යාවදෙව අනත්ථාය ඤත්තං බාලස්ස ජායති
හන්ති බාලස්ස සුක්කංසං මුද්ධමස්ස විපාතයං
අඥානයා විසින් දන්නා ලද ශිල්පය හෝ ඔහුගේ ඉසුරුබව ඒ බාලයාහට අවැඩ පිණිස ම වන්නේ ය. එය බාලයාගේ ප්‍රඥා නැමැති හිස පළමින් ඔහුගේ කුසල් කොටස නසයි.
මහමුගලන් තෙරනුවෝ ලක්‍ෂණ ස්ථවිරයන් වහන්සේ සමග ගිජුකුළු පව්වෙන් පහතට බස්නෝ එක් තැනෙකදී සිනා පහළ කළහ. ඒ දුටු ලක්‍ෂණ ස්ථවිරයන් වහන්සේ සිනාසීමේ හේතුව විචාළවිට, ‘බුදුරජුන් ඉදිරියෙහි දී විචාරව’ යි කීහ. පිඬු සිඟීමෙන් පසු බුදුරජුන් කරා ගොස් වැඳ හුන් කල්හි ලක්‍ෂණ ස්ථවිරයන් වහන්සේ ‘අතරමගදී කුමක් නිසා සිනා පහළ කළහු දැ’ යි මුගලන් තෙරුන්ගෙන් ඇසූහ. ‘ඇවැත්නි! මම එහිදී තුන් ගවු පමණ සිරුරක් ඇති ප්‍රේතයකු දුටුවෙමි, ගිනිගත් යකුළු සැටදහසක් එක විට ඔහුගේ ඔලුව උඩ කඩා වැටෙ යි, නැවැත නැවැතත් මතු මතු ව එසේ ම හිස මතුපිට වැටෙ යි, ඒ හැමවර හිස දෙ පළු වේ, එහෙත් පාපකර්‍මවේගයෙන් නැවත හටගැණේ, මෙවැනි ආත්මභාවයක් මෙයට කලින් මා දැක නැත, සිනා ගියේ ඔහු දැකැ’ යි මුගලන් තෙරණුවෝ කීහ.
“සට්ඨිකූටසහස්සානි පරිපුණ්ණානි සබ්බසො,
සීසෙ තුය්හං නිපතන්ති වොභින්දන්තෙව මත්ථකං”
යනාදිය මූ සඳහා ප්‍රේතවස්තුප්‍රකරණයෙහි කියන ලද්දේ ය.
එවිට භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ‘මහණෙනි! මමත් බෝ මැඬදී ම ඔය කියන ප්‍රේතයා දුටිමි, එහෙත් යම් කෙනෙක් මාගේ වචනය නො අදහන්නෝ නම්, එය ඔවුනට අනර්‍ත්‍ථ පිණිස පැවැතිය හැකි බැවින් උන් කෙරෙහි කරුණාවෙන් මා දුටු බව මෙතෙක් නො කීමි, දැන් මුගලන් තැනත් දැක ඇති බැවින් මා දුටු බවත් කියමි’ යි වදාළ සේක. එකල භික්‍ෂූන් වහන්සේලා ඌ පෙරකළ කර්‍මය කිමැ?’ යි ඇසූහ.
බුදුරජානන් වහන්සේ; මහණෙනි! යටගිය දවස බරණැස් නුවර අතකුරු ගැසීමේ අතිසමර්‍ත්‍ථ වූ පිළෙක් විය, ඔහු විසූයේ එ නුවර දොරකඩ අසල වූ නුගගසක් යට ය, කුඩා කොල්ලන් එහි පැමිණ පිළා වට කොට සිට ‘කැට ගල් ගසා අපට ඇත් රූ අස් රූ දක්වන්නැ’ යි කී කල්හි කොල්ලන් කියන රූ දක්වමින් කෑම් පීම් ආදී මොකවත් ලබා ගෙණ ජීවිකාව කර යි, දිනක් රජ තෙමේ උයනට යනුයේ එහි පැමිණියේ ය. එවිට කොල්ලෝ පිළා නුග අරළු හස්සේ ලා සගවා පැන ගියහ, ඉරමුදුන් වේලෙහි නුගගස යට සිටි රජුගේ ඇඟෙහි නුගකොළවල සෑදී තුබූ සිදුරුවලින් ඇත් රූ අස් රූ වැනි නොයෙක් රූ සටහන් වැටින, රජ තෙමේ උඩ බැලුවිට නුග කොළවල ඇත් රූ අස් රූ සේ සිඳී තුබූ සිදුරු දැක ‘මේ කාගේ වැඩෙක් දැ’ යි අසා එහි සිටියවුන් ‘පිළකුගේ වැඩෙකැ’ යි කී කල්හි ‘ඌ දැන් කොහි දැ’ යි සොයා බලා කැඳවා ‘මාගේ පෙරෙවි බමුණු ලොකු වාචාලයෙක් ය, නිතර දොඩවන්නට ගජසමතෙක් ය, මා ටිකක් කී විට ඔහු හුඟක් කිය යි, එය මට මහත් කරදරයක් ව තිබේ, වැඩට ලොකු බාධාවෙකි, ඒ නිසා ඌ දොඩනවිට එළුබෙටි නැළියක් තරම් උගේ කටට වීසි කරන්නට නුඹට හැක්කේ දැ?’ යි ඇසී ය, ‘දේවයන් වහන්ස! ඕකත් මහවැඩෙක් ද, එළුබෙටි නැළියක් ගෙන්වා දුන මැනැවි, ඔබවහන්සේ පෙරෙවියාත් සමග කඩතුරාවක් ඇතුළත වැඩ ඉන්න; අනික් හරිය මම බලා ගන්නෙමි’ යි පිළා කී ය,
රජ තෙමේ එළුබෙටි නැළියක් ගෙන්වා දී පිළා කී ලෙසට කඩතුරාව ඇතුළට වී කතා කරමින් හුන්නේ ය, පිළා, කතුරුකොණින් තිරයෙහි සිදුරක් කපා පෙරෙවියා කතාවට කට හරිත් හරිත් ම එක එක එළුබෙට්ට පෙරෙවියාගේ කටට වීසිකෙළේ ය, ඔහු කටට වැටුනු හැම එළුබෙට්ට කතා කර කර ම ගිල්ලේ ය. පිළා, එළුබෙටි නැළිය අවසන් වූ විට තිරය සෙලවී ය, රජ ඒ හලකුණෙන් එළුබෙටි අවසන් වූ බව දැන ‘ගුරුන්නාන්සේ මට ඔහේ සමග කතා කරලා අවසානයක් කරන්නට බැරිය, ඔහේ ලොකු ම වාචාලයකු බැවින් නැළියක් තරම් එළුබෙටි ගිලලත් නිශ්ශබ්ද නො වුයෙහි’ යි කීයේ ය, එ තැන් පටන් පෙරෙවි තෙමේ මකුබවට පැමිණ කට හැර රජු සමග කතාකරන්නට අපොහොසත් විය, රජ, පිළා ගෙන්වා ‘තා නිසා මට ලැබුන් මහත් වාසියෙකැ’ යි සතුටු ව ඔහුට ‘සබ්බට්ඨක’ නම් ධනය දී නුවර සතර පැත්තේ ගම්වර සතරකුත් දුන්නේ ය, ඒ දැන රජුට අනුශාසනා කරණ ඇමැති තෙමේ:-
“යම් කෙබඳු වූ වද - සිප් නම් මහත් වේ මය,
බල, පිළුගේ පහරින් - ලැබූ සිවුදිග ගම්වර”
යි මේ ගය කීයේ ය.
ඒ කාලයෙහි අමාත්‍ය වූවෝ මේ භාග්‍යවතුන් වහන්සේ ය. එක් පුරුෂයෙක් පිළා විසින් ලත් සම්පත් දැක ‘මෙතෙමේ පිළෙක් වී ශිල්පය නිසා මහත් සම්පතට පැමිණිසේ ය, මාත් මෙය උගත යුතු ය’ යි පිළා සමීපයට ගොස් වැඳ ‘ආචාර්‍ය්‍ය ය! මට ඔය ශිල්පය උගන්වනු මැනැවැ’ යි කියා සිටියේ ය, එවිට උගන්වනු බැරිය’ යි. පිළා කී ය, ඉන් පසුබට නො වූ ඔහු පිළා වෙත යමින් එමින් කලක් ඔහුගේ අත් පා මෙහෙ කිරීම් ආදී වතාවත් කරමින් සිට සිත් ගෙණ නැවැතත් ‘ශිල්ප උගන්වන්නැ’ යි ඉල්ලී ය, ඒ වරද ‘මූ මට බොහෝ උපකාර ව සිටි යි, එහෙයින් මේ ඉල්ලීම වළකනු බැරි ය’ යි ශිල්ප උගන්වා ‘දරුව! තට දැන් ශිල්ප පුහුණු විය, මෙ තැන් සිට කුමක් කරන්නෙහි දැ?’ යි පිළා ඇසූ කල්හි ‘මෙ නුවරින් බැහැර ගොස් ශිල්ප විමසන්නෙමි’ යි ඔහු කී ය, ‘ශිලප විමසන්නේ කෙසේ දැ?’ යි ඇසූ විට ගවයකු හෝ මිනිසකු පහරා මරන්නෙමි’ යි කී ය, එවිට ‘දරුව! එය ලොකු වරදෙකි, ගවයකු මරන්නාහට දඩය සියයෙකි, මිනිසකු මරන්නාහට දඩය දහසෙකි, අඹු-දරුවන් සහිත වූ දුප්පත් තෝ එබන්දක් කළොත් නිදහසක් නො ලබන්නෙහි ය, නො නැසෙව, යමකුට පහර දුන් කල්හි එයින් දඩමුඩ ගැසීමෙක් නො වේ නම්, එබඳු කාත් කවුරුත් නැති එකකු සොයා පහර දෙව’ යි පිළා කී ය, ඔහු ‘ඒ යහපතැ’ යි පිළිගෙණ ඔඩොක්කුවෙහි ගල්කැට ලා එබන්දකු සොයමින් යන්නේ ගව දෙනක දැක ‘මෑ අයිතිකාරයන් ඇත්තිය කැ’ යි සලකා අතහැර යනුයේ මිනිසකු දැක ‘මූ ද මවුපියන් ඇත්තෙකැ’ යි පහර නො දී ගියේ ය,
එ වේලෙහි සුනෙත්ත නම් පසේ බුදුරජානන් වහන්සේ පිඬු සිඟා යන්නහු දැක ‘මේ නම් මවුපියන් නැත්තෙක, මොහුට ගැසුවාට දඩමුඩ ගැසීමෙක් නො වේ, මොහුට පහර දී ශිල්ප විමසන්නෙමි’ යි පසේ බුදුන්ගේ දකුණු කන් බිලට ඉලක්ක කොට ගලක් ගැසී ය, ‘අහෝ ලෝකයෙහි සැටි, ඒ ගල දකුණු කන් බිලයෙන් ඇතුල්ව වම් කන් බිලයෙන් පිට විය, බලවත් වේදනාවක් හට ගත, බුදුරජ තෙමේ පිඬු සිඟා යෑමෙහි අපොහොසත් වී ය, රෝගාතුර වී ය, උන් වහන්සේ අහසින් පන්සලට වැඩ එහි දී පිරිනිවියාහ, ගම්වැස්සෝ පසේ බුදුරජුන් පිඬු සිඟා නො වැඩි ය බැවින් රෝගාතුර වන්නට ඇතැ යි සිතා එහි ගියෝ පිරිනිවි බව දැක හඬන්නට වැලපෙන්නට වූහ, ගල ගැසූ මිනිසා ද ඔවුන් සමග ගියේ පසේ බුදුරජුන් හැඳින ‘මේ හාමුදුරුවන් ඊයේ පිඬු සිඟා යද්දී නුවර දොර ලඟදී මම මා ඉගෙණ ගත් ශිල්පය විමසනු පිණිස හාමුදුරුවන් ඉලක්ක කොට ගලක් දමා ගැසීමි’ යි කී ය, එවිට මිනිස්සු ඒ මිනිසා අල්ලා ගෙණ අතින් පයින් පොලුවලින් තළා පියා මරා දැමුහ, ඔහු ඒ පවින් අවීචියෙහි උපන, මහපොළොව යොදුනක් පමණ වැඩෙනතුරු ම අවීචියෙහි දුක් විඳ ඉතිරි වූ කර්‍මයාගේ විපාක වසයෙන් ගිජුකුළුපවු මුදුනෙහි සට්ඨිකූටප්‍රේත ව උපන්නේ ය’ යි. බුදුරජානන් වහන්සේ ඌ පෙර කළ කර්‍මය මෙසේ දක්වා ‘මහණෙනි! බාලයා ඉගෙණ ගන්නා ශිල්පයත් ලබන්නා වූ ඓශ්වර්‍ය්‍යයත් දෙක ම ඔහුට විපත් පිණිස වන්නේ ය, යමක් කමක් උගත් අඥානයාත් ධන ධාන්‍යායෙන් පොහොසත් මෝඩයාත් යන දෙදෙන ම තම තමන්ට විපතක් ම අවැඩක් ම විනාශයක් ම කර ගණිති’ යි අනුසන්ධි ගළපා මේ ධර්‍මදේශනාව කළ සේක:-
යාවදෙව අනත්ථාය ඤත්තං බාලස්ස ජායති,
හන්ති බාලස්ස සුක්කංසං මුද්ධමස්ස විපාතයන්ති.
බාලයා උගත් ශිල්පය නොහොත්, බාලයා බොහෝ දෙනා අතර ප්‍රසිද්ධවීම ඔහුට විනාශය පිණිස ම වන්නේ ය. බාලයාගේ ප්‍රඥා නමැති හිස පළමින් කුසල් කොටස නසන්නේ ය.
යාවදෙව අනත්ථාය = අවැඩ පිණිස පමණක්.
ඤත්තං = ශිල්ප ශාස්ත්‍ර ඥානය නොහොත්, ප්‍රසිද්ධිය.
