4-3 විඩූඩභ කුමාරයෝ

පුප්ඵානි හෙව පචිනන්තං බ්‍යාසත්තමනසං නරං

සුත්තං ගාමං මහොඝො’ව මච්චු ආදාය ගච්ඡති.

මල් නෙලන්නකු මෙන් පස්කම් මල් සොයන, විවිධ කාමගුණයන්හි ඇලුණු සිතැති සත්ත්‍වයා, නිදන ගම්වැසියන් මුහුද කරා ගෙන යන ගැඹුරු මහ වතුරක් මෙන්, මෘත්‍යුමාර තෙම අපාය සංඛ්‍යාත මුහුදට ගෙන යයි.

මහකොසොල්රජුගේ පුත් පසේනදිකුමාර, මහාලිලිච්ඡවි කුමාර, මල්ලරජුගේ පුත් බන්ධුලකුමාර යන තිදෙන දිසා පාමොක් ගුරුන් වෙත ශිල්ප ඉගෙණුම සඳහා තක්සලාවට ගියහ. යන්නෝ අතරමගැ අම්බලමෙක හිඳ උනුන් ආ කරුණු හා නම් ගොත් අසා දැන යහළු ව එක් ව ගුරුන් වෙත ගොස් වැඩි දවස් නො යාදී ම ශිල්ප උගත්හ. ඉක්බිති ඔවුහු, ගුරුන් වෙත ගොස් වැඳ ගම් රට බලා යන්නට අවසර ගෙණ එ තැනින් නික්ම තම තමන්ගේ ගම් රට බලා ආවෝ ය.

පසේනදි කුමාරයෝ පියානන් ඉදිරියෙහි දැක් වූ ශිල්ප ඇත්තෝ පියානන් විසින් රාජ්‍යයෙහි අභිෂේක කරණ ලදහ. මහාලි කුමාරයෝ මහත් වෙහෙස ගෙණ ලිච්ඡවිනට ශිල්ප උගන්වනුවෝ අන්ධ වූහ. එකල ලිච්ඡවීහු ‘අනේ! අපගේ ගුරුදෙවියන්ගේ දෑස් නො පෙණී ගියේ ය, වූයේ මහත් හානියෙකැ’ යි කම්පිත ව ‘ගුරුන් නො හැර පිළිදැගුම් කරන්නෙමු’ යි ලක්‍ෂයක් අයබදු උපදනා එක් වාසලක් ඔහුට දුන්හ. එයින් ලැබෙන අයෙන් දිවි යවන ඔහු, පන්සියයක් පමණ ලිච්ඡවිකුමරුන්ට ශිල්ප උගන්වමින් කල් යැවූයේ ය. මල්ලරජදරුවෝ එකි එකී මිටියට උණ ගස් සැට සැට එකතු කොට. උණ මිටි සැටක් බැඳ, ඒ හැම එකෙක මැද යකඩ කූර කුර ද බහා ඔසවා තබා, ‘මේ උණ මිටි සැට කෑලි කෑලි කොට කපා සිඳ හරු ව’ යි බන්ධුලයන්ට දැන්වූහ. බන්ධුලකුමාර තෙමේ, අසූ රියනක් පමණ අහසට නැග උණමිටි කපා හරිණුයේ, අවසන් උණමිටියට. කඩුපහර දුන් විට එහි තුබූ යකඩ කූරෙහි කඩුව ගැටීමෙන් හට ගත් ‘කිනී’ යන හඬ අසා, හැම උණමිටියෙක යකඩකූරු බහා ඇති බව දැන, කඩුව බිමැ දමා හඬමින් ‘මාගේ නෑයන් අතර එකෙක්වත් මට මේ කාරණය නො කීයේ ය, මා මේ දන්නා ලද නම් හඬ නො නඟවා ම උණමිටි කපා හරින්නෙමි, දැන් සියලු නෑයන් මරා රජය ගන්නෙමි’ යි මවුපියන්ට දන්වා සිටියේ ය. ‘පුත්‍රය! මේ වනාහි පරපුරෙන් පරපුරට එන රාජ්‍යයෙකි, තා කියන ලෙසට ඒ නො ගත හැකි ය’ යි කියා ඔවුහු එය වළකාලූහ. ‘එසේ නම්, මම මාගේ යහළුවා වෙතට යමි’ යි ගෙන් පිටත් ව සැවැත්නුවරට ගියේ ය. පසේනදි කොසොල් රජ ඔහු එනු අසා, මහත් සත්කාර ඇති ව ඉදිරියට ගොස් පිළිගෙණ නුවරට ඇතුල් කරවා සෙනෙවි තනතුරෙහි තැබුයේ ය. බන්ධුල ඉන් පසු මවුපියන් ද එහි ගෙන්වා ගත්තේ ය.

දිනක් උඩු මහලෙහි සිටි රජ තෙමේ, අනාථපිණ්ඩික, චූලඅනාථපිණ්ඩික, විසාඛා, සුප්පවාසා යන මහාබෞද්ධොපාසක උපාසිකාවන්ගේ ගෙට දානය පිණිස වඩින්නා වූ දහස්ගණන් භික්‍ෂූන් වහන්සේලා දැක ‘මුන් වහන්සේලා කො තැනකට වඩනාහුදැ’ යි ඇසුයේ ය ‘දේවයන් වහන්ස! අනාථපිණ්ඩික සිටානන්ගේ ගෙට දිනපතා ම නිතිබත් ගිලන්බත් ආදිය පිණිස දෙ දහසක් සඞ්ඝයා වහන්සේ වැඩම කරන්නාහ, චූලඅනාථපිණ්ඩිකයන්ගේ ගෙට පන්සියයක් දෙනා වහන්සේ වඩින්නෝ ය, විසාඛාවන්ගේ ගෙට පන්සියයක් දෙනා වහන්සේ ද, සුප්පවාසාවන්ගේ ගෙට පන්සියයක් දෙනා වහන්සේ ද වැඩම කරති’ යි එහි සිටියෝ කීහ. එවිට රජ තෙමේ තමන් විසින් ද සංඝයා වහන්සේට උපස්ථාන කළයුතු ය’ යි සිතා විහාරයට ගොස්, පන්සියයක් භික්‍ෂූන් හා බුදුරජුන්ට ආරාධනා කොට, සත් දිනක් දන් දී සත්වන දිනයෙහි ‘භික්‍ෂූන් පන්සියයක් දෙනා වහන්සේ සමග දිනපතා මාගේ දන් පිළිගනු මැනැවැ’ යි බුදුරජුන් වැඳ ඇයැද සිටියේ ය. එකල බුදුරජානන් වහන්සේ ‘මහරජ! බුදුවරු වනාහි, එක් තැනෙක නිතර දන් නො පිළිගණිති, බොහෝ දෙනෙක් බුදුවරුන්ගේ පැමිණීම බලාපොරොත්තු වෙති’ යි වදාළ සේක. ‘එසේ නම් ස්වාමීනි! දිනපතා එක් නමක්වත් එවනු මැනැවැ’ යි ආරාධනා කළවිට එය බුදුරජානන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් වහන්සේට භාර කළහ. දානය පිණිස භික්‍ෂුන් රජගෙට වැඩම කළ කල්හි පාත්‍ර ගෙණ මුන්වහන්සේ වලඳවන්නැ’ යි අනුනට නියම නො කොට රජ තෙමේ ම සත් දිනක් උන්වහන්සේ වැලඳ වීය. එහෙත් අටවන දිනයෙහි රජහට ඒ අමතක ව ගියේ ය. රජගෙයි අණ නො ලද්දන්ට අසුන් පණවා, භික්‍ෂුන් වඩා හිඳුවා දන් වළඳවන්නට ඉඩ නැත. දානය පිණිස එහි වැඩියා වූ භික්‍ෂුන් වහන්සේලා අතුරෙහි බොහෝ දෙනෙක් එහි බලා සිට කල් ඉක්ම ගිය බැවින් ඉන් බැහැර වැඩියහ. පසුදා ද රජහට දානය පිණිස භික්‍ෂුන් පැමිණි බව අමතක විය. එදා ද එහි පැමිණි භික්‍ෂූන් වහන්සේලාගෙන් බොහෝ දෙනෙක් බැහැර වැඩියහ. ඊට පසුදාත් මෙය රජුගේ සිහියට නො ආයේ ය. එ දින ද භික්‍ෂූන් වහන්සේලා ආනන්ද ස්ථවිරයන් වහන්සේ පමණක් එහි නවතා බැහැර වැඩියෝ ය. පිණැත්තෝ වනාහි කරුණු සිහිකිරීමෙහි පොහොසත් වෙති. ශ්‍රද්ධාවත් කුලයන්ගේ ප්‍රසාදය. රක්නෝ ය.

