චරඤ්චෙ නාධිගච්ඡෙය්‍ය සෙය්‍යං සදිසමත්තනො
එකචරියං දළ්හං කයිරා නත්ථි බාලෙ සහායතා.
ශිලසමාධිප්‍රඥායෙන් තමාට වඩා උතුමකු හෝ තමා හා සම වූවකු හෝ සොයන තැනැත්තේ, එබන්දකු නො ලබන්නේ නම්, හුදෙකලා වැ විසීම දැඩි කරන්නේ ය. අනුවණයා කෙරෙහි යහලු බවෙක් නැත.
එක් කලෙක මහරහත් මහසුප්තෙරණුවෝ රජගහානුවර ගොදුරු ගම කොට ‘පිප්ඵලි’ ගුහාවෙහි වැඩවාසය කළ සේක. එහි උන්වහන්සේට පැවිදි ගෝලයෝ දෙදෙනෙක් වූහ. එකෙක් ගුරුන් කෙරෙහි භක්තිමත් ය. උන්වහන්සේට කළ යුතු සියලු උපස්ථාන නො පිරිහෙළා කරන්නේ ඔහු ය. අනිකා එසේ නො වේ. ඔහු අනුන් කරණ වැඩ තමන් කළ සේ හඟව යි. භක්තිමත් ශිෂ්‍යනම දැහැටි පැන් සපයා ලූ කල, ඔහු එබව දැන තෙරුන් වෙත වහා ගොස් ‘හාමුදුරුවන් වහන්ස! දැහැටි දිය ගෙණැවිත් තැබුවා, මුව දෝනා කරණු මැනැවැ’ යි කියයි. පා දෝනා දිය තැබූ කලත්, නාන්නට දිය සපයා තැබූ කලත්, දුව ගොස් පා සෝදන්නට නාන්නට දන්වා සිටියි. අනික් භික්‍ෂුනම, ‘මෙයා හැමදා මා කළ දෙය තමන් කළ දෙයක් සේ කියයි, හොඳයි! ඔහෙ තුබුනා වේ, කළයුත්ත මම දනිමි’ යි වංචකයා දවාලට බඩ පුරා කා නින්දට ගිය විට නාන දිය උණු කොට, අනික් සැළියෙක වක්කර නාන කොටුවේ පිටිපස සඟවා තබා, වතුර උණු කළ සැළියෙහි හුමාලය නැගෙන තරමට වතුර ටිකක් ඉතිරි කොට පසෙකට වී හුන්නේ ය.
නිදිගත් තැනැත්තේ, ඉර බසින වේලෙහි නින්දෙන් නැගිට දිය කොටුව වෙත යන්නේ දුරදී ම වතුර සැළියෙන් හුමාලය නගිනු දැක, වතුර උණු කොට තබන ලදැ යි සිතා තෙරුන් වෙත වහා දුව ගොස් ‘හාමුදුරුවන් වහන්ස! උණුවතුර පිළියෙල කොට තැබීමි, නාන්නට වඩනේ යහපතැ’ යි කියා තෙරුන් වහන්සේ සමග ම නාන කොටුවට ගියේ ය. තෙරුන් වහන්සේ දියකොටුවෙහි වතුර නො දැක ‘වතුර කොහි දැ’ යි විචාළ සේක. වංචනික භික්‍ෂුනම ගිනිහල් ගෙට වහා ගොස්, වතුර උණු කරණ සැළියෙහි කිණිසි මිට ඔබා බලා, එහි වතුර නැති බව දැන ‘දුෂ්ටයාගේ වැඩක හැටි පෙණේ ද, හිස් බඳුන ලිප උඩ තබා මූ කොහි ගියේ ද, නාන කොටුවෙහි වතුර තබන ලදැ යි සිතා, මම හාමුදුරුවන්ට නාන්නට වඩනේ යහපතැ’ යි කීමි’ යි බැණ බැණ කළය, ගෙණ තොටට ගියේ ය. වත් සපයන ගෝලනම, සඟවා තුබූ දිය ගෙණැවිත් තැබී ය. මහ තෙරුන් වහන්සේ ‘මේ නම, වතුර උණු කොට නාන කොටුවෙහි තබන ලදැ යි ද, නාන්නට වඩනේ යහපතැයි ද මට කියා, දැන් බැණ බැණ කළයක් ගෙණ තොටට යයි, කාරණය කුමක් දැ’ යි විමසන සේක් ‘මෙතෙක් කල්, මෙතෙමේ මේ නම කළ හැම වතක් ම, තමන් කළ හැටියට හැඟවී ය’ යි දැන වදාරා, සවස සමීපයට ඇවිත් සිටියහුට ‘ඕය්! භික්‍ෂූහු විසින් නම් කළ යුත්තේ, තමන් කළ දෙය පමණක් තමන් කළ හැටියට හැඟවීම ය, නො කළ දෙය, කළ හැටියට හැඟවීම ලොකු වරදෙකි, දැන් තමුසේ නාන කොටුවෙහි උණු දිය තබන ලදැ යි ද, නාන්නට වඩනේ යහපතැ යි ද මට කියා, මා එහි ගියවිට, කළයකුත් රැගෙණ, බැණ බැණ තොටට යනු දුටුවෙමි, මහණ උන්නාන්සේලාට එසේ කිරීම දෙසීම වටින්නේ නැතැයි අවවාද කළ සේක.
