තඤ්ච කම්මං කතං සාධු යං කත්වා නානුතප්පති
යස්ස පතීතො සුමනො විපාකං පටිසෙවති.
යම් කර්‍මයක් කොට සත්ත්‍ව තෙම නො තැවේ ද, යම් කර්‍මයක්හුගේ ඉෂ්ට විපාකය ප්‍රිතිවේගයෙන් පිණා ගියේ සොඳුරු සිතැති ව අනුභව කෙරේ ද, එබඳු කුශල කර්‍ම කිරීම මැනැවි.
අප බුදුරජුන් දවස සුමන නම් මල්වඩම් ගොතන්නෙක් විය. ඔහු දිනපතා උදෑසන ම බිම්සර මහ රජුට සමන්මල් අට නැළියක් ගෙණ ගොස් දී කහවණු අටක් ලබා ගණි යි. දිනෙක ඔහු මලුත් ගෙණ. නුවරට වන් කල්හි ස්වාමිදරු වූ සම්මා සම්බුදුරජානන් වහන්සේ මහණ ගණයා පිරිවරාගෙණ ෂඩ්වර්‍ණ ඝන බුද්ධරශ්මිය විහිදුවමින් මහත් වූ බුද්ධානුභාවයෙන් පිඬු පිණිස නුවරට පිවිසියහ. සමහර කලෙක, උන්වහන්සේ අඟුල්මල් තෙරුන්ගේ ඉදිරියට තුන් යොදුන් මඟ ගෙවා ගිය ගමන් සේ සවණක් රැස් සිවුරෙන් වසා, පිඬු සිඟා යන එක්තරා භික්‍ෂු නමක් සේ වඩින සේක. සමහර කලෙක, කිඹුල්වත් පුරයට වැඩම කළ සේ, සවණක් රැස් විහිදුවමින් වඩින සේක. මෙ දවස ද උන්වහන්සේ බුදු සිරුරින් බුදුරැස් විහිදුවමින් මහත් වූ බුද්ධානුභාවයෙන් හා මහත් වූ බුද්ධලීලාවෙන් රජගහානුවරට වැඩියාහ. සුමන මාලාකාර නෙමේ ද, අතරමග සිටියේ රුවන් ඇගෑ රන් ඇගෑ ලෙසින් සැදුනු දෙතිස් මහා පුරිස් ලකුණෙන් හා අසූවක් පමණ කුඩා ලකුණෙන් බබලන බුදුරජුන්ගේ සිරුර දැක, පහන් සිත් ඇත්තේ ‘කවර නම් සත්කාරයක් කරම් දැ’ යි සිතා අනිකක් නො දක්නේ ‘මේ මලින් බුදුරජුන් පුදන්නෙමි’ යි ද කල්පනා කොට නැවැත ‘මේවා රජුට ගෙණ යන මල් ය, මේවා, රජුට ගෙණ ගොස් නො දුන්නෙම් නම්, මා සිරගෙයි ලන්නේ ය, මරවන්නට හෝ රටින් පිටිවහල් කරවන්නට හෝ බැරි නැත, කුමක් කරම් දැ’ යි සිතූයේ ය. ‘හා කුමක් හෝ වේවා, කමක් නෑ, මා මැරුවත් සිරගෙයි ලෑවත්, රටින් පිටිවහල් කළත්, හොඳට ම දුන්නත් රජතුමන් මට දෙන්නේ මේ ලොව යම්තමකින් ජීවත්වීමට සෑහෙන මුදල් ටිකක් ය, මේ මල් බුදුරජානන් වහන්සේට පිදුවොත් එය මට නොයෙක් කෙළ ගණන් කප්හි හිතයටත් සැපයටත් පමණ වන්නේ ය’ යි සිතා සිය දිවිය පළමුකොට පුදා නැවැත ‘මාගේ මේ පහන් සිත පසු බසින්නට අන් අතකට පෙරළෙන්නට කලින් මල් පුදන්නෙමි’ යි සිතා, තුටු පහටු වූයේ පළමු කොට මල් මිටි දෙකක් ගෙණ බුදුරජුන් හිස මතට වීසි කෙළේ ය. ඒ මල් මිටි දෙක බුදුරජුන් මත්තෙහි වියනක් සේ සිට ගත. ඉනික්බිති තවත් දෙමිටක් වීසි කෙළේ ය. ඒ දකුණත් පස මල් තිරයක් සේ සැදී සිට ගත. තවත් දෙමිටක් දැමී ය. ඒ දෙමිට බුදුරජුන්ගේ පිටිපස මල් තිරයක් සේ බැස සිටියේ ය. නැවැත අනික් දෙමිටක් ද දැමී ය. ඒ දෙමිට වමත් පසින් බැස තිරයක් සේ සිට ගත්තේ ය. මෙසේ මල් අට නැළිය, අටමිටක් කොට පිදූයේ බුදුරජුන් වට කොට සතර තැනෙක පිහිටියේ ය. ඉදිරිපස වඩනට පමණින් දොරකඩ පිළියෙල විය.
