5-12 සඟසතු දේ කෑමෙහි බිහිසුණුකම

න හි පාපං කතං කම්මං සජ්ජු ඛීරං’ව මුච්චති

ඩහන්තං බාලමන්වෙති භස්මච්ඡන්නො’ව පාවකො.

අකුශල කම්මය කළ සත්තවයාහට එය කළ ඇසිල්ලෙහි ම දෙනගේ තනයෙන් දෝනා ලද කෙණෙහි ම මිදී නොයන කිරි මෙන් එ කෙණෙහි විපාක නො දෙන්නේ ය. හලුයෙන් වැසුනු සහලඟුරු රැසක් මෙන් ඒ පාපිය දවමින් ඔහු ලුහුබඳී.

දවසක ආයුෂ්මත් ලක්‍ෂණ ස්ථවිරයන් වහන්සේත්, ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේත් ‘රජගහ නුවර පිඬුසිඟා යන්නෙමු’ යි ගිජ්ඣකූට පර්‍වතයෙන් බස්නාහ. මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ එහි දී එක් අභිප්‍රේතයකු දැකීමෙන් සිනා පහළ විය. ලක්‍ෂණ ස්ථවිරයන් වහන්සේ ඒ දැක ‘කුමක් නිසා සිනාසෙන්නහු දැ?’ යි ඇසූහ. ‘මෙයට පිළිතුරු දීමට මේ කාලය නො වේ, ලොවුතුරා බුදුරජුන් ඉදිරියෙහිදී එය අසන්නැ’ යි උන්වහන්සේ කීහ. දෙදෙනා වහන්සේ ම පිඬු සිඟා අවසන් කොට බුදුරජුන් වෙත ගොස් හුන් කල්හි ලක්‍ෂණ සථවිරයන් වහන්සේ ‘ස්ථවිර තුමනි! ඔබවහන්සේ ගිජුකුළු පව්වෙන් බසිද්දී සිනාසෙනු දැක සිනාසෙන්නහු කුමක් නිසා දැ? යි මම ඇසීමි, එවිට බුදුරජුන් ඉදිරියෙහිදී අසන්නැ’ යි කීවහු ය, දැන් එය කියනු මැනැවැ’ යි කීහ. ‘ඇවැත්නි! මම එහි දී අභිප්‍රේතයකු දුටුවෙමි, ඒ දුටු සැටියේ මට සිනා ගියේ ය, ඔහුගේ ඔලුව මිනිසකුගේ ඔලුවක් වැනි ය, කඳ හරිය, සර්‍පයකු වැනි ය, මේ අභිප්‍රේතයා යොදුන් විසිපහක් පමණ දිග ය, ඔලුවෙන් නගින ගිනිදැල්ල, නගුට තෙක් දවාගෙන යයි, නගුටින් නගින ගිනිදැල්ල, ඔලුව තෙක් එසේ ය යි, මැදින් නගින ගිනිදැල්ල, දෙපස දවා ය යි, දැලයෙන් නගින ගිනිදැල්ල මැද එක් වෙයි, ප්‍රේතයන් දෙදෙනකුගේ ම කඳ පස්විසි යොදුන් පමණ ය, අනිත් ප්‍රේතයන්ගේ තුන් ගවු පමණ ය, මේ අභිප්‍රේතයාගේ හා කාකප්‍රේතයාගේ කඳ පස්විසි යොදුනකැ’ යි මුගලන් මහ තෙරණුවෝ වදාළහ.

