යථා සඞ්කාරධානස්මිං උජ්ඣිතස්මිං මහාපථෙ
පදුමං තත්‍ථ ජායෙථ සුචිගන්‍ධං මනොරමං.
මහමඟැ බහා ලන ලද කසළ ගොඩෙක සුවඳැති සිත්කලු පියුමෙක් යම්සේ හටගැනේ ද,
එවං සඞ්කාරභූතෙසු අන්‍ධභූතෙ පුථුජ්ජනෙ
අතිරොචති පඤ්ඤාය සම්මාසම්බුද්ධසාවකො.
එසේ ම කසළගොඩක් බඳු වූ නුවණ නැති පුහුදුන් ලෝවැස්සා කෙරෙහි උපන්, සම්‍යක්සම්බුද්ධශ්‍රාවක (රහත්) තෙම ප්‍රඥායෙන් සෙස්සන් ඉක්ම බබලයි.
අප බුදුරජුන් දවස සැවැත්නුවර සිරිගුත්ත-ගරහදින්න යි. යහළුවෝ දෙදෙනෙක් වූහ. සිරිගුත්ත, බෞද්ධොපාසකයෙකි. ගරහදින්න නිගණ්ඨොපාසකයෙකි. දවසෙක නිගණ්ඨයෝ ගරහදින්නට ‘ඔබගේ යහළු වූ සිරිගුත්තට ‘තමුසේ ශ්‍රමණ ගෞතමයා වෙත කුමක් නිසා යන්නහු ද, ඔහු වෙත යෑමෙන් ඔබට ලැබෙන පලය කුමක් ද’ යි අසා අප වෙත එන්නට, අපට දන් දෙන්නට සැලැස්සුවොත් නරක දැ’ යි කීහ. ගරහදින්න ද, ඔවුන් කී වචන පිළිගෙණ නිතර නිතර සිරිගුත්ත සිටින හිඳින තැන්වලට ගොස් ‘මිත්‍රය! ඔබට ශ්‍රමණ ගෞතමයාගෙන් ඇති කාරිය කුමක් ද, ඔහු වෙත යෑමෙන් ලැබෙන පලය කුමක් ද, නරක ද අපේ හාමුදුරුවන් කරා ගොස් යමක් කමක් සොයා බැලීම, සැපදුක් විචාරා සතුටුවීම, උන්වහන්සේලාටත් දන්දීම, උන්වහන්සේලාට සකසා දන්දීමෙන් මහත් වැඩක් සිදුවන බව මට කිය හැකි ය’ යි කීයේ ය. සිරිගුත්ත තෙමේ බොහෝ දවස් මේ කතාව අසා නිහඬ වූයේ ද, එක් දවසක් ‘මිත්‍රය! ඔබ හැමදා මා හිඳින සිටින තැනට අවුත් ශ්‍රමණ ගෞතමයා ලඟට යෑමෙන් ඇති කාරිය කුමක් දැ, යි අසා නිගණ්ඨයන්ට දන් දෙන්නැ යි කියන්නහු ය, මට කියන්න! ඔවුන් දන්නා දේ’ යි කී ය. ‘අයියෝ! මිත්‍රය! ඇයි, එහෙ ම කියන්නහු, අපේ හාමුදුරුවරු නො දන්නා ධර්‍මයෙක් නැත, අතීතානාගතවර්‍තමාන යන කාලත්‍රය පිළිබඳ හැමදේ ම උන්වහන්සේලා දනිති, සියලු කාය වාග් මනස් කර්‍මයන්, ඉන් ලැබෙන ඵලවිපාක, මෙයින් මෙසේ සිදු වන්නේ ය, මෙය මෙසේ සිදු වන්නේ ය, යි සියලු ම හොඳ නො හොඳ දනිති’ යි කීයේ ය. ‘හා! එහෙම ද, එසේ නම් ඇයි! මට මෙ තෙක් දවස් ඔයවග නො කීවහු, මෙ තෙක් දවස් එය නො කීමෙන් කළේ ලොකු වරදෙක්, අද ම මා උන්වහන්සේලාගේ ඤාණානුභාවය දත යුතු ය, එ හෙයින් මාගේ වචනයෙන් අද ම උන්වහන්සේලාට ආරාධනා කරන්නැ’ යි සිරිගුත්ත කී ය.
ගරහදින්න එදා ම නිගණ්ඨයන් වෙත ගොස් වැඳ ‘ස්වාමීනි! මා මිත්‍ර වූ සිරිගුත්තයා, හෙට ඔහුගේ ගෙදර දනට වඩින්නට ඔබවහන්සේලාට ආරාධනා කරන්නැ යි මට කීයේ ය, එ හෙයින් සිරිගුත්තගේ මේ ආරාධනාව පිළිගනු මැනැවැ’ යි ඉල්ලී ය. එකල නිගණ්ඨයෝ ‘අපේ බලාපොරොත්තුව මුළුමනින් පිරී ගියේ ය, සිරිගුත්ත අපකෙරෙහි පැහැදුනු තැන් පටන් අපට කුමකින් අඩුවෙක් වේ දැ යි කීහ. සිරිගුත්ත වසන ගෙය ඉතා විශාල වූ ගෙයකි. එ හෙයින් ඔහු ගෙවල් දෙකක් අතර දෙපසින් පළල් වූ වළක් සාරවා අසුවි මඩ පුරවා වළෙහි පිටත දෙ කෙළවර කණු සිටුවා කණුවල රැහැන් බඳවා උන්කෙණහි ම හිස පහළට වැටෙන්නට බලා අසුන්වල ඉදිරි පා, වළෙහි ඉදිරිපස සිටින සේ තබවා, පසු පස පා රැහැන්වල සවිකරවා, පිළියෙල කරවී ය. වළ නො පෙණන සේ අසුන්වල ඇතිරිලි ද ඇතිර වී ය. ලොකු සැළි ගෙන්වා සෝදවා කෙසෙල් කොළින් හා මාලු රෙදි කැබලිවලින් සැළිකට බඳවා, සිස්වම ගෙයි පිටිපස තබවා, පිටත සෑම තැන කැඳ බත්හුළු ගිතෙල් හකුරු කැවුම් කෑලි විසුරුවා හැරියේ ය. ගරහදින්න, එදා උදෑසන ම සිරිගුත්තගේ ගෙට ගොස් ‘දානය පිළියෙල කරණලද දැ’ යි ඇසී ය. ‘ඔව්! පිළියෙල කෙළෙමි’ යි සිරිගුත්ත කී කල්හි ‘පිළියෙල කෙළේ කො තැන දැ’ යි ඔහු ඇසී ය. ‘මේ මේ සැළිවල කැඳ, මේ සැළිවල බත්, මේ සැළිවල ගිතෙල්, හකුරු, කැවුම්, අතිරස, අග්ගලා, කොකිස්, ආස්මි, දොදොල්, කිරි, පැණි ආදි හැම දෙයක් ම සූදානම් ය, අසුන් පණවාත් අවසාන ය’ යි සිරිගුත්ත කී ය. ගරහදින්න ඔහුට ස්තුති කොට ගියේ ය.
