4-8 විශාඛා මහා උපාසිකාවෝ

යථාපි පුප්ඵරාසිම්හා කයිරා මාලාගුණෙ බහූ

එවං ජාතෙන මච්චෙන කත්තබ්බං කුසලං බහුං.

දක්‍ෂ මාලාකාරයෙක් මල් රැසෙකින් යම්සේ බොහෝ මල්දම් කරන්නේ ද, එසේ ම උපන් සත්ත්‍වයා විසින් බොහෝ කුසල් කටයුතු.

අඟුරට භද්දිය නුවර මෙණ්ඩක නම් සිටුවරයෙක් විය. ඔහුගේ පුත්‍ර තෙමේ ධනඤ්ජය නම් වූයේ ය. සුමනා තොමෝ ඔහුට භාර්‍ය්‍යා වූ ය. විශාඛාවෝ සුමනාවගේ දුවනියෝ ය. විශාඛාව වයසින් සත් හැවිරිද්දට පැමිණ සිටි දවස බුදුරජානන් වහන්සේ භික්‍ෂුසංඝයාත් පිරිවර කොට භද්දියනුවරට වැඩම කළ සේක. එහි වැඩි සේක් සෙලබ්‍රාහමණාදී වූ විනෙයබන්ධුන්ගේ හේතුසමපත් දැකීමෙනි. එ දවස ඒ නගරයෙහි මහපිණැතියෝ පස්දෙනෙක් විසූහ. ඔවුන් අතුරෙහි ප්‍රධාන ව සිටියේ ද, සිටු තනතුරු දැරුයේ ද මෙණ්ඩක ගෘහපති තෙමේ ය. මෙණ්ඩකගෘහපති, ඔහුගේ භාර්‍ය්‍යා වූ චන්දපදුමා, වැඩිමහල් පුත් ධනඤ්ජය, ධනඤජයන්ගේ භාර්‍ය්‍යා වූ සුමනා මෙණ්ඩකසේවක වූ පුණ්ණ යන මොවුහු පස් දෙන ය, ඒ මහාපිණැතියෝ.

බිම්සර රජුගේ රාජ්‍යයෙහි අපමණ සම්පත් ඇති ව විසූවන් අතුරෙහි මෙණ්ඩක තෙමේ ද එකෙකි. ජොතිය-ජටිල-පුණ්ණක-කාකවලි යන මේ සිවුදෙන ද එහි අපමණ සම්පත් ඇති ව විසුවෝ ය. දිනක් මෙණ්ඩක සිටු තෙමේ බුදුරජුන් තමන්ගේ නුවරට වැඩි බව අසා ධනඤ්ජයගේ දූ වූ විශාඛාව ගෙන්වා ‘දුව අද දූටත් මගුල්, අපටත් මගුල්, එ හෙයින් ඔබගේ පිරිවර ලදැරියන් පන්සියය සමග රිය නැගී දැස්සන් පන්සියයත් කැටුව බුදුරජුන් ඉදිරියට යන්නැ’ යි කීයේ ය. ඕ තොමෝ ‘යහපතැයි’ කියා එසේ කළා ය. කරුණු නො කරුණු දැන්මෙහි සමත් වූ විශාඛාවෝ යා හැකි පමණ කරත්තවලින් ගොස් ඉන් බැස පයින් බුදුරජුන් වෙත ගොස් වැඳ එකත් පසෙක සිටියෝ ය. එවිට බුදුරජානන් වහන්සේ ඇයගේ චරිතය බලා එයට සරිලන ධර්‍ම දේශනාවක් කළ සේක. ඒ ඇසූ ඕ තොමෝ දැරියන් සමග සෝවන් පලයෙහි පිහිටියා ය. මෙණ්ඩක සිටු ද එහි ගියේ බණ අසා සෝවන්පලයට පැමිණ පසුදා දානයට ආරාධනා කෙළේ ය. බුදුරජානන් වහන්සේ ඒ ආරාධනාව ඉවසා සඞ්ඝයාත් සමග ඒ පිණිස එහි වැඩි සේක. සිටු තෙමේ උන්වහන්සේලා ප්‍රණීත වූ ආහාරපානයෙන් වලඳවා එ තැන් සිට පිළිවෙළින් අට මසක් මහදන් දුන්නේ ය.

පසේනදිකොසොල්රජුගේ නැගනී තොමෝ ය, බිම්සර රජුන්ගේ අගමෙහෙසි වූවා. බිම්සර රජුගේ නැගනී තොමෝ ය කොසොල්රජුට අගමෙහෙසි වූවා. එ හෙයින් ඒ දෙදෙන භගිනිපති වෙති. දවසක් කොසොල්රජ තෙමේ ‘බිම්සර රජුගේ රාජ්‍යයෙහි අපමණ සම්පත් ඇත්තෝ පස් දෙනෙක් වෙසෙති, මාගේ රාජ්‍යයෙහි එබඳු එකෙක්වත් නැත, එ හෙයින් බිම්සර රජුගෙන් ඉන් එකකු ඉල්ලා ගණිමි’ යි සිතා එහි ගියේ ය. බිම්සර රජ තෙමේ ඔහු පිළිගෙණ කළ පිළිසඳර ඇත්තේ, ‘මෙහි යාපත් වූවහු කුමක් නිසා දැ’ යි ඇසී ය. එවිට කොසොල්රජ තෙමේ ‘ඔබතුමන්ගේ රාජ්‍යයෙහි මහපිණැත්තෝ පස් දෙනෙක් වෙසෙති, මමත් ඉන් එකකු ඉල්ලා ගන්නට මෙහි ආමි, එ හෙයින් මටත් එකකු දුන මැනැවැ’ යි කී ය. බිම්සර රජ තෙමේ ‘ඒ මහාකුලයෝ අප විසින් සොලවාලිය නො හැක්කෝ ය, ඔබගේ ඔය ඉල්ලීම ඉටු කරන්නට නො පිළිවනැ’ යි කීයේ ය. ‘එකෙකුදු නො ලැබේ නම්, ආපසු නො යමි’ යි කොසොල්රජු දන්වා සිටි කල්හි බිම්සර රජ තෙමේ ඇමැතියන් හා කතා කොට ‘ජොතිය ආදී වූ මහාකුලයන් සෙලවීම මහ පොළොව සෙලවීමක් වැනි ය, මෙණ්ඩකසිටුහට ධනඤ්ජය නම් පුත්‍රයෙක් ඇත, ඔහු හා කතා කොට පිළිතුරක් කියමු’ යි ධනඤ්ජය ගෙන්වා ‘සිට! කොසොල්රජ ධනසිටුවරයකු එ නුවරට ගෙණ යන්නට මෙහි ඇවිත් හිඳියි, ධනසිටුවරයකු නො ගෙණ නො යමි යි ද කියයි, එ හෙයින් එහි යන්නට ඔබ කැමැත්තහු දැ’ යි ඇසී ය. එවිට ඔහු ‘දේවයන් වහන්සේ මට එහි යෑමට අණකරණසේක් නම් යන්නට හැකි’ යි කී ය. ‘හා! එසේ නම් ගමන් සරහා ගන්නැ’ යි කී කල්හි ගමනට වුවමනා සියල්ල ඔහු පිළියෙල කර ගත්තේ ය. රජ තෙමේ මහත් සත්කාර ද කොට ‘මොහු ගෙණ යන්නැ’ යි කොසොල් රජුට පාවා දුන්නේ ය.

රජ තෙමේ ද සිටානන් කැටුව යන්නේ රෑ බෝ වූ බැවින් අතර මග නවාතැන් ගත්තේ ය. ධනඤ්ජය තෙමේ එහි දී ‘මේ කාගේ රටක් දැ’ යි රජු ගෙන් ඇසී ය. ‘මෙය මාගේ රටැ ය’ යි රජතෙමේ කී ය. ‘මෙ තැන් සිට සැවැත්නුවර තව කො තරම් දුර දැ’ යි සිටු තෙමේ නැවැත ඇසී ය. ‘සැවැත්නුවර පිහිටියේ මෙයින් සත් යොදුනකින් ඈත් හි ය’ යි කී විට ‘දේවයන් වහන්ස! ඇතුල්නුවර කරදර සහිත ය, මාගේ පිරිසත් ලොකු ය, දේවයන් වහන්සේ කැමති වන සේක් නම්, අපි මෙහි ම වසන්නෙමු’ යි කීයේ ය. රජ ද ‘යහපතැ’ යි කියා එ තැන නුවරක් කරවා ඔහු එහි නවතා නුවරට වන්නේ ය. නුවර ඉදි කළ තැනැ සවස නවාතැන් ගත් බැවින් ඒ ඉදි කළ නුවර සාකෙත නමින් හඳුන්වන ලද්දේ ය.

මේ කාලයෙහි පැවැත් නුවරැ වැසි මිගාර සිටුගේ පුත්‍ර වූ පූර්‍ණවර්‍ධන කුමාරයෝ තරුණ වයසට පැමිණ විසූහ. එ හෙයින් මවුපියෝ ‘සුදුසු තැනෙකින් තමහට කැමැති දැරියක සොයා බලන්නැ’ යි ඔහුට දැන්වූහ. එවිට ‘මෙබඳු ජටාවන්ගෙන් මට වැඩෙක් නැත, සරණ යෑම මහා අවුලෙකැ’ යි ඔහු කියා සිටියේ ය. අද තරුණ තරුණියෝ සුදුසු වයසට නො පැමිණියෝ ම මවු පියන්ගේ කැමැත්තට ද පිටුපා සරණ සොයා යෙති. අදහස ඉටු නො වූ තැනේ දී බලු කැණහිලුන් සේ විළිබියෙන් තොර ව හැසිරෙති. විස කා නැසෙති. බෙල්ල වැල ලා ගණිති. ගඟට මූදට පැන වැනසෙති. ගිහිගෙයි දොස් නො දැන්ම පවෙහි ගිජුකම ලෝසිරිත් හා කුලසිරිත් නො දැන්ම ඇතුළත ගුණවගාවක් නොවීම යන මේ, මෙයට කරුණු ය. පූර්‍ණවර්‍ධනයන් ‘ගිහිගෙයි වාසය අවුල් ජාලයෙකැ’ යි කී විට මවුපියෝ ‘පුත! එසේ නො කළ යුතු ය, ඔබ දැන් එයට සුදුසු වයසෙහි සිටිනහු ය, පුතුන් නැති පරපුර කල් නො පවතී’ යි කියා ඇවිටිලි කරණු ලැබූ ඔහු ‘මවුපියන්ගේ ඉල්ලීමට පිටුපෑම තරම් නො වේ ය’ යි සිතා එසේ නම් පස්කළණින් යුත් දැරියක සොයා ගන්නට ලැබුනොත් ඔබ වහන්සේලාගේ ඉල්ලීම ඉටුකරණු හැකි ය’ යි දැන්වී ය. කෙසකල්‍යාණය-මංසකල්‍යාණය-අට්ඨිකල්‍යාණය-ඡවිකල්‍යාණය-වයකල්‍යාණය යන මේ ය, පංචකල්‍යාණ ය.

මොනරපිල්කලඹක් සේ පෙනෙන මුදා හැරි කල්හි ඇඳ තිබූ රෙද්දෙහි පහත කෙළවර හැපී වැටෙන, උඩ බලා ගත් කොන් ඇති කෙස්වැටිය කෙසකල්‍යාණ නම්. බිඹුපලපැහැ ඇති සම වූ මොනවට හැපී සිටි දෙතොළ මංසකල්‍යාණ නම්. කොඳකැකුළු සේ සුදු වූ එක් දතක් අනික් අතට නො උස් ව නො මිටි ව සම ව සිටි, අතරතුර සිදුරු නැති, ඔසවා තැබූ වීදුරුපෙළක් සේ සමව ම ගා යෙදූ සක්පතක් සේ බබලන දත්පෙල අට්ඨිකල්‍යාණ නම්. කලු පැහැති සත්‍රියකගේ නම් අන් පැහැයක් හා මුසු නො වූ සිනිදු නිලුපුල්මල්දමක් සේ සිටි සිවිපැහැය ද, සුදුපැහැ ඇත්තියකගේ නම් තලකැලැල් ඈ දොසින් තොර වූ සිනිදු වූ කිහිරිමල් දමක් සේ සිටි සිවිපැහැය ද ඡවිකල්‍යාණ නම්. දසවරක් වැදූව ද, එක් වරක් වැදූ තැනැත්තියක මෙන් නො නැසුනු යොවුන්බව වයකල්‍යාණ නම්.

පස් කළණතොරතුරු දත් මවුපියෝ බමුණන් එක් සිය අට දෙනකු ගෙට පමුණුවා කිරිබත් අනුභව කරවා ‘පස් කළණෙන් යුත් ගෑණු සිටිත් දැ’ යි ඇසූ හ. බමුණෝ ‘ඇතැ’ යි කීහ. ‘එසේ නම් තෙපි අට දෙනෙක් යහු, පස් කලණින් යුත් දැරියක සොයහු, සොයා ආ කල්හි තමුසේලාට කළයුතු හැම උදවු උපකාර සැලකිලි නො අඩුව කරන්නෙමු, මගවියදමට මේ මුදල් ගණිවු, යම් ලෙසකින් මෙබඳු දැරියක දක්නට ලැබුනොත් මෙය ඇයට පලඳවාලවු’ යි කියා ලක්‍ෂයක් වටිනා රනින් කළ මාලයක් ද මගවියදම් පිණිස බොහෝ මුදල් ද දී ඔවුන් අතුරෙන් අට දෙනකු පිටත් කොට යැවූහ. බමුණෝ පිටත් ව ගියහ. ඔවුහු මහාජනයා බොහෝ සේ රැස් වන ප්‍රසිද්ධ වූ ගම් නියම්ගම් නුවර සොයා බැලුහ. එහෙත් පස් කලණින් යුත් එබඳු දැරියක කො තැනකදීත් දැක ගත නො හැකි වූහ.

ඔවුහු හැරී එන ගමනේ නැකැත් කෙළි දවසෙක සාකෙත නුවරට ගියහ. ගොස් අද අප ආ කාරිය ඉටුකර ගත හැකි ය’ යි ද සිතූහ. එදා එහි නැකත් කෙළිඋලෙළෙක් විය. මෙය අවුරුදු පතා එහි පැවැත්වෙන උත්සවයෙක් වෙයි. අන් කිසි දිනෙක ගෙවලින් බැහැරට නො යන කුලකාන්තාවෝ ඒ නැකත්කෙළි දිනයෙහි පිරිවරකතුන් හා එක් ව උඩුකය නො වැසූ සිරුරු ඇති ව කාටත් පෙණි පෙණී ගෙවලින් නික්ම උයන් පොකුණු ගංතොට ආදී තැන්හි පාගමනින් ම කෙළිදෙළෙන් හැසිරෙති. ක්‍ෂත්‍රියමහාසාරාදී වූ කුලවල උපන් රූමතරුණයෝ ද, තමන් සමාන කුල ඇති කාන්තාවන් සොයා ගෙණ උන් ගෙල මල්වඩම් ලන්නෙමු’ යි මල්වඩම් ගෙන දෙ මංහන්දි තුන් මංහන්දි ආදී වූ ඒ ඒ තැනැ රැක සිට තම තමන් කැමැති කාන්තාවන්ගේ කරට මල්වඩම් ලන්නෝ ය. බමුණෝ ද එහි ගංඉවුරෙක ශාලාවකට වී එහි යන එන්නන් බල බලා හුන්හ. එ වේලෙහි සොළොස් හැවිරිදි තරම් වූ විශාඛාවෝ ද හැම අබරණින් සැරසී පන්සියයක් ලලනාවන් ද කැටි ව දිය නාන්නෙමි’ යි ගං ඉවුරට පැමිණියෝ ය. එ කෙණෙහි මහත් වූ වැස්සෙක් වට. එවිට ඔවුහු හැම දෙන වේගයෙන් දුව අවුත් ශාලාවට වන්හ.

