දීඝා ජාගරතො රත්ති දීඝං සන්තස්ස යොජනං
දීඝො බාලානං සංසාරො සද්ධම්මං අවිජානතං.
නොනිදන්නාට රැය දික් ය. ගමන් විඩා ඇත්තාට යොදුන දික් ය. සදහම් නොදත් අනුවණයනට සසර දික් ය.
පසේනදි කොසොල් රජ තෙමේ එක්තරා උත්සව දිනෙක, ඇත් අබරණින් සැරසූ පුණ්ඩරීක නම් සුදු ඇතකු පිට නැගී මහත් රාජතේජසින් නුවර හැසිරෙන්නට වන. ‘පැත්තකට වෙයන්, පැත්තකට වෙයන්’ යි කියමින් රාජපුරුෂයන් ලති පහර දෙමින් මිනිසුන් හසුරුවද්දී, ඒ මිනිස්සු ‘රජු දුන් දනෙහි විපාකය බලවු, රජු සසර දී රක්නා ලද සීලයාගේ අනුභාවය පුදුම ය, කරණ ලද යහපත් කටයුතුවල පලය පෙණේ දැ’ යි කිය කියා ලති පහර කමින් ම හැරි හැරී බලන්නට වූහ. මේ ගාලගෝට්ටිය අතර එක්තරා දුප්පත් මිනිසකුගේ අඹුවක් ගෙයි ජනෙල් කවුළුවක් හැර රජු දෙස බලා එතැනින් ඉවත් ව ගියා ය. රජුට ඇයගේ ඒ ඉවතට යෑම, පුන්සඳ, වලාකුල් අතරට ගියා සේ හැඟින. රජ තෙමේ ඇය කෙරෙහි ඇදී ගිය සිතැති ව ඇතුපිටින් බිම හෙන්නාසේ වී, වහ වහා නුවර ඇවිද අන්තඃපුරයට වැද, විස්වස් ඇතිව ලං ව ඇසුරු කරණ ඇමැතියකු ගෙන්වා ‘අසුවල් තැන දී මා ඉතා ඕනෑකමින් බැලූ ගෙය දුටුවහු දැ’ යි ඇසී ය. ‘එසේ ය ස්වාමීනි!’ යි ඔහු පිළිතුරු දින. එහි හුන් ගැහණියත් දුටු දැ’ යි ඇසූවිට ‘එසේ ය ස්වාමීනි!’ යි එයටත් පිළිතුරු දින. එසේ නම්, නො පමාව එහි ගොස් ඇය දීග ගියා දැයි දැන එවු’ යි කීයේ ය. ඔහු එහි ගියේ, ඇය දීග ගියබව දැන රජුට ඒ බව දැන්වී ය. අනතුරුව රජ තෙමේ ‘ඇයගේ ස්වාමි පුරුෂයා ගෙණ එන්නැ’ යි නියම කෙළේය. ඇමැති තෙමේ නැවැත එහි ගොස් ඔහුට ඒ බව කී ය. දුගියා ද ‘එකත් එකට ම මා කැඳවනු මාගේ බිරිඳ නිසා ම විය යුතු ය, වන්නෙක් වේවා, කොයි එකක් වුවත් රජ අණ නො ඉක්ම විය යුත්තකැ’ යි මාලිගාවට ගොස් රජු බැහැ දැක වැඳ එකත් පසෙක සිටියේ ය.
රජ තෙමේ, ‘මාලිගාවෙහි නැවැතී හිඳ මෙහි කටයුතු සොයා බලව’ යි ඔහුට කී ය. ‘දේවයන් වහන්ස! මට ඒ අපහසු ය, මම ඉතා දුප්පතෙක්මි, මේ ඉන්නා ලෙසින් ඉඳ රක්‍ෂාවක් කොට ආණ්ඩුවට අයබදු ගෙවන්නෙමි, එ හෙයින් මේ ඉන්නා ලෙසින් ඉන්නට මට අවසර දී වදාළ මැනැවැ’ යි කී කල්හි ‘තාගේ අයබද්දෙන් මට වැඩෙක් නැත, අද සිට ම මෙහි නැවැතී කටයුතු සොයා බලව’ යි අණ කොට ‘කොයි අන්දමේ නමුත් වරදක් ගෙණ මූ මරාදමා අඹුව ගන්නෙමි’ යි සිතා, රජ තෙමේ කඩුවක් හා පලිහක් ඔහුට දෙවීය. මරණ බියෙන් බියපත් වූ ඔහු මැනැවින් රජුට සේවය කෙළේ ය.
කාමගින්න බුර බුරා නගිත් නගිත් ම ඔහුගේ වරදක් නො දුටු රජ තෙමේ, ‘වරදක් නගා මරා දමන්නෙමි, යි සිතා ඔහු ලඟට ගෙන්වා ‘මෙයින් සියක් යොදුනක් පමණ ගිය තැන ගඟක් ඇත, එහි කුමුදු හා අරුණුවන් මැටි තිබේ, එහෙයින් එහි ගොස් මා නාන වේලාවට කුමුදුමල් හා අරුණුවන් මැටි ටිකකුත් ගෙණ එව, නො ගෙනාවොත් දඬුවම් කරන්නෙමි’ යි දැන්වී ය. ඒ දුගියා වනාහි, ගෙයි දා වඩා ගත් දාසාදීන් අතුරෙහි ද ඉතා ලාමක ය. මිල දී ගත් දාසාදීන්ට ද ‘මට හිසරුදා ය, මගේ පිට රිදේ ය, ඇඟට පහසු නැත’ යනාදීන් කියා මෙහෙ නො කොට මග හැරිය හැකි ය, එබඳු ඉඩෙක් ද මොහුට නැත. අණ කළ දේ එලෙසින් ම කළයුතු ය. ඒ නිසා ඔහු ‘මා විසින් නො වරදවා ම මේ පිණිස යා යුතු ය, කුමුදු හා අරුණුවන් මැටි තිබෙන්නේ නාග භවනයෙහි ය, එහෙයින් මම මේවා කොතැනකින් ලබන්නෙම් දැ යි සිත සිතා මරණ බියෙන් බියපත් ව ගෙට ගොස් ‘සොඳුර! කෑම පිළියෙල කොට තිබේ දැ’ යි ඇසී ය. ‘තව ම බත් ලිපේ ය’ යි ඈ කිවු ය. ‘බත් බානතුරු නවතින්නට බැරි ය’ යි හැන්දෙන් කැඳවතුර පෙරා බත් ටිකක් ගෙණ තුබුනු මාලුපිණිත් සමග වතුර සහිත වූ බත්ටික කොළපතෙක ලා බැඳ ගෙණ මගට. බැස යොදුනක් පමණ ගොස් කොළපත ලිහා ඉඳුල් නො කොට බත් ටිකක් ඉන් අස් කොට කන්නට පටන් ගත්තේ ය. ඒ අතර, පාරේ යන්නෙකු දැක ‘මෙහි එන්න, බත් ටිකක් කාලා යන්නැ’ යි. පැත්තක තබා තුබූ බත් ටික මගියාට දුන්නේ ය. ඔහු එය අනුභව කෙළේ ය. දුගියා බත් කා මිටක් පමණ ඉතිරි කොට එය දියට දමා කට සෝදා ‘ගඟබඩ අරක්ගත් නා ගුරුළු දෙවියනේ! අනේ! මා කියන්න අසත්වා, කොසොල් රජු මා මරවනු කැමැති ව කුමුදුමල් හා අරුණුවන් මැටි ගෙන එන්නැ යි මට අණ කළා, මම කන්නට ගෙණ බතින් ටිකක් මගියකුට දුන්නා, එය දහසක් අනුසස් ඇත්තකි, කුඩමැස්සන්ටත් ටිකක් දුන්නා, එහි අනුසස් සියයෙකි, ඒ සියලු පින් ඔබවහන්සේලාට අනුමෝදන් කරවන්නම්. මට කුමුදුමල් හා අරුණුවන් මැටි ටිකක් ගෙනැවිත් දෙන්නැ’ යි මහහඬින් තෙවරක් කෑගැසී ය. එහි අරක් ගත් නයෙක් ඒ හඬ අසා මහල්ලකු ගේ වේශයෙන් ඔහු වෙත පැමිණ ‘තමුසේ කියන්නහු කුමක් දැ’ යි ඇසී ය. ඔහු නැවැත නැවැතත් ඒ කීයේය. එවිට මහල්ලා ඔහු දුන් පින් අනුමෝදන් ව කුමුදුමල් හා අරුණුවන් මැටිත් ගෙණැවිත් දුන්නේ ය.
රජ තෙමේ ‘මිනිස්සු නුවණ ඇත්තෝ ය, උපාය දන්නෝ ය, මේ මිනිහා මොන උපායයකින් නමුත් ඒවා ගෙණාවොත් මාගේ අදහස වරදින්නේ ය, එහෙයින් නියම කළ වේලාවට මාවෙත, එන්නට බැරිලෙසක් කරන්නෙමි’ යි සිතා, කල්තියා ම නුවර දොරගුලු ලවා යතුර තමන් වෙත ගෙන්වා ගත්තේ ය. දුගියා රජු නාන වේලාවට නුවර දොර ලඟට පැමිණ දොර වසා තිබෙනු දැක දොරටුපල්ලාහට ‘දොර හරින්නැ’ යි. කීයේ ය. ‘දොර හරින්නට යතුර නැත, රජතුමා කල්තියා ම දොර වස්වා යතුර ගෙන්වා ගත්තේයයි කීවිට ‘අයියෝ! මා ඉවරයි, දැන් කුමක් කරන්නෙ ම් දැ’ යි සිතමින් නුවර දොර උඩලිපත මතුයෙහි මැටිපිඩ තබා ඒ මත්තෙහි මල් ටිකත් තබා ‘පින්වත්නි!. රජ අණ ලෙසට මම කුමුදුමල් හා මැටිත් ගෙණාවා, ඒවා රජුට දෙන්නට පිළිවෙළක් නැත, අද කල්තියා ම දොරගුලු ලා තිබේ, මේ මොන පුදුමයෙන් ද, රජතුමන් නිරපරාධයේ මා මරවන්නට බලාපොරොත්තු වන සේ පෙණේ, මෙය කාට කියා සහනයක් ලබම් දැ’ යි හඬ නගා කියා ‘දැන් කොතැනෙක යම් ද, භික්‍ෂූන් වහන්සේලා නම් මොළොක් සිතැත්තෝ ය, විහාරයටවත් ගොස් නිදන්නට ඕනෑ ය, මට දැන් අන් පිහිටෙක් නැතැයි විහාරයට ගොස් පසෙකට වී නිදා ගත්තේය.
වැඩිදෙනෙක් මිනිස්සු ඉඩකඩම් වතුපිටි මිලමුදල් උපයාගෙණ පොහොසත් වූ කල්හි, විවිධ විද්‍යාවන් හා භාෂාශාස්ත්‍ර උගෙණ උගතුන් වූ කල්හි කරුණාවෙන් ආදරයෙන් අත පොත් තබා පොතපත කියවා මහත් ආශිර්‍වාදයක් කළ මහණ බමුණු මවුපිය ආදි උතුම් ගුරුදෙගුරුන් අමතක කෙරති. ඔවුන් හෙලා දකිති. ඔවුනට වඩා තමන් උසස්ය යි දැපෙති. දුකින් පෙළෙන කල, වත්පොහොසත් කම් පිරිහුනු කල, ඒරාෂ්ටක පැමිණි කල මහණබමුණන්ගේ පිහිට සොයති. ඔවුන් කරා එළෙඹෙති. අඳෝම ය.
රෑ නිදි නො ලැබ ගැහැණිය ගැණ නිතර සිහි කරණ රජුන්ගේ ගත සිත දෙක්හි කාමගින්න දැඩි ව නැගී සිටියේ ය. එයින් දැවි දැවී රජ තෙමේ ‘හෙට එලි වූ සැටියේ ම ඒ මිනිහා මරවා ඔහුගේ අඹුව ගන්නෙමි’ යි සිතමින් තතන තතනා ඇඳෙහි වැතිර සිටියේ ය. එදා රෑ සැට යොදුනක් දිග පළලැති ලෝකුඹු නරකයෙහි ඉපිද උතුර උතුරා පැසෙන බත්සැළියෙහි හාල් ඇට සේ වරක උඩුකුරුව වරක යටිකුරුව වරක සරස් ව පැසි පැසී අවුරුදු තිස් දහසකින් යටට බැස, නැවැත අනික් අවුරුදු තිස්දහසකින් මතු පිටට එමින් මෙසේ උඩ සිට යටටත්, යට සිට උඩටත් යෙමින් පැසෙන සතර දෙනෙක් මතුපිටට ආ එක්වරෙක ඔලු උස්සා උනුන් බලා එකෙකා, එකෙක ගාථා කියනු කැමැති ව එකෙක අකුර කියා යටිකුරු ව පෙරැළී පතුලට බසින්නට වූහ. නිදි නො ලැබූ රජ තෙමේ මහරෑ තරමේ දී ඒ හඬ අසා තැති ගත්තේ කිම! මාගේ දිවියට අනතුරෙක් ද, නැත, අගමෙහෙසියට නපුරෙක් ද, නො වේ නම් ආණඩුවට විපතක් දැ’ යි සිතමින් මුළු රැය ඇස් නො පියා ම ගත කෙළේ ය.
පහන් වූ සැටියේ ම පුරෝහිතයා ගෙන්වා ‘ගුරුන්නාන්සේ! ඊයේ රෑ මැදියම් වේලෙහි මහත් බිහිසුණු හඬෙක් අසන්නට ලැබින, එහි විපාකය කුමක් විය හැකි ද? මට හෝ මෙහෙසියට, නැත, ආණ්ඩුවට නපුරක් ද, මෙයින් වන නපුර කාට දැ යි දැන ගන්නට ය ඔබ ගෙන්වූයේ, දු, ස, න, සො, යන අකුරු හතරේ අඬ යි මට ඇසුනේ, ඒ නිසා මෙයින් වන හොඳ නො හොඳ කියන්නැ’ යි රජු කී විට පුරෝහිතයාගේ සිත සැලින. සිහි නැති විය. මහඅඳුරට පිවිසියකුට සේ කිසිවක් සිතා ගණු බැරි විය. ‘මෙය මට නො තේරේ ය යි කීවොත් මා නූගතකු සේ සලකා දෙන ලාභය නො දෙති’ යි සිතු පුරෝහිත තෙමේ ‘මහරජ! ශබ්ද සතර ම බිහිසුණු ය, වන්නේ හොඳෙක් නො වේ, ජීවිතයට අනතුරෙක් පෙණේ’ යි කීහ. වඩාත් බිය වූ රජ ‘එය වළකාලන්නට පුළුවන් කමෙක් තිබේ දැ’ යි ඇසූ විට ‘දේවයන් වහන්ස! වළකාලිය හැකි ය, එහෙයින් බිය විය යුතු නො වේ, විපත්වල දී කණස්සලුවීම නො සුදුසු ය, ඒ පිළියමෙක් ද නො වේ, මෙය වළකාලන්නට වුවමනා ඇත්, අස්, ගොන්, එළු තිරෙළු, කුකුළු, හූරු, කෙළි, කොළු යන සතුන්ගෙන් එක එකාගෙන් සියය සියය බැගින් ය, මොවුන් සියය සියය බැගින් ගෙන මරා සබ්බසතයාගය කළයුතු ය’ යි පුරෝහිතයා කීයේ ය. ඌ මෙසේ කීයේ, මෘගජාතිකසත්වයන් පමණක් ම ගෙන්වීම් නම්, මස් කෑ යුතු සත්තු ම ගෙන්වන ලදැයි තමන් කෙරෙහි නගින අපවාදය දුරුකර ගැණීමේ අදහසින් ය. ‘මාගේ ජීවිතයට වඩා අනිකෙක් නැතැ’ යි සිතු රජ තෙමේ මේ කී හැම සතුන් ම බැඳ ගෙණ එවු’ යි රාජපුරුෂයන්ට අණ කෙළේ ය. ඔවුහු ද කීවාටත් වඩා ඒ ඒ සතුන් බැඳ ගෙන ආහ. මිනිස්සු තම දූ පුතුන් නෑයන් උදෙසා හඬන්නට වැලපෙන්නට වූහ. එ හඬ පොළොව පැළීයන්නා සේ මහත් විය.
මේ අතර දිනෙක, මල්ලිකාවෝ රජු වෙතට ගියෝ ‘දේවයන් වහන්ස! මූණ මැලවුනු සේ කට වියලුනු සේ තොල් ඇකුළුනු සේ සිරුර ගිලන්වූ සේ පෙණෙන්නේ ඇයි දැ’ යි ඇසූහ. රජ තෙමේ ‘තිට එයින් කිම’ මා කණමුල නයකු ගියත් තිට ඒ නො පෙණේ, එසේ වූ තිට මට කුමක් වුවත් කිම් දැ’ යි කී ය. ‘අවසර! දේවයන් වහන්ස! ඇයි එහෙම වදාරන්නේ, මම එසේ නො වෙමි, කාරණය වදාරන්නැ යි’ මල්ලිකාවන් කී කල්හි රජ තෙමේ ‘ඊයේ රෑ මැදියම මා ඇඳෙහි වැතිර සිටිනා වේලේ බිහිසුණු හඬෙක් ඇසුණා,
මම පසුදා ගුරන්නාන්සේ ගෙන්වා එය කිව්වා, ඔහු ඒ බලා මාගේ ජීවිතයට අනතුරක් වනබව කියා, ඒ වළකාලන්නට සබ්බසතයාගය කළ යුතු ය, යි කියයි, මාගේ ජීවිතය මට ලොකු නිසා ඒ පිණිස මේ සතුන් ගෙන්වීමි’ යි කී ය. ‘ඇයි ඔතරම් මෝඩ! හුඟක් කන්නට පමණක් ද දන්නෝ, මගධ නැළියෙන් දහසය නැළියක් සාලේ බත් බුදින ගමනුත් හොඳ නො හොඳ නො වැටහීම ය පුදුම, දෙරටක රජය කරවන්නෝ කෙසේ ද, නුවණ නම් පොඩ්ඩක්වත් ඇති බවක් නො පෙණේ’ යි කී කල්හි ‘තී මෙහෙම කියන්නී ඇයි දැ’ යි රජු ඇසී ය. ‘අනිකකුගේ මරණයෙන් අනිකකුට ජීවිතය ලැබුනු බවක් ඔබ මෙයට කලින් අසා තිබේ ද, මෝඩ බමුණාගේ කීම්බස් ගෙණ මිනිසුන්ට දුක් දෙන්නෝ කුමක් නිසා ද, අසල වෙහෙර තුන් කල්හි වූ හැම දෙයක නො පැකිළ පවත්නා නුවණ ඇති තිලෝගුරු බුදුරජානන් වහන්සේ වැඩ වසන සේක, මෙබඳු යමක් කරණ විට උන්වහන්සේගෙන් ඇසිය යුතු නො වේ දැ’ යි මල්ලිකාවන් කී කල්හි, රජ තෙමේ ඇයත් නංවා ගෙණ සැහැල්ලු රථයකින් ගොස් මරණ බියෙන් බියපත් ව කිසිවක් කියාගත නො හී බුදුරජුන් වැඳ පසෙකට වී හුන්නේ ය.
