදහස වූයේ නවතින්නට ය. සැරියුත් මහතෙරණුවෝ ඒ දැන ‘තිස්ස! තමුසේ මෙහි නවතින්නට කැමැත්තහු නම් නවතින්න! එයට වරදෙක් නැතැ’ යි කීහ. හෙරණ තෙමේ බුදුන් සඟුන් වැඳ ඒ වන සෙනසුනෙහි ම නතර විය.

එ දවස දම්සබාවට රැස් වූ භික්‍ෂූන් වහන්සේලා ‘පුදුමයි! තිස්ස හෙරණුන් කරන්නේ සාමාන්‍යයකුට කළහැකි වැඩෙක් නො වේ, පිළිසිඳ ගත් දා සිට ඔහුගේ නෑදැයෝ සත් මගුලෙක දහසක් පමණ වූ භික්‍ෂූන්ට දිය නො මුසු කිරිබත් පිළිගැන්නූහ, පැවිදි වූ දා තමන්ගේ විහාරයෙහි බුදුපාමොක් මහසඟනට සත් දවසක් ම කිරි බත් පිදූහ, පැවිද්දෙන් අට වනදා පිඬු සිඟා ගියේ දවස් දෙකට පිළී දහසක් හා බත් බඳුන් දහසක් ලැබුවේ ය, එක් දිනක් තුළ දී කම්බිලි දහසක් ලැබී ය, මෙහි වසන දවස ඔහුට මහත් ලාභ සත්කාර ලැබින, දැන් එ හැම පුද පඬුරක් ම හැරදමා වනයට වැදී සිඟා යෑමෙන්. ලැබෙන මුසු අහරින් දිවි පවත්ව යි, තිස්ස හෙරණ තෙමේ අනෙකෙකුට කරන්නට බැරි අමාරු වැඩ කරන්නෙකැ’ යි කතා කරමින් හුන්හ. ඒ අතර එහි වැඩම කළ සම්මාසම්බුදුරජානන් වහන්සේ ‘මහණෙනි! දැන් තමුසේලා මෙහි කුමක් කතා කරමින් හුන්නහු දැ’ යි අසා ‘තිස්ස හෙරණුන් ගැණ ය’ යි කී කල්හි ‘තමුසේලාගේ කතාව ද ඇත්ත යි, පුද පඬුරු කිත් පැසසුම් ගැණ පිළිපදින සැටි එක් ලෙසත් ය, නිවන් පිණිස පිළිපදින්නේ අන්ලෙසකින් ය, ඒ දෙක එකෙක් නො වේ, දෙක එකිනෙකට විරුද්ධ ය, පුද පඬුරු සොයන්නහුට, ඉඩකඩම් ගේ දොර මිල මුදල් සොයන්නහුට නිවන් පිළිවෙතෙහි යෙදෙන්නට බැරිය, නිවන් පිළිවෙතෙහි යෙදෙන්නහුට ඉඩකඩම් ගේ දොර මිල මුදල් සෙවීමෙහි යෙදෙන්නට බැරිය, මෙසේ කළොත් පුද පඬුරු සොයන්නට හැකි ය යි සිතා ආරඤ්ඤිකාදිධුතඞ්ගසමාදානයෙන් පුද පඬුරු උපයන්නහුට සතර අපායයෝ හළ දොර ඇත්තෝ ය, ලාභ සත්කාර උපදවන්නන් විසින් පව් කළ යුතු ය, කුහක කම් කළයුතු ය, නො එසේ නම් ඔවුනට ලාභසත්කාර උපදවන්නට ඉඩෙක් නැත, ධුතඞ්ගපූරණාදියෙන් බලාපොරොත්තු රහිත ව උපදින ලාභ සත්කාර ධාර්මිකය, ධුතඞ්ගපූරණාදිය මොන ලෙසකිනුත් ලාභ සත්කාර සඳහා නො විය යුතු ය, බුද්ධශ්‍රාවකයෝ වන සෙනසුන් වැද නිර්‍වාණගාමිණී ප්‍රතිපදාවෙහි ව්‍යායාම කරන්නෝ රහත් බවට පැමිණෙති’ යි අනුසන්ධි ගළපා මේ ධර්‍මදේශනාව කළ සේක:-

අඤ්ඤා හි ලාභූපනිසා අඤ්ඤා නිබ්බානගාමිනී,

එවමෙතං අභිඤ්ඤාය භික්ඛු බුද්ධස්ස සාවකො,

සක්කාරං නාභිනන්දෙය්‍ය විවෙක මනුබ්‍රෑහයෙති.