මාගේ ස්වාමිදරුවානෝ රිදීපටකින් වට කරණ ලද්දහු සේ ඉදිරිය බලා වැඩි සේක. සිත් පිත් නැති මල් වුව ද සිත් පිත් ඇති බුදුරජුන් නිසා සිත් පිත් ඇත්තා සේ නො බිඳී නො හැලී බුදු රජුන් සමග ම ගමන් ගණි යි. සිටින කල්හි සිටි යි. බුදුරජුන්ගේ ශ්‍රී ශරීරයෙන් සවන් රැස්, විදුලි ගසන්නාක් සේ විහිදෙයි. ඉදිරි පසින් පිටිපසින් දකුණු පසින් වම් පසින් හිස් මුදුනෙන්. නිකුත් රැස්, හමු හමු වූ අතින් නො ගොස් සියල්ල එකතු ව බුදුරජුන් තෙවරක් පැදකුණු කොට තරුණ ලොකු තල් කඳක් පමණ වී ඉදිරි පසින් දුවයි. මුළුනුවර ඇළලී ගියේ ය. එ දවස රජගහා නුවර ඇතුළෙහි නව කෙළක් ද, පිටත නව කෙළක්දැ යි අටළොස් කෙළක් මිනිස්සු වාසය කළහ. ඒ අටළොස් කෙළක් මිනිසුන් අතරෙහි එක් ම ගෑණියක් එක් ම පිරිමියෙක් කෑ යුතු දෙයක් ගෙණ නො ආයේ නො වී ය. මහාජන තෙමේ, මහත් සේ නාද කරමින් දහස් ගණන් පිළි හිස සිසාරමින් බුදුරජුන් ඉදිරියෙහි දිගට ගමන් ගත් පෙරහැරක් සේ සැදී ගමන් කර යි. ස්වාමිදරු වූ බුදුරජානන් වහන්සේ මල් කරුවාගේ ගුණ ප්‍රකට කොට කියනු කැමැති සේක්, තුන් ගවු පමණ නුවර රජ මාවතෙහිම වඩින සේක. මල්කරු, මහත් ප්‍රීතියෙන් පිරීතිරී ගියේ ය. ඔහු බුදුරජුන් සමග ටික දුරක් ම ගොස් සිරියෙල් කල්කයෙක ගැලී ගියා සේ බුදු රැස්හි ගැලී බුදුරජුන් ගුණ කියමින් වඳිමින් පුදමින් හිස් පසැත් ගෙණ සිය ගෙට ගියේ ය. එකල ඔහුගේ බිරිඳ ‘පැසෙහි ලා ගෙණ ගිය මල් කොහි දැ’ යි ඇසූ ය. ‘මා ඒ මල් බුදුරජුන්ට පුදන ලදැ’ යි ඔහු කී ය. ‘රජුට කරන්නේ කුමක් දැ’ යි ඇසූවිට, ‘දැන් කරන්නට දෙයක් නැත, රජ මා මැරුවත් හොඳයි, සිරගෙයි ලෑවත් මොක ද, රටින් පිටිවහල් කළත් කමක් නැත, මාගේ ජීවිතය මම බුදුරජුන්ට පූජා කෙළෙමි, ඊට පසු ගෙණ ගිය මලුත් අට මිටක් කොට පිදීමි, අන්න! දැන් එහි මහා පූජාවක්; මහාජන තෙමේ එකතු ව දහස් ගණන් ඔල්වර හඬ දෙමින් බුදුරජුන් සමග ම ගමන් ගෙණ සිටි යි, මේ ඇසෙන හඬ එහි රැස් ව සිටින. මහාජනයාගේ ය’ යි මහත් ප්‍රීතියෙන් කියා සිටියේ ය.
