පරෙ ච න විජානන්ති මයමෙත්ථ යමාමසෙ
යෙ ච තත්ථ විජානන්ති තතො සම්මන්ති මෙධගා.
‘මේ කලහයෙහිදී අපි නැසෙමු’ යී කලහකාරී අන්‍යයෝ නො දන්නාහ. එහි යම් කෙනෙක් ‘අපි නැසෙමු’ යී දනිත් ද එයින් කලහයෝ සංහිඳෙත්.
කොසඹෑනුවර ඝෝෂිත සිටානන් කර වූ විහාරය ඝෝෂිතාරාම නමින් ප්‍රසිද්ධ වුයේ ය. එහි බුදුරජුන් දවස මහාස්ථවිරයන් වහන්සේලා දෙනමක් වාසය කළහ. එක් නමක් විනයධර ය. එක් නමක් ධර්‍මකථික ය. ඒ දෙ දෙනා වහන්සේට ම පන් සියයක් පන් සියයක් ශිෂ්‍යයෝ වූහ. එක් දිනක් ධර්‍මකථික ස්ථවිරයන් වහන්සේ, සිරුරුකිස සඳහා වැසිකිළියට වැඩියෝ, එහි සිරුරුකිස කොට අත පය සෝදා, ඉතිරි වූ දියත්ත බඳුනෙහි ම තබා වැසිකිළියෙන් නික්ම ආහ. ඉන් ටිකකට පසු විනයධර ස්ථවිරයන් වහන්සේ, එහි වැඩියෝ, බඳුනහි තුබූ ඒ දියත්ත දැක, “ඇවැත්නි! ඔබ වහන්සේ ප්‍රයෝජනයට ගෙණ ඉතිරි වූ දියත්ත බඳුනෙහි තබා ආවහු දැ?” යි ධර්‍මකථික ස්ථවිරයන්ගෙන් ඇසූහ. “ඔව්! ඇවැත්නි!” යි ඒ ස්ථවිර තෙමේ පිළිතුර දින. එවිට විනයධර තෙමේ “කිම ඇවැත්නි, මේ නිසා ඇවැත් සිදුවන බව නො දනිහු දැ?” යි ඇසී ය. “නො දනිමි” යි ඔහු කී ය. “ඇවැත්නි! මෙහි ඇවැත් වේ, මේ නිසා ඔබ වහන්සේට ඇවැත් සිදු වී ඇතැ” යි විනයධර ස්ථවිරයන් කී විට, “වේවා, එසේ නම් එයට මම පිළියම් කරමි” යි ධර්‍මකථික ස්ථවිර තෙමේ කී ය. “ඔබවහන්සේ එය නො දැන සිහි මදකමින් මේ කළහු නම්, ඇවැත් නැතැ” යි කී කල්හි, ධර්‍මකථික සථවිර තෙමේ “ඒ ඇවැතෙහි ඇවැත් නැතැ” යි සිතා ගත්තේ ය. විනයධර තෙමේ ධර්‍මකථිකයාට එසේ කියා, පසුව සිය අතැවැස්සන්ට “අර අපගේ ධර්‍මකථිකයා ඇවැතට පැමිණ ද, ඒ ඇවැත නො දනී” යි කී ය. එවිට ඔහුගේ අතැවැස්සෝ ධර්‍මකථික තෙරුන්ගේ අතැවැස්සන්ට “ඔබ වහන්සේලාගේ ගුරුවරයා ඇවැතට පැමිණ ද ඇවැත නො දනි” යි නිගා කළහ. ඔවුහු සිය ගුරුන් වෙත ගොස් එය දැන්වූහ. එවිට ධර්‍මකථික තෙමේ “මේ විනයධරයා මුල දී ඇවැත් නැතැ යි කියා දැන් ඇවැත් ය” යි කියයි, මොහු බොරු කියන්නෙකැ” යි සිය අතැවැස්සන් ඉදිරියෙහි කීයේ ය. එවිට ඔහුගේ අතැවැස්සෝ “ඔබ වහන්සේලාගේ ගුරුවරයා බොරු කියන්නෙකැ” යි විනයධර ස්ථවිරයන්ගේ අතැවැස්සන්ට නිගා කළහ. මෙයින් දෙ පස අතර මහත් අරගලයෙක් හටගත්තේ ය.
එකල්හි විනයධර ස්ථවිර තෙමේ ඉඩ ලබා ධර්‍මකථික ස්ථවිරයන්ට උත්ක්‍ෂේපණීය කර්‍මය කෙළේ ය. එ තැන් සිට ඔවුන්ගේ ප්‍රත්‍යය දායකයෝ ද, උපස්ථායකයෝ ද දෙ පසට බෙදී ගියහ. ඔවුන්ගේ අවවාද පිළිගන්නා භික්‍ෂුකීහු ද දෙ කොටසක් වූහ. අරක්ගත් දෙවියෝ, සංදිට්ඨ-සම්භත්ත දෙවියෝ, අහසැ වැසි දෙවියෝ, බඹලොව දක්වා වාසය කළ සියලු පෘථග්ජනයෝ දෙ පසට බිඳුනාහ. චාතුර්‍මහාරාජික දිව්‍යලෝකය පටන් අකනිටා බඹලොව දක්වා මේ අරගලය නැග ගියේ ය. මෙසේ හටගත් මේ අරගලය දියුණු ව ගිය කල්හි එක් භික්‍ෂුන් වහන්සේ නමක් බුදුරජුන් වෙතට ගොස් “ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! මේ උත්ක්‍ෂේපණිය කර්‍මය කළෝ, තමන් විසින් ධාර්මිකකර්‍මයෙන් ම ධර්‍මකථික තමේ උත්ක්‍ෂේප කරණ ලදැ’ යි අදහති, උත්ක්‍ෂේප කරණ ලද්දහුට අනුව යන්නෝ, අධාර්මිකකර්‍මයකින් උත්ක්‍ෂේප කරණ ලදැ’ යි අදහති, අධාර්මික කර්‍මයකින් උත්ක්‍ෂේප කරණ ලදැ’ යි පිළිගන්නෝ, උත්ක්‍ෂේපකයන් විසින් වළකනු ලබන්නෝ ද, උත්ක්‍ෂේප කරණ ලද්දහුගේ ලබ්ධිය ගෙණ ඔහු අනු ව හැසිරෙත් ය” යි දන්වා සිටියාහ.
