චරන්ති බාලා දුම්මෙධා අමිත්තෙනෙව අත්තනා
කරොන්තා පාපකං කම්මං යං හොති කටුකප්ඵලං.
මෙලෝ පරලෝ වැඩ අවැඩ නොදන්නාවූ බාලයෝ, යම් කර්‍මයක් දුක් විපාක උපදවන්නේ ද, එ බඳු පාපකර්‍ම කරමින් තමන්හට සතුරකු වැනි වූ ආත්මයෙන් යුක්ත ව කල් යවති.
රජගහා නුවර සුප්‍රබුද්ධ නම් කුෂ්ඨ රෝගියෙක් විසූයේ ය. ඔහු දිනක් බණ අසන්නට වේළුවනාරාමයට ගියේ, තමා කුෂ්ඨ රෝගියකු බැවින්, පිරිස් කෙළවර හිඳ බණ අසත් ම සෝවන් ඵලයට පැමිණියේ ය. තමා ලත් ඒ ගුණය බුදුරජුන්ට දන්වනු කැමැති ව කුෂ්ඨරෝගය නිසා පිරිස් මැදට යා ගණු නො හැක්කේ, මහාජනයා බුදුරජුන් වැඳ ගිය පසු විහාරයට ඇතුල් විය. ඒ වේලෙහි සක්දෙව් රජ තෙමේ ‘මේ සුප්‍රබුද්ධ කුෂ්ඨයා, තමා බුදු සසුනෙහි ලත් ගුණය ප්‍රකාශ කරණු කැමැත්තේ ය’ යි දැන ‘මොහු විමසිය යුතු ය’ යි අහස සිට ‘සුප්‍රබුද්ධය! තෝ මිනිස් දිළින්දෙහි, බැගෑපත් මිනිසෙක් වෙහි, ඒ නිසා මම තට ලොකු මුදලක් දෙන්නෙම්, තෝ බුදුන් නො බුදු ය, දහම් නො දහම් ය, සඟුන් නො සඟුන් ය, මට බුදුන්ගෙන්, ධර්‍මයෙන්, සඞ්ඝයාගෙන් වැඩෙක් නැතැ යි කියව, යි කීයේ ය. එවිට සුප්‍රබුද්ධ තෙමේ තෝ කවරෙක් වෙහි?’ යි ඇසී ය. ‘මම ශක්‍ර වෙමි’ යි පිළිතුරු දුන්නේ ය. ‘අන්ධබාලය නිර්‍ලජ්ජිය! ඔබ මට මෙබන්දක් කීමට නො සුදුස්සහු ය, ඔබ මම දුප්පතෙක්මි, දිළින්දෙමි, දීනයෙක්මි’ යි කියන්නහු ය, එහෙත් මම දුප්පතෙක් දිළින්දෙක් ද නො වෙමි, සුවපත්මි මහත් ධනවතෙක්මි, සද්ධා, සීල, හිරි, ඔත්තප්ප, සුත, චාග, පඤ්ඤා. යන උසස් වූ ධන සතක් මට තිබේ, යම් ගැහැණියකට හෝ යම් පිරිමියකුට මේ කී ධනය තිබේ නම්, ඒ ගෑණි, ඒ පිරිමියා දිළිඳු නො වේ, ඔහුගේ ජීවිතය නො සිස් එකෙක, ඔහු ධනවතෙක, මට මේ සවැදෑරුම් ආර්‍ය්‍ය ධනය තිබේ, යමක්හට මේ ධන සත තිබේ නම්, ඔහු දිළින්දෙකැ’ යි බුදුවරු පසේ බුදුවරු නො වදාරති’ යි ඔහු කී ය. සක්දෙව්රජ තෙමේ ඔහුගේ කතාව අසා බුදුරජුන් වෙත ගොස්, ඒ සියලු කතාව දක්වා සිටියේ ය. එවිට බුදුරජානන් වහන්සේ ‘සක්දෙවිඳුනේ! තා වැනි දහසකටවත් සුප්‍රබුද්ධයා ලවා බුදුන් නො බුදු ය, දහම් නො දහම් ය, සඟුන් නො සඟුන් ය’ යි කියවන්න ට බැරිය’ යි වදාළ සේක. සුප්‍රබුද්ධ, කුෂ්ඨ තෙමේ ද, බුදුරජුන් වෙත ගොස් බුදුරජුන් හා කළ තුටු පහටු කතා ඇත්තේ, තමන් ලත් ගුණය කියා හුන් තැනින් නැගිට ගියේ ය. මගට බැස ටික දුරක් යුත්, තරුණ ගව දෙනක විසින් අණින ලදුව මැරී වැටුනේ ය. මෝ ගවදෙන එක්තරා යකින්නක. පුක්කුසාතිය, බාහිය දාරුචීරිය, තඹදාඨික චෝර ඝාතකය, සුප්‍රබුද්ධ කුෂ්ඨිය, යන සතර දෙන, මෑ විසින් සියයක් සියයක් අත් බව්හි දී ජීවිතක්‍ෂයට පත්කරන ලදහ.
පෙර එක් කලෙක සිටු පුත් ව උපන් මේ සතරදෙන වේසියක ගෙණ උයනට ගොස් තෑගි බෝග මිල මුදල් දී සිත් ගෙන මුළු දවසක් ම ඇය සමග එකතුව හිඳ, සවස, ‘මෙතැන කවුරුත් නැත, අප දුන් මුදලුත් ඇඳුම් කැඩුමුත් ගෙණ මෑ මරා දමා යමු යි කතා කළහ. ඈ ඒ කතාව අසා, ‘මොවුන් වැනි වල්ලු තවත් කොහි ද, මොවුනට විලි ලජ්ජා නැත, මා සමග වල්කම් කොට, දැන් මා මරා දමන්නට කොඳුරති, හොඳයි! වේවා, කළයුත්ත මම දනිමි, මා මැරුවොත් මම යකින්නක් ව මොවුන් මරා කන්නෙම්’ යි සිතමින් පතමින් හුන්නී ය. සිටු පුත්‍රයෝ එක් ව ඇය එකෙණෙහි ම මරා දැමූහ. පෙර කළ ඒ අකුශල කර්‍මයාගේ විපාකය වශයෙන් මොවුහු සතර දෙන අතර මගදී මෙසේ මැරුම් කෑහ.
භික්‍ෂූන් වහන්සේලා සුප්‍රබුධ කුෂඨියාගේ මේ මැරුම් කෑම අසා, ‘සුප්‍රබුද්ධ කුෂ්ඨියා කොහි උපන්නේ ද? කුමක් හෙයින් ඔහු කුෂ්ඨ රෝගියෙක් වී දැ’ යි බුදුරජානන් වහන්සේගෙන් ඇසූහ. උන්වහන්සේ ‘ඔහු සෝතාපත්ති ඵලයට පැමිණි බවත්, මරණින් මතු තව්තිසා දෙව්ලොව උපන් බවත්, පෙර තගරසිඛී පසේ බුදුරජුන් දැක, කාරා කෙළ ගසා උන්වහන්සේට නින්දා කළ පවින් බොහෝ කලක් නිරයෙහි ඉපිද දුක් විඳ ඉතිරි වූ කර්‍මයාගේ විපාක වශයෙන් මෙකල කුෂ්ඨ රෝගියකු වූ බවත්, මෙසේ මේ ලෝකයෙහි සත්වයන් තමහට කටුක විපාක දෙන පව්කම් තමන් ම කරමින් හැසිරෙන බවත් වදාරා අනුසන්ධි ගළපා මත්තෙහි දහම් දෙසන සේක් මේ ගාථාව වදාළ සේක:-
චරන්ති බාලා දුම්මෙධා අමිත්තෙනෙව අත්තනා,
කරොන්තා පාපකං කම්මං යං හොති කටුකප්එලනති.
දෙලෝ වැඩ නො දත් අඥානයෝ යම් පව් කමෙක් කටුක විපාක ඇත්තේ වේ ද, ඒ පව්කම කරමින් සතුරකු වැනි වූ ආත්මයෙන් යුක්ත ව හැසිරෙත්.
පව් කම් කරන මිනිසා පව් කම් කරණුයේ, තමහට තමා, සතුරු බැවිනි. පව් කම් හැර, රළු පරළු දුකක් දෙන්නට සමත් අන් සතුරෙක් කිසිවකුටත් නැත. පව්කම ම කැකුළු දුක් දෙන එක් ම සතුරා ය. තමා, තමාට මිතුරු නම්, ප්‍රිය නම් ඔහු කිසිවිටෙකත් කුඩා පවකුදු නො කරන්නේ ය. මේ බලන්න ඒ වදාළ සැටි:-
“අත්තානං චෙ පියං ජඤ්ඤා න නං පාපෙන සංයුජෙ,
න හි තං සුලභං හොති සුඛං දුක්කතකාරිනා”
ඉදින් තමා, තමාට ප්‍රිය යි දන්නේ නම්, ඒ තමා, පාපය හා නො යොදන්නේ ය. දාන ශීලාදි වශයෙන් ලැබිය යුතු සැපය පව් කම් කරන්නන්ට සුලභ නො වේ. පව් කරන්නෝ ඒ ලැබීමෙහි අසමර්‍ත්‍ථයෝ ය.
චරන්ති = හැසිරෙත්.
සිවු ඉරියව්වෙහි ම පව්කම් කරමින් හැසිරෙත්. පව්කම් කරමින් ම ඉඳිත්, පව්කම් කරමින් ම සිටිත්. පව්කම් කරමින් ම ඇවිදිත්. පව්කම් කරමින් ම නිදත්.
බාලා දුම්මෙධා = එලොව මෙලොව වැඩ නො දත් අඥානයෝ.
