මාසෙ මාසෙ කුසග්ගෙන බාලො භුඤ්ජෙථ භොජනං
න සො සඞ්ඛතධම්මානං කලං අග්ඝති සොළසිං.
අඥාන පුද්ගල තෙම මසක් පාසා තණ අගින් ගෙණ බොජුන් අනුභව කරන්නේ ද, හෙ තෙම චතුරාර්‍ය්‍යසත්‍යයන් පිරිසිඳ ක්‍ෂීණාස්‍රවයන්ගේ සොළොස් වන කලාව පමණට දු නො අගී.
පෙර කසුප් බුදුරජුන් දවස ගම්වැසි එක් ධනවත් පුරුෂයෙක් වෙහෙරක් කරවාලා ස්ථවිර නමක් එහි නවතා ගෙණ සිවුපසයෙන් උවැටන් කෙළේය. ඒ ස්ථවිරයෝ ද දින පතා දානයට ඔහුගේ ගෙට යන්නාහ. මෙ කල දිනෙක රහතුන් වහන්සේ නමක් ද දාවල පිඬු පිණිස ඔහුගේ ගෙට වැඩියාහ. කෙළෙඹි තෙමේ උන්වහන්සේ දැක ඉරියව්වල පැහැද ගෙට වැඩම කරවා ප්‍රණීත වූ ආහාර පානයෙන් වළඳවා ‘ස්වාමීනි! මෙ සළුව ගෙණ ගොස් සිවුරක් කොට පඬු පොවා පොරවනු මැනැවැ’ යි වටින සළුවක් ද පූජා කෙළේ ය. නැවැත ‘ස්වාමීනි! නුඹවහන්සේගේ හිස රැවුල් බෑමට මම පනික්කියකු කැඳවා ගෙණ එන්නෙමි, ඒ ගමනේ ම නුඹවහන්සේට නිදන්නට ඇඳක් ගෙණ එන්නෙමි’ යි කී ය. එ වේලෙහි කුලුපග භික්‍ෂු තෙමේ රහතුන් වහන්සේට කළ පූජා සත්කාර දැක සිත සදා ගන්නට නො හැකි ච ‘මේ කෙළෙඹියා මොහු දුටු සැටියේ ම පැහැද මහත් සේ’ ගරු සත්කාර කරයි, නිතර ගෙයි වළඳන මට මෙතෙක් මෙබඳු සත්කාර නො කෙළේ ය’ යි සිතමින් විහාරයට ගියේ ය. රහතුන් වහන්සේ ද ඔහු කැටුව ම ගොස් කළෙඹියා, දුන් සළුවෙන් සිවුරක් කොට පඬු පොවා ගත්හ. කෙළෙඹියා පනික්කියකු කැඳවා ගෙණ ගොස් හිස රැවුල් බාවා ඇඳෙහි ද ඇතිරිලි අතුරා ‘ස්වාමීනි! මෙහි නිදන්නැ’ යි කියා පසුදා දෙනමට ම දානයට ආරාධනා කොට ගියේ ය.
නේවාසික භික්‍ෂු තෙමේ කෙළෙඹියා රහතුන් වහන්සේට කරණ සත්කාරය ඉවසනු නො හැකි ව සවස තෙරුන් සයනය කළ තැනට ගොස් ‘ඇවැත්නි! ආගන්තුකය! තට සුදුසු කෙළෙඹියාන්ගේ බත නො ව අසුචි ය, පනික්කියා ලවා හිස රැවුල් බෑවීම නො ව, තල් ඇටයක් ගෙණ හිස රැවුල් ගලවා දැමීම ය, කෙළෙඹියා දුන් රෙදි හැඳීමට වඩා හෙලුවෙන් ඇවිදීම වටනේ ය, ඇඳෙහි නිදීමට වඩා බිම නිදීම ය කළ යුත්තේ’ යන ඈ ලෙසින් බැණ වැදුනේ ය. රහතුන් වහන්සේ ‘මේ බාලයා මා නිසා විනාශයට පැමිණෙන්නේ ය’ යි සිතා කෙළෙඹියාගේ ආරාධනාව නො පිළිගෙණ උදැසනින් ම නැගිට පහසු තැනක් බලා වැඩි සේක. නෙවාසික තෙමේ උදැසනින් ම විහාරයෙහි කළයුතු වත් කොට පිඬු පිණිස යන වේලෙහි ‘ආගන්තුකයා තවම නිදයි, ගෙඩිය ගසා ලූ හඬින් නැගිටින්නේ නම් නැගිට්ටා වේ’ යි සිතා නියගින් ගෙඩියට තට්ටු කොට උදෑසනින් ම නැගිට කෙළෙඹිගෙය බලා ගියේ ය. කෙළෙඹි තෙමේ කෑම් බීම් ඈ පිළියෙල කොට තෙරුන් වඩින මග බලා සිටියේ එන්නා වූ නේවාසිකයා දැක ‘ස්වාමීනි! අනික් හාමුදුරුවන් වහන්සේ කොහිදැ’ යි ඇසී ය. ‘කුමක් කියහි ද? මහත්මයාගේ හාමුදුරුවෝ මහත්මයා විහාරයෙහි සිට ආ වේලේ පටන් කාමරයට වී නිදති, තව ම නින්දේ ය, මම උදෑසන ම නැගිට විහාරමලු හැම ද පැන් කළ පුරවා, ඒ කටයුතු අවසන් කොට තැබීමි, ඒ කිසිත් ඔහු නො දනි යි, පසුව මම ගෙඩිය ද ගැසීමි, එයටත් අවදි නො වී ය’ යි කීයේ ය.
