න හි වෙරෙන වෙරානි සම්මන්තීධ කුදාචනං
අවෙරෙන ච සම්මන්ති එස ධම්මො සනන්තනො.
මේ ලෝකයෙහි කිසි කලෙකත් වෛරයෝ වෛරයෙන් නො සංහිඳෙත්. අවෛරයෙන් (ක්‍ෂාන්තියෙන් හා මෛත්‍රියෙන්) ම සංහිඳෙත්. මෙය පුරාතන වූ (බුදු පසේබුදු රහතුන් විසින් පුරුදු කොට ආ) සිද්ධාන්තන ධර්‍මයෙකි.
යටගිය දවස දැහැමින් සෙමින් වැඩුනු ඉතා හොඳ කෙළෙඹි පුත්‍රයෙක් වූයේ ය. ඔහු පියා මළ පසු, ගෙදරදොරේ කටයුතුත් වතු පිටි කුඹුරුවල කටයුතුත් නො පිරිහෙළා කරමින්, මෑනියන්දෑ ද මැනැවින් රැක බලා ගත්තේ ය. මවු තොමෝ තම පුතු විඳින්නා වූ දැඩි වෙහෙස දැක ඉවසා ගත නො හී දිනෙක පුතුට අඬගා “පුතා! උඹට සෑහෙන තැනකින් අඹුවක ගෙණෙන්ට ඕනෑ ය” යි කිවු ය. එවිට ඔහු “අම්මා! මට ඔය කසාද බැඳුම් කියන්නට එපා, මා ඕවාට කැමැති නෑ, මට වුවමනා මා මැරෙණතුරු අම්මාට දුක් නො දී හොඳින් සැලකීම පමණැ” යි කීවිට, මෑනියෝ “පුතේ! එහෙ ම කියා බැරි ය, ගේ දොර වතුපිටි කුඹුරුවල වැඩ ගැන උඹ විඳින්නා වූ වෙහෙස පෙණන විට මා සිත වෑවෙන්නේ නෑ, මා හිතට සැපයෙක් නෑ, සැනසීමෙක් නෑ, කො තරම් හොඳට කෑව ද, හිතට සැනසීමෙක් නැති නම්, ඒ කෑම්බීම්වලින් ඇති වැඩේ මොක ද; එයින් වැඩෙක් නැත, උඹ කොහො ම කීවත් එය කෙරෙන්නට ම ඕනෑ ය” යි කීපවරක් ම ලඟට ගෙන්වා කීහ. ඒ හැම වර ම ඔහු එයට කැමැති නො වී ය. එහෙත් ඔහු අන්තිමේ දී “මෙය මා මග හැරියොත් නාවා කවා පොවා කිරි දී වැඩූ මෑනියන්ගේ සිත රිදේ ය” යන බියෙන් “මෑනියන් කැමැත්තක් කරන්නැ” යි නිහඬ විය. පුතුට සෑහෙන අඹුවක සොයන්නට සිතා, ගෙන් නික්මුනු මෑනියන් දුටු ඔහු “අම්මේ! මේ කොතැන යෙහි දැ?” යි ඇසී ය. “පුතා! මම අර පෙණෙන ගෙදරට යමි” යි මෑනියන් කීවිට ඒ ගෙට යෑම වළකා තමන් සිත් ගත් තරුණියක වසනා ගෙයක් පෙන්වා, එහි ගොස් කතා කර බලන්නැ” යි කී ය. මවු තොමෝ ද පුතා කී ගෙට ගොස් සැප දුක් විචාරා සතුටු ව තමන් පැමිණි කාරණය ඔවුනට දැන් වූ ය. ඔවුහු එයට සතුටු වූහ. අනතුරු ව එහිදී ම ඔවුන් හා කතා කොට මගුල සිදු කරණ දිනයත් නැකතත් නියම කොට ගෙදර පැමිණි ඕ තොමෝ මගුලට වුවමනා හැම දෙයක් ම වහ වහා කඩි මුඩියේ පිළියෙල කළා ය. නැවැත නියම දිනයෙහි මනාලියගේ ගෙට ගොස් මනාලිය කැඳවා ගෙණ අවුත් සිරිත් සේ ඇය පුතුට පාවා දුන්නා ය.