‘බාලා’ යන්න ‘ දුම්මෙධා’ යන්නට එක් වෙයි. එසේම දුම්මෙධා, යන්නෙහි අර්‍ත්‍ථය තවත් දැඩි කර යි. කඳු මුදුනෙහි වැටුනු හෙණ පහර කඳු මුදුන සුණු විසුණු කොට සිඳ බිඳ හරින්නාක් මෙන් යම් ධර්‍ම ශක්තියක් සත්වයන්ගේ සිත් තුළ පවත්නා ලෝභ ද්වේෂ මෝහාදී වූ සියලු කෙලෙස් හිංසනය නාශනය කරා ද, ඒ ධර්‍ම ශක්තිය මෙධා, යි කියනු ලැබේ. නොහොත් සම්පත්තියෙන් හා ශීලා දී වූ ගුණයන්ගෙන් සත්පුරුෂධර්‍ම හා එක්වන්නී එකලාව නො සිටී ද, නොහොත් සියුම් අර්‍ත්‍ථයන්, ධර්‍මයන් වහා ම ගණී ද දරා ද, ඒ මෙධා, නමු. ‘අසනි විය සිලුච්චයෙ කිලෙසෙ මෙධති හිංසතී ති, සිරියා සීලාදීහි ච සප්පුරිසධම්මෙහි සමාගච්ඡති න එකියා හුත්‍වා තිට්ඨතීති, සුඛුමම්පි අත්‍ථං ධම්මං ච ඛිප්පමෙව මෙති ආදදාතීති ච ධාරෙති චාති = මෙධා’ යනු විවෘත්ති යි. යට කියූයේ ද බැලිය යුතුය. [1]
අමිත්තෙන ඉව අත්තනා = තමහට සතුරකු වැනි වූ ආත්මයෙන් යුක්ත ව.
කරොන්තා = කරමින්. රැස් කරමින්.
පාපකං කම්මං = පව්කමක්, පව් වැඩක්.
‘පාන්ති රක්ඛන්ති සුජනා අත්තානං අස්මාති = පාපං’ සජ්ජනයෝ යමක් කෙරෙන් තමන් රකිත් ද, ඒ පාප නම් ‘අත්තානං දුග්ගතිං පාපෙතී’ ති = පාපං’ තමන් දුගතියට පමුණුවන්නේ පාපය යි. පාප, යන මෙහි ආදි පකාරය තෙමේ අපාය කිය යි. එහෙයින් ප, යි කීයේ අපාය යි. මේ කරණකොට අපායයට යේ නුයි පාප, නමි. ‘ප සද්දො එත්ථ අපාය වචනො, තස්මා පං අපායං පෙති ගච්ඡති එතෙනා ති = පාපං’ එහි අවසානයෙහි වූ ක යන්න ඒ අර්‍ත්‍ථයට ම අනුකූලව සිටියේ ය.
‘කර්‍ම’ නම්, චේතනාවත් ඒ හා යෙදුනු අනික් ස්පර්‍ශාදි චෛතසික ධර්‍මත් ය. ‘කිං පනෙතං කම්මං නාම?’ යන චෝදනාවෙහිලා ‘චෙතනා චෙ ව එකච්චෙ ච චේතනාසම්පයුත්තකා ධමමා’ යි කළ පරිහාරකථාවෙන් මේ පැහැදිලි ය. චේතනාව කර්‍මය බවට “චේතනාහං භික්ඛවෙ! කම්මං වදාමි, චෙතයිත්වා කම්මං කරොති කායෙන වාචාය මනසා, කායෙ වා හි ආනන්ද! සති, කායසඤ්චෙතනාහෙතු උප්පජ්ජති අජ්ඣත්තං සුඛං දුක්ඛං වාචාය වා ආනන්ද! සති, වචීසඤ්චෙතනාහෙතු උප්පජ්ජති අජඣත්තං සුඛං දුක්ඛං, මනෙ වා ආනන්ද! සති, මනො සංචේතනාහෙතු උප්පජ්ජති අජඣත්තං සුඛං දුක්ඛං” යනු සාධක කොට ගත යුතු ය.
සත්ව තෙමේ, යමක් කරණ කොට ඉෂ්ටානිෂ්ටාඵල මොනවට උපදවා ද, ජවනවීථියෙහි දී පින් පව් හොඳ නො හොඳ රැස් කරණ ඒ මේ චේතනාව කර්‍ම නම් වේ. ‘කරොති අභිනිබ්බත්තෙති ඉට්ඨානිට්ඨඵලානි එතෙනාති = කම්මං’ යන්නෙන් ඒ පැහැදිලි ය. තවත් ලෙසකින් කර්‍මය කිමැ යි දක්වන්නට, ‘කරීයතීති = කම්මං’ යි කීහ. ඒ ඒ සත්වයන් විසින් කායාදිද්වාරත්‍රයයෙන් යමක් කරණු ලැබේ නම්, ඒ කරණු ලබන්න කර්‍ම නමැ, යි ඉන් හැඟේ. උනුන් විසින් කය වචන සිත යන තිදොර අතුරෙහි යම් දොරකින් යම් කිසිවක් කරණු ලබන කල්හි, ඒ සඳහා උපදින සිතත්, උපදින චේතනාවත් ඒ හා යෙදුනු අනික් චෛතසිකත් කර්‍මැ, යි ගණිත්. චේතනා චෛතසිකය, පිළියෙල වෙමින් යෙදෙමින් තමන් හා යෙදුනු එක්වුනු සෙසු චෛතසිකත් ඒ ඒ චෛතසිකයන් අයත් කෘත්‍යයන්හි පිළියෙල කරවයි. යොදවයි. කර්‍මශක්තිය පිළියෙල කිරීමෙහි ප්‍රධාන වශයෙන් ව්‍යායාම කරන්නී චේතනාව යි. එහෙයින් ප්‍රධාන විසින් චේතනාව ම කර්‍මැ, යි කියන ලදී. චේතනාවට ලියූ විවරණය බලනු. චේතනාව, ජවන වීථියෙහි යෙදෙන විට ශ්‍රද්ධාදී වූ ශෝභන චෛතසික හා යෙදේ ද, එකල්හි එය කුශල කර්‍මැ, යි කියනු ලැබේ. මෝහාදී වූ අශෝභන චෛතසික හා යෙදේ ද, එකල්හි අකුශලකර්‍මැ, යි කියනු ලැබේ.
චේතනාසංඛ්‍යාතකර්‍මය කෘත්‍ය වශයෙන් සිවු වැදෑරුම් ය. ජනන - උපත්‍ථම්භන - උපපීළන - උපඝාත යන මේ ය ඒ කෘත්‍ය සතර. එහෙයින් කර්‍මය කෘත්‍ය වශයෙන් ජනකකර්‍ම උපත්ථම්භකකර්‍ම උපපීළකකර්‍ම උපඝාතකකර්‍ම යි සතරක් කොට ගණිත්.
එහි, විපාක නාමස්කන්ධයත් ප්‍රතිසන්ධිය හා එකට පහළ වන කර්‍මජරූප නම් වූ කටත්තාරූපයත් උපදවන කර්‍මය ජනක කර්‍ම යි කියනු ලැබේ. ඒ කුශලාකුශලකර්‍ම වශයෙන් දෙ වැදෑරුම් ය. භවයෙහි සත්වයාගේ ප්‍රතිසන්ධිය දී, සිටින තාක් ප්‍රවෘත්තිවිපාක දෙන්නේත් මේ ය. කර්‍මපථභාවයට පැමිණි කර්‍මය ම, ප්‍රතිසන්ධි විපාක දෙන්නේ ය. එක් වරක් ප්‍රතිසන්ධිය දුන් කර්‍මය නැවැත ප්‍රතිසන්ධියක් නො දේ. එහිලා එය අපොහොසත් ය. ප්‍රවෘත්ති විපාකයන් දීමෙහි දී කර්‍මපථභාවයට පැමිණත්, නො පැමිණත් විපාක දෙන්නේ ය. එ මතු ද නොවේ. සිහිනෙන් කෙරණ කර්‍ම ද, ප්‍රවෘත්තිවිපාක දෙන්නේය. එක කර්‍මය, අත්බව් සිය දහස් ගණන්හි ද ප්‍රවෘතිවිපාක නම් දෙන්නේ ය.
ජනකකර්‍මය විපාක දීමෙහි දී දුර්‍වල ව ගිය කල, ඒ කර්‍මයෙන් උපන් සියලු විපාකයන්ට කලක් පැවැත්මට බල කරුවක් මෙන් අනුබල දෙන්නේ උපත්‍ථම්භකකර්‍ම, යි. මෙය ජනකකර්‍මයටත් අනුබල දෙන්නේ ය. කුශලාකුශලවශයෙන් මෙ ද දෙපරිදි ය. ඔසුපත් නිරයෙක ඉපදිය යුත්තේ සමහර විටෙක ඔසුපත් නිරයෙක නො ඉපිද මහානිරයෙක උපදින්නේය. එසේ වනුයේ ඒ මේ අකුශලජනකකර්‍මය, අකුශලඋපත්ථම්භකකර්‍මයකින් අනුබල ලැබීමෙන් ය. සාමාන්‍ය කුලයෙක ඉපැදිය යුත්තේ සමහර විටෙක උසස් කුලයක උපදි යි. එසේ වනුයේ කුශලජනකකර්‍මය, කුශලඋපත්ථම්භක කර්‍මයකින් අනුබල ලත් කල්හි ය. කලින් කල පොහොසත් වනුත් දුප්පත් වනුත් කුසලාකුසලඋපත්ථම්භකකර්‍මයෙන් ප්‍රවෘත්තිවිපාකයන්ට අනුබල ලැබෙන බැවිනි.
උපපීළකකර්‍මැ, යි කීයේ ජනකකර්‍මයට පීඩා කරණ ජනක කර්‍ම ශක්තිය හීන කරණ කර්‍මය යි. ජනකකර්‍මයෙන් උපන් විපාක ද පෙළ යි. අඩු කර යි. මහානිරයෙක ඉපැදිය යුත්තේ සමහර විට ඔසුපත් නිරයෙක උපදි යි. අකුශලජනකකර්‍මය, උපපීළකකර්‍මයෙන් පීඩා ලැබීම ය, එහි හේතුව. උසස් කුලයෙක ඉපැදිය යුත්තේ සමහර විට පහත් කුලයක උපදි යි. එහි හේතුව කුශල ජනකකර්‍මය, උපපීළකකර්‍මයෙන් පහර ලැබීම ය. යමෙක් අකුශල ජනකකර්‍මයකින් තිරිසන් යෝනියෙහි තිරිසන් ව උපන්නේ ද, කුසලඋපපීළකය තෙමේ ඒ සත්වයා සුවපත් කරයි. යමෙක් මහාසාරා දී වූ උසස් කුලයක උපන්නේ ද, අකුසලඋපපීළකය තෙමේ ඔහු දුකට පමුණුවන්නේය. මෙ ද මෙසේ කුශලාකුශල. වශයෙන් දෙ පරිදි ය. සුනක්ඛත්තයාගේ අකුශලකර්‍මය, කුශලකර්‍මයට උපපීළක විය. වොරඝාතකයාගේ කුශලකර්‍මය, අකුශල කර්‍මයට උපපීළක විය. ඒ කථාවස්තු බලනු.
