4-10 පිණ්ඩපාත දානය

අප්පමත්තො අයං ගන්‍ධො යායං තගරචන්‍දනී

යො ච සීලවතං ගන්‍ධො වාති දෙවෙසු උත්තමො.

තුවරලා සඳුන් පිළිබඳ යම් සුවඳෙක් වේ ද, ඒ මේ සුවඳ ස්වල්පමාත්‍ර එකෙකි. සිල්වතුන්ගේ යම් උතුම් ගුණසුවඳෙක් වේ ද, එය දෙවියන් මිනිසුන් අතුරෙහි ද හමයි.

මහකසුප් මහරහතුන් වහන්සේ සත් දවසක් නිරෝධසමාපත්තියට සමවැද හිඳ සත් දවස ගෙවා ඉන් නැගිට රජගහා නුවර පිඬු සිඟා යමි’ යි එහි වැඩිය සේක. එ දවස සක්දෙරජුගේ පරිචාරික වූ පරවියන්ගේ පා වැනි පා ඇති පන්සියයක් දෙවඟනෝ තෙරුන් දැක ‘පිණ්ඩපාතය පිළිගන්වමු’ යි කලබල වී බත් වසුන් පන්සියයක් පිළියෙල කර ගෙණ අවුත් අතරමගැ රැක සිට ‘ස්වාමීන් වහන්ස! අපගේ මේ දානය පිළිගනු මැනැවැ, මෙය පිළිගෙණ අපට සංග්‍රහ කරන්නැ’ යි අයැද සිටියහ. ‘තෙපි යවු, මා යන්නේ දුප්පතුන්ට සංග්‍රහ කරන්ට ය’ යි තෙරුන් වදාළ කල්හි ‘ස්වාමීනි! අප නො නසන්න, අපේ මේ දානය පිළිගන්නැ’ යි නැවැතත් ඉල්ලා සිටියහ. ඒ වර ද උන්වහන්සේ උන් වළකාලූහ. එහෙත් ඈලා බැහැර නො ගියහ. තෙරණුවෝ එබව දැක ‘තෙපි තමන්ගේ පමණ නො දන්නහු ද, මින් ඉවත්ව යවු’ යි ඇඟිලිතුඩු එකතු කොට අසුරක් ගැසූහ. අසුර ගැසූ හඬ අසා බිය පත් වූ ඈලා එහි සිටින්නට අපොහොසත් ව සැලි සැලී දෙව්ලොවට ම පලා ගියහ.

සක්දෙව්රජ ඈලා දැක ‘තෙපි මෙතෙක් වේලා කො තැනැ ගියහු දැ’ යි ඇසී ය. ‘අපි සමවතින් නැගී සිටි මහසුප් තෙරුන්ට පිණ්ඩපාතය දෙන්නට ගියෙමු’ යි කී කල්හි ‘දුන්නු දැ’ යි ඇසී ය. උන්වහන්සේ අපෙන් පිණ්ඩපාතය පිළිගන්නට කැමැති නො වූහ’ යි එයට පිළිතුරු දුන් විට ‘එසේ නම් උන්වහන්සේ කුමක් කී සේක් දැ’ යි ඇසී ය. ‘දුප්පතුන්ට සංග්‍රහ කරන්නට ඕනෑ ය’ යි කියති’ යි කීහ. ‘තෙපි කොයි සැටියෙකින් ගියහු දැ’ යි සක්දෙව්රජ ඇසී ය. ‘දේවයන් වහන්ස! අපි ගියමෝ මේ සැටියෙන් ම ය, අමුතු ව වෙස් වලා නො ගත්තම්හ’ යි කීහ. උන්වහන්සේට පිණ්ඩපාතය දෙන්නට තොපට පිළිවන් කමෙක් නැත, පොඩ්ඩක් ඉන්න, මම දෙන්නම් පිණ්ඩපාත ය’ යි සක්දෙව්රජ දත්වැටුණු හිස කෙස් පැසුනු තුනටිය බිඳුනු ඇඟ රැලිවැටුනු කබ කෙල වැහෙන ඉතා මහලු රෙදිවියන්නකුගේ වෙස් ගෙණ සුජාතා වත් එබඳු මැහැල්ලියක කොට රෙදිවියන්නන් වසන ගෙවල් පෙළක් මවා නූල් දිග් ගස්සමින් එහි සිටියේ ය. මහසුප් තෙරණුවෝ ‘දුප්පතුන්ට සංග්‍රහ කරමි’ යි නුවර බලා වඩින සේක් නුවරින් පිටතදී ම රෙදිවියන්නන් වසන ඒ කඩපෙළ දැක නූල් දිග් ගසමින් එහි හුන් මහලු මැහැලියන් දෙදෙන දුටු සේක. ඒ වේලෙහි ශක්‍ර තෙමේ නූල් දිග හරිමින් හුන්නේ ය. සුජාතා තොමෝ නූල් දණ්ඩ වඩමින් සිටියා ය. තෙරුන්නාන්සේ මොවුන් දැක ‘අයියෝ! මෙ තරම් මහලුව ද දිවි රැකුම සඳහා මොවුහු වැඩ කරති, මොවුන්ට වඩා දුප්පතුන් මේ නුවරැ ඇති විය නො හැකි ය, මොවුන් දෙන කැඳ ටිකක් වේවා, දෙන කොයි දෙයක් නමුත් පිළිගෙණ මුන්ට සංග්‍රහ කරන්නට ඕනෑ ය’ යි සිතා ඔවුන්ගේ ගේ දිහාවට වැඩි සේක.

සක්දෙව්රජ, වඩින උන්වහන්සේ දැක ‘සොඳුර! මාගේ හාමුදුරුවන් වහන්සේ මෙහි වඩිති, තී උන්වහන්සේ නො දැක්කා සේ බිම බලා හිඳුව, මම කිසිත් නො හඟවා බත් ටිකක් පිළිගන්වාලමි’ යි කී ය. තෙරුන් වහන්සේ එහි වැඩම කොට ගේදොර වැඩ සිටි සේක. ඔවුහු තෙරුන් නො දැක්කවුන් සේ තමන්ගේ වැඩ කරමින් ටිකක් කල් යැවූ හ. ගේ ඉදිරියෙහි භික්‍ෂු නමක් සිටින්නා සේ පෙණේ, සොඳුර! ටිකක් සොයා බලව’ යි ශක්‍රයා කීවිට ‘මට බැහැ, ඔයා ම සොයා බලන්නැ’ යි සුජාතාව කිවු ය. ඔහු ඈනුම් හරිමින් මැලිකම් දක්ව දක්වා ගෙන් දොරට බැස තෙරුන් දැක වෙවුල වෙවුලා පසඟ පිහිටුවා වැඳ, දෙ දණට අත් ගසා තතනමින් හති දදා නැගිට කෙලින්වී ‘මේ හාමුදුරුවෝ කවුරු දෑ’ යි කියමින් ටිකක් පස්සට වී ‘අනේ! හාමුදුරුවනේ! දැන් අපේ ඇස් බොහො ම ඇඳිරියි, නැගිට ගන්නට අමාරු’ යි කියමින් නලළෙහි අත තබා උඩ බලා ‘අනේ මට බොහොම දුක යි, මේ මහසුප් හාමුදුරුවෝ නො වෙද්ද, අපේ මේ පැල්දොරට වැඩියෝ බොහො ම කලකින් ය, පිළිගන්වන්නට මොකවත් තිබේ දැ’ යි නො දනිමි, කොහොම ද, කොස් දෙල් පලා තම්බපුවා මොකවත් ටිකක් තිබේ දැ’ යි සුජාතාවගෙන් ඇසී ය. ඕ තොමෝ ද, තුනටියෙහි අත තබා ගෙණ ලෑටි ලෑටි ව කෙඳිරි ගාමින් බත් පොඩ්ඩක් තිබේ ය’ යි කිවු ය. එවිට ශක්‍ර තෙමේ ‘ස්වාමීනි! රසගුණ හොඳ නරක නො සලකා අපට කරුණා කරන්නැ’ යි කීයේ ය. ස්ථවිරයන් වහන්සේ ‘දෙන පලා ටිකක් වුවත් ගෙණ මොවුන්ට සංග්‍රහ කරමි’ යි පාත්‍රය දුන්හ.