එ තැන් සිට ඔවුහු දෙ දෙනා නියම අඹු සැමියන් සේ උනුන් කෙරෙහි මහත් ප්‍රේමයෙන් කල් යවති. මෙසේ කල් යවත්, කෙළෙඹි මවු තොමෝ ලේලිය වඳබව තේරුම් ගෙණ පුතුට කතා කොට “පුතේ! උඹේ ඕනෑකමට ගෙණ ආ ගෑණිය වඳියකැ යි මට පෙණේ, දූ පුතුන් නැති ගෙය නැසී යයි, පරම්පරාවක් නො පවතී, මෙයින් වන්නේ අපේ කුලයත් නැසී පරම්පරාවත් නැසී යෑම යි, ඒ නිසා අන් තැනකින් අන් තරුණියක උඹට ආවාහ කර දෙන්නට මම අදහස් කර ගෙන සිටිමි, ඊට උඹත් සතුටු විය යුතු ය” යි කිවු ය. “අනේ! අම්මේ! මේ මොන වදයෙක් ද, මට තවත් ගෑණු වුවමනා නැත, එක් ගෑණියකගේ වැඩ කර ගන්නට බැරිව ඉන්නා මට තවත් ගෑණියක් කුමට ද, ඔය හිරිහැර වදබැඳුම් මට වුවමනා නැතැ” යි ඔහු කීයේ ය.
මේ කතාව අසා හුන් වඳඹු තොමෝ “දරුවෝ කොතෙක් බැරිය යි කියූව ද අන්තිම මොහොතේ කෙසේ හෝ මවුපියන්ගේ කීමට නැමෙන්නෝ ය, ඒ නිසා මොහු ද එසේ වන්නට බැරිකමෙක් නැත, යම් ලෙසකින් මොහු මවුගේ බසට කන් දී, අන් ගෑණියක ගෙණාවොත් මා දාසියකු කොට සලකන්නට පිළිවන, දාසියකගෙන් ගන්නා වැඩ මාගෙන් බලාපොරොත්තු වනු ඇත, එවිට වරදින්නේ මට ය, මට ගෙයින් දොරට බසින්නට සිදු වේ, ඒ නිසා මම ම මෙයාට සෑහෙන තැනකින් කුලකතක මෙහි කැඳවා ගෙණ අවුත් පාවා දුන්නෙම් නම් එය මට පස්සට ප්‍රයෝජනවත් විය හැකි ය” යි සිතා තමන් දන්නා ඇඳුනුම් කම් ඇති ගෙදරකට ගොස් තම හිමියාට පාවා දීමට ඒ ගෙදරින් තරුණියක නියම කර ගන්නට කතා බස් කළා ය. එහි අය මෑගේ මේ කතාව කවට කමට කරන එකකැ යි සිතා “අනේ! ඔය මගුල්වලට නම් අපට එකඟ වන්නට නො හැකි ය” යි ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළහ. “හා! ඇයි, ඔහො ම කියන්නෝ? දුර දිග බලන්න, මම වඳියක්මි, දූ පුතුන් නැති කුලය නැසී යයි, පරම්පරාව ද දිගට නො යයි, ඒ නිසාය අපි මෙසේ කල්පනා කළමෝ, මාගේ ඉල්ලීමට මේ අය කැමති වෙත් නම්, එය ඔය උදවියට මහත් වාසියක් වනු එකාන්ත ය, මේ කුලකතට මහත් වස්තුවක් අයිති වේ ය” යි ඇය කී කල්හි ඔවුහු එයට කැමති වූහ.
පෙරළා සියගෙට ගොස් ඒ බව නැන්දනියට හා තම හිමියාට ද කියා ඔවුන් ද සතුටු කරවා ගත් ඕ තොමෝ කතා කර ගත් ලෙසට තරුණිය කැඳවා ගෙණ ගොස් ස්වාමියාට පාවා දුන්නා ය. එසේ කොට. “යම් විදියකින් මැයට පුතෙක් හෝ දුවක් ලැබුනේ නම්, මේ ගෙයි ඇති සියලු දේපල මෑට ම අයිති වේ, මට සිදු වන්නේ දොරට යන්නට ය, ඒ නිසා මෑට දූ පුතුන් නො ලැබෙන හැටියක් කරන්නට ඕනෑ ය” යි කල්පනා කොට “නැගනිය! දරුගැබක් තා කුසැ හටගත්තොත් එය හොඳට රැක ගන්නට ඕනෑ ය, ඒ පිණිස කළ යුතු වැඩ රාශියකි, ඒ නිසා දරුගැබක් පිහිටියොත් මට කියන්නැ” යි අලුත් අඹුවට කියා සිටියා ය. ඕ තොමෝ මේ වඳගැහැණියගේ කපටි අදහස් රැවටිලිබස් නො දැන, මේ කියනු ඇත්ත ය යි සිතා දරුවෙක් පිළිසිඳ ගත්තේ ය යි දැන එ බව එක්තරා දිනෙක ඇයට දැන් වූ ය. එදා සිට ඕ තොමෝ ගැබිණියට උවැටන් කළා ය. කුදු මහත් කටයුතු කරන්නීත් කැඳ බත් දෙන්නීත් ඕ ය. දවසක් කැඳ බත් දෙන්නී, ඒ හා මුසු කොට දරුගැබ වැටෙන්නට බෙහෙතක් දුන්නු ය. ගැබ වැටුනේ ය. දෙවන වරත් ඕ තොමෝ මෙසේ කළා ය. එ වරද ගැබ වැටුන්නේ ය. පිට පිට දෙවරක් ම දරුගැබ වැටීමෙන් සැකයට පත් අසල ගෙවල වැසි ගෑණු “මොක ද, උඹට සැතිරිය සතුරුකම් කරන්නී දැ?” යි ඇසූහ. ඈ ඔවුනට සියලු තොරතුරු කීවා ය. “මෝඩ ගෑණිය! ඔහො ම කරන්නට එපා, දරුගැබක් පිහිටියා ම ඈට කියන්නී ඇයි? නුඹට ලැබෙන යස ඉසුරු වත් පොහොසත් කම් ගරු බුහුමන් නො ඉවසන්නී එයට බිය වී ගැබ වැටෙන්නට බෙහෙත් දෙනවා, ඒ නිසා ය මේ දරුගැබ් වැටෙන්නේ, මින් පසු නම්, මේ මෝඩකම කරන්නට එපා ය” යි ඈලා ඈට කීහ.