උපඝාතකකර්‍මැ, කීයේ ජනකකර්‍මය හෝ එයින් උපන් විපාකයන් මුළුමනින් සිඳලන කර්‍මය යි. මෙය, ජනකකර්‍මය. විසින් දෙන ප්‍රතිසන්ධිය සිඳ හරි යි. ඉපැත්මෙන් පසු විඳින සුඛදුඃඛ විපාකත් වනසාලන්නේ ය. උපඝාතකකුශලකර්‍මය, දුර්‍වල වූ අකුශලජනකකර්‍මය නසාල යි. උපඝාතකඅකුශලකර්‍මය, දුර්‍වල වූ කුශලජනකකර්‍මය බිඳ හරින්නේයි. සුගතියෙක හෝ දුගතියෙක උපන්නේ, ඒ ගතියට අයත් ආයු කාලය මුළුමනින් ජීවත්ව නො සිට අතර කාලයෙහි මියයනුයේ ද, මේ උපඝාතකකර්‍මය, ජනකකර්‍මයත් එයින් දුන් විපාකත් නසන බැවිනි. අකාලමරණයට හේතුව උපඝාතකකර්‍මය යි. අජාසත් රජුගේ ආනන්තර්‍ය්‍ය කර්‍මය, කුශලකර්‍මයට උපඝාතක විය. අඞ්ගුලිමාල ස්ථවිරයන් වහන්සේගේ ශීලසමාධ්‍යාදිකුශලකර්‍මය, අකුශලකර්‍මයට උපඝාතක විය. උපච්ඡෙදක නමින් ද මේ හැඳින් වේ. ඒ කථාවස්තු බලනු.
කර්‍මය, විපාක දෙන සැටියෙනුදු සිවු වැදෑරුම් ය. ගරුක කර්‍ම - ආසන්නකර්‍ම - ආචීර්‍ණකර්‍ම - කෘතත්වාත්කර්‍ම යි.
එහි කුශලාකුශලකර්‍ම අතුරෙහි යම් කර්‍මයෙක් බලගතු වේ නම්, ඒ ගරුකකර්‍ම, නම් වේ. එහි විපාකය, අනික් කර්‍මයකට යටපත් කළ නො හැකි ය. කුශලපක්‍ෂයෙහි ගරුකකර්‍මය වනුයේ රූපාරූපඅෂ්ටසමාපත්තිය ය. ධ්‍යාන කුසල් ය. ධ්‍යානයෙන් යුක්ත ව යමෙක් මිය ගියේ නම්, ඔහු දෙවන අත්බවෙහි බඹලොව උපදියි. අකුශලපක්‍ෂයෙහි නියත මිථ්‍යාදෘෂ්ටිය හා පඤ්චානන්තර්‍ය්‍යකර්‍මය ගරුකකර්‍ම වේ. නියත මිසදිටු ගත්තේත් ආනන්තර්‍ය්‍ය කෙළේත් දෙවන අත්බවෙහි අපායයෙහි උපදි යි. මෙය කිසි ලෙසකින් වළකනු බැරි ය. මෙසේ මෙ ද කුශලාකුශලවශයෙන් දෙ පරිදි ය.
ආසන්නකර්‍ම, නම්, මරණාසන්නකාලයෙහි සිතට අරමුණු වන්නේ ය. එය පෙර කරන ලද්දක් හෝ මරණාසන්නකාලයෙහි කරන ලද්දක් හෝ විය හැකි ය. මෙ ද කුශලාකුශලවශයෙන් දෙ පරිදි වේ. තමන් කළ කුශලාකුශලකර්‍ම දෙකින්, යමෙක. මරණාසන්නයෙහි දී චුතිචිත්තය එල්බ ගණී ද, ඒ ආසන්නකර්‍මැ, යි කියන ලදී. දමිළ දොවාරික-මහාවාචකාලවස්තු බලනු.
ආචීර්‍ණකර්‍ම, නම්, කුශලාකුශලකර්‍ම අතුරෙහි යම් කර්‍මයෙක් බොහෝ කලක් සෙවුනා ලද ද, පුරුදු කරණ ලද ද, නිතර නිතර සිහි කරණ ලද ද, ඒ ය. සොම්නස් බහුල වූ කුශලකර්‍මත් සන්තාප බහුල වූ අකුශලකර්‍මත් මෙහිලා ගණිත්. යබ්බහුලකර්‍මැ, යි කියනු ලබන්නේ ද, මේ ය. චුන්දසූකරිකවස්තුව බලනු.
කෘතත්වාත්කර්‍ම, නම්, මේ තුන් අයුරින් ම නො ගැණෙන නො දැන විසුරුණු සිතින් කෙළේ ය. මේ වනාහි කළ බැවින් කර්‍මැ යි කියනු ලැබේ. පෙර ජාතීන් හි කළ අපරාපරියවේදනීය කර්‍මය මින් ගැණේ. මෙ ද කුශලාකුශලවශයෙන් දෙ පරිදි ය.
මේ කර්‍ම සතරින් පළමු පළමු කර්‍මයක් නැති කල, පසු පසු කර්‍මයෝ විපාක දෙති. පළමු කොට විපාක දෙනුයේ ගරුකකර්‍මය යි. ගරුකකර්‍මයක් නැති කල්හි, ආචීර්‍ණකර්‍මය විපාක දෙන්නේ ය. එබන්දකුත් නැති කලට, යදාසන්නකර්‍මය විපාක දීමට ඉදිරියට එයි. යදාසන්නකර්‍මයකුත් නො වූයේ නම්, අපරාපරියවේදනීය යි කියූ කෘවෘතත්‍වාකර්‍මය විපාක දෙයි.
විපාක දෙන කාලවශයෙන් ද කර්‍මය, දිට්ඨධම්මවෙදනීය - උපපජ්ජවේදනීය - අපරාපරියවේදනීය - අහොසි, යි සිවු වැදෑරුම් වේ.
කුශලාකුශලකර්‍ම රැස් කරන්නා වූ කාලයෙහි හමුවන ඉටු අනිටු අරමුණු අරබයා හට ගන්නා වූ චිත්තවීථින් පිළිබඳ ජවන වීථිය, අරමුණෙහි සත් වරක් දුවන්නී ය. ඒ චිත්තද්වර සතින් පළමුවන චිත්තද්වාරයෙහි යෙදුනු චේතනාව, කර්‍මය රැස් කළ අත්බ්ව්හි ම විපාක දෙයි. ඒ හෙයින් ඒ චේතනාව දිට්ඨධම්මවෙදනීයකර්‍මැ, යි කියනු ලැබේ. මුලින්, යමකගේ රුකුලක් නො ලබන මෙය, ආසේවනප්‍රත්‍යයයාගේ නො ලැබීම හේතුකොට දුර්‍වල වේ. එහෙයින් ප්‍රතිසන්ධිවිපාක නො දේ. දෙන්නේ ප්‍රවෘත්ති විපාකමාත්‍රයෙකි. විපාක දීමට අවස්ථා නො ලැබිනි නම්, අහෝසි වෙයි. නැවැත විපාක දීම සඳහා කිසිකලෙකත් නො එයි. මෙ ද කුශලාකුශල වශයෙන් දෙ පරිදි ය. අකුශලපක්‍ෂයෙහි නන්දමානවක තෙමේ උපුල්වන් මෙහෙණ කෙරෙහි වරදවා පිළිපැදීම ද, නන්දගොඝාතක තෙමේ පසළොස්වක් දිනයෙහි ගොනුගේ දිව කපා උයා බැද ගෙන එව යි ගෙන්වා ගෙන දිවෙහි තැබූ සැටියේ දිව මුලින් ගැලවී බත් පිඟානෙහි ගැලවී වැටීම ද, කොකාලිකයාගේ ‘පාපිච්ඡා භන්තෙ! සාරිපුත්ත මොග්ගල්ලානා’ යි කළ ආර්‍ය්‍යොපවාදයෙන් සිරුර හටගත් බෙලි ගෙඩි පමණ පිළිකා ඇති ව එයින් මැරී ගොස් නිරයෙහි ඉපදීම ද දත යුතු ය. කුශල පක්‍ෂයෙහි කාකවළිය සිටානන් නිරෝධසමාපත්තියෙන් නැගී සිටි මහසුප් තෙරුන් වහන්සේට දුන් කැඳ දානයේ විපාකයෙන් මේ අත් බවේදී ම මහත් සම්පත් ඇති ව සිටු තනතුරු ලැබීම ද, සැරියුත් මහතෙරුන් වහන්සේට දන් දීමෙන් එම අත්බව්හි ම පුර්‍ණ නම් දුගියාගේ සිටු තනතුරු ලැබීම ද, දත යුතු ය. දෘෂ්ටධර්‍මවේදනීයකුශලකර්‍මය එම අත්බවෙහිම ඇස් ඉදිරියේ පෙණි පෙණී මහත් සේ විපාක දීමට නම්, බුදු පසේබුදු මහරහත් කෙනෙකු ලැබූ ධාර්මිකදානවස්තුව එ දවස්හි ම නිරෝධසමාපත්තියෙන් නැගී සිටියහු කෙරෙහි ශ්‍රද්ධා වීර්‍ය්‍ය ප්‍රඥාවන්ගෙන් යෙදී පිරිනැමිය යුතු ය.