ශාරීපුත්‍ර-මෞද්ගල්‍යායන යන අග්‍රශ්‍රාවකයෝ ඛෙමා-උප්පල වණ්ණා යන අග්‍රශ්‍රාවිකාවෝ චිත්තගහපති-හත්ථක-ආලවක යන අග්‍රශ්‍රාවක උපාසකයෝ, වෙලුකණ්ඨකී-නන්දමාතා-ඛුජ්ජුත්තරා යන අග්‍රශ්‍රාවිකා උපාසිකාවෝ යන මේ අට දෙනා ප්‍රධාන කොට ඇති තනතුරු ලත් සියලු ශ්‍රාවකයෝ එක් දෙසකින් දසපැරුම්දම් පිරූ හෙයින් මහපිණැත්තෝ ය. එසේම අභිනීහාර සම්පන්නයෝ ය. ආනන්ද ස්ථවිරයන් වහන්සේ ද කල්පලක්‍ෂයක් පිරූ පැරුම් ඇත්තෝ මහපිණැත්තෝ ය. එ හෙයින් උන්වහන්සේලා කරුණු සිතීමෙහි පොහොසත් බැවින් රාජකුලයාගේ ප්‍රසාදය රකිමින් වැඩ සිටියහ. රාජපුරුෂයෝ එකලා වූ උන්වහන්සේ ම වළඳවාලුහ. රජ තෙමේ, භික්‍ෂුන් බැහැර වැඩිකල එහි පැමිණ පිළියෙල කොට තුබූ ආහාර. පානාදිය දැක ‘සංඝයා වහන්සේ නො වැඩියෝ දැ’ යි ඇසී ය. ආනන්ද ස්ථවිරයන් වහන්සේ පමණක් වැඩි සේකැ’ යි කී කල්හි ‘මොවුහු මෙ පමණ ගොඩක් ආහාරපානාදිය විනාශ කළහ’ යි භික්‍ෂූන්ට කිපී බුදුරජුන් වෙත ගොස් ‘ස්වාමීනි! මා විසින් පන්සියයක් දෙනා වහන්සේට දන් පිළියෙල කරණ ලද්දේ ය, එහෙත් එහි වැඩියෝ ආනන්ද ස්ථවිරයන් වහන්සේ පමණක් ය, පිළියෙල කළ දානය එසේ ම තිබේ, පන්සියයක් දෙනා වහන්සේම මා ගැන නො සිතූහ, එයට හේතු කිමැයි ඇසී ය.

එවිට බුදුරජානන් වහන්සේ භික්‍ෂුන් අත වරදක් නො වදාරා ‘මහරජ! ඔබ කෙරෙහි මාගේ ශ්‍රාවකයන්ගේ විශ්වාසයෙක් නැත, එහෙයින් නො ගියෝ වනැ’ යි වදාළ සේක. එහි දී උන්වහන්සේ ‘මහණෙනි! මේ යට කියන පරිදි සැදෑ නැති නුවණ නැති මිනිසුන් වසන ගෙදරට නො යායුතු ය, හදිසියෙන් ගිය ද, එහි නො හිඳිය යුතු ය, යි භික්‍ෂූන්ට නියම කළහ. ඒ අඞ්ගනවය මෙසේ ය:-

  1. දැක තුටුසිතින් හුන් තැනින් නැගී නො සිටීම
  2. තුටු සිතින් පසඟ පිහිටුවා නො වැඳීම
  3. තුටු සිතින් අසුන් පිළියෙල කොට නො දීම
  4. ඇති දෙය දෙන්නට මැලිව නැත කියා සැඟවීම
  5. බොහෝ තුබුන ද, පැමිණීම වෙනුවට යන්තමක් දීම
  6. මිහිරිදේ තුබුන ද, ඒ සඟවා කටුක දේ දීම
  7. සකස් නො කොට දීම
  8. අනුමෙවෙනි බණ අසන්නට නො ඉඳීම
  9. බණ අසනවිට එහි සිත නො අලවා ඉඳීම.

මතු කියන පරිදි සැදැහැති නුවණැති මිනිසුන් වසන ගෙය, යා යුතු තැන් කොට හිඳිය යුතු තැන් කොට දක්වා වදාළ සේක. ඒ ඒ අඞ්ගනවය මේ:-

  1. භික්‍ෂූන් එනු දැක තුටු සිතින් නැගී සිටීම
  2. වඩා හිඳුවා තුටු සිතින් පසඟ පිහිටුවා වැඳීම
  3. තුටු සිතින් උසසුන් පණවා වඩා හිඳුවීම
  4. ඇති දෙය නො සඟවා දීම
  5. බොහෝ ඇතිවිට බොහෝ කොට දීම
  6. මිහිරි දෙයම සපයා දීම
  7. දෙන දෙය සකස් කොට ම දීම
  8. අනුමෙවෙනි බණ අසන්නට ලැදිව ලංව හිඳීම
  9. බණ අසන විට කන් දී එහි සිත යොදවා ඉඳීම.

නැවැත ‘මහරජ! මාගේ ශ්‍රාවකයෝ, තා හා විශ්වාසයටකට නො පැමිණි බැවින් එසේ ගියෝ නො වන්නාහ, පෙර දවස නුවණැත්තේ විශ්වාසයක් පුරුද්දක් නැත්තකු විසින් කොතරම් උසස් ව සකස් ව උවටැන් කරණු ලබන්නේ ද, මරණාසන්න වේදනාවකට පැමිණ සිටියේ ද, එ ද නො බලා, විසවස් නැත්තහු හැර දමා විස්වස් ඇත්තහු කරා ම ගියේ වනැ’ යි වදාළ විට, රජ තෙමේ ‘ස්වාමීනි! ඒ කවර දවසෙක දැ’ යි ඇසී ය. බුදුරජානන් වහන්සේ ඒ ඉකුත් පුවත මෙසේ වදාළ සේක:-

‘යට ගිය දවස බඹදත් නම් රජකු රජය කරණ කල්හි කෙසව තෙමේ, රජකම් හැර දමා තවුස්පැවිද්දෙන් පැවිදි වූයේ ය, ඔහු හා පන්සියයක් පමණ රාජසේවකයෝ ද පැවිදි වූහ, මගුල්කපුවා ද පැවිදි විය, ඔහු කප්පක නමින් ම මහතවුසාගේ අතැවැසි ද විය. කෙසව තෙමේ, අටමසක් හිමවතෙහි තපස් කොට, වැසි කාලයෙහි ලුණු ඇඹුල් මුසු අහර සෙවුමට සෙසු තවුසන් හා බරණැසට අවුත් එහි පිඬු සිඟා ගියේ ය, බඹදත් රජ දැමුනු ඉඳුරන් ඇති ඔවුන් දැක, පැහැද, වස් සාරමස තමන් වෙත වසන්නට ආරාධනා කොට පොරොන්දු ගන්වා, උයනෙහි වාසය කරවා උදය සවස උපස්ථානයට එහි යයි, අතැවැසි තවුසෝ කිහිප දවසක් එහි වැස, ඇත්අස් ආදීන්ගේ කෑමොරගැසීම් ආදී වූ අරගලින් දැඩිව පෙළුනෝ, කලකිරී ‘ආචාර්‍ය්‍යයන් වහන්ස! මෙ තැනැ වසනට සිත් නැත්තෝ වම්හ, අරගල බොහෝ ය, කිසි පහසුවෙක් මෙහි නැත, අපි කලකිරුණේ වෙමු, යම්හ’ යි කීහ, ‘යන්නෝ කොහිදැ’ යි ඇසූවිට ‘හිමවතටැ’ යි කීහ. රජ තෙමේ, අප ආ දවසේ ම වස් සාරමස මෙහි වසන්නට ආරාධනා කොට අපෙන් පොරොන්දුවක් ගත්තේ නොවේ ද, මසක් විතරවත් මෙහි නො වැස, බැහැර යෑම නොසුදුසු ය, කොතරම් අරගල තිබුණත් මසක් වත් මෙහි හිඳ යා යුතු ය, එසේ නො වේ නම්, රජ තෙමේ කලකිරින්නේ ය’ යි කීය, ‘අපට නො කියා අප නො විචාරා රජු හා පොරොන්දුවට බැඳුනෝ ඔබවහන්සේ ය, එහෙයින් රජුගේ සතුට පිණිස ඔබවහන්සේ නවතිනු මැනැවි, අපට රජුන්ගේ සතුටින් වැඩෙක් නැත, අප යා යුතුම ය, අපි වැඩි ඈත නො යන්නමෝ ය, මෙයින් තරමක් ඈතට ගොස් ඔබවහන්සේගේ තොරතුරු නිතර අසන්නට හැකි නො දුරු තැනෙක වසන්නෙමු’ යි කියා වැඳ නික්ම ගියෝ ය,

ඇදුරු තවුස් තෙමේ කප්පක තවුසා හා එහි නැවතුනේ ය, එහෙත් කප්පකයා ද කලකිරී කල් නො යවා ම ගුරුන් විසින් වළක්වනු ලබන්නේ ද, අනික් තවුසන් වෙත නො ගොස් ගුරුන්ට නො දුරු තැනකට ගොස් හුන්නේ ය, රජ තෙමේ, උපස්ථානයට ගියේ, තවුසන් නො දැක ‘ආර්‍ය්‍යයන් වහන්සේලා කො තැනැ වැඩියෝ දැ’ යි ඇසී ය, ඔවුහු කලකිරී හිමවතට ගියෝ ය’ යි කී ය, නිතර නිතර අතැවැස්සන් ගුණ සිහි කරන්නා වූ තාපසයාහට කල් නො යාදී ම බඩෙහි ලෙඩක් හට ගැණුනේ ය, රජ තෙමේ, වෙදුන් ලවා එයට පිළියම් කරව යි, එහෙත් එය නො සන්සිඳින, දිනක් වෙත පැමිණි රජුගෙන් ‘මහරජ! මාගේ ලෙඩය සන්සිඳෙනු කැමැත්තහු දැ’ යි තවුස් තෙමේ ඇසී ය, රජ තෙමේ ‘ස්වාමීනි! මම එයට පොහොසත් වන්නෙම් නම්, අදම සන්සිඳ වන්නෙමි’ යි කී ය, මහරජ! ඉදින් මාගේ පහසුව කැමැත්තහු නම්, මා මාගේ අතැවැස්සන් වෙතට යවන්නැ’ යි කීවිට ‘යහපත, වහන්සැ’ යි ඇඳක හොවාලා නාරද ඇමැතියා ප්‍රධාන කොට ඇති ඇමැතියන් සතර දෙනකු ‘තෙපිත් ගොස් මුන්වහන්සේගේ ලෙඩෙහි තතු දැන මටත් දන්වා එවවු’ යි තවුසා කැටිව ම පිටත් කොට යැවූයේ ය, කප්පක තවුස් තෙමේ ගුරුවරයා එන බව අසා ඉදිරියට ගියේ ය, තවුස් තෙමේ අනික් අතැවැස්සන් නො දැක ‘අනික් අය කොහි දැ’ යි ඇසී ය, ‘අසුවල් තැනැ’ යි ඔහු පිළිතුරු දුන්නේ ය, සෙසු තවුසෝ ද ගුරුන් ආබව අසා එහි රැස්වී උණුදිය සපයා දෙමින් පලවැල ගෙණවුත් දෙමින් ගුරුවරයාට උවැටන් කළෝ ය, ලෙඩ සන්සිඳින, සිරුර රන්වන් විය,