බමුණෝ උන් පන්සියය දෙස ඇස් යොමා බැලුවෝ ද එ පිරිසෙහි පස්කළණින් යුත් එක් කතක ද නො දුටුවෝ ය. විශාඛාවෝ ද පියවිගමනින් අවුත් ශාලාවට ඇතුල් වූහ. හැඳ තුබූ සාරිය හා පැලඳ තුබූ අබරණ ද මුළුමනින් තෙමී ගියේ ය. ඇත් ගමනින් ඇඟ නො සොල්වා සත්‍රීලීලාව නොයික්මවා. එන විශාඛාවන් දැක ‘මහපිණැති දැරියකැ’ යි කියමින් හුන් බමුණෝ ඇගේ කලණගුණ සතරක් දැක දන්තකල්‍යාණය දකිනු කැමැති ව ඈ කතා කරවන්නට සිතා ‘අපේ මේ දූ බොහො ම අලස ය, මෑගේ හිමියා කාඩිහොදි ටිකක් වත් ලබා නම් ඒ මහා පුදුමයෙක, එකතින් ඔහු හිඟමනෙක ඇත, මෙබඳු අලසගෑණුන් ඉන්නා ගෙය කෙසේ වැඩේ දැ’ යි උනුන් ඇස් මර මරා කතා කරන්නට වූහ. එවිට උගේ කතාව කණැ වැටුණු විශාඛාවෝ ‘තෙපි කුමක් කියහු දැ’ යි බමුණන් විචාළෝ ය. ඇයගේ ඒ හඬ ඉතා මිහිරි ය. එය කයිතාලම් හඬක් සේ නැගී පැතිර ගියේ ශාලාව පිරී සිට ගත. ‘තී ගැන කතා කරමු’ යි බමුණෝ කීහ. ‘මා ගැණ කුමක් කතා කළහු දැ’ යි විශාඛාවෝ ඇසූහ.

එවිට ඔවුහු ‘නුඹගේ මෙතෙක් පරිවාරකස්ත්‍රීහු තම තමන් ඇඳ පැලඳ තුබූ වස්ත්‍රාභරණ කිසිවකුත් නො තෙමා වහා දුව අවුත් ශාලාවට ඇතුල් වූහ. නුඹට මේ ටික වත් හය්යෙන් දුව එන්නට බැරි විය, ඒ තරමට නුඹ අලස ය, වස්ත්‍රාභරණ තෙමී ගියේ ඒ නිසා ය, අපි ඒ ගැන කතා කළෙමු’ යි කීහ. ‘පියවරුනි! එසේ නො කියනු මැනැවැ, ඒ කීම නො මැනැවි, මම මෑලා හැම දෙනෙකුට වඩා බලගතු වෙමි, කරුණක් සලකා හය්යෙන් දුව නො ආමි’ යි ඈ කීවිට ‘කරුණ කුමක් දැ’ යි ඔවුහු ඇසූහ. ‘පියවරුනි! මේ ලෝකයෙහි සතර දෙනෙක් දුවන කල්හි නො හොබින්නෝ ය, ඒ හැර තවත් කරුණක් ද තිබේ, ‘ඔටුණු පලන් රජ තෙම් රාජාභරණයෙන් සැරසී අමුඩ ගසාගෙණ රජවාසල මිදුලෙහි දුවා නම් නො හොබී, එසේ දුවයි නම් මේ මහරජ ගැහවියකු සේ ලජ්ජා නැති ව දුවා ය’ යි නින්දා ලබන්නේ ය, හිමින් හිමින් යන්නේ ම හොබනේ ය, ‘රජුගේ මගුලැත් තෙමේ හස්ත්‍යාභරණයෙන් සැරසී මඟැ බැස දුවන්නේ නම් නො හොබී, ඇත්ගමනින් පය තබ තබා යන්නේ ම හොබනේ ය, ‘පැවිද්දෙක් පැවිද්ද නො සිතා දුවයි නම් නො හොබනේ ය, ‘කිමෙක් ද මේ මහණ නො දැමුණු ගිහියකු සේ දුවා දැ’ යි ලෝකයාගෙන් ගැරහුම් ලබයි, වියදඬුපමණින් ඔබ නො බලා අත පය හිස නො සොල්වමින් සන්සුන් ගමනින් යන්නේ ම හොබනේ ය, සත්‍රියක් දුවයි නම් නො හොබියි, ‘මොක ද මේ සත්‍රිය පිරිමියකු සේ දුවන්නී, මෝ සත්‍රියක් නො වේ, පිරිමියෙකැ’ යි ගැරහිය යුතු ම වේ, පියවරුනි! මේ සතර දෙන දුවන පණින විට නො හොබිත්’ යි විශාඛාවෝ කීහ.

එ කල්හි ‘අනික් කරුණ කිමැ’ යි බමුණා ඇසූහ. එවිට ‘පියවරුනි! දූපුතුන් කවා පොවා හදා වඩන්නා වූ මවුපියෝ සිරුර අත් පය කන් නාසා ආදී වූ සියලු අඟපසඟ අතපත ගාලා මැනැවින් පිහිටුවා ඇති දැඩි කෙරෙති, ගැහැණු වූ අපි විකිණියයුතු බඩු වැන්නම්හ, විකිණිය යුතු බඩුව සිඳී බිඳී ගියේ නම්, එහි වටිනාකම අඩු වේ, අප දූවරු ඇති දැඩි කරන්නෝ අන් ගේකට පාවාදෙනු පිණිස ය, අප දුවන පණින වේලෙහි රෙදිකොණක හෝ පොළොවෙහි පය පැකිළ වැටී අතක් පයක් කැඩී බිඳී ගියේ නම්, අපි දිවි තිබෙන තුරු ම මවුපියන් විසින් රැකිය යුත්තෝ වම්හ, අන් කෙනෙක් අප පාවා නො ගණිති, එවිට අප හදා වැඩු මවුපියන්ට අපෙන් පිහිටෙක් නැත, සහෝදර සහෝදරියන්ට ද පිහිට නැත. අපෙන් ඔවුනට වන්නේ හැම දා කරදරයෙක් ම ය, වැස්සට බිය ව නො දිවීමෙන් වන්නේ හැඳිවත් තෙමී ම පමණක් ම ය, පසුව ඒවා වියලා ගත හැකි ය, මේ කරුණු සලකා මෙම පියවිගමනින් හිමින් හිමින් ආයෙමි’ යි කීහ.

ඈ මෙසේ කියනවේලෙහි ඇගේ දන්තසම්පත්තිය දැක තුටු පහටු වූ බමුණෝ ‘අප මෙයට පෙර කවදාත් මෙබඳු දන්තසම්පත්තියක් දැක නැතැ’ යි සාධුකාර දී ‘දුව අප ගෙණා මේ රන්මාලය සුදුසු ඔබටැ’ යි කියා ඉදිරියට ගොස් ඇයගේ කර ලෑවෝ ය. එවිට විශාඛාවෝ ‘නුඹලා කිනම් නුවරක සිට කිනම් කුලයකින් මෙහි ආවහු දැ’ යි ඇසූහ. ‘අපි ආවමෝ සැවැත්නුවර මිගාර සිටු කුලයෙනැ’ යි කියූහ. ‘හිමියා කවරෙක් දැ’ යි ඈ ඇසූවිට ‘පූර්‍ණවර්‍ධන කුමාරයෝ ය’ යි කීහ. එකල විශාඛාවෝ ‘මේ කියන කුලය අපට සුදුසු කුලයෙකැ’ යි දැන රන්මාලාව ඉවසා ‘අපට එන්නට සුදුසු කරත්තයක් එවන්නැ’ යි පියානන්ට කියා යැවූහ. ගංඉවුරට දිය නෑම පිණිස ආවෝ පයින් ම ය. එහෙත් රන්මාලාව කරැ ලූ දා පටන් එසේ නො යති.

රන්මාලා කරැ ලු දා සිට උසස් මහත් කුලවල කාන්තාවෝ ගමන් බිමන් කරන්නෝ රියෙන් ම ය. අන් සෙසු කුලවල කාන්තාවන් කුඩයක් හෝ තල් අත්තක් හිස දරා යා යුතුය. එබන්දකුදු නැති කාන්තාවන් හැඳි රෙද්දෙහි හෝ සාරියෙහි දාවලු කෙළවර ගෙණ දසරුවෙහි ලා යා යුතු ය. මේ එදා පැවැති ව්‍යවස්ථා ය.

ධනඤ්ජයසිටු තෙමේ, දුවට එන්නට රිය පන්සියයක් එහි යැවී ය. විශාඛාවෝ රිය නැගී සපිරිවරින් ගෙට ගියහ. බමුණෝ ඔවුන් පසු පස්සෙහි ගියෝ ය. සිටු තෙමේ බමුණන් දැක ‘තෙපි කොහි සිට ආවහු දැ’ යි ඇසී ය. ‘මහසිට! අපි ආවමෝ සැවැත්නුවර සිට ය’ යි කීහ. ‘සිටු තෙමේ කවරෙක් දැ’ යි ඇසී ය. ‘මිගාර සිටුය’ යි කීහ. ‘සිටු පුත්‍රයාගේ නම කුමක් දැ’ යි ඇසූ විට ‘පුර්‍ණවර්‍ධන’ යි කීහ. ‘පොහොසත්කම කො පමණ දැ’ යි ඇසූවිට සතළිස් කෙළෙකැ’ යි කීහ. ‘හා! මොකක් ද, ඒ, තොප සිටුහුගේ පොහොසත්කම මගේ පොහොසත්කමට තුට්ටුවක් තරම්වත් නො වේ, අලගු තබන්නටත් ඒ මඳ ය, එයට කාරියක් නැත, මාගේ දූට ආරක්‍ෂාව පමණක් ලැබේ නම් ඒ ඇත, අනෙකකින් මට වැඩෙක් නැතැ’ යි ඉවසා බමුණන් දවසක් දෙකක් නවතා ගෙණ ආදර සැලකිලි කොට පිටත් කර හැරියේ ය.

මහත් සතුටින් පුල පුලා සැවැත්නුවරට ගිය බමුණෝ ‘අප බලාපොරොත්තු වූ පරිදි වැදගත් කුලකාන්තාවක් ලැබිනැ’ යි මිගාර සිටානන්ට දන්වා සිටියාහ. ‘කාගේ දුවක් දැ’ යි ඔහු ඇසී ය. ධනඤ්ජය සිටානන්ගේ ය’ යි කී කල්හි ඉන් සතුටට පැමිණි මිගාර සිටු තෙමේ, ‘මහාකුලයකින් කාන්තාවක් ලැබින, දැන් කල් යවන්නට බැරි ය, කල් නො යවා ම ඈ මෙහි පමුණුවා ගත යුතු ය’ යි කියා කොසොල් රජු වෙත ගොස් ඒ බව රජුට දන්වා සිටියේ ය. රජ තෙමේ, ඉතා සතුටු ව ‘ මේ මහාකුලය මා විසින් බිම්සර රජුන්ගෙන් ලබාගෙණ සාකෙත නුවර පදිංචි කර වූ කුලය යි, ඒ නිසා මාද සත්කාර කළ යුතු ය’ යි සිතා ‘සිට! දැරිය කැඳවාගෙන එන මගුල්පෙරහැරට යන්නට මමත් එන්නෙමි, තවත් ඒ සඳහා වුවමනා යමක් වෙතොත් නො වළහා කියන්නැ’ යි කීයේ ය. ‘යහපත! දේවයන් වහන්ස! කියා ගෙට ගොස්,

සැවැත් නුවරදිය

ස්තුතිපූර්‍ත්‍ථකව ලියමි.

මහසිටාන!

-

ඔබගේ දුව කැඳවා ගෙන එන්නට ලබන......... මස...... වනදා අපි ඔහි එන්නෙමු. අප එන විට කොසොල් රජතුමාත් යාපත් වන්නේ ය. නරෝත්තමයන්ගේ සෙනඟ ටික නො වේ. ඒ ඉතා විසාල ය. අප හැම දෙනකුට කළයුතු සංග්‍රහය ද විසාල විය හැකි ය. එහි දී රජුට කරණ සංග්‍රහය විශේෂවත් ද විය යුතු ය. මෙතෙක් විසාල පිරිසකට අපහසු නැති ව සංග්‍රහ කළ හැකි දැ’ යි. මේ දුටු කඩිනමින් දන්වා එවනු මැනැවි.

-

සැපවත් වේවා.

මීට,

දයාබර,

මිගාර.

මේ ලියුම ලියා ධනඤ්ජය සිටානන්ට යැවී ය. ඔහු ලියුම බලා සිනාසී මෙසේ ලියා යැවුයේ ය.

සාකෙත නුවරදීය

ස්තුතියි!

මහසිටාන!

-

මෙහි එවූ ලියුම කියවා බැලීමි. එය මාගේ පුදුමයට කරුණු විය. ලියුමෙන් පෙණෙන්නේ අප තරම් නො දන්නා ලෙසත් ය. එක් රජකු තබා දස රජ කෙනකු කැටුව ආව ද අපට එයින් අමුතු බරෙක් නො වේ.

-

සැපවත් වේවා.

මෙයට, හිතකාමී,

ධනඤ්ජය.

මිගාර සිටු තෙමේ, ලියුම කියවා, කල් බලා ඒ සා විසාල නගරයෙහි ගේ රැකුමට එක එකකු නවතා සෙසු සියලුදෙනාත් රැගෙණ සුබ මොහොතින් නික්ම ගොස් සාකෙතනුවරට අඩ යොදුනක් තිබිය දී තමන් ආ බව දන්වා යැවුයේ ය. ධනඤ්ජය තෙමේ, ඔවුන් වෙත යැවිය යුතු වූ තෑගි බෝග යවා විශාඛාවන් ගෙන්වා ‘දුව! ඔබගේ මාමණ්ඩි වූ මිගාර සිටානෝ කොසොල් මහ රජානන් ද කැටුව මහා පිරිවරින් සැවැත්නුවරින් පිටත් ව අවුත් මෙයට අඩ යොදුනකින් එපිට නො දුරු තැනෙක නැවතී සිටිති, ඔවුන් මෙහි ආ විට මාමාට නැවතී සිටීමට තැනක් පිළියෙල කොට දියයුතු ය, රජතුමාගේ නැවැත්මට තැනක් පිළියෙල විය යුතු ය, යුව රජුන්ටත් සුදුසු පරිදි ඒ ඒ තැන් පිළියෙල කළයුතු ය’ යි කීයේ ය. විදුරගක් සේ තියුණු නුවණැති කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි පිරූ පාරමිතා ඇති අර්‍ත්‍ථානර්‍ත්‍ථඥානයෙන් ඥානවත් වූ විශාඛාවෝ ‘පියානන් වහන්ස! මාමාට මේ ගෙය පිළියෙල කරවමි, රජ තුමාට මේ ගෙය හොඳ යි, යුවරජුන්ට මේ මේ ගෙය සුදානම් කරවමි’ යි කියා ගෙවල් පිළියෙල කරන්නට නියම කොට දැසි දස් කම්කරුවන් ගෙන්වා ‘රජුට වුවමනා දේ සැපයීම නුඹලාට භාර යි, යුවරජුට හා ඔවුන් ගෙණ එන ඇත් අස් ආදීන්ට නිසි සේ සැලකීම උඹලාට භාර යි, ඔවුන් හැමදෙනාට ඉතා හොඳට කෑම් බීම් පිළියෙල කොට දිය යුතු ය, ඇත්ගොවු අස්ගොවු ආදීහු ද මඞ්ගල උත්සවයට එක් වෙති, ඔවුන්ට ද නිසි සේ සැලකිය යුතු ය’ යි විධාන කළෝ ය. ‘විශාඛාවන්ගේ විවාහ මඞ්ගලයටත් ගොස් ඇතුන් අසුන් රකිමින් ම සිට ආවා මුත් අන් කිසිවකට එක් වන්නට ඉඩ නො ලැබුනේ ය’ යි කියන්නට ඉඩ නො තබනු පිණිස එසේ විධාන කරණ ලද්දේ ය. ධනඤ්ජය තෙමේ, එ දවස ම කඹුරන් පන්සියයක් ගෙන්වා මහාලතා පසාධන නම් ආභරණය තනවු’ යි ඔවුනට රන්නිකදාහක් හා රිදී, මුතු, මැණික්, පබලු, විදුරු ආදිය දෙවූයේ ය. කොසොල් රජ තෙමේ, නවාතැන ටික දිනක් සිට ධනඤ්ජය සිටානන්ට මේ ලියුම යැවී ය.

අලුත් කඳවුරේදීය.

කරුණාවෙනි.

මහසිට!

-

අපි කිහිප දිනක සිට මෙහි නැවතී සිටිමු. වැඩි දවසක් මෙහි නතර ව හිඳීම අපහසු ය. ඔහාට ආවත් ඔබට වැඩි දවසක් අප බලා ගැණීම ද පහසු නො වේ ය යි සිතමි. ඒ නිසා ලදැරිය කැඳවා ගෙණ ආ හැකි දවසක් නියම කර දන්වා එවනු.

-

ඒ වගත් මෙසේ දන්වන්නෝ,

කෝසල මහානරෙන්ද්‍රයෝ ය.

ධනඤ්ජය තෙමේ, ලියුම කියවා බලා එයට පිළිතුරු මෙසේ ලියා යැවී ය.