උපපද්‍යවෙදනීයකර්‍ම, නම්, දෙවන අත්බවෙහි ප්‍රතිසන්ධිය දෙන චේතනා ය. එ ද කුශලාකුශල වශයෙන් දෙ පරිදි ය. කුශලාකුශලජවනවීථියෙහි අන්තිම චිත්තද්වාරය වූ සත්වන චිත්තද්වාරයෙහි යෙදෙන චේතනාව, උපපද්‍යවෙදනීයකර්‍ම නාමයෙන් කිය වේ. මෙය එයට මුලින් සිටි චිත්තද්වාර සයෙන් ලත් රුකුලෙන් ආසේවන ප්‍රත්‍යය ලද්දේ ම, දෙවන අත්බවෙහි විපාක දෙන්නේ ය. විපාක දීමට අවසර නො ලද්දේ නම්, අහෝසි වේ. මෙය ප්‍රතිසන්ධිවිපාකය පමණක් නො ව, ප්‍රවෘත්තිවිපාක ද දෙයි. විපාකදානයට ආසේවනප්‍රත්‍යය ලැබිය යුතු ම ය. අරමුණක් ගෙණ පහළ වූ ජවන් සිත් සතින්, සත්වන ජවන් සිත, විපාක දානය කරන්නේ එයට මුලින් සිටි පළමුවන දෙවන තෙවන සිවුවන පස්වන සවන චිත්තක්‍ෂණයන්ගෙන් අනුබල ලැබීමෙනි. ගැළෙක යෙදූ ගොන් යුග සතින්, මුලින් යෙදූ ගොන් යුග සය, සත්වන ගොන් යුගයට ගැළ නඟාලීමෙහි රුකුල් දෙන ලද්දේ නම්, ඒ සත්වන යුගය, ගැළ පහසුවෙන් අදින්නාක් මෙනි. එක සත්වයකු කෙරෙහි ඇති උපපද්‍යවේදනීයකර්‍ම බොහෝ ය. එහෙත් විපාක දෙනුයේ ඉතා බලවත් වූ කර්‍මය යි. අනික් කර්‍මයෝ, අහොසිකර්‍ම නම් වෙති. නියම කල් ඉක්මීමෙන් බොල්වී ගිය, පැල නො වන ඇට ජාති මෙනි.
අපරාපර්‍ය්‍යවෙදනීයකර්‍ම, නම්, දෙවන අත්බවෙන් පසු තුන් වන අත්බව පටන් නිවන් ලබා අවසන් වන තුරු, මේ අතර කාලයෙහි ඉඩ ලැබුනු විට ප්‍රතිසන්ධිවිපාක හා ප්‍රවෘත්තිවිපාක දෙන්නා වූ, ජවන් සිත් සතින්, මැදසිටි ජවන් සිත් පසෙහි යෙදුනු චේතනා ය. එ ද විපාක දෙනුයේ දෘෂ්ටධර්‍මවේදනීයකර්‍මැ, යි කියූ ප්‍රථම ජවන, චේතනාවෙන් අනුබල ලැබීමෙනි. රාත්‍රිකාලයෙහි එකලා ව සොහොන් බිමකට නො යා හැකි පුරුෂයක්හට දෙවැන්නකුගේ සහාය ලත් කල්හි රාත්‍රිකාලයෙහි වුව ද සොහොන් බිමට යා හැකි ය. එ පරිද්දෙන් දෘෂ්ටධර්‍මවෙදනීයකර්‍මයේ වහල් බව ලැබීමෙන් අපරාපරියවේදනීයකර්‍මය විපාකදානයෙහි පොහොසත් වේ.
එක් සත්වයකුට ඇත්තා වූ අපරාපර්‍ය්‍යවේදනීයකර්‍මයන්ගේ කෙළවරක් දක්වන්නට බැරි ය. සිවු මහාසයුරෙහි ජලය, අබ පියල්ලෙකින් මැන බැලුව ද එක් සත්වයකුට ඇති අපරාපර්‍ය්‍යවෙදනීයකර්‍මයන්ගේ ගණන කොයිලෙසකිනුත් මැන නො බැලිය හැකි ය. මෙය විපාක දීමට ඉඩ ලැබුනු කල්හි ම විපාක දෙන්නේ ය. නිර්‍වාණය දක්වා ම ප්‍රතිසන්ධි-ප්‍රවෘත්ති විපාක දීමෙහි මෙය පොහොසත් ය. එක් කර්‍මයක් එක් ප්‍රතිසන්ධියක් දුන්නේ ද, අත්බව් ලක්‍ෂ ගණනක් ප්‍රවෘත්තිවිපාක දීමෙහි පොහොසත් ය.
අහොසිකර්‍ම, නම්, විපාක නො දිය හැකි කර්‍ම යි. ජවනවීථියෙහි ප්‍රථම ජවනය මේ අත්බව්හි විපාක නො දුන්නේ නම්, ඒ අහොසි කර්‍ම වේ. සත්වන ජවනය දෙවන අත්බව්හි විපාක නො දුනහොත් අහෝසි කර්‍ම වේ. එ ද කුශලාකුශල වශයෙන් දෙ පරිදි ය. දෙව්දත්තෙර, සිල් රැක අෂ්ටසමාපත්ති ඉපදවීමෙන් කාමාවචර රූපාවචර කුසල් රැස් කළ ද, කළා වූ සංඝභේදකර්‍මය හේතුකොට නිරයෙහි උපන. ඔහු රැස් කළ ඒ කුශලකර්‍මයන්ගේ දෘෂ්ටධර්‍මවේදනීය, උපපද්‍යවේදනීය කර්‍මශක්තිය අහෝසි වූ ය. අඞ්ගුලිමාල ස්ථවිරයෝ තමන් කළ ප්‍රාණඝාත අකුශලකර්‍මයන්ගේ උපපද්‍යවෙදනීය- දෘෂ්ටධර්‍මචේදනීය කර්‍මශක්තිය මුළුමනින් අහෝසි බවට පමුණුවා ලූහ. එහෙත් අකුශලදෘෂ්ටධර්‍මවේදනීය කර්‍මශක්තියෙන් බලු කපුටන්ට දමා ගසන දඬු මුගුරු කැට කැබලිති තම හිස වැදීමෙන් ලෙයින් වැකුණු සිරුරු, ඇති ව දුක් විඳින්නට උන්වහන්සේට සිදු විය. අපරාපර්‍ය්‍යවේදනීයකර්‍මය අහොසි බවට යනුයේ, සසර ඉපදීම සිඳ දමා නිවන් අවබෝධ කිරීමෙන් පසු ය. අනුපාදිශේෂ නිර්‍වාණ ධාතුවෙන් නිවනට පැමිණෙන තුරු සත්වයන්ට මේ කර්‍මයෙන් මිදීමෙක් නැත්තේය. මෙසේ ඒ ඒ කර්‍මයන්ගේ විපාකයට නියම කාලය ඉක්ම යෑමෙන් බොල්ව ගිය කර්‍ම, අහෝසිකර්‍මැ, යි. දතයුතු ය.
විපාක දෙන ස්ථානයන්ගේ වශයෙන් අකුශලකර්‍ම - කාමාවචරකුශලකර්‍ම - රූපාවචරකුශලකර්‍ම - අරූපාවචරකුශලකර්‍ම, යි කර්‍මය සිවු වැදෑරුම් ය.
එහි, අකුශල කර්‍ම, ද්වාර වශයෙන් කායකර්‍ම - වාක්කර්‍ම - මනඃකර්‍ම යි තෙපරිදි ය. පාණඝාත - අදින්නාදාන - කාමමිච්ඡාචාර යන තුන බොහෝ සෙයින් කායද්වාරයෙහි පවත්නා බැවින් කායකර්‍ම යි. මුසාවාද - පිසුණාවාච - ඵරුසාවාච - සම්ඵප්පලාප යන සතර බොහෝ සෙයින් වාග්ද්වාරයෙහි පවත්නා බැවින් වාක්කර්‍ම යි. අභිජ්ඣා - ව්‍යාපාද - මිච්ඡාදිට්ඨි යන තුන සිතෙහි වන බැවින් මනඃකර්‍මයි. මෙකී ප්‍රාණඝාතාදින් ගේ විස්තරයට යට කියන ලද්දේය.
ලෝභ - දෝස - මෝහ යි අකුශලකර්‍මයන්ගේ ඉපැත්මට මුල් තුනෙකි. මෝහය, සියලු අකුසලයන්ට මුල් වේ. ලෝභ - දෝස මුල් වනුයේ සමහර අකුසලයන්ට ය. එහෙයින් මෙහිලා යට කියූ ධර්‍ම විස්තරය බලනු. දශඅකුශලය, චිත්තෝත්පාදවශයෙන් දොළොස් වැදෑරුම් ය. එ ද යට කීයේ ය. දැන් සැකෙවින් කියා නිමවන ලද්දේ නිරයෙහි විපාක දෙන කර්‍ම යි.
කාමාවචරකුශල කර්‍මය ද, කායකර්‍ම - වාක්කර්‍ම - මනඃ කර්‍ම යි තුන් වැදෑරුම් ය. කුශලකර්‍ම, කායාදිද්වාරත්‍රයයෙහි පවත්නා ක්‍රම දෙකෙකි. කවර කුශලයක් නමුත් කයින් කරන ලද්දේ කාය කර්‍ම යි. වචනයෙන් කරන ලද්දේ වාක්කර්‍ම යි. එසේ ම, සිතින් කරණ ලද්දේ මනඃකර්‍ම යි. එනම්, කයින් දුන් දානය කායකර්‍ම ය. වචනයෙන් දුන් දානය වක්කර්‍ම ය. සිතින් දුන් දානය මනඃකර්‍ම ය. සෙස්ස ද මේ නයින් සලකා ගත හැකි ය. අනික් ක්‍රමය නම්, කායදුශ්චරිතයෙන් වාග්දුශ්චරිතයෙන් මනෝදුශ්චරිතයෙන් වැළකීම, කායවාඞ්මන්‍ඃ කර්‍ම කුසල් වීම ය. මෙහි මුලින් දැක්වෙන කර්‍ම දෙකෙහි කය-වචන දෙදෙනාගේ මෙහෙයුමක් නැත ද, සංවර බැවින් කුශලකායවාක්කර්‍මැ යි කියනු ලැබේ.
දාන-සීල-භාවනාවශයෙන් කුශලකර්‍මය තෙ පරිදි වන්නේ ය. චිත්තොත්පාදවශයෙන් අට වැදෑරුම් වන්නේ ය. දාන - සීල - භාවනා - අපචායන - වෙය්‍යාවච්ච - පත්තිදාන - පත්තානුමෝදනා - ධම්මදේසනා - ධම්මසවණ- දිට්ඨුජ්ජකම්ම යි දස වැදෑරුම් වන්නේ ය. යට කියන ලද්ද බලනු.