නාරද:-

“හව් කම් සැපෙන් පිරි-රජු හැර කේසව කෙසේ,

සිත් අලවා ද, අසපුවෙ-කපුකුල උපන්නහුගේ”

තවුස්:-

“ඇමැත්තෙනි! නාරද,-කපුගෙ සුබැසී සිත්කලු,

එහි වූ ගස් වැල්ද මා-පිණවති නිතර මනරම්”

ඇමැති:-

“පිරිසිදු රසමසැති-බත් ගත් ඔබ දැන් මෙසේ,

ලුනු නැති බොඩ හමු හා-හුරුහැල් කෙසේ පිණවා”

තවුස් :-

“විස්වස් තැනෙක ඇති-අමිහිරි අහර මිහිරියි,

මඳ අහර බොහො වන්නේ-විස්වස් තැනැම රස වේ”

ඉකුත් පුවත මෙසේ වදාළ බුදුරජානන් වහන්සේ ‘එ කල රජ, මෙ කල මෞගල්‍යායන තෙමේ ය, එ කල නාරද, මෙ කල ශාරීපුත්‍ර තෙමේ ය, එ කල කපුවා, මෙ කල ආනන්ද තෙමේ ය, එ කල කෙසව, මෙ කල මමැ’ යි ජාතකය ගළපා, ‘මහරජ! පෙරත් පණ්ඩිතයෝ මරණාසන්නවේදනාවකට පැමිණ සිටියෝ ද විස්වස් ඇත්තන් කරා ම ගියෝ ය, එහෙයින් මාගේ සව්වෝත් ඔබ හා විශ්වාසයක් පුරුද්දක් නැත්තෝ වනැ යි සිතමි’ යි වදාළ සේක.

මේ කතා පුවත ඇසූ කොසොල්රජ තෙමේ ‘භික්‍ෂූන් හා විස්වස් ඇත්තකු විය යුතු ය, ඒ කෙසේ කරන්නෙම් ද, බුදුරජුන්ගේ නෑ දුවක මාගේ ගෙට කැඳවා ගත්තොත් එය පහසුවෙන් කළ හැකි ය, එසේ කළ විට කුඩා මහලු හැම දෙනා වහන්සේ බුදුරජුන්ගේ නෑ රජු’ යි මා කෙරෙහි විස්වස් ඇති කොට නිතර මෙහි පැමිණෙන්නාහ’ යි සිතා ‘මට දුවක සරණ එවන්නැ’ යි කියා ශාක්‍යයන් වෙත දූතයන් යවන්නේ ‘මෙහි එන්නී කවර ශාක්‍යයක්හුගේ දුවක් දැ’ යි දැන එවු’ යි ද අණ කෙළේ ය. දූතයෝ ගොස් ශාක්‍යයන්ගෙන් දැරියක ඉල්ලූහ.

ඔවුහු රැස් ව ‘රජ තෙමේ පක්‍ෂබල ඇත්තෙක, දැරියක නො දුන්නමෝ නම් අප නසන්නේ ය, රජ නම්, අප කුලයට නො ගැළපේ, කුමක් කළ යුතු දැ’ යි එකතුව කතා කළහ. ඒ සමාගමයෙහි හුන් මහානාම ශාක්‍ය තෙමේ ‘මාගේ දාසියකගේ කුසැ උපන් දැරියක් ඇත, ඈ රූපයෙන් අගපත් ය, දාසියක සේ නො පෙණේ, ඈ සරණ දෙම්හ’ යි සිතා ‘හොඳයි, තොපගේ රජුට දැරියක දෙන්නෙමු’ යි කී ය. එකල දූතයෝ ‘ඕ කාගේ දැරියක් වේ දැ’ යි ඇසූහ. ‘බුදුරජානන් වහන්සේගේ කුඩා පිය වූ අමිතොදන ශාක්‍යයන්ගේ පුත්‍ර වූ මහානාමයන්ගේ ය’ යි කීහ. දූතයෝ ගොස් ඒ වග රජුට දැන්වූහ. රජ තෙමේ ‘එසේ නම් වහා ගොස් කැඳවා ගෙණ එවු, ක්‍ෂත්‍රියයෝ බොහෝ මයා දන්නෝ ය, දාසි කෙල්ලක එවන්නටත් බැරි නැත, පියානන් හා එක් පිඟානෙහි බත් කන්නිය දැක ගෙණ එවු’ යි නියම කොට යැවී ය. ඔවුහු ගොස් ‘දේවයන් වහන්ස! රජ තෙමේ බලාපොරොත්තු වනුයේ, ඔබ හා එක් ව ඉඳ එක් පිඟානෙහි බත් කන්නියක ගෙණ ඊම ය’ යි කීහ. ‘හොඳයි! කියා ඇය ඇඳුම් ආයිත්තම් ලා සරසවා තමන් බත් කන වේලෙහි ලඟට කැඳවා ගෙණ ඇය හා එකට හිඳ කන හැටි හඟවා, අප ගේ දුව කැඳවා ගෙණ ගොස් රජුට පාවා දෙවු’ යි දූතයන්ට කී ය. ඔවුහු ඇය. කැඳවා ගෙණ සැවැත්නුවරට ගොස් ඒ පුවත රජුට දැන්වූහ. රජ තෙමේ සතුටු සිත් ඇති ව ඇය පන්සියයක් ස්ත්‍රීන්ට ප්‍රධාන කොට අගබිසෝ තනතුරෙහි තැබී ය. ඕ තොමෝ ද වැඩි කල් නො යා දී ම රන්වන් පුතකු වැදූ ය. ඒ දරුට නම් තබන දිනයෙහි රජුගේ මුත්තනියට, වාසභඛත්තියාව පුතකු වැදූ බව දන්වමින් ‘තැබිය යුතු නම කුමක් දැයි අසා යැවූයේ ය. පණිවිඩය ගෙණ ගිය ඇමැති තෙමේ මඳක් බිහිරි වූ කන් ඇත්තේ ය. හේ ගොස් රජුන්ගේ මුත්තනියට ඒ බව කී ය. ඕ තොමෝ ඒ අසා ‘වාසභඛත්තියාව පුතකු නො වදා ම සියලු දෙනා මැඩ ගත්තා ය, දැන් ඈ රජුට ඉතා වල්ලභ ය, ඉතා ප්‍රිය ය යි කිවූ ය. බිහිරි ඇමැති තෙමේ ‘ වල්ලභ’ යි කියූ වචනය වරදවා ‘විඩූඩභ’ යි අදහා ගෙණ රජු වෙත ගොස් ‘දේවයන් වහන්ස! කුමරුට විඩූඩහ යන නම තබන්නට කීවා ය’ යි දැන්වී ය. ඔහු ‘මෙය අපගේ කුලයට අයත් කුලය පිළිබඳ පැරණි නමක් විය යුතු ය’ යි කුමරුට විඩූඩභ’ යි නම් කෙළේ ය.

නැවැත රජ තෙමේ බුදුරජුන්ගේ නෑකම සලකා ගෙණ ‘බුදුරජුන්ට ප්‍රියයක් කරමි’ යි සිතා ලදරුවියෙහිදී ම ඔහුට සේනාපති තනතුර දුන්නේ ය. එ දරු කුමරපෙරහරින් වැඩෙන්නේ සත් හැවිරිදි කල සෙසු කුමරුන්ට තම මුතුන් මිත්තන් විසින් එවුනු ඇත්රූ අස්රූ මිනිස්රූ ආදී වූ බෝනික්කන් දැක ‘මෑනියෙනි! අනික් කුමරුන්ට ඔවුන්ගේ මුතුන් මිත්තෝ නොයෙක් පඬුරු පාක්කුඩම් එවති, මට කිසිවෙක් කිසිවක් නො එවයි, මොක ද අම්මාට මවුපියෝ නැත් දැ’ යි ඇසී ය. ‘පුතේ! නුඹගේ මුතුන් මිත්තෝ ශාක්‍ය රජදරුවෝ ය, ඔවුහු වසන්නෝ ඉතාදුර ය, ඒ නිසා කිසිවක් නො එවති’ යි කියා ඔහු රැවටුවා ය. මදක් කල් ගිය තැන සොළොසැවිරිදි කාලයෙහි අපගේ මුත්තනු කුලය දකිනු කැමැත්තෙමි’ යි කී විට ද ‘කුමට එහි යන්නෙහි දැ’ යි ඕ තොමෝ වැළකූ ය. එහෙත් ඔහු නැවැත නැවැතත් එහි යන්නට ඕනෑ බව කීයේය. ‘එසේ නම් යව’ යි මව අවසර දුන් විට පියරජුට ද දන්වා මහත් පිරිවරත් ගෙණ, ගෙන් නික්මූණේ ය. වාසභඛත්තියා තොමෝ ද ඔහු එහි ලඟා වන්නට පෙරාතුව ම ලැබෙන්නට ලියුමක් ලියා ශාක්‍යයන් වෙත යැවූ ය.

සැවැත් නුවරදීය.

බුහුමන් පෙරදැරිව ලියමි.