ලාභ උපදවන පිළිවෙත අනෙකෙක් ම ය. නිවන් යන පිළිවෙත අනෙකෙක් ම ය. බුද්ධශ්‍රාවකභික්‍ෂු තෙමේ මේ කාරණය වෙසෙසින් දැන සත්කාරය නො පතන්නේ ය. විවේකය වඩන්නේ ය.

අඤ්ඤා හි ලාභූපනිසා = ලාභ උපදවන පිළිවෙත අනෙකෙක් ම ය.

චීවර - පිණ්ඩපාත - සෙනාසන - ග්ලානප්‍රත්‍යයයාදී ලාභසත්කාර උපදවනු කැමැති මහණහු විසින් ඒ පිණිස පව් කළ යුතු ය. කය වචන සිත යන තිදොරින් වඞ්කවිය යුතු ය. ලාභය තමා වෙත ඇදී එන්නේ කායවඞ්කාදීන් අතුරෙහි යමක් කළ විට ය. කිරිබත් කනු සිතා ගෙන කිරිබත් තලියෙක කෙලින් අත ඔබා කෙලින් ම අත ඔසොවා ගන්නහුට කිරිබත් කන්නට නො ලැබේ. වන්නේ අත කිරිබතෙහි තැවරීම පමණෙකි. අත වක ගසා ඔසොවා ගන්නහුට කිරිබත් කනු හැකි ය. කිරිබත් පිඩ එසවී නැගී එන්නේ අත වක් කොට එස වූ කල්හි ය. එ මෙන් ලාභසත්කාර උපදිනුයේ කායවඞ්කාදිය කරණ විට ය. මෙසේ උපදවන, ලාභය අධාර්මික ය. ලාභ සත්කාරයෙහි ඇලුනු ගිජු වූ මහණ තෙමේ ඒ උපදවනු සඳහා කුහනා, ලපනා, නෙමිත්තිකතා, නිප්පෙසිකතා නිජිගිංසනතා යන මේ කුහකවස්තු පස යොදා ගණියි.

එහි කුහනා නම්, ලාභසත්කාරයෙහි ගිජු වූ මහණ ඒ පිණිස අන්‍යයා පුදුමයට පත් කිරීම ය. ඒ වනාහි. සිවුපසය වැළක්වීමෙන්, සමීප කොට කීමෙන්, ඉරියවු පැවැත්වීමෙන් කළ හැකි ය. දායකයකු මහණ වෙත පැමිණ සිවුරු ඈ සිවුපසයෙන් පැවරූ කල්හි ඒ ලැබීමෙහි ආශා ඇත්තේ ද එය නො හඟවා මහණුනට මෙබඳු වටින සිවුරු, රසැති කෑම් බීම් කුමට ද, මහණ වනාහි යම්තමින් ජීවත් වන්නෙක’ යන ඈ ලෙසින් ආශා නැති බව දක්වා කතා කරයි. කිසිත් දෙයක ආශා නැත්තකු සේ දායකයාට හඟවයි. ඒ දායක තෙමේ මේ මහණ සිල්වතකු සේ පිලිගණි යි. එයින් ම ඔහු මහාජනයා මැද සිල්වතකු ගුණවතකු සේ පෙනී සිටියි. එවිට දායකයෝ හාමුදුරුවන් සිවුපසයෙහි ආශා නැත්තකු වුව ද නොයෙක් දේ ගෙණ පිළිගන්වන්නට ම තැත් කෙරෙති. එකල එහිදී මේ කපට කොහොන් මහණ, ‘මට මින් වැඩෙක් නැත, දායකයනට පින් පුරවනු පිණිස පිළිගණිමි’ යි කියා ගෙණන හැම හැම දේම පිළිගනියි. මේ සිවුපසය වැළක්වීමෙන් ලාභ උපදවන සැටි ය.