උන්වහන්සේ ම ගිජුකුළු පවු මුදුනෙහි පැසෙන කාකප්‍රේතයා දැක, ඔහු පෙර කළ කමීය විචාරන්නාහු ‘තාගේ දිව ම පස්යොදුන් දිග ය, ඔලුව නවයොදුන් පමණ මහත ය, කඳ පස්විසි යොදුන් පමණ උස මහත ඇත්තේය, කෙබඳු පව්කමක් කොට මෙතරම් බිහිසුණු දුකකට පැමිණියෙහි දැ’ යි ඇසූහ. එවිට ඔහු ‘මම කසුප් බුදුරජුන් දවස සඞ්ඝයාට සැදැහැවතුන් විසින් එළ වූ බතින් බත් කටක් ගෙණ කැවෙමි’ යි කියා නැවැත ‘ස්වාමීනී! කසුජ බුදුරජුන් දවස බොහෝ ගණනක් භික්‍ෂූන් වහන්සේලා ගමකට පිඬු සිඟා ගියහ. එහිදී එ ගම්වැස්සෝ උන්වහන්සේලා දැක සතුටු ව අසුන්හලෙහි පා සෝදා වඩා හිඳුවා කැඳ වළඳවා පිළිගන්වා, පිණ්ඩපාතකාලය ලංවනතුරු ම බණ අසමින් හුන්හ. ඒ බණ අවසන්හි ඔවුහු උන්වහන්සේලාගේ පාත්‍ර ගෙණ ගෙවලට ගොස් නන් අන්දමේ උසස් රස යුත් අහරින් පාත්‍ර පුරවා පිළිගන්වනු පිණිස ගෙණ ආහ, මම එ දවස කපුටෙක් වැ උපන්නේ අසුන්හලෙහි වහල්පලය උඩ සැඟැවී වට පිට බලා ඉඳ එකකු ගෙණ ආ පාත්‍රයකින් කට පුරා තෙවරක් බත්කට තුනක් පැහැර ගෙණ කෑවෙමි, ඒ අහර, පාත්‍රවලට බෙදු පමණ මුත් සඞ්ඝයාට නො පිළිගැන් වූ බැවින් සඟ සතු වූයේ නො වේ, නියම කොට වෙන වෙන ම දුන්නේ ද නැත, වළඳා ඉතිරි වූයේ ද නො වේ, මා කෑයේ පාත්‍රවලට බෙදූව ද, ගෙවලට ගෙණ ගොස් නැවැත මිනිසුන් විසින් වුවත් කෑ යුතු අහර ටිකෙකි, හුදෙක් සඞ්ඝයාට කියා ගෙණ ආවා පමණෙකි, සඞ්ඝයාට අයත් ගමක් බිමක් ගහක් කොළයක් මා ගත්තේ නැත, යටත් පිරිසෙයින් සඟසතු තණපතක් පොල් ඉරටක් පමණකුත් නො ගත්තෙමි, වළඳා ඉතිරිවන බතින් තුන් කටක් ගත් පමණෙකි මා කෙළේ, ඒ පවින් ස්වාමීනි! මම අන්තඃකල්පයක් මෙසේ ආයු ඇති ව අවීචියෙහි ඉපිද, එහි ආයු පමණින් පැසී තවත් ඒ පව ටිකක් ඉතිරි වූ බැවින් මේ ගිජුකුළුපව්වෙහි කාකප්‍රේත ව ඉපිද දුක් විඳිමි’ යි විස්තර කොට කී ය.

කාකප්‍රේත වස්තුව යි.