ගැබිණිය ද එය පිළිගෙන තෙවන වර ගැබ පිහිටිබව ඇයට නා කිවු ය. දවසක් වඳ ගැහැණි තොමෝ වැඩී මෝරා ගිය දරු ගැබ දැක “දරුගැබ පිහිටි බව මට නො කීවා ඇයි දැ?” යි ඇසූ ය. “ඔව්! බොහො ම හොඳයි නුඹ කළා, නුඹ මා මෙහි ගෙන අවුත් දෙ වරක් ම මා මරන්නට තැත් කෙළෙහි ය, මම මෙහි ආවා නුඹ බස් අදහා ගෙණ වෙමි, ඒ මා මරන්නට කටයුතු කිරීම කො තරම් වරද ද; මේ වරත් දැන් වූ නම්, මේ ගැබත් නුඹ බෙහෙත් දී හෙලනු ඒකාන්ත ය” යි ඇය කී කල්හි බිය පත් වූ වඳගෑණි “අයියෝ! මම නැසුනෙමි, වැඩ වැරදුනේ ය” යි සිත සිතා උමතුවූවක සේ කලබැගෑනී ව සිටියා, ගැබිණියගේ ප්‍රමාදයක් දැක එවරත් ගැබ වැටෙන්නට බෙහෙතක් කැවූ ය. ගැබ මෝරා තිබූ බැවින්, ගැබ එක විට නො වැටී එය කුසෙහි සරස් විය. එයින් ඇයට ඉවසිය නො හෙන දරුණු වේදනාවක් උපන. ජීවිතය ද සැකතැනට වැටුනේ ය. “බොල! වඳිය! තී මා නැසූයෙහි, මා මෙහි ගෙණවුත් මට කළ ටික ඇත, මාගේ දරුවන් තිදෙනකු කා දැමුයෙහි, මා පණ කඳ කොයි වේලක නැසී යේ දැ යි කියන්නට බැරි ය, මා මැරුණොත් මම යකින්නක් ව තීගේ දරුවන් ද කමි, මෙයට පළිගණිමි” යි ඈ වෙවුලමින් ගොත ගස ගසා කියමින් සිටියදී ම මැරී ගොස් ඒ ගෙයි බැලලියක් ව උපන්නී ය. ඒ අතර මේ දෙ දෙනාගේ ම ස්වාමිපුරුෂ වූ කෙළෙඹි තෙමේ මේ සියල්ල දන්නේ, වඳිය කෙස් වැටියෙන් අල්ලා ඇද බිම හෙලා, “තී මා ද නැසූයෙහි, මාගේ ගෙදර කා දැමුයෙහි” යි කියමින් අල්ලා ගෙණ කටින් නැහැයෙන් ලේ උතුරා යන තුරු අතින් පයින් දඬු මුගුරුවලින් තරයේ තළා ලී ය. ඕ තොමෝ එයින් රෝගාතුර වුවා වැඩි දවස් නො යාදී ම කලුරිය කොට එහි ම කිකිළියක් ව උපන. මේ කිකිළිය හෙලන හැම බිත්තර බැලලිය කයි. මෙසේ ටික දිනක් ගත වන විට දෙතුන් වරක් ම බැලලිය, තම බිත්තර කෑ බව හා තමනුත් මරා කන්නට කෙළ වගුරමින් මාන බලන බව ද වැටහී ගිය කිකිළියට “මැරී ගොස් දූ පුතුන් සහිත වූ මෑ කන්නට ලැබේවා” යි සිතෙක් උපන. ඒ සිතින් ඒ අදහසින් ඒ වෛරයෙන් මැරී ගොස් කිකිළිය දිවිදෙනක් ව උපන. බැලලිය කලුරිය කොට මුවදෙනක් ව උපන. මුවදෙන වැදූ විට දිවිදෙන ඇවිත් මුව පැටවුන් අල්ලා කයි. මෙහි මෙය මෙසේ තෙ වරක් ම සිදු විය. මුවදෙන, මැරෙන්නට පණ අදින වේලෙහි දිවිදෙන කළ විපත සිහිවීමෙන් “මෑ කන්නට ලැබේවා” යි සිතැතිව මැරී යකින්නක් ව උපන. දිවිදෙන කලුරිය කොට ඒ තිරිසන් බැවින් මිදී සැවැත් නුවරැ එක්තරා කුලගෙයක උපන්නී ය.