එවිට ශක්‍ර තෙමේ ගෙතුළට ගොස් ‘ඝටිඔදන’ නම් බතක් සැළියෙන් නගා පාත්‍රය පුරවා ගෙණ අවුත් තෙරුන් අතැ තැබී ය. ඒ බත් නොයෙක් මාලු පිණියෙන් පිරී පැවැත්තේ ය. එහි සුවඳ රජගහානුවර මැඩ සිටියේ ය. ‘මේ පිණ්ඩපාතය දුන් මිනිහා ඉතා දුප්පතෙකි, පිණ්ඩපාතය නම් දුප්පත් නො වේ, පිණ්ඩපාතයෙන් දුප්පතෙකැ’ යි සිතනු බැරි ය, මෙය ශක්‍රයාගේ භෝජනයක් වැනි ය, මොහු කවරෙක් දැ’ යි සිතා බැලූ ස්ථවිරයන් වහන්සේට ඔහු ශක්‍රයා බව පෙණී ගියේ ය. එවිට උන්වහන්සේ ‘තා කළේ ලොකු වරදෙකි, ලොකු අපරාධයෙකි, දුප්පතුන්ගේ සැපත උදුරා ගැන්ම කොතරම් අයුතු ද, එය දෙවිකමට තබා මිනිස්කමටවත් නො හොබී, අනුන්ගේ දේ පැහැරගැන්ම තිරිසන් කමෙකි, දුප්පතාගේ ගුණ නො සලකන්නා තිරිසනාටත් වඩා පහත් ය, තට නම් යසඉසුරෙන් අඩුවෙක් නැත, එසේ තිබියදීත් දුප්පතාට ලැබෙන්නට තුබූ යහපත උදුරා ගැණීම මහත් සැහැසි කමෙක් ය, එ හෙයින් ඔබ මහා සාහසිකයෙක්, දුප්පතකු විසින් අද මේ දන දෙන ලද්දේ නම්, ඔහුට සෙනෙවිතනතුරක් හෝ සිටුතනතුරක් ලැබෙනු එකාන්ත ය, තා කළේ දරුණු අපරාධයෙකැ’ යි වදාළ සේක. ‘ඇයි, ස්වාමීනි! මෙසේ වදාරන්නෝ මට වඩා දුප්පතෙක් මෙහි සිටී දැ’ යි ඔහු කීවිට ‘කුමක් නිසා දුප්පත් වූ තෙපි දෙව්ලොව දෙසැප විඳිහු දැ’ යි විචාළ සේක. ‘ස්වාමීනි! කාරණය නම් එහෙම තම යි, බුදුරජුන් ලෝ පහළවීමට කලින් කළ පිණකින් මම මේ සම්පත්තිය ලැබීමි, බුදුරජුන් ලෝ පහළවූවාට පසු පින්කළ තිදෙනෙක් චූලරථ-මහාරථ-අනෙවණ්ණ නමින් දෙව්ලොව ඉපිද සිටිත්, ඒ තිදෙන ම මට වඩා හැම අතකින් ම තේජවත් ය, ඔවුන් තිදෙනා මා ඉදිරියෙහි නැකැත් කෙළියට, ඇතුල්වීථියට වන් කල්හි මම පැන ගොස් ගෙට වදිමි, ඔවුන්ගේ සරීරයෙන් නික්මෙන තෙජස, මාගේ සරීරය ඔබා ගෙණ යට කොට සිටි යි, මාගේ සිරුරෙන් නික්මෙන තෙජස ඔවුන්ගේ සිරුරු යටපත් කිරීමෙහි අපොහොසත් ය, ඒ නිසා ස්වාමිනි! මා තරම් දුප්පතෙක් කො තැනැ වේ දැ යි බලා වදාරන්නැ’ යි ශක්‍රයා කී ය. ‘දැන් කරන්නට දෙයක් නැත, මින්පසු මේ ලෙසට මා රවටා කැඳ බත් දෙන්නට සූදානම් නො විය යුතු ය’ යි වදාළවිට ‘එසේ වේවා, පින්වතුන් වහන්සේට දනක් දුන්නොත් එයින් විපාකයෙක් නැද්දැ’ යි ඇසී ය. ‘ඇතැ’ යි උන් වහන්සේ වදාළ සේක. ‘එසේ නම් ස්වාමීනි! එය මාගේ වැඩෙකැ’ යි කියා ශක්‍ර තෙමේ තෙරුන් වැඳ සුජාතාවන් ගෙණ තෙරුන් පැදකුණු කොට අහසට නැග

“ගුණෙනි මහමුහුදෙව් - මහසුප් තෙරුන් කෙරෙහි,

බැතියෙන් මෙ මා දුන් දන - මහදනෙකි නොකළැකි තුම්” යි

උදන් අනමින් දෙව්ලොව ගියේ ය. ‘එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ -පෙ- ආකාසෙ අන්තලික්ඛෙ තික්ඛත්තුං උදානං උදානෙසි’ යනු, එ හෙයින් කියන ලදී.

විහාරයෙහි වැඩ සිටියා වූ සම්මා සම්බුදු රජානන් වහන්සේ එ හඬ අසා ‘මහණෙනි! බලවු, සක්දෙව්රජ උදන් අනමින් අධිකතර සන්තෝෂයෙන් අහසින් යන සැටි’ යි වදාළවිට ‘ස්වාමීනි! මෙසේ ප්‍රීති වාක්‍යය කියමින් අහසින් යෑමට ඔහු කළේ කුමක් දැ’ යි භික්‍ෂූන් වහන්සේලා ඇසූහ. ‘මාගේ පුත් මහසුප් තැන රවටා ඒ තැනට පිණ්ඩපාතයක් දී ඉන් ලැබෙන විපාකය මහත්බව දැන ප්‍රීතිවාක්‍යය කියා’ යි උන්වහන්සේ වදාළ ස්ක. ‘ස්වාමීනි! දෙව්ලොව සිටි ශක්‍ර තෙමේ මහසුප් තෙරුන්ට දෙන පිණ්ඩපාතයෙහි විපාක මහත්බව කෙසේ දැන ගත්තේ දැ’ යි භික්‍ෂූන් ඇසූ විට ‘මහ‍ණෙනි! මා පුතා වැනි වූ පිණ්ඩපාතයෙන් ජීවත්වන්නහුට දෙවියෝ මනුෂ්‍යයෝ යක්‍ෂරාක්‍ෂයෝ ප්‍රිය කෙරෙති’ යි වදාළ බුදුරජානන් වහන්සේ ඒ වේලෙහි තමන් වහන්සේත් ‘තමන් පොෂණය කරණ අනුන් පොෂණය නො කරණ සන්හුන් ඉඳුරන් හා කෙලෙස් ඇති සිහි ඇති පිණ්ඩපාතික භික්‍ෂුනමට නම් දෙවියන් කැමැති වෙති’ යන අර්‍ත්‍ථවත්,

“පිණ්ඩපාතිකස්ස භික්ඛුනො-අත්තභරස්ස අනඤ්ඤපොසිනො,

දෙවා පිහයන්ති තාදිනො-උපසන්තස්ස සදා සතීමතො” යි

මේ ප්‍රීතිවාක්‍යය වදාළ සේක. නැවැත ද ‘මහණෙනි! මා පුතුගේ සිල්සුවඳින් මෙහෙයුනු සක්දෙව්රජ තෙමේ ඒ තැන වෙත පැමිණ පිණ්ඩපාතය දී ගියේ ය’ යි වදාරා මේ ධර්‍මදේශනාව ද කළ සේක:-

අප්පමත්තො අයං ගන්‍ධො යායං තගරචන්‍දනී,

යො ච සීලවතං ගන්‍ධො වාති දෙවෙසු උත්තමොති.

යම් මේ තුවරලා සඳුන් පිළිබඳ සුවඳෙක් වේ ද, මේ සුවඳ ස්වල්ප මාත්‍ර වේ. සිල්වතුන්ගේ යම් සිල්සුවඳෙක් වේ නම්, එය උතුම් වූයේ දෙලොවෙහි ද හමයි.

අප්පමත්තො = ස්වල්පමාත්‍ර වේ. ඉතා ම ටිකයි.

පරිත්තපරිමාණො’ යනු එහි අටුවා ය. තේරුම, ස්වල්පමාත්‍ර වේ යනු යි. ඉතා ටිකැ යි කී සේ ය. සඳුන්වල හා තුවරලාවල සුවඳ ඉතාටික ය යනු අදහසි.

සිලවතං ගන්‍ධො = සිල්වතුන්ගේ සිල්සුවඳ.

යමක්හට සිල් ඇත්තේ ද හෙතෙමේ සිල්වත් නමි. ඔහු කෙරෙහි වූ ඒ සීලයම සීලගන්‍ධ’ නම් වේ.

සතුන්මැරීම් ආදි වූ පව්කම්වලින් වළකින්නහු හෝ වත්පිළිවෙත් පුරන්නහු පිළිබඳ චේතනා- චෛතසික-සංවර-අව්‍යතික්‍රම යන මේ, සිල් නම් වේ. කිං සීලං? යන ප්‍රශ්නයෙහි ලා දුන් චෙතනාසීලං, චෙතසිකං සීලං, සංවරො සීලං, අවිතික්කමො සීලං, යන පිළිතුර එය අපට කියාලන්නේය.