මෙහි, පත්තිදාන, පත්තානුමෝදනා දෙක දානයෙහි ඇතුළත් ය. අපචායන, වෙය්‍යාවච්ච දෙක සීලයෙහි ද, දේසනා, සවණ, දිට්ඨුජ්ජකම්ම තුන භාවනාවෙහි ද ඇතුළත් ය. ඇතැම් කෙනෙක් දේසනාව දානයෙහි ද, දිට්ඨුජ්ජුකම්මය ත්‍රිවිධකුශලයෙහි ද ඇතුළත් කෙරෙත්.
මෙසේ විවිධභේදයෙන් භින්න වූ ඒ කාමාවචරකර්‍මය, කුසල් අකුසල් වශයෙන් දෙ වැදෑරුම් වේ. කුසලය, කාමාවචර කුසල් සිත් වසයෙන් අට වැදෑරුම් ය. අකුසලය, අකුසල් සිත් වසයෙන් දොළොස් වැදෑරුම් ය. මුළුල්ල එකතු ච කාමාවචරකර්‍ම, චිත්ත භේදයෙන් විස්සෙක් වේ.
රූපාවචරකුසලය, මනඃකර්‍ම යි. එය සිතින් ම සිදු වේ. භාවනාමය කුසලය යි. අර්‍පණාවට පැමිණි කුසලය ම රූපාවචර වේ. ඉන් මෙ පිට වූයේ කාමාවචරැ යි ගැණේ. එය ප්‍රථමධ්‍යානාදි වශයෙන් පස් වැදෑරුම් ය තරමක විස්තරයක් චිත්තවර්‍ගයෙහි කියූ ඇත. ඒ බලනු.
අරූපාවචර කුසලය, ආලම්බනවශයෙන් සිවු වැදෑරුම් වූයේ මනඃකර්‍ම යි. භාවනාමය වේ. විස්තර චිත්තවර්‍ගයෙහි ඇත.
මෙසේ මෙහි සැකෙවින් කියූ කර්‍මය, සූත්‍රපිටකයෙහි දිට්ඨධම්මවේදනීය - උපපජ්‍ජවෙදනීය - අපරාපරියවේදනීය - යග්ගරුක - යබ්බහුල - යදාසන්න - කටත්තා වා පන - ජනක - උපත්ථම්භක - උපපීළක - උපඝාතක යි එකොළොස් අයුරකින් බෙදෙන්නේ ය. මේ එකොළොස් අයුර ම මෙහි ඉතා කොටින් කියවින. අහොසිකම්ම, යි කියූ කර්‍මය, සූත්‍රපිටකයෙහි වෙන්කොට නො දැක්වුනේ, දිට්ඨධම්මවේදනීය, උපපජ්ජවේදනීයකර්‍මයන්ගේ අවිපාකඅවස්ථාවෙහි ගැණන බැවිනි. දෘෂ්ටධර්‍මවෙදනීයකර්‍මයට හෝ උපද්‍යවෙදනීයකර්‍මයට හෝ යම් කිසිලෙසකින් විපාකදානයට ඉඩ නො ලැබුනි නම්, ඒ කර්‍ම, අහොසි වේ.
අභිධර්‍මපිටකයෙහි පාපකර්‍මසමාදානයෝ, ගතිසම්පත්ති - උපධිසම්පත්ති - කාලසම්පත්ති - පයොගසම්පත්ති - ගතිවිපත්ති - උපධිවිපත්ති - කාලවිපත්ති - පයොගවිපත්ති යි අටක් ද, කල්‍යාණකර්‍මසමාදානයෝ, ගතිවිපත්ති - උපධිවිපත්ති - කාලවිපත්ති - පයෝගවිපත්ති - ගතිසම්පත්ති - උපධිසම්පත්ති - කාලසම්පත්ති - පයොගසම්පත්ති යි අටක් දැ යි සොළොස් අයුරකින් බෙදා දක්වන ලදහ.
එහි, අනිටු, නො කැමැතිවන ලද අරමුණු රස විඳීමට සුදුසු පව්කම් ඇති කල්හි ම යමෙක් සුගතියෙක උපදී ද, ඔහුගේ ඒ පාපකර්‍මය ගතිසම්පත්තියෙන් වැළකී ගියේ, විපාක නො දේ. මෙසේ ගතිසම්පත්තියෙන් වැළකී විපාක දීමෙහි අපොහොසත් කර්‍මය ගතිසම්පත්තිපතිබාළ්හ, නම් වේ.
යමෙක් වනාහි පව්කම් හේතුකොට දාසියක හෝ කර්‍මකාරිණියක හෝ කුස ඉපද දෙහවිලාසයෙන් හා රූපශ්‍රීයෙන් උසස් ආත්මභාවසමෘද්ධියක් ගෙණ සිටී ද, එකල එහි අධිපතියෝ ඔහු දැක ‘මොහු පහත් වැඩ කිරීමට සුදුසු නො වේය’ යි තමන්ට දාව උපන් පුතකු සේ සැපයෙන් හදා වඩා යම්කිසි උසස් තනතුරෙක තබා සියලු යස ඉසුරු දී පරිහරණය කෙරෙති. මෙබන්දහුගේ දාසියක කුස ඉපැත්මට කරුණු වූ ඒ මේ පාපකර්‍මය උපධිසම්පත්තියෙන්, වැළකුණේ විපාක නො දෙනුයේ උපධිසම්පත්ති පතිබාළ්හ, නම් වේ.
යමෙක් තෙමේ කල්පයෙභි මුල් කාලය වැනි කාලයෙක යස ඉසුරෙන් පිරිපුන් කෑම් බීම් බොහෝ කොට ඇති යම් කුලයෙක උපදී ද, ඔහුගේ විද්‍යමානකර්‍මය, කාලසම්පත්තියෙන් බාධිත ව විපාක නො දෙනුයේ කාලසම්පත්ති පතිබාළ්හ නම් වේ.
යමෙක් තෙමේ, ප්‍රයෝගයෙන් ජීවත් වේ ද, යමක්හු වෙත යායුතු කාලයෙහි යේ ද, පෙරළා ආයුතු කාලයෙහි පෙරළා ඒ ද, පලායන්නට සුදුසු කාලයෙහි පලා යේ ද, අල්ලස් දියයුතු කාලයෙහි අල්ලස් දේ ද, මෙබන්දහුගේ විද්‍යමානකර්‍මය, ප්‍රයෝග සම්පත්තියෙන් වැළකී ගියේ, විපාක නො දෙන්නේ ද වේ. ඒ පයොගසම්පත්තිපතිබාළ්හ, නම් වේ.
දුගතියෙහි උපන්නහුන්ගේ පාපකර්‍මය, ගතිවිපත්තිය පිණිස විපාක දෙනුයේ ගතිවිපත්ති, නම් වේ.
යමෙක් තෙමේ දාසියක හෝ කර්‍මකාරිණියක හෝ කුස උපන්නේ, දුර්‍වර්‍ණ ව ගියේ, නපුරු සටහන් ඇත්තේ ‘මෙතෙමේ යකෙක් ද මිනිසෙක් දැ’ යි විමති ඉපදීමට කරුණු වේ ද, හෙතෙමේ යම්කිසි ලෙසකින් පුරුෂයෙක් වූයේ ද, වැදගත් තනතුරෙක යෙදීමට නො සුදුසු ය යි ඇත් අස් ගොන් බැලීමෙහි හෝ දිය දර තණ ගෙණ ඊමෙහි යොදනු ලැබේ. ඉදින් සත්‍රියක් වූ නම් හස්ති අශ්ව සුනඛාදීන් පිණිස බත්පිසුම් දියගෙණුම් ආදී පහත් කටයුතුවල යොදත්, කුණුකසළ මල මූ ඈ බැහැර කරවත්. මෙබන්දහුගේ පාපකර්‍මය, උපධිවිපත්තිය හෙයින් විපාක දෙනු යේ උපධිවිපත්ති, නම් වේ.
යමෙක් තෙමේ දුර්භික්‍ෂ කාලයෙක හෝ පිරිහුනු යසඉසුරු ඇති කාලයෙක හෝ නැත, අන්තඃකල්පයෙක උපදී ද, ඔහුගේ පාපකර්‍මය කාලවිපත්තිය බැවින් විපාක දෙනුයේ කාලවිපත්ති, නම් වේ.
යමෙක් තෙමේ ප්‍රයෝගයෙහි දක්‍ෂ නො වේ ද, එළැඹිය යුතු කාලයෙහි එළැඹෙන්නට නො දනී ද, යා යුතු තැන නො දනී ද කළ යුතු සැටි නො දනී ද, එබන්දහුගේ පාපකර්‍ම, ප්‍රයෝගවිපත්ති බැවින් විපාක දෙනුයේ පයොගවිපත්ති, නම් වේ.
යමෙක් තෙම් ඉටු අරමුණු රස විඳීමට සුදුසු වූ කර්‍මයක් ඇති කල්හි ම දුගතියෙක උපදී ද, ඔහුගේ ඒ කුශලකර්‍මය ගතිවිපත්තීන් බාධිත ව විපාක නො දෙනු යේ ගතිවිපත්තිපතීබාළ්හ, නම් වේ.
යමෙක් තෙමේ කුශලකර්‍මානුභාවයෙන් රජ ඇමැති සිටු ආදීන්ගේ ගෙයක ඉපද කණෙක්, කොරෙක්, කුදෙක්, ගොලුවෙක්, බිහිරෙක් වේ ද, එහෙයින් කුශලකර්‍මානුභාවයෙන් ලත් යුව රජ මැති ඇමති කම් ඈ උසස් තනතුරු ඔහුට නො ද පැමිණේ. මෙබන්දහුගේ ඒ කුශලකර්‍මය, උපධිවිපත්තීන් බාධිත ව විපාක නො දෙනුයේ උපධිවිපත්තීපතිබාළ්හ, නම් වේ.
යමෙක් තෙමේ දුර්භික්‍ෂ කාලයෙක හෝ පිරිහුනු යසඉසුරු ඇති කාලයෙක හෝ, නැත, අන්තඃකල්පයෙක මිනිසුන් අතර උපදී ද, ඔහුගේ ඒ කුශලකර්‍මය, කාලවිපත්තියෙන් බාධිත ව විපාක නො දෙනුයේ කාලවිපතතීපතිබාළ්හ, නම් වේ.