-

මම මෙහි සුවසේ වෙසෙමි. ඒ අතින් කියයුතු අමුත්තක් නැත. කිය යුත්තේ මාගේ පුත් විඩූඩභ කුමරු මුතුන් මිත්තන් දකිනු පිණිස ගෙදරින් පිටත් වූ බව ය. ඔහු අද හෙට ඔහි එනු ඇත. එහෙයින් අප අතර ඇති වෙනස් කම් කිසිවක් ඔහුට නො දැන්වියයුතුබව ඉතා ඕනෑ කමින් දන්වමි. වරදට කමාවනු මැනැවි.

-

මේ වගට

යටත්, කීකරු,

වාසභඛත්තියා.

වාසභඛත්තියාවගේ මේ ලියුමෙන් විඩූඩභයාගේ පැමිණීම නියමයෙන් දැනගත් ශාක්‍යයෝ ‘විඩුඩභයා අප අතින් වැඳුම් ලැබිය යුත්තෙක් නො වේ, ලාබාල වූ කුමරුන් ලවා වන්දවන්නටත් නො සුදුසු ය, එහෙයින් සැලකිලි පමණක් කරමු’ යි සම්මත කොට ගෙණ, ලාබාල සියලු කුමරුන් කිඹුල්වත්පුරයෙන් බැහැරට යචා තුමූ කිඹුල්වත්පුරයෙහි සන්‍ථාගාරශාලාවෙහි රැස්ව හුන්හ. විඩූඩභ එහි පැමිණියේ ය. ශාක්‍යයෝ විඩුඩභහට ‘පුතේ! මේ නුඹගේ මුත්තා, මෝ ගෑණු මුත්තා, මේ මාමා, මේ බාප්පා, මේ මහම්මා, මේ කුඩම්මා යනාදි ලෙසට උනුන් අඳුන්වා දුන්හ. ඔහු එහිදී වැඩිමහලු හැමට පිළිවෙළින් වැන්දේ ය. එහෙත් ඔහුට වඳින්නෝ නො වූහ. එ කල ‘මට වදින්නෝ නැද්දැ’ යි ඔහු ඇසී ය. මෙහි උන් ලාබාල හැම කෙනකු නුවරින් බැහැරට ගොස් ඇති බව කියා ශාක්‍යයෝ ඔහුට උසස් ලෙසින් සැලකිලි කළහ. ඔහු එහි කීපදවසක් නැවතී සිට පෙරළා සිය රට බලා ආයේ ය. දාසියක්, එහි විඩූඩභ උන් පුටුව ගෙන් බැහැරට ගෙණ ‘මේ වාසභඛත්තියාවගේ පුතා හුන් පුටුවය’ යි බැණ බැණ කිරිදියෙන් සෝදන්නට වන. ඒ අතර විඩූඩභයාගේ සේවකයෙක් ආයුධයක් අමතක කොට ගියේ, ඒ ගෙණ යන්නට හැරී ආයේ, විඩූඩභයාහට බණින හඬ අසා තොරතුරු විචාරා වාසභඛත්තියාව මහානාම ශාක්‍යයාහට දාව එක්තරා දාසියකගේ කුසැ උපන්බව දැන පෙරළා ගියේ, මේ තොරතුරු සිය පිරිසට දැන්වී ය. එවිට ‘වාසභඛත්තියාව දාසියකගේ දුවක් ල’ යි එහි මහත් කොලාහලයෙක් විය. විඩූඩභ තෙමේ ‘වේවා, මූලා මා හුන් පුටුව කිරිදියෙන් සෝදති, මට රජකම් ලැබුනු විට මූලාගේ බොටුලෙයින් මාගේ පුටුව සෝද වන්නෙමි, යි සිතා ගත්තේ ය. ඇමැත්තෝ ඔහු සැවැත්නුවරට පැමිණි කල්හි එ පුවත රජුට දැන්වූහ. රජ තෙමේ ‘දාසියකගේ දුවක මට දුන්හ’ යි. ශාක්‍යයන් කෙරෙහි කිපි වාසභඛත්තියාවට හා ඇයගේ පුතුට දුන් තනතුරු පැහැර ගෙණ දැසිදස්සන් විසින් ලැබිය යුතු තරමක් ම දෙවී ය.

කිහිපදවසකට පසු බුදුරජානන් වහන්සේ රජගෙට වැඩි සේක. රජ තෙමේ අවුත් වැඳ ‘ස්වාමීනි! නුඹවහන්සේගේ නෑයන් විසින් දාසියකගේ දුවක මට දීමෙන් කරණ ලද්දේ බලවත් අයුත්තෙක, මම ඇයටත් පුතුටත් දී තුබූ තනතුරු අස් කොට දැසිදස්සන්ට සෑහෙන තරමක් ම දෙවූයෙමි’ යි කීය. ‘මහරජ! ශාක්‍යයන් විසින් කරණ ලද්දේ බලවත් ම අයුත්තෙකැ’ යි මම ද පිළිගණිමි, දෙතොත් සමානජාති ඇති දැරියක් දිය යුතු ය, මහරජ! මම එකක් කියමි, වාසභඛත්තියාව රජදුවක, රජුගේ ගෙයි අභිෂේක ලද්දියක, විඩූඩභකුමරුත් රජකුට ම දාව උපන, එහෙයින් මවුපසින් ඇති තේරුම කුමක් ද, පියපස ම පමණ ය, පෙර විසූ නුවණැත්තෝ දිළිඳු වූ, දර විකොට දිවිපවත් ගෙණ ගියා වූ කෙල්ලකට අගබිසෝ තනතුර දුන්හ, ඈ කුසැ උපන් කුමාරතෙමේ දොළොස් යොදුන් දිග පළල ඇති බරණැස්නුවරැ රජකමට පැමිණ කාෂ්ටවාහන නමින් ප්‍රසිද්ධ වී ය, යි කට්ඨහාරි ජාතකය වදාළ සේක. රජ තෙමේ දහම් අසා ‘පියපරපුර ම පමණ ය’ යි සතුටුව මවටත් පුතුටත් ඒ ඒ තනතුරු නැවතත් දෙවූයේ ය.

බන්ධුලසේනාපතියාහට භාර්‍ය්‍යා වූවා, කුසිනාරානුවරැ මල්ලිකාවගේ දූ ය. ඕ ද නමින් මල්ලිකා ය. කලක් යන තුරු ඇයට දූ පුත් කෙනෙක් නො වූහ. එහෙයින් බන්ධුල තෙමේ ඇය තමන්ගේ කුල ගෙට පිටත් කෙළේ ය. ගෙන් නික්මුනු ඕ තොමෝ ‘බුදුරජුන් දැක වැඳ යා යුතු ය’ යි දෙව්රමට ගොස් වැඳ පසෙක සිටියා ය. එකල ‘තී කොහි යෙහි දැ’ යි බුදුරජුන් ඇසූ කල්හි ‘මා වඳියක බැවින් මාගේ ස්වාමිපුත්‍රයා මට ගෙන් බැහැර යන්නට අණ කළා, එබැවින් මවුපියන් වෙත යන්නෙමි’ යි කිවු ය. එසේ නම් යෑමෙන් වැඩෙක් නැත, පොඩ්ඩක් නවතුව’ යි වදාළ වචනයෙන් සතුටු ව වැඳ පෙරළා ගෙට ගියා ය. බන්ධුල, ගෙදර නො ගොස්, පෙරළා මෙහි ආවා කිමැ’ යි ඇසූවිට බුදුරජුන් ගමන වැළකූබව කිවු ය. බන්ධුල තෙමේ ‘දීර්‍ඝදර්ශී වූ බුදුරජානන් වහන්සේ අපගේ ඉදිරි කාලය දැක වදාළ සේ කැ’ යි සොම්නසට පැමිණ, ‘හොඳයි, නවතුව’ යි ඇය පිළිගත්තේ ය. වැඩි දවස් නො යාදී ම මල්ලිකා තොමෝ දරුගැබ් ඇත්තී වූ ය. ඉන් හටගත් දොළදුක් ඇති ඕ තොමෝ ඒබව සැමියාට දැන් වූ ය. බන්ධුල තෙමේ ‘කෙබඳු දොළදුකෙක් දැ’ යි ඇය විචාළේ ය.

‘විසල්පුරයෙහි ලිච්ඡවිරජුන් සත්දහස් සත් සිය දෙනකුන් හා ඔවුන්ගේ එ පමණ බිසෝවරුන් බැස දිය කෙළනා, ඔවුන්ගේ අභිෂෙකයට, දිය ගන්නා මගුල්පොකුණට බැස නාන්නට හා පැන් බොන්නටය මට උපන් දොළ දුකැ’ යි කිවු ය. එවිට බන්ධුල තෙමේ ‘යහපතැ’ යි කියා දහස් දෙනකුන් විසින් උස් පහත් කළයුතු වූ දුන්න කරත්තයක තබාගෙණ සැවැත්නුවරින් නික්ම කරත්තය දක්කා යනුයේ මහාලිලිච්ඡවිහට දුන් වාසලින් විසල්පුරයට ඇතුල් වූයේ ය. මහාලිලිච්ඡවිහුගේ ගෙය පිහිටියේ ද මේ වාසල අසල ය. කරත්තය. වාසල් එලිපතැ හැපුනු හඬ අසා මහාලි තෙමේ ඒ හඬ බන්ධුලයාගේ කරත්තයෙහි හඩ ය’ යි දැන අද නම් ලිච්ඡවීන්ට නපුරු දවසෙකැ’ යි කීයේ ය. ලිච්ඡවීන්ගේ ඒ මගුල්පොකුණ ඇතුළත පිටත දෙක ම කරණලද රැකවල් ඇත්තේ ය. එහෙයින් ඉතා බලගතු ය. මත්තෙහි ලෝහයෙන් කළ දැලක් ඇත්තේ ය. ඉතා කුඩා කුරුල්ලකුටවත් එහි ඇතුල්වනු බැරි ය. බන්ධුල තෙමේ ඒ කිසිවක් බැරෑරුම් ය’ යි නො සලකා එහි ගොස් රැකවල් ගෙණ සිටියවුන් බස්තමින් ගසා පහර දී බැහැර කොට ලෝදැල කඩා ඇතුළට බැස බිරිද නාවා තෙමේත් නා අවසන් කොට ගොඩැවිත් කරත්තයට නැගී බිරින්දෑත් කැටිව ආ මගින් ම නුවරින් නික්ම ගියේ ය.