ඒ ඇසූ ස්වාමිදරු වූ සම්මා සම්බුදුරජානන් වහන්සේ “සමගි වවු” යි දෙවරක් ම ඔවුනට දන්වා වදාළ සේක. එහෙත් ඔවුහු සමගි නො වූහ. ඒ බව දත් උන්වහන්සේ තෙවන වර ‘භික්‍ෂුසඞ්ඝ තෙමේ බිඳුනේ ය, භික්‍ෂුසඞ්ඝ තෙමේ බිඳුනේ ය” යි ඔවුන් වෙත වැඩම කොට, උත්ක්‍ෂේපණීයකර්‍මය කළවුන්ගේ ඒ කර්‍මය කිරීමෙහි වරද ද උත්ක්‍ෂේපණීයකර්‍මය කරණ ලද්දහු, අනු ව යන්නන්ගේ ඇවැත් නො දෙසීමෙහි වරද ද වදාරා, නැවත දෙ පස ගත් ලබ්ධීන්ගේ වෙනස් බව දැන ඔවුනට එක් සීමායෙහි වෙන වෙන ම පොහොය කිරීම් ආදී වූ විනයකර්‍ම අනුදැන වදාරා, කොලාහල කරුවන්ට දානශාලාදියෙහි හිඳිනා විට, අසුනක් හැර අසුනක හිඳීම ද නියම කොට වැඩි සේක. එහෙත් ඔවුන් කොලාහල කරමින් ඩබර ඇත්තන් ව වාසය කරතී’ යි අසා, නැවැතත් එහි වැඩම කොට “ මහණෙනි! කොලාහලය දරුණු ය, ඉතා නරක ය, නපුරු ය, කොලාහල කිරීමෙන් වැඩෙක් නැත, කොලාහල නො කරවු” යි අවවාද කොට, නැවැත ද, “මේ කලහවිවාදයෝ මේ ලොව පරලොව දෙකේ දියුණුව නසන්නෝ ය, බල වු කලහය නිසා කැටකිරිල්ලියක මහ ඇතකු මැරූ හැටි” යි ලටුකික ජාතකය දෙසා, “ සමගි වවු; විවාද නො කරවු; කොලාහල නො කරවු; බලවු! විවාදය නිසා දහස් ගණන් වටුවෝ මළහ” යි වට්ටකජාතකය වදාළ සේක. එහෙත් ඔවුහු එය නො ද පිළිගත්හ. එවිට උන්වහන්සේට වන වෙහෙස දුටු එක් අධර්‍මවාදීභික්‍ෂු නමක් ධර්‍මස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ මන්දෝත්සාහී ව දිට්ඨධම්මසුඛවිහරණයෙහි යෙදී වාසය කරණ සේක්වා, අපි මේ කොලාහලයෙන් ප්‍රසිද්ධ වන්නෙමු” යි කීයේ ය.
ඉක්බිති බුදුරජානන් වහන්සේ “මහණෙනි! මම තමුසේලාට පෙරැ වූ සිද්ධියක් කියමි, එය මනා කොට අසවු! පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් කසී රජෙක් වූයේ ය, එ දවස ම කොසොල් රට දීඝීති නම් කොසොල් රජෙක් විය. එක් අවදියක කසීරජු සිවුරඟසෙනග ගෙණ ගොස් කොසොල් රජු වට කෙළේ ය, එවිට කොසොල් රජ තමන්ගේ බැරිකම් සලසා දිවි රැක ගැණුමේ අදහසින් බිසොව ද ගෙණ නුවරින් පිටත පැන ගොස් බරණැසට පැමිණ සිටි පිටිසරගමක කුඹල්කරුවකුගේ ගෙදර අප්‍රසිද්ධ ව වාසය කරයි, එ දවස ඔහුගේ මෙහෙසී තොමෝ දරුගැබ් ඇත්තී වූවා, පුතකු වැදූ ය, දීඝාවු, යනු ඔහුගේ නම යි, ඔහු වැඩි දවසක් නො යවා ම නුවණැති බවට පත් විය, පිය රජ තෙමේ පුතුට ආරක්‍ෂාව සලසන්නට සිතා ඔහු නුවරින් පිටත වාසය කර වී ය, එහි දී මේ කුමාර තෙමේ ඉගෙණ ගත යුතු හැම ශිල්පයක් ම උගත්තේ ය,
ටික දිනක් ගතවත් කසීරජ තෙමේ, කොසොල් රජු පිටිසර ගමක මෙහෙසියත් සමග වාසය කරණ බව අසා, ඔහු අල්වා ගෙණ එන්නට රාජපුරුෂයන් යෙදී ය, රාජපුරුෂයෝ මෙහෙසිය හා කොසොල් රජු අල්වා ගෙණ අවුත් රජු ඉදිරියට පැමිණ වූහ, එවිට කසීරජ ‘කොසොල් රජුත් ඔහු මෙහෙසියත් සතරට පලු කොට සිවුදිග වල් සතරක් කපා එහි දමවු’ යි අණ කෙළේ ය,
මේ දවස වනවිට දිඝාවූ කුමාර තෙමේ වැඩිවිය පැමිණ සිටියේ මවුපියන් දකිනු කැමැත්තෙන් බරණැසට ගියේ ය, එහි දී හිස් බූ ගා දෙයත් පිටිපස කොට බැඳ මරන්නට ගෙණ යන මවුපියන් දැක ඔවුන්හට ලංවී ය, කොසොල්රජ තෙමේ පුතු දැක, පුත! දීඝාවූ කුමාරය! ඈතත් නො බලව! ලඟත් නො බලව! වෛරයෙන් වෛරයෝ නො සංසිඳෙති’ යි කී ය. එවිට වධකයෝ කොසොල් රජු පිස්සෙකැයි සිතා නුවරින් බැහැරට ගෙණ ගොස් පලු කොට සතර පැත්තේ සාරා තුබූ වල්වල දමා ගියහ.
