4-2 මිරිඟුකමටහන් වැඩූ භික්‍ෂූන්වහන්සේ

ඵෙණූපමං කායමිමං විදිත්‍වා

මරීචිධම්මං අභිසම්බුධානො.

ඡෙත්‍වාන මාරස්ස පපුප්ඵකානි

අදස්සනං මච්චුරාජස්ස ගච්ඡෙ.

මහණ තෙම මේ කය පෙණ පිඬක් වැනි කොට දැන, මේ කය මිරිඟුවක් බඳු යැ යි ද දැන ගන්නේ, මාරයාගේ ප්‍රපුෂ්පකයන් (ත්‍රෛභූමක වෘත්තය) ආර්‍ය්‍ය මාර්‍ගයෙන් සිඳ මෘත්‍යුමාරයට අවිෂය වූ අමා මහනිවනට පැමිණෙන්නේ ය.

සම්මා සම්බුදු රජානන් වහන්සේ වෙතින් කමටහන් ගෙණ මහණදම් පුරන්නෙමි’ යි වන වැද උත්සාහ කොට ද රහත්බවට පැමිණෙන්නට නො හැකි වූ එක්තරා භික්‍ෂුන් වහන්සේ නමක් නැවැත ද කමටහන් කියවා ගන්නෙමි, යි බුදුරජුන් වෙත එනුවෝ අතරමග දී මිරිඟුවක් දැක ‘ග්‍රීෂ්මකාලයෙහි හටගත් මේ මිරිඟුව ඈත සිටියවුනට රූවත් එකක් සේ පෙණෙතුදු, ලඟ සිටියවුනට එසේ නො පෙණේ, මේ ආත්මහාවයත් ඉපදීමෙන් හා විනාශවීමෙන් මෙබඳු ස්වභාව ඇත්තකැ’ යි මිරිඟුකමටහන් වඩ වඩා ම ආවෝ ය. ඒ අතර ගමන් විඩා දුරු කරණු පිණිස අචිරවතී ගංගාවට බැස නා ඉන් නැගී ගංඉවුරෙහි හිඳ දියපහරින් නැගි මහත් පෙණපිඩු බිඳි බිඳී යනු දැක ‘මේ ආත්මභාවයත් ඉපිද බිඳී යන බැවින් මේ පෙණ පිඩු වැනි ය’ යි අරමුණු ගත්හ. ඒ වේලෙහි බුදුරජානන් වහන්සේ ගඳකිළියෙහි වැඩහුන් සේක්, මේ තෙරුන් දැක ‘මහණ! ඒ එසේ ය, ආත්මභාවය පෙණපිඩක් සේ ද, මිරිඟුදියක් සේ ද ඉපැදෙන බිඳෙන ස්වභාව ඇත්තකැ’ යි වදාරා මේ ධර්‍මදෛශනාව කළ සේක:-

ඵෙණුපමං කායමිමං විදිත්වා මරීචිධම්මං අභිසම්බුධානො,

ඡෙත්‍වාන මාරස්ස පපුප්ඵකානි අදස්සනං මච්චුරාජස්ස ගච්ඡෙති.

‘මේ කය පෙණපිඩක් බඳු ය’ යි විදර්‍ශනාඥානයෙන් දැන ‘මිරිඟුවක් වැනි ය’ යි ද සලකන මහණ තෙමේ, කෙලෙස් මරහුගේ පපුප්ඵක යි නම් කරණ ලද ත්‍රෛභූමිකවෘත්තයන්, නොහොත් පංචකාම ගුණයන් සිඳ හැර මරරජුට විෂය නො වූ නිවනට යන්නේ ය.

ඵෙණූපමං කායං ඉමං විදිත්වා = මේ සිරුර පෙණපිඩක් බඳු උපමා ඇත්තකැ යි දැන.