එහි චේතනාසීලය යි කීයේ, සතුන්මැරීම් පව්කම්වලින් වළකින්නහුන්ගේ හෝ වත්පිළිවෙත් පුරන්නහුගේ සිත්හි යෙදෙන චේතනාව ම ය. පව්කම්වලින් වළකින්නහුගේ, වත්පිළිවෙත් පුරන්නහුගේ ඒ පිළිබඳ සිත, ඒ සිතෙහි යෙදෙන චේතනාව ප්‍රධාන කොට ඇති ඒ චේතනාව හා එක් ව උපදින අනික් චෛතසික, මෙහිලා චේතනාසීලැ යි දතයුතු ය. තව ද ප්‍රාණඝාතාදිය හැර සිටියහුගේ ඒ ප්‍රාණඝාත -අදත්තාදාන - කාමමිථ්‍යාචාර - මුසාවාද - පිසුණ වචන - එරුසවචන - සම්ඵප්පලාප යන සත්වැදෑරුම් වූ කර්‍මපථචේතනා ද චේතනාසීලැ යි ගැණේ.

ප්‍රාණඝාතාදියෙන් වළකින්නහුට ඒ වේලෙහි සිතෙහි ඇතිවන සම්මාවාචා - සම්මාකම්මන්ත - සම්මා ආජීව යන විරතිචෛතසික තුන, චෛතසිකසීල නම් වේ.

පාතිමොක්ඛ-සති-ඤාණ-ඛන්ති-විරිය යන සංවර පස හා පාපභීරුකකුලපුත්‍රයන්ගේ සම්පත්තවිරතිය සංවරසීල නම් වේ.

සමාදන් වූ ශික්‍ෂපද, කයින් හා වචනයෙන් නො කඩ කොට රැකීම, අවීතික්කමසීල නම් වේ.

සමාධාන-උපධාරණ වශයෙන් සීල’ යන්නෙහි අර්‍ත්‍ථ දෙකක් ඇත්තේ ය. සුසීලත්‍යවශයෙන් (යහපත්බව නිසා) කායකර්‍මාදීන්ගේ විසිර නො යෑම සමාධාන නම් වේ. ප්‍රතිෂ්ඨාවශයෙන් කුශල ධර්‍මයන් දැරීම කුශල කර්‍මයන්ට ආධාරභාවය උපධාරණ නම් වේ. චේතනාදීවශයෙන් නන් වැදෑරුම් වූ සීලයෙහි ලක්‍ෂණය ද සමාධාන උපධාරණ වශයෙන් දෙ වැදෑරුම් වූ මේ සීලනය මැ යි.

සීලයෙන් දුශ්ශීලභාවය නැසී යයි. දුශ්ශීලභාවය නැසී යෑම සීලයාගේ රසය යි. හෙවත් සීලයාගේ කෘත්‍යරසය යි. ශීලය ධ්‍යානාදිගුණලාභයට ද කරුණු වේ. සීලයෙහි ඇති ධ්‍යානාදි ගුණදායකත්වය සම්පත්තිරස ය යි කියයුතු ය. සම්පත්තිරසය වන්නේ වැරදි නැති ගුණදහම් ය. කය-වචන-සිත යන තුන් දොරෙහි පිරිසිදුකම සීලයාගේ ප්‍රත්‍යුපස්ථානය වේ. ලජ්ජා-භය දෙක සීලයට ආසන්නකාරණය වේ. ලජ්ජා භය දෙක ඇති විටම ය සීලය උපදනේ. එ දෙක නැතිවිට ඉපැත්මෙක් ද පැවැත්මෙක් ද නැත.

අවිප්‍රතිකාරාදිගුණලාභය සීලයාගේ ආනිසංස ය යි. භෝග ලැබීම-ගුණ පැතිරීම-රජුන් කරා එළැඹීම-නො මුළාව කලුරිය කිරීම-මරණින් මතු දෙව්ලොව ඉපදීම යනාදිය ද සීලයාගේ ආනිසංස යි.

“පංචිමෙ ගහපතයො! ආනිසංසා සීලවතො සීලසම්පදාය. කතමෙ පංච? ඉධ ගහපතයො සීලවා සීලසම්පන්නො අප්පමාදාධිකරණං මහන්තං භොගක්ඛන්‍ධං අධිගච්ඡති අයං පඨමො ආනිසංසො සීලවතො සීලසම්පදාය -පෙ- පුනචපරං ගහපතයො සීලවා සීලසම්පන්නො කායස්ස හෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති අයං පඤ්චමො ආනිසංසො සීලවතො සීලසම්පදාය, ඉමෙ ඛො ගහපතයො! පංච ආනිසංසා සීලවතො සීලසම්පදාය” යනු එහිලා දන්නේ ය.

තව ද සබ්‍රහ්මචාරීන්ට ප්‍රියමනාපවීම ආදිකොට ඇති ආස්‍රවයන් නැති කිරීමෙන් ලැබෙන රහත්බව කෙළවර කොට ඇති නොයෙක් අනුසස් සීලයෙන් ලැබේ.

ශාසනාවචරකුලපුත්‍රයන්ට පිහිටවනුයේ සීලය යි. එහි අනුසස් මෙතෙකැ යි නො කිය හැකි ය. යමුනා-ගඞ්ගා ආදී ගඞ්ගා ජලයකින් සත්වයන්ගේ කෙලෙස්මල සෝදාලන්නට නො හැකි ය. කෙලෙස්මල සෝදා හැරීමෙන් සත්වයන් පිරිසිදු කරණුයේ සීල නැමැති ජලය යි. සත්වයන් කෙලෙස්තැවුම් සන්සිඳුවනුයේ සීලය යි. මෙඝ-වාත-හරිචන්දනාදීහු එහිලා අපොහොසත් ය. දෙව්ලෝ නැගීමට හිණ වනුයේත් නිවන් පුර වැදීමට දොරටු වනුයේත් සීලය යි. සිල් අබරණින් සැරසුනෝ ම ලොව බබලති. මුක්තාමාණික්‍යාදිආභරණයෙන් සැරසුනවුන්ගේ එබඳු බැබලීමෙක් නැත. ආත්මානුවාදාදිභය විනාශ කොට කීර්තියසස් එළවනුයේ ද, සියලු ගුණයන්ට මුල් වූයේ ද, සියලු දොස් නසනුයේ ද සීලය යි.

ශීලනලක්‍ෂණයෙන් එක් වැදෑරුම් වන සීලය, චාරිත්ත-වාරිත්ත වශයෙන්, ආභිසමාචාරික-ආදිබ්‍රහ්මචරියක වශයෙන්, විරති අවිරති වශයෙන්, නිස්සිත - අනිස්සිත වශයෙන්, කාලපරියන්ත ආපාණකොටික වශයෙන්, සපරියන්ත - අපරියන්ත වශයෙන්, ලොකිය, ලොකුත්තර වශයෙන් දෙ වැදෑරුම් වේ.

හීන-මජ්ඣිම-පණීත වශයෙන්, අත්තාධිපතෙය්‍ය-ලොකාධිපතෙය්‍ය-ධම්මාධිපතෙය්‍ය වශයෙන්, පරාමට්ඨ-අපරාමට්ඨ-පටිප්පස්සද්ධි වශයෙන්, විසුද්ධ අවිසුද්ධ-වෙමතික වශයෙන්, සෙඛ-අසෙඛ-නෙව සෙඛනාසෙඛ වශයෙන් තෙ වැදෑරුම් වේ.

හානභාගීය - ඨිතිභාගීය - විසෙසභාගීය - නිබ්බෙධභාගීය වශයෙන්, භික්ඛු-භික්ඛුනී-අනුපසම්පන්න-ගහට්ඨ වශයෙන්, පකති-ආචාර-ධම්මතා-පුබ්බහේතුකවශයෙන්, පාතිමොක්ඛ-ඉන්ද්‍රිය-ආජීවපාරිසුද්ධි-පච්චයසන්නිස්සිත වශයෙන් සිවු වැදෑරුම් වේ.

පරියන්තපාරිසුද්ධි - අපරියන්තපාරිසුද්ධි - පරිපුණ්ණපාරිසුද්ධි - අපරාමට්ඨපාරිසුද්ධි - පටිපස්සද්ධිපාරිසුද්ධි වශයෙන්, පහාණ-වෙරමණී-චේතනා-සංවර-අවීතික්කම චශයෙන් පස් වැදෑරුම් වේ.

මේ මතු කියනු ලබන්නී මෙහි කෙටිකතා යි. සීලයෙහි එක්වැදෑරුම් සැටි කියන ලද්දේ ය. ‘මේ දේ කළ යුතු ය, යි බුදු රජුන් විසින් පණවා වදාළ සිකපදයන්හි එසේ පිළිපැදීම චාරිත්ත සීලය යි. ‘චරන්ති තස්මිං සීලෙ පරිපූරකාරිතාය පවත්තන්තීති = චාරිත්තං’ යන මෙයින් එය පැහැදිලි වේ. ‘මේ දේ නො කළ යුතුය, යි ප්‍රතික්ෂේප කරණ ලද්දහුගේ නො කිරීම චාරිත්තසීලය යි. ‘වාරිතං තායන්ති රක්ඛන්ති තෙනාති වා = වාරිත්තං’ යනු එහි අර්‍ත්‍ථසමර්‍ත්‍ථනය යි. චාරිත්තසීලය ශ්‍රද්ධාවෙන් හා වීර්‍ය්‍යයෙන් ද වාරිත්තසීලය ශ්‍රද්ධාවෙන් ද සිදුකළ යුතු ය.