මේ කුලදූ තොමෝ වැඩි විය පැමිණියා, නුවරින් පිටත ගමෙක එක්තරා පුරුෂයකු හා දීග ගියා ය. ඉන් මාස කීපයකින් පසු ඕ තොමෝ ගැබ් ගත් පුතකු වැදූ ය. එකල යකින්න යෙහෙලියකගේ වෙසයෙන් එහි පැමිණ “මා යෙහෙලිය කොයි දැ?” යි ඇසූ ය. මේ කිසිවක් නො දත් එහි ගෙහි සිටියවුන් “ඇතුල් ගෙයි පුතකු වදා හිඳී ය” යි කී විට “බලමි” යි ගෙට ඇතුල් වී බලන්නියක මෙන් දරුවා ගෙණ ලේ පෙරමින් කාලා පැන ගියා ය. දෙවන වර ද මේ යකින්න ගෙට වැද දෙවන වර වැදූ දරුවා ද කෑවා ය. තෙවන වර ද දරුගැබ පිහිටි පසු වදන්නට ලංවත්ම ඕ තොමෝ සිය හිමියාට කතා කොට “හිමිය! වදන්නට කාලය ඉතා ලඟ යි, එය මෙහි දී සිදු වී නම්, මුල්වාරවල දී මෙන් ලැබෙන දරුවා යකින්නට බිලි විය හැකි ය, එහෙයින් අපි එයට පෙර කුලගෙදරට යමු” යි කියා හිමියා සමග එහි ගියා ය. එහි දී ඕ තොමෝ පුතකු වැදූ ය. මෙ දවස යකින්න තමන්ට නියම දියමුරයට ගොස් සිටියා ය.
යකින්නෝ වෙසවුණු යක්රජුට මුරවශයෙන් අනවතප්තවිල සිට හිසින් දිය අදිති. සමහරෙක් සිවු මසක් ගිය තැන දිය මුරෙන් නිදහස ලබති. සමහරු පස් මසක් ගිය තැන නිදහස ලබති. එහෙත් සමහරු මේ කාලය ගෙවී යන්නට පෙරාතු ව මැරී යත්. මේ යකින්න දියරෙන් මිදුනු මොහොතෙහි ම මහත් වේගයෙන් වහා ඒ ගෙදරට ගොස් “මාගේ යෙහෙලිය කොයි දැ?” යි ඇසූ ය. “නො දනිහි ද? මෙහි දී ඇගේ දරුවන් දෙවරක් ම යකින්නක් පැමිණ කා පැන ගියා, එ බැවින් මේ වර දරුවැදීම පිණිස තම මවුපියන්ගේ ගෙට ගියා ය” යි එහි සිටියවුන් කී විට, යකින්න “ඕනෑ තැනෙක යේවා, උන්දෑ නම් මාගෙන් නො මිදෙති” යි වෛරවේගයෙන් තදින් තෙද ගැණුනී, ඈ ගිය අත බලා වහා දුවන්නට වන. වැදීම සඳහා තම මවුපියන්ගේ ගෙට ගිය ස්ත්‍රිය එහි දී ලත් පුතුට නම් තබන මගුල්දා ලදරුවා නාවා, නම ද තබා අවසන් කොට “හිමිය! දැන් ඉතින් අපට ගෙදර යනු හැකි ය, එ හෙයින් අපි ගෙදර යමු” යි කියා හිමියාත් සමග පුතු ද වඩා ගෙණ දෙව්රම් මහවෙහෙර මැද මාවතින් යන්නී, පුතු, හිමියා අතට දී දෙව්රම් පොකුණෙහි නාලා ගොඩ වී, පුතු තම අතට ගෙණ හිමියා නාලා අවසන් කරණ තුරු පුතුට කිරි පොවමින් සිටියා ය. ඒ වේලෙහි ඉදිරියෙහි වේගයෙන් දුව එන යකින්න හැඳින, “හිමිය! හිමිය! ගොඩ එන්න, ගොඩ එන්න, ගොඩ එන්න, අර එන්නී දරුවන් කෑ යකින්න ය, ඉක්මනටැ” යි කෑ ගැසූ ය. එහෙත් ඕ හිමියා එනතුරු නො බලා ම දරු ද ගෙණ දුව දෙව්රම්වෙහෙර තුළට වැදුනා ය.
