අසතං භාවනමිච්ඡෙය්‍ය පුරෙක්ඛාරඤ්ච භික්ඛුසු
ආවාසෙසු ච ඉස්සරියං පූජා පරකුලෙසු ච.
අඥාන භික්‍ෂූ තෙම නුසුදුසු බුහුමන් ද, භික්‍ෂූන් පිරිවැරීම ද, සඞ්ඝිකාවාසයෙහි ඉසුරු බව ද, අන් උපාසකකුලයන්හි ප්‍රත්‍යය පූජාව ද කැමැති වෙයි.
මමෙව කත මඤ්ඤන්තූ ගිහී පබ්බජිතා උභො
මමෙව අතිවසා අස්සු කිච්චාකිච්චෙසු කිස්මිචි
ඉති බාලස්ස සංකප්පො ඉච්ඡා මානො ච වඩ්ඪති.
‘ගිහි පැවැදි දෙකොටස විහාරයෙහි හැම කටයුතු මා විසින් කරණ ලදැ යි සිතත් වා, කිසියම් කුදු මහත් කටයුතු මා විචාරා ම කෙරෙත්වා’යි මෙසේ බාලයාහට විතර්‍ක ද තෘෂ්ණා ද උපදනේ ය. එයින් ඔහුගේ මානය වැඩෙයි.
මචඡිකාසණ්ඩනගරයෙහි චිත්‍ර නම් ගෘහපතියෙක් වාසය කෙළේ ය. පස්වග තෙරුන්ට ඇතුළත් මහානාම තෙරුන් පිඬු පිණිස හැසිරෙන්නහු දුටු ඔහු උන්වහන්සේගේ ඉරියව්වල පැහැද පාත්‍රය ගෙණ ගෙට වැඩමවා වළඳවා අවසන්හි බණ අසන්නේ සෝවන් පලයට පැමිණියේ ය. එයින් නො සැලෙන සැදැහැ ඇතියේ තමන්ගේ අම්බරුල්ල නම් වන උයන, සඞ්ඝාරාමයක් කරනු කැමැත්තේ තෙරුන් අත පැන් වක්කර භාර කෙළේය. ‘එකෙණෙහි බුදුසසුන පිහිටියේ වනැ, යි දිය කෙළවර කොට මහපොළොව සැලින. මහාසිටු තෙමේ උයනෙහි මහා වෙහෙරක් කර වූයේ හැම දිගින් වැඩියා වූ භික්‍ෂූන්ට හළදොර ඇත්තෙක් විය. සුධම්ම ස්ථවිර තෙමේ මච්ඡිකාසණ්ඩයෙහි නෙවාසික විය. ඉන් පසු කලෙක දෑගසව්වෝ චිත්‍ර ගෘහපතියාගේ ගුණ කතාව අසා ඔහුට සංග්‍රහ කරණු කැමති ව මච්ඡිකාසණ්ඩයට වැඩියාහු ය. ගැහැවි තෙමේ උන්වහන්සේලා වැඩිබව අසා අඩ යොදුනක් ඉදිරියට ගොස් උන්වහන්සේලා පිළිගෙන තම වෙහෙරට වැඩම කරවා ආගන්තුක වත් කොට ‘ස්වාමීනි! බණ ටිකක් අසනු කැමැත්තෙමි’ යි දම්සෙනෙවි සැරියුත් මහතෙරුන් ඇයැද සිටියේ ය.
එවිට උන්වහන්සේ ‘උපාසකය! ගමන් විඩාවෙන් අපි වෙහෙසට පත්ව සිටිමු, ඇඟට අමාරු ය, ඒ වුනත් ඔබගේ ඉල්ලීම නිසා බණ ටිකක් කියන්නෙමි, හොඳට අසව’ යි බණ කීහ. ඔහු බණ අසා සිටියදී ම අනාගාමි ඵලයට පැමිණ දෑගසව්වන් වැඳ ‘ස්වාමීනි! හෙට දහසක් දෙනා වහන්සේ සමග මාගේ දානය පිළිගණු මැනැවැ’ යි ආරාධනා කොට නැවැත නේවාසික වූ සුධම්ම තෙරුන් වෙත ගොස් ‘ස්වාමීනි! ඔබවහන්සේත් හෙට දෑගසවු තෙරුන් සමග දානය පිණිස අප ගෙට වැඩම කරණු මැනැවැ’ යි ආරාධනා කෙළේ ය. සුධම්ම ස්ථවිර තෙමේ ’මෙතෙමේ මට ආරාධනා කළේ හැමට පසු’ යි කිපී එය පිළිකෙව් කොට සිටියේ නැවැත කිහිපවරක් ඇයැදුනේ ද, ආරාධනාව නො පිළිගත්තේ ය. උපාසක තෙමේ ‘ස්වාමීනි! ඔබවහන්සේ ම පෙණෙන සේක් මැ’ යි කියා ගොස් පසුදා තම නිවසෙහි දන් පිළියෙල කෙළේ ය. සුධම්ම ස්ථවිර තෙමේ ද ‘ගැහැවියා විසින් අග සව්වන්ට පිළියෙල කළ සත්කාරය කෙබඳු දැ යි හෙට ගොස් බලන්නෙමු’ යි සිතා උදෑසන ම පා සිවුරු ගෙණ ඔහුගේ ගෙට ගියේ ය. ගැහැවිහු විසින් ‘ස්වාමීනි! මෙහි වැඩ ඉන්නැ’ යි කියනු ලැබූ ඒ සුධම්ම ස්ථවිර තෙමේ ‘මම මෙහි ඉන්නට නො ආයෙමි, පිඬු සිඟා යන්නට මට පිළිවනැ’ යි කියා එහි පිළියෙල කොට තුබූ දාන වස්තුව බලා ගැහැවියාට ජාතියෙන් ගටනු කැමැති ව ‘ගැහැවිය! තාගේ දානය නම් ඉතා ලොකු ය, ඉතා මහත් ය, එහෙත් මෙහි එකක් අඩුය’ යි කී ය. ‘කුමක්ද? ස්වාමීනි!’ යි ඔහු ඇසූවිට ‘තලගුලි’ යි කී ය. ඉක්බිති ගැහැවි තෙමේ ‘ඔබවහන්සේ කපුටකු වැනි ය’ යි එහිදී ම අවමන් කෙළේ ය. එයින් කිපුනු සුධම්ම ස්ථවිර තෙමේ ‘ගැහැවිය! තමුසේගේ ආවාසය රකින්නට මට බැරි ය, එය බාර ගන්නැ’ යි කියා යන්නට පිටත් වූ කල ‘වඩින්නට එපා! නවතින්නැ’ යි තුන් විටක් ම කියන ලද්දේ ද, එහෙත් නො නැවතී බුදුරජුන් වෙත ගොස් ගැහැවියා හා තමා අතර හුවමාරු වූ වචන කියා සිටියේ ය.
