මධුවා මඤ්ඤති බාලො යාව පාපං න පච්චති
යදා ච පච්චති පාපං අථ බාලො දුක්ඛං නිගච්ඡති.
අකුශල කර්‍මය යම් තාක් විපාක නො දේ ද, ඒ තාක් අඥාන තෙම එය මී මෙන් මිහිරි කොට සිතන්නේ ය. යම් කලෙක අකුශල කර්‍මය විපාක දේ ද, එ විට අඥාන තෙම බලවත් දුකට පැමිණෙයි.
උත්පලවර්‍ණ, ස්ථවිරා තොමෝ පශ්චිමභවිකකෘතපුණ්‍ය භික්‍ෂූකියක් වූ ය. ඕ තොමෝ පියුමතුරා බුදුරජුන් ඉදිරියෙහි දී උන්වහන්සේගෙන් ලත් වරප්‍රසාද ඇත්තී, ප්‍රර්‍ත්‍ථනා තබා කල්පලක්‍ෂයක් මුළුල්ලෙහි පින් දහම් කරමින් දෙව් මිනිසුන් අතර ම සැරිසරා එන්නී, අප බුදුරජුන් දවස දෙව්ලොවින් චුත ව සැවැත්නුවර සිටු ගෙයක උපන්නී ය. නිලුපුල් පැහැය සේ පැහැය ඇති බැවින් උත්පලවර්‍ණා යි ඇයට නම් කළහ. ඇය වැඩිවිය පැමිණි කල දඹදිව ඒ ඒ දිසා වැසි රජ කුමරුවෝත් සිටු කුමරුවෝත් ‘උත්පලවර්‍ණාව අපට දෙව’ යි ලියුම් පණිවිඩ එවූහ. එ කල එහි ද මැය පතා ලියුම් නො එවූ වැදගත් එකෙක් නො ද වී ය. සිටු තෙමේ ‘මට හැම කෙනකුන්ගේ ම සිත් සනසන්නට නො හැකි ය. එකක්හට දුන්නොත් අනෙකෙක් විරුද්ධ ව නැග එන්නේ ය. එහෙයින් පැවිදි කරවන්නෙමි’ යි සිතා ඇය ගෙන්වා ‘දුව! මහණවන්නට නරක දැ’ යි ඇසී ය. ඒ වචනය, සියවරක් පිස පිරිසිදු කළ තෙලක් හිසෙහි වක්කළාක් මෙන් වී එක්වරින් ම ‘පියානන් වහන්ස! කැමැත්තෙමි’ යි කි වූ ය.
එවිට සිටු තෙමේ හැම සැලකිල්ලක් ම කොට ඇය මෙහෙණවරට කැඳවාගෙණ ගොස් පැවිදි කරවීය. පැවිද්දෙන් කල් නො ගිය බැවින් පොහෝ ගෙයි වත් කිරීමේ වාරය ඇයට නියම ව තිබින. එහෙයින් ඕතොමෝ පොහෝගෙය. හැම ද දමා පිරිසිදු කොට පහන් දල්වා දැල්ලෙහි නිමිති ගෙණ සිටියා නැවැත නැවැත එය ම බලන්නී, තේජෝ කසිණජ්ඣානය උපදවා එය ම පාදක කොට විදසුන් වඩා රහත් වූ ය. ඒ හාම සිවු පිළිසැඹියා හා ෂඩභිඥාවන් ද ලැබූ ය. ටික දවසකින් පසු දනවු සැරි සැරීමට ගොස් හැරී ආවා, අඹ උයනට වැද හුන්නී ය. මෙ දවස භික්‍ෂුකීන්ට වනයෙහි විසීම තහනම් නො කළ බැවින් ඕ තොමෝ එහි කිළියක් තනා ඇඳක් තබා තිරයකින් වට කොට හිඳිනට වන. මේ කාලයෙහි දිනෙක ඕ තොමෝ සැවැත් නුවරට පිඬු සිඟා ගියා ය. මේ අතර නන්ද නම් තරුණයා අඹ උයනට ගියේ කිළිය තුළට වැද පනවා තුබු ඇඳ යටට රිංගා සැඟ වී හුන්නේ ය. ස්ථවිරාවන්ගේ මාමා කෙනකුගේ පුත් වූ නන්ද තෙමේ කුඩා කල පටන් ඇය කෙරෙහි ඇලුනු සිත් ඇති ව සිටියේ ය. ස්ථවිරා තොමෝ පිඬු සිඟා අවුත් කිළියට ඇතුල්වීමෙන් ඇස් අඳුරුව ගිය බැවින් දොර අඩවල් කොට තබා විඩා හරින්නට ඇඳෙහි වැතිර ගත්තා ය.