මේ වේලෙහි ස්වාමිදරු වූ සම්මා සම්බුදුරජානන් වහන්සේ ධර්‍මශාලායෙහි ධර්‍මදේශනා කරමින් වැඩ හුන්හ. පුතු ද රැගෙණ එහි ගිය ඒ සත්‍රිය තම පුතු බුදුරජානන් වහන්සේන්ගේ සිරිපා මුල දමා “තිලෝගුරු හිමියෙනි! මම ඔබවහන්සේට මේ මා පුතු දෙමි, මේ ගැත්තාට දිවි දුන මැනැවැ” යි හඬමින් කිවු ය. විහාර දොරටුයෙහි රැකවල් ගෙණ සිටිනා සමන්දෙවි තෙමේ එහි දුව ආ යකින්නට එහි ඇතුල් වන්නට ඉඩ නො දුන්නේ ය.
ඉක්බිති බුදුරජානන් වහන්සේ “ආනන්දය! තමුසේ දොර කොටුව ලඟට ගොස් යකින්න කැඳවා ගෙණ එවු” යි අනඳ තෙරුන්ට නියම කළහ. එය අසා සිටි ස්‍ත්‍රිය “අනේ! තිලෝගුරු හිමියනි! එපා! ගෙන්වන්නට, ඒ වැඩේ හොඳ නෑ, යකින්න මෙහි ගෙන්වන්නට එපා, ඈ ආවොත් මේ බිලිඳා කා දමනු ඇත, නො ගෙන්වනු මැනැවි, තිලෝගුරු හිමියෙනි! අනේ! අන්න එනවා, නවතාලනු මැනැවි, එන්නට දෙන්නට එපා ය” යි බියෙන් ගැසි ගැසී කීවා ය. බුදුරජානන් වහන්සේ “ඈ ආවා වේ, කෑ ගසන්නට එපා ය” යි වදාළ සේක. ආනන්ද ස්ථවිරයන් වහන්සේ යකින්න එහි කැඳවා ගෙණවුත් බුදුරජුන් ඉදිරිපිටට පැමුණුවා ලුහ. එවිට උන්වහන්සේ “මොක ද තී මෙසේ කරන්නෙහි? යම් ලෙසකින් තෙපි මට නො හමු වූහු නම්, වලසුන්ගේ හා කොලොම්රුක්වැසි දෙවියන්ගේ වෛරය මෙන්, කවුඩන්ගේ හා මහමුණන්ගේ වෛරය මෙන් කපක් පවත්නා වෛර ඇත්තෝ වන්නහු ය, කුමක් නිසා වෛරයට වෛර කරවු ද? වෛරය වෛරයෙන් සංසිඳවන්නට බැරි ය, වෛරය සංසිඳෙන්නේ වෛර නො කිරීමෙනැ” යි වදාළ සේක. වදාළේ මෙසේ ය:
නහි වෙරන වෙරානි සම්මන්තීධ කුදාචනං,
අවෙරෙන ච සම්මන්තී එසධම්මො සනන්තනොති.
මේ සත්වලෝකයෙහි වෛරයෝ වෛරයෙන් කිසි කලෙකත් නො සංසිඳෙත්. වෛරයෝ අවෛරයෙන් ම සංසිඳෙත්. අවෛරයෙන් වෛරසංසිඳවීම පෞරාණිකධර්‍මයෙකි.
න හි වරෙන වෙරානි සම්මනති ඉඨ කුදාචනං - මේ සත්ව ලෝකයෙහි වෛරයෝ වෛරයෙන් කිසිකලෙකත් නො සංසිදෙත්.