‘ඉමං කායං ඵෙණුපමං විදිත්වා’ යි යොදා ගත්කල්හි ඉතා පහසුවෙන් මේ අර්‍ත්‍ථය වැටහේ. කය පෙණපිඩක් බඳු ය, යි වදාළෝ කයෙහි හා පෙණපිඬෙහි ඇති සමානකම් සලකා ගැණීමෙනි. පෙණපිඩ අබල ය. දුබල ය. කල් නො ද පවතී. තාවකාලික වේ. දියනයි ආදී සතුන්ට වාසස්ථාන ද වේ. කය ද එසේ අබල ය. දුබ ල ය. කල් නො ද පවතී. තාවකාලික වේ. නන්වැදෑරුම් පණුකුලයන්ට වාසස්ථාන ද වේ. පෙණපිඬෙහි හා කයෙහි ඇති ඒ මේ නිස්සාර භාවය දත හැක්කේ විදර්‍ශනාඥානයෙනි. ඒ බව විදිත්වා’ යන ක්‍රියා පදයෙන් වදාළ සේක. බාහිරධර්‍මශාස්ත්‍රඥානයෙන් වැඩී ගිය නුවණින් ඒ කළ නො හැකිබව, ඒ අතින් දියුණු වූ සාමාන්‍ය මහාජනයාගෙන් පැහැදිලි වේ. කෙශාදිසමූහසඞ්ඛ්‍යාත වූ ශරීරය හත්ථිකාය, රථකාය යනාදිය මෙන් කාය නම් වේ. [1]

මරීචිධම්මං = මිරිඟුදිය වැනි ස්වභාව ඇත්තෙක.

මිරිඟුදිය දුරැ සිට බලන්නවුන්ට රූවත් වූවක් සේ ද, ගතයුතු දෙයක් සේ ද වැටහේ. එහෙත් සමීපයෙහි සිටියවුන්ට සිස්දෙයක් නො ගතයුතු දෙයක් ලෙස වැටහේ. එ මෙන් මේ සිරුර ද නුවණින් නො බලන්නවුන්ට ගත යුතු දෙයක් සේ පෙණේ. එහෙත් නුවණ යොදා බලන්නවුන්ට පෙණෙනුයේ නො ගතයුතු හළයුතු දෙයක් සේ ය. තිරිසන් ගිය සතුන්, මිරිගුව ජලයැ යි වරදවා ගෙණ වැනසෙන්නා සේ මුග්‍ධයෝ ද මේ සිරුර නිත්‍ය සුභ සුඛ යි වරදවා ගෙණ විනාශයට යන්නෝ ය. ශරීරය මිරිඟුවක් වැන්නැ’ යි වදාළෝ එහෙයිනි.

‘මීය්‍යන්තෙ ඛුද්දඡන්තවො අනෙනා ති = මරීචි’ යනු අර්‍ත්‍ථ සමර්‍ත්‍ථනය යි.

අභිසම්බුධානො = සලකනුයේ.

‘බුජඣන්තො ජානන්තො’ යි අටුවා කළ බැවින් සිරුර පෙණ පිඩක් බඳු කොට, මිරිඟුවක් වැනි කොට දැන ගන්නා, මෙයින් කියැ වේ. මේ දැන ගැණීම විදර්‍ශනාඥානයෙන් වන බව අභි, සං, යන උපසර්‍ගපද දෙකකින් ව්‍යක්ත කළහ.

ඡෙත්‍වන = සිඳ.

‘ගච්ඡෙ’ යන අවසානය බලා මේ සිටියේ ය. මේ දෙක ම සිදු කරණුයේ අභිසම්බුධානො’ යන්නෙන් කියැවෙන යෝගාවචර ශ්‍රමණ තෙමේ ය. ඔහු පළමු ව සිඳීම ද නැවැත ගමන ද කෙරෙයි. නො සිඳ, යනු බැරි ය. එහෙයින් ක්‍රියා දෙක ම ඔහු පිළිබඳ ය. සිඳ යන අර්‍ත්‍ථය දෙන ඡෙත්‍වාන’ යනු පූර්‍වක්‍රියා ය. ‘ගච්ඡෙ’ යනු අවසානක්‍රියා ය. කුමකින් සිඳැ ද? යත්: ආර්‍ය්‍යමාර්‍ගඥානයෙන් ය. [2]

පූර්‍වක්‍රියාවගේ සිද්ධිය චනුයේ කර්‍තෘසාධනයෙහි ය. පූර්‍ව ක්‍රියාවකින් වාක්‍යයක් අවසන් නො කළ හැකි ය. වාක්‍යයෙහි ලා එය අප්‍රධාන බැවිනි. මෙහි වාක්‍යය අවසන් වනුයේ ‘ගච්ඡෙ’ යන ආඛ්‍යාත ක්‍රියාවෙනි. ඕ ක්‍රියා තොමෝ මෙහි ප්‍රධාන ව සිටුනී ය. අන් තන්හි ද මෙසේ ය.

මාරස්ස = මාරයාගේ.