පන්සියයක් නිගණ්ඨයෝ දානය පිණිස එහි ගියහ. සිරිගුත්ත ගෙයින් එලියට බැස, පසඟ පිහිටුවා වැඳ උන් ඉදිරියෙහි දෙයත් ඔසවා ‘ඔබවහන්සේලා අතීතාදිභේද වූ සියල්ල දන්නහු’ ය යි ඔබවහන්සේලාගේ දායක වූ ගරහදින්න මට දන්වා තිබේ, එ හෙයින් සියල්ල නො දන්නහු නම්, මේ ගෙට ඇතුල් විය යුතු නො වේ, ඇතුල් වුව ද කැඳ බත් නො ලැබේ, දායකයා කී ලෙස සියල්ල දන්නහු නම්, ගෙට ඇතුල් වනු මැනැවැ’ යි කී ය. ‘ඇතුල් වූහු නම්, අසුවිවළෙහි ලා තළවන්නෙමි’ යි සිතූ සිරිගුත්ත උන් පිටිපස සිට, අසුන් මත්තෙහි එලාලූ ඇතිරිලි අසුචි තැවරෙන්නට ඉඩ නො තබා පැත්තකට ගන්නා සේ සේවකයන්ට සංඥා කෙළේ ය. එසේ කොට ‘ස්වාමීනි! මෙහි වඩිනු මැනැවැ’ යි නිගණ්ඨයන්ට කී ය. ඔවුහු එහි පිවිස ඇතිරිලි එලාලු අසුන්හි හිඳිනට සූදානම් වූහ. එහි රැස් ව හුන් මිනිසුන් ඒ දැක ‘ස්වාමීනි! පොඩ්ඩක් බලාපොරොත්තු වන්නැ’ යි කීවිට ‘කුමක් නිසා එසේ කියන්නහු යි ඇසූහ. ‘ස්වාමීනි! මෙහි අප නිවසට පැමිණෙන ස්වාමීන් වහන්සේලා හිඳින වත දැන ගෙණ පැමිණ හිඳිය යුතු ය’ යි කීවිට, ‘පින්වත්නි! මෙහිලා අප දත යුතු කුමක්’ දැ යි විචාළාහු ය. ‘හැම දෙනා ම තම තමන් වාඩි ගන්නා අසුන් වෙත ගොස් එක විට ම අසුන්වල හිඳිය යුතු ය, එකකු එක්වරකුත් අනිකකු අනික් වරකුත් හිඳගැණී ම මෙහි සිරිත නො වේ, හැමදෙනා එක්විට හිඳ ගත යුතු ය’ යි මිනිස්සු කීහ.
නිගණ්ඨයෝ, ‘හොඳයි! වේවා, මොවුන් කියන හැටියට කළ යුතු ය’ යි සිතා සියල්ලෝ ම, තම තමන් වාඩි ගන්නා අසුන් වෙත ගොස් පිළිවෙළට සිට ගත්හ. එකල මිනිස්සු ‘ස්වාමිනි! දැන් හැම දෙනා වහන්සේ එක්විට ම අසුන්හි වැඩ හිඳිනු මැනැවැ’ යි කීහ. ඔවුන් වාඩිවනු සමග ම අසුන් මතුපිට තුබූ ඇතිරිලි පිටතට ඇද ගත්හ. නිවටුන් එහි වාඩිවනු සමග ම රැහන්හි රඳවා තුබු පුටු කකුල් එයින් වෙන් වී පහතට වැටුනේ ය. නිගණ්ඨයෝ යටිකුරු ව අසුචිවළෙහි වැටුනාහ. එවිට සිරිගුත්ත දොර වසා, ගොඩ නැගුන නැගුනවුන් අතින් ‘අතීතානාගත වර්‍තමානකර්‍මය දන්නහු දැ’ යි අසමින් පොලු මුගුරුවලින් තළවා, ‘දැන් මොවුනට පමණ ය’ යි දොර හැර වී ය. ඔවුහු අතන මෙ තැනින් පැන ගියහ. යන මගැ කල් තබා ම බෙලසුල් ගා තුබූ බැවින් පා තබත් ම බිම ඇද වැටුනාහ. ඔවුනට ද පොලු මුගුරුවලින් තළවාපී ය. ‘උපාසක! තා විසින් අපි නසන ලද්දමෝ ය, තා විසින් අපි නසන ලද්දමෝ ය’ යි හඬමින් කෑ ගසමින් ඔවුහු ගරහදින්නයාගේ ගෙය බලා ගියෝ ය.
මේ දුටු ගරහදින්න තෙමේ අත් දිග කොට ‘සිරිගුත්තයා මා නැසූයේ ය, ඌ මා කෑයේ ය, වඳින්නවුන්ට වැඳීම් පමණකින් සදෙව්ලෝ සම්පත් සාදා දෙන මාගේ පින්කෙත් වූ පින්වතුන් වහන්සේලා තළා පෙළා විපතට පත් කරවී ය’ යි තරහයෙන් පිපිරි පිපිරී උසාවියට ගොස් නඩු පවරා සිරිගුත්තයාට කහවණු දහසක් දඩ ගැස්සී ය. සිරිගුත්ත, උසාවියට ගොස් නඩුකාරයාට වැඳ ‘හාමුදුරුවනේ! පැමිණිල්ලෙන් පමණක් කරුණු අසා, මට දඩ ගැසීම අයුතු ය, ඒ ධර්‍මයෙක් නො වේ, එය නීතියක් නො විය හැකි ය. විත්තියෙනුත් කරුණු විමසා, වරද සොයා වරදකරු තෝරා බේරා ගෙණ මේ දඩය ගසන ලද්දේ නම් වරද නැතැ යි දන්වා සිටි කල්හි, විනිසකරු එ පිළිගෙණ, නැවැත පැමිණිලිකරු හා විත්තිකරු ගෙන්වා නඩුව ඇසීමට පටන් ගත්තේ ය. සිරිගුත්ත නැගී සිට ‘හාමුදුරුවනේ. මේ පැමිණිළිකරු කලක සිට මාගේ ඉතාහොඳ යහළුවෙකි’ යි කී විට විනිසකරු ‘හැබෑ ද ගරහදින්නැ’ යි ඇසී ය. ‘එසේ ය, හාමුදුරුවනේ’ යි ඔහු පිළිතුරු දින. නැවැත ද, සිරිගුත්ත නැගිට ‘මේ ගරහදින්න නිතර මාවෙත පැමිණ ශ්‍රමණගෞතමයාගෙන් ඇති කාරිය කුමක් ද, ඔහු වෙත යෑමෙන් කුමක් ලැබේ ද, ශ්‍රමණ ගෞතමයා කුමක් දනී ද, අපේ හාමුදුරුවරු සියල්ල දන්නෝ ය, අතීතානාගත වර්‍තමානකාල පිළිබඳ හැම දෙයක් ම දනිති, දෙන දෙයක් ඔවුනට දෙන්නැ’ යි කියමින් කරදර කෙළේ ය.