එකල බුදුරජානන් වහන්සේ ‘මහරජ! මේ මැදි දවල් මහකට්ට අව්වේ කොහි සිට එන්නහු දැ’ යි අසා වදාළ සේක. රජ තෙමේ කිසිවක් නො බැණ හුන්නේ ය. මල්ලිකාවෝ ‘ස්වාමීනි! අපේ මහරජතුමන් ඊයේ රෑ නිදන විට මැදියම පමණේ දී මොකක් දෝ මහහඬෙක් අසන ලදැ’ යි කියා පුරෝහිතයා ගෙන්වා කියා තිබේ, ඔහු එය ජීවිතයට නපුරකැ’ යි කියා එය වළකාලන්නට ඇත් අස් ආදී සතුන් සියය සියය මරවා ලේ ගෙණ සබ්බසත‍් නම් යාගයක් කරන්නට සූදානම් වෙයි, රජ තුමන් යාගය සඳහා මරන්නට රැස් කළ සත්තු බොහෝ ය, ඒ අතර කෙළි කොල්ලෝ ද සිටිති, මෙය දැනගන්නට ලැබී මම එහි ගොස් මොහු මෙහි කැඳවා ගෙණ ආමි, යි කීහ. ‘හැබෑ ද මහරජ!, යි බුදු රජුන් අසා වදාළ කල්හි ‘එසේය ස්වාමීනි!’ යි කියා තමන්ට ඇසුනු මරහඬ ඇසුනු ලෙසට ම කියා සිටියේ ය. බුදුරජුන්ට කාරණය තතුලෙසින් වැටහී ගියෙන් ‘මහරජ! බියවන්නට කරුණක් නො වේ මෙය, ඔබටවත් මෙහෙසියටවත් ආණ්ඩුවටවත් කිසිත් නපුරෙක් මෙයින් සිදු නො වේ, පව් කොට ලොහොකුඹු නරකයෙහි ඉපද ඉන්නා කිහිප දෙනෙක් තමන් විඳින දුක කියන්නට මෙසේ කීහ’ යි වදාළ කල්හි රජ තෙමේ ඔවුන් කළ පව්කම් කුමක් දැ’ යි ඇසී ය. බුදුරජානන් වහන්සේ ඒ කීපදෙනා පිළිබඳ ඉකුත් කතාව ගෙණහැර දැක්වූ සේක;
“යටගිය දවස එක් කලෙක මිනිසුන්ගේ ආයුකාලය අව්රුදු විසින් විසිදහසෙක් වි ය, එදවස කාශ්‍යප තථාගතයන් වහන්සේ පහළ වූ සේක්, උන්වහන්සේ විසිදහසක් රහතන් පිරිවරා රටින් රට හැසිරෙන සේක්, බරණැස් නුවරට වැඩියෝ ය, එවිට බරණැස වැස්සෝ දෙ තුන් දෙනා හා බොහෝ දෙනා එක් ව උන්වහන්සේලාට දන් දුන්හ, සතළිස් කෙළක්, සතළිස් කෙළක් ධනය ඇති සිටු දරුවෝ සිවු දෙනෙක් ද එදවස වූහ, ඔවුහු යහළුවෝ ය, එක් දිනක් මේ සිවු දෙන එක් ව ‘අප ගෙවල ඇති ධනයෙන් කුමක් කරමෝ දැ’ යි සාකච්ඡා කළහ, මෙ දවස බුදු රජුන් එහි වැඩ සිටිය ද, ඔවුනට උන්වහන්සේ ඇසුරු කරන්නට දන් දෙන්නට සිතෙක් නො උපන, එකෙක් ‘අපි හොඳට කා බී කෙළි සෙල්ලමින් කල් ගෙවමු’ යි කී ය, එකෙක් ‘අපි දිනපතා ම තුන් අවුරුදු පරණ සුවඳ ඇල්සාල් ගෙණවුත් උයවා ගෙණ රසට මසට කමු’ යි කීය, එකෙක් රටකජු, කඩල, මසල වඩේ, ඉඳි ආප්ප, රොටි, පිට්ටු ඈ කඩසෝරු සාදවා ගෙණ කමු’ යි කීය, අනිකා ‘ඕවාත් හොඳ යි, මටත් හොඳ එකක් කිය හැකි ය, ඒකයි හොඳ ම එක, සල්ලිවලට නො කැමැති ගෑණු මේ රටේ කො තැනක වත් නැත, ඒ නිසා දවස් පතා සල්ලි ටික ටික දී ගැණු සතර පස් දෙනකු ගෙණැවිත් රා අරක්කු බොමින්, රසුත් මසුත් බොමින් කමින්, නැටුම් ගැයුම් බලමින් නැටුම් ගැයුම් කරමින්, කියමින්, උන් හා එක් ව කල් යවමු, යි කී ය, අනික් තිදෙන ද එයට එකඟ වූහ,
ඔවුහු සිවු දෙන එ තැන් සිට උනුන්ට මුදල් දී ගෑණු ගෙන්වා ගෙණ, පරඹුවන් ගණිමින්, රා අරක්කු බොමින්, එළුවන් ඌරන් කුකුළන් මරා කමින්, දූ කෙළිමින්, නැටුම් ගැයුම් කරමින්, අවුරුදු විසිදහසක් ම ගෙවා මැරී ගොස්, අවීචිමහානරකයෙහි ඉපද ගත්හ, ඔවුහු එහි එක් බුද්ධාන්තරයක් දැවෙමින්, කිඳෙමින්, ලෝහ ගුලි ගිලමින්, ලොහොදිය බොමින්, ඉතා බිහිසුණු ලෙසින් පැසී, නැවැත, එයින් ගැල වී ගොස්, සැට යොදුන් දිග පළල ඇති ලෝකුඹු නරකයෙහි දැන් ඉපිද සිටිති, අවුරුදු තිස් දහසකට වරක්, එහි පතුලේ සිට මතු පිටටත් මතුපිට සිට පතුලටත් යමින් එමින් සිටිති, ගින්නෙන් බුර බුරා තැවෙන ලොහො දියෙන් දැවි දැවී තිස් දහසක් අවුරුදු ගෙවා මතුපිටට ආ එක් දිනෙක එක එකා, එක එක ගය කියන්නට සිතා, එක එක අකුර කියා, කියන්නට කල් නො ලබා යටිකුරු ව ලොහොකුඹු නරකයෙහි ම ගැලී ගියහ” යි වදාරා ‘ඔබ පළමුවෙන් ඇසූ ශබ්දය කියව’ යි රජුට කී සේක, ස්වාමීනි! මට පළමු ඇසුනේ ‘දු’ යන ශබ්දය, යි කී විට, නිරිසත් හට කල් නො ලැබ, කියා ගත නො හැකි වූ ගාථාව සම්පූර්‍ණ කොට ගෙණ හැර දැක්වූ සේක. ඒ ගාථාව මෙසේ ය:-
“දුජ්ජීවිතං අජීවිම්හ යෙසන්තෙ න දදම්හසෙ,
විජ්ජමානෙසු භොගෙසු දීපං නාකම්හ අත්තනො”
මෙසේ ගාථාව සම්පුර්‍ණ කොට එහි අදහස ද පහදා දුන්හ. “අපි දිය යුතු දේ තිබිය දී, දෙන්නට සුදුස්සන් සිටිය දී දන් නො දීමු, ඉතා පහත් සේ ජීවත් වීමු, එකකුට සතළිස් කෙළක්, සතළිස් කෙළක් බැගින් ධනය තිබියදීත් පිහිටක් කර නො ගත්තෙමු” යනු එහි අදහස ය.
නැවැත බුදුරජානන් වහන්සේ දෙවන තුන්වන සිවුවන අකුරුත් අසා ඒ ගාථා තුන ද,
“සට්ඨිං වස්සසහස්සානි පරිපුණ්ණානි සබ්බසො,
නිරයෙ පච්චමානානං කදා අන්තො භවිස්සති”
.
“නත්ථි අන්තො කුතො අන්තො න අන්තො පතිදිස්සති,
තදා හි පකතං පාපං මම තුය්හං ච මාරිස!”
.
“සො හි නූන ඉතො ගන්ත්වා යොනිං ලද්ධාන මානුසිං,
වදඤ්ඤූ සීලසම්පන්නො කාහාමි කුසලා බහුං”
යි මෙසේ සම්පූර්‍ණ කොට වදාළ සේක.
‘හැම අතකින් ම අවුරුදු සැට දහසෙක් නො අඩුව පිරිණ, ලෝකුඹු නරකයෙහි පැසෙන්නා වූ අපට කෙළවරෙක් කවදා පෙනේ ද, නිදුකාණෙනි! යම් හෙයකින් ඒ කාලයෙහි මා විසිනුත් තොප විසිනුත් පව්, බොහෝ සෙයින් කරණ ලද්දේ ද, එහෙයින් මෙහි කෙළවරෙක් නම් නැත, කොයින් දුක් කෙළවර වන්නේ ද, දුක් කෙළවරෙක් දක්වා නො ලැබේ, ඒ මම වනාහි මෙයින් චුත ව ගොස්, මිනිස් උපතක් ලැබ, වචන දන්නෙත්ව ශීලයෙන් යුක්ත ව නියමයෙන් ම කුසල් කරන්නෙමි’ යනු ඒ ගාථාතුනෙහි තේරුම් ය.
මෙසේ මේ ගාථාවන් සම්පුර්‍ණ කොට වදාරා, ඒ නිරිසතුන් එකෙක ගාථාව කියනු කැමති වුව ද, කල් නො ලැබ කියා ගත නො හී එකක අකුර කියා, ලොහොකුඹු නරකයෙහි ම ගැලී ගිය බව ද වදාළ සේක.
ඒ නිරිසත්තු සතර දෙන පසේනදි කොසොල් රජු, එ හඬ ඇසූ දා සිට තව ම යටට කිඳා බසිති. එයින් අවුරුදු දහසෙක්වත් තව ම නො ගෙවුනේ ය. රජහට මහත් සංවේගයෙක් උපන. ‘අනුන්ගේ අඹුවන් ගෙණ ඈලා සමග හැසිරීම ඉතා බිහිසුණු ය, එක් බුද්ධාන්තරයක් ම අවීචිමහානරකයෙහි පැසී එයින් චුත ව ලොහොකුඹු නරකයෙහි ඉපද සැටදහසක් අවුරුදු එහි පැසී ද, මොවුන් මේ මහත් දුකෙන් නිදහස් වන කාලයෙක් නො පෙණේ, කෙනෙක් කලකින් නමුත් එයින් ගැලවී මෙහි උපදින්නෝ ද අණ්ඩච්ඡෙද නපුංසකාදී වූ නොයෙක් දුක්වලට බඳුන් වන්නෝ ය, අනුන්ගේ අඹුවන් සමග හැසිරීම සුලු පවෙක් නො වේ, මමත් අන් අඹුවක කෙරෙහි ආලය කොට මුළු රැයක් ම නිදි නො ලැබීමි, අහෝ, ඉතින් නම් දිවි තිබෙන තුරු පර අඹුවන් කරා යෑමක් තබා උන් ගැණ සිතීමක් වත් කරන්නේ නැතැ’ යි සිතා, ‘ස්වාමීනි! රාත්‍රියේ දිග, දැන ගත්තෙම් අද ය’ යි රජ තෙමේ කීයේ ය. අසල සිටි දුගියා ද මේ කතාව අසා ‘මටත් ඉඩක් ලැබිනැ’ යි බුදුරජුන් වෙත ගොස් ‘ස්වාමීනි! අපේ රජතුමන් රෑ දිග දැන ගත්තා සේ මමත් ඊයේ යොදුනෙහි දිග දැන ගතිමි’ යි කී ය. ඉක්බිති බුදුරජානන් වහන්සේ දෙදෙනාගේ ම කියුම් ගළපා ‘එකකුට රෑ දිග ය, එකකුට යොදුන දිග ය, මෝඩයාට සසර දිගය’ යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
දීඝා ජාගරතො රත්ති දීඝං සන්තස්ස යොජනං,
දීඝො බාලානං සංසාරො සද්ධම්මං අවිජානතන්ති.
නො නිදන්නාහට රෑ දිග ය. ගමන් විඩා ඇත්තහුට යොදුන දිග ය. සදහම් නො දත් අඥානයාහට සසර දිගය.
දීඝා ජාගරතො රත්ති = නො නිදන්නහුට රාත්‍රිය දිග ය.
නො නිදන්නහු බලා රාත්‍රියෙහි දිග් වීමෙක් නැත. නො නිදන්නහුට රාත්‍රිය දිග් වූවක සේ වැටහේ, යි කීසේ ය. නො නිදා ඉන්නකුට රාත්‍රිය දිග එකක සේ වැටහීම ස්වභාවයෙකි. ‘ජාගරන්ත’ ශබ්දයෙන් ගැණෙන්නේ නො නිදන්නේ ය. බුද්ධාගමෙහි ජාගර නාමයෙන් ශ්‍රද්ධාදි ඉන්ද්‍රිය පසද කිය වේ. මේ ඒ නො වේ. නො නිදන සත්ව තෙමේ ම මෙයින් ගැණේ. රාත්‍රිය යි ගන්නේ සත්වයන් පිළිබඳ නානාවිධ හසිතලපිතාදි ශබ්ද සන්සිඳුනු කාලය යි. එය යාමතුනකින් යුක්ත ය. එහෙයින් ‘තියාමා’ යි රාත්‍රියට නමෙකි. යාමයක් දස පැයකින් යුක්ත හෙයින් මුළු රැයෙහි ඇත්තේ තිස් පැයෙකි. මෙසේ රාත්‍රිය තුන් යම් පමණ වූවා ද, නො නිදන්නහුට එය දෙතුන් ගුණ වූවා සේ වැටහේ. එසේ වැටහෙනු හිර උදාවන තෙක් පෙරැළි පෙරැළී කුසීත ව නිදන්නහුට වත්, මියුරු බොජුන් වළඳා සිරියහනෙහි නිදන්නා වූ කාමභොගියාටවත් නො වේ. මුළු රැය භාවනාවෙහි යෙදුනෝ, ධර්‍ම කථික වූවෝ, බණ අසන්නෝ, ශීර්‍ෂරෝගාදියෙන් පෙළෙන්නෝ, අත් පා සිඳීමට පැමිණියෝ, වේදනාවකින් පෙළෙන්නෝ, රාත්‍රියෙහි මග පිළිපන්නෝ යන මොවුහු රාත්‍රිය දිගැ යි සලකති.
දීඝං සන්තස්ස යොජනං = ගමන් විඩා ඇත්තහුට යොදුන දිග ය.
‘සන්ත’ ශබ්දය යට සැකෙවින් කියවින. ඒ, මෙහි එන්නේ පයින් ගමන් ගොස් වෙහෙසට පත්වූවහු කෙරෙහි ය. මග දිගැ යි දැනෙන්නේ එබන්දකුට ය. ගවු සතරෙක් යොදුනෙකි. ගව්වෙක් අසූ ඉස්බෙකි. ඉස්බෙක් බඹ පන්තිසෙකි. ගව්වකට ඉස්බ දෙදාස් අටසියයෙකි. යොදුනකට බඹ එකොළොස් දහස් දෙසියෙකි. දවස මුළුල්ලෙහි ගමන් කොට විඩා පත්වූයේ ඉදිරියෙහි එන්නකු දැක ‘ඉදිරියෙහි ගමට කෙතෙක් දුර දැ යි අසා තවත් ටිකක් දුර ගොස් අනිකකුගෙන් ද, අනිකකුගෙන්දැ, යි හමුවන හැම දෙනකුගෙන් ම අසයි. හැම දෙන ම යොදුනෙකැ’ යි කියත්. එවිට ‘මේ යොදුන දිග එකෙකැ’ යි හෙතෙමේ එක යොදුන දෙතුන් යොදුන් වූවා සේ සිතයි.
දීඝො බාලානං සංසාරො සද්ධම්මං අවිජානතං = සදහම් නො දන්නා වූ බාලයන්ට සසර දිග ය.
‘බාල’ යන්න ප්‍රථම වයසින් යුත් කිරි බොන දරුවා කෙරෙහි ද අඥයා කෙරෙහි ද එන්නේ ය. එහි ‘බලති අණති අස්සසිතපස්සසිතමත්තෙන ජීවති න පඤ්ඤාජීවිතෙනාති = බාලො’ යනු ප්‍රථම වයසින් යුත් බාලයා කෙරෙහි රූඪ වූ ශබ්දයෙහි නිරුක්තියි. ප්‍රඥා ජීවිතයෙන් තොරව ආශ්වාස ප්‍රශ්වාස මාත්‍රයකින් ජීවත්වන්නේ බාලයා යනු එහි කෙටි තේරුම ය. ‘දිට්ඨධම්මිකසම්පරායික සඞ්ඛාතෙ ද්වෙ අත්‍ථෙ ලාති ගණ්හාතීති ච, අත්තත්ථ පරත්ථ සඞ්ඛාතෙ ද්වෙ අත්‍ථෙ ලුනාති ඡින්දතී ති බාලො’ යනු අඥයා කෙරෙහි නැගි බාල ශබ්දයෙහි අර්‍ත්‍ථසමර්‍ත්‍ථනය ය. මෙලොව පර ලොව වැඩත් තමන් හා අනුන් පිළිබඳ වැඩත් සිඳලන්නේ බාලයා යනු එහි තේරුම ය. මෙයින් පූරණකස්සප, මක්ඛලීගෝසාල, නිගණ්ඨනාථපුත්‍ර, සඤ්ජයබෙල්ලට්ඨිපුත්ත, පකුධකච්චායන, අජිතකේසකම්බලී යන සදෙන ද, දේවදත්ත, කොකාලිකාදි පාප පුදගලයෝ ද බාලයෝ වෙති, යි කියන ලදී. ප්‍රාණඝාතාදි දශ අකුශල කර්‍මපථයෙන් යුක්ත ව තමනුත් අනුනුත් පාපයෙහි යොදමින් මෙලොව පරලොව දෙක්හි වැඩ නසාලන්නා බාලයා, යි කොටින් දත යුතු ය. මොහු ම මෙහි කැමැති වන ලද්දේ ය.