එවිට කෙළෙඹි තෙමේ ‘අර ඉරියව්වලින් යුත් හාමුදුරුවන් වහන්සේ මෙතෙක් වේලා නො නිදති, උන්වහන්සේට කරණ සත්කාර දැක මේ ස්වාමීන් වහන්සේ එයට නො සතුටුව මෙසේ කියත්’ යි සිතා තමන් නුවණැති බැවින් නේවාසිකයා හොඳට වළඳවා නැවැත ඔහුගේ ම පාත්‍රය සෝදා පිසදමා පිරිසිදු කොට එය නානාවිධ ප්‍රණීත ආහාරයෙන් පුරවා ‘මේ ගෙණ ගොස් ඒ හාමුදුරුවන්ට දුන මැනැවැ’ යි ඔහුට ම දුන්නේය. එය අතට ගත් ඔහු යම්කිසි ලෙසකින් ඔහු මේ කෑම් බීම් අනුභව කළේ නම්, මෙ තැනින් පිට මං කරන්නට නො හැකි වනු ඒකාන්ත ය, මෙහි ම ලගින්නට සූදානම් වන්නේ ය, එ හෙයින් මෙය මඟ දමා යන්නෙමි’ යි සිතා ගෙණ අවුත් මග දමා ගොස් එබී බලනුයේ තෙරුන් නො දුටුයේ ය. විසි දහසක් අවුරුදු ඔහු පිරූ ශ්‍රමණධර්‍මය තෙමේ මේ කළ අපරාධය නිසා ඔහු රැකීමෙහි අපොහොසත් වී ය. මැරී ගොස් ඔහු අවීචියෙහි උපන. බුද්ධාන්තරයක් ම එහි මහත් දුක් වින්දේය.
එයින් චුත ව අප බුදුරජුන් දවස කෑම් බීම්වලින් කිසිත් අඩුවක් නැති කුලගෙයක උපන්නේ ය. පයින් ඇවිදින්නට පටන්ගත් තැන් සිට ඇඳෙහි නිදන්නට බත් කන්නට නො කැමැත්තේ තමන් පහරණ අසුචිය ම කන්නේ ය. මවුපියෝ ‘බාල බැවින් නො දැන කරා’ යි ද සිතා ඔහු පොෂණය කළෝ ය. වැඩිවිය පැමිණියේ රෙදි නො හැඳ හෙලුවෙන් හැසිරෙයි. බිම නිද යි. අසුචි ම අනුභව කර යි. එ කල මවුපියෝ ‘මෙතෙමේ අපට නො හොබනේ ය, හොබනේ ආජීවකයනටැ’ යි ගෙණගොස් ‘මේ ලදරුවා පැවිදිකර ගණිවු’ යි ඔවුනට බාර කළහ. ඔවුහු පැවිදි කළහ. එදා ආජීවකයෝ ගෙල පමණ වළක් සාරා ඔහු එහි බහා දෙවුර මතුයෙහි ලෑලි අතුරා ඒ මතුයෙහි හිඳ තල් ඇට කෑල්ලකින් අල්ල අල්ලා සියලු කෙස් ගලවා දැමූහ. මවුපියෝ ‘හෙට දානයට එන්නැ’ යි ආජිවකයන්ට කියා ගියහ. පසුදා ආජීවකයෝ ‘ගමට යන්නට එන්නැ’ යි ඔහුට අඬ ගැසූහ. හෙතෙමේ ‘තමුන්නාන්සේලා වඩින්න, මම මෙහි නවතිමි’ යි එහි යෑමට අසතුටු විය. නැවැත නැවැතත් අඬගසා අසතුටු වූ බැවින් නවතා ගියහ.
එවිට ඔහු, ඔවුන් ගිය බව දැන වැසිකිළියෙහි අතුරා තුබූ ලෑලි ඉවත් කොට වළට බැස පණු වැදලි සහිත වූ පල් වූ අසුචි දෑතින් ගෙණ කෑයේ ය. ආජීවකයෝ ඔහුට කෑම යැවූහ. ඔහු එයට නො කැමැති විය. නැවැත නැවැත ඇවිටිලි කරන ලද්දේත් ‘මට මෙයින් වැඩෙක් නැත, මම කෑම ගත්තෙමි’ යි කී ය. මෙසේ දෙවන තෙවන සිවුවන දවස්හි ද අඬගසන ලද්දේ ‘මට කොතැනක වත් යනු නො හැකි ය’ යි කියා සිටියේ ය. ‘මොහු එක දවසකුදු දානයට යෑමට සතුටු වූයේ නො වේ, ඒ තබා ලඟට එවූ කෑම කන්නට ද සතුටු නො වේ, මෙයට මොකක් නමුත් කරුණක් විය යුතු ය’ යි සිතූ ඔවුහු දිනක් ඒ පරීක්‍ෂා කරන්නට තැන තැන එකකු දෙන්නකු නවතා ගියහ. ඒ නවකාජීවකයා ඔවුන් ගිය බව දැන, පෙර සේ වැසිකිළිවළට බැස අසුචි කන්නට පටන් ගත්තේ ය. එහි සැඟවී සිටියෝ ඒ දැක ආජීවකයන්ට කීහ. ඔවුහු ‘මෙය මහා පුදුමයෙකි, යම් ලෙසකින් ශ්‍රමණ ගෞතමයාගේ ශ්‍රාවකයෝ මෙය දන්නෝ නම්, ආජිවකයෝ අසුචි කත් ය’ යි. මොර දෙන්නෝ ය, රටේ වැසුමෙක් නො ලැබේ, ඔවුහු අපට නින්දා කරන්නෝ ය, මොහු පන්නා හැරිය යුතු ය’ යි නියම කර ගෙණ ‘මෙ තැනින් යව; අප හා වසන්නට නො හැකි ය’ යි බැහැර කළහ.