සාකෙත නුවරදීය

ඉතා යටත් ව දෙපා වැඳ ලියා සැල කරමි.

පින්වත් නරදේවයන් වහන්ස!

-

මෙහි එවා වදාළ ලියුම ලැබිණි. මේ වැසිකාලය පටන්ගත් තැනම යි. රෑදාවල අතර නො තබා මේ සිවු මස මුළුල්ලෙහි ම එකසේ වැසි වසී. දොරට පිළට බැස එහා මෙහා යන්නට ඉඩ නො ලැබේ. වැස්ස නිසා උත්සවයේ කටයුතු ඉක්මනටත් හොඳටත් කරගැණිම ද අපහසු ය. දේවයන් වහන්සේගේ බළ සෙනඟට කළයුතු සියලු සැලකිලි මට කළ හැකි ය. මම සියලු කටයුතු බලා ගණිමි. මා දැන් වූ විටක මෙහි වඩින සේක්වා. මෙහි ඇති වරදට සමාවනු මැනැවි.

-

මේ වගට,

යටත්, මෙහෙකරු,

ධනඤ්ජය.

සියලු සාකෙතනගරය මඞ්ගලශ්‍රීයෙන් බබලන්නට වන. සිටු තෙමේ, රජු ප්‍රධාන කොට සිටි ඒ මහාපිරිසට ඇදුම් කැඩුම් කෑම්බීම් සුවඳ මල් පියර ආදී වූ වුවමනා හැම දෙයක් දිනපතා පිළියෙල කොට යවයි. ඔවුහු ‘සිටු අපට මෙසේ සත්කාර කරතී’ යි සිතූහ. තුන්මසක් මෙසේ ඉක්ම ගිය ද පලඳනාවේ කටයුතු තව ම නො නිමියේ ය.

දවසක් ඒ ඒ කටයුතුවල යෙදී සිටි ප්‍රධානයෝ සිටානන් කරා ගොස් ‘සිටුතුමනි! සැවැත්නුවරින් ආවා වූ මඞ්ගල පිරිසට කළ යුතු සියල්ල මැනැවින් කෙරෙන්නේ ය, ඒ කටයුතුවල කිසිත් අඩුවෙක් නැත, බත්පිසීමට දර නම් නො සෑහේ ය’ යි දැන්වූහ. සිටු තෙමේ ඒ අසා ‘එසේ නම් මේ නුවර දිරාගිය ඇත්හල් අස්හල් හා දිරාගිය සියලු ගෙවල් කඩා එහි තිබෙන දර ලී ගෙණ අවුත් බත් පිසවු’ යි නියම කෙළේ ය. ඒ දර අඩමසකට පමණ විය. නැවැතත් ‘දර නැතැ’ යි බත් පිසන්නෝ කීහ. ‘දැන් මේ වේලෙහි දර සපයනු පහසු නො වේ, ඒ නිසා තෙපි ගොස් කොටු ගෙවල් ඇර එහි තිබෙන දළ රෙදි ගෙණ පාන්කඩ විලක්කු පන්දම් ඔතා තෙල් සැළිවල බහා තෙල් පොවා ඒවායින් බත් පිසවු’ යි කීයේ ය. ඔවුහු එසේ ද කළහ. එද අඩමසකට සෑහිණ. සිවු මස මෙලෙසින් ඉක්ම ගියේ ය. පලඳනාවේ වැඩ ද නිමා විය. කපුනූලින් කළ මැසුමෙක් එහි නැත. සියලු මැහුම් කරණ ලද්දේ රිදී නූලෙනි. පලඳනාව හිසැ පැලඳි විට, මුළු සිරුර වැසී දෙපා පිටු තෙක් වැටෙයි. ඒ ඒ තැනැ මුදු සවිකොට ගැට රනින් කරණ ලද්දේ ය. පුඬු රිදියෙන් කරණලද ය. ඒ මුදු, හිස මුදුනෙහි, එකෙක, කන් දෙක මත දෙකක, බෙල්ලෙහි එකෙක, දෙඋරෙහි දෙකෙක, වැලමිටි දෙකෙහි දෙකෙක, උකුල් දෙපසෙහි දෙකෙකැ’ යි ඒ ඒ තැන සවිකරණ ලද්දේ ය. පලඳනා මුදුනෙහි මොනරරූපයක් කරණ ලද ය. එහි දකුණුපසැ ගන රනින් කළ පන්සියයක් පියාපත් ය. වම්පසැ පන්සියයක් ය. තුඩ පබලුවෙන් කරණලද්දේ ය. දෙ නෙත් කරණ ලද්දේ ඉඳුනිල් මිණියෙන් ය. බෙල්ල හා පිල් නිමවන ලද්දේත් ඉඳුනිල් මිණියෙන් ය. පිල්දඬු හා කෙණ්ඩා රුවනින් නිමවන ලද්දේ ය.

විශාඛාවන්ගේ ඉස්මුදුනෙහි වූ මේ මොනරරූපය, කඳුමුදුනෙක පිල් විදහා නටන මොනරකුට වඩා කිසිත් වෙනසෙක් නැත. පත්නළ දහසෙහි නාදය දිව්‍යසඞ්ගීතනාදයක් සේ ද පසඟතුරු නදක් සේ ද පවත්නේ ය. එය දුරැ සිට බලන්නන්ට පෙණෙනුයේ පණැති මොනරකු සේ ය. ලඟට පැමිණියෝ ම ඌ පණ ඇති මොනරකු නො වන බව දනිති. අගනාකමින් මේ පලඳනාව නවකෙළක් අගනේ ය. ඒ සඳහා කම්කරුවන්ට දුන් කුලිය ම නව ලක්‍ෂයෙකි. නවකෝටි එක් ලක්‍ෂයක් වටිනාකම් ඇති මේ පලඳනාව ලැබීමට විශාඛාවන් කළ කුශලකර්‍මය නම්, කසුප් බුදුරජුන් දවසැ දහසක් භික්‍ෂූන්ට සිවුරු පිණිස රෙදිපිළි දීමත් සිවුරු මසා ගැණීමට නූල් ඉදිකටු දීමත් සිවුරු පොවා ගැණීමට පඬු දීමත් ය. විශාඛාවෝ ඒ පෙර කළ සිවුරු දීමෙහි විපාකයෙන් මේ මේලපලඳනාව ලැබූහ. චීවරදානය හේතු කොට ස්ත්‍රීන්ට මහා ලතාපසාධනය ලැබීමෙන් කුශලකර්‍මය මුදුන් පැමිණේ. පිරිමින්ට මුදුන් පැමිණෙනුයේ ඍද්ධියෙන් පා සිවුරු ලැබීමෙන් ය.

සිටු තෙමේ දෝනියන්දෑගේ මගුල් ඇඳුමේ කටයුතු නිමාවට ගිය පසු අතරමග නවාතැන් ගෙණ හුන් කොසොල්රජුට හා මිගාර සිටුහට සිය නිවසට පැමිණෙන ලෙස දන්වා යැවී ය. ඔවුහු සහපිරිවරින් එහි පැමිණියහ. සිටුගෙදරැ වැස්සෝ ඔවුන් පිළිගෙණ විශාඛාවන්ගේ විධානය පරිදි ඔවුනට සත්කාර කළහ. සියල්ලෝ මඞ්ගලභෝජනයෙන් සන්තර්පිත වූහ. ඉක්බිති සිටු තෙමේ කුල සිරිත් නොයික්මවා සුබමොහොතින් සිය දුවනිය පාවා දී නැවත දායාද වශයෙන් කහවණු පිර වූ පන්සියයෙක, රන්බඳුන් පැට වූ පන්සියයෙක, රිදී බඳුන් පැට වූ පන්සියයෙක, පටසළු කසීසළුවලින් පිර වූ පන්සියයෙක, ගිතෙල් බඳුනෙන් පිර වූ පන්සියයෙක, හැල් සහලින් පිර වූ පන්සියයෙක, නගුල් හී වැල් කැති උදළු දෑකැති ආදී කෘෂිකර්‍මොපකරණ පැට වූ පන්සියයෙකැ යි මෙසේ සියල්ලෙන් ගැල් පන්සියය බැගින් දුන්නේ ය. ‘මේ මේ දෙය වුවමනා ය’ යි ඒ ඒ දෙය ලබා ගැණීමට මාගේ දුව අනිකක්හුගේ ගෙට යෑම මට තරම් නො වේ යයි සිතා සිටු තෙමේ හැම දෙයක් දුන්නේ ය.

තව ද ඒ එක් එක් රියෙහි හොඳට හැඳ පැලඳ ගත් වරඟනන් තුන් තුන් දෙනා බැගින් නංවා පන්සියයක් රිය ද දුන්නේ ය. විශාඛාවන් නාවන්නට ඇයගේ ඉස පීරන්නට ඇයට කවන්නට ඇදුම් ලා සරසන්නට සුවඳ ගල්වන්නට එක් දහස් පන් සියයක් මෙහෙකරු ගෑණුන් යැවී ය. ‘කිරි කන්නට කිරි දෙන්නු දිය යුතු ය’ යි සිතා මෙහෙකරු පිරිමින් කැඳවා ‘තෙපි ගොස් කුඩා ගාලක දොර ඇර එ තැනින් තුන්ගව්වක් තැන් ඉදිරියට ගොස් බෙර තුනක් ගෙන එහි නැවතී සිටුවු, පළලින් රියන් එක්සිය සතළිසක් තබා දෙපැත්තෙන් සිට ගණිවු, ඉන් ඔබ්බට යෑමට දෙනුන්ට ඉඩ නො දෙවු, ඔය කියූ පෙදෙස දෙනුන්ගෙන් පිරීගිය කල්හි ගාල් දොර වසා, අතැ තිබෙන බෙර ගසා දන්වාලවූ’ යි ඔවුන්ට නියම කෙළේ ය. මෙහෙකරුවෝ, දෙනුන් ගාලින් නික්ම ගව්වක් දුර ගිය තැන, නැවැත අඩයොදුනක් ගිය තැන, තුන් ගව්වක් ගිය තැන බෙර ගැසූහ. දෙ පැත්තේ සිටි මුරකරුවෝ නියම කළ තැනින් ඔබ්බට යෑමට දෙනුන්ට ඉඩ නො දුන්න. දිගින් තුන්ගවු පමණ වූත් පළලින් රියන් එක්සිය සතළිසක් පමණ වූත් පෙදෙසෙහි දෙනුන් එකෙක් ඇඟ හැපෙමින් සිටි කල්හි සිටානෝ ‘මා දුවට කිරි කන්නට මේ දෙන්නු පමණ වෙති, ගාල් දොර වසා ලවු’ යි ගාල්දොර වස්වා ලූහ. ගාල්දොර වැසූ ඇසිල්ලෙහි විශාඛාවන්ගේ පින්බලෙන් හයිබල ඇති ගොන්නු හා දෙන්නු හා ගාල්දොර පැන නික්මුනෝ ය. මිනිසුන් වළකත් වළකත් ම සැට දහසක් ගොන්නු ද සැටදහසක් දෙන්නු ද ගාලින් නික්ම අවුත් තුන් ගවු පමණ තැන් පසු කොට වල්පත් උඩ තබා ගෙණ කෙළවර සිට ගත්හ. එහි ශක්තිසම්පන්න වූ වස්සෝ ඒ දෙනුන්ගේ වෘෂභයෝ වූහ. මේ ගවයෝ මෙසේ ගාල් කඩා පැන ගෙණ දුව ආවෝ පෙර වළකත් වළකත් ම දුන් දනෙක විපාකවේගයෙනි.

විශාඛාවෝ පෙර කසුප්බුදුරජුන් දවස කිකී නම්, රජුගේ දුවනියන් සත්දෙනා අතුරෙහි බාලදුවනියෝ ව උපන්හ. නම සඞ්ඝදාසී ය. විසිදහසක් භික්‍ෂූන්ට කිරි වලඳවන මේ සංඝදාසී තොමෝ ලදරු මහණුන් කරා ගොස් අතින් වසා දැන් ඇතැ’ යි කියා වළකද්දීත් ‘නෑ නෑ මේ ටික වලඳනු මැනැවි, මේ කිරි ඉතා රසවත් ය. අලුත් කිරිය, ඉතා පිරිසිදු ය, කියමින් පැරැත්ත කරමින් හොඳට වැලඳෙව්වා ය. මේ ඒ පැරැත්ත කරමින් එදා කිරිපැණි වැලඳවීමේ විපාකය යි. වළකනු ලබන්නාවූ ද ගවයෝ ගාල් පැන ආහ. නිතර කිරි වැගිර වූහ.

ධනඤ්ජයසිටානන් මෙසේ මහත් වස්තු රාශියක් දුවට දායාද වශයෙන් දී අවසන් කළ පසු සිටු ඇඹේනියෝ සිටානන් කරා ගොස් ‘ඔබ වහන්සේ දුවට සියල්ල පිළියෙල කොට දුන්නහු ය, එහෙත් මෙහෙකරු දැසි දස්සන්ට එහි යා යුතු සැටියක් නියම නො කළහු ය, ඒ ඇයි දැ’ යි ඇසූහ. ‘විශාඛාවන් කෙරෙහි ස්නේහ ඇත්තන් හා ස්නේහ නැත්තන් දැනගනු පිණිස එක එකාට වෙන් වෙන් ව නියම නො කෙළෙමි, ස්නේහ ඇත්තන් දුවනිය හා යනු ඇත, ස්නේහ නැත්තන් නවතිනු ඇත, නො යන්නන් බෙල්ලෙන් අල්ලා නො යවමි, විශාඛාවන් සමග යනු කැමැත්තෝ යෙත්වා, නො යනු කැමැත්තෝ නො යෙත්වා’ යි හෙට නුවරැ බෙර ලවමි’ යි සිටු තෙමේ කී ය.

එදා රෑ ඔහු විශාඛාවන් තමන්ගේ කාමරය තුළට ගෙන්වා ලඟ වාඩි කරවා ගෙණ ‘දුව! නුඹ හෙට සිට ස්වාමි කුලයෙක වසන්නියක බව සිත තබා ගත යුතු ය, ස්වාමිකුලයෙහි වසන ගැහැණියක විසින් දැන ගෙණ රැකිය යුතු වත් පිළිවෙත් බොහෝ ය’ යි අවවාද කරන්නට වන. ඒ වේලෙහි මිගාර සිටුතෙමේ ඒ ලඟ කාමරයෙහි හුන්නේ, ධනඤ්ජයසිටු තමන්ගේ දූට දුන් අවවාදයන්ට කන් දුන්නේ ය. ධනඤ්ජය සිටු තෙමේ ‘දුව! ඇතුළත වූ ගිනි කිසිදාකත් පිටතට නො දිය යුතු ය, එසේම පිටත ගිනි ඇතුළට නො ගතයුතු ය, දෙන්නහුට ම දියයුතු ය, නො දෙන්නහුට නො දියයුතු ය, දෙන්නහුටත් නො දෙන්නහුටත් දියයුතු ය, සුවසේ හිඳිය යුතු ය, සුවසේ කෑ යුතු ය, සුවසේ නිදිය යුතු ය, ගිනි පිදිය යුතු ය, ඇතුළත දෙවියෝ වැඳිය යුතු ය’ යි අවවාද කෙළේ ය. මෙසේ අවවාද කොට පසු දා උදෑසන හැමදෙනා රැස් කරවා හැම දෙනා ඉදිරියේ දී කෙළෙඹියන් අටදෙනකු ගෙන්වා ‘යම් ලෙසකින් මා දුව ගිය තැනක දි ඇයට දොසෙක් උපන්නේ නම්, තමුසේලා විසින් එය ශුද්ධ කළයුතු ය’ යි පොරොන්දු කරවා නවකෙළක් අගනා මහාලතාපසාධනය ඇඟ ලා දුව සරසා නැවැතත් සබන් පියොර සුවඳදිය ආදියට සිවුපණස්කෙළක් ධනය දී රියට නංවා සාකෙත නුවර අවට පිහිටි අනුරාධපුරය තරම් විශාල වූ තමන්ට අයත් බත්ගම් තුදුසෙහි ‘මාගේ දුවනිය හා කැටුව යනු කැමැත්තෝ යෙත්වා’ යි අණ බෙර ලැවූයේ ය. එ කෙණහි සියලු බත්ගම් වැස්සෝ අණබෙර හඬ අසා ‘අපගේ ස්වාමිදුව යන කල්හි අපි මෙහි කුමට වසමෝ දැ’ යි කිසිවකු ඉතිරි නො කොට. දුවගෙණවුත්. විශාඛාවන් පිරිවරා සිට ගත්හ. සිටු තෙමේ රජුටත් මිගාර සිටුටත් අනික් සෙස්සන්ටත් සත්කාර කොට ටික දුරක් පසු ගමන් ගොස් ඔවුන් හා දුව පිටත් කොට. පෙරළා සිය නිවසට පැමිණියේ ය.