රැකවලැ සිටියෝ මේ වගතුග ලිච්ඡවීන්ට දැන්වූහ. ලිච්ඡවීහු කිපීයහ. ‘බන්ධුලයා අල්ලා ගන්නෙමු’ යි රිය පන්සියයෙක නැගී නික්ම ගියහ. එ පුවත මහාලිලිච්ඡවිහට ද ඔවුහු දැන් වූහ. ඔහු, බන්ධුලයා අල්ලා ගන්නට නො යවු, ඔහු තොප සියල්ලන්ගේ ගෙල සිඳින්නේය’ යි කී ය. ඔවුහු එය නො පිළිගත්හ. ‘යන්නෙමු මැ’ යි කීහ. එකල මහාලි තෙමේ ‘යන්නටම නම්, තොපගේ බලාපොරොත්තුව, බන්ධුලයාගේ කරත්යෙහි බොස්ගෙඩිය පොළොවට ගිලී ගන්නා තැන් දක්නා තුරු යවු, එ දැකත් ඉදිරියට යෑමෙහි ම අදහස නම්, හෙණහඬ වැනි හඬක් ඇසෙනතුරු ගොස් නවතිවු, එයිනුත් නො නවතින්නහු නම්, තොපගේ රියහිස්වල සිදුරු දක්නාතුරු ගොස් නවතිවු, එයින් ඉදිරියට නම්, අඩියක්වත් යෑම නො සුදුසු ය’ යි කී ය. ඔවුහු ඒ නො පිළිගෙණ බන්ධුලයා පසුපස එළවා ගියහ. කරත්තයෙහි පසුපස හුන් මල්ලිකා තොමෝ පස්සේ එළවා එන කරත්ත දැක, ඒ බව සිය සැමියාට දැන්නූ ය. ‘එසේ නම් ඒ එන කරත්ත එක් කරත්තයක් ව පෙණෙන විට මට කියව’ යි කී ය. ඕ තොමෝ ඒ සියලු කරත්ත එක් කරත්තයක් ව පෙණන විට ‘ස්වාමීනි! දැන් සියලු කරත්ත. එක් කරත්තයක් ව පෙණේය’ යි කිවු ය.

බන්ධුල තෙමේ තමන් අත තුබූ රැහැන් මල්ලිකා ව අතට දී කරත්තය ඉදිරියට දක්කන්නට කියා, තෙමේ කරත්තයෙහි සිට ම දුන්න උස්සා ගත්තේ ය. එවිට නැගී සිටියා වූ කරත්තයෙහි රෝදය බොස්ගෙඩිය දක්වා පොළොවෙහි එරුණේ ය. ලිච්ඡවීහු එය දැක ද නො නැවත්තාහ. බන්ධුලයා මදක් ඉදිරියට ගොස් එන්නවුන් දැක දුනුදිය පෙළී ය, එහි හඬ හෙණ හඬ වැනි විය. එයිනුදු ඔවුහු නො නැවැත්තාහ. එළවා ගෙණ ම ගියහ. ඉක්බිති බන්ධුල තෙමේ විෂ පෙවූ ඊතලයක් විද්දේ ය. ඒ ඊතලය කරත්තවල මුදුන් සිදුරු කර ගෙණ සන්නාහ ලා සිටියා වූ පන්සියයක් රජුන් පසා කොට පොළොවැ ගිලුනේ ය. එයිනුදු ඔවුහු එහිදී තමන් විත්කෑබව නො දැන ඔහොම සිටුව, ඔහොම සිටුව’ යි කියමින් එළවා දිවූහ. ඒ වේලෙහි බන්ධුල තෙමේ කරත්තය නවතා ගෙණ ‘තෙපි මළහු ය, මළවුන් හා මාගේ සටනෙක් නැත, මළවුන් හා කවුරු සටන් කෙරෙත් දැ’ යි කී ය. ලිච්ඡවීහු එ බසට ‘හා! හා! අප වැන්නෝ මළහු වෙත් දැ’ යි මහා හඬින් මුරගෑහ. ‘තෙපි මළහු ද නො මළහු දැ යි දැන ගැණීමට නම් ඉදිරියෙහි සිටියහුගේ සන්නාහය ගලවා දමවු’ යි කී කල්හි එහි ඉදිරියෙහි සිටියේ සන්නාහ ගලවා පියන්නේ ම මැරී වැටුනේ ය. ‘තෙපිත් මෙබඳු වන්නහු ය, ගෙවලට ගොස් නියම කළයුතු දේ ඇතොත් නියම කොට අඹුදරුවනට කියයුතු දේත් ඇතොත් කියා අනුශාසනා කොට සන්නාහ ලිහා දමවුයි කී කල්හි ඔවුහු ද එසේ කළහ. සියල්ලෝ මැරී වැටුනෝ ය. බන්ධුල තෙමේ මල්ලිකාවන් සමග සැවැත්නුවරට පැමිණියේ ය. ඈ සොළොස්වරකට නිවුන් දරුවන් දෙතිසක් වැදූ ය. සියල්ලෝ ම ශුරයහ. දක්‍ෂයහ. ශක්ති සම්පන්නයෝ ය. සියලු ශිල්පයෙහි කෙළවරට ගියෝ ය. එකෙකාට දහස දහස බැගින් පිරිවර ය. මොවුන් දෙතිස් දෙන දෙතිස් දහස පිරිවරා පියා සමග ගෙට යන විට රජගේ මිදුල ඔවුන්ගෙන් ම පිරී ගන්නේ ය.

එක් දවසක් උසාවියේදී නඩුවකින් පැරදුනු මිනිස්සු කිහිප දෙනෙක් එන්නා වූ බන්ධුලයන් දැක මහහඬින් කෑමොර ගසා විනිසකරුවන් අල්ලස් ගැණිමෙන් කළ අයුත්ත කියා සිටියාහ. ඔහු ඒ අසා නැවැත නඩුව විනිශ්චය කොට හිමියා, හිමියා කොට තීන්දුව දුන්නේ ය. මහාජන තෙමේ මහහඬින් සාධුකාර දුනි. රජ තෙමේ ඒ අසා ‘කිමෙකැ’ යි දැන සතුටු ව සියලු විනිසකරුවන් නිලයෙන් පහ කොට බන්ධුලයන් අධිකරණ නායකධුරයෙහි තැබී ය. එ තැන් සිට අග්‍රවිනිශ්චයකාරධුරයට පත් බන්ධුල, තෙමේ ම සියලු නඩු ඇසී ය. අල්ලස්ගැණිම් ආදියෙන් කූටවිනිශ්චය කළ පුරාණ විනිශ්වයකාරයෝ අල්ලස් නො ලැබීමෙන් පිරිහී ගියෝ ‘බන්ධුලයා රජ කම බලාපොරොත්තුවෙන් ආණ්ඩුවේ කටයුතු කරන්නේ ය’ යි රජුට හඟවා රජු හා භේද කළහ. රජ තෙමේ ද ඔවුන් කී බස් සැබවැ’ යි පිළිගෙණ ‘මොහු මෙහි දී මරවන ලද්දේ නම්, එය මට නින්දා පිණිස වන්නේ ය’ යි සිතා රාජපුරුෂයන් යවා පසල් දනවු පහරවා, නැවැත බන්ධුලයන් ගෙන්වා ‘බන්ධුල! ප්‍රත්‍යන්තය අපට විරුද්ධ ව නැගී සිටියි, කැරලි ගැසී කොලාහල කරයි, පුතුන් සමග එහි ගොස් සොරුන් මැඩ ප්‍රත්‍යන්තය සාදා එව’ යි ඔහු පිටත් කොට යවා ‘එහිදී ම දෙතිස් පුතුන් සමග බන්ධුලයාගේ හිස සිඳ ගෙණෙව’ යි ඔහු සමග ම තවත් මහායොධසමූහයක් පිටත් කර හැරියේ ය. බන්ධුලයා රජ අණින් එහි යත් ම, එහි සිටි රාජපුරුෂයෝ ‘සෙනාපති ඒ ය’ යි පැන ගියහ. බන්ධුල තෙමේ ප්‍රත්‍යන්තය සෙමෙහි තබා එනුයේ, නුවරට නුදුරෙහි අතරමගැ රැක හුන් මහායෝධයන් විසින් රජ අණ ලෙසින් හිස සිඳ මරා දමන ලද්දේ ය. පුතුන්ගේ හිස් ද සිඳලූහ.

මෙ දවස වනාහි පන්සියයක් දෙනා වහන්සේ සමග වූ අග්‍ර ශ්‍රාවක දෙදෙනා වහන්සේ මල්ලිකාවගෙන් ආරාධනාවක් ලබා පෙරවරුයෙහි එහි වැඩම කොට හුන්හ. ඒ වේලෙහි ‘පුතුන්ගේ හා සිය සැමියාගේ හිස් සිඳිනා ලදැ’ යි කියා ලියුමක් මල්ලිකාවට ලැබින. ඒ බලා කිසිවක්හට කිසිවක් නො දන්වා ලියුම ඔඩොක්කුවෙහි තබා මෙහෙකාර සත්‍රීන් සමග සඞ්ඝයා වහන්සේට දන් වැලඳෙව්වා ය. එ වේලෙහි එහි මෙහෙකාරසස්ත්‍රීහු ගිතෙල්සැළක් ගෙණ එන්නෝ, සඞ්ඝයාගේ ඉදිරියෙහි දී බිම හෙලා බිඳ දැමූහ. සැරියුත් මහතෙරුන් වහන්සේ එය දැක ‘බිඳීම සවභාව කොට ඇති සියලු දෙය බිඳෙන්නේ ය, එහෙයින් අමුත්තක් නො සිතිය යුතු’ යි වදාළහ. එ කෙණහි මල්ලිකා තොමෝ තම ඔඩොක්කුවෙහි තුබූ ලියුම ගෙණ කියවූ ය.