යමෙක් තෙමේ යට කියූ ලෙසින් ප්‍රයෝග කරන්නට නො දනී ද, ඔහුගේ ඒ කුශලකර්‍මය, ප්‍රයෝගබාධිත ව විපාක නො දෙනුයේ පයොගවිපත්තිපතිබාළ්හ, නම් වේ.
යමෙක් තෙමේ කුශලකර්‍මයකින් සුගතියෙහි උපදී ද, ඔහුට ඒ කුශලකර්‍මය, ගතිසම්පත්තිය පිණිස විපාක දෙනු යේ ගතිසම්පත්ති, නම් වේ.
යමෙක් තෙමේ රාජරාජමහාමාත්‍යාදීන්ගේ කුලයෙහි ඉපද රූපලක්‍ෂණයෙන් ආත්මභාවසමෘද්ධියට, පැමිණියේ දෙව් පුරයෙක නැඟු රුවන් තොරණක් වැනි ඔහුගේ ආත්මභාවය දැක මොහුට යුවරජ කම් ඇමැති කම් ඈ හැම උසස් තනතුරෙක් ම සුදුසුය’ යි ලදරු කල ම ඒ ඒ තනතුරු දෙති. මෙබන්දහුගේ ඒ කුශල කර්‍මය උපධිසම්පත්තිභාවයෙන් විපාක දෙනුයේ උපධිසම්පත්ති, නම් වේ.
යමෙක් තෙමේ ප්‍රථමකල්පිකයන් කෙරෙහි හෝ සුලභ වූ ආහාරපාන ඇති කාලයෙක හෝ උපදී ද, ඔහුට ඒ කුශල කර්‍මය, කාලසම්පත්තිභාවයෙන් විපාක දෙනුයේ කාලසම්පත්ති, නම් වේ.
යමෙක් තෙමේ යට කියූ සේ ප්‍රයෝගය දනී ද, එළැඹීම් පලායෑම් අල්ලස් දීම් ඈ දනී ද, උනුන්ගේ සිත් ගැණුමෙහි දක්‍ෂ වේ ද, මිහිරි තෙපුලෙහි සමර්‍ත්‍ථ වේ ද, ඔහුගේ ඒ කුශලකර්‍මය ප්‍රයෝගසම්පත්තිභාවයෙන් විපාක දෙනුයේ පයොගසම්පත්ති, නම් වේ.
ප්‍රතිසංවින්මාර්‍ගයෙහි, කියූ ලෙසින් කර්‍මය තෙමේ, “අහොසි කම්ම අහොසිකම්මවිපාක - අහොසිකම්ම නාහොසිකම්මවිපාක - අහොසිකම්ම අත්‍ථිකම්මවිපාක - අහොසිකම්ම නත්ථිකම්මවිපාක - අහොසිකම්ම භවිස්සතිකම්මවිපාක - අහොසිකම්ම න භවිස්සතිකම්මවිපාක - අත්‍ථිකම්ම අත්ථිකම්මවිපාක - අත්‍ථිකම්ම නත්ථිකම්මවිපාක - අත්‍ථිකම්මභවිස්සතිකම්මවිපාක - අත්‍ථිකම්ම න භවිස්සතිකම්මවිපාක - භවිස්සතිකම්මභවිස්සතිකම්මවිපාක - භවිස්සතිකම්ම න භවිස්සතිකම්මවිපාක” යි දොළොස් අයුරකින් බෙදී ගියේ දතයුතු ය.
පෙර රැස් කළ යම් කර්‍මයෙක් කිසි හේතු ප්‍රත්‍යයයකින් පෙරම විපාකවාර ලැබ, ප්‍රතිසන්ධි-ප්‍රවෘත්තිවිපාක දී නිමාවට යේ ද ඒ අහොසිකම්ම අහොසිකම්ම විපාක, නම් වේ.
යම් කර්‍මයෙක් විපාකවාරය නො ලැබ, ප්‍රතිසන්ධි-ප්‍රවෘත්ති විපාකදීමෙහි අපොහොසත් වී ද, ඒ අහොසිකම්ම නාහොසි කම්මවිපාක, නම් වේ.
යමෙක් තෙමේ යටගිය දවස රැස් කරණ ලද්දේ, දැන් මෙකල විපාකවාර ලැබ, ප්‍රතිසන්ධි- ප්‍රවෘත්තිවිපාක දී සිටියේ ද, ඒ අහොසිකම්ම අර්‍ත්‍ථකම්මවිපාක, නම් වේ.
යමෙක් තෙමේ විපාකවාර නො ලැබීමෙන් ප්‍රතිසන්ධි-ප්‍රවෘත්ති විපාකදීමට අසමර්‍ත්‍ථ වේ ද, ඒ අහොසිකම්ම නත්ථිකම්මවිපාක, නම් වේ.
යමෙක් තෙමේ අතීතයෙහි රැස්කරණ ලද්දේ, අනාගත කාලයෙහි විපාකවාර ලැබ, ප්‍රතිසන්ධි- ප්‍රවෘත්තිවිපාක දීමට හැකි වන්නේ ද, ඒ අහොසිකම්ම භවිස්සතිකම්මවිපාක, නම් වේ.
යමෙක් තෙමේ අනාගතයෙහි විපාකවාර නො ලැබ, ප්‍රතිසන්ධි-ප්‍රවෘත්තිවිපාක දීමට නො හැකි වන්නේ ද, ඒ අහොසිකම්ම න භවිස්සතිකම්මවිපාක, නම් වේ.
යමෙක් දැන් මෙකල සකස් කරණ ලද්දේ, මෙකල ම විපාකවාර ලබා ද, ඒ අත්ථිකම්ම අත්ථිකම්මවිපාක, නම් වේ.
යමෙක් දැන් මෙකල විපාකවාර නො ලබා ද, ඒ අත්‍ථිකම්මනත්ථිකම්මවිපාක, නම් වේ.
යමෙක් දැන් සකස් කරන ලද්දේ, අනාගතයෙහි විපාකවාර ලදින් ප්‍රතිසන්ධි-ප්‍රවෘත්තිවිපාක දීමෙහි හැකි වන්නේ ද, ඒ අර්‍ත්‍ථකමමභවිස්සතිකම්මවිපාක, නම් වේ.
යමෙක් එසේ නො වනුයේ අත්ථිකම්ම න භවිස්සතිකම්මවිපාක, නම් වේ.
යමෙක් අනාගතයෙහි වැළකුනේ අනාගතයෙහි ම විපාකවාර ලබා ද ඒ භවිස්සතිකම්ම භවිස්සතිකම්ම, විපාක, නම් වේ.
යමෙක් එසේ විපාක නො ලබනුයේ, ප්‍රතිසන්ධි-ප්‍රවෘත්තිවිපාක දීමෙහි නො හැකි වන්නේ භවිස්සති කම්ම න භවිස්සති කම්ම විපාක, නම් වේ.
මෙසේ, ප්‍රතිසංවින්මාර්‍ගයෙහි ආ කර්‍ම දොළසත්, අභිධර්‍මපිටකයෙහි ආ කර්‍ම සොළසත් යන කර්‍ම අටවිස්ස, සූත්‍ර පිටකයෙහි එන කර්‍ම එකොළොසෙහි ම ගැලී යයි.
අභිධර්‍මයෙහි එන, ෂොඩශ කර්‍මයෝත්, ප්‍රතිසංවින්මාර්‍ගයෙහි එන ද්වාදශ කර්‍මයෝත්, සූත්‍රයෙහි එන යග්ගරුක - යබ්බහුල - යදාසන්න - කටත්තාපනකම්ම - ජනක- උපත්ථම්භක - උපපීළක - උපඝාතක, යන අෂ්ටවිධ කර්‍මයෝත්, සූත්‍රධර්‍මයෙහි ම කී දිට්ඨධම්මවේදනීය - උපපජ්ජවේදනීය - අපරාපරියවේදනීය කර්‍මත්‍රයයෙහි ම ඇතුළත් වෙති. මේ තිදෙනාගේ සංක්‍රමණයෙක් නම් නැත්තේ ය.
යමෙක් තෙමේ කුසලය, කුසලැ යි ද අකුසලය, අකුසලැ යි ද කුසලවිපාකය, කුසලවිපාකැ යි ද අකුසලවිපාකය, අකුසලවිපාකැ යි ද දැන, කායද්වාරයෙහි අෂ්ටකාමාවචරචේතනාය, ද්වාදස අකුශල චේතනාය යන විසි වැදෑරුම් කායසංස්කාරයන් ද, වාග්ද්වාරයෙහි එසේ විසි වැදෑරුම් වූ වචීසංස්කාරයන් ද, මනෝද්වාරයෙහි අෂ්ටවිධකුශලචේතනාය, ද්වාදශවිධඅකුශලචේතනාය, පංචවිධරූපාවචරකුශලචේතනාය, වතුර්විධඅරූපාවචරකුශලචේතනාය යන එකුන් තිස් වැදෑරුම් චිත්තසංස්කාරයන් ද, රැස් කෙරේ නම්, එසේ දැන රැස් කරන්නා වූ, සංස්කාර නමිනුත් හඳුන්වන්නා වූ කර්‍මයෝ සම්ප්‍රජානකර්‍ම, නම් වෙති. නො දැන රැස් කරන්නො අසම්ප්‍රජානකර්‍ම, නම් වෙති.