මිගාර සිටු තෙමේ සියල්ලන්ට පසු ව යානාවකට නැගී යන්නේ ආපසු බලා අතරක් නො මැති ව එන මහසෙනග දැක, ‘මොවුහු කවරහ’ යි ඇසී ය. ‘මොවුහු නුඹවහන්සේගේ යෙහෙළිනියගේ දැසිදස්කම්කරුවෝ ය’ යි කී කල්හි ‘හෝ! මෙතෙක් දෙන කුමට යැ’ මොවුන්ට කන්නට බොනට දියහැක්කේ කාට ද, නවාතැන් දෙන්නේ කෙසේ ද, ඇඳුම් කැඩුම් ආයිත්තම් දෙන්නේ කවරෙක් ද, මුන් තළා පෙළා පන්නා හරිවු’ යි අණ කෙළේ ය. විශාඛාවෝ එ කියූ බස් අසා ‘ස්වාමීනි! එසේ නො වදාළ මැනැවි, ඔවුන්ගේ ඊම නො වළක්වනු මැනැවි, එන්නට ඉඩ දුන මැනැවි, උන්ගෙන් ඔබවහන්සේට කරදරයෙක් නො වේ, උන් උන්ගේ බත් වැටුප් උන් උන්ම බලා සොයා ගන්නවා ඇත, ඒ නිසා එසේ නො කළ මැනැවැ’ යි කීවාහු ය. ‘දුව අපට මුන්ගෙන් වැඩෙක් නැත, මුන් රකින්නෝ කවුරු ද, මුන්ට කෑම් බීම් ඇඳුම් කැඩුම් බුලත් දුම්කොළ ඉඳුම් හිටුම් සපයා දෙන්නෝ කවුරු දැ’ යි කියා වේවැල්කෝටුවලින් තළව පළවා බොහෝ දෙනකු පන්නා හැර ඉතිරි වූ ටික දෙන කටයුතුවලට පමණැ’ යි ටික දෙනකුන් ගෙණ සැවැත්නුවර බලා ගියේ ය. සැවැත්නුවර දොරකඩට පැමිණි විශාඛාවෝ ‘වැසුනු යානෙක හිඳ නුවරට වදිම් ද, නැත, රියකට නැගී නුවරට ඇතුල් වෙම් දැ’ යි සිතන්නාහු ‘පිළිසන් යානාවකින් යන කල්හි මා හැඳ තිබෙන මේ මේලපලඳනාවෙහි වටිනාකම කිසිවක්හටත් නො පෙණේ, මෙහි මා දකින්නට කැමැත්තෝ ද බොහෝ ඇත, ඒ නිසා රියකට නැග යෙමි’ යි රියකට නැග නුවරට ඇතුල් වූහ.

නුවර වැස්සෝ විශාඛාවන්ගේ දෙහශොභා සමපන්තිය දැක ‘මෑ විශාඛාව ලු, පුදුම යි, මෙබඳු සම්පත් සුදුසු මෑට ම ය’ යි කියන්නට වූහ. විශාඛාවෝ හැම දෙනකුන්ගේ ඇස් තමන් කරා ඇද ගණිමින් මහාපෙරහරින් ගොස් ගෙට වන්හ. මගුලට ගොස් පෙරළා පැමිණි නුවරවැස්සෝ ‘ධනඤ්ජය සිටු අප එහි ගිය ගමනේ දී අපට මහත් සත්කාර කළැ’ යි තමන්ගේ වත් පොහොසත් කම් කරමින් විශාඛාවන් වෙත නොයෙක් පුද පඬුරු යැවූහ. විශාඛාවෝ ඒ පුද පඬුරු ‘මෙය අම්මාට, මෙය තාත්තාට, මෙය අය්යාට, මෙය අක්කාට, මෙය මල්ලීට, මෙය නංගීට දෙව’ යි උන් උන්ගේ වයසට සුදුසු සේ පියවදන් නෑකම් කියමින් ඒ ඒ කුලයන් වෙත යවා සියලු නුවරවැස්සන් නෑයන් වැනි කොට සිත් දිනා ගත්හ. පසුදා පාන්වීමට ඉතා ලං ව තිබිය දී ආජඤ්ඤ වෙළඹක් තොමෝ පැටවකු ප්‍රසූත කළා ය. විශාඛාවෝ දාසීන් සමග පහන් දල්වා ගෙණ එහි ගොස් ඇය උණුදියෙන් නාවා තෙල් ගාලා ආහ.

මිගාර සිටු තෙමේ සියපුතුගේ ආවාහමඞ්ගල දිනයෙහි නග්න ශ්‍රමණයන් කෙරෙහි වූ ප්‍රසාදයෙන් ‘මාගේ ඉටුදෙවි වූ ආර්‍ය්‍යයන් වහන්සේත් පමුණුවා ආදර සංග්‍රහ කළ යුතු ය’ යි සිය ගණන් අලුත් බඳුන්වල දිය නො මුසු කිරිබත් පිසවා නග්න ශ්‍රමණයන් පන්සියයක් ගෙන්වා වඩා හිඳුවා ‘යෙහෙළිය ද මෙහි අවුත් රහතුන් වැඳ පින් සිදුකර ගණී වා’ යි විශාඛාවන්ට දන්වා යැවී ය. සෝතාපන්නආර්‍ය්‍යශ්‍රාවිකාවක් වූ විශාඛාවෝ රහත් යන වචනය ඇසූ ඇසිල්ලෙහි මහත් සතුටට පැමිණ එහි ගියෝ, නිර්‍වස්ත්‍ර ව හුන් ඔවුන් දැක ලජ්ජාවට පැමිණ ‘රහත්හු මේ අන්දමේ විලි බිය නැත්තෝ ද, කුමක් නිසා මේ විලිබිය නැත්තන් දක්වන්නට මා කැඳවී ද, චී, චී, මේ රහත්හු දැ’ යි සිටානන්ට ගරහා පෙරළා තමන් වසන තැනට ආවෝ ය. නග්නයෝ එය දැක ‘හා! ගැහවිය! මොක ද මේ කළ නපුරු වැඩේ, අන් යෙහෙළියක සොයා ගත නො හැකි වූවහු ද, ශ්‍රමණගෞතමයාගේ ශ්‍රාවිකාවක වූ මේ කාලකණ්ණි ගැහණිය කුමක් පිණිස ගෙණ ආවහු ද! ඉක්මනට මෑ මේ ගෙයින් පන්නා හරින්න, මොහොතක් වත් මෙහි නවතා ගැණීම සුදුසු නැත, වහා පන්නා හරින්නැ’ යි තරයේ කීහ. සිටු තෙමේ ‘මෑ මහාකුලදුවක, මොවුන් කීවාට ගෙයින් පන්නා හැරීම නො සුදුසු ය’ යි සිතා ‘පින්වතුන් වහන්ස! ලදරුවෝ තමන් කරණ කියන දෙය දැනත් නො දැනත් කරති, කියති, එයට ඔබ වහන්සේලා අමනාප නොවනු මැනැවි, මට කමන්නැ’ යි නග්නයන් සනසා, යවා, තෙමේ උසසුනෙක හිඳ මගුල්කිරිබත් රන් පිඟානෙක ලා කන්නට පටන් ගත්තේ ය.

එ වේලෙහි එක් ශ්‍රමණයෙක් පිඬු සිඟා යන්නේ එ ගෙට ද පැමිණියේ ය. මාමණ්ඩිට පවන් සලමින් එහි සිටි විශාඛාවෝ පිඬු සිඟා අවුත් දොරකඩ සිටි තෙරුන් දැක ද ඒ බව නො දන්වා තෙරුන් එහි වැඩ සිටින බව ඔහුට පෙණෙන ලෙසින් මදක් ඈත් ව සිටියහ. සිටු තෙමේ තෙරුන් දොරකඩ සිටිනබව දැකත් නො දැක්කා සේ කර බා හිඳ කිසිත් නො බැණ කිරිබත් කෑයේ ය. එවිට විශාඛාවෝ ‘මාගේ මාමණ්ඩි තෙරුන් දැකත් නො දැක්කා සේ හිඳ කිරිබත් කතී’ යි ඉවසිලි නැති ව තෙරුන් දිසාවට හැරී ‘ස්වාමීන් වහන්ස! අන් තැනක් බලා වඩින්න, මාමණ්ඩි පුරාණය කතී’ යි කීවාහු ය. එ ඇසූ සිටු තෙමේ දණ්ඩෙන් පහර ලත් නයකු සේ කිපියේ ය. අතැ තිබූ කිරිබත් පිඟාන පැත්තක දමා ‘පෙණේ ද මෑ, නිගණ්ඨයන් කියද්දීත් මෑ ගෙයින් පිට නො කෙළෙමි, මේ මඞ්ගල අවස්ථාවේ මා අසුචි, කන්නකු කළ මෑ මෙහි නවතා ගැණීම කොහෙත් ම සුදුසු නැත, වහා ම මෑ මෙතැනින් පනා හරිවු’ යි ගුගුලේ ය.

ගෙයි සිටි සියල්ලෝ විශාඛාවන්ගේ දැසි දස් කම්කරුවෝ ය. එ හෙයින් ඇයගේ අතක් පයක් අල්ලන්නකු තබා කට බිම හෙලීමෙහි පොහොසත් එකෙක් වත් එහි නො වී ය. විශාඛාවෝ ‘පියානන් වහන්ස! මම මෙ පමණකින් මේ තැනින් පිට ව නො යන්නෙමි, ඒ ගැණ නො සිතුව මැනැව, ඔබවහන්සේ විසින් තොටුපලෙකින් දිය අදින වැඩකාරියක මෙන් මම ගෙණන ලද්දී නො වෙමි, මාගේ මවුපියෝ තව ම ජීවත් වෙති, මා පිටමං කරණු ලෙහෙසි නැත, මාගේ තාත්තා මා මෙහි පාවා දෙද්දී, මාගේ අතැ යම් වරදෙක් වී නම්, එය සොයා බලා සන්සිඳවීමට කෙළඹියන් අටදෙනකුට මා භාර කොට ඇත, ඔවුන්ට මා භාර කෙළේ නිකමට නො වේ, එ හෙයින් ඒ කෙළඹියන් ගෙන්වා මාගේ අතැ වරදෙක් තිබේ දැ’ යි සොයා බලවන්නැ’ යි දැන්වූහ.

එවිට සිටු තෙමේ මෑ කියනු යුතු කමෙකැ’ යි සිතා කෙළඹියන් ගෙන්වා ‘මේ කෙල්ල, මගුල්දවසේ රන් පිඟානෙක ලා මා මගුල්කිරිබත් කද්දී ‘මෙතෙමේ අසුචි කා’ යි කීවා ය, බලන්න! මේ කතාව කො තරම් කැත සැහැසි කතාවක් ද කියා, මෙය විමසා වහාම මෑ මෙතැනින් පන්නා හරිවු’ යි කීයේ ය. ‘දුව! මේ කියමන සැබෑදැ’ යි ඔවුහු ඇසූහ. විශාඛාවෝ ‘මම එසේ නො කීවෙමි, දැනුත් නො කියමි, මම හොඳ කෙල්ලක්’ යි කීහ. ‘එසේ නම් ඔබ කීයේ කෙසේ දැ’ යි ඇසූවිට පිණ්ඩපාතයේ යන හාමුදුරු නමක් පිඬු පිණිස මේ ගෙට වැඩ දොරකඩ සිටියා, තාත්තා ඒ බල බලා කිරිබත් කෑවා, මේ ඇවිත් සිටින්නේ කවුද යන වගක් වත් නැත, ඒ නිසා තාත්තා මේ අත්බවේ දී පින් නො කොට පෙර කළ පින්කම්වල ඵල අනුභව කරති’ යි සිතා හාමුදුරුවන්ට අන් තැනකට වඩින්නට කියා මම තාත්තා පුරාණය කති’ යි කීවෙමි, මෙහි ඇති වරදෙක් මට නම් නො පෙණේ ය’ යි විශාඛාවෝ කීහ. ‘නෑ, නෑ, එහි කිසි වරදෙක් නෑ, දුව කියා තිබෙන්නේ මුළුමනින් ඇත්ත යි, ඇයට කිපෙන්නේ ඇයි දැ’ යි කෙළඹියෝ ඇසූහ. එවිට සිටු තෙමේ ‘හා! හොඳයි, එය වරදෙක් නො වේ ය’ යි මම ද පිළිගණිමි, දවසක්, මෑ පුතුටත් මටත් නො දන්වා මහරෑ මෑගේ දැසි දස්සනුත් එක්කර ගෙණ ගෙයි පිටිපස්සට ගොස් එනු දකින්නට ලැබුනා, එහි වරද නිවරද අසන්නැ’ යි කී ය. ‘කොහොම ද දුව එසේ ගියා දැ’ යි ඔවුහු ඇසූහ. ‘ගියා ඇත්ත යි, ඒ ගියා අනිකක් නිසා නො වෙමි, මේ ගෙයි ඉන්න වෙළඹ එදා රෑ වැදුවා, ඒ දැක, නො දැක්කා සේ හිඳීම, නො සුදුසු නිසා පහන් දල්වා ගෙණ දැසි දස්සනුත් කැටිව එහි ගොස් වෙළඹට කළයුතු ඇප උපස්ථාන කොට ආවා’ යි කීවිට ‘සිටුතුමනි! මේවා ද වැරදි, මේ ලමයා තමුන්නාන්සේගේ ගෙයි ඉන්නා දැස්සක විසින් වත් නො කරණ වැඩ, ඔබට හිත පිණිස කරණ බව මෙයින් පෙණේ, මෙය වරදක් සේ පිළිගත් එක, ලොකු ම වරදකැයි කෙළෙඹියෝ කීහ.

එකල සිටු තෙමේ ‘මම දැන් එය ද නිවරද ය’ යි පිළිගණිමි, මෑගේ පිය වූ ධනඤ්ජය මෙහි එනදා ඈට අවවාද දෙමින් පුදුම අවවාද දසයක් දුන්නා. ඒවායේ අදහස් කිසිවක් යකකුට වත් තේරෙණ ඒවා නො වේ, ඔබ තුමාලාට වත් තේරෙන්නේ නම්, ඒ අදහස් මටත් කියා දෙන්න, ඇතුළත ගිනි පිටත නො දිය යුතු ය, යනු ධනඤ්ජය, දුවට දුන් මුල් අවවාද ය යි, මේත් අවවාදයෙක් ද, මේ ගෙයි දෙපැත්තේ අහල පහල ඉන්නා මිනිසුන් ගිනිටිකක් ඉල්ලු විට එය නො දී ඉන්නට පිළිවන් ද, කාට ද එසේ කළ හැකි’ යි කී ය. ‘කොහොම ද මේ අවවාදය ගැන ලමයා කියන්නී’ යි බමුණන් ඇසූවිට ‘පියවරුනි! මාගේ තාත්තා ඇතුළත ගිනි පිටත නො දියයුතු යයි කීයේ, ඔය මාමණ්ඩි අදහස් කරණ ගින්නක් ගැණ නො වේ, ගෙයි වසන නැන්දා-මාමා-ස්වාමිපුත්‍රයා යන මොවුන්ගේ වරද දැක ඒ වරද ගෙන් ගෙට ගොස් උන් උන් සමග කතා නො කළ යුතු ය. යනු, එහි අදහස ය, ඔවුන්ගේ වරද ගෙන් ගෙට කියා ඇවිද්දා ම එයින් අඬදබර හට ගන්නේ ය, මෙබඳු කතා බලගතු ගිනි වැනි ය, පියවි ගින්නට වඩා මේ ගිනි බිහිසුණු ය, පියවි ගින්න පවන්නේ මිනිසුන්ට හිත පිණිස ය, මේ ගිනි විනාශය පිණිස පවතී, ඒ නිසා මගේ තාත්තා ඇතුළත ගිනි පිටත නො දිය යුතු ය, යි මට කීයේ සැබෑ ය’ යි විශාඛාවෝ කියා සිටියාහ.