පසල්දනව්වේදී ය

අතිශය ගෞරවයෙන් ලියමු.

-

බන්ධුලමල්ලසේනාපති තෙමේ යෝධමුළක් විසින් මෙහි දී මරා දමන ලද්දේ ය. ඔවුන් විසින් ම සෙන්පති පුත්‍රයෝ ද හිස් ගසා මරණ ලදහ.

-

මේවගට,

යටත්

ගම්වැස්සෝ.

‘ස්වාමීනි! මේ ලියුම කියවා බලාත් මට කිසිවක් නො සිතූන් ය, එසේ කල්හි මේ ගිතෙල්සැළක් බිඳුනවිට මම කුමක් සිතම් දැ යි ඕ කිවු ය.

ඉක්බිති දම්සෙනෙවි සැරියුත් මහ තෙරණුවෝ ‘අනිමිත්තං අනඤ්ඤාතං’ යනාදීන් ශෝක තුනී වන්නට බණ දෙසා හුනස්නෙන් නැගිට වැඩි සේක. අනතුරුව ඕ තොමෝ යෙහෙළින් දෙතිස, ලඟට ගෙන්වා ‘තොපගේ හිමියෝ නිරපරාධයෝ ය, පෙර කරණලද බලගතු කර්‍මයක විපාක විසින් මේ විපතට පැමිණියෝ ය, ඒ නිසා ශෝක නො කරවු, රජු කෙරෙහි යමතමකිනුත් සිත් කිලිටක් ඇති නො කරවු’ යි අවවාද කොට සනසාලූ ය. රජුගේ චරපුරුෂයෝ ඒ කතාව අසා රජු කරා ගොස් තමන්ගේ නිර්‍දොෂත්වය කියා සිටියාහ. රජ තෙමේ සංවේගයට පැමිණ බන්ධුලයන්ගේ නිවෙසට ගොස් මල්ලිකාව හා ඇයගේ යෙහෙළියන් කමා කරවා ගෙණ මල්ලිකාවට වරයක් දුන්නේ ය. ඕ තොමෝ ‘මා විසින් ඒ වරය ගන්නා ලද්දේ වේවා’ යි රජු ගිය කල්හි මළවුන්ට පින්පෙත් දීලා නාගෙන ඇඳ පැලඳ රජු කරා ගොස් යෙහෙළියන්ටත් මටත් අපගේ කුලගෙවලට යෑමට අවසර දෙනු මැනැවැ’ යි කිවූ ය. රජු ‘යහපතැ’ යි කී කල්හි ඕ තොමෝ යෙහෙළියන් දෙතිස් දෙන උන්උන්ගේ ගෙවලට යවා තොමෝ කුසිනාරානුවර තම මවුපියන් වෙත ගියා ය. ඉන් පසු රජ තෙමේ බන්ධුලයන්ගේ බෑනනු වූ දීඝකාරායණයාහට සෙනෙවිතනතුර දුන්නේ ය. ඔහු ද ‘මොහු විසින් මාගේ මාමා මරවන ලදැ’ යි සිත සිතා රජුගේ සිදුරක් සොයමින් කල් යැවී ය.

රජ තෙමේ ද නිරපරාධී වූ බන්ධුලයන් මැර වූ දා සිට විපිළිසර ඇත්තේ සිත සැනසුම් නැති ව වෙසෙ යි. රජසැප ද නො විඳියි. මෙ දවස බුදුරජානන් වහන්සේ වැඩ වාසය. කළෝ ශාක්‍යයන්ට ම අයිති වූ උලුම්ප’ නමින් ප්‍රසිද්ධ වූ නියම්ගම ඇසුරු කොට ගෙණ ය. රජ තෙමේ එහි ගොස් බුදුරජුන් වැඩ වසන ආරාමයට නො දුරෙහි කඳවුරු බඳවා ටික දෙනකුන් හා බුදුරජුන් වඳිනු පිණිස විහාරයට ගොස් තමා වෙත තුබූ කකුධ භාණ්ඩයන් දීඝකාරායණයා අතට දී තනිය ම ගඳකිළියට ඇතුල් විය. සෙසු සියලු විස්තර ධම්මචෙතිය සූත්‍රයෙහි කී ලෙසින් දත යුතු ය. රජු ගඳකිළියට වන් ඇසිල්ලෙහි දීඝකාරායණ තෙමේ ඒ කකුධ භාණ්ඩයන් ගෙණ විඩූඩභයා රජ කොට රජුට එක් අසකු හා උවැටනට එක් මාගමකුත් නවතා සැවැත්නුවරට ගියේ ය. රජ තෙමේ බුදුරජුන් හා ප්‍රිය වූ කතා කොට නිමවා පෙරළා ආයේ, සේනාව නො දැක එහි සිටිය මාගම අතින් තොරතුරු දැන බෑනනු වූ අජාසත් රජු කැඳවා ගෙණ අවුත් විඩූඩභයා අල්ලා ගන්නෙමි’ යි රජගහානුවර බලා සිටියේ ය. සවස නුවරදොර වසා තිබූ බැවින් නුවරින් පිටත ශාලාවෙක නිදන්නට වන. ගමන් විඩාවෙන් ක්ලාන්තව සිටි රජ තෙමේ රෑකාලයෙහි එහිදී ම කලුරිය කෙළේ ය. පාන් වූ කල්හි ‘දේවයන් වහන්ස! කොසොල් රජ අනාථ විය, අහෝ! කොසොල් රජ මළේ ය’ යි විලාප කියන ඒ ගැහැණියගේ විලාප හඬ අසා නුවරැ වැස්සෝ ඒ බව අජාසත් රජුට දැන්වූහ. රජ තෙමේ එහි පැමිණ මහත් පෙරහරින් මාමාගේ ආදාහනය කරවී ය.

විඩූඩභ තෙමේ ද රජකම් ලැබ ශාක්‍යරජුන් කෙරෙහි බැඳ තුබූ වෛරය ඉස් මතු කොට ‘පළිගන්නෙමි’ යි මහත් සේනාවක් සරසා ගෙණ කිඹුල්වත් යෑමට නික්මුනේ ය.

එ දවස අලුයම් වේලෙහි ලොව බලා වදාරන මාගේ සවාමිදරු වූ සම්මා සම්බුදුරජානන් වහන්සේට නෑයන්ට වන්නට යන මේ විනාශය දක්නට ලැබින. මා, මේ වේලෙහි නෑයන්ට සංග්‍රහ කරන්නට වටී ය’ යි පෙරවරුයෙහි සිඟා වලඳා අවසන් කොට ගඳකිළියෙහි සැතපී ඉඳ සවස්වේලෙහි අහසින් වැඩ කිඹුල්වත අසල තුනී සෙවන ඇති එක් ගසක්මුල වැඩ හුන් සේක. විඩූඩභයාගේ රාජ්‍ය සීමාව අසල ගනසෙවන ඇති ලොකු නුගගසෙක් ඇත්තේ ය. විඩූඩභයා බුදුරජුන් දැක ලඟට ගොස් වැඳ ‘ස්වාමීනි! මොකද මේ, තද අව්වේ තුනී සෙවන ඇති ගසමුල වැඩහුන් සේක්, මේ හොඳට සෙවන ඇති නුගගසමුල වැඩ හිඳිනු මැනැවැ’ යි කී ය. ‘මහරජ! එසේ වේවා, නෑයන්ගේ සෙවන සිහිල් ය’ යි වදාළ කල්හි ‘නෑයන් රකින්නට වැඩි සේක් වනැ’ යි සිතා බුදුරජුන් වැඳ පෙරළා සැවැත්නුවරට ම ගියේ ය. බුදුරජානන් වහන්සේ ද අහසින් දෙව්රමට වැඩි සේක. නැවැතත් විඩූඩභ තෙමේ ශාක්‍යයන් කළ වරද සිහි කොට දෙවන තෙවනවරත් නික්ම ආයේ ද, බුදුන් දැක පළමු සේ පෙරළා ගියේ ය. එහෙත් සතරවනවර ද නැගී ආයේ ය. එකල බුදුරජානන් වහන්සේ ශාක්‍යයන් පෙර කළ කර්‍ම බලා වදාරන සේක්, ඔවුන් පෙර එක් අත්බවෙක කුඩමස්සන් මරන්නට ගඟක විෂ, වෙඩි බැහූ බවත් එය වළකන්නට බැරි පාපකර්‍මයක් බවත් දැක සතරවනවර එහි නො වැඩි සේක.