උතුහැසිරීම අභිසමාචාරය, යි කියනු ලැබේ. අභිසමාචාර ය ම ආභිසමාචාරික නම් වේ. එ නම්, ස්‍රෝතාපත්ත්‍යාදිමාර්‍ගඵල සංඛ්‍යාත අභිසමාචාරය අරභයා පණවන ලද සීලයයි. ආජීවට්ඨමක සීලයෙන් අන්‍ය වූ සීලයන්ට ආභිසමාචාරික යනු නමෙකි. මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යයට පෙරටුවෙහි වූයේ ආදිබ්‍රහ්මචරියක නමි. ආජීවට්ඨමක සීලයට මේ නමෙකි. මේ සීලය මාර්‍ගයට පූර්‍වභාගයෙහි ම පිරිය යුතු ය. ‘පුබ්බෙ ව ඛො පනස්ස කායකම්මං වචීකම්මං ආජීවො, සුපරිසුද්ධො හොති’ යනු සූත්‍රයි. ප්‍රාණඝාතාදිත්‍රිවිධකාය දුශ්චරිතයෙන් හා මුසාවාදාදිචතුර්විධවාග්දුශ්‍චරිතයෙන් ද මිථ්‍යාආජීවයෙන් ද වැළකීම සඳහා සමාදන් වන සීලය, ආජීවට්ඨමකසීල නම් වේ.

තව ද යම් ක්‍ෂුද්‍රානුක්‍ෂුද්‍රශික්‍ෂාපද කෙනෙක් වෙත් ද, ඒ හැම ආභිසමාචාරිකසීලයෙහි ඇතුළත් ය. පචිති-දුක්කට-දුබ්භාසිත ශික්‍ෂාපදව්‍යතික්‍රමණය නො කිරීම, ආභිසමාචාරික සීල ය, යි දත යුතු ය. තවත් චුලවග්ග-මහාවග්ග දෙක්හි ඇතුළත් වූ කඳුවත් පිරීම, ආභිසමාචාරිකසීලය යි. පාරාජිකා-සංඝාදිසෙසශික්‍ෂාපද නො කඩ කොට රැකීම, ආදිබ්‍රහ්මචරියක සීලය යි. තවත් ලෙසකින් භික්ඛු-භික්ඛුනීඋභයවිභඞ්ගයෙහි ඇතුළත් වූ සිකපදරැකීම, ආදි බ්‍රහ්මචරියක සීලය යි ගැනේ. ‘යම් මහණෙක් ආභිසමාචාරික සීලය නො පුරන්නේ නම්, ඔහු ආදිබ්‍රහ්මචරියකසීලය පුරන්නේ ය, යනු ඒකාන්තයෙන් නො විය හැක්කේ ය. කවදත් ඒ නො වන්නෙකි. මේ එහි දේශනා ය:- ‘සො වත භික්ඛවෙ භික්ඛු ආභිසමාචාරිකං ධම්මං අපරිපූරෙත්වා ආදිබ්‍රහ්මචරියකං ධමමං පරිපූරෙස්සතීති නෙතං ඨානං විජ්ජති’ යනු.

ප්‍රාණඝාතාදියෙන් වළකින්නහුට ඒ වේලෙහි පහළවන වීථිචිත්තයෙහි යෙදුන සම්මාවාචා-සම්මාකම්මන්ත-සම්මාආජීව යන විරති තුන, විරතිසීල යි ද, එහි ම උපදින. සෙසු චේතනාදිය අවිරතිසීල යි ද ගැණේ.

තණ්හානිස්සය-දිට්ඨිනිස්සය යි නිස්සය දෙකෙකි. එහි ‘මම් දෙවියෙක් හෝ වන්නෙමි, අන්‍යතර දෙවියෙක් හෝ වන්නෙමි යි භවසමපත්තිය කැමැති වෙමින් පුරණ සීලය, තණ්හානිස්සිතසීල යි ද ‘සීලයෙන් ම ශුද්ධිය වන්නී ය’ යි දැකීමෙන් පුරණ සීලය, දිට්ඨි නිස්සිතසීල යි ද දතයුතු ය. මේ නිස්සය දෙකට නො බැදුනු ඒ හා ගැටීමක් නැති ලෞකික-ලෝකෝත්තරසීල, අනිස්සිතසීල නම් වේ.

කාල සීමාවක් ඇතිව රකිනු ලබන්නේ කාලපරියන්තසීල යි ද, දිවිහිම් කොට රකිනු ලබන්නේ ආපාණකොටිකසීල යි ද කියනු ලැබේ.

ලාභ - යස - ඤාති අඞ්ග - ජීවිත යන මොවුන් අතුරෙහි යම් කිසිවක් අපේක්‍ෂා කොට රකින සීලය, සපරියන්ත නම් වේ. එහි ඇතැම් කෙනෙක් ‘ලාභයක් ලබමි’ යි ලාභහේතුවෙන් සිල් සමාදන් වෙති. ලාභය ලත් කල සිල් බිඳලති. තම බලාපොරොත්තුව ඉටු වු කල්හි සිල් නො රකිති. සිල් රකින්නේ බලාපොරොත්තුව ඉටුවන තෙක් ය. සෙස්ස ද මේ නයින් සැලකිය යුතු ය. මෙබඳු සිල් පිරිසිදු නො වේ. බුධාදිවිඥයන් විසින් නො ද පැසසුනේ ය. සමාධියට හිත නො වේ. නිවන් පිණිස නො පවතී. ලාභාදීන් අතුරෙහි කිසිවක් නො තකා රකින සීලය, අපරියන්ත නමි. ඇතැම් කෙනෙක් තමන් සමාදන්ව රකින සීලය, ලාභාදිය හේතුකොට බිඳ හැරීමෙහි චින්තාමාත්‍රයකුදු නො කරති. මෙසේ රකින සීලය, සමාධියට හිත වේ. නිවන් පිණිස පවතී.

ආස්‍රවසහිත වූ සීලය, ලොකියසීල නම් වේ. පුහුදුන් විසින් රකින සීලය ලෞකික යි කීසේ ය. අස්‍රවරහිත වූයේ ලොකුත්තර සීල නමි. සෝතාපන්නාදි ආර්‍ය්‍යයන් විසින් රකින සීලය ලොකුත්තර යි කී සේ ය. ලෞකිකශීලය, භවසමපත් සිදු කරණුයේ භවයෙන් මිදීමට ද කරුණු වේ. ලෝකෝත්තරශීලය භවනිස්සරණය සිදු කරණුයේ ප්‍රත්‍යවේක්‍ෂාඥානයට ද භූමි වේ.

හීන වූ ඡන්ද - චිත්ත - වීර්‍ය්‍ය - ප්‍රඥා යන මෙයින් යුක්ත ව රකිනු ලබනුයේ හීනශීල නම් වේ. මද්ධ්‍යම වූ ඡන්ද - චිත්ත - වීර්‍ය්‍ය - ප්‍රඥා යන මෙයින් යුක්ත ව රකිනු ලබනුයේ මධ්‍යමශීල නම් වේ. ප්‍රණීත වූ ඡන්ද - චිත්ත - වීර්‍ය්‍ය - ප්‍රඥා යන මෙයින් යුක්ත ව රකිනු ලබනුයේ ප්‍රණීතශීල නම් වේ.

තව ද කීර්තිය ලබනු කැමැති ව සමාදන්වන ලද්දේ හීන ශීලය යි. පින්පල කැමැති ව සමාදන්වන ලද්දේ මද්ධ්‍යමශීලය යි. ‘මෙය සමාදන් විය යුත්තෙක් ම ය’ යි ආර්‍ය්‍යභාවය කැමැති ව සමාදන්වන ලද්දේ ප්‍රණීතශීලය යි. ‘සිල්වත් වූයේ මම ම වෙමි, අන්‍යයෝ දුශ්ශීලයෝ ය, පාපධර්‍ම ඇත්තෝ ය’ යි තමන් උසස්කොටත් අනුන් පහත්කොටත් දැක්වීමෙන් රකින සීලය, හීන ය. එබඳු පහත් පව් අදහස්වලින් නො කිලිටි වූ පෘථග්ජනයන්ගේ සීලය, මධ්‍යම ය. ලෝකෝත්තරශීලය ප්‍රණීත ය. තෘෂ්ණාවශයෙන් භවභෝග සම්පත් බලාපොරොත්තුවෙන් හෝ රකින සීලය හීන ය. තමන් පමණක් සසරින් මිදෙනු පිණිස රකින සීලය මද්ධ්‍යම ය. සියලු සතුන් සසර දුකින් මුදනු සඳහා බොධිසත්වයන් විසින් රකින සීලය, ප්‍රණීත ය.