වීණාගැයීමෙහි දක්‍ෂ වූ දීඝාවූ කුමාර තෙමේ එක් දිනෙක වීණා ගායනා කෙළේ ය, එ නද කණ වැටුනු කසීරජ තෙමේ දීඝාවූ කුමරුන් ගෙන්වා තමන්ට උවටැන් කරන්නටැයි රජමහලෙහි ම නවතා ගත්තේ ය, ටික දිනක් යත් රජ තෙමේ දිඝාවූ කුමරුන් කෙරෙහි දැඩි ඇල්මක් දැක්වී ය, මේ අතර දවසෙක රජ තෙමේ කුමරුන් හා රථයට නැගී මුව දඩයමට ගියේ, මාර්‍ගවිඩාවෙන් ක්ලාන්ත ව කුමරුගේ ඔඩොක්කුවෙහි හිස තබා නිදන්නට වන, එවිට කුමාර තෙමේ ‘අප විනාශ කළේ මොහු ය, මාගේ මවුපියන් පලු ගසා දැම්මේ මූ ය, රට පැහැර ගත්තේ මූ ය’ යි තමන්ට කළ විපත සිහි වී එයට දැන් පළිගනිමි’ යි සිතා කොපුවෙන් කඩුව එලියට ඇද්දේ ය, එ කෙණෙහි ම ඔහුට එදා වධකස්ථානයට ගෙණ යනු ලැබූ මවුපියන් විසින් ‘පුත! දීඝාවූකුමර! ඈත බලන්නට එපා, ලඟත් බලන්නට එපා, වෛරයෙන් වෛරයෝ කවදාවත් නො සංසිඳෙත්, පුත! දීඝාවූ! අවෛරයෙන් ම වෛරයෝ සංසිදෙත්’ යි කළ අවවාදය සිහියට නැගුනෙන් කඩුව කොපුව තුළට බැහී ය, දෙවන තෙවන වරද කොපුවෙන් ඇද ගත් කඩුව, ඒ සිහිවීමෙන් කොපුව තුළ ම බැහී ය, ඒ අතර කසීරජ බිය වී නින්දෙන් නැගී සිටියේ ය. කුමාර තෙමේ ‘කිම? දේවයන් වහන්ස! බිය වූවහු දැ’ යි ඇසී ය. ‘ඔව්, බිය වීමි, කොසොල් රජුගේ පුත්‍ර තෙමේ මා නසනු, මා මරණු සිහිනෙන් දිටිමි, එයට මම බිය වීමි’ යි කී ය, කුමාර තෙමේ වම් අතින් රජුන්ගේ හිස පිරිමදිමින් දකුණු අතින් කඩුව ගෙණ ‘දේවයන් වහන්ස! කොසොල් රජුගේ පුත් තෙමේ මම වෙමි, ඔබ වහන්සේ අපට බොහෝ විපත් කළහුය, රට පැහැර ගත්තහු ය, මාගේ මවුපියන් නැසූවහු ය, මේ එයට පළි ගැණීමට කාල ය’ යි කී ය, එවිට රජ තෙමේ ‘පුත! දීඝාවූ! කුමර! මා රැක ගන්න, මට දිවි දෙන්නැ’ යි නැවැත නැවැත කියන්නට වන, ‘මම ඔබට කෙසේ නම් දිවි දෙම් ද, මම ඔබ කෙසේ නම් රකිම් ද, ඔබ වහන්සේ මට දිවි දෙන්නහු දැ’ යි කුමරුන් ඇසූවිට, රජ තෙමේ, “මා රකින්න’ ඔබ කියන්නක් කරමි” යි කුමරුන්ගේ අත අල්වා ගත්තේය, කුමාර තෙමේ ද රජු අත ගත්තේ ය, දෙ දෙනා ම උනුන් රකින්නට පොරොන්දු වී එහි දී දිවුරුම් දුන්හ, මෙසේ උනුන් රකින්නට දිවුරුම් දී දෙ දෙනා ම බරණැසට ගියහ,
ඉක්බිති රජ තෙමේ “දෙමවුපියන් එදා මග දී ඔබ දැක කළ අවවාදවල තේරුම කිමැ” යි ඇසී ය, “දේවයන් වහන්ස! මාගේ පියා මට ඈත නො බලන්නැ” යි කීමෙහි අදහස, දිගින් දිගට වෛරය නො පැවැත්විය යුතු ය යනු යි, ලඟ නො බලන්නැ” යි කීමෙහි අදහස, මිතුරන් හිතවතුන් හා වහා නො බිඳෙව, යනු යි, එ හෙයින් වෛරයෙන් වෛරයෝ නො සංසිඳෙත්, අවෛරයෙන් වෛරයෝ සංසිඳෙත්, යන මේ කීමෙහි තේරුම ඔබ විසින් මාගේ මවුපියෝ නසන ලදහ. ඒ නිසා මම ඔබ මැරූයෙම් නම්, ඔබට වැඩ කැමැත්තෝ මා නසති, එසේ කල්හි ඒ වෛරය වෛරයෙන් නො සංසිඳෙන්නේ ය, දැන් ඔබ විසින් මට ජීවිතය දෙන ලද්දේ ය, එ හෙයින් දැන් අවෛරයෙන් වෛරය සංසිඳුනේ ය, යනුයි, කුමාර තෙමේ කී ය, එවිට රජ තෙමේ මහත් සතුටට පැමිණ ‘දීඝාවු කුමරු පණ්ඩිතයෙකැ’ යි ස්තුති කොට සිත සනසා සිය දුව පාවාදී සියලු. රාජෙශ්චර්‍ය්‍ය ද දුන්නේ ය” යි වදාරා “මහණෙනි! දඬු ගත්, අවි ගත්, රජුන්ගේ පවා ඉවසීමත්, කීකරුකමත්, දුරදිග බැලීමත් මෙසේ නම්, මාගේ සසුන්පිළිවෙතෙහි හැසිරෙන තමුසේලා ඉවසන්නෝත්, උනුන් කෙරෙහි ඇලුනෝත් වන්නහු නම් කො තරම් හොබනහු දැ” යි අවවාද කොටත් ඔවුන් සමගි කරන්නට නො හැකි වූ සේක් “දැන් මම මොවුන් හා එක් ව වසමි, එහෙත් මොවුහු මා කියන්න නො පිළිගණිත්, මොවුන් හා විසීම කරදර ය, මම මොවුන්ගෙන් වෙන් ව තනි ව වෙසෙමි” යි සිතා කොසඹෑනුවරෙහි පිඬු සිඟා ගොස් භික්‍ෂූන් ගැණ නො බලා පා සිවුරු ගෙණ බාලකලොණක නම්, විහාරයට වැඩ එහි විසූ භගුස්ථවිරයන් වහන්සේට එකචාරික වතත් පාචීනවංස මුවවෙනෙහි හුන් අනුරුද්ධාදි කුලපුත්‍රයන් ති දෙනාට සමගියෙහි අනුසසුත් වදාරා පාරිලෙය්‍යකවනයට වැඩි සේක. එහි ඇතුන් රැකි බැවින් රක්ඛිත නම් වනලැහැබෙහි මහාසල්රුකක් මුල පාරිලෙය්‍යකවනය ඇසුරු කොට එහි වැඩ විසූ සේක. පාරිලෙය්‍යක ඇත් තෙමේ එහි උපස්ථායක විය.