ලාභසත්කාරයෙන් මැඩුනු තැළුනු මහණ ‘මෙහෙම ඇන්දොත් මෙහෙම හුන්නොත් මට බුහුමන් කරති’ යි සිතා දායකයන් ඉදිරියෙහි යමෙක් මෙබදු සිවුරු හඳී ද, පොරවා ද, මෙබඳු වෙහෙරෙක වෙසේ ද, ඔහු ධ්‍යාන ලැබූවෙක, මගපල ලැබුවෙක, යන ඈ විසින් තමා ධ්‍යානාදියට ලංකොට කියා මහාජනයා පුදුමයට පත් කොට ලාභසත්කාර උපදව යි. මේ සමීප කොට කීමෙන් ලාභ උපදවන සැටි ය.

යම් මහණෙක් තෙමේ ‘තමා රහතකු ලෙස ධ්‍යාන ලැබූවකු ලෙස මහාජන තෙමේ දැන ගණීවා’ යි ඉඳුම්, හිටුම්, නිදීම්, ඇවිදුම්, සන්සුන් ලෙසින් පැවැත්වීමෙන් ලාභසත්කාර උපදවා ද, ඒ ඉරියවු පැවැත්වීමෙන් ලාභ ඉපදවීම යි.

ලපනා නම්, ලාභසත්කාරයෙහි ගිජු ව තැනට ගැළපෙන සේ තමන් උසස් කොට හෝ පහත් කොට දක්වා ලාභ ඉපදවීම යි.

නෙමිත්තිකතා නම්, ලාභසත්කාරයෙහි ගිජු ව පාපිච්ඡතාවෙන් යුක්ත ව සිවුපසය දිමට සංඥා උපදවනු පිණිස අනුනට කයින් හෝ වචනයෙන් නිමිති කිරීම්, ආදිය යි.

නිප්පෙසිකතා නම්, ලාභ සත්කාරයෙහි ගිජු ව පාපිච්ඡතාවයෙන් යුක්ත ව අනුනට කරණ ආක්‍රාශය යි.

නිජිගිංසනතා නම්, ටික දෙයකින් වඤ්චිත කොට වැඩි දෙයක් සොයා ගැණීම ය. මත්තෙහි එන ආජීව පාරිසුද්ධිසීල කතාවෙහි මෙහි විස්තරය දැක්ක හැකි ය. මෙසේ ලාභසත්කාර ඉපදවීම නිවන් යන පිළිවෙතට ඉඳුරාම පටහැනි ය. මේ ලාභය දැහැමි නො වේ. සිරුරෙහි වූ මනා හැඩහුරුකම, සිවුරු දැරීම, උගත්කම, පිරිවර, වනවාසය යන ඈ මෙබඳු කරුණෙන් උපන් ලාභයය දැහැමි. ලාභ නම් සිවුපසය යි. උපනිසා නම් ප්‍රතිපදාව යි.

අඤ්ඤා නිබ්බානගාමිනී = නිවනට යන පිළිවෙත අනෙකෙක.

නිවනට පිළිවෙත නම්, මධ්‍යමප්‍රතිපදාවයි. ඒ මේ ප්‍රතිපදාව මජ්ඣිමාපටිපදා, දුක්ඛනිරෝධගාමිනීපටිපදා, අට්ඨංගිකමග්ග යනාදී වූ නම් වලින් බණපොත්හි එයි.

නිවන් පිළිවෙත පුරන්නහු විසින් කායවඞ්කාදිය මුළුමනින් දුරු කළ යුතු ය. එහි අන්‍ධ නො ව අන්ධයකු සේ, ගොලු නො ව ගොලුවකු සේ, බිහිරි නො ව බිහිරකු සේ විය යුතු ය. මායාකාරයකු නො විය යුතු ය. මෙසේ නො වන්නහුට නිවන් පිළිවෙත පුරන්නට නො හැකි ය. ‘නිබ්බාණගාමිනීපටිපදං පූරෙන්තෙන පාපභික්ඛුනා කායවඞ්කාදිනි පහාතබ්බානි අනන්‍ධෙනෙව අන්‍ධෙන විය අමුගෙනෙව මුගෙන විය අබධිරෙනෙව බධිරෙන විය භවිතුං වට්ටති, අසඨෙන අමායාවිනා භවිතූං වට්ටති’ යනු අටුවාව කී සැටියි.

එවං එතං අභිඤ්ඤාය = මෙසේ මේ කාරණය වෙසෙසින් දැන.