නව ආඝාතවස්තුන් නිසා සත්වයාගේ සිත තුළ උපදින වෛරය, වෛරයකින් සංසිඳවිය නො හැකි ය. නින්දා පරිභව කළහුට, ඒ නින්දා පරිභවය නිසා තම සිතෙහි උපන් වෛරය නිවා ගැන්මට, තමනුත් නින්දා පරිභව කිරීම, පහර දුන්නහුට, එයින් උපන් වෛරය නිවා ගැන්මට පහරදීම, තමන් බැන්දහු ඒ බැඳීමෙන් උපන් වෛරය නිවා ගැන්මට බැඳීම, කෙල-සොටු-මල-මූත්‍රාදියෙන් අපිරිසිදු වූ තැනක්, ඒ කෙල සොටු-මල-මුත්‍රා දියෙන් ම පිරිසිදු කරන්නට ගන්නා උත්සාහය වැනි මෝඩ වැඩෙකි. කෙල-සොටු-මල-මුත්‍රාදියෙන් අපිරිසිදු තැන, පිරිසිදු කරන්නට සිතා, එහි කෙල-සොටු-මල-මුත්‍රාදිය බැහීම, හෙලීම එතැන, වඩාලාත් අපිරිසිදු වීමට කරුණු වේ. මෙය නො දන්නා අඥයෙක්, මිනිසුන් අතර වේ ද, අපිරිසිදු තැන, අපිරිසිදු දෙයින් පිරිසිදු කරන්නට බැරිවා සේ ම, නින්දාවට නින්දාව - පරිභවයට පරිභවය - ගැසීමට ගැසීම - බැඳීමට බැඳීම වෛර සංසිඳුවීමට කරුණු නො වේ. නින්දා පරිභවයෙන් උපන් වෛරය, මේ නිසා නව තවත් දැඩි වේ. නින්දා පරිභවාදිය නිසා උපන් වෛරය, නින්දා පරිභවාදිය කිරීමෙන් කිසිකලෙකත් නො සංසිඳවිය හැකි ය.
මේ මෙහි මදක් විස්තර විසින් කියූ කතාව අටුවායෙහි කියූයේ මෙසේ ය:- “ යථා හි කෙලසිඞ්ඝාණිකාදිඅසුචිමක්‍ඛිතට්ඨානං තෙහව අසුචීහි ධොවන්තො සුද්ධං නිග්ගන්‍ධං කාතුං න සක්කොති, අථ ඛො තං ඨානං භීය්‍යොසොමත්තාය අසුද්ධතරං චෙව දුග්ගන්‍ධතරං චෙව හොති, එවමෙවං අක්කොසන්තං පච්චක්කොසන්තො පහරන්තං පටිපහරන්තො වෙරෙන වෙරං වූපසමෙතුං න සක්කොති, අථ ඛො භීය්‍යො වෙරමෙව කරොති, ඉති වෙරානි නාම වෙරන කිස්මිචිපි කාලෙ න සම්මන්ති. අථ ඛො වඩ්ඪන්තියෙව” යි.
අවෙරෙන ච සම්මන්ති = අවෛරයෙන් ම සංසිදෙත්.
කෙල-සොටු-මල-මුත්‍රාදිය තැවරුණු තැන, පිරිසිදු ජලයෙන් සෝදා හැරියේ, යම්සේ පිරිසිදු වේ ද, එමෙන් විරුද්ධයක්, නපුරක් අවැඩක් කළ තැනැත්තාට, ඔහු කළ සේ නො කොට හැරීම, ඔහු කෙරෙහි ක්‍ෂාන්ති-මෛත්‍රී ආදි ගුණ ඉපදවීම, ඒ විරුද්ධයෙන් සිත් තුළ උපන් වෛරය සංසිඳීයෑමට හේතු වේ. අනුන් කළ අහිතය නො සිතා හැරීමෙන් ම ඒ අහිතයෙන් උපන් වෛරය සංසිඳවිය යුතු ය.
මේ අටුවා:- “යථා පන නානි ඛෙලාදීනි අසුචීති විප්පසන්නෙන උදකෙන ධොවියමානානි නස්සන්ති, තං ඨානං සුද්ධං හොති. නිග්ගන්‍ධං, එවමෙව අවෙරෙන ඛන්තිමෙත්තොදකෙන යොනිසොමනසිකාරෙන පච්චවෙක්ඛණෙන වෙරානි වූපසම්මන්ති පටිප්පස්සම්භන්ති, අභාවං ගච්ඡන්ති” යනු.
එසො ධම්මො සනන්තනො = මේ වෛරය සංසිඳවීම පෞරාණික ගුණ ධර්‍මයෙකි.
එසධම්මො, යන මෙහි ‘එසො + ධම්මො’ යි පදච්ඡෙද යි. එසො’ යනු ධම්මො’ යන්න වෙසෙසා සිටියේ ය. මෙහි ‘ධම්ම’ නම් වෛරසංසිඳවීම ය. මෙත්සිත් ඉපැදවීම ය. ඒ ඉතා උතුම් ගුණයෙකි. එහෙයින් ‘ධම්ම’ ශබ්දය ගුණය කියයි.