මෙසේ ආජීවකයන් පන්නා දැමූ මොහු ගල් පොත්තක පිහිටි ගල් වළක් ඇසුරු කොට සිටියේ, ඒ අසල මිනිසුන් මල පහ කරණ තැනට ගොස් අසුවි අනුභව කරන්නේ ය. අත් පා සෝදනු පිණිස එහි පැමිණියා වූ මිනිස්සු එක් අතකින් ගල්පොත්තේ කෙළවරක් අල්ලා ගෙණ එක් පයක් ඔසොවා ගෙණ එය අනික් පයෙහි දණහිස තබා සිටින්නහුගෙන්, කුමක් නිසා දැ’ යි ඇසූහ. ‘මම උග්‍ර වූ තපස් ඇත්තෙක්මි, මා පා දෙක ම බිම තැබුවොත් එයින් පොළොව සැලෙයි, පොළොව දෙදරයි, ඒ නිසා මෙසේ සිටිමි, රෑ දාවල් දෙක ම ගත කරන්නේ මෙසේ ය, නො ද හිඳිමි, නො ද නිදමි’ යි කී ය. නුගත් මෝඩ මිනිසා බොහෝසෙයින් කරුණු නො විමසා වචනමාත්‍රය ම අදහ යි. මෝඩකම නිසා කුහක කමෙහි පහදි යි. එහෙයින් ඒ ඇසූ මිනිස්සු දුරදිග නො බලා ‘මෙබඳු තාපසයෝ ලොව නැත්තාහ, මෙබඳු සිල්වත්හු කොහි වෙත් ද, දැන් හාමුදුරුවරුන්ට සැප පහසු ඇති වෙහෙර විහාර ඇඳ පුටු කොට්ට මෙට්ට ගුදිරි ඇඳ ඇතිරිලි බුමුතුරුණු කෑම් බීම් වුවමනා ය, මුන්වහන්සේ ඒ කිසිවක් වුවමනා නැති බව පෙණේ, මෙයට කලින් මෙබඳු සිල්වත් කෙනෙක් නො දක්නා ලදහ’ යි අඟු මගද දෙරට වැස්සෝ තදින් පැහැද මසින් මස කෑම් බීම් ආදිය එළවති. ‘මම හුළග ම අනුභව කරමි, මට අන් කිසිවක් වුවමනා නැත, අනෙකක් කෑවොත් මාගේ තපස නැසෙන්නේය’ යි ඔහු මිනිසුන් ගෙණ එන අන් කිසිවක් බාර නො ගණි යි මිනිස්සු ‘ස්වාමීනි! එසේ නො කරණු මැනැව, ඔබවහන්සේ වැනි සිල්වත් ඝොර තපස් ඇත්තකු අප ගෙනෙන දෙය. පරිභෝග කළ විට එය අපට බොහෝ කලක් හිතසුව පිණිස වන්නේ ය’ යි කියමින් නැවත නැවත යාඥා කරති. ඔහුට අසුචි හැර අන් අහරෙක් රුචි නො වේ. මිනිසුන්ගේ ඇවිටිල්ල නිසා ඔහු උන් විසින් ගෙනෙන ලද ගිතෙල් උක් හකුරු ආදිය, හීතණ අගින් ගෙණ දිවග තබා ‘තමුසේලා යන්න! හිත සැප පිණිස මේ පමණ ය’ යි ඔවුන් පිටත්කර හරි යි. මෙසේ හෙලුවෙන්, අසුචි කමින්, කෙස් උදුරමින්, බිම නිදමින් පණස් වසක් ගෙවූයේ ය.
