තෙසං සම්පන්නසීලානං අප්පමාදවිහාරිනං
සම්මදඤ්ඤා විමුත්තානං මාරො මග්ගං න වින්‍දති.
පිරිපුන් සිල් ඇති, සිහියෙන් යුතු විසුම් ඇති, මනා කොට සිවු සස් දැන සියලු කෙලෙසුන්ගෙන් මිදුනු ඔවුන් ගිය මඟ මාර තෙම නොදනී.
ඉසිගිලිකන්දපාමුල පිහිටි එක්තරා කලුගල්තලාවෙක අප්‍රමාද විහරණයෙන් යුක්ත ව වැඩ හුන් ගෝධික තෙරණුවෝ, මහත් වූ වීර්‍ය්‍යයෙන් දුරු කළ ආත්මාලය ඇති ව භාවනා කළහ. එයින් උන්වහන්සේට ලැබුනේ කෙලෙස් යටපත් වීමෙන් සාමයික චේතෝවිමුක්තියක් පමණෙකි. මුළුමනින් කෙලෙස් සිඳීයෑමෙක් නො වීය. ලැබුනී කාලිකචිත්තවිමුක්තියකි. තමන් මැඩ ගෙණ සිටි, එක්තරා රෝගයක් හේතු කොට, උන් වහන්සේ මෙසේ පිරිහී ගියහ. එහෙත් එයින් පසුබට නො වූවෝ, නැවැත නැවැතත් කිහිපවරක් ධ්‍යාන උපදවා ගත්තෝ ද, ඒ හැමවරෙක ම ධ්‍යානයෙන් ගිලිහුනෝ ය. සත්වනවර ද, ධ්‍යාන උපදවා ගෙණ ‘මම සවරක් ම ධ්‍යානයෙන් පිරිහුනෙමි, පිරිහුනු ධ්‍යාන ඇත්තහුගේ ගතිය, හෙවත් මත්තෙහි ලබන ආත්මභාවය මේ ය යි නියම කරණු බැරි ය, ඒ අනියත ය, දැන් මම ලබා ඉන්නා මේ ධ්‍යානයෙනුත් පිරිහී ගියෙම් නම්, ඒ මහත් හානියකි, නපුරු සිතිවිලි උපදවමින් ජීවත්වීමට වඩා, මියයෑම හොඳ ය, මේ ධ්‍යානයෙන් පිරිහෙන්නට මත්තෙන් මිය යමි’ යි සිතා දැළිපිහිය අතට ගෙණ ‘බෙල්ල කපා ගණිමි’ යි ඇඳෙහි වැතිර ගත්හ. එවිට මාර තෙමේ උන්වහන්සේගේ අදහස දැන ‘මේ මහණ බෙල්ල කපා ගන්නට දැළිපිහියක් ගෙණ ඇඳ වැතිර ගත්තෝ ය, බෙල්ල කපා ගැණීමට සිතන්නෝ, ජීවිතයෙහි බලාපොරොත්තු නැත්තෝ ය, බොහෝ දෙනෙක් මැරෙන්නට කලින් විදසුන් වඩා රහත් වෙති, මෙය වළකන්නට මා යමක් කියුව ද, ඒ නො පිළිගනිත්, බුදුන් ලවා ම මෙය වළක්වන්නෙමි’ යි අන් වෙසක් ගෙණ බුදුරජුන් වෙත ගොස්,
“කිසිත් තැන කිසිලෙස් - නො සැලෙන පැණැති මුනිසඳ!
පිණිපා කෙරෙම් ඔබ පා - දිමුත් සක්ලකුණෙන් තුම්,
.
යට කළ මරණැතී - නො සැලෙන දිමුත මුනිසඳ!
කැමැති යි ඔබේ සව්වෙක් - සියදිවි නසා ගැණුමට,
.
මහබා මුනිඳු සඳ! - මහදන මැද පතළගුණ,
වළකනු මැනැවි දැන් එය - නො තබා ඔහුට එහි ඉඩ,
.
මුනි සඳුනි! සිරිමත් - තුන් ලෝ එකලු කළ ඔබෙ,
සසුන් පිළිවෙත ඇලුනු - රහත් පලයට නො ම පත්,
.
ඉදිරියෙහි තව තව - හික්මුමැති සව්වෙක් සෙකී,
කවර ලෙසකින් නම් මෙහි - සියදිවි නසා ගන්නෙ ද?”
යනු කීයේ ය.
