4-9 උඩුසුළඟෙහි යන සුවඳ

න පුප්ඵගන්‍ධො පටිවාතමෙති න චන්‍දනං තගරමල්ලිකා වා

සතඤ්ච ගන්‍ධො පටිවාතමෙති සබ්බා දිසා සප්පුරිසො පවාති.

මල්සුවඳ උඩු සුළඟට නොයෙයි. සඳුන් තුවරලා සීනිද්ද බෝලිද්ද සුවඳ ද උඩු සුළඟට නො යෙයි. බුද්ධාදි සත්පුරුෂයන්ගේ සිල් ආදි ගුණසුවඳ උඩු සුළඟට යෙයි. සත්පුරුෂයා ගුණසුවඳින් සියලු දිගුන් පැතිරැ හමයි.

චන්‍දනං තගරං වාපි උප්පලං අථ වස්සිකී

එතෙසං ගන්‍ධජාතානං සීලගන්‍ධො අනුත්තරො.

සඳුන් තුවරලා මානෙල් දෑසමන් යන මෙකී සුවඳ දෑ අතුරෙහි බුද්ධාදීන්ගේ සිල් සුවඳ ම උතුම් ය.

දවසක් විවේකයෙන් හුන් අනඳ මහ තෙරණුවෝ ‘බුදුරජානන් වහන්සේ සඳුන් ආදී වූ හරසුවඳ, හිරිවේරිය ආදී වූ මුල්සුවඳ, දෑ සමන් ආදී වූ මල් සුවඳ, උතුම් සුවඳ කොට වදාරණ සේක, එහෙත් ඒ සඳුන් ආදී හැම සුවඳ, යටිසුළඟෙහි මුත් උඩු සුළඟෙහි නො යයි, මෙය මා තීරණය කරණු තබා මෙහි ලා බුදුරජානන් වහන්සේගේ තීරණය දැන ගැණීම වඩා හොඳ ය’ යි බුදුරජුන් වෙත ගියහ. ගොස් වැඳ ‘ස්වාමිනි! භාග්‍යවතුන් වහන්ස! හරසුවඳ, මුල්සුවඳ, මල්සුවඳ යන මේ තුන් සුවඳ යටිසුළඟෙහි මිසක් උඩුසුළඟෙහි නො යයි, ඒ හෙයින් යටිසුළඟෙහි යන සුවඳක්, උඩුසුළඟෙහි යන සුවඳක් යටිසුළඟෙහි හා උඩුසුළඟෙහි යන සුවඳක් තිබේ දැ? යි ඇසූහ. ‘ඔව්, ආනන්ද! තිබේ ය’ යි වදාළවිට, ආනන්ද ස්ථවිරයන් වහන්සේ ‘ස්වාමීනි! මට එය පහදා දෙනු මැනැවැ’ යි ඉල්ලා සිටියහ. එවිට බුදුරජානන් වහන්සේ ‘ආනන්ද! ගමෙක හෝ නියම්ගමෙක වසන සත්‍රියක් හෝ පුරුෂයෙක් බුදුන් දහම් සඟුන් සරණ ගියේ, සතුන් මැරීම්-හොරකම් කිරීම්-කාමයෙහි වරදවා හැසිරීම්-බොරුකීම්-රා අරක්කු බීම් යන පස් පවින් වැළකී සිල්වත් වූයේ යහපත් ගතිගුණ ඇත්තේ, මසුරුමල හැර මුදා ලූ ත්‍යාග ඇති ව දීමෙහි පිරිසිදු වූ අත් ඇති ව ඉල්ලීමෙහි සුදුසු ව තමන්ගේ කොටස පවා බෙදා දී වැලඳීමෙහි ඇලී ගිහිගෙයි වෙසේ ද, එබඳු ගෑණුන්ගේ හා පිරිමින්ගේ ඒ උසස් ගුණය, දසදෙසැ වසන හැම මහණ බමුණු කෙනෙක් ම සතුටින් කියති, දෙවියෝත් කියති, අසුවල් ස්ත්‍රිය, අසුවල් පුරුෂයා තුන් සරණයෙහි පිහිටා පස්පවින් වැළකී සිල්වත් ව වෙසේ ය, යි ඒ හැම කෙනෙක් ම කියති, ආනන්ද! මෙබන්දගේ ගුණ සුවඳ යටිසුළඟ උඩුසුළඟ දෙක්හි ම නිතර පැතිර යේ ය’ යි වදාරා මේ ධර්‍මදේශනාව ද කළ සේක:-

න පුප්ඵගන්‍ධො පටිවාතමෙති න චන්දනං තගරමල්ලිකා වා,

සතං ච ගන්‍ධො පටිවාතමෙති සබ්බා දිසා සප්පුරිසො පවාති.