බාලයා වනාහි සිතන්නේ, නපුරු සිතීමෙක් ම ය. කියන්නේ, නපුරු කියුමෙක් ම ය. කරන්නේ, නපුරු කෙරුමක් ම ය. අභිද්‍යා - ව්‍යාපාද - මිත්‍ථ්‍යාදෘෂ්ටි යන තෙවැදෑරුම් මනෝදුච්චරිතය බාලයා පිළිබඳ බැවින් බාලයාගේ නපුරු සිතුම් ය. මුසාවාද - පිසුණවාචා - එරුසවාචා - සම්ඵප්පලාප යන සිවු වැදෑරුම් වචී දුච්චරිතය බාලයාගේ නපුරු කියුම් ය. ප්‍රාණඝාත - අදත්තාදාන - කාමමිත්‍ථ්‍යාචාර යන තෙ වැදෑරුම් කාය දුච්චරිතය බාලයාගේ නපුරු කෙරුම් ය. ලෝකයා, මොහු මේ අකුශල කර්‍මපථයෙහි යෙදී බැඳී වසන බැචින් බාලයා, යි හැඳින ගණියි. එහෙයින් මෙය බාල ලක්‍ෂණය, බාල නිමිත්තය, බාලාපදානය, යි බුදුහු වදාළ සේක. ‘තීනිමානි භික්ඛවෙ! බාලස්ස බාලලක්ඛණානි බාල නිමිත්තානි බාලාපදානානි, කතමානි තීනි? ඉධ භික්ඛවෙ! බාලො දුච්චින්තිත චින්තී ච හොති දුබ්‍භාසිතහාසි දුක්කත කම්මකාරී’ යි.
මෙතෙමේ වනාහි වරද, වරද වශයෙන් පිළිගැණීමට නො කැමැති වෙයි. දැක ද එයට නිසි පිළියම් නො කරයි. අන්‍යයා වරද එළි කළ විට ද නො පිළිගණියි.
රූපාදිස්කන්ධයන්ගේ පිළිවෙළ නො සිඳ පැවැත්ම, චක්ඛු ධාතු ආදි අටළොස් ධාතුන්ගේ පිළිවෙළ නො සිඳ පැවැත්ම, චක්ඛු ආදි දොළොස් ආයතනයන්ගේ පිළිවෙළ නො සිඳ පැවැත්ම ‘සංසාර’ නම් වේ.
“ඛන්ධානං පටිපාටී ච ධාතු ආයතනාන ච,
අබ්බොච්ඡින්නං වත්තමානං සංසාරොති පවුච්චති”
යනු ඒ සඳහා කියන ලද ය. නිවන් පසක් කරණතුරු පරම්පරාව නො සිඳ යන සත්ව තෙමේ සංසාරය යි වදාරන ලද්දේය. නො සිඳෙන පරම්පරාව නම්, ස්කන්ධ ධාතු ආයතනයන්ගේ නො කැඩී දිගින් දිගට පැවැත්ම ය. දැන් ලබා සිටින ස්කන්ධ ධාතු ආයතනයන් අතීතයෙහි මෙන් මෙතැන් සිටත් නිවන් ලබන තුරු ම චුතිපටිසන්ධි වශයෙන් මතු මත්තෙහි දිගින් දිගට සුදුසු පරිදි දෙව, බ්‍රහ්ම, මනුෂ්‍ය, අසුර, යක්‍ෂ, රාක්‍ෂස, නාග, සුපර්‍ණ, නෙරයික, සත්‍රී, පුරුෂාදි නොයෙක් නම් ලබමින් පැවැත ගෙණ යෑම ය. සංසාර යි එකෙකුත් සත්ව යි අනෙකකුත් නැත. සත්ව-සංසාර යන දෙක ම ස්කන්ධ ධාතු ආයතනයන්ගේ කැටිව පැවැත්මට කියන නම් දෙකෙකි. තේරුම් දෙකක් ගෙණ එසේ කියන ලද්දේ ය. පරමාර්‍ත්‍ථ වශයෙන් ස්කන්ධ යි ද, සම්මුති වශයෙන් සත්ව යි ද, කියනු ලබන නාම-රූප ධර්‍මරාශිය චුති පටිසන්ධි වශයෙන් නො සිඳී නො බිඳී අතර නො තබා පවත්නා හෙයින් සංසාර යි ද, ඒ ඒ අරමුණුවල ඇලෙන ස්වභාවයෙන් සත්ව යි ද කියනු ලැබේ. පඤ්චස්කන්ධයෙහි විස්තර යට කියන ලදී.
පඤ්චස්කන්ධය, ධාතුනාමයෙන් ද හඳුන්වති. එසේ හඳුන්වන්නෝ ශුන්‍ය හෙයිනි. ඒ ඒ ස්වභාව දරණ හෙයිනි. ධාතු අටළොසෙකි. චක්ඛුධාතු - රූපධාතු - චක්ඛුවිඤ්ඤාණධාතු, සෝතධාතු - සද්දධාතු - සෝතවිඤ්ඤාණධාතු, ඝාණධාතු - ගන්ධධාතු - ඝාණවිඤ්ඤාණධාතු, ජිව්හාධාතු - රසධාතු - ජිව්හාවිඤ්ඤාණධාතු, කායධාතු - ඵොට්ඨබ්බධාතු - කායවිඤ්ඤාණධාතු, මනෝධාතු - ධම්මධාතු - මනෝවිඤ්ඤාණධාතු, යි.
මේ අටළොස, අර්‍ත්‍ථ - ලක්‍ෂණ - ක්‍රම - තාවත්පරිමාණ - සඞ්ඛ්‍යා - ප්‍රත්‍යය - ද්‍රෂ්ටව්‍ය යන මොවුන්ගේ වශයෙන් දතයුතු වේ. එහි චක්ඛු ආදීන්ගේ විශෙෂාර්‍ත්‍ථය යට කියන ලද්දේය. අවිශේෂයෙන් වනාහි යම් ධර්‍ම සමූහයෙක් සසර දුක උපදවා ද, නොහොත් පිළියෙල කෙරේ ද, සත්වයන් විසින් දරුණු ලැබේ ද, ඒ ධර්‍ම සමූහය, ධාතු’ නම් වේ. දුඃඛ විධානය ද, ධාතු’ යි කියති. එසේ ම සත්වයන් විසින් සසර දුක උපදවනු ලැබේ ද, සසර දුක තබනු ලැබේ ද එහෙයිනුත් මේ ධර්‍ම සමූහය, ධාතු’ යි හඳුන්වනු ලැබේ. මෙ කී අර්‍ත්‍ථයන් කර්‍තෘ, කර්‍ම, භාව, අධිකරණ වශයෙන් අටුවාවෙහි දැක්වූහ. ඒ මෙ සේය:-
“විදහති, ධීයතෙ, විධානං, විධීයතෙ එතාය, එත්ථ වා ධීයතෙ’ති = ධාතු” යි.
රන් රිදී ආදීනට බීජ වූ ශෛලාදි ධාතූන් රන් රිදී ආදිය උපදවන්නාක් මෙන්, මේ ධාතුහු සසර දුක උපදවන්නෝ ය. බර උසුලන්නන් උසුලන බර මෙන් චක්‍ෂුරාදීහු, සත්වයන් විසින් දරුණු ලැබෙත්. මේ ධාතු සමූහය දුඃඛවිධාන මාත්‍රයෙක් ම ය. අනෙකෙක් නො වේ. තමන් වශයෙහි නො පවත්නා හෙයින් ඒ පැහැදිලි ව පෙණේ. මොවුන් නිසා සසර දුක ගැළපෙනු ලැබේ. එසේ ගැළ පූ සසර දුක මොවුන් කෙරෙහි ම තබනු ලැබේ. මේ පූර්‍වොක්ත සාධනයන්ගේ අර්‍ත්‍ථ පැහැදිලි කළ සැටි ය.
තීර්‍ත්‍ථකයන් විසින් කියන ආත්මය වනාහි, පරමාර්‍ත්‍ථවශයෙන් ඇත්තෙක් නො වේ. එහෙත් මොවුහු, පරමාර්‍ත්‍ථවශයෙන් නැත්තාහු නො වෙති. මොවුහු, තමන්ගේ ස්වභාවය දරත්නු යි ධාතුනම් වෙති. ලෝකයා විසින් මනෝසිලා ආදිය ධාතු යි ගණු ලැබේ. චක්‍ෂුරාදීහු, මනෝසිලා ආදී ධාතුන් වැනි නු යි ධාතු නම් වෙත්. ‘ධාතුයො විය ධාතුයෝ’ යි කී බැවින් කෙසර සිංහයා කෙරෙහි ප්‍රසිද්ධ වූ සිංහ’ ශබ්දය පුරුෂයන් කෙරෙහි ව්‍යවහාරය වන්නාක් මෙන් ශෛලාවයවාදීන් කෙරෙහි රූඪ වු ධාතු ශබ්දය චක්‍ෂුරාදීන් කෙරෙහි උපචරිතය යි දතයුතු ය. ශරීරයාගේ අවයව වූ අනුන් අසමාන ලක්‍ෂණයෙන් පිරිසිඳින ලද රස සොණිතාදීන් කෙරෙහි ධාතු යන නාමය යෙදේ ද, එසේ පඤ්චස්කන්ධ යි ගැණෙන ආත්මභාවයාගේ අවයව වූ චක්‍ෂුරාදීන් කෙරෙහි ධාතු නාමය යෙදේ. චක්‍ෂුරාදීහු අසමාන ස්වභාව ලක්‍ෂණයෙන් පිරිසිඳින ලද්දෝ ය. තව ද ධාතුනාම ප්‍රඥප්තිය වනාහි ජීවරහිත වූවක්හට කියන නමෙකි. සම්මා සම්බුදුරජානන් වහන්සේ ධාතු දේශනාව කළෝ සත්ව, පුද්ගල, ආත්ම යන සංඥාව නසනු පිණිස ය. එහෙයින් චක්ඛු වූයේත් හේ ම ය, ධාතු වූයේත් ඒ ම නු යි චක්ඛුධාතු’ නම් වේ. සෙස්ස ද මෙ සේ ය.
චක්‍ෂුරාදීන්ගේ ලක්‍ෂණ ද යට කියූ සේ ය. උත්පත්තික්‍රමාදි නොයෙක් ක්‍රම අතුරෙහි මෙහි යෙදෙන්නේ දේශනාක්‍රමය යි. හෙද’ හේතුඵලධර්‍මයන්ගේ පිළිවෙළ නිශ්චය කොට දැක්වීම් වශයෙන් වදාරන ලද්දේ ය. චක්ඛුධාතු - රූපධාතු දෙක හේතුයි. ඵලය, චක්ඛුවිඤ්ඤාණය යි. සෙස්සෙහි ද ක්‍රමය මෙසේ ය.
ඒ ඒ සූත්‍රාභිධර්‍මදේශනාවන්හි ආභාධාතු, සුභාධාතු, ආකාසානඤචායතනධාතු, විඤ්ඤාණඤ්චායතනධාතු යනාදි වශයෙන් අන්‍ය වූ නොයෙක් ධාතුහු දක්නා ලැබෙති. එහෙත් අටළොසක් ම දක්වා, වදාළෝ, ඒ සියල්ල මේ අටළොසෙහි ම ඇතුළත්වන බැවිනි. චන්ද්‍රාභා, සූර්‍ය්‍යාභාදිආභාධාතු තොමෝ රූපධාතු ම ය. රූපධාතුවෙහි ම ඒ ඇතුළත්ය. සුභාධාතු තොමෝ රූපාදී වූ අරමුණු පිළිබඳ ය. ශුභාකාරග්‍රහණයට නිමිත්ත වන බැවිනි. ශුභනිමිත්ත ශුභාධාතු නමි, ශුභනිමිත්ත, රූපධාතු ආදීන් කෙරෙන් වෙන් වූවෙක් නො වේ. නොහොත් කුශලවිපාක චිත්තොත්පාදයන්ට අරමුණු වූ රූපාදීහු ම සුභාධාතු නමැ යි කීහ. සෙස්ස විශුද්ධිමාර්‍ගයෙන් උගන්නේ ය. මේ ආයේ තාවත්පරිමාණවිනිශ්චය යි.
චක්ඛුධාතු තොමෝ ජාතිවශයෙන් චක්ෂුඃප්‍රසාදසඞ්ඛ්‍යාත එක් ම ධර්‍මයක් වේ. සෝත, ඝාණ, ජිව්හා, කාය, රූප, ගන්ධ, රස, ධාතුහු ද, එපරිද්දෙන් ශ්‍රොත්‍රප්‍රසාදාදීන්ගේ වශයෙන් එක් එක් ධර්‍මයට බෙදී යති. ඵොට්ඨබ්බධාතු තොමෝ වනාහි, පඨවි, තේජෝ, වායෝ යන මොවුන්ගේ වශයෙන් ධර්‍ම තුනෙකැ යි ගැණේ. චක්ඛුවිඤ්ඤාණධාතුව කුශලවිපාක-අකුශල විපාකයන්ගේ වශයෙන් ධර්‍ම දෙකක් කොට ගණිති. සෝත, ඝාණ, ජිව්හා, කායවිඤ්ඤාණධාතුහු එපරිද්දෙන් කුශලවිපාක-අකුශලවිපාක වශයෙන් ධර්‍ම දෙකෙක, දෙකෙකැ යි ගිණිය යුතු ය. මනෝධාතුව, පංචද්වාරාවජීන-කුශලවිපාකසම්ප්‍රත්‍යෙෂණ - අකුශලවිපාකසම්ප්‍රත්‍යෙෂණයන්ගේ වශයෙන් ධර්‍ම තුනකට බෙදේ. ධම්මධාතු තොමෝ වේදනා, සංඥා, සංස්කාර යන ත්‍රිවිධ වූ අරූපස්කන්ධයන්ගේ ද, සොළොස් වැදෑරුම් වූ සූක්‍ෂමරූපයන්ගේ ද, අසංස්කෘතධාතුවගේ ද, වශයෙන්. විසි අයුරකට යන්නී ය. මනෝවිඤ්ඤාණධාතුව, අනික් කුශලචිත්ත - අකුශලචිත්ත - අව්‍යාකෘතචිත්තයන්ගේ වශයෙන්. සසත්තෑ අයුරකට වැටේ. මේ සඞ්ඛ්‍යාවශයෙන් අටළොධාතුන්ගේ විනිශ්චය යි.
චක්ඛුධාතු තොමෝ, චක්ඛුවිඤ්ඤාණධාතුවට විප්පයුත්ත - පුරේජාත - අත්ථි - අවිගත - නිස්සය - ඉන්ද්‍රියප්‍රත්‍යයයන්ගේ වශයෙන් උපකාර වන්නී ය. රූපධාතු තොමෝ, චක්ඛුවිඤ්ඤාණධාතුවට පුරේජාත - අත්ථි - අවිගත - ආරම්මණප්‍රත්‍යයයන්ගේ වශයෙන් උපකාර වන්නී ය.
මෙසේ ම සෝතධාතු සද්දධාතු ආදීහු, සෝතවිඤ්ඤාණාදීන්ට සය සය අයුරකින් හා සතර සතර අයුරකින් උපකාර වෙති. පංචද්වාරාවජ්ජනමනෝධාතු තොමෝ, චක්ඛවාදිපංචවිඤ්ඤාණයන්ට අනන්තර - සමනන්තර - නත්ථි - විගත - අනන්‍තරූපනිස්සය යන පස්වැදෑරුම් ප්‍රත්‍යයයගෙන් උපකාර වන්නී ය. පංචවිඤ්ඤාණධාතුහු, අරමුණු පිළිගන්නා ආකාරයෙන් පවත්නා සම්ප්‍රත්‍යෙෂණමනෝධාතුවට, සම්ප්‍රත්‍යෙෂණමනෝධාතු තොමෝ සන්තීරණමනෝධාතුවට, සන්තීරණමනෝවිඤ්ඤාණධාතු තොමෝ, වොත්ථපනමනෝවිඤ්ඤාණධාතුවට, වොත්ථපනමනෝවිඤ්ඤාණධාතු තොමෝ ජවනමනෝවිඤ්ඤාණධාතුවට, යට කියූ ප්‍රත්‍යයයන්ගේ වශයෙන් පස් පස් අයුරෙන් ප්‍රත්‍යය වෙති. ජනමනෝධාතු තොමෝ තමහට අනතුරුව උපදින ජවනමනෝවිඤ්ඤාණධාතුවට අනන්තර - සමනන්තර - නත්ථි - විගත - අනන්තරූප නිස්සයප්‍රත්‍යයයන්ගෙන් හා ආසේවනප්‍රත්‍යයයෙන් ද යන සවැදෑරුම් ප්‍රත්‍යයයන්ගෙන් උපකාර වේ. මේ පංචද්වාරයෙන් උපදින චිත්තයන්ට ප්‍රත්‍යය ලැබෙන සැටියි.
මනෝද්වාරයෙහි වනාහි භවඞ්ගමනෝවිඤ්ඤාණධාතු තොමෝ, මනාද්වාරාවජ්ජනමනෝවිඤ්ඤාණධාතුවට ද, ආවජ්ජනමනෝවිඤ්ඤාණධාතු තොමෝ, ජවනමනෝවිඤ්ඤාණධාතුවට ද යට කී අනන්තරාදි පංචවිධප්‍රත්‍යයශක්තියෙන් උපකාර වේ. ආසේවන ප්‍රත්‍යය ද මෙහි ලැබේ. මනෝධාතු, මනෝවිඤ්ඤාණ ධාතුන් හා එක්ව උපදින වේදනා, සඤ්ඤා, සංඛාර යි කියූ ධර්‍මධාතු තොමෝ, සවැදෑරුම් විඤ්ඤාණධාතූන්හට, සහජාත - අඤ්ඤමඤ්ඤ - නිස්සය - සම්පයුත්ත - අත්ථි - අවිගතාදි බොහෝ ප්‍රත්‍යයයන්ගේ වශයෙන් උපකාරව සිටියි. චක්ඛුධාතු ආදීහු ද, ඇතැම් සූක්‍ෂම රූප හා නිර්‍වාණ ධාතු ආදි ධර්‍මධාතුව ද, ඇතැම් මනෝවිඤ්ඤාණ ධාතුවකට ආලම්බන ප්‍රත්‍යයයාදියෙන් ප්‍රත්‍යය වෙති. චක්ඛු විඤ්ඤාණාදිධාතුන්හට හුදෙක් චක්‍ෂුස්ප්‍රසාද රූපාලම්බනාදීහු ම ප්‍රත්‍යය නො වෙති. සූර්‍ය්‍යාලෝකාදී ආලෝකයෝ ද ප්‍රත්‍යය වෙති. ‘චක්ඛු රූපාලොක මනසිකාරෙ පටිච්ච උප්පජ්ජති, චක්ඛුවිඤ්ඤාණං -පෙ- මනොවිඤ්ඤාණං’ යනු සාධක ය. තේරුම යට චිත්තවර්‍ගයෙහි කියන ලද ය.
