පුත්තා මත්‍ථි ධනම්මත්‍ථි ඉති බාලො විහඤ්ඤති
අත්තා හි අත්තනො නත්‍ථි කුතො පුත්තා කුතො ධනං.
‘මට පුත්තු ඇත, මට ධනය ඇතැ’යි මෙසේ අඥාන තෙමේ දුකට පැමිණේ. ඒ එසේ ම ය. තෙමේත් තමහට නැත. පුත්‍රයෝ කොයින් ද? ධනයෙක් කොයින් ද?
සැවැත් නුවර ආනන්ද නමින් ප්‍රසිද්ධ, සතළිස් කෙළක් ධනය ඇති තද මසුරු බැවින් මැඩුනු සිටාන කෙනෙක් වූහ. ඔහු පසළොස් දවසකට වරක්, නෑයන් ගෙන්වා ගෙණ ‘මූලසිරි’ නම් තම පුතු ඔවුන් ඉදිරියට පමුණුවා දවසකට තුන් විටක් ‘මේ සතළිස් කෙළක් ධනය බොහෝ ය යි නො සිතන්න, තිබෙන දේ කාටවත් කිසිවක් සඳහා දෙන්නට එපා, තව තවත් වැඩි වැඩියෙන් සපයා ගණින්, දවස ගානේ එක් එක් කහවණුව වුවත් වියදම් කළොත් නොබෝ දවසෙකින් සියල්ල ම අවසන් විය හැකි යි, ඒ නිසා නුවණැති මිනිසා, ගෑමෙන් අඳුන් අවසන් වන සැටිත්, වේයන් තුඹස් බඳින සැටිත්, මී මැස්සන් මී වද බඳින සැටිත්, දැක ධනය රැස් කරා’ යි අවවාද කෙරෙයි.
මෙසේ කලක් ගෙවා ආනන්ද සිටු තෙමේ සිතට යටත් ව මසුරු මලින් මැඩි මැඩී සිට මැරී ගොස් එ නුවර අසල රොඩී ගමෙක රොඩී ගැහැණියක කුසෙහි පිළිසිඳ ගත්තේ ය. එ ගම රොඩී ගෙවල් දහසක් පමණ ඇත. තරමක ලොකු ගමෙක් විය. රජ තෙමේ සිටු මළබව අසා ඔවුන් පුත් මූලසිරියා ගෙන්වා ඔහුට සිටු තනතුර දුන්නේ ය. එ ගම හැම රොඩී මිනිහා ම එකතු ව කුලී වැඩ කොට ජීවත් වන්නේ ය. ආනන්ද සිටු, එ ගම රොඩී ගැහැණියක කුස පිළිසිඳ ගත් තැන් පටන් එ ගම වැස්සන්ට කුලී වැඩත් නැති ව ගියේ ය. එදා වේලට වැඩියෙන් බත් පිඩක් වත් සපයා ගැණීමෙහි ඔවුහු හැම කෙනෙක් ම අපොහොසත් වූහ. දිනෙක එක් තැන් ව ‘අප කොතරම් මහන්සි දරා වැඩ කළ ද, අපට දැන් එදා වේලවත් සපයා ගත නො හැකි ය, මෙසේ වීමට හේතුව කුමක් ද? එකත් එකට ම අප අතර කාලකණ්ණියකු සිටිය යුතු ය, නො වේ නම් මෙසේ වන්නට බැරි ය’ යි කියා ඔවුහු දෙ කොටසක් ව වෙන් වූහ. මෙසේ මවුපියන් තේරෙන තුරු ම, දෙ කොටසට දෙ කොටසට බෙදී කාලකණ්ණියා උපන් ගෙය තෝරා ගෙණ දරුගැබ් සහිත වූ ඒ ගෑණිය ගමින් පන්නා හැරියෝ ය.