ඒ ඇසූ ඔහුගේ නුවණ මඳ බිරිඳ, මේ මහත් පෙළහරෙහි සතුට නො දක්වා බැණ වැදී නින්දා කොට ‘රජවරු බොහෝ චණ්ඩය හ, කිපියා වූ රජවරු එක්වරට ම වග තුග නො විමසා අත් පා සිඳවීම් ආදියෙන් බොහෝ අවැඩ කෙරෙත්, ඔය කළ වැඩෙන් මටත් වන්නේ නපුරෙකැ’ යි පුතුනුත් වඩා ගෙණ රජමාලිගාවට ගියා, රජු විසින් ඉදිරියට පමුණුවා ‘කුමක් නිසා දරුවනුත් වඩා ගෙණ මෙහි ආවා දැ යි අසන ලද්දී, ‘දේවයන් වහන්ස! මේ ලමයින්ගේ පියා නුඹවහන්සේට පිළිගන්වන්නට ගෙණ ආ සමන් මල් මග දී බුදුරජුන්ට පුදා හිස් අතින් ගෙදර ගියේ, ‘මල් කොහි දැ; යි මා ඇසූ විට ‘බුදුරජුන්ට පූජා කරණ ලදැ’ යි කී ය, මම ඔහුට වගපල කියා ‘ඔහේ කළ මේ වැඩෙන් අප කාටත් වන්නේ මහත් නපුරෙකැ’ යි ඔහු හැර දමා දේවයන් වහන්සේගේ පිහිට පතා මෙහි පැමිණියෙමි’ යි කියා, නැවැත ‘දේවයන් වහන්ස! අපේ එක්කෙනා කළ වැඩේ හොඳ හෝ වේවා, නරක හෝ වේවා, මට කරන්න ට දෙයක් නැත, මා ඔහු අත් හළ බව දැන වදාරැන්නැ’ යි කියා සිටියා ය. බුදුරජුන් දුටුදා ම සෝවාන් පලයට පැමිණි ආර්‍ය්‍යශ්‍රාවක වූ රජ තෙමේ ‘අනේ! මේ මෝඩ අම්මණ්ඩි මෙබඳු උසස් වැඩක දීත් සතුටු නො වන්නී ය’ යි කිපුනකු සේ වී ‘මොක ද අම්මා කියන්නී? මට ගෙණා මල් ද පුජා කෙළේ’ යි ඇසී ය. ‘එසේ ය! දේවයන් වහන්සැ’ යි ඇය කී විට ‘හා! අම්මා කළා හොඳ යි! ඔය මිනිහා හැර දමා, ඒ ගැණ කළ යුත්ත මම දනිමි, අම්මා යන්නැ’ යි ඇය පිටත් කොට, රජ තෙමේ වහා ගොස් බුදුරජුන් හා යන මහාජනයාට එකතු විය.