තමාට සුදුසු දේ හැර තමා ම ගුරු කොට ගෙණ හෙවත් මා වැන්නෙකු විසින් පව්කම්කිරීම නො සුදුසු යැ යි ආත්මගෞරවය උපදවා රකිනු ලබන්න, අත්තාධිපතෙය්‍යසීලය යි. ලෝකාපවාදය දුරලනු කැමැත්තෙන් ලෝකය ගරු කොට ගත්තහු විසින් රකිනු ලබන්න, ලොකාධිපතෙය්‍යසීලය යි. ධර්‍මය මහත් ආනුභාව ඇත්තෙක, සත්වයා නිවනට පමුණුවන්නෙක, යනාදින් ධර්‍මයෙහි මහත්බවට පුදනු කැමැත්තෙන් ධර්‍මය ගරු කොට ගත්තහු විසින් රකිනු ලබන්නේ, ධම්මාධිපතෙය්‍යසීලය යි.

‘මම මේ ශීලයෙන් ප්‍රසිද්ධ හෝ අප්‍රසිද්ධ දෙවියෙක් වන්නෙමි’ යි තෘෂ්ණාවශයෙන් ද, ‘සීලයෙන් ශුද්ධිය වන්නී ය යි දෘෂ්ටිවශයෙන් ද, අල්ලා ගන්නා ලද්ද, පරාමට්ඨසීලය යි. කල්‍යාණපෘථග්ජනයා විසින් සෝතාපත්තිආදිමාර්‍ගයන් ලැබීමට සමාදන් වන සීලය ද සප්තශෛක්‍ෂයන්ගේ මාර්‍ගචිත්තයන්හි යෙදෙන විරතිචේතනාදිය ද තෘෂ්ණා දෘෂ්ටීන් විසින් නො ගන්නා ලද්දේ අපරාමට්ඨසීලය යි. ‍ශෛක්‍ෂයන්ගේ හා අශෛක්‍ෂයන්ගේ ඵලසිත් හා යෙදෙන විරති චෛතසික කෙලෙස් විඩා සන්සිඳුවන්නේ පටිප්පස්සද්ධිසීලය’ යි.

කිසිත් ඇවැතකට නො පැමිණ රකින සීලය ද, ඇවැත්වලට පැමිණිය ද පැමිණි ඒ ඇවැත් දෙසා ගැණීම් ආදී වශයෙන් පිළියම් කළ සීලය ද, විසුද්ධසීලය යි. වස්තු-ආපත්ති-අජ්ඣාචාර යන මෙහි විමති ඇත්තහුගේ සීලය, වෙමතික නමි. මස් ලැබ මේ වැලඳිය යුතු ද, නො වැලඳිය යුතු දැ යි යන සැකය, වස්තු විමතිය යි. තමා පැමිණි ඇවැත කිමැ යි උපදනා සැකය, ආපත්ති විමතිය යි. ඇවැතට පැමිණියෙම් ද, නො පැමිණියෙම් දැ යි වන සැකය, අජ්ඣාචාරවිමතිය යි. වෙමතිකයෙහි විනයධරයන් විචාරා විමතිය දුරු කරගත යුතු ය. එවිට ඔහුට සැප පිණිස වන්නේය එය.

සෙඛසීල නම්, චතුර්විධආර්‍ය්‍යමාර්‍ගයන් හා ත්‍රිවිධශ්‍රාමණ්‍යඵලයන් හා යෙදුනු විරතිචේතනාදිය යි. අසෙඛසීල නම්, රහතුන් වහන්සේගේ ඵලචිත්තයන් හා යෙදුනු විරතිචේතනාදිය යි. නෙවසෙඛනාසෙබසීල නම්, පෘථග්ජනයන්ගේ සීලය යි.

යම් අඥානයෙක් දුශ්ශීලයන් සේවනය කරණුයේ සිල්වතුන් සේවනය නො කෙරේ ද, වරදෙහි දොස් නො දක්නේ වැරදි අදහස් බහුල කොට ඇත්තේ ද, ඉන්ද්‍රියසංවරයෙක් නැත්තේ නො හික්මුනේ ද, ඔහුගේ සීලය, හානභාගීය නම් වේ. පිරිහීම් කොටසෙහි සිටි සීලය යි කී සේ ය. යමෙක් තමන් සමාදන් වූ සීලසම්පත්තියෙන් තුටු පහටු වූයේ කර්‍මස්ථානානුයෝගයෙහි චින්තා මාත්‍රයකුත් නො උපදවා ද, එසේ තමන් සමාදන් වූ ශීලමාත්‍රයෙන් සතුටු ව මත්තෙහි විශේෂාධිගමයක් පිණිස වීර්‍ය්‍යය නො කරන්නහුගේ සීලය, ඨිතිභාගීය නම් වේ. පිරිහීම් වැඩීම් දෙකට නො වැටී සිටි සීලය යි කී සේ ය. යමෙක් සීලසම්පන්න ව සමාධිය පිණිස වීර්‍ය්‍ය කෙරේ ද, ඔහුගේ සීලය, විසෙසභාගීය නම් වේ. යමෙක් ශීලමාත්‍රයෙන් සතුටට නො පැමිණ විදර්‍ශනාවෙහි යෙදුනේ වේ ද, ඔහුගේ සීලය, නිබ්බෙධභාගීය නම් වේ.

භික්‍ෂූන් උදෙසා පණවන ලද ශික්‍ෂාපද හා භික්‍ෂුකීන් උදෙසා පැණ වූ ශික්‍ෂාපද අතුරෙහි භික්‍ෂූන්ට ද සාධාරණ සේ පැණ වූ ශික්‍ෂාපද, භික්ඛුසීල නම් වේ. භික්‍ෂුකීන් උදෙසා පණවන ලද ශික්‍ෂාපද හා භික්‍ෂූන් උදෙසා පැණ වූ ශික්‍ෂාපද අතුරෙහි භික්‍ෂුකීන්ට ද සාධාරණ සේ පැණ වූ ශික්‍ෂාපද, භික්ඛුනීසීල නම් වේ. සාමණේර - සාමණේරීගේ දසසීලය, අනුපසම්පන්නසීල නම් වේ. උපාසක-උපාසිකාවන්ට නීත්‍යශීලවශයෙන් පැණ වූ සික පද පස හා උත්සාහ ඇතිවිට රැකිය යුතුය යි පැණ වූ දසසිකපද හා, උපොසථඞ්ග වසයෙන් වදාළ සිකපද අට හා ගහට්ඨසීල නම් වේ.

පකතිසීල නම් වනුයේ, උතුරුකුරු දිවයින් වැස්සන්ගේ ස්වභාවයෙන් රැකෙන පංචසීලය යි. ආචාරසීල නම් වනුයේ, කුල-දෙශ-තීර්‍ත්‍ථක යන මොවුන් කෙරෙහි වූ යහපත් සිරිත් ය. කුලපරම්පරා වශයෙන් මිනිසුන් අතැ පවත්නා සිරිත් ඒ සැටියෙන් රැකගැණිම ආචාරසීල නමැ යි කී සේ ය. ‘ආනන්ද! යම් දවසෙක බෝධිසත්වයෝ මවුකුස පිළිසිඳ ගණිත් ද, එ තැන් පටන් බෝසත් මවට පුරුෂයන් කෙරෙහි කාමචින්තා පහළ නො වේ ය’ යි වදාළ බැවින් බෝසත්මවගේ මේ සවභාවය ධම්මතාසීල නම් වේ. මහාකාශ්‍යපාදි ශුද්ධසත්වයන්ගේ හා බොධිසත්වයන්ගේ, ඒ ඒ ජාතියෙහි පැවැති සීලය පුබ්බහේතුක නම් වේ.

‘ඉධ භික්ඛු පාතිමොක්ඛසංවරො විහරති’ යනාදීන් වදාළ හෙයින් පාතිමොක්ඛයෙහි පණවා වදාළ සිකපද නො කඩ කොට රැකීම පාතිමොක්ඛසංවරසීල නම් වේ. ‘යො චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති’ යනාදීන් වදාළ බැවින් ඇස-කණ-නාසය-දිව-සිරුර-සිත යන සඉඳුරන් සංවර කර ගැණුම, ඉන්ද්‍රියසංවරසීල නම් වේ. ආජීවය හේතු කොට පැණ වූ සවැදෑරුම් සිකපද ඉක්මවීම් වසයෙන් හා කුහනා-ලපනා-නෙමිත්තිකතා-නිප්පෙසිකතා-ලාභෙනලාභං නිජිගිංසනතා යන කුහකධර්‍මයන්ගේ වශයෙන් පවත්නා වැරදි ජීවිකාවෙන් වැළකීම, ආජීවපාරිසුද්ධිසීල නම් වේ. සිවුපසය ප්‍රත්‍යවේක්‍ෂා කොට වැලඳීම, පච්චයසන්නිස්සිත සීල නම් වේ.