සනන්තනො, යන මෙ පදයෙන් වදාළෝ ඒ වෛරසංසිඳවීම මෙත්සිත් ඉපැදවීම පොරාණික වූ ගුණයක් බවත්, සියලු බුදු, පසේබුදු, මහරහතුන් ගිය මග බවත් ය. අටුවාව කීයේ මෙසේය ඒ:- “එස අවෙරෙන වෙරූපසමනසඞ්ඛාතො පොරාණකො ධම්මො සබ්බෙසං බුද්ධපච්චෙකබුද්ධඛීණාසවානං ගතමග්ගොති” යි. ඒ එසේ ම ය. ඉතා බොහෝ කලක් ඉතා දිගු කලක් ලොවට හිත පතා බුදුබව පිණිස වැර වැඩූ බුදුරජානන් වහන්සේට ඒ ඒ අත් බැව්හි දී තමන් වහන්සේගේ දිවි නසා විපත් පැමිණ වූ කිසිවකු කෙරෙහි කිසිලෙසකින් විපතක් නපුරක් කරන්නට නො ම සිතූහ. ඡද්දන්තජාතක-සංඛපාලජාතක-මහාකපිජාතක-සරභමිගජාතක-මහාධම්මපාලජාතක වලින් එය පැහැදිලි වේ. බුදු වූ පසු ද තමන් නසන්නට ආ දේවදත්තාදීන් කෙරෙහි තමන්ට ඇණුම් බැණුම් කළ චිඤ්චිමාණවිකාදීන් කෙරෙහි, නොයෙක් ලෙසින් දෝෂාරෝපණය කළ මිත්‍ථ්‍යාවාදී බ්‍රාහ්මණාදීන් කෙරෙහි, විපතක් නපුරක් කරන්නට නො සිතූහ. සිතුවෝ ඒ හැමදෙනා කෙරෙහි සැපතක් ම ය. මෙ බැවින් වෛරයට වෛර නො කිරීම සනන්තන ධර්‍මයෙක් ම ය. පෞරාණිකධර්‍මයෙක් ම ය. බුදු පසේබුදු මහරහතුන් ගිය උතුම් වූ මගෙක් ම ය. උන්වහන්සේලා ඇසුරු කළ ගුණයෙක් ම ය.
‘සනන්තන, යන මෙහි ‘ සනං’ යනු සත්වන විබත් අරුත් ඇති පදයෙකි. නැත, පුරාණාර්‍ත්‍ථනිපාතයෙකි. ඒ හා යෙදුනු තන’ යනු ප්‍රත්‍යයයෙකි. එය වීම් අරුත් ඇත්තේ ය. එහෙයින් “පුරාණයෙහි වූයේ” යන අරුත්හි ‘යනන්තන’ ශබ්දය ආයේය.
මේ දේශනාවගේ අවසානයෙහි යකින්න සෝවන් පලයෙහි පිහිටියා. දේශනාව පැමිණ සිටි පිරිසට වැඩ සහිත වූ ය.
ඉක්බිති බුදුරජානන් වහන්සේ “තීගේ පුතා මේ යකින්න අතට දෙන්නැ” යි ස්ත්‍රියට වදාළ කල්හි “තිලෝගුරු හිමියෙනි! මම එයට බිය වෙමි” යි ඕ තොමෝ කිවු ය. “බිය නො වව! මෑ නිසා තිට කිසි විපතක් නො වේ” යි වදාළ විට ඕ තොමෝ සිය පුතු යකින්න අතට දුන්නා ය. යකින්න ලමයා වඩා සිඹ ටික වේලාවක් නලවා ආදරය කොට මවට දී හඬන්නට වන. ඒ දුටු බුදුරජානන් වහන්සේ “අඬන්නී කුමක් නිසා දැ?” යි අසා වදාළ කල්හි “කුළුණුබර හිමියෙනි! අනේ! මම මෙතෙක් දවස් දිවි ගෙණ ආවා යම්තම් ටිකක් ලබා ගෙණ ය, කිසි දිනෙක බඩ පුරා කෑමක් නම් නො ලැබින, දැන් මෙ තැන් සිට ඒ ටිකත් නැති විනැ යි සිතා හැඬුනේ ය” යි ඇය කී ය. එවිට උන් වහන්සේ “නො හඬව! මම එයට පිළිවෙළක් යොදමි” යි යකින්න සනසා ස්ත්‍රියට කතා කොට “මේ යකින්න එහි කැඳවා ගෙන ගොස් කැඳ බත් දී හොඳින් රැක බලා ගන්නැ” යි නියම කළහ.