ප්‍රත්‍යයයෙන් සකස් කරණ ලද ධාතූහු අතීත අනාගත ස්වභාවයෙන් සිස් වූහ යි ද, නිත්‍ය, ශුභ, සුඛ, ආත්මභාවයෙන් සිස් වූහ යි ද, කර්‍මාදිප්‍රත්‍යයයන් අයත් කොට ඇත්තාහු යි ද දත යුතු ය. විශේෂයෙන් වනාහි, චක්ඛුධාතුව බෙර ඇසක් සේ ද, රූපධාතුව කඩිප්පුවක් සේ ද, චක්ඛුවිඤ්ඤාණධාතුව බෙරයෙන් නිමෙන හඩ සේ ද, නැවැත, චක්ඛුධාතුව කැටපතක් සේ ද, රූප ධාතුව මුහුණ සේ ද, චක්ඛුවිඤ්ඤාණධාතුව, මුවසටහන සේ ද, නැවැත උක්, තල සේ චක්ඛුධාතූව ද, උක්දඬු පෙළන යන්ත්‍රය හා තල පෙළන දණ්ඩ සේ රූපධාතුව ද, උක්පැණි, තලතෙල් සේ චක්ඛු විඤ්ඤාණධාතුව ද, නැවැත, චක්ඛුධාතුව යට සිටි ගිනිගාන දණ්ඩ සේ ද, රූපධාතුව මත්තෙහි සිටි ගිනිගාන දණ්ඩ සේ ද, චක්ඛුවිඤ්ඤාණධාතුව ඒ ගැටීමෙන් හටගන්නා ගින්න සේ ද සැලකිය යුතු ය. සෝතධාතුන් කෙරෙහි ද ක්‍රමය මෙසේ ය. මෙයින් දැක්වුනේ චක්ඛුධාතු ආදීන් ආත්මයෙන් තොර බවත් කාරක, වෙදකයකු නො වන බවත් ය. ජිවිතයෙන් තොර බෙර ඇස, කඩිප්පු ආදීන්ගේ ගැටීමක් ඇතිවිට ජීවයක් නැත්තා වූ ශබ්දාදීන්ගේ හටගැණීම සේ ජීවිතයෙන් තොර චක්ඛුරූපාදීන් ගේ එක්වීමක් ඇති කල්හි නිර්ජීව වූ චක්ඛුවිඤ්ඤාණදීන්ගේ හටගැණුම වන බව මෙයින් පෙණේ.
මනෝධාතුව වනාහි, ලැබෙන සේ, චක්ඛුවිඤ්ඤාණදීන්ගේ පෙර පසු ගමන් ගත්තකු වැනි ය. ධර්‍මධාතුවෙහි වේදනාස්කන්ධය ශල්‍යයක්, ශුලයක් සේ ද, සංඥාසංස්කාරස්කන්ධයෝ වේදනා සඞ්ඛ්‍යාතශල්‍යයක්, ශුලයක් යෙදීමෙන් ආතුර වූ රෝගීන් සේ ද, පෘථග්ජනයන්ගේ සංඥාව, බලාපොරොත්තුවන දේ නො ලැබීමෙන්. දුක උපදවන හෙයින්, සිස් වූ මිටමොළවීමක් සේ ද, ඇති සැටියෙන් නිමිති නො ගන්නා හෙයින් වන මුවකු සේ ද, සංස්කාරයෝ ප්‍රතිසන්ධියෙහි ඇද බහාලන හෙයින් අඟුරුවළෙක බහාලන පුරුෂයකු සේ ද, ජාති දුඃඛයෙන් ලුහු බැඳ පවත්නා හෙයින් රාජපුරුෂයන් විසින් ලුහු බඳින ලද සොරුන් සේ ද, සියලු අවැඩ එළවන්නා වූ ස්කන්ධපරම්පරාවට හේතු වන හෙයින් විෂවෘක්‍ෂයක විෂබීජ සේ ද, රූපස්කන්ධය නානාප්‍රකාර වූ උපද්‍රවයන්ට හේතු වන හෙයින් ක්‍ෂුරචක්‍රයක් සේ ද, දැක්ක යුතු ය.
අසඞ්ඛතනිර්‍වාණධාතුව, අමෘතයක් සේ ශාන්ත හෙයින් නිර්‍භය වශයෙන් දැක්ක යුතු ය. සියලු අවැඩ එළවන රාගාදී වූ ද ජාත්‍යාදී වූ ද සප්‍රතිභයධර්‍මයන්ට ඉඳුරා ප්‍රතිපක්‍ෂ බැවිනි. මනෝවිඤ්ඤාණධාතුව, අරමුණුවල ‘මේ අරමුණ මේ විඤ්ඤාණයාගේ වේය යන නියමයක් නැති බැවින් වල් වඳුරකු සේ ද, නො දැමිය හැකි බැවින් කුළු අසකු සේ ද, තමා විසින් කැමැති වන ලද අරමුණෙහි හැසිරෙන බැවින් අහසෙහි වූ දඬුකඩක් සේ ද, ලෝභ ද්වේෂ මෝහාදී වූ නානාවිධත්ලේශයන් හා යෙදෙන බැවින් ද සැරසී නටන්නා වූ නළුවකු සේ ද දත යුතු ය.
ආයතනයෝ දොළෙසෙකි. චක්ඛායතන - රූපායතන - සෝතායතන - සද්දායතන - ඝාණායතන - ගන්ධායතන - ජිව්හායතන - රසායතන - කායායතන - ඵොට්ඨබ්බායතන - මනායතන - ධම්මායතන යි. මොවුන්ගේ විශේෂ ලක්‍ෂණ යට කියන ලද ය. සාමාන්‍යයෙන් හෙවත් පොදු වසයෙන් අරුත් පළකරණු පිණිස ආචාර්‍ය්‍යපාදයෝ ‘ආයතනතො ආයානං තනනතො ආයතස්ස ච නයනතො ආයතනන්ති වෙදිතබ්බං’ යනු ගෙණ පැහ.
ඇස් කන් නාස් ආදී වූ ස්ථානයෙක පිහිටා සිට, ඒ ඒ දොරටුවලට හමුවන අරමුණු රස විඳ ගන්නා වූ චක්ඛුවිඤ්ඤාණඵස්සාදි චිත්තචෛතසිකධර්‍මයෝත් තම තමන් අයත් අනුභවනාදි කෘත්‍ය විශේෂයන්හි ව්‍යායාම කෙරෙත් ද, චිත්තචෛතසිකයන්ගේ ඒ අනුභවනාදි ක්‍රියා සිද්ධියට ආධාර ස්ථාන වූ ඇස්, කන්, නාස්, ආදීහු ආයතන’ යි කියනු ලැබෙත්. චක්‍ෂුරාදිධර්‍මයෝ ඉතා දික් වූ සසර දුකට ඇතුළත් වූ චිත්තචෛතසිකධර්‍මයන් භවයෙන් භවයට දිගින් දිගට ගෙණ යත් ද, එහෙයිනුදු චක්‍ෂුරාදීහු ආයතන නම් වෙති. නො දත හැකි පූර්‍වකෙළවර ඇති (අවිද්‍යමාන බැවිනි.) සසරෙහි පැවැති දුක යම්තාක් කල් නො නැවතී පවතී ද, ඒතාක් කල් මේ චක්‍ෂුරාදීහු සත්වයන් සසරදුකට පමුණුවත් ම ය. එහෙයිනුදු මොවුහු. ආයතන නම් වෙති. තව ද මේ ආයතනශබ්දය වාසස්ථාන, ආකාර, සමොසරණස්ථාන, සංජාතිදෙශ, කාරණ යන අර්‍ත්‍ථයන්හි ද වැටේ. ඊශ්වරයාගේ වාසස්ථානය ඊශ්වරායතනය වන්නා සේ චිත්තචෛතසිකයන්ගේ වාසස්ථාන වූ ඇස් කන් නාසාදීහු ආයතන නම් වෙති. රන් රිදී උපදින තැන් සුවර්‍ණාකර, රජතාකර යි කියන්නා සේ යි. චිත්තචෛතසිකයන්ට නිඃශ්‍රයස්ථාන වූ චක්‍ෂුරාදිය ආයතන යි හඳුන්වති. කුරුළු සිවුපාවුන් ගොදුරු ගෙණ ලගින තැන් ආයතන යි කියන්නා සේ යි. රූපාදී වූ අරමුණු ගෙණ චිත්තචෛතසිකයන් ලගින ඇස්, කන්, නාස් ආදිය ආයතනැ යි ගණිති. ගොනුන්ගේ උත්පත්තිස්ථානය දක්‍ෂිණාපථ’ යි ද, අසුගේ උත්පත්තිභූමිය කාම්බොජයිද, කියන්නා සේ ඇස් කන් නාස් ආදිය චිත්තචෛතසිකයන්ගේ හටගැන්මට භූමි හෙයින් ආයතනැ යි කියත්. චිත්තචෛතසිකයන්ගේ පැවැත්මට කරුණු වූ ඇස් කන් නාස් ආදිය කාරණාර්‍ත්‍ථයෙන් ද ආයතන’ නමැ යි ගණිති. ‘ඉති නිවාසට්ඨානට්‍ඨෙන ආකාරට්‍ඨෙන සමොසරණට්ඨානට්‍ඨෙන සංජාතිදෙසට්‍ඨෙන කාරණට්ඨෙනාති ඉමෙහි කාරණෙහි එතෙ ධම්මා ආයතනං ආයතනන්ති වුච්චති’ යනු අටුවා ය. එහෙයින් චක්‍ෂුස වූයේත් ඒ ම ය, ආයතන වූයේත් ඒ ම නු යි ‘චක්ඛායතන’ නමැ යි ගත යුතු යි. සෙස්ස ද මෙසේ ය. චක්ඛායතනාදීන්ගේ ලක්‍ෂණ යට කියන ලද ය. ධර්‍මැ යි කියනු ලබන්නේ ද ඇස් කන් නාසාදිය ම ය. එසේ කල්හි සියල්ල ‘ධම්මායතන’ යි නො වදාරා දොළොස් ආයතන කෙනෙක් වදාරන ලද්දෝ සවැදෑරුම් විඤ්ඤාණකායයාගේ උත්පත්තිද්වාරාලම්බනයන් පිරිසිඳීම හේතුකොට ගෙණ ය. සවැදෑරුම් විඤ්ඤාණය, ද්වාරාරම්මණභාවයෙන් පිරිසිඳින හෙයින් මොවුන්ගේ මේ දොළොස් වැදෑරුම් ප්‍රභේදය විය. චක්ඛුවිඤ්ඤාණ වීථියට ඇතුළත් වූ චිත්ත සමූහයට උත්පත්තිද්වාරය වන්නේ චක්ඛායතනය යි. අරමුණ වන්නේ රූපායතනය යි. සෙස්ස ද මෙසේ ගතයුතු යි. සවන වූ විඤ්ඤාණකායයට (මනායතනයට) භවාඞ්ගචිත්ත යි කියනු ලබන මනායතනයාගේ එක් කොටසෙක් ම උත්පත්තිද්වාරය වේ. චක්ඛුවිඤ්ඤාණදීන්ට අරමුණු වීම් වසයෙන් සාධාරණ නො වූ ධම්මායතනය අරමුණ වේ. මෙසේ හෙයින් දොළොස් ආයතන කෙනකුන් ම වදාළ සේක.
ආද්ධ්‍යාත්මිකආයතනයන් අතුරෙන් චක්ඛායතනය උදාහරණ සහිත බැවින් හා හැපීම් සහිත බැවිනුත්, ප්‍රකට නු යි පළමු කොටත් නිදසුන් රහිත ගැටීම් සහිත ශබ්දාලම්බනාදිය අරමුණු කොට ඇති සෝතායතනාදිය පසු කොටත් දෙසූහ. තව ද දස්සනානුත්තරිය, සවණානුත්තරිය ධර්‍මයන්ට හේතුභාවයෙන් උපකාර වන බැවින් ආද්ධ්‍යාත්මිකයන් කෙරෙහි චක්ඛායතන, සෝතායතනයෝ පළමු කොටත් ඊට අනතුරු කොට ඝාණායතනාදි තිදෙනාත් වදාරන ලදහ. චක්‍ෂුරාදී වූ පස් දෙනාගේ ගොචරයන් අරමුණු කොට ඇති මනායතනය අන්තයෙහි ලා වදාළ සේක. බාහිරායතනයන් අතුරෙහි රූපායතනාදීන්, චක්ඛායතනාදීන්ගේ ගොචර බැවින් ඒ ඒ ආද්ධ්‍යාත්මික ආයතනයන්ට අනතුරු කොට දැක්වූහ. තව ද චක්ඛුවිඤ්ඤාණාදීන්ගේ හටගැණිමට ඇති හේතු නියමකිරීම් වශයෙන් ද ආයතනයන්ගේ මේ ක්‍රමය වදාළ සේක. චක්‍ෂුසත් රූපාරම්මණයත් නිසා චක්‍ඛුවිඤ්ඤාණය උපදියි. -පෙ- සිතත් ධර්‍මාලම්බනයත් නිසා මනෝවිඤ්ඤාණය උපදියි. මේ ඒ ක්‍රමයයි. ‘චක්ඛුං ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං -පෙ- මනං ච පටිච්ච ධම්මෙ ච උප්පජ්ජති මනොවිඤ්ඤාණං’ යනු දේශනා ය.
මනායතනය හා ධර්‍මායතනයෙහි එක් කොටසක් ‘නාම’ යන්නෙන් සංග්‍රහ කළ බැවින් ද, එයින් ඉතිරි වූ ආයතනයන් ‘ රූප’ යන්නෙන් සංග්‍රහ කළ බැවින් ද මේ ආයතන දොළොස නාම රූප මාත්‍රයෙක් ම වේ. මේ සැකෙවිනි. විස්තර විසින් වනාහි චක්ඛායතනය චක්‍ෂූස්ස්වභාවයෙන් චක්‍ෂුප්‍රසාද මාත්‍රයෙක් ම ය. මෙහි ප්‍රත්‍යය, ගති, නිකාය, පුද්ගල වශයෙන් තවත් නොයෙක් භේද ඇත්තේ ය. අනික් පොතපත බලා ඒ දතයුතු ය.
සෝතායතනාදී වූ අනික් සිවු දෙන ද එසේ නොයෙක් භේද ඇත්තෝ ය. මනායතනය කුශල - අකුශල - විපාක - ක්‍රියා භේදයෙන් එකුන් අනූවක් ද හා, එක්සිය එක්විසි භේදයෙක් ඇත්තේ ය. චක්ඛුවත්ථු ආදි වත්ථු භේද හා, දුක්ඛාපටිපදාදි ප්‍රතිපදා භේද ද ඇත. රූපායතන - සද්දායතන - ගන්ධායතන - රසායතනයෝ විෂභාග ප්‍රත්‍යයාදීන්ගේ වශයෙන් කෙළවරක් නැති භේද ඇත්තෝ ය. ඵොට්ඨබ්බායතනය, පඨවීධාතු - තේජෝධාතු - වායෝධාතු භේදයෙන් තෙවැදෑරුම් වේ. තවත් මෙහි ප්‍රත්‍යයාදි භේද ද ඇත. ධම්මායතනය, වේදනා - සඤ්ඤා - සංඛාර - සුබුම රූප - නිබ්බාන යන එකුන් සැත්තෑවක් ධර්‍මයන්ගේ ස්වභාව භේද හා නානාත්වභේද ඇත්තේ ය. සංක්‍ෂේප විස්තර විසින් මොවුන්ගේ භේදය වන්නේ ය.
ආයතනයෝ යම්කිසි තැනකින් නො ආවෝ ය. එසේ ම කිසි තැනෙකින් නො නික්මෙන්නෝ ය. උත්පාදක්‍ෂණයෙන් පුර්‍වයෙහි යම් කිසි තැනෙකින් එන්නෝත් නො වෙති. භඞ්ගක්‍ෂණයෙන් මතුයෙහි යම් කිසි තැනකට යන්නෝත් නො වෙති. පූර්‍වාන්ත නම් වූ පූර්‍වජාතියෙන් මෙහි නො ආ බැවින් හා අපරාන්ත නම් වූ අනතුරු ජාතියට මෙයින් නො යන බැවිනුත් ය. පවත්නා කාලයෙහි ද ඉතා ටික කාලයක් ම පවත්නා බැවින් විපරිණාම ස්වභාවය ඇත්තෝ ය. අදහසට අනුව නො යන්නෝ ය. චක්ඛුරූපාදීන්ට ‘අපගේ එක්වීමක් ඇති කල්හි විඤ්ඤාණය උපන්නේ නම් යෙහෙකැ’ යි යන සිතිවිල්ලෙක් නො වන්නේ ය. චක්ඛායතනාදීහු විඤ්ඤාණය උපදවනු පිණිස ද්වාරභාවයෙන් හෝ වත්ථුභාවයෙන් හෝ ආරම්මණභාවයෙන් හෝ උත්සාහ කරන්නාහු ද නො වෙති. උත්සාහයට හෝ නො ද පැමිණෙන්නාහු වෙති. චක්ඛුරූපාදීන්ගේ එක්වීමක් ඇති කල්හි, චක්ඛුවිඤ්ඤාණදීහු යම් හෙයකින් හට ගණිද් ද, ඒ හට ගැණීම ධර්‍මතාවය වේ.
“එත්ථ පන සබ්බානෙව සඞ්ඛතානි ආයතනානි අනාගමනතො අනිග්ගමනතො ච දට්ඨබ්බා ති. න හි තානි පුබ්බෙ උදයා කුතො චි ආගච්ඡන්ති. න පි උද්ධං වයා කුහිඤ්චි ගච්ඡන්ති. අථ ඛො පුබ්බෙ උදයා අප්පටිලද්ධසභාවානි උද්ධං වයා පරිභින්නසභාවානි පුබ්බන්තාපරන්තවෙමජ්ඣෙ පච්චයා යත්තවුත්තිතාය අවසානි පවත්තන්ති. තස්මා අනාගමනතො ච අනිග්ගමනතො ච දට්ඨබ්බානි. තථා නිරීහකතො අබ්‍යාපාරතො ච න හි චක්ඛුරූපාදීනං එවං හොති:- අහො වත අමහාකං සාමග්ගියං විඤ්ඤාණං නාම උප්පජ්ජෙය්‍යාති න ච තානි විඤ්ඤාණුප්පාදනත්ථං ද්වාරභාවෙන වත්ථුභාවෙන ආරම්මණභාවෙන වා ඊහන්ති. න බ්‍යාරමාපජ්ජන්ති. අථඛො ධම්මසභාවෙසා. යං චක්ඛූරූපාදියාමග්ගියං චක්ඛුවිඤ්ඤාණාදිනි සම්භවන්ති” යනු මෙහිලා බණ පොතෙහි ආයේය.