විඩූඩභ තෙමේ සතරවන වර ශාක්‍යයන් මරන්නට නැගී ආයේ, මහත් බලසෙනගක් ගෙණ ය. බුදුරජුන්ගේ නෑයෝ, තුමූ මියෙත් නමුත් අනුන් නො මරති. කිසිවකුත් ජීවිතයෙන් තොර නො කරති. එහෙත් ඔවුහු ‘අපි ධනුශ්ශිල්පයෙහි හික්මුනෝ වෙමු, එහි හොඳට පුරුදුකම් ඇත්තමෝ ය අපි, එහි ලා දක්‍ෂගුරුන් ඇසුරුකළෝ අපි ය, එහෙත් අපට අනිකකු මරන්නට නො හැකි ය, අපි අපේ ධනුශ්ශිල්පයෙහි හුරු බුහුටිකම් පෙන්වා ඔවුන් පලවා හරින්නෙමු’ යි සිතූහ. මෙසේ සිතා සියල්ලෝ සන්නාහ ඇඟලා අවුත් යුද්ධයට වන්හ. ශාක්‍යයන් විසින් විදිනා ඊතල විඩූඩභයාගේ මිනිසුන් අතරින් පලිහ අතරින් කන් සිදුරු අතරින් යෙයි. විඩූඩභ තෙමේ ඊතල විදිනු දැක ‘ඇයි! ශාක්‍යයෝ අපි පරපණ නො නසන්නමෝ ය’ යි කියන්නෝ නො වෙත් ද, කතා එසේ වුව ද, ඔවුහු මා ගේ මිනිසුන් නසන්නෝ ය’ යි කී ය. එවිට එහි සිටි එකෙක් ‘ඇයි! ස්වාමීනී! ඔහොම කියන්නහු, බලා වදාරන්න, ඔබවහන්සේගේ මිනිසුන් මරන්නෝ දැ’ යි ශාක්‍යයෝ, නුඹවහන්සේගේ පිරිසෙහි එකෙක්වත් නො මළේ ය, මා කියන්න නො අදහන්නහු නම්, පිරිස ගණන් කරවා බලනු මැනැවැ’ යි කී ය. ගණන් කරවන්නේ එකකුගේ ද අඩුබවක් නො දුටුයේ ය.

එ තැනින් යන්නට ගිය විඩූඩභයා පෙරළා අවුත් ‘යම් යම් කෙනෙක් අපි ශාක්‍යයම්හ’ යි කියත් ද, ඔවුන් සියල්ලන් මරා දමවු, මාගේ මුත්තනු වූ මහානාම ශාක්‍යයන් වෙත සිටියවුන් පමණක් නො මරවු, ඔවුනට ජීවිතය දෙවු’ යි අණ කෙළේ ය. එ වේලෙහි ශාක්‍යයෝ ඇසුරු කළයුතු රැකවලක් නො දැක කෙනෙක් බිම වැතිර තණබිසි ඩැහැ ගෙණ ද, කෙනෙක් හුණදඬු අල්ලා ගෙණ ද සිටියාහ. ‘තෙපි ශාක්‍යයෝ ද නො වහු දැ’ යි ඇසු විට ද මළත් බොරු නො කියන බැවින් තණ පඳුරු ඩැහැ ගෙණ සිටියෝ ‘මේ සාක නො වේ, තණය’ යි කියති. හුණදඬු අල්ලා ගෙන සිටියෝ ‘මේ සාක නො වේ, හුණදඩු’ යි කියති. එහි දී ශාක්‍යයන් අතර දිවි ලැබුවෝ මහානාමයන් වෙත සිටියෝ පමණක් ම වෙති. තණ පඳුරු අල්ලා ගෙන සිටියෝ එ තැන් සිට තෘණශාක්‍යයෝ ද හුණදඬු අල්ලා ගෙන සිටියෝ නළශාක්‍යයෝ ද වූහ. විඩූඩභ තෙමේ මේ ඩබරයේ දී කිරිදරුවන් ද නො හැර හැම ශාක්‍යයා ම මරවමින් ලේ ගඟක් කොට එයින් තම පුටුව සෝදවා මුලින් කළ අදහස ඉටු කර ගත්තේ ය. මෙසේ ශාක්‍යවංශය විඩූඩභයා විසින් සිඳ හරින ලද්දේ ය. ඔහු මහානාමයා රඳවා ගෙණ නැවතුනේ ‘උදෑසන වේලෙහි උදෑසන බත් කන්නෙමි’ යි සිතා ය. බත් එළ වූ කල්හි හිඳගෙණ එකතු ව කන්නෙමි’ යි මුත්තනුවන් කැඳවී ය. ක්‍ෂත්‍රියයෝ දිවි ගිය ද, දාසීපුත්‍රයන් හා කැටිව හිඳ නො කති. එහෙයින් මහානාම තෙමේ විලක් දැක ‘ඇඟ කිලිටිය, කන්නට පළමු ව නෑ යුතු ය’ යි දැන්වී ය. ‘හොඳයි! මුත්තනුවෙනි! නාන්නැ’ යි විඩූඩභ කී ය. මොහු හා කැටි ව හිඳ නො කනවිට මේ තෙමේ මා මරන්නේ ය, මොහුගෙන් මැරුම් කෑමට වඩා තමා ම මැරෙණු යහපතැ’ යි සිතා කාණ්ඩය ලිහා කෙස් අග ගැටයක් ගසා පය මාපටඇඟිල්ල එහි අවුළුවා ගෙණ දියෙහි ගිලුනේ ය. ඒ වේලෙහි ඔහුගේ ගුණතෙදින් නාගභවනය තදින් රත්වී ගියේ ය. එහි වූ නාරජ තෙමේ ‘කිමෙකැ’ යි විමසන්නේ ඔහු වෙතට පැමිණ ඔහු පෙණගොබයෙහි හිඳුවා නාගභවනයට ගෙන ගියේය. මහානාම තෙමේ දොළොස් අවුරුද්දක් එහි විසී ය.

විඩූඩභ තෙමේ ‘මාගේ මුත්තනුවන් දැන් එති, දැන් එතී’ යි හිඳ කල් යත්, ගෙය සොයා බලවා අන් තැන්හි ද සොයවා නො දැක ‘පැන ගියේ වනැ’ යි සිතා එ තැනින් නික්ම ගියේ ය. නැවැත ඔහු රාත්‍රිකාලයෙහි අචිරවතී ගඟබඩට ගොස් එහි කඳවුරු බැන්දේ ය. ඔහුගේ පිරිසෙහි සමහර කෙනෙක් ඇතුළුගඟ වැලිතලා පිට නිදි ගත්හ. තවත් කෙනෙක් ගොඩබිම නිදි ගත්හ. ගඟබඩැ නිදි ගත්තවුන් අතර ද පෙර පව් නො කළ අය සිටියහ. ගොඩැ නිදි ගත්තවුන් අතර ද පෙර පව්කළෝ සිටියහ. උන් නිදා සිටි තැනැ පොළොවෙන් කඩියෝ මතු වූහ. ඔවුහු මා නිදා සිටි තැනැ කඩියෝ ය, මා නිදිගත් තැනැ කඩියෝ ය’ යි කියමින් නැගී අවුත් පව් නො කළ අය ගොඩැ නිදාගත්හ. පව්කළෝ ගඟවැල්ලෙහි ම නිදි ගත්හ. මේ වේලෙහි වලාකුල් නැගී බලගතු ගල් වැස්සෙක් වට. ගඟෙහි ගැලූ මහදියපාර, එයට අසු වූ විඩූඩහයා හා ඔහු පිරිස මුහුදට ඇද ගෙණ ගියේ ය. එහි දී සියල්ලෝ මස් කැසුප් මෝරු තල්මස් ආදී සතුන්ට බත් වූහ. මේ අරගලය මෙසේ අවසන් වූ කල්හි මහාජනයා අතර ‘ශාක්‍යයන්ගේ මරණය අයුතු ය, අය්යෝ! ශාක්‍යයෝ මෙසේ ආයුධවලින් ඇණ කොටා මැරිය යුත්තෝ ද, මෙය ඉතා සැහැසි ය’ යි කතාවක් උපන. එවිට බුදුරජානන් වහන්සේ ‘ඇයි, මහණෙනි! ශාක්‍යයන්ගේ මේ මරණය. අද අයුතු වුවත් පෙර කළ අකුශලකර්‍මයට අනු ව මේ අයුතු ය’ යි නො කිය හැකි ය, ඒ කර්‍මයට අනුව කිය යුත්තේ, මොවුන් විසින් යුත්තක් ම ලැබූබව ය, මොවුහු පෙර එක් අත්බවෙක ගඟක විෂ වෙඩි බැහූහ’ යි වදාළ සේක. ඉන්පසු එක් දවසක ධර්‍මසභාවට රැස් වූ භික්‍ෂූන් අතර ‘විඩූඩභයා මෙතෙක් ශාක්‍යයන් මරා ද තමන් ගේ අදහස මුදුන් පමුණුවා ගත නො හී පරිවාර ජනයාත් සමග මුහුද වැටී මස්කැසුප් ආදීනට බත් වී ය’ යි කතාවක් උපන. ඒ වේලෙහි එහි වැඩම කළ බුදුරජානන් වහන්සේ ‘මහණෙනි! මා ඊමට කලින් තමුසේලා කිනම් කතාවක් කරමින් හුන්නහු දැ’ යි. අසා වදාළ කල්හි ‘මෙ නම් කතාවක් කරමින් හුන්නෙමු’ යි දැන්වූහ. එකල උන්වහන්සේ ‘මහණෙනි! මේ සත්වයන් තමන්ගේ මනදොළ මුදුන් පමුණුවා ගන්නට මත්තෙන් ම මාර තෙමේ නිදි ගත් ගමක් හෙවත් ගම්වැස්සන් යටපත් කොට යන මහත් දිය සැඩපහරක් මෙන් ජීවිතේන්ද්‍රිය සිඳ දමා සතර අපාය නැමැති මහමුහුදෙහි ගල්වා ය’ යි වදාරා මේ ධර්‍මදේශනාව ද කළ සේක:-

පුප්ඵානිහෙව පචිනන්තං බ්‍යාසත්තමනසං නරං,

සුත්තං ගාමං මහොඝොව මච්චු ආදාය ගච්ඡතීති.

මල් කඩා රැස්කරන්නෙකු මෙන් මේ ලෝකයෙහි පස්කම් මල් සොයන්නා වූ පස්කම් ගුණයන්හි තදින් ඇලුනු සිත් ඇති සත්වයා, නිදා සිටි ගමක් මහමුහුදට ගසා ගෙණ යන මහදියපහරක් සේ මෘත්‍යුමාර තෙමේ සිවු අපාය නැමැති මුහුදට ඇද ගෙණ යයි.