ඒ නිසා මම දිනක් ඔවුන් ගෙන්වා දොහොත් මුදුන් දී වැඳ, මේ පින්වත්හු සියල්ල දනිත් නම්, මා සිතන දේ දැන ගෙට පිවිසෙත්වා, නො දන්නෝ නම්, නො පිවිසෙන්වා, යි සිතමින් සිටියෙමි, මාගේ ඒ සිතුවිල්ල නො දැන ඔවහු ගෙට පිවිසියෝ ය, එ හෙයින් මොවුහු මහාජනයා බොරුවෙන් වංචාවෙන් රවටන, බොරුසිල්, බොරුඋගත්කම් පෙන්වන, ඒ මගින් පොහොසතා පටන් දුප්පතා තෙක් හැම දෙනෙකුගෙන් සිවුරු, රෙදිපිළි, කෑම් බීම්, ඉඩකඩම් ලබා ගෙණ, පන්සල් කරවා ගෙණ, මිලමුදල් උපයන රට පෙළන සොරහු ය යි මට සිත් විය, මේ කරුණු උඩ මම මොවුනට මෙසේ කෙළෙමි, මෙයින් මා කළේ වරදෙක් නම්, මට දඬුවම් කරණු මැනැවැ’ යි කියා සිටියේ ය. ඉක්බිති ‘ගරහදින්න! උඹට මේ ගැණ යමක් කියන්නට තිබේ නම්, දැන් ඒ කියහැකි’ යි විනිසකරු කී විට, ගරහදින්න, නැගිට ‘ස්වාමීනි! සිරිගුත්ත මහතාගේ කතාවේ බොරු නැත, මුළුමනින් ඒ කතාව ඇත්තැ’ යි කී ය. එවිට විනිසකරු ‘තෝ කිසිවක් නො දන්නා මොවුන් උගතුන් සිල්වතුන් සේ පිළිගෙණ, මොවුහු, සියල්ල දන්නෝ ය යි කියා හැසිරෙමින් බුදුරජුන්ගේ දායකයකු වූ මේ විත්තිකරුටත් කියා, ඔහු කරදරයෙහි හෙළාලූයෙහි ය, මේ නඩුව පැන නැංගේ. ඒ නිසා ය, මෙයින් මට පෙණෙනු, මේ දඩය ගැසිය යුත්තේ තට බව ය, එ හෙයින් මම සිරිගුත්ත නිදහස් කරමි, තා විසින් කහවණු සියයක් දඩය වශයෙන් ගෙවිය යුතු ය’ යි නඩුව තීරණය කෙළේ ය.
ගරහදින්න එ තැන් පටන් සිරිගුත්ත හා කතා නො කොට හැරියේ ය. එහෙත් ටික දිනකට පසු, සිරිගුත්තගෙන් පළිගැණීමට සිතා සිරිගුත්ත වෙතට ගොස් කතාවට වැටුන්නේ ය. ‘මිත්‍රය! නෑදෑ මිතුරන් අතර කලකෝලාහල, වාදවිවාද ඇතිවීම ස්වභාව සිද්ධියකි, ඒ නො සලකා නුඹ මා හා කතා නො කරන්නෙහි කුමක් නිසා දැ’ යි ගරහදින්න ඇසූ විට, ‘නුඹ මා හා කතා නො කරණ නිසා මමත් කතා නො කරමියි සිරිගුත්ත කී ය. ‘ගිය දේ ගියා වේ, එය අප අතර ඇති මිත්‍රධර්‍මය අත්හැරීමට කාරණයෙක් නො වේ ය’ යි දෙදෙන ම එ තැන් සිට නැවැතත්, සමගිව එක් ව සිටින්නට එක් ව හිඳින්නට එක් ව ඇවිදින්නට පටන් ගත්හ.
මේ අතර දවසෙක සිරිගුත්ත තෙමේ ගරහදින්නට බුදුරජුන් වෙත ගොස්, උන්වහන්සේ ඇසුරු කරන්නටත් දන් දෙන්නටත් කී ය. ගරහදින්න බලාපොරොත්තු වූයේ, මේ ම වුව ද, එය නො දන්වා ‘නුඹගේ ශාස්තෘවරයා කුමක් දනී දැ’ යි ඇසී ය. ‘මාගේ ශාස්තෘවරයා හැම දෙයක් ම දනියි, නො දන්නා දෙයක් නැත, හැම දෙයක් ම උන්වහන්සේගේ නුවණට ගොදුරු ය, හැම කෙනකුගේ ම සිත සොළොස් අයුරකින් උන්වහන්සේ දන්නා සේකැ’ යි සිරිගුත්ත කී කල්හි, ‘ඇයි ඔබ මෙතෙක් දවස් ඔයවග මට නො කීවහු, එසේ නම් ඔබ ම ගොස් පන්සියයක් දෙනා වහන්සේත් සමග අප ගෙදර දනට වඩින්නට බුදුරජුන්ට ආරාධනා කරන්නැ’ යි ගරහදින්න කී ය. සිරිගුත්ත බුදුරජුන් වෙත ගියේ ය. ගොස් පන්සියයක් දෙනා වහන්සේ සමග ගරහදින්නගේ දනට වඩින්නට බුදුරජුන්ට ආරාධනා කෙළේ ය. ආරාධනා කොට ද, ‘ස්වාමීනි! කිහිප දිනකට උඩදී මම නිගණ්ඨයන්ට ගැහැටක් කෙළෙමි, එයට පළිගැණීම සඳහා මෙය කරන්නේ ද, නැත, පිරිසිදුසිතින් කරන්නේ’ දැ යි මට එතරම් වැටහීමෙක් නැත, බලා වදාරා සුදුසුය යි වැටහේ නම්, පිළිගෙණ වදාරණු මැනැවැ’ යි කී ය. බුදුරජානන් වහන්සේ බලා වදාරණ සේක්, ‘ගරහදින්න ගෙවල් දෙකක් අතර වළක් හාරවා එහි බරකරත්ත අසූවක පමණ කිහිරිදර ලා ගිනි තබා අඟුරු කොට, එහි, මා හෙලා නිග්‍රහ කරන්නට සූදානම් වේ ය’ යි දැක ද, නැවැත එහි යෑමෙන් වැඩෙක් වේ දැ’ යි බලන සේක් ‘මා අඟුරුවලට දෙපා තැබූ කෙණෙහි, එය වසා තබන කළාලය නො පෙණී යන්නේ ය, අඟුරුවළ බිඳගෙණ පියුම් නැඟී එන්නේ ය, එවිට මම පියුම්කෙමි පාගමින් ගොස්, පැණ වූ අසුනෙහි හිඳින්නෙමි, මාගේ ශ්‍රාවකයෝ ද, එසේ ගොස්, අසුන්හි හිඳගන්නෝ ය, මහාජන තෙමේ රැස් වන්නේ ය. මම ඔවුනට බණ කියන්නෙමි, බණ අවසන්හි අසූසාරදහසක් දෙනාට ධර්‍මාවබෝධය වන්නේ ය, සිරිගුත්ත-ගරහදින්නයෝත් සෝවන් පලයට පැමිණෙති, තමන් සතු සියලු ධනය සසුන් දියුණුවට යොදත්’ යි දැක ‘මේ කුල පුත්‍රයා නිසා මා යායුතුය’ යි ආරාධනාව පිළිගත් සේක.
බුදුරජුන් ආරාධනාව පිළිගත්බව සිරිගුත්ත තෙමේ, ගරහදින්නට දන්වා ‘මැනැවින් සත්කාර කරව’ යි ද කීයේ ය. ‘සත්කාර කරණ සැටි දන්නෙම් මම නො වෙම් දැ’ යි සිත සිතා ගරහදින්න ගෙවල අතර මහවළක් හාරවා, බරකරත්ත අසූවක කිහිරිදර එහි බහා, ගිනි දල්වා අඟුරු කොට ඒ මත්තෙහි. ලෑලි අතුරා කළාලින් වසා, ගොම පිරිබඩ කොට, පසෙක දිරාගිය කොටන් කැබලි දමා අසුන් කරා යෑමට මග ද පිළියෙල කරවී ය. සිරිගුත්ත තැබූ ලෙසට ම සැළි ද තබ්බවා ආසන ද පැණවී ය. සිරිගුත්ත එදා උදෑසන එහි ගොස්, දානය පිළියෙල කරණ ලද දැ’ යි ඇසී ය. ‘ඔව් ඒවා සේරම හරි, එන් බලන්නට දන් පිළියෙල කළේ මෙ තැනැ’ යි සිරිගුත්ත පෙන්නුම් කළ ලෙසට, පෙනුම් කෙළේ ය. සිරිගුත්ත සියල්ල බලා, පසෙකට වී සිටියේ ය.