කොසඹෑනුවරැ වැසි උපාසකවරු විහාරයට ගියෝ බුදුරජුන් නො දැක “බුදුරජානන් වහන්සේ කොයි දැ” යි භික්‍ෂූන්ගෙන් ඇසූහ. ඔවූන් “උන්වහන්සේ පාරිලෙය්‍යකවනයට වැඩි සේකැ” යි කී කල්හි “උන්වහන්සේ කුමකට එහි වැඩි සේක් දැ” යි නැවැත ඇසූහ. “බුදුරජානන් වහන්සේ අප සමගියෙහි පිහිටුවන්නට නොයෙක් ලෙසින් උත්සාහ කළහ, එහෙත් අපට සමගියෙහි පිහිටන්නට බැරි විය, වනයට වැඩියෝ එහෙයිනැ” යි භික්‍ෂූහු කීහ. එවිට උපාසකවරු “ඇයි, මොක ද, තමුන්නාන්සේලා බුදුරජුන් ලඟ මහණ ව උන්වහන්සේ සමගි වන්නට කියද්දීත් සමගි නො වූ වහු” යි ඇසූහ. භික්‍ෂූහු එයටත් “එසේ ය” යි කීහ. එවිට “මොවුහු බුදුරජුන් ලඟ මහණ ව, උන්වහන්සේ සමගිවන්නට කියද්දීත් සමගි නො වූහ, මොවුන් නිසා අපට බුදු රජුන් දැකීම නැති විය, මොවුන්ට අසුන් දෙන්නට, දැක නැඟී සිටින්නට, වැඳුම් පිදුම් කරන්නට, බත් මාළු සපයන්නට වුවමනා නැත, අපි ඒ කිසිවක් මොවුන් උදෙසා නො කරමු” යි නියම කර ගත් ඒ උපාසකවරු ඔවුන් උදෙසා කළ ආදර සංග්‍රහ සැලකිලි නො කොට අත්හැර දැමූහ. එයින් ඔවුහු ආහාර පානාදිය නො ලැබීමෙන් ක්ලාන්ත ව ගියහ. ටික දිනක් යත් ම කලහකාරක භික්‍ෂූහු එක්සිත් ව උනුන් ම වරද පිළිගෙණ සමගි වුවෝ; ඒ බව ප්‍රත්‍යයදායකාදීන්ට කියා සිටියහ. එවිට ඔවුහු “ඔබ වහන්සේලා බුදුරජානන් වහන්සේ කමා කරවන ලද්දාහු දැ” යි අසා යැවුහ. “නැත” යි කී විට “බුදුරජුන් කමා කරවා ගණිවු, එවිට අපි ඔබ වහන්සේලාට දානමානාදියෙන් පෙර සේ සංග්‍රහ කරන්නෙමු” යි කීහ. වස්කාලය වූ බැවින් බුදුරජුන් වෙතට යා නො හැකි ව ඒ කාලය ඒ භික්‍ෂූහු ඉතා දුක සේ ඉක්ම වූහ.
පාරිලෙය්‍යකවනයට වැඩිය දා සිට පාරිලෙය්‍යක ඇත් රජ තෙමේ බුදුරජුන්ට උවැටන් කරන්නේ ය. ඒ ඇත් තෙමේ ද සිය ඇත්සමූහය අත් හැර දමා නිදහස් ව තනි ව වසන්නට ඒ වනයට පැමිණ සිටියේ ය. එහි පැමිණියේ ද දින පතා ඇතුන්-ඇතින්නන්-ඇත්නාම්බන්-ඇත්පැටවුන් නිසා සිදු වන වෙහෙස පීඩාව කරදර විඳ දරා ගත නො හැකි වූ බැවිනි. ඔහු ඒ වනයෙහි ඔබිනොබ හැසිරෙණුයේ සල්රුකක් මුලැ එකලා ව වැඩ හුන් බුදුරජුන් දැක වැඳ, වට පිට බලනුයේ කිසිවකු නො දැක එ තැන පයින් ගසා සමතලා කොට අත්තක් කඩා ගෙණ අතුගා දමා, කළයක් සොඬින් ගෙන පිරිසිදු පැන් ඇති තැනකට ගොස් පැන් ගෙනවුත් තබන්නේ ය. උණු දිය ප්‍රයෝජනයට ගන්නා දිනයෙක් වී නම්, එ දින වියලිදරකඩ දෙකක් එකට ගටා, ගිනි දල්වා එහි තව තවත් දර දමා ගින්න මහත් කොට, දල්වා එහි ගල් කැට කිහිපයක් බහා ගිනියම් කොට දරකඩකින් පෙරළා ගෙණ ගොස් වතුර ටිකක් ඇති කුඩාගල්පොකුණක දමා එහි දිය රත් වූ පසු, බුදුරජුන් වෙත ගොස් වැඳ එ බව දන්වා ලන්නේ ය. එවිට බුදුරජානන් වහන්සේ එහි වැඩම කොට උණුදිය නාන්නාහ. ඇතා ඒ අතර කැලයට වැද, පලවැල කඩා රැස් කොට තබා, දිය නාලා වැඩම කළ බුදුරජුන්ට ඒ පිළිගන්වාලයි. ගමට පිඬු පිණිස වඩිනා දිනයෙහි, බුදුරජුන්ගේ පා සිවුරු කුඹෙහි තබා ගෙණ උන්වහන්සේ හා නික්ම යයි. ගමට ලං වූ විට, “පාරිලෙය්‍යකය! මෙ තැනින් එහාට යෑම තට නො සුදුසු ය, පා සිවුරු මට දෙව” යි ඇතා එහි නවතා බුදුරජානන් වහන්සේ පා සිවුරු ගෙණ ගමට පිඬු සිඟා වඩිනා සේක. පිඬු සිඟා පෙරළා වඩිනා විට, ඇතා ඉදිරියට ගොස්, පළමු කී සේ පා සිවුරු ගෙණ අවුත් බුදුරජුන් වසන තැන තබා බුදුරජුන් වැඩ හුන් පසු කොළ අත්තක් ගෙණ පවන් සලයි. රෑ කාලයෙහි වනයෙහි සිවුපාවුන්ගෙන් වන උවදුරු වළක්වනු පිණිස, ලොකු දඬුකඩක් ගෙණ එලිවන තුරු වනය තුළ හැසිරෙයි. එලි වූ වාට පසු මුවදෝනා පැන් ආදිය තබා වත් කරයි.