හැම අලුයම ලොව බැලීම බුදුවරුන් විසින් අත් නො හළ සිරිතෙකි. එ සිරිතෙන් දවසෙක අලුයම ලොව බලා වදාරන්නා වූ සම්මා සම්බුදු රජානන් වහන්සේ මේ ජම්බුකාජීවකයා දුටු සේක. එවිට ඔහුගේ තතු බැලූ බුදුරජානන් වහන්සේට ඔහුට රහත්වන්නට හේතු ඇතිබව, අසූසාර දහසක් ප්‍රාණීන්ට වන ධර්‍මාබෝධය හා මහාජනයා සුවපත් වන බව පෙණී ගියේ ය. පසුදා උන්වහන්සේ රජගහා නුවර පිඬු සිඟා ගොස් හැරී ආවෝ, අනඳ තෙරුන් අමතා ‘ආනන්දය! මම ජම්බුකාජීවකයා හමුවන්නට යන්නෙමි’ යි වදාළ සේක. අනඳ තෙරණුවෝ ‘ස්වාමීනි! බුදුරජානන් වහන්සේ පමණක් වඩින සේක් දැ’ යි ඇසූහ. ‘ආනන්දය! මම පමණක් යන්නෙමි’ යි වදාරා සෙවන වැඩෙන වේලෙහි ඔහු වෙතට වැඩි සේක. එකල දෙවියෝ ‘ස්වාමිදරු වූ බුදුරජානන් වහන්සේ ජම්බුකාජීවකයා වෙතට වඩින සේක, ඔහු මල මූ දැහැටි දඬුවලින්ද පියෙදු වූ ඉතා පිළිකුල් වූ ගල්පොත්තක් උඩ වාසය කරයි, එ තැන ඉතා අපිරිසිදු ය, එ හෙයින් වැසි වස්වා පිරිසිදු කරමු’ යි වැසි වැස්වූහ, ගල්පොත්ත වැසි දියෙන් සේදී ගොස් පිරිසිදු විය. මල රහිත විය. නැවත ඒ මතුපිට මල්වැසි වැස්සූහ.
බුදුරජානන් වහන්සේ එහි වැඩියෝ, ‘ජම්බුක!’ යි අඬගා වදාළ සේක. ඔහු ‘මට ජම්බුකවාදයෙන් කතා කරණ මේ දුෂ්ට දුර්‍ජනයා කවරෙක් දැ’ යි සිතා. ‘මට කතා කරන්නේ කවරෙක් දැ’ යි ඇසී ය. එවිට මම ශ්‍රමණගෞතමයා වෙමි’ යි. උන්වහන්සේ පිළිතුරු දුන්හ. එවිට ‘මොක ද මහාශ්‍රමණ!’ යි ඔහු ඇසී ය. ‘අද එක් රැයක් මෙහි නවතින්නට මට ඉඩ දෙව’ යි උන් වහන්සේ ඉල්ලූහ. ‘මහා ශ්‍රමණය! එය කරණු බැරි වැඩෙකි, මෙහි නවතින්නට ඉඩ දෙනු බැරි ය’ යි කී කල්හි ‘ජම්බුකය! එසේ කියනු නො සුදුසු ය, අද රෑට පමණක් ඉඩ දෙව, පැවිද්දෝ පැවිද්දන් ම පතති, පැවිද්දන් කරා ම යෙති, මිනිස්සු මිනිසුන් කරා යෙති, සිවුපාවෝ සිවුපාවුන් කරා යෙති, ඒ නිසා කෙසේ නමුත් අද රෑට පමණක් නවතින්නට ඉඩ දෙව’ යි කීහ. එවිට ජම්බුක තෙමේ බුදුරජුගෙන් ‘කිම? ඔබ පැවිද්දහු දැ’ යි ඇසී ය. ‘එසේ ය’ යි බුදුරජානන් වහන්සේ පිළිතුරු දුන්හ. ‘එසේ නම් ඔබගේ ලබුකබල දුම් හැන්ද යාගහුය කොහි දැ’ යි ඇසී ය. මට ඒ සියල්ල ම තිබේ, වෙන වෙන ම ගෙණ මග තොට යෑම කරදර නිසා සිරුර තුළ ලාගෙණ ඇවිදිමි’ යි වදාළහ. ජම්බුකයා ‘ඔබ මෙ දෑ ගෙණ හැසිරෙන්නහු දැ’ යි කිපුනේ ය. ‘ජම්බුකය! නො කිපෙව! මට ඉන්ට තැනක් කියව’ යි නැවැතත් වදාළ සේක. එවර ද ඔහු ‘මෙහි නවතින්නට තැනක් නැතැ’ යි කී ය.