මිනිස්සු රැස්වූහ. මිථ්‍යාලබ්ධිකයකු බුදුරජුන්ට ආරාධනා කළවිට, එ තැනට මිනිසුන්ගේ පැමිණීම නො වැළැක්කිය හැක්කේ ය. මිථ්‍යාලබ්ධිකයෝත් රැස්වෙති. සම්‍යග්ලබ්ධිකයෝත් රැස්වෙති. මිථ්‍යාලබ්ධිකයෝ බුදුරජුන්ට කරණ ගැහැට දකින රිසියෙන් එති. සම්‍යග්ලබ්ධිකයෝ එන්නෝ දහම් අසා බුද්ධලීලාව බලා, පින් රැස් කර ගන්නා රිසියෙන් ය.
පසු දා, බුදුරජානන් වහන්සේ පන්සියයක් දෙනාත් සමග ගරහදින්නගේ ගෙට වැඩි සේක. ඔහු ගෙයින් පිටතට අවුත් පසඟ පිහිටුවා වැඳ, බුදුරජුන් ඉදිරියෙහි දොහොත් මුදුන් දී සිට ‘ස්වාමීනි! ඔබවහන්සේ සියල්ල දන්නහු යි ද, දෙව් මිනිස් ආදී වූ සතුන්ගේ සිත් සොළොස් අයුරකින් පිරිසිඳ දන්නට සමතෙකැ යි ද සිරිගුත්ත මහතා කීයේ ය යි ද, ඔහු කී ලෙසට සියල්ල නො දන්නහු නම්, ගේ තුළට නො පැමිණෙනු යහපති’ යි ද සිතී ය. මෙසේ සිතා ද බුදුන්ගේ පාත්‍රය ගෙණ ‘පින්වතුන් වහන්ස!. මෙහි වඩින්නැ’ යි කියා නැවැත, ‘අප ගෙට ඇතුල් වන්නන් විසින් වත දැන, ඇතුල් විය යුතු ය’ යි ද කී ය. ‘වත කිමැ’ යි ඇසූවිට එකකු පළමුව ගොස් හුන් කල්හි, එයට පසු අනිකකු ගොස් හිඳිය යුතු ය, ඊටත් පසු ව, තව එකකු ගොස් හිඳිය යුතු ය යි මෙසේ ගොස් හිඳුම වතැ’ යි කී ය. බුදුරජානන් වහන්සේ ‘යහපතැ’ යි පිළිගෙණ තමන්වහන්සේ එකලාව ම එහි වැඩි සේක. ගරහදින්න අඟුරුවළට මඳක් ඈත් ව සිට ‘ස්වාමීනි! වඩිනු මැනැවැ’ යි කී කල්හි උන්වහන්සේ සිය සිරිපා අඟුරුවළට දිගුකළ සේක. එ කෙණෙහි වළමතුයෙහි අතුරා තුබූ කළාල් අරුදන් විය. වළ බිඳගෙණ රියසක් පමණ පියුම් එයින් නැගී ආයේ ය. උන්වහන්සේ පියුම් පිට වැඩම කොට, පණවා තුබූ අසුනෙහි වැඩහුන් සේක. භික්‍ෂූහු ද එසේ ගොස් වැඩ හුන්හ.
ඒ දුටු ගරහදින්නගේ සිරුරෙන් ඩහදිය ගලන්නට වන. වහා දුව ගොස් සිරිගුත්තගේ ඇඟේ එල්ලී ‘මට පිහිටවන්නැ! මට පිහිට වන්නැ’ යි කියන්නට විය. ‘ඇයි කිමැ’ යි සිරිගුත්ත ඇසී ය. ‘අයියෝ! සංඝයා වහන්සේට දෙන්නට දෙයක් කැඳක් බතක් මා පිළියෙල කළේ නැතැ’ යි කී විට සිරිගුත්ත ‘මේ කැඳ හැළි, මේ බත් හැළි, මේ ගිතෙල් හැළි, මේ හකුරු, මේ කැවුම් මුට්ටි, යි කියමින් නොයෙක් හැළිවළන් පෙන්නුම් කරණ ලද්දේ නො වේ දැ යි ඇසූ විට ‘ඒ හැළිවළන්වල කිසිවක් නැතැ’ යි ඔහු කී ය. ඉක්බිති සිරිගුත්ත ‘දැන් කුමක් කරමු ද, නුඔ ගොස් ඒ සැළිවලන් හැර බලව’ යි කියා පිටත් කර හැරියේ ය. හැර බලත්, ‘යම් සැළියක කැඳය’ යි කියන ලද නම්, ඒ සැළිය කැඳින් ද, ‘යම් සැළියක බත්’ යි කියන ලද නම්, ඒ සැළිය බතින් දැ යි මෙසේ එහි වූ හැම සැළියක් ම ඒ ඒ දෙයින් පිරී තිබුනු බව දැක පුදුමයට පැමිණි ගරහදින්න සතුටින් ඉල්පී ගියේ ය. ඔහු සිත පහන් විය. බුදුපාමොක්මහසඟන සකස් කොට වලඳවා අවසන් කොට අනුමෙවෙනිබණ අසනු කැමැති වැ බුදුරජුන්ගේ පාත්‍රය ගත්තේ ය. උන්වහන්සේ බණ වදාරණ සේක් ‘මේ සත්වයෝ නුවණ නැති බැවින්, නුවණින් අන්ධ බැවින්, මාගේ ශ්‍රාවකයන්ගේත් මාගේ ශාසනයේත් ගුණ නො දනිත්, පැණැසින් තොර වූවෝ අන්ධයෝ ය, පියවි ඇස් නැත්තෝ අන්ධයෝ නො වෙති, පැණැසින් යුක්තවූවෝ ඇස් ඇත්තෝ වෙති, පියවි ඇසින් තොරවූවෝ ද පැණැස් ඇත්තෝ නම්, ඇස් ඇත්තෝ, ය යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක:-
යථා සඞ්කාරධානස්මිං උජ්ඣිතස්මිං මහාපථෙ,
පදුමං තත්ථ ජායෙත සුචිගණ්ධං මනොරමං,
එවං සඞ්කාරභූතෙසු අන්‍ධභූතෙ පුථුජ්ජනෙ,
අතිරොචති පඤ්ඤාය සම්මාසම්බුද්ධසාවකො ති.
යම් සේ මහමගැ දැමූ කසළ ගොඩෙක මනා සුවදැති සිත් කලු වූ පියුමෙක් උපදනේ වේ ද, එ පරිද්දෙන් (කසළගොඩෙක හටගත් පියුමක් මෙන්) කසළ ගොඩක් බඳු අන්ධ වූ පෘථග්ජනයන් අතුරෙහි උපන් සම්මා සම්බුදුරජුන්ගේ ශ්‍රාවක තෙමේ ප්‍රඥායෙන් පෘථග්ජන ලෝකය යටපත් කොට බබලයි.