.

චන්දනං නගරං වා පි උප්පලං අථ වස්සිකී,

එතෙසං ගන්‍ධජාතානං සීලගන්‍ධො අනුත්තරොති.

මල්සුවඳ උඩුසුළඟෙහි නො යයි. සඳුන් - තුවරලා - බෝලිද්දමල් සුවඳත් උඩු සුළගෙහි නො යයි. සත්පුරුෂයන්ගේ සිල්සුවඳ ම උඩුසුළඟෙහි යයි. සත්පුරුෂ තෙමේ සියලු දිසාවන්හි පැතිරෙයි.

සඳුන් - තුවරලා - උපුල් - දෑසමන් යන සුගන්ධද්‍රව්‍යයන්ගේ සුවඳට වඩා සිල්සුවඳ ඉතා උතුම් වේ.

පුප්ඵගන්‍ධො = මල්සුවඳ.

හැම සුවඳකට වඩා ලෝකයාගේ සිත් පිණවන්නේ මල් සුවඳ යි. එහෙත් ලොව ඇති තාක් මල්, සුවඳවත් නො වේ. පරසතු - මදාරා - සඳුන් - තූවරලා - බෝලිද්ද - සීනිද්ද - සපු - දුනුකේ - දෑසමන් - එරහැඳි - ලොත් - තමාල - කොඳ - යොහොඹු - පුවඟු - සේපාලිකා ආදී වූ මල් ම සුවඳින් ලෝකයාගේ සිත් ඇද ගණියි. සුගන්ධද්‍රව්‍යයන් අතුරෙහි මේ ම ප්‍රධාන වේ. එහෙත් මේ කියූ මල්සුවඳත් යනුයේ යටි සුළඟෙහි ය. උඩු සුළඟෙහි නම් ඒ ද නො යයි. තව්තිසාදෙව්ලොව පරසතුරුකෙහි හටගන්නා මල්වල සුවඳ, යොදුන්සියයක් පැතිර ගියේ ද, යන්නේ යටි සුළඟෙහි ය. අනික් මල්සුවඳ ගැන කුමන කතා ද.

න චන්දනං තගරමල්ලිකා වා = සඳුන් - තුවරලා - බෝලිද්ද මල් සුවඳ වත් (උඩු සුළගෙහි නො යයි)

‘චන්දනං’ යි කීයේ රත්සඳුන් ය. සාරගන්ධයන් අතුරෙහි ඒ ම ප්‍රධාන වේ.

සතං ච = සත්පුරුෂයන්ගේ ද.