ඈ ද ඔහු පිළිසිඳ ගත් දා සිට බඩ පුරා කන්නට බත් වේලක් නො ලැබ, ඉතා දුකින් කල් යවන්නී පුතා ද වැදුවා ය. වැදූ පුතා ද අත්පා ඇස් කන් නාස් මුහුණු යනාදිය ඒ ඒ නියම තන්හි නො පිහිටි හෙයින් රූපයෙන් හා අත්පා ආදීන්ගේ විකාරයෙන් පාංශු පිශාචකයකු සේ පෙණෙන්නට වන. ඔහු පෙර අත්බව්හි ධනවත් සිටුවරයෙක් ව සිටියේ ද, ඒ අත්බව්හි දාන මානාදී කිසිත් පිණක් නො කළ හෙයින් ලෝ වැස්සන් විසින් පහත් යි සම්මත වූ රොඩී කුලයෙහි රොඩී ගෑණියක කුසෙහි පිළිසිඳ ගෙණ, පිළිසිඳ ගත් දා සිට, එ ගෙට ද ගිනි දෙමින් බිය එළවන රූ ඇති පාංශු පිශාචයකු ලෙසින් විරූප ව උපන්නේ ය. පින් නො කරණ, අන්‍යයාහට ද මේ නො වන්නේ නො වේ. මෙසේ ඔහු පාංශු පිශාචයකු ලෙසින් උපන් නමුත් මවු තොමෝ, පුත්‍රස්නේහය බලවත් හෙයින් දැඩි දුක් විඳ ඇතිදැඩි කළා ය. ඈ කෑමට යමක් සපයා ගණු සඳහා පුතාත් රැගෙණ බැහැර ගිය දවසෙක් වී නම්, එ දවස කිසිත් නො ලැබ හිස් අතින් ම ගුබ්බෑයමට එයි. පුතා නවතා ගිය හැම දවසෙහි ම, යමක් කමක් සපයා ගෙණ එයි. ඈ සිය පුතු සිඟමනේ ගොස් ජීවත් වීමට තරම් ලෙසින් ඇති දැඩි වූ පසු කොළපතක් අතට දීලා, ‘පුත! මම තා නිසා බොහෝ දුක් වින්දෙමි, මට හැමදා ම මේ ලෙසට දුක් විඳින්නට බැරි ය, උඹට කන්නට අඳින්නට දෙන්නට මට හයියක් නැත, ඒ නිසා, දැන් ඉතින් මේ නුවර ඇතැම් පොහොසතුන් විසින්, මහාජනයා විසින් සිඟන්නන්ට පුළන්නන්ට කැඳ බත් ආදිය දෙනු පිණිස පිහිටුවන ලද, දන්සැල් තැන් තැන්වල තිබේ, එබඳු තැන් කරා ගොස් යමක් කමක් සිඟාගෙණ අවුත් කා බී ජීවත් වෙයන්’ යි කියා පිටත් කළා ය.
රොඩී කොළුවා ද මවු කී ලෙසින් සිඟා යන්නේ, පසුගිය අත්බව්හි, ආනන්ද සිටු ව උපන් කාලයෙහි විසූ පෙදෙසට පැමිණ ජාති සිහිකිරීමෙහි නුවණ ලැබ, එ කල විසූ ඒ ගෙදරට ම ගියේය. පළමුවන, දෙවන, තුන්වන, දොරකොටුවල සිටි කිසි කෙනෙක් ඔහු ගැණ නො සැලකූහ. සතරවන දොරකොටුව ලඟදී මූලසිරි සිටිනන්ගේ පුත්‍රයෝ පාංශුපිශාචකයකු වැනි ඔහු දැක, භයට පැමිණ හඬන්නට වූහ. එවිට සිටානන්ගේ මෙහෙකරුවෝ, ඔහු අල්ලා, තළා පෙළා, කුණු ගොඩකට ඇද දැමූහ.
