න තං කම්මං කතං සාධු යං කත්වා අනුතප්පති
යස්ස අස්සුමුඛො රොදං විපාකං පටිසෙවති.
යම් කර්‍මයක් කොට සිහි කළ කෙණෙහි තැවේ ද, යම් කර්‍මයක්හුගේ අනිෂ්ට විපාකය කඳුලු වැකුණ මුහුණැති ව හඬමින් අනුභව කෙරේ ද, එබඳු අකුසල් කම් කිරීම නො මැනැවි.
දිනෙක එක්තරා ගොවියෙක් සැවැත්නුවර අසල කුඹුරක් සාමින් සිටියේ ය. එ දිනට පළමු දා රාත්‍රි, සොරු සමුහයෙක් දිය සොරොව්වකින් නුවරට ඇතුල් ව, ධනවතකුගේ ගෙට උමගක් කැන, ඒ උමඟින් ගෙට ඇතුල් ව, ගෙයි තුබූ බොහෝ රන් රිදී මුතු මැණික් ආදී වූ වටිනා වස්තු රාශියක් පැහැර ගෙණ, දිය සොරොව්වෙන් ම නික්ම ගියෝ ය. උන් අතර සිටි එක් සොරෙක් අනික් සොරුන් රවටා දහසක් බැඳි පොට්ටනියක් ඔඩොක්කුවෙහි ලා ගත්තේ ය. සියල්ලෝ ම සානා කුඹුර ලඟට ගොස්, එහිදී ඒ ගත් අනික් බඩු බෙදා ගත්හ. දහසකින් බැඳි පොට්ටනිය ඉණ තබා ගත් සොර තෙමේ ඉණ තුබූ පොට්ටනිය බිම වැටුන ද, ඒ නො දැන එ තැනින් නික්ම ගම් බලා ගියේ ය.
එ දවස සම්මා සම්බුදුරජානන් වහන්සේ අලුයම් වේලෙහි ලොව බලා වදාරන සේක්, ඒ ගොවියා දැක ‘ඔහුට කුමක් වන්නේ දැ’ යි විමසන සේක් ‘මේ ගොවියා උදැසන ම සී සාන්නට යන්නේ ය, බඩු අයිතිකාරයෝත් සොරුන් අඩිපාරේ ගොස් දහසක් බැඳි පොදිය දැක, සොරා මොහුය, යි අල්වා ගෙණ තඩි බාන්නෝ ය, මොහුට මා හැර මොහුගේ නිදහස ගැන කරුණු කියන වෙනෙකෙක් නැත, සෝවාන් පලයට පැමිණීමේ වාසනාවක් මොහුට තිබේ, එහෙයින් මා එහි යා යුතු ය’ යි දැන වදාළ සේක. ගොවියා උදැසන ම සී සාන්නට කුඹුරට ගියේ ය. ස්වාමිදරු වූ බුදුරජානන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් වහන්සේ සමග එහි වැඩි සේක. ගොවියා බුදුරජුන් දැක, වෙත ගොස් වැඳ, නැවැත සී සාන්නට පටන් ගත්තේ ය. බුදුරජානන් වහන්සේ ද ඔහු සමග කිසිත් කතා නො කොට මුදල් පොදිය වැටී තුබුනු තැනට වැඩමවා ඒ දැක ‘ආනන්ද! බලන්න! සර්‍පයෙකැ’ යි වදාළ සේක. ආනන්ද ස්ථවිරයන් වහන්සේ ද ‘එසේය ස්වාමීනි! දකිමි, ඝෝරවිස ඇති සර්‍පයෙකැ’ යි කීහ. ගොවියා ඒ කතාව අසා, මා වේලාවෙහිත් අවේලාවෙහිත් හැසිරෙන, මේ තැන සර්‍පයෙක් සිටී’ යි සිතා ‘හොඳයි! බුදුරජානන් වහන්සේ වැඩියා වේ, එතකොට වැඩේ කරන්නෙමි’ යි කෙවිට ද ගෙණ එහි ගියේ මුදල් පොදිය දැක, ‘බුදුරජුන් වදාළේ මේ ගැණය’ යි සිතා ඒ ගෙණ නැවතී කසින්නට පටන් ගත්තේ ය.