‘සන්ත’ යනු ප්‍රකෘතිය යි. පූජ්‍ය - විද්‍යමාන - ප්‍රශංසා - සත්‍ය - සත්පුරුෂ - ක්ලාන්ත - ශාන්ත යන අර්‍ත්‍ථයන්හි වැටේ. ‘සන්තො සප්පුරිසා ලොකෙ’ යන මෙහි පූජ්‍යාර්‍ත්‍ථයෙහි ආයේ ය. ‘පංචිමෙ භික්ඛවෙ! මහාචොරා සන්තා සංවිජ්ජමානා ලොකස්මිං’ යන මෙහි ආයේ, විද්‍යාමානාර්‍ත්‍ථයෙහි ය. පැසසීමෙහි හුනුයේ ‘සන්තො පසත්‍ථො විනයෙ විසාරදො’ යන තැන ය. ‘සන්තො හවෙ සබ්භි පවෙදයන්ති’ යනු සත්පුරුෂයන් කෙරෙහි ආ තැන ය. ‘දීඝං සන්තස්ස යොජනං’ යනු ක්ලාන්තයෙහි ය. ‘සන්තො දන්තො නියතො බ්‍රහ්මචාරී’ යන තැන හුනුයේ සන්සිඳීම කිය යි. මෙහි යෙදුනේ සත්පුරුෂයන් කෙරෙහි නැගී සිටියා වූ සන්ත ශබ්දය යි. සම්බන්ධාර්‍ත්‍ථය කියන්නටය සතං’ යි ආයේ. බුදුවරයෝ ය, ප්‍රධාන වශයෙන් සත්පුරුෂයෝ. එ තැන් සිට පසේබුදුවරයෝ, මගපල පසක් කළ අරීසව්වෝ, කලණපුහුදුන් දනෝ, සත්පුරුෂයෝ ය. සතුන්මැරීම් ආදී වූ පව්කම්වලින් වැළකී සිටියෝත් සත්පුරුෂයෝ ය. තුමූ පව්කම්වලින් වැළකී අනුනුත් පව්කම්වලින් වළකන්නෝ සත්පුරුෂතරයෝ ය. මෙසේ තුමූ සිල්වත්ව සද්ධා-හිරි-ඔත්තප්ප-සුත-විරිය-සති-පඤ්ඤා යන උතුම් ගුණයන්ගෙන් යුක්තවූවෝ අන්‍යයාත් මෙකී ගුණ ඇත්තවුන් කෙරෙත් නම්, ඔවුහු ද, සම්මාදිට්ඨි ආදි ආර්‍ය්‍යමාර්‍ගයෙහි යන්නෝ අන්‍යයාත් එහි යවත් නම්, ඔවුහු ද සත්පුරුෂතරයෝ වෙති. ‘ඉධ භික්ඛවෙ! සප්පුරිසො යො හොති පරස්ස අවණ්ණො තං පුට්ඨොපි න පාතුකරොති - පෙ- යො හොති අත්තනො වණ්ණො නං පුට්ඨොපි න පාතුකරොතීති’ මේ අනුව අනුන් පිළිබඳ දොසක් විචාරණ ලද්දේත් නො කියන්නේ, අනුන් පිළිබඳ ගුණය නො විචාරා ම කියනුයේ, තමා පිළිබඳ ගුණය විචාරණ ලදුවත් නො කියන්නේ සත්පුරුෂ ය යි කිය යුතු ය.

කරුණු මැනැවින් සොයා බලා දැන කරුණාවෙන් අගුණ කියන්නේ, කරුණු මැනැවින් තීරණය කොට පසසන්නේ, නො පැහැදියයුතු තැන්හි නො පහදින්නේ, පැහැදිය යුතු තැන්හි පහදින්නේ සත්පුරුෂ යි ද කියන ලද්දේ ය. ඉතා සැකෙවින් කිය යුත්තේ නිරවද්‍ය වූ කාය - වාක් - මනස්කර්‍ම ඇත්තහු, සත් පුරුෂයා බවය.

බුදු - පසේබුදු - මහරහතුන් කෙරෙහි නැගෙන සත්පුරුෂ ව්‍යවහාරය හැම අතකින් සාර්‍ත්‍ථක වේ. උන්වහන්සේලා ගුණයෙහි පරමකොටියට ගියෝ ය. එහෙයින් ඒ ව්‍යවහාරය කිසිවිටෙක වෙනස් නො වේ. වෙනස් කරවන්නට ද නො හැකි ය. එහි යුකතිය මේ ය:-

“රාගස්ස සමිතත්තා සන්තො, දොසස්ස සමිතත්තා සන්තො, මොහස්ස සමිතත්තා සන්තො, කොධස්ස - උපනාහස්ස - මක්ඛස්ස - පලාසස්ස - ඉස්සාය - මච්ඡරියස්ස - මායාය - සාඨෙය්‍යස්ස - ථම්භස්ස - සාරම්භස්ස - මානස්ස - අතිමානස්ස - මදස්ස - පමාදස්ස - සබ්බකිලෙසානං - සබ්බදුච්චරිතානං - සබ්බදරථානං - සබ්බපරිළාහානං - සබ්බසන්තාපානං - සබ්බකුසලාභිසංඛාරානං - සන්තත්තා සමිතත්නා වූපසමිතත්තා විජඣාතත්තා නිබ්බුතත්තා විගතත්තා පටිප්පස්සද්ධත්තා සන්තො උපසන්තො වූපසන්තො නිබ්බුතො පටිප්පස්සද්ධෝති සන්තො” යි ආගම කියයි.