ගෝධික තෙරණුවෝ, දැළිපිහිය අතට ගත්හ. බුදුරජානන් වහන්සේ ‘මෙතෙමේ මාරයා’ යි දැන ‘මාරය! නුවණැත්තෝ මෙසේ ද කෙරෙති, ජීවිතය බලාපොරොත්තු නො වෙති, ගෝධික තෙමේ මුල්සහිත වූ තෘෂ්ණාව උපුටා දමා පිරිනිවි යේ, යි වදාරා භික්‍ෂූන් කැටුව ගෝධික තෙරුන් හොත් තැනට වැඩියෝ, එ වේලෙහි ‘මේ භික්‍ෂුනමගේ ප්‍රතිසන්ධිවිඥානය කො තැන පිහිටි යේ දැ’ යි අඳුරට වැටුනකු සේ සොයා යන මාරයා දැක, ඔහුගේ දුම් අඳුරුබව භික්‍ෂූන්ට දක්වා ‘මහණෙනි! පාපී වූ මේ මාරයා ගෝධිකකුලපුත්‍රයාගේ ප්‍රතිසන්ධිය කො තැන පිහිටියා දැ යි විපරම් කරයි, ගෝධික තැන පිරිනිවියේ නො පිහිටියා වූ විඥානයෙනැ’ යි වදාළ සේක. නැවැත මාර තෙමේ කොළු වෙසක් ගෙණ බෙලුවපණ්ඩුවීණාවත් රැගෙණ බුදුරජුන් වෙත ගොස්,
“සොයන්නෙම් උඩ යට - සරස් සිවුදිග අනුදිග,
ගෝදික තෙරුන් ගිය තැන - කො තැන් දැ යි මම් නො දනිමී” යි
කීයේ ය. බුදුරජානන් වහන්සේ ‘ප්‍රාඥ වූ ධෘතිමත් වූ ධ්‍යාන වඩන්නා වූ ධ්‍යානයෙහි නිතර ඇලී සිටියා වූ ජීවිතාලය හැර දමා රෑ දාවල පිළිවෙතෙහි යෙදී සිටි ගෝධික තෙමේ මරසෙන් දිනා නැවැත ඉපැත්මට නො එන සේ මුල් සහිත වූ තෘෂ්ණාව උදුරා පිරිනිවියේ ය’ යි වදාළ කල්හි සෝකයෙන් මැඩුනු මාරයාගේ කිසිල්ලෙන් වීණා ව ගිලිහී ගියා ය. එයින් නො සතුටු වූ මාර තෙමේ ද අතුරුදහන් වී ය.
නැවැත, බුදුරජානන් වහන්සේ ‘පාපය! තට ගෝධික තැනගේ උත්පත්තිය සොයනු බැරි ය, තා තබා තා වැනි මාරයන් දහසකටත් ඒ කරණු බැරි වැඩෙකැ’ යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක:-
තෙසං සම්පන්නසීලානං අප්පමාදවිහාරිනං,
සම්මදඤ්ඤා විමුත්තානං මාරො මග්ගං න වින්‍දතීති.
සීලයෙන් පිරිපුන් නො පමා විහරණ ඇති මොනවට සිවුසස් දැන මිදුනු රහතුන් වහන්සේ වැඩිය මග මාර තෙමේ නො දනියි.
සම්පන්නසීලානං=පිරිපුන් සිල් ඇති.
පිරිපුන්සිල් ඇත්තේ නම්, මගපල පසක් කළ ආර්‍ය්‍යයන් වහන්සේලා ය. උන්වහන්සේලා ලෞකිකවූත් ලෝකෝත්තරවූත් සීලයෙන් පිරී සිටියෝ ය. සීලයෙහි අඩු බවෙක් උන්වහන්සේලා කෙරෙහි නම් නො වන්නේ ය.
අප්පමාදවිහාරිනං=අප්‍රමාදවිහරණ ඇති.
ආර්‍ය්‍යයන් වහන්සේලා නිතර සතර ඉරියව්වෙහි ම ස්මෘතිමත් ව වාසය කරති. එ හෙයින් උන්වහන්සේලා ‘අප්පමාදවිහාරි’ යි කියනු ලැබෙත්.
සම්මදඤ්ඤා විමුත්තානං=මොනවට දැන මිදුනා වූ.
‘සම්මා’ යනු නිපාත යි. තතුලෙයින් යනු, එහි පැහැදිලි තේරුම යි. ‘ අඤ්ඤා’ යනු පුර්‍වක්‍රියාපද යි. අඤ්ඤාය යි තුබූ තන්හි, ය ලොප්වී ගොස් ය. ‘සිවුසස්දහම් තතු ලෙසින් දැන’ යනු මුළුල්ලෙහි තේරුම යි. ස්කන්ධයන්ගේ රාශ්‍යර්‍ත්‍ථය-ආයතනයන්ගේ ආයතනාර්‍ත්‍ථය-ධාතූන්ගේ ශූන්‍යාර්‍ත්‍ථය-දුඃඛසත්‍යයාගේ පීඩනාර්‍ත්‍ථය-සමුදයසත්‍යයාන්ගේ ප්‍රභවාර්‍ත්‍ථය-නිරෝධසත්‍යයාගේ ශාන්තාර්‍ත්‍ථය-මාර්‍ග සත්‍යයාගේ දර්‍ශනාර්‍ත්‍ථය, ‘සියලු සංස්කාරධර්‍මයෝ අනිත්‍යයහ’ යන මේ ආදි භේදය හෝ අවබෝධ කොට, තීරණය කොට, දැනුම චතුස්සත්‍යය තතු ලෙසින් දැනීම නම් වේ. ඒ කීහ මෙසේ:- “සම්මා අඤ්ඤාය ඉදං වුත්තං හොති, ඛන්ධානං ඛන්ධට්ඨං ආයතනානං ආයතනට්ඨං ධාතූනං සුඤ්ඤට්ඨං දුක්ඛස්ස පීළනට්ඨං සමුදයස්ස පභවට්ඨං නිරොධස්ස සන්තට්ඨං මග්ගස්ස දස්සනට්ඨං සබ්බෙ සඞ්ඛාරා අනිච්චාති එවමාදිභෙදං වා සම්මා යථාභූතං ජානිත්වා තීරයිත්වා තුලයිත්වා විභාවෙත්‍වා” යි.
ප්‍රධාන විසින් විමුක්ති දෙකෙකි. චිත්තවිමුක්තිය - නිර්‍වාණය කියා. මේ දෙක නැවැත තදඞ්ග, වික්ඛම්භන, සමුච්ඡෙද, නිස්සරණ, පටිප්පස්සද්ධි යි පසකට බෙදේ. එහි තදඞ්ගවික්ඛම්භනයෝ චිත්ත විමුක්තියෙහි ලා ද, සමුච්ඡේද, නිස්සරණ, පටිප්පස්සද්ධීහු නිර්‍වාණයෙහි ලා ද ගැණෙති. විමුක්ති දෙකෙකැ යි කීයේ එහෙයිනි.
අෂ්ටවිධසමාපත්තීහු නීවරණාදි විරුද්ධ ධර්‍මයන්ගෙන් මිදී සිටි බැවින්, චිත්තවිමුක්ති නම් වෙති. නිර්‍වාණය, සමුච්ඡේද, නිස්සරණ පටිප්පස්සද්ධිවිමුක්තීන්ගේ ශක්තියෙන් සියලු සඞ්ඛතධර්‍මයන්ගෙන් මිදීසිටි බැවින් විමුක්ති නම් වේ.