ගෙවැස්සෝ ද පාන් වූ කල්හි සොරුන් ගේ බිඳ ගෙයි තුබූ බඩු ගෙන ගිය බව දැක සොරුන් පැනගිය අත බලා ඔවුන්ගේ අඩිපාරේ යන්නෝ, ඒ කුඹුර ලඟට පැමිණිය හ. එහි සොරුන් බඩු බෙදූ තැන දැක, එහි වඩාත් විමසන්නෝ, ගොවියාගේ පා සටහන් දැක, ඒ අනුව ගොස්, මුදල් පොදිය තුබූ තැනට පැමිණ, පස් දෙපැත්තට කොට බලා පොදිය නගාගෙන ‘තෝ අපේ ගෙය පැහැර ගෙන අවුත් සී සාන්නකු මෙන් හැසිරෙහි’ යි තර්‍ජනය කොට අතින් පයින් දඬු මුගුරුවලින් තළා පෙළා රජු ඉදිරියට ගෙන ගියහ. රජ තෙමේ තොරතුරු අසා, ඔහු මැරීමට අණ කෙළේ ය. රාජපුරුෂයෝ පිට හයා බැඳ කසවලින් තළ තළා පෝරකයට පැමිණ වූහ. මෙසේ කසවලින් තළත් තළත්, ඔහු අන් කිසිත් නො කියා ‘ආනන්දය! බලන්න සර්‍පයෙක, එසේ ය, ස්වාමීනී! දකිමි, ඝෝර විස ඇති සර්‍පයෙකැ’ යි කිය කියා යන්නේ ය. රාජ පුරුෂයෝ ඒ අසා ‘තෝ බුදුරජුන්ගේත් අනඳ තෙරුන්ගේත් කතා කියන්නෙහි ය, මේ කියන කතාව කිමැ’ යි ඇසූහ. ගොවියා ‘රජු දැක රජු ඉදිරියෙහි ම කියන්නෙමි’ යි කී කල්හි නැවැතත් රජු වෙතට ගෙන ගොස් ගොවියා කියන කතාව රජුට කීවාහු ය.
රජ තෙමේ ‘කුමක් හෙයින් මෙසේ කියන්නෙහි දැ’ යි ඇසී ය. ඔහු ‘දේවයන් වහන්ස! මම හොරෙක් නො වෙමි’ යි සී සාන්නට ගිය තැන් පටන් සියලු තොරතුරු දන්වා සිටියේ ය. රජ තෙමේ ඔහුගේ කතාව අසා ‘ඕය්! මෙතෙමේ බුදුරජුන් තමන්ගේ සාක්කිකාරයා හැටියට ඉදිරිපත් කෙරෙයි. මොහුට වධ පැමිණවීම නො සුදුසුය, හොඳ යි, මම මේ ගැන සොයා බලන්නෙමි, යි කියා ඔහුත් සමග සවස්වේලෙහි බුදුරජුන් වෙත ගොස් ‘ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! භාග්‍යවතුන් වහන්සේ ආනන්ද හාමුදුරුවනුත් සමග මේ ගොවියා සී සාන තැනට වැඩි සේක් දැ’ යි ඇසී ය. ‘එසේ ය, මහරජ! මම ගියෙමි යි, බුදුරජුන් වදාළ කල්හි ‘ස්වාමීනි! එහිදී කිසිවක් දක්නා ලද දැ යි නැවැත ඇසී ය. ‘මහරජ! දහසක මුදල් පොදියක් දක්නා ලදැ, යි වදාළ සේක. නැවැත රජු එය දැක කුමක් වදාළ සේක් දැ’ යි ඇසූවිට ‘මෙසේ කීවෙමි’ යි වදාළ සැටි වදාළෝ ය. ‘ස්වාමීනි! මේ ගොවියා