ලාභ උපදවන පිළිවෙත හා නිවන් යන පිළිවෙතත් එතං, යන්නෙන් කිය වේ. මේ පිළිවෙත් දෙක්හි දැනීම යන්තමකින් නො වියයුතු බැවින් ‘අඤ්ඤාය, යන ක්‍රියාපදය අභි, යන්නෙන් වඩා වදාළ සේක. එහෙයින් මෙහිලා ලොකුම දැනීමක් තිබිය යුතු ය.

භික්ඛු බුද්ධස්ස සාවකො = බුද්ධ ශ්‍රාවක වූ මහණ තෙමේ.

සක්කාරං න අභිනන්‍දෙය්‍ය = සත්කාරය නො පතන්නේ ය.

මෙහි කී සත්කාරය ධාර්මික නො වේ. එහෙයින් සත්කාර නො පැතිය යුතුය යි වදාළ සේක. ධාර්මික සත්කාරය ඉවසීමෙහි වරදෙක් නැත්තේ ය. ඒ මේ ලාභයම ආදරයෙන් පුදනු ලබන්නේ සත්කාර නම් වේ. එහි ‘ලාභො එව සක්කච්චං ආදරවසෙන දීයමානො සක්කාරො’ යනු ටීකා ය. ඒ අධාර්මිකසත්කාරය වනාහි කොයි ලෙසිනුත් දිවි ගිය ද නො පැතිය යුතු ය යනු මෙහි ක්‍රියාපදය හා එකතු වූ න, අභි, යන පද කියන්නේ ය. මහාප්‍රාඥයෝ නො දැහැමි ය යි තමන්ට වැටහුනු කිසිත් ලාභ සකාරයක් නො පතති. නො ඉවසති. නො ද පිළිගනිති. සැරියුත් මහතෙරුන් තමන් උදෙසා කළ බෙහෙත් කිරිබත පිළිකෙව් කිරීම මෙයට නිදසුන් කළ හැකි ය.

විවෙකං අනුබ්‍රෑහයෙ = විවේකය වඩනේ ය.

විවේකය ත්‍රිවිධ ය. කායවිවේක, චිත්තවිවේක, උපධිවිවේක යි. විවික්තිය හෙවත් වෙන්වීම විවේක නමි. ‘විවිත්ති විවිච්ඡන්නං වා විවෙකො’ එහි යමෙක් එකලා යාම, ඊම, ඉඳීම, සිටීම, නිදීම, පිඬුසිඟීම ඈ කෙරේ ද, සෙනසුන් විසින් වන, රුක්, කඳු, කඳු රැලි, ගිරිගුහා, සොහොන් ඈ සේවනය කෙරේ ද, ඒ එකලා යෑම් ඊම් ඈ පැවැත්වීම කායවිවේක, නම් වේ. ‘ඉධ භික්ඛු විවිත්තං සෙනාසනං භජති අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්‍ථං අබ්භොකාසං පලාලපුඤ්ජං, කායෙන විවිත්තො විහරති සො එකො ගච්ඡති එකො තිට්ඨති එකො නිසීදති එකො සෙය්‍යං කප්පෙති එකො ගාමං පිණ්ඩාය පවිසති එකො පටික්කමති එකො රහො නිසීදති එකො චඞ්කමං අධිට්ඨාති එකො චරති එකො විහරති ඉරීයති වත්තති පාලෙති යපෙති යාපෙති අයං කායවිවෙකො’ යන මේ සූත්‍ර පාඨයෙන් කායවිවේකය පැහැදිලි වේ. කොටින් කිය යුත්තේ ඒ ඒ පිරිස්වල ඇලී විසීමෙන් හා පස්වැදෑරුම් වස්තුකාමයෙන් ඈත් ව වෙන් ව විසීම ය. ‘ගණසඞ්ගණිකං පහාය පඤ්චන්නං වත්ථූකාමානං විවිච්ඡන්තං කායවිවෙකො’ යනු ටීකා ය.