චක්‍ෂුරාදි ආද්ධ්‍යාත්මික ආයතනයෝ, මිනිසුන්ගෙන් සිස් වූ ගමක් සේ දතයුතු ය. නිත්‍ය - ශුභ - සුඛ - ආත්ම යන මෙයින් තොර බැවිනි. බාහිරායතනයෝ, ආද්ධ්‍යාත්මිකායතනයන් පැහැර ගන්නා බැවින් ගම්පහරන සොරුන් වැනි වෙත්. ‘චක්ඛු භික්ඛවෙ! හඤ්ඤති මනපාමනාපෙහි රූපෙහි’ යනු දේශනා ය. තවද ආධ්‍යමිකායතනයෝ, නයි, කිඹුල්, උකුසු, බලු, හිවල්, වඳුරු යන සතුන් වැනි වෙති. බාහිරායතනයෝ ඔවුන්ගේ ගොදුරු වැනි වෙති. චක්ඛු - සෝත - ඝාණ - ජිව්හා - කාය - මන යන සදෙන ආද්ධ්‍යාත්මිකයෝ ය. රූප - සද්ද - ගන්ධ - රස - ඵොට්ඨබ්බ - ධම්ම යන සදෙන බාහිරයෝ ය.
මෙහි සැකෙවින් කියූ ස්කන්ධ - ධාතු - ආයතනයෝ භව - ගති - යෝනි - විඥානස්ථිති - සත්වාවාස - වොකාර භව වශයෙන් විවිධාවස්ථාවන්ට පැමිණ චුතිපටිසන්ධි වසයෙන් නිවන් පසක් කරණ තුරු පෙළ ගැසී ගමන් කරන්නෝ ය.
එහි කාම - රූප- අරූප යි භව තුනකි. නිරය - තිරච්ඡාන - පෙත්තිවිසය - මනුස්ස - දෙව යි ගති පසෙකි. අණ්ඩජ - ජලාබුජ - සංසේදජ - ඔපපාතික යි යෝනි සතරෙකි. නානත්තකායනානත්තසඤ්ඤි - නානත්තකායඑකත්තසඤ්ඤි - එකත්තකායනානත්තසඤ්ඤි - එකත්තකායඑකත්තසඤ්ඤි - ආකාසානඤ්චායතන - විඤ්ඤාණඤ්චායතන - ආකිඤ්චඤ්ඤායතන යි විඥානස්ථිති සතෙකි. සප්තවිඥානස්ථිති - අසඤ්ඤසත්ත - නෙවසඤ්ඤානාසඤ්ඤායතන යි සත්‍වාවාස නවයෙකි. කාමභව - රූපභව - අරූපභව - සඤඤීභව - අසඤ්ඤීභව - නෙවසඤ්ඤීනාසඤ්ඤීභව - පංචවොකාරභව- චතුවෝකාරභව - එකවොකාරභව යි වොකාරභව නවයෙකි. භවත්‍රයයෙහි හා ගතිපංචකයෙහි කෙටි කතාවක් යට කියන ලදී.
“යෙ බො සාරිපුත්ත! සත්තා අණ්ඩකොසං අභිනිබ්භිජ්ජ අභිනිබ්භිජ්ජ ජායන්ති, අයං වුච්චති සාරිපුත්ත! අණ්ඩජා යොනි’ යි, අණ්ඩකෝෂය බිඳ උපදින සත්වයෝ අණ්ඩජයෝනිහු යි. වදාරන ලද ය. බිජුවටින් උපදින පක්‍ෂි සර්‍පාදීහු අණ්ඩජයෝ ය. ‘යෙ ඛො පන සාරිපුත්ත! සත්නා වත්ථිකොසං අභිනිබ්භිජ්ජ අභිනිබ්භිජ්ජ ජායන්ති, අයං වුච්චති සාරිපුත්ත! ජලාබුජායො” යි, වස්තිකෝෂය බිඳ උපදින සත්වයන් ජලාබුජ, යි කීහු. ‘ජරං ජීරණං භේදං යාති උපෙතීති වා, ජලං වුච්චති කලලං තං ආවුණාති පටිච්ඡාදෙතීති = ජලාබුජා’ යි කී බැවින් දිරීමට යන්නේ හෝ කලල රූපය වසන්නේ හෝ ජලාබුජ නමි. වස්ති කෝෂය යි මෙහි කීයේ වැදෑමස යි. මිනිස් ආදීහු ජලාබුජයෝ ය. ‘යෙ ඛො පන සාරිපුත්ත! සත්තා පූතිමච්ඡෙ වා ජයන්ති පූති කුණපෙ වා පූතිකුම්මාසෙ වා චන්දනිකායෙ වා ඔලිගල්ලෙ වා ජායනති, අයං වුච්චති සාරිපුත්ත! සංසෙදජායොනි’ යි, කුණු, මස් මිනීකුණු කුණු බොජුන් ගම්දොර ගවරවල්හි උපන් සත්වයන් සංසෙදජ යි කීහ. දියසීරාව, සෝදිය සංසෙද නම්. මෙහි අපිරිසිදු තැන් දැක්වුව ද, ගිතෙල් තලතෙල් මීපැණි පියුම් පල ආදි තන්හි ද සත්වයෝ උපදිති. ඔවුහු ද සංසේදජයෝ ය. උකුණු මකුණු ආදී හු ය සංසෙදජයෝ. ‘දෙවා නෙරයිකා එකච්චෙ ච මනුස්සා එකච්චෙ ච විනිපාතිකා, අයං වුච්චති සාරිපුත්ත! ඔපපාතිකා යොනි’ යි, දෙවියෝ, නිරයෙහි වූවෝ, ඇතැම් මනුෂ්‍යයෝ, ඇතැම් විනිපාතිකයෝ ඔපපාතිකැ යි වදාරන ලදහ. තරුණ මාණවකයන් මෙන් සම්පූර්‍ණ අඞ්ගප්‍රත්‍යඞ්ග ඇති ව උපදින අය, ඔපපාතික නම් වෙත්. බූමාටු දෙවියෝ චතුර්විධයෝනි ඇත්තාහ. මිනිසුන් අතුරෙහි කිසිකෙනෙක් ම ඔපපාතික වෙති. වැඩි දෙනෙක් ජලාබුජයෝ ය. කුන්ත පුත් දෙබෑතෙරුන් මෙන් අණ්ඩජයෝ ද වෙති. පියුම් ගැබ උපන් පොක්ඛරසාතිබ්‍රාහ්මණ, පද්මාවතී ආදීන් මෙන් සංසේදජයෝ ද වෙති. විනිපාතිකයන් අතුරෙහි නිජ්ඣාමතණ්හිකා ප්‍රේතයෝ, නිරිසතුන් මෙන් ඔපපාතිකයෝ ම ය. සෙස්සෝ සිවුයෝනි ඇත්තෝ ය.
මනුෂ්‍යයෝ, කාමාවචර දෙවියෝ, ඇතැම් විනිපාතිකයෝ නානත්තකායනානත්තසඤ්ඤී නම් වෙති. අප්‍රමාණචක්‍රවාටයන්හි අප්‍රමාණ මනුෂ්‍යයන් අතර පැහැ සටහන් ආදියෙන් එක සමාන වූවෝ නැත. පැහැ සටහන් ආදියෙන් එක සමාන වූ නිඹුල් සහෝදරයෝ වූවාහු නමුත්, ඔවුහු ද යෑම්, ඊම්, හිඳුම්, සිටුම්, කීම්, කෙරුම් බැලුම් ආදියෙන් අසමාන වෙති. ඔවුන්ගේ ප්‍රතිසන්ධි විඥානය ද, ත්‍රිහේතුක ද, ද්විහේතුක ද, අහේතුක ද වේ. එහෙයින් මනුෂ්‍යයෝ නානත්තකායනානත්තසඤ්ඤී නම් වෙති. කාමාවචර දෙවියන් අතර ඇතැමුන්ගේ ශරීරය නිල්පැහැ ඇත්තේ ය. ඇතැමුන්ගේ ශරීර රන්වන් ය. ඇතැමුන්ගේ ලේ වන් ය. ප්‍රතිසන්ධි චිත්තයෙන් ද, ඔවුහු ද්විහේතුකත් ත්‍රිහේතුකත් වෙති. එහෙයින් ඒ දෙවියෝත් නානත්තකායනානන්තසඤ්ඤීහු ය. උත්තරමාතායක්ඛිනී, පියඞ්කරමාතා, ධම්මගුත්තා යනාදී ඇතැම් විනිපාතිකයෝ සුදු කලු ආදි පැහැයෙන් හා තර නො තර උස් මිටි කම්වලින්ද වෙනස් වෙති. ප්‍රතිසන්ධිචිත්තයත් ද්විහේතුක ද, ත්‍රිහේතුක ද, අහේතුක ද වේ. මෙසේ මොවුහු ද කයින් හා ප්‍රතිසන්ධිවිඥානයෙන් නානා ස්වභාව ඇති බැවින් නානත්තකායනානත්තසඤ්ඤී නම් වෙති.
බ්‍රහ්මපාරිසජ්ජ - බ්‍රහ්මපුරෝහිත - මහාබ්‍රහ්ම යන හීන, මධ්‍යම, ප්‍රණීතභේදයෙන් භින්න වූ ප්‍රථමධ්‍යාන කුශලවිපාකයෙන් උපන් බ්‍රහ්මකායිකයෝ ද, සතර අපායයෙහි වූවෝ ද, නානත්තකායඑකත්තසඤ්ඤී නම් වෙති. ඔවුන් අතරෙහි බ්‍රහ්මපුරෝහිතයන්ගේ ශරීරය බ්‍රහ්මපාරිසජ්ජයන්ගේ ශරීරයට වඩා, ප්‍රමාණයෙන් මහත් වේ. බ්‍රහ්මපුරෝහිතයන්ගේ ශරීරයට වඩා මහාබ්‍රහ්මයන්ගේ ශරීරය මහත් වේ. එහෙයින් මොවුහු කයින් වෙනස් කම් ඇත්තෝ ය. ප්‍රතිසන්ධි විඥානයෙන් සමානයෝ ය. නරකයෙහි ද ඇතමුන්ගේ අත්බව් යොදුන්, අඩයොදුන් පමණ වේ. දෙව්දත්හුගේ අත්බව යොදුන් සියයෙකි. තිරිසනුන් අතර ද කෙනෙක් කුඩා ය. කෙනෙක් මහත් ය. ප්‍රේත ලෝකයෙහි ද සැට අසූරියන් උසැති ප්‍රේතයෝ වෙති. සමහරු සුවර්‍ණයහ. සමහරු දුර්‍වර්‍ණයහ. දීඝපිට්ඨික ප්‍රේතයෝ, සැට යොදුන් පමණ වෙති. කාලකඤ්ජක අසුරයෝ ද එසේ ය. සියල්ලන්ගේ ම ප්‍රතිසන්ධි විඥානය අකුශලවිපාකාහේතුක ය. එහෙයින් ආපායිකයෝත් නානත්තකායඑකත්තසඤ්ඤීහුයි කියනු ලැබෙති. ද්විතීයද්ධ්‍යාන භූමිකබ්‍රහමයන්ගේ සිරුරු උසමහතින් සමාන ය. පරිත්තාභ - අප්පමාණාභ - ආභස්සර යන මොවුහු, ද්විතීයද්ධ්‍යානභූමිකයෝ ය. ප්‍රතිසන්ධිවිඥානය ද්වීතීයද්ධ්‍යානවිපාකයන්ගේ වසයෙන් වෙනස් වේ.
එකත්තකායඑකත්තසඤ්ඤීහු නම්, පරිත්තසුභ - අප්පමාණසුභ - සුභකිණ්ණ යන මොවුහු ය. තෘතීයද්ධ්‍යාන භූමිකයෝත් මොවු හු ය. කයින් හා ප්‍රතිසන්ධිවිඥානයෙන් සමානයෝ ය. චතුර්‍ත්‍ථද්ධ්‍යාන විපාකය මොවුන්ගේ ප්‍රතිසන්ධිවිඥානය යි. වෙහප්ඵලබ්‍රහ්මයෝ ද මේ සිවුවන විඥානස්ථිතිය ම සෙවුනෝය. කයින් හා පඤ්චද්ධ්‍යාන විපාකයාගේ වශයෙන් ප්‍රතිසන්ධිවිඥානයෙන් සමාන බැවිනි. සුද්ධාවාසිකබ්‍රහ්මයෝ උත්පත්තිය පිණිස පෙරළා නො එන බැවින් විවට්ටය ඇසුරු කළෝ ය. බුද්ධශූන්‍යලෝකයෙහි ඔවුහු නො උපදිති. බුදුවරුන්ගේ උත්පත්තිය ඇති කාලයෙහි ම ය උපදින්නෝ. අසඤ්ඤසත්තය හැර, පරිත්තසුභය පටන් අකනිට්ඨය අවසන් කොට සිටි නවභූමියෙහි සත්වයෝ එකත්තකායඑකත්තසඤ්‍ඤීහුයි හඳුන්වනු ලැබෙත්. අබුද්ධෝත්පාදයෙහි තීර්‍ත්‍ථකයන් වෙත පැවිදි ව වායෝකසිණපරිකම්ම කොට චතුර්‍ත්‍ථද්ධ්‍යානය උපදවා එයින් නැගිට ‘ධි චිත්තං, ධි චිත්තං’ යි චිත්තයාගේ අභාවය මැනැව, සිත නිසා සියලු වධබන්ධනාදී වූ දුක් උපදනේ ය, සිත නැති කල්හි මේ කිසි දුකෙක් නැතැ, යි රුචි උපදවා ධ්‍යානයෙන් නො පිරිහුනෝ ම කලුරිය කොට රූපප්‍රතිසන්ධිවශයෙන් අසංඥභවයෙහි උපදිත්. ඔවුහු යම් ඉරියව්වෙකින් මනුෂ්‍යලෝකයෙහි කල් යැව්වෝ නම්, ඒ ඉරියව්වෙන් ම එහි ඉපිද කල්ප පන්සියයක් හෝ, හුන්නෝ හෝ නිදන්නෝ හෝ වෙති. මෙසේ චිත්තවිරාගභාවනාවශයෙන් එහි ඔවුන් පිළිබඳ විඥානයාගේ පහළවීමක් නො වන බැවින් විඥානයාගේ අභාවයෙන් විඥානස්ථිතියක් භාජනය නො කෙරෙති.
මෙසේ විනිපාතිකයන් ඇතුළු ව කාමාවචරදෙවියෝත් මනුෂ්‍යයෝත් නානත්තකායනානත්තසඤ්ඤී නම් වෙති. ප්‍රථමධ්‍යාන භූමිකයෝත් ආපායිකයෝත් නානත්තකායඑකත්තසඤ්ඤී නම් වෙති. ද්වීතීයධ්‍යානභූමිකයෝ එකත්තකායනානත්තසඤ්ඤී නම් වෙති. තෘතීයධ්‍යනභූමිකයෝත් අසඤ්ඤසත්තය හැර චතුර්‍ත්‍ථද්ධ්‍යානභූමිකයෝත් එකත්තකායඑකක්කසඤ්ඤී නම් වෙති, යි දතයුතු ය. ඉතිරි, ආකාසානඤචායතන - විඤ්ඤාණඤචායතන - ආකිඤ්චඤ්ඤායතන - විඥානස්ථිති, යට කියන ලද ය.
සප්තවිඥානස්ථිතිය අසංඥසත්වය නෛවසඥනාසංඥායතනය යන නව සත්වාවාසය, කියූ පරිදි දතයුතු ය.
ස්කන්ධපසක් ඇති භවය, පංචවොකාරහව නමි. කාමභවයෙහි හා රූපභවයෙහි එකදෙශයකුත් එහි ඇතුළත් ය. වෝකාර යනු ස්කන්ධයනට නමෙකි. සතර නාමස්කන්ධයෙන් යුත් භවය, එනම් අරූපීබ්‍රහ්මලෝක සතර, චතුවෝකාරභව නමි. රූපස්කන්ධය පමණක් ඇති භවය, එකවොකාරභව නමි. ඒ නම් අසංඥභවය යි.
ඉතා සැකෙවින් කියූ භව, ගති, යෝනි ආදිය, නො හැර පවත්නෝ ස්කන්ධ, ධාතු, ආයතනයෝ ය. ස්කන්ධ ධාතු ආයතනයෝ භවයෙන් භවයට ඒ ඒ හේතුන් නිසා, ඒ ඒ භවයෙහි විපාක වශයෙන් සංක්‍රමණය වන්නෝ ය. වර්‍තමානභවයෙහි හේතුන් නිසා අනන්තරභවයට ඵලවශයෙන් මාරුවීමේ දී (භවයෙක සිට ඒ සිටි භවයෙහි හේතුන් නිසා අනික් භවයෙක උත්පත්තිය ගැණීමේදී) ඒ සිටි වර්‍තමාන භවයෙහි කෙළවර ලැබෙන සිත ‘චුති’ යි කියනු ලැබේ. එසේ කියනු ලබන්නේ ලං වූ මරණය ඇත්තහුට පහළ වන වීථිචිත්තයාගේ අවසානයෙහි හෝ ඉන් පසු හෝ උපදින භවාඞ්ගයාගේ අවසානයෙහි ලැබෙන සිත වර්‍තමානභවයෙන් ගලවා දැමීම කරණ බැවිනි. එක් චිත්තවීථියක් හෝ, එක් සිතක් හා භවාඞ්ගචිත්තයක් හෝ ඉපැත්මෙන් යමෙක් වර්‍තමාන භවයෙන් ගිලිහී යේ නම්, ඔහු ඉතා ලං වූ මරණ ඇත්තෙකැ යි සැලකේ.
‘භවතො භවස්ස පටිසන්ධානං පටිසන්ධි’ යි කී බැවින් අතීත භවය හා වර්‍තමාන භවයත් වර්‍තමාන භවය හා අනාගත භවයත් අතරක් නැති සේ ගළපන්නා වු සිත ‘පටිසන්ධි’ නම් වේ.