මේ කාලයෙහි එම වනයෙහි ගසක වසන වඳුරෙක් බුදුරජුන් පිණිස කුදු මහත් වත් කරන මේ ඇතා දැක, “මමත් කිසියම් වතාවතක් කරමි” යි සිතා මැස්සන් නැති දඬුවෙල්බෑමීයක්, දණ්ඩත් සමග කඩා ගෙණ අවුත්, බුදුරජුන් ඉදිරියෙහි තබා, කඩා ගත් කෙහෙල් කොළයක ලා බුදුරජුන්ට පිළිගැන් වී ය. උන්වහන්සේ එය පිළිගත්හ. “මී වදය’ වලඳන්නෝ ද, නො වලඳන්නෝ දැ” යි බලා හුන් වඳුරා බුදුරජුන් එය අතට ගෙණ හිඳිනු දැක, “නො වලඳන්නෝ කුමක් නිසා දැ” යි සිතා, ලංවී දඬුකෙළවර ගෙණ පෙරළා බලනුයේ, පිළවුන් දැක ඒවා අස් කොට නැවැත පිළිගැන්වී ය. බුදුරජානන් වහන්සේ එය වැලඳු සේක. ඒ දැක මහත් සතුට ට පැමිණ ගසඋඩ අත්තෙන් අත්තට පැන පැන නටන්නට වන් වඳුරා ඇල්ලූ අත්තත් පා තැබු අත්තත් දෙක ම බිඳී ගොස්, බිම තුබූ කණුවක් උඩ වැටී සිරුර පසා වී ගියෙන් එ තැන ම මළේ ය. මළේ ද බුදුරජුන් කෙරෙහි පහන් සිතිනි. ඒ හේතුයෙන් ඌ තව්තිසාදෙව්ලොව රන් විමනක උපන්නේ ය. දහසක් දෙවඟනෝ පිරිවර වූහ.
මෙසේ බුදුරජුන් පාරිලෙය්‍යකඇතුගෙන් උවැටන් ලබමින් එ වනැ වැඩ වසන බව; දඹදිව පුරා පතළ වී ගියේ ය. එකල අනේපිඩුමහසිටු, විසාකාමහඋවැසි යන මොවුන් මුල් කොට ඇති, සැවැත්නුවරැ වැසි ජනප්‍රධානයෝ එකතු ව “අපට බුදුරජුන් දක්වනු මැනැවැ” යි ආනන්ද ස්ථවිරයන් වහන්සේට දන්වා යැවූහ. පිටිසර පළාත්වැසි පන් සියයක් පමණ භික්‍ෂුන් වහන්සේලාත්, ආනන්ද ස්ථවිරයන් වහන්සේ කරා ගොස්, “බුදුරජානන් වහන්සේ වෙතින් අපට කලකින් බණක් දහමක් අසන්නට නො ලැබුනේ ය, එ හෙයින් උන් වහන්සේ වෙතින් බණක් අසන්නට ඉඩ සලසා දෙනු මැනැවැ” යි දන්වා සිටියහ. එවිට ආනන්ද ස්ථවිරයන් වහන්සේ “තෙමසක සිට තනි ව වසන බුදුරජුන් වෙතට මෙතෙක් දෙනා සමග යෑම නො සුදුසු ය” යි සිතා ඒ භික්‍ෂූන් වනයෙන් පිටත නවතා තමන් තනි ව බුදුරජුන් වෙතට ගියහ. තනි ව බුදුරජුන් වෙතට එන තෙරුන් දුටු ඇතා, පොල්ලක් ගෙන උන්වහන්සේගේ ඉදිරියට දිව්වේ ය. බුදුරජානන් වහන්සේ එසේ දුවන්නා වූ ඒ ඇතා දැක “පාරිලෙය්‍යකය! නවතින්න! පැත්තකට වන්න! ඔය එන්නේ මාගේ උපස්ථායකයා ය” යි වදාළ විට, ඇතා සොඬින් ගත් පොල්ල පැත්තක දමා, උන්වහන්සේගෙන් පා සිවුරු ඉල්ලී ය. උන්වහන්සේ ඒ නො දුන්හ. ඇතා “මේ ස්ථවිරයන් වහන්සේ හොඳින් හැදුනු වැඩුනු උගත් කෙනෙක් නම් බුදුරජුන් වැඩ හිඳිනා ගල්ලෑල්ල උඩ තමන්ගේ පා සිවුරු නො තබති” යි සිතී ය. උන්වහන්සේ ද තම පා සිවුරු බිම තැබූහ. “හොඳින් හැදුනු වත්තසම්පන්න සුවිනීත ශිෂ්‍යයෝ ගුරු අසුනක යහනක තමන් අයත් පිරිකර නොතබති”