බුදුරජානන් වහන්සේ ‘ශ්‍රද්ධාවත් රතනත්‍රයයෙහි ප්‍රසන්න වූ උපාසක තෙමේ තා විසින් නින්දා කරණ ලදැ’ යි ඔහු පිට ම දොස් තබා පටිසාරණීයකර්‍මය කරවා ‘යව! සිත් ගැහැවියා කතා කරන්නැ’ යි පිටත් කොට එහි යැවූ සේක. ඔහු, ගැහැවියා වෙත ගොස් ‘ගැහැවිය! වරද මා අතේ ය, එ හෙයින් මට කතා කරන්නැ’ යි කී ය. ‘මම ඔබට කමා නො කරමි’ යි ගැහැවියා කී කල්හි නැවැතත් සුධම්ම ස්ථවිර තෙමේ බුදුරජුන් වෙත ගියේ ඒ වග කීයේ ය. බුදුරජානන් වහන්සේ ‘මොහුට උපාසකයා කමා නො කරන්නේ ය’ යි දත් සේක් ද ‘මොහු මානයෙන් තද ව ගියේ ය, මොහුගේ මානය මෙ තැන දී බිඳ හැරිය යුතු ය’ යි තිස් යොදුන් මග ගොස් ආවහු, නැවැතත් කමා කරවන්නට උපායකුත් නො වදාරා ම පිටත් කොට යැවූහ. ඒ වරත් එහි ගොස් නැවැත ආ, මන් නැසී තුබූ ඔහුට දෙවැන්නකු දී ‘යව! මොහු සමග ගොස් උපාසකයා කමා කරවන්නැ’ යි වදාරා ‘මාගේ විහාර ය, මා වසන තැන ය, මාගේ දායකයා ය, මාගේ දායිකාව ය’ යි මහණුන්ට මාන්නයක් අහංකාරයක් උපදවන්නට නො වටනේ ය, මෙසේ සිතන්නහුගේ ඊර්‍ෂ්‍යාමානාදී ක්ලේශයෝ තදින් වැඩෙත්’ යි අනුසන්ධි ගළපා දහම් දෙසන සේක් මේ ගය වදාළ සේක:-
අසතං භාවනමිච්ඡෙය්‍ය පුරක්ඛාරං ච භික්ඛුසු,
ආවාසෙසු ච ඉස්සරියං පූජා පරකුලෙසු ච.
.
මමෙව කතමඤ්ඤන්තු ගිහී පබ්බජිතා උභො,
මමෙව අතිවසා අස්සු කිච්චාකිච්චෙසු කිස්මි චි,
ඉති බාලස්ස සඞ්කප්පො ඉච්ඡා මානො ච වඩ්ඪතීති.
නුවණ නැති මහණ තෙමේ තමන් තුළ නැති ගුණයෙන් බුහුමන් කිරීම ද, මහණුන් අතර පෙරටු කරණු ලැබීම ද, ආවාසයන්හි ඉසුරු බව ද, නො නෑ කුලයන්හි සිවුපස පූජා ද කැමති වන්නේ ය.
ගිහියෝත් පැවිද්දෝත් යන දෙ කොටස ‘මා විසින් ම විහාරයෙහි හැම කටයුතු කරණ ලදැ’ යි දනිත්වා යි ද, කිසියම් කුදු මහත් කටයුතුවලදී මට ම අනුව පවතිත්වා, යි ද මෙසේ බාලයාහට අදහස් වේ. එ හෙයින් ඔහුට තෘෂ්ණාව ද මානය ද වැඩේ.
අසතං භාවනං ඉච්ඡෙය්‍ය = තමන් තුළ නැති ගුණයෙන් මහාජනයා විසින් කරණ බුහුමන කැමැති වන්නේ ය.
නුවණ නැති මහණ, ‘තෙමේ ශ්‍රද්ධා නැත්තේ ශ්‍රද්ධා ඇත්තකු ලෙස, සිල් නැත්තේ සිල් ඇත්තකු ලෙස, උගත්කම් නැත්තේ උගත්කම් ඇත්තකු ලෙස, අවිවෙකී වූයේ විවෙකියකු ලෙස, කුසීත වූයේ අකුසීතයකු ලෙස, සිහි නැත්තේ සිහි ඇත්තකු ලෙස, සමාහිත නො වූයේ සමාහිතයකු ලෙස, අඥ වූයේ ප්‍රාඥයකු ලෙස, නො රහත් වූයේ රහතකු ලෙස, මහාජන තෙමේ පිළිගණීවා’ යි සන්සුන් ඉරියවු පැවැත්වීමෙන් බුහුමන් ලැබීමට බලාපොරොත්තු වන්නේ ය.
තවද ගරුබුහුමන් ලැබීමේ ආශාවෙන් මඩනා ලදුයේ ‘මෙසේ ඇතිකල මට ගරු බුහුමන් කෙරේ ය’ යි සිතා ‘මෙබඳු පිරිකරින් යැපෙන්නේ මෙබඳු වෙහෙරෙක වසනුයේ ධ්‍යානලාභියෙක, මාර්‍ගඵලලාභියෙක යනාදීන් තෙමේ ම තමන්ගේ ගුණ කියයි.
පුරක්ඛාරං ච භික්ඛූසු = මහණුන් අතර පෙරටු කරණු ලැබීම.
‘වෙහෙර වසන සියලු දෙනා වහන්සේ, මා පිරිවරා ගෙණ මාගෙන් බණ දහම් උගණිමින් පැණ පිළිවිසමින් මා ම ප්‍රධාන ස්ථවිරයන් කොට හැසිරෙත්වා’ යි නුවණ නැති මහණ තෙමේ නිතර බලාපොරොත්තු වේ. මොන ලෙසකිනුත් තමහට නො තරම් ගරු සැලකිලි බලාපොරොත්තුවීම, තෙමේ ගුණ නැත්තේ ද, ගුණ ඇත්තන් කෙරෙහි ලා සමතත්ත්‍වයෙන් ගැණීම අඥාන භික්‍ෂූන්ගේ ස්වභාවයෙකැ යි බුදුරජානන් වහන්සේ වදාළ සේක. පෙරටු කිරීම පුරෙක්ඛාර, නමි.
ගුණ නුවණ නැති මෙබඳු පවිටු මහණුන් නිසා සසුනට හා මහාජනයාට වන විපත සුලු නො වේ. දෙවොල් කපුවෝ එය කියති. ලෝකයෙහි වැඩිතරම් දෙන සුදුසු නො සුදුසු කම්, උගත් නූගත් කම් ගුණ ඇති නැති බැව් සලකා ගැණීමෙහි කවදත් අසමත් ය. බොරු ගුණවත්කම් පා, බොරු උගත්කම් දක්වා, එබඳු මහාජනයා රවටන මහාජනයා නො මඟ යවන ශ්‍රමණයෝ අපාමඟ දක්වන්නෝ ය. ධර්‍මවිනය දෙක නසන්නෝ ය. තුමූ ද අපායයෙහි හෙති. අනුන් ද අපායයෙහි හෙලති. ගුණ නුවණැති ශ්‍රමණයෝ මොවුන් නිසා ශාසනකාර්‍ය්‍යයෙහි දුර්‍වල වෙති. පසුබට වෙති. ‘මිනිස්කෙමින්’ යි වදාළ වචනය මොවුන් සඳහා ද යෙදේ.