මරණය ලං වූ විට අකුශලපක්‍ෂයෙන් ආනන්තර්‍ය්‍යකර්‍මය, කුශලපක්‍ෂයෙන් අෂ්ටසමාපත්ත්‍යාදි ගරුකර්‍මය, නිතර පුරුදු කරණ ලද බහුලකර්‍මය, ආසන්නකර්‍මය, කප් කෙළගණනකින් පෙර කළ අපරාපරියවේදනීයකර්‍මය යන මොවුන් අතුරෙන් එකක් හෝ කර්‍මශක්තියෙන් එළවන ලද දානවස්තු, විහාර, පරායත්තවස්තු, පරප්‍රාණ, ආයුධාදි කර්‍මනිමිත්තක් හෝ උද්‍යාන, විමාන, කල්පවෘක්‍ෂ, මාතෘකුක්‍ෂි, නරකාග්නි, පර්‍වත, ආරණ්‍යාදි ගති නිමිත්තක් හෝ සවස් කාලයෙහි කඳුසෙවනැල්ල පෙරදිගට වැටී යන්නා සේ සිතට වැටහෙන්නේ ය. මේ වැටහීම වනුයේ කර්‍මානුභාවයෙන් ම ය. ඉදිරි අත් බවෙහි ප්‍රතිසන්ධිය දීමට නියත වූ ප්‍රතිසන්ධිජනක කර්‍මය විසින් මෙය සිතට එළවනු ලැබේ. යමකු කළ කර්‍ම අතුරෙන් යම් කර්‍මයෙක් දෙවන ජාතියෙහි ප්‍රතිසන්ධිය දෙන්නේ ද, එය මෙහි ‘කර්‍ම’ යි කියන ලදී. එය කුශලාකුශල වශයෙන් දෙපරිදි ය. ‘උපෙක්ඛාසහගතඋද්ධච්ච සිත හැර, අනික් අකුසල් සිත් එකොළොස අකුශලකර්‍ම නමි. උපෙක්ඛාසහගත උද්ධච්ච සිත ප්‍රතිසන්ධිවිපාක නො දෙන්නේ ය. කුශලපක්‍ෂයෙහි කාමාවචර කුසල් සිත් අට කර්‍ම නම් වේ. සුදුසු පරිදි ඔවුහු ප්‍රතිසන්ධිය දෙන්නෝ ය. රූපාවචර අරූපාවචර සත්වයන්ට කර්‍මය අරමුණු නො වේ. ධ්‍යාන කුසල් ම ඔවුන්ට කර්‍මය වේ.
පරපණ-දඩුමුගුරු-අවි ආදිය අකුශලකර්‍මනිමිති යි. විහාර - චෛත්‍ය - ප්‍රතිමාඝරාදිය කුශලකර්‍මනිමිති යි. කුශලාකුශලකර්‍ම කිරීමට උපකරණ හෙයින් මොවුහු කර්‍ම නිමිති යි කියනු ලැබෙති. කර්‍මය වනාහි මනෝද්වාරයට ම වැටහෙන්නේ ය. කමීනිමිත්ත වනාහි රූප-ශබ්ද-ගන්ධ ස්ප්‍රෂ්ටව්‍ය-ධර්‍ම වශයෙන් ෂඩ්ද්වාරයෙහි වැටහෙන්නේ ය.
ප්‍රතිසන්ධිය දෙන්නා වූ කුශලාකුශලකර්‍මයකින් යම්කිසි ලෝකයෙක උපදින්නෝ ද, ඒ ලෝකය පිළිබඳ යම්කිසි නිමිත්තෙක් ගතිනිමිත්ත යි ගැණේ නිරයෙහි උපදිනවුන්ට නිරය ගිනි නිරයපාලාදීහු ද, තිරිසන් අපායයෙහි උපදිනවුන්ට පර්‍වතවනාදිය ද අකුශලකර්‍මයෙන් එළවන ගතිනිමිත්තයෝ ය. කුශලකර්‍මයෙන් මවු කුස උපදිනවුන්ට මාතෘකුක්‍ෂි, වර්‍ණකම්බලාදිය ද, දෙව්ලොව උපදිනවුන්ට දිව්‍ය සත්‍රී - දිව්‍යවෘක්‍ෂාදිය ද ගතිනිමිත්ත වශයෙන් එන අරමුණු ය. ගතිනිමිත්ත, මනෝද්වාරයට පමණක් අරමුණු වේ ය, යි කෙනෙකුන් කියන අතර, අනික් කෙනෙක් ෂඩ්ද්වාරයට ම අරමුණු වේ ය, යි කියත්. කෙසේ හෝ වේවා, කර්‍මාදීන් අතුරෙන් යමක් ලං ව සිටිකල, ඔහුගේ චිත්තසන්තානය එහි එල්බ ගෙණ ඉදිරියෙහි ලැබෙන භවයට සුදුසු පරිදි කුශල වශයෙන් පිරිසිදු ව හෝ අකුශල වශයෙන් අපිරිසිදු ව හෝ නැමී පවත්නේ ය. ඉකුත් ජාතියෙහි සෝමනස්සසහගතඤාණසම්පයුත්ත සිතින් දාන සීල භාවනාදී වූ පින්කමක් කරණ ලද්දේ නම්, ඉදිරි භවයෙහි විපාක දිය යුතු වූ ඒ කුශලකර්‍මය, මරණාසන්නකාලයෙහි වැටහීමෙන් ඒ පින්කම සිදු කළ අවස්ථාවෙහි මෙන් ම මහත් සතුටෙක් උපදනේ ය. එ මතු ද, ඒ කුශලකර්‍මය කරන්නා සේ ද, ඒ ඇසිල්ලෙහි ඔහුට වැටහෙන්නේ ය. අකුශලකර්‍මයෙක් වැටහී ගියේ නම් දොම්නස්වීම් ආදි වශයෙන් එයට සරිලන සේ සිත සකස් වන්නේ ය.
ලං වූ මරණය ඇත්තේ කාමභාවයෙන් චුත ව කාමභවයෙහි උපදින්නේ නම්, ඔහුට ඒ අවස්ථාවෙහි ජවනපරියොසාන වූ හෝ තදාරම්මණපරියොසාන වූ වීථිචිත්තයෙක් පහළ වන්නේ ය. කාමභවයෙන් චුත ව අනාභවයක උපදින්නට ලැබෙන වීථිචිත්තය ජවන් අවසන් කොට ම ඇත්තේ ය. මේ කියන චිත්තවීථිය ආසන්න මරණ ඇත්තහුට ඒ වර්‍තමාන භවය පිළිබඳ ව උපදින අන්තිම චිත්තවීථිය යි. තමන් දැන් ජීවත්වන ඒ වර්‍තමාන භවයෙහි මින් පසු තවත් චිත්තවීථියක් නො ලැබෙන්නේ ය. මේ චිත්තවීථියෙහි කෙළවර සිටි චුතිචිත්තයෙන් පසු වර්‍තමානභවය පිළිබඳ වීථි සිත් පහළවීමෙක් නැත්තේ ය. තව ද මෙකී චිත්තවීථියෙන් පසු එකොළොස් කාමභූමිය, පසළොස් රූපභූමිය යන පංචවොකාර භවයෙහි හෙවත් පඤචස්කන්ධය මුළුමනින් ඇති භවයෙහි හෘදය වාස්තුරූපය හෝ චතුවෝකාරභවයෙහි හෙවත් රූපස්කන්ධය නැති සතර අරූපභූමියෙහි හෝ චිත්තසන්තානය, චිත්තක්‍ෂණ දෙකෙක ආයු ඇති ව සිටියේ නම්, වීථිචිත්තයාගේ අවසානයෙහි භවාඞ්ගයෙක් උපදනේ ය. එහි ද කාමභවයෙන් චුත ව කාමභවයෙහි උපදින තැනැත්තහුට ජවනාවසානයෙහි හෝ තදාරම්මණාවසානයෙහි හෝ භවාඞ්ගය වන්නේ ය. අන්‍යයාට භවාඞ්ගය වන්නේ ජවන් කෙළවරදී ම ය. මෙසේ වීථිචිත්තයාගේ හෝ ඉන් පසුව උපදින හවාඞ්ගයාගේ හෝ අවසානයෙහි වර්‍තමානභවයාගේ අන්තිමචුතිචිත්තය ඉපිද නිරුද්ධ වන්නේ ය. ඒ නිරුද්ධවීම සමග එයට අනතුරුව මේ භවයෙහි අවසාන වශයෙන් පහළ වූ චිත්තවීථියට, පෙර කී කර්‍ම-කර්‍මනිමිත්ත-ගතිනිමිත්ත අතුරෙන් යමෙක් අරමුණු වී ද, එය ම ලබන්නා වූ භවයෙහි ප්‍රතිසන්ධි සිතට ද අරමුණුවන්නේ ය. එසේ අරමුණු වූ කර්‍මාදී වූ යමෙක එල්බගෙණ අවිද්‍යාවෙන් වටකරගන්නා ලද තෘෂ්ණානුශය මුල් කොට ඇති ප්‍රතිසන්ධිජනක චේතනාවෙන් හෝ මරණාසන්නජවනවිඥානසහජාත චේතනාවෙන් හෝ උපදවන ස්පර්‍ශාදිසම්ප්‍රයුක්තධර්‍මයන්ගෙන් වට කර ගත් සහජාතධර්‍මයන්ට ආධාරස්ථාන බැවින් පූර්‍වාඞ්ගම වූ ප්‍රතිසන්ධිචිත්තය, අකුශලකර්‍මයකින් නම්, සතර අපායයෙහි ද, කුශලකර්‍මයකින් නම්, කාමස්වර්‍ගයෙහි හා රූපාරූපලෝකයන්හි ද භවාන්තරසන්ධාන වශයෙන් ඉපැදෙමින් පවතින්නේ ය. ඉන්පසු භවාඞ්ග වන්නේ ය. මෙ කී ප්‍රතිසන්ධිචිත්තය චුතිපටිසන්ධි චිත්තයන්ගේ අතරතුරක් නැති ව පරම්පරාවගේ වශයෙන් එකට සම්බන්ධව පවතී. ඝණ්ඨාශබ්දයෙන් පසු ව දුවන ශබ්දය’ මුල් ශබ්දයෙන් කිසිවක් නො ගොස් හට ගන්නා සේ ද, පහනකින් තවත් පහනක් දල්වන කල්හි පළමු පහනින් කිසිත් නො ගොස් දෙවන පහන දැල්වෙන්නා සේ ද, කැටපතෙහි මූණ බලන කල්හි මූණෙන් කිසිත් නො ගොස් කැටපතෙහි මුණ පිළිබිඹු වන්නා සේ ද, සත්වයා පිළිබඳ ප්‍රතිසන්ධිචිත්තය, අතීත ජාතිය සම්බන්ධ වූ පඤ්චස්කන්ධයෙන් කිසිත් දෙයක් නො ගෙණ අතීත ජාතියෙහි වූ හේතුධර්‍මයන්ගේ උපකාරය නිසා, මේ භවයෙහි පහළ වේ. එක් භවයකින් අනික් භවයෙක උපදින විට ඒ සිටි භවයෙහි පඤ්චස්කන්ධයෙන් කිසිත් ස්කන්ධයෙන් උපදින භවයටත්, යන්නේ ය යි ද, උපදින භවයට, සිටි භවයෙන් කිසිත් උපකාරයෙක් නො වූයේයි ද නො ගත යුතු ය. මරණයට පැමිණෙන්නහුගේ පංචස්කන්ධය මෙහි ම නිරුද්ධ වන්නේ නමුදු, කර්‍මවේගය කරණ කොට මරණාසන්න ජවනවීථියෙහි උපදින මරණාසන්න ජවනයන් පස්දෙනා හා යෙදී සිටින චේතනාවෙන් නානා ක්‍ෂණිකකර්‍මශක්තිය ප්‍රධාන කොට ඉදිරි භවයෙහි පිළිසිඳ ගැණුම වන්නේ ය.
සාමාන්‍යයෙන් ජවන් සිත් සත් වරක් උපදින්නේ නමුත්, මරණය ආසන්නවූවහුට මේ මරණාසන්නවීථියේදී ජවන් සිත් උපදින්නේ පස්වරෙකි. කර්‍මය හෝ හෘදයවාස්තුව දුර්‍වල බැවින් එසේ වේ.
අතීතයෙහි කර්‍ම රැස් කරණ කල්හි චතුස්සත්‍යධර්‍මවිෂයයෙහි මුළාවැ යි කියන අවිද්‍යාව ය, ආයූහනැ යි කියන පූර්‍වචේතනාසඞ්ඛ්‍යාතසංස්කාර ය, ඇලුම් කිරීමැ යි කියන තෘෂ්ණාව ය, දැඩි කොට අල්ලා ගැණීමැ යි කියන උපාදාන ය, සප්තමජවනචේතනා යි කියන කර්‍මභව ය යන මේ පස, මේ අත්බවෙහි පිළිසිඳ ගැණුමට කරුණු විය. මේ අතීත හේතු ය. අතීතභවයත් වර්‍තමාන භවයත් දෙක ගැළපීම් වශයෙන් උපදින ප්‍රතිසන්ධි විඥානය, ඒ හේතුවෙන් වන්නා වු රූපාරූපධර්‍මයන්ගේ පහළවීමැ යි කියන නාමරූපය, චක්‍ෂුරාදිෂඩායතනය, අරමුණු පහස්නා ආකාර වූ ස්පර්‍ශය, ඒ හා උපන් විපාකවේදනාය, යන පස, මේ භවයෙහි අතීතහේතූන්ගේ ඵලභාවයෙන් පහළ විය. මේ ය, වර්‍තමාන ඵලය. මේ ජාතියෙහි වූ තෘෂ්ණා, උපාදාන, භව, අවිද්‍යා, සංස්කාර යන පස, අනාගතයෙහි ප්‍රතිසන්ධියට කරුණු වන බැවින් වර්‍තමාන හේතු ය. වර්‍තමානභවයෙහි මේ හේතූන් නිසා අනාගතභවයෙහි විඥාන, නාමරූප, ෂඩායතන, ස්පර්‍ශ, වේදනා යන පස, ඵලභාවයෙන් පහළ වන්නේ ය.
මෙසේ හේතුඵලභාවයෙන් ස්කන්ධ ධාතූ ආයතනයන්ගේ භවයක් පාසා දිගින් දිගට ගැළපී යෑම ‘පටිසන්ධි’ යි යට කියා ඇත. ඒ මේ පටිසන්ධිය වනාහි අපායපටිසන්ධිය, කාමසුගතිපටිසන්ධිය, රූපාවචරපටිසන්ධිය, අරූපාවචරපටිසන්ධි ය, යි සිවු වැදෑරුම් ය. විස්තර විසින් මෙය අසඤ්ඤසත්තපටිසන්ධියත් සමග විස්සෙක් වේ. මෙහි අපායපටිසන්ධිය දෙන්නේ ‘අකුසලවිපාකඋපෙක්ඛාසහගතසන්තීරණචිත්තය’ යි. නරක, තිරිසන්, ප්‍රේත, අසුර යන සිවු අපායයෙහි උපදින්නෝ මේ සිතින් ම උපදිති. හවාඞ්ගවශයෙන් පවතින්නේත් චුතිය වන්නේත් මේ සිත ම ය. කාමසුගතිපටිසන්ධිය නම්, ‘කුසලවිපාක උපෙක්ඛා සහගත සන්තීරණචිත්තය’ හා කාමාවචරමහාවිපාක’ සිත් අට ය. එකතු ව නවයෙකි. මෙහි කුසලවිපාක උපෙක්ඛාසහගත සන්තීරණචිත්තයෙන් මිනිස් ලොව ජාත්‍යන්ධ, ජාතිබධිර, ජාත්‍යඝ්‍රාණ, ජාතිමූග, ජාතිඵළ, ජාත්‍යුන්මත්ත, පණ්ඩක, උභතෝඛ්‍යඤ්ජනක, නපුංසක, වාමන ආදීන්ගේ හා ඇතැම් විනිපාතික අසුරයන්ගේ ද ප්‍රතිසන්ධිය වන්නේ ය. කාමාවචරමහාවිපාකසිත් අට, සත් වදෑරුම් කාමස්වර්‍ගයෙහි දෙවියන්ගේ හා මිනිස්ලොව බුදු පසේබුදු අගසවු මහසවු සක්විති ආදීන්ගේ ප්‍රතිසන්ධිය දෙන්නේ ය. මේ මහා විපාක අටින් සතරෙක් ත්‍රිහේතුක ය. සතරෙක් ත්‍රිහේතුක ය. ද්විහේතුක ප්‍රතිසන්ධි ඇත්තෝ රූපයෙන් හා ධනයෙන් ආඪ්‍ය වෙති. එහෙත් නුවණ නැත්තෝ ය. ත්‍රිහේතුකයෝ සියල්ලෙන් සම්පූර්‍ණයහ.
අකුශලවිපාකප්‍රතිසන්ධිය හා මේ කී නව ය, කාමාවචරප්‍රතිසන්ධිය යි ගන්නේ.
බ්‍රහ්මපාරිසජ්ජ - බ්‍රහ්මපුරෝහිත - මහාබ්‍රහ්ම යන තුන් තලය ප්‍රථමද්ධ්‍යානභූමීහු ය. මෙහි ප්‍රතිසන්ධි වනුයේ ප්‍රථමද්ධ්‍යානවිපාකචිත්ත යි. භවාඞ්ග චුති වශයෙන් ද පවතී.
පරිත්තාභ - අප්පමාණාභ - ආහස්සර යන තුත්තලය ද්විතීයද්ධ්‍යානභූමීහු ය. ද්විතීයතෘතියද්ධ්‍යානවිපාක සිත් දෙක ය, මෙහි ප්‍රතිසන්ධිය වනුයේ. භවාඞ්ග චුතිවශයෙන් පවත්නේ ද මේ ය.
පරිත්තසුභ - අපපමාණසුභ - සුභකිණ්ණ යන තුන් තලය තෘතීයද්ධ්‍යාන භූමීහු ය. චතුර්‍ත්‍ථද්ධ්‍යානවිපාකචිත්තය, මෙහි ප්‍රතිසන්ධිය වේ. භවාඞ්ග චුතිය වනුයේ ද මේ ය.
වෙහප්ඵල-අසඤ්ඤසත්ත-සුද්ධාවාස යන මොවුහු චතුර්‍ත්‍ථද්ධ්‍යානභූමීහු ය. පංචමද්ධ්‍යානවිපාකචිත්තය, ප්‍රතිසන්ධි භවාඞ්ග චුති වශයෙන් පවතී. අසංඥසත්වයන්ට ප්‍රතිසන්ධිය වනුයේ රූපැ යි යට කියන ලදී. එහෙයින් ඔවුනට ප්‍රවෘත්ති - චුතිකාලයන්හි රූපය ම පැවැත නිරුද්ධ වේ. මේ සමග රූපාවචරප්‍රතිසන්ධි සයෙකි.
ආකාසානඤ්චායතන - විඤ්ඤාණඤ්චායතන - ආකිඤ්චඤ්ඤායතන - නෙවසඤ්ඤානාසඤ්ඤායතන අරූපී බ්‍රහ්මලෝක සතරෙහි එ නමින් කියවෙන විපාකසිත් සතර, ප්‍රතිසන්ධි භවාඞ්ග චුති හෙයින් පවතී. මෙසේ අරූපාවචර ප්‍රතිසන්ධි සතරෙකි.