සඞ්කාරධානස්මිං = කසළ ගොඩෙක. කසළරාසියෙක
නන්වැදෑරුම් වූ තණපත්කුණුරොඩු ආදියෙන් මිශ්‍රකරණු ලැබුයේ ට සඞ්කාර’ නමි. ‘නානාවිධෙහි තිණාදීහි සඞ්කරීයතෙ මිස්සිකරීයතෙ’ ති = සඞ්කාරො’ යනු එහි අර්‍ත්‍ථ පැවසීම ය. සඞ්කරත්වයට ගියා වූ එකට මුසුවී ගියා වූ තණපත් ආදිය දමන තැන, දැමූ තැන සඞ්කාරධාන’ නම් වේ. ‘සඞ්කාරස්ස = ධානං සඞ්කාරධානං’ යනු එහි වාක්‍යය යි.
මහාපථෙ = මහමගැ. මහපාරේ.
පථය හෙවත් මාර්‍ගය, ප්‍රකෘතිපථය-ආර්‍ය්‍යපථය යි දෙ පරිදි ය. කුදු මහත් කටයුතු ඇති ජනයා විසින් පයින් යා යුත්තේ ප්‍රකෘති පථය යි. නිවන් බලාපොරොත්තු වන නුවණැත්තන් විසින් පිළිපැදිය යුත්තේ ආර්‍ය්‍යපථය යි. •සො දුවිධො මහාජනෙන පදසා පටිපජ්ජිතබ්බො පකතිමග්ගොච. පණ්ඩිතෙහි නිබ්බානත්‍ථිකෙහි පටිපජ්ජිතබ්බො අරියමග්ගො චාති’ යන මෙයින් ඒ පැහැදිලි ය.
‘පකතිමග්ගො උපන්නකිච්චාකිච්චෙහි ජනෙහි පථීයති ගචඡීයතීති=පථො, පටිපදා පන අමතමහාපුරං ගන්තුකාමෙහි කුලපුත්තෙහි සද්ධාපාථෙය්‍යං ගහෙත්‍වා පථීයති පටිපජ්ජීයතීති = පථො’ යි ඒ දෙ මග විවරණය කළ සැටි ය. මෙහි ගැණෙන්නේ ප්‍රකෘතිපථය යි.
පදුමං තත්ථ ජායෙත සුචිගන්ධං මනොරමං = එහි පිරිසුදු සුවඳැති සිත්කලු වූ පියුමෙක් උපදනේ ද.
‘තත්ථ සුචිගන්‍ධං මනොරමං පදුමං ජායෙථ’ යනු පද සම්බන්ධ යි. පදුම’ නාමයෙන්, එක් සඞ්ඛ්‍යාවිශේෂයෙක් ද කිය වේ. ‘පදුමනිරයෙ නිබ්බත්තො’ යනාදියෙහි ඒ ආයේ ය. මේ ඒ නො වේ. දෙවපූජාදියෙහි උපයෝග වන්නේ හෝ මඩෙහි හට ගන්නේ පදුම’ නම්. ඒ ම මෙහි අභිමත ය. ‘පජ්ජති දෙව පූජාදිං යාතීති, පම්භි පඞ්කම්භි දවති රූහතීති=පදුමං’ යනු වාක්‍යය යි. මෙහි හෙලපියුම්, රත්පියුම් යි දෙවර්‍ගයෙකි. ඒ දෙවර්‍ගය ම මෙහි එන පදුම’ යන්නෙන් ගත වරද නැත.
එවං සඞ්කාරභූතෙසු අන්ධභූතේ පුථුජ්ජනෙ = කසළ ගොඩක් බඳු අන්ධ වූ පෘථග්ජනයා අතරෙහි.
අන්ධ වූ පෘථග්ජන තෙමේ කසළගොඩක් මෙනැ යි මෙයින් වදාළ සේක. ‘සඞ්කාරභූතෙ (සු) අන්ධභූතෙ’ යන දෙපදය ‘පුථුජ්ජනෙ’ යන්නට එක්වන්නේ ය.
අන්ධභාවය, දෙ පරිද්දකින් වේ. මසැස් හා පණැස් නැසීමෙනි මසැස් පිරිහුනේත් පණැස් පිරිහුනේත් අන්ධයා ය. මසැසැ’ යි කීයේ, ඉදිරියෙහි සිටියහුන්ගේ රූපය ගැණීමෙහි සමත් වූ උපකරණ සහිත වූ ඇස්ගඩුවෙහි සුදු ඉංගිරියාවෙන් වට වූ කලු ඉංගිරියාව මැද පිහිටි ප්‍රසාදරූපය යි. එය නටුයේ ද අන්ධ යි. පණැසැ යි කීයේ, කාමාදීනව හා නෙක්ඛම්මානිසංසාදිය දැනීමේ පොහොසත් වූ නුවණ යි. එය නටුයේ ද අන්ධයි. මසැස නැසී ගිය ද, පැණැස තිබේ නම්, ඔහු අන්ධයා යි සැලකීමෙක් ආගමෙහි නැත. චක්ඛුපාල ස්ථවිරයන් වහන්සේ අන්ධයෙකැ යි නො පිළිගැණෙති. මසැස පිරිහීමෙන් වන දුකට වඩා බලගතු දුක්, පණැස නැති වීමෙන්, විඳින්නට සිදු වේ. පැණැස පිළිබඳ අන්ධභාවය ම භයානක ය. එය එලොව මෙලොව දුක් පිණිස වන්නේ ය. සංසාරයෙහි දීර්‍ඝත්වය පිණිස වන්නේ ය. මසැස නැතිවීමෙන් වන්නේ ඉතා ටික දුකෙකි. එය මෙලොච කටයුතු කිරීමෙහි අපොහොසත් බැවින් වන්නෙකි.
පුථුජ්ජනශබ්දය ලෞකික මහාජනයා කෙරෙහි ම නැගුනෙකි. එයට යුතුකම් රාශියකි. ඒ යුතුකම් මෙසේ ය:- “ පුථු කිලෙසෙ ජනෙතීති, පුථු අවිහතසක්කායදිට්ඨිකාති, පුථු සත්‍ථාරානං මුඛුල්ලොකතොති, පුථු සබ්බගතීහි අවුට්ඨිතොති, පුථුනානාහිසංඛාරෙ අභිසඞ්ඛරොතීති, පුථ නානා ඔඝෙහි වූයහතීති, පුථු පඤ්චසු කාමගුණෙසු රත්තො ගිද්ධො ගථිතො මුච්ඡිතො අජඣාපන්නො ලග්ගො ලගිතො පළිබුද්ධොති, පුථු පංචහි නීවරණෙහි ආවටො නිවුතො ඔවුතො පිහිතො පටිච්ඡන්තො පටිකුජ්ජීතොති, පුථූනං වා ගණනපථමතීතානං අරියධම්ම පරම්මුඛානං නීචධම්මසමාචාරානං අන්තොගධත්තාති, පුථුවා අයං විසුංයෙව සඞ්ඛං ගතො විසංසට්ඨො සීලසුතාදිගුණයුත්තෙහි අරියෙහි ජනොපි = පුථුජ්ජනො” යි.