කායවිවේකය වැඩිය යුත්තේ සමූහයා කෙරෙන් ඈත් ව පිරිස්හි නො ඇලීමෙනි. මහවෙහෙර වසමින් ගණයා පාලනය කරන්නහුට චිත්ත - උපධිවිවේක තබා කායවිවේකය වත් නො වැඩිය හැකි ය. ‘ගණසඞ්ගණිකං පහාය එව කායවිවෙකො වඩ්ඪෙතබ්බො’ යන මෙයින් ඒ පැහැදිලි ය. ගණසඞ්ගණිකාව හැර සිටි, නෙක්ඛම්මයෙහි ඇලී වසන්නහුට මේ සමෘද්ධ වන්නේ ය. ‘කායවිවෙකො පන ගණසඞ්ගණිකං පහාය නෙක්ඛම්මාභිරතානං එව සමිජ්ඣිස්සති’ යනු ටීකා ය.

ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්‍ත්‍ථධ්‍යාන, ආකාසානඤ්චායතන විඤ්ඤාණඤ්චායතන, ආකිඤ්චඤ්ඤායතන, නෙවසඤ්ඤානාසඤ්ඤායතන, සෝතාපත්ති, සකදාගාමි, අනාගාමි, අරහත්තමග්ග යන මේ, චිත්තවිවේක නම් වේ. අෂ්ටසමාපත්තීහු ම චිත්තවිවේකය සේ ඇතැම් තැන ගැණෙති. “පඨමං ඣානං සමාපන්නස්ස නිවරණෙහි චිත්තං විවිත්තං හොති’ දුතියජ්ඣානං සමාපන්නස්ස විතක්ක විචාරෙහි චිත්තං විවිත්තං හොති, තතියජ්ඣානං සමාපන්නස්ස පීතියා චිත්තං විවිත්තං හොති, චතුත්ථජ්ඣානං සමාපන්නස්ස සුබදුක්ඛෙහි චිත්තං විවිත්තං හොති, ආකාසානඤ්චායතනං සමාපන්නස්ස රූපසඤ්ඤාය පටිඝසඤ්ඤාය නානත්තසඤ්ඤාය චිත්තං විවිත්තං හොති, විඤ්ඤාණඤ්චායතනං සමාපන්නස්ස ආකාසානඤ්චායතනසඤ්ඤාය චිත්තං විවිත්තං හොති, ආකිඤ්චඤ්ඤායතනං සමාපන්නස්ස විඤ්ඤාණඤ්චායතනසඤ්ඤාය චිත්තං විවිත්තං හොති, නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමාපන්නස්ස ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤාය චිත්තං විවිත්තං හොති, සොතාපන්නස්ස සක්කායදිට්ඨියා විචිකිච්ඡාය සීලබ්බතපරාමාසදිට්ඨානුසයා විචිකිච්ඡානුසයා තදෙකට්‍ඨෙහි ච කිලෙසෙහි චිත්තං විවිත්තං හොති, සකදාගාමිස්ස ඔළාරිකා කාමරාගසඤ්ඤොජනා පටිඝසඤ්ඤොජනා ඔළාරිකා කාමරාගානුසයා පටිඝානුසයා තදෙකට්‍ඨෙහි ච කිලෙසෙහි චිත්තං විවිත්තං හොති, අනාගාමිස්ස අනුසහගතා කාමරාගනුසයා පටිඝානුසයා තදෙකට්‍ඨෙහි ච කිලෙසෙහි චිත්තං විවිත්තං හොති, අරහතො රූපරාගා අරූපරාගා මානා උද්ධච්චා අවිජ්ජාය මානානුසයා භවරාගානුසයා අවිජ්ජානුසයා තදෙකට්‍ඨෙහි ච කිලෙසෙහි බහිද්ධා ච සබ්බනිමිත්තෙහි චිත්තං විවිත්තං හොති. අයං චිත්තවිවෙකො” යනු දේශනා ය.

ප්‍රථම ධ්‍යානයට පැමිණියහුගේ සිත නීවරණයන්ගෙන් මිදෙන්නේ ය. ප්‍රථමධ්‍යානයට පැමිණියහුගෙ සිත උපචාරයෙහි නීවරණයන්ගෙන් මිදුනේ ද, හොඳට මිදෙන්නේ අර්‍පණාවස්ථාවෙහි ය. ද්විතීයධ්‍යානයට පැමිණියහුගේ සිත විතර්‍ක විචාරයන්ගෙන්, තෘතීයධ්‍යානයට පැමිණියහුගේ සිත ප්‍රීතියෙන්, චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණියහුගේ සිත සුඛදුඃඛයෙන් මිදෙන්නේය. මිදුනේය.