ආවාසෙසු ච ඉස්සරියං = ආවාසයන්හි ඉසුරු බව.
යම් තැනෙක වෙසෙත් නම් එතැන ආවාස, යි කියනු ලැබේ. ආවාස, යන මෙහි ධාතුප්‍රත්‍යයයන්ගේ වසයෙන් සලකා වසන තැන ආවාසැ, යි කිව ද, අවු සුළං ඈ උවදුරු දුරු කරණ ගෙය ආවාස නමින් කිය වේ. භික්‍ෂූන්ගේ වාසය පිණිස බුදුරජානන් වහන්සේ සථාන පසක් වෙන් කොට දැක්වූහ. විහාර-අඩඪයොග-පාසාද-හම්මිය-ගුහා යනු ඒ පස යි. අඩ්ඪයෝගාදී වූ සතර හැර අන් සියලු ආවාසයෝ විහාරැ යි කියනු ලැබෙත්. එහි ‘අඩ්ඪයොගාදිමුත්තකො අවසෙසො ආවාසො’ යනු අටුවා ය. ‘විහාරො නාම පාකාරපරිචඡින්තො සකලො ආවා සො’ යනු එහි විහාරය තේරූ සැටියෙක් ය. විහාරයත් ආවාසසඞ්ඛ්‍යාවෙහි ලා ගැණෙන බව මෙයින් පෙණේ. එ මතුද නො වේ. අරම්, පිරිවෙන්, ගබඩා, කාමර, විසීමට සුදුසු රෑතැන්, දිවාතැන් ආදීහු ද ආවාස ම වෙති. ‘ආවාසො නාම සකලාරාමොපි පරිවෙණම්පි එකොවරකාපි රතතිට්ඨාදීනිපි’ යනු අටුවා ය.
අඩ්ඪයෝගැ යි කීයේ ගුරුළු පියා පතක හැඩහුරුකමින් තැනූ එක් පියස්සකින් යුත් ගෙය යි. ‘ඵකපස්සෙයෙව ඡදනතො අඩ්ඪෙන යොගො අඩ්ඪයොගො ගරුළස්ස පක්ඛෙන සදිස ඡදනගෙහං’ යනු එහි විස්තර කථා ය. ‘සුපණ්ණවංකෙගහං’ යනු අටුවා ය. මෙහි එක් පසෙක බිත්තිය උස් වේ. එක් පසෙක මිටි වේ. ‘තස්ස කිර එකපස්සෙ භිත්ති උච්චතරා හොති ඉතරපස්සෙ නීචා’ යනු ටීකාය.
දෙවියන් රජුන් උදෙසා ගලින් ගඩොලින් එක් මහල් දෙ මහල් ඈ විසින් කැමැති තාක් මහල් තබා තැනූ දීර්‍ඝ ප්‍රාසාදයෝ, ප්‍රාසාද යන්නෙන් ගැණෙති. මෙය දකින්නන්ගේ නෙත් සිත් පහදන බැවින් පාසාද, යි කියති. මෙය සිවුරැස්කොට ද කරත්. ‘පසීදන්ති නයනමනානි අත්‍රෙති = පාසාදො, දෙවානං ච නරපතීනං ච ඉට්ඨිකාමයභවනං වතුරස්සො පතිස්සයවිසෙසො පාසාදො නාම’ යනු ඒ හෙලිකළ සැටි යි. රජුන් හැර අන්‍යධනවතුන්ගේ හා වෙළෙඳුන්ගේ වාසයට තැනෙන සඳලුතල සහිත ගෙය හම්මිය, නම් වේ. ‘රාජතො අඤ්ඤෙසං ධනීනං වොහාරකාදීනං ච භවනං’ යනු මෙහිලා ඒ කී සැටි යි. ‘උපරි ආකාසතලෙ පතිට්ඨිත කූටාගාරො’ යනු එහි අටුවා ය. මෙයට ම මුණ්ඩච්ඡද්ද, යි නමෙක් ද වේ.
ගඩොල් ආදියෙන් කළ සිවුරැස් ගෙයක සටහන් ඇති බඳින ලද එක් කැණි මඬලකින් යුක්තවූ ද වඩා උස් නො වූ ගෘහවිශේෂය ගුහා ය. ‘ඉට්ඨකාදීහි කතං චතුරස්සකූටාගාරසණ්ඨානං එකකණ්ණිකා බද්ධං නාතිඋච්චං පතිස්සයවිසෙසං ගුහාති වදන්ති’ යනු අටුවාවේ ආයේ ය. ඒ ගුහා තොමෝ ඉට්ඨකගුහා - සිලාගුහා - දාරුගුහා - පංසුගුහා යි සිවුවැදෑරුම් ය. ගඩොලින් තනන ලද්දී ඉට්ඨක ගුහා ය. කලුගලින් කරණ ලද්දී සිලාගුහා ය. දැව දඬුවලින් කරණ ලද්දී දාරුගුහා ය. පස් ගොඩ ගසා හෝ පොළොව සාරා කරණ ලද්දී පංසුගුහා ය. මෙයට භූමිගුහා, උම්මග්ග යන නම් ද වේ. අවුසුළං ඈ අවුරණ හෙයින් ගුහා යි කියනු ලැබේ.
අට්ට, අට්ටාල, මාල, ලෙන, කූටාගාර, පරිවෙණ, උද්දණ්ඩ යන මොවුහු ද ආවාසසංඛ්‍යාවට ම යෙති. එහි ප්‍රතිපාක්‍ෂික වූ රජුන් වැළකීමට සුදුසු කොට සිවුමහල් පස්මහල් තබා කළ ගෘහ විශේෂය අට්ට, යි ගැණේ. ‘පටිරාජුනම්පි පටිබාහනයොග්ගො චතුපඤ්චභූමකො පතිස්සයවිසෙසො යනු සිහියට ගත යුතු ය. බහල බිත්ති ඇති ගෙය යි. ‘අට්ටො නාම බහල භිත්තී ගෙහං’ යනු ටීකා යි. මෙහි පියස්ස, පරාල නො යොදා කරණ ලද්දේ ය. මැසි ආකාරයෙන් තැනූ ගෙය අට්ටාල, නමි. වාහළ මතුයෙහි කරණ අටල්ල වැනි ය. මෙහි මාල නම්, වටකුරු කොට එක් මුදුනක් තබා වහළ කොන් කිහිපයක් සිටින සේ කළ ගෙය යි. ලෙන නම්, කැණි මඬල බැඳ කරණලද ය. කැණි මඬුලු දෙකක් තබා කරණ ලද්දේ කූටාගාරය, යි. වෙහෙර තුළ ම භික්‍ෂූන්ගේ වාසය පිණිස ඒ ඒ තැන කළ ගෘහවිශේෂය පිරිවෙණ’ නමින් හැඳිනේ. ඒ එදා ය. අද පිරිවෙණ නම්, ප්‍රධාන විසින් ගිහිපැවිද්දන්ට ධර්‍ම විනය සහිත විවිධ විද්‍යාවන් උගන්වන තැන ය. මෙ හි උගන්නෝ වැඩියක් ම භික්‍ෂූහු වෙති. ධර්‍මවිනයාධ්‍යාපනයට මුල් තැන ලැබේ. ගබඩා රහිත එක් දොරක් ඇති දීර්‍ඝ ශාලාව උද්දණ්ඩ, නමු. භණ්ඩශාලා, යි කියති. මෙහි කියන ලද්දේ සංඝිකාවාසයෝ ය.