බොහෝ කෙලෙසුන් උපදවනුයේ, බොහෝ වූ නො නැසූ සත්කායදෘෂ්ටි ඇත්තේ, බොහෝ ශාස්තෘවරයන්ගේ මූණ බලනුයේ බොහෝ සියලු ගතිවලින් නැගී නො සිටියේ, පුණ්‍යාභිසංස්කාරාදී විවිධ සංස්කාරයන් රැස් කරණුයේ, නානාවිධ ඔඝයගෙන් පමුණුවනු ලබනුයේ, නොයෙක් සන්තාපයන්ගෙන් තැවෙනුයේ, නොයෙක් පරිදාහයන් විසින් දවනු ලබනුයේ, බොහෝ වූ පංචකාම ගුණයන්හි ඇලුනේ, ගිජුවූයේ, ගෙතුනේ, මුසපත්වූයේ, බැසගත්තේ, වැළඳගැණුනේ, වැසුනේ, යටිකුරුවූයේ, ‘පෘථග්ජන’ නමි. එසේ ම ගණන් මග ඉක්ම ගිය ආර්‍ය්‍යධර්‍මයන්ට පිටි පෑ නීව ධර්‍මයෙහි හැසිරෙන්නවුන්ට ඇතුළත් වූයේ, ශීලශ්‍රැතාදිගුණ ඇති ආර්‍ය්‍යයන් කෙරෙන් වෙන් වූයේ, පෘථග්ජන නැමැයි ද කීයේ ය. මේ පාලි වාක්‍යප්‍රදේශයෙහි කෙටි තේරුම යි. පදරුත් පමණින් පැවසීම යි. මේ සියලු කරුණු ඉතා කොටින් කැටි කොට,
“පුථුනං ජනකාදීහි - කාරණෙහි පුථුජ්ජනො,
පුථුජ්ජනන්තොගධත්තා - පුථුවායං ජනො ඉති”
යි කීහ. බොහෝ වූ කෙලෙස් ඉපදවීමාදී වූ කාරණයෙන් ද, බොහෝ වූ අනාර්‍ය්‍යජනයන් කෙරෙහි ඇතුළත් බැවින් ද මේ ජන තෙමේ ආර්‍ය්‍යයන් කෙරෙන් වෙන් වූයේනුයි පෘථග්ජන නම් වේ.
පෘථග්ජන තෙමේ අන්ධපෘථග්ජන, කල්‍යාණපෘථග්ජන යි දෙ වැදැරුම් කොට බුදුරජුන් විසින් වදාරණ ලද්දේය.
“දුවෙ පුථුජ්ජනා වුත්තා - බුද්ධෙනාදිච්චබන්ධුනා,
අන්ධො පුථුජ්ජනො එකො - කල්‍යාණෙකො පුථුජ්ජනො” යි.
මේ කුසල් ය, මේ අකුසල් ය, මේ සදොස් ය, මේ නිදොස් ය යනාදිය දැන ගන්නා නුවණින් තොර වූයේ අන්ධපෘථග්ජන’ නමි. පංචස්කන්ධාදීන් පිළිබඳ මොහුගේ දැනීම කියනු කුමට යැ. ‘තත්ථ යස්ස ඛන්ධධාතුආයතනාදිසු උග්ගහපරිපුච්ඡා සවණ ධාරණ පච්චවෙක්ඛණානි නත්ථි අයං අන්ධපුථුජ්ජනො’ යි කෙටි විවරණය යි. චතුරාර්‍ය්‍යසත්‍යධර්‍මයන්ට අනුකූල වූ සත්‍යානුලෝමික ඥානයෙන් හා වැඩ අවැඩ දන්නා නුවණින් ද යුක්ත වූයේ කල්‍යාණ පෘථග්ජන’ නමි. ‘යස්ස තානි අත්‍ථි සො කල්‍යාණ පුථුජ්ජනො’ යි එහි විවරණ යි.
අතිරොචති = යටපත් කොට බබලයි. වැඩියෙන් බබලයි.
පඤ්ඤාය = ප්‍රඥාවෙන්.
සම්මාසම්බුද්ධසාවකො = සම්මා සම්බුදුන්ගේ ශ්‍රාවක තෙමේ ය.
‘සම්මා සම්බුද්ධ’ යනු බුදුරජුන් කෙරෙහි ම යෙදෙන නාමයක් බැවින්, බුදුරජුන්ගේ ම ශ්‍රාවක තෙමේ ‘සම්මාසම්බුද්ධසාවකො’ යන්නෙන් ගැණේ. ශ්‍රැතබුද්ධ, ප්‍රත්‍යෙකබුද්ධයන්ගේ ශ්‍රාවකයෝ මෙහි ලා නො ගැණෙති. බුද්ධ’ යන ශ්‍රැතබුද්ධාදීන් සඳහාත් සම්බුද්ධ’ යන්න, ප්‍රත්‍යෙකබුද්ධාදීන් සඳහාත් යෙදෙතත් සම්මාසම්බුද්ධයන්න’ අපගේ ස්වාමිදරු වූ බුදුරජානන් වහන්සේ කෙරෙහි ම ආයේ ය.
ශ්‍රාවකයෝ නම්, බුදුරජානන් වහන්සේගේ අවවාදානුශාසනා සකස් කොට අසන්නෝ ය. ‘භගවතො ඔවාදානුසාසනානි සක්කච්චං සුණන්තීති = සාවකා’ යන්නෙන් එබව පැහැදිලි ය. ඒ අනු ව ගත් කල්හි, යටත්පිරිසෙයින් සරණගතඋපාසකඋපාසිකාවෝ ද ශ්‍රාවකයෝ වෙති. ‘හෙට්ඨිමකොටියා සරණගතඋපාසකො සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නො හොති’ යි ඒ කීහ.
ශ්‍රාවකභාවයාගේ සිද්ධිය මෙසේ බැවින්, භික්‍ෂු-භික්‍ෂුකීන්ගේ ශ්‍රාවකභාවයෙහි ලා කියනු කිම. භික්‍ෂු, භික්‍ෂුකී, උපාසක, උපාසිකා යන සිවු පිරිසෙහි ශ්‍රාවකභාවය මෙසේ සරණගතමාත්‍රයකින් සිදුවතුදු නියතශ්‍රාවකභාවය වන්නේ, ඒ ඒ මාර්‍ගඵලයටනට පැමිණීමෙනැ යි කියන ලද්දේ ය. එය ධර්‍මදේශනාවෙහි මුල, ධර්‍මදේශනාවෙහි මැද, ධර්‍මදේශනාවෙහි කෙළවර යන තුන් තැන්හි උනුන් පිළිබඳ ශ්‍රද්ධාප්‍රඥාදීන්ගේ මහත්බව අනු ව නුවණ මුහුකුරා යෑම අනුව සිදු වේ.
ශ්‍රාවකයෝ වනාහි, බුදුරජුන්ගේ හෝ සබ්‍රහ්මචාරීන්ගේ චතුස්සත්‍ය හා කර්‍මස්ථානකථාවන් අසා, එ කෙණෙහි ම හෝ එයට පසුව ශ්‍රාවකභාවයට සුදුසු පිළිවෙතෙහි පිළිපදින්නෝ, විදසුන් කුළුගන්වා පිළිවෙත් වැඩීමෙන්, නැතහොත් වැඩෙන්නා වූ පිළිවෙතින් චතුස්සත්‍යධර්‍මයන් ප්‍රතිවේධ කොට, තමන්ගේ පැතුමට අනුව ශ්‍රාවකභාවයට පැමිණෙන්නෝ ය. එකල ශ්‍රාවකයෝ ශ්‍රාවක බුද්ධ’ යි හඳුන්වනු ලැබෙති. චතුස්සත්‍යාවබෝධයෙන් ම නියම ශ්‍රාවකභාවය ලත් ආර්‍ය්‍යයන් වහන්සේ අධිකාර, ඡන්ද දෙඅඟින් යුත් පැතීම් ඇති ව ඒ පිණිය වීර්‍ය්‍යය කළහ. මේ දෙ අඟ ඒ මේ ශ්‍රාවකභාවය ලැබීම පිණිස වුවමනා ම ය.