‘බලාපියවූ! මේ නාකි තෙරුන්නාන්සේ වතුර ටිකක් ගැණ දොඩන දෙඩුම්’ යි කෝපයට පත් ගෝලයා පසුදා තෙරුන් සමග පිඬු සිඟා නො ගියේ ය. මහතෙරුන් වහන්සේ අනිකා සමග පිඬු සිඟා ගමට වැඩි ගමනේ දී අකීකරු ගෝලයා, තෙරුන්ගේ දායක ගෙදරකට ගියේ, ගෙයි වැස්සන්, ‘හාමුදුරුවන් වහන්සේ කොහි දැ’ යි ඇසූ කල්හි, ‘පහසු මඳ කමින් නො වැඩි සේකැ’ යි කීයේ ය. ‘ස්වාමීනි! එසේ නම් උන් වහන්සේට වුවමනා කරන්නේ කුමක් දැ’ යි ඇසූහ. ‘මෙබඳු ආහාරයෙකැයි’ යි ඔහු කී විට, කී ලෙසට ම එය පිළියෙල කොට දුන්හ. ඔහු අතරමග දී එය කා දමා විහාරයට ගියේ ය. පිඬු පිණිස ගිය ගමනේ දී තෙරුන්ට අගින පටරෙදි කඩෙක් ලැබින. උන්වහන්සේ එය තමන් වහන්සේ සමග පිඬු සිඟා ගිය නමට දුන්හ. ඒ නම එයින් සිවුරක් කොට පඬු පොවා, ගත්තේ ය. පසුදා දායක ගෙදරට වැඩිය උන්වහන්සේගෙන් ගෙයි අය ‘ස්වාමීනි! නුඹවහන්සේට සෑදුනු අසනීපය කුමක් ද? දැන් එය සනීප ද? පොඩි හාමුදුරුවන් කී ලෙසට දානේ ටික පිළියෙල කොට ඇත, එයින් අපහසුව මග හැරුනේ දැ’ යි ඇසූහ. එකල ස්ථවිරයන් වහන්සේ කිසිවක් බැණ නො නැගු සේක් පෙරළා විහාරයට වැඩි සේක. සවස තෙරුන් වහන්සේ වෙත පැමිණ වැඳ සිටි ඒ භික්‍ෂු නමට ‘ඔය නම ඊයේ ගෙදරකට ගොස් මා අසනීපයෙන් ඉන්නා බව කියා අහර ටිකක් පිළියෙල කරවා ගෙණ අවුත් පාරේ දී ම අනුභව කළේ නේ ද? එය කො තරම් පහත් වැඩෙක් ද, කරණ ලද්දේ මහණුන්ට සුදුසු වැඩෙක් ද, මහණුන්ට වචනයෙන් ඉල්ලා ගෙන කෑම වටී ද, ඔය නම කළේ ලොකු වරදෙකැ’ යි වදාළ සේක.
එයින් කෝපයට පත් ඒ භික්‍ෂු නම තෙරුන් වහන්සේ කෙරෙහි වෛර බැඳ ‘මේ මහලු තෙරුන් වහන්සේ ඊයේ වතුර ටිකක් නිසා මා බොරු කියන්නකු කොට අද තමන්ගේ දායක ගෙදරකින් බත් මිටක් ඉල්ලා ගෙණ කෑය’ යි මට නිග්‍රහ කරන්නා හු ය, තමන්ට ලැබුනු රෙදිකඩත් අදරැති ගෝලයාට ම දුන්හ, තෙරුන් කළ සැටි හොඳ ද, කළ යුත්ත මම දනිමි’ යි පසුදා තෙරුන් වහන්සේ පිඬු සිඟා ගියවිට, තෙමේ විහාරයෙහි නැවැතී සිට පොල්ලක් ගෙණ සියලු සැළිවළන් බිඳ දමා පන්සලත් ගිනි තබා පැන ගියේ ය. ඔහු වැඩි දවස් නො ගෙවාම කලුරිය කොට අවීචි මහානරකයෙහි උපන්නේ ය. මිනිස්සු මේ තොරතුරු අසා ‘මහාකාශ්‍යප හාමුදුරුවන්ගේ ගෝලයෙක් කියන එක නො අසා තරහයෙන් පන්සලත් ගිනි තබා පැනලා ගොසින් ය’ යි තැන තැන රැස්ව කතා කරන්නට වූහ.
ටික දවසකට පසු, එක්තරා භික්‍ෂූන් වහන්සේ නමක් බුදුරජුන් දකිනු කැමැත්තෙන්, රජගහානුවරින් නික්ම දෙව්රමට ගියහ. බුදුරජුන් වැඳ සතුටු සාමීචි කතා කොට හුන් පසු ‘කොහි සිට ආවහු දැ’ යි බුදුරජානන් වහන්සේ ඇසූහ. ‘ස්වාමීනි! රජගහා නුවරිනැ’ යි කීහ. ‘එසේ නම් මාපුත් මහසුප් තැනගේ සැපදුක් කෙසේ දැ’ යි අසා වදාළ සේක. ‘වරදෙක් නැත, සුවසේ වාසය කරති, ඊයේ පෙරේදා ගෝලයෙක් කිපී වැඩ ඉන්නා පන්සල් ගෙය ගිනි තබා පැන ගොසින් ය’ යි කීහ.