කිලේසමාර - ඛන්ධමාර - අභිසංඛාරමාර - මච්වුමාර - දේවපුත්තමාර, යි මරහු පස් දෙනෙකි. මොවුනතුරෙහි දිව්‍යපුත්‍රමාර තෙමේ, වසවර්තී දිව්‍යලෝකයෙහි එක් පෙදෙසක තම පිරිසට ඉසුරුබැව් පවත්වමින් දාමරිකරාජපුරුෂයකු සේ වාසය කෙරෙයි. සත්වයන් අනර්‍ත්‍ථයෙහි යොදමින් මරා, නු යි හේ මාර නම් විය. මෙතෙමේ, චතුර්විධවිපර්‍ය්‍යාසයන්ගෙන් මැඩුනවුන්ගේ සිතට ආවිෂ්ට ව භීෂණ රූපාරම්මණයන් හා ශබ්දාරම්මණයන් දක්වයි. අස්වයි. එයින් ඔවුහු සිහි විකලබවට පැමිණෙති. මේ පස් දෙනා අතර කිලේසමාර-අභිසඞ්ඛාරමාර-දේවපුත්තමාර, යන මොවුහු ආර්‍ය්‍යමාර්‍ගය ලබත් ම ලබන්නහු කෙරෙහි ක්‍රියාවිරහිත වෙති. ඒ ඒ භව පිළිබඳ අවසාන චිත්තක්‍ෂණය පැමිණෙත් ම ඛන්ධමාර- මච්චුමාරයෝ ද ඒ භවය සම්බන්ධයෙන් අවසානයට යෙති. පුනර්‍භවයෙහි දී නැවැත ඔවුන්ගේ පැමිණීම වන්නේ ය. එසේ පැමිණෙනු ක්ලේශමාරාදීන් නො නැසූ බැවිනි.

“සම්පති ආයතිං ච අනත්‍ථාවහත්තා මාරණට්ඨෙන විබාධනට්ඨෙන ඛන්‍ධාව මාරො ති ඛන්ධමාරො, යථාහ, වධකං රූපං වධකං රූපං ති යථාභූතං නප්පජානාතීති ආදි, ජාතිජරාදිමහාව්‍යසනනිබ්බත්තනෙන අභිසඞ්ඛාරො ව මාරො ති අභිසඞ්ඛාරමාරො, සත්තානං ජීවිතස්ස ජීවිතපරික්ඛාරානං වා ජානිකරණෙන මහාබාධරූපත්තා මච්චු එව මාරොති මච්චුමාරො, සංකිලෙස නිමිත්තං හුත්‍වා ගුණමාරණට්ඨෙන දෙවපුත්තො ව දෙවපුත්තමාරො” යනු එහි ලා දතයුතු ය.

මෙහි එන මාරස්ස, යන්නෙන් ගැණෙනුයේ ඒ මරුන් අතරෙහි වූ ක්ලේශමාර තෙමේ ය.

පපුප්ඵකානි=ත්‍රෛභූමකවෘත්තයන් නොහොත් පංචකාම ගුණයන්

කර්‍ම-ක්ලේශ-විපාක වෘත්තත්‍රයට හා, රූප-ශබ්ද-ගන්ධ-රස-ස්ප්‍රෂ්ටව්‍ය යන පංචකාමයට මේ නමෙකි. [3] පපුප්ඵකානි, යනු ඡෙත්‍වාන, යන පූර්‍වක්‍රියාපදයෙහි කර්‍ම යි.

අදස්සනං = නිවනට.

මරණයට විෂය නො වන හෙයින් නිවන අදස්සන, නම් වේ. [4] අදස්සනං මච්චුරාජස්ස ගච්ඡෙ, යන සම්පුර්‍ණ පාදයෙන් වදාළෝ ‘මරරජුට විෂය නො වූ නිවනට යන්නේ ය’ යනුයි.

ධර්‍මදේශනාවගේ අවසානයෙහි ස්ථවිර තෙමේ පිළිසැඹියාවන් සමග රහත්බවට පැමිණ බුදුරජුන්ගේ රන්වන් සිරුරට ස්තුති කරමින් වැඳ වැඳ ඉදිරියට ආයේ ය.

මරීචීකර්‍මස්ථානිකස්ථවිර වස්තුව නිමි.

  1. 3-6 ‘කුම්භූපමං කායමිමංවිදිත්‍වා’ පරිකථා බලනු.

  2. 1-7 ‘යොචවන්නකසාවස්ස, චිත්තං, යොධෙථ මාරං පඤ්ඤායුධෙන’ පරි කථා බලනු.

  3. 3-1 ‘මාරධෙය්‍යං’ පරිකථාව බලනු.

  4. 1-14 ‘ධම්මස්ස හොති අනුධම්මචාරී’ පරිකථාව බලනු.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.