පුප්ඵානි ඉහ අව පචිනත්තං = මල්නෙලා රැස් කරන්නකු සේ මෙහි.

මල්නෙලන කා ගැණත් මෙසේ කිය හැකි වුව ද ප්‍රධාන වශයෙන් මාලාකාරයෙක් ම පචිනත්ත ශබ්දයෙන් ගැණේ. මෙහි එන ඉව, යන්න පචිනත්තං, යන්න හා එකතු කළවිට ‘නෙලා රැස් කරණ මල්කරුවකු මෙන්, යන අරුත් මතු වේ. මේ උපමාන පක්‍ෂය යි. ඒ බව ඉව, යන්න ප්‍රකට කරයි. එහෙයින් එය උපමා වාචක නිපාතයෙක් වේ. නෙලා රැස් කරණ, යන අරුත් ඇති පචිනත්ත, යන්නට කර්‍මය වනුයේ පුප්ඵානි, යන පදය යි. පුප්ඵානි යන්නෙන් මල් කිය වේ. පුප්ඵානි, යනු මල් යන අරුත්හි ප්‍රකට වූව ද එයින් මෙහි ගැණෙන්නේ පංචකාමය යි. පචිනත්ත, යන්නෙන් මල්නෙලා රැස් කරන්නාත් පංචකාමයන් සොයන්නාත් කිය වේ. ඒ දෙදෙනාගේ එක්ලෙසකින් සමානධර්‍මත්වය, ඉව, යන්නෙන් වදාළ සේක.

ව්‍යාසත්තමනසං = තදින් ඇලුනු සිත් ඇති.

අතට පත් වස්තුවෙහි ඇලීම් වශයෙන් ද, අතට නො පත් වස්තුවෙහි පැතීම් වශයෙන් ද ගැලෙන බැඳෙන ඇලෙන සිත් ඇත්තේ මෙයින් ගැණේ.

මාලාකාරයෙක් මල් උයනකට වැද ගසකින් මල් කඩාගන්නේ අනික් ගසෙහි මල් මෙයට වඩා පියකරුය, සුවඳ ඇත්තේ ය, අනික් ගසෙහි මල් මෙයටත් වඩා සිත්කලු ය, අගනේ ය, යි මල් උයනෙහි සැම තැන ඇවිදිමින් මල්වලින් සෑහීමකටනො පත් ව පමා වන්නේ යම් සේ ද, එසේ ඇතැම් මිනිහෙක් මල් උයනක් වැනි පස්කම් ගුණ මැදට බැස සිත්කලු වූ රූපාරම්මණයක් ලැබ රස විඳින්නේ ද, සෑහීමකට නො පත් ව අනික් රූපාරම්මණයක් පතයි. එසේ ම ශබ්ද-ගන්ධ-රස-ස්ප්‍රෂ්ටව්‍ය යන මොවුන් ද, පතයි. නිතර නිතර අමුතු අමුතු රූපශබදාදිය සෙවීමට වෙහෙසෙයි. ගොන් මීමුන් දැසි දස් ගම් නියම්ගම් දනවු ආදිය ලබා ද සෑහීමකට නො පත් ව තව තව සොයයි. පතයි. ‘අසුවල් එක හොඳ ය, එයට වඩා අනික හොඳ ය’ යි සිතමින් පතමින් වෙහෙසෙයි. පැවිද්දා ද පිරිවෙන් විහාර. පා සිවුරු ආදිය කොතරම් ලබා ද අළුත් අළුත් වූ මහත් මහත් වූ තව තව පිරිවෙන් විහාර පා සිවුරු ආදිය සොයමින් පතමින් දවස් යවයි. මෙබඳු ගිහි පැවින්දෝ නිතර සිත කෙලෙස්වලින් මැඩ ගත් හෙයින් මරණින් පසු සතර අපායයෙහි උපදිති. මෙබන්දෝ ය පස්කම්හි තදින් ඇලුනු සිත් ඇත්තෝ.

නරං = සත්වයා.

තමා ඇසුරු කරන උසස් තැනට පමුණුවන තැනැත්තේ නර, නම් වේ. ප්‍රථම ප්‍රකෘතිය වූ සත්වයා අනික් ප්‍රකෘතියකට වඩා උසස් බැවින් පුරුෂ, යි කියනු ලබන්නා සේ තමා ඇසුරු කරණ ලොකු කුඩා හැම කෙනෙකුන් උසස් අඩියට පමුණු වන තැනැත් තේ නර, යි කියනු ලැබේ. ‘ආමොදිතා නරමරූ’ යන මෙහි වූ නර සදින් මනුෂ්‍යයා කියනු ලැබේ. ‘නරා ච අථ නාරියො’ යන මෙහි එන්නෙන් කියැවෙනුයේ පුරුෂ තෙමේ ය. ‘සීල පතිට්ඨාය නරො සපඤ්ඤො’ යන මෙහි වූ නර ශබ්දය හෙන්නේ දෙව් මිනිසුන් කෙරෙහි ය. තැනට සුදුසු සේ නරශබ්දයට පුරුෂ-සත්ව-මනුෂ්‍ය යන අර්‍ත්‍ථ කිය හැකි ය. ‘නරීයති සකෙන කම්මෙන නරිය්‍යතීති = නරො’ යනු ද නිරුක්ති යි.

සුත්තං ගාමං = නිදිගත් ගම.

ගමෙක නිදීමෙක් නැත. ‘ගාමස්ස ගෙහභිත්ති ආදීනං සුපවසෙන සුපනං නාම නත්ථි’ යනු ඒ කී සැටි යි. ‘නිදි ගත් ගමැ, ය යි වදාළෝ ගම් වැසියන්ගේ නිද්‍රාප්‍රමාදත්වය කරුණු කර ගැණීමෙනි. ඒ මෙසේ කීහ:- ‘සත්තානං නිද්දාපමත්තං උපාදාය සුත්තො නාම’ යි. මෙහි ගාම යන්නෙන් ගම්වැසියන් ගැනෙන බව අටුවාවෙන් හෙලි වෙයි. ගාම, යන්නට ගම්වැසි යන අරුත් කිය හැක්කේ අභෙදෝපචාරශක්තියෙනි. අභෙදොපචාර, නම් තැනට සුදුසු ලෙස හැසිරීම ය. ගැණීම ය. කිය යුතු ස්වභාවය යමෙක නැත්නම්, ඒ ස්වභාවය, ඒ නැත්තහු කෙරෙහි නගාලීම ය. ඉඳුරු-ගිනි-යම යන තුන දෙවතා නාමයෝ ය. ඒ දෙවතා නාමයන් ඔවුන් අයත් කොට ඇති දිශාවන්ට ද කියති. ඉඳුරු යනු පෙර දිග යි. ගිනි යනු පෙර අනුදිග යි. යම යනු දකුණු අනුදිගයි. එහි විවරණය මෙසේ ය:- ‘අභෙදෙන උපචරණං = අභෙදොපචාරො’ යි. එය සමීප - එකදෙස - සහචරිත - ඨාන - යෙභුය්‍ය - තද්ධම්ම - භේද - ගුණ - ඵල- තාදත්ථ - තංසදිස - සම්බන්ධ - උපමෙය්‍ය යි තෙළෙස් වැදෑරුම් ය. සමහර තැනෙක මෙය දස වැදෑරුම් කොට සමහර තැනක දෙවිසි වැදෑරුම් කොට ද දක්වා තිබේ. මෙහි ස්ථාන නාමයෙන් ස්ථානීන් ගන්නා බැවින් ගාමං, යන්න ඨානොපවාරය යි. ගාම, නාමයෙන් ගැමියන් කීහ.

මහොඝො ඉව = මහදියවතුරක් මෙන්.

ඔඝ ශබ්දය, ‘කාමොඝො’ යනාදී තන්හි කාම-භව-දිට්ඨි-අවිජ්ජා යන මෙහි ද ‘ජනොඝො’ යනාදී තන්හි සමූහයෙහි ද ‘ජලොඝො’ යනාදී තන්හි වේගයෙහි ද ආයේ ය. මෙහිලා ජල වේගය කියැවේ. ‘අවයවං ව්‍යාපීය ගච්ඡතීති=ඔඝො’ යනු වාක්‍ය ය යි. හැම තැනෙක ම හෙවත් එයට අසුවන හැමදෙයක් ම පැතිර ගෙණ යේ නුයි ඔඝ නම් වේ. ඉව, යන්න ගාමං යන්නට එකතු කොට අරුත් ගතයුතු ය.

මච්චු ආදාය ගච්ඡති=මෘත්‍යුමාර තෙමේ ගෙණ යයි.

යම්සේ මහාජලවේගය තෙමේ ගැණු-පිරිමි-ගෙරි හරක්-මීමුන්-කුකුල්-ගස්-කොළන්-ගේදොර යන කිසිවක් ඉතිරි නො කොට සියලු ගම පැහැර ගෙන මුහුදට පමුණුවා මස් කැසුප් ආදීනට බත් කරයි ද, එමෙන් මෘත්‍යුමාර තෙමේ [1] ලද නො ලද පස්කම් සැපතෙහි ගැලෙමින් ඒ ම පතමින් ප්‍රමත්ත ව කල් යවන ගිහි පැවිදන් ගේ ජීවිත සිඳ දමා ඔවුන් සතර අපායයෙහි ගිල් වන්නේ ය’ යි මෙයින් වදාළ සේක.

ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියෝ ය. දේශනාව මහාජනයාට වැඩ සහිත වූ ය.

විඩූඩහ වස්තුව නිමි.

  1. 3-6 ‘යොධෙථ මාරං පඤ්ඤායුධෙන’ පරිකථා බලනු.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.