‘අනුපසම්පන්නානං පරියන්තසික්ඛාපදානං ඉදං පරියන්ත පාරිසුද්ධිසීලං’ යි වදාළ බැවින්, ගණනින් පිරිසිඳින ලද සිකපද ඇති අනුපසම්පන්නයන්ගේ සීලය, පරියන්තපාරිසුධිසීල නම් වේ. අනුපසම්පන්නසීලය, ගණනින් පිරිසිඳිනලදය. ‘උපසමපන්නානං අපරියන්තසික්ඛාපදානං ඉදං අපරියන්තපාරිසුද්ධි සීලං’ යි වදාළ බැවින්, ගණනින් නො පිරිසුන් සිකපද ඇති උපසම්පන්නයන්ගේ සීලය, අපරියන්තපාරිසුද්ධිසීල නම් වේ. සංවරවිනය යි කියූ සිකපද නව කෙළ දහස් එකසිය අසූකොටි පණස්ලක්‍ෂ සතියක් විනය පිටකයෙහි විස්තර වශයෙන් වදාළ බැවින්, මේ සීලය, පර්‍ය්‍යන්ත නො වේ දැ යි කෙනෙකුට ඇසිය හැකි ය. ගණනින් එසේ පර්‍ය්‍යන්තසහිත වූවත්, නිරවශේෂකොට සමාදන්වීම හා ලාභ-යස-ඥාති-අඞ්ග-ජීවිතවශයෙන් සීමාරහිත බව ගෙණ, අපරියන්තපාරිසුද්ධිසීලය යි කියනු ලැබේ.

පෙර මෙම සිරිලක ‘අම්මඛාදකතිස්ස’ නම් තෙරණු කෙනෙක් වූහ. උන්වහන්සේ එක් දුර්භික්‍ෂකාලයෙක දික්මගෙක වඩින සේක්, එක්තරා ගමකට පිඬු සිඟා ගියහ. එහි දී කිසිත් නො ලැබ විඩාවට පැමිණ අඹගසක් යට සිහිසෙවනේ වැතිර ගත්හ. ගස යට අඹ වැටී තුබුන ද, අඹ පිළිගන්වා ගන්නට එකකු නො සිටි බැවින්, අඹත් නො වළඳා ම බඩගින්නෙන් නිදා හුන්හ. එ වේලෙහි එහි පැමිණි උපාසකයෙක් උන්වහන්සේ දැක, විඩාවටපත් ව ඉන්නාබව දැන, අඹ මිරිකා පෙවූයේ ය. අඹපැනින් විඩා නො හැරුණුබව දුටු උපාසක තෙමේ උන් වහන්සේ දැතින් වඩා කර පිණවා ගෙණ සිය ගමට ගෙණ ගියේ ය. අතරමග දී මදක් සිහි ලැබූ තෙරණුවෝ

“මෙතෙමේ තගෙ පියා - නො වේ සිය මවු නො ද වේ,

නෑයෙක් ද අන්කිසි මේ - නො වේ තට හිතවත් වූ,

.

පිවිතුරු සිල්බෙලෙන් - නුඹ රැකි නිතොර දිවියැර,

උවයූ නො නෑ හැම වැඩ - කරයි බැතියෙන් ඔබහට” යි

සිතමින් කියමින් උපාසකයාගේ කර උඩදී ම විවසුන් වඩා රහත් වූහ.

කල්‍යාණපෘථග්ජනයන්ගේ සීලය, උපසම්පදාවෙහි පටන් මොනවට පිරිසිදු කළ දෑරඟමිණක් සේ, මොනවට පිරියම් කළ රනක් සේ, ඉතා පිරිසිදු වූයේ, අකුසලයක් කරණු තබා සිතන පමණ මලයකිනුදු තොරවූයේ, රහත්බවට කරුණු වේ. ඒ සීලය, පරිපුණ්ණපාරිසුද්ධි නම් වේ.

සැටවයස් ඉක්මවා සිටි ‘මහාසඞ්ඝරක්ඛිත’ ස්ථවිරයන් වහන්සේ මරණමඤ්චකයෙහි හොත් සේක්, භික්‍ෂූන් විසින් ඔබ වහන්සේ ලැබූ ලොවුතුරු දහම් ඇති සේක් දැ’ යි විචාරණ ලද්දේ ‘මට ලොවුතුරුදහම් නැතැ’ යි කීහ. එහි සිටි උපස්ථායක භික්‍ෂු නමක් ‘ස්වාමීනි! ඔබවහන්සේ පිරිනිවි සේකැ යි අසා වටපිට දොළොස් යොදුනෙක තරම් තැනැ ඉන්නා මිනිසුන් රැස්වනු ඒකාන්ත ය, ඔබවහන්සේ පෘථග්ජන ව කලුරිය කළ සේකැ යි දැනුනොත්, ඔවුනට විපිළිසර හටගණු නො අනුමාන ය’ යි කී ය. ‘ඇවැත! මෙතේ බුදුරජුන් දකිනු කැමැත්තෙන් ම මම විවසුන් නො වැඩිමි, එසේ නම්, මා වඩා හිඳුවා මට පොඩ්ඩක් ඉඩ දෙව’ යි කීහ. උපස්ථායක තෙමේ එසේ කොට ගෙන් පිටතට ගියේ ය. ඇසිල්ලකින් රහත්බවට පැමිණි උන්වහන්සේ අසුරක් ගැසීමෙන් දැනුම් දුන්හ. රැස් වූ සංඝයා වහන්සේ ‘ස්වාමීන් වහන්ස! මේ මරණ මොහොතෙහි රහත්වීමෙන් ඔබවහන්සේ විසින් කරණ ලද්ද, ඉතා ලොකු වැඩෙකැ’ යි කීහ. ‘මා කළ මේ වැඩේ ලොකු අමාරු වැඩෙක් නො වේ, මා කළ අමාරු වැඩක් තමුන්නාන්සේලාට කියමි. මා පැවිදි වූ දා සිට අමතක කොටවත් නො දැන වත්, කළ වරදෙක් නැත, කවදා වත් මා කළ වරදක් ගැන මට දැනුම් නැත, අමාරු වැඩේ නම් ඒ ය’ යි උන්වහන්සේ වදාළ සේක.

සප්තශෛක්‍ෂයන්ගේ සීලය, දෘෂ්ටිවශයෙන් අල්ලා නො ගත් බැවින් අපරාමට්ඨපාරිසුද්ධිසීල යි කියනු ලැබේ. තව ද පෘථග්ජනයන්ගේ හෝ, භව වශයෙන් අල්ලා නො ගත් සීලය, අපරාමට්ඨපාරිසුද්ධිසීල යි ගැණේ. ‘කුටුම්බියතිස්සපුත්ත’ ස්ථවිරයන් වහන්සේගේ සීලය මෙනි. උන්වහන්සේ සීලය නිසා, රහත්වන්නට සිතා තමා මරන්නට පැමිණි සතුරන්ට ‘මම දෙපා බිඳ ගෙණ තොපට පොරොන්දුවක් දෙමි, රාගසහිත වු මරණයට මම පිළිකුල් කරමි, මම එයට ලජ්ජිත වෙමි’ යි සංස්කාරධර්‍මයන්හි සිත යවා පාන්වත් ම රහත් වූහ.

එක්තරා මහතෙර කෙනෙක්, දැඩි සේ ගිලන් ව අහරගැණීමෙහි ද අපොහොසත් ව, තමන්ගේ මල මූ දෙකෙහි ගැලි ගැලී ඔබමොබ පෙරළෙමින් කල් යැවූහ. ඒ දුටු තරුණ භික්‍ෂු නමක් ‘අයියෝ! ජීවිත සංස්කාරයෝ දුක් වන්නාහ’ යි කියනු අසා ඔහුට කතා කොට ‘ඇවත! මම දැන් මැරෙමි, සග සැප ලබමි, එහි සැකයෙක් නැත, සීලය බිඳ දමා ලබන සම්පත්තිය නම්, මහණකම හැර ලබන ගිහිකම වැනි ය, මට වුවමනා සීලය සමග මැරෙන්නට ය’ යි කියූ උන්වහන්සේ එසේ ම හොත් සේක්, ඒ රෝගය ම සම්මර්‍ශන කරන්නෝ රහත් වූහ.

‘තථාගතසාවකානං ඛීණාසවානං පච්චෙකබුද්ධානං තථාගතානං අරහන්තානං සම්මාසම්බුද්ධානං ඉදං පටිප්පස්සද්ධි පාරිසුද්ධි සීලං’ යි වදාළ බැවින් රහතුන්ගේ පසේ බුදුරජුන්ගේ සම්මා සම්බුදුරජුන්ගේ සීලය, පටිප්පස්සද්ධිපාරිසුද්ධිසීල නම් වේ. ඒ සීලය මුළුමනින් කෙලෙස්දැවීම් සන්සිඳුවාලයි.