මේ සියලු කර්‍ම, සංසාරගමනීය - නිර්‍වාණගමනීය යි දෙකට බෙදේ. එහි, අපායයෙහි උපදවන බැවින්, කෘෂ්ණකර්‍මැ, යි වදාළ. පාපකර්‍මත්, සුගතියෙහි උපදවන බැවින්, ශුක්ලකර්‍මැ, යි වදාළ කුශලකර්‍මත්, අපායයෙහි හා සුගතියෙහි උපදවන බැවින්, කෘෂ්ණශුක්ලකර්‍මැ, යි වදාළ උභයකර්‍මත්, සංසාරගමනීයකර්‍මයෝ ය. කර්‍මක්‍ෂයකරඥානැ යි කියූ චතුර්විධමාර්‍ගඥානය, නිර්‍වාණගමනීයකර්‍ම යි. ඒ වනාහි, ඉදින් අකුශලකර්‍මපක්‍ෂයෙහි වේ නම් කෘෂණවිපාක දෙන්නේ ය. හෙවත් අපායයෙහි විපාක දෙන්නේ ය. එසේ ම කුශලකර්‍මපක්‍ෂයෙහි නම්, ශුක්ලවිපාක දෙන්නේ ය. හෙවත් ස්වර්‍ග සම්පත් දෙන්නේ ය. මෙ කී උභයවිපාකය ම නො දෙන බැවින් හුදෙක් එය නිර්‍වාණගාමිනීයකර්‍මයෙහිලා ගැණේ. “තත්‍ර භික්ඛවෙ! යමිදං කම්මං කණ්හං කණ්හ විපාකං, තස්ස පහාණාය යා චෙතනා, යම්පිදං කම්මං සුක්කං සුක්කවිපාකං තස්ස පහාණය යා චෙතනා, යම්පිදං, කම්මං කණ්හසුක්කං කණ්හසුක්කවිපාකං, තස්ස පහාණාය යා චෙතනා, ඉදං වුච්චති භික්ඛවෙ! කම්මං අකණ්හං අසුක්කං අකණ්හඅසුක්කවිපාකං කම්මක්ඛයාය සංවත්තති” යනු දේශනා ය.
කර්‍මයන්ගේ කර්‍මාන්තරයත්, විපාකාන්තරයත් බුදුවරුන්ගේ අසාධාරණඥානයක් වූ කර්‍මවිපාක දන්නා නුවණට ම විෂය වේ. ශ්‍රාවකාදීන්ට ඒ විෂය නො වේ. විදර්‍ශකයෝගාවචරයා විසින් දත යුත්තේ ද එකදෙශයකිනි. එ හෙයින් පොත පතෙහි ආයේ මුඛමාත්‍රයෙක් ම ය.
කර්‍මය කරන්නෙක් පරමාර්‍ත්‍ථවශයෙන් නො ලැබේ. විපාක විඳින්නෙක් ද, පරමාර්‍ත්‍ථවශයෙන් නැත. විඥාන නමැති බිජුවටය, කර්‍ම නැමැති කුඹුරෙහි පිහිටි පසු, තෘෂ්ණා නමැති දිය වැක්කිරීමෙන් වඩනා ලද්දේ, සත්ව නැමැති කොටියෙක්, ගිරඬෙක් එයින් නැගී එයි. ඒ මුත් දිව්‍ය බ්‍රහ්ම ඊශ්වරාදීන්ගේ වශයෙන් ලෝකය කරන්නෙක්, සත්වයා මවන්නෙක් නැත්තේ ය. විපාක විඳින්නෙක් නැත්තේ ය. හේතු ප්‍රත්‍යයන්ගේ බලයෙන්, ශුද්ධ ධර්‍මයන්ගේ පැවැත්ම වේ. කර්‍මය හටගෙණ එයින් ඵලය උපදවන බැවින් තනි වූ කර්‍මයෙහි ඵලයත්, ඵලයෙහි කර්‍මයවත් නො ලැබේ. විපාකයෙහි කර්‍මයෙක් ද කර්‍මයෙහි විපාකයෙක් ද නැත. මේ දෙදෙන උනුන් ශූන්‍ය වෙති. එහෙයින් කර්‍මයෙන් - තොර ව ඵලයෙක් නො ලැබේ. සූර්‍ය්‍යයා කෙරෙහි වත් මාණික්‍යයෙහි වත්, ගොම වැරටියෙහි වත් ගින්නෙක් නැත. ඔවුන්ගෙන් බැහැරකත් ගිනි නැත. එහෙත් හේතුබලයෙන් ගිනි හටගනි යි. එ මෙන් කර්‍මය තුළ, විපාකයෙක් නැත. කර්‍මයෙන් පිටත ද විපාකයෙක් නැත. විපාකයෙහි කර්‍මයෙක් ද නැත. කර්‍මය, ඵලයෙන් ශුන්‍ය වේ. කර්‍මයෙහි ඵලයෙක් නැත්තේ ය. කර්‍මය ඇසුරු කොට, එයින් ඵලය උපදී. මේ කීහ ගුරුහු මෙසේ:-
“කම්මස්ස කාරකො නත්‍ථි විපාකස්ස ච වෙදකො,
සුද්ධධම්මා පවත්තන්ති එචෙතං සමදස්සනං,
.
කම්මං නත්ථි විපාකම්හි පාකො කම්මෙ න විජ්ජති,
අඤ්ඤමඤ්ඤං උභො සුඤ්ඤා න ච කම්මං ඵලං විනා,
.
යථා න සුරියෙ අග්ගි න මණිම්හි න ගොමයෙ,
න තෙසං බහි සො අත්ථි සම්භාරෙහි ච ජායති,
.
තථා න අන්තො කම්මස්ස විපාකො උපලබ්භති,
බහිද්ධාපි න කම්මස්ස න කම්මං තත්ථ විජ්ජති,
.
ඵලෙන සුඤ්ඤකං කම්මං ඵලා කම්මෙ න විජ්ජති,
කම්මං ච ඛො උපාදාය තතො නිබ්බත්තතී ඵලා” යි.
අතීතකර්‍මය හේතුකොට හටගත් ස්කන්ධයෝ, එහිදී ම නිරුද්ධ වූහ. අතීතකර්‍මහේතුවෙන් අතීතස්කන්ධයන්ගෙන් අන්‍ය වූ ම ස්කන්ධයෝ, මේ භවයෙහි උපන්නාහ. අතීතභවයෙන් වර්‍තමාන භවයට ආ එක ම ධර්‍මයෙක් වත් නැත්තේ ය. මෙහි රැස් කරන්නා වූ කර්‍මයන්ගේ හේතුවෙන් හටගත් ස්කන්ධයෝ, මෙහි ම නිරුද්ධ වෙති. පුනර්‍භවයෙහි පහළ වන්නෝ, මෙයින් අන්‍ය වූ ස්කන්ධයෝ ය. වර්‍තමානභවයෙන් පුනර්‍භවයට එක ධර්‍මයෙකුත් නො යන්නේ ය. ගුරුවරයාගේ මුඛයෙන් හැදෑරීම අතවැස්සාගේ මුඛයට ඇතුල් නො වේ. එහෙත් අතවැස්සාගේ මුඛයෙහි හැදෑරීම නො පිහිටිනුයේ නො වේ. පිහිටන්නේ ය. දූතයා විසින් පානය කළ මන්ත්‍රොදකය රෝගියාගේ කුස තුළට නො යේ. එහෙත් ඒ හේතුවෙන් ඔහුගේ රෝගය නො සංසිඳෙන්නේ නො වේ. එක් පහන් වැටියෙක පහන් සිළ අන් පහන් වැටියකට මාරු නො වතුදු, එහි ඒ හේතුවෙන් පහන් සිළක් නො හටගන්නේ නො වේ. එ පරිද්දෙන් අතීතභවයෙන් මේ භවයටත් මේ භවයෙන් පුනර්‍භවයටත් කිසි ධර්‍මයෙක් එන්නේත් යන්නේත් නො වේ.
ලෝකයෙහි සත්වයන්ගේ උස් පහත්කම් වනුයේ, කර්‍මශක්තියෙන් ම ය. ඒ නිසා ම සත්වයන් අතර සමානබවෙක් ඇතිවිය නො හැකි වේ. එක් එක් සත්වයා විසින් රැස්කරණ සකස්කරණ කර්‍ම, සමාන නො වීම මෙයට කරුණු ය. කර්‍මනානාත්වය ම සත්වයන්ගේ නානාභාවයට, උසස් පහත් වශයෙන් බෙදී යෑමට හේතු වන බව, ‘කම්මස්සකා මාණව! සත්තා කමමදායාදා කම්මයොනි. කම්මබන්ධු කම්මපටිසරණා කම්මං සත්තෙ විහජති යදිදං හීනප්පණීතතාය’ යි බුදුරජානන් වහන්සේ වදාළ සේක.
සතුන් මරණුයේ මරණින් මතු නිරයෙහි උපදියි. මිනිසත් බව ලැබුයේ, මද ආයු ඇත්තේ වේ. සතුන් නො මරණුයේ, මරණින් මතු දෙව් ලොව උපදියි. මිනිසත් බව ලැබුයේ, බොහෝ ආයු ඇත්තේ වේ. සත්නට හිංසා කරණුයේ, නිරයෙහි උපදියි. මිනිසත් බවට ආයේ, බොහෝ ලෙඩ ඇත්තේ වේ. හිංසා නො කරණුයේ, දෙව්ලොව උපදියි. මිනිසත්බවට ආයේ, ලෙඩ නැත්තේ වේ. කිපියේ නිරයෙහි උපදියි. මිනිසත්බවට ආයේ, දුර්‍වර්‍ණ වේ. නො කිපියේ, දෙව්ලොව උපදියි. මිනිසත්බවට ආයේ, වර්‍ණවත් වෙයි. ඊර්‍ෂ්‍යා කරණුයේ, නිරයෙහි උපදියි. මිනිසත්බවට ආයේ, පිරිවර නැත්තේ වේ. ඊර්‍ෂ්‍යා නො කරණුයේ, දෙව්ලොව උපදියි. මිනිසත්බවට ආයේ, පිරිවර ඇත්තේ වේ. මසුරුමලින් බැඳී, දීමෙහි විපාක නැතැයි නො දෙනුයේ, නිරයෙහි උපදියි. මිනිසත්බවට ආයේ, දුප්පත් වේ. කම්පල අදහා දෙනුයේ, දෙව් ලොව උපදියි. මිනිසත්බවට ආයේ, පොහොසත් වේ. මානයෙන් දැඩි වූයේ, පිදියයුත්තන් නො පුදනේ, වැඳියයුත්තන් නො වඳනේ, නිරයෙහි උපදියි. නැසූ මාන ඇතියේ පිදිය යුත්තන් පුදන්නේ, වැඳිය යුත්තන් වඳනේ, දෙව්ලොව උපදියි. මිනිසත් බවට ආයේ, උසස් කුල ඇත්තේ වේ. කුසල් අකුසල් වරද නිවරද නො විමසනුයේ, පව්කම් කොට නිරයෙහි උපදියි. මිනිස් ලොව උපන්නේ, නුවණ නැත්තේ වේ. කුසල් අකුසල් වරද, නිවරද විමසනුයේ, වරදින් වෙන් ව පින්කම් කොට දෙව්ලොව උපදියි. මිනිසත්බව ලැබුයේ, නුවණැත්තේ වේ.