එකල්හි සම්බුදුරජානන් වහන්සේ ‘මහණ! ඔය ගෝලයා අවවාදයට කිපෙන්නේ, හිතුවක්කාරකම් කරන්නේ, ගුරුන්ට දොස් නගන්නේ, අද ඊයේ නො වේ, ඔහු බොහෝ කලක පටන් හැඩ ගැසී සිටින්නේ, අවවාදයට කිපෙන්නට, හිතුවක් කරන්නට, ගුරුන්ට බණින්නට දොඩන්නට ය, ගෙවල් විනාශ කෙළේත් අද ඊයේ නො වේ, එ ද ඔහුට බොහෝ කලක පටන් පුරුදු වැඩෙකි, ඒ නිසා ඒ පාපයාගේ ක්‍රියාව පුදුමයක් නො වන්නී ය’ යි ඉකුත් වත දක්වන සේක්;
එක් කලෙක ‘සිඞ්ගිල’ නම් කුරුල්ලෙක් හිමාලය කැලේ ගසක කූඩුවක් සාදාගෙණ හුන්නේ ය, ඌ, වැසි දවසෙක සීතලේ වෙවුලමින් ගසෙක හුන් වඳුරකු දැක ‘ඕය්! ඔබට මිනිසකුට මෙන් හිස අත්පා ඇත්තේ ය, අත් පා හිස් මිනිසුන්ගේ අත් පා හිස් සමාන ය, කුමක් නිසා ඉන්නට ගෙයක් තනා නො ගන්නෙහි දැ’ යි ඇසී ය, එවිට වඳුරා ‘මට අත්පා ඇතිබව ඇත්ත ය, ගෙයක් තැනීමට වුවමනා නුවණ ය, එබඳු නුවණක් මට නැහැ’ යි කී ය, එවිට කුරුල්ලා ‘ඔබට මෙබඳු සුලු දෙයක් වත් කර ගැණීමට නුවණක් නැති නම්, ගිහිගෙය නො සුදුදුසු ය, මෝඩයාට ගිහිගෙය මහඅපායයෙක් ය, මෝඩයා එහි බරපතල කම නො දනී, ගිහිගෙය පව් උපදින එක ම තැන ය, එක් අරමුණෙක නො පිහිටි නිතර සැලෙන ඒ මේ අත පෙරළෙන සිත් ඇති මිත්‍ර ද්‍රොහී වූ ඔබට සැපයෙක් කොයින් ද? වඳුරෝ! ඒ නිසා නුවණ ලබා ගන්නා හැටියක් කර ගන්න, අලසකම දුරලන්න, අවුසුළඟින් රැකෙනුව පැල්පතක් කරගන්නැ’ යි නින්දා කෙළේ ය, එවිට වඳුරා ‘මූ, මා එක අරමුණෙක නො පිහිටි වහා පෙරළෙන සිත් ඇති මිත්‍රද්‍රෝහී ස්ථිර පැවැත්මක් නැත්තකු සේ කියයි, මූට හොඳ පාඩමක් උගන්වන්නම්’ යි පැන ගෙණ ගොස් කූඩුව කඩා වීසි කෙළේ ය, කුරුල්ලා, වඳුරා කූඩුව කඩා වීසි කරත් ම එක් කොණකින් පිටවී ගියේ ය’ යි වදාළ සේක. සම්බුදුරජානන් වහන්සේ මෙසේ ධර්‍මදේශනා කොට ‘ඒ කාලයේ වඳුරා වූයේ පැල්පත ගිනි තැබූ මේ භික්‍ෂු නම ය, මහා කාශ්‍යප තෙමේ සිඞ්ගිලයා වී ය’ යි ජාතකය ගළපා ‘මහණ! මේ තෙමේ පෙරත් අවවාදයට කිපී මෙසේ විපත් කෙළේ ය, මාගේ පුත්‍ර වූ කාශ්‍යපයාට මෙබඳු බාලයන් හා එක්ව වාසය කරනවාට වඩා හුදකලා වාසය යහපත ය, සැපදායක ය, යි ද වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක:-
චරං චෙ නාධිගච්ඡෙය්‍ය සෙය්‍යං සදිසමත්තනො,
එකචරියං දළ්හං කයිරා නත්ථි බාලෙ සහායතා’ති
ආශ්‍රයට නිසි කලණ මිතුරකු සොයන්නේ, තමාට වඩා ශ්‍රේෂඨ වූ හෝ තමා හා සමාන වූ මිතුරකු ඉදින් සොයාගත නුහුනේ නම් එකලාව හැසිරීම දැඩි කරන්නේ ය. අඥානයා කෙරෙහි යහළු බව නැත්තේ ය.
චරං = හැසිරෙන්නේ.
කල්‍යාණ මිත්‍රයකු, සිතින් සොයා බලන්නා මෙයින් කිය වේ.
න අධිගච්ඡෙය්‍ය චෙ - නො පැමිණියේ නම්. ඉදින් නො ලද්දේ නම් යි සේයි.
සෙය්‍යං = (ශීල සමාධි ප්‍රඥා ගුණයන්ගෙන්) ශ්‍රේෂ්ඨයකු.
සදිසං = (ශීල සමාධි ප්‍රඥා ගුණයගෙන්) සමානයකු.
අත්තනො = තමහට (වඩා).
මේ ගාථාර්‍ධයෙහි අදහස නම්, ‘තමා හා එක්ව විසීමට කලණ මිතුරකු සොයන්නහු විසින් තමහට වඩා ශීල සමාධි ප්‍රඥා ගුණයන්ගෙන් අධිකතරගයෙක් හෝ මේ කියූ ගුණයන්ගෙන් තමන් හා සමාන වූවෙක් නො ලද්දේ නම්’ යනුයි. මෙලොවින් හා පරලොවින් වැඩී සිටිනු කැමැත්තහුට, නො පිරිහෙනු කැමැත්තහුට කළණ මිතුරකු සිටිය යුතු ය. ඔහු වනාහි තමහට වඩා ශීලාදී ගුණධර්‍මයන්ගෙන් හැම අතෙකින්ම වැඩී සිටින කෙනකු විය යුතු ය. තම මිතුරා තමහට වඩා ගුණනුවණින් වැඩී සිටියේ ම නම් තෙමේ ද ගුණනුවණින් වැඩෙන්නේ ය. තමහට වඩා ශ්‍රේෂ්ඨයකු, ඇසුරු කළ තැනැත්තේ ම ශීලයෙන් වැඩෙන්නේ ය. සමාධියෙන් වැඩෙන්නේ ය. ප්‍රඥාවෙන් වැඩෙන්නේ ය ‘එහෙයින් එබන්දෙක් ම ඇසුරු කළ යුතු ය. ආශ්‍රයට සුදුසු ශ්‍රේෂ්ඨයෙක් නැත්තේ නම්, ශීල සමාධි ප්‍රඥා ගුණයන්ගෙන් තමන් හා සමානයකු ඇසුරු කිරීමේ දී, වැඩීමෙක් නො වූයේ ද, පිරිහීමෙක් නො වන්නේ ය. ඒ හේතුවෙන් හානියක් නො ද වන්නී ය.