‘මෑගේ පියා කිව්වා පිටතින් ගිනි ඇතුළට ගන්නට එපාය කියා, ඕකත් කළ හැකි වැඩෙක් ද, අපේ ගෙයි දල්වා තිබෙන ගින්න නිවීගියොත් පිටතින් ගිනි ටිකක්. ගත්තාට ඇති වරද මොක ද එය වරදකැ යි මට නම් පිළිගත නො හැකි ය’ යි සිටානන් කී කල්හි කෙළෙඹියෝ ‘ලමයා! තාත්තා එහෙ ම එකක් කීවා දැ’ යි ඇසූහ. ‘ඔව්, කිව්වා, හැබැ යි, ඔය කියන එකක් නො වෙයි තාත්තා කිව්වේ, කිව්වේ අහල පහල ගෙවල ඉන්නා ගෑණු පිරිමි, නැන්දා මාමා-ස්වාමිපුත්‍රයා යන මොවුන්ගේ දොස් උඹ ඉදිරියෙහි කියන්නට පිළිවන, එහෙ ම දොස්කීමක් උඹේ කණට ඇසුනාට ගෙට ඇවිත් අසුවල් ගෑණිය, අසුවල් පුරුෂයා, නැන්දා මාමාලා ගැණ දොස් කියනවා’ ය යි නො කිය යුතු බවය කීයේ, නැති අවුල් ඇතිවී ඇති අවුල් වැඩිවී ගේ දොර විනාශ විය හැකි බැවින් මෙය ගින්නක් වැනි නො වේ ද, ඒ නිසාය තාත්තා කිව්වේ, පිටත ගිනි ඇතුළට නො ගතයුතුයි කියා.

දෙන්නහුට ම දෙන්නැ යි කීයේ, යම් දෙයක් යම්කිසි ලෙසකින් යමකු ණයට ගත්තොත් ඒ ගත් ණය ගෙණැවිත් දෙන්නක්හට ම ණය දිය යුතු බව ය, ණය ගත් තැනැත්තේ ඒ ගත් ණය නැවැත නො දේ නම්, ඔහුට ණය නො දිය යුතු බව ය, නො දෙන්නහුට නො දිය යුතු ය’ යි කියේ, දෙන්නහුටත් නො දෙන්නහුටත් දෙන්නට කීයේ, දිළිඳු නෑ මිතුරන් පැමිණ යමක් ඉල්ලූ විට දුන්නත් නො දුන්නත් දිය යුතු බැවිනි, සැප සේ හිඳිය යුතු ය’ යි කීයේ, නැදිමයිල් ආදී වැඩිහිටි තැන් දැක නැගී නො සිටින පරිදි සුදුසු තැනෙක හිඳිනු සඳහා ය, නැදිමයිල් ආදී වූ තමන්ගේ අතින් සැලකිලි ලැබියයුතු තැන්, කා බී අවසන් වූ පසු දැසිදස්සන් ගැනත් සොයා බලා කෑ යුතු බැවින් සැප සේ අනුභව කළයුතු ය’ යි කිව්වා, නැන්දා මාමා හිමියා යන මොවුනට කලින් නො නිදා, ඔවුනට කළයුතු වත් පිළිවෙත් කොට ගේ දොර බඩුමුට්ටු තැන්පත් කොට තබා, දොරගුලු ලා නිදියයුතු බැවින් සැප සේ නිදිය යුතු ය’ යි කිව්වා. ගිනි පිදිය යුතුය’ යි කීයේ, නැන්දා මාමා හිමියා යන මේ තිදෙන ගිනිකඳු සේ සප්රජුන් සේ සලකා ඔවුනට යටත් ව බිය සුලු ව විසිය යුතු බැවිනි. එසේ ම ඒ තිදෙන දෙවියනැ යි සිතා ගරු සැලකිලි පැවැත්විය යුතු නිසා, ඇතුළත දෙවියෝ වැඳිය යුතු ය’ යි කිව්වා, මේ මාගේ තාත්තා මට දුන් අවවාදවල. තේරුම්’ යි විශාඛාවෝ කීහ.

එ වේලෙහි මිගාර සිටු තෙමේ කටින් නො බැණ බිම බලා හුන් වන ම හුන්නේ ය. කෙළෙඹියෝ ‘කොහොම ද සිට, තවත් වරද තිබේ ද, මේ ලමයා අතේ තිබෙන වරද නො සඟවා දැන් කිය යුතු ය’ යි කී හ. ‘වෙන කියයුතු වරදෙක් නැතැ’ යි ඔහු කීවිට ‘එසේ නම් කිසිත් වරදක් නැති මේ ලමයා ගෙයින් පන්නා දමන්නට කතා කෙළෙහි දැ’ යි ඇසූහ. සිටු තෙමේ නිහඬ විය. ‘ගෙයින් පිටවන්නැ යි කී ඇසිල්ලෙහි ම පිටවී යෑම, නො සුදුසු නිසා මම පිටවී නො ගියෙමි, මා මෙහාට පාවා දෙන දවසෙහි මාගේ අතින් සිදුවන වරද නිවරද සොයා බලන්නට මා ඔබ වහන්සේලාට භාර කළා, දැන් මා අතැ වරදක් නැති බව ඔබවහන්සේලාට වැටහී ඇත, දැන් ඉතින් මා මෙ තැනින් පිට ව යායුතු ය, මෙ තැන ඉදීම මට කරදරයකැ’ යි කියා විශාඛාවෝ යානවාහන පිළියෙල කරන්නට මෙහෙකරුවන්ට කීහ. ‘ලමයා! මා නො දැන කළ කී දේට මට කමා වන්නැ යි සිටානන් කී කල්හි ‘පියානන් වහන්ස! ඔබවහන්සේගේ කමා කළයුතු වරදෙක් වේ නම්, ඒ හැම එකක් ම කමා කරමි, මම බුදුසසුනෙහි සැදැහැති කුලයකට අයත් කෙල්ලක්මි, බුදුසසුන කෙරෙහි මාගේ පැහැදීම සැලෙන වැනෙන සුලු එකෙක් නො වේ, ඒ නිසා බුද්ධශ්‍රාවකයන් නො දැක උන්වහන්සේගෙන් වෙන් ව බණ නො අසා මට මෙහි වසනු බැරි ය, මා යා යුතු ම ය’ යි විශාඛාවෝ කීහ. ‘ලමයාට වුවමනා බුද්ධශ්‍රාවකයන් ගෙන්වා ඔවුනට සංග්‍රහ කිරීම නම්, බණ ඇසීම නම් එසේ කළාට මගෙන් වන වරද මොක ද, ලමයාට ඕනෑ ලෙසකින් ඒවා කරන්නැ’ යි කී කල්හි ‘තාත්තා සංඝයා වහන්සේ මෙහි වැඩමවා ගැණීමටත් උන්වහන්සේලාට සංග්‍රහ කිරීමටත් බණ ඇසීමටත් මට අවසර දේ නම්, මෙහි නවතිමි’ යි කියා පසුදා ම සිටුගෙට වැඩම වන්නට බුදුරජානන් වහන්සේට ආරාධනා කළහ. උන්වහන්සේ එහි වැඩියහ.

නග්න ශ්‍රමණයෝ බුදුරජුන් මිගාර සිටුගෙට වැඩිබව දැන එහි ගොස් සිටුගෙය වට කර සිට ගත්හ. විශාඛා තොමෝ දන් පිළිගන්වා කෑම් බීම් පිළියෙල කොට ‘තාත්තාත් මෙහි අවුත් බුදුරජානන් වහන්සේට දන් පිළිගන්වා සත්කාර කෙරේවා’ යි දන්වා යැවූ ය. නග්නයෝ ඒ දැන ‘සිටාන! එහි යෑමෙන් ඔබට වැඩෙක් නැතැ’ යි සිටානන්ගේ ගමන වළකාලූහ. එවිට සිටු තෙමේ ‘දුව ම බුදුරජුන් වලඳවන්නැයි කියා දන්වා යැවී ය. වලඳවා අවසන්හි නැවැතත් ‘තාත්තා මෙහි අවුත් බණ අසන්නැ’ යි දන්වා යැවූ ය. ‘පළමු දැන්වීමෙහි නො ගියත් මේ වර නම් යා යුතු ය’ යි බණ අසනු රිසියෙන් පිටත් වූ සිටානන්හට නග්න ශ්‍රමණයෝ ‘යා යුතුම නම්, ගොස්, තිරයක් බන්දවා එයට මුවා වී හිඳ බණ අසවු’ යි කියා තුමූ ම පළමු ව ගොස් එහි තිරයක් බැඳ තැබූහ. සිටු තෙමේ තිරයට මුවාවී සිටියේ ය. බුදුරජානන් වහන්සේ ඔහු දැක ‘සිටාන තෙපි තිර බැඳ තිරයෙන් පිටත හුන්නහු ද, බිත්තියෙන්, ගලෙකින්, සක්වලින් පිටත හුන්නහු ද එය මට කාරියෙක් නො වේ, මම බුදුමි, ඔබට අස්වන්නට බැරිකමෙක් මට නැත, තමුසේ මාගේ තරම නො දන්නහු’ යි ගවු සාරසියයක් උස ඇති ගවු එක්දහස් දෙ සියයක් වට ඇති දඹගස සොලවා දඹ වගුරවන එකකු සේ අමාවැසි වස්වන එකකු සේ බණ වදාරන්නට පටන් ගත් සේක. බුදුරජානන් වහන්සේ බණ වදාරන කල්හි ඉදිරියෙහි සිටියෝ, පසුපස සිටියෝ, සක්වළ සියයක්, සක්වළ දහසක් ඉක්මවා සිටියෝ, අකනිටා බඹතල සිටියෝ, බුදුරජානන් වහන්සේ මා දෙස ම බලති, මට ම බණ වදාරති’ යි කියත්. උන්වහන්සේ එකකු බලන්නකු සේ එකකු හා කතා කරන්නකු සේ බලන්නවුන්ට පෙණෙති. බුදුවරයෝ වනාහි සඳට බඳු උපමා ඇත්තෝ ය. අහස්මැද සිටියාවූ සඳ ‘මා හිස මතුයෙහි සිටියේ ය, මා මත්තෙහි සිටියේය’ යි සියලු දෙනාහට යම් සේ වැටහේ ද, එසේ බුදුවරයෝ කො තැනක සිටියත් ඉදිරියෙහි සිටින්නවුන් සේ පෙණෙති, උන්වහන්සේ පිළිබඳ ඒ මේ මහත් ආනුභාවය වනාහි සැරසූ හිස් සිඳ, අඳුන් ගෑ ඇස් උපුටා, පපුමස් ගළවා, අනුන්ට මෙහෙවර පිණිස ජාලිය වැනි පුතුන්, කෘෂණජිනා වැනි දූන්, මද්‍රියවැනි බිරිඳුන් කිසිත් කනස්සල්ලක් නැති ව දීමේ විපාකයෙන් උපන්නේ ය.

සිටු තෙමේ බුදුරජානන් වහන්සේගේ විචිත්‍ර වූ ධර්‍මදේශනාව ඒ මේ අත පෙරළ පෙරළා විමසමින්, තිරයෙන් පිටත හුන්නේ ම දහසක් නයින් යුත් සෝවන්පලයෙහි පිහිටා නො පෙරළෙන සැදැහැ ඇති ව තිසරණයෙහි සැක නැත්තේ කඩතුරා කොණ ඔසවා ගොස් විශාඛාවන්ගේ තනතුඩ කටින් ගෙන ‘ඔබ අද පටන් මාගේ මෑනියෝ ය’ යි කියමින් විශාඛාවන් වැළඳ ගත්තේ ය. මිගාරමාතාවෝ යි විශාඛාවෝත් එදා පටන් රට පුරා සැම තැනැ පැතිර ගියහ. ඉන් පසු උපන් පුතාට, ‘මිගාර’ යි නම් කළහ. සිටු තෙමේ කටින් ගත් විශාඛාවන්ගේ තනතුඩ හැර ගොස් බුදුරජුන් වෙත වැටී පෙරැළී දෙඅල්ලෙන් පා පිරිමදිමින් මුවින් පා සිඹිමින් ‘ස්වාමීනි! මම මිගාර වෙමි, ස්වාමීනි! මම මිගාර වෙමි, ස්වාමීනි! මම මිගාර වෙමි, යි තෙ විටක් නම අස්වා ‘මම මෙතෙක් කල් කො තැන දුන් දානය මහත් පල දැ යි නො දැන සිටියෙමි, මේ ලමයා නිසා දැන් එය දැන ගතිමි, සියලු අවාබියෙන් නිදහස් වීමි, මේ ලමයා මෙහි ආවා මට වැඩ පිණිස ය’ යි මහත් සතුටින් කිය කියා, සිටියේ ය.

විශාඛාවෝ පසුදාත් දානයට බුදුරජුන්ට ආරාධනා කළහ. එදා නැන්දා සෝවන්පලයට පැමිණියා ය. එතැන් පටන් මිගාර සිටු ගෙය බුදුසසුනට හළ දොර ඇත්තේ විය. සිටු තෙමේ ‘මෑ මට බොහෝ උපකාර වූ ය, එ හෙයින් මෑ කෙරෙහි මා තුළ ඇති ප්‍රසාදය දැක්විය යුතු ය, මේ, මේලපලඳනාව බර වැඩි ය, නිතර ඇඟ ලන්නට බැරි ය, ඒ නිසා නිතර ඇඟ ලෑමට සුදුසු ආභරණයක් කර දිය යුතු ය’ යි සිතා ලක්‍ෂයක් වියදම් කොට ‘ඝනමට්ට’ නම් ආභරණයක් කරවා, බුදුපාමොක්මහසඟන පවරා දන් දී සුවඳ දියකළ සොළොසකින් විශාඛාවන් නාවා බුදුරජුන් ඉදිරිපිට දී එය පලඳවා බුදුරජුන්ගේ පා වැන්දේ ය. උන්වහන්සේ අනුමෙවෙනිබණ වදාරා විහාරයට වැඩි සේක.

විශාඛාවෝත් දන් ඈ පින්කම් කරමින් බුදුරජුන් වෙතින් අටවරයක් ලබා අහස් තලැ චන්ද්‍රලේඛාව සේ සැම තන්හි පැතිර ගියාහු ය. ඈට වනාහි. පුත්තු දස දෙනෙක් හා දූවරු දස දෙනෙක් වූහ. ඔවුන් හැම එකක් හට දස දස දෙනා බැගින් දූ පුත්තු වූහ. ඔවුන් එක එකා හට ද එසේ ම දස දස දෙනා බැගින් දූ පුත්තු වූහ. විශාඛාවන්ගේ දූ පුත්, මුණුබුරු, මීමුණුබුරු පරපුර අටදහස් සාරසිය විසිදෙනකු ගෙන් පමණ වූයේ ය. අවුරුදු එක්සිය විස්සක් වයස් වූ විශාඛාවන්ගේ හිසෙහි පැසුනු හිසකෙස් ගසෙක් නො වී ය. සොළොසැවිරිදි වයස් ඇත්තියක සේ ම පෙණුනේ ය. දරු මුණුබුරන් පිරිවරා විහාරයට යන විට ‘මේ පිරිසෙහි විශාඛාවෝ. කවුරු දැ’ යි අසන්නේ නැත. මග බැස යන විට දකින්නෝ ‘අපගේ ආර්‍ය්‍යාව යන විට ම හොබී ය’ යි සිතත්. නැවතී සිටින විට දකින්නෝ ‘සිටින විට ම හොබී ය’ යි සිතත්, හිඳින කල්හි දකින්නෝ හිඳින කල්හි ම හොබී ය’ යි ද, නිදන කල්හි දකින්නෝ නිදන කල්හි ම හොබී ය’ යි ද සිතති. එහෙත් සතර ඉරියවු ‘අතර අසුවල් ඉරියව්වේ දී පමණක් හොබී ය’ යි වෙන් කොට දක්වන්නට බැරි ය. සතර ඉරියවේදී ම විශාඛාවෝ එකසේ හොබිත්. ඇයට ඇතුන් පස්දෙනෙකුගේ බල ඇත්තේ ය.

දවසක් රජ තෙමේ ‘විශාඛාවන් ඇතුන් පස් දෙනෙකුගේ බල දරතී’ යි අසා ඒ විමසනු කැමති ව විහාරයට ගොස් එන විශාඛාවන් ඉදිරියට ඇතකු යැවී ය. ඇතා ද සොඬ ඔසවා ගෙන විශාඛාවන් ඉදිරියට දිවී ය. එ වේලෙහි පරිවාර සත්‍රීන් අතුරෙහි වූ බොහෝ සත්‍රීහු පැන දිව්වෝ ය. සමහරු එහි ම සිට ගත් හ. ‘මොක ද මේ ඇතෙක්’ යි විශාඛාවන් ඇසු විට ‘ආර්‍ය්‍යාවෙනි! ඔබ විමසනු පිණිස රජ තෙමේ ඔබ ඉදිරියට මේ ඇතා එවී ය’ යි ඔවුහු කීහ. මූ දැක පැන යෑම මට තරම් නො වේ, මම මු තදින් අල්ලා ගත්තෙම් නම්, මේ තැන ම මැරී වැටෙනු එකාන්ත ය, එ හෙයින් එසේ කළ යුතු නො වේ ය’ යි සිතා විශාඛාවෝ. ඇතුන්ගේ සොඬ ඇඟිලිදෙකකින් අල්ලා පිටතට නැමූහ. ඇතා මොර දෙමින් දුව ගොස් රජගෙදර මිදුලෙහි ඇද වැටුනේ ය. මහාජන තෙමේ සාධුකාර දුන්නේ ය, විශාඛාවෝත් සපිරිවරින් ගෙට ගියහ.