මෙසේ උන්වහන්සේ තම පා සිවුරු බිම තබා බුදුරජුන් වැඳ පසෙක හුන්නෝ ය. එවිට බුදුරජානන් වහන්සේ “ආනන්දය! තමුසේ හා එක් ව ආ අනික් භික්‍ෂූහු දැන් කොහි දැ” යි අසා වදාළ කල්හි, “බුදුරජුන්ගේ අදහස නො දන්නා බැවින්, ඔවුන් වනයෙන් පිටත නවතා තනි ව ආයෙමි” යි උන්වහන්සේ කීහ. ඒ භික්‍ෂූන් මෙහි කැඳවා ගෙණ එන්නැ” යි වදාළ විට, තෙරුන් වහන්සේ එසේ කළහ. ඉක්බිති බුදුරජානන් වහන්සේ ඔවුන් හා පිළිසඳර කතාවෙහි යෙදී සුවදුක් විචාළහ. ඒ අතර ඔවුහු “භාග්‍යවතුන් වහන්ස! බුදුරජානන් වහන්සේ බුදු බැවින් සියුමැලි වන සේක, රජකුලයෙහි බැවිනුත් සියුමැලි සේක, මේ නිසා තෙමසක් තනි ව මේ කරණ ලද්දේ අනුන්ට කරනු බැරි වැඩක් ය. වත් පිළිවෙත් කරන්නෙක් ද මෙහි නැත, මුව දෝනා පැන් ටිකක් දෙන්නට වත් එකෙක් නැත, මෙය අතිශය දුෂ්කරයෙකැ” යි කීහ. එවිට බුදුරජානන් වහන්සේ “මහණෙනි! මේ ඇත්රජ තෙමේ මාගේ සියලු කටයුතු නො පිරිහෙළා කලට වේලාවට මැනැවින් කෙළේ ය, මෙවැනි හොඳ ගුණවත් සහායයෙක් යමකුට සිටී නම්, ඔහු හා එක් ව විසිය යුතු ය, යමකුට එවැන්න ක් නො වේ නම්, ඔහුට තනි ව වාසය සුදුසු ය” යි වදාරා “සියලු අවස්ථාවන්හි එක් ව හැසිරෙන යහපත් පැවැතුම් ඇති නුවණැති යහළුවකු ඉදින් ලබන්නේ නම්, ඔහු සිහි ඇති ව සියලු උවදුරු නසා ඔහු සමග සතුටු සිතින් වසන්නේ ය, යම් ලෙසකින් එබඳු යහළුවකු නො ලබන්නේ නම්, දිනූ රට හැර දමා ගිය මහාජනක රජු සේ ද, වන වැසි මාතඞ්ග ඇතු සේ ද එකලා ව හැසිරෙන්නේ ය, ඒ එකලා ව විසීම උතුම් ය, හිතකරය, බාලයා කෙරෙහි යහළුබවෙක් නැත, වන වැසි මාතඞ්ග ඇතු සේ උත්සාහවත් ව තනි ව හැසිරෙන්නේ ය, පව්කම්, නො කරන්නේ ය” යි කියාත් වදාළ සේක.
මේ දේශනාවගේ අවසානයෙහි ඒ පන්සියයක් දෙනා වහන්සේ එ කෙණෙහි ම රහත් වූහ. ඉක්බිති ආනන්ද ස්ථවිරයන් වහන්සේ අනේපිඩුසිටු ආදීන්ගේ ඉල්ලීම දන්වා “සවාමීනි! භාග්‍යවතුන් වහන්ස! අනේපිඬු සිටුතුමා ප්‍රධාන කොට ඇති පස්කෙළක් ආර්‍ය්‍යය ශ්‍රාවකයෝ බුදුරජානන් වහන්සේ සැවැත්නුවරට වැඩමවාගන්නට බලාපොරොත්තු වෙති” යි කීහ. “එසේ නම් පා සිවුරු ගන්නැ” යි පා සිවුරු ගන්වා ගෙණ සැවැත්නුවරට වඩින්නට එ තැනනින් නික්මුනු සේක. එ කෙණෙහි ඇත්රජ තෙමේ මග හරහට සිටියේ ය. “ස්වාමිනි! ඇතා කුමක් නිසා මෙසේ කෙරේ දැ?” යි ඇසු කල්හි “මූ තමුසේලාට දනක් දෙන්නට බලාපොරොත්තු වේ. මෙ තෙමේ මට බොහෝ කලක් උපකාර කෙළේ ය, කොහොමත් මේ සතාගේ සිත රිදවන්නට සිත නරක් කරන්නට නො වටී, ඒ නිසා තමුසේලා කවුරුත් අද නැවතී යවු” යි වදාරා බුදුරජානන් වහන්සේ ද පන්සියයක් භික්‍ෂූන් සමග නැවතුනු සේක. ඇතා කැලයට ගොස්, කොස් කෙසෙල් අඹ දඹ දොඩම් ආදී වූ පළතුරු රාශියක් එකතු කොට පසු දා භික්‍ෂූන්ට පිළිගැන් වී ය. එහෙත් එකතු කොට තුබූ පළතුරු එයින් නිමාවට නො ගියේ ය.