එකචරියං දළ්හං කයිරා = (ශ්‍රේෂඨයකුත්, සමානයකුත්, ඇසුරට සොයාගත නුහුනේ නම්,) එකලා වාසය දැඩි කරන්නේ ය. සියලු ඉරියව්වෙහි එකලාව වසන්නේ ය.
හීනයා හා එක් ව වසන්නේ, එක් ව සම්භෝග පරිභෝග කරන්නේ, ශීලයෙන් පිරිහෙයි. සමාධියෙන් පිරිහෙයි. ප්‍රඥාවෙන් පිරිහෙයි. කොටින් කියතොත් මෙ ලොව දියුණුවෙන් හා පරලොව දියුණුවෙන් පිරිහෙයි. එය ම සතර අපා දුකට මග වෙයි. එහෙයින් හීන සේවනයෙන් තොර ව එකලා වාසය දැඩි කළ යුතු ය යි වදාළ සේක. මෙසේය ඒ:-
“නිහීයති පුරිසො නිහීනසෙවී
න ච හායෙථ කදාවි තුල්‍යසෙවී
සෙට්ඨමුපනමං උදෙති ඛිප්පං
තස්මා අත්තනො උත්තරිං භජෙථ” යි.
නත්ථි බාලෙ සහායතා = බාලයා කෙරෙහි යහළු බව නැත්තේ ය.
බාලයා කෙරෙහි යහළු බව නැති බැවින් අඥයා ඇසුරු නො කළ යුතු ය. මෙහි යහළුබවැ යි වදාළෝ චුල්ලසීල, මජ්ඣිමසීල, මහාසීල, දසකථාවත්ථු, තෙරසධුතගුණ, විපස්සනා, සතරමග, සතරපල, ත්‍රිවිද්‍යා, ෂඩභිඥා යන මොවුන් ය. මෙබඳු උසස් ගුණ බාලයා ඇසුරු කිරීමෙන් නො ලද හැකි ය. එහෙයින් එකලා වාසය යහපත් වේ.
එහි ප්‍රාණඝාතය, අදත්තාදානය, අබ්‍රහ්මචර්‍ය්‍යය, මෘෂාවාදය, පෛශූන්‍යය, පරුෂවචනය, සම්ඵප්‍රලාපය, බීජගාමභූතගාමසමාරම්භය, විකාලභෝජනය, නෘත්‍යගීතවාදිතවිශූකදර්‍ශනය, උච්චාසයනමහාසයනය, ජාතරූපරජතප්‍රතිග්‍රහණය, ආමකධාන්‍යප්‍රතිග්‍රහණය, ආමකමංසප්‍රතිග්‍රහණය, සත්‍රීකුමාරිකාප්‍රතිග්‍රහණය, දාසිදාසප්‍රතිග්‍රහණය, අජඵඩකප්‍රතිග්‍රහණය, කුක්කුටසූකරප්‍රතිග්‍රහණය, හස්ත්‍යශ්වවඩවාප්‍රතිග්‍රහණය, ක්‍ෂේත්‍රවාස්තුප්‍රතිග්‍රහණය, දුතෙය්‍යපහෙන ගමනානුයෝගය, ක්‍රයවික්‍රය, තුලාකූටකංසකූටමානකූටය, උත්කොටනනිකතිවංචනය, වධබන්ධනාදිය යන මෙයින් වැළකීම, ‘චුල්ලසීල’ නම් වේ. සත්තසන්නිධිකාරය, සත්තවීසතිවිසූකදස්සනය, එකූනවීසතිදූතප්පමාදය, අට්ඨාරස උච්චාසනය, වීසතිවිභූසනට්ඨාය, ද්වතතිංසතිතිරච්ඡිනකථාය, විග්ගහිතකථාය, සවදෑරුම් දූතෙය්‍යපහෙනගමනය, පස්වැදෑරුම් කුහනා ලපනා යන මෙයින් වැළක්ම ‘මජ්ඣිමසීල’ නම් වේ. තෙළෙස් වැදෑරුම් අඞ්ගවිද්‍යාය, පස්විසි වැදෑරුම් මණිලක්‍ෂණකථනය, සූවිසි වැදෑරුම් චන්ද්‍රග්‍රහකථනය, දොළොස් වැදෑරුම් රාජ නිර්‍ය්‍යාණකථාය, තෙළෙස් වැදෑරුම් සුවෘෂ්ටිකාකථනය, එකුන්විසිවැදෑරුම් ආවාහනය, සූවිසි වැදෑරුම් සත්තිකර්‍මය, යන මෙයින් වැළැක් ම ‘මහාසීල’ නම් වේ. මෙහි විස්තර ආගමයෙහි ආයේ ය. [1]
අප්පිච්ඡකථා, සන්තුට්ඨිකථා, පවිවේකකථා, අසංසග්ගකථා, විරියාරම්භකථා, සීලසම්පදාකථා, සමාධිසම්පදාකථා, පඤ්ඤාසම්පදාකථා, විමුත්තිසම්පදාකථා, විමුත්තිඤාණදස්සනසම්පදාකථා, යන මොවුහු දස කථා වත්ථූහුය.