හිරි-ඔත්තප්පාදී වූ යම් කුශලචිත්තෝත්පාදයකින් ප්‍රාණඝාතයා ගේ ප්‍රහාණය වේ ද, ඒ ප්‍රාණඝාතප්‍රහාණය පහාණසීල නම් වේ. අදින්නාදානප්‍රහාණදියෙහි ද ක්‍රමය මෙසේ ය. ‘එත්ථ ච පහාණන්ති කො චි ධම්මො නත්‍ථි අඤ්ඤත්‍ර වුත්තප්පකාරානං පාණාතිපාතාදීනං අනුප්පාදමත්තතො’ යන මෙයින් පෙණෙනුයේ ප්‍රාණඝාතාදීන්ගේ අනුප්පාදමාත්‍රය මුත්, ප්‍රහාණැ යි ගතයුතු අනික් ධර්‍මයක් නැතිබව ය. ප්‍රාණඝාතාදීන්ගේ ප්‍රහාණය, ඒ ඒ කුශලධර්‍මයන්ට පිහිටවන හෙයින්, කුසල්දහම් දරාගැණිමෙක් වේ ද, පරපණ නැසුම් ඈ නො කිරීම, චිත්තකම්පනය නො කරණ හෙයින් සිත් නො සැලීමට කරුණු වේද, එ හෙයින් යට කියූ උපධාරණ සමාධාන යන ශීලනාර්‍ත්‍ථයෙන් පහාණසීල යි කියනු ලැබේ.

පරපණනැසුම් ඈ වරදින් වැළක සිටීම, වෙරමණීසීල නම් වේ. වේරමණී-සංවරයන් හා යෙදුනු චේතනාව, චේතනාසීල නම් වේ. මෙය ප්‍රාණඝාතාදියට ප්‍රතිපක්‍ෂභාවයෙන් වන්නේ ය. ප්‍රාණඝාතාදියෙන් සංවරවීම, සංවරසීල නමි. ප්‍රාණඝාතාදියෙන් වැළක්ම පිණිස පැණ වූ සිකපද නො බිඳ පවත්වාලීම අවීතික්කමසීල නමි. ඒ ඒ සිකපද නොයික්මවා රැකීමැ යි කී සේ ය.

අදින්නාදාන - කාමමිච්ඡාචාර - මුසාවාද - පිසුණවාච - ඵරුසවාච - සම්ඵප්පලාප - අභිජ්ඣා -ව්‍යාපාද - මිච්ඡාදිට්ඨි යන මොවුන් පිළිබඳ පහාණ - විරමණ - චේතනා - සංවර - අවීතික්කම යන මේ පස මේ නයින් දතයුතු ය. විස්තර කැමැත්තන් අනික් පොත පත බැලිය යුතුය. මේ හැම සීලයෙක් පිළිවෙළින් නිවන් පිණිස පවත්නේ ය. ‘විනසො සංවරත්ථාය, සංවරො අවිප්පටිසාරාය’ යනාදි දේශනාවෙන් ඒ පැහැදිලි ය.

ඛණ්ඩ - ජිද්‍ර - සබල - කල්මාෂ යන මේ ලෙසින් සීලය කිලිටි වේ. සීලයෙහි මෙ කී ඛණ්ඩභාවාදිය වනුයේ ලාභ - යස - ඤාති - අඞ්ග - ජීවිත යන මෙයින් යමක් බලාපොරොත්තුවෙන්, සීල සමාදානයෙන් හා සත් වැදෑරුම් මෙවුන්දම්හි යෙදීමෙනි.

සත්වැදෑරුම් වූ ආපත්තිස්කන්ධයන් අතුරෙහි යම් ආපත්තිස්කන්ධයෙක මුල හෝ අග, ශික්‍ෂාපදයෙක් කැඩී බිඳී ගියේ නම්, ඒ සීලය, ඛණ්ඩසීල නම් වේ. කෙළවර කැඩී ගියා වූ වස්ත්‍රයක් සේ ය. යම් ආපත්තිස්කන්ධයෙක මැද ශික්‍ෂාපදයෙක් සිඳී බිඳී ගියේ නම්, ඒ සීලය, ඡිද්‍රශීල නම් වේ. මැද සිදුරු වූ වස්ත්‍රයක් සේ ය. යම් ආපත්ති ස්කන්ධයක පිළිවෙළින් සිකපද දෙක තුනෙක් කැඩී බිඳී ගියෝ නම් ඒ සීලය, සබලශීල නම් වේ. පිටෙහි හෝ බඩතුරෙහි නැගි කලු රතු ඈ එකිනෙකට නො සම වූ පැහැ ඇති දෙනක සේ ය. යම් ආපත්තිස්කන්ධයෙක අතරින් පතර සිකපද බිඳී ගියේ නම්, ඒ සීලය, කල්මාෂශීල නම් වේ. අතරින් අතර විසභාගවණී ඇති තිත්දෙනක සේ ය. මෙසේ සීලය, ලාභාදිහේතුවෙන් ඛණ්ඩාදිභාවයට පැමිණේ.

ඇතැම් මහණ බමුණෝ ගෑණුන් හා මෙවුන්දම් නො සෙවුනෝ ද, උන් කරණ ඇඟ ඉලීම් - නැහැවීම් - කැවීම් - පෙවීම් - අත් පා මැඩීම් - සිනාසීම් ඈ ඉවසති. ඉන් තුටු වෙති. මේ ඉවසීම් තුටුවීම් බ්‍රහ්මචර්‍ය්‍යයට ඛණ්ඩ ද, ඡිද්‍ර ද, සබල ද, කල්මාෂ ද වේ.

ගෑණුන් හා මෙවුන්දම් නො සෙවුනෝ, ඇඟ ඉලීම් ඈ නො ඉවසුවෝ, කෙලෙස් වසයෙන් සිනාසීම් - සෙල්ලම්කිරීම් - ආදරය කිරීම් කරන්නෝ ද, ඒ හැම, ඔවුන්ගේ බ්‍රහ්මචර්‍ය්‍යයට ඛණ්ඩද, ජිද්‍ර ද, සබල ද, කල්මාෂ ද වේ.

උන් හා මෙවුන්දම් සෙවුම් - ඇඟ ඉලුම් - සිනාසීම් නො කරන්නෝ ගෑණුන්, ඇසින් ඇස පැහැර බලත් නම්, එය ඔවුන්ගේ බ්‍රහ්මචර්‍ය්‍යයට ඛණ්ඩ ද, ජිද්‍ර ද, සබල ද කල්මාෂ ද වේ.

මෙවුන්දම් සෙවුම් - ඇඟඉලුම් - සිනාසීම් - ඇසින් ඇස පැහැර බැලුම් නො කරන්නෝ, ගෑණුන් සිනාසෙන කතා කරණ ගයන හඬන හඬ අසා තුටු පහටු වෙද්ද, එය බ්‍රහ්මචර්‍ය්‍යයට ඛණ්ඩ ද, ජිද්‍ර ද, සබල ද, කල්මාෂ ද වේ.

මෙවුන්දම් සෙවුම් - ඇඟ ඉලුම් - සිනාසීම් - බැලීම් - හඬ ඇසීම් - නො ඉවසන්නෝ, උන් හා පෙර කළ ඉලීම් - බැලීම් - කීම් - කෙරීම් - සිනාසීම් - සෙල්ලම් ආදිය සිහි කරත් ද, එය බ්‍රහ්මචර්‍ය්‍යයට ඛණ්ඩ ද, ජිද්‍ර ද, සබල ද, කල්මාෂ ද වේ.

මෙවුන්දම්සෙවුම් ඈ නො කළෝ ද, පංචකාමයෙන් පිරී ඉතිරී ගියා වූ ගැහැවියන් දැක හෝ, ඔවුන් ගැන කරුණු අසා, ඒ කැමැති වන්නෝ ද, එය බ්‍රහ්මචර්‍ය්‍යයට ඛණ්ඩ ද, ජිද්‍ර ද, සබල ද, කල්මාෂ ද වේ.

මෙවුන්දසෙවුම් ඈ නො ඉවසන්නෝ, පස්කම්සුව නො කැමැත්තෝ, ශීලයෙන්, ව්‍රතයෙන්, තපසින් බ්‍රහමචර්‍ය්‍යයෙහි හැසිරෙද්ද, එය බ්‍රහ්මචර්‍ය්‍යයට ඛණ්ඩ ද, ජිද්‍ර ද, සබල ද, කල්මාෂ ද වේ. මෙසේ මේ සීලය සත්වැදෑරුම් මෙවුන්දම්සෙවුමෙන් ඛණ්ඩාදිභාවයට පැමිණේ. මේ හේතුවෙන් මේ මහණ බමුණෝ ජාති ජරා මරණාදී වූ දුකින් නො මිදෙති. සීලය මේ කී පරිද්දෙන් ඛණ්ඩාදිභාවයට නො පැමිණියේ ම පිරිසිදු වේ.

සිකපද නො බිඳුම, බිඳුනවුනට පිළියම්කිරීම, සත් වැදෑරුම් මෙවුන්දම්සෙවුමෙන් වෙන්වීම, ක්‍රෝධ, උපනාහ, මක්ඛ, පලාස, ඉස්සා, මච්ඡරිය, මායා, සාඨෙය්‍ය, ථම්භ, සාරම්භ, මාන, අතිමාන, මද, පමාදාදී වූ පාපධර්‍මයන් නො ඉපදවීම යන මෙයින් සීලයෙහි අඛණ්ඩ, අච්ඡිද්‍ර, අසබල, අකල්මාෂභාවය වන්නේ ය.