එකල ඔහු වසන තැනට නො දුරෙහි ගල්පොත්තක් පෙන්වා ‘මෙහි ඉන්නේ කවරෙක් දැ’ යි ඇසූහ. ‘ශ්‍රමණය! එහි කවුරුත් නැතැ’ යි කී ය. ‘එසේ නම් එ තැන මට ඉඩ දෙන්නැ’ යි වදාළ කල්හි ‘එය ඔබ දැන ගණිවු’ යි කී ය. බුදුරජානන් වහන්සේ ගල්තල්ලෙහි තමන් හිඳින සිවුර අතුරා වැඩ හුන් සේක. එදා ප්‍රථමයාමයෙහි සතරවරම් මහරජහු සිවුදිග ඒකාලෝක කරමින් බුදුරජුන් වෙත පැමිණියෝ ය. ඔහු ඒ ආලෝකය දැක ‘මේ කිමැ’ යි සිතන්නට වන. මධ්‍යමයාමයෙහි සක්දෙව්රජ පැමිණියේ ය. ඔහු ‘මේ කවරෙක් දැ’ යි ද සිතී ය. පශ්චිමයාමයෙහි මහාබ්‍රහ්ම තෙමේ මුළු වනය එකලු කරමින් බුදුරජුන් වෙත ගොස් ආයේ ය. බඹහු ද දැක පුදුමයට පැමිණි ජම්බුක තෙමේ බුදුරජුන් වෙත ගොස් පිළිසඳර කතා කොට එකත් පසෙක සිට ‘මහාශ්‍රමණය! සිවුදිගුන් බබුලුවමින් ඔබ වෙත පැමිණියෝ කවුරු දැ’ යි ඇසී ය. ‘ප්‍රථමයාමයෙහි සතරවරම් රජුහු, මද්ධ්‍යමයාමයෙහි සක්දෙව් රජහු, පශ්චිමයාමයෙහි මහබඹහු ආහ’ යි වදාළ කල්හි ‘ආවෝ කුමකට දැ?, යි ඇසී ය. ‘මට උවටැනට ය’ යි බුදුරජානන් වහන්සේ වදාළ සේක. ‘ඔබ ඔවුනටත් වඩා උසස් වහු දැ’ යි ජම්බුකයා ඇසී ය. ‘ඔව්! මම ඔවුනට වඩා ඉතා ම උසස්මි, මම ඔවුන්ගේ රජ වෙමි, මම ලොව ශ්‍රේෂඨයෙමි, සක්දෙව්රජ ආයේ මට උවටැනට ය, ඔහු මාගේ වැඩකරු ය, මට නිතර උවටැන් කරණ සාමණේර නමක් සමාන ය, මහාබ්‍රහ්මයා ආයේ මා පා වඳින්නට ය, මම අතිබ්‍රහ්ම වෙමි, කිඹිසිල්ලක් ගියත් පා හැපුනත් මිනිස්සු බ්‍රහ්මයාට නමස්කාර වේවා, යි කියති, එහෙත් ඔහු මා පා වඳී’ යි වදාළ සේක.
‘ශ්‍රමණය! පුදුම යි! ඔබ මහත් අනුභාව ඇතියහු, මා මෙහි පණස් පස් අවුරුද්දක් වෙසෙතත් මොවුන්ගෙන් එකෙක් වත් උවටැනට තබා මා දකින්නට වත් ආවේ නැත, මා මෙතෙක් කල් ගෙවූයේ සිට ගෙණ හුළං බොමින් ය’ යි ජම්බුකයා කී විට ‘බුදුරජානන් වහන්සේ ‘තෝ මේ රටෙහි මෝඩ මිනිසුන් රවටන ලෙසට මාත් රවටන්නට සිතූයෙහි ය, හා! වේවා! මේ අවුරුදු පනස් පහේ ම තෝ අසුචි කෑයෙහි නො වෙහි ද? තල්ඇට කඩකින් කෙස් ඉදුරුවෙහි නො වෙහි ද? එහෙත් තෝ රට රවටමින් ‘මම හුළං අනුභව කරමි, එක පයින් සිටිමි, නො ඉඳිමි, නො නිදමි, යි කියන්නෙහි, ඒ හැටියෙන් මාත් රවටන්නට සිතූයෙහි, තෝ පෙර කළ පව් වැරදි අදහස් නිසා මෙතෙක් අසුචි අනුභව කරන්නෙක්, බිම නිදන්නෙක්, හෙලුවෙන් ඉන්නෙක්, තල්ඇට කඩකින් කෙස් උගුල්ලනෙක් වෙහි, දැනුත් වැරදි දැකුම් ඇත්තෙක් වෙහි’ යි වදාළ සේක. එවිට ජම්බුක තෙමේ ‘මා විසින් කළ කර්‍මය කිමැ’ යි ඇසී ය. බුදුරජුන් ඔහු පෙර කළ කර්‍මය වදාළවිට ඔහුට බලවත් සංවේගයෙක් උපන. ලජ්ජාභය හට ගැණින. එයින් එහි ම උක්කුටුකයෙන් හිඳගත. බුදුරජානන් වහන්සේ ඔහුට නානකඩක් දුන්හ. ඔහු එය ඇඟ වට දවටා ගෙණ පසකට විය. එවිට උන්වහන්සේ පළමු කොට ආනුපුබ්බී කථාව වදාරා දහම් දෙසූ සේක. ඒ අවසන්හි සිවුපිළිසැඹියාවන් සමග රහත් ව බුදුරජුන් වැඳ හුන් තැනින් නැගිට පැවිදි උපසපන් බව් ඉල්ලී ය. එ කෙණෙහි පෙර කළ සියලු පව් කැපී ගියේ ය.
පෙර මොහු රහත් නමකට ආක්‍රෝශ වස්තු සතරකින් තදින් බැණ වැදුනේ ය. ඒ පවින් මේ මහපොළොව තුන් ගව්වකුත් යොදුනක් වැඩෙනතුරු අවීචිමහානරකයෙහි පැසී තැළී ගියේ ය. එහි පැසී ඉතිරි වූ ඉතා සුලු පව්කම් විසින් පණස් පස් අවුරුද්දක් මේ තත්ත්‍වයෙන් දවසැරියේ ය. මෙතෙකින් මොහුගේ ඒ මේ පව්කම ගෙවින. අවුරුදු විසිදහසක් කළ මහණකමේ විපාකය නො නැසුනේ ය. එ හෙයින් බුදුරජානන් වහන්සේ දකුණත දිග් කොට ‘මහණ! මෙහි එන්න! බඹසර හැසිරෙන්නැ’ යි වදාළ ඇසිල්ලෙහි ගිහි ලකුණු පහව ගියෙන් අට පිරිකර දරා සැටවස් පිරි මහලු මහණකු සේ බුදුරජුන් ඉදිරියෙහි සිට ගත.