රාග-ද්වේෂ-මෝහයන් සන්සිඳ වූ හෙයින්, ක්‍රෝධ-බද්ධවෛර-ගුණ මැකීම-තා මා අතර කවර වෙසෙසක් දැ යි සැලකීම-අනුන් අයත් සැලකිලි ගරුබුහුමන් නො ඉවසීම-මසුරුකම-රැවටීම-කපටිකම-තදගතිය-කරණ ලද්දට වැඩිය කිරීම-තමන් උසස් කොට සැලකීම-මත්වීම-සිහිමුළාබව-සියලු කෙලෙසුන්-සියලු දුසිරිත්-සියලු දරථයන්-සියලු දාහයන්-සියලු සන්තාපයන්-සියලු අකුශල සංස්කාරයන්-සන්සිඳ වූ හෙයින්, දැමූ හෙයින්, නිවූ හෙයින්, පහකළ හෙයින්, නැවැත නූපදින්නන් කළ හෙයින් සන්ත නම් වෙති යනු පද අනුව ගිය ඉතා කෙටි තේරුම යි.

ගන්‍ධො = සුවඳ.

මේ පුෂ්පගන්ධ මූලගන්ධාදිගන්‍ධයෙක් නො වේ. බුද්ධාදී වූ උතුමන්ගේ ශීලාදිගුණධර්‍මයන් නිසා පැන නගින්නා වූ කීර්තිගන්ධය යි මේ. ඒ නම් ශීලගන්ධය යි. උන්වහන්සේලාගේ ස්වභාවගන්ධය යි. ස්වභාවය නම් ශීලය යි.

සබ්බා දිසා සප්පුරිසො පවාති = සත්පුරුෂ තෙමේ සියලු දිසාවන්හි පැතිරේ.

මෙම ලක්දිව රුහුණුදනව්වෙහි කලුවැල්මණ්ඩප නම්, ගමෙක් විය. එහි මහානාග නම්, තෙරකෙනෙක් වාසය කළහ. උන්වහන්සේගේ සිල්සුවඳ දඹදිව පුරා ද පැතිර ගියේ ය. පැළලුප් නුවර වැසි බමුණෝ දෙදෙනෙක් උන්වහන්සේ දකිනු කැමැත්තෙන් මෙහි එන්නට ඉන් පිටත් ව ආහ. අතර මග දී ඉන් එකෙක් මළේ ය. අනිකා, නැව් නැගී අවුත් මහතොටට ගොඩ බැස, අනුරාධපුරයට ගොස් කලුවැල්මඬලය පිහිටියේ කොහි දැ යි අසා ගොස් තෙරුන් වසන තැන දැන එහි පැමිණ එ ගමට යාව පිහිටි සුලුනුවර නම් ගමෙහි ගේක නවාතැන් ගෙණ එහි දී ම අහර පිළියෙල කොට ගෙණ උදෑසන ම තෙරුන් වසන තැනට ගියේ, තෙරුන් දැක වැඳ වැටී ‘ස්වාමීනි! ඔබවහන්සේගේ ගුණසුවඳ මුහුදින් එතෙර මුළු දඹදිව සැම තැනැ පැතිර පවතී, මම නුඹ වහන්සේ දකින්නට එහි සිට මෙහි ආමි’ යි කියා පිළියෙල කොට ගෙණ ගිය අහර පිළිගන්වා පාසිවුරු සොයා ගෙණ අවුත් එහි ම පැවිදි ව උන්වහන්සේගේ අවවාදයෙහි පිහිටා කිහිප දිනකින් රහත් බවට පැමිණියේ ය.

මෙයින් සත්පුරුෂයාගේ ගුණ සුවඳ පැතිරෙණුයේ මිනිසුන් අතර පමණකැ යි නො ගතයුතු ය. දිව්‍ය බ්‍රහ්ම යක්‍ෂ රාක්‍ෂස. තිරශ්චීනාදී වූ හැම සතුන් අතර ම පැතිර යෙයි. මෙසේ සත්පුරුෂයා සත්වලෝකයෙහි හැම තැනැ පැතිරෙණ බැවින් ‘සබ්බා දිසා සප්පුරිසො පවාති’ යනු වදාළ සේක.

එතෙසං ගන්ධජාතානං = චන්දනාදී වූ මේ ගන්‍ධද්‍රව්‍යයන් අතුරෙහි.

සීලගන්‍ධො අනුත්තරො = සීලගන්ධය ඉතා උතුම් වේ.

සිල්සුවඳ අනික් හැම සුවඳ ම මැඩගෙණ යට කොට ගෙණ පවතී.

මේ ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියෝ ය. දේශනාව මහාජනයාට වැඩ සහිත වූ ය.

ආනන්ද ස්ථවිරයන්වහන්සේගේ ප්‍රශ්න විචාරීම් වස්තුව නිමි.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.