රූප - ප්‍රතිඝ - නානාත්ව සංඥාවන්ගෙන් ආකාසානඤ්චායතනයට පැමිණියහුගේ සිත, ආකාසානඤ්චායතන සංඥාවෙන් විඤ්ඤාණඤ්චායතනයට පැමිණියහුගේ සිත, විඤ්ඤාණඤ්චායතන සංඥාවෙන් ආකිඤ්චඤ්ඤායතනයට පැමිණියහුගේ සිත, ආකිඤ්චඤ්ඤායතනසංඥාවෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණියහුගේ සිත මිදෙන්නේ ය. මිදුනේ ය.

සෝතාපන්නයාගේ සිත සක්කායදිට්ඨි - විචිකිච්ඡා - සීලබ්බතපරාමාසයන් ගෙන් හා දිට්ඨිවිචිකිච්ඡානුසයන්ගෙන් හා ඒ හා යෙදී සිටි කෙලෙසුන් ගෙන් හා, සකදාගාමීහුගේ සිත ඔළාරික කාමරාග පටිඝසඤ්ඤොජනයන්ගෙන් හා ඔළාරික කාමරාග, පටිඝානුසයන්ගෙන් හා ඒ හා යෙදී සිටි කෙලෙසුන්ගෙන් හා, අනාගාමීහුගේ සිත සියුම් වූ කාමරාග පටිඝසඤ්ඤොජනයන්ගෙන් හා සියුම් වූ කාමරාග පටිඝානුසයන්ගෙන් හා ඒ හා යෙදී සිටි කෙලෙසුන්ගෙන් හා, රහත්හුගේ සිත රූපරාග - අරූපරාග - මාන - උද්ධච්ච - අවිජ්ජාවන්ගෙන් හා මාන - භවරාග අවිජ්ජානුසයන්ගෙන් හා ඒ හා යෙදී සිටි කෙලෙසුන් ගෙන් හා පිටත්හි වූ සංස්කාර නිමිත්තයන්ගෙන් හා මිදෙන්නේ ය. මිදුනේ ය. මේ වනාහි අතිශය පරිශුද්ධ භාවයට පැමිණි සිත් ඇත්තන් පිළිබඳ වේ. ‘චිත්ත විවෙකො ච පරිසුද්ධචිත්තානං පරමවොදානප්පත්තානං’ යනු බැලිය යුතුය. අෂ්ට සමාපත්තීගේ වශයෙන් චිත්තපාරිසුද්ධිය වන්නී ය. උපචාර සහිත අෂ්ටසමාපත්තිය, චිත්තවිසුද්ධි යි කියනු ලබන්නී එහෙයිනි.

උපධිවිවේක නම්, නිවන යි. ඛන්ධ - කිලේස - අභිසංඛාර යන තිදෙන උපධි නම් වෙති. නිවන මොවුන්ගෙන් වෙන් ව සිටි බැවින් උපධිවිවේක යි ගැණේ. ‘කිලෙසාභිසංඛාරානං උපධීනං සුඤ්ඤභාවො උපධිවිවෙකො, උපධි වුච්චන්ති කිලෙසා ච ඛන්ධා ච අභිසංඛාරා ච, උපධිවිවෙකො වුච්චති අමතං නිබ්බානං, යො සො සබ්බ සඞ්ඛාරසමථො, සබ්බූපධිපටිනිස්සග්ගො තණහක්ඛයො විරාගො නිරොධො නිබ්බානං’ යන මේ කියුම්වලින් උපධිවිවේකය කිමැ යි දැනගත හැකි ය. ක්ලේශ-ස්කන්ධ-අභිසංස්කාරයෝ උපධීහු ය. නිවන උපධිවිවේකය යි කියනු ලැබේ. සකල සංස්කාරයන්ගේ යම් සංසිඳීමෙක් උපධීන්ගේ බැහැරලීමෙක් තෘෂ්ණාවගේ ක්‍ෂයවීමෙක් නො ඇල්මෙක් දුක් වැළකීමෙක් තෘෂ්ණාවෙන් වෙන්වීමෙක් වේ ද, ඒ ය උපධි විවේක ය. ඒ මේ උපධිවිවේකය උපධිරහිත පහකළ සංස්කාර ඇත්තන් පිළිබඳ ම ය. ‘උපධිවිවෙකො ච නිරූපධීනං පුගගලානං විසඞ්බාරගතානං’ යනු කීයේ ඒ බව දක්වන්නට ය.