……

මෙහි දී මුගලන් මහතෙරනුවෝ ‘මම අභිප්‍රේතයකු දැක සිනා සීමී’ යි කී කල්හි, බුදුරජානන් වහන්සේ ‘මහණෙනි! මුගලන් කී කතාව ඇත්ත යි, මමත් බුදු වූ දාම ඌ දුටිමි, එහෙත් මම මාගේ කීම නො අදහන්නෝ නම්, ඔවුනට එය අහිත පිණිස වන්නේ ය යනු දන්නා බැවින් තමුසේලා කෙරෙහි අනුකම්පාවෙන් ඒ වග මෙතෙක් නො කීමි’ යි වදාළ සේක. රැස් ව හුන් භික්‍ෂූන් වහන්සේලා ‘ඌ පෙර කළ දේ අපි නො දනිමු, එය වදාරනු මැනැවැ’ යි ඇය ද සිටියාහ. එ කල්හි බුදුරජානන් වහන්සේ ‘මහණෙනි! යටගිය දවස බරණැස් නුවර වැස්සෝ එ නුවර ගොදුරු ගම් කොට තබා ගංඉවුරෙක පසේබුදු කෙනෙකුන්හට පන්සලක් කරවා දුන්හ, එහි වසන උන්වහන්සේ එ නුවරට පිඬු සිඟා වඩින සේක. නුවර වැස්සෝත් උදේ සවස සුවඳ මල් ගත් අත් ඇති ව පසේබුදුරජුන් පුදන්නට පන්සලට යන්නෝය, එ නුවර ම වැසි මිනිසෙක් ඒ අසල ම කුඹුරක් සෑයේ ය, පන්සල් යන්නෝ ඒ කුඹුර උඩින් ම පන්සල් යති, ගොවියා ‘කුඹුර උඩින් නො යවු’ යි කීවෝ ද, ඔවුහු එසේ ම ගියහ, ඒ වළකාලනු බැරි විය, එ කල ඔහු පසේ බුදුරජුන්ගේ පන්සල මෙහි නො වේ නම්, මේ කරදර මොකුත් නැත, කුඹුරට හානියක් ද නො වේ, පන්සල කඩා බිඳ දැමිය යුතු ය, යි සිතා පසේ බුදුරජුන් සිඟා ගිය අතර එහි ගොස් පන්සල් ගෙය තුළ තුබූ බඩුමුට්ටු පොඩිකර එහි දමා පන්සල් ගෙට ගිනි තැබී ය, පසේ බුදුරජානන් වහන්සේ සිඟා ගෙණ ආ සේක්, පන්සල ගිනි ඇවිළ දන බව දැක, අන් තැනක වැඩි සේක,

නුවර වැස්සෝ පන්සල් ගියෝ පන්සල, දා ගියබව දැක ‘හාමුදුරුවෝ කොතැනෙක ගියෝ දැ’ යි කෑ ගසන්නට වූහ, ගොවියා ද මොවුන් සමග ම පන්සල් ගියේ ‘පන්සල ගිනි තැබුවේ මමැ’ යි කී ය. එයින් කෝපයට පත් මිනිස්සු ‘ඕකා ගණිවු, ඔය පාපයා නිසා බුදුරජුන් දකිනු නැති වී ය, යි අල්ලා ගෙණ අතින් පයින් පොලු මුගුරුවලින් පහර දී එ තැන ම මරා දැමූහ, ඒ ගොවියා මේ පව්කමින් අවීචියෙහි ඉපිද මහපොළොව පසින් යොදුනක් පමණ උස්වන තුරු ම පැසී ඉතිරි වූ පව්කමින් ගිජුකුළු පව්වෙහි අභිප්‍රේත ව උපනැ’ යි වදාළ සේක. එහිදී බුදුරජානන් වහන්සේ මෙසේ ඌ කළ පෙර කම් පවසා ‘මහණෙනි! පව්කම් නම් කිරි වැනි ය, දොවන කිරි ඒ දෙවගත් සැටියේ ම නො මිදෙයි, දී බඳුන් ඈ ඇඹුල් රසැති බඳුනෙක වක් කරණතුරු හෝ නො මිදෙයි, එමෙන් පව්කම් ද යම් දවසෙක පැසේ නම්, විපාක දේ නම්, එ දවස මෙබඳු දුකින් සෝක කෙරේය, යි අනුසන්ධි ගළපා මේ ධර්‍මදේශනාව කළ සේක:-

න හි පාපං කතං කම්මං සජ්ජුඛීරං ව මුච්චති,

ඩහන්තං බාලමන්‍වෙති භස්මච්ඡන්තො ව පාවකොති.

කරණ ලද පාපකර්‍ම ය, දෙවූ කෙණෙහි ම (නො මිදෙන) කිරි සේ කළ කෙණෙහි ම විපාකයට නො පෙරළෙ යි. අලුවලින් වැසුන ගින්නක් සේ ඒ පාපියා දවමින් ලුහුබැඳ යයි.

න හි පාපං කතං කම්මං සජ්ජුඛීරං ඉව මුච්චති = කළ පාප කර්‍මය ඒ කළ කෙණෙහි ම දෙවගත් කිරි, දෙවූ විගසම නො මිදෙන්නා සේ විපාක නො දෙයි.