අග්‍රශ්‍රාවකභාවය ලැබූ ආර්‍ය්‍යයන් වහන්සේලා එකාසඞ්ඛ්‍යකල්පලක්‍ෂයක් ම ශ්‍රාවකපාරමිතා පිරූහ. බුදුරජානන් වහන්සේගේ මවුපියෝ ද, අසූමහාශ්‍රාවකයෝ ද, බුද්ධශ්‍රාවකභාවය පිණිස කප් ලක්‍ෂයක් පාරමිතා පිරූහ. මේ ශ්‍රාවකයෝ මෙහි දැක් වූ කාල ප්‍රමාණයෙන් අඩු ව පිරූ පාරමිතාවන්ගෙන් නො ලැබෙන්නේ ය. මේ කාලය, පැරුම් පිරීමෙහිලා ම යැවිය යුතු ය. මෙයට අඩු කාලයකින් ඒ පිණිස වූ නුවණ නො මේර වියහැකි ය. අඩුකාලයකින් නො වන්නේ එහෙයිනි.
මහබෝසතුන් පිළිබඳ දානපාරමිතාදීන් විසින් වඩනා ලද ප්‍රඥාපාරමිතාව යම්සේ පිළිවෙළින් ගැබ් ගන්නී, මෝරා යන්නී බුධඥානය සම්පුර්‍ණ කරන්නී ද’ එ මෙන් දානාදීන් විසින් වඩනා ලද ප්‍රඥාපාරමිතාව පිළිවෙළින් සුදුසු සේ ගැබ් ගන්නී, මෝරා යන්නී, ශ්‍රාවකබෝධිඥානය සම්පුර්‍ණ කරන්නී ය. මුන්වහන්සේලා දන් දීමෙහි පුරුද්ද නිසා නැගුනු අලෝභාද්ධ්‍යාසය හේතු කොට භවයෙහි කිසිත් තැනෙක නො ලැගුනු සිත් ඇත්තෝ වෙති. බලාපොරොත්තු රහිත වෙති. ශීලපරිචයෙන්, මොනවට සංයත වූ කය වචන ඇති බැවින්, පිරිසිදු කායවාක්කර්‍ම ඇත්තෝ වෙති. පිරිසිදු ආජීවය ඇත්තාහු වෙති. ඉන්ද්‍රියයන්හි මොනවට වැසූ දොර ඇත්තාහු වෙති. භෝජනයෙහි පමණ දන්නෝ ය. ජාගරියානුයෝගයෙන් සිත සමාධි කරන්නෝ ය. මුන්වහන්සේ පිළිබඳ ජාගරියානුයෝගය ගතපච්චාගතිකවශයෙන් සිදු වේ. මොවුනට අධිකාරසම්පත්තිය හේතු කොට, නිදුකින් ම අෂ්ටසමාපත්ති, පංචාභිඥා, ෂඩභිඥාවන්ට ස්ථාන වූ පූර්‍වභාගවිදර්‍ශනා යන මොවුහු අත්පත් වෙති. වීර්‍ය්‍යපාරමිතාදීහු එහි ම ඇතුළත් ය.
ශ්‍රාවකභාවය පිණිස දානාදී වූ පින් රැස්කිරීමේ දී ඒ පිළිබඳ යම් උත්සාහයෙක් නැගී සිටීමෙක් වේ ද, ඒ වීර්‍ය්‍ය’ නමි. ආක්‍රෝශ පරිභවාදිය ඉවසීම ක්‍ෂාන්ති’ නමි. දානශීලාදිසමාදාන, අවිසංවාදනය සත්‍ය’ නමි. අචලසමාදානාධිෂඨානය අධිෂ්ඨාන’ නමි. දානශීලාදියට ප්‍රතිෂඨා වූ සත්වයන් කෙරෙහි වූ හිතෛෂීභාවය මෛත්‍රී’ නමි. සත්වයන් විසින් කරණලද විප්‍රකාරයන්හි මැදහත් බව උපේක්‍ෂා’ නමි. දාන සීල භාවනාවන්, සීල සමාධි ප්‍රඥාවන් සිදු වූ කල්හි, වීර්‍ය්‍යාදීහු සිදු වූවාහු ම වෙති.
ධම්මචක්කප්පවත්තන සූත්‍රය දෙසූ දවසෙහි, කොණ්ඩඤ්ඤ ස්ථවිරයන් වහන්සේ හා අටළොස්කෙළක් දිව්‍යබ්‍රහ්මයෝ නිවන් ලැබීමෙන් ශ්‍රාවකභාවයට පැමිණියෝ ය. අනත්තලක්ඛණ සූත්‍රය දෙසූ දවසෙහි, පඤචවර්ගිකභික්‍ෂූන් වහන්සේලා ශ්‍රාවකයෝ වූහ. යසකුලපුත්‍රයා ප්‍රධාන කොට සිටි පස්පණස්දෙන හා භද්දවග්ගිය කුමාරයෝ තිස් දෙන ද මගපල ලබා ශ්‍රාවකයෝ වූහ. අනන්තපරියාය සූත්‍රදේශනාවසානයෙහි, උරුවෙල කසුප් ආදී දහස් ජටිලයෝ ද, වැල්මීවනයෙහි දී, බිම්සරරජු ප්‍රධාන කොට ඇති එකොළොස් නහුතයක් බ්‍රාහ්මණ ගෘහපතීහු ද, එහිදී ම තෙරුවන් සරණ ගිය එක් නහුතයක් බ්‍රාහ්මණගෘහපතීහු ද, තිරොකුඩ්ඩ සුත්‍රය අසා අසූසාරදහසක් දෙන ද, සුමනමාලාකාරසමාගමෙහි අසුසාරදහසක් දෙන ද, ධනපාලකසමාගමෙහි, දසදහසක් දෙන ද, ඛදිරඞ්ගාරජාතකසමාගමෙහි, අසුසාරදහසක් දෙන ද, ජම්බුකාජීවසමාගමෙහි, අසුසාරදහසක් දෙන ද, ආනන්දසෙට්ඨිසමාගමෙහි, අසූසාරදහසක් දෙන ද, පාසාණකචෛත්‍යස්ථානයෙහි පාරායණ සූත්‍රය වදාළ දින, තුදුස්කෙළක් ද, යමාමහපෙළහර දවසෙහි, විසිකෙළක් ද, අභිධර්‍මදේශනායෙහි, අසූකෙළක් ද, දෙවාරෝහණයෙහි තිස්කෙළක් ද, සක්කපඤ්ඤ සූත්‍ර දේශනායෙහි, අසූදහසක් ද, ශ්‍රාවකභාවයට පැමිණියෝය. මහාසමය, මඞ්ගල, චූලරාහුලොවාද, සමචිත්තපටිපදා සූත්‍ර දේශනාවන්හි, ශ්‍රාවකභාවයට පැමිණියවුන්ගේ ගණනක් කිසිලෙසකින් නො දැක්විය හැකි ය. අටුවාවන්හි ඒ ඒ තන්හි මෙතෙක් මෙතෙක් දෙන මගපල ලැබූහ යි දැක්වූයේ මගපල ලැබූවන්ගේ ගණනක් දැන්විය හැකි නිසා නොවේ. ඒ වනාහි ‘ලොකානුකම්පාය’ යන ධර්‍මපදය විස්තර කරණු කැමැත්තෙන්, ශ්‍රාවකභාවය ලැබූවන්ගෙන් ඉතා ටිකදෙනකු ගෙණ හැර දැක්වීමෙකි. ශාසනික ප්‍රතිපදාව අශූන්‍ය බැවින් බුද්ධ ශ්‍රාවකභාවයට පැමිණියවුන්ගේ ගණනක් පිරිසිඳ නො දැක්විය හැකි ය.