එහි ප්‍රථමය, අප්පිච්ඡකථාව යි. මෙහි අප්ප, ශබ්දය අභාවයෙහි වැටේ. නැත, යන තේරුම කිය යි. ඉච්ඡා, නම් ආශාව යි. සර්‍වප්‍රකාරයෙන් ප්‍රහීණ වූ ආශාව අප්පිච්ඡා යන්නෙන් කිය වේ. ආශාව, අත්‍රිච්ඡතා - පාපිච්ඡතා - මහිච්ඡතා - අප්පිච්ඡතා යි සිවු වැදෑරුම් ය. එහි ලද දෙයින් සෑහීමට නො ගොස්, අනුන් අයත් දැයෙහි ද කෙරෙණ ආශාව අත්‍රිච්ඡතා, නමු. එයින් යුත් තැනැත්තහුට එක බඳුනෙහි, එක පමණට පිටි වක්කර, එක පමණට පිසූ කැවුම් අතුරෙන්, තම බඳුනට බෙදූ කැවුම නො පැසුනු සේ ද, කුඩා සේ ද වැටහෙයි. එම කැවුම ම අනිකක්හුගේ බඳුනෙහි බහාලන ලද්දේ, මනා කොට පැසුනක් මෙන් ද මහත් වූවක් මෙන් ද වැටහෙයි.
තමා කෙරෙහි නැත්තා වූ ගුණ, ඇති සේ කියා පෑම ද, පිළිගැන්මෙහි පමණ නො දන්නා බව ද පාපිච්ඡතා, නමු. එයින් යුත් තැනැත්තේ, කොහොන්බැව්හි පිහිටා, තෙමේ ශ්‍රද්ධාශීලාදි ගුණයන්ගෙන් තොර වූයේ නමුත්, ශ්‍රද්ධාශීලාදිගුණ ඇත්තකු ලෙස ලොවට හඟවයි.
තමන් කෙරෙහි ඇත්තා වූ ගුණ, ලෝකයා ඉදිරියෙහි කියා පෑම හා, පිළිගැන්මෙහි පමණ නො දන්නා බව මහිච්ඡතා, නමු. මෙයින් යුත් තැනැත්තේ කිසිවකින් පිණවිය හැක්කේ නො වේ. වැදූ මවටවත් ඔහුගේ සිත සතප්පන්නට බැරි ය.
“එත්ථ හි බ්‍යඤ්ජනං සාවසෙසං විය, අත්ථො පන නිරවසෙසො. න හි තස්ස අන්තො අණුමත්තාපි අප්පිකා ඉච්‍ඡා නාම අත්‍ථි. අපි චෙත්‍ථ අත්‍රිච්ඡතා පාපිච්ඡතා මහිච්ඡතා අප්පිච්ඡතාති අයං භෙදො වෙදිතබ්බො. තත්‍ථ සකලාභෙ අතිත්තස්ස පරලාභපත්‍ථනා අත්‍රිච්ඡතා නාම. තාය සමන්නාගතස්ස එක භාජනෙ පක්ක පුවෙසු අත්තනො පත්තෙ පතිතො න සුපක්තො විය ච න මහන්තො විය ච ඛායති. අසන්තගුණ පභාවනතා පන පටිග්ගහණෙ ච අමත්තඤ්ඤුතා පාපිච්ඡතා නාම. සා ‘ඉධෙකච්චො අස්සද්ධො සමානො සද්ධොති මං ජනො ජානාතූ’ ති ආදිනා නයෙන අභිධම්මෙ ආගතායෙව. තාය සමන්නාගතො පුග්ගලො කොහඤ්ඤෙ පතිට්ඨාති. සන්තගුණපභාවනතා පන පටිග්ගහණෙ ච අමත්තඤ්ඤුතා මහිච්ඡතා නාම. සාපි ‘ඉධෙකච්චො සද්ධො සමානො සද්ධොති මං ජනො ජානාතූ’ ති ඉච්ඡති. සීලවා සමානො සීලවාති මං ජනො ජානාතු’ ති ඉමිනා නයෙන ආගතා යෙව. තාය සමන්නාගතො පුග්ගලො දුස්සන්තප්පියො හොති. විජාතමාතාපිස්ස චිත්තං ගහෙතුං න සක්කොති” යි ආයේයි.
“අග්ගික්ඛන්ධො සමුද්දො ච මහිච්ඡො චාපි පුග්ගලො,
සකටෙන පච්චයං දෙන්තු තයො පෙතෙ අතප්පියා”
ගිනි කඳත්, සමුද්‍රයත් මහෙච්ඡපුද්ගලයාත්, යන තිදෙන සිවුපසය ගැල් පුරවා ගෙණවුත් දෙන ලද්දෝ ද සතප්පනු බැරිය.