තථාගතයන් වහන්සේ වැන්නකු ම සාක්කි කාරයා කොට නො දැක්වී නම්, දිවි නො ලබන්නේය, එහි දී තථාගතයන් වහන්සේ වදාළ වචනය ම කී නිසා මොහු දිවි ලැබී ය’ යි රජු දැන් වූ කල්හි, ස්වාමිදරු වූ බුදුරජානන් වහන්සේ ‘මහරජ! එසේ ය; මමත් ඔය ටික සිතා ගියෙමි, නුවණැත්තහු විසින් යමක් කොට, නැවැත ඒ ගැන පසුතැවිලි වේ නම්, එබඳු දේ කිරීම නො සුදුසු ය, එබඳු දේ නො කළ යුතු ය, යි වදාරා අනුසන්ධි ගළපා මේ ධර්‍ම දේශනාව කළ සේක:-
න තං කම්මං කතං සාධු යං කත්වා අනුතප්පති,
යස්ස අස්සුමුඛො රොදං විපාකං පටිසෙවතීති.
යම් කර්‍මයක් කොට පසු තැවේ ද, යම් කර්‍මයක්හුගේ විපාකය කඳුලින් වැකුණු මුහුණු ඇති ව අඬමින් විඳී ද, ඒ කර්‍මය කරන ලද්දේ නම් නො මැනැවි.
න තං කම්මං කතං සාධු යං කත්වා අනුතප්පති = යම් කර්‍මයක් කොට පසු තැවේ ද, ඒ කර්‍මය කරණ ලද්දේ නම් නො මැනැවි.
යස්ස = යම් කර්‍මයක්හුගේ.
මින් ගැණෙනුයේ අකුශලකර්‍ම යි. අකුශලකර්‍ම සිහිවන විට ය කඳුලු වැගිරෙනු යේ. ඒ දුක් කඳුලු ය. සතුටෙහි ද කඳුලු වැගිරේ. ඒ මේ නො වේ. පරපණ නැසීම් අන්සතු දෑ ගැණීම් මිස හැසිරීම් ආදි වශයෙන් සත්වයන් විසින් කරණ කර්‍ම, අපායයෙහි දරුණු දුක් දෙන බැවින්, ඒ කර්‍ම ම කඳුලු වැගිරීමට කරුණු වේම
අස්සුමුඛො = කඳුලින් වැකුණු මූණු ඇත්තේ. කඳුලින් පිරුණු මූණු ඇත්තේ.
‘අස්සුහි තින්නං මුඛං යස්ස = සො, අස්සුමුඛො’ මූණ කඳුලින් තෙමී ගියේ ‘ අස්සුමුඛ’ නම් වේ. තනි අස්සු, ශබ්දය නිපාතයක් ආඛ්‍යාතයක්, නාමයක් වසයෙන් ව්‍යවහාරයෙහි එයි. ‘නාස්සුධ කො චි භගවන්තං උපසංකමති’ යන මෙහි යෙදුනේ නිපාතයක් ලෙසින් ආයේ ය. ‘නාස්සුධ තෙ ආගතා’ මෙහි වූයේ ආඛ්‍යාතයක් වශයෙනි. ‘අස්සු පරිග්ගහකෙන පන යොගීනා අක්ඛිකූපෙ පූරෙත්වා ඨිතවසෙනෙ ව පරිගණ්හිතබ්බං’ මෙහි වූයේ නාමයක් ලෙසටය. අස්සුමුඛො’ යන්නෙහි ද එසේ ය. යම් තැනක් කරණ කොට යම් තැනක් නිසා හිත සුඛය පවතීනම්, එ තැන මුඛ ශබ්දයෙන් කියැ වේ. ‘හිත සුඛං මුඛති පවත්තතී ති = මුඛං’ යනු අර්‍ත්‍ථවිවරණය යි. ධාත්වර්‍ත්‍ථය