ඩහන්තං = දවමින්.

බාලං අන්‍වෙති = බාලයා ලුහුබැඳ පසුපස්සෙහි යන්නේ ය.

භස්මච්ඡන්නො ඉව පාවකො = අලුවලින් වැසුනු ගින්නක් සේ.

භස්ම, නම්, හළු යි. පාවක, නම්, ගින්න යි. කස්ලෝ රෙදි පිළි ආදියෙහි පිරිසිදුකම දීප්තිය අළු ලා මැදීමෙන් සේදීමෙන් ඇති කළ හැකි ය. අළු භස්ම, යි කීයේ එහෙයිනි. ‘මලින කංස වත්‍ථාදීනං භුං දිත්තිං සෙති පවත්තතීති භස්මං, භසති අධො පතති වත්‍ථාදීනං මලං එතෙනාති භස්මං, භසති පග්ඝරතීති වා භස්මං, යනු විවෘතියි. ගින්නෙහි ලා පිළිස්සීමෙන් ද යම් යම් වස්තුන්ගේ පිරිසිදුකම වන්නේ ය. පිරිසිදු කරණ අර්‍ත්‍ථයෙන් ගින්න පාවකැ, යි කියනු ලැබේ.

යම්කිසි බඳුනකට දෙවගත් උණ කිරට, මෝරු ආදී මුහුන් නො දමන ලද්දේ නම් හෝ, දී බඳුන් ආදී ඇඹුල්රසැති අන් බඳුනෙක නො බහන ලද්දේ නම් හෝ නො මිදෙයි. තමන්ගේ ඒ මුල් අවස්ථාව නො හැර නො මිදී සිටි යි. එ පරිද්දෙන් පාපකර්‍මය කළ විගස ම පැසෙන්නේ, විපාක දෙන්නේ නො වේ. එසේ කළ කෙණෙහි ම විපාක දෙන්නේ නම් කිසි කෙනෙක් පව්කම් කරන්නට ඉදිරිපත් නො වෙති. පව්කම් කිරීමෙහි පොහොසත් නො වෙති. පෙර අත්බව්හි කළ කුසලයන්ගේ විපාකවසයෙන් හටගෙණ ඇති ස්කන්ධයෝ යම් තාක් පවතිත් ද, ඒ තාක් ඒ විපාක ස්කන්ධයෝ පාපකාරී පුද්ගලයා රැක ගණිත්. මෙ කල පව් කළ ද පෙර කළ පින්, විපාකවාර ලැබ පවත්නාතුරු පව්කළ තැනැත්තේ මඳ කලකට රැකෙයි. ඒ පෙර කළ පින් බලෙන් ලත් ස්කන්ධයෝ යම් දවසෙක බිදී ගියෝ ද, අවසන් ව ගියෝ ද, එ කල්හි හෙතෙමේ අපායයෙහි ඉපද පැසෙන්නේ ය. අපායයෙහි පහළ වූ ස්කන්ධ විෂයයෙහි පාපකර්‍ම ය විපාක දෙන්නේ ය. අළුවලින් වැසීගිය ගිනි අඟුරු පෑගුව ද, අළුවලින් වැසී තිබෙන බැවින් පා නො දවයි. අළු ඉවත දමා පෑගූවිට සම් සිවි ආදිය දවමින් හිස තෙක් ගින්න පැතිරී ය යි. එ පරිද්දෙන් යමකු විසින් පව්කමෙක් කරණ ලද්දේ නම් එය ඒ පව්කම කළ පාපයා දෙවන හෝ තුන්වන අත්බවේ දී නිරයයෙහි ඉපද යන්නහු දවමින් ලුහුබැඳ යන්නේ ය, යනු මෙහි අදහස ය. කළ කෙණෙහි ම විපාක නො දෙන්නේ ය, යි කී සේ ය.

ධර්‍ම දේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියෝ ය.

අභිප්‍රේත වස්තුව නිමි.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.