දානවස්තුපරිත්‍යාගාදී වූ ඒ ඒ අඞ්ගයන්ගෙන් හා, නාම රූප ධර්‍මයන් පිරිසිඳ දැනීම් ආදී වූ විදර්‍ශනාඞ්ගයන්ගෙන් සිතේ නො පිරිහීම, අනර්‍ත්‍ථයන්ගෙන් මිදුනු බැවින්, විමුක්ති නම් වේ. එහි, වස්තු පරිත්‍යාගය කරණ කොට මාත්සර්‍ය්‍යලෝභාදියෙන් ද, ශිලය කරණ කොට ප්‍රාණඝාතාදියෙන් ද, නාමරූපපිරිසිඳීම කරණ කොට සත්කායදෘෂ්ටියෙන් ද, ප්‍රත්‍යයපරිග්‍රහණය කරණ කොට අහේතුක විෂමහේතුදෘෂ්ටීන්ගෙන් ද, ඒ ඒ ප්‍රත්‍යයන් පිළිබඳ සැක දුරුවීම කරණ කොට කෙසේ කෙසේ දැ යි පැවැති සැකයෙන් ද, කලාප සම්මර්‍ශනය කරණ කොට මම ය, මාගේ ය යි ගැණීමෙන් ද, මග නො මග දැනීම කරණ කොට නො මග මගය යන හැඟීමෙන් ද, ඉපැත්ම දැකීම කරණ කොට, උච්ඡෙදදෘෂ්ටියෙන් ද, විනාශය දැකීම කරණ කොට, ශාශ්වතදෘෂ්ටියෙන් ද, භයවශයෙන් දැකීම කරණ කොට, භයෙක් නැත යන හැඟීමෙන් ද, ආදීනව දැකීම කරණ කොට, රසවිඳගැණුමෙක් ය යන කල්පනාවෙන් ද, නිර්‍වෙදය දැකීම කරණ කොට, ඇලිය යුත්තක් ය යන හැඟීමෙන් ද, මිදෙනු කැමැති බව දැකීම කරණ කොට, නො මිදෙනු කැමැත්තෙන් ද යනාදී වූ ඒ ඒ අඞ්ගයන්ගෙන් සිතේ මිදීම තදඞ්‍ගවිමුක්ති නමි. උපචාර අර්‍පණ සමාධීගෙන් සිතේ නො පිරිහීම් වශයෙන් යම් පැවැත්මෙක් වේ ද, කාමච්ඡන්දාදිනීවරණ ධර්‍මයන්ගේත් විතර්‍කාදිප්‍රත්‍යනීක ධර්‍මයන්ගේත් නො ඉපැත්ම ය යි කියන ලද යම් මිදීමකුත් වේ ද, එය වික්ඛම්භන විමුක්ති නමි. චතුර්විධ ආර්‍ය්‍යමාර්‍ගය වැඩූ බැවින්, ඒ ඒ, මාර්‍ගයට පැමිණි ආර්‍ය්‍යපුද්ගලයන්ගේ සන්තානයෙහි සමුදයට ඇතුළත් ව සිටි ක්ලේශයන්ගේ අත්‍යන්තඅප්‍රවෘත්තිභාවයෙන් සමුච්ඡේද ප්‍රහාණයාගේ වශයෙන් මිදීම සමුච්ඡේදවිමුක්ති නමි. ඵලක්‍ෂණයෙහි සියලු ක්ලේශයන්ගේ සන්සිඳීම පටිප්පස්සද්ධිවිමුක්ති නමි, සියලු සඞ්ඛතධර්‍මයන්ගෙන් බැහැර වූ හෙයින් සංස්කාරයන්ගෙන් මිදුනු නිර්‍වාණය නිස්සරණවිමුක්ති නමි. යට කියූ විස්තර ද බලනු. ඉදිරියෙහි ද විස්තර එන්නේ ය.
රහතුන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් සිත මුදා සිටි බැවින් චිත්තවිමුක්තියෙන් මිදුනාහ. නිර්‍වාණයෙහි ඇලුනු බැවින් නිර්‍වාණයෙහි විමුක්තයහ. ‘සම්මදඤ්ඤා විමුත්තානං’ යන මෙයින් වදාරණ ලද්දේ මේ වග යි. ‘සම්මදඤ්ඤා විමුත්තානන්ති හෙතුනා නයෙන කාරණෙන ජානිත්වා තදඞ්ගවිමුත්තියා වික්ඛම්භන විමුත්තියා සමුච්ඡෙදවිමුත්තියා පටිප්පස්සද්ධිවිමුත්තියා නිස්සරණ විමුත්තියාති පංචහි විමුත්තීහි විමුත්තානං’ යි අටුවාවෙහි ද්විවිධවිමුක්තිය පංචවිධ භේදයෙහි ලා විවරණය කරන ලද්දේ ය.
මාරො මග්ගං නවින්දති = මාර තෙමේ මග නො දනියි.
මහරහතුන් ගියා වූ මග මාරයා, මුළු ශක්තිය යොදා සෙවූයේද, බැලූයේ ද කිසිලෙසකින් ඒ නො ලද හැකි ය. මෙසේ වනුයේ රහතුන් වහන්සේ පුර්‍වොක්තවිමුක්තීන්ගෙන් සියලු කෙලෙස් සියලු සංස්කාර ධර්‍මයන් මූලොච්ඡින්න කොට ප්‍රතිසන්ධිය හෙවත් සසර ඉපැත්ම නසාලූ බැවිනි.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියෝ ය. දේශනාව මහාජනයාට වැඩ සහිත වූ ය.
ගෝධිකස්ථවිරපරිනිර්‍වාණ වස්තුව නිමි.