කර්‍ම රැස් කරණ කාලයෙහි යමෙකුගේ ලෝභය බලවත් වූයේ ද, අලෝභය මද වූයේ ද, අදෝස, අමෝහයෝ බලවත් වූවෝ දෝස මෝහයෝ. මද වූවෝ වෙත් ද, මද වූ අලෝභය බලවත් වූ ලෝභය මැඩලීමෙහි අපොහොසත් වේ. බලවත් වූ අදෝස අමෝහයෝ මද වූ දෝසමෝහයන් මැඩලීමෙහි පොහොසත් වෙති. එ හෙයින් හෙතෙමේ ඒ කයෙන් ලත් ප්‍රතිසන්ධි ඇත්තේ ලොහ ඇත්තේත් සුඛස්වභාව ඇත්තේත් වේ. ක්‍රෝධ, නැත්තේත් නුවණැත්තේත් වේ.
යමක්හට වනාහි ලෝභදෝසයෝ, බලවත් වූවෝ වෙත් ද, අලෝභ අදෝසයෝ, මද වූවෝ වෙත් ද, අමෝහය බලවත් වූයේ මෝහය මද වූයේ වේ ද, හෙතෙමේ පෙර සේ ලෝභ ඇත්තේ දෝස ඇත්තේත් නුවණැත්තේත් වේ.
යමක් හට වනාහි ලෝභඅදෝසමෝහයෝ, බලවත් වූවෝ, අන්‍යයෝ මද වූවෝ වෙත් ද, හෙතෙමේ යට කී සේ ලෝභ ඇත්තේත් නුවණ නැත්තේත් සුඛස්වභාව ඇත්තේත් ක්‍රෝධ නැත්තේත් වේ.
යමක්හට වනාහි ලෝභදෝසමෝහයෝ, බලවත් වුවෝ, අලෝභාදීහු මද වූවෝ වෙත් ද, හෙතෙමේ ලොභී වූයේත් දුෂ්ට වූයේත් මුඪ වූයේත් වේ.
යමක් හට වනාහි අලෝභදෝසමෝහයෝ, බලවත් වූවෝ, අන්‍යයෝ මද වුවෝ වෙත් ද, හෙතෙමේ උපන්නේ මද කෙලෙස් ඇත්තේත් නො සැලෙනුයේත් අදුෂ්ට වූයේත් මද නුවණැත්තේත් වේ.
යමක්හට වනාහි අලෝභඅදෝසමෝහයෝ බලවත් වූවෝ, සෙස්සෝ මද වූවෝ වෙත් ද, හෙතෙමේ උපන්නේ ලෝභ නැත්තේත් සුඛ ස්වභාව ඇත්තේත් නුවණ නැත්තේත් වේ.
යමක්හට වනාහි අලෝභදෝසඅමෝහයෝ, බලවත් වූවෝ, සෙස්සෝ මද වූවෝ වෙත් ද, හෙතෙමේ උපන්නේ ලෝභ නැත්තේත් නුවණ ඇත්තේත් දුෂට වූයේත් ක්‍රෝධ ඇත්තේත් වේ.
යමක්හට වනාහි අලෝභාදීහු තිදෙන බලවත් වූවෝ, ලෝභා දීහු තිදෙන මද වූවෝ වෙත් ද, හෙතෙමේ ලෝභ නැත්තේ අදුෂ්ට වූයේත් නුවණැත්තේත් වේ.
මෙසේ ලෝභාදීහු සදෙන, කර්‍මයන්ගේ නානාත්වයටත් කර්‍ම නානාත්වය සත්වයන්ගේ නානාත්වයටත් කරණු වෙති. මෙහිලා ‘තිහෙතුකං කම්මං හි තිහෙතුකම්පි දුහෙතුකම්පි අහෙතුකම්පි විපාකං දෙති’ යනාදීන් එන හේතුකීර්‍තනය ද විස්තර කැමැත්තන් විසින් අනික් බණ පොතින් දත යුතු ය.
මොවුහු එකාන්ත සිද්ධිහු ය. මේ වෙනස දෙවියෙක්, බ්‍රහමයෙක්, ඊශ්වරයෙක් නො ද කරන්නේ ය. කරණු ලබනුයේ කර්‍මය විසිනි. තමාගෙන් අන්‍ය වූ කරන්නෙක් විඳින්නෙක් නැත. කරණුයේත් විඳිනුයේත් තෙමේ ම ය.
කියූ පරිදි කර්‍මය අහොසිභාවයට නො ගියේ නම්, ඒ කොතැනෙක දී නමුත් විපාක දෙන්නේ ය. එය දෙවියන් යැදීමෙන් බලිතොවිලෙන් යාගහෝමයෙන් වළකනු බැරි ය. කළකම් ඇත්තේ කො තැන සිටියේ ද, කර්‍මය ඔහු කරා එන්නේ ය. වසුපැටි තෙමේ සිය මවුදෙන, දෙනුන් දහසක් අතර සිටියා ද, වහා හඳුනා ගෙණ මවු දෙන ම කරා යයි. එමෙන් කර්‍මයත් කර්‍ම කළහු කරා ම විපාක වාරය බලා වහා එයි.
අප බුදුරජුන් දවස සැවැත්නුවර අසල ගමෙක් ගින්නෙන් මුළුමනින් දැවී ගියේ ය. ගිනිදැල් සහිත වූ තණහුලෙක් ඉන් නැගී ගොස් අහස යන කපුටකුගේ බෙල්ලෙහි දැවටී කපුටා දවා බිම හෙලීය. මේ කපුටා යටගිය අත්බවෙක මිනිසෙක් ව උපන්නේ තමන් වෙත සිටි කුළු ගොනකු හික්මවා ගත නො හී බෙල්ලෙහි පිදුරු ඔතා ගිනි තැබී ය. ගොනා මළේ ය. ඒ දැඩි පාපකර්‍මයෙහි සුලු විපාකයක් වශයෙන් කපුටු ව උපන් අත්බවෙහි අහස පියාඹා යනුයේ ද’ ගින්නෙන් දැවී මළේ ය. තමන් පෙර කළ ඒ කර්‍මයට සරිලන විපාකයෙක් එදා ඔහුට ලැබුණේ ය. එයට පෙර අත්බව්හි නිරයෙහි ඉපිද නිරය දුක් විද්දේ ය. මේ වනාහි කර්‍මනියාමය යි. කළ කර්‍මයට අනුරූප වූ විපාක දීම කර්‍මනියාමය යි. දතයුතු ය. ‘තස්ස තස්ස කම්මස්ස තං තං සදිසවිපාකදානමෙව කම්ම නියාමො නාම, යි ඒ කීහ බීජනියාම - උතුනියාම - කම්මනියාම - ධම්මනියාම - චිත්තනියාම යි නියාමධර්‍ම පසෙකි.
මෙසේ කර්‍මයෙන් විපාකයෝ වෙති. විපාකය කර්‍මයෙන් හට ගණි යි. එහෙයින් නැවත නැවත භවයෙහි ඉපදීම වේ. ලෝකය පවන්නේ මෙසේ ය. එය මෙසේ ව්‍යක්ත ය.
“කම්මා විපාකා වත්තන්ති විපාකො කම්මසම්භවො,
තස්මා පුනබ්භවො හොති එවං ලොකො පවත්තතී”
මෙසේ කරණ ලද කර්‍මයට අනුරූප ව විපාක ලැබෙන බවත්, සත්වයන් අතර පවත්නා උස් පහත් කම්වලට ප්‍රධාන හේතුව තම තමන් කළ කර්‍මය බවත්, භවයෙහි නැවැත නැවැත ඉපැත්ම කර්‍මශක්තියෙන් වන බවත් දැන, කර්‍ම රැස් කිරීමෙහි දී පරික්‍ෂාකාරී ව කුශල කර්‍ම ම රැස් කළ යුතු ය.
කම්මං, යන්නට පාපකං, යන්නක් විශේෂණ ව සිටි බැවින් මෙහි අකුශලකර්‍ම කොට්ඨාශය ම ගැණේ. එහෙත් මෙහි කර්‍මය විස්තර කරණ ලද්දේ කුශලාකුශලකර්‍ම දෙපක්‍ෂයට ම සාධාරණ ලෙසිනි. එහෙයින් මෙහි දී අකුශලකර්‍ම පක්‍ෂය දතයුතු ය.
යං = යම් අකුශල කර්‍මයෙක්.
කටුකප්ඵලං = කර්‍කශ වූ විපාක ඇත්තේ.
අකුශලකර්‍මය, කටුක දුක්විපාක ඇත්තෙකි. අකුශල කර්‍මය තරම් රුදුරු දුක් දෙන්නෙක් ලෝකයෙහි කොතැනත් නැත. ‘පව් කරමින් ජීවත්වීමට වඩා මිය යෑම යහපති’ යි වදාළෝ එහෙයිනි. මහාදුක්ඛක්ඛන්ධ - දෙවදුතාදිසූත්‍රයෝ මේ බව මැනැවින් පැහැදිලි කරත්.
පව්කම් කරණුයේ තමාට ම සතුරු ය. ඔහුට, පව් කරණ තමාට වඩා අන් සතුරෙක් නැත. සතුරකු විසින් කළ හැක්කේ මෙ ලොවෙහි දී පමණක් කළ හැකි නපුරෙකි. තෙමේ තමාට සතුරු වූයේ නම්, ඔහු තමාට දෙලොවින් ම මහත් විපත් සිදු කර ගණි යි. අපායයෙහි දුක්වලට හිමි වන්නේ ය. සසරින් නිදහස්වීම ඈත්වන්නේ ය. තමා කළ වරදින් අජාසත් රජුට සසර දික් විය. මේ නිසා බුදුරජානන් වහන්සේ අකුසල් කරණ මිනිසාට තෙමේ ම සතුරු යි වදාළ සේක.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියෝ ය.
සුප්‍රබුද්ධකුෂ්ඨී වස්තුව නිමි.
2-4 ‘බාලා දුම්මෙධිනො’ යන්න බලනු. ↑