ඇයගේ දරුමුණුබුරුපරපුරෙහි හැම දෙන ම නීරොගී වූහ. අභිමඞ්ගලසම්මත ය. අකාලයෙහි මිය ගියා වූ එකෙක්වත් නො වී ය. සැවැත්නුවරැ වැස්සෝ මඟුල් දිනයන්හි විශාඛාවන් පමුණුවා මඟුල්බත ඉඳුල් කරවති. එක් උත්සව දිනෙක නුවර වැස්සෝ නොයෙක් තරා තිරමේ ඇඳුම් ආයිත්තමෙන් සැරසී බණ අසන්නට ජෙතවන විහාරයට ගියහ. විශාඛාවෝත් තමාට පැවරූ ගෙයකින් කෑම කා මේලපලඳනාවත් ඇඟැ ලා ඔවුන් සමග විහාරයට ගොස් පසෙකට වී පලඳනාව ගලවා පොදි බැඳ ‘මෙබඳු බරපතල ඇඳුමක් ඇඟේ ලා විහාරයට යෑම සුදුසු නො වේ ය’ යි දාසියගේ අතට දුන්හ. ඒ දාසිය ද ඇතුන් පස්දෙනකුන්ගේ තරම් හය්බල ඇත්තියකි. ඈ උපන්නී විශාඛාවන්ගේ පිණෙන්ම ය. ඒ දාසිය ම එය ඔසවනු මිසක් අනිකක්හට ඔසවනු බැරි ය. ‘දුව! මා බුදුරජුන් වෙත ගොස් බණ අසා එනතුරු මෙය තබා ගන්නැ’ යි කියා මිගාර සිටු කරවා දුන් ඝනමට්ටපලඳනාව පැලඳ බුදුරජුන් වෙත ගොස් බණ අසා අවසන් කොට හුන් තැනින් නැගී ආහ. දාසිය ද පලඳනාව ගැන සිහි නො කොට විශාඛාවන් සමග ම නැගී ආවාය. බණ අසා නැගී ගිය පිරිසෙහි යමක්හට යමක් අමතක වී නම් එය සොයා බලා ගෙන්වා තැබීම, අනද මහා තෙරුන්ගේ සිරිත බැවින්, එදා ද උන්වහන්සේ බණපිරිස නැගිට ගිය පසු අමතක කොට ගිය බඩු තිබේ දැ’ යි සොයා බලන්නෝ, මේ පලඳනාව දුටහ. එවිට බුදුරජුන් කරා ගොස් විශාඛාවන් තම පලඳනා පොදිය අමතක ව තබා ගොස් ඇති බව උන්වහන්සේට දැන් වූහ. ‘අනඳ! එසේ නම්, එය ගෙන්නවා තබන්නැ’ යි උන්වහන්සේ වදාළ සේක. අනඳ තෙරණුවෝ එය උස්සා තරප්පුව පසෙක එල්වා තැබූහ.

ඒ වේලෙහි විශාඛාවෝත් සුප්පිය උපාසිකාවන් සමග ආගන්තුක, ගමික, ගිලානාදි භික්‍ෂූන්ට වුවමනා කුමක් දැ යි සොයමින් විහාරය තුළ ම ඔබිමොබ හැසුරුණෝ ය. ඔවුන් විහාරය තුළ එහා මෙහා ඇවිදිනු දැක වෙනදා මෙන් භික්‍ෂුශ්‍රාමණේරයෝ පාතැටි තලි ආදිය ගෙණ ඉදිරියට අවුත් ‘ගිතෙල් දෙන්න, මීපැණි දෙන්නැ’ යි ඉල්ලූහ. සුප්පියාඋපාසිකාවෝ ලෙඩින් තදින් වැහැරී ගිය භික්‍ෂු නමක් දැක ලඟට ගොස් ඔබවහන්සේට වුවමනා කුමක් දැ’ යි ඇසූහ. ‘මස්හොද්දක් වුවමනා ය’ යි ඒ රෝගී භික්‍ෂු නම කී ය. ‘හොඳයි, ස්වාමීනි! මම කෙසේ හෝ එය පිළියෙල කොට එවන්නෙමි’ යි කියා ගිය උපාසිකාවෝ කැපමසක් නො ලැබ කලවේ මස් කපා හොද්ද පිළියෙල කොට යැවූහ. බුදුරජානන් වහන්සේ කෙරෙහි වූ බලවත් ප්‍රසාදය හේතු කොට ඒ වණයෙහි මස් පිරී ගියේ ය. උපාසිකාවෝ සුවපත් වූහ. ආගන්තුක, ගමික, ගිලානාදි භික්‍ෂූන් බලා අවසන් කොට අනික් දොරකින් පිට වූ විශාඛාවෝ විහාරය අසල සිට ‘පලඳනාව ගෙණ එන්න, ඇඟ ලා ගන්නට ය’ යි දාසියට කීහ. ඕ තොමෝ එය ගෙණ එන්නට අමතක වූ බව කිවූ ය. ‘එසේ නම් එහි ගොසින් එය ගෙණ එව, යම් ලෙසකින් අනඳ මහතෙරුන් එය කොතැනෙකවත් තබන ලද්දේ නම්, ගෙණ එන්නට එපා, එසේ කො තැනක වත් තබන ලද්දේ නම්, මාවිසින් එය උන් වහන්සේට පුදන ලද්දේ වනැ’ යි විශාඛාවෝ දාසිය පිටත් කළහ. අනඳ මහා තෙරුන්, බණ අසා යන්නන් අමතක කොට තබා යන බඩුබාහිරාදිය සොයා බලා තැන්පත් කරණ බව දන්නා හෙයින් එසේ කීහ. තෙරුන් වහන්සේ ඇඳුම්පොදිය සොයා ආ දාසිය දැක ‘මොක ද හැරී. ආයෙහි’ යි ඇසූහ. ‘අප ආර්‍ය්‍යාවගේ ඇඳුම් පොදිය අමතකව ගියා, එය ගෙණ යන්නට ආයෙමි’ යි ඈ කී විට ‘අන්න අතනැ තරප්පුවේ පැත්තක එය තබා ඇති, ගෙණ යන්නැ’ යි උන්වහන්සේ කීහ. ‘ස්වාමිනි! එය ගෙණ යන්නට බැරිය, ඔබවහන්සේගේ ශ්‍රීහස්තයෙන්. ස්පර්‍ශ කරන ලද්දේ නම්, එය ගෙණ එන්නට එපා ය’ යි මට නියම කර තිබේ’ යි දාසී තොමෝ එය නො ගෙණ සිස් අතින් ම ගියා ය. ‘කොහොම ද දුවනියනි!’ යි ඇසූ විට තොරතුරු සියල්ල දැන් වූ ය. විශාඛාවෝ ‘දුව! මාගේ පින්වතුන් වහන්සේ විසින් ස්පර්‍ශ කළ ඇඳුමක් නැවැත මා ඇඟැ ලා ගැණීම හොඳ නැත, එසේ වූ විට මාගේ අදහස, එය උන්වහන්සේට පූජා කළ එකක් සේ ය, එහෙත් මෙයින් උන්වහන්සේට කිසිත් වැඩෙක් නැත, ඒ නිසා මෙය විකොට වුවමනා කැපබඩු ගෙන්වා දිය යුතු බැවින් එය ගෙන එන්නට නැවැතත් දාසිය යැවූහ. ඈ එහි ගොස් එය ගෙණ ආය.

විශාඛාවෝ කඹුරන් ගෙන්වූහ. ඔවුහු ‘කෙළින් ම මෙය නව කෝටියක් වටියි, කම්කරුමිල ම ලක්‍ෂයෙකැ’ යි කීහ. එවිට විශාඛාවන් ඇඳුම කරත්තයක පටවා ‘මෙය ගෙණ ගොස් විකොට මුදල් ගෙණ එවු’ යි කී කල්හි ඔවුහු එය ගෙණ නුවර සැමතැන ඇවිද්දෝ ය. එහෙත් එය ගන්නට එකෙක් නො වී ය. එය යමකු ගත්ත ද පැලඳීමට සුදුසු පින් ඇති බලගතු ගෑණු ලොව නැත. මේ මහපොළොව මතුපිට තුන්දෙනෙක් මය, මෙය ඇඟැ ලෑමට සුදුසු ස්ත්‍රීහු සිටියෝ. විශාඛා, මල්ලිකා, බාරාණසී සෙට්ඨිධිතා යන මේ තිදෙන ය ඔවුහු. එ හෙයින් විශාඛාවෝ ම එය මිල දී ගෙණ ඒ මුදල වූ නව කෝටි එක් ලක්‍ෂයක් රන්මසු මහාගැලෙක ලාගෙණ විහාරයට ගොස් බුදුරජුන් වැඳ ‘ස්වාමිනි! භාග්‍යවතුන් වහන්ස! මා හිමි වූ අනඳ හාමුදුරුවන් දාසිය අමතක කාට ගිය මාගේ ඇඳුම රැකවරණයෙහි තබන ලද්දේ, සියතින් අල්ලන ලද ය, දැන් එය මා ඇඟැ ලෑම නො සුදුසු ය, එය විකොට ඉන් ලැබෙන මුදලින් සඞ්ඝයා වහන්සේට වුවමනා කැපබඩු ගෙණ දෙන්නට ඕනෑ ය යි සිතා කඹුරන් අතැ එය කඩපලට යැවීමි, ඔවුහු මුළුනුවරැ ඇවිද ගන්නට කෙනෙක් නැතැ’ යි ආපසු ආහ, මම ම එය මිල දී ගතිමි, ඒ මුදල් සියල්ල දැන් මෙහි ගෙණැවිත් තිබේ, එයින් සඞ්ඝයාට වුවමනා යමක් ගෙණ ආ හැකි ය, එ හෙයින් කළ යුත්තක් වදාරනු මැනැවැ’ යි දන්වා සිටියෝ ය. බුදුරජානන් වහන්සේ ‘විශාඛාවෙනි! එසේ නම්, මෙ නුවරැ නැගෙනහිරදොර සඞ්ඝයාට විසීමට සුදුසු විහාරයක් කරවනු වටී ය’ යි වදාළ කල්හි ‘එසේය, ස්වාමීනි!’ යි එය මුදුනෙන් පිළිගෙන නව කෝටියක් දී ඉඩමක් ගෙණ තවත් නව කෝටියක වියදමින් විහාරය කරවන්නට පටන් ගත්හ..

මෙ කල දවසෙක බුදුරජානන් වහන්සේ අලුයම්වේලෙහි ලොව බලා වදාරන සේක් දෙව්ලොවින් චුත ව එම භද්දියනුවර සිටු කුලයෙහි උපන් භද්දිය සිටුපුත්හුගේ හේතුසම්පත් දැක එදා අනාථපිණ්ඩිකසිටානන්ගේ ගෙයි දන් වලඳා උතුරු දිසාව බලා වැඩි සේක. උන් වහන්සේ යම් දිනක විශාඛාවන්ගේ ගෙයි දන් වැලඳූ සේක් නම්, එදා දකුණුදොරින් නික්ම ගොස් දෙව්රම්මහවෙහෙර වැඩවාසය කරණ සේක. යම් දවසක අනාථපිණ්ඩිකසිටායනන්ගේ ගෙයි දන් වැලඳූ සේක් නම්, එ දින නැගෙනහිරිදොරින් නික්ම පූර්‍වාරාමයෙහි වැඩ වසන සේක. යම් දිනෙක උතුරුදෙසට හැරී වඩින සේක් නම්, ඒ දක්නා වූ මනුෂ්‍යයෝ ‘උන් වහන්සේ චාරිකාවෙහි වඩින සේකැ’ යි දනිති. එදා ද ‘උතුරු දෙසට මූණ ලා වැඩි සේකැ’ යි ඇසූ විශාඛාවෝ වේගයෙන් ගොස් වැඳ ‘මම මෙතෙක් වියදම් කොට බුදුරජානන් වහන්සේ උදෙසා විහාරයක් කරවමි, එ බැවින් චාරිකාවේ නො වැඩ නවතිනු මැනැ වැ’ යි කීහ. ‘විශාඛා! මේ ගමන නතර කළ හැකි ගමනෙක් නො වේ, යායුතු ම ගමනෙකැ’ යි වදාළ විට ‘යම් කිසි හේතුසම්පත් ඇත්තකු දැක වඩින සේකැ’ යි සිතු විශාඛාවෝ එසේ නම්, මා විසින් මෙහි කළ නො කළ දෙය සොයා බැලීමට භික්‍ෂු නමක් නවතා වඩිනු මැනැවැ’ යි කීහ. බුදුරජානන් වහන්සේ ‘තිට කැමැති නමකගේ පාත්‍රය ගණුව’ යි වදාළ විට විශාඛාවෝ කවදාත් අනඳ මහාතෙරුන්ට ප්‍රිය කරතත්, විහාර කර්‍මාන්තයෙහි වහා නිමාව බලා ඍද්ධිමතුන් අතර අග්‍රේසර වූ මුගලන් මහා තෙරුන් වහන්සේගේ පාත්‍රය ගත්හ. උන්වහන්සේ බුදුරජුන්ගේ මුණ බැලූහ. බුදුරජානන් වහන්සේ ‘මුගලන! තමුසේ පිරිවරත් සමග නතර වහු’ යි වදාළාහු ය. උන්වහන්සේ නතර වූහ.

මුගලන් මහාතෙරුන්ගේ අනුභාවයෙන් පහයට ගස් ගල්වැලි ගෙණෙන්නට පණස් සැටයොදුන් දුර ගිය කම්කරුවෝ දිග මහතැති ගස් ගල් රැගෙණ එදා ම පෙරළා විහාරයට එති. බරකරත්තවල ගස් ගල් වැලි හුණු පැටවීමේ දී එය ඉතා පහසුවෙන් සිදු වේ. කොතරම් බර නැංවූව ද කරත්තවල අලවංගු නො කැඩේ. නො නැමේ. මෙසේ ඉතා පහසුවෙන් විශාඛාවෝ වැඩි දවස් නො යවා ම දෙමහල් පහයක් කරවූහ. එහි යටමාලේ කාමර පන්සියයකි. උඩමාලේ පන්සියයකි. මෙසේ ඒ මහාපහය කාමර දහසකින් සැදුම් ලද්දේ ය. බුදුරජානන් වහන්සේ තමන් වහන්සේගේ චාරිකාගමන නව මසකින් කොට නිමවා පෙරළා සැවැත්නුවරට වැඩිය සේක. ප්‍රාසාදකර්‍මාන්තය නවමසක් ගෙවෙත් ම නිමා විය. ප්‍රාසාදකූටය ඝන කොට තැළූ රනින් ම දිය කළ සැටක් ගන්නා පමණට කර වූහ. ‘චාරිකාවෙහි ගොස් පෙරළා එන බුදුරජානන් වහන්සේ දෙව්රමට වැඩම කරණ සේකැ’ යි අසා විශාඛාවෝ ඉදිරියට ගොස් උන්වහන්සේ තමන්ගේ විහාරයට වැඩමවා ගෙණ අවුත් ‘ස්වාමීනි! මේ සාරමස සංඝයා වහන්සේ සමග මෙහි ම වැඩ හිඳිනු මැනැව, විහාරපූජාමහොත්සවය කරගත යුතු බැවින් මේ සාරමය කො තැනක වත් නො වැඩ මෙහි ම වැඩ හිඳියයුතු ය’ යි කියා. බුදුරජුන් වෙතින් පොරොන්දු ගෙණ විහාරපූජාමහොත්සවය පටන් ගත්හ. එ තැන් පටන් හැමදා විශාඛාවෝ සියවෙහෙර බුදු පාමොක් මහසඟනට මහදන් දෙති. නොයෙක් පුදපෙරහැර කරති. ඒ අතර විශාඛාවන්ගේ එක් යහළු ගැහැණියක් ලක්‍ෂයක් වටිනා රෙදිකඩක් ගෙණ අවුත් ‘ආර්‍ය්‍යාවෙනි! මේ රෙදිකඩ ඇතිරිල්ලක් කොට බිම එලන්නට තැනක් කියනු මැනැවැ’ යි කිවුය. ‘එලන්නට තැනක් නැතැ’ යි මා කීවොත් ඉඩ දෙන්නට නො කැමැත්තෙන් මෙසේ කියති’ යි සිතෙන බැවින් විශාඛාවෝ ‘උඩමාලෙහි හා පහත මාලෙහි කාමර දහස ම සොයා බලා එලන්නට තැනක් තිබේ නම් එලන්නැ’ යි කීහ.