බුදුරජානන් වහන්සේ ඔහුගේ සිතෙහි සතුට දැන රජ මාවතින් නුවර හැසිර රජගෙට වැඩි සේක. රජ තෙමේ පාත්‍රය පිළිගෙණ බුදුරජුන් ගෙයි වඩා හිඳුවන්නට සූදානම් විය. එහෙත් උන්වහන්සේ ගෙමිදුලෙහි හිඳින්නට කැමැත්ත දැක් වූහ. රජ එය දැන වහා මණ්ඩපයක් කරවී ය. උන්වහන්සේ භික්‍ෂූන් සමඟ එහි වැඩ හුන්හ. ‘මම, ගේ තුළට වී හුන්නෙම් නම්, මහාජන තෙමේ මා නො දක්නේ ය, ඔවුනට මා දැක ගන්නට ඉඩෙක් නො ලැබේ, මල්කරුගේ ගුණයත් පළ නො වන්නේ ය, ගෙමිදුලෙහි හුන් විට මහාජනයාට මා දැක්ක හැකි ය, මල්කරුගේ ගුණයත් හැමතැන පැතිර ය යි, ගුණවතුන්ගේ ගුණය ඇති හැටියෙන් පතුරුවා හැරීමෙහි සමර්‍ත්‍ථයෝත් බුදුවරුම ය, අන් අය ගුණවතුන්ගේ ගුණ කීමෙහි මසුරු වෙත්’ යි ගේ තුළට නො වැද ගෙමිදුලෙහි වැඩ හුන්හ. එ කල්හි මල්පට සතර, සතර දිසාවෙහි සිට ගත. මහාජන තෙමේ බුදුරජුන් පිරිවරා හුන්නේ ය. රජ තෙමේ බුද්ධප්‍රමුඛ භික්‍ෂූන් ප්‍රණීත වූ ආහාර පානයෙන් වැළඳ වී ය. වළඳා අවසානයෙහි අනුමෙවෙනි කොට පළමු පරිද්දෙන් මල්පට සතරින් වට කරණ ලද්දෝ මහත් සේ නද දෙන මහාජනයා පිරිවරා ගෙණ විහාරයට වැඩි සේක. රජ තෙමේ බුදුරජුන් පසුපස ගොස් නැවතුනේ, මල්කරු කැඳවා මට ගෙනා මල් අටමිට කුමක් සිතා බුදුරජුන්ට පූජා කෙළෙහි දැ’ යි ඇසී ය. එවිට ඔහු ‘දේවයන් වහන්ස! රජ, මා මැරුවත් රටින් පිටිවහල් කළත් කම් නැත, කරණ එකක් කෙරේවා’ යි දිවි පුදා මල් පිදීමි’ යි කීයේ ය.
ඉක්බිති රජ තෙමේ ‘තමුසේ මහාපුරුෂයෙකැ’ යි ඇතුන් අටදෙනකුන් අසුන් අටදෙනකුත් දාසයන් අටදෙනකුන් දාසීන් අටදෙනෙකුන් හා තවත් අබරණ මහත් රැසක් දී, නැවැතත් කහවණු අට දහසක් වියදම් කොට ආභරණ තනවා එයින් සැරසූ සත්‍රීන් අටදෙනකුන් හා ගම්වර අටකුත් යන වුවමනා සියල්ලෙන් අට අට දුන්නේ ය. ආනන්ද ස්ථවිරයන් වහන්සේ ‘අද උදේ සිට දහස් ගණන් මිනිස්සු මහනද කෙරෙති, පිළිහිස සිසෑරුම් පවත්වති, මල්කරුට වන විපාකය කිමැ’ යි සිතා බුදු රජුන් වෙත ගොස් ඒ ඇසූහ. බුදුරජාන් වහන්සේ ‘ආනන්දය! මෙයින් මල්කරු කෙළේ ස්වල්ප වූ කර්‍මයෙකැ, යි නො සිතව, මෙතෙමේ මේ පූජාව කළේ දිවි පිදීමෙන් ය, මා කෙරෙහි පැහැදීමෙන් කළ මේ පූජාව නිසා කල්පලක්‍ෂයක් ම දුගතියක උපදනේ නො වේ, දෙව්ලොව දෙව් සැප, මිනිස් ලොව මිනිස් සැප විඳ අවසානයෙහි මේ කර්‍මයාගේ විපාකය වසයෙන් සුමන නම් පසේ බුදුවරයෙක් වන්නේය’ යි වදාළ සේක. බුදුරජුන් වෙහෙරට වැඩ ගඳකිළියට ඇතුල්වත් ම ඒ මල් දොරකඩ ඇද වැටුනේ ය. එ දින සවස් වේලෙහි ‘පුදුම යි! දිවමන් බුදුරජුන්ට දිවිපුදා කළ මල් පිදීමෙන් මල්කරු විසින් කළ කර්‍මය, එකෙණහි ඔහු එහි විපාක