මෙ දවස වනාහි අඟුමගද වැස්සන් මොහුට පුදපඬුරු ගෙණා, දවසෙක් විය. එහි ඒ ආවෝ බුදුරජුන් දැක ‘කිම! අපගේ ආර්‍ය්‍ය වූ ජම්බුකයෝ මහත්වන සේක් ද, නැත, බුදුරජහු මහත්වන සේක් ද, බුදුරජහු මහත්වන සේක් නම්, ජම්බුකයන් කරා නො එති, ජම්බුකයෝ ඔහු කරා යෙති, ජම්බුකයන් ම මහත්වන බැවින් බුදුරජහු ජම්බුකයන් කරා ආහ’ යි සිතූහ. එවිට බුදු රජානන් වහන්සේ ‘ජම්බුකය! තාගේ මේ උපස්ථායකයන්ගේ
සැකය සිඳලව’ යි වදාළ සේක. ඔහු ‘ස්වාමීනි! මම බුදුරජුන් වදාරනතුරු නො ඉවසිල්ලෙන් බලා සිටියෙමි’ යි චතුර්‍ත්‍ථධ්‍යානයට සමවැද ඉන් නැගිට මාපටැඟිල්ල හා මැදැගිල්ල විදහා ගත් පමණින් තාලයක් අහසට නැගී ‘ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! මම භාග්‍යවතුන් වහන්සේගේ සුවච ශිෂ්‍යයෙක්මි’ යි කියා අහසින් බැස වැඳ නැවැතත් දෙ තලෙක, ති තලෙකැ යි මෙසේ සත්තලක් අහසට නැඟී බිමට බැස තමන් බුද්ධශ්‍රාවකයකු බව පෙන්වී ය. මහාජන තෙමේ ඒ දැක ‘බුදුවරු නම් මහත් අනුභාව ඇත්තාහ, අලාමක වූ ගුණ ඇත්තාහ’ යි සිතන්නට කියන්නට වන. බුදුරජානන් වහන්සේ ‘මෙතෙමේ මෙතෙක් කල් ඔය දායකයන් දුන් ලාභසත්කාර හී තණගින් ගෙන දිවග තබමින් තපස් කරමි’ යි මෙහි හුන්නේ ය, මෙලෙසින් සියක් අවුරුද්දක් තපස් කළත් ඒ තපසට වඩා කාලය ගැණ හෝ බත ගැණ හෝ කුකුස් උපදවා නො වළඳන්නහුගේ සිතෙහි හටගත් ඒ මේ භත්තච්ඡෙදනකුශල චේතනාව ම ඉතා මහත් වේ, ඒ චේතනාව පිළිබඳ සොළොස්වන කොටස පමණවත් සියක් අවුරුද්දක් කළ තපස නො අගනේ ය’ යි අනුසන්ධි ගළපා මේ ධර්‍ම දේශනාව කළ සේක:-
මාසෙ මාසෙ කුසග්ගෙන බාලො භුඤ්ජෙථ භොජනං,
න සො සඞ්ඛතධම්මානං කලං අග්ඝති සොළසිත්ති.
නුවණ නැත්තේ මසකට වරක් කුසතණ අගින් බොජුන් අනුභව කරන්නේ ද, හෙතෙමේ, දන්නාලද ධර්‍මය ඇති රහතුන් වහන්සේලාගේ සොළොස්වන කලාවටත් නො පැමිණේ.
මාසෙ මාසෙ = මසෙක්හි මසෙක්හි.
මෙහි මසක් පාසා මසකට වරක් යන අදහස යි. මාස, යි කියනු ලබන්නේ රෑ දාවල් තිසකින් පිරිසිඳ ගත් පිරිසිඳින කාලය යි. මේ කාලප්‍රමාණය සත්වයන්ගේ ආයුසය මනින්නා සේ කෙළවර කරන්නේ මාස නම් වීය, යි කියති. මේ කරණ කොට ප්‍රමාණ කරණු ලැබේ නු යි හෝ මාස නමැ, යි ද යෙත්. ‘සත්තානං ආයුං මිනන්තො විය සීයති අන්තං කරොතී ති = මාසො, මස්‍යතෙ පරිමීයතෙනෙනෙති = මාසො’ යි එහි අර්‍ත්‍ථ සමර්‍ත්‍ථනය යි. පුබ්බණ්ණමාසයෙහි හා අපරණ්ණමාසයෙහි ද මාස, යනු වැටේ. ‘මම ඉදන්ති මසීයති ආමසීයති ගණ්හීයතීති’ යනු පුබ්බණ්ණ මාසය සඳහා කීයේය. ‘මසීයති භක්ඛීයතීති’ යනු අපරණ්ණ මාසය සඳහා කීයේය. මේ දෙක ම මෙහි වූ මාස ශබ්දයෙන් නො ගැණේ. මෙහි ගැණෙනුසේ පෙර කියූ කාලපරිච්ඡේදය යි.
කුසග්ගෙන = කුසතණ අගින්.