ඉස්සරිය නම්, අධිපතිභාවය යි. එහි ඊශ්වර, යි කීමට යම් ප්‍රභූත්වයෙක් කරුණු වේ නම්, ඒ මේ ප්‍රභූත්වය ඉස්සරිය, යි නම් වේ. ඒ ඒ තැන හෝ ඒ ඒ සමූහයන්හි හෝ ස්වාමිත්වයය, අධිපතිභාවය යි කීයේ.
විහාරයෙක ආවාසයෙක ඇති සඟසතු ඇඳ පුටු කොට්ට මෙට්ට ඇතිරිලි කළාල පැදුරු බිසි හට්ටි මුට්ටි පනිට්ටු පාන් පඩික්කම් පිඟන් කෝප්ප, පොත්පත්, දෙල් පොල් කොස් ඈ පලතුරු හා මිල මුදල් තම හිතවතුනට හා අතවැසියනට දෙමින් තමනුත් එයින් කැමති සේ ප්‍රයෝජන ගන්නා වූ එහි වූ අන් මහණුන්ගේ හා ආගන්තුකයන්ගේ ප්‍රයෝජනය පිණිස ඒ කිසිත් නො යොදන තමන් කරණ වරද අනුන් පිට හෙලාලන, ‘මා මිසක් අන් කවුරු මෙහි අධිපති වෙත් දැ’ යි දරදඬු වූ, මුග්‍ධ වූ, තරුණ වූ හෝ මහලු වූ යම්කිසි මහණෙක් තෙමේ සඟසතු දේපල තම ගුරු දෙගුරුන්ගෙන් ලත් දායාදයක් සේ ගෙන ක්‍රියා කෙරේ නම්, ඒ මහණ එයින් ම අපායයට නියම වූවකු බව, නිරා ගිනිපෙණෙලි බව බුදුරජානන් වහන්සේ වදාළ සේක.
අඥ වූ ශ්‍රමණ තෙමේ අධිපති භාවයට පැමිණියේ, එයින් උදම් වූයේ සඟසතු දෙයින් අතවැසියන් හා යැපෙමින් සැතපෙමින් ආවාසික වූ අන්‍ය භික්‍ෂූන් නොයෙක් ලෙසින් පෙළන්නේ ය. කා බී වැඩ ගෙණ ඉතිරි වූ අන් හැම දේ ම විකොට මුදල් රැස් කරන්නේ ය. එ ද දුශ්චරිත පිණිස ම යොදන්නේ ය. නෑයන් සඳහා යොදන්නේ ය. මෙසේ වූ අඥඅධිපතියාගෙන් සංඝසන්තක වස්තුන්ට හා සඞ්ඝයා වහන්සේට සිදුවන විපත සුලු නො වේ. එ මතු ද, නො වේ. ඔහු ද විපතට වැටේ. එය ඉතා බිහිසුණු ය. ගුණ නුවණින් නො වැඩුනු හුදෙක් වයසින් මෝරාගිය මහණ, සඟසතු දේපල රැකුමට සුදුසු නො වේ ය’ යි බුදුරජානන් වහන්සේ වදාළ සේක. ශ්‍රද්ධා ශීල ශ්‍රැත ත්‍යාග ප්‍රඥා ගුණයන් හා සම ව එක් ව වැඩීගිය වයසින් වූ මහලුකමට මුත්, වයසින් පමණක් වූ මහලුකමට බුදුරජානන් වහන්සේගේ සම්භාවනාවක් නැත්තේ ය. එහෙයින් ම වයසින් පමණක් වැඩී සිටි ඇතැම් මහණ බමුණෝ නොයෙක් තැනදී ‘අරසරූපො භවං ගොතමො’ යනාදීන් උන්වහන්සේට නින්දා කළහ. සඟසතු දේපල රැකීමෙහි සුදුස්සෝ ප්‍රතිබල භික්‍ෂූන් වහන්සේ ය. චිරරාත්‍රඥ ගුණවෘද්ධ ධර්‍මවිනයෙහි බුද්ධිමත් භික්‍ෂූන් වහන්සේ ය, ප්‍රතිබලයෝ. ගුණනුවණින් නො වැඩී වයසින් පමණක් වැඩුනු මහණත්, වයසින් නො වැඩී ගුණ නුවණින් පමණක් වැඩුනු මහණත් යන දෙදෙනා අතුරෙහි පසු කී මහණ ම සසුන් බර ඉසිලීමෙහි හා සඟසතු දෑ රැකීමෙහි සුදුසු වේ. සඞ්ඝසන්තක විහාරාරාමයන්හි අධිපතිභාවයට සුදුසු වනුයේ මෙතෙමේ ය. මොහු හැර අනෙකෙක් මෙබඳු තැන නො තැබිය යුත්තේ ය. නො සුදුස්සා කරෙහි තබන අධිපතිභාවය ඔහුටත් අන්හටත් විපත්තිකරය. ඒ අධිපතියාහට අපා මග නිරවුල් වේ. අන්තෙවාසිකයෝ දිට්ඨානුගතික ව අපායයෙහි හෙති. දායකයෝ ද ශ්‍රාවකයෝ ද. අපායගත වෙති.
පූජා පරකුලෙසු ච = නො නෑ කුලයන්හි පූජා ද.
පූජා, යනු මතු කිය වේ. පරකුලය නම්, මවුපසින් හෝ පියපසින් හෝ නෑ කමක් නො කියැකි කුලය යි. භික්‍ෂූන් වහන්සේට ස්වකුලය වනුයේ සත්මුතු පරපුරේ නෑ සමූහයා ය. ආත්තා - මුත්තා - නත්තා - පනත්තා - කිත්තා- කිරිකිත්තා - මීමුත්තා යන මොවුහු ය, සත්මුත්තෝ. මේ සත්දෙනාගේ දරු මුණුපුරෝ භික්‍ෂුවගේ කුලය වෙති. මෙයින් බැහැර වූ අන්‍ය මහාජන තෙමේ පරකුලය, යි ගැණේ. කිසිත් ලෙසකින් නෑ කමක් නො කියැකි කුලයන්ගෙන් ‘සිවුපසය මට ම ලැබේවා, අන්හට නො ලැබේවා, ඔවුහු සිවුපසය මට ම පුදත්වා, අන්හට නො පුදත්වා යි අඥභික්‍ෂු තෙමේ බලාපොරොත්තු වේ.