ඕ තොමෝ තමන් ගෙණ ආවා වූ ලක්‍ෂයක් අගනා ඒ පලසත් ගෙණ ඇවිද සොයා බලා තමාගේ පලසට වඩා වටිනාකම අඩු එක ම පලසක් වත් නො දැක ‘මට මෙහි පිණක් නො ලැබෙන සේ ය’ යි දොම්නසට පැමිණ පැත්තකට වී අඬමින් සිටියා ය. අනඳ මහතෙරුන් වහන්සේ ඇය දැක ‘කුමක් හෙයින් හඬන්නෙහි දැ’ යි අසා කාරණය දැන ‘උපාසකම්මා නො අඩා ඉන්න, ඕක එලන්නට ඉතා හොඳ තැනක් මම කියමි’ යි කියා පඩිපෙළටත් පා සෝදන තැනටත් අතර පාපිස්නක් කොට එලවා ‘භික්‍ෂූන් වහන්සේලා පා සෝදා පළමු කොට ම එහි පා පිසදමා පහයතුළට පිවිසෙති, එවිට තිට අත්වන්නේ මහත් පිණෙකැ’ යි කීහ. එ තැන, කිසිවක් නො එලා අත හැරදමා තුබූ තැනෙකි. විශාඛාවෝ වෙහෙරතුළ ම බුදුපාමොක් මහ සඟනට දන් දෙමින් පුදපෙරහැර පවත්වමින් සාරමස ගෙවා අවසන් දිනයෙහි සියලු දෙනා වහන්සේට සිවුරු පිණිස වටිනා සළු පිළිගැන් වූහ. ඉතා කුඩා භික්‍ෂුනම විසින් පවා ලැබු සළුව දහසක් අගනේ විය. සියලු දෙනා වහන්සේට, පා පුරා බෙහෙත් පිළිගැන්නූහ. මෙසේ දානයට නව කෝටියක් වියදම් කළහ. ‘ඉඩම ගැණීමට නව කෝටියක, වෙහෙර කරවීමට නව කෝටියක, විහාරපූජාමහොත්සවයට නව කෝටියකැ’ යි විසි හත් කෝටියක් ධනය විශාඛාවෝ බුදුසසුනට පූජා කළහ. මිසදිටුවකුගේ ගේක වෙසෙමින් මෙබඳු මහත් පූජාවක් කළ අන් සත්‍රියක් මේ මහපොළොවෙහි නැත.

විශාඛා මහා උපාසිකාවෝ විහාරපූජාව අවසාන දිනයෙහි දරු මුණුබුරන් කැටු ව ගොස් ‘මා පෙර පැතු සියල්ල මුදුන් පැමිණියේ යයි තුටු පහටු ව පහය වටේ යමින් මිහිරි හඩ නගා මෙසේ කියන්නට වූහ:

“සුණු මැටි අලෙව් දුන් - පහයක් මෙ මම මනකල්,

වෙහෙර දන් කොට කවදා - දෙම් ද යන සිත් පිරුණේ,

.

අනේ! මම කවදා - ඇඳ පුටු බිසිත් කොට්ටත්,

දෙම් ද සෙනසුන් බඩු කොට - යන මගෙ දහස පිරුණේ,

.

කසීසළු කොමුපිළි - කපුපිළි සිවුරු දන් කොට,

කවදා දෙම් ද යන මේ - මගේ අදහස පිරුණේ,

.

ගිතෙල් වෙඬරූ මී - තෙල් පැණි හකුරු කවදා,

බෙහෙත් දන් කොට දෙම් දෝ - යන මගෙ දහස පිරුණේ” යි.

මේ උදන්හඬ අසා භික්‍ෂූන් වහන්සේලා බුදුරජුන් කරා ගොස් ‘ස්වාමීනි! අපි මෙතෙක් කල් විශාඛාවන් ගී කියන බවක් නො ඇසූ විරූම්හ, නො දුටු විරූම්හ, අද දරුමුණුබුරන් කැටුව ගී කියමින් පහය වටේ හැසිරෙති, කිමෙක් ද ස්වාමීනි! ඇගේ පිත කිපී ද, නැත, උමතුවූවෝදැ’ යි ඇසූහ. ‘මාගේ දුවනියෝ නො ද ගයති, ඇයගේ අදහස දැන් සම්පුර්‍ණ ය, ඒ නිසා තමන්ගේ පැතුම් සියල්ල සම්පූර්‍ණ ය යි තුටු පහටු ව උදන් අනමින් හැසිරෙති’ යි වදාළ සේක. එකල භික්‍ෂූන් වහන්සේලා ඈ කවදා එබඳු පැතුමක් කළා දැ යි ඇසූහ. ‘මහණෙනි! පදුමුත්තර බුදුරජානන් වහන්සේ ලෝ පහළ වූවෝ මෙයින් කල්ප ලක්‍ෂයකට උඩදී ය, උන්වහන්සේගේ ආයුෂය කල්ප ලක්‍ෂයෙකි, ලක්‍ෂයක් රහතුන් වහන්සේලා පිරිවර වූහ, නුවර හංසවතී නම් ය, පියා සුනන්ද රජ ය, මවු සුජාතා ය, උන්වහන්සේට අග්‍රෝපස්ථායිකා වූ උපාසිකාවක් අට වරයක් ඉල්වා මවු තනතුරෙහි සිට නිතර උපස්ථාන කර යි, උදය සවස ඒ පිණිස විහාරයට යයි, ඇය සමග හැමදා යෙහෙළියක් ද යයි, ඕ තොමෝ, උපාසිකාව බුදුරජුන් සමග විස්වස් ඇති ව කතා කරන සැටිත් ප්‍රියමනාපභාවයත් දැක, බුදුවරුන්ට මෙසේ ප්‍රියමනාප වන්නට කුමක් කළ යුතු දැ’ යි සිතා බුදුරජුන් කරා එළැඹැ ‘මේ උපාසිකාව නුඹවහන්සේට කවුරු නම් වේ දැ’ යි ඇසූ ය, මෝ තොමෝ මාගේ අග්‍ර උපස්ථායිකා ය’ යි උන්වහන්සේ වදාළ විට ‘ස්වාමීනි! අග්‍ර උපස්ථායිකාවක වන්නට ඒ පිණිස කුමක් කළ යුතු දැ’ යි නැවැතත්’ ඇසූ ය, ‘ඒ පිණිස කල්ප ලක්‍ෂයක් දානශීලාදී වූ පෙරුම් පිරිය යුතු ය’ යි උන්වහන්සේ වදාළ සේක, එවිට ද ‘දැනුත් එසේ කළ හැකි දැ’ යි විචාළා ය, ‘පිළිවනැ’ යි වදාළ විට ඕ තොමෝ ‘එසේ නම් ස්වාමීනි! ලක්‍ෂයක් භික්‍ෂූන් වහන්සේලාත් සමග සත් දවසක් ම මාගේ ගෙයි මාගේ දානය පිළිගණු මැනැවැ’ යි ආරාධනා කළා ය, උන්වහන්සේ එය ඉවසූහ, සත් දවසක් දන් දී අවසාන දිනයෙහි සිවුරු පිළි පුදා වැඳ බුදුරජුන් පාමුල වැටී ‘ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! මම මේ දානයාගේ විපාකයට දිව්‍ය සම්පත් ආදී වූ කිසිත් සම්පත්තියක බලාපොරොත්තු නො වෙමි, ඔබ වැනි බුදු රජකෙනකුන් හමුවෙහි වර අටක් ලබා මවුතනතුරෙහි සිට සිවුපසයෙන් උවටැන් කරන්නියන් අතුරෙහි ප්‍රධාන වන්නට බලාපොරොත්තු වෙමි ‘ යි කියා එසේ වන්නට පැතූ ය,

ඉක්බිති බුදුරජානන් වහන්සේ ‘මෑගේ මේ පැතීම මුදුන් පැමිණේ දැ’ යි බලා, දැක ‘මෙයින් කල්පලක්‍ෂයකින් ඔබ්බෙහි ගෞතම නමින් ලෝ පහළ වන බුදුරජුන් ඉදිරියෙහි ඔබ, විශාඛා නම් උපාසිකාවක් වී ඒ බුදුරජුන් ඉදිරියෙහිදී ම අට වරයක් ලබා මවුතනතුරෙහි ද සිට, සිවුපසයෙන් සඟුන්ට උවටැන් කරණ උපාසිකාවන් අතුරෙහි ප්‍රධාන වන්නහු ය’ යි වදාළ සේක, ඇයට මේ සම්පත්තිය අද හෙට ම වහා ලැබිය යුත්තක මෙන් වැටහින, ඕ තොමෝ ආයු ඇති තාක් පින් කොට එයින් චුත ව දෙව්ලොව උපන, මෙසේ එ තැන් සිට දෙව්මිනිසුන් අතර ම සැරිසරන්නී කසුප් බුදුරජුන් දවස කිකී නම් කාසීරජුගේ දූන් සත් දෙනා අතර හැමට බාල ව උපන්නා ය, නම සංඝදාසී ය, නිසි වයසැ සරණ ගියා ද අන් සහෝදරියන් හා එක් ව බොහෝ කලක් දන් ඈ පින්කම් කොට කසුප්බුදුරජුන් පාමුල දී ද අනාගතයෙහි බුදුකෙනකුන්ගේ මවුතනතුරෙහි සිට සිවුපසය දෙන්නියන් අතර ප්‍රධාන වන්නට ප්‍රාර්‍ත්‍ථනා කළා ය, එ තැන් සිට ද දෙව්මිනිසුන් අතර ම සම්පත් ඇතිව ම ඉපිද ඉපිද ආවා ය, මේ අත්බවේ දී ධනඤ්ජය සිටානන්ගේ දූ වූ ය, දැන් මාගේ සසුන්හි බොහෝ පින් කරයි, මෙසේ පිරූ දන් ඈ පෙරුම් ඇති පිණැත්තී වූ මාගේ දුවනියෝ නො ද ගයති, පැතූ ඒ පැතුම මුදුන්පැමිණිබව දැක උදන් අනති’ යි වදාළ සේක. නැවැත ද ‘මහණෙනි! දක්‍ෂ වූ මාලාකාරයෙක් නන්වන් මල්, මහත් රැසක් එකතු කොට නන් වැදෑරුම් මල්වඩම් යම් සේ ගොතා ද, එසේ නානාවිධ කුශලක්‍රියාකරණයට විශාඛාවන්ගේ සිත නැමේ ය’ යි වදාරා මේ ධර්‍මදේශනාව ද කළ සේක:

යථාපි පුප්ඵරාසිම්හා කයිරා මාලාගුණෙ බහු

එවං ජාතෙන මච්චෙන කත්තබ්බං කුසලං බහුන්ති.

දක්‍ෂ වූ මාලාකාරයෙක් මල් රැසක් එකතු කොට එයින් බොහෝ මල් දම් ගොතන්නේ යම් සේ ද, එසේ උපන් මිනිසා විසින් බොහෝ කුසල් කටයුතු ය.

පුප්ඵරාසිම්හා = මල් රැසකින්.

මෙහි මල්, යි විශේෂයක් නො තබා කියූව ද ගැණෙන්නේ පැහැයෙන් සුවඳින් සටහනින් සිත් ගන්නා සපු-දුනුකේ-දැසමින්-එරහැඳි-කොඳ-හෙල්මැලි-තුවරලා-බෝලිද්ද-සීනිද්ද ආදි මල් ය.

කයිරා = කරන්නේ ය. ගොතන්නේ ය. සාදන්නේ ය.

මාලාගුණෙ බහු = බොහෝ මල්දම්.

මෙහි මාලාශබ්දය හා එක් ව සිටි ගුණශබ්දය බන්ධනයෙහි වැටේ. බන්ධනය නම්, ගෙතුම යි. පටල-රාශි-ආනිසංස-අප්‍රධාන-ශීලාදිය-ශුක්ලාදිවර්‍ණ-දුනුදිය ආදී වූ අර්‍ත්‍ථයන්හි ද ගුණශබ්දය හෙන්නේ ය.

ගන්‍ථිම - ගොප්ඪීම - වෙධිම - වෙඪිම - පුරිම - වායිම යි මල් ගෙතුම් සයෙක් විනයයෙහි දැක් වේ. දණ්ඩෙන් දණ්ඩ හෝ නැට්ටෙන් නැට්ට එක් කොට ගොතන ලද්දේ ගන්‍ථිම නම් වේ. එක් පැත්තෙහි හෝ දෙ පැත්තෙහි මල් නටු සිටින සේ ගෙතූ මල්දම් ගොප්ඵිම නම් වේ. එය නුලින් ගොතා කරණු ලැබේ. මූනමල්-මීපුප්-බෝලිද්ද ආදියෙහි නටු, ඉරටු ආදියෙන් විද අවුණා කරණ ලද්දේ වෙධිම නම් වේ. මල්දම් ම එකට වෙළා හෝ කෙඳිවලින් බැඳ කළේ වෙඨිම නම් වේ. දිගට ගොතා කළ මල්දම් පූරිම යි කියති. මල්දම් කිහිපයක් එකිනෙක හරස් කොට හුයින් බැඳ කළේ වායිම නම් වේ.

“ගන්‍ථිමං ගොප්ඵිමං නාම වෙධිමං වෙඨිමම්පි ච,

පුරිමං වායිමං චෙති ඡබ්බිධො පුප්ඵසඞ්ගහො.

.

තත්ථ දණ්ඩෙන දණ්ඩං වා වණ්ටෙනපි ච වණ්ටකං,

ගන්‍ථිත්වා කරණං සබ්බං ගන්‍ථිමන්ති පවුච්චති.

.

ගොප්ඵිමං නාම ගොප්ඵෙත්‍වා සුත්තාදීහි කරීයති,

එකතො වණ්ටිකාමාලා උභතො වණ්ටිකා ච තං.

.

වෙධිමං නාම විජ්ඣිත්වා බුන්‍දෙසු වකුලාදිකං,

ආවුතං සුචිආදීභි මාලාවිකති වුච්චති.

.

වෙඨිමං නාම වෙඨෙත්වා කතං මාලාගුණෙහි වා,

වාකාදීහි ච බද්ධං වා වෙඨිමන්ති පවුච්චති.

.

පුරිමං පන දට්ඨබ්බං පුප්ඵමාලාහි පූරණෙ,

බොධිපුප්ඵපටාදීනං පරික්ඛෙපෙසු ලබ්භති.

.

වායිමං නාම දට්ඨබ්බං පුප්ඵරූපපටාදිසු,

පුප්ඵමාලා ගුණෙහෙව වායිත්‍වා කරණෙ පන.”

යි විනයපාළියෙහි මේ මෙසේ ආයේ ය.

මඤ්ජරික - විධූතික - වටංසක - ආචෙළ - උරච්ඡද යනාදි නම්වලින් හඳුන්වන මල්දම් ද මිනිසුන් අතැ ඇත්තේ ය. මල්, පොකුරු පොකුරු බැඳ කරණ ලද්දේ මඤ්ජරික නම් වේ. කටු ඉරටු ආදියෙන් අවුණා කරණ ලද්දේ විධූතික නම් වේ.

වටංසක නම්, මල් වොටුණු ය. මල් කෙමි වැනි කොට කරණ ලද්දේ ආවෙළ නම් වේ උරච්ඡද නම්, මුතුහර වැනි කොට කළ මල්දම් ය.

එවං ජාතෙන මච්චෙන = එසේ උපන් මිනිසා විසින්.

නො සුදුසුකාලයෙහි නො සුදුසු තත්ත්‍වයකින් උපන්නේ උපන් මිනිසා නො වේ. උපන් මිනිසා නම්, අෂ්ටවිධදුෂ්ටක්‍ෂණයට අසු නො වී මිනිසත් බව ලැබූයේ ම ය.