කුණ්ඨතිණ, යි ද මෙයට නමෙක් වේ. ‘කුණ්ඨතිණෙසු’ ති කුසතිණෙසු ඛුද්දකතිණෙසු වා’ යන මෙයින් ඒ පැහැදිලි ව පෙන්. ‘කු පාපං ශ්‍යති නාශයති, යද්වා කෞ භූමෞ ශෙතෙ රාජතෙ ශොභතෙ = කුශම්’ යනු සංස්කෘතකෝෂ යි. පසු කියූ තේරුම කෙසේ වුව ද, මුලින් කියන ලද්ද ඇදහිය යුතු නො වේ. ගසකින් වැලකින් ගලකින් කොළයකින් පව් නැසීමෙක් සිදු නො වේ. මෙයට පර්‍ය්‍යාය වශයෙන් කුථ, දර්‍භ, පවිත්‍ර, යාඥික, හ්‍රස්වගර්‍භ, වර්හි, කුකුප, සූච්‍යග්‍ර, භූෂණ, දීර්‍ඝපත්‍ර, ක්‍ෂුරපත්‍ර යනාදිය කෝෂග්‍රන්ථයන්හි දක්නට ලැබේ. වෛදිකයන් මෙයට උසස් තැනක් දෙන ලද්දේය. එ හෙයින් ම ඔවුහු ඇතැම් මඞ්ගලක්‍රියාවන්හි ලා දෙවියන් පිදීමට ගණිති. ඒ ඒ ක්‍රියාවන්ට කුශතෘණ ගැණීමෙන් ඔවුහු බලාපොරොත්තු වනුවෝ ඒ ඒ ක්‍රියාවන්හි පිරිසිදුකම ය. ‘පූජා කාලෙ සර්‍වදෛව කුශහස්තො හවෙච්ඡුචිඃ’ යනාදියෙන් එය පැහැදිලි ය. ‘කුශෙන රහිතා පූජා විඵලා කථිතා මයා’ කුශතෘණ රහිත පුජාව විඵල බව මෙයින් කියන ලද්දේ ය. කුසතණ අගින් ගෙණ අහර බුදීම පාපනාශය පිණිස වේ ය යි බාහිරකයෝ සැලකූහ. ඔවුහු එසේ ද කළහ. එසේ කිරීමෙන් පව්නැසීමක් නො වන බව බුදුරජානන් වහන්සේ මේ දේශනාවෙන් පැහැදිලි කළ සේක. ඒ එසේම ය. එහෙත් බාහිරකයන් අනුව ගිය ඇතැම් බෞද්ධයෝ ද ඇතැම් තැන්හි කුසතණ පුජාවස්තු වශයෙන් ගත්ත. දැනුදු ගණිති. තෙරුවන් උදෙසා කම්පල අදහා කුමක් පිදුව ද, එයින් පින් සිදු වේ. ඒ පිණෙන් ඉෂ්ට ඵලයක් ලැබීම කර්‍මනියාමය වේ. ඉෂ්ටඵලලාභය පව් නැසීමෙකැ යි කිය හැකි ය. එය කොයි පූජාවක් උදෙසා වුව ද යෙදේ. කුසතණ පූජාවට පමණක් යෙදෙන්නෙක් නො වේ. ‘කුසති ඡින්‍දති කවති වාතෙන නදති කු විය සත්‍ථං විය ගණ්හන්තානං ගත්ථප්පදෙසං සයති ජීන්දතීති - කුසො’ යනු පාළි පොත්වල එන තේරුම් ය.
මෙහි කුස ශබ්දය හා එක්ව සිටි අග්ග ශබ්දයෙන් අග, තුඩ කෙළවර, කිය වේ. ‘ආදි කොට්ඨාස කොටීසු පුරතොග්ගං චරෙ තිසු’ යනු කොෂාගත ය.
බාල, යන්නෙන් මෙහි දක්වන ලද්දේ යමක් කමක් නො තේරෙන අඥතෙමේ ම නො වේ. නො දත් දහම් ඇති දහම් පිරිසිඳ නො දත් ශීලාදිගුණධර්‍ම කිසිත් නැති බාහිර තීර්‍ත්‍ථායතනයන්හි පැවිදි වූ කුහකකම් කරන්නේ ද අදහස් කරණ ලද්දේ ය. මෙහි අදහස් කරන ලද්දේ හේ ය. ‘බාලො අපරිඤ්ඤාතධම්මො සීලාදිගුණපරිබාහිරො තිත්‍ථායතනෙ පබ්බජිතො’ යනු අටුවාය.
තීර්‍ත්‍ථායතනයන්හි පැවිද්ද, මොහුගේ අඥත්වය දියුණුවීමට හේතු ය. දහම් නො දැනීමටත් ශීලාදිගුණයන්ගෙන් බැහැර වීමටත් ඒ පැවිද්ද කරුණු ය. තීර්‍ත්‍ථායතනැ යි කීයේ තීර්‍ත්‍ථකයන්ගේ වාසස්ථානය ය. දෙසැට මිසදිටු ඉපදීමට හේතු කරුණුත් තීර්‍ත්‍ථායතන යි කියනු ලැබේ. දෙසැට මිසදිටු තීර්‍ත්‍ථ නමි, ඒ ඉපදවූවෝ තීර්‍ත්‍ථඞ්කරයෝ ය. තීර්‍ත්‍ථඞ්කරයන් විසින් ඉපද වූ දෙසැට මිසදිටු ප්‍රිය කරන්නෝ, ඔවුන් පරලොව මිදුමට අදාළය යි පිළිගන්නෝ තීර්‍ත්‍ථකයෝ ය. ඔවුන්ට සිවුපසය දෙන්නෝ තීර්‍ත්‍ථශ්‍රාවකයෝ ය.