වශයෙන් උසස් දිවි පැවැත්මකට වුවමනා හැම දෙයක් ම ලැබී ය, පින්කමේ විපාකය ඔහු විසින් ඇස් ඉදිරියෙහි ම ලදැ’ යි කතාවක් ඇතිවි ය. බුදුරජානන් වහන්සේ ගඳකිළියෙන් නික්ම ධර්‍මශාලාවට වැඩමවා බුද්ධාසනයෙහි වැඩ හිඳ ‘මහණෙනි! තමුසේලා මෙහි රැස් වී දැන් කුමක් කතා කරමින් හුන්නහු දැ’ යි අසා වදාළ සේක. භික්‍ෂූන් වහන්සේලා ‘ස්වාමීනි! මකරුගේ පින්කම ගැණ කතා කරමින් හුන්නෙමු’ යි කී විට ‘මහණෙනි! එසේ ය! යම් කර්‍මයක් කොට පසුව නො තැවේ නම්, සිහිකළ සිහිකළ හැම විටක ම සතුට උපදී නම්, කළ යුත්තේ එබන්දෙකැ’ යි වදාරා අනුසන්ධි ගළපා මේ ධර්‍ම දේශනාව කළ සේක:-
තං ච කම්මං කතං සාධු යං කත්වා නානුතප්පති,
යස්ස පතීතො සුමනො විපාකං පටිසෙවතීති.
යම් කර්‍මයක් කොට පසු නො තැවේ ද, යම් කර්‍මයන්ගේ විපාකය පිණා ගියේ, සතුටු සිත් ඇත්තේ විඳී ද, ඒ කර්‍මය කරණ ලද්දේ යහපත් ය.
තං ච කම්මං කතං සාධු යං කත්වා න අනුතප්පති = යම් කර්‍මයක් කොට පසු නො තැවේ ද, ඒ කර්‍මය කරණ ලද්දේ යහපත් ය.
මෙහි කම්මං, යන්නෙන් අදහස් කළේ කුශලකර්‍මය යි. කුශලකර්‍මය නො තැවීමට කරුණු වේ. අකුශලකර්‍මය තැවීමට හේතු වේ. විස්තර කී සේ දතයුතු ය.
යස්ස පතීතො සුමනො විපාකං පටිසෙවති = යම් කර්‍මයක්හුගේ විපාකය පිණා ගියේ සතුටු සිත් ඇත්තේ විඳී (ද).
යස්ස, යනු කුශලකර්‍මය සම්බන්ධයෙන් කියන ලද්දේ ය. ප්‍රීති වේගයෙන් යුක්තවූයේ පතීත, නම් වේ. යමකුගේ සිත සතුටින් නැගී ඒ නම්, හෙතෙමේ පතීත, යි කියනු ලැබේ. එබඳු සිත වුවත් පතීතශබ්දයෙන් කිය හැකි ය. සෝමනස්සවේගයෙන් සුමන, නම් වේ. යමකු ගේ සිත සොම්නසින් ඔද වැඩී ගියේ නම්, හෙතෙමේ ය සුමන.
මන, ශබ්දය හා සමාසයෙන් බැඳී ගිය සු, ශබ්දය ධාතු - විභක්ති - නිපාත - උපසග්ග - ඇසීම - වැඩීම - විසීම - හිංසාකිරීම - බිහිකිරීම - යෑම - වැගිරීම - තෙත්වීම - රැස්කිරීම - ප්‍රකටවීම - යෙදීම - සෝතවිඤ්ඤාණ - එයින් දැරීම, යන මේ අරුත් හි එයි. එ තැන්හි උදාහරණ කෝෂග්‍රන්ථයන්ගෙන් දත හැකි ය. සුමන, යන තන්හි වූයේ උපසර්‍ගවශයෙන් ගැණෙන සු, යන්න ය. සොභන - සුඛ - අවිපරීත - අතිසය - සුන්දර - සමිද්ධි යන අරුත් හි වැටේ. සුගත - සුකර - ස්වත්‍ථ - සුග්ගහිත - සුලක්ඛණ - සුභික්ඛ යනු එයට නිදසුන් ය. මෙහි එනුයේ සොභන, සුඛ, සුන්දර අරුත්වලින් එකෙක වේ. ‘සුට්ඨු සුඛිතං වා මනා යස්ස සො, සුන්දරං මනො යස්ස සො = සුමනො’ යි වාක්‍ය ගතයුතු ය. අරමුණු දන්නේ මන නම් වේ. එක් නැළියකින් හෝ තුලාවකින් හෝ ඒ ඒ දෑ මනින්නාක් මෙන් කිරන්නාක් මෙන් අරමුණු මනින්නේ හෝ පිරිසිඳින්නේ මන, නැමැ යි කීහ. විවරණය යට කියූයේ ය.