මම එව කතං මඤ්ඤන්තු ගිහී පබ්බජිතා උභො = ගිහියෝත් පැවිදෝත් යන දෙකොටස ‘මා විසින් ම කරණ ලදැ’ යි දනිත්වා.
අඥභික්‍ෂු තෙමේ ‘විහාරයෙහි වූ දාගැබ් පිළිමගේ බෝගේ පොහෝගේ ලැගුම්ගේ බණගේ පොත්ගේ නානගේ බොජුන්හල වැසිකිළි කැසිකෙළි පවුරු වාහළ ඈ හැම එකෙක් ම තමන් විසින් ම කරණ ලද්දේය යි ගිහි පැවිදි හැම කෙනෙක් ම දනිත්වා’ යි නිතර පත යි. සිත යි. කිය යි. එ පමණක් ද නොව ‘පලරුක් මල්රුක් ඈ රොපණය කරන ලද්දේත්, රොපණය කරවන ලද්දේත්, තමන් විසිනැ, යි ද, විහාරයෙහි අලුත් වැඩියා කිරීම් කරණ කරවන ලද්දේත් තමන් විසිනැ, යි ද දනිත්වා’ යි. පතයි. සිතයි. කිය යි.
ගහ, යි පස්කම් සැපයට නමෙකි. ‘ගහන්ති පංචකාම ගුණානං එතං අධිවචනං’ යන මෙයින් ඒ පැහැදිලි වේ. පංචකාමසඞ්ඛ්‍යාතස්ත්‍රී තොමෝ, පුරුෂයා තම යටතට ගනි යි. එසේ ම පංචකාමසඞ්ඛ්‍යාතපුරුෂ තෙමේ, ස්ත්‍රිය තම යටතට ගණි යි. එ හෙයින් පංචකාමය ගහ’ යි කියනු ලැබේ. ස්ත්‍රී පුරුෂ දෙදෙන පංචකාමගුණය නො අඩුව පිරී සිටි තැන් ය. ස්ත්‍රිය ඇලෙන බැඳෙන ප්‍රධාන ස්ථානය වනුයේ පුරුෂයා ය. පුරුෂයා ඇලෙන බැඳෙන ප්‍රධාන ස්ථානය ස්ත්‍රිය යි. ස්ත්‍රිය. පුරුෂයා දැකීමෙන් පෙළඹෙන්නී ය. පුරුෂයා ස්ත්‍රිය දැකීමෙන් පෙළඹෙන්නේ ය. සත්‍රිය කෙරෙහි පවත්නා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්ප්‍රෂ්ටව්‍ය යන පස, පුරුෂයාගේ පෙළඹීමට කරුණු වේ.
එසේ ම පුරුෂයා කෙරෙහි වූ ඒ පස ස්ත්‍රියගේ පෙළඹීමට කරුණු වේ. චිත්තපරියාදානසුත්‍රය මේ වග, මේ අරුත් පැහැදිලි කර යි. මුළුමනින් පංචස්කන්ධය කියන ගහ ශබ්දයෙක් ද ඇත්තේ ය. මේ ඒ නො වේ.
එ දවස මෙම ලක්දිව මහාදාඨික නම් රජෙක් විය. ඕහට දෙමළ කුමරියක් බිසෝ වූ ය. දිනක් ඈ දුටු චිත්තහත්ථ නම් වූ තෙර කෙනෙක් ඇය කෙරෙහි ඇලුනෝ ‘සුහං දමිළ දෙවී’ සුභං දමිළ දෙවි’ යි කියමින් හැසිරෙන්නට වූහ. පසු කාලයෙහි ඇය මළ බව අසා ඒ තෙරණුවෝ උමතු බවට පැමිණියෝ ය.
අනුරාධපුරයෙහි ලෝවාමහාපාය දොරටුවෙහි සිටි තරුණයකු දුටු එක් ස්ත්‍රියක් රාගයෙන් දැවී ජිවිතක්‍ෂයට පත් වූ ය. මේ අතීත සිද්ධීහු ය. වර්‍තමානයෙන් ද මෙබඳු සිදුවීම් බොහෝ ලැබිය හැකි ය.
පංචකාමය හෝ පංචකාමය පුරා සිටි ස්ත්‍රීසඞ්ඛ්‍යාතගෘහය මෝහට ඇත්තේනු යි පුරුෂ තෙමේ ගිහි, නම් වේ. ‘ගහමෙ තස්ස අත්ථිති = ගිහී’ යනු විවෘත්ති යි. එසේ ම පංචකාමය පුරා සිටි පුරුෂසංඛ්‍යාතගෘහය මෑ හට ඇත්තේ නු යි ස්ත්‍රිය, ගිහිනී, නම් වූ. ‘ගහමෙතිසො අත්ථිහි = ගිහිනී’ යනු එහි අර්‍ත්‍ථ පැහැදිලි කිරීම ය. මෙහි එන ගිහි ශබ්දයෙන් ස්ත්‍රීපුරුෂදෙපක්‍ෂය ම වෙනසක් නැති ව කිය යුතු යි.
පබ්බජිතා, ගිහිගෙට හිත වූ කෘෂී වණික් ගොරක්‍ෂාදීකර්‍මය අගාරික, යි කියනු ලැබේ. ඒ මේ අගාරිකකර්‍මය යම් තැනෙක නැත්තේ ද ඒ අනගාරික, නමු. ප්‍රව්‍රජ්‍යාව යි. ‘නත්ථි එත්ථ අගාරියන්ති අනගාරියා පබ්බජ්ජා’ යි ඒ කීහ. පැවිද්ද හැම කුශලයකට ම ඉඩ ඇති බැවින් ‘අබ්‍භොකාසො පබ්බජ්ජා’ යි වදාළ සේක. මෙ කී අනගාරියසංඛ්‍යාත ප්‍රව්‍රජ්‍යාවට පැමිණියෝ ප්‍රව්‍රජිතයෝ ය. පබ්බජිත, යනු පාළි යි. පැවිද්ද නිසා එයට පිළිපන්නහු විසින් තම සිතෙහි හටගන්නා රාගාදී වූ පාපමල සෝදා හරින බැවින් අනගාරිකපටිපදාව, පබ්බජ්ජා නමින් හඳුන්වන ලද්දී ය.