න සො සඞ්ඛතධම්මානං කලං අග්ඝති සොළසිං = නො දත් සිවුසස් දහම් ඇති ඒ අඥ තෙමේ සිවුසස් පිරිසිඳ දත් රහතුන් වහන්සේගේ සොළොස්වන කලාවටත් නො පැමිණේ.
සඞ්ඛතධම්මානං, මින් ගැණෙන්නෝ අටවැදෑරුම් ආර්‍ය්‍යයන් වහන්සේ ය. සෝවන්වූවහු පටන් රහත්වූවහු තෙක් මෙ අතර සිටි ආර්‍ය්‍යයන් වහන්සේ ම සිවුසස් දහම් පිරිසිඳ දත්තෝ ය. ‘හෙට්ඨිමකොටියා සොතාපන්නො සඞ්ඛතධම්මානං උපරිමකොටියා බීණාසවො, ඉමෙසං සඞ්ඛතධම්මානං’ යි අටුවා ය. චතුර්විධ මාර්‍ගඥානයෙන් සොළොස් කිස සපැයීමෙන් චතුසත්‍යාවබෝධය කොට කරණ ලද කටයුතු ඇත්තෝ සඞ්ඛතධම්ම යි කියනු ලැබෙත්.
කලං, මෙහි ප්‍රකෘතිය කලා, යනු වේ. ඒ වනාහි අංශ, ශිල්ප චන්ද්‍රයාගේ සොළසමභාග යන අරුත්හි වැටේ. ගීතවාද්‍යාදී වූ සිවු සැට කලාවෝ ද මෙයින් කියවෙති. තවත් නොයෙක් අර්‍ත්‍ථ සංස්කෘතකෝෂයන්හි දක්නට ලැබේ. මෙහි ආවා කොට්ඨාශවාචකට ය. සොළසිං, යන්න කලං, යන්නට විශේෂණ ව සිටි හෙයින් මෙහි සොළොස්වන කොටස කිය වේ. ‘සොළසන්නං පූරණි = සොළසී යනු වාක්‍ය යි. එකක්, කොටස් සොළස සොළස බැගින්, සොළොස් වරක් බෙදා ගන්නා කොටස, සොළොස්වන කලා, යි ගැණේ. සොළොස්වන වර සොළොසකට බෙදීමේ දී ලැබෙන එක් කොටසක් මෙයින් කියත්. ඇතැම් කෙනෙක් එකක්, සොළොස් කොටසක් කොට බෙදා ගන්නා එක් කොටස කලා යි ගණිත්. ඒ නො මැනැවි. ආවාර්‍ය්‍යමතය මෙසේ වෙනස් වුවත් මෙයින් ගැනෙන්නේ ඉතා සුලු කොටසක් බව සැලකිය යුතු ය.
සිවු පස් දහම් නො දත් සීලාදිගුණයන්ගෙන් තොර වූ කොහොන් පිළිවෙත් පුරණ තීර්‍ත්‍ථකයකුට, සියක් අවුරුද්දක් ලෝකය රවටමින් කරණ මිථ්‍යාතපසින් ලැබෙන්නා වූ ඵලය සිවුසස් දහම් පිරිසිඳ දත් රහතුන් වහන්සේට කාලයෙහි හෝ ආහාරයෙහි කුකුස් කොට එක් දවසක් අහර නො වැළඳීමෙන් උපන් කුසල චේතනාව සොළොසට බෙදා, නැවැතත් ඉන් එක් කොටසක් සොළසට ය, සොළසට ය යි මෙසේ සොළොස් වරක් බෙදීමෙන් ලැබෙන කොටසට කිසිලෙසකින් සම නො වන්නේ ය. කොහොන් තපස් කරන්නාහට තපස් කිරීමෙන් ලැබෙන්නා වූ ඵලයට වඩා ආර්‍ය්‍යයන් වහන්සේ ගේ පෙර කියූ කුසලචේතනාව පිළිබඳ සොළොස්වන කලාව ම ඉතා මහත් යි වදාළ සේක.
මේ අටුවා:- “යාව තස්ස තථා තපචරණං පූරෙන්තස්ස වස්සසතං චෙතනා යාවස්ස සඞ්ඛතධම්මානං කාලං වා භත්තං වා කුක්කුච්චායිත්වා අභුඤ්ජන්තානං එකභත්තච්ඡෙදන කුසලචේතනා, තස්සා චෙතනාය සා තාව දීඝරත්තං පවත්ත චේතනා සොළසිං කලං නාගඝති. යං තස්සා සඞ්ඛතධම්මානං චේතනාය ඵලං. තං සොළසකොට්ඨාසෙ, කත්වා තතො එකෙකං පුන සොළස සොළස කොට්ඨාසෙ කත්‍වා තතො එකෙකං කොට්ඨාසස්ස යං ඵලං, තදෙව තස්ස බාලස්ස තපචරණතො මහන්තතරං” යනු.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි අසූසාර දහසක් ප්‍රාණීන්ට ධර්‍මාවබෝධය වූයේ ය.
ජම්බුකාජීවක වස්තුව නිමි.