ඕ තොමෝ යකින්න කැඳවා ගෙණ ගොස් ගේ පිළිකන්නෙහි රඳවා බුදුරජුන් වදාළ ලෙසට කැඳ බත් දීලා වැඩුවා ය. එහි කවුරුන් හෝ වී කොටන විට ඒ හඬ යකින්නට මෝල්ගසින් ඔලුවට ගසන්නා සේ වැටහෙයි. එහෙයින් ඕ තොමෝ ගෙයි ස්වාමිදුවට කතා කොට, “අනේ! මට මෙ තැන වසන්නට නො හැකි ය, මා අන් තැනෙක නවතා ලන්නැ” යි කිවු ය. එවිට ඇය යකින්න කැඳවා ගෙන ගොස් මෝල් තබන සාලාවෙහි පදිංචි කර වූ ය. එ කල්හි එහි තිබෙන මෝල් ගස් සියල්ල යකින්නගේ හිසට වදින්නා සේ වැටහෙන්නට වන. එවර ද එ තැනින් ගෙණ ගොස් දියහැළිය ලඟ පදිංචි කර වූ ය. “මෙ තැන කොල්ලෝ ඉඳුල් දිය වත් කරති, එ බැවින් මෙ තැනත් ඉන්නට නො හැකි ය” යි කීවිට ලිබ්බොක්කෙහි වාසය කරවූ ය. “මේ තැන බල්ලෝ නිදත්, බෑ මෙ තැනැ” යි කී කල්හි අගුවට ගෙණ ගියා ය. “කොල්ලන් මල මූ කරණ මෙ තැන වසන්නට නො හැකි ය” යි කී විට කුණුගොඩක නැවැත්තූ ය. එහි වසන්නට නො හැකි ය” යි කීවිට ගම්දොරකඩට ගෙණ ගියා ය. “ගම්වැසි කොල්ලෝ මා ඉලක්කයක් කරත්, මෙ තැනත් වසන්නට නො පිළිවනැ” යි කීවිට එ තැනින් ගෙණ ගොස් ගමෙන් පිටත එක්තරා ඉඩපහසුකම් ඇති තැනක නවත්වා කැඳ බත් එහි ගෙණ ගොස් දී වැඩුවා ය.
කැඳ බතින් පිණා ගිය යකින්න, “මේ අවුරුද්දෙහි හොඳට වැසි වස්නේ ය, ඒ නිසා ගොඩබිම ගොයම් කරව, මේ අවුරුද්දෙහි වැසි අඩු ය, එ බැවින් පහත් බිමැ ගොයම් කරව” යි ඒ ස්ත්‍රියට කියයි. ඕ තොමෝ එසේ ගොයම් කොට බොහෝ අස්වැන්න ලබා ගණියි. එගමැ වැසි සෙස්සන් කරණ ගොයම් සමහර විට වතුරෙන් විනාශ වී යයි. සමහරවිට ගොයමට සෑහෙන පමණින් වතුර නො ලැබීමෙන් විනාශ වී යයි.
මේ දුටු ගම්වැස්සෝ ඒ ගැහැණිය කරා ගොස් “උඹ කරණ ගොයම් කලක සිට වතුර වැඩිවීමෙන් නැසී යන්නේත් නැත, වතුර නො ලැබීමෙන් විනාශ වන්නේත් නැත, මෙ දවස වැසි වසී, මෙ දවස වැසි නො වසී, යි හොඳට තොරතුරු දැන ගොයම් කරණ බව පෙණේ, මේ වග විභාග කෙසේ දැන ගණිහි දැ?” යි ඇසූහ. “මගෙන් උවටැන් ලබන යකින්න ‘මෙ දවස ගොඩැ ගොයම් කරව, මෙ දවස මඩැ ගොයම් කරව’ යි මට කියයි, මම ඈ කියන ලෙසට ඒ ඒ කලට සුදුසු සේ ගොයම් කරමි, මට එයින් හොඳ අස්වැන්නෙක් ලැබේ, අටු කොටු පුරවා ගත හැක්කේ ඒ නිසා ය, දවස ගානේ මා ගෙණ යන කැඳ බත් තමුසේලාට නො පෙණේ ද, දිනපතා ඇයට කැඳ බත් මෙහෙන් ගෙණ යනු ලැබේ, තමුස්ලාත් මා වාගේ යකින්නට කැඳ බත් යවතොත්, ඔය ඇත්තන්ගේත් කර්‍මාන්ත සොයා බලා ඒවායින් පල ලබන හැටි කියා දෙනවා ඇතැ” යි ඕ තොමෝ කීවා ය. එදා සිට ගම්වැස්සෝ ද යකින්නට කැඳ බත් ආදිය යවන්නට පටන් ගත්හ. යකින්න ද එ තැන් සිට කාගේත් කර්‍මාන්ත සොයා බලා පල ලබන හැටි කියා දෙමින් ලාභයෙන් පිරී ගියා ය. මහත් පිරිවර ඇත්තී ද වූ ය. ඕ තොමෝ පසු කල ලහබත් අටක් තැබූ ය.
කාලියක්‍ෂණී වස්තුව නිමි.