එවිට ඇඳ යට සිටි නන්ද තෙමේ ස්ථවිරාවන්ගේ ඇස්හි වැටී තුබූ අඳුර පහව යන්නටත් කලින් ඇඳට නැංගේ ‘බාලය! නො නැසෙව, බාලය නො නැසව’ යි වළකනු ලබන්නේ ද කාමදාහය සංසිඳුවා ගත නො හී තමා බලාපොරොත්තු වූ පව්කම කොට ඇඳෙන් බැස බිම සිට ගත. එකණෙහි ම පොළොව පැළින. නන්දයා පොළොව ගැලී ගියේ අවීචිමහානරකයෙහි උපන්නේ ය. ඉක්බිති ස්ථවිරා තොමෝ මේ පුවත අනික් ස්ථවිරාවන්ට දැන් වූ ය. ඔවුහු භික්‍ෂූන්ටත්, භික්‍ෂූහු බුදුරජුන්ටත් දන්වා ලූහ. එ කල බුදුරජානන් වහන්සේ භික්‍ෂූන් අමතා ‘මහණෙනි! භික්‍ෂු භික්‍ෂුකී උපාසක උපාසිකා යන මොවුන් අතර යම් අඥයෙක් වේ නම්, ඔහු පව් කම් කරන්නේ, මී හකුරු, සූකිරි ආදී යම්කිසි මිහිරි දෙයක් කන්නා වූ පුරුෂයකු සේ තුටු පහටු සිත් ඇතිව’ යි අනුසන්ධි ගළපා මේ ධර්‍ම දේශනාව කළ සේක:-
මධුවා මඤ්ඤති බාලො යාව පාපං න පච්චති,
යදා ච පච්චති පාපං අථ බාලො දුක්ඛං නිගච්ඡතී ති.
පව්කම යම්තාක් විපාක නො දේ ද, ඒ තාක් අඥ තෙමේ එය මී මෙන් සිත යි. යම් කලෙක වනාහි පව්කම විපාක දේ ද, එ කල අඥ තෙමේ දුකට පැමිණෙන්නේ ය.
මධු වා මඤ්ඤති බාලො යාව පාපං න පච්චති = යම්තාක් පාපය නො පැසේ ද, ඒතාක් අඥ තෙමේ (එය) මී මෙන් සලක යි.
පව්කම් කරණ අඥයාහට වනාහි තමන් කරණ ඒ පව්කම විපාක දෙනතුරු. මිහිරක් සේ මන වඩන්නක් සේ හිතයක් සේ වැටහෙන්නේ ය.
මධු, යනු, මිදිරස මල්රස මී වද යනාදියෙහි ආයේ ය. මිහිරි හැම දෙයක් ම මෙයින් කිය වේ. වා යනු සදෘශ භාවාර්‍ත්‍ථයෙහි නිපාත යි. එහෙත් ඇතැම් කෙනෙක් මධුවා, යන්න මධු, ඉව, යි වෙන් කරත්. එසේ වෙන් කොට ව යනු වා, යි ගණිත්, ඒ නො මැනැවි. සලකා බැලිය යුතුයි. මඤ්ඤති යනු ක්‍රියා පදයි. හඟියි, සිතයි, කල්පනාකර යි, අදහස් කර යි, යනාදි ලෙසින් එය සිංහලයට නැගිය හැකි ය. පාපං, යනු යට කියන ලදී. පච්චති, පැසේ. විපාක දේ, යන තේරුම ය.