“පටිසන්ධි භවඞ්ගං ච තථා චවනමානසං,
එකමෙව තථෙවෙක විසයං චෙක ජාතියං”
යනු ආගම බැවින්, ප්‍රතිසන්ධි-භවාඞ්ග-චුති සිත්, එක ජාතියෙහි කර්‍ම - කර්‍මනිමිත්ත - ගතිනිමිත්ත අතුරෙන් එකක් ම අරමුණු කොට ගත් එක් සිතෙකැ යි දතයුතු ය. භවයෙක පිළිසිඳ ගන්නා සිත ද, ඒ භවයෙහි වසන තාක් උපදින භවාඞ්ග සිත් ද, එයින් ගිලි හී යන්නා වූ චුති සිත ද යන තුන, එයට පෙර භවයෙහි කළ කර්‍මාදී වූ එක් ම නිමිත්තක් අරමුණු කොට පවති යි කීයේ ය.
ප්‍රතිසන්ධි පිළිබඳ අරමුණ කර්‍ම - කර්‍ම නිමිත්ත - ගතිනිමිත්ත යි තෙ පරිදිවත් ම අතීතාරම්මණය - පච්චුප්පන්නාරමණය - නවතබබාරම්මණය යි එහි තවත් ක්‍රමයක් වේ.
විඤ්ඤාණඤ්වායතන-නෙවසඤ්ඤානාසඤ්ඤායතන අරුතලයන්හි ඉකුත්වූ අරමුණක් ම අරමුණු කොට ප්‍රතිසන්ධිචිත්තය පහළවන බැවින් අතීතාරම්මණය ඇත්තේ ප්‍රතිසන්ධි චිත්තයන්ට පමණකි. යට කී දස වැදෑරුම් කාමාවචර ප්‍රතිසන්ධීන්ගේ අරමුණ අතීත හෝ වර්‍තමාන වේ. මේ හැර අනික් ප්‍රතිසන්ධීන්ගේ අරමුණ, අතීතාදි වශයෙන් නො කිය යුතු වූ පඨවිකසිණාදිප්‍රඥප්තිනිමිත්තෙක් වේ. මෙසේ තුන් අයුරකින් අරමුණු ගන්නා ප්‍රතිසන්ධි චිත්තය, කාමලෝකයෙහි අතීත වූ හෝ, බ්‍රහ්මලෝකයෙහි කසිණාදිප්‍රඥප්තිනිමිත්තක් හෝ අරමුණු කොට පවත්නා චුති චිත්තයට අනතුරුව ම පහළ වන්නේ ය. ප්‍රතිසන්ධිචිත්තය මෙසේ අරමුණු ගණිතත්, වර්‍තමානාරම්මණයක් ගත් චුති චිත්තයෙක් නැත්තේ ය. සත්වයාහට භවයෙහි උත්පත්තිය දෙන ප්‍රතිසන්ධිචිත්තයන් පිළිසඳ දුන් තැන සිට, ඒ භවයෙහි වසන තාක් හටගන්නා භවාඞ්ගචිත්තයනුත් භවයෙන් ගිලිහී යන චුතිචිත්තයත් මෙහි උත්පත්තියට ඊමට පෙර උත්පත්තිය ලබා සිටි භවයෙහි දී කළ කර්‍මාදී වූ එක් ම නිමිත්තක් අරමුණු කර ගැණුම එකාන්ත සිද්ධියක් බැවින්, වර්‍තමාන අරමුණු ගන්නා චුති සිත් නැත්තේ ය. එහෙයින් වර්‍තමානාරම්මණය හැර අනික් අරමුණු දෙකින් යමක් අරමුණු කොට පවන්නා චුති චිත්තයට අනතුරු ව ත්‍රිවිධ ආරම්මණයන් අතුරෙහි යම්කිසි අරමුණක් ගෙණ පවත්නා ප්‍රතිසන්ධි චිත්තය, සුගති දුර්‍ගති වශයෙන් නැමී ගන්නේ ය.
කාමාවචරසුගතිභූමියෙහි සිටිමින් පව් කොට මරණැඳෙහි හොත්තහුට යම් යම් ලෙසකින් සකස් කළ පාපකර්‍මයෙක් හෝ පාපකර්‍ම නිමිත්තෙක් හෝ මනෝද්වාරයෙහි වැටේ ද, මනෝද්වාරයට ලං වේ ද, ඒ වැටුනු පාපකර්‍මය හෝ පාපකර්‍මනිමිත්ත අරමුණු කොට පංචද්වාරාවජීනචිත්තය ආදි කොට ඇති, තදාලම්බන චිත්තය අචසන් කොට ඇති, ජවන් සිත් පසෙකින් යුත් චිත්තවීථියක් හෝ තදාලම්බනයන් හා මිශ්‍ර නො වූ ජවන වීථියක් හෝ ඉපද, එයට පසු ව භවාඞ්ගයන් විසින් ගත් අරමුණ ම අරමුණු කොට ඒ මරණාසන්න ජවන වීථිය සම්බන්ධ වූ අවිද්‍යා තෘෂ්ණාදි ක්ලේශයන්ගේ බලයෙන් එහි වූ ම චේතනාධර්‍මයන් විසින් අපාය ප්‍රතිසන්ධිය උපදවනු ලැබේ. මේ වනාහි අතීත වූ අරමුණු ගත් වුතිචිත්තයට අනතුරු ව අතීතාලම්බනප්‍රතිසන්ධිය යි දතයුතු ය.
අනෙකෙකුට මරණාසන්නකාලයෙහි කියූ ආකාර ඇති, පාප කර්‍මයාගේ වශයෙන් එළවන ලද ගිනිදැල්, යම්පල්, වන, කඳු, අඳුරු ආදී වූ නිරයගතිනිමිත්තක් මනෝද්වාරයට හමු වේ ද, එයින් ඔහුගේ භවාඞ්ගචිත්තය දෙවරක් ඉපිද නිරුද්ධ වූ කල්හි ඒ අරමුණ, අරමුණු කොට එකලා වූ මනෝද්වාරාවර්‍ජනය ද, මරණය ලං වීමෙන්, චිත්තවේගය මඳ වූ බැවින් ජවන් සිත්පසක් ද, තදාලම්බන දෙක දැ යි වීථීසිත් තුනක් උපදන්නේය. ඒ, වීථිසිත් ඉපදීමෙන් පසු භවාඞ්ගචිත්තයාගේ අරමුණ ම, අරමුණු කොට එකලා වූ චුතිචිත්තය උපදී. මෙලෙසින් චිත්තක්‍ෂණ එකොළොසක් ඉක්ම ගිය පසු, එයට අනතුරු ව ඉතිරි වූ චිත්තක්‍ෂණ පසකට ආයු ඇති මරණාසන්නජවන විසින් ගත් එම අරමුණ එල්බ ගෙණ අනික් භවයෙහි ප්‍රතිසන්ධිය හටගණියි. මේ වනාහි අතීතාරම්මණ ඇති, චුතියට අනතුරු ව ඒ ඇසිල්ලෙහි ම එළඹ සිටි ගති නිමිත්ත අරමුණු කොට ඇතිවන ප්‍රතිසන්ධිය යි.
මෙහි නිරය ගිනි ආදිය ගතිනිමිත්ත වශයෙන් කර්‍මබලයෙන් එළඹ සිටි කල්හි, එහි ආදීනව, අවිද්‍යාවෙන් යටපත් ව ඉෂ්ටාලම්බනයක් මෙන් කර්‍මානුභාවයෙන් වැටහී යයි. එකල එහි ලෝභ උපදවා මරණාසන්නජවන් සිත්හි වූ අවිද්‍යා-තෘෂ්ණා-චේතනා තිදෙනාගේ විපාක වශයෙන් ආදීනව වැසී යෑමත් එයට නැමී සිටීමත් වන්නේ ය. මරණාසන්නවීථියෙහි වූ ජවනයන් විසින් ගත් අරමුණ ම එල්බ ගෙණ අනික් භවයෙහි ප්‍රතිසන්ධිය ලැබේ.
පව් කළා වූ අනෙකෙකුට මරණාසන්නකාලයෙහි පස් වැදෑරුම් දොරටුවෙන් එක්තරා දොරටුවෙක රාගාදික්ලේශයන්ගේ උත්පත්තියට කරුණු වූ ලාමක වූ රූපාදී අරමුණක් හමු වූ කල්හි, භවාඞ්ග චලනාදියෙන් පසු උපන් පංචද්වාරාවජ්ජන-චක්ඛුවිඤ්ඤාණ-සම්පටිච්ඡන-සන්තීරණ-වොත්ථපන යන සිත් පිළිවෙළින් ඉපද අවසානයෙහි මරණයට ලංවීමෙන් මඳව ගිය වේගය ඇති බැවින් ජවන් සිත් පසක් ද, තදාලම්බන සිත් දෙකක් ද, ඉපද ඒ වීථි සිත්වලට අනතුරු ව භවාඞ්ගයාගේ අරමුණ ම, අරමුණු කොට චුතිචිත්තය උපදියි. මෙසේ රූපාරම්මණයෙහි භවාඞ්ග දෙක ය-පංචද්වාරාවජ්ජනය-චක්ඛුවිඤ්ඤාණය- සම්පටිච්ඡනය-සන්තීරණය-වොත්ථපනය යන ජවන් පස ය, තදාරම්මණ දෙක ය, චුතිචිත්තය යන මේ චිත්තක්‍ෂණ පසළොස ඉක්ම ගිය පසු, එයට අනතුරු ව ඉතිරි වූ එක් චිත්තක්‍ෂණයක ආයු ඇති මරණාසන්නජවන විසින් ගත් ඒ රූපාරම්මණයෙහි එල්බ ගෙන අනතුරු භවයෙහි ප්‍රතිසන්ධිචිත්තය උපදියි. මේ අතීතාරම්මණචුතියට අනතුරු ව වර්‍තමානාලම්බන වූ_ප්‍රතිසන්ධිය ලැබෙන සැටියි.
භවාඞ්ග - භවාඞ්ගචලන - භවාඞ්ගුපච්ඡෙද - චුති යන සිත් සතර අතීතජාතියේ කළ කර්‍මය අරමුණු කර ගණියි. පංචද්වාරාවජ්ජනාදී වූ සියලු වීථිචිත්තයෝත් ප්‍රතිසන්ධිචිත්තයත් එකෙණෙහි හමු වූ රූපාදී වූ අරමුණු එල්බ ගෙණ හට ගණිත්. ඒ හමු වූ අරමුණ, එක් චිත්තක්‍ෂණයක ආයු ඇති හෙයින් එම අරමුණ අල්වා ගෙණ අනික් භවයෙහි ප්‍රතිසන්ධිය වේ. සෝතවිඤ්ඤාණ වීථීහු ද මෙසේ ය
සුගතියෙහි දී පින් කළ කෙනෙකු මරණැඳෙහි වැටුන විට, ඔහු යම් යම් ලෙසකින් රැස් කළ කුශලකර්‍මයෙක් හෝ කර්‍ම නිමිත්තයෙක් හෝ මනෝද්වාරයට හමු වේ. කුශලකර්‍මයෙක් හෝ කර්‍මනිමිත්තෙක් හෝ හමු වන්නේ ද, රැස් කළ පින් ඇත්තහුට ම ය. මහද්ගත කර්‍ම ඇත්තහුට කර්‍මනිමිත්ත ම හමු වේ. එ කල ඒ, අරමුණු කොට උපදින තදාරම්මණය කෙළවර කොට ඇත්තා වූ හෝ, තදාරම්මණයන් හා මිශ්‍ර නො වූ හෝ ජවනවීථියෙන් පසු භවාඞ්ගය විසින් ගත් අරමුණ ම එල්බ ගෙණ චුතිචිත්තය උපදියි. ඒ චුතිචිත්තය ඉපද නිරුද්ධ වූ කල්හි, හමු වූ කර්‍මය හෝ කර්‍මනිමිත්ත හෝ අරමුණු කොට එහි වූ අවිද්‍යාතෘෂ්ණාදීක්ලේශයන්ගේ බලයෙන් නැමී සිටියා වූ සුගතියට ඇතුළත් වූ ප්‍රතිසන්ධිචිත්තය උපදී. මේ වනාහි අතීතාරම්මණචුතියට අනතුරු ව අතීතාලම්බන ඇත්තා වූ හෝ කසිණාදිනවත්තබ්බාරම්මණ ඇති ප්‍රතිසන්ධිය ගන්නා සැටියි.
කාමසුගතියෙහි සිට පින් කළ අනෙකෙකු මරණය ලං වූ විට. කාමාවචරකුශලකර්‍මයාගේ ශක්තියෙන් මිනිස් ලොව උපදින කල්හි නම්, මවුකුස් ඈ රූපාරම්ඹණයක් හෝ, දෙව් ලොව උපදින කල්හි නම්, උයන් කප්රුක් ඈ සුගති නිමිත්තක් හෝ මනෝද්වාරයට හමු වේ. එකල්හි දුගති නිමිත්තෙහි කී ලෙසට චුතිචිත්තය ඉපද නිරුද්ධ වූ කල්හි අලුත් භවයෙහි ප්‍රතිසන්ධිචිත්තය පහළ වේ. මේ අතීතාරම්මණචුතියට අනතුරු වූ ප්‍රත්‍යුත්පන්නාලම්බනප්‍රතිසන්ධිය ගන්නා සැටියි.
අනෙකෙකුට මරණාසන්නකාලයෙහි දී බුද්ධපූජාදිය සඳහා නෑයන් විසින් එළවන ලද මල් පහන් ධජපතාකාදි රූපාරම්මණයක් හෝ ධර්‍මශ්‍රවණ තුර්‍ය්‍යපූජා ආදී වූ ශබ්දාරම්මණයක් ද හෝ සුවඳ දුම් ආදී වූ ගන්ධාරම්මණයක් හෝ ආහාරපානාදිරසාරම්මණයක් හෝ චීනපට්ට - සොමාරපට්ටාදිඵොට්ඨබ්බාරම්මණයක් හෝ චක්‍ෂුරාදී වූ යම්කිසි දොරටුවකට හමු වේ. එ කල ඒ රූපාදී වූ අරමුණෙහි පංචද්වාරාවර්‍ජනය ආදි කොටත් තදාලම්බනය කෙළවර කොටත් උපන් චිත්තවීථියෙහි පිළිවෙළ නොයික්මවා පහළ වූ වොත්ථපනචිත්තයාගේ අවසානයෙහි මරණයට ලංවීමෙන් වේගය මඳ වූ බැවින් ජවන් සිත් පසෙක් ද, තදාලම්බන දෙකෙක් ද උපදනේ ය. ඉන්පසු, භවාඞ්ගයාගේ ම අරමුණ ගෙණ වූතිචිත්තය පහළ වේ. චුතිචිත්තයාගේ අවසානයෙහි එක් චිත්තක්‍ෂණයක ආයු ඇති භවාඞ්ග-චුතිචිත්ත දෙකටත් අරමුණු වූ එම අරමුණෙහි ම අලුත් භවය පිළිබඳ ප්‍රතිසන්ධිචිත්තය හට ගණියි. මේ වනාහි අතීතාලම්බනචුතියට අනතුරු ව වර්‍තමානාලම්බන ඇති ප්‍රතිසන්ධිය පහළවන සැටි යි.
පඨවිකසිණාදීන්ගේ වශයෙන් ලැබූ මහද්ගතධ්‍යාන ඇත්තහුට මරණාසන්නකාලයෙහි කාමාවචරකුශලකර්‍ම - කර්‍මනිමිත්ත - ගතිනිමිත්ත අතුරෙන් එක්තරා නිමිත්තක් හෝ පඨවිකසිණාදි ප්‍රඥප්ති නිමිත්තක් හෝ ධ්‍යානචිත්තයක් හෝ මනෝද්වාරයට හමු වන්නේ ය. නැතහොත්, චක්ඛුද්වාර - සෝතද්වාර දෙකින් එකකට කුසල් ඉපදීමට කරුණු වූ උතුම් අරමුණෙක් හමු වේ. එකල ක්‍රමයෙන් පිළිවෙළ නොයික්මවා උපන් වොත්ථපනචිත්තයාගේ ඉපැත්මෙන් පසු අවසානයෙහි මරණයට ලං වීමෙන් වේගය මද ව ගිය බැවින් ජවන්සිත් පසෙක් උපදී. බඹලොවින් චුතවන්නවුන්ට තදාලම්බනයෙක් නැත. එහෙයින් ජවනයන්ට අනතුරු ව හවාඞ්ගයාගේ අරමුණ ම අල්වා ගෙණ චුතිචිත්තය උපදී. චුතියගේ අවසානයෙහි මරණාසන්නජවනවීථිය විසින් ගන්නා ලද අරමුණ පිළිබඳ ආයුෂය ඉතිරි ව ඇති බැවින්, ඒ අරමුණ ම අල්වාගෙණ අලුත් භවයෙහි ප්‍රතිසන්ධිචිත්තය හටගණි යි. මේ වනාහි නවත්තබ්බාරම්මණැ යි කියන ලද කසිණාදිපඤ්ඤත්තාරම්මණ. ඇති සුගතිචුතියට අනතුරු වූ අතීත වර්‍තමාන ප්‍රඥප්ති ආලම්බනයන් අතුරෙන් එක්තරා අරමුණක් ඇති ප්‍රතිසන්ධි ය යි. අරූපාවචරචුතියෙන් අනතුරු වූ ප්‍රතිසන්ධිය ද මෙසේ දත යුතු ය.
බඹලොවින් චුත ව කාමලෝකයෙහි උපදිනවුනට අරමුණුවන්නේ කාමාවචරකුශලකර්‍ම - කර්‍මනිමිත්ත - ගතිනිමිත්ත යන තුන යි. රූපීබ්‍රහ්මලෝකයෙන් චුත ව රූපීබ්‍රහ්මයන් අතර ම උපදිනවුනට පඨවිකසිණාදීහු අරමුණු වෙති. රූපීබ්‍රහ්මලෝකයෙන් චුත ව අරූපීන් අතර උපදිනවුනට ධ්‍යානචිත්තය අරමුණු වේ. බ්‍රහ්මලෝකයෙන් චුත වන්නෝ, සතර අපායයෙහි නො උපදිති. එසේ ම මනුෂ්‍යයන් අතර ද, අහේතුකජාත්‍යන්ධාදී වූ මිනිසත් බව ඇති ව නො උපදින්නෝ ය. එහෙයින් බඹලොවින් චුතවන්නන්ට අකුශලකර්‍ම නිමිත්තාදීහු නො වැටහෙති. යම් භවයකින් චුත වී නම්, ඒ භවයටත් යම් භවයක උපන්නේ නම්, ඒ භවයටත් අයත් වූ සිත් මරණාසන්නයේදී එළඹසිටි කර්‍මාදිය අරමුණු කරන්නේ ය. භවාඞ්ගචුතිචිත්තයෝ පෙරකළ කර්‍මය අරමුණු කෙරෙති.