මේ කියූ කරුණෙන් නො බිඳුනු, බිඳුන ද පිළියම් කළ සීලය ම තෘෂ්ණාදාසත්වයෙන් මුදන බැවින් භුජිස්ස’ යි ද, නුවණැත්තන් විසින් පැසසූ බැවින් විඤ්ඤුප්පසත්ථ’ යි ද, තෘෂ්ණා දෘෂ්ටින් විසින් නො ගත් බැවින් අපරාමට්ඨ’ යි ද, උපචාර-අර්‍පණා සමාධිය උපදවන බැවින් සමාධිසංවත්තනික’ යි ද කියනු ලැබේ.

සීලයෙහි පිසිරිදුබව වනුයේ, සීලවිපත්තියෙහි දොස් දැක්මෙන් හා සීලසම්පත්තියෙහි අනුසස් දැක්මෙන් ය.

දුශ්ශීලයා ප්‍රමාදහේතුවෙන් භෝගහානියට පැමිණෙයි. ඔහුගේ අපකීර්තිය දසත පැතිරෙයි. පිරිස් කරා පැමිණීමෙහි අපොහොසත් වෙයි. ඉදිරියට ඊමෙහි මැලිකම් දක්වයි. මුළුගැන්වීමෙහි කැමැත්ත හඟවයි. බලවත් මුළාවෙන් කලුරිය කෙරෙයි. මරණින් මතු අපායයෙහි උපදියි.

තව ද දුශ්ශීලයා තම දුසිල්බව හේතු කොට දෙව්මිනිසුන්ට අප්‍රිය වේ. අප්‍රිය බැවින් අවවාද නො කොට යුත්තේ වේ. සිල් නැත්තන්ට ද අවමන් කිරීමෙහි ලා දුක් ඇත්තේ වේ. සිල් ඇත්තන්ට පැසසීමෙහි ලා විපිළිසර ඇත්තේ වේ. හණරෙද්දක් සේ ගුණෙන් හා සිරුරෙන්, නපුරු පැහැ ඇත්තේ වේ. දිට්ඨානු ගතියට පැමිණෙන්නවුන්ට අපාදුක් එළවන බැවින්, නපුරුපහස් ඇත්තේ වේ. දීමෙන් පලක් නො වන බැවින්, නො වටින්නේ වේ. අවුරුදු ගණන් ඉක්මුණු අසූචිවළක් සේ පිරිසිදු කරණු නො හැක්කේ වේ. සොහොන් පෙණෙල්ලක් සේ වැඩකට නැත්තේ වේ. ‘මමත් ගවයෙක්මි’ යි ගොනුන් මැද හැසිරෙණ කොටලුවකු සේ ‘මමත් මහණෙක්මි’ යි මහණුන් මැද හැසිරෙතත්, මහණෙක් නො වේ. මළමිනියක් සේ සංවාසයට නො සුදුසු වේ. උගත්තේ ද, සබ්‍රහ්මචාරීන් විසින් නො පිදිය යුතු වේ. රූපදැකීමෙහි දෑස් නැත්තකු සේ විශෙෂාධිගමයෙහි නො සුදුසු වේ. රජයෙහි රොඩීකොල්ලකු සේ සද්ධර්‍මයෙහි ආශා නැත්තේ වේ. මේ ඈ ලෙසින් සීලවිපත්තියෙහි වූ දොෂයත්, මෙයට ප්‍රතිවිරුද්ධ ලෙසින් සීලසම්පත්තියෙහි ආනිසංසයත් දතයුතු ය. තව ද සීල සම්පත්තියෙහි ලා මෙය ද දැක්ක යුතු ය.

“අත්තානුවාදාදිභයං - සුද්ධසීලස්ස භික්ඛුනො,

අන්ධකාරං විය රවි - හදයං නාවගාහති”

හිරුකරා අඳුර නො යන්නා සේ පිරිසිදු සිල් ඇති මහණුන් ගේ ලඟට ආත්මානුවාදාදිභය ඇතුල් නො වේ.

“සීලසම්පත්තියා භික්ඛු - සොභමානො තපොවනෙ,

පහාසම්පත්තියා චන්දො - ගගනෙ විය සොහති”

අහසෙහි සඳරැස්වලින් බබලන චන්ද්‍රයා සේ සීලසම්පත්තියෙන් බබලන මහණ තෙමේ තපොවනයෙහි බබලයි.

“කායගන්‍ධො පි පාමොජ්ජං - සීලවන්තස්ස භික්ඛුනො,

කරොති අපි දෙවානං - සීලගන්‍ධෙ කථාවකා”

සිල්වත්මහණුන්ගේ ශරීරගන්ධය ද, දෙවියන්ට පවා ප්‍රීතිය ගෙණ දෙයි. සීලගන්ධයෙහි ලා කියනු ම කිම.

“සබ්බෙසං ගන්ධජාතානං - සමන්තං අභිභුය්‍ය හි,

අවිඝාතී දසදිසා - සීලගන්‍ධො පවායති”

සීලගන්ධය තෙමේ, සියලු සුවඳජාතීන්ගේ සුගන්ධසම්පත්තිය යටපත් කොට දසදික්හි නො පැකිළ හමයි.

“අප්පකම්පි කතාකාරා - සීලවන්තෙ මහප්ඵලා,

හොන්තීති සීලවා හොති - පූජාසක්කාරභාජනං”

සිල්වතුන් කෙරෙහි කළ ටික වූ ද සංග්‍රහයෝ මහත්ඵල ඇත්තෝ වෙති. සිල්වත් තෙමේ පූජාසත්කාරයට භාජන වේ.

“සීලවන්තං න බාධෙන්ති - ආසවා දිට්ඨධම්මිකා,

සම්පරායිකදුක්ඛානං - මූලං ඛණති සීලවා”

මෙම අත්බැව්හි වන වධබන්ධනාදී වූ උවදුරු, සිල්වතා නො පෙළත්. සිත් තෙමේ පරලෙව්හි වන දුක්වල මුල සාරා දම යි.

“යා මනුස්සෙසු සම්පත්ති - යා ච දෙවෙසු සම්පදා,

න සා සම්පන්නසීලස්ස - ඉතො හොති දුල්ලභා”

මිනිසුන් කෙරෙහි යම් සම්පත්තියක් වේ ද, දෙවියන් කෙරෙහිත් යම් සම්පත්තියක් වේ ද, ඒ හැම සම්පත්තියක් ම ඒ කැමැතිවන සිල්වත්හට දුර්‍ලභ නො වේ.

“අච්චන්තසන්තා පන යා - අයං නිබබාණසම්පදා,

සම්පන්නසීලස්ස මනො - තමෙව අනුධාවති”

අත්‍යන්තයෙන් ශාන්ත වූ යම් නිර්‍වාණසම්පත්තියක් වේ ද, සිල්වත්හු ගේ සිත, ඒ නිර්‍වාණසම්පත්තිය කරා දුවයි.

මේ කීයේ ආගමයෙහි එන සිල් පිළිබඳ ඉතා කෙටි විස්තරයකි. අතිවිස්තර කථා කැමැත්තන් විසින් අන් පොත පත බැලිය යුතුය. ‘සීලවතං ගන්‍ධො’ යන මෙයින් ප්‍රධාන වශයෙන් ගැණෙනුයේ බුධාදීආර්‍ය්‍යයන් වහන්සේගේ මාර්‍ගඵලසම්ප්‍රයුක්ත වූ සීලය යි. එහෙත්, ඉන් අන් සිල් ද නො ගැණෙනුයේ නො වේ. මේ හා විස්තර ඉදිරියෙහි එන්නේ ය.

වාති දෙවෙසු උත්තෙමා = උතුම් වූ සිල්සුවඳ දෙවියන් අතර හමයි.

‘උත්තමො’ යනු ‘ ගන්‍ධො’ යන්නෙහි විශේෂණය යි. උතුම් වූ සිල්සුවඳ දෙවිමිනිසුන් අතර පැතිර යන බවට මේ පිණ්ඩපාත දානය ම නිදසුන් කොට දැක්විය හැකි ය. චක්ඛුපාල ස්ථවිරයන් වහන්සේගේ සිල්තෙදින් ශක්‍ර දේවේන්ද්‍රයාගේ පඬු ඇඹුල් සලස්න උණුවී ගියේ ය. සරණ ස්ථවිරයන් වහන්සේගේ මෑනියන් සමාදන් වූ සීලය දෙවියන් අතර පැතිර ගියේ ඇයගේ දිවි රැකුමට කරුණු විය.

ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙනෙක් සෝවන් ඵලාදියට පැමිණියෝ ය. දේශනාව මහාජනයාට ද වැඩ සහිත වූය.

මහසුප්තෙරුන්ට පිණ්ඩපාතය දුන් කතාපුවත නිමි.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.