වලඳා අවසානයෙහි බුදුරජානන් වහන්සේ පා සිවුරු ගෙණ සැවැත්නුවරට වඩින්නට මගට පිළිපන් සේක. එදා ඇතා භික්‍ෂූන් වහන්සේලා පසු කොට ගොස් බුදුන් ඉදිරියෙහි හරහට සිටියේ ය. භික්‍ෂූන් ඒ ගැණ ඇසූ කල්හි “මහණෙනි! මෙ තෙමේ තමුසේලා පිටත් කොට යවා මට මෙහි නවතින්නැ’ යි කියා” යි වදාළාහු ය. අනතුරු ව උන්වහන්සේ ඇතුට කතා කොට “ඇත්රජ! මේ ගමන මට කොයි ලෙසකින් වත් නවතාලන්නට බැරි ය, තට මේ ආත්මභාවයෙන් ධ්‍යානවිදර්‍ශනාමාර්‍ගඵලයක් නො ලබනු හැකි ය, එ හෙයින් සිත සතුටු කොට ගෙණ මෙහි ම නවතුව, මට යන්නට. ඉඩ දෙව” යි වදාළ කල්හි ඇතා සොඬ කටෙහි ලා ගෙණ හඬ හඬා බුදුරජුන් පසුපස ගියේ ය. ගමට ලංවන තුරු ම පසුපස හඬමින් ආ ඇත්රජුට “පාරිලෙය්‍යකය! මෙ තැන් සිට තා යායුතු නැත, එ හෙයින් මෙහි නවතුව, තට මේ තැන් පටන් ඉදිරිය යොග්‍ය භූමිය නො වේ, ඒ මනුෂ්‍යභූමිය යි, මිනිසුන් හැසිරෙන බිම යි, ඒ බිම තට උවදුරු සහිත ය, එහෙයින් ඉදිරියට නො යා යුතු ය” යි නැවැත ද වදාළ සේක. එවිට ඌ හඬ හඬා මොර දෙමින් එහි නැවතී සිට ඉදිරියෙහි වඩිනා බුදුරජුන් තමන්ගේ ඇසට නො පෙණීයත් ම සෝකයෙන් ලය පැළීගියෙන් කලුරිය කොට බුදුරජුන් කෙරෙහි කළ පහන් සිතින් තව්තිසා දෙව්ලොව උපන.
බුදුරජානන් වහන්සේ ඒ භික්‍ෂුන් සමග දෙව්රමට වැඩි සේක. කොසඹෑනුවරැ වැසි භික්‍ෂූහු බුදුරජුන් දෙව්රමට වැඩිය බව අසා බුදුරජුන් කමා කරගන්නට එහි ගියහ. කොසොල් රජු “කලහකාරක භික්‍ෂූන් බුදුරජුන් වෙතට එත් ය” යි අසා එයට කලින් බුදුරජුන් වෙතට ගොස් “ස්වාමීනි! මේ කලහකාරක වූ උන්නාන්සේලාට මාගේ රටට ඇතුල් වන්නට ඉඩ නො දෙමි” යි කී කල්හි “මහරජ! ඒ උන්නාන්සේලා සිල් ඇත්තෝ ය, හුදෙක් එකිනෙකා විනයයෙහි එන කරුණු ගැණ වාද කිරීමෙන් හටගත් අමනාපය උඩ මා දුන් අවවාදය නො පිළිගත්හ, දැන් එන්නෝ මා කමා කරවාගන්නට ය, ඒ නිසා ඔවුන්ට එන්නට ඉඩ හැරිය යුතු ය” යි වදාළ සේක. අනේපිඬු සිටු තෙමේ “ඔය සැඩ පරුෂ නො හික්මුණු උන්නාන්සේලාට මාගේ විහාරයට ඇතුල් වන්නට ඉඩ නො දෙමි” යි කී ය. “මහසිට! එසේ නො කළයුතු, මේ කොලාහලය නිසා ඒ උන්නාසේලා දුශ්ශීලයෝ නො වූහ, ඒ නමලා සිල්වත් ය” යි වදාළ කල්හි සිටු තෙමේ නිහඬ විය. ඒ අතර ඒ භික්‍ෂූහු දෙව්රමට පැමිණියහ. බුදුරජානන් වහන්සේ ඔවුන්ට ඉඩ පහසු ඇති පැත්තක සෙනසුන් පිළියෙළ කරවා දුන්හ. එහි වැසි අනික් භික්‍ෂූන් වහන්සේලා ඔවුන් හා එකට නො හිඳිත්. නො සිටිත්. ඔවුන් හා කිසිවක් කතා නො කෙරෙත්. එහි පැමිණියෝ “කලහකාරක වූ උන්නාන්සේලා කවුරු දැ” යි බුදුරජුන් අතින් විචාරත්. උන්වහන්සේ “ඒ මොවුනැ” යි දක්වත්. “මේ ඒ කෝලාහලකාරයෝ දැ?” යි එහි රැස් වූවන් විසින් ඇඟිලි දික් කොට කියනු ලබන්නෝ ලජ්ජාවෙන් හිස ඔසවන්නට නො හැකි ව බුදුරජුන්ගේ සිරිපාමුල වැටී බුදුරජුන් වැඳ කමාකර වූහ. එකල්හි උන්වහන්සේ “මහණෙනි! තමුසේලා විසින් කරණ ලද්දේ ඉතා බැරෑරුම් නො කියැකි තරමේ සැහැසි කමෙක් ය, මා වැනි බුදුවරයකු වෙත පැවිදි ව කෝලාහල නො කරවු, එක් වවු, සමගි වවු’ යි කී කල්හි ද, සමගි නො වූ වහු ය, පැරණි පඬිවරු මවු පියන්ගේ අවවාදය නිසා, ඒ මවු පියන් ජීවිතයෙන් තොර කරණ කල්හි ද, ඒ ඉවසා සිටියහ, එසේ ඉවසා සිටි එක් නුවණැති පුරුෂයෙක්, කාසි - කෝසල දෙරටෙහි රජකම හා හැම යසිසුරු ලැබී ය” යි වදාරා නැවැත කෝසම්බිකජාතකයත් වදාළ සේක. “කරුණු මෙසේ බැවින් මාගේ වචනය නො පිළිගැණීමෙන්, නො සලකා හැරීමෙන් තොප කළේ මහසැහැසිකමෙකැ” යි වදාරා, මේ ගාථාව දෙසූ සේක.
පරෙ ච න විජානන්ති මයමෙත්ථ යමාමසෙ,
යෙ ච තත්ථ විජානන්ති තතො සම්මන්ති මෙධගා’ති.
මෙහි සඟමැද (කෝලාහල කරණ අන්‍යයෝ “අපි නැසෙමු” යි) නො දනිත්. එහි යම් කෙනෙක් වනාහි (“අපි නැසෙමු” යි) දනිත් ද, ඒ හේතුයෙන් කලහයෝ සංසිදෙත්.
නොහොත් මාගේ නො වන්නෝ “ අපි මේ සඟමැද (කලහ වැඩීමට) උත්සාහ කරම්හ” යි නො දනිත්. එහි (යම් කෙනෙක් “අපි කලහ වැඩීමට උත්සාහ කරම්හ” යි) දනිත් ද, ඒ හේතු කොට කලහයෝ සංසිඳෙත්.