ගිහිසංයෝජන නමින් හඳුන්වන වස්තුකාමයන් සිඳහැරියෝ ද පබ්බජිතයෝ ය. පැවිද්දට යන්නන් විසින් සකලභෝග රාසියත් ඤාතිපරිවට්ටයත් මුළුමනින් අත්හළ යුතු ය. එහෙයින් පැවිද්ද නෙක්ඛම්ම, නමින් ද කිය වේ පළමු කොට පිරිය යුතු සීලය, දෙවනු ව වැඩිය යුතු සමාධිය, තෙවනු ව දියුණු කළයුතු ප්‍රඥාව එසේ යම් කෙනෙක් පුරත් ද, වඩත් ද, දියුණු කෙරත් ද ඔවුහු පබ්බජිතැ, යි තවත් ලෙසකින් මෙය විවරණය කළහ. ‘පබ්බා පබ්බං ජිනන්තීති = පබ්බජිතා, පඨමං සීලපබ්බං දුතියං සමාධිපබ්බං තතියං පඤ්ඤාපබ්බං පටිපාටියා ජිනන්තීති = පබ්බජිතා’ යනු එහි අර්‍ත්‍ථසමර්‍ත්‍ථනය යි. මේ අර්‍ත්‍ථය සලකන්නෝ පබ්බජිත ශබ්දය, පබ්බං, යනු පෙරටු කොට ජි - ජයෙ යන ධාතුවෙන් ත ප්‍රත්‍යය කොට සිද්ධ කරති. ‘සෙට්ඨත්තං වජන්තීති = පබ්බජිතා’ යනු ගත්තෝ ප පූර්‍ව, වජ ගතියං යන ධාතුවෙන් ත ප්‍රත්‍යය කොට සිද්ධ කෙරෙති. තව කෙනෙක් ‘පඨම මෙච වජිතබ්බ’ යි ගෙණ ප පූර්‍ව වජ යන ධාතුවෙන් ණ්‍ය ප්‍රත්‍යය කොට පවවජ්‍ය ශබ්දය නිපදවා අනතුරුව ජ්‍ය යන්නට ජ්ජ, යනු හා ව්ව, යන්නට බ්බ, යනු හා කොට එයට ස්ත්‍රී අර්‍ත්‍ථයෙහි ආ ප්‍රත්‍යය දී පබ්බජ්ජා, යනු සිදු කරති. නැවැත පබ්බජ්ජා සංජාතා එතෙසන්ති = පබ්බජිතො’ යි ඉත ප්‍රත්‍යය යොදා පබ්බජිත ශබ්දය නිපදවති. මේ හැම එකෙක ම අදහස එකෙක් ම ය.
මම එව අතිවසා අස්සු කිච්චාකිච්චෙසු කිස්මි චි = කිසියම් කුදු මහත් කටයුත්තෙහි මට ම අනුව පවතිත්වා.
‘ගිහි පැවිදි දෙ පසෙහි ඇත්තෝ ගැල් ගොන් වෑ පොරෝ ඈ විසින් ලැබිය යුතු යමෙක් වේ ද, යටත් පිරිසෙයින් කැඳ ටිකක් පමණකුදු රත්කර ගණිත් නම්, එබඳු කුදු මහත් හැම කටයුත්තෙහි, මා යටතෙහි පවතිත්ව යි ද, විහාරයෙහි වූ හැම එකෙක් ම මාගේ කටයුතුය, යි මා විසින් කරන ලදැ, යි සිතත්වායි ද; හැම එකක් මා විචාරා ම කෙරෙත්වා’ යි ද අඥභික්‍ෂු තෙමේ සිතන්නේ ය. පතන්නේ ය.
කිච්චාකිච්ව, නම්, කුසල් හා අකුසල් ය. කළයුත්ත කුසල් ය. නො කළයුත්ත අකුසල් ය. තව ද දෙලොව වැඩ සිදු කරණ දෙය කිච්ච යි ද, එයට පටහැනි දෙය අකිච්ච යි ද, ටික දෙය කිච්ච යි ද, මහත් දෙය අකිච්ච යි ද, අවශ්‍යයෙන් කළයුත්ත කිච්ච යි ද, එසේ නො වන්න අකිච්ච යි ද, පළමු කළයුත්ත කිච්ච යි ද, පසු කළයුත්ත අකිච්ච දැ, යි කිච්චාකිච්ච, යන්නට අටුවාවන්හි අරුත් කී සැටි ය. මෙහි ද කුදු මහත් දෙය කිච්චාකිච්ච, යි කීහ.
ඉති බාලස්ස සඞ්කප්පො = බාලයාහට මෙසේ අදහස් වේ.
නැති ගුණ අඟවා. ගරුබුහුමන් ලැබීමට භික්‍ෂූන් පිරිවරා ගැන්මට සඟසතු ආවාසයෙහි අධිපති වීමට නො නෑ කුලයන්ගෙන් සිවුපසය ලැබීමට බාලයා නිතර අදහස් කරන්නේ ය. තව ද ‘විහාරයෙහි වූ සියලු කටයුතු තමන් විසින් කරණ ලදැ යි ගිහි පැවිදි හැම කෙනෙක් ම දනිත්ව යි ද, හැම දෙනෙක් ම තමන් යටතෙහි පවතිත්ව යි ද, සියලු කුදු මහත් කටයුතු තමා විචාරා ම කරත්ව යි’ ද බාලයාහට අදහස් වන්නේ ය. මෙබඳු අදහස් ඇත්තහුට විදර්‍ශනා මාර්‍ග ඵලයෝ නො වැඩෙත්.
ඉච්ඡා මානො ච වඩ්ඪති = තෘෂ්ණාව හා මානය වැඩේ.
හුදෙක් සඳ උදාවෙහි මුහුදු දිය වැඩෙන්නා සේ මේ මහණහුට සදොරෙහි උපදනා අටතුරාසියක් තෘෂ්ණාවත් ‘සෙය්‍යස්ස සෙය්‍යොහමස්මි’ යනාදීන් උපදින මානයත් වැඩෙන බව වදාළ සේක.
ධර්‍ම දේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියෝ ය.