විවේකය පස් වැදෑරුම් කොට ද කියන ලද්දේ ය. තදඞ්ග-වික්ඛම්භන-සමුච්ඡෙද- පටිප්පස්සද්ධි-නිස්සරණය ඒ පස. ඒ ඒ විදර්‍ශනා ඥානයෙන් ලැබෙන විවේකය තදඞ්ගවිවේක නම් වේ. ‘තදඞ්ගවිවෙකො ති තෙන තෙන විපස්සනාඤාණෙන විවෙකො’ යනු ඒ කීම ය. නීවරණයන් දුරුකිරීම් වසයෙන් ඇතිවන විවේකය වික්ඛම්භනවිවේක නම් වේ. ‘නීවරණානං දුරීකරණවසෙන විවෙකො වික්ඛම්භන විවෙකො’ යනු ඒ කීම ය. මුළුමනින් කෙලෙස් සිඳලීමෙන් ලැබෙන විවේකය සමුච්ඡෙද විවේක නම් වේ. ‘සමුච්ඡෙදවිවෙකො ති කිලෙසානං සමුච්ඡෙදෙන විවෙකො’ යනු ඒ කීම ය. කෙලෙස් සංසිඳීමෙහි ලැබෙන විවේකය පටිප්පස්සද්ධිවිවේක නම් වේ. ‘කිලෙසානං පටිප්පස්සද්ධියං විවෙකො, යනු ඒ කීම ය. ප්‍රත්‍යයොත්පන්න ධර්‍ම සංඛ්‍යාත සියලු ධර්‍මයන්ගෙන් වෙන්වීමෙන් ලැබෙන සංස්කාරවිවේකය නිස්සරණ විවේක නම් වේ ‘නිස්සරණවිවෙකො, ති සබ්බසඞ්ඛත නිස්සරණ භූතො සඞ්ඛාරවිවෙකො, යනු ඒ කීම ය.

නාගසෙන මහාස්ථවිරයන් වහන්සේ, මිලිඳු රජු අමතා

‘ඉධ මහාරාජ! පටිසල්ලානං පටිසල්ලීයමානං රක්ඛති = මහරජ තුමනි! බුදුරජුන්ගේ මේ ශාසනයෙහි දැක් වූ විවේකය තෙමේ විවෙකීහු හැම අතකින් රකින්නේ ය.

ආයුං වඩ්ඪෙති = විවෙකීහු පිළිබඳ වූ ආයුසංස්කාරය මොනවට වඩන්නේ ය. දියුණු කරන්නේ ය.

බලං දෙති = විවෙකීහු පිළිබඳ කාය බල ඥානබලයන් වඩා ඔහු හැම බලයකින් බලගතු කරන්නේ ය.

වජ්ජං පිදහති = වරද වසා වරද පහකොට විවේකීහු නිවරදයකු කරන්නේ ය.

අයසං අපනෙති = විවේක රහිත ව හුන් දවසෙහි, කළ වරද නිසා යම්කිසි අයසෙක් වී නම් එය මුළුමනින් වසා දමා යශස්වියකු කරන්නේ ය.

යසං උපනෙති = මිනිසකු විසින් ලංකර ගත යුතු වූ හැම යශසක්ම ලඟාකර දෙන්නේ ය.

අරතිං විනොදෙති = සසුන කෙරෙහි වූ යම්කිසි නො ඇල්මෙක් වී නම් එය මුළුමනින් දුරලන්නේ ය.

රතිං උපදහති = විවෙකීහුගේ සිතෙහි ශාසනාලය පිහිටුවා විවෙකීහු සසුනෙන් නො ගිල්ලෙන සේ එහි තද බද කරන්නේය.

භයං අපනෙති = එලොව මෙලොව බිය නිසා බිය නැත්තකු කරන්නේ ය.

වෙසාරජ්ජං කරොති = විවෙකීහුගේ සිත කිසිතැනෙක නො හැපෙන, කිසි කරුණෙක නො බියවන, කිසිවකු විසින් යටපත් නො කටහැකි විශාරද භාවයට පත්වූවක් කරන්නේ ය.