දුගතියෙහි සිට පව් කළ තැනැත්තකු මරඇඳෙහි හොත්විට පෙරකී සේ අකුශලකර්‍මයෙක් හෝ කර්‍මනිමිත්තෙක් හෝ ගති නිමිත්තෙක් හෝ මනෝද්වාරයට හමු වේ. පස්දොරින් යම්දොරකට විෂය වන සේ ඒ ඒ දොරටුවට අකුසල් ඉපදීමට කරුණු වූ රූපාදී වූ යම් කිසි අරමුණෙක් හමුවන්නේ ය. ඒ අරමුණු කරගෙණ මනෝද්වාරයෙහි හෝ චක්‍ෂුරාදිද්වාරයෙක චිත්තවීථිය ඉපිද අනතුරු ව චුතිචිත්තය ද පහළ ව ඉන් ඉක්බිති ව ජවනවීථිය විසින් ගත් දුගතියට ඇතුළත් අරමුණු අතුරෙහි එක්තරා අරමුණක් එල්බගෙණ සතර අපාය පිළිබඳ ප්‍රතිසන්ධිචිත්තය පහළ වේ. මේ වනාහි අතීතාලම්බන ඇති දුර්‍ගතිච්‍යුතියට අනතුරුව අතීත හෝ වර්‍තමාන අරමුණු ගත් ප්‍රතිසන්ධිය පවත්නා ආකාරය යි.
එකුන් විසිවැදෑරුම් වූ විපාකවිඤ්ඤාණයාගේ පිළිසිඳ ගැණුම් වසයෙන් පවත්නා සැටි මෙලෙසින් දතයුතු ය.
‘සඤ්ඤා රොගො, සඤ්ඤා ගණ්ඩො’ යනාදි වසයෙන් හෝ ‘ධි චිත්තං, ධි චිත්තං’ යනාදි වසයෙන් හෝ නාමධර්‍මයන්ගේ ආදීනවය දැක වායෝකසිණය අරමුණු කොට භාවනා වඩා පංචමද්ධ්‍යානය උපදවා ගත් කර්‍මක්‍රියාවාදීනට මරණාසන්න කාලයෙහිදී ඒ ධ්‍යානයට අරමුණු වූ කසිණනිමිත්ත අරමුණු කොට මනෝද්වාරාවර්‍ජනාදිජවනවීථිය ඉපදීමෙන් පසු භවාඞ්ගයාගේ අරමුණ ම ගෙණ චුතිචිත්තය පහළ වේ. අනතුරු ව උපදවා ගත් රූපාවචරපංචමද්ධ්‍යානචේතනාබලයෙන් උපන් ජීවිත නවක නම් එක් ම රූපකලාපයෙක් අසංඥතලයෙහි පහළ වන්නේ ය. එ තැන් පටන් පන්සියයක් මහ කප් මුළුල්ලෙහි ජීවිත නවක, ඍතුජනවක යන රූපකලාප දෙක ඉපැදෙමින් නැසෙමින් පවතී. මේ අසංඥසත්වයෙහි පිළිසිඳ ගන්නා ක්‍රමය යි. එහි ජීවිතනවක කලාපයෙන් නො තොරව සිට එයින් චුත වන කල්හි එම ජීවිතනවකය ම ච්‍යුතිකෘත්‍යය කොට නිරුද්ධ ව යන්නේ ය. අනතුරුව ප්‍රතිසන්ධි දීමට සුදුසු වූ කාමාචවරවිපාකසිත් අටෙන් එකෙක් පෙර උපදවන ලද ධ්‍යානචේතනා බලයෙන් ම එළ වූ කර්‍මනිමිත්තාදීන් අතුරෙන් යමක් අරමුණු කොට අනික් හවයෙක ප්‍රතිසන්ධිය දෙන්නේ ය.
මෙසේ ඉතා සැකවින් කියූ මේ ප්‍රතිසන්ධිය රූපය හා මිශ්‍ර - අමිශ්‍ර භේදයෙන් දෙවැදෑරුම් වේ. කාම-රූප-අරූපභව වශයෙන් තෙවැදෑරුම් වේ. අණ්ඩජ-ජලාබුජ-සංසේදජ-ඔපපාතික වශයෙන් සිවුවැදෑරුම් වේ. නිරය - ප්‍රේත - තිරශ්චීන - දෙව - මනුෂ්‍යගති වශයෙන් පස් වැදෑරුම් වේ. විඥානස්ථිති වශයෙන් සත්වැදෑරුම් ය. සත්‍වාවාස වශයෙන් නවවැදෑරුම් ය. මොවුහු යට කියන ලදහ.
චුති-පටිසන්‍ධීන්ගේ විස්තරය ඉතා දිග ය. එය මුළුමනින් මෙහි කියනු බැරි ය. විස්තර පොතපතින් දතයුතු ය.
චුති-පටිසන්ධි දෙදෙනා අතුරෙන් චුතිචිත්තය, භවයෙන් ගිලිහී යෑම සිදු කර යි. ප්‍රතිසන්ධිචිත්තය අනික් භවයක් යෝනියක් ගතියක් විඥානස්ථියක් සත්‍වාවාසයක් හා ගැළපීම කර යි.
මෙහි දක්වන ලද කොයි ක්‍රමයකින් නමුත් පිළිසඳ ගන්නවුන්ගේ ප්‍රතිසන්ධිචිත්තය ඉපිද නිරුද්ධවන්නා හා ම භවාඞ්ග චිත්තය උපදනේ ය. ඒ අනෙකක් නො වේ. මේ ප්‍රතිසන්ධිචිත්තය ම ය. ප්‍රතිසන්ධිචිත්තයෙහිත් භවාඞ්ගචිත්තයෙහිත් අරමුණ ද එකෙක් මය. භවාඞ්ග යි කියන්නේ භවයාගේ නො සිඳ පැවැත්මට කරුණුවන බැවිනි. භවාඞ්ගචිත්තය නිරුද්ධවීම සමග ම එබඳු අනික් හවාඞ්ගචිත්තයෙක් වන්නේ ය. චක්‍ෂුරාදි ද්වාරයන් කරණ කොට වීථිසිත් නො උපදින කල්හි මේ භවාඞ්ගසන්තතිය ගඟදිය පහරක් සේ නො සිඳී පවතී. අවසානයෙහි එය ම චුතිචිත්තයත් වන්නේ ය. චුතිචිත්තය ඉපිද නිරුද්ධ ව ගිය කල්හි නැවැත ප්‍රතිසන්ධිචිත්තාදිය වේ. මෙසේ චිත්තසන්තතිය නිවන් පසක් කරණතුරුම රිය සකක් සේ භවයෙන් භවයට පෙරළෙමින් පවතින්නේ ය. මෙම කීහ. ආචාර්‍ය්‍යපාදයෝ=
“පටිසන්ධිභවඞ්ගවීථියො - චුතිචෙහ තථා භවන්තරෙ,
පුන පටිසන්ධිභවඞ්ගමිච්චං - පරිවත්තති චිත්තසන්තති”
ස්කන්ධ-ධාතු-ආයතන-භව-යෝනි-ගති ආදිය නො හැර චුතිපටිසන්ධි වශයෙන් දිගින් දිගට යෑම ‘සංසාර’ යි කියන ලද්දේ ය.
සංසාරය දික්වන්නේ, සදහම් නො දන්නා බාලයාහට ය. දහම් යි වදාළේ සත්තිස් බෝධිපාක්‍ෂික ධර්‍මය යි. එහි විස්තර යට කියන ලදී. බාලයාහට සසර දික්ගැසීම ධර්‍මතාසිද්ධියකි.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි ඒ දුගී පුරුෂ තෙමේ සෝවන් පලයට පැමිණියේ ය. අනික් බොහෝ දෙනා ද සෝවන් ඵලාදියට පැමිණියෝ ය. දේශනාව මහාජනයාට වැඩ සහිත වූ ය.
රජ තෙමේ, බුදුරජුන් වැඳ යන්නේ, ඒ ඒ තැන බැඳ හුන් සියලු සතුන් බැම්මෙන් මුදා හැරියේ ය. බැම්මෙන් මිදුනු ගැහැණු පිරිමි දෙගොල්ලෝ ඉස් සෝදා නා පියා යන්නෝ ‘මල්ලිකාවෝ බොහෝ කලක් ජීවත්වෙත්වා, උන් නිසා අපි දිවි ලදුම්හ’ යි කිය කියා ගියහ. එදා සවස දම්සබාවට රැස් වූ භික්‍ෂුන් වහන්සේලා ද ‘මල්ලිකාවෝ ඉතා නුවණැති ය, තම නුවණින් මෙතෙක් දෙනාට දිවි දුන්හ’ යි මල්ලිකාවන් පිළිබඳ ගුණකතාවෙහි යෙදී හුන්හ. ඒ අතර බුදුරජානන් වහන්සේ එහි වැඩි සේක් ‘මහණෙනි! තමුසේලා දැන් මෙහි කිනම් කතාවක් කරමින් හුන්නහු දැ’ යි අසා වදාරා ‘මෙ නම් කතාවක් කරමිනැ’ යි කී කල්හි ‘මහණෙනි! මල්ලිකා තොමෝ තම නුවණින් අනුනට දිවි දුන්නා අද පමණක් නො වන්නී, පෙරත් එසේ කළා ය’ යි වදාරා, ඒ ඉකුත් කතාව ගෙණ හැර පෑ සේක.
යටගිය දවස බරණැස් රජුගේ පුත්‍රයෙක් නුග රුකක් කරා ගොස් එහි අරක් ගත් දෙවියාට, ‘දේවයන් වහන්ස! මේ දඹදිව සියයක් පමණ රජදරුවෝත් එ පමණ ම අගබිසෝවරුත් වෙසෙති, මම, මා පියා මළ කළ රජය ලබන්නෙම් නම්, මොවුන් ගෙල සිඳ ඔබට බිලිපූජා කරන්නෙමි’ යි ගවිස්සේ ය, පියා මළ පසු රජකම ලත් ඔහු ‘දෙවියන්ට බිලි පූජා කෙරෙමි’ යි මහත් සෙන් ගෙණ ගොස් පළමු කොට එක් රජකු වශයට ගත්තේ ය, පසුව අනික් රජුන් හා අගබිසෝවරුනුත් යටතට ගෙන ‘උග්ගසෙන’ රජුගේ දරුගැබ් දැරූ ‘දින්නා’ නම් බිසව පමණක් ගෙයි නවතා රුක් මුලට ගොස් මොවුන් විෂ පොවා මරන්නෙමි’ යි ගස මුල පිරිසිදු කරවී ය, රුක්දෙවි තෙමේ, එ දැක ‘මෙතෙමේ මේ රජුන් මරන්නට සැරසෙනුයේ මුන්ගේ ගල ලෙයින් මා පුදනු සඳහා ය, මූ මේ රජුන් මැරී නම්, මුළු දඹදිව රජුගෙන් සිස් වේ, රාජවංශය මුළුමනින් වැනසෙන්නේ ය, මාගේ වාස භවනයත් අපිරිසිදු වේ, ය යි එය වළකාලන්ට තැත් කරණුයේ, තමන් එහි අපොහොසත්බව දැන අන් දෙවියකු කරා ගොස් මෙ පවත් කියා සිටියේ ය, ඔහු ද එය වළකාලීමෙහි තමන් අපොහොසත් බව කී ය. ඉක්බිති පිළිවෙළින් සක්වළ වැසි හැම දෙවියකු පාසා ගොස් මේ බව දැන්වී ය, හැම කෙනෙක් ම එය වළකාලන්නට බැරිබව ම කීහ, අනතුරු ව සිවුවරම්රජුනට දන්වා සිටියේ ය. ඔවුහු ‘සක්දෙව්රජුට දන්වන්නැ’ යි කීහ, රුක්දෙවි තෙමේ, ඔහු වෙතට ගොස් කරුණු දන්වා මෙයට පිහිටවනු මැනැවැ’ යි ඉල්ලී ය, සක්දෙව් තෙමේ, තමන් එහි අපොහොසත්බව දැන ‘මම එයට අපොහොසත් වෙමි, එහෙත් මම තට උපායක් කියමි, තෝ රජු බලා සිටියදී ම රතු රෙදිකඩක් හැඳ තමන් වසන ගසින් අස් ව යන ලෙසක් දක්වව, එවිට රජ තෙමේ, තා වළකාලන්නට කරුණු කියන්නේ ය, එහෙත්, යනබව ම කියව, පුන පුනා නවතින්නට පැරැත්ත කරතොත් ‘මහරජ! අගබිසෝවරුන් හා සියයක් පමණ රජුන් ගෙණවුත් මරා උන් ලෙයින් බිලිපූජා කරණ බවට ගිවිස්සෙහි ය, එහෙත් උග්ගසේන රජුගේ බිසව හැරදමා ආයෙහි ය, තා වැනි බොරු කියන්නකුගේ පූජාවෙන් කම් නැතැ, යි කියව, එවිට ඔහු ඇය ද ගෙන්වන්නේ ය, ඇය රජුට මෙහි වරද කියා හැම දෙනකුට ම ජීවිත දානය කරවන්නී ය’ යි කී ය,
දෙවියා එසේ කෙළේ ය, රජ තෙමේ, ඇය ගෙන්වී ය, එහි පැමිණි ඕතොමෝ රජුන් අතර සිටි සිය සැමියාට වැඳ සිටියා ය. රජ තෙමේ, එය දැක ඇයට කිපින, එවිට ඈ ‘මා අයත් කුමක් තා පිළිබඳ වේ ද, මේ මාගේ හිමියා ය, මට සියලු යසඉසුරු දෙන්නේ ය, මම මොවුන් නො වැඳ කවරකු වඳිම් දැ’ යි කිවු ය, එවිට රුක්දෙවියා ද සියල්ලන්, බලා සිටියදී ‘එසේ ය, එසේ ය’ යි කියමින් මල් මිටකින් ඇය පිදුයේ ය, රජ තෙමේ ‘ඉදින් මා නො වඳිහි නම්, මට යසඉසුරු දෙන මේ දෙවියන් කුමක් හෙයින් නො වඳිහි දැ’ යි ඇසී ය, ‘මහරජ! නුඹවහන්සේට රජය ලැබුනේ නුඹවහන්සේගේ පිණෙන් මිස දෙවියන්ගේ පිහිටෙන් නො වේ’ යි කී කල්හි රුක්දෙවි තෙමේ ‘සොඳුර! එසේ ය, සොඳුර! එසේ ය’ යි කියා නැවැතත් මලින් පිදී ය, බිසවු තොමෝ නැවැතත් ‘මහරජ! දෙවියන් මට මෙපමණ රජහු අල්ලා දෙන ලදහ, යි නුඹවහන්සේ කියන්නහු ය, දැන් ඔහු වසන ගස ගිනි ගෙන දන ලද ය, ඔහු ඒ නිවීමෙහි අපොහොසත් ය, මහානුභාව ඇත්තෙක් නම්, ගිනි නිවාපෑමෙහි ඔහු අසමර්‍ත්‍ථ වූයේ කුමක් හෙයින් දැ’ යි ඇසූ ය, එවිටත් රුක්දෙවියා ‘එසේ ය, එසේ ය’ යි මලින් පිදූයේ ය, බිසවු මෙසේ කියමින් හඬමින් ම සිනාසුනා ය, රජ තෙමේ ‘මෑට පිස්සු ය, නො වේ නම් එකවිට හඬා ද, සිනාසේ දැ’ යි ඇසී ය, ‘දේවයන් වහන්ස! ඇයි එසේ කියන්නහු? මා වැන්නන් පිස්සන් නො වෙති’ යි ඇය කී විට ‘ඵසේ නම් එකවිට හඬන්ටත් සිනාසෙන්ටත් කරුණු කිමැ’ යි ඇසී ය,
‘මහරජ! මම එක්තරා ජාතියෙක කුල දුවක් ව ඉපිද නිසි වයසේදී දීග ගියෙමි, දිනක් මාගේ හිමියා හමුවන්නට ඔහුගේ යහළුවෙක් තෑගි බෝගත් ගෙණ අප ගෙට ආයේ ය, මම ඔහුට කෑම පිළියෙල කරන්නට සිතා මුදලුත් දී දාසයකු මස් කඩයට යැවීමි, ඔහු මස් නැති ව ආවිට ගෙයි පිළිකන්නෙහි හුන් එළුදෙනකගේ බෙල්ල කපා මස් කොට කෑම පිළියෙල කෙළෙමි, එදා ඒ බෙල්ල කැපූ මම බොහෝ කලක් නිරයෙහි පැසී අවුත් ඉතිරි ව තුබූ පව්කමින් එළුදෙනගේ ලොම් ගණනින් හිස් කැපුම් වලට අසු වීමි, ඔබවහන්සේ මෙතෙක් දෙනා මැරූවහු නම්, කවදා දුකින් නිදහස් වන්නහු දැ’ යි නුඹවහන්සේට විඳින්නට සිදුවන මහත් දුක සිහිවී හැඬුවෙමි’ යි කී විට, ‘සිනාසුනෙහි මක්නිසා දැ යි රජ තෙමේ ඇසී ය, ‘මම මේ බිහිසුණු දුකින් නිදහස් වූයෙමි’ යි සතුටුව සිනාසීමි’ යි කිවු ය, රුක්දෙව් තෙමේ ඒ අසා ‘එසේ ය එසේ ය’ යි ඒ වරත් මලින් පිදූයේ ය, රජ තෙමේ ‘අයියෝ පව්කම්හි බලගතු කම, මෑ එක එළියක මරා නරකයෙහි දුක් විඳ එයිනුදු කර්‍මය නො ගෙවී ගියෙන් ඒ ඒ අත්බව්හි එළියගේ ලොම් ගණනින් හිස සිඳුම්වලට අසුවූ ය, මම මෙතෙක් දෙන මරා කවදා සැපතකට පැමිණෙම් දැ’ යි සිතා වැඩි මහලු රජුන් වැඳ බාලවූවන්ට ආචාර කොට සියල්ලන් කමා කරවා පිටත් කර හැරියේය’ යි බුදුරජානන් වහන්සේ අතීතය දක්වා ‘මහණෙනි! මල්ලිකා තොමෝ තම නුවණින් මහජනයාට දිවි දුන්නී, මේ ජාතියේ ම පමණක් නො වන්නී ය, පෙරත් එසේ දුන්නු ය; ඒ කාලයෙහි බරණැස් රජ වූයේ, දැන් මේ පසේනදි කොසොල් රජ තෙමේ ය, දින්නාව වූවා මේ මල්ලිකාව ය, රුක්දෙවි වූයේ මම මැ’ යි ඉකුත් වත ගළපා නැවැත ධර්‍මදේශනා කරණ සේක් ‘මහණෙනි! කිසිවක් සඳහාත් සතුන් මැරීම නො කළ යුත්තකි, එහි විපාකය අනිටු ය, බිහිසුණු ය, දිග ය, සතුන් මැරූවෝ බොහෝ කලක් ශෝක කෙරෙත් ය’ යි වදාළ සේක.
කුමුදුප්පලාතීත දුග්ගත සේවක වස්තුව නිමි.