ඇති ගුණ සැඟවීම ද, පිළිගැනීමෙහි පමණ දැනීම ද අප්පිච්ඡතා, නමු. මෙයින් යුත් තැනැත්තේ තමා කෙරෙහි ඇත්තා වූ ගුණය වසනු කැමති වෙයි. එහෙයින් ශ්‍රද්ධා ඇත්තේ, සිල් ඇත්තේ, විවේක ඇතියේ, බහුශ්‍රැත වූයේ; පටන්ගත් වීර්‍ය්‍ය ඇත්තේ, සමාධි සම්පන්න වුයේ, ප්‍රඥාවත් වූයේ, ක්‍ෂීණාශ්‍රව වුයේ ‘මා සැදැහැතියෙක, සිල් ඇතියෙක, විවේක ඇතියෙක, බහුශ්‍රැතයෙක, වීර්‍ය්‍යය ඇත්තෙක, සමාධි සම්පන්නයෙක, ප්‍රඥාවතෙකැ යි ජනතෙමේ දැන ගණීවා’ යි නො කැමැති වේ. එබඳු හැඟවීමක් කිසිලෙසකින් බලාපොරොත්තු නො වෙයි. මජඣන්තික මහ රහතන් වහන්සේ එබදු උතුමෙකි
ධර්‍මාශෝක රජුගේ විහාර පූජාමඞ්ගලයෙහි සඞ්ඝස්ථවිර වූ මුන්වහන්සේ, තමන්ගේ රහත් බව කිසිවකුට හඟවන්නට කැමැති නො වූ සේක. උන්වහන්සේගේ පා සිවුරුවල වටිනාකම සත පන්සැත්තෑවක් පමණ විය. ඒවාගේ ම ඒවා ඉතා රළු ය. එයින් තමන්ගේ උසස්කම හඟවන්නට නො සිතූ සේක. පා සිවුරුවල රළු බව දුටු මිනිස්සු ‘සවාමීනි! පොඩ්ඩක් පැත්තකට වුව මැනැවැ’ යි කියත්. ‘අද ද බොහෝ දෙනෙක් ගුණවෘද්ධ වයෝවෘද්ධයන් බැහැර කොට, බැලූ බැල්මට ප්‍රියභාවය එළවන, පා සිවුරු ආදියෙන් සැරසෙන්නන් ම ගෞරවයෙන් පිළි ගණිති’ නුවණ මඳ ලෝකයෙහි සැටි බලනු මැනැවි. ‘මෙසේ දුර දිග නො බලා ක්‍රියා කරන්නන් නිසා අලජ්ජීහු ප්‍රබල වෙති. ලජ්ජීහු දුබල වෙති. එයින් ශාසනය විනාශයට යෙයි’ මජ්ඣන්තික ස්ථවිරයන්වහන්සේ ‘මා වැනි මහරහත් නමක්, රජුට, සංග්‍රහ නො කරතොත් අන් කවරෙක් කරන්නේ දැ’ යි සිටි තැන ම පොළොවෙහි ගැලී සඞ්ඝස්ථවිරයන්ට පිළිගැන්වීමට ඔසවන ලද බත් පිඩ පිළිගනිමින් ම, රජු ඉදිරියෙහි මතු වූ සේක. මෙසේ රහත්වූවෝ ද, රහත් බව හැඟවීමට නො කැමැති අල්පෙසා ඇති භික්‍ෂූන් වහන්සේ නො උපන් ලාභය උපදවත්. උපන් ලාභය ස්ථිර කරත්. දායකයන්ගේ සිත් සතුටු කරත්. හෙතෙමේ තම අල්පෙච්ඡභාවය නිසා මඳ දෙයක් ම ගන්නට කැමැතිවන්නේ ද, දායකයෝ ඔහුගේ වතෙහි පැහැද වැඩි වැඩියක් ම දෙන්නෝ ය.
මේ අප්පිච්ඡභාවය අන් අයුරකින් ද සිවු වැදෑරුම් වේ. පච්චයප්පිච්ඡභාවය, ධුතඞ්ගප්පිච්ඡභාවය, පරියත්තිඅප්පිච්ඡභාවය, අධිගමඅප්පිච්ඡභාවය යි. එහි සිවුපසයෙහි අප්පිච්ඡවූයේ පච්චයප්පිච්ඡ නම්. හෙතෙමේ, දානවස්තුව බොහෝ වේ ද, එහෙත් දායක තෙමේ ටිකක් ම දෙනු කැමැති වේ ද, එ කල්හි දායකයා අනුව ටිකක් ම පිළිගණි යි. දාන වස්තුව ස්වල්ප වුව ද, දායක තෙමේ බොහෝ දෙනු කැමැති වේ ද, එ කල්හි දාන වස්තුව ඇති සැටි බලා පිළිගනි යි. දාන වස්තුවත් බොහෝ වේ ද, දායක තෙමේත් බොහෝ දෙනු කැමැති වේ ද, එ කල තමාගේ පමණ සලකා පිළිගණි යි.
ධුතඞ්ගසමාදානය තමා කෙරෙහි ඇති බැව් නො දක්වනු කැමැත්තේ, ධුතඞ්ගප්පිච්ඡ නම්. සොසානික මහාකුමාර ස්ථවිරයන් වහන්සේ සැට අවුරුද්දක් ම සොහොනෙහි විසූහ. එතෙක් කල් ධුතඞ්ගසමාදානයෙන් යුක්ත ව විසූ මුත් ඒ බව කිසි කෙනෙක් නො දත්හ. උන්වහන්සේ ම එය කීහ මෙසේ:-
“සුසානෙ සට්ඨිවස්සානි අබ්බොකිණ්ණං වසාමහං,
දුතියො මං න ජානෙය්‍ය අහො සොසානිකුත්තමො” යි.