එ දවස සම්මා සම්බුදුරජානන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් වහන්සේ සමග පිඬු පිණිස වඩින සේක් අතර මග දී තෙරුන් දිහා බැලූ සේක. ආනන්ද ස්ථවිරයන් වහන්සේ ‘ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! මේ අතර මග දී කුමක් නිසා මා දිහා බලා වදාළ සේක් දැ යි. ඇසූ විට, උන්වහන්සේ කුණුගොඩෙහි වැතිර සිටියහු පිළිබඳ සියලු තොරතුරු වදාළ සේක. ස්ථවිරයන් වහන්සේ මූලසිරි සිටු ගෙන්වුහ. මිනිස්සු ද එහි රැස්වූහ. ඉක්බිති බුදුරජානන් වහන්සේ, ‘මහසිට! මේ කවරෙකැ යි දන්නෙහි දැ’ යි අසා වදාරා ‘නො දනිමි’ යි කී විට ‘මොහු තාගේ පියා වූ ආනන්ද සිටු තෙමේ ය’ යි වදාළ සේක. එහෙත් මූලසිරි තෙමේ ඒ නො ඇදහී ය. බුදුරජානන් වහන්සේ, ‘ආනන්ද සිට! තාගේ පුතාට පස් මහානිධානයන් කියව’ යි කියවාලා පෙර අත්බවේ තම පියා බව, ඔහු සිතට ගැන්වූ සේක. මූලසිරි තෙමේ සරණ සීලයෙහි පිහිටියේ ය. එකල්හි බුදුරජානන් වහන්සේ ඔහුට මේ ධර්‍මදේශනාව කළ සේක:-
පුත්තාමත්ථි ධනම්මත්‍ථි ඉති බාලෝ විහඤ්ඤති,
අත්තා හි අන්තනෝ නත්ථි කුතො පුත්තා කුතොධනන්ති.
මට පුත්‍රයෝ ඇත. මට ධනය ඇතැ යි යෙමින් මෝඩ මිනිහා නැසෙයි. තෙමේ ම තමාට නැත. එසේ නම් පුත්‍රයෝ කොයින් ද?
පුත්තා මෙ අත්ථි = මට පුත්‍රයෝ ඇත්තාහ.
“අත්තනො කුලං පුණාති සොධෙති’ති = පුත්තො, අත්තනො පිතුහදයං පූරෙතී’ ති = පුත්තො” යනු වාක්‍ය යි. තමා ගේ කුලය පිරිසිදු කරන්නේ පුත්‍රයා ය, යනු පළමු වැන්නෙහි තේරුම යි. දෙවැන්නෙහි සිංහල නම්, තම මවුපියන්ගේ සිත් පුරන්නේ පුත්‍රයා ය, යනු යි. අත්තජ, ඛෙත්තජ, අන්තෙවාසික, දින්නක යි පුත්‍රයෝ සිවු දෙනෙකි. එහි තමා නිසා උපන්නේ අත්තජ, නමි. යහන මතුයෙහි, පළඟෙහි, ලයෙහි යන මේ ආදි තන්හි උපන්නේ ඛෙත්තජ, නමි. තමා වෙත ශිල්ප ශාස්ත්‍රාදිය උගන්නේ අන්තෙවාසික, නමි. පොෂණය පිණිස දුන්නේ දින්නක, නමි. මේ සතර දෙනා අතුරෙහි කවරෙක් නමුත් තමන්ගේ ගුණ නුවණ කරණකොට මවුපියන් ඉක්මවා සිටියේ, හෙවත්, මවුපියන්ගේ ගුණ නුවණට අධික ගුණ නුවණ ඇත්තේ ද, ද ධන ධාන්‍යයෙන් වැඩී සිටියේ ද, ස්වවංශයෙහි ධ්වජයක් මෙන් බබලන්නේ පරහට හිතවත් වූයේ අතිජාත, නම් වේ. තමා, ගුණ නුවණින්, ධන ධාන්‍යයෙන් මවුපියන්හට අනුරූපව සිටියේ, මවුපියන් හා සමතත්වයෙහි සිටියේ අනුජාත, නම් වේ. මවු පියනට ද වඩා ගුණනුවණින් පහත් ව සිටියේ, ධන ධාන්‍යාදියෙන් නො වැඩුනේ අවජාත, නම් වේ. බුදුරජානන් වහන්සේ, මෙසේ වදාළ සේක. “ඉධ භික්ඛවෙ! පුත්තස්ස මාතාපිතරො හොන්ති, න බුද්ධං සරණං ගතා -පෙ- න සංඝං සරණං ගතා, පාණාතිපාතා අප්පටිවිරතා -පෙ- සුරාමෙරය මජ්ජපමාදට්ඨානා අප්පටිවිරතා දුස්සීලා පාපධම්මා, පුත්තො ච නෙසං හොති, බුද්ධං සරණං ගතො -පෙ- සංඝං සරණං ගතො, පාණාතිපාතා පටිවිරතො -පෙ- සුරාමෙරය මජ්ජපමාදට්ඨානා පටිවිරතො, සීලවා කල්‍යාණධම්මො, එවං ඛො භික්ඛවෙ! පුත්තො අතිජාතො හොති, ඉධ භික්ඛවෙ! පුත්තස්ස මාතා පිතරො හොන්ති, බුද්ධං සරණං ගතා -පෙ- පුත්තො ච නෙසං බුද්ධං සරණං ගතො -පෙ- සීලවා කල්‍යාණධම්මො, එවං ඛො භික්ඛවෙ! පුත්තො අනුජාතො හොති, ඉධ භික්ඛවෙ! පුත්තස්ස මාතාපිතරො හොන්ති, බුද්ධං සරණං ගතා -පෙ- පුත්තො ච නෙසං න බුද්ධං සරණං ගතො - දුස්සීලො පාපධම්මො, එවං ඛො භික්ඛවෙ! පුත්තො අවජාතො හොතීති” යි.
නුවණැති දෙමවුපියෝ අතිජාත අනුජාත පුත්‍රයන් දෙදෙනා කැමැති වෙති. අවජාතපුත්‍රයකු කැමැති නො වෙති. හෙතෙමේ කුලය සිඳින්නේ ය. කුලය වනසන්නේ ය. අසල් වාසීනට දුක් දෙන්නේ ය. සමාජය නසන්නේ ය. මහණ බමුණන්ට විපත් කරන්නේ ය. දුසිරිත් බෝ කරන්නේ ය. එහෙයිනි. යම් පුත්‍රයෝ දෙදෙනෙක් උපාසක ව ශ්‍රද්ධා ශීල ශ්‍රැත ත්‍යාග ප්‍රඥා යන ගුණයන්ගෙන් යුක්ත වූවෝ, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ වචන දැන හැසිරෙන්නෝ, පහවූ මසුරු මල ඇත්තෝ ඝන මෙඝ පටලයෙන් මිදුන පුන්සඳ මෙන් ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණාදී වූ පිරිස් අතර ගුණ නුවණින් බබලන්නෝ අතිජාත අනුජාත නම් වන්නෝ ය යි, සැකෙවින් වදාළ සේක. මෙසේය ඒ:-
“අතිජාතං අනුජාතං පුත්තමිච්ඡන්ති පණ්ඩිතා,
අවජාතං න ඉච්ඡන්ති යො හොති කුලගන්ධනො,
.
එතෙ ඛො පුත්තා ලොකස්මිං යෙ භවන්ති උපාසකා,
සද්ධාසීලෙන සම්පන්නා වදඤ්ඤූ වීතමච්ඡරා,
චන්‍දොවබ්භඝනා මුත්තා පරිසාසු විරොවති” යි
මෙහි එන්නෝ, අතිජාතාදි භේදයෙන් භේදයට ගිය පුත්‍රයෝ නො වෙති. අත්තජාදී භේදයෙන් භින්න වූ පුතුන් සිවුදෙනා අතුරෙහි අත්තජතෙමේ ය මෙහි එනුයේ.
ධනං මෙ අත්ථි = මට ධනය තිබේ.
‘මේ මාගේ ය’ යි කියයුතු වු චලාචලවස්තුහු මෙහි ධනය යි ගැණෙති. මනුෂ්‍යයකුගේ දියුණුවට උපකාර වන මිල මුදල් ඉඩකඩම් වතුපිටි ගේදොර හරකබාණ ආදි හැම දෙයක් ම ධන ශබ්දයෙහි ඇතුළත් ය. ‘මම ඉදන්ති ධනායිතබ්බං සද්දායිතබ්බන්ති = ධනං [1] ‘ යනු එහි වාක්‍ය යි.