සුධම්ම ස්ථවිර තෙමේ ද, මේ අවවාදය අසා බුදුරජුන් වැඳ හුන් තැනින් නැඟිට පැදකුණු කොට ඒ දුන් අනුදූත මහණහු සමග ගොස් උපාසකයාහට පෙණෙන තෙක් මානයේ සිට ඇවතට පිළියම් කොට උපාසකයා කමා කරවී ය. ඔහු ද ‘ස්වාමීනි! කමා කරමි, ඉදින් මා අතත් දොසෙක් වේ නම්, එයට මට කමා කරන්නැ’ යි තෙරුන් වහන්සේ කමා කර වී ය. ඉනික්බිති සුධම්ම ස්ථවිර තෙමේ, බුදුරජුන් දුන් අවවාදයෙහි සිට කිහිප දිනකින් ම සිවු පිළිසැඹියාවන් සමග රහත් බවට පැමිණියේ ය. උපාසක තෙමේ, ‘ මම බුදුරජුන් නො දැක ම සෝවන් පලයට පැමිණියෙමි, අනාගාමීත් වූයෙමි, එහෙයින් බුදුරජුන් දැකීමට යමි, යි ගැල් පන්සියයක තල උඳු මුං සහල් උක්හකුකුරු රෙදිපිළි ආදිය පුරවා ගෙණ ‘බුදුරජුන් දකින්නට යනු කැමැත්තෝ මා හා එත්වා, ආහාර පානාදියෙන් මග තොට දී අපහසුවෙක් නො වන්නේ ය, ඒ සියල්ල මම සපයන්නෙමි’ යි භික්‍ෂු භික්‍ෂුකී උපාසක උපාසිකාවන්ට දැන්වී ය. මෙසේ දන්වා මගට බට උපාසකයාහට පන්සියයක් භික්‍ෂූහු, පන්සියයක් භික්‍ෂුකීහු, පන්සියයක් උපාසකයෝ, පන්සියයක් උපාසිකාවෝ දැ යි දෙදහස් දෙනෙක් එක්වූහ. උපාසකයා මේ දෙදහසට හා තම පිරිස වූ දහසටත් තිස් යොදුන් මග අතරෙහි බතින් බුලතින් කිසිත් ගැහැටක් අපහසුවක් නො වන ලෙසට කටයුතු පිළියෙල කරවී ය. උපාසක තෙමේ, පිරිවර සහිත ව ගෙන් නික්මිනි. දෙවියෝ ඒ බව දැන ඔහුගේ ගුණයෙන් තෙද ගැණුනෝ තැන තැන කඳවුරු බැඳ තමන් අයත් කැඳ බත් කැවිලි පෙවිලි ආදියෙන් ඔවුනට උවටැන් කළහ. කිසිවක්හට කිසිවකින් අඩුවෙක් නො වී ය. මෙසේ දෙවියන්ගෙන් සංග්‍රහ ලබන උපාසකයා දවසකට යොදුනකට වඩා එ පිට නො යනුයේ මසකින් සැවැත් නුවරට පැමිණියේ ය. තල සහල් මුං උඳු ආදිය පුරවා ගත් ගැල් පන්සියය ඒ ලෙසිත් ම පිරී තුබුනේ ය. එහි කිසිත් අඩු බවෙක් නො වී ය. ගැල්වලින් මගතොට වියදම් පිණිස නො ගත්තේ ය. දෙව් මිනිසුන් මග තොට දී දුන් පඬුරු පාක්කුඩම් ඈ බොහෝ දෙය ද හැර දමා ගියේ ය.
සම්මා සම්බුදුරජානන් වහන්සේ අනඳ මහතෙරුන් අමතා ‘ආනන්ද! අද පස්වරුයෙහි චිත්තගහපතියා පන්සියයක් උපාසකයනුත් කැටුව මෙහි මා වැඳ සිටින්නේ ය’ යි වදාළ සේක. අනඳ තෙරුන් ‘ස්වාමීනි! ඔහු බුදුරජුන් වඳින කාලයෙහි කිසියම් පෙළහරෙක් වන්නේ ද, යි ඇසූවිට, ‘එසේ ය, ආනන්ද! ඔහු මා වඳින කල්හි දෙතිස් අමුණක් ගන්නා පමණ පෙදෙස්හි දණක් පමණ ගැලී සිටින ලෙසට පස්වණක් දිවමලින් යුත් මහත් වැස්සෙක් වස්නේ ය’ යි වදාළාහු ය. නුවර වැස්සෝ මේ කතාව අසා ‘මහත් පින් ඇති චිත්තගහපතියා අද බුදුරජුන් වඳිනුව එන්නේ ය, ඔහු බුදුරජුන් වඳින විට පෙළහරෙක් ද වන්නේ ය, අපිත් යමු, ඒ මහා පින්වතුන් දකින්නට, පෙළහරත් දක්නට ලැබෙන්නේ කලාතුරකිනැ’ යි තෑගි බෝගත් ගෙණ මග දෙපස රැස් ව ඔහු එනු බලා සිටියෝ ය.
භික්‍ෂූන් වහන්සේලා පළමු කොට වෙහෙර තුළට වන්හ. ගහපති තෙමේ උපාසිකා පිරිසට පසු එන්නට නියම කොට උපාසකයන් ගෙණ බුදුරජුන් වෙත ගියේ ය. බුදුරජුන් ඉදිරියෙහි අවුරා ගෙණ හිඳින කෙනෙක්, සිටින කෙනෙක් නැත. බුදුරජුන් ඉදිරියෙහි කෙතෙක් තැන් වුවත්, ඉඩ තබා දෙපස නිශවල ව සිටිති. චිත්ත ගහපති තෙමේ ඉඩ තුබූ බුද්ධ වීථියට පිළිපන්නේ ය. තුන් පලයකට පැමිණ සිටි මේ ආර්‍ය්‍යශ්‍රාවකයා බැලු බැලූ හැම තැන ඔහුගේ ගුණ තෙදින් සැලී ගියේ ය. මහාජන තෙමේ ‘චිත්තගහපතියා මෙතෙමේ ය’ යි හැඳින ඒ දිහාව ම බලා සිටියේ ය. ගහපතියා බුදුරජුන් වෙත ගොස් ෂඩ්වර්‍ණඝනබුද්ධරශ්මින්හි ගැලී බුදුරජුන්ගේ දෙ පය වළලුකරින් අල්වා ගෙණ වැන්දේ ය. එ කෙණෙහි ම මල්වැසි වට. දහස් ගණන් සාධු නාදයෝ නිකුත් වූහ. එ තැන් සිට ඔහු මසක් බුදුරජුන් ලඟ රැඳුනේය. ඒ කාලය තුළ වෙහෙරෙහි ම වඩා හිඳුවා බුදුපාමොක් මහ සඟනට මැනැවින් මහාදන් දුන්නේ ය. තමන් කැටුව ආවුන් ද වෙහෙර තුළ ම නවතා ගෙණ කෑම් බීම් දෙමින් රැක ගත්තේ ය. එහෙත් එක් දිනක් වත් තමන් ගෙණ ආ කිසිවක් ඒ පිණිස ගන්නට සිදු නො වී ය. දෙවියන් හා මිනිසුන් එළ වූ පුදපඬුරින් ම සියලු කටයුතු කෙළේ ය.
ගහපති තෙමේ, දිනක් බුදුරජුන් වෙත ගොස් ‘ස්වාමීනි! බුදුරජානන් වහන්සේ දන් දීමට ගෙදරින් පිටත් ව ආ මට, අතරමගට මසෙක් ම ගත විය, දැන් මම මෙහි ද මසක් ගත කෙළෙමි, ගෙණ ආ කිසිවකින් තව ම දන් දෙන්නට ඉඩෙක් නො ලැබින, මෙතෙක් දන් දුන්නේ දෙව් මිනිසුන් දුන් පුද පඬුරින් ය, මා මෙහි අවුරුද්දක් නැවතී සිටියත් මා ගෙණා දෙයින් නම්, කිසි ලෙසකින් දන් දෙන්නට ඉඩෙක් නො ලැබෙන්නේ ය, එහෙයින් ගැල්වල තිබෙන මේ තල මුං උඳු සහල් රෙදිපිළි කො තැනෙක නමුත් බහා තැබිය යුතු ය, ඒවා තැන්පත් කරන්නට තැනක් වදාරනු මැනැවැ’ යි දැන්වී ය. එකල බුදුරජානන් වහන්සේ අනඳ තෙරුන් අමතා ‘ආනන්ද! උපාසක තැනට ඒ බඩුබාහිරාදිය තැබීමට ඉඩකඩ ඇති තැනක් පෙන්නුම් කරන්න, කො තැනෙක නමුත් සිස් කරවා දෙන්නැ’ යි වදාළ සේක. අනඳ තෙරණුවෝ එසේ කළහ.