මොවුන් අතරෙහි කොණ්ඩඤ්ඤ, සාරීපුත්ත, මහාමොග්ගල්ලාන, මහාකස්සප, අනුරුද්ධ, භද්දිය, ලකුණ්ටකභද්දිය, පිණ්ඩෝලභාරද්වාජ, පුණ්ණ, මහාකච්චාන, චුල්ලපන්ථක, මහාපන්ථක, සුභූති, රේවත, කඞ්ඛාරෙවත, සොණ, කුටිකණ්ණසොණ, සීවලී, වක්කලී, රාහුල, රට්ඨපාල, කුණ්ඩධාන, වඞ්ගීස, උපසේන, දබ්බ, පිලින්දිවච්ඡ, බාහිය, කුමාරකස්සප, මහාකොට්ඨිත, ආනන්ද, උරුවෙලකස්සප, කාලුදායි, බක්කුල, සෝභිත, උපාලි, නන්‍දක, නන්ද, මහාකප්පිණ, සාගත, රාධ, මොඝරාජ, යන මුන්වහන්සේලා බුදුරජුන් වෙතින් තනතුරු ද ලබා ශ්‍රාවකවූවෝ ය.
මහාපජාපතිගෝතමී, ඛෙමා, උප්පලවණ්ණා, පටාචාරා, ධම්මදින්නා, නන්දා, සොණා, සකුලා, කුණ්ඩලකේසා, භද්දාකාපිලානී, භද්දකච්චානා, කිසාගෝතමි, සිගාලමාතා යන මේ භික්‍ෂුකීහු ද තනතුරු ලබා ශ්‍රාවිකාවෝ වූහ.
තපස්සුභල්ලික, අනාථපිණ්ඩික, චිත්තගහපති, හත්ථක ආලවක, මහානාම, උග්ගගහපති, උග්ගතගහපති, සූරම්බට්ඨ, ජීවක, කොමාරහච්ච, නකුලපිතුගහපති යන මොවුහු තනතුරු ලබා ශ්‍රාවකභාවයට පැමිණි උපාසකයෝ ය.
සුජාතා, විසාඛා, බුජ්ජුත්තරා, සාමාවතී, උත්තරා, සුප්පවාසා, සුප්පියා, කාතියානි, නකුලමාතා, කාලි, යන මොවුහු තනතුරු ලබා ශ්‍රාවකභාවයට පැමිණි උපාසිකාවෝ ය.
අසූ මහාශ්‍රාවක ගණයට ඇතුළත් හැම දෙනා වහන්සේ ම තනතුරු ලැබූ බවෙක් නො පෙණේ. අසූ මහාශ්‍රාවකගණය මෙසේ ය:-
කොණ්ඩඤ්ඤ, සාරීපුත්ත, මහාමොග්ගල්ලාන, මහාකස්සප, අනුරුද්ධ, භද්දිය, ලකුණ්ටකභද්දිය, පිණ්ඩොලභාරද්වාජ, මන්තානීපුත්තපුණ්ණ, මහාකච්චාන, චුල්ලපන්ථක, මහාපන්ථක, සුභූති, ඛදිරවනියරේවත, කඞ්ඛාරෙවත, කොලිවිසසොණ, කුටිකණ්ණසොණ, සීවලි, වක්කලී, රාහුල, රට්ඨපාල, කුණ්ඩධාන, වඞ්ගීස, උපසේන, දබ්බ, පිලින්‍දිවච්ච, බාහියදාරුචීරිය, කුමාරකස්සප, මහාකොට්ඨිත, ආනන්ද, උරුවෙලකස්සප, කාලුදායි, බක්කුල, සොභිත, නන්දක, නන්ද, මහාකප්පින, සාගත, රාධ, මෝඝරාජ, භද්දිය, වප්ප, මහානාම, අස්සජි, කිම්බිල, භගු, චුන්‍ද, නාලක, සෙලුදායි, භද්දාලි, තොදෙය්‍ය, කප්ප, ජතුකණ්ණ, පොසාල, පුණ්ණක, ධොතක, නන්ද, අජිත, තිස්සමෙත්තෙය්‍ය, මෙත්තිය, උපසීව, හෙමක, භද්දාවුධ, උදය, පිඞ්ගිය, මේඝිය, ඡන්න, උපවාණ, භදදජි, යස, ලක්ඛණ, ගවම්පති, පුණ්ණජී, නදීකස්සප, අංගුලිමාල, ගයාකස්සප, අචෙලකස්සප, සභිය, සකුලදායි යන මොවුහු ය.
මහමගැ දැමූ ඉතා පිළිකුල් වූ කසළ ගොඩෙහි ද මනා සුවඳැති සිත්කලු වූ පියුම් උපදනේ, රජමහඇමැති ආදීන්ගේ හිසෙහි පැලඳීමට යම්සේ සුදුසු වේ ද, එ මෙන් කසළ ගොඩක් බඳු නුවණ නැති පුහුදුන් අතර උපන් බුද්ධශ්‍රාවක තෙමේ, තම නුවණින් කාමයෙහි ආදීනවත්, නෙක්ඛම්මයෙහි ආනිසංසත්, දැක ඒ පුහුදුන් කෙරෙන් නික්ම පැවිදි ව ඒ’ පැවිදි පමණින් ද, ඉන් මත්තෙහි ශීල, සමාධි’ ප්‍රඥා, විමුක්ති, විමුක්තිඥානදර්‍ශනයන් සම්පුර්‍ණ කොට, සාමාන්‍ය ලෝකයා ඉක්මවා, යට කොට බබලන්නේ ය, යනු මේ ගාථා දෙකහි ඉතාම කෙටි අදහස ය.
ධර්‍මදේශනාවසානයෙහි අසූ සාරදහසක් පාණීන්ට ධර්‍මාවබෝධය වූයේ ය. ගරහදින්න-සිරිගුත්තයෝ සෝවන් පලයට පැමිණියෝ ය. ඔවුහු තම තමන් අයත් සියලු ධනය බුදුසසුන් වැඩ පිණිස යෙදූහ. ස්වාමිදරු වූ බුදුරජානන් වහන්සේ හුනස්නෙන් නැගී වෙහෙරට වැඩි සේක. ‘මහ පුදුමය බුදුගුණ, අනේ! අරහැටි බිහිසුණු කිහිරඟුරු ගොඩක් බිඳ ගෙණ පියුම් පිපියා නො වේ දැ’ යි සවස් කල්හි ධර්‍මශාලාවෙහි රැස් වූ භික්‍ෂූන් වහන්සේලා කතා කරන්නට වූහ. එකල ශාස්තෘ වූ බුදුරජානන් වහන්සේ එහි වැඩම කොට ‘මහණෙනි! මා බොධිසත්වකාලයෙහි පියුම් පිපී මා පිළිගත් සැටි තමුසේලා නො දන්නහු දැ’ යි අසා, ‘ස්වාමීනි! අපි නො දනුම්හ, කවදා ද ස්වාමීනි! එසේ වූයේයි ඇසූ විට බුදුරජානන් වහන්සේ ඛදිරඞ්ගාර ජාතකය වදාළ සේක.
ගරහදින්න වස්තුව නිමි.