ප්‍රධාන වශයෙන් ගෙන එසේ කීයේ ද, හොඳ නො හොඳ දෙකට ම වැඩ අවැඩ දෙකටම හිත අහිත දෙකට ම මුඛය හේතු වේ. සුභාසිත දුබ්භාසිත දෙක ම මුඛයෙන් නිකුත්වන බැවිනි. සුභාසිතය හොඳටත් හිතයටත්, දුබ්භාසිතය නො හොඳටත් අහිතයටත් එකසේ හේතු ය. මෙය ප්‍රධාන, හේතු, වදන යන ඈ අරුත් කිය යි. මෙය බලනු මැනැවි. දුර්‍භාෂිත පක්‍ෂයෙහි ලා :-
“පුරිසස්ස හි ජාතස්ස කුඨාරි ජායතෙ මුඛෙ,
යාය ඡින්දති අත්තානං බාලො දුබ්භාසිතං භණෙ” යනු.
මෙලොව පරලොව නො දත් අඥ තෙමේ දුබැසි බෙණෙමින් යමකින් තමා නසා ගණී ද, උපන් එබඳු මිනිසාගේ මුවෙහි ඒ තමා නසන කෙටේරිය හට ගණි යි, යනු එහි අරුත් ය.
එසේ ම යමෙක්, යම් නුවණැත්තෙක් නිතර සුබැසි බෙනෙන්නේ නම්, ඔහු එලොව මෙලොව දෙක්හි ම සැපයට පැමිණෙන්නේ ය. සැප විඳින්නේ ය. ලොකිය මහා ජනයාහට ප්‍රියයෙක් වන්නේ ය.
රුදං = හඬන්නේ. (හඬ මින්)
මෙහි මූලය රුදන්ත, යනු ය. මෙය විභක්ති විසින් ප්‍රථමා ය. වචන විසින් එක වචන ය. හඬන්නෙක් කිය වේ.
විපාකං = ඵලය. විපාකය.
කර්‍මබලයෙන් පහළවන නාමරූපධර්‍ම, විපාක නම් වේ. මත්තෙහි ඇතිවන භව - විඤ්ඤාණ - නාමරූප - සළායතන - ඵස්ස - ජාති - ජරා - මරණ යන මොවුහු සසර වසන සත්වයන් විසින් කරණු ලබන කර්‍මයන් විපාකයෝ ය. එසේ ම ඒ ඒ භවයෙහි ඒ ඒ කර්‍ම ලෙසින් උපදින සත්වයන් විසින් කර්‍මානුරූප ව විඳිනු ලබන්නා වූ සැප දුක් ද විපාක වේ. උස් පහත් කම් ද විපාක යි. විස්තර යට කියන ලදී.
පටිසෙවති = අනුභව කරයි. විඳි යි.
අතිශයින් විඳියි, නැවැත නැවැත විඳියි, කිවද වරද නැත. තමන් විසින් කළ යම් කර්‍මයක්, සිහිකළ හැම විටක ම තැවීමට ශෝක වීමට කරුණු වේ ද, කඳුලින් තෙමුනු මූණු ඇති ව හඬමින් එහි විපාකය විඳිය යුතු වේ ද, එබඳු කර්‍ම කරණ ලද්දේ යහපත් නො වේ. එහෙයින් එබඳු කර්‍ම නො කළ යුතු ය යි වදාළ සේක.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි ගොවියා සෝවාන් Pඵලයට පැමිණියේ ය. එහි පැමිණ සිටි භික්‍ෂූන් වහන්සේලා ද සෝවන් ඵලාදියට පැමිණියෝ ය.
කර්‍ෂකවස්තුව නිමි.