‘මම සොහොනෙහි සැට අවුරුද්දක් ම එකලාව වෙසෙමි, මා හැර දෙවැන්නෙක් මා එහි වසන බව නො දන්නේ ය, සොසානිකඞ්ගයාගේ උතුම්කම පුදුම යි’
මිහින්තලා මහාවිහාරයෙහි සහොදර භික්‍ෂූන් වහන්සේ දෙනමක් විසූහ. මලනු තෙමේ දායකයකු දුන් උක්දඩු කැබැලි කිහිපයක් ගෙණ වැඩි මහලු තෙරුන් වෙත ගොස් ‘ස්වාමීනි! උක්දඬු කැබැල්ලක් වළඳනු මැනැවැ’ යි කියා සිටියේ ය. දන් වළඳා මුව සෝදා අවසන් වූ බැවින්, උන්වහන්සේ ‘මට දැන් වුවමනා නැතැ’ යි කී විට, ‘හාමුදුරුවන් වහන්සේ එකාසනිකඞ්ගය රකින්නෝ දැ’ යි ඇසී ය. එවිට වැඩි මහල් තෙරණුවෝ පණස් වසක් ම නො කඩ කොට රක්නා එකාසනිකධුතඞ්ගය, සඟවනු කැමැති ව උක්දඬු කැබැල්ලක් ගෙන්වා ගෙණ වළඳා මුව සෝදා ගෙණ නැවැත ධුතඞ්ගය ඉටා ගත්හ. එසේ කළෝ තමන් වහන්සේ ධුතඞ්ග රක්නා බව නො දැනෙනු සඳහා ය.
තමන්ගේ බහුශ්‍රැතභාවය නො දන්වනු කැමැත්තේ පරියත්තිඅප්පිච්ඡ නම්. ‘සාකෙත තිස්ස’ ස්ථවිරයන් වහන්සේ මෙනි.
ස්‍රෝතාපත්ත්‍යාදී මාර්‍ගඵල ලාභියෙක් ව ඒ සෝතාපන්නාදිභාවය නො දන්වනු කැමැත්තේ, අධිගමප්පිච්ඡ නම්. අනුරුද්ධාදී කුලපුත්‍රයන් තිදෙනා හා ඝටීකාරයා මෙනි. මෙබඳු මහානිසංසදායක වූ අප්පිච්ඡභාවය පිළිබඳ කරණ කථාව අප්පිච්ඡකථා, නමු.
සන්තුට්ඨිකථා නම්, සිතේ පිණායෑම පිළිබඳ කතා ය. එය මෙහිලා දොළොස් වැදෑරුම් ය. චීවරයෙහි යථාලාභසන්තෝෂය, යථාබලසන්තෝෂය, යථාසාරුප්පසන්තෝෂය, යි ත්‍රිවිධ වන්නාසේ ම, පිණ්ඩපාත, සේනාසන, ග්ලානප්‍රත්‍යයයන්හි ද එසේ තුන් තුන් පරිදි වන්නේ ය. දොළොස්වැදෑරුම් වන්නේ එවිට ය. යම් මහණක් හට සිවුරක් ලැබුනු කල්හි, එය හොඳ හෝ වේවා, අනිකක් ගැණ නො පතා එයින් ම සතුටු වේ නම්, ලැබුනේ නමුදු නො ගණී නම්, එය යථාලාභසන්තෝෂය යි. ලැබුනු සැටියෙන් සතුටු වීම යි.
යම් මහණෙක් ස්වභාවයෙන් දුර්‍වල වේ ද, රෝගයෙන් හෝ ජරාවෙන් මැඩුනේ ද, හරබරැති සිවුරක් පෙරවි කල්හි පෙළේ ද, හෙතෙමේ එය සභාග වූ අන් මහණහට දී ඒ මහණහුගෙන් සැහැල්ලු සිවුරක් ඉල්ලා ගෙණ ඉන් යැපේ ද, සතුටු වේ ද, ඒ වනාහි යථාබලසන්තෝෂය යි.
අනෙකෙක් ප්‍රණීත වු ප්‍රත්‍යය ය ලබන සුලුවූයේ, මෙය, පැවිදි ව බොහෝ කල් ඉක්මුණු තෙරුන්ට, මෙය බහුශ්‍රැතයන්ට, මෙය ගිලනුන්ට, මෙය සිවුරු පිරිකර නො ලැබෙන්නන්ට. වේවා’ යි තමන් ලත් වටින අගින පට සිවුරු ආදි සිවුරු තමන්ට නො සුදුසු හෙයින් ඔවුන්ට දී තම පමණට ගැළපෙන සේ ඔවුන්ගෙන් ඉල්ලා ගත් සිවුරක් හෝ කසළ ගොඩ ආදියෙන් අවුලා ගත් රෙදි කැබැලි එක් කොට මසා ගත් සිවුරක් හෝ පෙරවගැන්මෙන් සතුටු වේ ද, ඒ වනාහි යථා සාරූප්‍යසන්තෝෂ යි.
පිණ්ඩපාත, සේනාසන, ග්ලානප්‍රත්‍යයයන් කෙරෙහි ද යථාලාභාදි සන්තෝෂ තුන වන්නේ මේ ලෙසට ය. මෙසේ මේ සන්තෝෂයන් ගැණ කරණ කතාව සන්තුට්ඨිකථා, නමු.
පවිවෙක කථා නම්, ප්‍රකර්‍ෂවිවේකය පිළිබඳ කතා ය. කාය විවේකය, චිත්තවිවේකය, උපධිවිවේකය යි ආගමයෙහි විවේකය තෙපරිදි ය. හැම අතෙකින් ම, විවේකය ලැබෙන්නේ නිවන් පසක් කිරීමෙනි. එහෙයින් නිර්‍වාණය ම පවිවේක, නම් වේ.
අසංසග්ග කථා නම්, ශ්‍රවණසංසර්‍ගාදියෙන් තොර බව පිළිබඳ කතා ය. එහි සවණසංසග්ග - දස්සනසංසග්ග - සමුල්ලාපසංසග්ග - සම්භෝගසංසග්ග - කායසංසග්ග යි සංසර්‍ග පසෙකි. මේ පස්වැදෑරුම් සංසර්‍ගයෙන් තොරවීම අසංසග්ග, නම් වේ.