නරක-තිර්‍ය්‍යක්-ප්‍රේත යන අපාය තුන, ආකාසානඤ්චායතන-විඤ්ඤාණඤ්චායතන- ආකිඤ්චඤ්ඤායතන-නෙවසඤ්ඤානාසඤ්ඤායතන හා අසංඥතල ය, ප්‍රත්‍යන්තදෙශ ය, ඇස්-කන්-නාස්-දිව-සිරුර යන පඤ්චෙන්ද්‍රියයන්ගේ විකලත්ව ය, දරුණු වූ මිසදිටු ව, අබුද්ධෝත්පාදකාලය යන මේ ය අෂ්ටවිධදුෂ්ටක්‍ෂණ. මෙසේ කීහ, ඒ:-

“තයො අපායා ආරුප්පා - සඤ්ඤං පච්චන්තිමම්පිච,

පඤ්චින්ද්‍රියානං වෙකල්ලං - මිච්ඡාදිට්ඨි ච දාරුණා.

.

අපාතුභාවො බුද්ධස්ස - සද්ධම්මාමතදායිනො,

අට්ඨක්ඛණා අසමයා - ඉති එතෙ පකාසිතා” යි.

නිරයෙහි ඉපිද ඉතාදරුණු කම්කටොලු විඳින්නහුට පින් නො කළහැකි ය. සදහම් ය යන හැඟීමක් නැති නිතර මරණ බියෙන් බියපත් ව වෙසෙන තිරිසන් අපායයෙහි උපන්නහුට පින් නො කළහැකි ය. ප්‍රේතලෝකයෙහි ඉපිද අග්නි-ශෝක-සන්තාපයන්ගෙන් වියලි වියලී සා පිපාසා දෙකින් පෙළෙන්නහුට පින් නො කළහැකි ය. අසන්නට කන් නැති හෙයින් දහම් ඇසීමෙන් තොරවූවහුට පින් නො කළහැකි ය. තථාගතශ්‍රාවකයන් නැති අධර්‍මබහුල වූ පිටිසර පෙදෙස්හි උපන්නහුට පින් කිරීමෙක් නැත. ජාත්‍යන්ධ-ජාතිබධිරතාදි අඞ්ගවිකලත්වය ඇති නුවණ නැති විපාකාවරණඅහේතුකප්‍රතිසන්ධියෙන් උපන්නහුට පින් කරණු බැරි ය. දරුණු මිසදිටු ගත් සසර කණුවක් සේ සිටියහුට පින්කරණු බැරි ය. නිවන්මග පාදා දෙන බුදුවරයකුගේ පහළවීමක් නැති මොහඳුරෙන් ගැවසීගත් කාලයෙහි උපන්නහුට පින් කිරීමෙක් නැත. මේ ඒ කියූ සැටි යි:-

“කාරෙන්තො කම්මකරණං - නිරයෙ අතිදාරුණං,

භයානකං භුසං ඝොරං - කථං පුඤ්ඤං කරිස්සති?.

.

සද්ධම්මසඤ්ඤාරහිතෙ - සදා උබ්බිග්ගජීවිතෙ,

තිරච්ඡානහවෙ සන්තො - කථං පුඤ්ඤං කරිස්සති?.

.

ගන්ත්‍වාන පෙත්තිවිසයං - සන්තාපපරිසොසිතො,

බුප්පිපාසා පරිස්සන්තො - කථං පුඤ්ඤං කරිස්සති?.

.

ආරුප්පාසඤ්ඤලොකෙපි - සවණොපායවජ්ජිතො,

සද්ධම්මසවණාහීනො - කථං පුඤ්ඤං කරිස්සති?.

.

අච්චන්තාධම්මබහුලෙ - මුනින්දසුතවජ්ජිතතෙ,

පච්චන්තවිසයෙ ජාතො - කථං පුඤ්ඤං කරිස්සති?.

.

ජළො මූගාදිකො වාපි - විපාකාවරණෙ ඨිතො,

ගහණොපායරහිතො – කථං පුඤ්ඤං කරිස්සති?.

.

පක්ඛන්තො පාපිකං දිට්ඨිං - සබ්බථා අනිවත්තියං,

සංසාරඛාණුභූතෙහි - කථං පුඤ්ඤං කරිස්සති?.

.

බුධාදිච්චෙ අනුදිතෙ - සිද්ධිමග්ගාවහාසකෙ,

මොහන්ධකාරෙ වත්තන්තො - කථං පුඤ්ඤං කරිස්සති?” යි.

දුක්ඛ-සමුදය-නිරෝධ-මාර්‍ග යන සිවු සස්දම් දැනුම එළවන විදර්‍ශනා භාවනාදිකුශලයන්ට අවකාශ නො වන බැවින් මොවුහු අක්‍ෂණ’ යි දක්නා ලදහ. කීහ එය මෙසේ:-

“යං භාවනාමයං පුඤ්ඤං - සච්චාභිසමයාවහං,

තස්ස නොකාසභාවෙන - එතෙ අක්ඛණසම්මතා” යි.

මෙ කී දුෂ්ටක්‍ෂණයන්ට අසු නො වී උපන්නහුට බොහෝ කුසල් කරණු හැකි ය. යමෙක් එසේ පින්කම්හි යෙදී වසන්නේ නම් උපන් මිනිසාත් හෙතෙමේ ය.

‘මරිතබ්බභාවතාය මච්චොති ලද්ධනාමෙන සත්තෙන’ යනු මච්චෙන, යන්නෙහි අටුවා යි. මැරියයුතු බැවින් සියලු සත්වයෝ මච්ච’ නම් වෙති. ධාතුප්‍රත්‍යයවිභාගයෙන් මෙය සියලු සත්වයන් කෙරෙහි වැටෙතුදු හැම සත්වයන් කෙරෙහි පින්කිරීම නො යෙදෙන බැවින් මෙහි බුද්ධෝත්පාදයෙහි ඉන්ද්‍රියන් ගේ විකලත්වයක් නැති ව නුවණැති ව උපන් මිනිසුන් කෙරෙහි ම යෙදෙන බව සැලකිය යුතු ය.

බුද්ධෝත්පාදකාලයෙක ඉන්ද්‍රියන්ගේ විකලත්වයත් නො මැති ව මිනිසත්බව ලැබීම පහසු නො වේ. මිනිසත්බව ලැබීමට හේතු වූ පින් කිරීම ඉතා අපහසු ය. එහෙයිනි ඒ ලැබීම අපහසු. නිවන් පිණිස පවත්නේ මේ උසස් වූ මිනිසත්බව ම ය. උදාරතර වූ විපාක දෙන ලෞකික කුශලකර්‍ම හා විදර්‍ශනා භාවනා සහිත වූ ලෝකෝත්තර කුශලකර්‍ම ද යන හැම කුශලකර්‍මයනට භූමි වනුයේ මේ මිනිසත්බව ය. එ හෙයින් ම මිනිසත්බවෙහි මහත්වය දැන ගත යුතු ය.

ඉතා දුර්‍ලභ වූ වහා ගෙවී යන දුෂ්ටක්‍ෂණයන්ගෙන් තොර වූ මේ ක්‍ෂණසම්පත්තිය ලැබූ කවර නම් නුවණැතියෙක් මකුළුදැල මැද සිටි මදුරුවාගේ ජීවිතය මෙන් ඉතාමඳ වූ මේ ජීවිතයෙහි ද මද රස විඳුම් ඇති ආත්මසාර රහිත වූ දුකට මුල් වූ වහා බිඳී යන මම ය, මාගේ ය’ යි නො ගතයුතු වූ ස්ථාවර ජඞ්ගමවස්තූන්හි කෙසේ වත් ඇලේ ද, නො ඇලේ ම ය. නො ඇලිය යුතු ම ය. එ හෙයින් නුවණැති හැමකෙනකුන් විසින් විෂමිශ්‍ර භෝජනයක් මෙන් පව්කම් දුරු කොට පින්කම් කිරීමෙහි ම උත්සාහවත් විය යුතු ය.

මෙහිලා පොරණැදුරෝ මෙසේ කීහ:-

“අවෙකල්ලමනුස්සත්තං බුද්ධාදිච්චාභිමණ්ඩිතං,

සුදුල්ලභතරං තංහි ඛණෙ නිබ්බනසිද්ධියා.

.

උදාරඵලදං කම්මං නිබබානාවහමෙව ච,

ඉධ සිජ්ඣති සබ්බන්ති ඤෙය්‍යා එත්ථ මහග්ඝතා.

.

දුල්ලභං අතිපාතං ච ලද්ධා ඨානමිමං බුධො,

ජීවිතෙ ජාලමජ්ඣට්ඨ මකසස්සෙව අප්පකෙ.

.

අප්පසාදෙසු භොගෙයු නිස්සාරෙසු පභඞ්ගුසු,

සබ්බදා අඝමූලෙසු අසජ්ජන්තො කථඤ්චන.

.

ජනො ජීවිතුකාමොව විදිතං විසභොජනං,

පාපං සම්පරිවජ්ජෙත්වා පුඤ්ඤකම්මරතොසියා” යනු.

කත්තබ්බං කුසලං බහුං = බොහෝ කුසල් කළයුතු ය.

ලෝභ-ද්වේෂාදි අකුශලධර්‍මයන් තදඞ්ග-විෂ්කම්භන-සමුදච්ඡෙදයන්ගේ වශයෙන් ඒ ඒ පින්කම් කරණ වේලෙහි දානවස්තු ආදිය අරමුණු කොට කුසල්සිත්වල උපදනා චේතනාචෛතසිකය කුසල් නම් වේ. තදඞ්ගවශයෙන් ලෝභාදීන්ගේ නැසීම වන්නේ කාමාවචරකුසල්සිත්වල යෙදෙන්නා වූ චේතනාචෛතසිකයෙනි. ලෝභාදියට පටහැනි ව උපදින අලෝභාදීහු, කුසලාඞ්ගයෝ ය. ඒ එක් එක් කුසලාඞ්ගයකින් ලෝභාදිඅකුසලාඞ්ගයන් දුරුකිරීමෙන් කෙලෙසුන්ගෙන් සිතේ මිදීම තදඞ්ග නමි. එය ප්‍රදීපාලෝකයෙන් අන්ධකාරය නැසීම වැනි ය. විෂ්කම්භනවශයෙන් ලෝභාදීන්ගේ නැසීම වන්නේ රූපාවචර-අරූපාවචරකුසල්සිත්වල යෙදෙන චේතනාචෛතසිකයෙනි. ප්‍රථමධ්‍යානාදිය උපදවා ගැන්මෙන් කෙලෙසුන් යට ව ගොස් සිතෙහි ඇති වන සන්සිඳීම් විෂ්කම්භන නමි. එය දියමතුපිට බැඳුනු දියසෙවෙල් දිය ගන්නාතුරු කළයෙන් ගසා පහ කොට හැරීම මෙනි. සමුච්ඡේදවශයෙන් ලෝභාදීන්ගේ නැසීම වන්නේ ලෝකෝත්තරකුසල්සිත්හි යෙදෙන චේතනා චෛතසිකයෙනි. චතුර්විධමාර්‍ගඥානයෙන් ඒ ඒ මග වසා සිටි කෙලෙසුන්ගෙන් සිත මුදා ගැණීම සමුච්ඡේද නමි. එය ගසකට හෙණ වැදීම මෙනි. හෙණ වැදුනු ගසෙහි නැවැත හට ගැණීමක් නැත්තා සේ මාර්‍ගඥානයෙන් නැසුනු කෙලෙස් නැවත නො හටගණියි.

“තිණ්ණං භික්ඛවෙ සම්මුඛීභාවා සද්ධො කුලපුත්තො බහුං පුඤ්ඤං පසවති. කතමෙසං තිණ්ණං: සද්ධාය භික්ඛවෙ සම්මුඛීභාවා සද්ධො කුලපුත්තො බහුං පුඤ්ඤං පසවති. දෙය්‍යධම්මස්ස භික්ඛවෙ සම්මුඛීභාවා සද්ධො කුලපුත්තො බහුං පුඤ්ඤං පසවති. දක්ඛිණෙය්‍යානං භික්ඛවෙ සම්මුඛීභාවා සද්ධො කුලපුත්තො බහුං පුඤ්ඤං පසවති. ඉමෙසං ඛො භික්ඛවෙ තිණ්ණං සම්මුඛීහාවා සද්ධො කුලපුත්තො බහුං පුඤ්ඤං පසවති”

ශ්‍රද්ධාව හමුවීමෙන් දිය යුතු දානවස්තු ලැබීමෙන් දීමට සුදුස්සන් හමුවීමෙන් සැදැහැති කුලපුත්‍රතෙමේ බොහෝ පින් රැස් කෙරේ යයි මෙයින් දක්වා වදාළ බැවින්,

යමෙක් දානවස්තු ප්‍රතිග්‍රාහකාදිසම්පත් ලැබීමෙන් තුටු පහටු ව මතු ඉෂ්ටඵල ලැබේ ය, යන අදහසින් උත්සාහවත් ව දානමය කුසලයක් කෙරේ නම්, දානවස්තු ආදිය අරමුණු කොට ඒ වේලෙහි ඔහුට උපදන් කුසල්සිතෙකි. එහි නොයෙක් චෛතසිකයෝ යෙදෙති. ඉන් ප්‍රධාන වන්නේ චේතනාචෛතසිකය යි. ඒ කියූ කුසල් සිතත් එහි යෙදුනු චේතනාවත් ඒ හා එක් ව යෙදුනු ස්පර්‍ශාදිධර්‍මත් යන හැම, කුසල් නම් වේ. දාන සීල භාවනා යන පුණ්‍යක්‍රියාවස්තුන් අරමුණු කොට උපදින සිත් හා ඒ සිත්වල යෙදෙන චේතනාව ප්‍රධාන කොට අන්‍ය චෛතසිකත් කුසල් ය. කාමාවචරකුසල්සිත්වලටත් එහි යෙදෙන චෛතසික වලටත් වඩා රූපාවචර-අරූපාවචර-ලෝකෝත්තර සිත් හා එහි යෙදෙන චේතනාදිධර්‍මත් ක්‍රමයෙන් ප්‍රණීත වේ. මෙසේ උපදින සිත්වලින් ලෝභ-දෝස-මෝහාදී වූ පව් සිතිවිලි නැසී යයි.

කුශලකර්‍ම රැස්කිරීමේ දී ඒ කරන්නහුගේ කත්තුකම්‍යතා කුසලච්ඡන්ද-විරිය-චිත්ත-වීමංසා යන මොවුහු ලාමක වූවාහු නම් අඩු ව පැවැත්තෝ නම් ඒ කුසලය හීන වේ. හීන-උත්තම යන අවස්ථා දෙක අතර පැවැති ඡන්දාදීන්ගේ වශයෙන් මජ්ඣිම වේ. ඡන්දාදීන්ගේ උසස්බව හේතු කොට පණීත වේ. කුසලච්ඡන්දය අභිමුඛ කොට කළ කුසලය, ඡන්දාධිපතෙය්‍ය’ නමි. විරියාධිපතෙය්‍ය, චිත්තාධිපතෙය්‍ය, වීමංසාධිපතෙය්‍ය කුසල් ද එසේ දත යුතුය.

පුප්ඵරාසිශබ්දය යෙදුනේ මල් බොහෝ බව දැක්වීමට ය. මල් ටික වී නම්, මාලාකාරයා දක්‍ෂයකු වුවත් මල්දම් බොහෝ කොට ගොතනු බැරි ය. මල්, ටික වී නම් එකල්හි අදක්‍ෂ වූ මාලා කාරයා හට මල්දම් ගොතන්ට ම බැරිය. දක්‍ෂ වූ මාලාකාරයාහට මල් බොහෝ ඇති කල්හි බොහෝ මල්දම් ගොතන්නට හැකි ය. එ පරිද්දෙන් යමක්හට ශ්‍රද්ධාව මද ව තිබිය දී ධනධාන්‍යාදිවස්තු සම්පත්තිය කොතරම් මහත් ව තුබුන ද, ඔහුට පින්කරණු බැරි ය. ශ්‍රද්ධාව මදකල්හි වස්තුසම්පත්ත්‍යාදියත් මද ව ගියේ නම්, කුසල් කරණු කොහෙත් ම බැරිය. ශ්‍රද්ධාව මහත් ව ඇත ද වස්තුසම්පත්ත්‍යාදිය මද වූ කල්හි ද කුසල් නො කළ හැකි ය. යමක්හුගේ ශ්‍රද්ධාව හා භෝගයෝ මහත් වෙත් නම්, ඔහුට ය කුසල් කරණු හැකි. විශාඛාවෝ මහත් ශ්‍රද්ධාව ඇත්තෝ ය. භෝග ඇත්තෝ ය. භාග්‍යසම්පන්නයහ. ආර්‍ය්‍ය ශ්‍රාවිකාවෝ ය. එ හෙයින් විශාඛාවෝ බොහෝ කුසල් කළෝ ය.

ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන්ඵලාදියට පැමිණියෝ ය. දේශනාව මහාජනයාට වැඩ සහිත වූය.

විශාඛා වස්තුව නිමි.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.