පරෙ ච න විජානන්ති මයං එත්ථ යමාමසෙ = මෙහි සඟමැද (කෝලාහල කරණ) අන්‍යයෝ “අපි නැසෙමු” යි නො දනිත්.
මෙහි කලහකරුවෝ ය, අන්‍යයෝ. ඔවුහු නුවණැත්තෝ නො වෙති. නුවණැත්තන්ගෙන් බැහැර වූවෝ ය ඔවුහු. මේ අටුවා ය:- ‘පණ්ඩිතෙ ඨපෙත්වා තතො අඤ්ඤෙ භණ්ඩනකාරකා පරෙ නාම’ යනු. ඔවුහු සඟමැද කොලාහල කරන්නෝ “අපි නැසී යන්නෙමු, එ තැනින් මරහු සමීපයට යමු” යි නො දනිත්. මෙන්න ඒ අටුවා:- “තෙ තත්ථ සඞ්ඝමජ්ඣෙ කොලාහලං කරොන්තො මයං යමාමසෙ උපරමාම නස්සාම සතතං සමිතං මච්චු සන්ති කං ගච්ඡාමාති න ජානන්ති” යනු.
යෙ ච තත්ථ විජානන්ති තතො සම්මන්ති මෙධගා = එහි යම් කෙනෙක් දනිත් ද, ඒ හේතුයෙන් කලහයෝ සංසිදෙත්.
සඟමැද ඔවුන් අතුරෙහි යම් නුවණැති කෙනෙක් වෙත් නම්, ඔවුහු “අපි මරහු සමීපයට යමු” යි දනිත්. මෙසේ දත් ඒ නුවණැත්තෝ වනාහි නිතර යෝනිසෝමනසිකාරය උපදවා ලීමෙන් කලහයන්ගේ සංසිදීම පිණිස පිළිපදිත්. එකල ඔවුන්ගේ ඒ ප්‍රතිපත්තියෙන් කලහයෝ සංසිදෙත්. මෙන අටුවා :- “ යෙ තත්ථ පණ්ඩිතා මයං මච්චුසමීපං ගච්ඡාමාති විජානන්ති, එවං හි තෙ ජානන්තා යොනිසොමනසිකාරං උප්පාදෙත්වා මෙධ ගානං කලහානං වූපසමාය පටිපජ්ජන්ති, අථ නෙසං තාය පටිපත්තියා තෙ මෙධගා සම්මන්ති” යනු.
මෙහි පරෙ, යන්නෙහි අර්‍ත්‍ථය තවත් ලෙසකින් පැහැදිලි කෙරෙත්. ඒ නම් “කෝලාහල නො කරවු, විවාද නො කරවු, එකතු වවු, සමගි වවු” යනාදි ලෙසින් කලහයෙහි විපත හා සමගියෙහි සැපත දක්වා, මා විසින් අවවාද කරණ ලද්දෝ ද, මාගේ ඒ අවවාද නො පිළිගත් බැවින් අවවාද කළ ඒ මා කෙරෙහි මමත්වය නැත්තෝ ය, මාගේ අවවාද නො පිළිගත් බැවින් මාගේ නො වන කලහකාරයෝ ය” යනු යි. “පරෙ චාති පුබ්බෙ මයා මා භික්ඛවෙ භණ්ඩනංති ආදිනි වත්‍වා ඔවදියමානාපි මම ඔවාදස්ස අපටිග්ගහණෙන අමාමකා පර නාම” යි ඒ විස්තර කළ සැටි යි.
සඟමැද කෝලාහල කරණ ආපත්ති - අනාපත්ති - යුකති - අයුක්ති ඇත්ත නැත්ත තෝරා බේරා ගැණීමෙහි අපොහොසත් නුවණ නැති කෝලාහලකරුවෝ “අපි මේ නිසා මේ හේතුකොට එ ලොව මෙ ලොව දෙකින් ම පිරිහෙමු” යි නො දනිත්. ඒ තොප අතුරෙහි නුවණැති යම් කෙනෙක් එසේ දැන සලකා සිතා බලා කලහ සංසිඳවීමට උත්සාහ කෙරෙත් ද, ඒ හේතුයෙන් කලහයෝ සංසිඳෙත්.
මාගේ නො වන කලහකාරක භික්‍ෂූහු “අපි ඡන්දාදීවශයෙන් ලාමක පවිටු අදහස් ඉදිරිපත් කොට මේ සඟමැද කලහ වැඩීමට ව්‍යායාම කරම්හ” යි නො දනිත්. ඒ තොප අතුරෙන් යම් කෙනෙක් ඒ දනිත් ද, ඒ නිසා මෝඩකමින් උපන් කලහයෝ සංසිඳෙත්. කරුණු දත් නුවණැත්තන් නිසා කලහයෝ සංසිඳෙත්.
පරෙ යනු, ප්‍රථමා බහුවචන යි. ප්‍රකෘතිය ‘පර’ යනු යි. එය පසමිතුරු - උත්තම - අන්‍ය - පශ්වාද්භාව යන අරුත්හි එයි. මෙහි ආයේ අන්‍යාර්‍ත්‍ථයෙහි ය. එ හෙයින් මෙහි සර්‍වනාමැ යි ගැණේ. ප්‍රථමාබහුවචනයෙහි ‘පරෙ’ යි ආයේ එබැවිනි.
ච යනු, නිපාත යි. සමපිණ්ඩන - සමාහාර - අන්‍වාචය - ඉතිරීතරයෝග - පදපූරණ - අවධාරණ - විකල්ප - ව්‍යතිරෙක යන අරුත්හි එන්නෙකි ඒ. මෙහි පදපූරණයෙහි ආයේ ය.
මෙධගා යනු, කලහයෝ ය. ‘අත්තනො නිස්සයං ච පරං ච මෙධමානො ගච්ඡතීති = මෙධගො’ යනු නිරුක්ති යි. තමන් පිළිබඳ වූවන් හා තමන් පිළිබඳ නොවූ අන්‍යයන් හිංසා කරණුයේ නසනුයේ මේධග යි. මේධග නම් කලහය.
කෝසම්බක වස්තුව නිමි.