විරියාරම්භ කථා නම්, කෙලෙස් නැති කරනු පිණිස පටන්ගත් කායිකචෛතසිකවීර්‍ය්‍ය පිළිබඳ කතා ය.
සීලසම්පදා කථා නම්, චතුපාරිසුද්ධිසීලය ගැණ කරණ කතා ය.
සමාධිසම්පදා කථා නම්, විදර්‍ශනාපාදකඅෂ්ටසම්පත්තිය ගැණ කරණ කතා ය.
පඤ්ඤාසම්පදා කථා නම්, ලෞකිකලෝකෝත්තරප්‍රඥාසම්පත්තිය ගැණ කරණ කතා ය.
විමුත්තිසම්පදා කථා නම්, ආර්‍ය්‍ය ඵලය විමුත්තිසම්පදා, නමු. ඒ මේ ආර්‍ය්‍යඵලය ගැණ කෙරෙණ කතාව විමුත්තිසම්පදාකථා, නමු.
විමුත්තිඤාණ දස්සන සම්පදා කථා නම්, එකුන් විසි ප්‍රත්‍යවේක්‍ෂාඥානයෝ, විමුත්තිඥාණදස්සනසම්පදා, නමු. ඒ ගැන කෙරණ කතා ය, විමුත්තින්ඤාණදස්සනසම්පදාකථා යි කිවා. සෝතාපත්ති ඵලයට පැමිණි ආර්‍ය්‍ය පුද්ගලයා පිළිබඳ, මාර්‍ග ප්‍රත්‍යවේක්‍ෂා, ඵලප්‍රත්‍යවේක්‍ෂා, නිර්‍වාණප්‍රත්‍යවේක්‍ෂා, ප්‍රහීණක්ලේශප්‍රත්‍යවේක්‍ෂා, ශේෂක්ලේශප්‍රත්‍යවේක්‍ෂා යි ප්‍රත්‍යවේක්‍ෂා ඥාන පසෙකි. සකෘදාගාමී ඵලයට භා අනාගාමී ඵලයට පැමිණි ආර්‍ය්‍යපුද්ගලයන් දෙදෙනාටත් මේ පස ම ලැබේ. මේ තිදෙනාගේ වශයෙන් ප්‍රත්‍යවේක්‍ෂා ඥාන පසළොසෙකි. රහතුන් වහන්සේ පිළිබඳ ව ඉතිරි කෙලෙස් පස් විකුමෙක් නො ලැබේ. උන්වහන්සේට ලැබෙන්නේ ඒ හැර අනික් සතර යි. එවිට ප්‍රත්‍යවේක්‍ෂාඥානයෝ එකුන් විස්සෙකි.
තෙරසධුතගුණ නම්, පංසුකූලිකඞ්ග, තෙචීවරිකඞ්ග, පිණ්ඩපාතිකඞ්ග, සපදානචාරිකඞ්ග, එකාසනිකඞ්ග, පත්තපිණ්ඩිකඞ්ග, ඛලුපච්ඡාභත්තිකඞ්ග, ආරඤ්ඤිකඞ්ග, රුක්ඛමූලිකඞ්ග, අබ්භොකාසිකඞ්ග, සොසානිකඞ්ග, යථාසන්තතිකඞ්ග, නෙසජ්ජිකඞ්ග යන මොවුහු ය. තමහට ප්‍රතිපක්‍ෂ ව නැගී සිටි කෙලෙසුන් කම්පනය, විනාශය කරණ හෙයින් මොවුහු ධුතඞ්ගයෝ යි කියනු ලැබෙති.
විදර්‍ශනා නම්, සංස්කාරධර්‍මයන් ඇති ව නැති වන බැවින් අනිත්‍යය යි ද, නැවැත නැවැත පෙළන හෙයින් දුක්ය යි ද, තමන් වශයෙහි නො පවත්නා හෙයින් අනාත්මය යි ද දක්නා නුවණ යි.
සතරමග සතරපල මේය යි යට කියන ලද්දේ ය.
ත්‍රිවිද්‍යා නම්, පුබ්බෙනිවාසානුස්සතිඤාණ, චුතූපපාතඤාණ, ආසවක්ඛයඤාණ යන තිදෙන ය. ඉදිරියෙහි විස්තර වන්නේ ය.
ෂඩභිඥා නම්, දිබ්බචක්ඛුඤාණ, දිබ්බසෝතඤාණ, පුබ්බෙනිවාසානුස්සතිඤාණ, පරචිත්තවිජානනඤාණ, ඉද්ධිප්පභේදඤාණ, ආසවක්ඛයඤාණ යන මේ සදෙන ය. විස්තරය ඉදිරියෙහි ය.
මෙසේ මෙහි සැකෙවින් කියන ලද චුල්ලසීලාදීහු සහායතා ගුණයෝ යි ද, ඔවුහු බාලයා කෙරෙහි නො වෙත් යි ද, එහෙයින් බාලයා ඇසුරු නො කොට එකලා ව වාසය කළ යුතු ය යි ද මෙයින් වදාළ සේක. ධර්‍මදේශනාවගේ අවසානයෙහි ආගන්තුක ව පැමිණි භික්‍ෂු තෙමේ සෝතාපත්ති ඵලයට පැමිණියේ ය. අන්‍ය වූ බොහෝ දෙන ද සෝවාන් ඵලාදියට පැමිණියෝ ය. දේශනාව මහාජනයාට වැඩ සහිත වූවා ය.
මහාකාශ්‍යපස්ථවිර සද්ධිවිහාරික වස්තුව නිමි.
2-2 ‘ධම්මජීවිනො’ යන්න බලනු. ↑