චිත්තගහපතියා මුල්කොට කැප බිම අනුදත් සේක.
උපාසක තෙමේ, ගැල් සියල්ල සිස් කර ගෙණ ගැලුත් ගෙණ පිරිවරත් කැටුව මගට බැස්සේ ය. එවිට දෙව් මිනිස්සු ඉදිරියට අවුත් ‘පින්වත! ඔබ කළ පින්, සිස් ගැල් ගෙන යෑමට තරම් කොට කරණ ලද්දේ නො වේ ය’ යි කියමින් ඒ ගැල් සත්රුවනින් පුරා ලුහ. උපාසක තෙමේ තමන් ගෙණ ආ කෑම් බීම් උපකරණයෙන් ම සිය පිරිසෙහි සියලු දෙනාහට සංග්‍රහ කළේ ය. අනඳ තෙරණුවෝ ඒ අතර බුදුරජුන් වෙත ගොස් වැඳ ‘ස්වාමීනි! උපාසකයා බුදුරජුන් වෙත එන්නේ මසක් ගෙවා ආයේ ය, මෙහි ද මසක් ගත කෙළේය, මෙතෙක් ගෙණ ආ දෙයින් ම දන් සැපයී ය, දැන් ගැල් සිස් කරවා ගෙණ මගට බැස ය යි, සියරට යෑමටත් මසක් ම ගතවනු ඇත, දෙවි මිනිසුන් එක් ව ‘ඔබ කළ පිණ, සිස් ගැල් ගෙන යෑමට තරම් පින්කමෙක් නො වේ ය’ යි ඒ ගැල් සත්රුවනින් පුරවා දුන්හ, උපාසකයා තමන් ගෙණ ආ බත් බුලතින් ම සිය පිරිසට කෑම් බීම් සපයමින් ය යි, ස්වාමීනි! බුදුරජුන් වෙත එන මොහුට මේ තරම් මහත් සත්කාරයෙක් කුමක් නිසා ලැබුනේ ද? වෙන තැනෙක යන විටත් මේ ලෙසට ම ඔහුට සත්කාර ලැබේ දැ’ යි ඇසූහ. ‘ඔව් ආනන්ද! කො තැනෙක ගියත් ඔහුට මේ සත්කාරය ලැබෙනවා ම ය, මොහු සැදැහැ ඇත්තෙක, තෙරුවන් කෙරෙහි පැහැදුනෙක, පිරිපුන් සිල් ඇත්තෙක, මෙබන්දකු කො තැනෙක ගියත් යන යන හැම තැනදී ම ඔහුට ලාභ සත්කාරයෙක් ම ලැබෙන්නේ ය’ යි වදාරා ප්‍රකීර්‍ණක වර්‍ගයෙහි එන මේ ගාථාව ද වදාළ සේක.
“සද්ධො සීලෙන සම්පන්නො යසොභොගසමෝපිතො,
යං යං පදේසං භජති තත්ථ තත්‍ථෙව පූජිතො”
ලෞකික-ලෝකෝත්තරශ්‍රද්ධා ඇති අගාරියසීලයෙන් යුක්ත වූ යසසින් හා ධනධාන්‍යාදියෙන් ද සප්තවිධ ආර්‍ය්‍ය ධනයෙන් ද යුත් තැනැත්තේ යම් යම් පෙදෙසක් සෙවුනේ ද, ඒ ඒ පෙදෙස්හි ම දෙවියන් හා මිනිසුන් විසින් පුදන ලද්දේ වේ. ඉක්බිති අනඳ තෙරණුවෝ ‘චිත්තගහපතියා පෙර කළ කර්‍මය කිමැ’ යි ඇසූහ. ‘ආනන්ද’ ඔහු පියුමතුරා බුදුරජුන් පාමුල පතන ලද පැතුම් ඇති ව කල්ප ලක්‍ෂයක් දෙවි මිනිසුන් අතර සැරිසරා එනුයේ කසුප් බුදුරජුන් දවස එක් මිගවැදි කුලයක උපන්නේ ය, වැඩිවිය පැමිණි මොහු වැසි දවසෙක මුවන් මැරීමට දුනු ඊ ගෙණ වනයට ගොස් මුවන් එනු බලා ගල්තොල්ලක් යට, ඔලුවේ සිට වසා ගෙණ හුන්නේ ය, එහි දී කමටහන් වඩන මහණකු දැක පැහැද ‘කෑම ටිකක් ගෙණැවිත් දෙමි’ යි ගෙට දුව ගොස් ලිප් දෙකක තබා මසුත් බතුත් උයවා දොරට බැස්ස විට පිඬු සිඟා යන තව කිහිප නමක් දැක ඔවුන්ගේ ද පාත්‍ර ගෙණ අසුන් පණවා වඩාහිඳුවා ‘මුන්වහන්සේලා වළඳ වන්නැ’ යි එහි සිටියවුනට කියා තෙමේ මස් හා බත් කොළයෙක ලා මුළක් බැඳ ගෙණ යන්නේ අතරමග දී මලුත් කඩාගෙණ කොළ ගොටුවෙක ලා මහණහු හුන් තැනට ගොස් ‘ස්වාමීනි! මට සංග්‍රහ කරණු මැනැවැ’ යි පාත්‍රය ඉල්ලා ගෙණ බතින් මසින් කැවිලියෙන් පුරවා එය තෙරුන්ට පිළිගන්වා මලින් ද පුදා ‘යම් සේ මේ බත්, මස්, මල්, මාගේ සිත සතුටු කෙළේ ද, එමෙන් උපනුපන් තැන දී දහස් ගණන් පඬුරෙන් මාගේ සිත සතුටු වේවා, පස්වණක් මල් වැසි වසීවා’ යි පැතී ය, මෙසේ පතා දිවිහිමියෙන් පින් දහම් කරණුයේ මරණින් මතු දෙව්ලොව උපන්නේ ය, උපන් තැනදී දණක් පමණ මල් වැසි වැස්සේ ය, මෙ දවස මොහු උපන් දවසේත් බුදුරජුන් වෙත ආ දවසේත් මල් වැසි වැසීම පඬුරු එළවීම සත් රුවණින් ගැල් පිරීම යන මේ හාස්කම් ඒ පෙර කළ කුශලකර්‍මයාගේ විපාක වශයෙන් සිදුවිනැ’ යි බුදුරජානන් වහන්සේ වදාළ සේක.
සුධර්‍මස්ථවිර වස්තුව නිමි.