බාලො විහඤ්ඤති = මෝඩ මිනිසා නස්නේ ය.
‘බාලා’ යන්නෙහි විස්තර කියූ ය. [2] ‘ විහඤ්ඤති’ යන්නට දුක් වන්නේය යි ද කිය හැකි ය.
අත්තා හි අත්තනො නත්ථි = තෙමේ ම තමාට නැත්තේ ය.
‘අත්තා’ යනු සම්මුතිකථා යි. පරමාර්‍ත්‍ථ වශයෙන් එසේ කියනු නො යෙදේ.
කුතො පුත්තා කුතො ධනං පුත්‍රයෝ කොයින් ද? ධනය කොයින් ද?
මේ ගාථාවෙහි එන ‘ පුත්ත’ ශබ්දයෙහි දූවරු ද සංග්‍රහ වෙති. දූ පුතුන් දෙපක්‍ෂය ම මෙහි ගැණේ. පුත්‍ර දුහිතෘන් කෙරෙහි වූ තෘෂ්ණාවෙන් යුක්ත වූ තැනැත්තේ, ‘දරුවෝ නැසුනාහ, දැනුත් නැසෙති, මත්තෙහි ද නැසෙන්නා’ යි වෙහෙසෙයි. දුක්වෙයි. ධනය ගැණත් එසේ ය. දරුවන් කෙරෙහි තුන් ආකාරයකිනුත්, ධනය කෙරෙහි තුන් ආකාරයෙකිනුත් යන සයාකාරයෙකින් වෙහෙසෙ යි. දුක් වෙයි. ‘දරුවන් හදා වඩා ගන්නෙමි’ යි දිවා රෑ දෙක්හි ම නොයෙක් බිහිසුණු ගොඩ දිය ආදි තන්හි ව්‍යායාම් කරන්නේ වෙහෙසෙයි. දුක් වෙයි. එසේ ම ධනය උපයන්නේ සී සෑම් වෙළහෙලඳාම් කරමින් වෙහෙසෙ යි. මෙසේ දූ පුත් ආදීන් ගැණ වෙහෙසෙන්නහුට තමන් විඳින ඒ වෙහෙසින් දුකට පත් වූ තමා මුදා ගන්නට සුවපත් කරන්නට ඔවුනට නො හැකි බැවින්, තමන් ජීවත් ව සිටිද්දී ම තෙමේ ම තමාට නැත. මරණ ඇඳෙහි හොත් කල්හිත්, ගිනිදැලින් මෙන් එහි මරණාන්තිකවේදනාවෙන් දැවෙන කල්හිත්, හන්දි බැමි සිඳින කල්හිත්, ඇටසැකිලි බිඳින කල්හිත්, ඇස පියා පරලොව ද, ඇස ඇර මෙලොව ද බලන්නහු ගේ, දිනපතා දවසට දෙවරක් නහවා, තෙවරක් කවා, සුවඳ මල් ආදියෙන් සරසා දිවිහිම් කොට උපස්ථානය කළ, පොෂණය කළ ආත්මයවත්, තමන් දුකින් රැකගන්නට අපොහොසත් ය. එබැවින් තෙමේත් තමාට නැත. ඒ කාලයෙහි දරුවෝ හෝ ධනය තමාට කුම් නම් පිහිටක් කරන්නෝ ද? කුමකුත් නො කරන්නෝ ය.
ආනන්ද සිටු තෙමේ කිසිවකුත් කිසිවකුට නො දී දරුවන් උදෙසා ධනය රැස් කොට තබා මිය ගොස් රොඩියෙක් ව උපන්නේ මහත් දුකට පත් විය. පුත්‍රයෝ හෝ ධනය ඔහු දුකින් මුදන්නට, සමත් නො වූහ. කිසිත් සැපයක් නො ද එළවූහ.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි අසූසාර දහසක් ප්‍රාණීන්ට ධර්‍මාවබෝධය වූයේ ය. දේශනාව මහාජනයාට වැඩ සහිත වූ ය.
ආනන්දසෙට්ඨි වස්තුව නිමි.