යමෙක් යම් ශිල්පයක් දනී ද, යම්බඳු සම්පත්තියක් කිත්ර්‍තතියක් ලබා සිටී ද, එහෙයින් ම ඔහු මහාජනයා අතර ප්‍රසිද්ධියට ය යි. එබඳු ශිල්පශාස්ත්‍රඥානයත් ප්‍රසිද්ධියත් මෙයින් කිය වේ.
බාලස්ස = බාලයා විසින් නොහොත් බාලයාගේ.
ජායති = හටගණි යි.
හන්ති = නසයි.
සුක්කංසං = කුශලකොට්ඨාශය.
කුශලය පවිත්‍ර බැවින් සුක්ක, යි කියනු ලැබේ. ශුක්‍ර, ශුද්ධ පුණ්‍ය යන අරුත්හි මේ වැටේ. ‘ සුක්කස්ස පරිහිනා සත්තො ජරා දුබ්බලත්තං පාපුණාති’ යනාදියෙහි ශුක්‍රයෙහි වැටේ. ‘සුක්කං වත්ථං පරිච්වජි’ යනාදියෙහි ආයේ ශුද්ධාර්‍ත්‍ථයෙහි ය. ‘සුක්කං සුක්කවිපාකං’ යනාදියෙහි ආයේ කුශලයෙහි ය. ඒ හා එක් ව සිටි අංස ශබ්දයෙන් කොටස කිය වේ. ස්කන්ධ, කොට්ඨාශාර්‍ත්‍ථයන් කිය යි. ‘උභො අංසෙ පාරුපති’ යන මෙහි ස්කන්ධ වාචක යි. දසරුව යි. ‘අතීතංසෙ අප්පටිහතං ඤාණං’ මෙහි වූයේ මෙහි මෙන් කොට්ඨාශාර්‍ත්‍ථය කියා.
මුද්ධං අස්ස විපාතයං = බාලයාගේ ප්‍රඥා නමැති හිස පළමින් සිඳලමින්.
උකුණු ලේඬි ආදීහු මෙහි සතුටු වෙත් නු යි හිස මුද්ධ, යි, කියනු ලැබේ. මෙහි ගැණෙනුයේ ඒ නො වේ. මිනිසාගේ නුවණ මිනිසාට හිසවැනි හෙයින් මෙහි මුද්ධ ශබ්දයෙන් ප්‍රඥාව ගැණේ. නුවණ නැති මිනිසා මළ එකකු වැනිය යි කීයේ එහෙයිනි. නුවණ නැත්තේ හිස තිබුනේ ද මළ මිනිසකුට වඩා වෙනස් නො වේ.
අස්ස, යනු යෙදුන්නේ බාලයා සඳහා ය. විපාතයං, යන්නෙහි වූ වි උපසර්‍ගය, විවිධ - අතිශය - අභාව - භෘශ - ඓශ්චර්‍ශ්‍ය - අතික්‍රම - විරහ - කලහ - ප්‍රාදුර්‍භාව - කථන - කුත්සිත- දූර - අනභිමුඛ - මොහ- අනවස්ථිති - ප්‍රධාන - දක්‍ෂ - පරිශ්‍රම - සහාර්‍ත්‍ථ යන මෙහි දක්නා ලැබේ. විමති - විමුත්ති - විමලො - විරති - විරූළ්හකො - වීතිවත්තො - විප්පයොගො - විවාදො - විජාතා - විභාතා - විරූපො - විදෙසා - විමුබො - විමුළ්හො - විබ්භන්තො - විමුත්ති විපස්සී - විස්සමිත්‍වා - විස්සාසො - යන මොවුහු පිළිවෙළින් නිදර්‍ශනයෝ ය. ආදිකර්‍ම-විරුද්ධාර්‍ත්‍ථයන්හි ද මේ වැටේ. විප්පකතං - විරොධො යනු එයට නිදසුන් ය. මෙහි වුයේ විවිධ අතිශයාර්‍ත්‍ථයන්හි ය. එහෙයින් නොයෙක් ලෙසින් සිඳ හෙලමින්, අතිශයින් සිඳ හෙලමින් යි අරුත් කිය හැකි ය.
බාලයාගේ ශිල්පශාස්ත්‍රඥානයත් ධනධාන්‍යාදිඓශ්වර්‍ය්‍යයත් ඔහුට ම විපත් පිණිස වේ. එ පමණක් නො වේ. එය ඔහුගේ කුශලකොට්ඨාශයත් ප්‍රඥා නමැති හිසත් සිඳ දමා අපායයෙහි ලන්නේ ය, යනු කෙටි අදහස ය. දෙව්දත්තෙර-ආනන්ද සිටු ආදීහු මෙය අර්‍ත්‍ථවත් කෙරෙති.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියෝ ය.
සට්ඨිකූටප්‍රේත වස්තුව නිමි.