දෙව්මිනිස් සැප හෝ නිවන් සැප හෝ සිදුකිරීමෙහි ලා සමර්‍ත්‍ථ වූ සුඛදායකකර්‍මයෙක් යමකු විසින් කරණ ලද්දේ නම්, ඔහු කර්‍මය කළ අත්බවේදී සිහිකළ හැම විටකම ප්‍රීති වේගයෙන් යුක්ත වූයේ සතුටින් ඔදවැඩි වුයේ, ‘මම මෙබඳු සුඛදායකකර්‍මයක් කෙළෙමි’ යි යන කර්‍මනන්‍දනයෙන් ද එසේ ම ‘මෙලොව වසයෙන් ලැඛය යුතු කීර්ති ප්‍රශංසා ලබමි’ යි විපාකනන්දනයෙන් ද සතුටුවෙයි. පරලොව ගියේත්, ගති සම්පත් ආදී හැම එකකින් සතුටු වේ.
“ඉදං හි තං ජෙතවනං ඉසිසඞ්ඝනිසෙවිතං,
ආවුත්ථං ධම්මරාජෙන පීතිසංජනනං මම”
භික්‍ෂු සමූහයා විසින් නිතර සෙවුනාලද ධර්‍මරාජ වූ බුදුරජානන් වහන්සේ විසින් විසුම් ගන්නා ලද ඒ මේ ජේතවනය මට ප්‍රීතිය උපදවන්නේය යනු එහි අරුත් ය. එහි දී බුදුරජානන් වහන්සේ, මාර්‍ගචේතනාව ද, මාර්‍ගප්‍රඥාව ද, සමාධිය ද, උතුම් ජීවිතය වූ ශීලය ද යන මෙයින් සත්වයෝ පිරිසිදු වෙත්. ගෝත්‍රයෙන් හෝ ධනයෙන් හෝ පිරිසිදු නො වෙත්. එහෙයින් නුවණැති පුරුෂතෙමේ තමාගේ අභිවෘද්ධිය දක්නේ නුවණින් දහම් රැස්කරන්නේ ය. මෙසේ ඒ ආර්‍ය්‍යමාර්‍ගයෙහි පිරිසිදු වෙති, යි.
“කම්මං විජ්ජා ච ධම්මො ච සීලං ජීවිතමුත්තමං,
එතෙන මච්චා සුජ්ඣන්ති න ගොත්තෙන ධනෙනවා,
.
තස්මාහි පණ්ඩිතො පොසො සම්පස්සං අත්ථමත්තනො,
යොනිසො විචිනෙ ධමමං එවං තත්ථ විසුජ්ඣති”
යන මෙය වදාළ සේක.
යන මේ ප්‍රීතිගීතය ගයමින් අනාථපිණ්ඩිකයෝ අදත් දෙව්ලොව, කළ සත්කර්‍මයන් සිහි කරමින් දකිමින් ප්‍රීති වේගයෙන් සෝමනස්ස වේගයෙන් සතුටු සිත් ඇත්තේ, සුඛවිපාකලාභයෙන් ප්‍රීති වෙති. අනාථපිණ්ඩිකයන්ගේ මේ ප්‍රීති ගීතය පූර්‍වොක්ත දේශනාව වඩාලාත් සාර්‍ත්‍ථක කරන්නී ය.
සුමනාමාලාකාර වස්තුව නිමි.