යදා ච පච්චති පාපං අථ බාලො දුක්ඛං නිගච්ඡති - යම් කලෙක පාපය පැසේ ද, එකල අඥ තෙමේ දුකට පැමිණේ.
යම් කලෙක වනාහි මෙලොවදී නන් වැදෑරුම් කම් කටොලු කරවමින් ද, පරලොව නරකයෙහි උපදවා මහත් දුක් අනුභව කරවමින් ද, කළ පාපය පැසෙන විට කළ පව්කම් ඇත්තේ බලවත් දුකට පැමිණෙන්නේ ය. කළ කම් විපාක දෙන සැටි යට කියන ලදී.
ධර්‍ම දේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියෝ ය.
ටික දවසකට පසු ධර්‍මසභාවට රැස් වූවෝ ‘රහතුන් වහන්සේලා ද කම්සැප වළඳති, එසේ නම් කාමසේවනය නො කරන්නෝ කවුරු ද? මොවුනුත් සේවනය නො කරණ දෙයක් මිනිසුන් අතර තිබේ ද? කොලොපරුක් නො වෙති මොවුහු, තුඹස් නො වෙති, ලේ මසින් යුත් සිරුරු ඇත්තෝ ය, එහෙයින් කම්සැප විඳිති’ යි කතා කරන්නට වූහ. ඒ අවස්ථාවෙහි එහි වැඩම කළ බුදුරජානන් වහන්සේ ‘මහණෙනි! තමුසේලා දැන් මෙහි කුමක් කතා කරමින් හුන්නහු දැ’ යි විචාරා භික්‍ෂූන් ‘මෙ නම් කතාවක් කරමින් හුන්නෙමු’ යි කී කල්හි ‘මහණෙනි! රහත්හු කම් සැප නො ඉවසති, කාම සේවනය නො කෙරෙති, පියුම් පතෙහි වැටුනු දිය බිඳ යම් සේ එහි නො ඇලේ ද, නො පිහිටා ද, පෙරළී ගොස් වැටේ ද, හිදි අගක අබ ඇටය නො රැඳේ ද, නො පිහිටා ද, පෙරළී බිම වැටේ ද, එ පරිද්දෙන් ක්‍ෂිණාශ්‍රවයාගේ සිත්හි දෙවැදෑරුම් වූ ම කාමය නො රැඳේ, නො පිහිටා ය’ යි වදාරා අනුසන්ධි ගළපා ධර්‍මදේශනා කරණ සේක් මේ ගාථා ධර්‍මය වදාළ සේක:-
“වාරි පොක්ඛරපත්තෙව ආරග්ගෙරිව සාසපො,
යො න ලිම්පති කාමෙසු තමහං බ්‍රෑමි බ්‍රාහ්මණන්ති”
මෙහි තේරුම මතු එන්නේ ය. ඉක්බිති බුදුරජානන් වහන්සේ පසේනදි කොසොල් රජු කැඳවා ‘මහරජ! මාගේ මේ සාසනයෙහි කුලපුත්‍රයන් මෙන් ම කුලදුහිතෘහු ද මහත් නෑ සමූහයාත් භෝග සමූහයාත් හැරදමා අවුත් පැවිදිව වෙනෙහි වසත්, මෙසේ වෙනෙහි වසන ඈලා රාගයෙන් රත් වූ පාපී පුද්ගලයෝ අවමාන අතිමාන වසයෙන් වෙහෙස කෙරෙත්, බ්‍රහ්මචර්‍ය්‍යාන්තරායට ද පමුණුවත්, ඒ නිසා භික්‍ෂුකීසංඝයාට විසීමට නුවර තුළ ම අසපුවක් කරවීම සුදුසු ය’ යි වදාළහ. රජ ද ‘යහපතැ’ යි පිළිගෙණ නුවර තුළ එක් පසෙක භික්‍ෂුකීසංඝයා උදෙසා වාසස්ථානයක් කරවූයේ ය. එ තැන් පටන් භික්‍ෂුකීහු නුවර තුළ ම වාසය කෙරෙත්.
උත්පලවර්‍ණස්ථවිරා වස්තුව නිමි.