කොසජ්ජං අපනෙති = සියලු හිත දැ යටපත් කරණ, සසුන් කිසෙහි පසුබස් වන ආත්මාර්‍ත්‍ථය නසාලන කම්මැලිකම වනසන් ය.

විරියං අභිජනෙති = සසුන් කිස පලගන්වා ලන, ලෞකික ලෝකෝත්තරාභිවෘද්ධිය සාදාලන වීර්‍ය්‍යය, විවේක සිත බලගතු කරන් ය.

රාගං අපනෙති = සත්වයන් හැම අතකින් නො මගට පොළඹවන රූප - ශබ්ද - ගන්ධ - රස - ස්ප්‍රෂ්ටව්‍ය යන මෙතැන්හි ඇලීම දුර ගසා ලන්නේ ය.

දොසං අපනෙති = ඇස් - කන් - නාසාදී ඉඳුරනට හමුවන අනිටු අරමුණු නිසා සිතෙහි පහළවන චණ්ඩභාවය උදුරාලන්නේ ය.

මොහං අපනෙති = දුක්ඛ - සමුදය - නිරෝධ - මාර්‍ග යන සිවුසස් දහම්හි හා පූර්‍වාන්තාදීන්හි නො දැන්ම බැහැර කරන්නේ ය.

මානං නිහන්ති = ‘සෙය්‍යස්ස සෙය්‍යොහමසමි’ යනාදී වශයෙන් සිතෙහි පහළ වන උන්නතිය වනසන්නේ ය.

විතක්කං භඤ්ජති = කාම - ව්‍යාපාද - විහිංසා ආදී ලාමක විතර්‍ක කඩා බිඳ ලන්නේ ය.

චිත්තං එකග්ගං කරොති = නන් අරමුණුවල ඉතා ටිකකිනුදු දුවන පනින සිත, එක දැහැමි අරමුණෙක බැඳ තබන්නේ ය.

මානසං ස්නේහයති = සිත මුදු සිනිඳු බවට පමුණුවන්නේ ය.

හාසං ජනෙති = විවේකයෙන් ලත් එකඟ බව නිසා සතුට උපදවන්නේ ය.

ගරුකං කරොති = දැහැමි නො දැහැමි සමාජයෙහි ගරුබවට පමුණුවන්නේ ය.

ලාභං උප්පාදයති = ලැබියයුතු හැම ලාභයක් ම ලබා දෙන්නේ ය.

නමස්සියං කරොති = ලෝකයා විසින් දොහොත් මුදුන් දී වැඳිය යුත්තකු කරන්නේ ය.

පීතිං පාපෙති = ධාර්මික වූ ප්‍රීතියට පමුණු වන්නේ ය.

පාමොජ්ජං කරොති = බල ප්‍රාප්ත වූ ප්‍රීතිය උපදවන්නේ ය.

සංඛාරානං සභාවං දස්සයති = සංස්කාර ධර්‍මයන් පිළිබඳ වූ අනිත්‍ය - දුඃඛ - අනාත්මාදීන්ගේ වශයෙන් ඇති තතු විදහා දක්වන්නේ ය.

භවපටිසන්ධිං උග්ඝාටෙති = හේතු ඵල පරම්පරාවශයෙන් භවයෙන් භවය ගැටීම, ගැළපීම මුළුමනින් උදුරාලන්නේ ය.

සබ්බසාමඤ්ඤං දෙති = සෝතාපත්ති - සකදාගාමි - අනාගාමි - අරහත්ත මග්ගඵල සංඛ්‍යාත හැම ශ්‍රමණ ගුණයක් ම දෙන්නේ ය. ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගයද මෙහි ම හෙන්නේය’ යි සැකෙවින් පොදුවේ විවේක ගුණ වදාළ සේක.

එහෙයින් ‘වැඩු විවේකය තෙමේ සියලු ලොවී ලොවුතුරා සැප සිදු කරන්නේ ය’ යි දැන දිවා රෑ දෙක්හි ඒ වැඩීමට උත්සාහවත් විය යුතු ය.

අනුබ්‍රෑහයෙ, යනු ක්‍රියා පද යි. අනුපූර්‍වබ්‍රෑහ - වඩ්ඪනෙ යන ධාතුවෙන් නිපන්නේ ය.

වනවාසිකතිස්සසාමණේර වස්තුව නිමි.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.